කේන් හා ටොමාර්ඩ් විසින් පාලමෙන් එතෙර වීම පිණිස නෙඩ්ට උදවු කරමින් සිටින අතරේ මේගර් ගේ බලකොටුව තුළින් රෙන්ලි උතුමානන් මතුවිය. "එඩාර්ඩ් උතුමානනි." ඔහු කෑගැසීය. "ඔබතුමා අමනාපයක් නැත්තම් පොඩි මොහොතක් දෙන්ට පුළුවන්ද?"
නෙඩ් නැවතුනි. "ඔබේ කැමැත්තක්."
රෙන්ලි ඔහු සමීපයට ළඟා විය. "ඔබේ මිනිස්සු අහකට යවන්ට." ඔවුන් දෙදෙන වියළි අගලට ඉහළින් වූ පාලම මධ්‍යයේදී සම්මුඛ වූහ. අගල පතුලෙහි වූ යවුල් මතට සඳඑළිය වැටී රිදී පැහැයෙන් දිලිසුනි.
නෙඩ් අත ඔසවා සන් කල අතර ටොම් හා කේන් හිස නමා ගරුසරු ඇතුව පසුපසට ඇදුනෝය. රෙන්ලි උතුමානන් පාලමේ ඈත කෙලවරේ සිටි සෙර් බොරෝස් දෙසත් ඔවුන්ට පිටුපසින් වූ දොර අභිමුව සිටි සෙර් ප්‍රෙස්ටන් දෙසත් පරීක්ෂාකාරී බැලුම් හෙලීය. "අර ලියුම." ඔහු තවත් ලංවිය. "ඒක උපරාජ පදවිය ගැනද? මගේ අයියා ඔබව රාජධානියේ ආරක්ෂකයා කියලා නම් කලාද?" ඔහු පිළිතුරක් ලැබෙන තෙක් පමා නොවීය. "මගේ උතුමානනි. මගේ පෞද්ගලික ආරක්ෂක බලකායෙ සෙබළු තිහක් ඉන්නවා. ඒත් එක්කම තවත් වංශාධිපතියො, නයිට්වරු, යාළුවො ගොඩක් ඉන්නවා. මට පැයක් දෙන්ට. මම ඔබතුමාට කඩු සීයක් හොයලා දෙන්නම්."
"ඉතින්, කඩු සීයකින් මම මොකක්ද කරන්ට ඕන මගේ උතුමානනි?"
"පහරදෙන්ට! දැන්මම! බලකොටුව නිදාඉන්න වෙලාවෙ." නැවත වතාවක් හිස හරවා සෙර් බොරෝස් දෙස බැලූ රෙන්ලි සිය කටහඬ කෙඳිරුමක් තරමට පහත්කලේය. "අපි ජොෆ්රිව එයාගෙ අම්මගෙන් ඈත්කරලා අපේ අතට ගන්ට ඕන. උපරාජයා හරි මොකෙක් හරි රජතුමාව තමා ළඟ ඉන්න කෙනාට තමා මේ රාජධානිය පාලනය කරන්ට පුළුවන් වෙන්නෙ. අපි මර්සෙලාවයි ටමෙන්වයි අල්ලගන්ටත් ඕන. අපි එයාගෙ ළමයි ටික අල්ලගත්තට පස්සෙ සෙර්සි අපට විරුද්ධ වෙන්ට තරම් නිර්භීත වෙන එකක් නෑ. එතකොට රාජසභාව ඔබව උපරාජයා විදියට අභිෂේක කරලා ජොෆ්රිව ඔබේ බාරයට පත්කරයි."
නෙඩ් ඔහු දෙස නොපහන් බැල්මක් හෙලුවේය. "රොබර්ට් තාම මැරිලා නෑ. දෙයියො සමහරවිට එයාව නොමරා ඉතුරු කරයි. එහෙම නොවුනොත්, මම රාජසභාව කැඳවලා, එයාගෙ අන්තිම කැමැත්ත මොකක්ද කියලා එයාලට නිවේදනය කරලා, රාජකාරිය හරිහැටි බාරගන්නම්. එහෙම නැතුව එයාගෙ ජීවිතේ මේ අන්තිම පැය කීපය එයාගෙ මාලිගාවෙ ලේ හොල්ලලා, බයවෙච්ච දරුවො ඇඳන්වලින් ඇදන් ඇවිල්ලා බොහොම අගෞරවනීය තත්ත්වෙකට පත්කරන්ට මට ඕනකමක් නෑ."
රෙන්ලි උතුමානන් දුනුදියක් මෙන් ඇදී අඩියක් පස්සට තැබීය. "ඔබ ප්‍රමාද කරන හැම මොහොතක් ගානෙම සෙර්සිට සූදාණම් වෙන්ට තවත් අවස්ථාව ලැබෙනවා. රොබර්ට් මැරෙන වෙලාව වෙනකොට පරක්කු වැඩිවෙන්ට පුළුවන්... අපි දෙන්නටම."
"එහෙමනම් අපි යාඥා කරමු රොබර්ට් නොමැරෙන්ටයි කියලා."
"ඒකට බොහොම පොඩි ඉඩක් තමා තියෙන්නෙ."
"සමහරවෙලාවට දෙයියො බොහොම අනුකම්පාසහගතයි."
"ඒ වුනාට ලැනිස්ටර්ලා එහෙම නෙවෙයි." ආපසු හැරුනු රෙන්ලි උතුමානන් අගල හරහා ගොස් සිය සොහොයුරා මරණාසන්නව වැතිර සිටින බලකොටුවට ඇතුළුවිය."
නෙඩ් නැවත සිය නවාතැන වෙත පැමිණෙන විට ඔහු වෙහෙසින් හා දුකින් පරිපීඩිතව සිටියේය. එනමුදු දැන් නැවත නින්දට යාමක් ගැන සිතන්නටවත් නොහැකි විය. 'ඔබ සිහසුන් ක්‍රීඩාව කරනවිට එක්කෝ ඔබ දිනන්නේය. නැතිනම් ඔබ මැරෙන්නේය.' සෙර්සි ලැනිස්ටර් දෙව්වනයේදී ඔහුට පවසා තිබුනි. රෙන්ලි උතුමානන් ගේ සහය ප්‍රතික්ෂේප කිරීමෙන් තමා කලේ නිවැරැදි දෙයක් දැයි ඔහු කල්පනා කරන්නට විය. මෙවැනි කුමන්ත්‍රණ සම්බන්ධයෙන් ඔහු තුළ කිසිදු කැමැත්තක් නොවීය. එමෙන්ම දරුවන් ප්‍රාණ ඇපයට ගැනීමේ කිසිදු ගෞරවනීය බවක් ද නොවීය. එනමුදු... සෙර්සි පලායාම වෙනුවට නැවතී සටන්කිරීම තෝරාගතහොත්, ඔහුට රෙන්ලි ගේ අසිපත් සියය උවමනා වනු ඇත. ඊටත් වඩා අසිපත් උවමනා වන ඇත.
"මට ඕන සුළැඟිල්ලා." ඔහු කේන්ට කීවේය. "එයා එයාගෙ නවාතැනේ හිටියෙ නැත්තම් උඹට ඕන තරමක් මිනිස්සු අරන් ගිහින් කින්ග්ස් ලෑන්ඩින්ග්වල තියෙන හැම තැබෑරුමක්ම, හැම ගනිකා මඩමක්ම පෙරලලා බලලා හරි මිනිහව හොයාගනින්. හෙට එළිවෙන්ට කලින් එයාව මෙතැනට අරන් වරෙන්." හිස නැමූ කේන් පිටව ගියේය. නෙඩ් ටොමාර්ඩ් දෙසට හැරුනේය. "වින්ඩ් විච් හෙට හැන්දෑවෙ පිටත්වෙනවා. උඹ කණ්ඩායම තෝරගත්තද?"
"මිනිස්සු දහයක් තෝරගත්තා. පෝතර් අණදෙන නිළධාරියා."
"විස්සක් ගනින්. උඹයි අණදෙන නිළධාරියා." පෝතර් නිර්භීත මිනිසකු විය. එනමුදු ඔහු මුරණ්ඩු හිතුවක්කාරයකු විය. සිය දියණියන් දෙදෙන රැක බලාගැනීම සඳහා ඊට වඩා ස්ථිර, සිහිනුවණ ඇති අයකු නෙඩ්ට උවමනා විය.
"ඔබතුමාගෙ කැමැත්තක් මයෙ උතුමානනි. අවංකවම කියනවා නං මෙතැන දාලා යන්ට වෙන එක ගැන මට කිසිම දුකක් නෑ. මට ගෑනි නැතුව පාළුයි."
"උඹලා උතුරට යද්දි ඩ්‍රැගන්ස්ටෝන් පහුකරගෙනයි යන්නෙ. උඹ මා වෙනුවෙන් ලියුමක් බාරදෙන්ට ඕන."
ටොම් ගේ මුහුණේ බියමුසු බවක් ඇඳී ගියේය. "ඩ්‍රැගන්ස්ටෝන්වලට මයෙ උතුමානනි?" ටාර්ගේරියන්වරුන් ගේ පුරාණ බලකොටුව වූ මේ දිවයින අශුභ ස්ථානයක් වශයෙන් නමක් දිනා සිටියේය.
කපිතාන් ක්වොස්ට කියාපන්, දූපත පේන මානෙට ආපු ගමන් මගේ කොඩිය උස්සන්ටයි කියලා. මොකද එයාලා සමහරවිට අනවශ්‍ය අමුත්තො ගැන ටිකක් සැකෙන් බලන්ට පුළුවන්. කපිතාන් එතැනට යන්ට පසුබට වුනොත් හරි අකැමැත්තක් පෙන්නුවොත් හරි එයා ඉල්ලන දෙයක් දීපන්. මම උඹට ලියුමක් දෙනවා. උඹ ඒක ගිහින් දෙන්ට ඕන ස්ටැනිස් බරතියන් උතුමානන්ට. වෙන කාටවත් නෙවෙයි. එයාගෙ නිවාස බාරකාරයාට නෙවෙයි. එයාගෙ ආරක්ෂක බලකායෙ අණදෙන නිළධාරියාට නෙවෙයි. එයාගෙ ආර්යාවට නෙවෙයි. ස්ටැනිස් උතුමානන් අතටම දෙන්ට ඕන."
"ඔබතුමා කියන විදියක් මයෙ උතුමානනි."
ටොමාර්ඩ් පිටව ගිය පසු එඩාර්ඩ් ස්ටාර්ක් තමා පසෙකින් මේසය මත ඇති ඉටිපන්දමේ දැල්ල දෙස බලාගත්වනම නිසොල්මනේ සිටියේය. එක් මොහොතකට ඔහුගේ දුක වාවාගත නොහැකි තරම් බලවත් විය. ඔහුට ඒ මොහොතේ අන් කිසිවකටත් වඩා දෙව්වනයට ගොස්, හදවෘක්ෂය ඉදිරිපිට දණින් වැටී රොබර්ට් බරතියන් වෙනුවෙන් යාඥා කරන්නට උවමනා විය. රොබර්ට් ඔහුට සහෝදරයෙකුටත් වඩා ලංවූ තැනැත්තෙකු විය. එඩාර්ඩ් ස්ටාර්ක් විසින් සිය රජතුමා ගේ මිත්‍රත්වය බිඳ දමා ඔහුගේ දරුවන් ගේ උරුමය උදුරාගත්තායැයි සමහරවිට පසුකාලයකදී මිනිසුන් විසින් රහස් කොඳුරනු ඇත. දෙවියන් ඊට වඩා හොඳින් තමාව තේරුම් ගනු ඇතැයි ඔහු ප්‍රාර්ථනා කලේය. එමෙන්ම මරණින් මතු ජීවිතයේදී රොබර්ට් විසින් සත්‍යය අවබෝධ කරගනු ඇතැයි ඔහු බලාපොරාත්තු විය. නෙඩ් රජතුමා ගේ අවසන් ලිපිය එළියට ගත්තේය. රන්වන් ඉටියෙන් මුද්‍රා තැබූ සිනිඳු සුදු පැහැ කඩදාසි රෝලක්. වචන කිහිපයක් හා ලේ පැල්ලමක්. ජයග්‍රහණය හා පරාජය අතර පරතරය කෙතරම් කුඩාද. ජීවිතය හා මරණය අතර පරතරය කෙතරම් කුඩාද.
අලුත් කඩදාසියක් ඇදගත් ඔහු පිහාටු පෑන තීන්ත කූඩුවේ බහාලුවේය. 'බරතියන් වංශයේ ස්ටැනිස් උතුමානන් වෙත ලියා දන්වන වග නම්.' ඔහු ලීවේය. 'ඔබ මෙම ලිපිය දකින මොහොත වන විට ඔබගේ සොහොයුරා, පසුගිය වසර පහළොව පුරා අපගේ රජතුමා වූ රොබර්ට් මියගොස් ඇත. රජවනයේ දඩයම් කරමින් සිටියදී ඔහු වල් ඌරකුගේ පහර කෑමට ලක්විය...'
කඩදාසිය මත වූ අකුරු ඇඹරෙමින් දඟලමින් සිටින්නාක් මෙන් පෙනුනි. ටයිවින් උතුමානන් හා සෙර් ජේමි යනු ලේසියෙන් පරාජය බාරගැනීමට සූදාණම් අයවලුන් නොවෙති. පලායාමට වඩා ඔවුහු සටන් මග තෝරාගැනීමට වැඩි ඉඩක් තිබේ. ජොන් ඒරින් ගේ මරණයෙන් පසු ස්ටැනිස් උතුමානන් වඩා පරිස්සම් සහගත වීම පුදුමයට කරුනක් නොවේ. එනමුදු මේ මොහොතේ, ලැනිස්ටර්වරුන් කින්ග්ස් ලෑන්ඩින්ග්වලට කඩා වදින්නට පෙර ඔහු සිය සම්පූර්ණ බලයද සහිතව මෙහි පැමිණීම අවශ්‍යම කරුනකි.
නෙඩ් පරිස්සමින් වචන තෝරාබේරාගෙන ලිපිය ලියා අවසන් කලේය. 'එඩාර්ඩ් ස්ටාර්ක්, වින්ටර්ෆෙල්හි අධිපති, රජතුමාගේ හස්තය හා රාජධානියේ ආරක්ෂකයා' යනුවෙන් ලිපියෙහි සිය අත්සන යෙදූ ඔහු තීන්ත පොඟවා දමා, කඩදාසිය දෙවරක් නවා, ඉටිපන්දම් දැල්ලේ ආධාරයෙන් ඉටි උණුකර ලිපියට මුද්‍රා තැබීය.
'උපරාජ පදවිය බොහෝ කෙටි එකක් වනු ඇත.' මුද්‍රාව කෙමෙන් සිසිල්වද්දී නෙඩ් කල්පනා කලේය. අලුත් රජතුමා තමාට හිතවත් නව හස්තයක් පත්කරගනු ඇත. නෙඩ්ට නැවතත් සිය නිවෙස බලා යාමට නිදහස ලැබෙනු ඇත. වින්ටර්ෆෙල් ගැන සිහිවත්ම ඔහුගේ මුහුණට පාණ්ඩු සිනාවක් නැගී ආයේය. ඔහුට නැවත වතාවක් බ්‍රැන්ගේ සිනහව අසන්නට උවමනා විය. රොබ් සමගින් දඩයමේ යාමට උවමනා විය. රිකන් සෙල්ලම් කරන දෙස බලාසිටීමට උවමනා විය. සිය ආර්යාව කැට්ලින් තුරුළු කරගෙන සිය නිදියහනේ සිහින නොදකින සුවබර නින්දක් නිදාගැනීමට උවමනා විය.
මෘදු සුදු පැහැ ඉටි උඩින් ඝෝරවෘකයාගේ ලාංඡනය තබද්දී කේන් නැවත පැමිණියේ ය. ඔහුත් සමග ඩෙස්මන්ඩ් ද සිටි අතර ඒ දෙදෙනා මැදින් සුළැඟිල්ලා පැමිණියේ ය. "මම හිතන්නෙ සතුට ප්‍රකාශ කිරීම් ටික නියම විදියට තියෙනවයි කියලා." පෙටයර් අසුනකට බර දුන්නේය.
නෙඩ් තරහෙන් රවා බැලුවේය. "රජතුමා තුවාලවෙලා වැටිලා ඉන්නවා මරණාසන්නව."
"මම දන්නවා. ඒ වගේම මම දන්නවා රජතුමා ඔබව රාජධානියේ ආරක්ෂකයා හැටියට නම්කරලා තියෙනවා කියලා."
මේසයේ පසෙක තිබුනු මුද්‍රා නොකැඩූ රජුගේ ලිපිය දෙසට නෙඩ් දෙනෙත් යැවුවේය. "ඉතින් ඔබ කොහොමද ඒක දැනගත්තෙ මගෙ උතුමානනි?"
"වාරිස් කිවුවා එහෙම දෙයක් වෙන්ට පුළුවන් කියලා. ඉතින් දැන් ඔබ ඒක ස්ථිර කලා."
කෝපය නිසා නෙඩ්ගේ මුව ඇදවී ගියේය. "වාරිසුයි උගේ පුංචි කුරුල්ලොයි යකාටම ගියාවෙ. කැට්ලින් කීවෙ ඇත්ත තමා. මේ මිනිහා මොනා හරි මායාබලයක් පාවිච්චි කරනවා. මම ඒ මිනිහව පොඩ්ඩක්වත් විශ්වාස කරන්නෙ නෑ."
"බොහොම හොඳයි. ඔබ ඉක්මනට ඉගෙනගන්නවා." සුළැඟිල්ලා ඉදිරියට නැඹුරුවිය. "ඒ වුනත් මම ඕන ඔට්ටුවක් දාන්ට ලෑස්තියි, ඔබ මේ මහ රෑ ජාමෙ මාව මෙතැනට ඇදගෙන ආවෙ වාරිස් ගැන සාකච්ඡා කරන්ට නෙවෙයි කියලා."
"නෑ." නෙඩ් පිළිගත්තේ ය. "මම දන්නවා ජොන් ඒරින්ට මැරුම්කන්ට තරම් හේතු වුන ඒ රහස මොකක්ද කියලා. රොබර්ට් එයාගෙන් පස්සෙ නියම උරුමක්කාරයෙක් ඉතුරුකරලා නෑ. ජොෆ්රියි ටමෙනුයි කියන්නෙ ජේමි ලැනිස්ටර්ගෙ අවජාතකයො. එයාගෙයි රැජිණගෙයි සම්බන්ධයෙන් උපන් අය."
සුළැඟිල්ලා ඇහිබැමක් එසැවීය. "හරිම පුදුමයි!" ඔහුගේ ස්වරයෙන් කියැවුනේ ඔහු කිසිසේත්ම පුදුමයට පත්නොවූ බවකි. "ගෑනු ළමයත්? කිසිම සැකයක් නෑ. ඒ කියන්නෙ රජතුමා මැරුනට පස්සෙ..."
"නීතිය අනුව රජකම යන්ට ඕන ස්ටැනිස් උතුමානන්ට. රොබරට්ගෙ සහෝදරයින්ගෙන් වැඩිමහලු එක්කෙනාට."
මේ ගැන සිතද්දී පෙටයර් උතුමානන් සිය එළු රැවුල පිරිමැද්දේ ය. "ඒ වගේ තමා පේන්නෙ. එහෙම නැත්තම්..."
"එහෙම නැත්තම්, මගේ උතුමානනි? එහෙම වෙන මොකුත් වෙන්ට විදියක් නෑ. ස්ටැනිස් තමා උරුමක්කාරයා. කිසිම දේකින් ඒක වෙනස් කරන්ට බෑ."
"ස්ටැනිස්ට සිංහාසනය ගන්ට බෑ ඔබෙ උදවු නැතුව. ඔබ ඥානවන්ත නම් ඔබ වගබලාගනියි ජොෆ්රි රජකරවන්ට."
නෙඩ් ඔහු දෙස දැඩි බැල්මක් හෙලීය. "ඔබ ළඟ ගෞරවය කියන දේ අංශුමාත්‍රයක්වත් නැද්ද?"
"ආහ්! ඇත්තෙන්ම. අංශුමාත්‍රයක් විතර තියෙනවා." සුළැඟිල්ලා නොසැලකිලිමත් අයුරින් පිළිවදන් දුනි. "මම කියන දේ අහන්ට. ස්ටැනිස් කියන්නෙ ඔබේ යාළුවෙක් නෙවෙයි. මගේ යාළුවෙකුත් නෙවෙයි. එයාගෙම සහෝදරයින්ටවත් එයාව දිරවන්නෙ නෑ. මේ යකා මහ යකඩ මනුස්සයෙක්. දැඩියි. සමාව දෙන්නෙ නෑ. කිසිම සැකයක් නෑ එයා අපට අලුත් හස්තයක්, අලුත් රාජසභාවක් දෙයි. කිසිම සැකයක් නෑ එයා ඔබට ස්තූති කරයි රජකම බාරදුන්නට. ඒ වුනත් ඒකෙන් කියැවෙන්නෙ නෑ එයා ඔබට ආදරේ කරයි කියලා. අනික එයා ආවා කියන්නෙ යුද්ධයක් ඇතිවෙනවා. සෙර්සියි එයාගෙ අවජාතකයොයි මැරෙනකම් ස්ටැනිස්ට සැනසීමෙන් රාජ්‍ය පාලනය කරන්ට බෑ. ඔබ හිතනවද ටයිවින් උතුමානන් නිකං වාඩිවෙලා බලන් ඉඳියි කියලා එයාගෙ දුවගෙ ඔළුව රිටක අමුනනකම්. කාර්ස්ටලී රොක් නැගිටියි. නැගිටලා ප්‍රතිප්‍රහාර දෙයි. තනියම නෙවෙයි. ඒරිස්ට සේවය කරපු මිනිස්සුන්ට රොබර්ට් සමාව දුන්නා එයාට පක්ෂපාතිත්වය පෙන්නලා දිවුරුම් දුන්නානම්. ඒ වුනත් ස්ටැනිස් එහෙම සමාව දෙන කෙනෙක් නෙවෙයි. එයා ලේසියෙන් අමතක කරන එකක් නෑ ස්ටෝර්ම්ස් එන්ඩ් වැටලීම ගැන. ටිරල් උතුමානන්වයි රෙඩ්වින් උතුමානන්වයි අමතක කරන එකකුත් නෑ. මකර කොඩිය යට සටන් කරපු අයටයි, බේලන් ග්‍රේජෝයි එක්ක එකතුවෙලා සටන් කරපු අයටයි බයවෙන්ට හොඳ හේතුවක් තියෙනවා. ස්ටැනිස් බරතියන්ව මේ සිංහාසනේ ඉන්දුවොත්, මම ඔබට පොරොන්දු වෙනවා, මේ රාජධානිය ලේ වලින් පෙඟිලා යාවි."
"දැන් අපි බලමු කාසියෙ අනිත් පැත්ත දිහා. ජොෆ්රිට තාම යාන්තම් දොළහයි. රොබර්ට් ඔබට උපරාජ පදවිය පිරිනැමුවා. ඔබ තමා රජතුමාගෙ හස්තය. ඒ වගේම රාජධානියෙ ආරක්ෂකයා. බලය තියෙන්නෙ ඔබේ අතේයි ස්ටාර්ක් උතුමානනි. ඔබට කරන්ට තියෙන එකම දේ අත දික්කරලා ඒක ඩැහැගන්න එක විතරයි. ලැනිස්ටර්ලාත් එක්ක සමාදාන වෙන්ට. පුංචි යකා නිදහස් කරන්ට. ජොෆ්රිව ඔබේ සන්සාට බන්දලා දෙන්ට. ඔබේ බාල කෙල්ලව ටමෙන්ට බන්දලා දෙන්ට. ඔබේ උරුමක්කාරයාට මර්සෙලාව බන්දලා දෙන්ට. ජොෆ්රි නිසිවයස් එන්ට තව අවුරුදු හතරක් තියෙනවා. ඒ වෙද්දි ජොෆ්රි ඔබ දිහා දෙවෙනි තාත්තා කෙනෙක් වගේ බලාවි. එහෙම නොවුනොත්, හරි... අවුරුදු හතරක් කියන්නෙ බොහොම දිග කාලයක් මගේ උතුමානනි. ස්ටැනිස් උතුමානන්ව අහක්කරලා දාන්ට ඒ කාලෙ හොඳටෝම ඇති. ඊටපස්සෙ, ජොෆ්රි කරදර කරන්ට පටන්ගත්තොත්, අපට පුළුවන් එයාගෙ අර පුංචි රහස එලිදරවු කරන්ට. කරලා රෙන්ලිව සිහසුනට නග්ගන්ට."
"අපට?"
සුළැඟිල්ලා දෙවුර ඇකිළීය. "ඔබේ දුක් කරදර බෙදාගන්ට තව කවුරු හරි එපැයි. මම සහතික වෙනවා, මගේ මිල බොහොම සොච්චමයි."
"ඔබේ මිල." නෙඩ්ගේ ස්වරය හිම මෙන් සීතල විය. "බේලිෂ් උතුමානනි, ඔබ ඔය කතා කරන්නෙ රාජද්‍රෝහී වීමක් ගැනයි."
"එහෙම වෙන්නෙ අපි පැරදුනොත් විතරයි."
"ඔබට අමතක වෙලාද? ඔබට අමතක වෙලාද ජොන් ඒරින්? ඔබට අමතක වෙලාද ජොරී කසල්. ඔබට අමතක වෙලාද මේකත්?" කිනිස්ස ඇදගත් ඔහු ඔවුන් දෙදෙන අතරින් මේසය මත එය තැබීය. මකරාස්ථි හා වැලීරියන් වානේ. වැරැද්ද හා නිවැරැද්ද අතර වෙනස තරම් තියුණු. ඇත්ත හා බොරුව අතර වෙනස තරම් තියුණු. ජීවිතය හා මරණය අතර වෙනස තරම් තියුණු. "උන් මිනිහෙක්ව එවුවා මගේ පුතාගෙ බෙල්ල කපන්ට බේලිෂ් උතුමානනි."
සුළැඟිල්ලා සුසුමක් හෙලීය. "සමාවෙන්ට, මට ඒ හැම එකක්ම අමතක වුනා මගේ උතුමානනි. මට සමාවෙන්ට. මොහොතකට මට අමතක වුනා මම මේ කතා කරමින් ඉන්නෙ ස්ටාර්ක් කෙනෙකුට කියලා." ඔහුගේ මුවේ උපහාසාත්මක සිනාරැල්ළක් නැගුනි. "එහෙමනම් ඒ ස්ටැනිස්. සහ යුද්ධය?"
"ඒක තෝරාගැනීමක් නෙවෙයි. ස්ටැනිස් තමා උරුමක්කාරයා."
"රාජධානියෙ ආරක්ෂකයාත් එක්ක අරගල කරන එක මට අයිති දෙයක් නෙවෙයි. එහෙමනම් ඔබ මොකක්ද මගෙන් බලාපොරොත්තු වෙන්නෙ? කිසිම සැකයක් නෑ ඒ මගේ නුවණනම් නෙවෙයි."
"ඔබේ... නුවණ අමතක කරලා දාන්ට මම උපරිම උත්සාහයක් දරන්නම්." නෙඩ් අප්‍රසාදයෙන් යුතුව කීවේය. "මම ඔබට එන්ටයි කිවුවෙ ඔබ කැට්ලින්ට පොරොන්දු වුන උදවුව ඉල්ලන්ටයි. මේක අපි හැමෝටම බොහොම උපද්‍රව සහිත වෙලාවක්. ඇත්ත, රොබර්ට් මාව රාජධානියෙ ආරක්ෂකයා විදියට නම් කලා තමයි. ඒ වුනත් ලෝකයාට ජොෆ්රි තාමත් එයාගෙ පුතා, එයාගෙ උරුමක්කාරයා. රැජිණ කියන ඕන දෙයක් ඕන වෙලාවක කරන්ට සූදාණම් වෙච්ච නයිට්වරු දුසිමකුයි සෙබළු සීයක විතර බලමුළුවකුයි ඉන්නවා... මගේ ගෘහාරක්ෂක බලකායෙ ඉතුරුවෙලා ඉන්න එවුන් ටික දෙනාව යටපත් කරගන්ට උන්ට ලේසියෙන්ම පුළුවන්. අනික, අපි නොදන්නවට ජේමි ලැනිස්ටර් දැනටමත් හමුදාවකුත් එක්ක කින්ග්ස් ලෑන්ඩින්ග්වලට එන්ට පිටත්වෙලා වෙන්ටත් පුළුවන්."
"ඉතින් ඔබ මෙතැන ඉන්නවා කිසිම හමුදාවක් නැතුව." සුළැඟිල්ලා මේසය මත වූ කිනිස්ස ඇඟිලි තුඩින් කරකවමින් මොහොතක් ගතකලේය. "රෙන්ලි උතුමානනුයි ලැනිස්ටර්ලායි අතර ලොකු ආදරයක් නෑ. ලෝකඩ යොන් රොයිස්, සෙර් බේලන් ස්වෝන්, සෙර් ලෝරාස්, ටන්ඩා ආර්යාව, රෙඩ්වින් නිවුන්නු... මේ හැමෝටම තම තමන්ට පක්ෂපාතී නයිට්වරුයි සෙබළු පිරිසකුයි රාජසභෘවෙ ඉන්නවා."
"රෙන්ලිගෙ පුද්ගලික හමුදාවෙ තිහක් ඉන්නවා. අනිත් අයට එච්චරවත් නෑ. ඒ හැමෝම මට සහාය දෙයි කියලා උපකල්පනය කලත් ඒත් සෙනග මදි. මට නගරාරක්ෂකයො ටික මගෙ පැත්තට ගන්ට ඕන. ඒක අවශ්‍යමයි. නගරාරක්ෂක බලකායෙ සෙබළු දෙදාහක් ඉන්නවා. මේ බලකොටුව රකින්ට දිවුරුම් දීපු, නගරය රකින්ට දිවුරුම් දීපු, රජතුමාගෙ සාමය රකින්ට දිවුරුම් දීපු දෙදාහක්."
"අපොයි, ඒ වුනත් රැජිණ එක රජ කෙනෙක් ප්‍රකාශයට පත්කරද්දි, රජතුමාගෙ හස්තය තව රජ කෙනෙක්ව නම් කරද්දි උන් රකින්ට ඕන මොන රජතුමාගෙ සාමයද?" ඇඟිලි තුඩින් කිනිස්ස අල්ලාගත් සුළැඟිල්ලා එය වේගයෙන් කරකැවීය. අන්තිමේදී එහි වේගය බාල වී ගොස් කිනිස්ස නිසල වූ විට එහි තුඩ ඔහු දෙසට හැරී තිබින. "ඇයි! ඔන්න තියෙනවා ඔබේ උත්තරේ." ඔහු සිනාසෙමින් කීවේය. "උන් අහන්නෙ උන්ට පඩි ගෙවන කෙනාගෙ අණ." අසුනේ පසුපසට ඇලවුනු ඔහු නෙඩ්ගේ මුහුණ දෙස කෙලින් බැලුවේය. ඔහුගේ අළු-කොළ පැහැ දෑස් සමච්චලය නිසා දීප්තියෙන් බැබලින. "ඔබේ ගෞරවය ඔබ පළඳින්නෙ හරියට සන්නාහයක් වගේ ස්ටාර්ක්. ඔබ හිතන්නෙ ඒකෙන් ඔබට ආරක්ෂාවක් ලැබෙයි කියලයි. ඒ වුනත් ඇත්තටම ඒකෙන් වෙන්නෙ ඔබේ බර වැඩිවෙලා ඔබට ලේසියෙන් එහා මෙහා වෙන්ට බැරිවෙන එක විතරයි. දැන් බලන්ට ඔබ දිහා. ඔබ හොඳින්ම දන්නවා ඇයි ඔබ මාව මෙතැනට කැඳෙවුවෙ කියලා. ඔබ හොඳින්ම දන්නවා මට මොකක් කරන්ටයි කියලාද කියන්ට ඕන කියලා. ඔබ හොඳින්ම දන්නවා ඒ දේ කරන්ට ඕනමයි කියලා... ඒ වුනත් ඒ වැඩේ ගෞරවාන්විත නෑ. ඒ නිසා ඔබේ උගුරෙ වචන හිරවෙලා. ඔබ ඒ ටික කියාගන්ට බැරුව තටමනවා."
ආතතිය නිසා නෙඩ්ගේ ගෙල දෙපස තද වී ගියේය. ඔහුට කෙතරම් තද කේන්තියක් දැනෙන්නට වී ද යත් මොහොතක් ගතවෙන තෙක් වදනකුදු කතා නොකර සිටියේය.
සුළැඟිල්ලා කොක්හඬලා සිනාසුනේය. "මට තිබ්බෙ ඔබටම ඒක කියාගන්ට ඉඩ දෙන්ටයි. ඒ වුනත් ඒක බොහොම නපුරු වැඩක්... ඉතින් ඒ නිසා බයවෙන්ට එපා මගේ හොඳ උතුමානනි. කැට්ලින් ගැන මගේ හිතේ තියෙන ආදරේ වෙනුවෙන් මම දැන්මම යන්නම් ජේනස් ස්ලින්ට් මුනගැහෙන්ට. ගිහින් නගරාරක්ෂක බලකාය ඔබේ පැත්තට ගන්ට වග බලාගන්නම්. රත්තරන් කාසි හයදාහකට පුළුවන් ඒ වැඩේ කරන්ට. තුනෙන් එකක් අණදෙන නිළධාරියාට. තුනෙන් එකක් අනිත් නිළධාරීන්ට. තුනෙන් එකක් සෙබළුන්ට. ඇත්තම කියනවා නම් අපිට ඒ මුදලින් බාගෙකට උන්ව මිලදී ගන්ට පුළුවන් වෙයි. ඒ වුනත් මේ වෙලාවෙ අනවශ්‍ය අවදානමක් ගන්ට මම සූදාණම් නෑ." ඔහු සිනාසෙමින් කිනිස්ස අතට ගෙන මිට පැත්ත ඉදිරියට සිටින සේ නෙඩ් වෙතට දිගුකලේය.
Eddard Stark: “Even the truest knight cannot protect a king against himself.”