Friday 28 November 2014

බ්‍රැන් 05-2

ඕෂා

"ඔබලාට සුබ දවසක් වේවා!" බ්‍රැන් නොසන්සුන් සිතින් කීය‍. මේ වනයේ මුර සංචාරකයින් හෝ ගොවීන් හෝ නොවන බව දැනගැනීමට ඔහුට එකම එක බැල්මක් ප්‍රමාණවත් විය. තමා කෙතරම් වටිනා ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටින්නේදැයි ඔහුට හදිසියේම වැටහී ගියේය. ඔහු ගේ පිටකබාය රිදී පැහැ බොත්තම් ඇල්ලූ, අඳුරු අළු පැහැ ලොමින් නිමවුනු අලුත්ම එකක් විය. වාටිය ලොමින් සැරසූ ඔහු ගේ ඝනකම් සළුව බරැති රිදී හාරිච්චියකින් උරහිස අසලදී එක්කොට තිබින. ඔහු ගේ බූට්ස් සපත්තු හා අත්වැසුම් පවා ලොම්වලින් වැඩ දමා තිබින.

"උඹ තනියෙම්ම නේද?" පිරිසේ වූ දැවැන්තයා ඇසීය. ඔහු අවුවැසිවලින් බැට කෑ මුහුණක් ඇති තට්ට හිසැත්තෙකු විය. "වෘක වනාන්තරේ අතරමං වෙලා. අසරණ දරුවා."

"මම අතරමං වෙලා නෑ." මේ ආගන්තුකයින් තමා දෙස බලන ආකාරය ගැන බ්‍රැන් කැමැත්තක් නොදැක්වීය. පිරි‍සේ සිවුදෙනෙකු සිටි අතර හිස හරවා බලද්දී තමා පිටුපසින් සිටගෙන සිටින තවත් දෙදෙනකු බ්‍රැන් දුටුවේය. "මගේ අයියා පොඩ්ඩකට කලින් ටිකක් එළියට ගියා. මගේ ආරක්ෂක සෙබළු දැන් මෙතනට එනවා ඇති."

"උඹේ ආරක්ෂක සෙබළු ඒ." තවත් මිනිසකු කීය. ඔහු ගේ වෑරුනු මුහුණ අඳුරු රැවුල් කොටයෙන් වැසී තිබින. "ඉතින්, උං මොනාද ආරක්ෂා කරන්නෙ මගේ පුංචි උතුමානනි? උඹේ සළුවෙ ඔය ගහලා තියෙන්නෙ රිදී හාරිච්චියක්ද?"

"ඒක හරිම ලස්සනයි." ගැහැණු කටහඬක් කීය. ඇය ගැහැණියක මෙන් හඳුනාගැනීම අසීරු කරුණක් විය. උස, කෙට්ටු මේ ගැහැණියට අන් අයට මෙන්ම අවුවැසිවලින් බැට කෑ දැඩි මුහුණක් තිබූ අතර ඇගේ දිගු හිසකෙස් අඩ ශිරස්කයක් යට සැඟවී තිබින. ඇය අත දරා සිටි හෙල්ලය අඩි අටක් දිගැති ඕක් ලීයෙන් නිමැවී තිබුනු අතර මල කෑ යකඩ තලයකින් සමන්විත විය.

"අපි පොඩ්ඩක් බලමු." දැවැන්තයා කීය.

බ්‍රැන් වියවුල් සිතින් ඔහු දෙස බලා සිටියේය. මේ මිනිසා පැළැඳ සිටි කඩමාලු වූ ඇඳුම් අන්තයටම දිරා ගොස් තිබින. එහි තැනින් තැන විවිධ වර්ණයෙන් අණ්ඩ දමා තිබුන ද, පැහැය සම්පූර්ණයෙන්ම මෙන් වියැකී ගොස් තිබුන ද  එය එක් කලෙක කළු පැහැයෙන් තිබූ බැව් සිතාගත හැකි විය. අඳුරු රැවුල් කොටයෙන් මුහුණ වැසුනු මිනිසාද එවැනිම පාට වියැකී ගිය කළු පැහැ ඇඳුමක් හැඳ සිටින බැව් ඔහුට පෙනී ගියේය. ඔවුන්ට වෘක පැටවුන් හමුවුනු දිනයේ සිය පියා අතින් හිස්ගැසුම් කෑ මිනිසා බ්‍රැන්ට හදිසියේම සිහිපත් විය. ඔහු හැඳ සිටියේද කළු පැහැ ඇඳුමකි. ඔහු නිශා රැකුමෙන් පළා යන්නෙකු බැව් පියා ඔහුට කියා දී තිබින. 'වෙන කිසිම මිනිහෙක් ඌ තරම් භයානක නෑ' සිය පියා පවසනු ඔහුට මතක් විය. 'පැනලා යන එකා දන්නවා ආපහු අහුවුනොත් මිනිහගෙ ජීවිතේ එතනින් ඉවරයි කියලා. ඒ නිසා ඌ අහු නොවී ඉන්ට ඕනම අපරාධයක් කරන්ට ලෑස්තියි.'

"හාරිච්චිය දියං කොල්ලො." දැවැන්තයා අත පෑවේය.

"අපි අස්සයත් ගන්නවා." තවකෙක් කීය. ඇය මහත මුහුණකින් හා කහ පැහැ කෙස් කළඹකින් හෙබි මිටි ගැහැණියක වූවාය. "බිමට බැහැපං. ඉක්මන් කරපං." ඇය සිය කමිස අත අස්සෙන් පිහියක් ඇදගත්තා ය.

"නෑ." බ්‍රැන් කීවේය. "මට බෑ."

ඩාන්සර්ව හරවාගෙන මෙතැනින් පලායාමට බ්‍රැන් සිතන්නටත් මත්තෙන් අත දිගුකල දැවැන්තයා අසු ගේ කටකලියාවෙන් අල්ලාගත්තේ ය‍. 'උඹට පුළුවන් පුංචි උතුමානනි.. උඹ ඒක කරයි‍. උඹ දන්නවානං මොකක්ද දැන් කරන්ට ඕන හොඳම දේ කියලා."

"ස්ටිව්, බලපං ඌව පටිවලින් ගැටගහලා තියෙන විදිය." උස ගැහැණිය සිය හෙල්ල දිගු කර පෙන්නුවා ය. "සමහරවිට ඌ කියන්නෙ ඇත්ත වෙන්ට ඇති."

"පටි ඒ." ස්ටිව් කීය. ඔහු සිය ඉණපටියෙන් සිරියක් ඇදගත්තේ ය. "පටි ගැන වගබලාගන්ට ක්‍රම තියෙනවා."

"උඹ මොකෙක් හරි අබ්බගාතයෙක් ද?" මිටි ගැහැණිය ඇසුවා ය.

බ්‍රැන් ගේ මුහුණ කේන්තියෙන් රතු වී ගියේය. "මම වින්ටර්ෆෙල්වල බ්‍රැන්ඩන් ස්ටාර්ක්. මගේ අශ්වයාව අත ඇරපං. නැත්තං තොපි ඔක්කොටම මැරුම් කන්ට වෙයි."

අඳුරු පැහැ රැවුලින් යුතු මිනිසා සිනාසු‍නේ ය. "ඒක ඇත්ත. මේ කොල්ලා ස්ටාර්ක් කෙනෙක් තමා. සාමාන්‍ය සිහිමො‍ළේ තියෙන මිනිස්සු ජීවිතදානය ඉල්ලලා බැගෑපත් වෙන මේ වගේ වෙලාවලදි මෙහෙම වහසිබස් දොඩවන්නෙ ස්ටාර්ක්ලා වගේ මෝඩයොම තමා."

"උගෙ පුංචි *** කපලා ක‍ටේ ඔබහං." මිටි ගැහැණිය කීවාය. "එතකොට උගෙ කට වැහෙයි."

"උඹ කැතයි වගේම මහ මෝඩයි හාලි." උස ගැහැණිය කීවාය‍. "මේ කොල්ලා මැරුනොත් කිසිම වටිනාකමක් නෑ. පණපිටින් ඉන්දැද්දියි වටින්නෙ... දෙයියම්පා! පොඩ්ඩක් හිතපං, බෙන්ජින් ස්ටාර්ක්ගෙ ලේ නෑයෙක් ප්‍රාණ ඇපකාරයෙක් විදියට තියාගන්ට තිබ්බොත් මැන්ස් මොනවා නොදී ඉඳියි ද?"

"මැන්ස් යකාට ගියාවෙ." දැවැන්තයා අවලාද නැගුවේය. "උඹට ආයෙමත් එහාට යන්ට ඕනද ඕෂා? උඹ ඒකිට වඩා ලොකු මෝඩියෙක්‍. උඹ ගාව ප්‍රාණ ඇපකාරයෙක් ඉන්නවා කියලා 'අනික් එවුං' උඹව නොමරා ඉඳියිද?" නැවත හැරුනු ඔහු බ්‍රැන් ගේ කළවා හරහා බැඳ තිබුනු සම් පටිය හරහා පිහිය ඇද්දේ ය. පටිය සැනෙන් දෙකඩ විය.

පිහිපහර ඉක්මන් හා සැහැල්ලු එකක් වූ අතර මස යටට කැපී ගියේය. පහත බැලූ බ්‍රැන් සිය ලොම් කලිසම කැපුනු තැනින් සම නිරාවරණය වී ඇති සැටි දුටුවේය. ඊළඟ මොහොතේ එතැන රුධිරය පිරෙන්නට පටන් ගති. රතු පැල්ලම පැතිරී යද්දී, ඔහු ගේ හිසේ ක්ලාන්ත ගතියක් ඇතිවූ නමුදු තුවාලයේ කිසිදු වේදනාවක් හෝ හැඟීමක් නොවීය. දැවැන්තයා විමතියෙන් මෙන් උගුරෙන් හඬක් නැගීය.

"දැන් උඹලගෙ ආයුධ බිම දාපල්ලා. මම පොරොන්දු වෙනවා හැමෝටම ඉක්මන්, වේදනා දැනෙන්නැති මරණයක්." රොබ් ගේ හඬ ඇසින.

බ්‍රැන් බලාපොරොත්තු පිරුනු දෑසින් එදෙස බැලීය. රොබ් ගංඉවුරේ සිටගෙන සිටියේය. ඔහු ගේ ස්වරයේ තිබුනු ආතතිය නිසා ඒ වදන්වල තිබුනු සැහැසිබව අඩු වී ගොස් තිබින. අසු පිට නැග සිටි ඔහුට පිටුපසින් අසු මත එල්ක් මුවකු ගේ මළකඳක් විය. ඔහු ගේ සුරතේ අසිපත ලෙලදුනි.

"උගෙ අයියා." අඳුරු රැවුලකින් යුතු මිනිසා කීය.

"ඌ හරිම භයංකාර එකෙක් නේ." හාලි නමින් හැඳින්වුනු මිටි ගැහැණිය සමච්චල් ස්වරයෙන් කීවාය. "උඹ අපිත් එක්ක හටන් කරන්ටද හිතාගෙන ඉන්නෙ කොල්ලො?"

"මෝඩයෙක් වෙන්ට එපා කොල්ලො. අපි හයදෙනෙකුට විරුද්ධව තනි උඹ විතරයි ඉන්නෙ." උස ගැහැණිය ඕෂා සිය හෙල්ලය උරුක් කලාය. "අස්සයා පිටෙන් බැහැලා කඩුව විසි කරපං. අස්සයාටයි, මුව මස්වලටයි බොහොම ස්තූතියි! උඹටයි උඹේ මල්ලිටයි යන තැනක යන්ට පුළුවන්."

රොබ් සියුරුහඬ ලෑවේය. තෙත් කොළ මත ඇවිදින මෘදු පියවර හඩ ඔවුන්ට ඇසින. වනයේ යටිවගාව දෙබෑ වී ගිය අතර ගස්වල පහත් අතුවල වූ හිමකැටි බිම වැටින. ග්‍රේ විප්ඩ් හා සමර් වනයේ හරිත පැහැය අතරින් මෑත් වූහ. අවට ඉව අල්ලා බැලූ සමර් ගොරවන්නට විය.

"වෘකයො!" හාලි මවිතයෙන් හුස්මක් ඇදගත්තා ය.

"ඝෝරවෘකයො." බ්‍රැන් කීය. වෘකයින් දෙදෙනා තවමත් සම්පූර්ණයෙන්ම වැඩී නොතිබුනු නමුදු ඔහු දැක ඇති අන් ඕනෑම වෘකයෙකුට වඩා උන් දැනටමත් විශාල වූහ. එහෙත් සාමාන්‍ය වෘකයකු හා ‍ඝෝරවෘකයකු අතර වෙනස, දන්නා අයෙකුට නම් පැහැදිලිවම විද්‍යමාන විය. මේස්ටර් ලුවින් හා සුනඛයින් ගේ භාරකරු වූ ෆාර්ලන් මේ ගැන ඔහුට උගන්වා තිබින. ඝෝරවෘකයෙකුට සිය සිරුරට සාපේක්ෂව විශාල හිසක් හා දිගු පාද පිහිටා ඇත. එමෙන්ම උන් ගේ හොම්බ හා හණුව වඩා සිහින් විය. මේ හිම වර්ෂාව මධ්‍යයේ ඔවුන් එසේ සිටගෙන සිටි ආකාරයේ අමුතු බිහිසුණු බවක් පෙනෙන්නට තිබින. ග්‍රේ වින්ඩ් ගේ හොම්බ පුරා අලුත් ලේ තැවරී තිබින.

"බල්ලො." දැවැන්තයා අවමන් ස්වරයෙන් කීය. "ඒ වුනත් මම අහලා තියෙනවා රෑට මිනිහෙක්ව උණුහුමට තියාගන්ට වෘක හමෙන් හදපු සළුවක් තරම් ජාති භාණ්ඩයක් තවත් නෑ කියලා. උංව මරාපියවු!"

"වින්ටර්ෆෙල්!" කෑ ගැසූ රොබ් අසුට සන්කලේය. වැරහැලි හැඳගත් මිනිසුන් වටවෙද්දී අශ්වයා ගංඉවුර දිගේ පහළට දිව ආවේය. පොරොවක් ඔසවාගත් මිනිසෙක් කෑ ගසමින්, අපරීක්ෂාකාරී අන්දමින් මුලින්ම දිවගියේය. රොබ් ගේ අසිපත සිය මුලු බලයම යොදා මිනිසා ගේ මුහුණ හරහා වැදුනේ ඇඟ හිරිවට්ටන හඬක් සමගින් රුධිරය දස අත විසිවිය. වෑරුනු, අඳුරු පැහැ රැවුලක් ඇත්තා අසු ගේ කටකලියාව අල්ලාගන්නට තැත් කල අතර ඒ වෑයම තත්පර බාගයකට සාර්ථක විය... ඊළඟ මොහොතේ ග්‍රේ වින්ඩ් ඔහු මත කඩා පැන්නේ ඔහුව බිම හෙලීය. මිනිසා කෑ ගසමින් දියපහරට වැටුනේ වියරු වැටුනාක් මෙන් හිසට ඉහළින් පිහිය වනන්නට විය. ඔහු අනුව වෘකයා ද දියට පැන්න අතර ඔවුන් දෙදෙන නොපෙනී ගිය දියපහරේ ජලය රත් පැහැ ගැනින.

රොබ් හා ඕෂා පොර වැටුනහ. ඇගේ දිගු හෙල්ලය යකඩ සර්පයෙකු මෙන් කිහිපවරක්ම රොබ් ගේ පපුව කරා ඇදී ගියද ඒ හැමවරෙකම රොබ් සිය දිගු අසිපතින් පහර පිසදා හැරියේය. ඊළඟ පහරේදී ඕනෑවටත් වඩා ඉදිරියට නැඹුරු වූ ගැහැණිය අසමතුලිත වූයේ ඇගේ පා පැකිළුනි. ඒ තත්පරයේදී සිය අසු ඉදිරියට පැන්න වූ රොබ් ඇයව යටකර දැම්මේය.

ඊ‍ට අඩි කිහිපයක් නුදුරින් දත් විලිස්සාගත් සමර් හාලි වෙත ඊයක් මෙන් කඩා පැන්නේ ය. පිහිය උගේ සිරුරේ පැත්තකට වැදුනු අතර කරකැවී පසෙකට පිනූ සමර් නැවතත් ඇයට කඩා පැන්නේ ය. මෙවර උගේ හණු ගැහැණිය ගේ කළවය ඩැහැගත්තේ ය. දෑතින්ම පිහිය බදාගත් ඇය එය වැරෙන් පහළට ගෙන ආ මුත් වෘකයා එය ඉවෙන් මෙන් දුටු බව පෙනින. ඌ හිස ගස්සා පස්සට පිනූයේ ගැහැණිය හැඳ සිටි ඇඳුමේ කොටස් හා ඇගේ කළවයේ කොටස් පිරි මුවින් යුතුවය. හාලි පය පැකිළී ඇද වැටෙද්දී නැවතත් ඇය මතට පිනූ සමර් ඇයව පිටුපසට පෙරලා දමා, ඇගේ සිරුර මත නැග උදරය කීතු කීතු කර දමන්නට විය.

සයවන මිනිසා මේ සමූලඝාතනයෙන් මිදී පලායන්නට විය. එනමුදු ඔහුට වැඩි දුරක් යන්නට හැකි නොවීය. ඔහු අසීරුවෙන් මෙන් දියපහරේ අනිත් පස ඉවුර වෙත ළඟාවද්දී ග්‍රේ වින්ඩ් තෙත්බරිත සිරුරින් යුතුව දියපහර මැදින් මතුවිය‍. සිරුරේ රැඳි වතුර ගසා දැමූ ඌ පලායන්නා පසුපස හඹා ගියේ ඔහු ගේ කළවය පසුපසින් සපා කෑවේය. මිනිසා කෑ ගසමින් නැවත දියට වැටෙද්දී වෘකයා ඔහු ගේ උගුරු දණ්ඩට පැන්නේ ය.

ඊළඟ මොහොතේ එතැන ඉතුරු වී සිටියේ දැවැන්තයා, ස්ටිව් පමණි. බ්‍රැන් ගේ පපුව හරහා බැඳ තිබුනු පටිය කපා දැමූ ඔහු අතකින් අල්ලා බ්‍රැන්ව ඇද්දේය. ඊළඟ මොහොතේ බ්‍රැන් බිම ඇද වැටින. ඔහු හතරගාතයෙන් බිම ඇදවැටුනු අතර සිරුරට යටින් දෙපා පරඬැල් මෙන් ඇද වී තිබුනේය. එක් පයක් දියපහරට වැටී තිබුනු නමුදු ඔහුට කිසිදු සීතලක් නොදැනින. එනමුදු ස්ටිව් සිය සිරිය බ්‍රැන් ගේ ගෙලට තබා තදකරද්දී එහි සීතල ඔහුට හොඳින්ම දැනින. "පස්සට පලයං!" මිනිසා අනතුරු ඇඟවීය. "නැත්තං මං මේ කොල්ලගෙ බොටුව කපනවා. මම දිවුරනවා, මං ඒක කරනවා."

රොබ් හතිලමින් සිය අසු ගේ ‍තෝන්ලණුව ඇද ඌව නතර කලේය. ඔහු ගේ දෑසේ වූ වියරුව කෙමෙන් මැකී ගිය අතර අසිපත රැගත් සුරත පහත් විය.

ඒ මොහොතේ බ්‍රැන් සියල්ල දුටුවේය‍. සමර් හාලිව කීතු කීතු කරමින් සිටියේ නිල් පැහැ සර්පයන් බඳු අතුණුබහන් ඇගේ උදරයෙන් එළියට අදිමිනි. ඇගේ දෑස් විවරව තිබූ නමුදු ඇය ජීවතුන් අතරදැයි නැතහොත් මියගොස්දැයි නිශ්චිතවම කිව නොහැකි විය‍. අළු රැවුලා හා පොරෝධාරියා නිසොල්මන්ව බිම වැටී හුන්හ. එනමුදු ඕෂා දණින් වැටී සිටියේ බිම වැටී තිබුනු සිය හෙල්ලය වෙත අසීරුවෙන් දණගාමින් යන්නට වූවාය. තෙත්බරිත සිරුරෙන් යුතු ග්‍රේ වින්ඩ් ඈ වෙත පිය මනින්නට විය. "ඌට ආපහු කතා කරපං!" දැවැන්තයා අණ දුන්නේය. "උං දෙන්නටම කතා කරපං. නැත්තං මේ අබ්බගාතයා මැරෙයි."

"ග්‍රේ වින්ඩ්, සමර්. මගේ ළඟට වරෙල්ලා." රොබ් කීය‍.

නැවතුනු වෘකයින් දෙදෙන හිස් හරවා බැලූහ. ග්‍රේ වින්ඩ් රොබ් දෙසට පියමැන්න නමුදු සමර් බ්‍රැන් සහ ඔහු අසල සිටින මිනිසා දෙස නෙත් හෙලාගෙන සිටි පියවර නැවතී සිටියේය. ඌ පහත් හඬින් ගොරවන්නට විය. උගේ හොම්බ රුධිරයෙන් රත් පැහැ ගැන්වී තිබුනු අතර ඒ දෑස් කෝපාග්නියෙන් බැබලුනේ ය.

සිය හෙල්ලයට වාරු වුනු ඕෂා අසීරුවෙන් නැගිට සිටගත්තා ය. රොබ් ගේ අසිපත් පහරකට ගොදුරු වුනු ඇගේ උඩු බාහුවෙන් රුධිරය ගලමින් තිබින. දැවැන්ත මිනිසා ගේ මුහුණ දිගේ දහදිය ගලන අයුරු බ්‍රැන් දුටුවේය. ස්ටිව් ද තමා තරම්ම බියපත් වී ඇති බැව් ඔහුට අවබෝධ විය. "ස්ටාර්ක්ලා. යකාටම ගිය ස්ටාර්ක්ලා." මිනිසා කටුකුටු ගෑවේය. ඔහු හඬ උස් කලේය. "ඕෂා වෘකයො දෙන්නව මරලා උගෙ කඩුව අරගනිං."

"උඹට ඕනනං උංව මරාපං. මමනං ඔය යක්ෂයින්ට කිට්ටු වෙන්ටවත් යන්නෙ නෑ." ඇය පිළිතුරු දුන්නා ය.

දැන් කුමක් කල යුතුදැයි ස්ටිව්ට එක් මොහොතකට සිතා ගත නොහැකි විය. ඔහු ගේ අත වෙවුලූ අතර සිය ගෙලට තද වී තිබුනු පිහිය මඳක් සෙලවී එතැනින් ලේ බිඳු ගලා එනු බ්‍රැන්ට දැනින. මිනිසාගෙන් හැමූ දුර්ඝන්ධය ඔහුට දැඩි ලෙස හමා ආ අතර එහි තැවරී තිබුනේ බිය මිස අන් කිසිවක් නොවීය. "උඹ." ඔහු රොබ් ඇමතීය. "උඹට නමක් තියෙනවද?"

"මම තමා රොබ් ස්ටාර්ක්. වින්ටර්ෆෙල්වල උරුමක්කාරයා."

"මේ ඉන්නෙ උඹේ මල්ලිද?"

"ඔවු."

"උඹට ඌව පණපිටින් ඕනනං මං කියන විදියට වැඩ කරපං. දැන් අස්සයා පිටින් බැහැපං."

රොබ් මොහොතක් අතීරණයෙන් පෙළුනේ ය. ඊළඟ මොහොතේ සෙමින් සිය අසු පිටින් බැස අසිපත අමෝරාගෙන සිට ගත්තේ ය.

"දැන් ඔය වෘකයින්ව මරපං."

රොබ් සෙලවුනේවත් නැත.

"ඒක කරපං. වෘකයො එහෙම නැත්තං මේ කොල්ලා."

"එපා." බ්‍රැන් යටිගිරියෙන් මොරගැසීය. මිනිසා කියන දේ කලොත් වෘකයින් මරා දැමූ වහාම ස්ටිව් විසින් ඔවුන් දෙදෙනාව මරා දමනු ඇත.

සිය නිදහස් අතින් ඔහු ගේ හිසකෙස් ඩැහැගත් මිනිසා කුරිරු අන්දමින් හිස පසුපසට නැමීය. බ්‍රැන් වේදනාවෙන් කඳුළු සලන්නට විය. "උඹ කටවහගනිං අබ්බගාතයො. උඹට ඇහෙනවද?" ඔහු හිස තවතවත් නැමීය. "උඹට මාව ඇහෙනවද?"

ඔවුන්ට පසුපසින් වූ වනය තුළින් පහත් 'ත්‍රම්' හඬක් නැගුනි. ස්ටිව් එක් සැනෙකින් හුස්මක් අල්ලා ඉහළට ඇදගැනීමට තැත් කල අතර තියුණු කටු වැකුණු තලයකින් යුතු ඊයක් ඔහු ගේ පපුව පලාගෙන අඩි බාගයක් පමණ ඉදිරියට මතුවිය. ඊතලය රුධිරයෙන් පින්තාරු කලාක් මෙන් රත් පැහැ ගැන්වී තිබින.

බ්‍රැන් ගේ ගෙලට තද වී තිබුනු සිරිය ලිස්සා බිම වැටින. දැවැන්ත මිනිසා පැත්තකට ඇල වී ගියේ මුනින්තලාවී දිය පහරට ඇද වැටින. ඔහු ගේ සිරුරට යටවීම නිසා ඊමුණ කැඩී ගිය අතර ජලපහර හා මුසුවෙමින් ඔහු ගේ ජීවය සැඟව යන අයුරු දෙස බ්‍රැන් බලා සිටියේ ය.

ආයුධ ගත් සෙබළුන් ගස් අතරින් මෑත්වෙද්දී ඕෂා වටපිට බැලුවා ය. සිය හෙල්ලය ඉවත විසිකර දැමූ ඇය දණින් වැටුනාය. "මයෙ උතුමානනි, මට අනුකම්පා කරන්ට. මට ජීවිතදානය දෙන්ට." ඇය අයැද සිටියා ය.

මෙතැන සිදු වී තිබුනු ඝාතනය පිරික්සා බලද්දී සෙබළුන් ගේ මුහුණු සුදුමැලි වී ගියේය. ඔවුහු අතීරණයකින් හා බියකින් මෙන් වෘකයින් දෙදෙනා දෙස බැලුම් හෙලූහ. තමා භුක්ති විඳිමින් සිටි භෝජන සංග්‍රහය අවසන් කිරීම සඳහා සමර් හාලි ගේ මළසිරුර වෙත පිය මනිද්දී සිය පිහිය පසෙකට විසිකර දැමූ ජොසෙත් වමනය නවත්වා ගැනීමට තැත් කරමින් වනය දෙසට දිව ගියේය. ගසක් මුවාවේ හිඳ මෑත් වූ මේස්ටර් ලුවින් පවා මේ දසුනෙන් කම්පනයට පත් වූ බැව් පෙනින. එහෙත් ඒ මොහොතකට පමණි. හිස වැනූ ඔහු සැනෙන් දියපහර තරණය කර බ්‍රැන් ගේ උදවුවට ආයේය. "ඔයාට තුවාලද?"

"ඌ මගේ කකුල කැපුවා. ඒ වුනත් මට ඒකෙ කිසිම දෙයක් දැනෙන්නෙ නෑ." බ්‍රැන් පිළිතුරු දුන්නේ ය.

තුවාලය පිරික්සා බැලීම සඳහා මේස්ටර්වරයා බිම දණ ඇනගද්දී බ්‍රැන් හිස හරවා අවට බැලීය. දුන්න අතින් ගත් තියන් ග්‍රේජෝයි මුරකරු වෘක්ෂයක් පසෙකින් සිටගෙන සිටි අතර සෑමවිටම මෙන් සිනාසෙමින් සිටියේ ය. ඔහු ගේ දෙපා අසල පසෙහි ඊතල අඩ දුසිමක් පමණ සිටුවා තිබුනු නමුදු ඔහුට එයින් පාවිච්චියට ගන්නට අවැසි වී තිබුනේ එක් ඊයක් පමණි. "මැරිච්ච සතුරෙක් කියන්නෙ කොච්චර සුන්දර දර්ශනයක් ද." ඔහු කීය.

"ජොන් හැමවෙලාවෙම කිවුවා උඹ මහ බූරුවෙක් කියලා ග්‍රේජෝයි." රොබ් මහහඬින් කීවේය. "උඹව අංගනයේ දම්වැල්වලින් බැඳලා දාලා බ්‍රැන්ට කියන්ට ඕන දුන්නෙන් විදින්ට පුරුදුවෙන්ට උඹව පාවිච්චි කරන්ටයි කියලා."

"උඹේ මල්ලිව මරණයෙන් බේරගත්තට හරිනං උඹ මට ස්තූති කරන්ටයි ඕන."

"උඹට ඉලක්කෙ වැරැදුනා නම් මොකද වෙන්නෙ?" රොබ් ඇසීය. "ඌට පොඩි තුවාලයක් විතරක් වෙලා බේරුනා නම් මොකද වෙන්නෙ? උගේ අත ලිස්සුවා නම් මොකද වෙන්නෙ? ඒ ඊතලේ බ්‍රැන්ට වැදුනා නම් මොකද වෙන්නෙ? ඒ මිනිහා සන්නාහයක් ඇඳලා හිටියා නම් මොකද වෙන්නෙ? උඹට පෙනුනෙ උ‍ගෙ සළුවෙ පිටිපස්ස විතරයි. එහෙම වුනා නම් මොකක්ද මගෙ මල්ලිට වෙන්නෙ? උඹ ඒ ගැන මොකුත් හිතලා බැලුවද ග්‍රේජෝයි?"

තියන් ගේ සිනහව මැකී ගියේය. බුම්මාගත් මුහුණින් යුතුව දෙවුර ඇකිළූ ඔහු බිම සිටුවා තිබුනු ඊතල එකින් එක ගලවා සිය හියොවුරෙහි බහාලන්නට විය.

රොබ් සිය සෙබළුන් දෙස රවා බැලීය. "උඹලා මොන ඉලවුවකද ගිහිල්ලා හිටියෙ? උඹලා අපි පස්සෙන්ම වගේ ආවා කියලා මට හොඳටම විශ්වාසයි."

සෙබළු එකිනෙකා දෙස හොරැහින් බලන්නට වූහ. "අපි පස්සෙන්ම ආවා මයෙ උතුමානනි." ඔවුන'තරින් ලාබාලතමයා වූ ක්වෙන්ට් කීය. "අපි මුලින් පොඩ්ඩක් නැවතිලා බලන් හිටියා මේස්ටර් ලුවිනුයි එයාගෙ බූරුවයි එනකං. අපට දාස් වාරයක් සමාදෙන්ට.. ඊට පස්සෙ.. මේ.. මේ.." ඔහු හොරැහින් තියන් දෙස බලා නැවත සැනෙන් ඉවත බලාගත්තේ ය.

"මම කළුකුමෙක්ව දැක්කා." තියන් කීවේ මේ ප්‍රශ්නය නිසා ගැහැටක් පැමිනුනු බැව් හඟවන කේන්තිය පිරි ස්වරයෙනි. "මම කොහොමද දන්නෙ උඹ කොල්ලාව තනියෙන් දාලා යයි කියලා?"

තියන් දෙස බැලීම පිණිස රොබ් නැවත වරක් හිස හැරවීය. ඔහුට මෙතරම් තදින් කේන්ති ගොස් තිබෙනු බ්‍රැන් කිසිදා දැක නොතිබින. එනමුදු රොබ් කිසිවක් නොකියා නිහඬ විය. අන්තිමේදී ඔහු මේස්ටර් ලුවින් පසෙකින් දණ ඇනගත්තේ ය. "එයාට ගොඩක් තුවාලද?"

"යාන්තං කැපිලා විතරයි. ඒක එච්චර අමාරුවක් නෑ." දියපහරේ ජලයෙන් රෙදි කැබැල්ලක් පෙඟවූ මේස්ටර්වරයා තුවාලය පිස දමන්නට විය. "උංගෙ දෙන්නෙක් කළු ඇඳලා ඉන්නෙ." සිය කාර්‍යය අතරතුර ඔහු රොබ්ට පැවසීය.

දියපහරේ හතරගාතයෙන් වැටී සිටි ස්ටිව් දෙස රොබ් බැල්මක් හෙලුවේ ය. ඔහු ගේ වැරහැලි වී ගිය කළු සළුව දියපහරේ තරඟ අනුව සැලෙමින් නටමින් තිබින. "නිශා රැකුමෙන් පැනලා යන එවුන්. උං මහ මෝඩයො වෙන්ට ඕන, මෙච්චර වින්ටර්ෆෙල් කිට්ටුවට එන්ට."

"මිනිස්සු කිසිම බලාපොරොත්තුවක් නැති තත්ත්වෙට පත්වුනාම ඕනතරම් මෝඩ වැඩ කරනවා." මේස්ටර්වරයා පිළිතුරු දුනි.

"අපි උංව වළලන්ටද මයෙ උතුමානනි?" ක්වෙන්ට් ඇසීය.

"උන් නම් අපිව වළලන එකක් නෑ." රොබ් පිළිතුරු දුන්නේ ය. "උන්ගෙ ඔළුගෙඩි දෙක කපාගනින්. අපි ඒවා ප්‍රාකාරෙට යවන්ට ඕන. මළකඳන් ටික කපුටන්ට කන්ට කියලා ඔහොම්මම තියපන්."

"එතකොට මේකි?" ක්වෙන්ට් ඕෂා දෙසට ඇඟිල්ලක් දිගුකලේය.

රොබ් ඇය දෙසට ඇවිද ගියේය. ඇය ඔහුට වඩා අඩියක් පමණ උස් වූ නමුදු ඔහු ගේ ආගමනය හමුවේ නැවතත් දණින් වැටුනා ය. "මට ජීවිතදානය දෙන්ට මයෙ ස්ටාර්ක් උතුමානනි. මං ඔබතුමාට යටත්වෙනවා."

"මට යටත්වෙනවා? පොරොන්දු කඩකරපු එකෙක්ගෙන් මට ඇති වැඩේ මොකක්ද?"

"මං පොරොන්දු කඩපු එකියක් නෙවෙයි. ස්ටිවුයි වොලනුයි තමා ප්‍රාකාරෙන් පැනලා ආවෙ. මං නෙවෙයි. කළු කපුටන්ගෙ හමුදාවෙ ගෑනුන්ට තැනක් නෑ."

ත්‍රියන් ග්‍රේජෝයි ඔවුන්ට සමීප විය. "ඒකිව වෘකයින්ට කන්ට දාපන්." ඔහු උනන්දුකරවන ස්වරයෙන් රොබ්ට කීය. හාලි ගේ සිරුරේ ශේෂ වී ඇති කොටස් දෙස බැල්මක් හෙලූ ගැහැණිය වහා ඉවත බලාගත්තා ය. ඇය වෙවුලා ගියාය. සෙබළුන් පවා අප්‍රිය අසනීප තත්ත්වයෙන් පසුවන්නාක් මෙන් පෙනින.

"මේ ගෑනියෙක්." රොබ් පිළිතුරු දුන්නේ ය.

"ඒකි වනචාරියෙක්." බ්‍රැන් ඔහුට පැවසීය. "ඒකි කිවුවා මාව පණපිටින් තියාගත්තොත් මැන්ස් රේඩර්ට ගෙනිහින් දෙන්ට පුළුවන් කතාවක්."

"උඹට නමක් තියෙනවද?" රොබ් ඇසීය.

"ඕෂා මයෙ උතුමානනි." ඇය පහත් හඬින් පැවසුවා ය.

මේස්ටර් ලුවින් නැගිට සිටියේය. "අපි ඒකිව ප්‍රශ්න කරන්ට අරන් ගියානම් හොඳයි."

සිය සොයුරා ගේ මුහුණේ ඇඳුනු සහනදායි හැඟීම බ්‍රැන්ට පැහැදිලිව විද්‍යමාන විය. "ඔබ කියන විදියක් මේස්ටර්. වේන්, ඒකිගෙ අත් දෙක බැඳපං. ඒකි අපිත් එක්ක ආපහු වින්ටර්ෆෙල්වලට යයි... ඒකි අපට කියන්නෙ ඇත්තද බොරුද කියන එක උඩ තීරණය වෙයි ඒකි ජීවත්වෙනවද මැරෙනවද කියලා."


Robb Stark: “I never know how much to tell you, Bran. I wish you were older.”
Bran Stark: “I’m eight now! Eight isn’t so much younger than fifteen, and I’m the heir to Winterfell, after you.”

Wednesday 26 November 2014

බ්‍රැන් 05-1


සිහින් හිම වර්ෂාවක් ඇද හැලෙමින් තිබුනු අතර මුහුණ මතට වැටෙන හිම පියලි සෙමින් දියවී යන අන්දම බ්‍රැන්ට දැනූනි. සිය අසු මත කොන්ද ‍කෙලින් කරගෙන වාඩි වී සිටි ඔහු යකඩ කටු දොරටුව අඟලින් අඟල ඉහළට එසවෙන අන්දම බලා සිටියේ ය. කෙතරම් තමාව සන්සුන් කරගැනීමට උත්සාහ කලද ඔහු ගේ පපුව තුළ හදවත උඩ පනිමින් සිටියේ ය.

"ඔයා ලෑස්තිද?" රොබ් ඇසීය.

බ්‍රැන් හිස වැනුවේ සිත තුළ පැනනැගුනු බිය නොපෙන්වීමට යත්න දරමිනි. කුළුණෙන් වැටුනු දවසේ සිට මේ වනතෙක් ඔහු වින්ටර්ෆෙල්වලින් පිටතට පා තබා නොතිබින. එනමුදු මේ පළමු ගමන නයිට්වරයකු තරම් උදාර අන්දමින් පිටත්වීමට ඔහු අදිටන් කරගෙන තිබින.

"අපි එහෙනම් පිටත්වෙමු." රොබ් සිය අළු හා සුදු පැහැ අසුට විළුඹින් සන් කල අතර සත්ත්වයා කටු දොරටුව පසුකරමින් ඉදිරියට ගියේය.

"යන්ට." බ්‍රැන් සිය අසු ගේ කණට කෙඳිරුවේ ය. ඔහු අසු ගේ ගෙල යාන්තමින් ස්පර්ෂ කල අතර චෙස්නට් පැහැ ‍වෙළඹ සෙමින් ඉදිරියට පා තැබුවා ය. බ්‍රැන් ඇයට ඩාන්සර් යනුවෙන් නම් තබා තිබින. ඇය වසර දෙකක් පමණ වයසැති වූ අතර ජොසෙත් පැවසූ අන්දමට නම් අන් සියලු අසුන්ට වඩා බුද්ධිමත් වූවාය. අසරුවා ගේ කටහඬින් දෙන විධානයන්ට, තෝන්ලණුව ඇදීමට හා ස්පර්ෂයට ප්‍රතිචාර දක්වන අයුරින් ඔවුන් ඇයව වෙසෙසින්ම පුහුණු කර තිබින. මේ වනතෙක් බ්‍රැන් අසු ධාවනය කර තිබුනේ බලකොටු අංගනය තුළ පමණක් විය. මුලදී නම් බ්‍රැන් කුරුමිට්ටා ගේ සැලසුමකට අනුව තමා වෙනුවෙන් විශේෂයෙන්ම නිමකරන ලද සෑදලය මත පටිවලින් බැඳී වාඩි වී සිටියදී ජොසෙත් හෝ හොඩෝර් විසින් අසු ගේ කටකලියාව අල්ලාගෙන ඌව ඉදිරියට මෙහෙයවීය. එනමුදු පසුගිය සති දෙක තුළ ඔහු විසින්ම සිය අසු මෙහෙයවීම අරඹා තිබූ අතර ඇවිදින සෑම වටයක් වටයක් පාසාම ඔහු ගේ විශ්වාසය තවතවත් වැඩි විය.

ඔවුහු ගේට්ටුව අසල වූ මුරකුළුණත්, දිය අගලට උඩින් පාලමත්, පිටත පවුරත් පසුකරමින් එළිමහනට පිවිසියහ. ඔවුන් දෙපසින් සමර් හා ග්‍රේ වින්ඩ් අවට වාතය ඉවකරමින් පිය මැන්නහ. ඔහුට වහාම පසුපසින් සිය දිගු දුන්නත්, හියොවුරත් පැළැඳි තියන් ග්‍රේ‍ජෝයි පැමිණියේ ය. තමා මුව දඩයමක් කරන්නට අදහස් කරගෙන සිටින බැව් ඔහු පවසා තිබින. ඔහු ගේ පසුපසින් සෙබළුන් සිවුදෙනෙක් හා ජොසෙත් - හලන් පිටවයාමෙන් පසු අස්හලේ නායකයා වශයෙන් රොබ් විසින් පත්කරන්නට යෙදුනු කෙට්ටු ඉස්තාල සේවකයා - පැමිණියහ. මේ සැමටම පසුපසින් මේස්ටර් ලුවින් බූරුවකු පිට නැගී පැමිණියේ ය. තමා හා රොබ්‍ පමණක් තනිව මේ ගමනේ යෙදෙන්නට බ්‍රැන් වඩාත් කැමැත්තෙන් සිටියේ ය. එනමුදු හැලිස් මොලන් ඒ ගැන අසන්නටවත් කැමැති නොවූ අතර ‍මේස්ටර් ලුවින් ද ඔහු සමග එකඟ විය. බ්‍රැන් අසුපිටින් වැටුනොත් හෝ ඔහුට වෙනත් අනතුරක් තුවාලයක් සිදුවව‍හොත් තමා ඔහු අසල සිටිය යුතු බැව් ලුවින් කීය.

බලකොටුවට ඔබ්බෙන් වෙළෙඳපල චතුරශ්‍රය පිහිටා තිබුනු අතර එහි වූ වෙළෙඳසල් මේ වනවිට පාළුවට ගොස් තිබින. ඔවුහු ගලින් හා දැවයෙන් නිම කෙරුනු කුඩා නිවාස පේළි පසුකරමින් ගම්මානයේ මඩ වැකි වීදි දිගේ ඉදිරියට පිය නගන්නට වූහ. මේ නිවාසවලින් දැනට ජනාවාස වී තිබු‍නේ පහෙන් එකකටත් අඩු ප්‍රමාණයක් විය. ශීතය මඳින් මඳ වැඩිවෙද්දී ඉතුරු නිවාස එකින් එක පිරෙනු ඇත. නාකි ආයම්මා ඔහුට කියා දුන් පරිදි හිම වැටෙන්නට පටන්ගත්තාට පසු, උතුරින් සීත සුළං හමාඑන්නට පටන්ගත්තාට පසු, දුරින් දුරින් පිහිටි සිය සීතලෙන් මිදුනු වගාබිම් හා කුඩා බලකොටු අතහැර දමන ගොවීන් තමන් සතු දේ කරත්තවලට පුරවාගෙන මෙහි එනු ඇත. එවිට වින්ටර් ටවුන් ජීව‍යෙන් පිරී යනු ඇත. මේ දේ සිදුවනු බ්‍රැන් විසින් සිය ජීවිතකාලය තුළදී දැක නොතිබුනු නමුදු මේස්ටර් ලුවින්ට අනුව නම් ඊට සුදුසු කාලය ළඟාවෙමින් තිබින. දිගු ගිම්හානයේ අවසානය අත ළඟම පැමිණෙමින් තිබින. ශීතකාලය ලංවෙමින් තිබින.

අසරුවන් ඔවුන් පසුකර යද්දී ගම්මුන් කිහිපදෙනෙකු ඝෝරවෘකයින් දෙස වියවුල් බැලුම් හෙලූ අතර එකෙකු පමණක් තමා අත තිබූ දරමිටියද බිම දමා බියෙන් පලාගියේය. එනමුදු බහුතරයක් ගම්වාසීන් මේ වනවිට ඔවුන් ගේ දර්ශනයට හුරු වී සිටියහ. සිය වංශාධිපති උතුමන් දුටු ඔවුන් දණනමා ආචාර කල අතර රොබ් උදාර අයුරින් හිස සැලීමෙන් ඔවුන් සෑමදෙනාටම පෙරලා ආචාර කලේය.

සිය දෙපාවලින් කිසිවක් ග්‍රහණය කරගැනීමට නොහැකි වීම නිසා මුලදී නම් අසුපිට යන විට සිදුවන දෙපසට වැනීම බ්‍රැන්ව අස්ථාවර කිරීමට සමත් විය. එනමුදු සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල සෑදලයත්, එහි ඉදිරියෙන් වූ දෑතින් අල්ලාගැනීමට හැකිවන පරිදි සවිකර තිබුනු මහත අඟත්, පසුපසින් කොන්ද හේත්තු කරගන්නට පහසුවන පිණිස සැදූ ආධාරකයත් නිසා ගමන එතරම් අසීරු ‍දෙයක් නොවීය. මේ සැමටම අමතරව ඔහු ගේ පපුව හා කළවා හරහා බැඳී ගිය සම් පටි නිසා ඔහු කෙසේවත් අසු පිටින් බිම නොවැටෙනු ඇත. මඳ වේලාවකට පසු ඔහු මේ වැනෙන රිද්මයට කෙතරම් හුරු වූවාද යත් එය සාමාන්‍ය තත්ත්වයක් මෙන් දැනෙන්නට විය. ඔහු ගේ සිත තුළ වූ නොසන්සුන් බව හා ව්‍යාකූල බව කෙමෙන් කෙමෙන් පහව යන්නට වූ අතර මුහුණ පුරා පුළුල් සිනහවක් ඇඳෙන්නට විය.

ගම්මානයේ පිහිටි එකම තැබෑරුම වූ ස්මොකින්ග් ලොග්හි දැන්වීම් පුවරුව යට එහි සේවය කරන කෙල්ලන් දෙදෙනෙක් සිටගෙන සිටියහ. තියන් ඔවුන් දෙසට යමක් කියා කෑගැසූ අතර මුහුණ රතු වී ගිය ලාබාල දැරිය දෝතින් මුහුණ වසාගත්තා ය. සිය අසුට සන් කල තියන් රොබ් සමීපයට ළඟා වූයේය. "ඒකි හරි ෂෝක් කෙල්ල, කයිරා." ඔහු සිනාසෙමින් කීය. "ඒකි ඇඳට නැග්ගහම මුගටියෙක් වගේ දඟලනවා. ඒ වුනාට පිටදි උඹ මොනා හරි කිවුවොත් කන්‍යාවක් වගේ මූන රතු කරගන්නවා. මම උඹට කිවුවද එක දවසක් රෑ ඒකියි, බෙසායි-"

"මගේ මල්ලිට ඇහෙන්ට ඕවා කියන්‍ට එපා තියන්." රොබ් බ්‍රැන් දෙසට බැල්මක් හෙලමින් අනතුරු ඇඟෙවුවේ ය.

වහා ඉවත බැලූ බ්‍රැන් තමාට ඒ කිසිවක් නෑසුනාක් මෙන් හැඟෙවුවේ ය‍ එනමුදු තමා දෙසට එල්ල වී ඇති තියන් ගේ දෑස් ඔහු හඟින්නට විය. ඔහු සිනාසෙමින් සිටිනවා විය යුතුය, ඒ ගැන කිසිදු සැකයක් නැත. ඔහු නිතරම සිනාසෙමින් සිටියේ හරියට ඔහු පමණක් දන්නා රහසක් රස විඳිමින් සිටින්නාක් මෙනි. රොබ් විසින් තියන් කරන කියන සෑම දෙයක්ම මහත් උතුම් කොට සැලකූ මුත් බ්‍රැන් ගේ සිතේ ඔහු ගැන එතරම් පැහැදීමක් නොතිබින.

රොබ් ඔහු අසලට ළඟා විය. "ඔයා හොඳට කරගෙන යනවා බ්‍රැන්."

"මට මීට වඩා හයියෙන් යන්ට ඕන." බ්‍රැන් පිළිවදන් දුනි.

රොබ් සිනාසුනේ ය. "ඔයාගෙ කැමැත්තක්." ඔහු සිය අසුට හැල්මේ යන්නැයි සන් කලේය. වෘකයින් ඔහු පසුපසින් හඹා යන්නට වූහ. බ්‍රැන් සිය තෝන්ලණුව තදින් ඇද්දෙන් ඩාන්සර් ද සිය වේගය වැඩි කලාය. ඔවුන්ට පිටුපසින් තියන් කෑ ගසන හඬ ද අසුන් ‍ගේ කුර ගැටෙන හඬ ද ඔහුට ඇසින.

සුළඟ විසින් බ්‍රැන් ගේ සළුව ලෙලවමින් පසුපසට විහිදා හැරි අතර හිම වර්ෂාව දැඩිව ඔහු ගේ මුහුණට වැද්දුවේ ය. රොබ් මේ වනවිටද බොහෝ දුරක් ඉදිරියට ගොස් තිබුනේ විටින් විට පසුපස හැරී බැලුවේ බ්‍රැන් සහ අන්‍යයන් තමා ලුහුබැඳ එන්නේදැයි දැනගැනීම පිණිස විය. බ්‍රැන් තවත් වරක් තෝන්ලණුව ඇද්ද අතර ඩාන්සර් සුමුදු අයුරින් සිය වේගය වැඩි කරගනිමින් පිම්මේ දුවන්නට වූවාය. දෙදෙනා අතර පරතරය කෙමෙන් අඩු වී ගියේය. බ්‍රැන් විසින් නගරයෙන් සැතපුම් දෙකක් පමණ ඈතින් වෘකවනය අද්දරදී රොබ් හා සමපාත වන විට ඔවුන් දෙදෙන අන්‍යයන් පසුකර බොහෝ දුරක් ගෙවා තිබින. "මට අශ්වයො පදින්ට පුළුවන්." බ්‍රැන් සතුටින් සිනාසෙමින් කෑගැසීය. එය පියෑඹීම තරම්ම අගනා දෙයක් විය.

"ඕනනං මට තරගෙකට එන්ට පුළුවන්. ඒත් මට බයයි ඔයා දිනයි කියලා." ‍රොබ් සැහැල්ලු සරදම් ස්වරයෙන් කීය. එනමුදු ඒ සිනහවට යටින් කුමක් හෝ දෙයක් සිය සොයුරාට වදදෙමින් තිබෙන බැව් බ්‍රැන්ට දැකගත හැකි විය.

"මට තරගෙකට යන්ට ඕන නෑ." ඝෝරවෘකයින් කොහේදැයි සොයන්නට බ්‍රැන් අවට බැලුවේ ය. එනමුදු දෙදෙනාම වනය තුළට වැදී අතුරුදහන් වී තිබින‍. "ඔයාට ඇහුනද ඊයේ රෑ තිස්සෙ සමර් උඩුබුරලන සද්දෙ?"

"ග්‍රේ වින්ඩුත් හරිම නොසන්සුන්කමෙන් තමා හිටියෙ." රොබ් කීය. ඔහු ගේ රතු-දුඹුරු පැහැති හිසකෙස් දිගට වැවී තිබුනු අතර මුහුණ දෙපස ලා රත් පැහැ යෞවන රැවුලක් වැවෙන්නට පටන්ගෙන තිබින. මේ නිසා ඔහුට අවුරුදු පහළොවකට වඩා වැඩි වයසක පෙනුමක් ලැබී තිබින. "මට සමහරවෙලාවට හිතෙනවා එයාලා ඉවෙන් වගේ දේවල් දැනගන්නවා කියලා... දේවල් හඟිනවා කියලා." රොබ් සුසුමක් හෙලීය. "මම දන්නෙ නෑ ඔයාට කොච්චරක් දේවල් කියන්ට ද, කොච්චරක් දේවල් කියන්ට එපා ද කියලා බ්‍රැන්. ඔයා මීට වඩා වයස වැඩි වුනානං..."

"මට දැන් අටක්. අට කියන්නෙ පහළොවට වඩා ගොඩක් ලාබාලයි නෙවෙයි. අනික ඔයාගෙන් පස්සෙ මම තමා වින්ටර්ෆෙල්වල උරුමක්කාරයා."

"ඔයා හරි." රොබ් ගේ ස්වරයේ දුක්මුසු බවක් හා බියක් රැඳී තිබින. "බ්‍රැන් මට ඔයාට කියන්ට කාරණයක් තියෙනවා. ඊයෙ රෑ කපුටෙක් ආවා. කින්ග්ස් ලෑන්ඩින්ග්වල ඉඳන්. මේස්ටර් ලුවින් මාව නැගිට්ටෙවුවා."

හදිසියේම බ්‍රැන්ට බියක් දැනෙන්නට විය. 'කළු පියාපත්-නපුරු පණිවුඩ', නාකි ආයම්මා සෑමවිටම කියන්නට පුරුදුව සිටියේ ය. එමෙන්ම පසුගිය කාලය පුරාවටම පණිවුඩ ගෙන ආ කපුටන් ඒ පිරුළ සැබෑවක්යැයි සනාථ කරන්නට සමත් වී තිබින. රොබ් නිශා රැකුමේ ප්‍රධාන අණදෙන නිළධාරිතැනට යැවූ ලිපියට ලැබුනු පිළිතුර වූයේ බෙන්ජින් බාප්පා තවමත් අතුරුදහන් වී ඇති බවය. ඉන්පසු ඉයරීහි සිට ඔවුන් ගේ මව පණිවුඩයක් එවමින් කියා සිටියේ ඇය නැවත පැමිණෙන දිනයක් හරියටම කියත නොහැකි බවය. ඇය පුංචි යකාව සිරකරුවකු වශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත් එයින් වැඩි දුරටත් කියැවින. බ්‍රැන් ගේ සිතේ මේ පුංචි මිනිසා ගැන කුමක්දෝ කැමැත්තක් ඇති වී තිබින. එනමුදු ලැනිස්ටර් යන නාමය ඇසෙන වාරයක් පාසා ඔහු‍ ගේ පිටකොන්ද දිගේ සියුම් හිරියක් පැතිරයන්නට විය. ලැනිස්ටර්වරුන් ගැන ඔහු දන්නා යම් දෙයක්, ඔහු මතක තබාගත යුතු යම් දෙයක් තිබින. එනමුදු ඒ කුමක්දැයි සිහිපත් කරන්නට වෑයම් කරන සෑම විටකදීම ඔහුට ක්ලාන්ත ගතියක් දැනෙන්නට වූ අතර උදරය ගලක් මෙන් දැඩි වී ගියේය. මව ගේ පණිවුඩය පැමිණි දිනය පුරාවටම පාහේ රොබ්, මේස්ටර් ලුවින්, තියන් ග්‍රේජෝයි හා හැලිස් මොලන් සමග එක්ව කාමරයකට වී දොර වසාගෙන රහස් මන්ත්‍රණයක් පැවැත්වීය. ඉන්පසු රොබ් ගේ නියෝග රැගත් අසරුවන් මුලු උතුරුකරය පුරාවටම පිටත්කර හැරින. මුල් මිනිසුන් විසින් බෙල්ල ආරක්ෂාකරනු වස් පිහිටුවා තිබුනු පුරාණ මෝට් කේය්ලින් බලකොටුව ගැන ඔවුන් කතා කරනු බ්‍රැන් ගේ සවනත වැකී තිබින. සිදුවන්නේ කුමක්දැයි කිසිවෙකුත් කිසිවක් කියා නොතිබුනු නමුදු තත්ත්වය එතරම් හොඳ නැති බව ඔහුට වැටහී ගියේය.

ඉතින් දැන් තවත් පණිවුඩයක් රැගෙන තවත් කපුටකු පැමිණ ඇත. "පණිවුඩේ අම්මගෙන්ද? එයා ගෙදර එනවලුද?"

"පණිවුඩේ කින්ග්ස් ලෑන්ඩින්ග්වල ඉඳන් ඇලන්ගෙන්. ජොරී කසල් මැරිලා. විලුයි හේවර්ඩුයිත් ඒ එක්කම මැරිලා. රජුන් මරන්නා තමා මෙයාලව මරලා තියෙන්නෙ." රොබ් මුහුණ ඉහළට එසවූ අතර හිම පියළි ඔහු ගේ මුහුණ මත පතිත වී දියව ගියේය. "දෙයියො එයාලට සමාදානෙන් සැතපෙන්ට දෙන්ට ඕන."

කුමක් කිවයුතුදැයි බ්‍රැන්ට සිතාගත නොහැකි විය‍. සිය මුහුණ හරහා මුෂ්ටි ප්‍රහාරයක් එල්ලවූවාක් වැනි තෝන්තුවාවක් ඔහුට දැනින‍. ජොරී වින්ටර්ෆෙල්වල මාලිගාරක්ෂක බලකායේ නායකයා වශයෙන් කටයුතු කරන්නට පටන්ගත්තේ බ්‍රැන් ඉපදීමටත් පෙර සිට විය. "උං ජොරීව මරලා දැම්මා?" තමාව වහළ මතින් බිමට බස්සවන්නට ජොරී විසින් ඔහුව ලුහුබැඳ පැමිණි අවස්ථා බ්‍රැන්ට සිහිපත් විය. සන්නාහය පැළඳ අංගනය හරහා දිගු පියවර තබමින් ඔහු යන සැටි, ප්‍රධාන ශාලාවේ ඔහු සෑමදාම අසුන්ගන්නා තැන වාඩි වී කෑම කන අතර විහිළු කතා කියන ආකාරය බ්‍රැන් ඉදිරියේ මැවී පෙනෙන්නට විය. "ඇයි කාටවත් ජොරීව මරන්ට ඕනවෙන්නෙ?"

රොබ් නිහඬවම හිස වැනීය. ඔහු ගේ දෑසේ වූ වේදනාව පැහැදිලිව විද්‍යමාන විය. "මම දන්නෙ නෑ. අනික... බ්‍රැන්, ඒක නෙවෙයි නරකම දේ. මේ සටනෙදි තාත්තා වැටෙන අශ්වයෙකුට යටවෙලා. ඇලන් කියනවා එයාගෙ කකුල කැඩිලයි කියලා. මේස්ටර් පයිසෙල් එයාට පොපි යුෂ දුන්නලු. ඒ වුනත් එයාලට විශ්වාස නෑ කවදද... කවදද එයා..." තියන් සහ අනිකුන් පැමිණෙන අසු කුර හඬ ඔවුන් ගේ පසුපසින් ඇසෙන්නට විය. "කවදද එයා නැගිටින්නෙ කියලා." මේ වනවිට ඔහු ගේ සුරත සිය අසිපතේ මිට මත රැඳී තිබුනු අතර ඔහු ගේ කටහඬේ ස්වරය වංශාධිපති රොබ් ගේ ගැඹුරු කටහඬ බවට පරිවර්තනය වී තිබින. "බ්‍රැන් මම ඔයාට පොරොන්දු වෙනවා. මොන දේ සිද්දවුනත් මේ වුන දේවල් එහෙම ලේසියෙන් අමතක වෙන්ට මම ඉඩ තියන්නෙ නෑ."

ඔහු ගේ ස්වරයේ තිබුනු යම් දෙයක් නිසා බ්‍රැන් වඩාමත් බියපත් විය. "ඔයා මොනවද කරන්ට යන්නෙ?" තියන් ඔවුන් පසෙකින් අසු නවතන අතරේ ඔහු ඇසීය.

"තියන් හිතන්නෙ මම යටත් වංශාධිපතියන්ට පණිවුඩ ඇරලා සෙබළු රැස්කරන්ට පටන්ගන්ට ඕනයි කියලා." රොබ් පිළිතුරු දුනි.

"ලෙයට ලෙය." තියන් ග්‍රේජෝයි සිනහනොවනු බ්‍රැන් දුටු මුල්ම අවස්ථාව මෙය විය.

"වංශාධිපතියෙකුට විතරයි එහෙම කරන්ට පුළුවන්." බ්‍රැන් කීය.

"ඔයාගෙ තාත්තා මැරුනොත්," තියන් කීවේය. "‍රොබ් තමා වින්ටර්ෆෙල්වල උතුමානන් වෙන්නෙ."

"එයා මැරෙන්නෙ නෑ." බ්‍රැන් මොර දුන්නේ ය.

රොබ් ඔහු ගේ අතින් අල්ලාගත්තේ ය. "එයා මැරෙන්ට යන්නෙ නෑ." ඔහු සන්සුන් ස්වරයෙන් කීය. "ඒ වුනත්... උතුරේ ගෞරවය දැන් මගෙ අත උඩයි තියෙන්නෙ. අපේ තාත්තා පිටවෙලා යන්ට කලින් මගෙන් ඉල්ලා හිටියා ඔයයි රිකනුයි වෙනුවෙන් ශක්තිමත්ව ඉන්ටයි කියලා. මම දැන් බොහොමදුරට වැඩුන මිනිහෙක් බ්‍රැන්."

බ්‍රැන් වෙවුලා ගියේය. "අම්මා හිටියානං." ඔහු දුක්ඛිත අයුරින් කීවේය. මේස්ටර් ලුවින් කොහේදැයි දැනගන්නට ඔහු අවට බැලීය. ඔහු ගේ බූරුවා ඈත බකල ගසමින් පැමිණෙමින් සිටියේය. "මේස්ටර් ලුවිනුත් කියනවද සෙබළු රැස්කරන්ටයි කියලා?"

"මේස්ටර් නාකි අම්මණ්ඩි කෙනෙක් වගේ බයගුල්ලෙක්." තියන් පිළිතුරු දුන්නේය.

"තාත්තා හැමවෙලාවෙම එයාගෙ උපදෙස්වලට කණ් දුන්නා‍." බ්‍රැන් සිය සොයුරාට සිහිපත් කර දුනි. "අම්මත්."

"මම එයාට ඇහුම්කණ් දෙනවා." රොබ් තිර ස්වරයෙන් කීය. "මම හැම කෙනාටම ඇහුම්කණ් දෙනවා."

මෙම ගමන නිසා බ්‍රැන් ගේ සිතේ ඇතිවී තිබුනු ප්‍රීතිය ඔහු ගේ මුහුණට වැටුනු හිම පියළි මෙන්ම දියව ගියේය. පෙර කල නම් රොබ් තමාට යටත් වංශාධිපතියන් කැඳවාගෙන සටනට යනවා ඇත යන සිතුවිල්ල ඔහු ගේ සිත ආහ්ලාදයෙන් පුරවාලන්නට සමත් වනු ඇත. එනමුදු දැන් ඒ වෙනුවට ඔහු ගේ සිතේ ඇති වූයේ භීතියක් පමණි. "අපට දැන් ආපහු යන්ට පුළුවන්ද? මට සීතලයි." ඔහු ඇසීය.

රොබ් වටපිට බැලීය. "අපට වෘකයො දෙන්නව හොයාගන්ට වෙනවා‍. ඔයාට තව ටික වෙලාවක් ඉවසන් ඉන්ට පුළුවන්ද?"

"ඔයා ඉන්න තරම්ම වෙලාවක් මටත් ඉන්ට පුළුවන්." මේ ගමන කෙටි එකක් කරන්නැයි මේස්ටර් ලුවින් අනතුරු අඟවා තිබුනේ සෑදලයට කැපීම නිසා ඔහුට වේදනා දැනෙනු ඇතැයි බියෙනි. එනමුදු සිය සොයුරා ඉදිරිපිටදී තම බැරි අමාරුකම් ගැන කතා කරන්නට ඔහුට සිත් නොදින. හැමදෙනාම සෑමවිටම ඔහු හොඳින් දැයි විමසීමත්, ඔහු ගැන සොයා බැලීමත් බ්‍රැන්ට මහත් හිසරදයක් වී තිබින.‍

"හරි. එහෙනං එන්ට අපි යමු දඩයක්කාරයො දඩයම් කරන්ට." ‍රොබ් කීය. සිය අසුන් විහිදූ ඔවුහු රජමාවතෙන් ඉවත්ව වෘකවනය තුළට වැදුනහ. ඔවුන් දෙදෙනාට ඉදිරියෙන් යන්නට ඉඩ හල තියන් සෙබළුන් හා කතා කරමින්, විහිළු කරමින් ඔවුන් පසුපසින් වැටින.

ගස් යට සෙවන ප්‍රියජනක විය. තෝන්ලණුව සැහැල්ලුවෙන් අල්ලාගත් බ්‍රැන්, ඩාන්සර්ට නිදහසේ ඉදිරියට ඇවිද යන්නට ඉඩ හැරියේ තමා අවට වනය පිරික්සා බලන්නට විය. ඔහු මෙම වනය මනාව දැන සිටියේ ය. එනමුදු වින්ටර්ෆෙල්වලට වී සෑහෙන කාලයක් ගතකිරීම නිසා එය මුල්ම වරට දකින්නාක් මෙන් ඔහුට හැඟින. ඔහු ගේ නාසය වනයේ සුවඳින් පිරීගියේය. ඉඳිකටු වැනි පයින් කොළවල තියුණු, සැර සුවඳ, දිරායන කොලරොඩුවලින් හමන තෙත් පස් පුසුඹ, සතුන් ගේ ගඳ හා ඈතින් නැගෙන කඳවුරු ගිනිමැලවල ඉවුම් පිහුම් සුවඳ ආදී සැමෙකක්ම එහි විය. හිමෙන් වැසුනු ගස් අතුපතර අතරින් පැන පැන යන කළු ලේනකු ඔහු ගේ නෙත ගැටුනු අතර රිදී පැහැයෙන් දිදුලන විශාල මකුළුදැළක් නිරීක්ෂණය පිණිස ඔහු අසු මඳක් නැවැත්වීය.

තියන් හා අනෙකුන් තවතවත් පසුවිය. අන්තිමේදී බ්‍රැන්ට ඔවුන් ගේ කටහඬ නෑසී ගියේය. ඔවුන්ට ඉදිරියෙන් දියපහරක සියුම් හඬ ඇසෙන්නට විය. ඔවුන් ‍කෙමෙන් කෙමෙන් එයට සමීපවෙද්දී හඬ ක්‍රමයෙන් වැඩි විය. බ්‍රැන් ගේ දෑස කඳුළින් පෙඟී ගියේය.

"බ්‍රැන්! මොකක්ද ප්‍රශ්නෙ?"

බ්‍රැන් හිස සැලීය. "මට එකපාරටම දෙයක් මතක් වුනා‍. මතකද එකපාරක් ජොරී අපිව මෙතනට එක්කරන් ආවා. ට්‍රවුට් මාළු අල්ලන්ට. ඔයයි, මායි, ජොනුයි. ඔයාට මතකද ඒක?"

"මට මතකයි." රොබ් ගේ ස්වරයට වේදනාව මුසු වී තිබින.

"මට එක මාළුවෙක්වත් අල්ලගන්ට බැරිවුනා. ඒ වුනත් අපි ආපහු වින්ටර්ෆෙල්වලට යන අතරමගදි ජොන් මට එයාගෙ මාළුවා දුන්නා. අපට ආයෙමත් ජොන්ව දකින්ට ලැබෙයිද?"

"රජතුමා මෙහෙ ආපු වෙලාවෙ අපට බෙන්ජින් බාප්පාව දකින්ට ලැබුනනෙ. ජොන්ටත් ඒ වගේ එන්ට පුළුවන් වෙයි. බලමුකො."

දියපහර වේගයෙන් ගලාබසිමින් තිබින. අසුපිටින් බිමට බට රොබ් නොගැඹුරු තොටුපළ හරහා දියපහරින් එතෙර විය. සිය අසු ගසකට ගැට ගැසූ ඔහු නැවතත් බ්‍රැන් හා ඩාන්සර් වෙනුවෙන් මෙගොඩට පැමිණියේ ය. ගල්වල හා ගස්මුල්වල හැපෙමින් විසිරෙන පෙණ පිඬු ගඟ තරණය කරන බ්‍රැන් ගේ මුහුණට විසිවුනු අතර එය ඔහු ගේ මුවේ සිනාවක් මතුකරලන්නට සමත් විය. එක මොහොතකට තමා නැවතත් ශක්තිසම්පන්න, සම්පූර්ණ පුද්ගලයකු ලෙස ඔහුට දැනින. අවට බැලූ ඔහු උසැති ගස්වල මුදුනටම නගින අයුරු සිහින දකින්නට විය. ගස මුදුනටම, අන්තිම රිකිල්ලටම නැංග පසු තමාට පහළින් වනය විහිදී ඇති සැටි ඔහු ගේ සිතේ මැවෙන්නට විය.

දියපහරේ එගොඩට ගිය පසු ඔවුන්ට පළමු වරට වෘකයින් ගේ උඩුබුරලෑම ඇසින. එම හඬ සීතල සුළඟක් මෙන් ගස් අතරින් පෙරී ආයේය. හිස එසවූ බ්‍රැන් ඒ හඬට සවන් දුනි. "ඒ සමර්." ඒ සමගින්ම දෙවන හඬක් මුල් උඩුබිරීමට එකතු විය.

"එයාලා සතෙක්ව දඩයම් කරලා." නැවතත් සිය අසු පිට නගින අත‍රේ රොබ් කීවේය. "මම ගිහින් උංව එක්කරන් එන එක හොඳයි. ඔයා මෙතනට වෙලා ඉන්ට. තියනුයි, අනිත් අයයි ඉක්මනටම එයි."

"මටත් ඔයත් එක්ක එන්ට ඕන." බ්‍රැන් කීය.

"මම විතරක් ගියොත් ඉක්මනටම උන්ව හොයාගන්ට පුළුවන් වෙයි." සිය අසුට සන් කල රොබ් වනයේ ගස් අතර සැඟව ගියේය.

ඔහු පිටව ගිය පසු තමා වටා වූ වනය කෙමෙන් කෙමෙන් ලංවන්නාක් මෙන් බ්‍රැන්ට දැනින. හිම වර්ෂාව තද කරන්නට පටන්ගෙන තිබින. ඔහු වටා සෑමතැනම, ගස් අතු, ගල්, මුල් සැමෙකක්ම හිමෙන් වැසී සුදු පැහැ වී ගියේය. තමා ගේ තත්ත්වය බෙහෙවින් අසතුටුදායක බැව් ඔහුට හැඟී ගියේය. සෑදල පටි මත එල්ලෙමින් තිබුනු දෙපාවලට කිසිදු හැඟීමක් දැනීමක් නොවීය. ඔහුව සෑදලයට බැඳ දමා තිබුනු පටි පපුව හරහා තද වී වේදනා ගෙනදුන්නේ ය. දියවන හිම ඔහු ගේ අත්වැසුම් තුළට රිංගා දෑත තෙත් කලේය. තියන්, මේස්ටර් ලුවින්, ජොසෙත් හා අනිකුත් පිරිස මෙතරම් පමාවන්නේ මන්දැයි ඔහු විමතියෙන් කල්පනා කරන්නට විය.

තමා පසුපසින් කොළ සර සර හඬ නංවනු ඇසුනු ඔහු අසු හැරෙවුවේ සිය පිරිස දකිනු රිසියෙනි. එනමුදු ගංඉවුර වෙත පියමැන්න වැරහැලි ඇඳගත් මේ මිනිසුන් ඔහු කිසිදා දැක නොමැති ආගන්තුකයෝ වූහ.


Maester Luwin: “Folly and desperation are ofttimes hard to tell apart.”

Monday 24 November 2014

ඩනේරිස් 04


වයෙස් ඩොත්රැක්හි තුරඟ ද්වාරය පසුපාදවලින් සිටගත් දැවැන්ත ලෝකඩ අසුන් දෙදෙනෙකුගෙන් නිමවී තිබින. අඩි සියයක් පමණ ඉහළින් උන්ගේ පෙර පාද එකිනෙක ගැටී කවාකාර ආරුක්කුවක් නිමැවු‍‍නේ ය.

ඇසට හසුවන මානයේ කිසිදු ගොඩනැගිල්ලක් හෝ ප්‍රාකාරයක් නැති නගරයකට දොරටුවක් කුමකට දැයි ඩැනීට සිතා ගත නොහැකි විය. එහෙත් ඈතින් පෙනෙන දම් පැහැ කඳු වැටිය රාමු කරමින් එය තේජමානව නැගී සිටියේය. රුධිරාරක්ෂකයින් පිරිවැරූ ඛාල් ඩ්‍රෝගෝ තම ඛලසාරය ලෝකඩ කුර අතරින් දෙවියන්ගේ මාවත ඔස්සේ මෙහෙයවද්දී සන්ධ්‍යාව එළැඹී තිබුනු අතර ලෝහමය අසුන්ගේ දැවැන්ත සෙවනැල්ල නැලවෙන තණබිම් හරහා  විහිදී තිබින.

රිදීවන් වෙළඹ පිට නැගුනු ඩැනී යලිත් අසුපිට යාමට වරම් ලබා සිටි විසේරිස් සහ සෙර් ජෝරා මෝර්මන්ට් පිරිවරා ඒ පසුපස ගමන් කලාය. ඩැනී විසින් විසේරිස්ව තණබිමේ තනිකර දැමු දින සිට, ඔහුට ඛලසාරය වෙත පයින්ම ගාටන්නට සිදුවූ දින සිට ඩොත්රැකියෝ ඔහුට 'ඛාල් රේ මා' හෙවත් කොර කකුල් රජා යැයි උසුළු විසුළු කලහ. ඊළඟ දිනයේ ඩ්‍රෝගෝ විසින් ඔහුට කරත්තයක නැග ගමන් කිරීමට අවස්ථාවක් ලබා දුන් අතර ඔහු සතුටින් බාර ගත්තේය. ඛාල් විසින් තමාව විහිළුවට ලක්කරන බව මේ මුරණ්ඩු මෝඩයා නොදත්තේ ය. ඩොත්රැකි සමාජය තුළ කරත්ත වල ගමන් කරන්නේ ගැබිණි මවුන්, නපුංසකයන්, ආබාධිතයන්, මහල්ලන් සහ ළදරුවන් පමණක් බව ඔහු දන සිටියේ නැත. එදා පටන් ඔහුට 'ඛාල් රාඝට්' හෙවත් කරත්ත රජා යනුවෙන් තවත් විසුළු නමක් පටබැඳින. එනමුදු ඩැනීගේ මෝඩ සොහොයුරා සිතුවේ මේ ඇය කල වරදට ඛාල් ඔහුගෙන් සමාව අයදින ආකාරය බවය. ඔහුට සත්‍ය පහදා දී ලජ්ජාවට පත් නොකරන ලෙස සේර් ජෝරාගෙන් අයැද සිටීමට ඇයට සිදුවිය. ලැජ්ජාවට පත් වීම ඔහුට සිදුවන හොඳක් බව සිතුවද ‍ජෝරා ඇයට එකඟ විය. දින ගණනාවක් තිස්සේ කල අයැදීම් සහ ඩෝරියා විසින් කියාදුන් ශිල්ප සියල්ල භාවිතයෙන් පසු විසේරිස්ට නැවත ඛලසාරයේ ඉදිරි පෙළට එක් වී ඔවුන් අසලින් කරන්නට ඉඩදීම වෙනුවෙන් ඛාල් එකඟ කරවාගැනීමට ඇයට හැකිවිය.

"කෝ නගරය?" ලෝකඩ ආරුක්කුව පසු කරන අතර ඇය ඇසුවාය. කිසිදු ගොඩනැගිල්ලක් හෝ මිනිස් පුලුටක් හෝ නොමැති තණබිම මැදින් වැටී තිබුනු මාවත දෙපස ඩොත්රැකියන් විසින් සියවස් ගනනාවක් තිස්සේ යටත් කරගත්, කොල්ල කෑ, විනාශ කර දැමූ නගරවල පෞරාණික සිහිවටන පමණක් විසිරී තිබින.

"ඉස්සරහ." සෙර් ජෝරා පිළිතුරු දුන්නේය. "කන්ද පාමුල."

තුරඟ ද්වාරයට ඔබ්බෙන් මාවත දෙපස සොරකම් කල විරුවෝ සහ මංකොල්ල කෑ දෙවිවරු උත්තුංගව නැගී සිටියහ. බිඳී ගිය අකුණු සර අහසට එල්ලකර ගෙන සිටි, මළගිය නගරවල අමතක වූ දෙවිවරුන් ගේ දෙපා පසු කරමින් ඩැනී ඇගේ රිදීවන් අසු ධාවනය කලාය. කැඩී බිඳී ගිය පැල්ලම් වැකුනු මුහුණු ඇති, ශෛලමය නරපතියෝ ඔවුන් ගේ සිහසුන් වල සිට ඇය දෙස තුච්ජ ලෙස බලා සිටියහ. ඔවුන් ගේ නම් පවා කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් තිබින. මලින් පමණක් ගත වසා ගත් සුලලිත අංගනාවෝ කිරිගරුඬ ඵලක මත රංගනයේ යෙදුනහ, නැතිනම් බිඳුනු බඳුන් බිමට නමා සිටියහ. කලකට ඉහතදී නම් මේ බඳුන්වලින් දිය වෑස්සෙන්නට ඇත. දිදුලන මිණි ඇසින් යුත් කළු යකඩ මකරු, ගොරවන නරසිංහයෝ, පහරදීම පිණිස තුඩු සහිත වල්ගා අමෝරාගත් මැන්ටිකෝරයින් සහ ඇය නම් නොදන්නා වෙනත් බොහෝ රාක්ෂසයයෝ මග දෙපස රැක සිටියහ. සමහර ප්‍රථිමා කෙතරම් මනබඳිනසුළු වීද යත් ඒ වෙතින් දෑස් ඉවතට ගැනීම පවා අපහසු වූ අතර තවත් සමහරක් බැලිය නොහැකි තරමට විරූපී හෝ හඳුනාගත නොහැකි තරමට කැඩී බිඳී ගොස් තිබින. සෙර් ජෝරාට අනුව නම් ඒවා අෂයීවලට ඔබ්බෙන් වූ සෙවනැලි දේශයෙන් ගෙන ආ ප්‍රථිමා විය.

"මෙච්චර ගොඩක්!" සිය රිදී අසු සෙමෙන් සෙමෙන් ඉදිරියට මෙහෙයවමින් ඩැනී මිමිනුවා ය. "එච්චර ගොඩක් රටවලින්!"

විසේරිස් නම් ඒවායින් එතරම් පුදුමයට පත් වූ බවක් නොපෙනින. "මැරිච්ච නගරවලින් ගෙනාපු පරණ කහල ගොඩවල්!" ඔහු නියැවීය. ඩොත්රැකියන්ට නොතේරෙන පරිදි පොදු බසින් කතාකිරීමට තරම් ඔහු පරෙස්සම් සහගත විය. එනමුදු සිය ඛාස්වරුනට ඒවා නොඇසුනු බව සහතික කරගැනීමට ඩැනී ඔවුන් දෙස හැරී බැලුවාය. "මේ ම්ලේච්ඡයින්ට තේරෙන එකම දේ තමන්ට වඩා උසස් මිනිස්සු හදපු දේවල් හොරකම් කරන්ටයි... මිනීමරන්ටයි විතරයි." ඔහු සිනාසෙමින් කියාගෙන ගියේය. "හොඳ වෙලාවට උන් මිනීමරන්ට දන්නවා, නැත්තම් මට මුන්ගෙන් මෙලෝ වැඩක් නෑ."

"එයාලා දැන් මගේ මිනිස්සු." ඩැනී විරුද්ධ වූවාය. "එයාලට ම්ලේච්ඡයෝ කියන්ට එපා."

"මකරාට ඕනේ එකක් මකරා කියනවා." ඔහු තමා පසුපසින් ගමන් කරමින් සිටි ඒගෝ සහ රඛාරෝ වෙත සමච්චල් සිනාවකින් සංග්‍රහ කලේය. "පේනවනෙ, මුන්ට ශිෂ්ට භාෂාවක්වත් තේරුම්ගන්ට තරම් බුද්ධියක් නැති  හැටි." ඔවුන් ඉදිරියෙන් වූ අඩි පනහක් පමණ උසැති, පෙඳ පාසියෙන් වැසීගිය ගල් කණුවක් දෙස ඔහු උදාසීන නෙතින් බැලුවේය. "මේ කහල ගොඩේ තව කොච්චර කල් ලැගල ඉන්ට වෙයිද මගේ හමුදාව දෙනකල්? මට මේකේ ඉඳල එපාවෙලයි තියෙන්නේ."

"කුමාරිව ‍ඩොෂ් ඛලීන්ලාට පෙන්නන්ට ඕන..."

"ඔවු ඔවු අර නාකිච්චියෝ ටිකනේ." ඔහු කඩා පැන්නේ ය. "ඊට පස්සෙ ඕකිගෙ බඩේ ඉන්න එකා ගැන අනාවැකි කියන්ට තවත් මොකද්ද මල කෝලමක් තියනවා කියලා උඹ මට කලින් කිවුවා නේද? ඒකෙන් මට වැඩක් නෑ. අශ්ව මස් කාල කාල මට දැන් ඇති වෙලා තියෙන්නේ. මේ ම්ලේච්ජයන් ගේ ගඳත් මට ඉවසන්ට බෑ." ඔහු සුවඳ කුඩු පසුම්බියක් රඳවා තබාගෙන සිටි කබා අත සිම්බේ ය. එනමුදු එයින් කිසිදු ඵලක් ඇති නොවූයේ ඔහුගේ කබාය එකම කුණු ගොඩක් වී තිබුනු බැවිනි. පෙන්ටොස්වලින් පිටත්වද්දී ඔහු ඇඳ සිටි බර ලොම් ඇඳුම් හා සේද රෙදි සියල්ල දිරාගොස්  දහඩියෙන් ජරා වී ගොස් තිබින.

"බටහිර වෙළෙඳපලේ කටට රහ කෑම තියෙයි මගේ ස්වාමිනී. නිදහස් නගරවල වෙළෙන්දෝ උන්ගෙ බඩු විකුණගන්ට එහාට එනවා. ඛාල් එයාගේ පොරොන්දුව හරි වෙලාවට ඉටු කරයි." සෙර් ජෝරා පැවසුවේ ය.

"එහෙම කලොත් හොඳයි." ඔහු සාහසික ලෙස පැවසීය. "ඌ මට ඔටුන්නක් පොරොන්දු වුනා, ඒක මම කොහොමහරි ගන්නවා. මකරත් එක්ක විහිළු බෑ." පියයුරු හයක් සහ මුගටි හිසක් තිබුණු විශාල ප්‍රථිමාවක් දුටු ඔහු එය වඩා හොඳින් නිරීක්ෂණය කිරීම පිණිස එදෙසට අසු මෙහෙයවූයේය.

ඩැනීට සැහැල්ලුවක් දැනුනද ඇගේ සිතේ වූ වියවුල් බව මුලුමනින්ම මැකී නොගියේ ය. "මගේ ඉරයි-තරුයි එයාව ගොඩක් කල් මෙහෙ තියාගන්නෙ නැතිවෙන්ටයි කියලා මම ප්‍රාර්ථනා කරනවා." ඔහු නෑසෙන මානයට ගියපසු ඇය සෙර් ජෝරාට පැවසුවා ය.

නයිට්වරයා ඇගේ සොහොයුරා දෙස සැකමුසු බැල්මක් හෙලුවේ ය. "ඔබේ සහෝදරයට තිබුනෙ පෙන්ටොස්වල නතරවෙලා ඉන්ටයි. ඛලසාරයක් කියන්නෙ එයාට හරියන තැනක් නෙවෙයි. ඉල්ලිරියෝ ඕක කියන්ට උත්සාහ කලා."

"එයාගෙ සෙබළු දහදාහ හම්බවුන හැටියේ එයා මෙහෙන් යයි. මගේ ස්වාමියා එයාට රත්තරන් ඔටුන්නක් පොරොන්දු උනා නේ."

සේර් ජොරා අමනාපයෙන් මෙන් ගෙරවීය. " ඔවු ඛලීසි. ඒ වුනත්... ඩොත්රැකියෝ මේවා දිහා බලන්නේ බටහිර අපි බලන විදියට නෙවෙයි, උන්ගේම විදියකට. මම ඕක පැහැදිලි කරන්ට උත්සාහ කලා, ඉල්ලිරියෝ ඕක පැහැදිලි කරන්ට උත්සාහ කලා. ඒත් ඔබේ සහෝදරයා ඕව කණකට ගන්නෙ නෑ නෙව. මේ අශ්වහිමියො කියන්නෙ වෙළෙන්දෝ නෙවෙයි. විසේරිස් හිතාගෙන ඉන්නේ එයා ඔබව විකුණුවා කියලයි. දැන් එයා බලාගෙන ඉන්නේ ඒකෙ මිල ලැබෙනකල්. ඒත් ඛාල් ඩ්‍රෝගෝ හිතන්නේ ඔබ තෑග්ගක් කියලයි. එයා විසේරිස්ට ආපහු තෑග්ගක් දෙයි. ඇත්ත... හැබැයි එයාට ඕන වෙලාවට. තෑගි ඉල්ලලා බලකරන්ට බෑ නෙව. ඛාල් කෙනෙක්ගෙන් නම් මොනවත්ම බල කරලා ගන්ට බෑ."

"ඒත් එයාව මෙහෙම තියාගෙන ඉන්න එක හරි නෑ." තමා මෙසේ සිය සොයුරාව ආරක්ෂා කරන්නේ මන්දැයි ඩැනී නොදත්තා ය. "විසේරිස් කියනවා රණකාමියෝ දහදාහකින් එයාට මුලු රාජධානි සප්තකයම පිහදාලා යටත් කරගන්ට පුළුවන් කියලා."

සෙර් ජෝරා උපහාසයෙන් හඬක් නැගීය. "විසේරිස්ට කොසු දහදාහකින් අස්ස ගාලක්වත් අතුගාගන්ට බෑ."

ඔහුගේ උපහාසාත්මක ස්වරය ඩැනීව විශ්මයට පත් කිරිමට අසමත් විය. "කොහොමද... කොහොමද ඒ විසේරිස් නැතුව වෙන කෙනෙක් වුනා නම්? වෙන කෙනෙක් උන්ව මෙහෙයෙවුවොත්? වඩා ශක්තිමත් කෙනෙක්? එහෙම වුනොත් ඩොත්රැකියන්ට ඇත්තටම රාජධානි සප්තකය අල්ලගන්ට පුළුවන් වෙයිද?"

සෙර් ජෝරාගේ මුහුණ බැරෑරුම් හා කල්පනාකාරී විය. "මම පිටුවහලෙක් විදියට මුලින්ම මෙහාට ආපු කාලේ මට මුන්ව පෙනුනේ බාගෙට හෙළුවෙන් ඉන්න වැද්දෝ ටිකක් වගේ. උන්ගෙ අශ්වයින් වගේම වනචාරියො ටිකක් වගේ. ඒ කාලේ ඔය ප්‍රශ්නය මගෙන් ඇහුවානම් කුමාරි, මම කියයි හොඳ දක්ෂ නයිට්වරුන් දාහකට මුන් ලක්ෂයක් එක්ක වුනත් ලේසියෙන්ම සටන් කරන්ට පුළුවන් කියලා."

"ඒත් මම දැන් ඇහුවොත්?"

"දැන්?" නයිට්වරයා පිළිතුරු දුන්නේ ය. "දැන්නම් මට ඒක එච්චරම විශ්වාස නෑ. මුන් අපේ ඕනම නයිට් කෙනෙකුට වඩා හොඳ අසරුවො. යකාටවත් බය නෑ. අනික මුන්ගේ දුනු වලින් අපේ ඒවාට වඩා ඈතට විදින්ට පුළුවන්. රාජධානි සප්තකයේ නම් දුනුවායෝ සටන් කරන්නේ බිම ඉඳන්. නැත්තම් පලිහ පිටිපස්සේ හැංගිලා. එහෙමත් නැත්නම් උල් රිටිවලින් හදාපු බාධකයක් ඉස්සරහින් තියාගෙන. ඩොත්රැකියෝ විදින්නේ අශ්ව‍යො පිටේ යන ගමන්මයි. පහරදෙනව ද නැත්තම් පහුබහිනව ද කියලා වෙනසක් නෑ. අනික කිසිම වැරැදීමක් නැතුව ඉලක්කෙටම විදින්ට උන්ට පුළුවන්... ඒත් එක්කම උන් මහා ගොඩක් ඉන්නවා මගේ ආර්යාවනි. ඔබේ සැමියා ගේ ඛලසාර් එකේම රණකාමී අසරු සෙබළු හතලිස් දාහක් ඉන්නවා."

"ඒක ඇත්තටම ලොකු ගානක් ද?"

"ඔබේ සහෝදරයා රේගාර්, ගංගා ත්‍රිශූලයේ සටනටත් ඒ තරම්ම ගානක් ගෙනාවා." සෙර් ජෝරා පිළිගත්තේ ය. "ඒත් ඒකෙන් දහයෙන් එකක් විතරයි නයිට්වරු හිටියේ. අනික් උන් ඔක්කොම දුනුවායොයි, නිදහස් සටන් කාරයොයි, හෙල්ලෙනුයි කුන්තානියෙනුයි සටන් කරන පාබල හමුදාවයි විතරයි. රේගාර් වැටුනයින් පස්සේ උන්ගෙන් හුඟදෙනෙක් ආයුධ ඔක්කොම විසිකරලා පැනල ගියා. ඒ වගේ පඹ‍යො ටිකක් ලේ පිපාසිත ඩොත්රැකියො හතලිස් දාහක් එක්ක කොච්චර වෙලා සටන් කරයි කියලද ඔබ හිතන්නෙ? වැස්සක් වගේ ඊතල වැටෙනකොට ඔය හම් කබාවලටයි, මුදු දම්වැල් සන්නාහවලටයි කොච්චර වෙලාවක් ඔරොත්තු දීගෙන ඉන්ට පුළුවන් වෙයිද?"

"එච්චර වෙලාවක් නෙවෙයි. එච්චර හොඳටත් නෙවෙයි."

ඔහු හිස වැනීය. "මේක තේරුම් ගන්ට කුමාරි. රාජධානි සප්තකයේ පාලකයින්ට මොළේ කළඳක්වත් තියෙනවා නම් මේකෙන් වලකින්ට පුළුවන්. මේ ඩොත්රැකියන්ට ‍ඔය බලකොටු වටලෑම් ගැන දැනුමක් නෑ. ඒක උන්‍ට අල්ලන්නෙත් නෑ . රාජධානි සප්තකයෙ තියෙන දුර්වලම බලකොටුවවත් මුන්ට අල්ලගන්ට පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නෑ. ඒත් රොබර්ට් බරතියන් මෝඩයා වගේ මුනුත් එක්ක මූනට මූන සටන් කරන්ට ගියොත් නම්..."

"එයා එහෙම කෙනෙක් ද?" ඩැනී ඇසුවාය. "ඒ කීවේ මෝඩයෙක් ද?"

නයිට්වරයා මොහොතක් කල්පනා කලේය. "රොබර්ට් ඉපදෙන්ට තිබ්බේ ඩොත්රැකියෙක් වෙලා." ඔහු අන්තිමේදී පිළිතුරු දුන්නේය. "ඔබේ ඛාල්ගෙන් ඇහුවොත් එයා කියයි කඩුවක් අතින් අරන් සතුරාට මුහුණ දෙන්නෙ නැතුව ප්‍රාකාර අස්සේ හැංගිලා සටන්කරන්නෙ බයගුල්ලෝ කියලා. රොබර්ටුත් ඒකට එකඟ වෙයි. එයා බොහොම ශක්තිමත් නිර්භීත මිනිහෙක්. එයාට පුළුවන්නම් එයා ඩොත්රැකියොත් එක්ක එලිමහනෙම සටන් කරයි. ඒත්, එයාගෙ වටේ ඉන්න නලාකාරයෝ ගහන්නෙ වෙනමම පදයක්. එයාගේ මල්ලි ස්ටැනිස්, ටයිවින් ලැනිස්ටර් උතුමානන්, එඩාර්ඩ් ස්ටාර්ක් උතුමානන් වගේ අය." ඔහු බිමට කෙල පහරක් ගැසුවේය.

"ඔබට ‍මේ ස්ටාර්ක් උතුමානන්ව පේන්ට බෑ නේද?"

"ඌ මාව මම ආදරේ කරපු හැම දේකින්ම වෙන් කලා. ජරා හොර දඩයක්කාර‍යො ටිකකුයි, උගෙ මලඉලවු ගෞරවයයි නිසා." සෙර් ජෝරා අමිහිරි හඬකින් පිළිතුරු දුන්නේ ය. ඒ ස්වරයේ ගැබ් වූ වේදනාව කොතෙක්ද යන්න වටහා ගන්නට ඩැනීට හැකිවිය. ඔහු වහාම කතාව වෙනතකට හැරවූයේ ය. "අන්න, අර තියෙන්නෙ." ඔහු ඇඟිල්ල දිගුකොට පෙන්වීය. "වයෙස් ඩොත්රැක්, අශ්වාධිපතියන් ගේ නගරය. "

ඛාල් ඩ්‍රෝගෝ සහ ඔහුගේ රුධිරාරක්ෂකයෝ බටහිර වෙ‍ළෙඳපලෙහි යස කඩ වීදි ඔස්සේද, ඉන් ඔබ්බෙහිවූ පුළුල් මාවත් දිගේද සිය ඛලසාරය මෙහෙයවූහ. ඊට පිටුපසින් රිදීවන් අසු පිට ගමන් කල ඩැනී වටපිට වූ අමුතු දසුන් දෙස දෑස් අයා බලමින් ගමන් කලාය. වයෙස් ඩොත්රැක් ඇය දුටු විශාලතම නගරය මෙන්ම කුඩාම නගරය ද විය. එය පෙන්ටොස් මෙන් දස ගුණයක් විශාල වන්නට ඇතැයි ඈ සිතුවාය. එය නගර ප්‍රාකාරවලින් හෝ අන් කිසිවකින් සීමා නොවූ සුවිසල් තැනක් විය. එහි වූ නිතරම වේගවත් සුළං හමන පුළුල් මංපෙත් තණකොල, මඩ සහ කැලෑමලින් වැසී තිබින. බටහිර දේශයේ පිහිටි නිදහස් නගර වනාහි මාලිගා, කුළුණු, පැල්පත්, පාලම් සහ වෙළෙඳසල් යන සියල්ලම එකිනෙකට තදබද වුනු සීමිත ප්‍රදේශයන් විය. එහෙත් වයෙස් ඩොත්රැක් තම පෞරාණිකබව පෙන්වමින්, ආඩම්බරයෙන් හා හිස් බවින් යුතුව, හිරු එළියේ නැහැවෙමින් සිටියාය.

මෙහි වූ ගොඩනැගිලි පවා අමුතු විලාසයක් ගත්තේය. කැටයම් කරන ලද පාෂාණමය මණ්ඩප, වියන ලද තණපත් වලින් නිම කල බලකොටු තරම් විශාල මන්දිර, දැවයෙන් කරන ලද දුර්වල කුළුණු, කිරිගරුඬ අල්ලන ලද පඩි සහිත පිරමීඩ, වහලක් රහිත ගස් කඳන් වලින් තැනුනු ශාලා ආදී සෑම දෙයක්ම එහි විය. සමහර මන්දිර ප්‍රාකාර වෙනුවට කටු වැටින් වට කර තිබුණි. "එක වගේ දෙකක් හොයාගන්ට නෑ!" ඇය පුදුමයෙන් පැවසුවා ය.

"ඔ‍බේ සහෝදරයා කියාපු දේවලින් බාගයක් ඇත්ත." සෙර් ජෝරා පිළිගත්තේ ය. "ඩොත්රැකියෝ කිසිම දෙයක් ගොඩනගන්නේ නෑ . අවුරුදු දාස් ගානක් තිස්සෙ උං පුරුදුවෙලා ඉන්නෙ ඉහට උඩින් වහළක් ඕන නම් බිම වලක් හාරලා උඩින් වියාපු තණකොළ වලින් වහල දාන්ටයි. මේවා හදල තියෙන්නේ උං කොල්ල කාපු එකේක රටවලින් අල්ලගෙන ආපු වහල්ලු. උන් ඉතින් තම තමාගේ රටේ විදිහට තමයි හදන්නේ."

බොහෝ මන්දිර, විසල් ඒවා පවා පාළුවට ගොස් තිබින. "කෝ මෙහෙ ජීවත්වෙන මිනිස්සු?" ඩැනී ඇසුවාය. වෙළෙඳපල කෑ ගසන මිනිසුන්ගෙන් හා එහා මෙහා දුවන දරුවන්ගෙන් පිරී තිබින. එහෙත් අනෙක් තැන්වල ඇය දුටුවේ තම තමන්ගේ වැඩ කටයුතු සඳහා එහා මෙහා යන නපුංසකයින් කිහිපදෙනෙකු පමණි.

"ඩොෂ් ඛලීන් මැහැලියො ටික විතරයි මේ පූජනීය නගරේ ස්ථිරවම ජීවත් වෙන්නෙ. උනුයි උන්ගෙ වැඩකාරයොයි, වහල්ලු ටිකයි." සෙර් ජෝරා පිලිතුරු දුන්නේ ය. "ඒ වුනත් හැම ඛලසාර් එකකම ඉන්න හෑම මිනිහෙකුටම ඉන්ට තරම් ඉඩ මෙතන තියෙනවා. ඔක්කොම ඛාල්ලා තම තමන්ගෙ ඛලසාරුත් එක්ක එක මොහොතේ මෙතනට ආවත් ඉඩ තියෙනවා. ‍මේ මැහැලියන්ගෙ අනාවැකි අනුව කවදා හරි දවසක ඒ දේ ඇත්තටම සිද්ද වෙනවලු. ඉතින් වයෙස් ඩොත්රැක් හැමවෙලාවෙම තමන්ගෙ දරුවො සේරම එකපාර පිළිගන්ට ලෑස්ති වෙලා ඉන්ට ඕනලු."

අන්තිමේදී නැගෙනහිර වෙළෙඳපල අසල යිටී, අෂයී හා සෙවනැලි දේශයෙන් වෙළෙදාම පිණිස මෙහි පැමිණ සිටි තවලම් අසලදී ඛාල් ඩ්‍රෝගෝ විසින් පිරිසට නැවතීමට සන්කලේය. 'කඳුවැටිවල මාතාව' නමින් හැඳින්වුනු උසැති කන්ද ඔවුන්ට ඉහළින් උත්තුංගව නැගී සිටියාය. මැජිස්ටර් ඉල්ලීරියෝ ගේ වහල් දැරිය විසින් සඳහන් කරන්නට යෙදුනු, රිදී දොරවල් සහිත කාමර දෙසීයේ මාලිගාව සිහිවූ ඩැනීට සිනහවක් පහළ විය. මේ 'මාලිගාව' වනාහි දැවයෙන් නිමකල, ගුහාවක් වැනි උත්සව ශාලාවක් පමණක් විය. එහි බිත්ති අඩි හතලිහක් පමණ උසට විහිදුනු, කපන ලද රළු ලීයෙන් නිමවිය. වහල එකට තබා මසන ලද දිගැති සේද රෙද්දකින් නිම වූයේ, කලාතුරකින් වැටෙන වැස්සෙන් ආරක්ෂාවීම සඳහා ඉහළට එසවීමට හෝ අනන්ත ආකාශය පිළිගැනීම සඳහා පහත් කිරීමට හෝ හැකි කූඩාරමක් බඳු විය. ශාලාව වටා උස් වූ වැටින් යුත් තණින් වැසුනු අස් අංගනය, ගිණි වලවල් සහ කුඩා කඳුගැට මෙන් උඩට නෙරා ආ, මැටියෙන් තනා තෘණ සෙවිලි කල සිය ගණනක් වූ නිවාස පිහිටා තිබින.

ඛාල් ඩ්‍රෝගෝ ගේ පැමිණීමට සූදානම් වීම පිණිස වහලුන් කණ්ඩායමක් කලින්ම එහි ගොස් සිටියහ. අසරුවන් එකිනෙකා තම සෑදලවලින් බැස්සේ ඉණෙහි පැළැඳ සිටි ඇරඛ් ගලවා, තමන් සතු අනෙක් ආයුධත් සමගින් එහි බලාසිටි වහලුන් අතට දුන්නහ. ඛාල් ඩ්‍රෝගෝට පවා මීට යටත්වීමට සිදුවිය. වයෙස් ඩොත්රැක්වලදී ආයුධ ගෙනයෑමත්, නිදහස් මිනිසෙකුගේ ලේ වැගිරීමත් තහනම් දෙයක්  බව සෙර් ජෝරා විස්තර කලේය. එකිනෙකාට එරෙහිව යුධ වැදී සිටි ඛලසාර් පවා කඳුවැටිවල මාතාව ඉදිරියේ තම අමනාපකම් ඉවත දමා එකට කෑම් බීම් කලහ. ඩොෂ් ඛලීන් මැහැල්ලන් විසින් නියෝග කරන ලද පරිදි මේ නගරය තුළදී සෑම ඩොත්රැකියෙක්ම එකම ලෙයක්, එකම ඛලසාරයක් හා එකම රංචුවක් වූහ.

ඉරී සහ ජික්වී විසින් සිල්වර් පිටින් බැසීම සඳහා ඩැනීට උදව් කරද්දී කොහොල්ලෝ එතැනට පැමිණියේ ය. ඔහු ඩ්‍රෝගෝ ගේ රුධිරාරක්ෂකයින්ගෙන් වයසකම තැනැත්තා වූ අතර තරබාරු සිරුරක්, ඇද වූ නාසයක් හා කැඩුනු දතින් පිරි මුවක් හිමිවූයේය. විසිවසකට පෙර ඒවා යගදා පහරකින් කැඩී ගොස් තිබුනේ කුලී හේවායින් විසින් ලාබාල ඛලඛාව ඔහු ගේ පියා ගේ සතුරන්හට විකිණීමට යාම වළක්වන්නට කල උත්සාහ‍යේදී ය. ඔහු ගේ ජීවිතය ඩ්‍රෝගෝ ගේ ජීවිතය හා බැඳුනේ ඇගේ සැමියාගේ උපතත් සමග විය.

සෑම ඛාල්වරයෙකුටම ඔහුට වෙන්වූ රුධිරාරක්ෂකයෝ වූහ. මුලදී ඩැනී සිතුවේ ඔවුන් රාජ්‍යාරක්ෂක මුර සෙබළුන් මෙන් සිය ස්වාමියා රැකීම සඳහා දිවුරුම් දුන් කොටසක් වශයෙනි. එනමුදු එය ඉන් එහා ගිය යමක් විය. රුධිරාරක්ෂකයින් යනු සාමාන්‍ය අංගාරක්ෂකයින්ට වඩා වැඩි ‍දෙයක් බව ජික්වී ඇයට කියාදුන්නා ය. ඔවුහු ඛාල් ගේ සොහොයුරන්, සෙවනැල්ල මෙන් ළඟින් සිටින්නන් හා සැහැසි මිතුරෝ වූහ. ඛාල් ඔවුන් නම් කලේ 'මගේ රුධිරයෙන් උපන් රුධිරය' කියාය. එසේ කීවාක් මෙන්ම ඔවුන් භුක්ති වින්දේද එක් ජීවිතයක් විය. මොවුන් ගේ පුරාණ චාරිත්‍රවලට අනුව, ඛාල් කෙනෙකු මියයනවිට ඔහුගේ රුධිරාරක්ෂකයින් ද ඔහු සමග මිය යා යුතු විය. මක්නිසාද යත් මරණින් මතු ඔවුන් සැම යන 'නිශා දේශයේදී' ඔහුත් සමග පසෙකින් යාමට පිරිසක් සිටිය යුතු වූ බැවිනි. යම් හෙයකින් ඛාල් සතුරෙකු අතින් මියගියේ නම් ඔහු ගේ පලිය ගැනීම සඳහා පමණක් ජීවත්ව ඉන්පසු සතුටින් තම මිනීවල කරා යා යුතු විය. ජික්වී ඇයට කියා දුන් පරිදි සමහර ඛලසාර්වල රුධිරාරක්ෂකයෝ ඛාල් ගේ වයින්, ඔහු ගේ කූඩාරම පමණක් නොව ඔහුගේ බිරින්දන් පවා බෙදා හදා ගත්තෝ ය. එහෙත් කිසිදිනක ඔහු ගේ අසුන් බෙදාගැනීමක් සිදු නොවින. මිනිසකු ගේ අසු යනු ඔහු පමණක් සන්තක වස්තුවක් විය.

ඛාල් ඩ්‍රාගෝ මේ පුරාණ ක්‍රම අනුගමනය නොකිරීම ගැන ඩැනී අතිශයින් සතුටුවූවා ය. තමාව ඔවුන් අතර බෙදාදීමට ඇය කිසිසේත්ම කැමැති නොවනු ඇත. මහලු කොහොල්ලෝ ඇයට කරුනාවෙන් සැලකුවද ඇය සෙස්සන්ට බිය වූවාය. දැවැන්ත එමෙන්ම නිහඬ හග්ගෝ ඇය කවුදැයි අමතක වූවාක් මෙන් ඇයට නිතර රැවීය. ඛෝතෝට නපුරු දෑසක් හා අනුන්ට රිදවීමට කැමැති දෑතක් තිබින. ඔහු ඩෝරියාව අල්ලන සෑම විටකදීම ඇගේ සුමුදු සුපු පැහැ සම මත සලකුණු තැබීය. එමෙන්ම සමහර රාත්‍රින්හිදී ඉරීව හැඬවීය. ඔහු ගේ අශ්වයෝ පවා ඔහුට බියවූහ.

එනමුදු ඔවුන් ඛාල් ඩ්‍රෝගෝට දිවියෙන් හා මරණයෙන් බැඳී සිටි අතර ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීම ඩනේරිස්ට කල නොහැක්කක් විය. සමහර අවස්ථාවලදී තම පියාටත් මෙවැනි ආරක්ෂකයින් සිටියා නම් යන සිතුවිල්ල ඇගේ සිත තුළට ඇතුළුවිය. ගී සැහැලිවල කියැවෙන පරිදි නම් රාජ්‍යාරක්ෂක බලකායේ ධවල නයිට්වරුන් සියලුදෙනා ඉතා නිර්භීත, උදාර ගතිගුණ ඇති විශිෂ්ට රණවිරුවන් වුවද එවැනි එක්‌ අයෙකු අතින්ම ඇගේ පියාව ඝාතනය විය. එවකට කඩවසම් කොලුවෙකු වූ ඔහුට දැන් සියල්ලෝම රජුන් මරන්නා යයි කියති. තවෙකෙකු වන නිර්භීත සෙර් බැරිස්ටාන් සිහසුන උදුරාගත් එකාගේ පැත්තට පැන තිබින. රාජධානි සප්තකයේ සියළුම මිනිසුන් මෙබඳු චපලයන්දැයි ඇය මවිතයෙන් කල්පනා කලාය. ඇගේ පුත්‍රයා යම් දිනයක යකඩ සිහසුන අරා හිඳිනා විට ඔහුගේ ආරක්ෂාවට රුධිරාරක්ෂකයන් යෙදවිමට ඇය ඉටා ගත්තාය.

"ඛලීසි," කොහොල්ලෝ ඩොත්රැකි බසින් ඇයව ඇමතුවේ ය. "ආපසු ගමනට ආසිරි පතලා දෙවියන්ට පුදපූජා කරන්ට අද රෑ කඳුවැටිවල මාතාව තරණය කරන්ට යනවයි කියලා ඔබට කියන්ටයි කියලා මගේ රුධිරයෙන් උපන් රුධිරය වන ඩ්‍රෝගෝ අණ කළා."

මවුතුමිය වෙත පියනැගිය හැක්කේ පිරිමින්ට පමණක් බව ඩැනී දැන සිටියා ය. ඛාල්ගේ රුධිරාරක්ෂකයින් ද ඔහු සමග ගොස් හිරු උදාවත් සමග ආපසු එනු ඇත. "මගේ හිරු-සහ-තාරකාවන්ට කියන්ට මම එයා එනතුරු කාංසාවෙන් බලන් ඉන්නවා කියලා." ඇය ඔහුට පැවසූයේ ඩ්‍රෝගෝට සිතින් කෘතඥ වෙමිනි. කුසෙහි වු දරුවා වැඩෙත්ම ඩැනීට වැඩි වැඩියෙන් වෙහෙස දැනෙන්නට පටන්ගෙන තිබින. ඇත්තෙන්ම මෙසේ එක් රැයක් හෝ නිස්කලංකව ගත කරන්නට ලැබීම ඇය සතුටින් බලපොරොත්තු වූ දෙයක් විය. දරුගැබ නිසා ඛාල්ගේ කාමුක ආශාවන් තව තවත් ඇවිස්සුනාක් මෙන් පෙනුනු අතර ඔහු හා ගෙවුනු පසුගිය රාත්‍රින් කිහිපය නිසා ඇගේ ශක්තිය මුලුමනින්ම නැතිවී ගොස් තිබින.

ඇය සහ ඛාල් වෙනුවෙන් පිලියෙල කර තිබූ හෙල කුහරය  වෙත ඩෝරියා ඇයව කැඳවාගෙන ගියාය. ඒ තුළ මැටියෙන් කල කූඩාරමක මෙන් අඳුරු හා සීතල විය. "ජික්වී, මට නාන්ට ලෑස්ති කරන්ට." ඇය අණ කලාය. ගමන පුරාවටම තැවරනු දුහුවිලි සෝදා හැරීමට හා වෙහෙසට පත් ඇඟපත තෙමා ගැනීමට ඇයට උවමනා විය. ඔවුන් මෙම ස්ථානයේ මඳ කලක් නැවතෙන බව ද, හෙට දවසේ නැවතත් සිල්වර් පිට නැගීමට සිදු නොවන බව ද දැනගැනීම ඇත්තෙන්ම සුන්දර විය.

වතුර ඇය කැමති අන්දමට දැවෙන තරම් උණුසුම් වූයේය. "මම අද රෑ මගේ සහෝදරයට එයාගේ තෑගි දෙන්ට ඕන." ජික්වී ඇගේ හිසකෙස් සෝදන අතර ඇය තීරණය කලාය. "මේ පූජනීය නගරයේ එයා රජෙක් වගේ පේන්ට ඉන්ට ඕනි. ඩෝරියා, දුවලා ගිහින් මම එයාට අද රෑ කෑමට ආරාධනා කලා කියලා කියන්ට." විසේරිස් ඇගේ ඩොත්රැකි සේවිකාවන්ට වඩා මෙම ලයිසෙනී කෙල්ලට කරුනාව දැක්විය. සමහරවිට පෙන්ටොස්වලදී, ඉල්ලීරියෝ විසින් ඇයව ඇඳට ගෙනයෑමට ඉඩ දුන් නිසා වන්නට ඇත. "ඉරී, කඩවීදියට දුවලා මසුයි, පළතුරුයි ගේන්ට. අශ්ව මස් නැතුව වෙන ඕනම දෙයක්."

"අශ්ව මස් තමා හොඳම." ඉරී පැවසුවා ය. "ඒවයින් මිනිහෙකුට හයිය හත්තිය ලැබෙනවා."

"විසේරිස්ට අශ්ව මස් පෙන්නන්ට බෑ." 

"ඔබ කියන විදියක් ඛලීසි."

ඇය එළු ගාතයක්ද, එළවළු හා පළතුරු කූඩයක්ද ගෙනාවා ය. ජික්වී මස් ගාතය වරින්වර මී පැණියෙන් තෙත් කරමින්, ස්වීට්ග්‍රාස් හා සුවඳ පැළෑටි වර්ග මුහු කරමින් පිලිස්සුවාය. ඒ සමග කොමඩු, දෙළුම්, ප්ලම් හා ඩැනී නම නොදන්නා, නැගෙනහිර පෙදෙසේ වැවෙන අමුතු පළතුරු වර්ගයක්ද විය. සේවිකාවන් රෑ කෑම වේල පිලියෙල කරන අතර ඩැනී සිය සොයුරා ගේ මිම්මට අනුව ඇය විසින් නිම කල ඇඳුම් අතුරා හැඩ බැලුවා ය. සුමුදු සුදු හණ රෙද්දෙන් නිමවුනු කබායක් හා කලිසමක්, දණිස්ස තෙක් පටි ගොතා බඳින හම් පාවහන් යුගලක්, තඹ පදක්කමකින් අලංකාර ‍කෙරුනු ඉණ පටියක් සහ ගිණි පිඹින මකරුන් පින්තාරු කරන ලද බැනියමක් ඒ අතර විය. සිඟන්නෙකු සේ නොපෙනේ නම් ඩොත්රැකියන් ඔහුට ගරු කරනු ඇතැයි ඈ සිතුවාය. එමෙන්ම එදා තණපිටියේදී ඔහුට ලජ්ජා කිරීම ගැන ඔහු ඇයට සමාව ද දෙනු ඇත. ඔහු තවමත් ඇගේ රජු මෙන්ම ඇගේ සහෝදරයා ද විය. ඔවුන් දෙදෙනාම මකර රුධිරයෙන් බිහිවූවන් වූහ.

ඔහු වෙනුවෙන් නිම වූ තෑගිවලින් අවසාන එක වන, ඔහුගේ හිසේ රිදී පැහැය කැපී පෙන්වන, ලා අළු පාට වාටියකින් හෙබි තණකොල පැහැ සේද සළුවක් ඇය විසින් අතට ගනිද්දී විසේරිස් කූඩාරමට ඇතුළු විය. ඒ නිකම්ම නොව, තමා පසුපසින් ඇදගෙන ආ ඩෝරියා ද සමග විය. ඔහු පහරකෑමට ලක් වීම නිසා ඇගේ ඇසක් රතුවී තිබින. "උඹ කොහොමද මේ පරට්ට වේසිව එව්වේ මට අණ කරන්ට?" ඔහු ඇසුවේ ය. ඔහු සේවිකාව රළු ලෙස පලස මතට තල්ලු කලේය.

ඔහුගේ මේ කෝපය ඇයව මුලුමනින්ම පුදුම කරවී ය. "මට ඕනේ කලේ... ඩෝරියා උඹ මොනවද එයාට කිවුවේ?"

"මට සමාවෙන්ට ඛලීසි. ඔබ කිවුව විදියට මම එයාව හොයාගෙන ගියා. ගිහින් කිවුවා රෑ කෑමට ඔබත් එක්ක එක්වෙන්ටයි කියලා ඔබ අණ කලා කියලා."

"මකරට කවුරුත් අණ දෙන්නේ නෑ!" විසේරිස් පිම්බේ ය. "මම උඹේ රජ්ජුරුවෝ! මට තිබුනේ උඹට මේකිගේ ඔළුව ආපහු එවන්ට."

ලයිසෙනී කෙල්ල බියෙන් ඇකිලුනු මුත්, ඩැනී ඇය අල්වා නිසල කලාය. "බයවෙන්ට එපා. එයා‍ගෙන් උඹට කරදරයක් වෙන්නෙ නෑ. මගේ හොඳ අයියා, වැරැදියට කතාකලාට මේකිට සමාවෙන්ට. මම කීවේ ඔබතුමා කැමැති නම් අද රෑ කෑම මාත් එක්ක ගන්ට පුළුවන් කියලයි." ඔහුගේ අතින් අල්ලාගත් ඇය ඔහුව කාමරය තුළට කැඳවූවා ය. "මේ බලන්ට. මේවා ඔයාට."

විසේරිස් සැකයෙන් බැම ඇකිළීය. "මේ මොනවද?"

"අලුත් ඇඳුම්. මමමයි ඔයාට හැදුවේ." ඈ ලජ්ජාසහගත සිනාවක් පෑවාය.

ඔහු ඇය දෙස බලා මුව ඇද කලේය. "ඩොත්රැකි කඩමලු! උඹ ඒ පාර මට ඇඳුම් අන්දන්ටත් හදනවද?"

"අනේ... මම හිතුවේ ඒවයින් ඔයාට රස්නෙ අඩුවෙලා හොඳ සනීපයක් දැනෙයි කියලා. මම හිතුවේ... සමහරවිට, ඔයා එයාලගෙ විදියට ඇන්දොත්, ඩොත්රැකියො..." මකරා අවුස්සා නොගෙන එය කියන්නේ කෙසේදැයි ඩැනී නොදැන සිටියා ය.

"ඊලඟට උඹට ඕනවෙයි මගේ කොන්ඩෙත් ගොතන්ට!"

"මම කවදාවත් එහෙම කරන්නේ නෑ..." ඔහු සෑමවිටම මෙතරම් නපුරු වන්නේ මන්ද? ඇයට උවමනා වූයේ උදව්වක් කිරීමට පමණි. “ඔයා තාම කිසිම සටනකින් දිනලා නැති හන්දා කොණ්ඩේ ගොතන්ට අවසර නෑ නේ."

එය වැරදි කතාවක් විය. ඔහුගේ එළ නිල් දෑස කෝපයෙන් දිලිසින. එහෙත් ඇගේ සේවිකාවන් බලා සිටිද්දී, ඇගේ ඛාස් සෙබළුන් පිටත මුරකාවලේ යෙදී සිටිද්දී ඇයට පහරදීමේ හැකියාවක් ඔහුට නොවීය. විසේරිස් සළුව අතට ගෙන ඉව කලේය. "ගොම ගඳයි. සමහරවිට මට මේක පාවිච්චි කරන්ට පුලුවන් වෙයි අශ්ව කම්බිලියකට."

"මම මේක ඩෝරියාට කියලා මැස්සුවේ ඔයා වෙනුවෙන්මයි." ඇය රිදුනු සිතින් කීවාය. "මේවා ඛාල් කෙනෙකුට ගැලපෙන ඇඳුම්."

"මම රාජධානි සප්තකයේ අධිපතියා. කොන්ඩේ සීනු එල්ල ගත්ත, ඇඟ පුරා තණකොල ඉස්ම තැවරිච්ච ම්ලේච්ජයෙක් නෙමෙයි." විසේරිස් ඇය දෙසට කෙළ ගැසීය. ඔහු ඇගේ අත තදින් මිරිකා අල්ලාගත්තේ ය. "උඹට උඹවම අමතක වෙලා ගිහිල්ලා පරට්ටියෙ. උඹ හිතනවද මකරා නැගිට්ටොත් උඹේ ඔය ලොකු බඩ උඹව බේර ගනී කියලා?"

ඔහුගේ අතැඟිලි ඇගේ හස්තය මිරිකමින් තවතවත් තදවී ගියේය. එක් මොහොතකට ඩැනීට දැනු‍නේ ඇය නැවතත් ඔහුගේ කෝපය ඉදිරියේ බියෙන් ඇකිළෙන කුඩා දැරිය බවට පත් වී ඇතුවාක් මෙනි. නිදහස් අතින් අතපත ගෑ ඇය අතට හසු වූ පළමු දේ අල්ලාගත්තා ය. ඒ ඇය ඔහුට තෑගි දීමට සිතූ අලංකාර පදක්කම් සහිත බර ඉණපටිය විය. එය තදින් අල්ලාගත් ඩැනී හැකි උපරිම වීරියෙන් එයින් දමා ගැසුවාය.

එය ඔහුගේ මුහුණ හරහා එල්ලවින. විසේරිස් ඇයව අත් හලේය. පදක්කමකට කැපී විවරවූ තැනකින් ඔහුගේ කපොල ඔස්සේ රුධිරය රූරා බසින්නට විය. "උඹට තමා තමන් කවුද කියලා මතක නැත්තේ." ඩැනී පැවසුවා ය. "උඹ එදා තණගොල්ලෙදි‍ මොකුත්ම ඉගෙනගත්තෙ නැද්ද? මෙතැනින් දැන්මම පිටවෙයන්. මගේ ඛාස්ලට එන්ට කියන්ට කලින්. මම ප්‍රාර්ථනා කරනවා ඛාල් ඩ්‍රෝගෝ මේ ගැන දැනගන්න එකක් නෑ කියලා. නැත්තම් එයා උඹේ බඩ කපලා බඩවැල් ටික උඹටම කවයි"

විසේරිස් නැවත නැගී සිටියේය. "මට මගේ රාජධානිය ලැබුන දාට උඹ මේ දවස ගැන පසුතැවිලි වෙයි වේසියේ!" සිය තුවාල වුනු මුහුණ අල්ලාගත් හේ ඇගේ තෑගි සියල්ලම එහි තිබියදී පිටව ගියේය.

ඔහුගේ ලේ බිඳු කිහිපයක් අලංකාර සේද සළුව පුරා විසිර තිබින. ඇය සුමුදු සළුව තම මුහුණට තද කරගනිමින් නිදන මෙට්ටය මත දෙදණ නමා හිඳ ගත්තාය.

"ඔබේ කෑම ලෑස්තියි ඛලීසි." ජික්වී පැවසුවා ය.

"මට බඩගිනි නෑ!" ඩැනී කණගාටුවෙන් පැවසුවාය. හදිසියේම ඇයට දැඩි වෙහෙසක් දැනෙන්නට විය. "මේ කෑම උඹලාම බෙදාගන්ට. කැමැති නම් සෙර් ජෝරාටත් ටිකක් යවන්ට." මොහොතකට පසු ඇය නැවත හඬ අවදිකලා ය. "කරුනාකරලා මට මට මකර  බිත්තරයක් ගෙනත් දෙන්ට."

ඉරී ඇය වෙත කොළ පැහැ කටුව සහිත බිත්තරය ගෙනාවා ය. තමාගේ කුඩා අත්වලින් බිත්තරය ඒ මේ අත හරවන විට ඒ කොර‍පොතු මැද්දේ තඹ පැහැති තිත් තිත් දිලෙනු ඩැනී දුටුවා ය. ඇය පැත්තට හැරී ගුලිවූයේ සේද සළුව තම සිරුර වැසෙන සේ දමාගෙන නෙරා ආ උදරයට හා ඇදුම් කන කුඩා පයෝධරයන්ට මැදින් බිත්තරය තබා ගත්තාය. මෙසේ මකර බිත්තර ලඟ තබාගෙන අල්ලාගෙන සිටීමට ඇය ප්‍රිය කලාය. ඒවා ඉතා මනහර විය. එමෙන්ම සමහර වේලාවට ඒවා ළඟින් තබාගත් විට තමා වඩා නිර්භීත හා වඩා ශක්තිමත් වන්නාක් මෙන් ඩැනීට දැනින. හරියටම ඇය විසින් ඒ බිත්තර තුළ සිර කෙරුනු මකරුන් ගේ ශක්තිය උරාගන්නාක් මෙනි. මෙසේ ඇලවී සිටිද්දී සිය බිළිඳා කුස තුළ හැරෙන ආකාරය ඇයට දැනින. එය හරියටම... සොහොයුරෙකුට සොහොයුරෙක් බැ‍ඳෙන්නාක් මෙන් නැතහොත් ලෙයට ලෙයක් ඈඳෙන්නාක් මෙන් බිළිඳා බිත්තරය දෙසට දෑත් දිගු කලාක් බඳු විය. "ඔයා තමයි මකරා!" ඩැනී ඔහුට ඇසෙන ‍සේ මිමිනුවා ය. "ඇත්තම මකරා. මම ඒක දන්නවා. මම ඒක හොඳින්ම දන්නවා!" ඈ සිනාසුනා ය. ඉන්පසු නිවෙස ගැන සිහින දකිමින් නින්දට වැටුනා ය.


Daenerys Targaryen: “Viserys says he could sweep the Seven Kingdoms with ten thousand Dothraki screamers.”
Ser Jorah Mormont: “Viserys could not sweep a stable with ten thousand brooms.”

Friday 21 November 2014

එඩාර්ඩ් 09


සුළැඟිල්ලා ඔහු එනතෙක් වෛශ්‍යා ගෘහයේ ප්‍රධාන ශාලාවේ පොරොත්තු වෙමින් පිහාටු ගවුමක් හැඳි, උසැති, රූමත්, කළු පැහැ සමින් යුතු ගැහැණියක හා මිත්‍රශීලී අයුරින් දොඩමින් සිටියේ ය. හේවර්ඩ් ගිනිඋඳුන අසල තරබාරු, ප්‍රසන්න කෙල්ලක හා අහිමිවීමේ ක්‍රීඩාව කරමින් සිටියේ ය. පෙනුනු අන්දමට නම් ඔහුට ඉණපටිය, සළුව, සන්නාහ කමිසය හා දකුණු කකුලේ බූට්ස් සපත්තුව අහිමි වී තිබුනු අතර දැරිය ඉණ දක්වාම නිරුවත්ව සිටියා ය. කවුළුවක් අසල සිටගෙන මේ ක්‍රීඩාව දෙස බලාසිටි ජොරී ගේ මුවේ වියළි සිනහවක් පහළ වී තිබින.

පඩිපෙළ පාමුල නැවතුනු නෙඩ් ඉණපටියෙන් සිය අත්වැසුම් යුගළ ඇදගත්තේ ය. "අපට යන්ට වෙලාව හරි. මගේ රාජකාරිය ඉවරයි‍."

සිය ඇඳුම් ආයිත්තම් සුරතට ගත් හේවර්ඩ් සැනින් නැගිට සිටියේ ය. "ඔබේ කැමැත්තක් මගේ උතුමානනි." ජොරී කීය‍. "මම විල්ට උදවු කරන්නම් අශ්වයො ටික අරන් එන්ට." ඔහු දොර දෙසට පිය මැන්නේ ය.

සුළැඟිල්ලා සිය සමුගැනීම් වෙනුවෙන් සෑහෙන වේලාවක් වැය කලේය. ඔහු කළු පැහැති ගැහැණිය ගේ අත සිඹ ඇගේ කණට කර යම් විහිළුවක් කල අතර ඇය කොක්හඬලා සිනාසුනා ය. "ඔබේ රාජකාරිය." නෙඩ් දෙසට අලස ‍ලෙස ඇවිද එන අතරේ ඔහු කීය. "එහෙමත් නැත්තම් රොබර්ට්ගෙ රාජකාරියද? මිනිස්සු නම් කියන්නෙ හස්තය රජතුමාගෙ හීන දකිනවා කියලා, රජතුමාගෙ කටහඬින් කතා කරනවා කියලා, රජතුමාගෙ අසිපතින් රාජ්‍ය පාලනය කරනවා කියලා. ඒ කියන්නෙ ඔබ ගෑනියෙක් එක්ක ඇඳට නැග්ගහමත් රජතුමාගෙ-"

"බේලීෂ් උතුමානනි." නෙඩ් බාධා කලේය. "ඔබ බොහොම දුරදිග යනවා වැඩියි. ඔබේ උදවුවට මම කෘතඥ නොවී ඉන්නෙ නැහැ. ඔබ නැත්තං මේ ගනිකා මඩම හොයාගන්ට අපට තව අවුරුදු ගානක් යන්ට තිබුනා. ඒ වුනත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මම මෙහෙම ඔබේ සමච්චලයට ලක්වෙන්ට සූදාණම් කියලා. අනිත් එක මම තවදුරටත් රජතුමාගෙ හස්තය නෙවෙයි."

"‍ඝෝරවෘකයා කියන්නෙ හරිම හිරිහැරදායක සතෙක් වෙන්ට ඕන." සුළැඟිල්ලා ඇද වී ගිය මුවින් යුතුව කීය.

ඔවුන් ඉස්තාල වෙත පියමනිද්දී උණුසුම් පොද වැස්සක් ඇද හැලෙන්නට වන. නෙඩ් සිය සළුව ඇද හිස වසා ගත්තේ ය. ජොරී ඔහු ‍ගේ අසු රැගෙන පිටතට ආ අතර එකතකින් සුළැඟිල්ලා ගේ අසු හා අනිත් අතින් සිය ඉණපටිය හා කලිසම අල්ලාගත් තරුණ විල් ඔහු පසුපසින් පිටතට ආවේය. නිරුවත් දෙපයින් යුතු ‍වෛශ්‍යාවක් ඉස්තාල දොරට හේත්තු වී ඔහු දෙස බලමින් කැකිරි පලන්නට වූවාය‍.

"අපි දැන් ආපහු බලකොටුවට යනවද මගේ උතුමානනි?" ජොරී ඇසීය. හිස සැලූ නෙඩ් සෑදලයට නැග්ගේ ය. ඔහුට පසෙකින් සුළැඟිල්ලා ද තම අසු පිට නැගුනු අතර අනෙකුන් ඔවුන් පසුපසින් වැටුනහ.

"ෂතායා හරිම කදිම තැනක් තමා කරගෙන යන්නෙ." සුළැඟිල්ලා කතාව ඇරඹීය. "මට සමහර වෙලාවට හි‍තෙනවා ඒක සල්ලි දීලා ගන්ටත්. ගනිකා මඩම් කියන්නෙ නැවුවලට වඩා බොහොම හොඳ ආයෝජනයක්. ගනිකාවො ලේසියෙන් මුහුදු පතුලට කිඳා බහින්නෙ නෑ. ඒ ව‍ගේම ඒවාට මුහුදු කොල්ලකාරයො ගොඩවුනාම උනුත් අනිත් අය වගේම හොඳට සල්ලි ගෙවනවා." සිය විහිළුවට ඔහුම සිනාසුනේ ය.

ඔහුට දොඩවන්නට ඉඩ දී නෙඩ් නිහඬවිය. මොහොතකට පසු සුළැඟිල්ලා සිය දෙඩවීම නැවැත්වූයෙන් ඔවුහු නිහඬවම අසුන් ඉදිරියට ‍මෙහෙයවූහ. කින්ග්ස් ලෑන්ඩින්ග්හි වීදි අඳුරු හා පාළු මුහුණුවරක් ගති. වර්ෂාව විසින් සෑම කෙනකුවම වහළයක් යටට යවා තිබින. වැහිබිඳු නොකඩවාම නෙඩ් ගේ හිසට තදින් පහර දුන් අතර ඒවා රුධිරය මෙන් උණුසුම් විය, පැරැණි වරදකාරී සිතුවිලි මෙන් නපුරු විය.

"රොබර්ට් කවදාවත් එක ගෑනියෙකුගෙන් සෑහීමකට පත්වෙන්නෙ නෑ." ලියානා වරක් වින්ටර්ෆෙල්හිදී ඔහුට කියා තිබින. ඒ මීට වසර බොහෝ ගණනකට පෙරාතුව ඔවුන් ගේ පියා විසින් ස්ටෝර්ම්ස් එන්ඩ්හි තරුණ උතුමානන්ට ඇගේ විවාහය ස්ථිර කල දා රැයේ විය. "මම අහලා තියෙනවා එයාට මිටියාවතේ කාගෙදෝ කෙල්ලෙක් ගෙන් හම්බවෙච්ච දුවෙක් ඉන්නවා කියලා." නෙඩ් විසින් මේ බිළිඳා සිය සුරතින්ම වඩාගෙන තිබුනු අතර ඇයගේ කතාව ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ඔහුට නොවීය. එමෙන්ම සිය සොයුරියට බොරු කීමේ හැකියාවක් ද ඔහුට නොවීය. එනමුදු ඔහු ඇයව අස්වසමින් කියා සිටියේ ඔවුන් ගේ විවාහ ගිවිසුමට පෙර ‍‍රොබර්ට් විසින් කල දේ එතරම් වැදගත් නොවන අතර ඔහු හොඳ මිනිසකු හා ඇයට මුලු හදින්ම ආදරය කරන බවත් ය. ලියානා මීට සිනාසුනා පමණි. "ආදරේ සුන්දරයි තමා මගේ ආදරණීය නෙඩ්. ඒ වුනත් ඒකට බෑ මිනිහෙකුගෙ ගති පැවතුම් වෙනස් කරන්ට."

දැරිය කෙතරම් ලාබාල වූවාද යත් නෙඩ් ඇගේ වයස විමසීමට පවා නොසිතුවේ ය. ඇය කන්‍යාවක් වූවාට සැක නැත. ‍හොඳින් මුදල් විසිකල හැකි නම් ඉහළ මට්ටමේ වෛශ්‍යා ගෘහයකට කන්‍යාවක් සොයාගැනීම අසීරු කරුනක් නොවේ. ඇයට ලා රත් පැහැ හිසකෙස් තිබුනු අතර නාසය දිගට ලප වැටී තිබින. "එයාට මම නම දැම්මෙ බරා කියලා." දැරිය බිළිඳියට කිරිදෙමින් පැවසුවා ය. "එයාගෙ පෙනුම එතුමන් වගේමයි. එහෙම නේද මයෙ උතුමානනි? එයාට තියෙන්නෙ එතුමන්ගෙම නහය, එතුමන්ගෙම හිසකෙස්..."

"ඇත්තෙන්ම‍." එඩාර්ඩ් ස්ටාර්ක් බිළිඳිය ගේ සිනිඳු, අඳුරු පැහැ හිසකෙස් අතගෑවේ ය. ඒවා ඔහු ‍ගේ අතැඟිලි අතරින් ලිස්සා ගියේ කළු පැහැ සේද මෙනි. ‍රොබර්ට් ගේ පළමු අවජාතක දැරියට ද තිබුනේ මෙවැනි කළු පැහැ සිනිඳු හිසකෙස් බව ඔහුට සිහිපත් විය.

"එතුමන්ව මුනගැහුනම ඒ ගැන කියනවද මයෙ උතුමානනි. ඒක... ඒකට ඔබතුමාගෙ අසතුටක් නැත්තම්. එතුමන්ට කියන්ට එයා ‍කොච්චර ලස්සනද කියලා."

"මම එයාට කියන්නම්." නෙඩ් ඇයට පොරොන්දු විය. නෙඩ් ගේ දුර්වලතාව එය විය. ‍නොමියන ආදරය ගැන අනන්ත පොරොන්දු දී දිනය හමාරවීමටත් පෙර ඒවා අමතක කර දැමීමට රොබර්ට්ට අපූරු හැකියාවක් තිබින‍. එනමුදු නෙඩ් ස්ටාර්ක් සැමවිටම සිය පොරොන්දු රැක්කේ ය. ලියානා මියයමින් සිටියදී තමා ඇයට වුනු පොරොන්දු ගැනත්, ඒ පොරොන්දු ඉටුකිරීම ‍වෙනුවෙන් තමාට ගෙවීමට සිදුවුන මිල හා කරන්නට සිදුවුනු කැපකිරීම් ගැනත් නෙඩ්ට සිහිපත් විය.

"ඒ එක්කම එතුමන්ට කියන්ට මම ඊටපස්සෙ වෙන කාත් එක්කවත් හිටියෙ නැහැයි කියලා. මම ඒ ගැන දිවුරනවා මයෙ උතුමානනි. අලුත් දෙවියන්ගෙයි පැරැණි දෙවියන්ගෙයි නාමෙන්. ෂතායා මට කිවුවා අවුරුදු බාගයක් නිවාඩු ගන්ට පුළුවන් කියලා දරුවා වෙනුවෙන්. ඒ එක්කම එතුමන් ආයෙමත් එයි කියලා හිතලා. ඉතින් ඒ නිසා ඔබතුමා එතුමන්ට කියන්ට මම එතුමන් වෙනුවෙන් බලන් ඉන්නවා කියලා. ඔබතුමා ඒක කරනවා නේද? මට රත්තරන් මුතුමැණික් වෙන මොකුත් ඕන නෑ. මට ඕන එතුමන්ව විතරයි. එතුමන් මට හැමවෙලාවෙම කරුනාවන්ත වුනා, ඇත්තෙන්ම‍.

"මම එයාට කියන්නම් දරුවො. මම පොරොන්දු වෙනවා‍. බරාට අඩුපාඩුවක් වෙන්ට දෙන්ට හොඳ නෑ."

එය ඇසූ දැරිය සිනාසුනා ය. එය කෙතරම් සුන්දර, සැලෙන සිනාවක් ද වී ද යත් ඔහු ගේ හදවත පසාරු වී ගියේය. වැහිබර රැයේ අසු ඉදිරියට මෙහෙයවද්දී නෙඩ් ඉදිරියේ ජොන් ස්නොව් ගේ මුහුණ මැවී ගියේය. එය ඔහු ගේ තරුණ කල පෙනුම හා සමාන පෙනුමක් ගත්තේ ය. දෙවියන් විසින් අවජාතකයින්ට මෙතරම් නරක අන්දමින් සලකන්නේ නම් ඔවුන් මිනිසුන්ව මෙතරම් කාමුක ආශාවන්ගෙන් පුරවාලන්නේ මන්දැයි නෙඩ් විපිලිසර සිතින් සිතුවේය. "‍බේලිෂ් උතුමානනි, ඔබ මොනවද දන්නෙ රොබර්ට්ගෙ අවජාතකයො ගැන?"

"හරි, මුලින්ම බැලුවොත් එයාට ඉන්නවා ඔබට වඩා අවජාතකයො."

"කී දෙනෙක්ද?"

සුළැඟිල්ලා දෙවුර ඇකිළීය. ඔහු ගේ කබායේ පිට දිගේ කුඩා දිය පහරවල් ගලා බැස්සේය‍. "ඒක එච්චරම වැදගත් දෙයක්ද? ඔබ ගෑනු ගොඩදෙනෙක් එක්ක ඇඳට නැග්ගොත් ඒ අතරින් සමහර උං ඔබට තෑගි දෙයි. අපේ රජතුමා ඒ අතින් කවදාවත් පස්සෙන් හිටියෙ නෑ නෙව. මම දන්නවා එයා පිළිගත්තා අර ස්ටෝර්ම්ස් එන්ඩ්වල ඉන්න කොලුවාව. ස්ටැනිස් උතුමානන්ගෙ විවාහ උත්සවේ දවසෙ රෑ එයා තාත්තා වුන දරුවා. එයාට එහෙම කරනවා ඇරෙන්ට වෙන විකල්පයක් තිබුනෙ නෑ. ඒ දරුවගෙ අම්මා ෆ්ලොරන්ට් කෙනෙක්, සෙලිසෙ ආර්යාවගෙ ලේලි කෙනෙක්. රෙන්ලි කියනවා භෝජන සංග්‍රහය අතරතුරේදි රොබර්ට් ඒ කෙල්ලව උස්සගෙන උඩුමහළට ගියයි කියලා. ස්ටැනිසුයි එයාගෙ අලුත් මනමාලියි පහළ මාලෙ නට නටා ඉන්දැද්දි රොබර්ට් එයාලගෙ මංගල යහන ඉඳුල් කලයි කියලා. ස්ටැනිස් උතුමානන් හිතුවා මේ සිද්දිය එයාගෙ බිරිඳගෙ පවුලේ ගෞරවයට කැළැලක් කියලා. ඉතින් ඒක නිසා මේ කොලුවා ඉපදුනාම එයාව නැවු නග්ගලා එවුවා රෙන්ලි ගාවට." ඔහු නෙඩ් දෙස නෙත් කොණින් බැලීය. "මට තව පොඩි රහසක් අහන්ට ලැබුනා රොබර්ට් නිසා කාස්ටර්ලි ‍රොක්වල වැඩකාර කෙල්ලෙකුට නිවුන්නු දෙන්නෙක් හම්බවුනා කියලා. අවුරුදු තුනකට කලින් එයා ටයිවින් උතුමානන්ගෙ තරගාවලියට ගිය වෙලාවෙ. සෙර්සි ඒ ළමයි දෙන්නව මරවලා දාලා අම්මව වික්කලු ඒ අහලින් පහලින් ගිය වහල් වෙළෙන්දෙකුට. ඒක ලැනිස්ටර් ආඩම්බ‍රේට ලොකු හානියක් වුනාලු ගෙදරට එච්චර ළඟ දි එහෙම දෙයක් වුන එක."

නෙඩ් මුහුණ පුළුටු කරගත්තේ ය. රාජධානියේ විසූ ඕනෑම උසස් වංශාධිපතියෙක් ගැන මෙවන් කතා ගෙතී තිබින. සෙර්සි ලැනිස්ටර් මෙවැනි දෙයක් කරනු ඇතැයි යන්න ඔහු කිසිසේත්ම සැක කල කරුනක් නොවීය... එනමුදු රජතුමා මෙය දැක දැකත් එය සිද්දවීමට ඉඩ හැරියාද? ඔහු දැන සිටි රොබර්ට් එවැන්නක් කිසි දි‍නෙකත් නොකරනු ඇත. එනමුදු ඔහු දැන සිටි රොබර්ට් යනු තමන් දැකීමට අකැමැති දේ නොදකිනු පිනිස දෑස් වසා ගත්තෙකුද නොවීය. "ඇයි ජොන් ඒරින් එකපාරටම රජතුමාගෙ අවජාතකයො ගැන උනන්දුවක් පෙන්නන්ට පටන් ගත්තෙ?"

සුළැඟිල්ලා නැවත වරක් දෙවුර ඇකිළීය. "කවුද දන්නෙ? එයා රජතුමාගෙ හස්තය. සමහරවිට රජතුමා ඇහුවද දන්නෙ නෑ එයාට ගිහින් ඒ දරුවන්ට අවශ්‍ය දේවල් ලැබෙනවද කියලා බලන්ටයි කියලා?"

"ඒක ඊට වඩා වැඩි දෙයක් වෙන්ට ඕන. එහෙමනම් ඇයි එයාව මරලා දැම්මෙ?"

සිය හිසකෙස්වල රැඳි තිබුනු දිය ගසා දැමූ සුළැඟිල්ලා සිනාසුනේය ය. "මම දන්නවා. ඒරින් උතුමානන්ට දැන‍ගන්ට ලැබුනා රජතුමා වේස ගෑනුයි මාළුකාර ගෑනුයි කීපදෙනෙක්ගෙ බඩවල් පුරවලා දාලයි කියලා. ඒ නිසා එයාව නිශ්ශබ්ද කරන්ට සිද්දවුනා. ඒක පුදුමයක් නෙවෙයිනෙ. ඒ වගේ රහසක් දැනගත්තට පස්සෙ මිනිහෙක්ව ඉතුරු කරන්ට බෑ නෙව. ඊළඟ පාර මිනිහා ඒක රට පුරාම පතුරවලා අරියි."

මෙයට දියයුතු පිළිතුරක් නෙඩ්ට සිතාගත නොහැකි විය. එමනිසා ඔහු රවා බැලුවේ ය. වසර ගනනාවකට පසු ඔහුට රේගාර් ටාර්ගේරියන්ව සිහිපත් වන්නට විය. රේගාර්ද නිතරම ගනිකා මඩම්වලට යන්නට ඇත්දැයි ඔහු විමතියෙන් කල්පනා කලේය. එනමුදු එවැන්නක් සිදු නොවන්නට ඇතැයි ඔහු ගේ යටි සිත ඔහුට කීවේය.

මේ වනවිට වර්ෂාව වැඩි වී තිබින. වැහිබිඳු ඉඳිකටු මෙන් දෑසට වැදුනු අතර හඬ නංවමින් බිම පතිත විය. පාර දිගේ කළු දිය දහරාවන් ගලායන අතරේ එකවරම ජොරී කෑගැසීය. "මගේ උතුමානනි!" ඔහු ගේ කටහඬේ අන්තරාය පිරී තිබින. එක මොහොතකදී පාර පුරා සොල්දාදුවන් පිරී ගියේය.

සම් ආවරණ උඩින් පැළැඳි මුදු දම්වැල් සන්නාහත්, යකඩ අත් ආවරණ හා කලවා ආවරණ සහ රන්වන් සිංහයින් මුදුනේ ඇති වානේ ශිරස්ක නෙඩ් නිරීක්ෂණය කලේය. වැසිදියෙන් පෙඟුනු ඔවුන් ගේ සළු පිටට ඇලී තිබින. ඔහුට හරිහැටි ගණනය කරගැනීමට තරම් කාලයක් නොලැබුනු නමුදු එහි ‍සෙබළුන් දසදෙනකු පමණ සිටියහ. දිගු අසිපත් හා හෙලිවලින් සන්නද්ධ වූ පාබල සෙබළුන් පේළියක් පාර අවහිර කරමින් හුන්හ. "පිටිපස්සෙන්." විල් කෑගසනු ඔහුට ඇසින. අසු හැරවූ නෙඩ් ඔවුන් ගේ පසුබැස්ම වළකමින් පිටුපසින් සිටි තවත් සෙබළුන් පිරිසක් නිරීක්ෂණය කලේය. ජොරී ගේ අසිපත සැනෙන් කොපුවෙන් එළියට ඇදී ආයේය. "පාර ඉඩදියවු, නැත්තං මැරියවු!"

"වෘකයො උඩුබුරනවා." සෙබළ මුලුවේ නායකයා පැවසීය. "ඒ වුනාට ඒක බොහොම පුංචි වෘක රංචුවක්."

සුළැඟිල්ලා පරීක්ෂාකාරීව සිය අසු ඉදිරියට ධාවනය කලේය. "මොකක්ද මේ විකාරෙ තේරුම? ‍මේ ඉන්නෙ රජතුමාගෙ හස්තය."

"රජතුමාගෙ හි‍ටපු හස්තය." පාරෙහි වූ මඩ විසින් ලේ රතු පැහැ සෛන්ධවයා ගේ කුර හඬ යටපත් කර තිබින. ඔහු ඉදිරියෙන් වූ සෙබළ මුලුව දෙපසට වූහ. රන්වන් පැහැ සන්නාහ පපු තහඩුවක ලැනිස්ටර් සිංහයා ගොරවමින් නැගී සිටි‍යේ ය. "දැන්, ඇත්තටම කියනවා නම්, මම දන්නෙ නෑ ඌ දැන් මො‍කෙක්ද කියලා."

"ලැනිස්ටර්, මේක මහ පිස්සුවක්." සුළැඟිල්ලා කීය. "අපට යන්ට දෙන්ට. අපි ආපහු බලකොටුවට යන්ට ඕන. ඔබ මේ මොනවා කරනවා කියලද හිතන්නෙ?"

"එයා දන්නවා එයා මොකක්ද ‍මේ කරන්නෙ කියලා." නෙඩ් ශාන්ත ස්වරයෙන් පැවසීය.

ජේමි ලැනිස්ටර් සිනාසුනේ ය. "හරියටම හරි! මම මේ මගේ මල්ලිව හොයනවා. උඹට මතකයි මගේ මල්ලි. එහෙම නේද ස්ටාර්ක් උතුමානනි? එයා අපිත් එක්ක වින්ට්ෆෙල්වල හිටියා. ලා පාට කොණ්ඩෙ, අසමාන ඇස්, මුඛරි කටක්. පුංචි මනුස්සයෙක්."

"මට එයාව බොහොම හොඳට මතකයි." නෙඩ් පිළිතුරු දුන්නේ ය.

"පේන විදියට නම් එයාට පාරෙදි පොඩි අකරතැබ්බයක් වෙලා. මගේ වංශාධිපති තාත්තගෙ හිත හොඳටම රිදිලා. උඹ නිකමටවත් දන්නවද දන්නෙ නෑ කාටද මගේ මල්ලිට අනතුරක් කරන්ට ඕන වෙලා තියෙන්නෙ කියලා, දන්නවද?"

"ඔබේ සහෝදරයාව අත්අඩංගුවට ගත්තෙ මගේ නියෝගය පිටයි. එයා කරපු අපරාධවලට වගඋත්තර බඳින්ට." නෙඩ් කීවේය.

සුළැඟිල්ලා බියෙන් කෑගැසීය. "මගේ උතුමනි-"

සිය දිගු අසිපත කොපුවෙන් මෑත් කරගත් සෙර් ජේමි අසු ඉදිරියට මෙහෙයවීය. "උ‍ඹේ ආයුධේ ඇදගනිං එඩාර්ඩ් උතුමානනි. මට ඕනවුනොත් මම උඹව මරනවා ඒරිස්ව මැරුවා වගේ. ඒ වුනත් මම කැමැතියි උඹේ අතේ ආයුධයක් තියෙද්දි මරන්ට." ඔහු සුළැඟිල්ලා දෙස සාවඥ සිනාවක් පෑවේය. "‍බේලිෂ් උතුමානනි, මම ඔබනං හැකි ඉක්මනින් මෙතනින් පිටවෙලා යනවා මගේ වටිනා ඇඳුම් ආයිත්තම්වල ලේ ගෑවිලා නාස්තිවෙන්ට කලින්."

සුළැඟිල්ලාට තවත් දිරිමත් කිරීමක් අවශ්‍ය නොවීය. "මම නගරාරක්ෂකයො එක්කරන් එන්නම්." ඔහු නෙඩ්ට පොරොන්දු විය. ඔහුට යාම පිණිස දෙපසට වුනු ලැනිස්ටර් සෙබළ මුල ඔහුට පසුපසින් නැවත එකතුවූශ. සිය අසුට සන්කල සුළැඟිල්ලා විදුලි වේගයෙන් වංගුවෙන් හැරී නොපෙනී ගියේය.

නෙඩ් ගේ මිනිසුන් මේ වනවිට සිය අසිපත් ඇදගෙන සිටිමුත් එය විසිදෙනෙකුට එදිරිව තිදෙනෙකු විය. නුදුරෙන් වූ දොරවලින් හා කවුළුවලින් දෑස් යුගල් එබී බලන්නට වූ නමුදු කිසිවකුත් මීට මැදිහත් වන්නට නොසිතූහ. ඔහු ගේ පිරිස අසු පිට නැගී හුන් අතර ජේමී හැරෙන්නට අන් ලැනිස්ටර් සෙබළුන් සතුව අසුන් නොවීය. වේගයෙන් අසුන් ඉදිරියට ධාවනය ක‍ලේ වී නම් ඔවුනට ගැලවී ගත හැකිවනු නොඅනුමාන ය. එනමුදු ඊට වඩා විශ්වාසදායක, ආරක්ෂාකාරී උපායයක් නෙඩ් ගේ සිතට ආයේය. "උඹ මාව මැරුවොත් කිසිම සැකයක් නෑ කැට්ලින් ටිරියන්ව මරලා දායි." ඔහු රජුන් මරන්නාට අනතුරු ඇඟවීය.

ජේමි ලැනිස්ටර් නෙඩ් ගේ පපුවට සිය අසිපත් තුඩ තැබීය. "එයා එහෙම දෙයක් කරයිද? රිවර්රන්වල උදාර කැට්ලින් ටලී තමන්ගෙ ප්‍රාණ ඇපකාරයෙක්ව මරලා දායිද? මම හිතන්නෙ නෑ." ඔහු සුසමක් හෙලීය. "ඒ වුනත්, ගැනියෙක්ගෙ ගෞරවය උඩ මගේ මල්ලිගෙ ජීවිතේ පරදුවට තියන්ට මට ඕන නෑ." ජේමි කනකමය අසිපත නැවතත් කොපුවේ ලෑවේය. "ඉතින්, මම හිතන්නෙ මම උඹට ඉඩදෙනවා රොබර්ට් ගාවට දුවලා ගිහිල්ලා මම කොහොමද උඹව බයගැන්නුවෙ කියලා කෙඳිරිගාන්ට. මම කල්පනා කරන්නෙ එයා ඒක ගනන් ගනීවිද කියලයි." සිය තෙත් හිසකෙස් ඇඟිලිවලින් පීරා හැරි ජේමී අසුට සන් කර නැවත හරවාගත්තේ ය. සෙබළ මුල පසුකල පසු ඔහු නැවත හැරී සෙබළ නායකයා ඇමතීය. "ට්‍රෙගාර්, ස්ටාර්ක් උතුමානන්ට කිසිම අනතුරක් නොකරන්ට වග බලාගනින්."

"එහෙමයි මයෙ උතුමානනි."

"ඒ වුනත්... එයාට කිසිම රිදවීමක් නොකර ‍මෙතනින් පිටවෙලා යන්ට දෙන්ටත් බෑ. ඒ නිසා..." රාත්‍රී අන්ධකාරය හා වර්ෂාව මධ්‍යයේ වුව ජේමි ගේ සිනහව පැහැදිලිව දිස් විය. "උගෙ මිනිස්සු ටික මරපං."

"නෑ!" නෙඩ් ස්ටාර්ක් සිය අසිපත වෙත අත යවමින් මුරගෑ‍වේ ය. විල් කෑගසන හඬ ඇසෙන විටත් ජේමී වීදිය දිගේ සිය අසු හැල්මේ දුවවමින් සිටියේ ය. සෙබළු දෙපසින්ම ඔවුන්ව ‍තෙරපන්නට වූහ. එකෙකු අසු මගින් පාගා යටකල නෙඩ් ඔහුට දෙපසින් වූ රතු පැහැ සෙවනැලිවලට එකපිට එක අසිපත් පහර එල්ල ක‍ලේය. සිය අසුට සන්කල ජොරී කසල් පිම්මේ ඉදිරියට පැන්නේ ය. ලාඩම් ලූ අශ්ව කුර පහරක් වැදුනු ලැනිස්ටර් සෙබළකු ගේ මුහුණ පොඩි පට්ටම් වී ගියේය. තවත් මිනිසකු කරකැවී පසෙකට පැන්න අතර ඊළඟ මොහොතේ ‍ජොරී පිරිසෙන් නිදහස් විය. සෙබළුන් විසින් විල්ව සිය අසු පිටින් බිමට අදින අත‍රේ ඔහු අවලාද හඩක් නැගීය. වර්ෂාව මධ්‍යයේ අසිපත් උස් පහත් විය. ඒ දෙසට පිම්මේ අසු පැන්න වූ නෙඩ් ට්‍රෙගාර් ගේ ශිරස්කය මතට සිය දිගු අසිපතින් පහරක් එල්ල කලේය. පහරේ වේගය කෙතරම් වී ද යත් ඔහුට දත්මිටි කැවුනු අතර මුහුණින් ලේ විදිමින් ට්‍රෙගාර් දණින් වැටින. සිය අසු ගේ කටකලියාව අල්වාගත් දෑත්වලට හේවර්ඩ් විසින් අසිපත් පහර දෙද්දී ඔහු ගේ උදරය හරහා හෙල්ල පහරක් එල්ල විය. හදිසියේම  රත් පැහැ ගත් අසිපත වනමින් ජොරී නැවතත් ඔවුන් මැදට පැන්නේ ය. "එපා!" නෙඩ් කෑ ගැසීය. "ජොරී දුවපාං!" ඊළඟ මොහොතේ පය ලිස්සූ නෙඩ් ගේ අසු පාරේ මඩ මත ඇද වැටින. දෑස් ගිනිකණ වට්ටන වේදනාවක් සමගින් ඔහු ගේ මුවට ලේ රස දැනෙන්නට විය.

ජොරී ගේ අසු ගේ පාද කපා දෑමූ සෙබළු ඔහුව බිමට ඇදගත්හ. පිරිස ඔහුව වටකරගත් අතර අසිපත් ඉහළ පහළ ගියේය. නෙඩ් ගේ අසු නැවතත් නැගිට ගත්තේ ඔහුද ඒ සමග දෙපයින් සිට ගැනීමට තැත් කල මුත් නැවත බිම ඇද වැටින. වේදනාව නිසා මුවින් නැග ආ මුරගැසීම උගුරේ සිරවිය. කැඩුනු අස්ථිය සිය කළව පසා කරගෙන මතු වී තිබෙනු ඔහු දිටීය. ඒ ඔහු දුටු අවසාන දර්ශනය විය. වර්ෂාව දිගටම ඇද හැලෙන්නට විය. නොනැවතීම ඇද හැලෙන්නට විය.

නැවත සිහි ලද එඩාර්ඩ් ස්ටාර්ක් උතුමානන් දෑස් විවර කරද්දී ඔහු සිය මළවුන් සමගින් වීදියේ තනි වී සිටියේ ය. අසු ඔහුට ලං වූ මුත් ලේ ගඳ දැනුනේ පිම්මේ ඉවත දිවගියේ ය. සිය කකුලෙන් නැගෙන වේදනාව නිසා දත්මිටි කමින් නෙඩ් පාරේ වූ මඩ මතින් බඩගාන්නට විය. එයට වසර ගනනාවක් ගතවනු ‍මෙන් ඔහුට දැනින. ඉටිපන්දම් එළියෙන් ආළෝකවත් වුනු කවුළු පිටුපසින් මුහුණු බලා සිටින්නට විය. දොරවල් අතරින් හා පටු මාවත් වලින් මිනිසුන් මතුවන්නට විය. එනමුදු ඔහුට සහය වනු පිණිස ඒ කිසිවකුත් ඉදිරිපත් නොවීය.

සුළැඟිල්ලා හා නගරාරක්ෂක සෙබළුන් විසින් ඔහුව ‍සොයා ගනිද්දී නෙඩ් වීදිය මධ්‍යයේ ජොරී ගේ සිරුර වැළඳගෙන වැලපෙමින් හුන්නේය.

නගරාරක්ෂක සෙබළුන් විසින් කොහෙන් හෝ දෝලාවක් සොයා ගෙනැවිත් තිබින. එනමුදු බලකොටුව දක්වා වූ ආපසු ගමන වේදනාවෙන් පිරි අඳුරු මතකයක් පමණක්ම විය. ගමන අතරතුරේදී නෙඩ් කිහිපවරක්ම සිහිසුන් විය. අරුණෝද‍යේ පළමු මඳ එළියෙන් ඉදිරියෙන් උත්තුංගව නැගී සිටි රතු බලකොටුව ඔහුට දිස්විය. දැවැන්ත ප්‍රාකාරවල ලා රෝස පැහැ ගල් වර්ෂාව නිසා පෙඟී ලේ රතු පැහැ ගැන්වී තිබින.

ඊළඟ මොහොතේ ප්‍රධාන මේස්ටර් පයිසෙල් ඔහුට උඩින් නැමී සිටියේය. කුසලාණක් අතින් ගත් ඔහු සෙමින් මිමිනීය. "මේක බොන්ට මගේ උතුමානනි. වේදනාව නැතිවෙන්ට මේ පොපි යුෂ ටික බොන්ට." ඔහු සෙමින් පොපි යුෂ පානය කලේය. වයින් නටන තුරු රත්කරන ලෙසත් තමා වෙත පිරිසුදු සේද ‍රෙදි කැබැලි ගෙනෙන ලෙසත් පයිසෙල් කිසිවකුට අණ දෙනු ඔහුට ඇසින. ඒ ඔහු දැන සිටි අවසාන දෙය විය.


Lyanna Stark: “Love is sweet, dearest Ned, but it cannot change a man’s nature.”

Wednesday 19 November 2014

කැට්ලින් 06-3

ලයිසා සහ රොබර්ට් ඒරින්

ඊළඟ මොහොතේ අලුත් කොටළුවන් පිට නැගුනු ඔවුහු නැවතත් තරුඑළියෙන් පිරුණු රාත්‍රියට මුසු වූහ. මේ දෙවන නැග්ම පළමු එකට වඩා අනතුරුදායක බැව් කැට්ලින්ට හැඟෙන්නට විය. මාවත වඩාත් පටු වූ අතර ගල්පඩි අනවරත පයට පෑගීම් නිසා ගෙවී ගොස් තිබින. ඒ අතරම තැනින් තැන කැඩී ගිය ගල් කැබැලි හා බොරළු ද දකින්නට හැකි විය. කිහිපවරක්ම සිය කොටළුවා පිටින් බිමට බට මයා, පාරට වැටී තිබුනු මෙවැනි ගල් ඉවත් කර දැමීය. "‍මේ වගේ තැනකදි කොටළුවෙක්ගෙ කකුලක් කඩාගන්ට අපට ඕන නෑ." ඇය කීවාය. කැට්ලින්ට ඊට එකඟ නොවී සිටිය නොහැකි විය. ඇයට මේ වන විට මඳින් මඳ උන්නතාංශය දැනෙන්නට පටන් ගෙන තිබින. මෙහි වෘක්ෂ ඝනත්වය අඩු වූ අතර සුළඟද වඩා ප්‍රචණ්ඩ විය. හමන සුළඟ විසින් ඇගේ ඇඳුම් බදා ඇයව වීසිකරන්නට මෙන් තැත් කල අතර කෙහෙරැළි විසිරුවා ඇගේ දර්ශනයට බාධා එල්ලකලේය. විටින් විට ඔවුන්ට පහතින් ඇති ගල් බල‍කොටුව ද, ඊටත් වඩා පහතින් පිහිටි චන්ද්‍ර ද්වාරය ද ඇයට දැකගත හැකි විය. එහි පන්දම් ආළෝකය ඉටිපන්දම් දැල්ලකටත් වඩා දීප්තියෙන් අඩුවිය.

හිම බලකොටුව, ගල් බලකොටුවට වඩා කුඩා වූ අතර එක් මුරකුළුණක්, දැවමුවා බලකොටුවක් හා මිටි ගල් තාප්පයක මුවාවේ සැඟව ගත් ඉස්තාලයකින් සමන්විත විය. එනමුදු එහි පිහිටීම අනුව එය ගල් බලකොටුවේ සිට ඉහළ නගින පඩිපෙළ සම්පූර්ණයෙන්ම පාහේ ආවරණය කල හැක්කක් විය. ඉයරී අත්පත් කරගැනීමට පැමිණෙන සතුරෙකු ගල් බල‍කොටුවේ සිට පඩියක් පඩියක් පාසා සටන් කරමින් ඉහළ නැගිය යුතු වූ අතර හිම බලකොටුවේ සිටින සෙබළුන්ට පහසුවෙන්ම ඔවුන්ට ගල් ප්‍රහාර හා ඊ ප්‍රහාර එල්ල කල හැකි විය. එහි අණදෙන නිළධාරියා වූ තරුණ නයිට්වරයා ඔවුන්ට පාන් හා චීස් පිරිනැමූ අතර ගිනිමැලය අසලට විත් මඳක් ගත උණුසුම් කරගන්නැයි පැවසීය. එනමුදු මයා ආරාධනය ප්‍රතික්ෂේප කලාය. "අපි දිගටම යන්ට ඕන මගේ ආර්යාවනි." කැටිලින් හිස වැනීය.

නැවත වරක් ඔවුන් ‍ගේ කොටළුවන් මාරු කෙරින. ඇයට මෙවර ලැබී තිබුනු සතා සුදු පැහැති එකකු වූ අතර ඌ දුටු මයා සිනහවක් පෑවාය. "වයිටි හරිම හොඳ සතෙක් මගේ ආර්යාවනි. කවදාවත් කකුල වැරදිලා, ලිස්සලා නෑ. අයිස්වල වුනත්. ඒ වුනත් ඔබතුමී චුට්ටක් පරෙස්සම් වෙන්ට. ඌ ඔබට කැමැති නැති වුනොත් පයින් ගහයි."

දෙවියන්ට පින්සිදුවන්නට වයිටී ඇයට අකැමැත්තක් නොපෙන්වූ අතර පයින් ගැසීමක් ද සිදු නොවීය. මාවතේ මිදුනු අයිස් ද නොවූ අතර ඇය ඒ වෙනුවෙන් දෙවියන්ට බෙහෙවින් කෘතඥ වූවාය. "මගේ අම්මා කියනවා මීට අවුරුදු සියගානකට ඉස්සෙල්ලා මෙතන ඉඳන්ම හිම පටන්ගත්තලු." මයා කීවාය. "මෙතනින් උඩ හැමදාම සුදු පාටින්ලු තිබ්බෙ. කවදාවත් අයිස් දියවෙලා ගියේ නැහැල්ලු." ඇය දෙවුර ඇකිළීය. "මට නම් මතක නෑ කවදාවත් කන්දෙ මෙච්චර පහතින් හිම තියෙනවා. කවුද දන්නෙ? සමහරවිට ආදි කාලෙ එහෙම වෙන්ට ඇති තියෙන්ට ඇත්තෙ."

'කොච්චර තරුණ දරු‍වෙක්ද.' කැට්ලින් සිතූයේ ඇය කෙදිනකවත් මෙලෙස සැහැල්ලුවෙන් සිටියාදැයි මතකයට නගාගන්නට යත්න දරමිනි. දැරිය සිය දිවියෙන් අඩක්ම ගිම්හානයේ ගෙවා දමා තිබූ අතර ඇය දැන සිටි සියල්ල එය පමණක්ම විය. 'සීත කාලය එනවා දරුවෝ!' ඇයට දැරිය අමතා පවසන්නට අවශ්‍ය විය. එවදන් මුව අගටම ආ අතර මුවින් නොගිලිහුනා පමණි. සමහරවිට අන්තිමේදී ඇය ස්ටාර්ක් කෙනෙකු බවට පත්වෙමින් සිටිනවා වන්නට ඇත. හිම බලකොටුවෙන් ඉහළදී සුළඟ යනු සජීවී සත්ත්වයකු බඳු විය. එය වරෙක වෘකයකු මෙන් උඩුබුරලමින් ප්‍රචණ්ඩ අයුරින් ඔවුන් වටා හැමූ අතර ඊළඟ මොහොතේ සැනෙන් නැතිව ගියේ ඔවුන්ව මුලා කර තමන් තුළට කැඳවන්නට මෙනි. තාරකා කෙතරම් දීප්තිමත්ව, කෙතරම් ආසන්නයෙන් පිහිටියාදැයි යත් අත දිගුකොට ඇල්ලිය හැකි තරම් විය. එමෙන්ම අඩසඳ ද අඳුරු කළු පැහැ අහසේ විසල්ව පායා තිබින. උඩට නගිද්දී පහත බැලීමට වඩා දිගටම ඉහළ බලාගෙන සිටීම වඩා මැනවැයි කැට්ලින්ට අව‍බෝධ විය. සියවස් ගණනක් තිස්සේ හිම මිදීම හා දියවීමත්, අනන්ත වාරයක් කොටළු කුර හා ගැටීමත් නිසා මෙහි ගල් පඩිපෙළ තැනින් තැන කැඩී බිඳී ගොස් තිබින. අන්ධකාරය මධ්‍යයේ කිසිවක් දැකිය නොහැකි වුවද මේ නැගුනු උස නිසා ඇගේ හදවත මුවින් පිටතට පනින තරම් විය. ඔවුන් ගල්කුළු පේළි දෙකක් අතර පිහිටි විවෘත බිම්කඩකට පැමිණි විට මයා සිය කොටළුවා පිටින් බැස්සා ය. "මේ ටිකේ බිමට බැහැලා කොටළුවා අල්ලගෙන යන එක හොඳයි මගේ ආර්යාවනි. මෙතන හුළං පාර පොඩ්ඩක් සැර වැඩියි."

කැට්ලින් ගල්කුලින් මඳක් මෑත්වී ඉදිරියෙන් ඇති මාවත දෙස බැලුවා ය. එය අඩි විස්සක පමණ දුරක් වූ අතර අඩි තුනක පමණ පළලින් යුතු විය. එනමුදු දෙපසටම දැඩි බෑවුමක් තිබුනු එහි අන් කිසිදු ආවරණයක් නොවීය. සුළඟ වියරුවෙන් මෙන් මොරගසන හඬ ඇයට ඇසින. මයා සැහැල්ලුවෙන් ඉදිරියට පිය නැගූ අතර ඇගේ කොටළුවා ඈ පසුපසින් ගියේ හරියටම ඔවුන් බලකොටු අංගනයක් තුළ ගමන් කරන්නාක් වැනි සුරක්ෂිත හැඟීමෙනි. ඇගේ වාරය පැමිණියේ ය. එනමුදු ඇය පළමු පියවර තැබූ වහාම බිය විසින් සිය යෝධ හණුවලින් ඇයව ඩැහැගත්තා ය. තමා වටා පොදිකන අන්ධකාර වායු දහරාත්. තමා වටා ඇති දැවැන්ත හිස් අවකාශයත් ඇයට හැඟෙන්නට විය. ඇය අඩියක්වත් ඉදිරියට එසවීමට අසමත්ව, බි‍යෙන් වෙවුලමින්, සිටිපිය නැවතුනාය. ඇගේ මුහුණට සමීප වී මොරගැසූ සුළඟ පැළැඳ සිටි සළුව බදාගත්තේ ඇයව ප්‍රපාතයෙන් පහළට පෙරලීමට තැත් කලාය. කැට්ලින් ඉතා සෙමින් සිය පාදය පසුපසට ගත්තද ඇයට වහාම පිටුපසින් සිටි කොටළුවා නිසා පසුබැසීම කල නොහැක්කක් විය. 'මම මෙතැන මැරෙන්ටයි යන්නෙ,' ඇය සිතුවා ය. පිට දිගේ සීතල දහදිය බිඳු රූටාගෙන යන අයුරු ඇයට දැනින.

"ස්ටාර්ක් ආර්යාවනි!" මයා අගාධයේ එහා කො‍‍ණේ සිට කෑගැසුවා ය. ඇගේ හඬ ‍කෙතරම් සිහින් වී ද යත් එය ලීග දහස් ගණනක් ඈත සිට ඇසෙන්නාක් මෙන් විය. "ඔබතුමී හොඳින්ද?"

කැට්ලින් ටලී ස්ටාර්ක් ඇය තුළ ඉතිරිව පැවැති ආත්මාඩම්බරයේ අන්තිම ශේෂයත් ගිලගත්තා ය. "මට... මට මේ වැඩේ කරන්ට බෑ දරුවො." ඇය පෙරලා කෑගැසුවා ය.

"ඔබට පුළුවන්. මම දන්නවා ඔබට පුළුවන්. බලන්ට ඒක කොච්චර පළල්ද කියලා."

"මට බලන්ට ඕන නෑ." තමා වටා මුලු ලොවම භ්‍රමණය වෙන්නාක් මෙන් ඇයට දැනින. කඳු, අහස, කොටළුවන් මේ සියල්ලම තුඩා දරුවකු ‍ගේ බමරයක් මෙන් කරකැවෙමින් තිබින. සිය දෑස් තදින් පියාගත් කැට්ලින් හුස්ම තිර කරගැනීම සඳහා යත්න දැරුවාය.

"මම ආයෙමත් එන්නම්. ඔබතුමී හෙලවෙන්නෙවත් නැතුව ඔහොමම ඉන්ට මගේ ආර්යාවනි‍."

සෙලවීම යනු කැට්ලින් මේ මොහොතේ කරන්නට නොසිතූම දේ විය. ඊළඟ මොහොතේ එතැනට පැමිණි මයා ඇ‍ගේ අතකින් අල්ලාගත්තා ය. "ඔබතුමී කැමැතිනම් දිගටම ඇස් වහගෙන ඉන්ට. ඔය ලණුව අත අරින්ට. වයිටි එයා ගැන වග බලාගනීවි. අන්න හොඳයි මගේ ආර්යාවනි. මම ඔබතුමීට පාර පෙන්නන්නම්. ඒක හරි ලේසියි. ඔන්න බලන්ටකො. දැන් අඩියක් ඉස්සරහට තියන්ට. අන්න හරි. කකුල වැඩිය උස්සන්ට ඕන නෑ. නිකංම ඉස්සරහට දික් කරන්ට. දැන් අනිත් එක. හිමීට. ආයෙමත් එකක්. අන්න හරි." මෙලෙස අඩියෙන් අඩිය, පියවරෙන් පියවර මේ අවජාතක දැරිය දෑස් පියාගෙන බියෙන් වෙවුලමින් සිටි කැට්ලින්ව අගාධයේ අනිත් පසට රැගෙන ගියාය. ‍කොටළුවා සුපුරුදු මන්ද ස්වරයෙන් ඔවුන් පසුපසින් ගෑටුවේ ය.

අහස් බලකොටුව වනාහි කන්දේ පසෙකින් සාදන ලද, අඩසඳාකාර, ගලින් නිමවුනු, උස් ප්‍රාකාරයකට වැඩි යමක් නොවීය. එනමුදු වැලීරියාවේ ශෛලමය ප්‍රාකාරවත් මෙතරම් සුන්දරව කැට්ලින්ට පෙනෙනු නැති බව නිසැක විය. අන්තිමේදී මෙතැන් සිට හිමවැටිය ආරම්භ විය. අහස් බලකොටුවේ ගල්බිත්ති මත අයිස් බැඳී තිබුනු අතර ඉහළින් පිහිටි බෑවුම් වලින් දිගු, කේතුරූපාකාර අයිස් හෙල්ලයන් පහතට එල්‍‍ලෙමින් තිබින.

මයා බලකොටුවේ මුරභටයින්ට කෑගසද්දී නැගෙනහිර දෙසින් අරුණා‍ළෝකය වැටෙන්නට පටන්ගෙන තිබින. ඔවුන්ට ඉදිරියෙන් බලකොටුවේ ගේට්ටු විවර වින. ප්‍රාකාරවලට ඇතුළතින් අසුරා තිබුනු හැඩපෝරූ රැසක් සහ එහා මෙහා ගොඩ ගසා තිබුනු ලොකු කුඩා ගල්කුට්ටි රැසක් හැරෙන්නට අන් කිසිවක් නොවීය. මෙතැන සිටින සෙබළුන්ට ගිරිහිම නිපාතයක් ඇති කිරීම කජු කන්නාක් වැනි පහසු කටයුත්තක් විය. ඔවුන්ට ඉදිරියෙන් වූ පර්වත මුහුණතේ විවරයක් දක්නට ලැබින. "ඉස්තාලයි බැරැක්කයි ඒක ඇතුළෙ තමා තියෙන්නෙ." මයා කීවාය. "අන්තිම ටික යන්ට ති‍යෙන්නෙ කන්ද ඇතුළෙන්. ඒක ඇතුළෙ චුට්ටක් අඳුරු ගතියයි. ඒ වුනත් අඩුමගානෙ ඔබතුමී හුළං මුවාවෙනෙ ඉන්නෙ. මේ තමා කොටළුවන්ට යන්ට පුළුවන් අන්තිම දුර. මෙතනින් පස්සෙ ඒක නිකං දුම් කවුළුවක් වගේ. පඩිපෙළක් නෙවෙයි, හරියට ගල් ඉණිමගක් වගේ. ඒ වුනාට ඒක එච්චරම නරක දෙයක් නෙවෙයි. ඕන්නං තව පැයක් යයි. ඊටපස්සෙ අපි එතන."

කැට්ලින් ඉහළ බැලුවාය. ඔවුන්ට වහාම ඉහළින්, අරුණෝදයේ මද ආළෝකයෙන් ඇයට ඉයරීහි අත්තිවාරම් නිරීක්ෂණය කල හැකි විය. එය ඔවුන්ට වඩා අඩි හයසියයක් පමණ උසකින් පිහිටා තිබුනු අතර පහළ සිට බලන විට කුඩා, සුදු පැහැ මීවදයක් මෙන් දිස්විය. කූඩා හා දබර ගැන සිය බාප්පා පැවසූ ‍දේ ඇයට සිහිපත් විය. "ලැනිස්ටර්ලාට උන්ගෙ ආඩම්බරේ තියෙනවා වෙන්ට පුළුවන්." ඇය මයාට කීවාය. "ඒ වුනාට ටලීලා ඉපදිලා තියෙන්නෙ ඊට වඩා සිහි කල්පනාව ඇතුවයි. මම ඊ‍යෙ දවසමයි, මුලු රෑමයි අස්සයො පිටෙයි, කොටළුවො පිටෙයි ගමන් කලා. එයාලට කියන්ට කූඩයක් පහළට එවන්ටයි කියලා. මම ටර්නිපුත් එක්ක උඩට යන්නම්."

අන්ති‍මේදී කැට්ලින් ස්ටාර්ක් ඉයරීවලට පා තබද්දී හිරු කඳු මුදුන්වලින් සෑහෙන දුරක් ඉහළට නැගී තිබින. අහස් නිල් පැහැ සළුවකින් සහ අඩසඳ හා උකුස්සා පපුවේ කොටා තිබුනු සන්නාහයකින් සැරසුනු, තරබාරු, රිදී පැහැ හිස‍කෙසින් යුතු මිනිසෙක් ඇයට කූඩයෙන් බිමට බැසීමට උදවු ක‍ලේය. ඒ සෙර් වාර්ඩිස් ඊගන් හෙවත් ජොන් ඒරින්‍ ගේ මාලිගාරක්ෂක බලමුලුවේ ප්‍රධානියා විය. ඔහු පසෙකින් කෙට්ටු, නොසන්සුන් පෙනුමක් ඇති, තට්ට හිසකින් හා මහත ගෙලකින් යුතු මේස්ටර් කෝල්මන් සිටගෙන සිටියේ ය. "ආයුබෝවන් ස්ටාර්ක් ආර්යාවනි!" සෙර් වාර්ඩිස් කීය. "ඔබතුමීගෙ පැමිණීම බලාපොරොත්තු නොවුන එකක් වුනාට අපට හරිම සන්තෝසයි." මේස්ටර් කෝල්මන් එකඟතාව පලකරන අන්දමින් හිස නැමීය. "ඇත්තෙන්ම මගේ ආර්යාවනි, ඇත්තෙන්ම. මම ඔබේ සහෝදරීට පණිවුඩය යැවුවා.එයා අණකරලා තිබුනෙ ඔබ ආපු ගමන්ම එයාව නැගිට්ටවන්ටයි කියලා."

"මම හිතනවා එයාට ඊයෙ රෑ හොඳට නින්ද යන්ට ඇතියි කියලා." කැට්ලින් ඇනුම්පදයක ස්වරයෙන් කී මුත් ඔවුන්ට එය වැ‍ටහුනු බවක් නොපෙනින.

මිනිසුන් දෙදෙන දබර කාමරයේ සිට සර්පිලාකාර පඩිපෙළක් ඔස්සේ ඇයව ඉහළට කැඳවාගෙන ගියහ. එදවස පැවැති අනෙකුත් වංශවත් මාලිගා හා සසඳන විට ඉයරී යනු ප්‍රමාණයෙන් කුඩා මාලිගා බලකොටුවක් විය. මේ දැවැන්ත කඳුවැටිය මුදුනේ කෙට්ටු මාලිගා කුළුණු සතක් හියවුරක හී මෙන් එකිනෙකට ලංලංව පිහිටා තිබින. එයට ඉස්තාලවලින් හෝ කම්මල්වලින් හෝ බලු කූඩුවලින් හෝ පලක් නොවීය. එනමුදු නෙඩ් ඇයට පවසා තිබුනු අන්දමට එහි ධාන්‍යගාරය වින්ටර්ෆෙල්වල එක තරමටම විශාල විය. එමෙන්ම මේ කුළුණු තුළ මිනිසුන් පන්සීය දෙනකුට විසිය හැකි විය. එනමුදු දැන් එහි ශාලාවන් පසුකරමින් ගමන්ගනිද්දී කැට්ලින්ට හැඟී ගි‍යේ එය අසාමාන්‍ය අන්දමින් හිස් හා නිහඬ බවයි.

ලයිසා තවමත් නිදන ඇඳුමින් සැරසී, සිය කාමරය තුළ බලා උන්නා ය. ඇගේ දිගු රතු-දුඹුරු කෙහෙරැළි ඇයට පිටුපසින් කඩා හැලෙමින් තිබුනු අතර සේවිකාවක් එහි අවුල් කඩා පීරමින් සිටියාය. එනමුදු කැට්ලින් කාමරයට ඇතුළු වූ විට ඇය සිනාමුසු මුවින් යුතුව අසුනින් නැගිට්ටා ය. "කැට්!" ඇය කීවාය. "අනේ කැට්! ඔයාව දකින්ට ලැබුන එක කොච්චර දෙයක්ද මගේ ආදර අක්කේ." කාමරය හරහා දිවගිය ඇය සිය සොයුරිය බදාගත්තා ය. "කොච්චර කාලෙකට පස්සෙද. කොච්චර දිග කාලෙකට පස්සෙද."

එය වසර පහක් විය. ඇත්තෙන්ම බැලුව‍හොත් ලයිසා කෙරෙහි එය ක්‍රෑර වසර පහක කාලයක් විය. එය ඇයට දැඩිව බලපා තිබින. ඇගේ සොයුරිය වසර දෙකක් බාල වුවද දැන් ඈ වඩා වයස්ගත පෙනුමකින් යුක්ත වූවාය. ඇය කැට්ලින්ට වඩා මිටි වූ අතර සිරුර මහත් වී, මුහුණ සුදුමැලි වී පිම්බී තිබින. ඇයටද ටලීවරුන් ගේ නිල් පැහැ දෑස් පිහිටා තිබුනු නමුදු ඒවා වඩා ලා පැහැයක් ගත් අතර දියාරු විය. ඇගේ කුඩා මුඛය නොරිස්සුම් ගතියකට පෙරැලී තිබින. කැට්ලින් ඇයව මෙලෙස බදා සිටියදී, මීට වසර ගනනාවකට පෙර ඒ සොඳුරු දිනයේ, රිවර්රන්හි සප්තක දේවස්ථානයේ තමා පසෙකින් සිටගෙන සිටි හීන්දෑරී, උස් වූ ළැමකින් යුතු දැරිය ඇගේ මතකයට නැ‍ගෙන්නට විය. ඇය කෙතරම් ආදරණීයව, කෙතරම් බලාපොරොත්තු සහගතව සිටියාද. ඇගේ සොයුරිය ගේ රූමත්කමින් ඉතුරුව තිබුනු එකම දෙය වූයේ ඉණ තෙක් කඩා හැලෙන රතු-දුඹුරු පැහැ කෙස් කළඹ පමණි.

"ඔයා හොඳින් ඉන්න බව පේනවා." කැට්ලින් බොරුවක් කීවාය. "ඒත්... වෙහෙස පාටයි."

ඇගේ සොයුරිය ග්‍රහණය ලිහිල් කලාය. "වෙහෙසයි. ඔවු! අපොයි ඔවු!" ඇය පළමු වරට අනිත් පිරිස නිරීක්ෂනය කලාය. ඇගේ ‍සේවිකාව, මේස්ටර් කෝල්මන්, සෙර් වාර්ඩිස්. "පිටවෙන්ට." ඇය ඔවුන්ට කීවාය. "මගේ අක්කත් එක්ක තනියම කතා කරන්ට ඕන." ඔවුන් පිටව යන තෙක් ඇය කැට්ලින් ගේ අතින් අල්ලාගෙන සිටියා ය...

...නමුත් ඔවුන්ට පිටුපසින් දොර වැසුනු සැනින් ඒ අත අත්හැරියා ය. ඇගේ මුහුණ වෙනස් වෙනු කැට්ලින්ට පෙනින. එය හරියටම හිරු වළාකුළක් පසුපස සැඟවුනාක් මෙනි. "ඇත්තටම ඔයාගෙ ‍මොළේ කොලොප්පං වෙලාද?" ලයිසා ඈ වෙත කඩා පැන්නා ය. "අරූව මෙහාට ගේන්ට. මගෙන් කිසිම අවසරයක් නැතුව. කිසිම දැනුම්දීමක් නැතුව. ලැනිස්ටර්ලාත් එක්ක ඔයාගෙ තියෙන රණ්ඩුවලට අපිවත් පටලවගන්ට..."

"මගේ රණ්ඩුවලට?" මේ ඇසෙන්නේ කුමක්දැයි කැට්ලින්ට සිතාගැනීමටවත් නොහැකි විය. උඳුනේ ගින්නක් බුර බුරා ඇවිලුනු නමුදු ලයිසා ගේ ස්වරයේ කිසිදු උණුසුම් බවක් නොතිබින. "ඒවා මුලින්ම ඔයාගෙ රණ්ඩු නංගී. ඔයයි මුලින්ම මට අර මලඉලවු ලියුම එවුවෙ. ඔයයි ලිවුවෙ ලැනිස්ටර්ලා ඔයාගෙ සැමියාව මරලා දැම්මා කියලා."

"ඒ ඔයාට අනතුරු අඟවන්ට. උංගෙන් ඈත් වෙලා ඉන්ටයි කියලා ඔයාට කියන්ට! උං එක්ක සටන් කරන්ට මම කවදාවත් හිතුවෙ නෑ. දෙයියනේ! කැට්, ඔයා දන්නවද ඔයා මොකක්ද මේ කලේ කියලා?"

"අම්මා!" කුඩා කටහඬක් පැවසීය. ලයිසා ආපසු හැරුනාය. රොබර්ට් ඒරින් හෙවත් ඉයරීහි උතුමානන් ‍රෙදි බෝනික්කකු අතින් බදාගෙන, දොරකඩ සිට, විසල් කරගත් දෙනෙතින් යුතුව ඔවුන් දෙස බලා සිටියේය. ඔහු සිය වයසට ප්‍රමාණවත් තරම් නොවැඩුනු, ඉතාම කෙට්ටු ලෙඩ දරුවකු විය. එපමණක් ද නොව ඔහු විටින් විට වෙවුලුවේ ය. 'වෙවුලන ලෙඩේ' මේස්ටර්වරුන් එය හැඳින්වූ නාමය විය. "මට කටහඬවල් ඇහුනා."

'ඒක මහ පුදුමයක් යැ' කැට්ලින් සිතුවාය. ලයිසා ඇයට කෑ නොගැසුවා පමණි. එනමුදු ලයිසා ඈ දෙසට පිහි පහරවල් වැනි බැල්මක් හෙලුවා ය. "පැටියෝ, මේ ඉන්නෙ ඔයාගෙ ලොකු අම්මා කැට්ලින්. මගේ අක්කා. ස්ටාර්ක් ආර්යාව. ඔයාට මතකයි නේද එයාව?"

කොලුවා ඇය දෙසට හිස් බැල්මක් හෙලුවේ ය. "මං හිතන්නෙ." ඔහු ඇසිපිය ගසමින් කීය. එනමුදු කැට්ලින් අවසන් වරට ඔහුව දකින විට මේ දරුවාට අවුරුද්දක් වත් වයස් නොවීය.

ලයිසා ගිනිඋඳුන අසල අසුනක වාඩි ගත්තා ය. "අම්මා ගාවට එන්ට මගෙ වස්තුවෙ." ඔහු ගේ නිදිඇඳම හරිගැස්සූ ඇය ඒ දුඹුරු පැහැ කෙහෙරැළි ඇඟිලිවලින් පිරිමැද්දා ය. "එයා ලස්සනයි නේද? ඒ වගේම ශක්තිමත්. ඔයාට ඇහෙන්ට ලැබෙන දේවල් විශ්වාස කරන්ට එපා. ජොන් දැනගෙන හිටියා. 'බීජය බොහොම ශක්තිමත්' එයා මට කිවුවා. ඒ එයාගෙ අන්තිම වචන ටික. එයා දිගින් දිගටම රොබර්ට්ගෙ නම කිවුවා. එයාලට කියන්ට, බීජය බොහොම ශක්තිමත්. එයාගෙ බීජ. මගේ පැටියා කොච්චර ශක්තිමත් දරුවෙක් වගේ හැදෙනවද කියලා හැ‍මෝටම කියන්ට එයාට ඕන වුනා."

"ලයිසා. ලැනිස්ටර්ලා ගැන ඔයා කියාපු ‍දේ හරිනම්, ඒ නිසාමයි අපි වඩාත් ඉක්මනින් ක්‍රියාත්මක වෙන්ට ඕන. අපි-"

"මේ චුට්ටා ඉස්සරහ ඕවා කියන්ට එපා. එයාට බොහොම සියුම් මනසක් තියෙන්නෙ. එහෙම නේද පුංචි පැටියෝ?"

"මේ ‍කොලුවා තමා ඉයරීවල උතුමානන්. නැගෙනහිර දිශාවෙ ආරක්ෂකයා." කැට්ලින් ඇයට මතක් කර දුන්නා ය. "මේක සුකුමාර ළඳබොළඳ වෙන්ට වෙලාවක් නෙ‍වෙයි. නෙඩ් හිතන්නෙ යුද්ධයක් ඇතිවෙන්ටයි යන්නෙ කියලා."

"කට වහගන්නවා." ලයිසා කඩාපැන්නා ය. "ඔයා චූටියාව බය කරනවා." සිය උරහිසට උඩින් කැට්ලින් දෙස එක් කෙටි බැල්මක් හෙලූ පුංචි රොබර්ට් වෙවුලන්නට පටන්ගත්තේ ය. ඔහු ‍ගේ අතේ සිටි බෝනික්කා බිම වැටුනු අතර ඔහු තවතවත් සිය මවට තුරුළු වූවේය. "ඔයා බයවෙන්ට එපා මගේ රත්තරන් පැටි‍යෝ." ලයිසා මිමිනුවා ය. "අම්මා මෙතන ඉන්නවනෙ. කාටවත් බෑ ඔයාට රිද්දන්ට." සිය නිදිකබාය විවර කල ඇය බරැති පයෝධරයක් එළියට ගත්තා ය. මහත් උනන්දුවෙන් එය ඩැහැගත් දරුවා, මවගේ ළයමඩලේ සිය මුහුණ හංගාගෙන තණපුඩුව උරන්නට පටන් ගත්තේය. ලයිසා ඔහු ගේ කෙහෙරැළි පිරිමදින්නට විය. කැට්ලින්ට කතා කිරීමට වදන් සොයාගැනීම පවා උගහට විය. 'ජොන් ඒරින් ගේ පුතා' ඇය විමතියෙන් කල්පනා කලාය. තමාගේ බිළිඳු දරුවා, වසර තුනක් වයසැති පුංචි රිකන් ඇයට සිහිපත් විය. ඔහු මේ දරුවාගේ වයසට වඩා අඩක් ලාබාල වූ අතර මොහුට වඩා පස් ගුනයක් සාහසික විය. මිටියාවතේ වංශාධිපතීන් නොසන්සුන් වී සිටීම පුදුමයක් නොවේ. රජතුමා මේ දරුවා සිය මවගෙන් වෙන්කර ලැනිස්ටර්වරුන් භාරයේ හදා වඩා ගැනීමට යවන්නට යත්න දැරුවේ ඇයිද යැයි ඇයට පළමු වතාවට තේරුම් ගියේය.

"අපට මෙතන පරෙස්සම්." ලයිසා කීය. එනමුදු එය පැවසූයේ තමාට ද නැතිනම් දරුවාට ද යන්න කැට්ලින්ට සිතා ගත නොහැකි විය.

"මෝඩියෙක් වෙන්ට එපා." කැට්ලින් කීවාය. තමා තුළ කේන්තිය නැග එනු ඇයට දැනින. "කවුරුවත් පරෙස්සම් නෑ. ඔයා හිතනවා නම් මෙතන මෙහෙම හැංගිලා හිටියම ලැනිස්ටර්ලාට ඔයාව අමතක වෙලා යයි කියලා, ඔයාට ලොකු වැරැදීමක් වෙලා."

ඇය කියන දේ නෑසෙන පරිදි ලයිසා සිය අතින් දරුවා ගේ කණ වැසීය. "උං කඳුකරය හරහා හමුදාවක් අරන් ආවත්, රතු වාහල්කඩ පහුකරලා ආවත් උන්ට ඉයරි ජයගන්ට බෑ. ඔයාම දැක්කනෙ ඒක. කිසිම සතුරෙකුට මෙතනට ළඟාවෙන්ට බෑ."

ඇයට අතුල් පහරක් දෙන්නට කැට්ලින්ට උවමනා විය. බ්‍රින්ඩන් බාප්පා තමාට අනතුරු හඟවන්නට උත්සාහ කල බව ඇයට වැටහී ගියේය. "කිසිම බලකොටුවක් හැමදාමත් අනභිභවනීය නෑ."

"‍මේක අනභීභවනීයයි." ලයිසා තිර කොට කියා සිටියාය. "හැමෝම එහෙම කියනවා. මට තියෙන එකම ප්‍රශ්නෙ, ඔයා මේ අරන් ආපු පුංචි යකාට මොකක්ද කරන්නෙ කියලයි."

"එයා නරක මිනි‍හෙක්ද?" ඉයරීහි උතුමානන් ඇසීය.

"හරිම නරක මිනිහෙක්." ලයිසා කීවේ සිය ඇඳුම හරිගස්සා ගන්නා අතරේදී ය. "ඒ වුනත් අම්මා එයාට ඉඩ දෙන්නෙ නෑ මගෙ රත්තරන් පැටියාට හානියක් කරන්ට."

"එයාව පියාඹලා යවමු." රොබර්ට් දැඩි උනන්දුවෙන් කීය.

ලයිසා සිය පුතණුවන් ගේ හිස අතගෑවාය. "සමහරවිට අපි එ‍හෙම කරයි." ඇය මිමිනුවා ය. "සමහරවිට, ඇත්තටම අපි ඒක තමා කරන්ට යන්නෙ."


Brynden Tully: “My home is at my back.”
Catelyn Stark: “Your home is in my heart.”