වෙස්ටෙරොස් හි ඉතිහාසයට එබී බැලීමක්

මෙම කාල වකවානු විස්තරය මගින් වෙස්ටෙ‍රෝස් හා එස්සොස් හි ඉතිහාසයේ සිදුවුනු ප්‍රධාන සිදුවීම් ගැන අව‍බෝධයක් කියවන්නාට ලබා ගත හැකි වනු ඇත.

ප්‍රවාදවලට අනුව වෙස්ටෙරොස්හි ඉතිහාසය වසර දො‍ළොස්දහසකට එහා දිවයයි. එනමුදු එහි ලිඛිත ඉතිහාසයක් ඇරඹෙන්නේ අන්දාල් ආක්‍රමණවලින් පසුව ය. මෙහි ඇති බොහෝ සිදුවීම් ඒවා සිදුවීමෙන් වසර දහස් ගණනකට පසු ග්‍රන්ථාරූඪ වූ ඒවා බැවින් නිවැරැදි කාල වකවානු පිළිබඳ යම් යම් මතභේද ඇත.

ජයග්‍රාහක ඒගන් වෙස්ටෙරොස්වලට ගොඩබට වර්ෂය වසර 1 ලෙස සලකා ඇත. ඊට පෙර සිදුවූ සිද්ධීන් හි කාලය (-) ලකුණක් මගින් පෙන්නුම් කෙරේ.

උදා යුගය ---------------------------------------------------------------------


ප්‍රාග් ඓතිහාසික යුගය

මිනිසුන් පැමිණීමට පෙර. වෙස්ටෙරොස්වල වනාන්තරයේ දරුවන් නමින් හැඳින්වෙන සිරුරින් කුඩා මානව කොට්ඨාසයක් සහ යෝධයන් හා වෙනත් මායාකාරී ජීවි වි‍ශේෂ දිවි ගෙවූහ.

-12,000 පමණ

මුල් මිනිසුන් ගේ ආක්‍රමණ. එස්සොස් හා වෙස්ටෙරොස් යා කරන පටු ගොඩබිම් තීරුව ඔස්සේ මුල්ම මානව ආක්‍රමණ සිදුවිය. මෙය නැවැත්වීම සඳහා වනාන්තරයේ දරුවන් විසින් සිය මායා බලය යොදවා මෙම ගොඩබිම් තීරුව විනාශ කර දමන ලදී. එය අදටත් 'ස්ටෙප්ස්ටෝන්' නමැති කුඩා දූපත් සමූහය ලෙසින් පටු මුහුදු තීරයේ දැකිය හැක.

කෙසේ නමුදු වඩා විශාල, බලවත්, දියුණු තාක්ෂණයෙන් යුක්ත වූ මුල් මිනිසුන් එස්සොස් හි සිට නැවු මාර්ගයෙන් සිය ආක්‍රමණ දිගටම සිදු කල අතර වෙස්ටෙරොස් හි වඩ වඩාත් ගැඹුරට පැළපදියම් වී රාජධානි පිහිටවූහ.

-10,000 පමණ

සහජීවනය පිළිබඳ වූ සාම ගිවිසුම. වසර ගණනාවක් පැවැති යුද්ධ අවසානයේ මුල් මිනිසුන් හා වනාන්තරයේ දරුවන් අතර මුහුණු දූපතේ දී සාම ගිවිසුමක් අත්සන් කෙරින. මේ ගිවිසුම මගින් මුල් මිනිසුන්ට විවෘත තැනිතලා බිම්වල පාලනයත් වනාන්තර‍යේ දරුවන්ට වන බිම්වල පාලනයත් වශයෙන් බෙදා වෙන් කර දෙනු ලැබින. 

කාලාන්තරයක් ගෙවී යද්දී මුල් මිනිසුන් විසින් වනාන්තරයේ දරුවන් ගේ දෙවිවරුන් වූ 'වනාන්තරයේ නමක් හා මුහුණක් නැති දෙවිවරුන්' ඇදහීමට හුරු වින.

වීරයින් ගේ යුගය -----------------------------------------------------------


-10,000 පමණ

වීරයින් ගේ යුගය. සාමය, සහජීවනය හා සමෘද්ධිය රැජයූ කාලයකි. මුල් මිනිසුන් හා වනාන්තරයේ දරුවන් අතර වූ සාම ගිවිසුම වසර හාරදහසක් පමණ කල් පැවතුනු අතර මේ වනවිට ඔවුන් දෙපිරිසම වඩා වඩාත් එකිනෙකාට ලංවූහ. මුල් මිනිසුන් සිය සම්ප්‍රදායික මතිමතාන්තර හා ඇදහිලි බොහොමයක් ඉවත දමා වනාන්තරයේ දරුවන් ගේ සම්ප්‍රදායයන් හා බැඳිනි.

වෙස්ටෙරොස් හි බොහෝ වංශාධිපති පෙළපත් සිය මූලය ‍මේ සමය දක්වා ඇදගෙන යති. ස්ටාර්ක් වංශය හා වින්ටර්ෆෙල් ගොඩනැගූ 'බ්‍රැන්ඩන් නම් ගොඩනගන්නා', ලැනිස්ටර් වංශය හා කාර්ස්ටලී රොක් ගොඩනැගූ 'දක්ෂ ලැන්', රීච් හි ගාර්ඩ්නර් වංශය ගොඩනැගූ 'ගාර්ත් ග්‍රීන්හෑන්ඩ්' මේ අතර වෙති. ඊට අමතරව ස්ටෝර්ම්ලෑන්ඩ් හි කුණාටු රජ පරපුර හා ස්ටෝර්ම්ස් එන්ඩ් ගොඩනැගූ 'ඩුරාන්' සහ යකඩ දූපත්වල පළමු රජු වූ 'අළු රජා' ද මීට අයත් ය.

-8,000 පමණ

දීර්ඝ රාත්‍රිය. වෙස්ටෙරොස්වලට මෙතෙක් උදාවූ දිගම, ශීතලම හා අඳුරුම ශීතකාලය. උතුරේ සිට පැමිණි 'අනික් එවුන්' රාජධානිය ආක්‍රමනය කර මිනිසුන් සමූල ඝාතනය කරමින් එය සිය විනාශයේ මුව විටටම රැගෙන ආහ. 'හිරු උදාවේ සටන' නමින් හැඳින්වෙන අවසන් සට‍නේදී එකට එක්වූ මුල් මිනිස්සු හා වනාන්තරයේ දරුවෝ අනික් එවුන් පරාජය කර ඔවුන්ව ඈත උතුරටම පළවා හැරියහ. 'අවසන් විරුවා' සහ 'ලයිට්බ්‍රින්ගර්' නම් අසිපතකින් සටන් වැදුනු 'අසෝර් අහායි' මේ කාලයේ නම කියැවෙන පුද්ගලයින් ය.

ප්‍රාකාරය පිහිටුවීම. අනික් එවුන් පරාජය කිරීමෙන් පසු බ්‍රැන්ඩන් නම් ගොඩනගන්නා විසින් මුල් මිනිසුන් ගේ, වනාන්තරයේ දරුවන් ගේ හා යෝධයින් ගේ ආධාරය ඇතුව ප්‍රාකාරය ගොඩ නැංවී ය. උතුරින් එන ආක්‍රමණවලින් වැළකීම සඳහා මෙය ගොඩනැංවීමේදී අයිස්වලට අමතරව මන්ත්‍ර ශාස්ත්‍රයද ප්‍රයෝජනයට ගන්නා ලදී. 

ප්‍රාකාරය රැකීම පිනිස 'නිශා රැකුම් බලකාය' පිහිටුවන ලදී.

නිශා රජු. නිශා රැකුම් බලකායේ දහතුන්වන අණ දෙණ නිළධාරියා සිය දිවුරුම බිඳ දමා බලකාය සිය පෞද්ගලික හමුදාවක් මෙන් භාවිත කරමින් කැරැල්ලක් ඇරඹී ය. වින්ටර්ෆෙල්හි ස්ටාර්ක්වරුන් හා ප්‍රාකාරයට එහා රජු වූ ජොරාමන් එක්ව සටන් මෙහෙයවා නිශා රජුව පැරදවී ය.

අන්දාල් ආක්‍රමණ ----------------------------------------------------------


-6,000 පමණ

සත්‍ය ලබ්ධිය පිහිටුවීම. එස්සොස් හි බටහිර මායිමේ ඇති 'අන්දලෝස් කඳු පන්ති' අතරේ දී 'සප්තකයේ සත්‍ය ලබ්ධිය' එළි දකින ලදී. මේ දෙවියන් විසින් අන්දාල් වරුන්ට පටු මුහුදෙන් එ‍තෙර වෙස්ටෙරොස් ආක්‍රමණය කිරීමට මඟ පෙන්වන ලදී.

අන්දාල් ආක්‍රමණය. අන්දාල් වරුන් වෙස්ටෙරොස් හි නැගෙනහිර මායි‍මේ 'අතැඟිලි' නමින් හඳුන්වනු ලබන (දැන් ඒරින් මිටියාවත) බිමට ‍ගොඩබැස්සහ. සප්තාග්‍ර තරු කෙටූ පපු සහිතව සප්තකයේ සත්‍ය ලබ්ධික ධජ යටතේ වානේමය ආයුධවලින් සන්නද්ධ වී පැමිණි ඔවුහු මුල් මිනිසුන් හා වනාන්තරයේ දරුවන් යන දෙකොටසම සමගින් යුධ වැදුනහ.

සියවස් ගණනාවක් පැවැති යුද්ධ අවසානයේ දකුණුකරයේ රාජධානි හය එකින් එක අන්දාල් වරුන්ට යටත් විය. උතුර පමණක් මුල් මිනිසුන් ගේ පාලනයට නතුව පැවතුනි. මෙයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ උපාය මාර්ගිකව වැදගත් බලකොටුවක් වන 'මෝට් කේය්ලින්' මගින් බෙල්ල හරහා උතුරට ඇතුළුවීම වැළැක්වීමයි. 

නමුත් මේ සටන්වල ප්‍රතිඵලයක් ලෙස වනාන්තරයේ දරුවන් කෙමෙන් කෙමෙන් මිනිසුන්ගෙන් ඈත් වී තව තවත් වනාන්තර තුළට හා ප්‍රාකාරයෙන් ඔබ්බට පසු බැසීමට පටන් ගති.

-4,000 පමණ

යකඩ දූපත් අන්දාල් පාලනයට නතු වීම. 'උරොන් ‍රෙඩ්හෑන්ඩ්' ගෙන් ඇරඹී වසර දහසකටත් වඩා කල් පැවැති යකඩ දූපත්වල පළමු රාජ පරම්පරාව මෙයින් අවසන් විය. එනමුදු අනිකුත් ‍පෙදෙස්වලට වෙනස්ව මෙහිදී අන්දාල් වරුන් එහි පැවැති ‍'ගිලුනු දෙවියා ගේ' ආගමට හා සම්ප්‍රදායික  සිරිත් විරිත් වලට අනුගත වූහ.

වැලීරියානු යුගය --------------------------------------------------------------


-5,000 පමණ

වැලීරියානු රාජධානියේ ආරම්භය. එස්සොස් හි දකුණු දිග වැලීරියන් අර්ධද්වීප‍යේ විසූ සාමකාමී බැටළු එඬේරුන් විසින් අර්ධද්වීපය මුදුනේ වූ දැවැන්ත ගිනිකඳු වළල්ල ආශ්‍රිතව මකරුන් සැරිසරන බව ‍සොයාගැනින. සිය මායා බලය භාවිත කල ඔවුහු මකරුන් හීලෑ කලහ. මෙම මකරුන් ගේ ශක්තිය මතින් නැගී සිටි ඔවුහු යාබද ප්‍රදේශ එකින් එක නතුකර ගන්නට වූහ.

ඝිස්කාර් යටත් කිරීම. එස්සොස් හි පැවැති බලසම්පන්නම රාජධානිය වූ 'ඝිස්කාරි අධිරාජ්‍යය' සමග සටන් වැදුනු වැලීරියානුවෝ දැවැන්ත යුද්ධ පහක් අවසානයේ සිය මකරුන් ගේ සහයෙන් පූර්ණ ජයක් ලැබූහ. අවසාන යුද්ධයේදී සිය මකරුන් ගේ මකරාග්නියෙන් ඝිස්කාරි අගනුවර බිමටම සමතලා කල වැලීරියානුවෝ සියලුම මිනිසුන් මරා දැමූහ. අධිරාජ්‍ය බිඳි ගියේ ය. 'වහල් වෙළෙඳුන්ගේ මුහුදු බොක්ක' ආශ්‍රිතව පැවැති සෙසු ඝිස්කාරි නගර වැලීරියානු ආධිපත්‍යයට නතු විය.

-700 පමණ

රොයිනාර් ආක්‍රමණය. නැගෙනහිර යටත් කිරීමෙන් පසු වැලීරියානුවෝ කෙමෙන් කෙමෙන් බටහිර දෙසට විහිදුනහ. නමුත් රොයින් නදිය අසබඩ පිහිටි රොයිනිෂ් නගර හා ගැටීමට මේ ගමන අතරතුරේ දී ඔවුනට සිදු විය. ‍'ශ්‍රේෂ්ට ගැරින් කුමරු' යටතේ එක් රැස් වූ මිලියන කාලක රොයිනාර් හමුදාවක් වැලීරියානුවන්ට එ‍රෙහිව සටන් වැදුනද ඔවුන් ගේ මකරුන් හමුවේ මුලුමනින්ම පරාජයට පත් වූහ.

රොයිනාර් පසුබැසීම. රණකාමී රොයිනාර් රැජිණක වූ 'නයිමේරියා', ගැරින් ගේ සටනින් ඉතුරු වූ මිනිසුන්, ගැහැණුන් හා ළමයින් නැවු දසදහසක පුරවාගෙන පටු මුහුදින් එතෙර වී වෙස්ටෙරොස් හි දකුණු දිග අර්ධද්වීපය වන ඩෝර්න් හි සරණාගත රැකවරණ පැතී ය. 'මෝර්ස් මාර්ටෙල්' උතුමානන් හා විවාහ වූ ඇය ඩෝර්න් එක්සේසත් කිරීම ඇරඹී ය. ඔවුන් දෙදෙනා විසින් ඩෝර්න් හි රජ ‍පෙළපත වන 'මාර්ටෙල් වංශය' පිහිටවන ලද අතර ‍මෝර්ස් උතුමානන් බොහෝ රොයිනිෂ් සම්ප්‍රදායයන් සිය රාජධානිය තුළට ඇතුළු කරගත්තේ ය.

-500 පමණ

නිරිතදිග එස්සොස් යටත් කිරීම. වැලීරියානුවන් විසින් දැනට නිදහස් වෙළෙඳ නගර තිබෙන නිරිතදිග එස්සොස් ප්‍රදේශ සහමුලින්ම පාහේ යටත් කරන ලදී. මෙයින් මිදී උතුරට පලා ගිය දහස් ගණනක් වූ සරණාගතයින් විසින් කඳුවලින් වටවූ කුඩා කලපුවක් ආශ්‍රිතව රහසිගත 'බ්‍රාවොස්' නගරය පිහිටුවන ලදී.

-200 පමණ

ඩ්‍රැගන්ස්ටෝන් පිහිටුවීම. වැලීරියානුවන් විසින් වෙස්ටෙරොස් හි නැගෙනහිර මුහුදු සීමාවේ 'කළුදිය බොක්ක' ආශ්‍රිතව පිහිටි කුඩා දිවයිනක් යටත් කලහ. ටාර්ගේරියන් නම් වූ වැලීරියානු වංශාධිපති පවුලක් එහි බලකොටුවක් ගොඩනංවා පාලනය ආරම්භ කලහ.

-100 පමණ

වැලීරියාවේ විනාශය. මෙයට පැහැදිළි හේතුවක් නොදන්නා නමුත් අර්ධද්වීපය මුදුනේ වූ ගිනිකඳු වළල්ල විදාරනය වීම හා එමගින් වූ මුහුද ගොඩගැලීම බලපාන්නට ඇති බව පොදු මතය යි. අගනුවර මුලුමනින්ම පාහේ විනාශ වූ අතර වැලීරියානු මකරුන් සම්පූර්ණයෙන්ම අතු ගෑවි ගියේ ය. අධිරාජ්‍යය බිඳ වැටින. එහි කොලණි එකින් එක සිය නිදහස ප්‍රකාශ කරන ලද අතර නිදහස් වෙළෙඳ නගර හා වහල් වෙළෙඳුන්ගේ මුහුදු බොක්ක ආශ්‍රිත නගර වශයෙන් අද දක්වා පවතී.

බ්‍රාවොස් එළිදරවු කිරීම. සිය සුවිසල් නාවික බලය හා දැවැන්ත ආර්ථික ශක්තිය නිසා නිදහස් වෙ‍ළෙඳ නගර අතුරින් බලසම්පන්නම නගරය වීමට මොවුනට හැකි විය. එස්සොස් හි දකුණුකරයේ නැවතත් ඝිස්කාරි බලය කෙ‍මෙන් කෙමෙන් හිස ඔසවන්නට පටන් ගති. වැලීරියානුවන් විසින් මෙතෙක් යටපත් කර තිබුනු ඊසානදිග සුවිසල් තැනිතලාවල සිටි සංචාරක රණකාමී ම්ලේච්ඡයන් නිර්භය වීම ඇරඹී ය. ඔවුන් ගේ ප්‍රමුඛතම ගෝත්‍රය වන 'ඩොත්රැකියන්' යාබද ප්‍රදේශවලට කඩා පැනීම ඇරඹූහ. 

ඩ්‍රැගන්ස්ටෝන් හි වසන ටාර්ගේරියන්වරු බටහිර අර්ධ ගෝලයේ සිටින අවසාන මකරුන් ති‍දෙනා සමගින් සිය නව රාජ්‍යය තුළ තව තවත් පැලපදියම් වූහ.

රාජධානි සප්තකය ----------------------------------------------------------


-3,000 පමණ

රාජධානි හය පිහිටුවීම. අන්දාල් ආක්‍රමණයෙන් සියවස් ගණනාවක් ගෙවී යද්දී දකුණුකරයේ වූ මුල් මිනිසුන් ගේ රාජධානි බිඳ වැටී බලසම්පන්න අන්දාල් රාජධානි හයක් පිහිටවනු ලැබී ය.

වනචාරී ආක්‍රමණය. ප්‍රාකාරයෙන් එපිට රජුන් වූ 'ගෙන්ඩල් හා ගෝර්න්' සොයුරන් යටතේ එක් රැස් වූ වනචාරී සේනාවක් ප්‍රාකාරයට යටින් වූ උමං සමූහයක් ඔස්සේ පැමිණ රාජධානිය ආක්‍රමණය කලහ. නමුත් ස්ටාර්ක් රජතුමා යටතේ ඔවුන් පරාජය ලැබී ය.

-700 පමණ

ස්ටාර්ක් වංශය විසින් සිය ප්‍රධානම ප්‍රතිවාදීන් වූ 'බෝල්ටන් වංශය' පරාද කිරීම. 'කාර්ලන් ස්ටාර්ක්' විසින් 'කාර්ස්ටාර්ක් වංශය' පිහිටුවීම.

යකඩ මිනිසුන් ගේ නැගීම. යකඩ දූපත්වල යකඩ මිනිස්සු සිය පාලනයේ උච්ඡතම කාලයේ දී දකුණේ 'ආර්බර්' හා 'ඕල්ඩ්ටවුන්' සිට උතුරේ වලස් දූපත දක්වා මුහුදුබඩ පෙදෙස් පාලනය කලහ.

-350 පමණ

හැරන්හෝල් පිහිටුවීම. ගංගා නිම්නය ආක්‍රමණය කල 'හැරන් හෝර්' නමැති යකඩ රජතුමා 'හැරන්හෝල්' බලකොටුව පිහිටවීය.

ටාර්ගේරියන් වංශය ----------------------------------------------------------


-2 සිට 1 දක්වා

ජයග්‍රහණයේ යුද්ධය. වෙස්ටෙරොස් ආක්‍රමණය කල 'ජයග්‍රාහක ඒගොන්' වසර දෙකක් වැනි කෙටි කලක් තුළ රාජධානි හ‍තෙන් හයක් යටත් කලේ ය. මේ රාජධානි හය එක් කර තනි රාජධානියක් පිහිට වූ ඔහු 'කින්ග්ස් ලෑන්ඩින්ග්' වල නව අගනුවරක් තනා පාලනය ඇරඹී ය. ඔහුට ඩෝර්න් යටත් කිරීමට නොහැකි වූ අතර එය තව දුරටත් නිදහස් රාජ්‍යයක් වශයෙන් පැවතින.

අවසාන කුණාටු රජතුමා වූ 'උඩඟු ආර්ගිලැක්' විනාශ කිරීම නිසා ස්ටෝර්ම්ස් එන්ඩ් හි පාලනය සිය අවජාතක අර්ධ-සොයුරා වන 'ඔරිස් බරතියන්' ට පැවරී ය. රීච් හි අවසාන රජු මරාදැමීම නිසා 'හයිගාර්ඩ්න්' හි පාලනය 'හාර්ලන් ටිරල්'ට පැවරී ය. 'රිවර්රන්' හි 'එඩ්මින් ටලී' ගංගා නිම්නයේ පාලකයා වශයෙන් පත් කරන ලදී. 'පයික්' හි 'විකන් ග්‍රේජෝයි' යකඩ දූපත්වල පාලකයා ලෙස පිහිටුවන ලදී.

37 සිට 48 දක්වා

සත්‍ය ලබ්ධිකයින් ගේ නැගී සිටීම. ඒගොන් ගේ මරණයෙන් පසු ඔහු පුත් 'ඒනිස් I' සිහසුනට පත් විය. නමුත් ඔහු ගේ නීත්‍යනුකූල බව ප්‍රශ්න කල සප්තක පූජකයෝ ටාර්ගේරියන්වරුන්ට විරුද්ධව කැරැල්ලක් ඇරඹූහ. දුර්වල පාලකයකු වූ ඒනිස් විසින් සිය අර්ධ-සොයුරා වූ 'මේගර්', රජතුමා ගේ හස්තය බවට පත්කොට කැරැල්ල මැඩීම ඔහුට බාර දෙන ලදී. ඔහු ඉතා කුරිරු හා දුර්දාන්ත අයුරින් කැරැලිකරුවන් ඝාතනය කරන ලදී.

48

සංසිඳුවන ජහරිස්. 'කෘර මේගර්' ලෙසින් ‍මේ වන විට නම් ලබා සිටි ‍මේගර් රජතුමාගෙන් පසු 'ජහරිස් I' රජ විය. ඔහු කැරැලිකරුවන් ඝාතනය නවතා දමා සාම ගිවිසුමක් ඇති කලේ ය. ගිවිසුම අනුව රණකාමී පූජකයින් සිය ආයුධ බාර දී ටාර්ගේරියන් පාලනයට නතු විය යුතු විය. මොහු ගේ රාජ්‍ය කාලය සාමකාමී හා සෞභාග්‍යවත් එකක් ලෙස සැලකේ.

129 සිට 131 දක්වා

මකර නැටුම. රාජධානි සප්තකයේ පළමු සිවිල් යුද්ධය. 'ඒගොන් II' හා ඔහු ගේ අර්ධ-සොයුරිය 'රේනිරා ටාර්ගේරියන්' සිය පියා ගේ සිහසුන බෙදාගැනීම පිණිස සටන් වැදුනහ. මේ යුද්ධය නිසා ඔවුන් දෙදෙනා ද, ටාර්ගේරියන් වංශිකයන් බහුතරයක් ද, ඔවුන් සතුව සිටි අවසාන මකරුන් ද මිය ගියහ. රේනිරා ගේ පුත් ඒගොන් III රජකමට පත් විය.

131 සිට 157 දක්වා

අවසන් මකරා ගේ මරණය. ටාර්ගේරියන්වරුන් සතුව සිටි අවසන් මකරුන් එතරම් විශාල නොවූ දුර්වල එවුන් විය. අවසාන මකරා බිත්තර කිහිපයක් ඉතිරි කර තබා ගියද ඒවායින් පැටවුන් බිහි නොවුනි. පසු කාලීනව ඒවා නැති වී හෝ විනාශ වී හෝ ගියේ ය. මකරුන් වඳ වී ගිය සත්ත්ව කොට්ඨාසයක් ලෙස සැලකෙන්නට පටන් ගති.

157 සිට 161 දක්වා

ඩේරන් විසින් ඩෝර්න් යටත් කිරීම. වයස දහහතරේ දී සිහසුනට පත්වූ 'ඩේරන් I' ඒගොන් ඇරඹූ කාර්යය නිමා කලේ ය. එහෙත් අවාසනාවට ඔහු ඩෝර්න් හි පාලනය පිණිස තබා ආවේ මාර්ටෙල්වරුන් හා වසර දහස් ගණනක් පුරා පසමිතුරු ටිරල් කෙනෙකි. ඩෝර්න් ඔහුට හා යකඩ සිහසුනට එරෙහිව නැගී සිටියේ ය. අලුත් හමුදාවක් සමග නැවත පැමිණි ඩේරන් සටනේ දී මියගියේ ය. ඔහු ගේ ඥාති සොයුරු 'මකර නයිට්වර ඒමන්' සිරභාරයට ගැනුනු අතර හතලිස්දහසක් සෙබළු මියගියහ.

161 සිට 171 දක්වා

ආශීර්වාද ලැබූ බේලර්. ඩෝර්න් සමග සාම ගිවිසුමක් ඇති කරගත්තේ ය. සිය ඥාති සොයුරු මකර නයිට්වර ඒමන් නිදහස් කරගත්තේ ය. කින්ග්ස් ලෑන්ඩින්ග් හි දැවැන්ත සප්තක දේවස්ථානය ගොඩ නැංවී ය. මෙය පසුකාලීනව 'බේලර් ‍ගේ සප්තකය' යනුවෙන් නැවත නම් කෙරින.

ඔහු ගේ සොයුරිය ඩේනා සිය ඥාතියකු වූ ඒගොන් (පසුව ඒගොන් IV) සමග ඇති කරගත් සබඳතාව නිසා අවජාතක 'ඩේමන් බ්ලැක්ෆයර්' බිහි විය.

171 සි‍ට 172 දක්වා

විසේරිස් II රාජ්‍ය කාලය.

172 සිට 184 දක්වා

ඒ‍ගොන් IV රාජ්‍ය කාලය. 'නුසුදුසු ඒගොන්'. වෙස්ටෙරොස් ඉතිහාසයේ ඉතා නරකම රජු. සිය මරණ මංචකයේ දී තමා ගේ සියළුම අවජාතකයින් (හා ඔවුන් ගේ දරුවන් පවා) නීත්‍යනුකූල ක‍ලේ ය. ඩේමන් බ්ලැක්‍ෆයර්, ඒගර් රිවර්ස්, බ්‍රින්ඩන් රිවර්ස් හා ශීරා සීස්ටාර් මේ අතර වෙති.

184 සිට 209 දක්වා

ඩේරන් II රාජ්‍ය කාලය. ඒගොන් II ගේ පුතා වුවද සිය මව හා මකර නයිට්වර ඒමන් කුමරා අතර තිබුනු සමීප සම්බන්ධය නිසා මොහු ‍ගේ නීත්‍යනුකූල බව ගැන ප්‍රශ්න කෙරින.

195 සිට 196 දක්වා

බ්ලැක්ෆයර් කැරැල්ල. රාජධානියේ දෙවන සිවිල් යුද්ධය. ඩේරන් II ගේ නීත්‍යනුකූල බව ප්‍රශ්න කල ඩේමන් බ්ලැක්ෆයර් තමාට පක්ෂපාතී වංශාධිපතියන් රැසක් සමග එක්ව කැරැල්ලක් ඇරඹි ය. සිය බලසේනා කින්ග්ස් ලෑන්ඩින්ග් දෙසට මෙහෙය වූ නමුත් 'රතුතණ පිටියේ යුද්ධයෙන්' පරාද විය. ඔහු මියගිය නමුත් ඔහු ‍ගේ පුතුන් කිහිප දෙනෙක් නිදහස් නගරවලට පලා යන්නට සමත් වූහ.

197

ඩෝර්න් රාජධානි සප්තකයට එක් වීම. ඩේරන් II ගේ නැගනිය ඩනේරිස්, මාරන් මාර්ටෙල් හා විවාහ වීම මගින් ඩෝර්න් නිල වශයෙන් යකඩ සිහසුනට අවනත විය.

209 සිට 221 දක්වා

ඒරිස් I රාජ්‍ය කාලය. සිහසුනට උරුමකරු වූ බේලන් ටාර්ගේරියන්, තරගාවලියක් අතරතුර සිදු වූ අනතුරකින් මිය ගියා බැවින් ඩේරන් II ගේ දෙවෙනි පුතා ඒරිස් රජකමට පත් විය.

212

දෙවෙනි බ්ලැක්ෆයර් කැරැල්ල.

221 සිට 233 දක්වා

මේකර් I රාජ්‍ය කාලය. ඔහු ගේ රාජ්‍ය කාලය තුළ දී සිය වැඩිමල් පුතුන් දෙදෙනා ඩේරන් හා ඒරියන් දෙ‍දෙනා මියගිය අතර තෙවන පුත් ඒමන් මේස්ටර්වරයකු බවට පත් විය. සටනක දී මේකර් රජු මියගිය අතර ඒමන් රජකම ප්‍රතික්‍ෂේප කලේ ය. එනිසා ඔහු ගේ සිවුවන පුත් ඒගන්, ඒගන් V නමින් කිරුළු පැළඳී ය.

226

වනචාරීන් ගේ නැගීසිටීම. ප්‍රාකාරයට එපිටින් වූ රජු රේමන් රෙඩ්බියර්ඩ් යටතේ එක් රැස් වූ වනචාරී සේනා ප්‍රාකාරයෙන් මෙපිටට පැන උතුර ආක්‍රමණය කලහ. නමුත් විලම් ස්ටාර්ක් යටතේ වූ උතුරු ‍සේනාවක් විසින් 'දිගු විල අසබඩ සටනින්' මොවුන් පැරදවී ය.

259

සමර්හෝල් හි ශෝකාන්තය. ඒගොන් V හා ඔහු ගේ උරුමක්කරු ඩන්කන් කුමරු අනතුරකින් මිය යෑම.

259 සිට 262 දක්වා

ජහරිස් II රාජ්‍ය කාලය.

259-261 පමණ

පැන්ස නව‍යේ රජුන් ගේ යුද්ධය. මේලිස් බ්ලැක්‍ෆයර් ප්‍රමුඛ නවදෙනාගේ කණ්ඩායම ටයිරොෂ් නිදහස් වෙළෙඳ නගරය හා ස්ටෙප්ස්ටෝන් යටත් කර ගැනෙති. රාජධානි සප්තකයට එරෙහිව සිදුකරන යුද්ධයේ දී බැරිස්ටාන් සෙල්මි විසින් මේලිස් මරා දැමීය. බ්‍රින්ඩන් ටලී යුද්ධයෙන් වර්ණ දිනයි.

262 සිට 283 දක්වා

ඒරිස් II ගේ රාජ්‍ය කාලය. පිස්සු රජා. ඔහු ගේ හස්තය වන්නේ තරුණ ක්‍රෑර ටයිවින් ලැනිස්ටර් ය.

276 (හෝ 277)

විවාහ ප්‍රතික්ෂේපය. ටයිවින් ලැනිස්ටර් සිය දියණිය ‍සෙර්සි රේගාර් කුමරුට විවාහ කරදීමට අදහස් කලද ඒරිස් එය ප්‍රතික්ෂේප කරයි. රේගාර් ඩෝර්න් හි ඊලියා මාර්ටෙල් කුමරිය හා විවාහ වෙයි.

276 පමණ

ඩස්කන්ඩේල් හි විරෝධය. ඩාර්ක්ලින් වංශය යකඩ සිහසුනට බදු ගෙවීම ප්‍රතික්‍ෂේප කරයි. මෙය තමා විසින්ම විසඳීමට සිතා ඩස්කන්ඩේල් වලට යන ඒරිස් එහි සිරකරුවකු බවට පත්වෙයි. මාස හයක් තිස්සේ ඩස්කන්ඩේල් වටලනු ලබන අතර අන්තිමේදී බැරිස්ටාන් සෙල්මි විසින් රජුව ‍බේරා ගනු ලැබේ. ඒරිස් ගේ උම්මත්තකබව ඇති වූයේ මෙම සිදුවීමෙන් පසු බැව් කියැවේ.

රොබර්ට් ගේ කැරැල්ල -------------------------------------------------------


281

බොරු වසන්තයේ වසර. වෙන්ට් උතුමානන් විසින් හැරන්හෝල් හි දැවැන්ත තරගාවලියක් සංවිධානය කරනු ලැබේ. රේගාර් කුමරුද එම තරගාවලියට සහභාගි වී ජයග්‍රහණය කරයි. එනමුදු 'ආලයේ හා සුන්දරත්වයේ රැජිණ' වශයෙන් ඔහු නම් කරන්නේ සිය බිරිඳ වන ඊලියා නොව රොබර්ට් බරතියන් විවාහ ගිවිසගෙන සිටින ලියානා ස්ටාර්ක් ව ය.

රජවනයේ සහෝදරත්වය. මෙනමින් යුතු අපරාධකරුවන් පිරිසක් ආතර් ඩේන් ප්‍රමුඛ රාජපාක්ෂික සේනාවක් විසින් මැඩලෙති. මේ සටන අතරතුරේ දී පෙන්වන දස්කම් නිසා තරුණ සහචරයකු වන ජේමි ලැනිස්ටර් නයිට් පදවියට උසස් කෙරේ. ඔහු පසුව රාජ්‍යාරක්ෂක බලකායට බැ‍ඳෙන අතර එයින් කුපිත වන ටයිවින් ලැනිස්ටර් රජු ගේ හස්තය තනතුරෙන් ඉල්ලා අස් වී නැවත කාර්ස්ටලී රොක් බලා යයි‍.

282 සිට 283 දක්වා

රොබර්ට් ගේ කැරැල්ල. රේගාර් ටාර්ගේරියන් විසින් ලියානා ස්ටාර්ක්ව පැහැර ගනු ලැබේ. ඇගේ පියා හා වැඩිමල් සොයුරා යුක්තිය ඉටුකරන මෙන් ඒරිස් රජුගෙන් ඉල්ලන නමුදු පිස්සු රජා ඔවුන් දෙදෙනාව මරා දමයි. ඉන්පසු ඒරිස් විසින් ජොන් ඒරින් ගේ ආරක්ෂාව යටතේ පසුවන රොබර්ට් බරතියන් හා එඩාර්ඩ් ස්ටාර්ක් ගේ හිස් දෙක ඉල්ලනු ලැබේ. එහෙත් ඊට අවනත නොවන ඒරින් වංශය, ස්ටාර්ක් වංශය හා බරතියන් වංශය රජුට විරුද්ධව කැරැල්ලක් අරඹති. සිය අතීත මී-මුත්තකු වන ඒගොන් V අනුව යමින් තමාටද රජ කමට උරුමයක් ඇති බව රොබර්ට් ප්‍රකාශ කරයි.

හස්ටර් ටලී උතුමානන් ද කැරැල්ලට එක්වෙයි. ටිරල්වරුන් රාජපාක්ෂිකව සිටින අතර ඔවුහු රොබර්ට් ගේ සොයුරු ස්ටැනිස් පාලනය උසුලන ස්ටෝර්ම්ස් එන්ඩ් වටලති. රජු ගේ හස්තය ජොන් කොනින්ග්ටන් 'ඝණ්ටා සටනින්' පරාජය ලබයි. රජු ඔහුව නිදහස් නගර වෙත පිටුවහල් කරයි. ත්‍රිශූලය අසල සටනින් කැරැලිකාර හමුදා ජය ලබති. රේගාර් කුමරා රොබර්ට් අතින් මිය යයි. ඒරිස් රජු සිය ශරීරාක්ෂකයා වන ජේමි ලැනිස්ටර් අතින් මිය යයි. ලැනිස්ටර් හමුදා කින්ග්ස් ලෑන්ඩින්ග් මංකොල්ල කති. ඊලියා මාර්ටෙල් කුමරිය හා ඇගේ දරුවන් වන ඒගොන් හා රේනිස් ටාර්ගේරියන් අමු අමුවේ මරා දැමෙති‍. මේ නිසා එඩාර්ඩ් හා රොබර්ට් අතර මත ගැටුමක් ඇති වේ.

ලියානාව සිරකාරියක් වශයෙන් තබා තිබෙන 'ප්‍රීතියේ බලකොටුවට' කඩා වදින එඩාර්ඩ් ස්ටාර්ක් හා හොව්ලන්ඩ් රීඩ් එහි ආරක්ෂාවට තබා තිබෙන රාජ්‍යාරක්ෂක නයිට්වරුන් මරා ලියානා නිදහස් කරගනිති. එනමුදු ඇය සිටින්නේ මිය යමිනි.

රොබර්ට් රාජධානි සප්තකයේ රජු වෙයි. ඔහු සෙර්සි ලැනිස්ටර්ව විවාහ කරගනියි. එඩාර්ඩ් සිය අවජාතක පුතනුවන් හා නැවත වින්ටර්ෆෙල් බලා පිටත්වෙයි. ටාර්ගේරියන් පාක්ෂිකයින් විසින් ඒරිස් ‍ගේ බාල දරු දෙදෙනා විසේරිස් හා ඩනේරිස් හොර රහසේ නිදහස් නගර වෙත පිටත් කර හරිනු ලැබේ.

රොබර්ට් ගේ රාජ්‍ය සමය ----------------------------------------------------


289

ග්‍රේජෝයි කැරැල්ල. බේලන් ග්‍රේජෝයි යකඩ දූපත් වල රජු වශයෙන් නැගී සිටියි. ඔහුව පරදවන අතර ඔහු ගේ වැඩිමහල් පුතුන් දෙ‍දෙනා මිය යයි. රොබර්ට් රජු ඔහු ‍ගේ යටත් වීම පිළිගනියි. එඩාර්ඩ් ඔහු ගේ බාල පුත් තියන් ග්‍රේජෝයි සිය ආරක්ෂාව යටතට හා ප්‍රාණ ඇපකරුවකු බවට පත්කරයි.

297

පෙන්ටොස් හි මැජිස්ටර් ඉල්ලීරියෝ මොපාටිස්, විසේරිස් හා ඩනේරිස් ටාර්ගේරියන්ට සිය මන්දිරයේ වාසය කිරීමට ආරාධනා කරයි. රාජධානිය නැවත ලබාගැනීමට සිය උදවු ලබා‍දෙන බවට ඔහු පොරොන්දු වෙයි.

298

ගිනිසිසිලක ගීතය අන්දරය ඇරඹෙයි. වසර දහස් ගණනක නිහැඬියාවකට පසු නැවත මතුවන අනික් එවුන් නිශා රැකුමේ සෙබළුන්ට හා වනචාරීන් පිරිසකට පහර දෙති. 

දස වසරක ගිම්හානයකට පසු ශීත කාලය කෙමෙන් කෙමෙන් වෙස්ටෙරොස් වෙත එළඹෙයි.