Friday 12 September 2014

ජොන් 03-1


අංගනය පුරා අසිපත් එකට ගැටෙන හඬ රැවු දුන්නේ ය.

හැඳ සිටි කළු ලොම්, හම් සහ යකඩ සන්නාහයට යටින් පපුව දිගේ සීතලට දහදිය ගලා යනු ජොන්ට දැනින. එනමුදු ඔහු දිගටම සිය ප්‍රහාරය කරගෙන ගිය අතර ග්‍රෙන් පැකිලෙමින් පස්සෙන් පස්සට ඇදුනේ අදක්ෂ ‍ලෙස පහර වැළකුවේ ය. ඔහු පහරක් සඳහා අසිපත එසවූ විට ඊට යටින් පැති පහරක් එල්ල කල ජොන් ප්‍රතිවාදියාව විස්මයට පත් කරමින් ඔහු ‍ගේ පාදය පසුපසට පහරක් එල්ල කලේ ය. ග්‍රෙන් ගේ යටිකැපුමට පිළිතුරක් වශයෙන් ඉහළින් එල්ල වූ පහරින් ඔහු ගේ හිස් ආවරණය පළුදු විය. ඔහු ගේ පැති කැපුම සිය අසිපතින් පිසදා හැරි ජොන් සන්නාහය ලූ අතින් ප්‍රතිවාදියා ගේ පපුවට පහරක් දුන්නේ ය. කකුල පැටලී ගිය ග්‍රෙන් හිම මත ඉන්දවුනි. ග්‍රෙන් ගේ සුරතින් අසිපත විසි වී යන සේ ‍ජොන් විසින් ඔහු ගේ මැණික්කටුවට පහරක් එල්ල කල අතර ග්‍රෙන් වේදනාවෙන් කෑගැසුවේ ය.

"ඇති." සෙර් ඇලිසර් තෝර්න් ගේ ස්වරය වැලීරියන් වානේ මෙන් තියුණු විය.

ග්‍රෙන් සිය අත බදාගත්තේ ය‍. "අවජාතකයා ම‍ගේ අත කැඩුවා."

"අවජාතකයා උඹේ කකුල කපලා දැම්මා, උඹේ ඔලුව දෙපලු කලා, උඹේ අත කපලා දැම්මා. මේ කඩුවල මුවහත තිබ්බනං ඒක තමා වෙන්නෙ. උඹලගෙ වාසනාවට නිශා රැකුමට මුර සංචාරක‍යො වගේම ඉස්තාල බලාගන්න කොල්ලොත් ඕන." සෙර් ඇලිසන් ජෙරන් හා ටොඩ් දෙසට සංඥාවක් කලේ ය. "ඔරොක්ස්ව කකුල් දෙකෙන් නැගිට්ටවපල්ලා. ඌට උගෙ අවමගුල් උත්සවේට ලෑස්ති වෙන්ට තියෙනවා."

අනිත් කොල්ලන් දෙදෙනා ග්‍රෙන්ව දෙපයින් නැගිට්ටවද්දී ජොන් සිය හිස් ආවරණය ඉවත් කලේ ය. මුහුණට වැදුනු උදෑසන සිසිල් සුළං විසින් ඔහුට සහනයක් ගෙන දුන්නේ ය. අසිපතට බර වුනු ඔහු ලය පුරා දිගු හුස්මක් ගත්තේ මොහොතකට සිය ජයග්‍රහණය ආස්වාදනය කරනු පිණිස ය.

"ඕක දිග කඩුවක්. නාකි මිනිහෙක්ගෙ හැරමිටියක් නෙවෙයි." සෙර් ඇලිසන් සැරෙන් කීවේ ය. "උඹේ කකුල් රිදෙනවද ස්නොව් උතුමානනි."

ජොන් මේ නමට වෛර කලේ ය. පුහුණුව පිණිස පැමිණි පළමුදාම සෙර් ඇලිසන් විසින් මේ විහිළු නම ඔහුට පට බැඳ තිබින. අනික් කොල්ලන් ඉතා ඉක්මනින් ඒ නමට හුරු වූ අතර දැන් ඔහු යන යන තැනදී ඒ නම අසන්නට ලැබින. ජොන් දිගු අසිපත කොපු‍වේ ලෑවේ ය. "නෑ." ඔහු පිළිතුරු දුනි.

තෝර්න් දිගු පියවර තබමින් ඔහු වෙත ආ‍වේ ය. ඔහු වසර පනහක් පමණ වයස් වූ දැඩි ගතිගුණ ඇත්තෙකි. ඔහු ගේ කළු හිසකෙස් තැනින් තැන අව පැහැ ‍වෙමින් තිබුනු අතර දෑස් අගත්ති මෙන් තද පැහැයෙන් බැබලින. "හරි, දැන් ඇත්ත කියපං." ඔහු අණ කලේ ය.

"මට මහන්සියි." ජොන් පිළිගත්තේ ය. සැබැවින්ම දිගු අසිප‍තේ බර නිසා ඔහු ගේ අත ඇදුම් කමින් තිබූ අතර සටන නිමවී තිබුනු හෙයින් දැන් ඔහුට වැදුනු පහරවල වේදනාවද දැනෙන්නට පටන්ගෙන තිබින.

"උඹ දුර්වලයි."

"මම දිනුවා."

"නෑ. ඔරොක්ස් පැරදුනා."

එක් කොල්ලෙක් අවඥාවට මෙන් හිකි හිකි ගා සිනාසුනේ ය. මෙයට පිළිතුරක් දීමට වඩා නිහඬව සිටීම මැනවැයි ජොන් දැන සිටියේ ය. සෙර් ඇලිසන් ඔහුට එදිරිව එවන ලද සෑම ප්‍රතිවාදියෙකුම ඔහු අතින් පැරදුනු නමුදු එයින් ඔහුට අත්වුනු සුගතියක් නැත. ප්‍රධාන සටන් පුහුණුකරුවාගෙන් ඔහුට හැමදාමත් ලැබුනේ සමච්චලයක් පමණි. තෝර්න් ඔහුට වෛර කරන බව අවසානයේ දී ජොන් පැමිණුනු නිගමනය විය. ඊටත් වඩා ඔහු අනිකුත් කොල්ලන්ට වෛර කරනවා වන්නට ඇත.

"හරි. අදට ‍එච්චරයි." ‍තෝර්න් ඔවුන්ට පැවසී ය. "මට එක දවසකදි මූන ‍දෙන්ට පුළුවන් මෝඩකම්වල සීමාවක් තියෙනවා. අනික් එවුන් කවදා හරි අපිව හොයා‍ගෙන ආවොත් උං ගාව දුනුවායො ඉන්ටයි කියලා මං යාඥා කරනවා. මොකද උඹලා ඔක්කොමල්ලා ගැලපෙන්නෙ ඊතල එකතු කරන්ට පඹයො වගේ හිටවලා තියන්ට විතරයි."

ජොන් සෙසු ‍කොල්ලන්ට පසුව තනිවම ආයුධ ගබඩාව දෙසට ඇවිද ගියේ ය. මෙහිදී ඔහු නිතරම පාහේ ඇවිද්දේ තනිවම ය. ඔහු පුහුණු වෙමින් සිටින මේ කණ්ඩායමේ විස්සකට ආසන්න පිරිසක් සිටියද ඒ අතරින් මිතුරකු යැයි කිවහැකි කිසිවකු නොවී ය. ඔවුන්ගෙන් බොහෝදෙනකු ජොන්ට වඩා වසර දෙකතුනකින් වැඩිමහලු වුවද ඒ කිසිවෙකුත් දහහතර හැවිරිදි රොබ්ගෙන් අඩක් තරම්වත් දක්ෂ සටන්කරුවන් නොවී ය. ඩේරියන් ක්ෂණික වුවද පහර වැදෙනවාට බිය ඇත්තෙකි, පිප් ඔහු ගේ අසිපත භාවිත කරන්නේ කිනිස්සක් පාවිච්චි කරන්නාක් ‍මෙනි, ජෙරන් කෙල්ලකු මෙන් දුර්වල ය, ග්‍රෙන් අලසයකු හා අදක්ෂයෙකි. හෝල්ඩර් ගේ පහරවල් මාරාන්තික දැඩි බවකින් යුක්ත වුවද ඔහුව පහසුවෙන්ම ඔබ ගේ ප්‍රහාරය තුළට කැඳවා ගත හැක. ඔවුන් සමග ගතකරන කාලය වැඩිවන්නට වැඩිවන්නට ජොන් ඔවුන්ව ගර්භා කරන ප්‍රමාණයද වැඩි විය.

ආයුධ ගබඩාව තුළට වැදුනු ජොන් තමා අවට සිටින්නන් නොතකා හැර සිය අසිපත හා කොපුව බිත්තියෙහි වූ කොක්කක එල්ලුවේ ය. ඉන්පසු ක්‍රමයෙන් සිය සන්නාහයත්, සම් ආවරණත්, දහදියෙන් පෙඟී ගිය ලොම් ආවරණයත් ඉවත් කලේ ය. දිගු ශාලාව දෙකෙලවරෙහිම ගිනි අඟුරුකබල් දෙකක් තබා තිබුනද ජොන් සීතලයෙන් වෙවුලන්නට විය. මෙහිදී සීතල නිරන්තරයෙන්ම ඔහු සමග විය. තවත් වසර කිහිපයක් ගතවන විට උණුසුම යනු කුමක්දැයි ඔහුට අමතක වනු ඇත.

ඔවුන් එදිනෙදා භාවිත කරන කළු පැහැ රළු ඇඳුම් ඇඳගනිද්දී ඔහුට හදිසියේම දැඩි විඩාවක් දැනින. එතැනම තිබුනු බංකුවක් මත අසුන් ගත් ඔහු වෙවුලන ඇඟිලිවලින් සිය කබාය ගැට ගසා ගත්තේ ය. ඔහුට වින්ටර්ෆෙල්හි උණුසුම් ශාලා, මිනිසකු ගේ සිරුරේ රුධිරය ගලන්නාක් මෙන් බිත්ති අතරින් උණු දිය දිවයන කාමර සිහියට නැගින. කළු බලකොටුවේ දී උණුසුම යනු අසීරුවෙන් සොයාගත යුත්තක් විය. එහි බිත්ති සීතල වූ අතර මිනිස්සු ඊටත් වඩා සීතල අයවලුන් වූහ.

නිශා රැකුම යනු මෙවැන්නක් බව කිසිම කෙනකු ඔහුට කියා දී නොතිබින. ටිරියන් ලැනිස්ටර් හැර අන් කිසිම කෙනකු ඒ බව ඔහුට කියා නැත. ඔවුන් උතුරට එන ගමනේදී කුරුමිට්ටා විසින් ඔහුට ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දී තිබින. නමුත් ඒ වන විට ඔහු පමා වූවා වැඩිය. ප්‍රාකාරයේ තත්ත්වය මෙබන්දක්යැයි සිය පියා දැන සිටියේදැයි ජොන් විමතියෙන් කල්පනා කරන්නට විය. ඔවු, ඔහු අනිවාර්යයෙන්ම දැන සිටින්නට ඇත. මේ සිතුවිල්ල ඔහු ගේ වේදනාව තවත් වැඩිකලේ ය.

මේ සීතල ලෝකාන්තයේ දී ඔහු ‍ගේ බාප්පා පවා ඔහුව අත හැර දමා තිබින. ඔහු දැන සිටි නිතරම සිනහ මුහුණින් පසුවන බෙන්ජින් ස්ටාර්ක් ‍වෙනුවට මේ උතු‍රේ දී වෙනත් පුද්ගලයකු පහල වී තිබින. ඔහු මුර සංචාරකයින් ගේ ප්‍රධානියා වූ අතර සිය දහවල් හා රාත්‍රී කාලයන් ගෙවා දැමූයේ ප්‍රධාන අණදෙන නිළධාරි මෝර්මන්ට්, මේස්ටර් ඒමන් හා අනෙකුත් උසස් නිළධාරීන් අතරේ ය. ඒ අතර ජොන්ව සෙර් ඇලිසන් තෝර්න් ගේ අකාරුණික භාරයට පත් කර තිබින.

ඔවුන් මෙහි පැමිණ දින තුනකට පසුව බෙන්ජින් ස්ටාර්ක් තවත් මිනිසුන් අඩ දුසිමක් සමග මුර සංචාරය පිණිස හොල්මන් කැලෑවට යන බව ජොන්ට දැනගන්නට ලැබින. ඒ රාත්‍රියේ කෑම කන ශාලාවේ දී සිය බාප්පා මුනගැසුනු ජොන් තමාවද මෙම ගමනට සහභාගි කරගන්නා මෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ ය. බෙන්ජින් එකහෙලාම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ ය. "මේ වින්ටර්ෆෙල් නෙවෙයි. ප්‍රාකාරයෙදි මිනිහෙකුට ලැබෙන්නෙ තමන් උපයාගත්ත දේ විතරයි. උඹ මුර සංචාරකයෙක් ‍නෙවෙයි ජොන්. කිසිම පළපුරුද්දක් නැති පොඩි කොල්ලෙක් විතරයි."

ජොන් තකතීරු අන්දමින් තවතවත් වාද කලේ ය. "ඊළඟ උපන්දිනේට මට පහළොවක් පිරෙනවා. මමත් දැන් වැඩුන මිනිහෙක්."

බෙන්ජින් ස්ටාර්ක් රවා බැලුවේ ය. "උඹ ‍කොල්ලෙක්. උඹලා නිශා රැකුමට බැඳෙන්ට තරම් සුදුසු මිනිස්සු කියලා සෙර් ඇලිසන් සහතික කරනකං උඹ කොල්ලෙක්. උඹේ ඇඟේ දුවන ස්ටාර්ක් ලේ නිසා ‍මෙහෙදි උඹට වාසි අත්පත් වෙයි කියලා හිතනවානං උඹට ලොකු වැරැදීමක් වෙලා. අපි අපේ ‍පොරොන්දුව දිවුරුවාට පස්සෙ අපේ පරණ පවුල් අත ඇරලා දානවා. උඹේ තාත්තා හැමදාමත් මගේ හදවතේ ඉන්නවා තමා, ඒත් මෙයාලා තමා දැන් මගේ සහෝදරයො." තමා වටා සිටින කළු පැහැ ඇඳුමින් සැරසුනු දැඩි, සීතල මිනිසුන් දෙස ඔහු ඇඟිල්ල දිගු කලේ ය.

ජොන් පසුදින හිමිදිරියෙන්ම පිබිදුනේ සිය බාප්පා පිටත්වනු දැකීමට ය. ඔහු ගේ සෙබළෙක් සිය කඳුකර අසුට සෑදල පළඳවන අතරේ ග්‍රාම්‍ය ගීයක් ගයමින් සිටියේ ය. බෙන් ස්ටාර්ක් එයට සිනාසුනු නමුදු සිය බෑනා වෙනුවෙන් සිනාවක් වෙන් වී නොතිබින. "මම උඹට කී වතාවක් කියන්ට ඕන ද ජොන්? අපි ‍මේ ගැන කතාකරමු මම ආපහු ආවට පස්සෙ."

බාප්පා පිටවීමේ උමග වෙතට සිය අසු මෙහෙයවන දෙස බලා සිටින අ‍තරේ උතුරට එන අතරමගදී ටිරියන් ලැනිස්ටර් විසින් රජමාවතේ දී පවසන ලද දේවල් ජොන්ට මතක් විය. හිම මත රතු පැහැ ලේ විලක් මැද මිය‍ගොස් සිටින සිය බාප්පා ගේ රූපය ඔහු ගේ සිතේ ඇඳින. ඒ සිතුවිල්ල නිසා ඔහුට තමා ගැනම දැඩි අපුලක් දැනෙන්නට විය. ඔහුට මේ කුමක් සිදුවී ද?

මඳ වේලාවකට පසු ඔහු සිය පාලු තනිකඩ කුටියේ දී ගෝස්ට්ව තුරුළු කරගෙන උගේ ඝනකම් සුදු පැහැ ලොම් අතරේ මුහුණ සඟවාගෙන සිටිනු දක්නට ලැබින.

ඔහුට තනිවන්නට සිදු වීම හැර වෙනත් විකල්පයක් නැතිනම් ඔහු තනිකම සිය සන්නාහය කරගනු ඇත. කළු බලකොටුව සතු දෙව්වනයක් නොවී ය. ඒ වෙනුවට කුඩා සප්තක දේවස්ථානයක් හා හැමවිටම බීමත්ව සිටින පූජකයෙක් පමණක් එහි සිටියේ ය. එනමුදු පැරණි හෝ නව හෝ දෙවිවරුන්ට යාඥා කිරීමට තම සිත නම්මා ගන්නට ජොන්ට නොහැකි විය. දෙවිවරුන් සැබැවින්ම සිටිත් නම් ඔවුන් ශීත කාලය තරම්ම ක්‍රෑර හා සමා නොදෙනසුළු යැයි ඔහු කල්පනා කලේ ය.

ඔහුට සිය සැබෑ සොහොයුරන් නැති පාළුව තදින්ම දැනුනි. පුංචි රිකන්, දීප්තිමත් දෑසින් යුතුව රසකැවිලි ඉල්ලා හඬාවැටෙන රිකන්. රොබ්, ඔහු ගේ ප්‍රතිවාදියා හා ඔහු ගේ ළඟම මිතුරා හා ඔහු ගේ අනවරත සගයා. බ්‍රැන්, මුරණ්ඩු, කුතුහලයෙන් පිරි, ඔහු හා රොබ් කරන කියන සෑම දෙයක්ම පසුපසින් එන, ඒ සෑම දෙයකටම සහභාගි වීමට උත්සාහ කරන බ්‍රැන්. ඔහුට ගැහැණු ළමයින් පවා මඟහැරී තිබුනි. සන්සා පවා, 'මගේ අර්ධ-සහෝදරයා" කියා මිස අන් කිසිදු අයුරකින් ඔහුව අමතන්නේ නැති සන්සා පවා. ආර්යා... ඔහුට වෙන කිසිවෙකුටත් වඩා ආර්යා නැති අඩුව තදින්ම දැනුනි. නිතරම දණහිසේ සීරීම් තුවාල ඇතිව, අවුල් වී ගිය කෙහෙරැල්ලෙන් යුතුව, ඉරී ගිය ඇඳුම්වලින් සැරසි සිටින පුංචි කෙසඟ කෙල්ල. සාහසික, තම හිතුමනාපය අනුව වැඩකරන ආර්යා. ආර්යා කිසිදු විටෙක තම පවුලට ගැලපෙන එකියක් නොවූවා ය. අඩුම තර‍මේ ජොන් තරම්වත්... එනමුදු ඇයට ඕනෑම විටෙක ජොන්ව සිනා ගැස්වීමේ හැකියාවක් තිබින. මේ මොහොතේ දී ඈ සමග සිටීමට, තව එක වරක් ඇගේ හිසකෙස් අවුල් කර ඈ මුහුණ ඇද කරන සැටි බලා සිටින්නට, ඇයත් සමග එකතුව වාක්‍යයක් අවසාන කරන්නට, මේ දේවල් වෙනුවෙන් තමා සතු ඕනෑම දෙයක් පුද දෙන්නට ඔහු සූදාණම් ය.

"උඹ මගෙ අත කැඩුවා අවජාතක කොල්ලො."

මේ හදිසි කටහඬ නිසා ‍ජොන් හිස ඔසවා බැලුවේ ය. ග්‍රෙන් රතු වී ගිය මුහුණින් යුතුව ඔහු අසල සිටගෙන සිටි අතර ඒ පසුපසින් ඔහු ගේ මිතුරන් තිදෙනෙක් වූහ. ටොඩර්, කොට අවලස්සන කොලුවකු වූ ඔහුට දැන් කවුරුත් අමතන්නේ ‍ටොඩ් කියා ය. අනෙක් දෙදෙනා යොරේන් සමග උතුරට පැමිණියවුන් බව ජොන්ට මතක් වුනි. අතැඟිලිවල සිට පැමිණි ස්ත්‍රී දූෂකයින් දෙදෙනා. ඔහුට ඔවුන් ‍ගේ නම් මතක නැති අතර අවශ්‍යම අවස්ථාවක දී හැර ඔවුන් සමග කතා කලේ වත් නැත. මේ සියළු දෙනාම ගෞරවය කියා දෙයක් ඇත්දැයි වත් නොදන්නා අමු තිරිසන් දාමරික‍යෝ වූහ.

ජොන් නැගිට සිටියේ ය. "උඹට ඕන නං මම අනිත් අතත් කඩලා දාන්නම්." ග්‍රෙන්ට වයස දහසයක් වූ අතර ජොන්ට වඩා අඩියක් පමණ උස් විය. ඔවුන් සිවුදෙනාම ඔහුට වඩා විශාල අයවලුන් වූ නමුදු ඔහුට බියක් නොදැනින. ඔහු මේ සියළුදෙනාවම සරඹ අංගනයේ දී පරදවා තිබින.

"සමහරවිට අපට උඹව කඩලා දාන්ටත් පුළුවන් වෙයි."

"උත්සාහ කරලා බලපං." ජොන් සිය අසිපත වෙත අත යැවූ නමුත් එකෙක් ඔහු ‍ගේ අතින් අල්ලා පිටුපසට කර ඇඹරවී ය.

"උඹ නිසා අපිව මහ මෝඩ විදියට පේන්නෙ." ‍ටොඩ් පැමිණිලි ක‍ලේ ය.

"මට උඹලව මුනගැහෙන්ටත් කලින් ඉඳලම උඹලා මහ මෝඩයො වගේ තමා පෙනු‍නෙ." ජොන් පිළිතුරු දුනි. ඔහුව අල්ලාගෙන සිටි කොල්ලා අත තවත් තදින් ඇඹරුවේ ය. වේදනාව සිරුර සිසාරා පැතිරගිය නමුත් ජොන් කෑ ගැසුවේ නැත.

‍ටොඩ් ඉදිරියට අඩියක් තැබී ය. "අපේ පුංචි උත්තමයට ලොකු කටක්නං ති‍‍යෙනවා. ඒ උ‍ඹේ අම්මගෙ කටද අවජාතකයො? මොකෙක්ද ඒකි? මොකෙක් හරි වේස ගෑනියෙක් ද? අපටත් කියහංකො ඒකිගෙ නම මොකක්ද කියලා. සමහරවිට මමත් ඒකි එක්ක නිදිවැදලා තියෙනවද දන්නෙ නෑ." ඔහු මහ හඬින් සිනාසුනි.

ආඳෙකු මෙන් ඇඹරුනු ජොන් ඔහුව අල්ලා‍ගෙන සිටි කොල්ලා ගේ පිටිපතුල මතට සිය විළු‍ඹෙන් දැඩි පහරක් එල්ල කලේ ය. වේදනාත්මක කෑ ගැසීමක් සමග ඔහු ‍ගේ ග්‍රහණය බුරුල් විය. ටොඩ් දෙසට පිනූ ජොන් බංකුවකුත් පෙරලාගෙන ඔහුත් සමග බිම ඇද වැටින. ටොඩ් ගේ පපුව උඩ නැග ඔහු ගේ ගෙල දෑතින් සිරකරගත් ජොන් ‍ටොඩ් ගේ හිස වැරෙන් පොළොවේ ගැසුවේ ය.

ඔහුගෙන් ‍ජොන්ව ඇදගත් අතැඟිලිවලින් පැමිණි කොල්ලන් දෙදෙනා ඔහුව බිම දමා ගැසී ය. ග්‍රෙන් ඔහුට පා පහර එල්ල කරන්නට පටන් ගති. මේ පහරවලින් වැලකීමට ජොන් රෝල් වී යද්දී ආයුධ ගබඩාවේ මඳ අන්ධකාරය සිසාරා ගැඹුරු කටහඬක් රැවු දුන්නේ ය. "ඕක නවත්තපියවු. දැන්මම."

ජොන් දෙපයින් නැගිට සිටගත්තේ ය‍. ඩොනල් නොයේ රවා ගත් දෑසින් යුතුව ඔවුන් දෙස බලා සිටියේ ය. "උඹලට සටන් කරන්ට ඕන නං එලියෙ අංගනය තියෙනවා." ආයුධ ගබඩාවේ භාරකරුවා ගිගිරුවේ ය. "උඹලගෙ රණ්ඩු ආයුධ ගබඩාවෙන් පිටදි විසඳගනිල්ලා. එහෙම නැත්තං මම ඒවා මගෙ රණ්ඩු කරගන්නවා. උඹලා ඒකට කැමැති වෙන එකක් නෑ."

බිම වාඩි වූ ටොඩ් සෙමින් සිය හිස පිටුපස පිරිමැද්දේ ය. ඔහු ගේ අතැඟිලිවල රුධිරය තැවරී තිබින. "මූ මාව මරන්ට හැදුවා."

"ඒක ඇත්ත. මාත් දැක්කා." තවත් කොල්ලෙක් සාක්කියට ඉදිරිපත් විය.

"ඌ මගෙ මැණික්කටුව කැඩුවා‍." ග්‍රෙන් කීවේ නොයේට පෙනෙන පරිදි අත ඔසවමිනි.

නොයේ ඒ ‍දෙස කෙටි බැල්මක් හෙලුවේ ය. "පොඩි තැල්මක් විතරයි. සමහරවිට ඇමැට්ටියක් වෙන්ට ඇති. මේස්ටර් ඒමන් ඕකට ගාන්ට බෙහෙතක් දෙයි. ඌත් එක්ක උඹත් පලයන් ටොඩර්. ඔළුවට බෙහෙත් ටිකක් දාගන්ට වෙයි. අනිත් එවුන් තම තමන්ගෙ කාමරවලට පලයල්ලා. නෑ, උඹ නෙවෙයි ස්නොව්‍. උඹ නැවතියං."

ජොන් ලී බංකුවේ අසුන් ගත්තේ අනිත් කොලුවන් පිටව යන අතර ඔහු දෙස හෙලූ බැලුම්, ඉදිරියේදී ඔහුට මුහුණ පෑමට සිදුවන විපාක පිළිබඳ ඉඟිකෙරුනු බැලුම් නොතකා හැරියේ ය. ඔහු ගේ අත ඇදුම් කමින් තිබින.

"බලකායට ඒකට බඳවගන්ට පුළුවන් හැම මිනිහම උවමනායි." ඔවුන් දෙදෙනා තනි වූ විට ඩොනල් නොයේ කතාව ආරම්භ කලේ ය. "ටොඩ් වගේ එවුන් පවා. ඌව මරලා දැම්මා කියලා උඹට කිසිම ගෞරවයක් අත්වෙන්නෙ නෑ."

ජොන් ගේ කේන්තිය දෙගොඩ තලා ගියේ ය. "ඌ කිවුවා මගේ අම්මා-"

"වේසි‍යෙක් කියලා. මම අහගෙන. ඉතින් මොකද?"

"එඩාර්ඩ් ස්ටාර්ක් උතුමානන් කියන්නෙ වේසියොත් එක්ක නිදාගන්න ජාතියෙ මිනිහෙක් නෙවෙයි. එයාගෙ ගෞරවය-"

"එයාව නැවැත්තුවෙ නෑ අවජාතකයෙක් බිහිකරන එකෙන්. එහෙම නේද?"

ජොන් ගේ ප්‍රකෝපය ඉහවහා ගියේ ය. "මට යන්ට පුලුවන් ද?"

"උඹට යන්ට පුලුවන් මම උඹට යන්ට කිවුවට පස්සෙ."

ජොන් ගිනිකබලෙන් නගින දුම් දෙස බුම්මාගත් මුහුණින් යුතුව බලා සිටියේ ය. නොයේ සිය මහත ඇඟිල්ලක් ඔහු ගේ නිකට යටින් තබා ඔහු ‍ගේ හිස එසෙවුවේ ය. "මම උඹට කතා කරනකොට මා දිහා බලපං කොල්ලො."

ආයුධ ගබඩාවේ භාරකරුවා පීප්පයක් මෙන් පුළුල් පපුවකින් හා ඊටම සරිලන තරම් උදරයකින් හෙබි දැවැන්ත මිනිසකු විය. ඔහු හැඳ සිටි කළු ලොම් කබා‍යේ වමත උරහිස අසලින් එකතුකර තිබුනේ දිගු අසිපතක හැඩය ගත් රජතමය කටුවක් මගිනි. "වචනවලට බෑ උඹේ අම්මව වේසියෙක් කරන්ට. එයා එයාමයි, ටොඩ් කියන කිසිම දේකට බෑ ඒක වෙනස් කරන්ට. උඹ දන්නවනෙ මේ ප්‍රාකාරෙ සේවය කරන සමහර මිනිස්සුන්ගෙ අම්මලා ඇත්තටම ගනිකාවො කියලා."

'මගේ අම්මා එහෙම නෙවෙයි', ජොන් මුරණ්ඩු අයුරින් සිතුවේ ය. ඔහු සිය මව පිළිබඳ කිසිදු තොරතුරක් දැන නොසිටියේ ය. එඩාර්ඩ් ස්ටාර්ක් කිසි විටෙකත් ඒ ගැන වදනකුදු කතා නොකලේ ය. එනමුදු ඔහු ඇය ගැන සිහින දකින්නට පුරුදුව සිටි අතර ඒ නිසාම ඇගේ මුහුණුවර ඔහු දැන සිටියාක් මෙනි. ඔහු ගේ සිහින තුළ දී ඇය සුන්දර කුලවත් කාන්තාවක් වූ අතර ඇයට කාරුණික දෑසක් හිමිව තිබින.

"ලොකු වංශාධිපතියෙක්ගෙ අවජාතකයෙක් වුනාම හරි අමාරුයි කියලා උඹ හිතනව ද?" නොයේ දිගටම කතා කලේ ය. "අර කොල්ලා ජෙරන්, පූජකයෙක්ගෙ අවජාතක‍යෙක්. එතකොට කොටර් පයික් කියන්නෙ තැබෑරුමක ගනිකාවකගෙ අවජාතක පුතෙක්. ඒත් දැන් එයා නැගෙනහිර බලකොටුවෙ අණ දෙන නිළධාරියා."

"මට ඒකෙන් වැඩක් නෑ." ජොන් කිවුවේ ය. "මට උංගෙන් වැඩකුත් නෑ, උඹෙන් වැඩකුත් නෑ, තෝර්න්ගෙන් වත් බෙන්ජින් ස්ටාර්ක්ගෙන් වත් වෙන මොකෙක්ගෙන් වත් වැඩක් නෑ. මට මෙතන එපා වෙලා තියෙන්නෙ. මෙතන හරිම... හරිම සීතලයි."

"ඔවු. සීතලයි, අමාරුයි, අධමයි. ඒ තමා ප්‍රාකාරෙ හැටි. ඒ තමා මෙතන ඉන්න මිනිස්සුන්ගෙ හැටි. ඒක උඹ පුංචි කාලෙ උඹේ ආයම්මා කියලා දුන්න කතන්දර වගේ නෙවෙයි. ඒ කතන්දර යකාට ගියාවෙ, උඹේ ආයම්මත් යකාට ගියාවෙ. මේ තමා මෙතැන හැටි. උඹත් අනිත් හැමෝම වගේ ජීවිත කාලෙම මෙතන ගෙවන්ටයි ඇවිල්ලා ඉන්නෙ."

"ජීවිතේම." ජොන් අමිහිරි ස්වරයෙන් පුනරුච්චාරනය කලේ ය. ඩොනල් නො‍යේට එසේ කතා කිරීම පහසු විය හැක. ඔහුට ජීවිතයක් තිබින. ඔහු ඒ ජීවිතය විඳ තිබින. ඔහු නිශා රැකුමට බැඳු‍නේ ස්ටෝර්ම් එන්ඩ්හි වටලෑමෙන් සිය අතක් අහිමි වී ගිය පසුව ය. ඊට පෙර ඔහු රජු ‍ගේ සොහොයුරා වන ස්ටැනිස් බරතියන් වෙනුවෙන් කම්මල්කරුවකු වශයෙන් සේවය කර තිබින. ඔහු රාජධානි සප්තකය පුරා, එක් කෙලවරක සිට අනික් කෙලවර දක්වා සංචාරය කර තිබින. ඔහු හොඳින් කා බී, ගැහැණුන් හා යහන් ගතවී, යුද්ධ සිය ගණනක සටන් වැදී ඇත. ප්‍රවාදවලට අනුව, ගංගා ත්‍රිශූලයේදී රේගාර් ටාර්ගේරියන් ගේ ජීවිතය උදුරාගත් රොබර්ට් රජතුමා ගේ යගදාව තැනුවේ ඩොනල් නොයේ විසිනි. ජොන්ට කිසිදා කල නොහැකි වන මේ සියල්ලක්ම නොයේ විසින් සිදු කර ඇත. මේ සියල්ලටම පසු, ඔහුට වයස තිස් ගණනක් වූ පසු, කෙටේරි පහරකින් සිය අත අහිමි වී ආබාධිතයකු වූ පසු ‍ඩොනල් නොයේ ප්‍රාකාරයේ සේවය පිණිස පැමිණියේ ය.

"ඔවු. ජීවිතේම." නො‍යේ කීවේ ය. "ඒක දිග ජීවිත කාලයක් ද නැත්තං කෙටි ජීවිත කාලයක් ද කියන එක තීරණය කරන්ට ඕන උඹයි ස්නොව්. පේන විදියට නං උඹ ඔය යන විදියට වැඩි කල් යන්ට කලින් උඹේ සහෝදරයෙක් එක රෑක උඹේ බෙල්ල කපලා දායි."

"උං මගේ සහෝදරයො නෙවෙයි." ජොන් කඩා පැන්නේ ය. "උං ම‍‍ට වෛර කරනවා මම උංට වඩා හොඳ හින්දා."

"නෑ. උං උඹට වෛර කරන්නෙ උඹ උංට වඩා හොඳයි කියලා උඹ පෙන්නන්ට යන හින්දා. උං උඹ දිහා බැලුවම උංට පේන්නෙ තමන් මහ ලොකු වංශාධිපතියෙක් කියලා හිතන් ඉන්න බලකොටුවක හැදුන වැඩුන අවජාතකයෙක් විතරයි." නොයේ ජොන්ට සමීප විය. "උඹ වංශාධිපතියෙක් නෙවෙයි. ඒක මතක තියාගනිං. උඹ ස්නොව් කෙනෙක්, ස්ටාර්ක් කෙනෙක් නෙවෙයි. උඹ අවජාතකයෙක්. උඹ දාමරිකයෙක්."


Tyrion Lannister: “There’s much to be said for taking people unawares. You never know what you might learn.”

49 comments:

  1. අදවත් කියවන්න බලන්න ඕන...

    ReplyDelete
    Replies
    1. නොකියවා කොමෙන්ටු කොටන්නෙ ආසාවට වෙන්ටැ...
      හිහි

      Delete
    2. එහෙම කරලා ගියාම මේල්වලට අනිත් අය කොමෙන්ට් කරපුවා එද්දි කියවන්න මතක් වෙනවා.. :D

      Delete
    3. නරි කුරුල්ලො කසිප්පු කුමාරයො සිංහලේඩීස්ල ආදීන්ගේ බහුසෘත කමෙන්ට්ස් හා වංශාදිපතීන්ගේ පිලිතුරු කියවන්නෙ නැතිව අපිට මෙතන කමෙන්ට් කරන්න අමාරුයි

      PoM , AWOL or MIA?

      Delete
    4. ASUI (Asleep under influence ) :P

      Delete
    5. හා හා ඊළඟ...

      @ Prince Pom Pom,

      ASUTB (ASleep Under The Bed) නෙවෙයි ද?

      Delete
    6. මේකතාව කියවන එකත් ( මම කාල නම් නැහැ අහල තියෙනවා ) අබිං කෑව වගේ , කියවනතුරු සිහියක් නැහැ :)

      Delete
    7. (AUSUI) asleep under the siriyahana under influence

      Delete
    8. ASUI - Asleep අණ්ඩ- ද influenza, නරිය ඩවුන්

      Delete
    9. නරියට එබෝලා ද..?

      Delete
    10. එබෝලා නෙමේ බීලා හී හී...නරියා ඉන්නේ අරිෂ්ටේ බී ගත්තු ගමන්...

      Delete
  2. එතකොට ජොන්ට හුළං... පව් අප්ප අසරණය...
    මං නං හිතුවෙම ජොන්ව ආ්‍යුධ ගබඩාවෙ නවත්ත ගද්දිම නොයේ බුවාට සොට් එක දෙයි කියල..
    බැලින්නං මෙලෝ රහක් නැති දෙශනයක් නෙව

    ReplyDelete
    Replies
    1. එහෙම තමා පොරොන්දු වෙනකොට කියන්නෙ අරක තියෙනවා මේක තියෙනවා, අරක ලැබෙයි මේක ලැබෙයි කියලා.. අන්තිමේදී හුළංවත් ලැබුනොත් ඒකත් ලොකු දෙයක්. :-)

      Delete
    2. හැබයි ඉතින් බෙන්ජින් ඔය කතන්දර කලින්ම කියුවා, මේ මී වස්සා ඕව ඇහුවේ නෑනේ. It hurts when fantasies come down on your head, especially the self made ones :D

      Delete
  3. මම නම් ඔය ප්‍රාකාරේ ගැන කියවන්ට හරි ආසයි. වෙන කොහෙදිවත් දැක්කේ නැති කතන්දරයක් නේ. පොඩි උදැල්ලක් දාන්ටද ?

    armorer = කම්මල්කරු නෙවෙයිද?
    (මතකනේ ඉතින් වලි නම් පේරාදෙණියේ පාලම උඩට එන්ටෝ)

    ReplyDelete
    Replies
    1. තරහ අවසර කුමාරයාණනි, හදන එකාටයි, ගබඩාකාරයයි දෙන්නටම armorer කියන්න පුලුවන් මන් හිතන්නෙ
      ඔබතුමාගෙ මාලිගාවෙ නැද්ද? එහෙ distillers, blenders and imbibers විතරද

      Delete

    2. Wiki-

      Historically, an armourer is a person who makes personal armour, especially plate armour. In modern terms, an armourer is a member of a military or police force who works in an armoury and maintains and repairs small arms and weapons systems, with some duties resembling those of a civilian gunsmith

      Delete
    3. //in modern terms an armourer ....//
      What part of the ASOIAF is MODERN to you ser sasquatch ?

      අනේ අපේ මාලිගාවේ අවි ආයුධ නෑනේ. හැමෝම බොහොම සතුටින් සූර්වෙලා ඉන්නේ. නෝ වලි හරි ජොලි.

      Delete
    4. @PoM,
      ASOIAF is a fantasy based very very loosely on historical facts in parts.
      So, as our Gospel, Bur, has divinely pronounced sometime ago (re. trivia), you always can't relate stuff in it to real things. Martin (and Bur) are unfathomable and therefore should be considered infallible ( a drawback in Fantasy as against HF)
      අර (now extinct) බස්සා කිව්ව එකපාරක් මට මේ මාටින් හා බුර් උත්තමයො ලියන දෙයක් කියවල කුරුතග්න වෙලා කටවහගෙන හිටපිය කියල

      Delete
    5. කම්මල්කරු = blacksmith නෙවෙයි ද?

      නොයේ ඉස්සර කම්මල්කාරයෙක්. ඒත් ඉතින් බලකායට ආවට පස්සෙ promotion එකක් ලැබෙන්ට ඇති. අනික ආයුධ ගබඩාව බාරව හිටියා කියලා නිකංම ඉන්නෙත් නැතුව ඇති නේද?

      // අනේ අපේ මාලිගාවේ අවි ආයුධ නෑනේ. හැමෝම බොහොම සතුටින් සූර්වෙලා ඉන්නේ. නෝ වලි හරි ජොලි. //

      එතකොට සතුරො පහරදෙන්ට ආවම මොකද කරන්නෙ? කසියා පීප්ප ටිකක් ප්‍රාකාරෙන් එළියට වීසි කරලා දොරට අගුළු දාගන්නවද?

      Delete
    6. @ මිනසාන් (හැමෝම කියන්ට ජැපනීස් එහෙමලු ඈ ) imbiber ජොබට අබර්තුවක් තියනවා. කැමති කෙනෙක් ඉදිරිපත් වෙන්ට.

      ඉසොපොයිල් නොකර අහන්ට බැරි ප්‍රශ්න එනවනේ මෙයාට ආයුධ භාරකරු කියපුවහම. කිංග්ස් ලෑන්ඩින් පැත්තේ ඉන්න ගොන් තඩියෙක් ගැන මම කියන්නේ ඔන්න. නො ඉස්පොයිලර්ස් ලු ඈ

      අනේ අපේ රාජ්‍ය කවුරුත් ආක්‍රමණය කරන්නේ නෑනේ. අපි ලොව පුරා ප්‍රධාන අවශ්‍යතාවක එකධිපත්‍ය පවත්වාගන ලු ඉන්නේ. බෝඩර් එක ක්‍රොස් කලොත් ආයේ නෝ ඇල්කොහොල්.

      Delete
    7. කින්ඩම් ඔෆ් මූන්ෂයින් වලට ඇටෑක් එකට සේනාවක් ආවොත් අපි අරිෂ්ට බැරල් එකකුයි කෝප්ප ටිකකුයි එලියෙ තියලා බලකො‍ටුවෙ දොර වහනව.

      එතකොට එන සතුරු සේනාව , නිකං ලැබිච්ච අරිෂ්ට ගහනවා: ඊට පස්සෙ උන්ට මතක නෑ මොකටද ආවෙ කියලා. සමහරු ගස් ගල් බදාගෙන අඬනවා. සමහරු පියාඹන්ට ගස් දිගේ බඩ ගානවා. ඉතිරි එව්වො උන්, උන් මරා ගන්නවා. යුද්දෙ නිකම්ම ඉවරයි.

      - සේර් හිවලානන්ද , මූන්ෂයින් යුධ උපදේශක

      Delete
    8. නරි එන්ට බැරිද අර imbiber ජොබට ?

      Delete
    9. ගොඩ කුමාරයා ඉන්නේ උදැල්ල දාන්ට බලාගෙන නේ? දැන් කොහාටද ඕක දාන්නේ? :P

      Delete
    10. උදැල්ලක් වත් දාන්ට එපැයි අෆ්ෆා.

      Delete
  4. බලකාය ඇතුලෙත් එහෙනම් ලාවට වගේ නවක වදය තියෙනවද කොහේද.. හෙහ්.. ජෝන්ට ලේසි වෙන එකක් නෑ.. දැන් එතකොට ටිරියන් ප්‍රාකාරෙට නැගලා ඒකට කරන්න ඕන කිවුව වැඩේ කලාද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මොනවත් මිදුනේ එහෙම නැතුව ඇති නේද ? :p

      Delete
    2. තාම ඒ වැඩේ කරන්ට වෙලාවක් හම්බ වුනේ නෑ මං හිතන්නෙ.. ;-)

      Delete
    3. මිදිලද දන්නේ නෑ ඒ ගැන සද්දයක් නැත්තේ... :D

      Delete
  5. වානේ පන්නරය ලබන හැටි... එහෙමයි මට පෙනෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. එසේය එසේය.. මේවා තමා පන්නරය..

      Delete
    2. සැර වැඩිද මන්දා පන්නරය.

      Delete
    3. වැලීරියන් වානේ පන්නරය තියන්නෙ නිකංම නෙවෙයි නෙව.. මන්තර සෑස්තරෙත් මුහු කරලා‍..

      Delete
    4. පන්නරය යනු කුමක්ද ශෙර් බූර්? :P

      Delete
  6. ඈත ඉඳලා තුවක්කු වලින් වෙඩි තියාගන්නවට වඩා, ලොකු චිත්ත ධෛර්යයක් අවශ්‍යයි, අතින් පයින් හරි, කඩුවෙන් හරි, මුහුණට මුහුණලා සටන් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තට ඒ කාලෙ සෙබළුන් කොච්චර නම් අමාරුකම්වලට මූන පෑවාද නේද? (අදට සාපේක්ෂව)

      Delete
    2. මම ඔය කතාවම අහල ඇති විචාරක තුමාගෙන්ම :D

      Delete
    3. මට හරි ආසයි විචාරක දාලා සටනක් මෙහෙයවන්ට :D

      Delete
  7. ජොන් හරි පව් අනේ , අර නොයේද කව්ද මිනිහගෙ කටට ගහන්න කවුරුත් නැද්ද .......

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව්! ඔච්චර දරුණු වෙන්ට එපා මෙයා...

      Delete
    2. අර වගේ දැවැන්ත මිනිස්සුන්ට ගහන්ට ඉතින් සින්හයෝම බහින්ට වෙයි ගේමට. කකුල් හතරේ උන් ලු ඈ

      Delete
    3. ඔයා ඔහොම අහිංසක වගේ හිටියට මාර සැරයිලු...:P

      Delete
    4. මිරිස් කන්ටත් බැරිලු හැබැයි :P

      Delete
  8. සති දෙකක් විතර බිසිවුනා... හරියටම පෝස්ට් හතක් මඟෑරිලා... කමෙන්ට්සුත් එක්ක කියවන්න ඕනේ හින්දා අද නයිටක් ගහන්න වෙනවා...ඒකෙත් ආතල් එකක් තියෙනවා හැබැයි...

    ReplyDelete
    Replies
    1. පොඩි ෂොට් එකක් දාන ගමන් කියවන එකයි තියෙන්නෙ‍..

      Delete
  9. මේ ලෝකේ බය නැතුව ඇත්ත කියන්නේ ටිරියන් ලැනිස්ටර් සහ ඩොනෙල් නොයේ විතරයි.

    and POM of course :P :P :P

    ReplyDelete
    Replies
    1. ප්‍රින්ස් පොම් පොම් ගෙ අරිෂ්ඨෙ දෙකක් නවාගත්තට පස්සෙ ඕන මිනිහෙක් ඇත්ත කියනවලු (කියැවෙනවලු).

      Delete
    2. අනේ පොම් පොම්....:P

      Delete
    3. ඇයි මම කියපු දේ වැරදිද?
      jon lived in a fantasy. Noye was a rude but truthful and more importantly necessary awakening for our young man with his head in the clouds.

      Delete