"උන් මගෙ පුතාව අල්ලගෙන?" ටයිවින් ලැනිස්ටර් ඇසුවේය.
"එහෙමයි මගෙ උතුමානනි." අධික වෙහෙස නිසා පණිවුඩකරුවාගේ කටහඬ අපැහැදිලි විය. ඔහුගේ ඉරී ගිය උඩු කබායේ පපුවෙහි ගෙත්තම් කර තිබුනු ක්‍රේක්හෝල්හි වල්ඌරා අඩක් ලෙයින් පෙඟි තිබුනි.
'ඔබේ එක පුතෙක්.' ටිරියන් කල්පනා කලේය. එනමුදු ඔහු ජේමි ගැන කල්පනා කරමින් වයින් උගුරක් තොල ගෑවා මිස වදනකුදු නොදෙඩීය. ඔහු අත එසවූ විට දරුනු වේදනාවක් වැලිමිටි සිසාරා පැතිර ගියේ යුද්ධය සම්බන්ධයෙන් ඔහුට ඇති කෙටි මතකයන් යළි සිහිපත් කරදෙමිනි. ඔහු ඇත්තෙන්ම සිය සොහොයුරාට ආදරය කලේය. එනමුදු කාර්ස්ටලී රොක්හි ඇති සියලු රත්රන් දෙන්නෙමැයි පොරොන්දු වුවද ඔහුත් සමග මේ මොහොතේ කොඳුරන වනාන්තරයේ සිටින්නට ටිරියන් කොහෙත්ම කැමැති නොවනු ඇත.
පණිවුඩකරුවා මෙවදන් පවසද්දී සිය පියා විසින් රැස්වීම වෙනුවෙන් කැඳවා තිබුනු කපිතාන්වරුත්, අනෙකුත් වංශාධිපතීනුත් සියල්ලෝම මුලුමනින්ම නිහඬ වූහ. ඇසුනු එකම ශබ්දය වූයේ ප්‍රධාන ශාලාවේ ගිනි උඳුනෙහි වූ දරකොට පට පට හඬින් පුපුරන හඬත්, ගිනිදලුවල ස්ස්ස් හඬත් පමණි.
දකුණුකරය බලා වූ දිගු, වෙහෙසකර ගමනක නිමාවේ එක් රැයක් හෝ මෙලෙස තානායමක ගත කරන්නට ලැබීම ගැන ටිරියන් අතිශයින්ම කෘතඥ විය. එනමුදු... ඒ නැවතත් මේ තානායම වීම ගැන ඔහු කොහෙත්ම සතුටට පැමිණ සිටියේ නැත. එහි එතරම්ම අඳුරු මතකයන් රැසක් විය. ඔහුගේ පියා සිය හමුදාවේ ගමන් වේගය කෙරෙහි දැඩිව සැලකිලිමත් වූ අතර ඔවුන්ට එහි ඵලවිපාක යහමින් අත්විඳින්නට සිදුවී තිබුනි. යුද්ධයේදී තුවාල වූ සෙබළුන් හැකි උපරිමයෙන් සිය ගමන් වේගය පවත්වාගැනීමට යත්න දැරූ අතර එසේ නොහැකි වූවන් ඔවුන්ටම යමක් කරගන්නට ඉඩ දී අතරමග හැරදා පියා තිබුනි. සෑම උදෑසනකම ඔවුන්ට මිනිසුන් කිහිප දෙනෙකු - සිය අවසන් නින්ද නිදා නැවත දෑස් නොහැරිය මිනිසුන් - පාර දෙපස අත හැර දා එන්නට සිදුවිය. සෑම දහවලකම තවත් ඉවසා සිටිය නොහැකි වූ මිනිසුන් කිහිපදෙනෙක් ගමන අතරමගදීම බිම ඇද වැටුනෝය. එමෙන්ම සෑම සන්ධ්‍යාවකම තවත් මිනිස්සු වැඩිවන අන්ධකාරයට මුවා වී හමුදාව අතහැර පලා ගියෝය. ඔවුන් සමග එක්ව මෙයින් මිදී පලායන්නට ටිරියන්ට සිතුනු වාර බොහෝය.
තානායමේ උඩු මහලට වී පිහාටු මෙට්ටයක් දැමූ ඇඳක සුවපහසුවෙන් වැතිර, තමා පසෙකින් වැතිර නිදන ෂේ ගේ උණුසුම විඳිමින් සිටියදී ඔහුගේ සහචරයා විසින් ඔහුව අවදි කරනු ලැබීය. නපුරු ආරංචියක් රැගෙන රිවර්රන්හි සිට පණිවුඩකරුවකු පැමිණ තිබුනි. එසේනම් අන්තිමේදී මේ සියල්ල කිසිදු ඵලක් නොමැති දෙයක් විය. දකුණුකරය කරා පැමිණි ඉක්මන් ගමන, නිමක් නැති වෙහෙසකර පා ගමන, පාර දෙපස අතහැර පැමිණි සෙබළුන්... මේ සියල්ල අපතේ ගිය උත්සාහයක් විය. රොබ් ස්ටාර්ක් ඔවුන්ට දවස් ගනනාවකට පෙරාතුව රිවර්රන්වලට ළඟා වී තිබුනි.
"කොහොමද මෙහෙම දෙයක් වෙන්නෙ?" සෙර් හැරිස් ස්විෆ්ට් කෙඳිරිගෑවේය. "කොහොමද? විස්පරින්ග් වුඩ්වල පරාජයෙන් පස්සෙ වුනත් අපට රිවර්රන්වල ලොකු හමුදාවක් ඉතුරුවෙලා තිබුනා. අපි රිවර්රන් වට කරලයි තිබුනෙ... මොන පිස්සුවක් වැහිලද සෙර් ජේමි එයාගෙ හමුදාව කොටස් තුනකට බෙදුවෙ? එයා අනිවාර්යයෙන්ම දැනගන්ට ඕන ඒකෙන් එයාගෙ මුලු හමුදාවම කොච්චර ලොකු අන්තරායකට මූන පානවද කියලා."
'උඹට වඩා හොඳට එයා ඒක දන්නවා. උඹ ඔය නිකටක් නැති, මහත, බූරු, බයගුල්ලො.' ටිරියන් කල්පනා කලේය. සිය සොහොයුරා රිවර්රන්හිදී පරාජයට පත් වූ බැව් සැබැවි. එනමුදු ස්විෆ්ට් වැනි අමනයෙකුගෙන් ඔහු පිළිබඳ මෙවැනි නින්දා බස් පිටවනු ඇසීම ඔහුට ඉහිලුම් නොදුන්නේය. කිසිදු ලැජ්ජාවක් නොමැති, බියගුලු මේ ඉච්ඡාකාරයා සිය දිවිය තුළ සිදුකර තිබුනු වැදගත්ම දෙය වූයේ තමා මෙන්ම තරබාරු වූ සිය දියණිය සෙර් කෙවන්ට විවාහකර දී එමගින් ලැනිස්ටර්වරුන් සමග ඥාතිත්වයක් ගොඩනංවා ගැනීම පමණි.
"මම වුනත් ඒ දේම කරයි." ටිරියන් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ශාන්ත භාවයකින් යුතුව ඔහුගේ බාප්පා පිළිතුරු දුන්නේය. "ඔබ කවදාවත් රිවර්රන් දැකලා නැහැ සෙර් හැරිස්. එහෙම දැකලා තිබුනා නම් ඔබ තේරුම් ගනියි ජේමිට වෙන විකල්පයක් තිබුනෙ නැහැයි කියන එක. මේ බලකොටුව පිහිටලා තියෙන්නෙ ටම්බල්ස්ටෝන් ගංගාව රතු ගංගාවට වැටෙන තැන ගොඩබිම අද්දරමයි. මේ ගංගා දෙක නිසා ත්‍රිකෝණයෙ දෙපැත්තක් ආවරණය වෙනවා. අනතුරුදායක කාලයක් ආපු ගමන් ටලීලා ගඟේ ඉහළින් තියෙන සොරොවුවක් අරිනවා. එතකොට තුන්වෙනි පැත්තෙ තියෙන දියඅගල වතුරෙන් පිරිලා යනවා. රිවර්රන් තනිකරම දූපතක් වෙනවා. බලකොටුවෙ ප්‍රාකාර කෙලින්ම වතුරෙ ඉඳන්මයි ඉහළ නගින්නෙ. උන්ගෙ බලකොටු කුළුණුවල ඉන්න ආරක්ෂකයින්ට පුළුවන් තුන්පැත්තෙම ලීග ගානක් දුර යනකම් බලන්ට. කෙනෙකුට මේ බලකොටුව වටලන්ට ඕන නම් එයා තුන් පැත්තකින් හමුදාව යොදවන්ට ඕන. ටම්බ්ල්ස්ටෝන්වලට උතුරෙන් එක කඳවුරකුත්, රතු ගංගාවෙන් දකුණෙ එක කඳවුරකුත්, මේ ගංගා දෙක මැද්දෙ, දියඅගලෙන් බටහිරට වෙන්ට තව කඳවුරකුත් දාන්ට ඕන. වෙන ක්‍රමයක් නැහැ. කිසිම ක්‍රමයක් නැහැ."
"සෙර් කෙවන් කියන්නෙ ඇත්තයි මගේ උතුමනි." පණිවුඩකරුවා පැවසීය. "අපි කඳවුරු හැම එකක්ම වටේට උල් කරපු රිටි ගහලා දඬුවැටවල් බැඳලයි තිබ්බෙ. ඒ වුනත් ඒ දේ ඇති වුනේ නෑ. පහරදීම ආවෙ හදිස්සියෙමයි. අනික ගඟ නිසා අපි තුන්ගොල්ලම එකාට එකා වෙන්වෙලයි හිටියෙ. උං මුලින්ම උතුරු කඳවුරට කඩන් පැන්නා. කිසිම කෙනෙක් මෙහෙම පහරදීමක් බලාපොරොත්තුවෙන් හිටියෙ නෑ. මාර්ක් පයිපර් අපේ සැපයුම් කණ්ඩායම්වලට පහර දුන්නා තමා. ඒත් මිනිහා ගාව පනහකට වඩා වැඩි සෙබළු පිරිසක් හිටියෙ නෑ. සෙර් ජේමි කලින් දා රෑ පිටත්වෙලා ගියා උන්ට පහරදෙන්ට... ඇත්තම කියනවා නම් උනුයි කියලා අපි හිතාගෙන හිටපු හමුදාවකට පහරදෙන්ට. අපට ලැබුන ආරංචිවල හැටියට ස්ටාර්ක් හමුදාව කොළ ගංගාවෙන් නැගෙනහිර පැත්තෙ දකුණට යමිනුයි හිටියෙ."
"එතකොට උඹලාගෙ ඔත්තුකාරයො?" සෙර් ග්‍රෙගර් ගේ මුහුණ ගලින් නෙලුවාක් වැනි විය. උඳුනෙහි වූ ගිනිදළු විසින් ඔහුගේ සමට තැඹිලි පැහැයක් එක් කර තිබුනු අතර ඒ ගිලී ගිය දෑස් තුළ ගැඹුරු සෙවනැලි ඇතිකර තිබුනි. "උන් මොකුත් දැක්කෙ නැද්ද? උන් මොකුත් අනතුරු ඇඟවීමක් කලේ නැද්ද?"
පණිවුඩකරුවා හිස සැලීය. "අපේ සමහර ඔත්තුකාරයො අතුරුදහන් වුනා. අපි හිතුවෙ මාර්ක් පයිපර්ගෙ වැඩක් වෙන්ටැතියි කියලා. ආපහු ආපු එක ඔත්තුකාරයෙක්වත් කිසිම දෙයක් දැකලා තිබ්බෙ නෑ."
"කිසිම දෙයක් දකින්නෙ නැති එකෙකුට උගෙ ඇස් දෙකෙන් ඇති වැඩක් නැහැ." කන්ද නිවේදනය කලේය. "උගෙ ඇස් දෙක කපලා දීපන් ඊළඟ ඔත්තුකාරයාට. ඌට කියපන් ඇස් දෙකක් වෙනුවට ඇස් හතරකට හොඳට බලන්ට පුළුවන් කියලා... ඒකත් හරි ගියෙ නැත්තම් ඊළඟට යන එකාට ඇස් හයක් හම්බවෙයි."
සෙර් ග්‍රෙගර් දෙසට හැරුනු ටයිවින් ලැනිස්ටර් උතුමානන් ඔහු වෙත නිරීක්ෂණාත්මක බැල්මක් හෙලුවේය. ගිනිදළු රන්වන් පැහැයෙන් ඒ දෑස්වල කණිනිකා මත නටන ආකාරය ටිරියන් දුටුවේය. එනමුදු ඒ බැල්ම ග්‍රෙගර් පැවසූ දේ හා එකඟවන බැල්මක් ද නොඑසේ නම් පිළිකුල හඟවන බැල්මක් ද යන්න ඔහුට වටහාගත නොහැකි විය. ටයිවින් උතුමානන් මෙවැනි රැස්වීම්වලදී බොහෝ විට නිහඬතාව රැක්කේ අන් සැමටම පසුව සිය අදහස් කියාපෑමට පුරුදුව සිටියේය. ටිරියන් ද මේ පුරුද්ද ඇති කරගැනීමට අසාර්ථක උත්සාහ කිහිපයක්ම දරා තිබුනි. එනමුදු මේ මොහොතේ ටයිවින් උතුමානන් වෙතින් පලවන නිහැඬියාව අසාමාන්‍ය එකක් විය. ඔහු සිය වයින් බඳුනට අතවත් තබා නොතිබුනි.
"උඹ කිවුවා උන් ආවෙ රෑ ජාමෙ කියලා." සෙර් කෙවන් විමසීය.
මිනිසා විඩාබර අයුරින් හිස වැනීය. "කළුමාළුවා තමා පෙරටු බලඇණිය මෙහෙයුවෙ. ඌ අපේ මුරසෙබළු කපලා දාලා දඬුවැටවල් ගලවලා අයින් කලා උන්ගෙ ප්‍රධාන බලඇණියට එන්ට ලේසිවෙන්ට. සිද්දවෙන්නෙ මොකක්ද කියලා අපේ මිනිස්සු තේරුම්ගන්නකොටත් අසරු හමුදාව කඩුයි පන්දමුයි අරන් අපේ කඳවුරට ඇතුල්වෙලා ඉවරයි. මම නිදාගෙන හිටියෙ ගංගා දෙක මැද්දෙ තිබ්බ බටහිර කඳවුරේ. අපට සටනෙ සද්දෙ ඇහුනම, කූඩාරම් ගිනිගන්නවා දැක්කම බ්‍රැක්ස් උතුමානන් අපිව මෙහෙයුවා අපේ පහුරුවලට. ඒ වුනත් ගඟේ සැඩපාර සැර වැඩි හන්දා අපිව පහළට ගහගෙන ගියා. ඒත් එක්කම ටලීලා පටන්ගත්තා උන්ගෙ ප්‍රාකාරෙ උඩ ඉඳන් කැටපෝලවලින් අපට ගල් විදින්ට. මම දැක්කා එක පහුරක් සම්පූර්ණයෙන්ම කෑලි කෑලිවලට කැඩිලා යන හැටි. තවත් පහුරු තුනක් අනිත් පැත්ත ගැහුවා. මිනිස්සු ගඟට විසිවෙලා ගිහින් වතුරෙ ගිලුනා... කොහොමහරි පීනලා ගඟෙන් එතෙර වෙන්ට පුළුවන් වුන එවුන් එහා පැත්තෙ ගංඉවුරෙ රැකගෙන හිටපු ස්ටාර්ක් සෙබළුන්ට ගොදුරු වුනා."
රජත හා දම් පැහැ සන්නාහයකින් සැරසී සිටි සෙර් ෆ්ලෙමන්ට් බ්‍රැක්ස් තමාට මේ අසන්නට ලැබුනු දේ අදහාගත නොහැකි සේ හිස ඔසවා බැලුවේය. "මගේ තාත්තා-"
"කණගාටුයි මගේ උතුමානනි." පණිවුඩකරු කීවේය. "බ්‍රැක්ස් උතුමානන් එතුමන්ගෙ වානේ සන්නාහයෙන් සැරසිලායි හිටියෙ. එතුමන්ගෙ පහුර අනිත් පැත්ත ගැහුවා. එතුමන් බොහොම නිර්භීතයි."
'ඌ මහ මෝඩයෙක්.' සිය වයින් කුසලාණ සෙමින් කරකවමින් ටිරියන් කල්පනා කලේය. රාත්‍රි අන්ධකාරය මධ්‍යයේ, සම්පූර්ණ සන්නාහයෙන් සැරසී, සතුරා අනිත් ඉවුරේ තමා එනතෙක් බලා සිටියදී, පහුරක නැගී ගංගාවක් තරණය කරන්නට යෑම නිර්භීත කමක් වශයෙන් සැලකෙන්නේ නම් හැමවිටම බියගුල්ලකු මෙන් සිටීම වඩා යහපත් වනු ඇත. සිය සන්නාහයේ අධික බර විසින් ඔහුව කළු පැහැ ගංදිය යටට ඇදගෙන යද්දී බ්‍රැක්ස් උතුමානන්ගේ සිතට කෙබඳු අන්දමේ නිර්භීත කමක් දැනෙන්නට ඇත්දැයි ඔහු විමතියෙන් කල්පනා කලේය.
"ගංගාවල් දෙක අතරෙ තිබ්බ කඳවුරටත් පහරදුන්නා." පණිවුඩකරුවා දිගටම කියාගෙන ගියේය. "අපි ගඟ තරණය කරන්ට ලෑස්තිවෙන අතරේ තවත් ස්ටාර්ක් හමුදාවක් ආවා බටහිර පැත්තෙන්. සන්නාහ සන්නද්ධ අසරු බලකායක්. පේළි දෙකක්ම. මම දැක්කා අම්බර් උතුමානන්ගෙ දම්වැල් දාපු යෝධයයි, මැලිස්ටර්ලාගෙ රාජාලියායි. ඒ වුනත් ඒ හමුදාවට අණදුන්නෙ ස්ටාර්ක් කොල්ලාමයි. උගෙ පැත්තකින් දිවුවා මහ දැවැන්ත වෘකයෙක්. මම එතන හිටියෙ නෑ ඒක දකින්ට. ඒ වුනත් දැකපු මිනිස්සු කිවුවෙ ඌ මිනිස්සු හතරදෙනෙක් මරලා දාලා තවත් අශ්වයො දුසිමක් විතර කෑලි කෑලිවලට ඉරලා දැම්මයි කියලා. අපේ හෙලිධරයො ඉක්මනට එකතුවෙලා උන්ගෙ පළවෙනි ප්‍රහාරයට විරුද්ධව පලිස් පවුරක් හැදුවා. ඒ වුනත් ඒක දැක්ක ගමන් ටලීලා උන්ගෙ බලකොටු දොර ඇරියා. ටයිටස් බ්ලැක්වුඩ් දියඅගලට උඩින් තිබ්බ පාලමෙන් හමුදාවක් අරන් ඇවිත් උන්ට පස්සෙන් පහර දුන්නා."
"දෙයියො අපට පිහිටවෙන්ට." ලෙෆර්ඩ් උතුමානන් දිවුලේය.
"ග්‍රේට්ජොන් අම්බර් අපි හද හදා හිටපු වැටලීම් කුළුණු සේරටම ගිනිතිබ්බා. බ්ලැක්වුඩ් උතුමානන් ඇවිල්ලා දම්වැල් දාලා බැඳලා හිටපු සෙර් එඩ්මුයර් ටලීවයි අනිත් හිරකාරයො ඔක්කොමයි නිදහස් කරන් අරන් ගියා. අපේ දකුණු කඳවුරට අණදුන්නෙ සෙර් ෆෝර්ලි ප්‍රෙස්ටර්. අනිත් කඳවුරු දෙක බිඳවැටුනා කියලා දැක්කහම එයා මොළේ පාවිච්චි කරලා එයාගෙ හමුදාවත් අරන් පසුබැස්සා. දෙදාහක් විතර හෙලිධරයොයි, ඒ තරම්ම ඇති දුනුවායොයි. ඒ වුනත් නිදහස් අසරුවන්ට අණදුන්නු ටයිරෝෂි කුලී හේවායා එයාගෙ ධජ විසිකරලා දාලා සතුරු හමුදාවට එකතුවුනා."
"ඌ යකාටම ගියාදෙන්." කෙවන් ලැනිස්ටර් පුදුමයට වඩා කේන්තියට පත් වී සිටින බවක් දිස්විය. "මම ජේමිට අනතුරු ඇඟෙවුවා ඌව විශ්වාස කරන්ට එපැයි කියලා. සල්ලිවලට සටන්කරන මිනිහෙක් පක්ෂපාති වෙන්නෙ එයාගෙ සල්ලි පසුම්බියට විතරයි."
දෑතේ ඇඟිලි එකට බැඳගත් ටයිවින් උතුමානන් එය නිකටට යටින් තබාගත්තේ ය. සැමටම ඇහුම්කණ් දෙන අතරේ ඔහුගේ දෑස් පමණක් ඔබමොබ දිවුවේය. රන්වන් පැහැ දෙපස රැවුලෙන් ආවරණය වූ ඒ මුහුණ කෙතරම් නිසල වී ද යත් එය වෙස් මුහුණක් යැයි දකින්නෙකුට සිතෙනු ඇත. එනමුදු සිය පියාගේ තට්ට හිස මත සිහින් දහදිය බිඳු නැංවී තිබෙනු ටිරියන් නිරීක්ෂණය කලේය.
"කොහොමද මෙහෙම දෙයක් වෙන්නෙ?" සෙර් හැරිස් ස්විෆ්ට් නැවතත් කෙඳිරිගෑවේය. "සෙර් ජේමිව අල්ලගත්තා. වැටලීම බිඳලා දැම්මා... මේක මහ විපත්තියක්."
සෙර් ඇඩම් මාර්බ්‍රෑන්ඩ් කට හැරියේය. "මේ පැහැදිලිවම පේන්ට තියෙන දේ අපිට පෙන්නලා දුන්නට බොහොම ස්තූතියි සෙර් හැරිස්. ප්‍රශ්නෙ තියෙන්නෙ, අපි දැන් මොකක්ද මේකට කරන්නෙ?"
"මොකක්ද අපට කරන්ට පුළුවන්? ජේමිගෙ හමුදාව ඔක්කොම වගේ එක්කො මරලා දාලා, එක්කො අල්ලගෙන, නැත්තම් පැනලා ගිහිල්ලා. ස්ටාර්ක්ලායි ටලීලායි අපේ සැපයුම් මාර්ග අවහිර කරගෙන ඉන්නවා. අපිව බටහිර පැත්තෙන් කපලා දාලා. උන්ට ඕනනම් දැන් කෙලින්ම කාර්ස්ටලී රොක්වලටම යන්ට පුළුවන්. කවුද උන්ව නවත්තන්ට ඉන්නෙ? මගේ උතුමනි, අපි පැරදිලා ඉවරයි. දැන් අපි සාමයක් වෙනුවෙන් ලෑස්ති වෙන්ට ඕන."
"සාමය?" කල්පනාකාරීව සිය වයින් කුසලාන කරකවමින් මොහොතක් සිටි ටිරියන් එහි වූ වයින් සියල්ලම උගුරට හලාගෙන හිස් කුසලාණ බිමට දමා ගැසීය. එය දහසක් කැබැලිවලට සිඳී බිඳී ගියේය. "ඔන්න තියෙනවා ඔබේ සාමය සෙර් හැරිස්. මගේ ආදරණීය බෑණා ඔය බඩකඩුත්තු සාමය සම්පූර්ණයෙන්ම කඩලා දැම්මා අර එඩාර්ඩ් උතුමානන්ගෙ ඔළුගෙඩිය ගහලා රතු බලකොටුවෙ බිත්ති ලස්සන කරන්ට ඕන වුන දවසෙ ඉඳලා. රොබ් ස්ටාර්ක්ව සාම ගිවිසුමකට පොළඹවනවට වඩා ලේසියි අර බිඳිච්ච කුසලාණෙන් වයින් බොන්ට හදන එක. ඌ දැන් දිනනවා... සමහර විට ඔබට ඒක පේන්නෙ නැතුව ඇති."
"සටන් දෙකකින් යුද්ධයක් තීරණය වෙන්නෙ නැහැ." සෙර් ඇඩම් තිර කොට සිටියේය. "අපි තාමත් පරාජයෙන් හුඟාක් ඈත. මේ ස්ටාර්ක් කොල්ලාත් එක්ක මගේ හමුදාව දාලා හැප්පෙන්ට මම බොහොම කැමැතියි."
"සමහරවිට උන් සාම ගිවිසුමකට එකඟ වෙයි. උන්ගෙ හිරකාරයොයි අපේ හිරකාරයොයි හුවමාරු කරගන්ට." ලෙෆර්ඩ් උතුමානන් කියා සිටියේය.
"උන් තුනට එකේ අනුපාතෙට වගේ හිරකාරයො හුවමාරු කරගන්ට කැමැති වුනොත් ඇරෙන්ට ඒකෙන් අපට ලොකු වාසියක් වෙන්නෙ නැහැ." ටිරියන් තිත්ත ස්වරයෙන් කීවේය. "අනිත් එක අපි මොනවද දෙන්නෙ මගේ අයියා වෙනුවෙන්? එඩාර්ඩ් උතුමානන්ගෙ කුණුවෙච්චි ඔළුගෙඩිය ද?"
"මට අහන්ට ලැබුනා සෙර්සි රැජිණ ගාව හස්තයේ උතුමානන්ගෙ දුවලා දෙන්නා ඉන්නවයි කියලා." ලෙෆර්ඩ් බලාපොරොත්තු සහගත ස්වරයෙන් කීවේය. "අපි මේ කොල්ලට එයාගෙ නංගිලා දෙන්නා ආපහු දුන්නොත්..."
සෙර් ඇඩම් උගුරෙන් යම් අවඥාසහගත හඬක් නැංවීය. "ජේමි ලැනිස්ටර්ගෙ ජීවිතේ කෙල්ලො දෙන්නෙක්ගෙ ජීවිතේ වෙනුවෙන් හුවමාරු කරගන්ට ඌ නොම්මර එකේ මෝඩයෙක් වෙන්ට ඕන."
"එහෙමනම් අපි සෙර් ජේමි වෙනුවෙන් වන්දියක් ගෙවමු. ගාන කීය වුනත් කමක් නැහැ." ලෙෆර්ඩ් උතුමානන් නැවත කීවේය.
ටිරියන් දෑස් කරකැවීය. "ස්ටාර්ක්ලාට රත්තරන් ඕන නම් උන්ට පුළුවන් ජේමිගෙ සන්නාහය උණු කරන්ට."
"අපි සාම ගිවිසුමකට කතාකලොත් උන් හිතයි අපි දැන් දුර්වල වෙලයි කියලා." සෙර් ඇඩම් විවාදාත්මක ස්වරයෙන් කීවේය. "ඊට වඩා හොඳයි අපි දැන්මම ගිහිල්ලා උන් එක්ක සටන් කරන එක."
"කිසිම සැකයක් නැහැ රාසභාවෙ ඉන්න අපේ යාළුවන්ට ඒත්තු ගන්නන්ට ඕන අලුත් හමුදාවකුත් අරන් අපිට එකතු වෙන්ට එන්ටයි කියලා." සෙර් හැරිස් කීය. "ඒත් එක්කම තවත් කවුරුහරි කාර්ස්ටලී රොක්වලට යන්ට ඕන තව හමුදාවක් රැස් කරගන්ට."
ටයිවින් ලැනිස්ටර් උතුමානන් සිය දෙපා මතින් නැගී සිටියේය. "උන් මගේ පුතා අල්ලගෙන." ඔහුගේ වදන් මේදය කුට්ටියක් කපාගෙන බසින අසිපතක් මෙන් මේ උතුමන්ගේ නන් දෙඩවීම් අභිබවමින් පැතිර ගියේය. "පලයල්ලා මෙතැනින්. උඹලා හැමෝම පලයල්ලා."
සැමදාමත් සිය පියාගේ කීකරු බලු කුක්කකු වු ටිරියන් අනිකුත් උතුමන් සමගින් පිටව යෑම පිණිස සිය බංකුවෙන් බිමට පැන්නේය. එනමුදු පියාගේ බැල්ම ඔහු වෙතට එල්ල විය. "නෑ. උඹ යන්ට එපා ටිරියන්. නැවතියන්. උඹත් නැවතියන් කෙවන්. අනිත් එවුන් හැමෝම පිටවෙලා පලයල්ලා."
* * *
ටිරියන් නිහඬවම නැවත බංකුව මත වාඩිවිය. සෙර් කෙවන් කාමරය හරහා ගොස් වයින් මලු වෙත ළඟාවිය. "බාප්පෙ, කරුනාකරලා මටත් එකක්-"
"මෙන්න මේක ගනින්." ඔහුගේ පියා අතවත් නොගැසූ සිය වයින් කුසලාණ ඔහු දෙසට තල්ලු කලේය.
එවිගස නම් ටිරියන් සම්පූර්ණයෙන්ම අන්දුන් කුන්දුන් වී ගියේය. එනමුදු කුසලාණ අතට ගත් ඔහු වයින් උගුරක් බීවේය.
ටයිවින් උතුමානන් ද නැවත සිය අසුනේ වාඩි ගත්තේය. "උඹ ස්ටාර්ක් ගැන කියාපු කතාව ඇත්ත. එඩාර්ඩ් උතුමානන් පණ පිටින් හිටියානම් අපට එයාව පාවිච්චි කරලා වින්ටර්ෆෙලුයි රිවර්රනුයි එක්ක බොරු සාම ගිවිසුමක් ගහන්ට තිබුනා. ඒකෙන් අපට කාලයක් ලැබෙනවා රොබර්ට්ගෙ සහෝදරයො එක්ක හැප්පෙන්ට. ඒත් දැන් එයා මැරිලා..." ඔහුගේ දෑත් කිටිකිටියේ මිට මෙලැවී ගියේය. "මහ ගොන්කමක්. මහ බූරු ගොන්කමක්."
"ජොෆ් තාම පොඩි කොල්ලෙක්නෙ." ටිරියන් පෙන්වා දුන්නේය. "එයාගෙ වයසෙදි මමත් ඔය වගේ ගොන්කම් කීපයක්ම කලා නෙව."
පියා ඔහු දෙස තියුණු බැල්මක් හෙලුවේය. "මම හිතන්නෙ අපි සන්තෝස වෙන්ට ඕන එයා තාම වේස ගෑනියෙක් කසාද බැඳගත්තෙ නැති එක ගැන."
ටිරියන් නිහඬවම වයින් බඳුන තොලගෑවේය. සිය වයින් බඳුන පියාගේ මුහුණට දමා ගැසුවහොත් ඔහුව කෙසේ පෙනෙනු ඇත්දැයි ඔහු කල්පනා කලේය.
"අපේ තත්ත්වය උඹලා හිතනවටත් වඩා නරක අඩියකයි තියෙන්නෙ. පේන හැටියට නම් අපට දැන් අලුත් රජ කෙනෙක් ඉන්නවා."
සෙර් කෙවන් තුෂ්නීම්භූත වී ගියාක් මෙන් පෙනින. "අලුත් මොකෙක්? උන් ඒ ගමන ජොෆ්රිට මොකක්ද කරලා තියෙන්නෙ?"
ටයිව්න් උතුමානන් ගේ දෙතොල් මත යාන්තමින් මෙන් අප්‍රසාදාත්මක රැවුමක් නැගී ආයේය. "මොකුත් වෙලා නැහැ... තාමත්. මගේ මුණුබුරා තමා තාමත් යකඩ සිංහාසනේ වාඩිවෙලා ඉන්නෙ. ඒ වුනත් වාරිස් නපුංසකයාට දකුණෙන් රහස් ආරංචි වගයක් ලැබිලා තියෙනවා. දැනට සති දෙකකට උඩදි රෙන්ලි බරතියන් හයිගාර්ඩ්න්වලදි මාර්ජරී ටිරල්ව කසාද බැඳලා. දැන් එයා කිරුළට උරුමකම් කියනවලු. මනමාලිගෙ තාත්තයි, මාමලයි හැමෝම තමන්ගෙ දණ නමලා එයාට පක්ෂපාතීත්වය ඔප්පු කරලා තියෙනවා."
"ඒක බොහොම නරක ආරංචියක්." සෙර් කෙවන් බැම ඇකිළූ විට ඔහුගේ නළලේ දැනටමත් ඇති රැළි ගැඹුරු ආගාධ මෙන් දිගු වී යයි.
"මගේ දුව අණකරනවා හමුදාවත් එක්ක වහාම කින්ග්ස් ලෑන්ඩින්ග්වලට එන්ටයි කියලා. රෙන්ලි රජතුමාගෙනුයි කුසුම් නයිට්වරයාගෙනුයි රතු බලකොටුව බේරගන්ට." ඔහුගේ මුව තද වී ගියේය. "අණ කරනවා ඈ. ඔන්න බලපන්. රජතුමාගෙයි රජසභාවෙයි නාමයෙන් අණකරනවා."
"ජොෆ්රි රජතුමා කොහොමද මේ ආරංචිය ගැන හිතන්නෙ?" ව්‍යාජ විමතියකින් මුව සරසාගෙන ටිරියන් ඇසූයේය.
"සෙර්සි තාම එයාට ඒ ගැන කියන්ට හිතලා නැහැ. එයා බයයි කොල්ලා රෙන්ලිට විරුද්ධව එයාම හමුදාවක් අරන් යයි කියලා."
"මොන හමුදාවක් එක්කද? ඔබ එයාට මේ හමුදාව දෙන්ට කල්පනා කරන එකක් නැහැ මම හිතන්නෙ."
"එයා හිතනවලු නගරාරක්ෂක බලකාය අරන් යන්ට."
"එයා නගරාරක්ෂක බලකාය අරන් ගියොත් නගරෙ අනාරකෂිත වෙනවනෙ." සෙර් කෙවන් කීය. "ස්ටැනිස් උතුමානන් ඩ්‍රැගන්ස්ටෝන්වල..."
"ඔවු." ටයිවින් උතුමානන් සිය පුතු දෙස බැලීය. "මම හිතාගෙන උඹ තමා බම්මන්නා කියලා ටිරියන්. ඒ වුනත් පේන හැටියට නම් මම වැරැදියි වගේ."
"ඇයි තාත්තෙ. ඒක නිකම් මට කරපු ප්‍රශංසාවක් වගේනෙ." ඔහු ඕනෑකමින්ම ඉදිරියට නැඹුරු වූයේය. "ස්ටැනිස් ගැන මොකද? එයා තමා වැඩිමලා. රෙන්ලි නෙවෙයි. එයා මොකක්ද හිතන්නෙ මල්ලිගෙ මේ රජකමට උරුමකම් කියන එක ගැන?"
ඔහුගේ පියා බැම ඇකිළීය. "මට මුල ඉඳන්ම තේරුම් ගිය දෙයක් තමා මේ අනිත් එවුන් ඔක්කොම එක්කහු කරලා ගත්තටත් වඩා තනි ස්ටැනිස් භයානකයි කියන එක. ඒ වුනත් ඌ කිසිම දෙයක් කරන්නෙ නැහැ. ඇත්ත, වාරිස්ට එක එක ආරංචි ලැබෙනවා තමා. ස්ටැනිස් නැවු හදනවලු. ස්ටැනිස් කුලී හේවායො එකතු කරනවලු. ස්ටැනිස් අෂයීවල ඉඳන් මායා බන්ධකයෙක් ගෙනාවලු. මොකක්ද ඒකෙන් කියැවෙන්නෙ? මේ කියන එක දෙයක් හරි ඇත්තද?" ඔහු පීඩාවට පත් වූ ස්වරයෙන් දෙවුර ඇකිළීය. "කෙවන්. ඔය සිතියම මෙහාට අරන් වරෙන්."
සෙර් කෙවන් අණට කීකරු වූ අතර ටයිවින් උතුමානන් සම් රෝල මේසය මත දිගහැර ඇතිරුවේය. "ජේමි අපිව බොහොම නරක තැනකටයි අතඇරලා තියෙන්නෙ. රූස් බෝල්ටනුයි උගෙ හමුදාවෙ ඉතුරු වෙච්චි එවුනුයි අපට උතුරෙන්. අපේ හතුරො ද්විත්ව බලකොටුවයි මෝට් කේය්ලින් බලකොටුවයි දෙකම පාලනය කරනවා. රොබ් ස්ටාර්ක් බටහිර පැත්තෙ. සටනක් කරන්නෙ නැතුව අපට ලැනිස්පෝර්ට්වලට හරි කාර්ස්ටලී රොක්වලට හරි පහුබහින්ට බැහැ. ජේමි අත්ඩංගුවට අරන්. එයාගෙ හමුදාව දැන් ඇත්තෙම නැති ගානයි. ම(ර්) වල තොරෝසුයි බෙරික් ඩොන්ඩරියනුයි තාමත් අපේ සැපයුම් තවලම්වලට පහර දෙනවා. නැගෙනහිර පැත්තෙන් අපට ඉන්නවා ඒරින්ලා. ස්ටැනිස් බරතියන් ඩ්‍රැගන්ස්ටෝන්වල. දකුණුකරේ හයිගාර්ඩ්නුයි ස්ටෝර්ම්ස් එන්ඩුයි උන්ගෙ යටත් ධජ දරන්නො එකතු කරනවා."
ටිරියන් වංචාකාරී සිනහවක් පෑවේය. "දහිරිය ගන්ට තාත්තෙ. අඩුම ගානෙ රේගාර් ටාර්ගේරියන් මැරිලනෙ."
"අපට දෙන්ට ඔය විකාර විහිළුවලට වඩා වැදගත් දෙයක් උඹ ගාව ඇතිය කියලයි මම හිතුවෙ ටිරියන්."
සෙර් කෙවන් අකුළාගත් බැමින් යුතුව සිතියම දෙස රවා බැලුවේය. "දැන් එඩ්මුයර් ටලීයි ගංගා නිම්නයේ අනිත් වංශාධිපතියො ඔක්කොමයි රොබ් ස්ටාර්ක් එක්ක එක්කහු වෙලයි ඉන්නෙ. උන්ගෙ හමුදා ඔක්කොම එකතු කරලා ගත්තොත් අපට වඩා වැඩිවෙන්ට පුළුවන්. ඒත් එක්කම රූස් බෝල්ටන් අපේ පිටිපස්සෙ... ටයිවින්, අපි මෙතැනට වෙලා නැවතිලා හිටියොත්, අපි හමුදා තුනකට කොටුවෙනවා."
"මෙතැනට වෙලා බලන් ඉන්ට මගේ කිසිම අදහසක් නැහැ. රෙන්ලි බරතියන් හයිගාර්ඩ්න්වල ඉඳන් හමුදාවත් අරන් උතුරට එන්ට පිටත්වෙන්ට කලින් අපි මේ තරුණ ස්ටාර්ක් උතුමානනුත් එක්ක තියෙන ගනුදෙනු අහවරක් කරලා දාන්ට ඕන. බෝල්ටන් ගැන මගේ එච්චර බයක් නැහැ. ඌ බොහොම පරීක්ෂාකාරී මිනිහෙක්. කොළ ගංගාවෙ සටනින් පස්සෙ මිනිහා කලින්ටත් වඩා පරීක්ෂාකාරී වෙයි. මිනිහා අපිව ලුහුබැඳන් එන්ට තව පරක්කු වෙයි. ඒ නිසා... අපි හෙට උදේම හැරෙන්හෝල්වලට පිටත්වෙලා යනවා. කෙවන්, මට ඕන සෙර් ඇඩම්ගෙ ඔත්තුකාරයො අපේ ගමන සම්පූර්ණයෙන්ම ආවරණය කරන්ට. එයාට ඕන තරමක් මිනිස්සු ගන්ටයි කියහන්. ඒ වගේම උන් හතරදෙනාගෙ කණ්ඩායම් යවන්ටයි කියහන්. ආයෙමත් ඔත්තුකාරයො අතුරුදහන් වෙනවා දකින්ට මට ඕන නැහැ."
"ඔබ කියන විදියක් මගේ උතුමානනි. ඒත්... ඇයි හැරෙන්හෝල්? ඒක මහ අඳුරු, අවාසනාවන්ත තැනක් නෙව. සමහරු කියනවා ඒක සාපලත් තැනක් කියලා."
"උන්ට ඕන දෙයක් කියපුවාවෙ. සෙර් ග්‍රෙගර්ට කියපන් උගෙ මංකොල්ලාකාරයො ඔක්කොමත් අරන් අපට ඉස්සරහින් යන්ටයි කියලා. වාර්ගෝ හෝර්ටුයි උගෙ කුලී හේවායනුයිත් යවන්ට ඕන. ඒත් එක්කම සෙර් අමෝරි ලෝර්ක්වත්. මේ තුන්දෙනාටම කියපන් අසරු සෙබළු තුන්සීය ගානෙ ගන්ටයි කියලා. උන්ට කියපන් මට ඕන කියලා රතු ගංගාවෙ ඉඳන් දෙවියන්ගෙ ඇහැ වෙනකම් මුලු ගංගා නිම්නයම ගිනි තියලා, විනාශ කරලා දාන්ට."
"උන් බොහොම කැමැත්තෙන් ගිනි තියයි මගේ උතුමානනි." සෙර් කෙවන් අසුනෙන් නැගිටිමින් කීවේය. "මම අණ නිකුත් කරන්නම්." හිස නැමූ ඔහු දොර දෙසට පිටව ගියේය.
* * *
ඔවුන් දෙදෙන තනි වූ විට ටයිවින් උතුමානන් සිය පුතු දෙස දෑස් කොණින් බැල්මක් හෙලීය. "උඹේ වනචාරියොත් කැමැති වෙයි පොඩි මංකොල්ලාකෑමක් කරන්ට. උන්ට කියාපන් කැමැතිනම් වාර්ගෝ හෝර්ට් එක්ක පිටත් වෙලා ගිහිල්ලා කැමැති විදියට මංකොල්ලා කන්ටයි කියලා. කෑම, බඩුභාණ්ඩ, ගෑනු, ඕන දෙයක්. උන්ට ඕන තරමක් අරන් අනිත් හැම දෙයක්ම ගිනි තියන්ට කියපන්."
"ෂග්ගාටයි ටිමට්ටයි මංකොල්ලා කන්නෙ කොහොමද කියලා උගන්නන එක හරියට කුකුළෙකුට කොක් කොක් ගාන්ට උගන්නනවා වගේ වැඩක්. ඒ වුනත් මම කැමැතියි උන්ව මගේ ළඟ තියාගන්ට." ඔවුන් අශිෂ්ට හා දඩබ්බර නොහික්මුනු එවුන් වුවද මේ වනචාරීන් වනාහි ඔහුගේ මිනිස්සු වූහ. එමෙන්ම සිය පියාගේ ඕනෑම සෙබළෙකුට වඩා ටිරියන් ඔවුන්ව විශ්වාස කලේය. ඔවුන් වෙනෙකෙකු ගේ පාලනය යටතට පංගාර්තු කිරීම ඔහුට කිසිසේත් අවශ්‍ය නොවීය.
"එහෙම නම් උඹ ඉගෙනගනින් කොහොමද උන්ව පාලනය කරන්නෙ කියලා. මට ඕන නැහැ උන් නගරය මංකොල්ලා කනවා දකින්ට."
"නගරය?" තමා අතරමං වූ සෙයක් ටිරියන්ට දැනින. "මොන නගරයක් ගැනද ඔය කියන්නෙ?"
"කින්ග්ස් ලෑන්ඩින්ග්. වෙන මොකක්ද? මම උඹව යවනවා රාජ සභාවට."
මේ වනාහි ටිරියන් ලැනිස්ටර් කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු දෙයක් විය. සිය වයින් බඳුන වෙත අත යැවූ ඔහු කල්පනාකාරීව වයින් උගුරක් පානය කලේය. "ඉතින් මම මොකක්ද එහෙ ගිහින් කරන්ට ඕන?"
"පාලනය කරපන්."
ටිරියන් කොක් හඬලා සිනාසුනේය. "මගේ ලස්සන අක්කාට ගොඩක් දේවල් තියෙයි ඒ ගැන කියන්ට."
"එයාට ඕන දෙයක් කියාපුදෙන්. එයාගෙ පුතා අපි හැමෝවම නැති බංගස්ථාන කරලා දාන්ට කලින් අපි එයාව පාලනය කරගන්ට ඕන. මම ඒකට වැරැද්ද පටවන්නෙ වෙන කාටවත් නෙවෙයි. රාජසභාවෙ ඉන්න අර ජේත්තුකාරයො ටිකට. අපේ යාළුවා පෙටයර්, ගරු කටයුතු ප්‍රධාන මේස්ටර්, එතකොට අර නපුංසකයා වාරිස් උතුමානන්. ජොෆ්රි එක මෝඩ වැඩකින් තව මෝඩ වැඩකට පනිනකම් උන් මොනවද එයාට අනුශාසනා කරන්නෙ? මේ ජේනස් ස්ලින්ට් කියන බූරුවාව වංශාධිපතියෙක් කරන්ටයි කියපු එක කාගෙ අදහසක් ද? මේ මිනිහගෙ තාත්තා මස් කඩ කාරයෙක්. අනිත් එක එයාලා ඌට දෙනවා හැරෙන්හෝල්. හැරෙන්හෝල්! හැරෙන්හෝල් කියන්නෙ රජෙකුට සුදුසු තැනක්. මට පුළුවන් නම් මම ඌට ඒකට අඩිය තියන්ටවත් දෙන්නෙ නැහැ. මට ලැබුන ආරංචිවල හැටියට ඌ තමන්ගෙ වංශ ලාංඡනය හැටියට තෝරගෙන තියෙන්නෙ ලේ ගෑවිච්ච හෙල්ලක්. ලේ ගෑවිච්ච මන්නයක් ගත්තනම් හොඳයි ඊට වැඩිය." සිය පියා කටහඬ උස් කලේ නැති නමුදු ඒ රන්වන් දෑසේ දිදුලන කේන්තිය ටිරියන් පැහැදිලිවම දුටුවේය. "එතකොට සෙල්මිව තනතුරෙන් පහ කරපු එක. ඒක මොන අමන මරි මෝඩ වැඩක් ද? ඇත්ත, මේ මනුස්සයා වයසයි තමා. ඒ වුනත්, 'නිර්භීත බැරිස්ටාන්' කිවුවහම තාමත් මේ රජධානි සප්තකයේ මිනිස්සු ගරු බුහුමන් දක්වනවා. එයා සේවය කරන්නෙ කාට වුනත් ඒකෙන් එයාගෙ ස්වාමියාට අත්වෙන්නෙ ගෞරවයක්. කාටවත් පුළුවන් ද මේ කතාවම දඩබල්ලා ගැන කියන්ට? උඹ උඹේ බල්ලන්ට කන්ට දෙන්නෙ මේසෙ යට. උඹ උන්ව නග්ගගන්නෙ නැහැ උඹ වාඩිවෙලා ඉන්න බංකුවෙ පැත්තකින්." ඔහු ටිරියන් ගේ මුහුණට ඇඟිල්ලක් දිගුකලේය. "සෙර්සිට මේ කොල්ලව හදාගන්ට බැරි නම් උඹ හදපන්. ඒත් එක්කම, මේ රාජසභිකයො අපට වංචා කරනවයි කියලා අහුවුනොත්..."
කලයුත්තේ කුමක්දැයි ටිරියන් මනාව දත්තේය. "යකඩ රිටි." ඔහු සුසුමක් හෙලීය. "ඔළු ගෙඩි. ප්‍රාකාර."
"මට පේනවා උඹ මගෙන් පාඩම් ටිකක් ඉගෙනගෙන තියෙනවා කියලා."
"ඔබ දන්නවාටත් වැඩියෙන් තාත්තෙ." ටිරියන් කටුකුටු ගෑවේය. සිය වයින් බඳුන බී හමාර කල ඔහු සිතුවිල්ලේ ගැලෙමින් හිස් කුසලාණය පසෙකින් තැබීය. ඔහුගෙන් අඩක් සිතනවාටත් වඩා සතුටින් ප්‍රමුදිතව සිටියේය. එනමුදු ඉතුරු අඩ ගඟ අද්දර සිදු වූ සටන මෙනෙහි කරමින් හුන්නේය. මෙහි අරමුණ නැවත වරක් ඔහුව වම් අංශය රැකගැනීමට යැවීම ද? "ඇයි මම?" හිස පසෙකට ඇල කරමින් ඔහු විමසා සිටියේය. "ඇයි බාප්පාව යවන්නෙ නැත්තෙ? එහෙමත් නැත්තම් සෙර් ඇඩම් හරි සෙර් ෆ්ලෙමන්ට් හරි සෙරට් උතුමානන් හරි යවන්නෙ නැත්තෙ? ඇයි... ලොකු මිනිහෙක් යවන්නෙ නැත්තෙ?"
ටයිවින් උතුමානන් හිටි අඩියේම සිය අසුනින් නැගී සිටියේය. "මොකද උඹ මගේ පුතා නිසා."
සත්‍යය කුමක්දැයි ඔහු ඒ මොහොතේ වටහා ගත්තේය. 'උඹ එයාව අත ඇරලා දාලා ඉවරයි.' ඔහු කල්පනා කලේය. 'උඹ අවජාතක බල්ලා. උඹ හිතන්නෙ දැන් ජේමි මලා හා සමානයි කියලා. දැන් උඹට ඉතුරුවෙලා ඉන්න එකම එකා මම විතරයි.' සිය පියාට කම්මුල් පහරක් දීමට ටිරියන්ට සිත් විය. ඔහුගේ මුහුණට කෙල ගැසීමට උවමනා විය. සිය සිරිය ඇදගෙන, ඔහුගේ පපුව පලා, හදවත එළියට ගෙන, සාමාන්‍ය මිනිසුන් කියන්නාක් මෙන් ඇත්තටම ඔහුගේ හදවත රනින් නිම වී ඇත්දැයි බලන්නට උවමනා විය. එනමුදු මේ කිසිවක් නොකල ඔහු සිය අසුනට වී නිසලව, නිහඬව බලා සිටියේය.
ටයිවින් උතුමානන් කාමරය හරහා පිය මනිද්දී ඔහුගේ පයට පෑගුනු බිඳුනු වීදුරු කුසලාණයේ කටුකැබැලි කරකරස් හඬින් කුඩු වී ගියේය. "තව එක දෙයක්." දොර අසලදී ආපසු හැරුනු ඔහු කීවේය. "උඹේ අර වේස ගෑනිව රාජසභාවට එක්කරන් යන්ට බැහැ."
සිය පියා පිටව ගිය පසු ටිරියන් ප්‍රධාන ශාලාවට වී බොහෝ වේලාවක් තනිවම ගතකලේය. අන්තිමේදී කාමරයෙන් පිට වූ ඔහු ඝණ්ඨා කුළුණ යට පිහිටි සිය සුවපහසු අට්ටාල කාමරයට යනු පිණිස පිටගැට පෙළ නැංගේය. එහි සිවිලිම පහත් එකක් වුවද ඔහු වැනි අඟුටුමිට්ටකුට එය සැලකිය යුතු දෙයක් නොවීය. කාමරයේ වූ කවුළුව තුළින් ඔහුට සිය පියා විසින් තානායම් මිදුලේ ඇටවූ එල්ලුම් ගස නිරීක්ෂණය කල හැකි විය. රාත්‍රි සුළං හමන වාරයක් පාසා එහි එල්ලී තිබුනු තානායම්පතිනිය ගේ මළසිරුර සෙමින් පැද්දෙන්නට විය. දැන් එහි වූ සම්, මස්, නහර වියළී ගොස් මළසිරුර ලැනිස්ටර් බලාපොරොත්තු තරමටම සිහින් වී, තුනී වී ගොස් තිබින.
ඔහු පිහාටු මෙට්ටය මත වාඩි වෙද්දී නිදිමතයේම මොනවාදෝ මිමිනූ ෂේ ඔහු දෙසට රෝල් විය. පොරෝණයට යටින් රිංගූ ඔහුගේ අත ඇගේ සුමුදු පයෝධරයක් මත නතර වූ අතර ඇගේ දෑස් විවර විය. "මයෙ උතුමානනි." ඇය නිදිමත සිනහවක් පාමින් කීවාය.
ඇගේ තණපුඩුව දැඩිවනු ඔහුගේ අතට දැනෙද්දී ඔහු පහත් වී ඇගේ දෙතොල් සිප ගත්තේය. "මට අදහසක් ආවා උඹව කින්ග්ස් ලෑන්ඩින්ග්වලට එක්කරන් යන්ට වස්තුවෙ." ඔහු කෙඳිරීය.
Kevan Lannister: “A man who fights for coin is loyal only to his purse.”