කැට්ලින් කිසිමදාක වින්ටර්ෆෙල් හි දෙව්වනය ප්‍රිය නොකලාය.
ඇය ඉපදුනේ ඈත දකුණේ, ගංගා ත්‍රිශූලයේ රතු ගංගාව අබියස පිහිටි, රිවර්රන් හි ටලී වරුන් අතරේය. ඔවුන්ට අයත් දෙව්වනය හිරුඑළියෙන් පිරුණු, මනා වාතාශ්‍රය ඇති උද්‍යානයක් විය. එහි උසැති රෙඩ්වුඩ් ගස් අතරේ කුඩා දිය පහරවල් කිංකිනි සරින් ගලා ගියේය. වාතය මල් සුවඳින් හා අතුපතර සැඟවී ගී ගයන සියොතුන්ගේ මිහිරි සරින් පිරී ගියේය.
නමුදු වින්ටර්ෆෙල් හි දෙව්වනය ඊට හාත්පසින්ම වෙනස්, අඳුරු, ආදිකල්පික අක්කර තුනක් පමණ වූ භූමියක් විය. මාලිගා බලකොටුව ඉදිකරද්දී නොකපා ඉතිරි කරන ලද, අවුරුදු දසදහසකටත් වඩා පැරණි වනාන්තරයේම කොටසක් වූ එහි දැනුනු එකම සුවඳ වූයේ තෙත් පසේ හා දිරාපත්වන කොළ රොඩු වල සුවඳ පමණි. එහි කිසිදු විටෙකත් රෙඩ්වුඩ් වැවුනේ ද නැති අතර ඒ තැන් අරක් ගෙන තිබුනේ ඉඳිකටු වැනි පත්‍රයෙන් සන්නද්ධ වූ මුරකරු වෘක්ෂ සහ රාජධානිය තරමටම පැරණි යැයි සිතිය හැකි දැවැන්ත ඕක් හා අයන්වුඩ් ගස් ය. දැවැන්ත ගස් කඳන් එකිනෙකට ඉතා කිට්ටුවෙන් අහස උසට නැගුනු අතර එකිනෙක බැඳුනු තුරු වියන නිසා හිරුඑළිය බිමට වැටුනේද නැති තරමි. ගැඹුරු නිශ්ශබ්දතාවයෙන් පිරුණු තැනක් වූ මෙහි වැඩ වාසය කල දෙවියන් ද නිර්නාමික අයවලුන් විය.
එනමුදු අද රෑ සිය සැමියා සොයාගත හැකි එකම තැන මේ දෙව්වනය බව කැට්ලින් දැන සිටියාය. මිනිසකුගේ දිවි තොර කල සෑම විටකම මෙම දෙව්වනයේ නිහඬතාව මැද්දේ කාලය ගතකරන්නට ඔහු පුරුදුව සිටියේය.
කැට්ලින් වනාහී රිවර්රන් හි සප්තක දේවස්ථානයේ දී සප්තාලේපනයෙන් අභිෂේක ලද්දියක් වූවාය. ඇගේ පියා ද, පියා ගේ පියා ද, ඔහු ගේ පියා ද මෙන් ඇය ද ඇදහූයේ සත්‍ය ලබ්ධියයි. ඇයගේ දෙවියන්ට නම් තිබුනු අතර ඔවුන් ගේ මුහුණු ඇගේ දෙමවුපියන් ගේ මුහුණු තරමටම ඇයට හුරුපුරුදු ඒවා විය. ඇයට අනුවනම් දෙවියන් යැදීම යනු දුම්කබලක් අතකින් ගත් පූජකයා ද, දවන ලද සුවඳ ද්‍රව්‍යයන්හි සුවඳ ද, ආලෝකමත් සප්තාශ්‍රාකාර පළිඟුව ද, ගීතිකාවන්ගෙන් නැගෙන හඬ ද යන සියල්ලේ එකතුවකි. රාජධානියේ අනිකුත් සියළුම වංශවත් පවුල් මෙන් ටලීවරුන්ද දෙව්වනයක් පවත්වාගෙන ගියද එය හුදෙක් ඇවිදීමටත් පොත් කියවීමටත් හිරු එළියේ වැතිරී සිටීමටත් පමණක් භාවිත කෙරුනකි. දෙවියන් යැදීමට ඔවුන් භාවිත කලේ සප්තක දේවස්ථානය යි.
ඇයට සිය දෙවියන්ගේ සප්තාකාරයට යැදීමට හා ගීතිකා ගැයීමට නෙඩ් විසින් කුඩා සප්තකයක් තනවා දී තිබින. එනමුදු ස්ටාර්ක්වරුන්ගේ නහර තුළ තවමත් ගලා ගියේ මුල් මිනිසුන් ගේ රුධිරය ය, ඔවුන් තවමත් වැඳුම් පිදුම් කලේ පුරාණ දෙවි දේවතාවන්ට ය, කාලයේ වැලි තලාවෙන් අතුරුදන් වූ වනාන්තරයේ දරුවන් ගේ නමක් හෝ මුහුණක් හෝ නොමැති දෙවියන්ට ය.
දෙව්වනය මධ්‍යයේ අඳුරු හා සීතල වතුරින් පිරි කුඩා පොකුණක් අසබඩ පෞරාණික වයර්වුඩ් වෘක්ෂයක් විය. නෙඩ් මෙය හැඳින්වූයේ 'හදවෘක්ෂය' යනුවෙනි. වයර්වුඩ් වෘක්ෂයේ පොත්ත ඇටකටුවක් මෙන් සුදු පැහැ වූ අතර එහි කොළ තද රතු පැහැයෙන් යුක්ත විය. ගස් කඳේ කොටා තිබුනු මුහුණ උකටලී පෙනුමකින් යුක්ත විය. එහි වියළී ගිය යුෂයෙන් පිරුනු ගැඹුරු රතු පැහැ දෑස් හරියටම විමසිල්ලෙන් ඔබ දෙස බලා සිටිනවා වැන්න. මේ දෑස් වින්ටර්ෆෙල් මාලිගයටත් වඩා පෞරාණික විය. ප්‍රවාදවලට අනුව නම් මාලිගය ගොඩ නැංවීමට මුල් ගල තබන ලද්දේ මේ දෑස් ඉදිරියේ ය. මේ මාලිගයේ ශෛලමය බිත්ති ඉහළට බැඳුනේ මේ දෑස් ඉදිරියේ ය. ප්‍රවාදවලට අනුව නම් වනාන්තරයේ දරුවන් විසින් ගස් වල මේ මුහුණු කැටයම් කරන ලද්දේ මුල්ම සියවස්වල එනම් මුල් මිනිසුන් පටු මුහුදෙන් එතෙර වී මෙහි එන්නටත් පළමුවය.
දකුණුකරයේ නම් අවසාන වයර්වුඩ් ගස් කපා බිම හෙලුවේ හෝ පුළුස්සා දමන ලද්දේ හෝ මෙයට වසර දහසකටත් පෙර නමුදු මේ උතුරුකරයේ තත්ත්වය හාත්පසින්ම වෙනස් එකක් විය. සෑම බලකොටුවකම, මාලිගයකම ඊටම වෙන්වූ දෙව්වනයක් විය. මේ දෙව්වනය මධ්‍යයේ හදවෘක්ෂයක් හා ඒ හදවෘක්ෂයේ කැටයම් කෙරුනු මුහුණක් විය.
කැට්ලින්ට සිය සැමියා හමුවෙද්දී ඔහු හදවෘක්ෂය පාමුල පෙඳපාසියෙන් ගැවසීගත් ගලක් මත වාඩිවී සිටියේ ය. අයිස් නම් වූ දිගු අසිපත ඔහුගේ උකුල මත තිබුනු අතර ඔහු පොකුණේ කාලවර්ණ ජලයෙන් එහි තලය පිරිසිදු කරමින් සිටියේ ය. "නෙඩ්." ඇය මෘදු ස්වරයෙන් ඔහු ඇමතීය.
ඔහු හිස ඔසවා ඈ දෙස බැලීය. "කැට්ලින්. කෝ ළමයි?"
"කුස්සියේ. වෘක පැටවුන්ට දාන නම් ගැන වාද කර කර ඉන්නවා." සිය සළුව බිම ඇතිරූ ඇය පොකුණ අසබඩ වයර්වුඩ් ගසට පිට දී හිඳගත්තා ය. "ආර්යා දැනටමත් උන්ට ආදරේ කරන්ට පටන් අරන්. සන්සා වශී වෙලා වගේ. රිකන් තමා තාමත් දෙගිඩියාවෙන් වගේ ඉන්නෙ."
"එයා බයෙන්ද?"
"චුට්ටක්. එයාට තාම වයස තුනයි නෙ."
නෙඩ් දෙබැම ඇකිළුවේය. "එයා ඉගෙනගන්ට ඕන බයට මුහුණ දෙන්ට. එයා හැමදාමත් අවුරුදු තුනේ රැඳිලා ඉන්නෙ නෑ. ශීත කාලෙ එනවා."
"ඔවු." කැට්ලින් එකඟ විය. හැමදාමත් පුරුදු පරිදි ඒ වචන ඇගේ සිරුර සීතලෙන් ගල් කරවීමට සමත් විය. 'ශීත කාලය එනවා' යනු ස්ටාර්ක් වරුන්ගේ ආදර්ශ පාඨයයි.
"මිනිහා නිර්භීත විදියට මැරුනා. ඒක කියන්ට ඕන." තෙල් තැවරූ සම් කැබැල්ලක් අතට ගත් නෙඩ් අසිපත් තලය සෙමින් පිරිමදිමින් ඔප දමන්නට විය. "එතන බ්‍රැනුත් හිටිය නිසා මට ඒක එහෙම වුන එක ගැන සන්තෝසයි. ඔයා බ්‍රැන් ගැන ආඩම්බර වෙන්ට ඕන."
"මං හැමදාමත් බ්‍රැන් ගැන ආඩම්බරයි." කැට්ලින් පිළිතුරු දුන්නේ ඔහු අසිපත පිරිමදින ආකාරය නරඹමිනි. කැට්ලින් අසිපත්වලට ආලය නොකලත් අයිස් යනු එයටම විශේෂිත සුන්දරත්වයකින් හෙබි අසිපතක් බැව් ඇයද පිළිගනියි. එය විනාශයට පෙර වැලීරියාවේ - කම්මල් කරුවන් මිටිය හා කිණිහිරය පමණක් නොව වශීකරණය හා මන්ත්‍ර ශාස්ත්‍රය ද යොදාගනිම්න් සිය ආයුධ වාත්තු කරන ලද කාලයේ - තනන ලද්දකි. වසර හාර සියයක් පැරණි මුත් එය අදටත් එදා මෙන්ම තියුණු බවකින් යුක්ත ය. එය දරන නාමය - අයිස් - ඊටත් වඩා පැරණි, ස්ටාර්ක්වරුන් උතුරේ රජවරුන් ව සිටි වීරයන් ගේ කාලයේ සිට පැවතෙන පුරාවෘත්තයකි.
"මේ අවුරුද්දේ පැනලා යන්ට ගිහින් අහුවුන හතර වෙනියා මේ. ඒ මිනිහා බාගෙට පිස්සු වැටිලා වගෙයි හිටියෙ. මොකක් හරි දෙයක් නිසා මිනිහා හොඳටම බය වෙලා තියෙනවා. මං කිවුව කිසිම දෙයක් මිනිහට දැනුනෙවත් නෑ." ඔහු සුසුමක් හෙලී ය. "බෙන් ලියලා එවලා තියෙනවා නිශා රැක්මේ බලය දැන් මිනිස්සු දාහකටත් වඩා අඩු වෙලා තියෙනවා කියලා. පැනලා යන එවුන් විතරක් නෙවෙයි. මුර සංචාර නිසාත් මිනිස්සු නැති වෙනවා."
"වනචාරීන් ද?" ඇය ඇසීය.
"වෙන මොක්කුද?" අසිපත එසවූ නෙඩ් එහි දිගු තලය දෙස බැලීය. "තත්ත්වෙ එන්න එන්නම දරුණු වෙනවා. ළඟදිම දවසක් එනවා, එදාට මට යටත් රදළයො එක්කහු කරන් උතුරට ගිහිල්ලා ප්‍රාකාරෙන් එහා රජ්ජුරුවොත් එක්ක හැප්පෙනවා ඇර වෙන විකල්පක් ඉතුරු වෙන්නෙ නෑ."
"ප්‍රාකාරෙන් එහා පැත්තට?" මේ සිතුවිල්ල නිසා කැට්ලින් වෙවුලන්නට විය.
ඇගේ මුහුණේ පිළිබිඹු වූ භීතිය නෙඩ් දිටී ය. "මැන්ස් රේඩර් කියන්නෙ අපි එච්චර බයවෙන්ට ඕන දෙයක් නෙවෙයි."
"ඊට වඩා භයානක දේවල් ප්‍රාකාරෙන් එහා තියෙනවා."
ඔහු මෘදු සිනහවක් පෑවේය. "ඔයා නාකි ආයම්මගෙ කතාවලට ඕනවටත් වඩා ඇහුම්කණ් දෙනවා. අනික් එවුනුත් වනාන්තරයේ දරුවො වගේම අවුරුදු අටදාහකට එහා නැති වෙලා ගියා. මේස්ටර් ලුවින්ගෙන් ඇහුවොත් කියයි එහෙම එවුන් කවදාවත් හිටියෙ නෑ කියලා. කිසිම මිනිහෙක් කවදාවත් එහෙම එකෙක් දැකලා නෑ."
"අද උදේ වෙනකං කිසිම මිනිහෙක් ඝෝරවෘකයෙක් දැකලා තිබ්බෙත් නෑ." කැට්ලින් ඔහුට සිහිපත් කර දුන්නා ය.
"ටලී කෙනෙක් එක්ක වාද කරන එකේ තේරුමක් නෑ කියලා මං දන්නවා." ඔහු අයිස් නැවත එහි කොපුවේ ලෑවේ ය. "ඔයා මෙතනට ආවෙ මට ඔය පුංචි එවුන්ගෙ කතා කියන්ට නෙවෙයි. ඔයා මෙතනට කැමැති නෑ කියලා මං දන්නවා. මොකක්ද ඔයාගෙ හිතේ තියෙන්නෙ?"
කැට්ලින් ඇගේ සැමියාගේ අත අල්ලාගත්තා ය. "අද හරිම කණගාටුදායක පනිවුඩයක් ලැබුනා මගෙ උතුමානෙනි. ඔයා පිරිසිදු වෙනකං ඔයාට කරදර කරන්ට මට ඕන වුනේ නෑ. මට බොහොම කණගාටුයි මගෙ වස්තුවෙ. ජොන් ඒරින් මැරිලා."
Catelyn Stark: “There are darker things beyond the Wall.”