Friday 10 April 2015

ඩනේරිස් 10


හිරු රැසින් හේබා දැවී ගිය රතුවන් බිමේ දැව සොයා ගැනීම උගහට විය. දැව සෙවීමට ගිය ඇගේ පිරිස රැගෙන ආවේ ගැට සහිත කොට්ට පුළුන් දර, දම් පැහැ පඳුරු සහ දුඹුරුවන් තණපත් පමණි. සොයාගැනීමට තිබුනු ඍජුම ගස් දෙකක පොතු ඉවත් කර අතු ඉති කපා දැමු ඔවුහු එම කොටන් දෙකට පලා චතුරශ්‍රාකාරව පො‍ළොව මත ඇතිරූහ. ඒ මැද පිදුරු, මිටි බැඳි තණපත්, ගස්වලින් කපා ඉවත් කල පොතු සහ වියළුනු පඳුරු වලින් පුරවා දැමින. රඛාරෝ  ඉතිරි වී සිටි අසුන් ස්වල්පය අතුරින් හොඳ සෛන්ධවයෙකු තෝරාගත්තේය. ඌ ඩ්‍රෝගෝගේ රතු සෛන්ධවයා හා සම කල හැක්කෙකු නොවුවද කල හැකි දෙයක් නොවීය. අනිත් අතට ඩ්‍රෝගෝගේ අසු හා සම කල හැක්කන් වේ නම් ඒ අත‍ලොස්සකි. චතුරශ්‍රය මැදට අසු රැගෙන ආ අග්ගෝ ඌට වියලුනු ඇපල් ගෙඩියක් කන්නට දී දෑස මැදටම දුන් පොරෝ පහරකින් ඌව මරා දැමුවේය.

අත පය බඳින ලදුව ධූලි පිරුනු බිම දපා සිටි මිරී මාස් ඩූර් සිය කලුවන් දෑස පුරාවූ නොඉවසිල්ලකින් යුතුව  ඒ දෙස බලා සිටියාය. "අස්සයෙක් විතරක් මරලා හරියන්නේ නෑ.” ඈ ඩැනීට කීවාය. “නිකංම ලේ කියන්නෙ කිසිම වැඩකට ඇති දෙයක්නෙවෙයි. ඔබ මන්තර දන්නෙත් නෑ, ඒවා හිතාගන්ට ඔබට ඒ ගැන දැනුමකුත් නෑ. ඔබ හිතාගෙන ඉන්නේ ලේ යකැදුරුකම් කියන්නෙ පොඩි දරුවන්ගෙ සෙල්ලමක් කියලද? ඔබ මට යක්දෙස්සි කියන්නෙ හරියට ඒක නිකම් අපහාසයක් වගේ. ඒ වුනත් ඒකේ තේරුම ඥානවන්තකම කියන එකයි. ඔබ තාම පොඩි එකෙක්. කිසිම දෙයක් තේරෙන්නේ නෑ. ඔබ ඔය කරන්ට යන්නෙ මොකක් වුනත් ඒ කිසි දෙයක් හරියන්නෙ නෑ . මේ බැමි ගලවන්ට. මම ඔබට උදවු කරන්නම්."

"මේ යක්දෙස්සිගෙ කරච්චලේ අහලා මට එපා වෙලා." ඩැනි ජෝගෝට කීවාය. ඔහුගේ කසපහර ලැබූ ගැහැනිය නිහඬ වූවාය.

ඔවුන්ට සොයාගත හැකි වූ සියලුම කුඩා ගස් වල සෘජු කඳන් ද, විශාල ගස්වල අතුද යොදාගෙන ඔවුහු අසුගේ මළකුණ මත වේදිකාවක් ගොඩ නැංවූහ. සියළුම දැව කඳන් නැගෙනහිර දිසාවේ සිට බටහිර දිසාවට ඇතිරුනේ හිරු නැගෙන දෙස සිට හිරු බසින දෙසට ඇතිරීම සම්ප්‍රදාය වූ බැවිනි. මේ වේදිකාව මත ඛාල් ඩ්‍රෝගෝගේ සියලු වස්තුව තැන්පත් කෙරින: ඔහුගේ දැවැන්ත කුඩාරම, වර්ණවත් කෙටි කබා, සෑදල හා කටකලියා, වැඩිවිය පැමිණුනු දා ඔහුගේ පියා ගෙන් තෑගී ලද කසය, ඛාල් ඕගෝ සහ ඔහුගේ පුතාට මරු කැඳවූ අරඛ් අසිපත, ඔහුගේ සවිමත් මකරාස්ථි දුන්න, මේ සියල්ල එහි තැන්පත් කෙරින. ඛාල් ඩ්‍රෝගෝගේ රුධිරාරක්ෂකයින් වෙතින් මනාලි තෑගි ලෙසින් ඇය ලද ආයුධ ද එයට එක් කරන්නට අග්ගෝ අදහස් කලද ඩැනී එයට එරෙහි විය. "ඒවා මගේ. මට ඒවා තියාගන්ට ඕනේ." අවසන මේ වස්තුව මත තවත් අතුපතර තට්ටුවක් ද ඊටත් උඩින් තවත් තණපත් තට්ටුවක් ද අතුරනු ලැබින.

හිරු කෙමෙන් ක්ෂිතිජය වෙතට ලඟාවෙද්දී සෙර් ජෝරා මෝර්මන්ට් ඇයව පසෙකට ඇදගත්තේය. "කුමාරි..." ඔහු කතාව ඇරඹීය.

"ඇයි ඔබ මට එහෙම කතා කරන්නෙ?" ඩැනි ඔහුට අභියෝග කලාය . "මගේ අයියා වි‍සේරිස් ඔබේ රජතුමා. එ‍හෙම නෙමෙයිද?"

"ඒක ඇත්ත මගේ ආර්යාවනි."

"විසේරිස් මැරුනා. මම තමා එයාගේ උරුමක්කාරී. මම තමා ටාර්ගේරියන් වංශයේ අන්තිම ලේ උරුමක්කාරි. එයාට අයිති වෙලා තිබ්බ හැම දේම දැන් මගේ."

"මගේ... රැජිනියනි!" සෙර් ජෝරා දණක් නැමුවේය. "එයාට අයිතිව තිබූන මගේ අසිපත දැන් ඔ‍බෙයි ඩ‍නේරිස්. ඒ වගේම මගේ හදවතත්. ඒක කවදාවත් එයාට අයිති වෙලා තිබුනෙ නෑ . මම නිකංම නිකං නයිට්වරයෙක් විතරයි. මට ඔබට පුදකරන්ට තියෙන්නේ පිටුවහල් ජීවිතයක් විතරයි. ඒ වුනත් මම ඔබෙන් අයදිනවා. මම කියනදේ අහන්ට. ඛාල්ව අමතක කරලා දාන්ට. ඔබට තනිවෙන්ට දෙන්නෙ නෑ, මම ඒක පො‍රොන්දු වෙනවා. වයෙස් ඩොත්රැක්වලට යන්ට ඔබ කැමැති නැත්තං කිසිම මිනිහෙකුට එහෙම ගෙනියන්ට දෙන්නේ නෑ කියල මම පොරොන්දු වෙනවා. ඩොෂ් ඛලීන් මැහැල්ලන්ට එකතුවෙන්ට ඕනේ වෙන්නේ නෑ. මගෙත් එක්ක නැගෙනහිරට යමු. යි ටි, ඛාර්ත්, ජේඩ් මුහුද, අෂයී වල සෙවනැලි දේශය. කිසිම කෙනෙක් දැකල නැති ආශ්චර්යජනක දේවල් අපි බලමු. දෙවියන් අපි පිට දාන ඉරණම මොකක් වුනත් ඒකට මූන දෙමු. අනේ ඛලීසි ඔබ කරගන්ට යන දේ මම දන්නවා. එපා. අනේ එපා."

"මම ඒක කරන්ටම ඕන." ඔහුගේ මුහුණ දුකින් සහ ස්නේහයෙන් යුතුව ස්පර්ශ කරමින් ඩැනි  පිළිතුරු දුන්නාය. "ඔබට තේරෙන්නේ නැහැ."

"ඔබ එයාට ආදරෙන් හිටිය බව මට තේරෙනවා." සෙර් ජෝරා ගේ කටහඬ මනස්තාපයෙන් බර විය. "මමත් කාලයක් මගේ ආර්යාවට ආදරේ කලා. ඒත් එයා එක්ක මම මැරුනෙ නෑ. ඔබ මගේ රැජින. මගේ කඩුව ඔබෙයි. ඒ වුනත් ඔබ ඩ්‍රෝගෝගේ චිතකයේ පිච්චෙනවා බලන්ට මට බෑ. ඒක වෙනකල් මම නිකන් ඉන්නේ නෑ."

"ඔබ බය වුනේ ඒකටද?" ඔහුගේ පුළුල් නළල්තලය මුදුව සිප ගන්නා අතර ඩැනි විමසුවාය. "එහෙම කරගන්ට මම පොඩි ළමයෙක් නෙවෙයි."

"එහෙනම් මට දිවුරලා කියන්ට. ඔබ එයත් එක්ක මැරෙන්නේ නෑ නේද මගේ රැජින?"

"ඔව් මම දිවුරනවා." පිය උරුමයෙන් ඇයට අයත් විය යුතු රාජධානි සප්තකයේ පොදු වහරින් ඇය පිළිතුරු දුන්නාය.

වේදිකාවේ තෙවන ස්ථරය ඇඟිල්ලක් තරම් ගනකම අතු රිකිල්ලෙන් සාදා වියලි තණපතින් වසනු ලැබින. ඒවා හිමේ සිට ගින්දර දක්වා එනම් උතුරේ සිට දකුණු දෙස දක්වා අතුරා ඒ මතුපිට සුමුදු පුළුන් කොට්ට සහ සේද රෙදි වලින් වසා දමා තිබුනි. මළ හිරු අවරගිර දෙසට සමීප වන මොහොත වන විට සියල්ල සූදානම් වී හමාර විය. ඩැනි සිය ඩොත්රැකියන් එක්රැස් කලාය. ඉතිරිව සිටි සියල්ලෝම සියයකටත් අඩු ප්‍රමාණයක් විය. 'ඒගන් සිය මෙහෙයුම ඇරඹූයේ කී දෙනෙකුගෙන්ද?' ඇය විමතියෙන් කල්පනා කලාය. එය වැදගැම්මකට ඇති දෙයක් නොවේ.

"ඔබලා තමා මගේ ඛලසාරය වෙන්නෙ." ඇය ඔවුනට පැවසුවාය. "මට මෙතන පේන්ට ඉන්නේ වහල්ලු. මම උඹලාව නිදහස් කරනවා. උඹලාගේ ඔය වහල් කරපටි ගලවපල්ලා. උඹල කැමති නම් යන්ට පුළුවන්. කවුරුත් උඹලට අනතුරන් කරන්නේ නැහැ. උඹල ඉන්නවා නම් ඒ ඉන්නේ සහෝදර-සහෝදරියෝ අඹු-සැමියෝ විදිහට. නිදහසේ." කළුවන් දෑස් කිසිදු හැඟීමක් නොමැති, පරීක්ෂාකාරී බැල්මකින් ඇය දෙස බලා සිටියේය. "මට පේනවා මෙතන ගැහැණු ඉන්නවා, ළමයි ඉන්නවා, රැලි ගැහුනු මූනු තියනවා. මම ඊයේ කෙල්ලක්, අද ගෑනියක්, හෙට නාකිච්චියක් වෙයි. උඹලා ඔක්කොටමයි මම මේ කියන්නෙ. මට එකතු වෙයල්ලා, උඹලට හැමදාම මගේ ළඟ ඉඩ තියේවි." ඩැනී සිය ඛාස් එකේ තරුණ රණකාමීන් තිදෙනා වෙත හැරුනාය. "ජෝගෝ, ඔබට මම තෑගි දෙනවා මේ රිදී මිට ගහපු කසය. මේක මගේ මනාලි තෑග්ගක්. මම ඔබව නම් කරනවා කෝ කෙනෙක් විදියට. මට ඔබේ දිවුරුම ඕන. ඔබ මගේ රුධිරයෙන් උපන් රුධිරය විදියට ජීවත් වෙලා මියයන්ට සුදානම් ද? මගේ පැත්තකින් අශ්වයා විහිදලා මගේ ආරක්ෂාව බලාගන්නට දිවුරනවද?"

ජෝගෝ ඇගේ අතින් කසය ගත් නමුදු ඔහුගේ මුහුණ අවුල්සහගත විය. "ඛලිසි..." ඔහු පැකිලෙමින් පැවසීය. "මේක කරන්ට පුළුවන් දෙයක් නෙවෙයි. ගෑනියෙක්ගෙ රුධිරාරක්ෂකයා වෙන එක මට මහ නින්දාවක්."

"අග්ගෝ," ඔහු නෑසුනා සේ ඩැනී කතා කලාය. දැන් නැවත හැරී බැලුවොත් ඇය සිය සටන පරාද වනු ඇත. "මගේ මනාලි තෑග්ගක් වුන මේ මකරාස්ථි දුන්න මම ඔබට දෙනවා." එය ඇයටත් වඩා උසැති, වක් දෙකකින් යුක්ත, කළු පැහැයෙන් දිදුලන අගනා භාණ්ඩයක් විය. "මම ඔබව නම් කරනවා කෝ කෙනෙක් විදිහට. ඔබ මගේ රුධිරයෙන් උපන් රුධිරය විදියට ජීවත් වෙලා මියයන්ට සුදානම් ද? මගේ පැත්තකින් අශ්වයා විහිදලා මගේ ආරක්ෂාව බලාගන්නට දිවුරනවද?"

අග්ගෝ බිමට නැඹුරු වූ දෑසින් යුතුව තෑග්ග පිළිගත්තේය. "මට මේ වචන කියන්ට බෑ . කෝ ‍කෙනෙක් නම් කරන්ට පුළුවන්, ඛලසාරයක් පාලනය කරන්ට පුළුවන් පිරිමියෙකුට විතරයි."

"රඛාරෝ," ඔහුගේ පිළිතුර ගණනකට නොගත් ඩැනී පැවසුවාය. "මගේ මනාලි තෑග්ගක් වුන, මිටයි තලෙයි රන් වැඩ දාපු මේ දැවැන්ත අරඛ් අසිපත මම ඔබට දෙනවා. මම ඔබවත් නම් කරනවා කෝ කෙනෙක් විදිහට. ඔබ මගේ රුධිරයෙන් උපන් රුධිරය විදියට ජීවත් වෙලා මියයන්ට සුදානම් ද? මගේ පැත්තකින් අශ්වයා විහිදලා මගේ ආරක්ෂාව බලාගන්නට දිවුරනවද?"

"ඔබතුමි ඛලීසි." අරඛ් එක අතට ගනිමින් රඛාරෝ තෙපලුවේය. "මම එන්නම් ඔබත් එක්ක කඳුවැටියේ මාතාව පාමුල වයෙස් ඩොත්රැක් වලට. ඔබතුමි ඩොෂ් ඛලීන්ලාට එකතු වෙනකල් මම ඔබව ආරක්ෂා කරන්නම්. ඊට වඩා දෙයක් මට පොරොන්දු වෙන්ට බෑ."

එම පිළිතුර නෑසුනාක් ‍මෙන් සන්සුන්ව හිස සැලූ ඩැනී සිය අවසන් සටන්කරු වෙත හැරුනාය. "සෙර් ජෝරා මෝර්මන්ට්, මගේ පළවෙනි ඒ වගේම ම‍ගේ විශිෂ්ටතම නයිට්වරයා. ඔබට දෙන්ට මට මනාලි තෑග්ගක් නැහැ. ඒ වුනත් මම දිවුරනවා. දවසක මගේ අතින් ඔබට ලැබෙයි ලෝකයා මෙතක් දැකලා නැති විදි‍යෙ, මකර අග්නියෙන් වාත්තු කරලා වැලිරියන් වානේවලින් හදාපු විශිෂ්ට අසිපතක්. මට ඔබෙනුත් දිවුරුමක් උවමනායි."

"මම දිවුරනවා මගේ රැජිනියනි." දණින් වැටුනු සෙර් ජෝරා සිය අසිපත ඇගේ දෙපා මුල තැබීය. "මම ඔබට සේවය කරන්නම්, ඔබේ අණ පිලිපදින්නම්. අවශ්‍ය වුනොත් ඔබ වෙනුවෙන් ජීවිතය දෙන්නම්."

"මොන විපතක් ආවත්‍?"

"මොන විපතක් ආවත්."

"මම ඒ දිවුරුම රකිනවද කියල බලන්නම්. ඔබට ඒක ගැන පසුතැවිලි වෙන්ට නොලැබෙන්ටයි කියලා මම පතනවා." ඩැනී ඔහුව දෙපයින් සිටෙව්වාය. ඇඟිලි තුඩින් එසැවුනු ඇය ඔහුගේ දෙතොල් මුදුව සිප ගත්තාය. "ඔබ තමා මගේ රැජිනි ආරක්ෂකයන්ගේ පළමු‍වෙනියා."

සිය කුඩාරමට ඇතුළුවන අත‍රේ ඇයට තමා පිටුපසින් එල්ල වී ඇති ඩොත්රැකියන්ගේ බැල්ම දැනින. ඔවුහු කටුකුටු ගාමින් ඔවුන්ගේ ආමන්ඩ් හැඩැති කළුවන් දෑස් අගින් ඇය දෙස පුදුමයෙන් බැලුවෝය. තමා උන්මාදයෙන් පෙලෙන බවක් ඔවුන් සිතන බව ඇයට වැටහුනි. සමහරවිට ඇය ඇත්තටම අවසිහියෙන් පෙලෙනවා විය හැක. සියල්ල ඉක්මනින් පැහැදිලි වනු ඇත. දැන් නැවත හැරී බැලුවොත් ඇය සිය සටන පරාද වනු ඇත.

* * *

ඉරීගේ සහාය ඇතුව ස්නානය සඳහා නාන බාල්දියට ගොඩවද්දී ජලය සම දවන තරම් උණුසුම් විය. එනමුදු ඩැනී පැකිලුනේ හෝ කෑ ගැසුවේ හෝ නැත. ඇය උණුසුම ප්‍රිය කලාය. ඉන් ඇයට පිරිසිදු බවක් දැනෙන්නට විය. ජික්වී විසින් වයෙස් ඩොත්රැක් වලින් ගෙන ආ සඝන්ධ තෙල් ජාති මුසු කල උණුසුම් ජලය මන්මත් කරවන සුළු වාෂ්ප වාතලයට මුදා හැරියේය. ඩෝරියා ඇගේ හැඩපලු ගෙතුනු හිසකෙස් සෝදා, අවුල් කඩා හොඳින් පීරුවාය. ඉරී ඇගේ පිට අතුල්ලන අතරේ ඩැනී දෑස් වසාගෙන සුගන්ධයට සහ උණුසුමට සිය ගත වැළඳගන්නට ඉඩ දුන්නාය. ඇගේ යටිකයේ වූ වේදනාව සනහාලමින් උණුසුම් ජලය ගලා යන අයුරු ඇයට දැනුනි. උණුසුම ඈ තුළට ප්‍රවිශ්ට වූ විට ඇගේ සිරුර වෙවුලා ගියේය. මඳකින් ඇගේ සියලු වේදනාවන් සහ හිරිවැටුම් බොඳ වී ගොස් තමා අතිමහත් සැහැල්ලුවක පාවෙන්නාක් මෙන් ඇයට දැනෙන්නට විය.

පිරිසිදු වී අවසන් වූ පසු ඇයට වතුරෙන් ගොඩ එනු පිණිස පරිවාර සේවිකාවෝ උදව් කලහ. ඉරී සහ ජික්වී ඇයව වියලෙන තුරු පවන් සැලූ අතර ඩෝරියා විසින් පීරනු ලැබූ ඇගේ වරලස රිදී ගඟුලක් මෙන් ගලා හැලෙන්නට විය. ඔවුහු කුරුඳු සහ සුඝන්ධවත් ආලේපයන් ඇගේ ගත ගැල්වූයෝය. මැණික්කටු දෙකෙහිත්, කන් පිටුපසත්, කිරෙන් බරවූ පයෝධර පුඩුත් සුවඳවත් කලහ. අවසන් සුඝන්ධාලේපය ඇගේ යටිකය වෙනුවෙන් විය. ඉරීගේ ස්පර්ශය ආදරවන්තයෙකුගේ සුමුදු සිසිල් හාදුවක් මෙන් මුදුව ඇගේ දෙතොල් පෙති මත තැවරුනේය.

ඉන්පසු ඔවුන් සියල්ලන් පිටත් කර යැවූ ඩැනී, ඛාල් ඩ්‍රෝගෝ ඔහුගේ නිශා ලෝකයට යන ගමන සඳහා සුදානම් කලාය. ඔහුගේ සිරුර සෝදා හල ඇය ඒ දිගු කේශ කලාපය පීරා සුවඳ තෙල් ගැල්වුවාය. දිලිසෙන දිගු කෙස් අතරින් ඇඟිලි යවන ඇයට එහි බර දැනුනි. ඔවුන්ගේ මංගල රාත්‍රියේ එය මුල් වරට ස්පර්ශ කල අයුරු ඇයට සිහිවිය. ඔහුගේ හිසකෙස් කිසි දිනක කපා නොමැත. නොකැපු හිසකෙසින් යුතුව මළවුන් අතරට යාමට හැකි මිනිසුන් කීදෙනෙක් නම් සිටිය හැකිද? මුහුණ කෙස් අතර සඟවා ගත් ඩැනී එහි වූ අපුර්ව සුගන්ධය විඳ ගත්තාය. ඒ සුවඳ තණබිම සහ මහ පො‍ළොව සිහි ගැන්වීය. දුම් සහ පුරුෂ බීජ සහ අසුන් සිහි ගැන්වීය. එය ඩ්‍රෝගෝගේ සුවඳම විය. 'මගේ ජීවිතයේ ඉර මට සමාවෙන්ට!' ඇය සිතුවාය. 'මම කරපු දේවල් වලටයි... මම කරන්ට යන දේටයි හැමදේටම මට සමාවෙන්ට!' ඇය සිතින් ආයාචනා කලාය. 'මම මිල ගෙව්වා මගේ තාරකාව. ඒ වුනත් ඒ මිල බොහොම සැරයි. බොහොම වැඩියි...'

ඔහුගේ හිසකෙස් ගෙතු ඩැනී ඒ රැවුල රිදී මුදු වලින් සැරසුවාය. රන්, රිදී හා ලෝකඩයෙන් නිම වූ සීනු ඔහුගේ ගෙතු කොණ්ඩයේ එකින් එක එල්ලුවාය. එතැන සීනු රැසක් විය. ඒ සීනු හඬ ඔහුගේ සතුරන්ට ඔහු එන බව දන්වනු පිණිසත්, ඔවුන් බියෙන් වෙවුලවනු පිණිසත් විය. අස් ලොමින් කල කලිසමක් සහ උස බූට් සපත්තු ඔහුට ඇන්දවූ ඩැනී බරැති රන්රිදී පදක්කම් සවිකල බඳපටිය ඔහුගේ ඉණෙහි බැන්දාය. ඔහුගේ බෙහෙවින් ප්‍රිය කල, පරණ, පාට වියැකී ගිය වර්ණවත් කබාය සුව වූ කැළැල් වලින් ගහන පුළුල් උරතලය වසා ඇන්දවුවාය. ඇය තමා වෙනුවෙන් ලිහිල් සේද කලිසමක් ද, දණහිස දක්වා පටි ගෙතිය යුතු සැහැල්ලු පාවහන් යුවලක් සහ ඩ්‍රෝගෝගේ මෙන් වූ කබායක් ද තෝරා ගත්තාය.

ඔහුගේ සිරුර චිතකය වෙත ගෙන යන්නට ඔවුන්ට හඬ ගසන විට ඉරු අවරට යමින් තිබින. අග්ගෝ සහ ජෝගෝ ඔහුව ඔසොවාගෙන එන අයුරු ඩොත්රැකියෝ නිහඬවම බලා සිටියහ. ඩැනී ඔවුන් පසුපස ගමන් කලාය. ඔහු‍ගේ හිස කඳු මාතාව වැඩසිටින ඊසාන දෙසට සිටින සේ දේහය චිතකයේ සේද රෙදි හා කොට්ටා මත තැන්පත් කෙරුනි.

"තෙල්!" ඇය අණ දුන්නාය. තෙල් බඳුන් ගණනාවක් රැගෙන ආ ඔවුහු චිතකයේ දැව සහ තෘණ පෙඟෙන තුරු, මහපොළවට තෙල් උරාගන්නා තුරු, අවට වාතය තෙල් සුවඳින් සුගන්ධවත් වන තුරු චිතකයට තෙල් දැමුහ. "මගේ බිත්තර ගේන්ට." ඇය සිය පරිවාර සේවිකාවන්ට අණ කලාය. ඇගේ ස්වරයේ තිබුනු යමක් නිසා ඔවුන්ගේ ගමන දිවුමක් බවට පෙරලින.

සෙර් ජෝරා  අගේ අතින් අල්ලා ගත්තේය. "නිශා ලෝකෙදි ඩ්‍රෝගෝට බිත්තරවලින් වැඩක් නෑ මගේ රැජිනියනි. අපි ඒවා අෂයීවලට අරන් ගිහින් විකුණමු. එකක් විකුණුවොත් ඔබට නිදහස් නගර වලට යන්ට නැවක් ගන්ට පුළුවන්. තුනම විකුණුවොත් ඔබට ජීවිත කාලයටම සැප පහසුවට ඉන්ට ඒ ඇති."

"මේවා මට දුන්නේ විකුණන්ට නෙවෙයි."  ඇය පිළිතුරු දුන්නාය.

චිතකය මතට නැගුනු ඩැනී ඇගේ හිරු හා තරු වටා එම මකර බිජු තැන්පත් කලාය. කළුවන් බිත්තරය ඔහුගේ හදවත අසලින් අත යටින් ද, හරිතවන් බිත්තරය දිගු කෙස් වැටියෙන් ඔතා හිස අද්දර ද, ක්‍රීම් හා රන් පැහැති බිත්තරය ඔහුගේ දෙපා අතර ද තැන්පත් කලාය. අවසන් වරට ඔහුව සිප ගනිද්දී ඒ දෙතොලෙහි වූ තෙල් වල මිහිරි රසය ඇයට දැනුනි.

තමා චිතකයෙන් බසින දෙස මිරී මාස් ඩූර් බලා සිටින'යුරු ඇය දුටුවාය. "ඔබට පිස්සු." යක්දෙස්සිය බැරෑඬි හඬින් පැවසුවාය.

"පිස්සුවේ ඉඳන් ඥානවන්තකමට ගොඩක් දුරද?" ඩැනී ඇසුවාය. “සෙර් ජෝරා, මේ යක්දෙස්සිව අරන් ගිහින් චිතකයට තියලා බඳින්ට."

"චිතකෙට... මගේ රැජිනියෙනි. එපා. මම කියන දේ අහන්ට..."

"මම කිව්ව විදියට කරන්ට." එනමුදු ඔහු තවමත් පැකිලෙනු දුටු  ඩැනීගේ වියරුව නැග ආයේය. "‍මොන දෙයක් සිද්ද වුනත් මට කීකරුවෙනවා කියල පොරොන්දු උනා නේද? රඛාරෝ එයාට උදව් කරන්ට."

ඛාල් ඩ්‍රෝගෝගේ චිතකයට තබා බැඳ දමද්දී යක්දෙස්සිය කිසිවක් නොදෙඩුවාය, කෑ නොගැසුවාය. ඩැනී සියතින්ම ඇගේ හිස මත තෙල් වත්කලාය. "මට කියා දුන්න පාඩම්වලට බොහොම ස්තුතියි මිරී මාස් ඩූර්!"

"මම කෑගහන හඬ ඔබට අහන්ට ලැබෙන එකක් නෑ." හිසෙන් බේරෙන තෙල්වලින් ඇඳුම් පෙඟෙද්දී මිරි පොරොන්දු වූවාය.

"ඒක මම අහගන්නම්." ඩැනී පිළිතුරු දුන්නාය. "ඒත් මට උවමනා කරලා තියෙන්නෙ උඹේ කෑගැහිල්ල නෙවෙයි. උඹේ ජීවිතේ විතරයි. උඹ කියල දුන්න දේවල් ඔක්කොම මට මතකයි. ජීවිතේට වන්දි ගෙවන්ට පුළුවන් මරණයෙන් විතරයි." මිරී මාස් ඩූර් මුව විවර කලද, පිලිතුරක් නුදුන්නාය. යක්දෙස්සියගේ කළු පැහැ දෑසේ මෙතෙක් වේලා රජයමින් තිබූ අපහාසය වෙනුවට බියක් වැනි යමක් සටහන් වෙනු ඩැනීට දැකගත හැකි විය. ඉන්පසු හිරු බැස ගොස් පළමු තරුව උදාවන තුරු බලා සිටීම හැර වෙනත් කරන්නට යමක් ඉතුරුව තිබුනේ නැත.

ඛාල්වරයෙකු මියගිය පසු, නිශා ‍‍ලෝකය කරා අභිමානයෙන් යුතුව යනු පිණිස ඔහුගේ අසුද මරා දමනු ලැබේ. විවෘත ආකාශය යට දෙදෙනාවම ආදාහනය කල පසු ඛාල් ඔහුගේ ගින්නෙන් දැවෙන අසු පිට නැගී තරු අතර ඔහුට හිමි ස්ථානය වෙත යනු ඇත. ආදාහන ගින්න දීප්තිමත් වන තරමට ඔහුගේ තාරකාවද දීප්තිමත් වනු ඇත.

එය මුලින්ම දුටුවේ ජෝගෝ විය. "අන්න!" ඔහු පහත් හඬින් පැවසීය. හිස එසවූ ඩැනීද නැගෙනහිර අහ‍සේ පහතින් එල්බ තිබුනු එය දුටුවාය. මුල්ම තරුව දැවෙන රත් පැහැ වල්ගා තරුවක් විය. ලේ රතු පැහැ, ගිනි රතු පැහැ, මකර වල්ගයක් විය. ඊටත් වඩා හොඳ සලකුණක් ඇයට කිසිසේත් බලාපොරොත්තු විය නොහැක.

අග්ගෝ ගේ අතේ තිබු පන්දම ගත් ඩැනී එය ලී කඳන් අතරෙහි එබුවාය. තෙල් වලට එක්වරම ගිනි ඇවිලුනු අතර සුලු මොහොතකින් තණපත් සහ ලී වලට ද ගින්න පැතිරුනි. දුවන රතු මීයන් බඳු වූ කුඩා ගිනිදලු රිකිලි වලින් අතුවලට ද, අතුවලින් කොළවලට ද වශයෙන් ඉහළටම පැතිරුනි. ඉහළ නගින උණුසුම් වායු දහරා ආදරවන්තයෙකුගේ උණුසුම් සුසුම් මෙන් සැනෙකින් ඩැනීගේ මුහුණ සිප ගත්තේය. උණුසුම ඉක්මනින්ම දරාගත නොහැකි තරමට ඉහළ ගියෙන් ඩැනී අඩියක් පසුපසට ගත්තාය. ලී දඬු පුපුරමින් හඬ දෙන්නට පටන් ගති. මිරී මාස් ඩූර් උච්ච උඩුබිරුමක ස්වරයකින් ගයන්නට පටන් ගත්තාය. ගිනි දළු ලෙලදෙමින්, ඇඹරෙමින්, වේදිකාව දිගේ එකිනෙකා පරයමින් ඉහළ නගින්නට විය. සැඳෑ අඳුර දිදුලවමින් ගිනිදලු ඉහළ නගින්නට විය. අවට වාතය ‍මේ ගින්දරෙන් ඉපදුනාක් මෙන් දැනින. ලී බිඳෙන හඬ ඩැනීට ඇසුනි. ගින්න මිරී මාස් ඩූර්ව වෙලා ගති. ඇගේ ගී ස්වරය තවත් උච්ච විය... ඉන්පසු කිහිප වරක් වැරෙන් හුස්ම අල්ලාගන්නට තැත් කල ඇගේ ගීතය වේදනාවෙන් පිරුනු, කන් හිරි වට්ටන, තියුණු අදෝනාවක් බවට පරිවර්තනය විය.

දැන් ගින්දර ඇගේ ඩ්‍රෝගෝ වෙත ලඟා වී තිබුනි. සිරුර වටා රැඟූ ගිනිදලු ඔහුගේ ඇඳුම් දවාලූයේය. එක මොහොතකට ඔහු දිලෙන තැඹිලිවන් සේදයෙන් සහ අළුවන් ධුමයෙන් වැසුනාක් මෙන් විය. ඩැනීගේ දෙතොල් විවර වූ අතර තමා හුස්ම අල්ලාගෙන සිටිනු ඇයට වැටහුනි. සෙර් ජෝරා පෙරදී බියවූවාක් මෙන්, ඔහුගේ චිතකයට පැන ඔහුගෙන් සමාව අයැදීමට, තවත් වරක් තමන් සමග එක්වන ලෙස ඔහුට ආයාචනා කිරීමට, ඔවුන් දෙදෙනාම එක අයෙකු වන තුරු ගින්නෙන් දැවී යාමට ඇයට උවමනා විය.

ඇයට පිළිස්සෙන මසෙහි පුළුටු ගඳ දැනුනි. පුළුස්සන අශ්ව මසෙහි හා එහි වෙනසක් නොවීය. දැඩිවන අන්ධකාරය මධ්‍යයේ දැවෙන චිතකය දැවැන්ත වන සතෙකු මෙන් ගර්ජනා නැඟූ අතර මිරී මාස් ඩූර්ගේ දුබල හඬ ඊට යටපත් විය. ඉහළින් වූ නුබ ගැබ ලෙවකන්නට තැත් දරන දිගු දිව් මෙන් ගිනිදලු ඉහළ නගින්නට විය. දුම්කඳ කෙමෙන් දැඩි වද්දී ඩොත්රැකියෝ කහිමින් චිතකයෙන් ඈත් වුහ. හමා ආ සුළඟට හසු වූ තැඹිලිවන් සුවිසල් ගිනිදැල් ධජ පතාක දිගහැරෙන්නාක් මෙන් ලෙලදුනි . බිඳවැටෙන ලී කඳන් වලින් උපන් දහස් ගණන් කලාමැදිරියන් බඳු වූ ගිනිපුපුරු වායු ධාරාවන්හි නැගී ඈතට පියාසර කලෝය. දැඩි තාපය විසින් ඩොත්රැකියන් සහ මෝර්මන්ට් පවා පසුබස්වමින් අවට වාතලයට සිය රක්ත වර්ණ පියාපත් වලින් පහර පිට පහර එල්ල කළේය. එනමුදු ඩැනී පමණක් සිටිපිය සිටගෙන සිටියාය. ඇය මකරාගේ රුධිරය විය. මේ වනාහි ඇය තුළ ඇවි‍ලෙමින් තිබුනු ගින්න විය.

තමා මේ සත්‍යය බොහෝ කලෙක පටන්ම දැන සිටි බව ගිනිජාලාව දෙසට එක් පියවරක් තබන අතරේ ඩැනී කල්පනා කලාය. ඇගේ කුඩා ගිනිකබලේ ඇවිලුනු ගින්නෙහි උණුසුම මඳ වුවා පමණි. තාපයෙන් පණ ගැන්වුනු, බියකරු එහෙත් සොඳුරු ගිනිදලු ඇගේ විවා දිනයේ රැඟුම් දැක්වූ ගැහැණුන් මෙන් කහ-තැඹිලි පැහැයෙන් ඇය වටා රඟන්නට විය. බැලීමට බියජනක වූ මුත් ගින්නෙන් පණ නැගුනු එය සුන්දර විය. අති සුන්දර විය. ඩැනී ඒ වෙත සිය දෑත් දිගු කලාය. ඇගේ සම රතු පැහැයෙන් දිලෙන්නට විය. 'මේකත් විවාහයක් තමා.' ඇය කල්පනා කලාය. මිරී මාස් ඩූර් අන්ති‍මේදී නිහඬ වී ඇත. මේ යක්දෙස්සිය ඇය දැරියක කොට සිතුවාය. එනමුදු දරුවෝ වැඩෙති. දරුවෝ ඉගෙන ගනිති.

ඇය තවත් පියවරක් ඉදිරියට තැබූ අතර ගිනියම් වූ වැලිතලයේ උණුසුම පාවහන් හරහා දෙපතුලට දැනුනි. ඇගේ පියයුරු, දෙකලවා සහ පෙර කඳුලින් වැසී තිබුනු දෙකොපුල් තල තෙමමින් දියපහරක් මෙන් දහදිය ගලා ගියේය. සෙර් ජෝරා පසුබිමින් කෑ ගසමින් සිටියේය. එහෙත් දැන් අග්නිය මිස ඔහු එතරම් වැදගත් නොවේ. ගිනිදලු අලංකාර විය. ඇය මෙතෙක් කලෙකට දැක ඇති අලංකාරතම දෙය විය. ඒවා කහ, තැඹිලි සහ රක්තවර්ණයෙන් යුත් ලෝගු ඇඳ, ධූමයෙන් සුසැදුනු සළු වනමින් පැමිණි මායාකරුවන් පිරිසක් බඳු විය. ‍ලේ රත් පැහැ ගිනිසිංහයින් ද, කසාවන් දැවැන්ත සර්පයින් ද, ලා නිල්වන් ගිනි දැල්ලෙන් සෑදුනු කඟවේනුන් ද එහි සැරිසැරූහ. මසුන් ද, සිඟාලයන් ද, රකුසන් ද, වෘකයන් ද, දිලෙන සියොතුන් සහ මලින් බර වෘක්ෂයන් ද යන සියල්ල එකිනෙකා පරයන සුන්දරත්වයෙන් එහි විරාජමානව සිටියහ. අළුවන් ධුමයෙන් නිමවුනු දැවැන්ත සෛන්ධවයෙක් නිල් ගින්නේ ප්‍රභාවෙන් ඇය දුටුවාය. 'ඔවු මගේ වස්තුව. මගේ ඉරයි තරුයි. දැන් ඔබේ ගමනට වෙලාව ඇවිල්ලා. අශ්වයා පිටේ නැගලා පිටවෙලා යන්ට.'

ඇගේ කෙටි කබායෙන් දුම් දමන්නට පටන් ගත් අතර ඩැනී එය උනා බිම දැමුවාය. වර්ණ ගැන්වූ සම් කබාය ක්ෂණයෙන් ගිනිගත් අතර ඇය තවතවත් ඉදිරියට පිය මැන්නාය. ගින්නට නිරාවරණය වූ ඇගේ පයෝධරයන්ගේ ඉදිමුණු රත් පැහැ තනපුඩු වලින් කිරි දහරා ගලා හැලෙන්නට විය. 'දැන්!' ඇය සිතුවාය. 'දැන්!' එක් මොහොතකට තමා ඉදිරියෙන් සිටින ඛාල් ඩ්‍රෝගෝ ඇගේ නෙත ගැටුනි. ඔහු සිය ධූම සෛන්ධවයා පිට නැගී ගිනිගෙන දැවෙන කසයක් ලෙලවමින් සිටියේය. චිතකය වෙත තද කස පහරක් එල්ල කරන අතර ඔහු ඇය දෙස බලා හිනැහුනේය.

ගලක් කැබලි වී යන්නාක් වැනි තියුණු හඬක් ඇයට ඇසුනි. ලීයෙන් සහ තණපතින් නිම කර තිබුණු වේදිකාව බිඳ වැටෙන්නට පටන් ගෙන තිබුනි. ඩැනීව අළු සහ ගිනි අඟුරු වලින් නහවමින් ලී කඳන් ඇය වෙත ලිස්සා එන්නට ගත්තේය. ඊට අමතරව වටකුරු යමක් ගින්නෙන් මිදී ඉපිලෙමින් විත් ඇගේ දෙපා මුල පතිත විය. රන් පැහැයෙන් වර්ණවත් වූ, ලා පැහැති වටකුරු ගලක් වූ එය බිඳීගොස් දුම් දමමින් තිබුනි. ලොවම වසාගත් ගින්නේ ගෝරනාඩුව අතරින් ළමුන්ගේ විස්මිත කෑ ගැසීමුත් කාන්තාවන්ගේ මුරගෑමත් ඇයට ඇසුනි.

ජීවිතයට වන්දි ගෙවිය හැක්කේ මරණයෙන්ම පමණි.

ඊළඟ මොහො‍තේ දෙවන පිපුරුමක හඬ ඇසුනි. ඒ හඬ අකුණු නාදයක් තරම්ම පැහැදිලි හා තියුණු විය. චිතකයේ හැඩය නැවත වරක් වෙනස් වෙද්දී දුම් රොටු ඇය වටානැටීය. ගින්න විසින් ඔවුන්ගේ හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරද්දී ලී ‍කොට පුපුරා ගියේය. ලෙලදෙන සුළි නගන දුම් රොටු අතරින් බියපත් අසුන්ගේ ලතෝනියත්, ඩොත්රැකියන්ගේ කෑගැසීමත් අතරින් ඇගේ නම කියමින් සෙර් ජෝරා කෑගසමින් ශාප කරන හඬ ඇයට පැහැදිලිවම ඇසුනි. 'නෑ!' කෑ ගසා ඔහුට පවසන්නට ඇයට උවමනා විය. 'නෑ මගේ හොඳ නයිට්වරයානෙනි. මා ගැන බයවෙන්ට එපා. ගින්දර කියන්නෙ මට අයිති දෙයක්. මම ඩනේරිස් ස්ටෝම්බෝර්න්. මකරුන්ගෙ දියණිය. මකරුන්ගේ මනාලිය. මකරුන්ගේ මව. ඔබට ඒක පේන්නෙ නැද්ද? ඔබට ඒක පේන්නෙ නැද්ද?' අහස් කුස දෙසට අඩි තිහක් තරම් ඉහළ නැගුනු පිපුරුමක් සමගින් ඇය වටා චිතකය බිඳ වැටුනි. එනමුදු ඩැනී නොබියව, සිය දරුවන්ට හඬගාමින් ගිනි කුණාටුව තුළට පිය මැන්නාය.

තෙවැනි පිපුරුම මුලු ලොවම පිපිරී ගියාක් මෙන් මහත් ගර්ජනා හඬක් නැංවීය.

* * *

අන්තිමේදී ගින්දර නිවී ගොස් ඇවිදීමට තරම් පොළොව සිසිල් වූ පසු සෙර් ජෝරා මෝර්මන්ට් විසින් ඇයව සොයා ගත්තේය. ඇය කළු ගැසී ගිය ලී කොටවලින් ද, තවමත් දැවෙන ගිනි අඟුරෙන් ද දැවී ගිය ඇටකටු - මිනිසා ‍ගේ ගැහැණිය ගේ හා අශ්වයාගේ ඇටකටු - වලින්ද වටවී සිටියාය. ඇය මුලුමනින්ම නිරුවත් විය. ගත මුලුමනින්ම අළුවලින් වැසී ගියේය. ඇගේ ඇඳුම් සියල්ල ගිනිගෙන අළු බවට හැරී තිබුනි. ඒ පියකරු කෙස්වැටිය දැවී ගොස් තිබුනි... එනමුදු ඇයට කිසිදු අනතුරක් සිදු වී නොතිබින.

ක්‍රීම්-රන් පැහැ මකරා ඇගේ වම් පියයුරෙන් කිරි උරා බොමින් සිටියේය. කොළ-ලෝකඩ පැහැ මකරා දකුණු පියයුරේ එල්ලී සිටියේය. ඇගේ දෑත් ඔවුන් දෙදෙනාව තුරුල් කරගනිමින් ඔවුන් වටා වෙලී තිබුනි. කාල-රක්ත වර්ණ මකරා ඇගේ දසරුව මත වැතිර සිටි අතර උගේ දිගු වක් වූ ගෙල ඇගේ නිකට යට දඟර ගැසී තිබුනි. සෙර් ජෝරාව දුටු ඌ හිස ඔසවා ගිනිඅඟුරු වැනි දෑසින් ඔහු දෙස බැලීය.

වදනකුදු පවසා ගැනීමට අසමත් වූ නයිට් වරයා දණින් වැටුනි. ඔහුට පිටුපසින් ඇගේ ඛාස් සෙබළු ඉදිරියට පැමිණියහ. සිය අරඛ් අසිපත ඇගේ පාමුල තැබූ පළමුවැන්නා ජෝගෝ විය. "මගේ රුධිරයෙන් උපන් රුධිරය!" දුම් දමන පොළොව වෙත හිස නමමින් ඔහු මිමිනීය. "මගේ රුධිරයෙන් උපන් රුධිරය!" අග්ගෝ ප්‍රතිරාව නැංවීය. "මගේ රුධිරයෙන් උපන් රුධිරය!" රඛාරෝ කෑගැසීය.

ඔවුන්ට පසුව ඇගේ පරිවාර සේවිකාවෝ පැමිණියහ. ඊටත් පිටුපසින් ඇගේ ඛලසාරයේ සියල්ලෝ වුහ. පිරිමි ද, ගැහැණු ද, දරුවන් ද ඇතුළු ඩොත්රැකියෝ  සියලු දෙනම එහි වූහ. ඔවුන්ගේ දෑසේ වූ බැල්ම දුටු ඩැනීට දැන් ඔවුන් තමන්ගේ බැව් වැටහී ගියේය. ඔවුන් අදත්, හෙටත් හැමදාමත් ඇයගේ විය. ඩ්‍රෝගෝට කෙදිනකවත් අයත් කරගන්නට නොහැකි වූ තරම් දැඩි බැඳීමකින් ඔවුන් ඇය හා බැඳී ගියේය.

ඩනේරිස් ටාර්ගේරියන් සෙමින් දෙපයින් නැගී සිටිද්දී කළු මකරා කටින් සහ නාසයෙන් ලා පැහැ දුම් රොටු පිට කරමින් සැහැසි ලෙස පිම්බේය. අනික් දෙදෙනාද ඇගේ පියයුරුවලින් මුව මෑත් කරගත්තේ සිය හඬ ඊට මුසුකලෝය. ඔවුන්ගේ විනිවිද පෙනෙනසුළු පියාපත් වාතය සසල කරවමින් සැලෙන්නට විය. වසර සිය ගණනකට පසු නැවත වරක් රාත්‍රි අන්ධකාරය අලලවමින් මකරුන්ගේ සංගීතය ඇසෙන්නට විය.





Daenerys Targaryen: “Viserys is dead. I am his heir, the last blood of House Targaryen. Whatever was his is mine now.”

***********************

ජෝර්ජ් ආර්. ආර්. මාර්ටින්ගේ 'ගිනි සිසිලක ගීතය' කතා මාලාවේ පළමු පොත වන 'සිහසුනට තරග වැද' අදින් නිමාව දකිනු ඇත.

පොඩ්ඩිගේ ස්තූතිය...

2014 ජූනි මාසේ ඉඳන් අවුරුද්දකට කිට්ටු කාලයක් තුල අපි මෙතන එකතු වුනා. වෙන කාගේදෝ හීනයක් කතාවට හැරෙද්දි, අපි අලුත් යාලුවෝ හදාගත්තා. ඉන්න අයට තවත් ලංවුනා. ජීවිතේ අමතක නොවෙන රසවත් කාලයක්.

හැමදාම වගේ ඇවිත් කමෙන්ට් කරපු, නොකරපු, කතාව කියවපු, නොකියවපු හැමෝගෙන්ම අද අපි දුකෙන් සමු ගන්නවා.


මේ වගේ ලොකු වැඩක් බූරා නැත්නම් කවදාවත් ඉෂ්ට වෙන්නේ නෑ. එයාගේ කැපවීමට, මහන්සියට, ලස්සනට වැඩේ කලාට එයාට තමා ලොකුම ස්තූතිය. ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරපු මට ඊලඟට මමම ස්තූති කරගන්නවා. :P


ආයේ කවදා හරි මේ සයිබර් ලෝකයේ කොතැනකදි හරි අපි හමුවේවි.  :D එතකල් ඔබ හැමට සුබ අනාගතයක්.


බුරාගේ ස්තූතිය...

ඇරඹුනු දා පටන් මෙහි පැමිණ කතාව කියවමින්, අදහස්, යෝජනා, විචාර, වාද විවාද, අවවාද අනුශාසනා පල කරමින් අපට දිරි දුන් පාඨක ඔබ සැමට. ඔබ නොසිටියේ නම් මේ කතාව මෙලෙස අවසානය දක්වා පැමි‍ණීමක් සිදු නොවනු ඇත. ඔබට අනේක වාරයක් ස්තූතියි!

බුරාගේ විශේෂ ස්තූතිය...

මගේ ඇනුම් බැනුම් රැවුම් ගෙරවුම් මැද්දේ නොසැලී, සෑම විටම මට දිරියක් වෙමින් කතාවේ අවසානය තෙක්ම මාව ඇදගෙන ආ, නිබඳ මට සෙවනැල්ලක් මෙන් සිටි පොඩ්ඩිට! For giving me motivation and encouragement and for being there when I felt so low and down and exhausted, Thank you my lady!

වසර පහක බ්ලොග් චාරිකාවක අවසන බුරතීනෝ aka බුරා aka ලී බෝනික්කා (©බින්දි) aka බුරානිස් (©සෙන්නා) aka බුරාභිධාන කෙළෙඹි පුත් (©රවි) aka බූරු පුතා (©ඔබා) වන මම බ්ලොග් අවකාශයෙන් සමුගෙන යන්නෙමි. බ්ලොග් නිසා මට හිමි වූ දෑ බොහෝ වන අතර අහිමි වූ දෑ කිහිපයක් ද වේ. මගේ ප්‍රියතම වි‍‍නෝදාංශය වන පොත් කියැවීම එයින් ප්‍රධානය. නැවත මගේ ආදරණීය පොත් වෙත යාමට මට අවැසි අතර ඒ වෙනුවෙන් අසීරුවෙන් හෝ බ්ලොග්වලට සමුදීමට තීරණය කලෙමි. බ්ලොග් හිතමිතුරනි, ඔබට ම‍ගේ ආදර ගෞරව ප්‍රනාමය. ගෙවුනු කාලය තුළ මා අතින් කිසිවෙකුගේ හෝ සිත රිදවෙන යමක් කියැවුනි නම් ඊට කමන්න.

අවසාන වශයෙන්...
ඔබ සැමට සිරින් සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

Wednesday 8 April 2015

කැට්ලින් 11-2


මිනිසුන්ගේ යාඥාවට බාධා කිරීම නොමැනවි. දෙවිවරුන්ට ද ඔවුන්ට හිමි දේ ලබා දිය යුතු විය... ඇගේ පියා සහ ඇගේ නෙඩ්ව ඇගෙන් උදුරාගන්නට තරම් සැහැසි වූ කුරිරු වූ දෙවිවරුන්ට පවා ඔවුන්ගේ හිමිකම් ඇත. එබැවින් කැට්ලින් නැවතී බලා සිටියාය. ගඟ දෙසින් හමා ආ සීත සුළං උසැති තුරුපතර අතරින් හමා ගියේය. දැවැන්ත ජල රෝද කුළුණ ඇගේ දකුණු පසින් විය. ඇය මෙසේ බලා සිටිද්දී පැරැණි මතක සියල්ලක්ම නැවත ඇගේ සිත තුළට ගලා ආයේය. පියා විසින් ඇයට අසුන් පිට යන්නට පුහුණු කරන ලද්දේ ‍මේ ගස් අතර විය. අර තිබෙන්නේ එඩ්මුයර් වරක් වැටී අත කඩාගත් එල්ම් ගසයි. එතකොට අර අතන, ලතා මණ්ඩපයට යටින් තිබෙන්නේ ඇයත් ලයිසාත් එක්ව පෙටයර් සමගින් සිපගැනීමේ සෙල්ලම කල ස්ථානයයි.

ඇයට මේ දේවල් වසර ගනනාවක් තිස්සේම අමතක වී තිබුනි. ඔවුන් එකල කෙතරම් කුඩා දරුවන් වීද. ඇය සන්සා ගේ වයස් තරම් විය. ලයිසා ආර්යාට ද වඩා බාල විය. පෙටයර් ඔවුන් දෙදෙනාටම වඩා බාල වුවද ඒ දෙදෙනාටම වඩා උත්සුක විය. දැරියන් දෙදෙන කැකිරි සිනහ පාමින් මේ කොලුවාව ඔවුන් දෙදෙනා අතර හුවමාරු කරගත්හ. මේ මතකයන් කෙතරම් ප්‍රබලව, කෙතරම් විචිත්‍රව නැවත ඇගේ සිතට පැමිණියා ද යත් ඇයට ඔහු‍ගේ මොළකැටි ඇඟිලි සිය දසරුව ස්පර්ශ කරමින් තිබෙන්නාක් මෙන් හැඟින. ඔහුගේ හුස්මේ තැවරී තිබුනු සුවඳතලා සුවඳ දැනෙන්නාක් මෙන් විය. දෙව්වනය පුරා නිතරම පාහේ සුවඳතලා පඳුරු වැවී තිබුනු අතර පෙටයර් ඒවා සැපීමට රුචියක් දැක්වූයේය. ඔහු නිර්භීත කුඩා කොලුවකු විය. සැමවිටම කුමක් හෝ දෙයකට පැටලී හුන්නේය. "එයා ම‍ගේ කට ඇතුළට එයාගෙ දිව දාන්ට හැදුවා." පසු වේලාවක ඔවුන් දෙදෙන පමණක් සිටින මොහොතක කැට්ලින් සිය සොයුරියට පාපොච්චාරණය කලාය. "එයා මටත් එහෙම කලා." ලයිසා සෙමින් කෙඳිරුවාය. "මම ඒකට කැමැතියි."

* * *

සෙමින් නැගිට සිටි රොබ් සිය අසිපත ‍කොපුවේ ලෑවේය. කැට්ලින් විමතියෙන් කල්පනා කරන්නට වන්නීය. ඇගේ පුතා කෙදිනකවත් දෙව්වනය තුළදී ගැහැණු දරුවකු සිපගෙන නැතිද? අනිවාර්යයෙන්ම ඔහු එසේ කරන්නට ඇත. ජේන් පූල් ඔහුට නෙත් කොණින් හී සැර විදිනයුරු ඇය අනන්ත වාරයක් දැක තිබුනාය. වැඩකාර කෙල්ලන් පවා. අවුරුදු දහඅටක් තරම් වයස්ගතවූ වැඩකාර කෙල්ලන් පවා... ඔහු දැනටමත් යුධ පිණිස ගොස් සිය අසිපතෙන් මිනිසුන් මරා දමා තිබුනි. නිසැකයෙන්ම ඔහු සිපගැනුම්වලට ලක්වන්නට ඇත. ඇගේ දෑසට කඳුළු බිඳු නැගී තිබුනු අතර ඇය කේන්තියෙන් මෙන් ඒවා පිසදා හැරියාය.

"අම්මා." ඇය එතැන සිටගෙන සිටිනු දුටු ඔහු කතාකලේය. "අපි මන්ත්‍රණ සභාවක් කැඳවන්ට ඕන. සාකච්ඡා කරන්ට ගොඩක් දේවල් තියෙනවා."

"ඔයාගෙ සීයා කැමැතියි ඔයාව දැකලා කතා කරන්ට. රොබ්, එයාට හොඳටම අසනීපයි."

"සෙර් එඩ්මුයර් මට කිවුවා. මට කණගාටුයි අම්මා! හස්ටර් උතුමානන් ගැනත්, ඔයා ගැනත් දෙන්නා ගැනම කණගාටුයි! ඒ වුනත් අපි මුලින්ම මේ සාකච්ඡාව තියලා ඉන්ට ඕන. අපට දකුණෙන් පණිවුඩයක් ආවා. රෙන්ලි බරතියන් එයාගෙ සහෝදරයගෙ සිංහාසනේට උරුමකම් කියලා."

"රෙන්ලි?" ඇය විමතියෙන් හා තිගැස්මෙන් යුතුව කීවාය. "මම හිතුවෙ... ඇත්තටම ඒක යන්ට ඕන ස්ටැනිස් උතුමානන්ට..."

"අපි හැමෝම හිතුවෙ එහෙමයි මගේ ආර්යාවනි." ගැල්බට් ග්ලවර් කීවේය.

යුධ මන්ත්‍රණ සභාව ප්‍රධාන ශාලාවේ රැස්විය. දිග අකුලන මේස හතරක් චතුරස්‍රාකාර හැඩයට පෙළගස්වා තිබුනි. හස්ටර් උතුමානන් මේ සභාවට එක්වීමට තරම් සුදුසු සනීපයක නොවූ බැවින් සිය සඳළුතලයට වී ‍ගෙවී ගිය තරුණ කාලය ගැනත්, සිය ගංගාවන් ගැනත් සිහින දකිමින් නිදා සිටියේය. එඩ්මුයර්, ටලීවරුන්ගේ උස් ආසනය අරා වාඩි වී සිටි අතර ඔහු පසෙකින් බ්‍රින්ඩන් කළු මාලුවා අසුන්ගෙන සිටියේය. ඔහුගේ පියාගේ යටත් වංශාධිපතීහු ඔහුගේ දකුණටත් වමටත් වන්නට මේස අරා හුන්නෝය. රිවර්රන්හි යුධ ජයග්‍රහණය පිළිබඳ ආරංචිය පැරද පලා ගොස් සිටි ගංගා නිම්නයේ වංශාධිපතීන් වෙත ලැබී තිබුනු අතර ඔවුහු නැවතත් ඒකරාශී වී සිටියහ. කේරිල් වාන්ස් -සිය පියා ගෝල්ඩන් ටූත්හිදී මියගොස් සිටි බැවින් ඔහු දැන් වාන්ස් උතුමානන් විය- සහ ‍සෙර් මාර්ක් පයිපර් එහි වූහ. ඔවුන් විසින් ඩැරීවරුන් නියෝජනය පිණිස සෙර් රේමන්ගේ කුඩා පුතණුවන් -බ්‍රැන්ගේ වයසේ පමණ වූ කුඩා පුතණුවන්- එහි කැඳවාගෙන විත් තිබින. ස්ටෝන් හෙජ්හි නටඹුන් අතරින් මතුවූ ‍ජොනෝස් බ්‍රැකන් උතුමානන් ද රවමින්, ගර්ජනා කරමින් එහි පැමිණ හුන්නේය. මේස විසින් අවකාශ සලසා දුන් උපරිමයෙන් ඔහු ටයිටස් බ්ලැක්වූඩ්ගෙන් ඈත්ව අසුන් ගත්තේය.

විරුද්ධ පැත්තෙන් උතුරුකරයේ උතුමන් - කැට්ලින් හා ‍රොබ් එඩ්මුයර්ට මුහුණ ලා වාඩි වී සිටි අතර ඔවුන්ගේ පිරිස ප්‍රමාණාත්මකව ස්වල්පයක් විය. ග්‍රේට්ජොන් රොබ්ගේ වම්පසින් අසුන්ගත් අතර කැට්ලින්ගේ දකුණු පසින් තියන්‍, ගැල්බට් ග්ලවර් හා ‍මෝර්මන්ට් ආර්යාව වාඩි වී සිටි‍යෝය. ගිලී ගිය දෑසින් හා එල්ලා වැටුනු මුහුණින් යුතු රිකාර්ඩ් කාර්ස්ටාර්ක් උතුමානන් සිහිනයෙන් ඇවිදින්නාක් මෙන් පැමිණ ඔහුට හිමි අසුනේ වාඩිවූයේය. ඔහු‍ගේ දිගු රැවුල හා කේශ කලාපය සෝදා හෝ පීරා හෝ නොතිබුනු අතර මුහුණ සන්තාපයෙන් මැලවී තිබින. විස්පරින්ග් වුඩ් සටනේදී ඔහුගේ පුතුන් දෙදෙනෙකු මියගොස් සිටි අතර ‍තෙවැන්නා - ඔහුගේ වැඩිමහල් පුතා - රූස් බෝල්ටන් සමග එක්ව කොළ ගංගාව අද්දරදී ටයිවින් ලැනිස්ටර්ට පහර දෙනු පිණිස පිටව ගොස් තිබින. ඔහු කාර්ස්ටාර්ක් හෙලිධරයින්ට අණදෙමින් සටනට එක් වූ නමුදු සටනින් පසු ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් නොවීය.

* * *

වාද විවාද රෑ මැදියමක් වන තුරුම ඇදී ගියේය. සම්ප්‍රදාය අනුව මේ සෑම වංශාධිපතියකුටම තම අදහස් කියා පෑමේ අවසරය ලැබී තිබුනු අතර ඒ සැමෙකෙක්ම කතාවට සහභාගි වූහ. ඔවුහු කතා කරමින්, කෑ ගසමින්, සාප කරමින්, බැන වදිමින්, බොරුවෙන් රවටමින් හා විහිළු කරමින්, හෙට්ටු කරමින්, තර්ජනය කරමින්, මේසයෙන් නැගිට ඉවත යමින්, සිනාසෙමින් හෝ බුම්මාගත් මුහුණින් යුතුව නැවත පැමිණෙමින් කාලය ගෙවා දමන්නට වූහ. කැට්ලින් මේ සියලු කතාවලට ඇහුම්කන් දෙමින් නිසලව වාඩි වී සිටියාය.

රූස් බෝල්ටන් ඔහුගේ බිඳුනු හමුදාව නැවත එක්තැන් කොට, ඒකරාශී කොට, පණගන්වා රජමාවතේ රැස් කරවා තිබින. සෙර් හෙල්මන් ටෝල්හාර්ට් හා වෝල්ඩර් ෆ්‍රේ උතුමානන් තවමත් ද්විත්ව බලකොටුව පාලනය කරමින් සිටිති. ටයිවින් උතුමානන්ගේ හමුදාව ගංගා ත්‍රිශූලයෙන් මෙතෙර වී හැරෙන්හෝල් බලා පැමිණෙමින් සිටිති. මේ සියල්ලටම අමතරව දැන් රාජධානියේ රජවරුන් දෙදෙනෙක් සිටිති. රජවරුන් දෙදෙනෙකු සිටින අතර කිසිදු සම්මුතියක් නොමැත.

බහුතරයක් වංශාධිපතීන්ගේ අභිප්‍රාය වූයේ එකහෙලා හැරෙන්හොල් බලා හමුදා විහිදුවා ටයිවින් උතුමානන්ගේ හා ලැනිස්ටර්වරුන්ගේ බලය සදහටම විනාශ කර දැමීම විය. එනමුදු තරුණ, ආවේගශීලී මාර්ක් පයිපර් කියා සිටියේ ඒ වෙනුවට බටහිර දෙසට, කාර්ස්ටලී රොක්වලට පහර දීම වඩා සුදුසු වනු ඇත යනුවෙනි. තවත් සමහරු ඉවසා බලා සිටීම ගැන කතාකලෝය. රිවර්රන් පිහිටා තිබෙනුයේ ලැනිස්ටර් සැපයුම් මාර්ගය අතරමැද්දේ බැව් ජේසන් මැලිස්ටර් පෙන්වා දුන්නේය. ටයිවින් උතුමානන්ගේ සැපයුම් අවහිර කරන අත‍රේ සිය හමුදා ශක්තිමත් කරමින්, ඔවුන්ට විවේකයක් ලබා දෙමින් නිවිසැනසිල්ලේ මඳක් බලා සිටීම ‍යෝග්‍ය නොවන්නේ ද? බ්ලැක්වුඩ් උතුමානන් ඒ ගැන අසන්නටවත් කැමැති නොවීය. විස්පරින්ග් වුඩ්වලින් පටන්ගත් කාර්යය නිමාවක් දැකීම වඩා යහපත් වනු ඇත. මෙහි සිට හැරෙන්හෝල්වලට හමුදා මෙහෙයවන අතරේ රූස් ‍බෝල්ටන්ගේ හමුදාවද පහළට ගෙන ආවොත් කෙලෙසද? සුපුරුදු පරිදි බ්ලැක්වුඩ් යෝජනා කරන දෙයට බ්‍රැකන් එක හෙලා විරුද්ධ විය‍. නැගිට සිටි ජොනෝස් බ්‍රැකන් උතුමානන් කියා සිටියේ රෙන්ලි රජතුමාට පක්ෂපාතීත්වය ප්‍රකාශ කර දකුණුකරය බලා හමුදා මෙහෙයවීම වඩා සුදුසු බවකි.

"රෙන්ලි කියන්නෙ ර‍ජෙක් නෙවෙයි." ‍රොබ් කීවේය. ඒ වනාහි ඔහු මුව විවර කල පළමු වතාව විය. ඔහුගේ පියා මෙන්ම සිය යටත් වංශාධිපතීන්ට ඇහුම්කන් දෙන්නේ කෙසේදැයි ඔහු මනාව දැන හුන්නේය.

"ඔබ ජොෆ්රිට පක්ෂපාතී වෙන්ට අදහස් කරගෙන නැහැ නේද මගේ උතුමානනි?" ගැල්බට් ග්ලවර් ඇසුවේය. "එයා ඔබේ තාත්තා මරලා දැම්මා."

"ඒක හරි. ඒ වුනත් ඒකෙන් කියැවෙන්නෙ එයා නරකයි නපුරුයි කියලා විතරයි‍." රොබ් පිළිතුරු දුන්නේය. "මම දන්නෙ නැහැ ඒකෙන් කියැවෙනවා කියලා ‍රෙන්ලි තමා දැන් රජතුමා කියලා. ජොෆ්රි තමා රොබර්ට්ගෙ ඇත්ත වැඩිමහල් පුතා. ඒ කියන්නෙ මේ රාජධානියෙ නීතිරීති අනුව එයාට තමා සිංහාසනේ නියම විදියට උරුම වෙන්ට ඕන. එයා මලොත් - මම හිතාගෙන ඉන්නෙ එයාව පරලෝකෙට යවන්ට තමා - එයාට ඉන්නවා බාල සහෝදරයෙක්. ජොෆ්රිගෙන් පස්සෙ ටමෙන්ටයි රජකම යන්ට ඕන."

"ටමෙන් කියන්නෙත් ලැනිස්ටර් කෙ‍නෙක්." සෙර් මාර්ක් පයිපර් කඩා පැන්නේය.

"ඒක හරි." රොබ් ප්‍රශ්නයකට මැදි වූ බවක් පෙනුනි. "ඒ වුනත් අපි හිතමු ඒ දෙන්නම රජවෙලා නැහැයි කියලා. ඒත් කොහොමද රෙන්ලි උතුමානන් රජවෙන්නෙ? එයා  රොබර්ට්ගෙ බාල සහෝදරයා. බ්‍රැන්ට බැහැ මට කලින් වින්ටර්ෆෙල්වල අධිපතියා වෙන්ට. ඒ වගේම රෙන්ලිට බැහැ ස්ටැනිස් උතුමානන්ට කලින් රජවෙන්ට."

මෝර්මන්ට් ආර්යාවද ඒ කතාවට එකඟ විය. "නියම උරුමක්කාරකම තියෙන්නෙ ස්ටැනිස් උතුමානන්ට තමා."

"‍රෙන්ලි දැන් රජවෙලා ඉවරයි." මාර්ක් පයිපර් කියා සිටියේය. "හයිගාර්ඩ්නුයි ස්ටෝර්ම්ස් එන්ඩුයි එයාට පක්ෂපාතීත්වය දක්වලා තියෙනවා. ඩෝර්නිෂ් කාරයොත් නිකං බලන් ඉන්න එකක් නැහැ. වින්ටර්ෆෙල්වලටයි රිවර්රන්වලටයි පුළුවන් වුනොත් තමන්ගෙ ශක්තිය එයත් එක්ක එක්කහු කරන්ට, මේ රාජධානියෙ තියෙන උසස්ම වංශාධිපති පවුල් හතෙන් පහක් එයත් එක්ක එකතු වුනා වෙනවා. ඒරින්ලා නින්දෙන් නැගිටලා ආවොත් ඒක හතෙන් හයක් වෙනවා. කාර්ස්ටලී රොක්වලට විරුද්ධව අනිත් පවුල් හයම! මගේ උතුමනි, මේ අවුරුද්ද ඉවරවෙන්ට ඉස්සෙල්ලා අපට උන් හැමෝගෙම ඔළුගෙඩි රිටිවල අමුනන්ට පුළුවන් වෙයි. රැජිනයි, කොලු රජයි, ටයිවිනුයි, පුංචි යකායි, රජුන් මරන්නායි, සෙර් කෙවනුයි, මේ හැමඑකාම. අපි රෙන්ලි රජතුමාත් එක්ක එක්කහු වුනොත් ඒක තමා අපට ලැබෙන දිනුම. අපි මේ හැමදෙයක්ම අහකට කරලා දාන්ට ඕන ස්ටැනිස් උතුමානන්ට මොකක් තියෙන නිසාද?

"නියම උරුමකම." රොබ් මුරණ්ඩු ස්වරයෙන් කීවේය. ඔහු හරියටම සිය පියා මෙන්ම ‍මේ වදන් පැවසීයැයි කැට්ලින් සිතුවාය.

"ඉතින් ඒ කියන්නෙ ඔබ අදහස් කරනවද අපි ස්ටැනිස්ට පක්ෂපාතියි කියලා ප්‍රකාශ කරන්ට ඕනැයි කියලා?" එඩ්මුයර් ඇසුවේය.

"මම දන්නෙ නැහැ. නියම උත්තරේ පෙන්නලා දෙන්ටයි කියලා මම යාඥා කලා. ඒ වුනත් දෙවිවරු මට උත්තරයක් දුන්නෙ නැහැ. ලැනිස්ටර්ලා මගේ තාත්තව මරලා දැම්මා රාජද්‍රෝහි චෝදනා එල්ල කරලා. අපි හැමෝම දන්නවා ඒක බොරුවක් කියලා. ඒ වුනත් ජොෆ්රි රජකමට නියම උරුමක්කාරයා නම්, අපි එයාට විරුද්ධව සටන් කලොත් අපිත් රාජද්‍රෝහියො වෙනවා."

"මගේ තාත්තනම් කියයි පරෙස්සමින් බලන් ඉන්ට කියලා." ෆ්‍රේ වරුන්ට උරුම මුගටි සිනහව රැඳි මුවින් යුතුව නාකි සෙර් ස්ටෙව්රන් කියා සිටියේය. "නැවතිලා බලන් ඉන්ට. මේ රජවරු දෙන්නට තමන්ගෙ සිහසුන් සෙල්ලම කරගෙන යන්ට දෙන්ට. එයාලා සටන් කරලා ඉවරවුනාට පස්සෙ අපට පුළුවන් ඒ සටනින් දිනපු කෙනාට දණ නමන්ට. එ‍හෙමත් නැත්තම් අපි කැමැති නම් එයත් එක්ක සටන්කරන්ට. රෙන්ලි දැන් හමුදාව රැස්කරන වෙලාවෙ ටයිවින් උතුමානන් බොහොම කැමැති වෙයි සාම ගිවිසුමක් ගහන්ට... ඒ වගේම එයාගෙ පුතාව පරෙස්සමින් ආපහු බාරගන්ට. උදාර උතුමනි, මට ඉඩදෙන්ට හැ‍රෙන්හෝල්වලට ගිහිල්ලා එයත් එක්ක ගිවිසුම් කොන්දේසි ගැනයි වන්දි ගැනයි කතා කරගන්ට..."

සැහැසි ගර්ජනා රැසක් විසින් ඔහුගේ කතාව යටපත් කරදමන ලදී. "බයගුල්ලා!" ග්‍රේට්ජොන් ගිගිරුවේය. "සාම ගිවිසුමක් ඉල්ලලා යැවුවොත් හිතයි අපි දුර්වල වෙලා කියලා." මෝර්මන්ට් ආර්යාව නිවේදනය කර සිටියාය. "වන්දිය යකාට ගියාවෙ! අපි රජුන් මරන්නාව ආපහු දෙන්ට හොඳ නෑ." රිකාර්ඩ් කාර්ස්ටාර්ක් කීවේය.

"ඇයි සාමයකට යන්නෙ නැත්තෙ?" කැට්ලින් විමසුවාය.

වංශාධිපතීන් සියල්ල ඈ දෙස බැලූහ. එනමුදු ඒ අතරින් ඇයට වඩාත්ම බරට දැනුනේ ‍රොබ්ගේ දෑ‍සේ වූ බැල්ම විය. "ම‍ගේ ආර්යාවනි. උන් මගේ තාත්තාව, ඔබේ සැමියාව නිරපරාදෙ මරලා දැම්මා." ඔහු දරුණු ස්වරයෙන් කීවේය. සිය දිගු අසිපත කොපුවෙන් මෑත් කරගත් ඔහු එය ඉදිරිපස මේසය මත තැබුවේය. "මේ තමා ලැනිස්ටර්ලාත් එක්ක ම‍ගෙ තියෙන එකම සාමය."

ග්‍රේට්ජොන් ගුගුරමින් සිය එකඟතාව පලකලේය. අන්‍යයන්ද කෑ ගසමින්, සිය අසිපත් ඇද ගනිමින්, මේසයට මිටින් තඩිබාමින් ඊට සිය හඬ මුසු කලෝය. ඔවුන් නිහඬ වනතෙක් කැට්ලින් මඳක් බලා සිටියාය. "මගේ උතුමනි. එඩාර්ඩ් උතුමානන් කියන්නෙ ඔබලා හැමෝගෙම වංශාධිපතියා. ඒ වුනත් මම ඒ මනුස්සයත් එක්ක ඇඳ බෙදාහදා ගත්තා. එයා වෙනුවෙන් දරු‍වො වැදුවා. ඔබලා හිතනවද මගේ හිතේ එයා ගැන තියෙන ආදරේ ඔබලගෙ හිතේ තියෙන ආදරේට වඩා අඩුයි කියලා?" දුක නිසා ඇ‍ගේ කටහඬ බිඳී යන්නට විය. එනමුදු දිගු හුස්මක් ඉහළට ඇදගත් කැට්ලින් තමාව සන්සුන් කරගත්තාය. "රොබ්, ඔය කඩුවට පුළුවන් නම් එයාව ආපහු ගේන්ට, එයා ආ‍යෙමත් මගේ පැත්තකින් හිටගෙන ඉන්න වෙලාව එනකම් ඔය කඩුව කොපුවෙ දාන්ට මම ඉඩ තියන්නෙ නැහැ... ඒ වුනත් දැන් එයා මැරිලා. විස්පරින්ග් වුඩ් සීයක් ගෙනාවත් එයා ආපහු එන්නෙ නැහැ. නෙඩ් යන්ට ගිහිල්ලා, ඩේරින් හෝර්න්වුඩ්, එතකොට කාර්ස්ටාර්ක් උතුමානන්ගෙ නිර්භීත පුත්තු දෙන්නා, තවත් හොඳ මිනිස්සු මහ ගොඩක් යන්ටම යන්ට ගිහිල්ලා. ඒ කිසිකෙනෙක් ආපහු එන්නෙ නැහැ. ඉතින්, අපට තවත් මිනිස්සු මැරෙන්ට ඕනද?"

"ඔබ ගැහැණියක්, මගේ ආර්යාවනි." ග්‍රේට්ජොන් සිය ගැඹුරු ස්වරයෙන් කීවේය. "ගෑනුන්ට ‍මේ දේවල් තේරෙන්නෙ නැහැ."

"ඔබලා මෘදු වැඩියි." කාර්ස්ටාර්ක් උතුමානන් ද දුක්මුසු මුහුණින් යුතුව කතාවට එක්විය. "පිරිමියෙක් වුනාම පලිය ගන්ට තියෙන්ට ඕන."

"ඔබ සෙර්සි ලැනිස්ටර් දිහා බැලුවොත් කාර්ස්ටාර්ක් උතුමානනි, ඔබට පෙනෙයි ගෑනියෙකුට කොච්චර මෘදු වෙන්ට පුළුවන්ද කියලා. ඇත්ත, සමහරවිට මට තේරෙන්නෙ නැතුව ඇති ඔබලාගෙ ඔය යුද්ධ උපක්‍රමයි, උපායනුයි‍ ගැන... ඒ වුනත් මම දන්නවා නිශ්ඵලභාවය කියන්නෙ මොකක්ද කියලා. අපි මේ යුද්ධෙ පටන් ගත්තෙ ලැනිස්ටර් හමුදා අපේ ගංගා නිම්නය මංකොල්ලා කද්දි, නෙඩ් බොරුවට රාජද්‍රෝහි චෝදනාවලට ලක්වෙලා හිරකාරයෙක් වෙලා ඉන්දැද්දි. අපි සටන් කලේ අපේ භූමිය බේරගන්ට. නෙඩ්ගෙ නිදහස දිනාගන්ට."

"හරි අපි එක දෙයක් දිනාගත්තා. අනිත් කාරනාව අපට ආයෙ කවදාවත් දිනාගන්ට බැහැ. මම මැරෙන දවස වෙනතුරුම නෙඩ් ගැන දුක්වෙයි. අඬයි. වැළැපෙයි. ඒ වුනත් මම ජීවත්වෙලා ඉන්න අය ගැනත් හිතන්ට ඕන. මට ඕන මගේ දුවලා දෙන්නා ආපුහ මගේ ගාවට ගන්ට. රැජින තාමත් ඒ දෙන්නව අල්ලගෙනයි ඉන්නෙ. උන් අල්ලන් ඉන්න ස්ටාර්ක්ලා දෙන්නා වෙනුවෙන් අපි අල්ලන් ඉන්න ලැනිස්ටර්ලා හතරදෙනාම දෙන්ට සිද්දවුනත් මම ඒක සාධාරණ ගනුදෙනුවක් හැටියට සතුටින් බාරගන්නවා. මට ඕන ඔයා ආරක්ෂා ඇතුව ඉන්නවා දකින්ට රොබ්. වින්ටර්ෆෙල්වලට වෙලා ඔයාගෙ තාත්තගෙ ආසනේ වාඩිවෙලා උතුර පාලනය කරනවා දකින්ට. මට ඕන ඔයා ඔයාගෙ ජීවිතේ විඳිනවා දකින්ට. ඔයා කෙල්ලෙකුට හාදුවක් දීලා, ගෑනියෙක් කසාද බැඳලා පුතෙකුට තාත්තා වෙනවා දකින්ට. මට ඕන ‍මේ හැමදේකම කෙලවරක් දකින්ට. මට ඕන ගෙදර යන්ට ම‍ගේ උතුමනි. ගෙදර ගිහිල්ලා ම‍ගේ සැමියා වෙනුවෙන් ඇතිපදම් අඬන්ට."

කැට්ලින් සිය කතාව නිමකරන විට මුලු ශාලාවම නිහඬතාවයේ ගැලී තිබුනි.

"සාමය..." ඇගේ බාප්පා බ්‍රින්ඩන් කතාව ඇරඹීය. "සාමය කියන්නෙ බොහොම සුන්දර දෙයක් මගේ ආර්යාවනි... ඒ වුනත් ඒ මොන කොන්දේසි යටතෙද? අද දවසෙ ඔබේ කඩුව උණුකරලා ඒකෙන් නඟුල් දතක් හැදුවට වැඩක්වෙන්නෙ නැහැ හෙට ආයෙමත් ඒක උණුකරලා කඩුවක් හදන්ට වෙනවානම්‍."

"එත‍කොට ටෝරනුයි මගේ පුතා එඩාර්ඩුයි මැරුනෙ මොන කෙහෙල්මලකට ද? මට උන්ගෙ ඇටකටු විතරක් අරන් වෙන මොකුත් නැතුව ආපහු කාර්හෝල්ඩ්වලට යන්ට සිද්දවුනොත් ඒකෙ ඇති වැඩේ මොකක්ද?" රිකාර්ඩ් කාර්ස්ටාර්ක් ඇසීය.

"ඒකනෙ." බ්‍රැකන් උතුමානන් ද කතාවට හවුල් විය. "ග්‍රෙගර් ක්ලිගේන් මගේ ඉඩම්වලට ගිනි තියලා ඒවා මුඩු බිම් කලා. මගේ ගම්මු මරලා දැම්මා. ස්ටෝන්හෙජ් නිකංම දුම් දාන නටඹුන් ගොඩක්කරලා දැම්මා. එතකොට ඔබ කියන්නෙ උන්ව මෙහාට එවුව උන්ගෙ මහ එකාට මම දැන් දණ නමන්ට ඕනයි කියලද? හැම දෙයක්ම ආයිමත් කලින් තිබුන තත්ත්වෙටම ඇදලා දාන්ට යනවානම් අපි මොන මඟුලකට ද යුද්ධ කලේ?"

කැට්ලින් ගේ අතිමහත් විස්මයට මෙන්ම ඇගේ බලවත් කනගාටුවට මෙන් බ්ලැක්වුඩ් උතුමානන් මේ කතාවට එකඟ විය. "අපි ජොෆ්රි රජතුමාත් එක්ක සාම ගිවිසුමක් ගහන්ට යනවානම් එතකොට අපි රෙන්ලි රජතුමාට ද්‍රෝහි වුනා වෙන්නෙ නැද්ද? ‍මොකද වෙන්නෙ සිංහයා පරද්දලා ගෝනා දිනුවොත්? එතකොට අපේ තත්ත්වය වෙන්නෙ මොකක්ද?"

"ඔබලා කවුරු මොනවා තීරණය කලත් මට කමක් නැහැ, මම කවදාවත් ලැනිස්ටර් කාරයෙකු‍‍ට රජතුමා කියලා කියන්ට යන්නෙ නැහැ." මාර්ක් පයිපර් නිවේදනය කලේය.

"මමත් නෑ." කුඩා ඩැරී කොලුවා මුරගෑවේය. "කවදාවත් නෑ."

නැවතත් කෑ ගැසීම් වටයක් ඇරඹින. කැට්ලින් නශ්ටාපේක්ෂාවන්ගෙන් යුතුව නිහඬව බලා සිටියාය. ඇය ආසන්නයටම පැමිණියාය. ඔවුන් සැ‍වොම ඇයට ඇහුම්කන් දුන්නෝය... ඔවුන් සැවොම ඇයට එකඟවන්නට තිබුනි... එනමුදු අත පත් මොහොත ඉවත ගියේය. සාමයක් ඇති නොවනු ඇත. තුවාල සුවවීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. ආරක්ෂාවක් නැති වනු ඇත. ඇය සිය පුතු දෙස බැලුවාය. සිය යටත් වංශාධිපතීන් වාදවිවාද කරනු, එකිනෙකාට රවාගනු, කලහකාරී ලෙස හැසිරෙනු නරඹමින් ඔවුන් දෙස බලා සිටින සිය පුතු දෙස බැලුවාය. ඔහු ඉත සිතින්ම යුද්ධය හා බැඳි සිටියේය. වෝල්ඩර් ෆ්‍රේ උතුමානන් ගේ දුවක හා විවාහ වීමට පිළිණ දී තිබුනද සත්‍ය වශයෙන්ම ඔහුගේ මනාළිය වනු ඇත්තේ ඉදිරිපස මේසය මත ඇති ඒ දිගු අසිපත වන බැව් ඇය පැහැදිලිවම දුටුවාය.

කැට්ලින් සිය දියණියන් ගැන වදවෙමින්, ඇයට නැවත කවදා ඔවුන් දැකිය හැකිවේදෝයි සිතමින් සිටින අතරේ හදිසියේම ග්‍රේට්ජොන් නැගිට සිටියේය.

"මගේ උතුමනි!" ඔහුගේ හඬ ගිගුම් දෙමින් ශාලාව පුරා පැතිර යන්නට විය. "මෙන්න ඔය රජවරු දෙන්නටම මට කියන්ට තියෙන දේ." ඔහු බිමට කෙල ගැසීය. "රෙන්ලි බරතියන් කියන්නෙ මට බිංදුවකවත් වැඩක් ඇති එකෙක් නෙවෙයි. ස්ටැනිස් ගැනත් එහෙම්මයි. උන් මොකටද මාවයි මගේ යටත් වැසියන්වයි පාලනය කරන්නෙ? හයිගාර්ඩ්න්වල හරි ඩෝර්න්වල හරි තියෙන හරි ලස්සන වැඩ දාපු පුටුවක වාඩි වෙලා මාව පාලනය කරන්නෙ? උන් මොනාද දන්නෙ ප්‍රාකාරය ගැන? එහෙමත් නැත්තම් වෘක වනාන්තරය ගැන, මුල් මිනිස්සුන්ගෙ සොහොන් ‍ගොඩැලි ගැන? උන්ගෙ දෙවියො පවා වැරැදි දෙවිවරු. ලැනිස්ටර්ලාත් අනික් එවුන්ම අරන් ගියාවෙ. මට දැන් උන්ව ඇතිවෙලයි තියෙන්නෙ." සිය දසරුවට ඉහළින් අත යැවූ ඔහු පිටේ එල්ලාගෙන සිටි, දෑතින්ම එසවිය යුතු, සිය දැවැන්ත අසිපත ඇද ගත්තේය. "ඇයි ආයෙමත් අපි අපිවම පාලනය කරන්ට පටන්ගන්නෙ නැත්තෙ? අපිව එක්කහු කලේ මකරු. දැන් මකරු ඔක්කොම මැරිලා!" ඔහු සිය අසිපත ‍රොබ් දෙසට එල්ල කලේය. "අන්න ඉන්නවා මම දණ නමන්ට කැමැති, මගේ නියම රජතුමා. මගේ එකම රජතුමා. එතුමන්ට විතරයි මම දණ නමන්ට ඕන ම‍ගේ උතුමනි." ඔහු ගිගිරුවේය. "උතුරුකරේ රජතුමා!"

ඊළඟ මොහොතේ දණ නැමූ ඔහු සිය අසිපත රොබ්ගේ දෙපතුල මුල තැබුවේය.

"ඒ කොන්දේසිය යට‍තේ සාමයකට මමත් කැමැතියි." කාර්ස්ටාර්ක් උතුමානන් කීවේය. "උන්ගෙ රතු බල‍කොටුවයි, අර මලඉලවු යකඩ පුටුවයි උන්ම තියා ගත්තාවෙ." ඔහු සිය දිගු අසිපත කොපුවෙන් මෑත් කර ගත්තේය. "උතුරුකරයේ රජතුමා!" ග්‍රේට්ජොන් පසෙකින් දණ නමමින් ඔහු කීවේය.

මේජ් මෝර්මන්ට් නැගිට සිටියාය. "ශීත කාලයේ රජතුමා!" සිය කටු යගදාව අනිකුත් අසිපත් අසලින් තබමින් ඇය නිවේදනය කලාය. ගංගා නිම්නයේ වංශාධිපතිහු පවා නැගිටින්නට වූහ. බ්ලැක්වුඩ් සහ බ්‍රැකන් සහ මැලිස්ටර් පවා. මේ වනාහි ඉතිහාසයේ කවර කලෙකවත් වින්ටර්ෆෙල් වෙතින් පාලනය නොවූ වංශාධිපති පවුල් විය. එනමුදු ඔවුන් එකාවන්ව නැගිට සිය අසිපත් පිටට අදිනු කැට්ලින් බලා සිටියාය. වසර තුන්සියයකින් මෙපිට මේ රාජධානියේ අසන්නට නොලැබුනු වදන් ශාලාව පුරා ගිගුම් දෙද්දී ඔවුහු එකාවන්ව දණ නැමූහ. ඒ වනාහි ජයග්‍රාහක ඒගන් විසින් රජධානි සත ඒකාබද්ධ කොට තනි රාජධානියක් තැනූ දා පටන් කිසිදා නෑසුනු වදන් විය... එනමුදු දැන් නැවතත් ඒ වදන් ඇගේ පියාගේ ප්‍රධාන ශාලාව පුරා රැවු දෙන්නට විය.

"උතුරුකරයේ රජතුමා!"
"උතුරුකරයේ රජතුමා!!"

"උතුරුකරයේ රජතුමා!!!"



Catelyn Stark: “Riverrun is free again.”

Monday 6 April 2015

කැට්ලින් 11-1

රිවර්රන්

සිය බිළිඳු පුතුද රැගෙන උතුරුකරයේ වින්ටර්ෆෙල් බලා යන දිගු ගමන අරඹනු පිණිස, රිවර්රන්වලින් පිටත් වී, කුඩා බෝට්ටුවක නැග, ටම්බල්ස්ටෝන් ගංගාව තරණය කර දැන් වසර දහසක්වත් ගෙවී ගොස් ඇතැයි කැට්ලින් ස්ටාර්ක්ට සිතෙමින් තිබුනි. ඔවුහු දැන් නැවතත් ටම්බල්ස්ටෝන් ගංගාව තරණය කරමින් නිවෙස බලා පැමිණෙමින් සිටියහ. එනමුදු එදා ඒ රෙදිවලින් ඔතා රැගෙන ගිය ළදරුවා මහ මිනිසකු වී සන්නාහයෙන් හා කංචුකයෙන් සැරසී සිටියි.

රොබ් බෝට්ටුවේ ඉදිරිපසට වන්නට ග්‍රේ වින්ඩ් සමගින් අසුන් ගෙන සිටියේය. හබල්කරුවන් සිය හබල් සමගින් ඔරොට්ටු වන අතරේ ඔහු සිය හස්තය ඝෝරවෘකයා ගේ හිස මත රඳවාගෙන ඉදිරිය බලා හුන්නේය. තියන් ග්‍රේජෝයි ද ඔහු පසෙකින් අසුන් ගෙන සිටියේය. ඇගේ බාප්පා පසුපසින් වූ දෙවන බෝට්ටුවේ ග්‍රේට්ජොන් හා කාර්ස්ටාර්ක් උතුමන් සමගින් පැමි‍ණෙමින් සිටියේය.

කැට්ලින් බෝට්ටුවේ අවරයට වන්නට අසුන්ගෙන සිටියාය. ඔවුහු ගංදියේ ‍වේගවත් සැඩපහරට ඔවුන්ව පහළට රැගෙන යාමට ඉඩ හරිමින් දැවැන්ත ජල රෝද කුළුණ පසුකරමින් ඉදිරියට ඇදුනෝය. මේ කුළුණ තුළ වූ ජලරෝදය ‍වෙතින් නැගුනු ගර්ජනා හඬත් දියපහර වැගිරෙන හඬත් විසින් ඇගේ ළමා කාලය සිහිපත් ‍කොට දී කැට්ලින් ගේ මුවට දුක්මුසු සිනහවක් නගන්නට සමත් වී තිබුනි. බලකොටුවේ වැලිගල් ප්‍රාකාර මත රැස් වී සිටි සෙබළුන් ද සේවකයින් ද ඇගේත් රොබ්ගේත් නම් කියමින්, 'වින්ටර්ෆෙල්!' යැයි මොරගසමින් ඔවුන්ව පිළිගන්නට වූහ. සියලුම බලකොටු මුර අටලු වෙතින් ටලී වංශයේ සලකුණ වන රතු හා නිල් පසුබිමක ඉහළට ඉපිලෙන  රජතමය ට්‍රවුට් මාලුවා දැක්වෙන ධජපතාක එල්ලෙමින් තිබුනි. එය සැබැවින්ම හද අලළවන දසුනක් වූ නමුදු ඇ‍ගේ හද ඉපිලවන්නට එය සමත් නොවීය. සිය හදවත නැවත කවදාවත් සතුටින් නොඉල්පෙනු ඇත්දැයි ඇය විමතියෙන් කල්පනා කලාය. අනේ, නෙඩ්...

ජල රෝද කුළුණට පහළින් ලොකු වංගුවක් ගත් ඔවුහු දියපහර කපාගෙන ඉදිරියට ඇදුනෝය. මිනිසුන් සිය උපරිම ජවය හබල් වෙත යොමු කොට තිබින. දිය ද්වාරයේ විසල් ආරුක්කුව ඔවුන් ඉදිරියෙන් පෙනෙන්නට වූ අතර දැවැන්ත යකඩ කටු පැළැල්ල සෙමින් සෙමින් ඉහළට ඔසවන දම්වැල්වල කිරි කිරි නාදය ඇසෙන්නට විය. ඔවුන් කෙමෙන් එයට ළඟාවද්දී පැළැල්ල සෙමින් ඉහළට එසවුනෙන් එහි යට බාගය මල කා රත් පැහැයෙන් දිදුලමින් තිබෙනු කැට්ලින්ට දැකිය හැකි විය. උල්කටු සහිත පැළැල්ලට යාන්තමින් අඟල් කිහිපයක් යටින් එය පසු කර යන අතරේ එහි අඩියේ වූ දුඹුරු පැහැ මඩ ඔවුන්ගේ සිරුරු මත පතිත විය. කැට්ලින් ඉහළ බැලූ අතර පැළැල්ල කෙතරම් නම් මල කා ඇත් ද, හදිසි පහරදීමකට එය ඔ‍‍රොත්තු දේ ද, එය ඉවත් කර නව පැළැල්ලක් සවි කල යුතු ද වැනි නා නා ප්‍රකාර සිතුවිලි ඇගේ සිතේ පහළ වන්නට විය. මේ දිනවල ඇ‍ගේ නිතරම රැඳෙන සිතුවිලි එවැනි දෑ විය.

ආරුක්කුව පසුකර ගිය ඔවුහු ප්‍රාකාරය යටින් දිගටම ඉදිරියට ඇදුනෝය. ඔවුන් වටා ‍ලොකු පොඩි බෝට්ටු රැසක් යකඩ රාමුවලට බැඳී පාවෙමින් තිබුනි. ඇගේ සොහොයුරා සිය සෙබළුන් ද සමගින් ඔවුන් එනතෙක් දිය සෝපානය මත රැඳී සිටියේය. සෙර් එඩ්මුයර් ටලී වනාහි තද රත් පැහැ රැවුලකින් හා අවුල් වී ගිය රතු-දුඹුරු පැහැ හිසකෙසින් යුතු තරබාරු තරුණයකු විය. ඔහුගේ සන්නාහයේ පපු තහඩු තැලී ඇදවී තිබුනේ යුද්ධයේ අතුරුඵලයක් ලෙසින් විය හැක. ඔහු පැළැඳ සිටි රතු-නිල් සළුව දුම් වැකී රුධිර පැල්ලමින් කිලිටි වී තිබින. ගිරා හොටක් වැනි නාසයකින් හා කෙටි කර කපන ලද සුදු-අළු පැහැ දෙපස රැවුලකින් යුතු, හෙල්ලයක් මෙන් උස ටයිටස් බ්ලැක්වුඩ් උතුමානන් ඔහු පසෙකින් සිටගෙන උන්නේය. ඔහුගේ දීප්තිමත් කහ පැහැ සන්නාහය කළු පැහැ විචිත්‍ර ලියවැල් කැටයමින් අලංකාර කෙරුනි. කපුටු පිහාටුවලින් මැසූ සළුවක් ඔහුගේ කෙට්ටු දසරුවෙන් එල්ලෙමින් තිබුනි. ඇගේ සොහොයුරා ලැනිස්ටර් කඳවුරෙන් ‍බේරාගනු පිණිස බලකොටුවෙන් පිටතට ගොස් පහර දුන් සේනාංකය මෙහෙයවා තිබු‍නේ ටයිටස් විසිනි.

"එයාලව ගොඩට ගන්ට." සෙර් එඩ්මුයර් අණකලේය. පියගැට පෙළේ දණතෙක් වූ වතුරේ බැසි සෙබළුන් තිදෙනෙක් කොකු ඇමිනූ දිගැති රිටි යොදාගෙන බෝට්ටුව ඔවුන් දෙසට අදින්නට විය. ග්‍රේ වින්ඩ් හදිසියේම නැගිට සිටගත්තෙන් බිය වූ එක් සොල්දාදුවෙක් සිය රිට අතහැර පසුපසට පැන්නේ, පා පැකිළි දියකඳ මත හතරගාතයෙන් ඉන්දවුනේය. අනික් එවුන් සිනාසෙද්දී මිනිසාගේ මුහු‍ණේ බියමුසු ලැජ්ජාවක් පැතිරී ගියේය. ‍බෝට්ටුවේ පසෙකින් පඩිපෙළ මතට පිනූ තියන් ග්‍රේජෝයි කැට්ලින් ගේ ඉඟටියෙන් අල්ලා ඇයව ඔසවා ඉහළින් වී වියළි පඩිය මත තැබීය.

එඩ්මුයර් පඩි බැස පහළට පැමිණියේ ඇයව වැළැඳ ගත්තේය. "අක්කේ!" ඔහු බැරෑඬි හඬින් කෙඳිරුවේය. ඔහුට තද නිල් පැහැ දෑසක් හා සිනාසීම වෙනුවෙන්ම සැදුනු මුවක් තිබුනද ඒ මුවේ මේ මොහොතේ නම් සිනහවක් දක්නට නොවීය. ‍ඒ වෙනුවට බෙහෙවින් ක්ෂය වී ගිය, වෙහෙසට පත්වුනු පෙනුමක් දැකිය හැකි වූ‍යේ ඔහු යුද්ධයෙන් බැට කා ආතතියෙන් මිරිකී ගිය හෙයින් විය හැක. ගෙලෙහි තුවාල වූ තැනක් වෙළුම්පටි යොදා ආවරණය කර තිබුනි. කැට්ලින් දැඩිව ඔහුව වැළැඳ ගත්තාය.

"ඔයාගෙ දුක මගෙත් දුක කැට්." දෙදෙනා සිය ග්‍රහණයෙන් මිදුනු පසු ඔහු ඇය අමතා කීවේය. "අපට එඩාර්ඩ් ගැන අහන්ට ලැබුන වෙලාවෙ... ලැනිස්ටර්ලා මේකට වන්දි ගෙවයි. මම දිවුරනවා. ඔයාට ඔයාගෙ පලිය ගන්ට ලැබෙයි."

"ඒකෙන් මට නෙඩ්ව ආපහු ලැබෙයිද?" ඇය තියුණු හඬින් විමසුවාය. මෙවැනි මුදු වදන් තවරන්නට තරම් තුවාලය තවමත් අලුත් වැඩිය. ඇය දැන් නෙඩ් ගැන සිතමින් කාලය නාස්ති කල යුතු නොවේ. ඇයට එසේ කල නොහැක. එය පසුවට කල් දැමිය යුතුය. ඇය මේ මොහොතේ ශක්තිමත් විය යුතුය. "ඒ දේවල් පස්සෙ කතා කරමු. මට දැන් තාත්තව දකින්ට ඕන."

"එයා ඔයා එනකම් කාමරේ බලන් ඉන්නවා."

"හස්ටර් උතුමානන් ඇඳට වැටිලා මගේ ආර්යාවනි." ඇගේ පියාගේ නවාතැන් බාරකරුවා ප්‍රකාශ කර සිටියේය. මේ මිනිසා මෙතරම් දුබලව මෙතරම් මහලුව ගියේ කවදාද? "එතුමා මට උපදෙස් දුන්නා ඔබතුමියව දැන්නම එහාට එක්කරන් එන්ටයි කියලා."

"මම එයාව එක්කරන් යන්නම්." එඩ්මුයර් ඇයව දිය සෝපානය දිගේ ඉහළටත් පහළ අංගනය ඔස්සේත් කැඳවාගෙන ගියේය. ඒ වනාහි වරක් පෙටයර් බේලිෂ් හා බ්‍රැන්ඩන් ස්ටාර්ක් ඇගේ අත පතා සටන් වැදුනු ස්ථානය විය. ඇතුළු බලකොටුවේ දැවැන්ත වැලිගල් ප්‍රාකාර ඔවුන්ට ඉහළින් විභූතිමත්ව නැගී සිටියේය. "එයාගෙ තත්ත්වය කොහොමද?" මුර සෙබළුන් දෙදෙනෙකු විසින් රැකවල් ‍කෙරුනු දොරක් පසු කර යන අතරේ ඇය විමසුවාය. මේ වදන් මුවින් පිටවෙද්දී ලැබිය හැකි පිළිතුර ගැන ඇගේ සිත බියෙන් ත්‍රස්ත වී ගියේය.

එඩ්මුයර් ‍ගේ ස්වරය සන්සුන් විය. "එයා අපි අතරෙ වැඩිකල් ඉන්න එකක් නැහැ. එහෙමයි මේස්ටර්ලා කියන්නෙ. වේදනාව... දිගටම අල්ලලා හිටිනවා. උහුලන් ඉන්ට අමාරුයි."

වටහාගත ‍නොහැකි අන්ද‍මේ වියරුවකින් ඇගේ සිත පිරී ගියේය. ඒ වනාහි මුලු මහත් ලෝකයටම එදිරිව නැගුනු වියරුවක්, ඇගේ සො‍හොයුරා එඩ්මුයර්ට, ඇගේ සොහොයුරිය ලයිසාට, ලැනිස්ටර්වරුන්ට, සියලුම මේස්ටර්වරුන්ට, නෙඩ්ට හා ඇගේ පියාට, ඔවුන් දෙදෙනාවම ඇය වෙතින් උදුරාගන්නට කුමන්ත්‍රණය කරන නරක නපුරු දෙවිවරුන්ට එදිරිව නැගුනු වියරුවක් විය. "ඔයාට තිබුනා මට දන්නලා එවන්ට. ඔයා දැනගත්ත ගමන්ම මට පණිවුඩයක් එවන්ට තිබුනා."

"එයා ඒක තහනම් කලා. එයාට ඕන වුනේ නැහැ හතුරො එයා මැ‍රෙන්ට වැටිලා ඉන්නවා කියන එක දැනගන්නවට. රාජධානියෙ තත්ත්වෙ නරක අතට හැරිලා තියෙන වෙලාවෙ. එයා බයවුනා එයා කොච්චර දුර්වලද කියලා ලැනිස්ටර්ලා දැන ගත්තොත්..."

"...එයාලා පහර දෙයි කියලා." කැට්ලින් ඔහු වෙනුවෙන් වාක්‍යය අවසන් කලාය. 'ඒක උඹේ වැරැද්ද. උඹේ.' ඇගේ සිත තුළ වූ යම් කිසිවෙක් මුරගාමින් සිටියේය. 'අර කුරුමිට්ටාව අල්ලගන්න එක උඹේ කරපිටට දාගත්තෙ නැත්තම්...'

ඔවුහු නිහඬවම සර්පිලාකාර පියගැටපෙළ නැංගෝය.

ඇතුළු බලකොටුවද රිවර්රන් මෙන්ම ත්‍රිකෝණාකාර ගොඩනැගිල්ලක් විය. එමෙන්ම හස්ටර් උතුමානන්ගේ නිදන කාමරය ද ත්‍රිකෝණාකාර එකක් විය. එහි නැගෙනහිර පසට වන්නට ගලින් කල නැවක් මෙන් පිටට නෙරා ගිය සඳළුතලයක් විය. බල‍කොටුවේ උතුමානන්ට එහි සිට තමාට පහළින් වූ ප්‍රාකාර, අංගන හා එයින් ඔබ්බෙහි වූ ගංගාව තෙක්ම දැකිය හැකි විය. සේවකයින් විසින් ඇගේ පියාගේ නිදියහන මේ සඳළුතලයට ඔසවාගෙන ගොස් තිබින. "එයා ආසයි ඉරඑළියෙ වාඩිවෙලා ගඟ දිහා බලන් ඉන්ට." එඩ්මුයර් පැහැදිලි කලේය. "තාත්තෙ, මේ බලන්ට මම කාවද එක්කරන් ආවෙ කියලා. කැට් ඇවිල්ලා ඔයාව බලන්ට..."

හස්ටර් ටලී යනු දැවැන්ත මිනිසකු විය. තරුණ වියේදී උස් සිරුරකින් හා පුළුල් පපුවකින් හෙබි වූ ඔහු වයසට යත්ම කෙමෙන් තර වන්නට පටන්ගෙන තිබුනි. එනමුදු දැන් ඔහු ඇකිළි ගොස් ඇතිවාක් මෙන් පෙනුනි. ඇටකටු පමණක් ඉතුරු වී සියලු මාංශය දිය වී ගොස් ඇතිවාක් මෙන් පෙනුනි. ඒ මුහුණ පවා එල්ලා වැටෙමින් තිබුනි. අවසන් වරට කැට්ලින් ඔහුව දකිද්දී ඒ හිසකෙස් හා රැවුල දුඹුරු පැහැයෙන් අව පැහැයට හැරෙමින් තිබූ අතර දැන් ඒ සියල්ල හිම මෙන් සුදු පැහැ ගැන්වී තිබුනි.

එඩ්මුයර්ගේ කටහඬ ඇසෙද්දී වැසී තිබුනු ඒ දෑස් විවර විය. "පුංචි කැට්." වේදනාව නිසා බැරෑඬි වී ගිය, අපැහැදිලි ස්වරයකින් ඔහු කෙඳිරුවේය. "මගේ පුංචි කැට්." සැලෙන සිනහවක් මුහුණේ නැගෙද්දී ඒ අත ඇයව සොයා ඉදිරියට ඇදී ආයේය. "මම ඔයා එනකම් බලන් හිටියා..."

"මම ඔයාලා දෙන්නට කතා කරන්ට ඉඩ දීලා යන්නම්." පියාගේ නළල මුදුව සිප ගත් ඇගේ සොහොයුරා පිටව ගියේය.

බිම දණ නමා ගත් කැට්ලින් පියාගේ අත සිය දෑත් අතරට සිරකර ගත්තාය. පෙරදී විසල් අතක් වූ නමුදු දැන් එය නිකංම නිකං ඇටකටු ගොඩක් පමණි. එහි පෙර පැවැති ශක්තිය මුලුමනින්ම පාහේ නැතිව ගොසිනි. "ඔයාට මට දන්නලා එවන්ට තිබුනා. පණිවුඩකාරයෙක්, කපුටෙක්..."

"පණිවුඩකාරයො මගදි අල්ලගන්ට පුළුවන්. ප්‍රශ්න කරන්ට පුළුවන්. කපුටන්ට විදලා බිම දාන්ට පුළුවන්..." ඔහු පිළිතුරු දුන්නේය. හදිසි වේදනාවක් මතුව ආයෙන් ඒ අතැඟිලි දැඩිව ඇගේ අතැඟිලි බදා ගත්තේය. "මගේ බඩේ කකුළුවො එහාට මෙහාට දුවනවා... උන් අඬුවලින් කොනිති ගහනවා. හැම වෙලාවෙම.. දවල් රෑ කියලා වෙනසක් නැතුව. උන්ට මහ භයානක අඬු තියෙන්නෙ... මේස්ටර් වයිමන් මට ඩ්‍රීම් වයිනුයි, පොපි යුෂයි හදලා දෙනවා... මම ගොඩක් නිදාගන්නවා... ඒ වුනත් මට ඕන වුනා ඔයාව දකින්ට නැගිටලා ඉන්ට. මට බය හිතුනා... ලැනිස්ටර්ලා ඔයාගෙ මල්ලිව අල්ලගත්තහම, අපිව වටකරලා හතුරා කඳවුරු බැඳගෙන හිටියා... මට බය හිතුනා මම මැරෙයි කියලා... ඔයාව ආයෙමත් දකින්නෙ නැතුවම මට මැරෙන්ට වෙයි කියලා... මට බය හිතුනා..."

"ඉතින් දැන් මම ඇවිල්ලා ඉන්නවනෙ තාත්තෙ. රොබ්, මගේ පුතාත් ඇවිල්ලා ඉන්නවා. එයාටත් ඔයාව දකින්ට ඕන වෙයි."

"ඔයාගෙ පුතා. එයාටත් මගේ ඇස්මයි තියෙන්නෙ. මට මතකයි."

"ඔවු.  ඒ වගේම අපි ඔයාට ජේමි ලැනිස්ටර්ව අල්ලන් ආවා. දම්වැල් දාලා අතපය බැඳලා දාලා. රිවර්රන් දැන් ආයෙමත් නිදහස් තාත්තෙ."

හස්ටර් උතුමානන් සිනාසුනේය. "මම දැක්කා. ඊයෙ රෑ. ඒක පටන් ගත්තහම, මම එයාලට කිවුවා... මට ඒක බලන්ට ඕනැයි කියලා. එයාලා මාව උස්සගෙන ගියා ප්‍රධාන දොරටුව උඩින් තියෙන මුර අටල්ලට... මම එතන ඉඳන් බලන් හිටියෙ. ආහ්! ඒකනම් හරිම ලස්සන දර්ශනයක්... පන්දම් ආවෙ හරියට මුහුදු රැල්ළ එනවා වගෙයි. මට ගඟට උඩින් ඇහුනා මිනිස්සු කෑගහන සද්දෙ... හරිම මිහිරි සද්ද... අර වැටලීම් කුළුණ කඩන් වැටිච්ච වෙලාවෙ, දෙයියම්පා... ඒ ‍වෙලාවෙ මැරුනත් සැපයි. මම ඔයාගෙ දරුවො කලින්ම දැකලා තිබුනානම් ඒ වෙලාවෙ මම සතුටින් මැරෙනවා... ඔයාගෙ පුතාද ඒ වැඩේ කලේ? ඒ ඔයාගෙ රොබ් ද?"

"ඔවු." සිත පැලෙන්නට තරම් වූ ආඩමබරයකින් යුතුව කැට්ලින් කීවාය. "ඒ රොබ් තමා... බ්‍රින්ඩනුත් හිටියා. ඔයාගෙ මල්ලිත් මෙහෙ ඇවිල්ලා ඉන්නවා මගේ උතුමානනි."

"එයා." ඇ‍ගේ පියාගේ කටහඬ සවනට නෑසෙන තරමට සිහින් වී ගොස් තිබින. "කළුමාලුවා... ආයෙමත් ආවා? මිටියාවතේ ඉඳන්?"

"ඔවු..."

"ලයිසාත්?" ඔහුගේ තුනී වී ගිය සුදු පැහැ ‍කෙහෙ‍රැළි අතරින් සිසිල් සුළං පොදක් හමන්නට විය. "දෙයියන්ට ස්තූති වෙන්ට! ඔයාගෙ නංගි... එයාත් ආවද?"

ඔහුගේ මුහුණ කෙතරම් බලාපොරොත්තු සහගත අයුරින් දැල්වුනේ ද යත්, ඔහු කෙතරම් තද උවමනාවකින් ඒ වෙනුවෙන් බලා සිටියේද යන්න පැහැදිලි වූ විට ඇයට සත්‍යය පැවසීම අතිශයින්ම දුෂ්කර විය. "එයා ආවෙ නැහැ. මට කණගාටුයි..."

"ආහ්!" ඔහුගේ මුහුණ එල්ලා වැටුනු අතර ඒ දෑසේ වූ දීප්තිය අඩු වී ගියේය. "මම ආසාවෙන් හිටි‍යෙ යන්ට කලින් එයාවත් ආපහු සැරයක් දැක බලාගන්ට."

"එයා ඉයරිවල, එයා‍ගෙ පුතත් එක්ක."

හස්ටර් උතුමානන් දුබල අයුරින් හිස වැනීය. "දැන් එයා රොබර්ට් උතුමානන්. අසරණ ඒරින් මලා නෙව... මට මතකයි... ඇයි එයා ඔයාත් එක්ක නාවෙ?"

"එයා හොඳටම බයවෙලා ඉන්නෙ මගේ උතුමානනි. එයාට ඉයරිවල ඉන්නකොට ආරක්ෂාවක් දැනෙනවලු." ඇය ඔහුගේ රැළි වැටී ගිය නළල සිප ගත්තාය. "රොබ් තාමත් බලන් ඉන්නවා ඇති. ඔයාට එයාව දකින්ට ඕනද? බ්‍රින්ඩන්වත්?"

"ඔයාගෙ පුතා. ඔවු. කැට්ගෙ පුතා... එයාට තියෙන්නෙ ම‍ගේ ඇස්මයි. මට මතකයි. එයා ඉපදුනාම, එයාව ගේන්ට... ඔවු."

"එතකොට ඔයාගෙ මල්ලි?"

ඇගේ පියා ගංගාව දෙසට බැල්මක් හෙලුවේය. "කළු මාලුවා. එයා දැන්වත් කසාද බැඳලද? කවුරුහරි... කෙල්ලෙක්ව බිරිඳ විදියට සරණපාවගෙන ද?"

'එයා මැරෙන්ට වැටිලා ඉන්දැද්දිත්!' කැට්ලින් විමතියෙන් යුතුව කල්පනා කලාය. "එයා බැන්දෙ නැහැ. ඔයා ඒක දන්නවනෙ තාත්තෙ. එයා කවදාවත් බඳින එකක් නැහැ."

"මම එයාට කිවුවා... එයාට අණ කලා. බැඳපන්! මම එයාගෙ උතුමානන්. එයා ඒක දන්නවා. ඒක මගෙ අයිතිය එයාට ගැලපෙන කෙනෙක් හොයලා දෙන එක. මම හොඳ කෙනෙක් හොයලත් දුන්නා. රෙඩ්වින්. පැරණි වංශයක්. හරිම ලස්සන, අහිංසක කෙල්ලක්... බෙතනි... ඔවු, ඒක තමා එයාගෙ නම.. අහිංසක දරුවා... එයා තාමත් බලන් ඉන්නවා. ඔවු, තාමත්."

"බෙතනි රෙඩ්වින් මීට අවුරුදු ගානකට කලින් රොවන් උතුමානන්ව කසාද බැන්දා." කැට්ලින් ඔහුට සිහිපත් කර දුන්නාය. "එයාට දැන් දරුවො තුන්දෙනෙක් ඉන්නවා."

"ඒ වුනත්." ඔහු කටුකුටු ගෑවේය. "ඒ වුනත්. එයා ඒ කෙල්ලට කෙල ගැහුවා. රෙඩ්වින්ලාට කෙල ගැහුවා. මට කෙල ගැහුවා... මම එයා‍ගෙ උතුමානන්, එයාගෙ අයියා... කළු මාලුවා... මම තවත් යෝජනා ගෙනාවා. බ්‍රැකන් උතුමානන්ගෙ කෙල්ල. වෝල්ඩර් ෆ්‍රේ... කෙල්ලො තුන්දෙනාගෙන් කැමැති කෙනෙක් තෝරගන්ට. එයා එහෙමයි කිවුවෙ... එයා බැන්දද? කාවහරි... කාවහරි..."

"කාවවත් බැන්දෙ නැහැ. ඒ වුනත් එයා ලීග සියගානක් දුර ගෙවාගෙන ඇවිත් තියෙන්නෙ ඔයාව බලන්ට. රිවර්රන්වලට එනකම්ම යුද්ධ කර කර. සෙර් බ්‍රින්ඩන් අපට උදවු කලේ නැත්තම් මම අද මෙතන නැහැ."

"එයා හැමදාමත් රණශූරයා. එයා ඒ වැඩේනම් කරයි. වාහල්කඩ නයිට්වරයා. ඔවු." පසුපසට දිගෑදුනු ඔහු දෑස් පියා ගත්තේය. ඒ සිරුර දැඩි වෙහෙසින් පෙලෙමින් තිබෙන බැව් පැහැදිලි විය. "එයාව එවන්ට, පස්සෙ. මම දැන් ටිකක් නිදා ගන්නම්. මට දැන් එයත් එක්ක හටන් කරන්ට තරම් සනීපයක් නැහැ. එයාව පස්සෙ එවන්ට. කළු මාලුවා..."

ඔහුගේ නළල සිපගත් කැට්ලින්, හිසකෙස් අතගා, ඔහුට සිය බලකොටුවේ සෙවනැල්ල යට, පහළින් ගලා යන සිය ගංගාවන්හි හඬ අසමින් නිදන්නට ඉඩ හැර සඳළුතලයෙන් පිටවූවාය. ඇය නිදන කාම‍රයෙන් පිටතට එන්නටත් ‍පෙර ඔහු නින්දට වැටී තිබුනි.

ඇය නැවතත් පහළ අංගනයට පිවිසෙද්දී සෙර් බ්‍රින්ඩන් ටලී දිය සෝපානය අසල රිවර්රන්හි මාලිගාරක්ෂක බලකායේ කපිතාන් සමගින් සාමිචියේ යෙදී සිටියේය. ඔහු වහා ඇය වෙත පැමිණියේය. "එයා?"

"මැරෙන්ට වැටිලා. අපි බයවුන විදියටම."

ඇගේ බාප්පාගේ මුහුණින් දැඩි වේදනාවක සලකුණු විද්‍යමාන විය. ඔහු සිය අළු පැහැ හිසකෙස් අතරින් ඇඟිලි යවා පිරිමැද්දේය. "එයා මාව මුනගැහෙයි ද?"

ඇය හිස වැනුවාය. "එයා කියනවා ඔයත් එක්ක සටන් කරන්ට තරම් දැන් එයාට සනීපයක් නැහැල්ලු."

බ්‍රින්ඩන් කෙකර සිනහවක් පෑවේය. "මම ‍ගොඩක් කල් සොල්දාදුවෙක් ‍වෙලා හිටපු නිසා මම දන්නවා එයා ඒ කියන්නෙ බොරුවක් කියලා. අපි එයාගෙ දරසෑයට ගින්දර දාන්ට ඔන්න මෙන්න තියෙද්දිත් හස්ටර් මට කඩන් පනියි අර රෙඩ්වින් කෙල්ල ගැන කියලා. මුගෙ නාකි ඇටකටු ටික යකාටම ගියාවෙ!"

එය සැබැවක් බව දත් කැට්ලින් සිනාසුනාය. "රොබ් පේන්ට නැහැ."

"එයා ග්‍රේජෝයි එක්ක ප්‍රධාන ශාලාව පැත්තට ගියා මම හිතන්නෙ."

තියන් ග්‍රේජෝයි රිවර්රන්හි ප්‍රධාන ශාලාවේ බංකුවක් මතට වී ඒල් අඟක් තොලගාමින්, ඇගේ පියාගේ සෙබළ මුලුවට විස්පරින්ග් වූඩ්හි සිදුවූ සටන ගැන විස්තරයක් කරමින් හුන්නේය. "...සමහරු හැදුවා පැනලා යන්ට. ඒ වුනත් අපි මිටියාවත දෙපැත්තෙන්ම වහලා දාලයි තිබුනෙ. ඉතින් අපි අන්ධකාරෙ මැද්දෙම කඩුයි ලන්සයි අරන් ඉස්සරහට ගියා. රොබ්ගෙ වෘකයා ලැනිස්ටර්ලා උඩට කඩන් පැන්නහම උන් හිතන්ට ඇති අනික් එවුන් ඇවිත් උන්ට පහර දෙනවා කියලා. මම දැක්කා ඌ එක මිනිහෙක්ගෙ අත උරහිස ගාවින් ඉරලා ‍කඩා ගන්නවා. උගෙ ඉව දැනුනහම ලැනිස්ටර් අශ්වයො නිකං පිස්සු වැටුනා වගේ වුනා. මම දන්නෙ නැහැ මිනිස්සු කී දෙනෙක් අශ්වයො පිටින් විසිවෙලා-"

"තියන්." ඇය කතාවට බාධාකලාය. "කොහෙන්ද මගේ පුතාව හොයාගන්ට පුළුවන්?"

"‍රොබ් උතුමානන් දෙව්වනයට ගියා මගේ ආර්යාවනි..."

ඒ වනාහි නෙඩ් විසින් සිදු කරතැයි බලාපොරොත්තු විය හැකි දේම විය. ඔහු ඇගේ පුතා මෙන්ම ඔහු‍ගේ පියාගේ පුතා ද විය. ඇය එය සිහියේ තබා ගත යුතු විය. 'අනේ දෙවියනේ නෙඩ්...'

කොළ පැහැ දැවැන්ත තුරු වියන යට, උසැති රෙඩ්වුඩ් ගසින් හා පැරැණි එල්ම් ගසින් වට වී, හදවෘක්ෂය වශයෙන් භාවිත වුනු කෙසඟ වයර්වුඩ් ගසක් ඉදිරියේ දණ නමා සිටින රොබ් ඇයට හමුවිය. ඔහුගේ දිගු අසිපත ඉදිරියෙන් පොළොවේ ඇන තිබූ අතර අත්වැසුම් ලූ ඔහුගේ දෑත් එහි මිට වටා වෙලී ගොස් තිබින. ඔහු වටා තවත් අය ඇණ බා ගෙන උන්හ. ග්‍රේට්ජොන් අම්බර්, රිකාර්ඩ් කාර්ස්ටාර්ක්, මේජ් මෝර්මන්ට්, ගැල්බට් ග්ලවර්, සහ තවත් අය එහි වූහ. ටයිටස් බ්ලැක්වුඩ් පවා එහි විය. මේ වනාහි තවමත් පැරැණි දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරන අය බැව් කැට්ලින් වටහා ගත්තාය. තමා මේ දවස්වල වැඳුම් පිදුම් කරන්නේ කවර දෙවිවරුන්ටදැයි ඇය තමාගෙන්ම විමසා සිටියාය. එනමුදු ඊට කිසිදු පිළිතුරක් ඇය සතුව නොවීය.


Brynden Tully: “It is no good hammering your sword into a plowshare if you must forge it again on the morrow.”

Friday 3 April 2015

ජොන් 09-2


වහා සිය‍ වෙළඹ පාරෙන් එපිටට පැන්නවූ ජොන් අළු-කොළ පැහැ මුරකරු වෘක්ෂ ගොන්නක් පසුපස සැඟවුනේය. "සද්ද කරන්නෙ නැතුව හිටපන්." ඔහු මෘදු ස්වරයෙන් ඇයට කෙඳිරුවේය. උක්කුටියෙන් ඇණ බා ගත් ඔහු අතුපතර අතරින් එබී බලන්නට විය. දෙවියන් කරුනාවක් දැක් වී නම් මේ අසරුවන් ඔහුව නොදැක ඔහුව පසු කර යනු ඇත. සමහරවිට ඒ සිය ගොවිපල රාජකාරි වෙනුවෙන් යන මෝල්ස් ටවුන්හි ගම්මුන් පිරිසක් විය හැක. එනමුදු මේ මහ රෑ ජාම‍යේ ඔවුන් කුමක් පිණිස...

රජමාවත ඔස්සේ අසරු පිරිස කෙමෙන් ලංවද්දී අසු කුර මාවත මත ගැටීමෙන් නැංවෙන දෝංකාර හඬ කෙමෙන් වැඩිවනු ඔහු අසා සිටියේය. ශබ්දය අනුව නම් එහි අඩුම තරමේ පස් හය දෙනෙකුවත් සිටිය යුතුය. ගස්වල අතුපතර අතරින් ඔවුන්ගේ කටහඬ ඇසෙන්නට විය.

"...විශ්වාස ද මිනිහා මේ පැත්තෙන් තමා ගිහිල්ලා තියෙන්නෙ කියලා?"

"අපිට හරියටම විශ්වාසෙන් කියන්ට බෑ."

"උඹලා දන්නවද, එයා නැගෙනහිර පැත්තට ගියා වෙන්ට පුළුවන්. එහෙම නැත්තං පාරෙන් අයින්වෙලා කැලේ මැද්දෙන් ගියා වෙන්ටත් පුළුවන්. මම නං ඒක තමා කරන්නෙ."

"මේ අන්ධකාරෙ? මෝඩයා. එක්කො උඹ අස්සයා පිටෙන් වැටිලා බෙල්ල කඩාගනියි. එහෙමත් නැත්තං පාර වැරදිලා අතරමං වෙලා වටයක් ගහලා ආයෙමත් උදේ ඉර පායද්දි ආපහු ප්‍රාකාරෙටම එයි."

"මම එහෙම කරන්නෙ නෑ." ග්‍රෙන්ගේ ස්වරය කෝප වුනු බවක් හැඟවීය. "මම දකුණට යනවා. උඹට තරු දිහා බලලා දකුණ හොයාගන්ට පුළුවන්."

"ආකාසෙ වළාකුළුවලින් වැහිලා තිබුනොත් උඹ මොකද කරන්නෙ?" පිප් ඇසීය.

"එහෙමනං මම නොයා ඉන්නවා."

තවත් කටහඬක් කතාවට එක් විය. "උඹලා දන්නවද මමනං මොකද කරන්නෙ කියලා? මෝල්ස් ටවුන්වලට රිංගලා වැලලිච්ච නිධානයක් ගොඩදානවා." ටෝඩ්ගේ උස් සිනා හඬ තුරුපතර සිසාරා රැවුදෙන්නට විය. ජොන්ගේ වෙළඹ උගුරෙන් හඩක් නැංවූවාය.

"සද්දෙ වහගනිල්ලා. උඹලා හැමෝම." හෝල්ඩර් කීවේය. "මං හිතන්නෙ මට මොකක් හරි සද්දයක් ඇහුනා."

"කොහෙද? මට මොකුත් ඇහුනෙ නෑ." අසුන් සියල්ලෝම නතර වූහ.

"උඹ පඩයක් ඇරියත් උඹට ඇහෙන එකක් නෑ."

"මට ඇහෙනවා." ග්‍රෙන් තිර හඬින් කී‍වේය.

"කට වහගනිල්ලා!"

සියල්ලෝම නිහඬ වූයේ වටපිටාවට ඇහුම්කන් ‍දෙන්නට වූහ. තමා හුස්ම අල්ලාගෙන සිටින ආකාරය ජොන්ට දැනෙන්නට විය. 'සෑම්!' ඔහු කල්පනා කලේය. ඔහු නාකි වලහා වෙත ගොස් නොමැත. එනමුදු ඔහු නැවත නින්දට ගොස් ද නැත. ඒ වෙනුවට ඔහු අනිත් කොල්ලන් ද අවදි කර ඇත. 'උන් හැමෝම යකාටම ගියාවේ!' හෙට උදෑසන ඉර පායන මොහොත වද්දී ඔවුන් තම නිදි ඇඳන්වල නොමැති වුවහොත් ඔවුන් සියල්ලන්ම ද පලායන්නන් වශයෙන් හංවඩු ගැසෙනු ඇත. ඔවුන් මේ කුමක් කරනවා යැයි ඔවුන් සිතාගෙන ඇත්ද?

මැඩගත් නිහඬතාව දිගින් දිගටම ඇදී ගියේය. තමා ඇණ බා ගත් තැන සිට ජොන්ට ගස්වල අතුපතර අතරින් ඔවුන්ගේ අසුන්ගේ පාද දැකිය හැකි විය. අන්තිමේදී පිප් කටහඬ අවදි ක‍ලේය. "උඹට මොකක්ද ඇහුනෙ?"

"මං හරියටම දන්නෙ නෑ." හෝල්ඩර් පිළිගත්තේය. "මොකක්දෝ සද්දයක්. මං හිතු‍වෙ ඒ අශ්ව‍යෙක් කියලයි. ඒ වුනත්..."

"මෙතන මොකෙක් වත් නෑ."

ගස් අතර එහා මෙහා වන ලා පැහැ ඡායාවක් ජොන් සිය දෑස් ‍කොණින් දුටුවේය. ‍කොළ සරබර ගෑ අතර ගෝස්ට් සෙවනැලිවලින් මෑත් වී ඔහු කරා දිව ආයේය. හදිසියේම සිදු වූ ‍මේ අනපේක්ෂිත සිදුවීම නිසා බියපත් ජොන්ගේ වෙළඹ හේෂාරවය කලාය. "අන්න." හෝල්ඩර් කෑගැසීය.

"උඹ ද්‍රෝහියා." සෑදලය මතට පනින අත‍‍රේ ජොන් ඝෝරවෘකයාට බැන වැදුනේය. ඔහු වෙළඹ හරවා ගත්තේ ගස් අතරින් පලා යාම පිණිස මුත් අඩි දහයක් යන්නට මත්තෙන් පිරිස ඔහුව වටකලෝය.

"ජොන්." පිප් කෑ ගැසුවේය.

"නවත්තපන්." ග්‍රෙන් කීවේය. "උඹට අපිව පරද්දලා දුවන්ට බෑ."

ජොන් ඔවුන්ට මුහුණ දෙනු පිණිස අසු හරවාගත්තේ සිය අසිපත කොපුවෙන් මෑත් කරගත්තේය. "ආපහු පලයල්ලා. මට ඕන නැහැ උඹලට අනතුරක් කරන්ට. ඒ වුනත් මට එහෙම කරන්ට වුනොත් ‍නොකර ඉන්නෙත් නැහැ."

"හතකට විරුද්ධව එකෙක්?" හෝල්ඩර් සංඥාවක් දුන් අතර විසිර ගිය කොලු රැළ ඔහුව වට කරන්නට වන්හ.

"උඹලට මොකක්ද මගෙත් එක්ක ඇති වැඩේ?"

"අපිට ඕන උඹව ආපහු එක්කරන් යන්ට උඹ අයිති තැනට." පීප් කීවේය.

"මම ඉන්ට ඕන මගේ සහෝදරයත් එක්ක."

"දැන් අපියි උ‍ඹෙ සහෝදරයො." ග්‍රෙන් පිළිතුරු දුන්නේය.

"උඹ දන්නවද. උන් උඹව අල්ලගත්තොත් උඹේ බෙල්ල ගහලා දායි." ටෝඩ් නොසන්සුන් සිනහවක් සහිතව කීවේය. "මේක මහ මෝඩ වැඩක්. ඒක ගැලපෙන්නෙ උඹ වගේ එකෙකුට වඩා ඔරොක්ස්ගෙ ජාතියෙ එකෙකුට."

"මං එ‍හෙම කරන්නෙ නෑ." ග්‍රෙන් කීවේය. "මං දිවුරුම් කඩකරන එකෙක් නෙවෙයි. මම වචනෙ දුන්නා. ඒක එහෙමම තමා."

"මමත් එහෙම තමා." ජොන් ඔවුන්ට කීවේය. "උඹලට තේ‍රෙන්නෙ නැද්ද? උන් මගේ තාත්තාව මරලා දැම්මා. දැන් යුද්ධෙ ඇවිලිලා තියෙන්නෙ. මගේ සහෝදරයා රොබ් දැන් ගංගා නිම්නයෙ යුද්ධ කරනවා-"

"අපි දන්නවා." පිප් සන්සුන් ස්වරයෙන් කීය. "සෑම් අපට හැම දෙයක්ම කිවුවා."

"අපිට හරිම කණගාටුයි උඹේ තාත්තා ගැන. අපිට ඇත්තටම කණගාටුයි‍." ග්‍රෙන් කතාකලේය. "ඒ වුනත් ඒකෙන් වැඩක් නෑ. උඹ එකපාරක් දිවුරුම දුන්නට පස්සෙ මොන දෙයක් සිද්දවුනත් උඹට ආයෙ පිටවෙලා යන්ට බෑ."

"මම යන්ට ඕනමයි." ජොන් දැඩි ස්වරයෙන් කියා සිටියේය.

"උඹ ඒ වචන කිවුවා." පිප් ඔහුට සිහිපත් කර දුන්නේය. "මගේ රැකවල මෙතැනින් ඇරඹේ. උඹ එහෙම කිවුවා. මගේ මරණය තෙක් එය නිමා නොවනු ඇත."

"මගේ මුරකාවල මතම ජීවත් වී එහිම මිය යන්නෙමි." ග්‍රෙන් එක් කලේය.

"උඹලාට ඔය වචන ආයෙමත් මට කියලා දෙන්ට ඕනවෙන්නෙ නැහැ. උඹලා තරම්ම මමත් ඒවා දන්නවා." ඔහුට කේන්ති එමින් තිබින. ඔවුන් ඔහුට සාමයෙන් පිටවී යන්නට නොදෙන්නේ කිම? ඔවුහු තත්ත්වය තවත් බැරෑරුම් කරමින් සිටිති.

"අන්ධකාරයේ අසිපත මම වෙමි." හෝල්ඩර් ගීතිකාවක් මෙන් කීවේය.

"ප්‍රාකාරයේ රැකවලා මම වෙමි." ටෝඩ් ද ඊට එක්විය.

ජොන් ඔවුන් සියල්ලන්ගේම මුහුණට අවලාද නැගුවේය. ඔවුන් එය ගනන් ගන්නා බවක් නොපෙනුනි. පිප් සිය අසුට සන් කරමින් ඔහුට ලංවිය. "ශීතයට එදිරිව දැල්වෙන ගින්න මම වෙමි. හිමිදිරිය රැගෙන එන ආළෝකය මම වෙමි. නිදන්නන් අවදි කරවන හොරණෑ නාදය මම වෙමි. මිනිසුන් ගේ රාජධානි ආරක්ෂා කරන පලිහ මම වෙමි."

"පස්සට වෙලා හිටපන්." ජොන් අසිපත ලෙලවමින් ඔහුට අනතුරු ඇඟවීය. "මම ඇත්තටමයි මේ කියන්නෙ පිප්." ඔවුන් අඩුම ගනනේ සන්නාහවත් පැළැඳ නොතිබින. අවශ්‍ය වී නම් ඔහුට ඔවුන්ව කෑලි කෑලිවලට කපා දැමිය හැක.

මැතර් ඔහුට පිටුපසින් කරකැවුනේ ගායනාවට එකතු විය. "මගේ ජීවිතය සහ ගෞරවය නිශා රැකුම වෙනුවෙන් කැපකරමි."

ජොන් වෙළඹට පයින් ඇන සන් කලේ ඇයව වටයක් කරකැවීය. කොලුවන් සියල්ලෝම දැන් ඔහුව වටකරමින් ඔහු වෙත සෙමින් සෙමින් ලංවෙමින් සිටිති.

"අද රාත්‍රියත්..." හෝල්ඩර් වම් පසින් ලංවිය.

"...මතු පැමිණෙන්නා වූ සියලු රාත්‍රීන් සඳහාත්." පිප් වාක්‍යය අවසන් කලේය. අත දිගුකල ඔහු ජොන්ගේ තෝන්ලණුව අල්ලාගැනීම සඳහා නැඹුරු විය. "ඉතින් ඔන්න ති‍යෙනවා උ‍ඹේ තෝරාගැනීම. එක්කො මාව මරපන්. නැත්තං මාත් එක්ක ආපහු යන්ට වරෙන්."

ජොන් අසිපත එසවීය... එනමුදු කිසිදු පිළිසරණක් නොමැති අයුරින් එය නැවත පහත හෙලීය. "උඹ යකාටම පලයං! උඹලා ඔක්කොම යකාටම පලයල්ලා!"

"අපට උඹේ අත්දෙක බඳින්ට වෙයිද? නැත්තං උඹ අපට වචනෙ ‍දෙනවද මොකුත් කලබැගෑනියක් කරන්නෙ නැතුව ආපහු යන්ට එනවා කියලා?" ‍හෝල්ඩර් විමසීය.

"මම දුවන්නෙ නැහැ. උඹ අදහස් කරන්නෙ ඒක නම්." ගෝස්ට් තුරුවදුල යට සිට ඔහු වෙතට ළඟා වූයේය. ජොන් ඌ දෙස රවා බැලුවේය. "උඹෙන් හරි උදවුවක් තමා ලැබුනෙ." ඒ දීප්තිමත් රතු පැහැ දෑස අවබෝධාත්මක බැල්මකින් ඔහු දෙස බලා සිටියේය.

"අපි ඉක්මන් කලා නං හොඳයි." පිප් කීවේය. "එළිය වැටෙන්ට කලින් අපි ආපහු ගිහින් හිටියෙ නැත්තං නාකි වලහා අපි හැමෝගෙම ඔළුගෙඩි ටික කපලා දායි."

* * *

ආපසු ගමන ගැන ජොන් ස්නොව් තුළ කිසිදු මතකයක් නොවීය. එනමුදු එය දකුණුකරය බලා වූ පලායාමට වඩා කෙටි ගමනක් බැව් පමණක් ඔහුට හැඟුනි. සමහරවිට ඒ ඔහුගේ සිතුවිලි වෙනතක තිබූ නිසා වන්නට ඇත. පිප් ගමනට නායකත්වය ලබා දුන්නේය. අසු පිම්මේ පන්නමින්, හැල්මේ දුවවමින්, ඇවිදවමින්, නැවත පිම්මේ පන්නමින් නියත ගමන් වේගයක් පවත්වා ගත්තේය. මෝල්ස් ටවුන් පැමිණ නො‍පෙනී ගියේය. ගණිකා මඩමට ඉහළින් වූ රතු ලන්තෑරුම බොහෝ වේලාවකට පෙරාතුවම නිවා දමා තිබුනි. ඔවුන් හොඳ ගමන් වේගයක් පවත්වා ගන්නට සමත් වූ අතර ජොන් අන්තිමේදී ඔවුන්ට ඉදිරියෙන් ඉහළින් වූ කළු බලකොටුවේ කුළුණුවල ඡායා දකිද්දී අරුණට තවත් පැයක් ඉතිරිව තිබුනි. පසුපසින් වූ ප්‍රාකාරයේ සෙවනැල්ලට යටින් ඒවා කළු පැහැයෙන් දිදුලුවේය. එනමුදු මේ වතාවේ නම් ඔහු එය නිවෙසක් මෙන් දුටුවේ නැත.

ඔවුන්ට මේ වතාවේ ඔහුව නැවත රැගෙන ඒමට හැකිවිය. එනමුදු ඔහුව සදහටම මෙහි නවත්වා ගැනීමට ඔවුන්ට නුපුළුවන් වනු ඇත. යුද්ධය හෙට හෝ අනිද්දා හෝ හමාර නොවේ. ඔහු‍ගේ මිතුරන්ට දිවා රෑ ඔහු ගැන සොයා බැලිය නොහැක. ඔහු කල් මරමින් සිටිනු ඇත. ඔහු දිගටම මෙහි රැඳෙන්නට යන්නේ යැයි ඔවුන්ට සිතා ගන්නට අවකාශ සලසා දෙනු ඇත... ඉන්පසු, ඔවුන් සිය පරීක්ෂාව අඩු කල පසු ඔහු නැවතත් මෙයින් මිදී පලා යනු ඇත. ඊළඟ වතා‍‍වේ ඔහු රජමාවත සම්පූර්ණයෙන්ම මඟහරිනු ඇත. ඒ වෙනුවට ඔහු ප්‍රාකාරය දි‍ගේ නැගෙනහිර දෙසට යනු ඇත. සමහරවිට මුහුද දක්වාම. එය දිගු ගමනක් වනු ඇති නමුදු ආරක්ෂාකාරී ගමනක් වනු ඇත. එසේ නැතහොත් බටහිරට? කඳු පන්ති වෙත? ඉන්පසු කඳුකර කපොලු ඔස්සේ දකුණට. ඒ වනාහි වනචාරින් විසින් භාවිත කරන ගමන් මාර්ගයයි. දුෂ්කර වෙහෙසකර ගමනක්! එනමුදු අඩුම තරමේ කිසිවෙකුත් තමා පසුපස ලුහුබැඳ නොඑන බව ඔහුට සහතික විය හැක. රජමාවතට හෝ වින්ටර්ෆෙල්වලට ලීග සිය ගනනක් මෑතින්වත් ඔහු ගමන් නොකරනු ඇත.

* * *

සෑම්වෙල් ටාර්ලි පැරණි ඉස්තාලයට වී ඔවුන් එනතෙක් බලා සිටියේය. පිදුරු මිටියකට හේත්තු වී බිම වැතිර සිටි නමුදු නිදා ගැනීමට නොහැකි තරම් ඔහු වියවුල් වී සිටියේය. වහා නැගිට සිටි ඔහු ඇඳුම්වල ධූලි පිසදැමීය. "මට... මට බොහොම සන්තෝසයි උන් උඹව හොයාගත්තු එක ගැන ජොන්."

"මටනම් එහෙම දැනෙන්නෙ නැහැ." ජොන් අසුපිටින් බසිමින් කීවේය.

අසුපිටින් බිමට පැන්න පිප් අරුණළු පැතිරෙමින් තිබුනු ආකාශය දෙස නොරිස්සුමින් බැලීය. "අශ්වයො ටික නිදහස් කරන්ට උදවුවක් දියන් සෑම්. අපට දිග දවසක් ති‍යෙනවා ඉස්සරහට. රෑ කිසිම නින්දක් නැතුව ඒකට මූන දෙන්ට වෙන්නෙ. ස්නොව් උතුමානන්ට පින්සිද්ද වෙන්ට."

දවස උදා වූ විට ජොන් පුරුදු පරිදි කුස්සිය වෙත පිය මැන්නේය. නාකි වලහාගේ පාතරාසය ඔහු අතට ලබා දෙද්දී ඇඟිලි තුනේ හොබ් කිසිත් නොකීවේය. අද උදෑසන ආහාරය හොඳින් තැම්බූ දුඹුරු බිත්තර තුනක් ද, කර කරන ලද පාන් ද, හැම් ගාතයක් ද, වියළි මිදි පලංගානක් ද විය. අහර බන්දේසිය ඔසවාගත් ඔහු රජතුමාගේ කුළුණ වෙතට පියනැගීය. මෝර්මන්ට් මේසය අසල වාඩි වී යමක් ලියමින් සිටියේය. ඔහුගේ කපුටා දසරුවෙහි වසා එහාට මෙහාට ඇවිදිමින් සිටියේය. "ඉරිඟු! ඉරිඟු! ඉරිඟු!" ජොන් කාමරයට ඇතුළුවන්නා හාම ඌ මහහඬින් කෑ ගසන්නට විය. "කෑම ටික මේසෙ උඩින් තියපන්." නාකි වලහා හිස ඔසවමින් කීවේය. "මම බියර් ටිකක් බොන්නම්."

කවුළු වීදුරුව එසවූ ජොන් සීතල වනු පිණිස පිටත එල්ලා තිබුනු බීර මල්ල අතට ගත්තේ අඟක් පුරා බීර පිරෙවුවේය. හොබ් ඔහුට ප්‍රාකාරය තුළින් පිටතට ගත් සීතල ලෙමන් ගෙඩියක් දී තිබුනි. ජොන් එය බීර අඟට ඉහළින් අල්ලා මිරිකූ අතර අතැඟිලි දිගේ ලෙමන් යුෂ රූරා වැටෙන්නට විය. මෝර්මන්ට් සෑම දිනකම ලෙමන් මුසු කොටගත් බීර බීම පුරුද්දක් කොටගෙන සිටියේය. තමා තවමත් සිය දත් දෙපෙළ රැකගෙන සිටින්නේ එබැවිනැයි ඔහු පාරම් බෑවේය.

"කිසිම සැකයක් නැහැ උඹ උඹේ තාත්තට ගොඩක් ආදරෙයි." බීර අඟ අතින් ගත් ජොන් ඔහු වෙත ලං වූ විට මෝර්මන්ට් කීවේය. "අපි ආදරේ කරන දේ තමා හැමදාමත් අපිව විනාශ කරන්නෙ. මම එහෙම කිවුවය කියලා මතකද?"

"මට මතකයි." ජොන් බුම්මාගත් මුහුණින් යුතුව කීවේය. සිය පියා‍ගේ මරණය ගැන මෝර්මන්ට් සමග වුව කතා කිරීම ඔහුට රිසි නොවීය.

"උඹට ඒක කවදාවත් අමතක වෙන්නෙ නැහැයි කියන එක ගැන වග බලාගනින්. තිත්ත ඇත්ත තමා අපි අපේ හදවත්වලට වඩා ළඟින් තියාගන්ට ඕන. ම‍ගේ පිඟාන මෙහාට ගනින්. ආයෙමත් හැම් ද? මොනව කරන්ට ද? උඹට බොහොම මහන්සි පාටයි. මොකද ඊයෙ රෑ හඳඑළියෙ කරපු සංචාරය නිසා ඇඟට අමාරුද?"

ජොන්ගේ උගුර වියළී ගියේය. "ඔබ දන්නවද?"

"දන්නවා!" මෝර්මන්ට් ගේ දසරුව මත සිටි කපුටා හඬ නැගීය. "දන්නවා!"

නාකි වලහා උගුරෙන් නොරිස්සුම් හඬක් නැගීය. "උඹ හිතනවද ස්නොව්, උන් මාව නිශා රැකුමෙ ප්‍රධාන අණදෙන නිළධාරියා විදියට පත් කරගත්තෙ මම මෝඩ, බූරු, නාකි හමෙක් නිසයි කියලා? ඒමන් මට කිවුවා උඹ පැනලා යයි කියලා. මම එයාට කිවුවා උඹ ආපහු එයි කියලා. මම දන්නවා මගේ මිනිස්සු ගැන... මගේ කොල්ලො ගැනත් මම දන්නවා. උඹ රජමාවතට වැටුනෙ ගෞරවය නිසා... උඹ ආපහු ආවෙත් ගෞරවය නිසා."

"මාව ආපහු ගෙනාවෙ මගේ යාළුවො."

"මම උඹට කිවුවද ඒ උඹේ ගෞරවය නිසයි කියලා?" මෝර්මන්ට් සිය පිඟාන පිරික්සා බැලීය.

"උන් මගේ තාත්තව නිරපරාදෙ මරලා දැම්මා. ඔබ බලාපොරොත්තු වෙනවද මම මොකුත් නොකර නිකං ඉඳියි කියලා?"

"ඇත්තම කියනවා නම් අපි බලාපොරොත්තුවෙන් හිටියා උඹ ඔය කරපු දේ කරයි කියලා." මෝර්මන්ට් මිදි ගෙඩියක් මුවේ බහාලුවේය. "මම අණ කලා උඹ ගැන ඇහැ ගහගෙන ඉන්ටයි කියලා... උඹ පිටවෙලා යනවා මුරභටයො දැක්කා. උඹේ සහෝදරයින්ට බැරි වුනා නම් උඹව ආපහු ගේන්ට, උඹව රජමාවත පහළදි අල්ලගන්ට සූදාණම් කරලයි තිබුනෙ. හැබැයි ඒ අල්ලගන්නෙ උඹේ යාළුවො නෙවෙයි. ඒ කියන්නෙ, උඹට කපුටෙකුට ව‍ගේ පියාපත් තියෙන අශ්වයෙක් නැත්තම් විතරයි. උඹට එහෙම එකෙක් ඉන්නවද?"

"නැහැ." තමා මහත් මෝඩයකු යැයි ජොන්ට හැඟෙන්නට විය.

"අපරාදෙ! එහෙම එකෙක් හිටියනම් අපට ලොකු ප්‍රයෝජනයක් ගන්ට තිබුනා."

ජොන් සීරුවෙන් සිට ගත්තේය. නියම මිනිසෙකු මෙන් මියයන්නෙමැයි ඔහු තමාටම කියා ගත්තේය. ඔහුට අඩුම තරමින් ඒ දේ වත් කල හැක. "මම දන්නවා පලායාමට දඬුවම මොකක්ද කියලා මගේ උතුමානනි. මම මැ‍රෙන්ට බය නැහැ."

"මැරෙන්ට!" කපුටා කෑ ගැසීය.

"මම හිතනවා උඹ ජීවත්වෙන්ට බයත් නැහැයි කියලා." සිය සිරියෙන් හැම් කැබැල්ලක් කපාගත් මෝර්මන්ට් කපුටාට එයින් කටක් කැවීය. "උඹ පලා ගියේ නැහැ - තාමත්. උඹ දැන් මෙතන හිටගෙන ඉන්නවනෙ. රෑට හොරෙන් මෝල්ස් ටවුන්වලට රිංගන හැම කොල්ලගෙම ‍බෙල්ල කපලා දාන්ට හැදුවොත් අපට ප්‍රාකා‍රෙ රකින්ට ඉතුරු වෙන්නෙ හොල්මන් විතරයි. ඒ වුනත්... උඹ හිතාගෙන ඉන්නෙ හෙට ආයෙමත් පැනලා යන්ට. හෙට නැත්තම් තවත් සති දෙකකින්. එහෙම නේද? උඹ එහෙම නේද හිතා‍ගෙන ඉන්නෙ කොල්ලො?"

ජොන් නිහඬවම සිටි‍යේය‍.

"මම හිතුවා." මෝර්මන්ට් තැම්බූ බිත්තරයක කටුව ඉවත් කලේය. "උ‍ඹේ තාත්තා මැරිලා කොල්ලො. උඹ හිතනවද එයාව ආපහු මේ ලෝකෙට ගේන්ට හැකියාවක් උඹට තියෙනවයි කියලා?"

"නැහැ." ඔහු බුම්මාගත් මුහුණින් යුතුව පිළිතුරු දුන්නේය.

"‍හොඳයි. මොකද අපි දැක්කා මලවුන් ආපහු නැගිටලා එනවා. උඹයි මායි දෙන්නම. මම ආයෙමත් එහෙම දෙයක් දකින්ට කිසිම කැමැත්තක් නැහැ." බිත්තරය කටවල් දෙකට ගිල දැමූ ඔහු දත් අතර සිරවූ බිත්තර කටු කැබැල්ලක් නියෙන් ගෙන විසිකර දැමීය. "උඹේ සහෝදරයා යුද්ධෙට ගිහින් තියෙන්නෙ මුලු උතුරුකරේම තියෙන සම්පූර්ණ ශක්තියම එයා යටතට අරගෙනයි. එයාගෙ ධජ දරන හැම යටත් වංශාධිපතියෙක්ම, උඹට මේ නිශා රැකුම ඇතු‍ළෙ හොයාගන්ටවත් බැරි තරම් විශාල හමුදාවකට අණ දෙනවා. එයාලට උ‍ඹේ උදවු ඕනයි කියලා ඇයි උඹ හිතන්නෙ? උඹ මහ ලොකු බලසම්පන්න රණශූරයෙක් ද? එහෙමත් නැත්තම් උඹේ කඩුවට මොකක් හරි අමුතු මායා බලයක් කවන්ට පුළුවන් විදි‍යෙ භූතයෙක් උඹ සාක්කුවෙ හංගන් ඉන්නවද?"

ජොන්ට මේ වෙනුවෙන් කිසිදු පිළිතුරක් නොවීය. කපුටා බිත්තරයකට කොටා කටුව සිදුරු කලේය. හොටය ඇතුළට එබූ ඌ බිත්තර කැබලි හොටින් ගෙන කන්නට විය.

නාකි වලහා සුසුමක් ‍හෙලීය. "මේ යුද්ධය නිසා පීඩාවට පත්වෙච්චි එකම එකා උඹ විතරක් නෙවෙයි. මගේ නංගිත් උඹේ සහෝදරයගෙ පැත්තකින් යුද්ධෙට යනවා. එයයි, එයාගෙ දුවලයි හැමෝම. පිරිමි වගේ දම්වැල් සන්නාහ ඇඳගෙන. මේජ් කියන්නෙ කෙස් පැහිච්ච නාකි අම්මන්ඩියෙක්. හරිම මුරණ්ඩුයි. ඉක්මනට කේන්ති යනවා. හිතුවක්කාරයි. ඇත්තම කියනවනම් මේ ගෑනි ඉන්න අහලකින්වත් මට යන්ට හිතෙන්නෙ නැහැ. ඒ වුනත් ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ඒකි ගැන මගේ හිතේ ති‍යෙන ආදරේ, උඹේ හිතේ උඹේ අර්ධ-සහෝදරියො ගැන තියෙන ආදරේට වඩා අඩුයි කියලා." මෝර්මන්ට් රවා ගත් මුහුණින් යුතුව සිය අවසන් බිත්තරය අතට ගෙන කටුව පොඩි වී යන තෙක් එය අත්ළ මත ‍පොඩි කලේය. "සමහරවිට ඒක එහෙම වෙන්ටත් ඇති. අපි එහෙම හිතමුකො. ඒකි මේ යුද්ධෙන් මැරුනොත් මට දුක හිතෙයි. ඒ වුනත් උඹට පේන එකක් නැහැ මම මෙතන දාලා දුවනවා. උඹ වගේම මමත් දිවුරුමක් දීලා තියෙනවා. මෙතැන තමා මට හිමි තැන... උඹට හිමි තැන මොකක්ද කොල්ලො?"

'මට හිමි කිසිම තැනක් නැහැ.' ‍ජොන්ට පැවසීමට උවමනා විය. 'මම අවජාතකයෙක්. මට කිසිම දෙයක් උරුම නැහැ. නමක් නැහැ. අම්මෙක් නැහැ. දැන් මට තාත්තෙකුත් නැහැ.' එනමුදු මේ වදන් මුවින් පිටනොවීය. "මම දන්නෙ නැහැ."

"මම දන්නවා. සීතල හුළං වැඩිවෙනවා ස්නොව්. ප්‍රාකාරෙන් එහා පැත්තෙ හෙවනැලි දික්වෙනවා. කොටර් පයික් මට ලියලා එවනවා උන් දකිනවා කියලා මහ විශාල එල්ක් රංචු දකුණටයි නැගෙනහිර පැත්තටයි පැනලා යනවා කියලා. මැමත්ලා හිටං. උ‍ගෙ එක මිනිහෙක් දැක්කලු නැගෙනහිර කුළුණෙ ඉඳන් ලීග තුනක් වත් නැති දුරින් මහ දැවැන්ත පිය සටහන් වගයක්. හෙවනැලි කුළුණෙ මුර සංචාරකයො හොයාගෙන තියෙනවා ගම්මාන පිටින් අත්ඇරලා දාලා තියෙනවා. සෙර් ඩෙනිස් කියනවා මහ රෑට උන්ට පේනවා කියලා අර කඳුවැටි මැද්දෙ ගිනිමැල. හැන්දෑවෙ කරුවල වැටුන වෙලාවෙ ඉඳන් උදේ ඉර පායනකම් එක දිගට පත්තුවෙන මහ විශාල ගිනිමැල. අත කොට ක්වෝරින් අල්ලගෙන තියෙනවා එක මිනිහෙක්ව, දොරුව ගැඹුරෙ හැංගිලා හිටපු. මේ මිනිහා දිවුරලා කියනවා මැන්ස් රේඩර්, ඌ අලුතින් හොයාගත්තු ඔය කො‍හේද මන්දා රහස් තැනක වනචාරී හමුදාව රැස් කරනවයි කියලා. ඒ මොන මගුලකට ද කියලා දෙයියො තමා දන්නෙ. උඹ හිතනවද පහුගිය අවුරුද්දෙ අපට නැතිවුන එකම මුර සංචාරකයා උඹේ බාප්පා ‍බෙන්ජින් විතරයි කියලා?"

"බෙන්ජින්!" කපුටා හිස පද්දමින් කෑ ගැසීය. උගේ හොටයෙන් බිත්තර කැබැලි විසි විය. "බෙන්ජින්! "බෙන්ජින්!"

"නැහැ." තවත් අය අතුරුදන්ව තිබින. බොහෝ අය අතුරුදන්ව තිබින.

"උඹ හිතනවද උඹේ සහෝදරයගෙ යුද්ධෙ, අපේ යුද්ධෙට වඩා වැදගත් කියලා?"

ජොන් දෙතොල සපා ගත්තේය. කපුටා පියාපත් ගැසුවේය. "යුද්ධෙ! යුද්ධෙ! යුද්ධෙ! යුද්ධෙ!" ඌ බෙරිහන් දුන්නේය.

"එහෙම නෙවෙයි. දෙයි‍යො අපිව ආරක්ෂා කරන්ට. කොල්ලො, උඹ අන්ධ‍යෙකුත් නෙවෙයි, මෝඩයෙකුත් නෙවෙයි. මැරිච්ච මිනිස්සු මහ රෑ ජාමෙ අපිව දඩයම් කරන්ට එද්දි, උඹ හිතනවද යකඩ සිංහාසනේ වාඩිවෙලා ඉන්නෙ කවුද කියන එක එච්චර වැදගත් වෙයි කියලා?"

"නැහැ." ජොන් ඒ පිළිබඳ කලින් සිතා නොතිබුනි.

"උඹේ තාත්තයි උඹව අපි අතරට එවුවෙ ජොන්. ඇයි ඒ? කාටද කියන්ට පුළුවන්?"

"ඇයි? ඇයි? ඇයි?" කපුටා කෑ ගැසුවේය.

"මම දන්න එකම දේ තමා ස්ටාර්ක්වරුන්ගෙ නහරවල මුල් මිනිස්සුන්ගෙ ලේ දුවනවයි කියන එක. මුල් මිනිස්සු තමා මේ ප්‍රාකාරෙ හැදුවෙ. කතාවට කියන්නෙ හැමෝටම අමතක වෙලා ගිය දෙයක් වුනත් එයාලට මතක තියෙනවා කියලයි. එතකොට උඹේ අර සතා... ඌ තමා අපිව අර මැරිච්ච එවුන් දෙන්නා ගාවට අරන් ගියේ. මැරිච්ච මිනිහා පඩිපෙළ නගිනවයි කියලා උඹට අනතුරු ඇඟෙවුවෙ. කිසිම සැකයක් නැහැ, සෙර් ජැරමි නම් කියයි ඒක මහ අහම්බයක් කියලා. ඒ වුනත් ජැරමි මලා, මම තාම පණපිටින් ඉන්නවා." මෝර්මන්ට් කිනිසි තුඩින් හැම් කැබැල්ලකට ඇන්නේය. "මම හිතන්නෙ උඹ මෙහාට එන එක ඉරණමෙන්ම නියම වෙලා තිබුන දෙයක් කියලයි. මොකද උඹ මෙතන ඉන්ට ඕන කෙනෙක් නිසා. ඒක නිසා මට ඕන උඹයි, උ‍ඹේ අර වෘකයයි අපිත් එක්ක ඉන්ට අපි ප්‍රාකාරෙන් එහාට යනකොට."

මේ වදන් විසින් ජොන්ගේ පිට දිගේ සීතල, උනන්දුකර වෙවුලීමක් පැතිරෙවුවේය. "ප්‍රාකාරෙන් එහාට?"

"උඹට මාව ඇහුන‍නෙ. මම හිතාගෙන ඉන්නෙ ‍බෙන් ස්ටාර්ක්ව හොයන්ට යන්ට. පණපිටින් හරි මැරිලා හරි හොයාගන්ට." ඔහු හැම් කැබැල්ලක් සපා ගිලදැමීය. "මට ඕන නැහැ මෙතන බයගුල්ලෙක් වගේ වාඩිවෙලා හිමයි, සීතල හුළඟයි මාව හොයන් එනකම් බලන් ඉන්ට. අපි කොහොමහරි ‍හොයාගන්ට ඕන මොකක්ද සිද්දවෙන්නෙ කියලා. මේ වතාවෙ නිශා රැකුම ලොකු හමුදාවක් එක්ක ගමන් කරයි. ප්‍රාකාරෙන් එහා රජතුමාට විරුද්ධවයි, අනික් එවුන්ට විරුද්ධවයි, එහෙ ඉන්න වෙන ඕන මල යකෙකුට විරුද්ධවයි. මම හිතාගෙන ඉන්නවා මේ හමුදාවට මමම අණදෙන්ට." ඔහු සිය සිරිය ජොන්ගේ පපුව දෙසට එල්ල කලේය. "සම්ප්‍රදාය අනුව නම්... ප්‍රධාන අණදෙන නිළධාරිතුමාගෙ නවාතැන් බාරකාරයා තමා එයාගෙ සහචරයා විදියටත් කටයුතු කරන්නෙ... ඒ වුනත් මට කිසිම උවමනාවක් නැහැ උඹ පැනලා ගිහිල්ලදෝ කිය කියා කල්පනා කර කර හැම උදේකම නැගිටින්ට. ඒ නිසා මට දැන් උඹෙන් උත්තරයක් ඕන. මට මේ දැන්ම උඹෙන් උත්තරයක් ඕන ස්නොව් උතුමානනි. උඹ නිශා රැකුමේ ඇත්ත සහෝදරයෙක් ද... එහෙමත් නැත්තම් යුද්ධෙට ගිහින් සෙල්ලම් කරන්ට ආසාවක් ඇතිවුන අවජාතක ‍කොල්ලෙක් ද?"

සීරුවෙන් සිටගත් ජොන් ස්නොව් දිගු, ගැඹුරු සුසුමක් හෙලීය. 'මට සමාවෙන්ට තාත්තෙ... රොබ්, ආර්යා, බ්‍රැන්... මට සමාවෙන්ට. මට බැහැ ඔයාලට උදවු කරන්ට.' ඔහුට දැන් සත්‍යය අවබෝධ වෙමින් තිබින. 'මේ තමා මට හිමි තැන.' ඔහු කටහඬ අවදි කලේය. "මම... මම ඔබෙයි මගේ උතුමානනි. මම ඔබේ මිනිහෙක්. මම දිවුරලා පො‍රොන්දු වෙනවා ආයෙමත් මෙහෙන් පැනලා යන්නෙ නැහැ කියලා."

නාකි වලහා ගෙ‍රෙවුවේය. "හොඳයි! නියමයි! එහෙමනම් දැන් ගිහින් අර කඩුව පැළැඳගනින්."


“You said the words, You took a vow, before your brothers, before the old gods and the new.”

Wednesday 1 April 2015

ජොන් 09-1

 

ජොන් සෑදල පටි තද කරද්දී වෙළඹ මෘදු හඬින් හේෂාරවය කලාය. "හරි හරි. හෙමින් කෙල්ලේ, හෙමින්." මුදු හඬින් මුමුනමින්, වෙළඹව ස්පර්ශ කරමින් ඔහු ඇයව සන්සුන් කරන්නට තැත් කලේය. ඉස්තාලය පුරා හමා ගිය සීතල සුළං සිය මුහුණේ දැවටෙන්නට වූ නමුදු ඔහු ඒ නොතකා හැරියේ සිය දරදඬු වූ, අනම්‍ය ඇඟිලිවලින් සෑදල බෑගය සෑදලයට තබා ගැට ගැසුවේය. "ගෝස්ට්. මගේ ළඟට වරෙන්." ඔහු සිහින් හඬින් මිමිනූ අතර ඊළඟ මොහොතේ රත් පැහැයෙන් දිදුලන දෑසින් යුතු වෘකයා එතැන විය.

"‍ජොන් කරුනාකරලා. උඹට මේ වැඩේ කරන්ට බැහැ."

වෙළඹ පිට නැගුනු ජොන් තෝන්ලණුව අල්ලාගත්තේ රාත්‍රී අන්ධකාරය දෙසට ඇයව හරවා ගත්තේය. සෑම්වෙල් ටාර්ලි ඉස්තාල දොරකඩ සිටගෙන සිටි අතර ඔහුගේ උරහිසට උඩින් පුරා හඳක් එබිකම් කරමින් තිබුනි. එනයින් ඔහුගේ සෙවනැල්ල දැවැන්ත කළු පැහැ ‍යෝධයකු මෙන් ඉස්තාල බිම වසා පැතිරුනේය. "මගේ පා‍රෙන් අයින් වෙයන් සෑම්."

"ජොන් උඹට මෙහෙම කරන්ට බැහැ. මම උඹට ඉඩදෙන්නෙ නැහැ මේක කරන්ට."

"මම කැමැති නැහැ උඹට තුවාලයක් කරන්ට. අහකට වෙයන් සෑම්. නැත්තම් මම උඹව යටකරලා දානවා."

"මම දන්නවා උඹ එහෙම කරන්නෙ නැහැයි කියලා. අනේ, උඹ මම කියන දේට ඇහුම්කණ් දීපන්."

ජොන් සිය සන්කටු තද කල අතර වෙළඹ දොර දෙසට පිම්මේ පැන්නාය. එක් ‍මොහොතකට සෑම් සුදුමැලි මුහුණින් හා ඇරගත් මුවින් යුතුව ඔහු එන දෙස බලා සිටි නමුදු අවසාන නි‍මේෂයේ ඉවතට පැන ගන්නට සමත් විය. ඔහු එසේ කරනු ඇතැයි ජොන් බලාපො‍රොත්තු වූ අයුරින්ම අශ්වයා තමා හා ගැටෙන්නට මොහොතකට පෙර ඉවතට පැන ගත්තේය. එනමුදු ඔහු පා පැකිළී බිම ඇද වැටුනු අතර ඔහුට ඉහළින් වෙළඹ පැන්නවූ ජොන් රාත්‍රී අන්ධකාරය තුළට එළඹියේය.

සිය ඝනකම් සළුවෙහි වූ ශීර්ෂාවරණය හිස වැසෙන සේ ඇදගත් ඔහු ඉදිරියට යන්නැයි වෙළඹට සන්කලේය.

තමා පසෙකින් දුවන ගෝස්ට් ද ඇතිව ඔහු පිටත්වද්දී කළු බලකොටුව නිහඬවම නිසොල්මනේ බලා සිටියේය. ප්‍රාකාරය උඩ මුර සෙබළුන් බලා සිටිනු ඇති බව ඔහු දත්තද නිසැකවද ඔවුන්ගේ දෑස් යොමුව තිබෙනුයේ දකුණු දෙසට ‍නොව උතුරු ‍දෙසට විය. ඔහු පිටව යන අයුරු කිසි කෙනෙකු නොදිටීය. මේ වනවිට දනිපනි ගා නැගිට සිය සිරුරේ දූවිලි පිස දමමින් ඉන්නා සෑම්වෙල් ටාර්ලි හැර අන් කිසිවකු නොදිටීය‍. මෙ‍ලෙස පැනීමෙන් සෑම්ට අනතුරක් නොවන්නට ඇතැයි ජොන් කල්පනා කලේය. ඔහුගේ සිරුර දැවැන්ත බරැති පංචස්කන්ධයක් වූ අතර ‍මෙවැති වැටීමක් නිසා මැණික්කටුවක් බිඳීයාම හෝ වළලුකරක් ඇඹරී යාම පහසුවෙන්ම සිදු විය හැක. "මම ඌට අනතුරු ඇ‍ඟෙවුවා." ‍ජොන් මහ හඬින් තමාටම කියා ගත්තේය. "ඒ කොහොම වුනත් ඒක ඌට අයිති දෙයක් නෙ‍වෙයි." අසු ධාවනය කරන අතරේ ඔහු සිය පිළිස්සුනු අ‍තේ ඇඟිලි නවමින් දිග හරිමින් ඒවා සුනම්‍ය කරන්නට තැත් දැරුවේය. අතැඟිලි තවමත් වේදනා ගෙන දුන්නද වෙළුම්පටි ඉවත් කර තිබීම මහත් සහනයක් විය.

පීත්ත පටියක් මෙන් දිගහැරුනු රජමාවත දිගේ අසු ඉදිරියටම යද්දී සඳඑළිය විසින් කඳු මුදුන් රජතමය පැහැයෙන් බබලවන්නට විය. ඔහුගේ පලායාම ගැන ඔවුන් දැන ගන්නට පෙර හැකි තරම් දුරක් ප්‍රාකාරයෙන් ඈතට ගමන් කිරීම ජොන්ගේ අභිලාෂය විය. හෙට උදෑසන ඔහුට ප්‍රධාන මාවතෙන් ඉවත් වී වනාන්තර, ලඳු බිම්, දිහපහර හා කඳු ඔස්සේ යමින් තමා පසුපස පන්නන්ගෙන් මඟහැරිය හැකි වනු ඇත. එනමුදු ‍මේ මොහොතේ වඩා වැදගත් වනුයේ මඟහැරීම නොව වේගයෙන් ගොස් හැකිතරම් ඈතට යාමයි. කෙසේ වුවද ඔහු මේ පලායන්නේ ‍කො‍හේටදැයි අනුමාන කිරීම ඔවුන්ට අපහසු දෙයක් නොවනු ඇත.

නාකි වලහා බිමට එළිය වැටෙන්නා හාම නැගිටින්නට පුරුදුව සිටියේය. එබැවින් තමා හා ප්‍රාකාරය අතර ලීග ගනනාවක දුරක් තබාගැනීම පිණිස ජොන්ට අරුණෝදය තෙක් අවකාශ ඇත... ඒ සෑම් ටාර්ලි ඔහුව පාවා නොදුනහොත් පමණි. මේ මහත කොලුවා රාජකාරිය අකුරටම ඉටුකරන, බියගුල්ලෙකු වුවද ඔහු ජොන්ට සොහොයුරකුට ‍මෙන් ආදරය ක‍ලේය‍. ප්‍රශ්න කිරීමකට ලක් වුවහොත් ඔහු නිසැකයෙන්ම ඔවුන්ට ඇත්ත පවසනු ඇත. එනමුදු මේ වෙලාවේ රජතුමාගේ කුළුණ වෙතට ගොස්, මුර කරුවන්ට කරදර කර, ‍නාකි මෝර්මන්ට්ව නින්දෙන් අවදි කරවීමට තරම් ඔහු නිර්භය නොවනු ඇතැයි ජොන් දැන සිටියේය.

නාකි වලහාගේ පාතරාසය ගෙන යනු පිණිස ඔහු උදෑසන කුස්සියට නොගිය විට ඔවුන් ඔහුගේ කුටිය පිරික්සා බලනු ඇත. එවිට ඔහු එහි දමා ආ දික්නියපහුර ඔවුන්ට හමුවනු ඇත. එය අත්හැර දමා පැමිණීම අසීරු කරුණක් වුවද ජොන් තවමත් සිය ගෞරවය අමතක කර දමා ‍නොමැත. අඩුම ගනනේ අවඥාවට බඳුන් වී පලායද්දී සෙර් ජෝරා මෝර්මන්ට් පවා එය රැගෙන ගියේ නැත. කිසිදු සැකයකින් තොරව මේ අසිපත බාර දෙනු පිණිස ඔහුට වඩා සුදුසුකම් ඇත්තෙකු නාකි වලහා විසින් සොයා ගන්නවා ඇත. මේ මහලු මිනිසා ගැන කල්පනා කරද්දී ජොන්ගේ සිතේ තමා කල දේ ගැන නොපහන් හැඟීමක් ඇතිවන්නට විය. ඔහු‍ගේ පුතාගේ පලායාම නිසා තවමත් රිදුම් දෙමින් තිබෙන ඒ සිතට තමාගේ මේ පලායාම තවත් දුකක් එක්කරනු ඇති බැව් ඔහු දැන සිටියේය. නාකි වලහා තමා කෙරෙහි තැබූ විශ්වාසය වෙනු‍වෙන් මේ කරන්නා වූ දේ නපුරු කලගුන සැලකීමක් වනු ඇති නමුදු ඔහුට අන් කිසිදු විකල්පක් නොවීය. ඔහු කුමක් කලත් ඔහු අතින් කිසිවෙකු හෝ පාවාදෙවනු ඇත.

‍මේ දැන් පවා තමා මේ කරමින් සිටින්නේ ගෞරවනීය දෙයක් දැයි ඔහුගේ සිත විමසමින් තිබුනි. දකුණුකරයේ උදවියට නම් එය පහසු කටයුත්තක් වනු ඇත. ඔවුන්ට කතා කරන්නට, උපදෙස් ගන්නට, දෙවියන්ගේ වචනය ඔවුන්ට කියා දී හොඳ නරක තෝරාබේරා ගන්නට උදවු වනු පිණිස සප්තක පූජකවරුන් සිටියි. එනමුදු ස්ටාර්ක්වරුන් වන්දනාමාන කලේ පුරාණ දෙවිවරුන්ටය. වනාන්තර‍යේ නිර්නාමික දෙවිවරුන්ටය. හදවෘක්ෂය ඔහු කියන දේ අසා සිටියද පෙරලා ඔහුට කතා ‍නොකරයි, උපදෙස් නොදෙයි.

* * *

කළු බලකොටුවේ අවසාන එළියත් තමා පසුපසින් වැසී යද්දී ජොන් සිය වෙළඹ‍ගේ වේගය අඩු කොට ඇයට සැහැල්ලුවෙන් ඇවිද යන්නට සැලැස්වූවේය. ඔහුට බොහෝ දුර ගමනක් යන්නට ඇති අතර ඒ මුලු දුරම ඔහුව ගෙනයන්නට සිටින එකම අසු මෙපමණකි. රජමාවතේ දකුණට යන විට ඔහුට ගොවිබිම් හා කුඩා බල‍කොටු මුනගැසෙනු ඇති අතර අවශ්‍ය වී නම් ඔහුට එයින් එකකට ගොඩ වැදී සිය වෙළඹ වෙනුවෙන් නව අසෙකු හුවමාරු කරගත හැකි වනු ඇත. එහෙත් ඒ වෙළඹ කිසිදු අනතුරකින් තොරව අතක් පයක් නොබිඳී සිටියහොත් පමණි.

ඔහුට ඉක්මනින්ම අලුත් ඇඳුම් ද සොයාගත යුතු වනු ඇත. ඇත්තෙන්ම කියන්නේ නම් සොරාගත යුතු වනු ඇත. ඔහු හිසේ සිට දෙපතුලට යන තෙක්ම කළු ඇඳුමින් සැරසී සිටි‍යේය. අසු පිට යන විට පළඳින උස් හම් බූට්ස් සපත්තු, ඔහුගේ කලිසම හා උඩු කබාය, සමින් කල අත් රහිත කොට කබාය, ඝනකම් ලොම් සළුව, ‍‍මේ සියල්ලම කළු පැහැතිය. ඔහුගේ දිගු අසිපත හා සිරිය බහා තිබෙන්නේ කළු පැහැ කොපුවලය. සෑදල මල්ලේ ඇති මුදු දම්වැල් හිස් ආවරණය හා කමිසය පවා කළු පැහැතිය. මේ සියල්ලේ ‍තේරුම නම් ඔහුව අල්ලාගනු ලැබුව‍හොත් නියත මරණයකි. බෙල්ලෙන් උඩ ඇති සෑම ලොකු කුඩා බලකොටුවක්ම, ගොවිපලක්ම, ගම්මානයක්ම කළු පැහැයෙන් සැරසුනු ආගන්තුකයෙකු දෙස හෙලන්නේ සැකමුසු බැල්මකි. එමෙන්ම වැඩි කාලයක් යන්නට පෙරම මිනිසුන් ඔහුව සොයා එනු ඇත. ඔහුගේ පලායාම සඳහන් කරමින් මේස්ටර් ඒමන්ගේ කපුටන් විසින් දසඅත පණිවුඩ රැගෙන ගිය පසු ඔහුට සැඟව ගන්නට අභය ස්ථානයක් සෙවීම උගහට වනු ඇත. වින්ටර්ෆෙල් පවා ආරක්ෂාකාරී නොවනු ඇත. නිසැක වශයෙන්ම බ්‍රැන් ඔහුට බල‍කොටුවට ඇතුළුවීමට අවසර දෙනු ඇති මුත් මේස්ටර් ලුවින් ඊට වඩා දුරදිග බලා වැඩකරනු ඇත. කලයුතු පරිද්දෙන්ම ඔහු බලකොටු ද්වාරයට අගුළු දමා ජොන්ව පලවා හරිනු ඇත. එහි කොහෙත්ම නොයාම වඩාත් මනෝඥ පියවරයි.

එනමුදු ඔහුගේ මනසේ වින්ටර්ටෆෙල්හි රූපකාය සිතුවම් පටක් මෙන් ඇඳී ගි‍යේය. හරියටම ඔහු එය හැරදා මෙහි පැමිණියේ අද ඊයේ මෙනි. දැවැන්ත කළුගල් ප්‍රාකාර, බල්ලන්ගේ හා පිළිස්සෙන මස්වල සුවඳින් පිරුනු ප්‍රධාන ශාලාව, පියාගේ පුස්තකාල කාමරය, ඔහු නිදාගත් අට්ටාල කාමරය. යලිත් බ්‍රැන් සිනාසෙන හඬ අසන්නටත්, ගේජ් ‍කෝකියා ගේ හරක් මස් හා බේකන් පයි එකක රස විඳින්නටත්, වනාන්තරයේ දරුවන් හා මෝඩ ෆ්ලෝරියන් ගැන නාකි ආයම්මා කියාදෙන කතන්දර අසන්නටත් ඔහුගේ එක් අර්ධයකට දැඩිව උවමනා විය.

එනමුදු ඔහු ප්‍රාකාරයෙන් පලා ආයේ ‍මේ දේවල් වෙනුවෙන් නොවේ. ඔහු එයින් පලා ආයේ ඔහු ඇත්තටම සිය පියාගේ පුතනුවන් කෙනෙකු හා රොබ්ගේ සො‍හොයුරකු බැවිනි. දික්නියපහුර වැනි උත්තම ගනයේ අසිපතක් ත්‍යාග වශයෙන් ලැබුනද ඔහු මෝර්මන්ට් කෙනෙකු නොවනු ඇත. එමෙන්ම ඔහු ඒමන් ටාර්ගේරියන් ද නොවේ. දෛවය විසින් මේ මහලු මිනිසාව තෙවරක්ම පිරික්සා බැලුවද ඔහු සැමවිටම සිය ගෞරවය තෝරා ගත්තේය. එනමුදු ඒ ඔහුය. මේස්ටර්වරයා දිගටම කළු බලකොටුවේ නතර වූයේ ඔහු දුබලයකු හා බියගුල්ලකු වන නිසා ද නැතිනම් ශක්තිමත්, සිය දිවුරුමට පක්ෂපාතී වූ කෙනෙකු නිසා ද යන්න මේ දැන් පවා ජොන්ට සිතා ගත හැකි කරුනක් නො‍වේ. එනමුදු මේ මහලු මිනිසා ‍තෝරාගැනීම හා වේදනාව ගැන එදා කී දේ ජොන්ට හොඳින්ම අව‍බෝධ වී තිබුනි. ඔහු ඒ සියල්ල ඕනෑවටත් වඩා හොඳින් ඔහුට අවබෝධ වී තිබුනි.

ටිරියන් ලැනිස්ටර් පැවසූයේ බහුතරයක් මිනිසුන් තිත්ත ඇත්තට මුහුණ දීමට වඩා එයින් සැඟවයාමට, මඟ හැරීමට කැමැති බවයි. එනමුදු ජොන් මේ සැඟවයාම් වලින් හා මඟහැරීම්වලින් වෙහෙසට පත්ව සිටියේය. ඔහු ඔහුමය. ඔහු ජොන් ස්නොව්ය. අවජාතකයකු හා දිවුරුම් කඩකරන්නෙකි. මවක නැති, යහළුවකු නැති, සැමදෙනාම වෙතින් ගර්භාවට පත්වූවෙකි. ඔහුගේ ඉතිරි ජීවිත කාලය කෙතරම් දිගු එකක් වුවද ඒ මුලු කාලය පුරාවටම ඔහුට පිටවහලෙකුට මෙන් රහස් දිවියක් ගත කරන්නට සිදුවනු ඇත. සිය සැබෑ නම සඟවාගත්, අන්ධකාර සෙවනැලි තුළ සැඟව ගත්  නිහඬ මිනිසකු වීමට සිදුවනු ඇත. ඔහු ‍මේ රාජධානි සප්තකය තුළ කො‍‍යිබ සංචාරය කල ද ඒ සෑමවිටම ඔහුට බොරුව තුළ සැඟව දිවි ගෙවන්නට සිදුවනු ඇත. එසේ ‍නොවුනහොත් ඔහුට එරෙහිව සෑම මිනිසකුගේම දෑත් එසවෙනු ඇත. කෙසේ වුවද කම් නැත. සිය සොහොයුරාගේ පසෙකින් හිඳ ඔහුත් සමග එකතුව පියාගේ මරණය වෙනුවෙන් පලිය ගන්නට හැකියාවක් ලබන තෙක් ජීවත් වන්නට ලැබුනහොත් එයින් පසු කුමක් සිදුවූවද කම් නැත.

අවසන් වරට රොබ්ව දුටු දිනය ඔහුගේ සිහියට ආයේය. ඔහු අංගනයේ හිම වරුසාව මධ්‍යයේ සිටගෙන සිටිද්දී ඒ රතු දුඹුරු පැහැ හිසකෙස් මත හිම දියවූ අයුරු. ජොන්ට ඔහු වෙතට ළඟා විය හැකි වනු ඇත්තේ වෙස් වලාගෙන රහසේ ගිය‍හොත් පමණි. තමාව ඔහුට නිරාවරණය කල පසු රොබ්ගේ මුහුණේ ඇඳෙනු ඇති විමතිය සිතේ මවා ගන්නට ජොන් උත්සාහ දැරුවේය. සිය සොහොයුරා හිස සලා සිනහවෙනු ඇත. ඉන්පසු ඔහු... ඉන්පසු ඔහු...

ඔහු‍ට රොබ්ගේ සිනහව සිතේ ඇඳගත නොහැකි විය. කෙතරම් උත්සාහ කලද එය මවාගත නොහැකි විය. ඔවුන් එදා අර ඝෝරවෘක පැටවුන් සොයාගත් දවසේ ඔවුන්ගේ පියා විසින් හිස සිඳ මරා දැමූ මිනිසා ගැන ඔහු කල්පනා කරන්නට වන්නේය. "උඹ ඒ වචන කිවුවා." එඩාර්ඩ් උතුමානන් ඒ මිනිසාට කීවේය. "උඹ දිවුරුමක් දුන්නා. උඹේ ස‍හෝදරයො ඉදිරිපිට. පුරාණ දෙවිවරුයි අලුත් දෙවිවරුයි ඉදිරිපිට." ඩෙස්මන්ඩ් හා මහත ටොම් එකතුව ඒ මිනිසාව දංගෙඩිය වෙත ඇදගෙන ආවෝය. බ්‍රැන්ගේ දෑස් පීරිසි තරම් විසල් වී ගිය අතර සිය පෝනියාව තරයේ අල්ලා ගන්නැයි ඔහුට මතක් කර දෙන්න‍ට ජොන්ට සිදුවිය. තියන් ග්‍රේජෝයි විසින් අයිස් අසිපත ගෙනෙන විට පියාගේ මුහුණේ වූ පෙනුම ජොන්‍ට සිහිපත් වන්නට විය. හිම මත විසිරුනු රත් පැහැ ලේ, සිය දෙපා අසලට රෝල් වී පැමිණි හිස් ගෙඩියට තියන් පයින් ගැසූ අයුරු.

ඒ පලායන්නා වැරහැලි හැඳි ආගන්තුකයකු නොව සිය සොහොයුරා බෙන්ජින් ස්ටාර්ක් වූවානම් එඩාර්ඩ් උතුමානන් කුමක් කරනු ඇත්දැයි ජොන් කල්පනා කලේය. එයින් තීරණයේ වෙනසක් වනු ඇත්ද? නිසැකවම, නිසැකවම, එසේ විය යුතුය... රොබ් ඔහුව සාදරයෙන් පිළිගනු ලැබෙනු ඇත. නිසැකවම. ඔහු එසේ කල යුතුව ඇත. නොඑසේ නම්...

ඒ ගැන සිතීම අසීරු කටයුත්තක් විය. ඔහු දැඩිව තෝන්ලණුව අල්ලාගත් අතර අතැඟිලි පුරා ගැඹුරු වේදනාවක් පැතිර යන්නට විය. වෙළඹට විළුඹෙන් සන් කල ඔහු රජමාවත ඔස්සේ ඇයව පිම්මේ පන්නවන්නට වූයේ හරියට සිය සිත තුළ නැග එන සැකයන්ගෙන් මිදෙනු පිණිස දුවන්නාක් මෙනි. ජොන් මියයාමට බිය නොවීය. එනමුදු ඒ අයුරින් මියයාමට ඔහු තුළ කිසිදු කැමැත්තක් නොවීය. සාමාන්‍ය පල්හොරකු නැතහොත් මංකොල්ලාකාරයකු මෙන් බැම්මෙන් බැඳී, හිස්ගැසුම් කන්නට ලැබීම. මිය යා යුතු නම් ඔහු මියයන්නේ අතකින් ගත් අසිපතක් ඇතිව, සිය පියා‍ගේ මිනීමරුවන් හා සටන් වදිමිනි. ඔහු සැබෑ ස්ටාර්ක් කෙනෙකු නොවේ. ඔහු කිසිදා ස්ටාර්ක් කෙනෙකු නොවීය... එනමුදු ඔහුට ස්ටාර්ක් කෙනෙකු මෙන් මිය යන්නට කිසිදු බාධාවක් නොමැත. එඩාර්ඩ් ස්ටාර්ක් පුතුන් තිදෙනෙකුට නොව පුතුන් සිවු දෙනෙකුට පියා වූහයි මිනිසුන් විසින් පවසනු ඇත.

* * *

අඩ මයිලයක් පමණ දුරක් යනතෙක් ඔවුන් හා සමගාමීව සිය වේගය පවත්වා ගැනීමට ගෝස්ට් සමත් විය. මුවෙන් එල්ලෙන රත් පැහැ දිවෙන් හති දමමින් ඌ ඔවුන් සමග දිව ආයේය. මිනිසා ද අශ්වයාද සිය හිස් තවත් පහත් කරගත්තේ ජොන් විසින් තවත් වේගයෙන් යන්නට අසුට සන් කල බැවිනි. වෘකයා සිය වේගය අඩු කලේ අන්ති‍මේදී සම්පූර්ණ‍යෙන්ම නැවතී සඳ එළියේ රත් පැහැයෙන් බබලන දෙනෙතින් ඔවුන් දෙස බලා සිටියේය. ඌ ඔවුන්ට පසුපසින් නොපෙනී ගිය නමුදු සිය සාමාන්‍ය වේගයෙන් යුතුව දිගටම ඌ ඔවුන් හඹා එනු ඇති බව ජොන් දත්තේය.

ඔහුට ඉදිරියෙන් පාර දෙපසම ගස් අතරින් ආලෝක පුංජ දිදුලනු දක්නට ලැබින. මෝල්ස් ටවුන්! බල්ලකු බුරන හඬ ද, ඉස්තාලයක සිටි ‍කොටලුවකු බැරෑඬි හඬින් තප්පුලනු ද ඔහුට ඇසුනි. එනමුදු ඒ ඇරෙන්නට මුලු නගරයම පාහේ නිහඬතාවයේ ගැලී තිබින. අතරින් පතර වසා දැමුනු කවුළු පියන්පත් අතරින් ගිනි උඳුණක ආළෝකය දිස් වුවද ඒ ද යාන්තමින් මෙනි.

මෝල්ස් ටවුන් වනාහි පෙනෙනවාට වඩා විශාල නගරයක් විය. එහි හතරෙන් තුනක්ම පාහේ ‍පොළොව යට වූ උණුසුම් බිංගෙවල් තුළ සැඟවී තිබුනු අතර වංකගිරියක් මෙන් වූ උමං සමූහයක් මගින් එකිනෙක හා සම්බන්ධ විය. ගනිකා නිවාසය පවා පොළොව යට සැඟවී තිබුනි. මතුපිට වූ එකම දෙය නම් දොරට ඉහළින් එල්ලුනු රතු ලන්තෑරුමක් සහිත කුඩා දැවමය මඩුවක් පමණි. ප්‍රාකාරයේ වූ මිනිසුන් මෙහි සිටි ගණිකාවන්ව හැඳින්වූයේ 'වැලලුන නිධාන' යන අන්වර්ථ නාමයෙනි. සිය කළු සොහොයුරන් කිසි‍වෙක් අද රාත්‍රි‍යේ මෙහි වැලලුනු නිධන් හාරමින් සිටිනු ඇතිදැයි ඔහු කල්පනා කලේය. එයද සාමාන්‍යයෙන් දිවුරුම් කඩ කිරීමක් වන නමුදු කිසිවෙකුත් ඒ ගැන තැකීමක් නොකලහ.

නගරය පසු කර සෑහෙන දුරක් යන තෙක් ජොන් සිය වේගය අඩු නොකලේය. ඒ වනවිට ඔහු මෙන්ම වෙළඹ ද දහදියෙන් පෙඟී සිටියාය. ඔහු වෙවුලමින් අසු පිටින් බිමට පැන්න අතර තුවාල වූ අත වේදනා ගෙනදෙමින් තිබින. දියවෙමින් පැවති හිම ගොඩක් පාර අසබඩ ගස් යට, සඳ එළියේ දිදුලමින් විසිර පැවතියේය. දියවෙමින් පැවති හිම විසින් කුඩා දිය කඩිති සාදා තිබින. උක්කුටියෙන් බිම ඇන බා ගත් ජොන්, දෑත් එක් කර මේ දිය දෝතක් පුරවා ගත්තේය. දිය හිම මෙන්ම සීතල විය. උගුරු කිහිපයක් පානය කල ඔහු දෙකම්මුල් පුපුරු ගසන තෙක් මේ සීතල දිය මුහුණට විසි කර ගත්තේය. පසුගිය දින කිහිපයටම වඩා දැන් ඔහුගේ පිළිස්සුනු අතැඟිලි වේදනා ගෙනදෙමින් තිබූ අතර හිසද කැක්කුම් ගෙන දෙන්නට පටන්ගෙන තිබුනි. 'මම මේ කරන්නෙ හරි දේ.' ඔහු තමාටම කියා ගත්තේය. 'එහෙමනම් ඇයි මට මේ මහා නරක හැඟීමක් දැනෙන්නෙ?'

අධික විඩාව නිසා වෙළඹ මුවින් පෙණ දමමින් සිටියාය. එබැවින් උගේ කටකලියාවෙන් අල්ලාගත් ජොන් ඇයත් සමග ඉදිරියට ඇවිද ගියේය. මාවත අසරුවන් දෙදෙනෙකුට යාන්තමින් මාරු විය හැකි තරම් පටු විය. මතුපිට සෑම තැනම කුඩා දිය පහරවල් ද, උඩට නෙරා ආ ගල්මුල් ද විය. ඔහු පිම්මේ ආ ගමන අතිමහත් මෝඩ කමක් විය. ඔහුගේත් අසුගේත් බෙල්ල නොකැඩී බේරුනේ වාසනාවක් නිසා විය යුතුය. තමාට මේ කුමක් සිදු වී දැයි ‍ජොන් විමතියෙන් කල්පනා කරන්නට විය. ඔහුට මෙතරම් ඉක්මනින් මියැදෙන්නට සිත් වී ද?

ගස් අතරින් ඇදී ආ, ඈතින් ඇසුනු කිසියම් සතෙකු බියෙන් කල කෑ ගැසීමක් නිසා ඔහු හිස ඔසවා බැලුවේය. ඔහුගේ වෙළඹ නොසන්සුන් ස්වරයෙන් ‍හේෂාරවය කරන්නට වන්නීය. ඔහුගේ වෘකයා කිසියම් සතකුව දඩයම් කර ඇත්ද? "‍ගෝස්ට්!" මුව වටා දෑත් යැවූ ඔහු කෑ ගැසු‍වේය. "ගෝස්ට්. මෙහාට වරෙන්." ඇසුනු එකම පිළිතුර වූයේ ඔහුට පිටුපසින් තැති ගත් බස්සකු අහසට නගින හඬ පමණි.

රවා ගත් මුහුණින් යුතුව ජොන් ඉදිරියටම ගියේය. සිය වෙළඹගේ සිරු‍රේ නැගි දහදිය වියළෙන තෙක් ඔහු ඇය සමග පැය බාගයක් පමණ ඉදිරියට ඇවිද ගියේය. එනමුදු ගෝස්ට් ගේ ආගමනයක් නොවීය. නැවත අසු පිට නැගී යන්නට ජොන්ට උවමනා වූ නමුදු සිය වෘකයා‍ගේ අතුරුදන් වීම ඔහුගේ සිතේ යම් බියක් ඇති කර තිබින. "ගෝස්ට්!" ඔහු නැවත කෑ ගැසුවේය. "උඹ කොහෙද? මෙහාට වරෙන් ගෝස්ට්!" මේ වනාන්තර තුළ ඝෝරවෘකයෙකුට අනතුරක් විය හැකි කිසිවක් නොවීය. ගෝස්ට් වැනි අඩක් වැඩුනු ඝෝරවෘකයකුට පවා අනතුරක් විය හැකි ක්‍රමයක් නොවීය. එහෙත්... නැත. වලසෙකුට පහර දෙන්නට යාමට තරම් ගෝස්ට් මෝඩයකු විය නොහැක. තවත් වෘක රංචුවක් මේ අසලක වේ නම් ජොන්ට නිසැකවම උන්ගේ උඩුබිරීම් ඇසෙනු ඇත.

තමා දැන් කෑම කටක් කෑ යුතු බැව් ඔහු තීරණය කලේය. අහර විසින් ඔහුගේ උදරය සන්සුන් කරනු ඇති අතර ගෝස්ට්ට ඔවුන්ව අල්ලාගැනීමට ඉඩ ප්‍රස්ථාවද ලැබෙනු ඇත. කළු බලකොටුව තවමත් නින්දේ පසුවන අතර ඔහුව හඹා ඒමක් සිදු විය නොහැක. සෑදල මල්ල ඇවිස්සූ ඔහු විස්කෝතුවකුත්, කේජු කැබැල්ලකුත්, වියළී ගිය කුඩා ඇපල් ගෙඩියකුත් සොයා ගත්තේය. ඔහු සතුව ලුණු දැමූ හරක් මස් කැබැල්ලක් හා කුස්සියෙන් පන්නා ගත් බේකන් කැබැල්ලක් ඇති නමුදු ඒවා හෙට වෙනුවෙන් පරෙස්සම් කර ගන්නට ඔහු තීරණය කලේය. මේ සියල්ල අවසන් වූ පසු ඔහුට දඩයම් කරන්නට සිදුවනු ඇති අතර එයින් ඔහුගේ ගමන් වේගය අඩාල වනු ඇත.

සිය වෙළඹ රජමාවත පසෙක උලා කන අතරේ ගසක් යට වාඩි වූ ජොන් විස්කෝතුව හා කේජු කැබැල්ල කා හමාර කලේය. ඔහු ඇපල් ‍ගෙඩිය අවසානයට ඉතුරු කර ගත්තේ එය හොඳින් රස විඳිනු පිණිස විය. එය යාන්තමින් මෙන් බෙරි වන්නට පටන්ගෙන තිබුනු නමුදු මදය තවමත් කසට ගතියෙන් හා යුෂයෙන් පිරි තිබින. එය කා හමාරවන්නට ඔන්න මෙන්න තිබියදී ඔහුට ශබ්දයක් ඇසුනි. අශ්වයින්! උතුරු දෙසින්! වසා නැගී සිටි ජොන් දුවමින් මෙන් සිය ‍වෙළඹ ‍වෙත ළඟාවූයේය. ඔහුට ඔවුන්ව පරදා අසු පැන්නවිය හැකි වනු ඇතිද? නැත, ඔවුන් ආසන්නයටම පැමිණ ඇත. ඔවුන්ට ඔහුව නිසැකයෙන්ම ඇසෙනු ඇත. ‍මේ පිරිස කළු බලකොටුවේ සිට ඔහු සොයා පැමිණියවුන් නම්...


Jeor Mormont: “I think you were meant to be here.”