රජමාවත පෙනෙන මානයේ වූ කුඩා කඳුගැටයක් මුදුනේ, එල්ම් ගසක සෙවනැල්ල යට, අලුත කපාහෙලන ලද පයින් දැවයෙන් නිමවූ මැස්සක් වැනි දිගු මේසයක් මත රන්වන් මේස රෙද්දක් එලා තිබුනි. සිය මන්ඩපයට මඳක් ඔබ්බෙන් වූ මේ මේසයේ අසුන්ගත් ටයිවින් උතුමානන්, ඔහුගේ ප්‍රධාන නයිට්වරුන් හා ධජ දරන යටත් වංශාධිපතියන් හා එක්ව රාත්‍රි භෝජනය සප්පායම් වන්නට විය. උසැති කුන්තයක අමුනා තිබුනු ඔහුගේ රන් හා ලේ රත් පැහැ වංශ සලකුන උඩඟු ලෙසින් මඳ පවනේ වැනෙමින් තිබින.
ටිරියන් මේසයට වාඩි වන්නට පමා වී තිබුනි. දවස පුරාම සෑදලය මතට වී සිටීම නිසා ඔහු බෙහෙවින් විඩා වැටී නොරිස්සුම් බවකින් පෙලෙමින් සිටියේය. බකල ගසමින් කුඩා කඳු ගැටය නගිද්දී තමා කෙතරම් විකාරරූපිව අන්‍යයන්ට පෙනේද යන්න ඔහු හොඳාකාරවම දැන හුන්නේය. දවසේ හමුදා පෙලපාලිය අතිශයින්ම දිගු හා වෙහෙසකර එකක් විය. අද රෑ තමා නොසෑහෙන්නට මත්පැන් පානය කරනු ඇතැයි ඔහු කල්පනා කලේය. සන්ධ්‍යාව එළඹ තිබුනු අතර අවට පරිසරය දීප්තිමත් එළි විහිදුවන කනාමැදිරියන්ගෙන් පිරී පැවතින.
සේවකයෝ මේ වනවිට මස් පලංගාන් මේසයට ගෙනඑමින් සිටියහ. සම පුපුරා රන්වන් පැහැ වනතෙක් පැළහූ ඌරු පැටවුන් පස්දෙනෙක් ඔවුන් අතින් මේසයට වැඩියහ. මේ සෑම ඌරු පැටවකුගේම මුවේ එකිනෙකට වෙනස් පළතුරක් ඔබා තිබුනි. සුවඳ කෙතරම් ප්‍රනීත වී ද යත් ටිරියන්ගේ මුවට කෙල ඉනුවේය. "මට සමාවෙන්ට." සිය මාමා පසෙකින් බංකුව මත අසුන්ගන්නා අතරේ ඔහු කීවේය.
"මම හිතන්නෙ, සමහරවිට අපේ මැරිච්ච එවුන් වලලන එක උඹට බාරදුන්නා නම් හොඳයි කියලයි ටිරියන්." ටයිවින් උතුමානන් කීවේය. "උඹ කෑම මේසෙට එන තරමටම යුද්ධෙට එන්ටත් පරක්කු වුනොත් උඹ එන වෙලාව වෙනකොට යුද්ධෙ හමාර වෙලා තියෙයි."
"ආහ්! කිසිම සැකයක් නැහැ, ඔබ මට ඔය ගම්මු කීපදෙනෙක් හරි ඉතුරු කරයි තාත්තෙ. මහ ගොඩක් ඕන නැහැ. මම එච්චරම කෑදර නැහැ." සිය වයින් කුසලාණ පුරවාගත් ඔහු සේවකයෙකු විසින් ඌරාව කපන ආකාරය දෙස බලා සිටියේය. පිහියට යටින් රන්වන් පැහැ වූ සම පුපුරා ගිය අතර උණසුම් ඉස්ම හෙමිහිට පහළට රූටා ගියේය. ඒ වනාහි ටිරියන් කාලයකට පසු දුටු අලංකාරතම දර්ශනය විය.
"සෙර් ඇඩම්ගෙ ඔත්තුකාරයො කියනවා ස්ටාර්ක් හමුදාව ද්විත්ව බලකොටුවෙන් පහළට ඇවිල්ලලු." සේවකයකු විසින් සිය පිඟානට ඌරු මස් පෙත්තක් බෙදන අතරේ ඔහුගේ පියා නිවේදනය කලේය. "ෆ්‍රේ උතුමානන්ගෙ හමුදාවත් උන්ට එක්කහු වෙලා. උන් අපට වඩා දවසක දුරින් උතුරේ ඉන්නවා වෙන්ට ඕන."
"අයියෝ තාත්තෙ. මම මේ කෑම කන්ටයි හදන්නෙ."
"ස්ටාර්ක් කොල්ලාට මූන දෙන්ට යනවා කියලා හිතනකොට උඹේ පිරිමි ගතිය නැතිවෙලා යනවද ටිරියන්? උඹේ අයියා ජේමි නම් ඌත් එක්ක පොර අල්ලන එක ගැන හිතනකොටත් ආසාවෙන් උඩ පනියි."
"ඊට වඩා මම කැමැතියි අර ඌරු පැටියාත් එක්ක පොර අල්ලන්ට. රොබ් ස්ටාර්ක් ඒකෙන් බාගයක්වත් මොළකැටි නැහැ. අනික එයා කවදාවත් මෙච්චර සුවඳ ගැහැවුවෙත් නැහැ."
සැමවිටම පැඟිරි කරගත් මුහුණින් සිටින පක්ෂියකු වන ඔවුන්ගේ ගබඩා හා සැපයුම් භාර නිළධාරී ලෙෆර්ඩ් උතුමානන් ඉදිරියට නැඹුරු වීය. "මම හිතනවා ඔබේ ඔය අමනාපය ඔබේ අර ම්ලේච්ඡයන්ටත් බෝවෙලා නැහැයි කියලා. එහෙම වුනොත් අපේ ආයුධ ටික අපතේ ගියා වෙනවා."
"මගේ ම්ලේච්ඡයො ටික ඔබේ ආයුධ බොහොම හොඳට පාවිච්චි කරයි මගේ උතුමානනි." ටිරියන් පිළිතුරු දුන්නේය. උල්ෆ් විසින් කඳුකර මාර්ගයේ සිට කැඳවාගෙන ආ ඔහුගේ කඳුකර ගෝත්‍රිකයින් තුන්සිය දෙනාට ආයුධ හා සන්නාහ අවශ්‍යයැයි ටිරියන් විසින් කියා සිටි අවස්ථාවේ ලෙෆර්ඩ්ගේ මුහුණින් පලවූයේ හරියටම ඔහුගේ දියණියන් ගේ කන්‍යාභාවය මේ ගෝත්‍රිකයින් ගේ සතුට වෙනුවෙන් පුද දෙන්නට ඇසුවාක් මෙනි.
ලෙෆර්ඩ් උතුමානන් රැවුවේය. "මම අද දැක්කා අර ලොමින් වැහිච්ච යෝධයාව. අර කළු වානේවලින් හදාපු දෙපැත්ත කැපෙන යුද්ධ පොරෝ දෙකක්ම ඕනෙයි කියලා කියපු එකා."
"ෂග්ගා කැමැතියි අත් දෙකෙන්ම මරන්ට තියෙනවා නම්." ටිරියන් කීවේ ඔහු ඉදිරියෙන් සේවකයකු විසින් තැබූ දුම් දමන ඌරු මස් පලංගාන දෙස බලමිනි.
"ඌ තාමත් අර ලී පොරොවත් පිටේ එල්ලන් ඉන්නවා."
"ෂග්ගා කියන්නෙ පොරෝ දෙකකට වඩා පොරෝ තුනක් හොඳයි කියලයි." ලුණු කුඩු දීසියට මහපටැඟිල්ලත් දබරැඟිල්ලත් එබූ ටිරියන් සිය මස් පෙත්ත මත ලුණු අහුරක් ඉස්සේය.
සෙර් කෙවන් ඉදිරියට නැමුනේය. "අපට පොඩි අදහසක් ආවා ඔබයි ඔබේ ඔය ම්ලේච්ඡයො ටිකයි පෙරමුණු බල ඇණියට දාන්ට."
සෙර් කෙවන්ගේ මේ 'අදහස්' වනාහි සෑමවිටම ටයිවින් උතුමානන්ගේ සිතේ පිළිසිඳ ඉන්පසු සිය සොහොයුරා වෙත සපැමිණි ඒවා විය. පිහියෙන් කුඩා මස් කැබැල්ලක් කපාගත් ටිරියන් එය සිය මුව වෙත ගෙන ආවා පමණි. ඔහු වහා එය පහත් කලේය. "පෙරමුණු බලඇණිය?" ඔහු අවිශ්වාසයෙන් යුතුව ප්‍රතිරාව නැංවීය. එක්කෝ ඔහුගේ පියාණන් සිය කුරුමිටි පුත්‍රයාගේ හැකියාවන් කෙරෙහි අලුත් අන්දමේ ගෞරවයක් ඇති කරගත්තා විය යුතුය. එසේත් නැතහොත් සදහටම සිය කුරුමිටි පුත්‍රයාගෙන් වෙන්වන්නට අදහස් කරගෙන සිටිනවා විය යුතුය. පිළිතුර මේ දෙකෙන් කොයිකදැයි තමා දන්නා බව ටිරියන්ට වැටහී ගියේය.
"උන් බොහොම බිහිසුණුයි නෙ." සෙර් කෙවන් කීය.
"බිහිසුණුයි?" තමා ගිරවෙකු මෙන් තම මාමා කියන දේම නැවත කියන බව ටිරියන් තේරුම් ගත්තේ ය. ඔහුගේ පියා පරීක්ෂාවෙන් ඔහු දෙස බලමින්, ඔහු පවසන සැම වදනක්ම කිරා බලන බව ඔහුට වැටහුනි. "මම ඔබට කියන්නම් උන් කොච්චර බිහිසුණුද කියලා. ඊයෙ රෑ, මේ සොසේජ් එකක ප්‍රශ්නයක් නිසා චන්ද්‍ර සහෝදරයෙක් ගල් කපුටෙකුට පිහියෙන් ඇන්නා. ඉතින් අද අපි කඳවුර අටවද්දි ගල්කපුටො තුන්දෙනෙක් අර මිනිහාව අල්ලගෙන උගෙ උගුරු දණ්ඩ කපලා දැම්මා. සමහරවිට උන් හිතුවද දන්නෙ නැහැ අර සොසේජ් එක ආපහු එළියට ගන්ට. මට ඒක හරියටම කියන්ට බැහැ. බ්‍රොන් බොහොම අමාරුවෙන් නවත්තගත්තෙ ෂග්ගාට ඒ මැරිච්ච මිනිහගෙ පිරිමි ඇඟ කපන්ට නොදී. ඒක ලොකු වාසනාවක්. ඒ වුනත් උල්ෆ් ලේ මිල ඉල්ලනවා. කොනුයි ෂග්ගායි ඒක ප්‍රතික්ෂේප කරනවා."
"සොල්දාදුවන්ගෙ විනය හොඳ නැත්තම් ඒකෙ වැරැද්ද පැටවෙන්නෙ උන්ගෙ අණදෙන නිළධාරියාටයි." ටයිවින් උතුමානන් කීවේය.
ඔහුගේ සොහොයුරා ජේමි නම් සෑමවිටෙකම මිනිසුන් ඔහු පසුපස ගෙන්වා ගැනීමේ ආකර්ශනයකින් යුක්ත වූවකු විය. මිනිස්සු ඔහු වෙනුවෙන් දිවි පිදීමට වුව සූදානම් වූහ. එනමුදු ටිරියන්ට එවැනි කුසලතාවක් නොවීය. ඔහු මිල මුදල් ගෙවීමෙන් පක්ෂපාතිත්වය මිලදී ගත් අතර ඒ මිලදී ගත්තවුන් ගේ කීකරු බව වෙනුවෙන් බලකර සිටින්නට ඔහුට සිදුවිය. "මට වඩා ලොකු මිනිහෙකුට පුළුවන් වෙයි උන්ගෙ හිත්වලට බය කාවද්දන්ට. ඒකද ඔබ ඔය කියන්ට හදන්නෙ මගේ උතුමානනි?"
ටයිවින් ලැනිස්ටර් උතුමානන් සිය සොහොයුරා දෙසට හැරුනේය. "මගේ පුතාගෙ මිනිස්සු එයාගෙ අණට කීකරු වෙන්නෙ නැත්තම්, පෙරමුණු බලඇණිය කියන්නෙ එයාට ගැලපෙන තැනක් නෙවෙයි. එයාව පස්සට දැම්මොත් වඩා හොඳවෙයි මම හිතන්නෙ. එයාට බැරිය අපේ සැපයුම් තවලම් ආරක්ෂා කරන්ට."
"මට බොරුවට කරුනාව පෙන්නන්ට ඕන නැහැ තාත්තෙ." ඔහු කේන්තියෙන් කීවේය. "ඔබට බැරිනම් මට වෙන තැනක් දෙන්ට, මම ඔබේ පෙරමුණු බලඇණියට අණ දෙන්නම්."
ටයිවින් උතුමානන් සිය කුරුමිටි පුත්‍රයා දෙස නිරීක්ෂණාත්මක බැල්මක් හෙලුවේය. "මම කිවුවද අණදීමක් ගැන? උඹ සටන් කරන්නෙ සෙර් ග්‍රෙගර්ගෙ අණ යටතේ."
ඌරු මස් කැබැල්ලක් මුවට ලා ගත් ටිරියන් මොහොතක් එය සෙමින් සැපීය. එනමුදු ඊළඟ මොහොතේ කේන්තියෙන් කෙල ගසා එය බිමට විසිකර දැමීය. "මම හිතන්නෙ මට කොහෙත්ම බඩගිනි නැහැ." අදක්ෂ අයුරින් බංකුවෙන් බිමට බසිමින් ඔහු කීවේය. "මට සමාවෙන්ට මගේ උතුමනි."
හිස මඳක් ඇල කල ටයිවින් උතුමානන් ඔහුට යාමට අවසර ලබා දුන්නේය. ආපසු හැරුනු ටිරියන් ඉවතට ඇවිද යන්නට විය. කඳුගැටය පහළට බසිද්දී ඔහු පිටුපසින් එල්ල වී ඇති ඔවුන්ගේ දෑස් ඔහුට හැඟෙන්නට විය. ඔහු පසුපසින් කෑම මේසයෙන් මහත් සිනා හඬක් නැග එන්නට වූ නමුදු ටිරියන් ආපසු හැරී නොබැලුවේය. ඔවුන් සියල්ලෝම සිය ඌරු මස් කැබලි උගුරේ සිරවී මියයන්නේ නම් මැනවැයි ටිරියන් ප්‍රාර්ථනා කලේය.
* * *
සැඳෑඅඳුර දසත වෙලාගත්තේ ධජ සියල්ල අඳුරු කළු පැහැයකට හැරුනි. ලැනිස්ටර් යුධ කඳවුර ගංගාවත් රජමාවතත් අතර සැතැපුම් ගනනාවක් දුරට යනතෙක් විහිද පැවතින. දහස් ගණනක් වූ මිනිසුන්, අශ්වයින් හා ගස් අතරේ මිනිසකු අතරමං වීම පහසු දෙයක් විය. මේ මොහොතේ ටිරියන්ට ද ඒ දේම සිදු විය. ඔහු දැවැන්ත මන්ඩප දුසිමක් පමණද කඳවුරු ගිනිමැල සිය ගණනක් ද පසුකලේය. කූඩාරම් අතරේ පියෑඹු කනාමැදිරින් දිස්වූයේ ඔහු මෙන්ම වල්මත්ව ඉබාගාතේ යන තාරකාවන් මෙනි. හොඳ පදමට සුදුළූණු හා කුළුබඩු මුසු කල සොසේජ් බැදෙන සුවඳ ඔහුට දැනෙන්නට වූ අතර එයින් වූයේ ඔහුගේ හිස් උදරය තවතවත් ඇවිස්සීම පමණි. ඈත කොහේදෝ තැනක මිනිසුන් ගොරහැඩි හඬින් ග්‍රාම්‍ය ගීයක් ගයන'යුරු ඔහුට ඇසුනි. අඳුරු පැහැ සළුවකට යටින් මුළුමනින්ම නිරුවත්ව සිටි ගැහැණියක් කැකිරි පලමින් ඔහු පසුකොට දිවගියාය. ඈ පසුපසින් පන්නාගෙන පැමිණි බේබද්දා ගස්මුල්වල පය පැකිලී ඇද වැටිනි. මඳක් ඈතින් වූ කුඩා දිහපහරක් අසබඩ හෙලිධරයින් දෙදෙනෙක් එකිනෙකාට මුහුණ ලා කෙමෙන් තුනී වී යන ආළෝකය අතරේ සිය පහරවල් හා පහර වැළැකීම් පුහුණුවෙමින් සිටියෝය. ඔවුන්ගේ නිරුවත් පපු දහදියෙන් පෙඟී දිලිසුනි.
කිසිවෙක් ඔහු දෙස නොබැලීය. කිසිවෙක් ඔහු හා කතා නොකලේය. කිසිවෙක් ඔහු කෙරෙහි කිසිදු අවධානයක් නොයෙදවීය. විසිදහසක් වූ ලැනිස්ටර් පාක්ෂිකයින්ගෙන් සැදි දැවැන්ත හමුදාවක මධ්‍යයේ සිටියේ වුව ඔහු තනිවී සිටියේය.
* * *
අන්ධකාරය විනිවිද ෂග්ගාගේ සිනාහඬ ගිගුම් දෙනු ඇසුනු ඔහු ඒ හඬ පැමිණි දිශාව ඔස්සේ පියමැන්නේ ගල් කපුටන් ගේ කඳවුර වෙත පැමිණියේය. ඔහු දුටු කොරාට්ගේ පුතා කොන් ඒල් පිරි ගුරුලේත්තුවක් ඔසවා ඔහුට ආචාර කලේය. "ටිරියන් කොලුමිනිහා! වරෙන් වරෙන්. අපේ ගිනිමැලේ ගාවින් වාඩිවෙලා අපිත් එක්ක මස් කෑල්ලක් කාපන්. අපි ගොනෙක්ව පුච්චනවා."
"මට ඒ වග පේනවා කොරාට්ගෙ පුතා කොන්." කුඩා ගස්කඳක් තරම් වූ හරස් පොල්ලක ගැසූ දැවැන්ත රතු පැහැ මළසිරුර බුර බුරා නගින ගිනිජාලාවට ඉහළින් කරකැවෙමින් තිබින. ගල් කපුටන් දෙදෙනෙකු දෙපසින් හිඳ මේ මස් කුට්ටිය කරකවමින් පලහන අතරේ එයින් වැගිරුනු මේදය හා රුධිරය පහතින් වූ ගිනිදළු හා මුසුව ගියේය. "උඹලාට බොහොම ස්තූතියි! ගොනා පිච්චුනාම මට පණිවුඩයක් එවපන්කො. පෙනුන අයුරින් නම් යුද්ධාරම්භය වෙනතුරු වත් ඔහුට බලා සිටින්නට සිදුවන සැටියකි. ඔහු නොනැවතීම ඉදිරියට ගමන් කලේය.
මේ සෑම ගෝත්‍රයකටම ඊට වෙන්වූ ගිනිමැලයක් විය. කළු කණ් ඇත්තන් ගල් කපුටන් හා එක්ව අහර නොගත්තෝය. ගල් කපුටන් චන්ද්‍ර සොහොයුරන් හා එක්ව අහර නොගත්තෝය. කිසිදු ගෝත්‍රයක් පිළිස්සුනු මිනිසුන් හා එක්ව අහර නොගත්තෝය. ලෙෆර්ඩ් උතුමානන් වෙතින් ඔහු ඉල්ලාගත් චාම් කූඩාරම මේ ගිනිමැල හතර මැද්දේ එසැවී තිබුනි. බ්‍රොන් ඔහුගේ නව සේවකයින් හා එක්ව වයින් මල්ලක් හිස් කරමින් හුන්නේය. ටයිවින් උතුමානන් විසින් ඔහුගේ අවශ්‍යතා වෙනුවෙන් අස් ගොවුවකු හා සේවකයකු එවා තිබුනි. එමෙන්ම ඔහු වෙනුවෙන් සහචරයෙකු ලබාගන්නා මෙන් බලකර තිබුනි. මේ සියළුදෙන කුඩා ගිනිමැලයක නිවී යමින් තිබෙන ගිනිදළු අසබඩ අසුන්ගෙන සිටියහ. කෙසඟ, කළු පැහැ හිසකෙසැති තරුණියක් ද ඔවුන් සමග සිටියාය. ඇගේ වයස යාන්තමින් දහඅටක් පමණ වූවායැයි බැලූ බැල්මටම පෙනුනි. ටිරියන් මොහොතක් ඇගේ මුහුණ නිරීක්ෂණය කලේය. ඊළඟ මොහොතේ ඔහුගේ දෑසට ගිනිමැලයේ අළු අතර වූ මාළු ඇටකටු හසුවිනි. "උඹලා මොනවද කෑවෙ?"
"ට්‍රවුට් මයෙ උතුමානනි." ඔහුගේ නව අස් ගොවුවා පිළිතුරු දුනි. "බ්‍රොන් උංව ඇල්ලුවා."
'ට්‍රවුට්.' ඔහු සිතුවේය. 'ඌරු පැටවු. මගේ තාත්තව යකාටම ගියාදෙන්.' ඔහු දුක්මුසු අයුරින් මේ මාළු ඇටකටු දෙස බලා සිටින්නට විය. කුසගින්න නිසා ඔහුගේ උදරය පෙරලී එන්නාක් මෙන් දැනෙන්නට විය.
ඔහුගේ නව සහචරයා වූ, පොඩ්රික් පේය්න් නම් අමුතුම නමක් හිමි කොලු ගැටයා කියන්නට ආ කුමක් හෝ දෙයක් ගිලගත්තේ ය. මේ කොලුවා රජතුමාගේ අළුගෝසුවා වන සෙර් ඉලියන් පේය්න්ගේ දුරස්ථ ඤාතියකු විය... එමෙන්ම ඔහුද සෙර් ඉලියන් තරම්ම නිහඬ පුද්ගලයකු විය. එනමුදු මේ නිහඬ බව සෙර් ඉලියන්ට මෙන් දිවක් නොමැති නිසා සිදු වූවක් නොවීය. ඒ බව තහවුරු කරගන්නට ටිරියන් වරක් ඔහුට දිව දිගුකර පෙන්වන්නට යැයි කීවේය. "ආ ඇත්තටම ඒක දිවක් තමා." ඔහු එදා කීවේය. "උඹ දවසක ඉගෙනගනියි කොහොමද ඒක පාවිච්චි කරන්නෙ කියලා."
මේ මොහොතේදී කොලුවාගේ සිතේ ඇති දේ පිටතට ඇදගැනීම වෙනුවෙන් වෙහෙසෙන්නට තරම් ඉවසිල්ලක් ටිරියන් වෙත නොවීය. එමෙන්ම ඔහුගේ පියා විසින් සිය නොකැමැත්තෙන්ම මේ කොලුවා ඔහු වෙතට පැමිනවූයේ යම් කුරිරු විහිළුවක් වශයෙනැයි ඔහු සැකකලේය. එබැවින් ඔහු නැවත සිය අවධානය තරුණිය දෙසට යොමුකලේය. "මේ ඒකිද?" ඔහු බ්‍රොන්ගෙන් ඇසුවේය.
ඇය සුනම්‍ය අයුරින් නැගී සිට අඩි පහක් පමණ උස් වූ තමාට පහතින් සිටි ටිරියන් දෙස බැලුවාය. "එහෙමයි මයෙ උතුමානනි. ඔබතුමා සතුටුනං ඒකිටම පුළුවන් ඒකි ගැන කතා කරන්ට."
ඔහු හිස පසෙකට ඇලකලේය. "මම ටිරියන්. ලැනිස්ටර් වංශයේ. මිනිස්සු මට කතා කරන්නෙ පුංචි යකා කියලා."
"මගේ අම්මා මට නම තිබ්බෙ ෂේ කියලා. මිනිස්සු මට කතා කරන්නෙ... නිතරම වගේ."
බ්‍රොන් සිනාසුනේය. ටිරියන්ට ද සිනාගියේය. "උඹ අකැමැත්තක් නැත්තම් කූඩාරම ඇතුළට යමන් ෂේ." ඇයට ඇතුළුවීම පිණිස ඔහු කූඩාරමේ දොර පියල්ල එසැවීය. ඇතුළට වන් ඔහු ඉටිපන්දමක් දල්වනු වස් බිම දණ නමාගත්තේ ය.
සොල්දාදුවකු ගේ ජීවිතය වනාහි යම් යම් ප්‍රතිලාභ රහිත වූවක්ම නොවේ. ඔබ කොහේ කොතැන කඳවුරක් අටවාගත්ත ද ඒ සමගින් කඳවුරු පසුපස යන ගණිකාවෝ එතැනට ඇදී එන්නෝය. අද දවසේ ගමන නිමා වූ වහා ඔහු බ්‍රොන්ව පිටත්කර හැරියේ එවැනි ගණිකාවක් සොයාගෙන එනු පිණිස විය. "මම වඩා කැමැතියි ඒකි හොඳ තරුණ එකියක් නම්. හොඳ ලස්සන මූනක් තියෙනවා නම් තවත් හොඳයි. ඒකි මේ අවුරුද්ද ඇතුළෙ දවසක් හරි නාලා තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒකි නාලා නැත්තම් නාවලා ගනින්. ඒ වගේම මතක ඇතුව ඒකිට කියාපන් මම කවුද කියන එකත්, මම කොයි වගේ කෙනෙක්ද කියන එකත්." ඔහුගේ පෙර සේවකයා වූ ජයික් මේ පිළිබඳව සෑමවිටම එතරම් අවධානයක් නොදැක්වූවෙකු විය. ඔවුන් විසින් සතුට සපයන්නට නියමිත උතුමානන් වහන්සේ කවරාකාරයේ කෙනෙකුදැයි මුලින්ම දුටු වේලේ මේ සමහර කෙල්ලන්ගේ දෑසේ අමුතුම ආකාරයේ බැල්මක් හටගැනෙනු ටිරියන් නිරීක්ෂණය කොට තිබින... එමෙන්ම ඒ බැල්ම නැවත දකින්නට ටිරියන් ලැනිස්ටර් කොහෙත්ම සතුටු නොවීය.
දැල්වූ ඉටිපන්දම ඉහළට එසැවූ ඔහු තරුණිය නිරීක්ෂණය කරන්නට විය. බ්‍රොන් සෑහෙන සතුටුදායක රාජකාරියක් ඉටුකොට තිබුනි. ඇය කෙසඟ, මුව ඇසින් හා කුඩා සවිමත් පයෝධරයින්ගෙන් යුතු කෙල්ලක වූවාය. ඇගේ සිනහව තුළ ලැජ්ජාවක්, අහංකාර කමක් මෙන්ම නපුරු කමක් ද සැඟව තිබුනි. ටිරියන් මීට බෙහෙවින් කැමැති විය. "මම ගවුම ගලවන්ට ද මයෙ උතුමානනි?"
"ඒක ඒ වෙලාවට පුළුවන්. උඹ අවිවාහකයිද ෂේ?"
"ඔබතුමා සතුටුනම් මයෙ උතුමානනි." ඇය බොරු ලැජ්ජාවකින් මෙන් පිළිතුරු දුන්නාය.
"මම සතුටු වෙන්නෙ උඹෙන් ඇත්ත කියැවුනොත් තමා කෙල්ලෙ."
"එහෙමයි. ඒ වුනත් එතකොට ඔබට ගාස්තුව දෙගුණයක් ගෙවන්ට වෙයි."
ඔවුන් දෙදෙන නියමෙටම පෑහෙතැයි ටිරියන්ට සිතුනි. "මම ලැනිස්ටර් කෙනෙක්. මගේ ගාව ඇති පදම් රත්තරන් තියෙනවා. ඒ වගේම උඹ තේරුම් ගනියි මම කරුනාවන්තයි, තෑගිවන්තයි කියලා... ඒ වුනත් උඹෙ ඔය කකුල් දෙක මැද්දෙ තියෙන එකට වඩා දේවල් මම උඹෙන් බලාපොරොත්තු වෙනවා. ඇත්ත මට ඒකත් ඕන තමා. උඹ මගෙත් එක්ක මගේ කූඩාරමේම ජීවත් වෙයි. මගේ කුසලාණට වයින් පුරවයි. මම විහිළු කරනකොට හිනාවෙයි. දවස අහවර වුනාම මගේ කකුල් කෙඩෙත්තුව යනකම් මගේ කකුල් දෙක අතගායි... ඒ වගේම, මම උඹව දවසක් තියාගත්තත්, අවුරුද්දක් තියාගත්තත්, ඒක කොච්චර කාලයක් වුනත් අපි දෙන්නා එකට ඉන්න ඒ කාලෙ ඇතුළත උඹ වෙන මිනිහෙක් ඇඳට ගන්ට බෑ."
"හරි. සාධාරණයි." පහතට නැමුනු ඇය දළ හණ රෙද්දෙන් කල සිය ගවොමේ වාටිය දෑතින් අල්ලා එක් සුනම්‍ය සෙලැවීමකින් එය ඉහළට ඇද හිසෙන් පන්නා ගලවා දැමුවාය. මේ ගවොමට යටින් නිරුවත් ෂේ හැර අන් යමක් නොවීය. "මයෙ උතුමානන් ඔය ඉටිපන්දම පැත්තකින් තිබ්බෙ නැත්තං එතුමා එතුමාගෙ ඇඟිලි ටික පුච්චගනියි."
ඉටිපන්දම පසෙකින් තැබූ ටිරියන් ඇගේ අතින් අල්ලා මුදු අන්දමින් ඇයව තමා වෙත ඇදගත්තේ ය. පහතට නැමුනු ඇය ඔහුගේ දෙතොල් සිපගත්තා ය. ඇගේ මුවින් මීපැණි හා කරාබුනැටි රසක් වහනය විය. ඇගේ දක්ෂ, සුනම්‍ය, පලපුරුදු අතැඟිලි විසින් ඔහුගේ ඇඳුමේ ගාංචු ගලවා දැමින.
ඔහු ඈ තුළට ප්‍රවිශ්ට වද්දී ඇය ආදරණීය කෙඳිරුමකින් හා සිහින් සතුටුදායක වෙවුලීමකින් ඔහුව පිළිගත්තා ය. ඇගේ මේ සතුට බොරු මවා පෙන්වීමක් බවට ටිරියන් සැකකලේය. එනමුදු ඇය එය කෙතරම් හොඳින් සිදුකලේද යත් ඒ ගැන සිතා වදවීම අවශය නොවීය. ටිරියන්ට එතරම්ම ගැඹුරට සත්‍යය සොයා කිමිදෙන්නට කොහෙත්ම අවශ්‍යතාවක් නොවීය.
* * *
සතුට ලැබීමෙන් පසුව ඇය ඔහුගේ දෝතට මැදිව නිදා සිටියදී තමාට ඇයව උවමනා කර තිබුනු බව ඔහුට තේරුම් ගියේය. ඔහුට ඇය හෝ ඈ වැනි කෙනෙකු තදින්ම උවමනා වී තිබුනි. ඔහු අවසන් වරට මෙලෙස ගැහැණියක හා රැයක් පහන් කොට මේ වනවිට වසරකට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබුනි. ඒ ඔහු රොබර්ට් රජතුමා හා සිය සොහොයුරාත් සමග වින්ටර්ෆෙල් බලා පිටව ගිය කාලයේ විය. සමහරවිට ඔහු හෙට හෝ අනිද්දා හෝ යුද්ධයෙන් මිය යනු ඇත. එසේ වුවහොත් ඔහු මිනීවලට ගෙන යන්නේ සිය පියා ගැන මතකය හෝ ලයිසා ඒරින් ගැන මතකය හෝ කැට්ලින් ස්ටාර්ක් ගැන මතකය හෝ නොව ෂේ ගැන මතකය වනු ඇත.
සිය බාහුවට තද වී තිබුනු ඇගේ පයෝධරවල මෘදු බව ඔහුට දැනුනි. එය සතුටුදායක හැඟීමක් හා දැනීමක් විය. ඔහුගේ සිතට ගීයක මතකය ගලා එන්නට විය. ඔහු සිහින්, මෘදු හඬින් සියුරුහඬ ලන්නට වූයේය.
"ඒ මොකක්ද මයෙ උතුමානනි?" ෂේ මිමිනුවාය.
"මොකුත් නෑ කෙල්ලෙ. මම පුංචි කාලෙ ඉගෙනගත්තු සින්දුවක්. එච්චරයි. උඹ නිදාගනින් වස්තුවෙ."
ඇගේ දෑස් පියැවී ගොස් ඇගේ හුස්ම ගැඹුරු හා ඒකාකාරී වූ පසු ඔහු හෙමිහිට ඇයට නොදැනෙන සේ, ඇගේ නින්දට බාධා නොවන සේ ඇගේ ග්‍රහණයෙන් මිදුනේය. ඉන්පසු දණගාමින් මෙන් කූඩාරමෙන් පිටතට ඇදුනු ඔහු සිය සහචරයා ගේ සිරුරට උඩින් පැන මුත්‍රා කරනු වස් කූඩාරම වටා එහි පිටුපස වූ ගස් අතරට පිය මැන්නේය.
ඔවුන් විසින් සිය අසුන් ගැටගැසූ ස්ථානයට යාබද චෙස්නට් ගසක් යට බ්‍රොන් දෙපා හරස් කර වාඩි වී සිටියේය. ඔහු මුළුමනින්ම අවදිව තෙල් ගලකින් සිය අසිපත මුවහත් කරමින් සිටියේය. මේ කුලී හේවායා අනිකුත් මිනිසුන් මෙන් නිදාගැනීම පිළිබඳ එතරම් සිත යොමන කෙනෙකු නොවීය.
"උඹ කොහෙන්ද ඒකිව හොයාගත්තෙ?" මුත්‍රා කරන අතරතුර ටිරියන් ඔහුගෙන් විමසීය.
"මම ඒකිව නයිට් කෙනෙක්ගෙන් උදුරගත්තා. ඒ යකා මේකිව දෙන්ට කොහෙත්ම කැමැති වුනේ නෑ. ඒ වුනත් උඹේ නම කිවුවහම ඌ හිත වෙනස් කරගත්තා... ඒකයි ඒ එක්කම උගේ බෙල්ලට තදවෙලා තිබ්බ මගේ කිනිස්සයි නිසා."
"නියමයි." ටිරියන් වියළි ස්වරයෙන් කීවේය. "මතක විදියට මම උඹට කිවුවේ මට කෙල්ලෙක් හොයන් වරෙන් කියලා විතරයි. මට අලුතෙන් හතුරො හදන්ටයි කියලා නෙවෙයි."
"ලස්සන එවුන් ඔක්කොම අරන් නෙ. උඹට දත් හැලිච්ච නාකිච්චියෙක් ඕන නම් මම මේකිව ආපහු අරන් යන්නම්."
ඔහු අසුන්ගෙන සිටි ස්ථානයට ටිරියන් බකල ගසමින් පියමැන්නේය. "මගේ තාත්තානම් ඕකට කියයි අහංකාරකම කියලා. උඹේ නොහික්මුන කමට දඬුවමක් විදියට උඹව පතල්වල වැඩට යවයි."
"උඹ උඹේ තාත්තා නොවිච්ච එක හොඳට ගියා. මම දැක්කා නාහෙ පුරාම බිබිළි නැගිච්ච එකියක්. උඹ ඒකිට කැමැතිද?"
"මොකක්? එහෙම කරලා මම උඹේ හදවත බිඳලා දාන්ටද?" ටිරියන් පෙරලා සමච්චල් කලේය. "මම ෂේව තියාගන්නම්. උඹ ඒකිව උදුරගත්තු නයිට්ගෙ නම මතක තියාගත්ත ද? යුද්ධෙ වෙලාවෙදි ඌව මගේ පැත්තකින් තියානොගෙන ඉන්ට මම කැමැතියි."
බ්‍රොන් බළලෙකු මෙන් සුනම්‍යව බළලෙකු මෙන් ක්ෂණිකව නැගිට සිටියේය. ඔහු මිටින් ගත් අසිපත එහා මෙහා පෙරලුවේය. "යුද්ධෙ වෙලාවෙදි මම උඹේ පැත්තකින් ඉඳියි කුරුමිට්ටො."
ටිරියන් හිස වැනීය. රාත්‍රී සුළඟ ඔහුගේ නිරුවත් සම මත උණුසුම්ව දැවටුනේය. "මාව මේ යුද්ධෙදි පරිස්සමින් බලාගනින්. එතකොට උඹට කැමැති තෑග්ගක් මගෙන් ඉල්ලගන්ට පුළුවන් වෙයි."
දිගු අසිපත දකුණතින් වමතට මාරු කල බ්‍රොන් හරස් කැපුමක් අත්හදා බැලීය. "උඹ වගේ එකෙක්ව මරලා දාන්ට කාටද ඕනවෙන්නෙ?"
"මගේ තාත්තා. එයින් එක්කෙනෙක්. එයා මාව පෙරමුණු බලඇණියට දැම්මා."
"මම එයානං මමත් ඒ දේමයි කරන්නෙ. ලොකු පලිහක් ගත්තු පුංචි මිනිහෙක්. උඹ නිසා දුනුවායින්ට ඔළුව කැක්කුම හැදෙයි."
"මට හිතෙන්නෙ හරියට උඹ මට ප්‍රශංසා කරනවා, මට ඔල්වරසන් දෙනවා වගේ. මට පිස්සුද මන්දා."
බ්‍රොන් අසිපත කොපුවේ ලෑවේය. "ඒ ගැන කිසිම සැකයක් නෑ"
ටිරියන් නැවත සිය කූඩාරමට ඇතුළු වූ විට ෂේ සිය වැලමිට මතින් එසැවී නිදිමතයේම මිමිනුවාය. "මම නැගිටලා බලද්දි මයෙ උතුමානන් යන්ට ගිහිං."
"මයෙ උතුමානන් ඔන්න ආපහු ආවා." ඔහු ඇය පසෙකින් වැතිරුනේය.
ඔහුගේ බකල කකුල් අතරින් ගිය ඇගේ දෑත් ඔහුගේ රහසඟ පිරිමැද්දේය. "ඔවු මෙන්න එතුමා ඇවිල්ලා." ඇය ඔහුව පිරිමදිමින් කෙඳිරුවාය.
බ්‍රොන් විසින් ඇයව උදුරාගත් ඒ නයිට්වරයා පිළිබඳ ඔහු ඇගෙන් විමසීය. යම්කිසි පහත් මට්ටමේ වංශාධිපතියකු ගේ නයිට්වරයකු ගේ නමක් පිළිතුරු වශයෙන් ලැබුනි. "ඔබතුමා එයාට බය වෙන්ට ඕන නෑ මයෙ උතුමානනි." තරුණියගේ අතැඟිලි ඔහුගේ දෙපා අතර කඩිසරව වැඩකරමින් තිබින. "එයා බොහොම පුංචි මිනිහෙක්."
"එතකොට මම කවුද බොලේ? යෝධයෙක් ද?"
"අපොයි ඔවු." ඇය පුරුපුරු ගෑවාය. "මගේ ලැනිස්ටර් යෝධයා." ඊළඟ මොහොතේ ඇය ඔහුගේ සිරුර මත නැගගත් අතර ටික මොහොතක් යන තෙක් තමා සැබෑවටම යෝධයෙකු යැයි ඔහුට විශ්වාස කරන්නට සැලැස්වූවාය. ටිරියන් සිනාසෙමින් නින්දට වන්නේය...
Bronn: “Always follow a big man into battle.”
Tyrion: “And why is that?”
Bronn: “They make such splendid targets. they’ll draw the eyes of every bowman on the field.”