Wednesday 31 December 2014

එඩාර්ඩ් 13-2


කේන් හා ටොමාර්ඩ් විසින් පාලමෙන් එතෙර වීම පිණිස නෙඩ්ට උදවු කරමින් සිටින අතරේ මේගර් ගේ බලකොටුව තුළින් රෙන්ලි උතුමානන් මතුවිය. "එඩාර්ඩ් උතුමානනි." ඔහු කෑගැසීය. "ඔබතුමා අමනාපයක් නැත්තම් පොඩි මොහොතක් දෙන්ට පුළුවන්ද?"

නෙඩ් නැවතුනි. "ඔබේ කැමැත්තක්."

රෙන්ලි ඔහු සමීපයට ළඟා විය. "ඔබේ මිනිස්සු අහකට යවන්ට." ඔවුන් දෙදෙන වියළි අගලට ඉහළින් වූ පාලම මධ්‍යයේදී සම්මුඛ වූහ. අගල පතුලෙහි වූ යවුල් මතට සඳඑළිය වැටී රිදී පැහැයෙන් දිලිසුනි.

නෙඩ් අත ඔසවා සන් කල අතර ටොම් හා කේන් හිස නමා ගරුසරු ඇතුව පසුපසට ඇදුනෝය. රෙන්ලි උතුමානන් පාලමේ ඈත කෙලවරේ සිටි සෙර් බොරෝස් දෙසත් ඔවුන්ට පිටුපසින් වූ දොර අභිමුව සිටි සෙර් ප්‍රෙස්ටන් දෙසත් පරීක්ෂාකාරී බැලුම් හෙලීය. "අර ලියුම." ඔහු තවත් ලංවිය. "ඒක උපරාජ පදවිය ගැනද? මගේ අයියා ඔබව රාජධානියේ ආරක්ෂකයා කියලා නම් කලාද?" ඔහු පිළිතුරක් ලැබෙන තෙක් පමා නොවීය. "ම‍ගේ උතුමානනි. මගේ පෞද්ගලික ආරක්ෂක බලකායෙ සෙබළු තිහක් ඉන්නවා. ඒත් එක්කම තවත් වංශාධිපතියො, නයිට්වරු, යාළුවො ගොඩක් ඉන්නවා. මට පැයක් දෙන්ට. මම ඔබතුමාට කඩු සීයක් හොයලා දෙන්නම්."

"ඉතින්, කඩු සීයකින් මම මොකක්ද කරන්ට ඕන මගේ උතුමානනි?"

"පහරදෙන්ට! දැන්මම! බලකොටුව නිදාඉන්න වෙලාවෙ." නැවත වතාවක් හිස හරවා සෙර් බොරෝස් දෙස බැලූ රෙන්ලි සිය කටහඬ කෙඳිරුමක් තරමට පහත්කලේය. "අපි ජොෆ්රිව එයාගෙ අම්මගෙන් ඈත්කරලා අපේ අතට ගන්ට ඕන. උපරාජයා හරි මොකෙක් හරි රජතුමාව තමා ළඟ ඉන්න කෙනාට තමා මේ රාජධානිය පාලනය කරන්ට පුළුවන් වෙන්නෙ. අපි මර්සෙලාවයි ටමෙන්වයි අල්ලගන්ටත් ඕන. අපි එයාගෙ ළමයි ටික අල්ලගත්තට පස්සෙ සෙර්සි අපට විරුද්ධ වෙන්ට තරම් නිර්භීත වෙන එකක් නෑ. එතකොට රාජසභාව ඔබව උපරාජයා විදියට අභිෂේක කරලා ජොෆ්රිව ඔබේ බාරයට පත්කරයි."

නෙඩ් ඔහු දෙස නොපහන් බැල්මක් හෙලුවේය. "රොබර්ට් තාම මැරිලා නෑ. දෙයියො සමහරවිට එයාව නොමරා ඉතුරු කරයි. එහෙම නොවුනොත්, මම රාජසභාව කැඳවලා, එයාගෙ අන්තිම කැමැත්ත මොකක්ද කියලා එයාලට නිවේදනය කරලා, රාජකාරිය හරිහැටි බාරගන්නම්. එහෙම නැතුව එයාගෙ ජීවිතේ මේ අන්තිම පැය කීපය එයාගෙ මාලිගාවෙ ලේ හොල්ලලා, බයවෙච්ච දරුවො ඇඳන්වලින් ඇදන් ඇවිල්ලා බොහොම අගෞරවනීය තත්ත්වෙකට පත්කරන්ට මට ඕනකමක් නෑ."

රෙන්ලි උතුමානන් දුනුදියක් මෙන් ඇදී අඩියක් පස්සට තැබීය. "ඔබ ප්‍රමාද කරන හැම මොහොතක් ගානෙම සෙර්සිට සූදාණම් වෙන්ට තවත් අවස්ථාව ලැබෙනවා‍. රොබර්ට් මැරෙන වෙලාව වෙනකොට පරක්කු වැඩිවෙන්ට පුළුවන්... අපි දෙන්නටම."

"එහෙමනම් අපි යාඥා කරමු රොබර්ට් නොමැරෙන්ටයි කියලා."

"ඒකට බොහොම පොඩි ඉඩක් තමා තියෙන්නෙ."

"සමහරවෙලාවට දෙයියො බොහොම අනුකම්පාසහගතයි."

"ඒ වුනාට ලැනිස්ටර්ලා එහෙම නෙවෙයි." ආපසු හැරුනු රෙන්ලි උතුමානන් අගල හරහා ගොස් සිය සොහොයුරා මරණාසන්නව වැතිර සිටින බලකොටුවට ඇතුළුවිය."

නෙඩ් නැවත සිය නවාතැන වෙත පැමිණෙන විට ඔහු වෙහෙසින් හා දුකින් පරිපීඩිතව සිටියේය. එනමුදු දැන් නැවත නින්දට යාමක් ගැන සිතන්නටවත් නොහැකි විය. 'ඔබ සිහසුන් ක්‍රීඩාව කරනවිට එක්කෝ ඔබ දිනන්නේය. නැතිනම් ඔබ මැරෙන්නේය.' සෙර්සි ලැනිස්ටර් දෙව්වනයේදී ඔහුට පවසා තිබුනි. රෙන්ලි උතුමානන් ගේ සහය ප්‍රතික්ෂේප කිරීමෙන් තමා කලේ නිවැරැදි දෙයක් දැයි ඔහු කල්පනා කරන්නට විය. මෙවැනි කුමන්ත්‍රණ සම්බන්ධයෙන් ඔහු තුළ කිසිදු කැමැත්තක් නොවීය. එමෙන්ම දරුවන් ප්‍රාණ ඇපයට ගැනීමේ කිසිදු ගෞරවනීය බවක් ද නොවීය. එනමුදු... සෙර්සි පලායාම වෙනුවට නැවතී සටන්කිරීම තෝරාගතහොත්, ඔහුට රෙන්ලි ගේ අසිපත් සියය උවමනා වනු ඇත. ඊටත් වඩා අසිපත් උවමනා වන ඇත.

"මට ඕන සුළැඟිල්ලා." ඔහු කේන්ට කීවේය. "එයා එයාගෙ නවාතැනේ හිටියෙ නැත්තම් උඹට ඕන තරමක් මිනිස්සු අරන් ගිහින් කින්ග්ස් ලෑන්ඩින්ග්වල තියෙන හැම තැබෑරුමක්ම, හැම ගනිකා මඩමක්ම පෙරලලා බලලා හරි මිනිහව හොයාගනින්. හෙට එළිවෙන්ට කලින් එයාව මෙතැනට අරන් වරෙන්." හිස නැමූ කේන් පිටව ගියේය. නෙඩ් ටොමාර්ඩ් දෙසට හැරුනේය. "වින්ඩ් විච් හෙට හැන්දෑවෙ පිටත්වෙනවා. උඹ කණ්ඩායම තෝරගත්තද?"

"මිනිස්සු දහයක් තෝරගත්තා. පෝතර් අණදෙන නිළධාරියා."

"විස්සක් ගනින්. උඹයි අණදෙන නිළධාරියා." පෝතර් නිර්භීත මිනිසකු විය. එනමුදු ඔහු මුරණ්ඩු හිතුවක්කාරයකු විය. සිය දියණියන් දෙදෙන රැක බලාගැනීම සඳහා ඊට වඩා ස්ථිර, සිහිනුවණ ඇති අයකු නෙඩ්ට උවමනා විය.

"ඔබතුමාගෙ කැමැත්තක් මයෙ උතුමානනි. අවංකවම කියනවා නං මෙතැන දාලා යන්ට වෙන එක ගැන මට කිසිම දුකක් නෑ. මට ගෑනි නැතුව පාළුයි."

"උඹලා උතුරට යද්දි ඩ්‍රැගන්ස්ටෝන් පහුකරගෙනයි යන්නෙ. උඹ මා වෙනුවෙන් ලියුමක් බාරදෙන්ට ඕන."

ටොම් ගේ මුහුණේ බියමුසු බවක් ඇඳී ගියේය. "ඩ්‍රැගන්ස්ටෝන්වලට මයෙ උතුමානනි?" ටාර්ගේරියන්වරුන් ගේ පුරාණ බලකොටුව වූ මේ දිවයින අශුභ ස්ථානයක් වශයෙන් නමක් දිනා සිටියේය‍.

කපිතාන් ක්වොස්ට කියාපන්, දූපත පේන මානෙට ආපු ගමන් මගේ කොඩිය උස්සන්ටයි කියලා. මොකද එයාලා සමහරවිට අනවශ්‍ය අමුත්තො ගැන ටිකක් සැකෙන් බලන්ට පුළුවන්. කපිතාන් එතැනට යන්ට පසුබට වුනොත් හරි අකැමැත්තක් පෙන්නුවොත් හරි එයා ඉල්ලන දෙයක් දීපන්. මම උඹට ලියුමක් දෙනවා. උඹ ඒක ගිහින් දෙන්ට ඕන ස්ටැනිස් බරතියන් උතුමානන්ට. වෙන කාටවත් නෙවෙයි. එයාගෙ නිවාස බාරකාරයාට නෙවෙයි. එයාගෙ ආරක්ෂක බලකායෙ අණදෙන නිළධාරියාට නෙවෙයි. එයාගෙ ආර්යාවට නෙවෙයි. ස්ටැනිස් උතුමානන් අතටම දෙන්ට ඕන."

"ඔබතුමා කියන විදියක් මයෙ උතුමානනි."

ටොමාර්ඩ් පිටව ගිය පසු එඩාර්ඩ් ස්ටාර්ක් තමා පසෙකින් මේසය මත ඇති ඉටිපන්දමේ දැල්ල දෙස බලාගත්වනම නිසොල්මනේ සිටියේය. එක් මොහොතකට ඔහුගේ දුක වාවාගත නොහැකි තරම් බලවත් විය. ඔහු‍ට ඒ මොහොතේ අන් කිසිවකටත් වඩා දෙව්වනයට ගොස්, හදවෘක්ෂය ඉදිරිපිට දණින් වැටී රොබර්ට් බරතියන් වෙනුවෙන් යාඥා කරන්නට උවමනා විය. රොබර්ට් ඔහුට සහෝදරයෙකුටත් වඩා ලංවූ තැනැත්තෙකු විය. එඩාර්ඩ් ස්ටාර්ක් විසින් සිය රජතුමා ගේ මිත්‍රත්වය බිඳ දමා ඔහුගේ දරුවන් ගේ උරුමය උදුරාගත්තායැයි සමහරවිට පසුකාලයකදී මිනිසුන් විසින් රහස් කොඳුරනු ඇත. දෙවියන් ඊට වඩා හොඳින් තමාව තේරුම් ගනු ඇතැයි ඔහු ප්‍රාර්ථනා කලේය. එමෙන්ම මරණින් මතු ජීවිතයේදී රොබර්ට් විසින් සත්‍යය අවබෝධ කරගනු ඇතැයි ඔහු බලාපොරාත්තු විය. නෙඩ් රජතුමා ගේ අවසන් ලිපිය එළියට ගත්තේය. රන්වන් ඉටියෙන් මුද්‍රා තැබූ සිනිඳු සුදු පැහැ කඩදාසි රෝලක්. වචන කිහිපයක් හා ලේ පැල්ලමක්. ජයග්‍රහණය හා පරාජය අතර පරතරය කෙතරම් කුඩාද. ජීවිතය හා මරණය අතර පරතරය කෙතරම් කුඩාද.

අලුත් කඩදාසියක් ඇදගත් ඔහු පිහාටු පෑන තීන්ත කූඩුවේ බහාලුවේය. 'බරතියන් වංශයේ ස්ටැනිස් උතුමානන් වෙත ලියා දන්වන වග නම්.' ඔහු ලීවේය. 'ඔබ මෙම ලිපිය දකින මොහොත වන විට ඔබගේ සොහොයුරා, පසුගිය වසර පහළොව පුරා අපගේ රජතුමා වූ රොබර්ට් මියගොස් ඇත. රජවනයේ දඩයම් කරමින් සිටියදී ඔහු වල් ඌරකුගේ පහර කෑමට ලක්විය...'

කඩදාසිය මත වූ අකුරු ඇඹරෙමින් දඟලමින් සිටින්නාක් මෙන් පෙනුනි. ටයිවින් උතුමානන් හා සෙර් ‍ජේමි යනු ලේසියෙන් පරාජය බාරගැනීමට සූදාණම් අයවලුන් නොවෙති. පලායාමට වඩා ඔවුහු සටන් මග තෝරාගැනීමට වැඩි ඉඩක් තිබේ. ජොන් ඒරින් ගේ මරණයෙන් පසු ස්ටැනිස් උතුමානන් වඩා පරිස්සම් සහගත වීම පුදුමයට කරුනක් නොවේ. එනමුදු මේ මොහොතේ, ලැනිස්ටර්වරුන් කින්ග්ස් ලෑන්ඩින්ග්වලට කඩා වදින්නට පෙර ඔහු සිය සම්පූර්ණ බලයද සහිතව මෙහි පැමිණීම අවශ්‍යම කරුනකි.

නෙඩ් පරිස්සමින් වචන තෝරාබේරාගෙන ලිපිය ලියා අවසන් කලේය. 'එඩාර්ඩ් ස්ටාර්ක්, වින්ටර්ෆෙල්හි අධිපති, රජතුමාගේ හස්තය හා රාජධානියේ ආරක්ෂකයා' යනුවෙන් ලිපියෙහි සිය අත්සන යෙදූ ඔහු තීන්ත පොඟවා දමා, කඩදාසිය දෙවරක් නවා, ඉටිපන්දම් දැල්ලේ ආධාරයෙන් ඉටි උණුකර ලිපියට මුද්‍රා තැබීය.

'උපරාජ පදවිය බොහෝ කෙටි එකක් වනු ඇත.' මුද්‍රාව කෙමෙන් සිසිල්වද්දී නෙඩ් කල්පනා කලේය. අලුත් රජතුමා තමාට හිතවත් නව හස්තයක් පත්කරගනු ඇත. නෙඩ්ට නැවතත් සිය නිවෙස බලා යාමට නිදහස ලැ‍බෙනු ඇත. වින්ටර්ෆෙල් ගැන සිහිවත්ම ඔහුගේ මුහුණට පාණ්ඩු සිනාවක් නැගී ආයේය. ඔහුට නැවත වතාවක් බ්‍රැන්ගේ සිනහව අසන්නට උවමනා විය. රොබ් සමගින් දඩයමේ යාමට උවමනා විය. රිකන් සෙල්ලම් කරන දෙස බලාසිටීමට උවමනා විය. සිය ආර්යාව කැට්ලින් තුරුළු කරගෙන සිය නිදියහනේ සිහින නොදකින සුවබර නින්දක් නිදාගැනීමට උවමනා විය.

මෘදු සුදු පැහැ ඉටි උඩින් ඝෝරවෘකයාගේ ලාංඡනය තබද්දී කේන් නැවත පැමිණියේ ය. ඔහුත් සමග ඩෙස්මන්ඩ් ද සිටි අතර ඒ දෙදෙනා මැදින් සුළැඟිල්ලා පැමිණියේ ය. "මම හිතන්නෙ සතුට ප්‍රකාශ කිරීම් ටික නියම විදියට තියෙනවයි කියලා." පෙටයර් අසුනකට බර දුන්නේය.

නෙඩ් තරහෙන් රවා බැලුවේය. "රජතුමා තුවාලවෙලා වැ‍ටිලා ඉන්නවා මරණාසන්නව."

"මම දන්නවා. ඒ වගේම මම දන්නවා රජතුමා ඔබව රාජධානියේ ආරක්ෂකයා හැටියට නම්කරලා තියෙනවා කියලා."

මේසයේ පසෙක තිබුනු මුද්‍රා නොකැඩූ රජුගේ ලිපිය දෙසට නෙඩ් දෙනෙත් යැවුවේය. "ඉතින් ඔබ කොහොමද ඒක දැනගත්තෙ මගෙ උතුමානනි?"

"වාරිස් කිවුවා එහෙම දෙයක් වෙන්ට පුළුවන් කියලා. ඉතින් දැන් ඔබ ඒක ස්ථිර කලා."

කෝපය නිසා නෙඩ්ගේ මුව ඇදවී ගියේය. "වාරිසුයි උගේ පුංචි කුරුල්ලොයි යකාටම ගියාවෙ. කැට්ලින් කීවෙ ඇත්ත තමා. මේ මිනිහා මොනා හරි මායාබලයක් පාවිච්චි කරනවා. මම ඒ මිනිහව පොඩ්ඩක්වත් විශ්වාස කරන්නෙ නෑ."

"බොහොම හොඳයි. ඔබ ඉක්මනට ඉගෙනගන්නවා." සුළැඟිල්ලා ඉදිරියට නැඹුරුවිය. "ඒ වුනත් මම ඕන ඔට්ටුවක් දාන්ට ලෑස්තියි, ඔබ මේ මහ රෑ ජාමෙ මාව මෙතැනට ඇදගෙන ආවෙ වාරිස් ගැන සාකච්ඡා කරන්ට නෙවෙයි කියලා."

"නෑ." නෙඩ් පිළිගත්තේ ය. "මම දන්නවා ජොන් ඒරින්ට මැරුම්කන්ට තරම් හේතු වුන ඒ රහස මොකක්ද කියලා. රොබර්ට් එයාගෙන් පස්සෙ නියම උරුමක්කාරයෙක් ඉතුරුකරලා නෑ. ජොෆ්රියි ටමෙනුයි කියන්නෙ ජේමි ලැනිස්ටර්ගෙ අවජාතකයො. එයාගෙයි රැජිණගෙයි සම්බන්ධයෙන් උපන් අය."

සුළැඟිල්ලා ඇහිබැමක් එසැවීය. "හරිම පුදුමයි!" ඔහුගේ ස්වරයෙන් කියැවුනේ ඔහු කිසිසේත්ම පුදුමයට පත්නොවූ බවකි. "ගෑනු ළමයත්? කිසිම සැකයක් නෑ. ඒ කියන්නෙ රජතුමා මැරුනට පස්සෙ..."

"නීතිය අනුව රජකම යන්ට ඕන ස්ටැනිස් උතුමානන්ට. රොබරට්ගෙ සහෝදරයින්ගෙන් වැඩිමහලු එක්කෙනාට."

මේ ගැන සිතද්දී පෙටයර් උතුමානන් සිය එළු රැවුල පිරිමැද්දේ ය. "ඒ වගේ තමා පේන්නෙ. එහෙම නැත්තම්..."

"එහෙම නැත්තම්, ම‍ගේ උතුමානනි? එහෙම වෙන මොකුත් වෙන්ට විදියක් නෑ‍. ස්ටැනිස් තමා උරුමක්කාරයා. කිසිම දේකින් ඒක වෙනස් කරන්ට බෑ."

"ස්ටැනිස්ට සිංහාසනය ගන්ට බෑ ඔබෙ උදවු නැතුව. ඔබ ඥානවන්ත නම් ඔබ වගබලාගනියි ජොෆ්රි රජකරවන්ට."

නෙඩ් ඔහු දෙස දැඩි බැල්මක් හෙලීය. "ඔබ ළඟ ගෞරවය කියන දේ අංශුමාත්‍රයක්වත් නැද්ද?"

"ආහ්! ඇත්තෙන්ම. අංශුමාත්‍රයක් විතර තියෙනවා." සුළැඟිල්ලා නොසැලකිලිමත් අයුරින් පිළිවදන් දුනි‍. "මම කියන දේ අහන්ට. ස්ටැනිස් කියන්නෙ ඔබේ යාළුවෙක් නෙවෙයි. මගේ යාළුවෙකුත් නෙවෙයි. එයාගෙම සහෝදරයින්ටවත් එයාව දිරවන්නෙ නෑ. මේ යකා මහ යකඩ මනුස්සයෙක්. දැඩියි. සමාව දෙන්නෙ නෑ. කිසිම සැකයක් නෑ එයා අපට අලුත් හස්තයක්, අලුත් රාජසභාවක් දෙයි. කිසිම සැකයක් නෑ එයා ඔබට ස්තූති කරයි රජකම බාරදුන්නට. ඒ වුනත් ඒකෙන් කියැවෙන්නෙ නෑ එයා ඔබට ආදරේ කරයි කියලා. අනික එයා ආවා කියන්නෙ යුද්ධයක් ඇතිවෙනවා. සෙර්සියි එයාගෙ අවජාතකයොයි මැරෙනකම් ස්ටැනිස්ට සැනසීමෙන් රාජ්‍ය පාලනය කරන්ට බෑ. ඔබ හිතනවද ටයිවින් උතුමානන් නිකං වාඩිවෙලා බලන් ඉඳියි කියලා එයාගෙ දුවගෙ ඔළුව රිටක අමුනනකම්. කාර්ස්ටලී රොක් නැගිටියි. නැගිටලා ප්‍රතිප්‍රහාර දෙයි. තනියම නෙවෙයි. ඒරිස්ට සේවය කරපු මිනිස්සුන්ට රොබර්ට් සමාව දුන්නා එයාට පක්ෂපාතිත්වය පෙන්නලා දිවුරුම් දුන්නානම්. ඒ වුනත් ස්ටැනිස් එහෙම සමාව දෙන කෙනෙක් නෙවෙයි. එයා ලේසියෙන් අමතක කරන එකක් නෑ ස්ටෝර්ම්ස් එන්ඩ් වැටලීම ගැන‍. ‍ටිරල් උතුමානන්වයි රෙඩ්වින් උතුමානන්වයි අමතක කරන එකකුත් නෑ. මකර කොඩිය යට සටන් කරපු අයටයි, බේලන් ග්‍රේජෝයි එක්ක එකතුවෙලා සටන් කරපු අයටයි බයවෙන්ට හොඳ හේතුවක් තියෙනවා. ස්ටැනිස් බරතියන්ව මේ සිංහාසනේ ඉන්දුවොත්, මම ඔබට පො‍රොන්දු වෙනවා, මේ රාජධානිය ලේ වලින් පෙඟිලා යාවි‍."

"දැන් අපි බලමු කාසියෙ අනිත් පැත්ත දිහා. ජොෆ්රිට තාම යාන්තම් දොළහයි. රොබර්ට් ඔබට උපරාජ පදවිය පිරිනැමුවා. ඔබ තමා රජතුමාගෙ හස්තය. ඒ වගේම රාජධානියෙ ආරක්ෂකයා. බලය තියෙන්නෙ ඔබේ අතේයි ස්ටාර්ක් උතුමානනි. ඔබට කරන්ට තියෙන එකම දේ අත දික්කරලා ඒක ඩැහැගන්න එක විතරයි. ලැනිස්ටර්ලාත් එක්ක සමාදාන වෙන්ට. පුංචි යකා නිදහස් කරන්ට. ජොෆ්රිව ඔබේ සන්සාට බන්දලා දෙන්ට. ඔබේ බාල කෙල්ලව ටමෙන්ට බන්දලා දෙන්ට. ඔබේ උරුමක්කාරයාට මර්සෙලාව බන්දලා දෙන්ට. ජොෆ්රි නිසිවයස් එන්ට තව අවුරුදු හතරක් තියෙනවා. ඒ වෙද්දි ජොෆ්රි ඔබ දිහා දෙවෙනි තාත්තා කෙනෙක් වගේ බලාවි. එහෙම නොවුනොත්, හරි... අවුරුදු හතරක් කියන්නෙ බොහොම දිග කාලයක්‍ මගේ උතුමානනි. ස්ටැනිස් උතුමානන්ව අහක්කරලා දාන්ට ඒ කාලෙ හොඳටෝම ඇති. ඊටපස්සෙ, ජොෆ්රි කරදර කරන්ට පටන්ගත්තොත්, අපට පුළුවන් එයාගෙ අර පුංචි රහස එලිදරවු කරන්ට. කරලා රෙන්ලිව සිහසුනට නග්ගන්ට."

"අපට?"

සුළැඟිල්ලා දෙවුර ඇකිළීය. "ඔබේ දුක් කරදර බෙදාගන්ට තව කවුරු හරි එපැයි. මම සහතික වෙනවා, මගේ මිල බොහොම සොච්චමයි."

"ඔබේ මිල." නෙඩ්ගේ ස්වරය හිම මෙන් සීතල විය. "බේලිෂ් උතුමානනි, ඔබ ඔය කතා කරන්නෙ රාජද්‍රෝහී වීමක් ගැනයි."

"එහෙම වෙන්නෙ අපි පැරදුනොත් විතරයි."

"ඔබට අමතක වෙලාද? ඔබට අමතක වෙලාද ජොන් ඒරින්? ඔබට අමතක වෙලාද ජොරී කසල්. ඔබට අමතක වෙලාද මේකත්?" කිනිස්ස ඇදගත් ඔහු ඔවුන් දෙදෙන අතරින් මේසය මත එය තැබීය. මකරාස්ථි හා වැලීරියන් වානේ. වැරැද්ද හා නිවැරැද්ද අතර වෙනස තරම් තියුණු. ඇත්ත හා බොරුව අතර වෙනස තරම් තියුණු. ජීවිතය හා මරණය අතර වෙනස තරම් තියුණු. "උන් මිනිහෙක්ව එවුවා ම‍ගේ පුතාගෙ බෙල්ල කපන්ට  බේලිෂ් උතුමානනි."

සුළැඟිල්ලා සුසුමක් හෙලීය. "සමාවෙන්ට, මට ඒ හැම එකක්ම අමතක වුනා මගේ උතුමානනි. මට සමාවෙන්ට. මොහොතකට මට අමතක වුනා මම මේ කතා කරමින් ඉන්නෙ ස්ටාර්ක් කෙනෙකුට කියලා." ඔහුගේ මුවේ උපහාසාත්මක සිනාරැල්ළක් නැගුනි. "එහෙමනම් ඒ ස්ටැනිස්. සහ යුද්ධය?"

"ඒක තෝරාගැනීමක් නෙවෙයි. ස්ටැනිස් තමා උරුමක්කාරයා."

"රාජධානියෙ ආරක්ෂකයාත් එක්ක අරගල කරන එක මට අයිති දෙයක් නෙවෙයි. එහෙමනම් ඔබ මොකක්ද මගෙන් බලා‍පොරොත්තු වෙන්නෙ? කිසිම සැකයක් නෑ ඒ මගේ නුවණනම් නෙවෙයි."

"ඔබේ... නුවණ අමතක කරලා දාන්ට මම උපරිම උත්සාහයක් දරන්නම්." නෙඩ් අප්‍රසාදයෙන් යුතුව කීවේය. "මම ඔබට එන්ටයි කිවුවෙ ඔබ කැට්ලින්ට පොරොන්දු වුන උදවුව ඉල්ලන්ටයි. මේක අපි හැමෝටම බොහොම උපද්‍රව සහිත වෙලාවක්. ඇත්ත, රොබර්ට් මාව රාජධානියෙ ආරක්ෂකයා විදියට නම් කලා තමයි. ඒ වුනත් ලෝකයාට ජොෆ්රි තාමත් එයාගෙ පුතා, එයාගෙ උරුමක්කාරයා. රැජිණ කියන ඕන දෙයක් ඕන වෙලාවක කරන්ට සූදාණම් වෙච්ච නයිට්වරු දුසිමකුයි සෙබළු සීයක විතර බලමුළුවකුයි ඉන්නවා... මගේ ගෘහාරක්ෂක බලකායෙ ඉතුරුවෙලා ඉන්න එවුන් ටික දෙනාව යටපත් කරගන්ට උන්ට ලේසියෙන්ම පුළුවන්. අනික, අපි නොදන්නවට ජේමි ලැනිස්ටර් දැනටමත් හමුදාවකුත් එක්ක කින්ග්ස් ලෑන්ඩින්ග්වලට එන්ට පිටත්වෙලා වෙන්ටත් පුළුවන්."

"ඉතින් ඔබ මෙතැන ඉන්නවා කිසිම හමුදාවක් නැතුව." සුළැඟිල්ලා මේසය මත වූ කිනිස්ස ඇඟිලි තුඩින් කරකවමින් මොහොතක් ගතකලේය. "රෙන්ලි උතුමානනුයි ලැනිස්ටර්ලායි අතර ලොකු ආදරයක් නෑ. ලෝකඩ යොන් රොයිස්, සෙර් බේලන් ස්වෝන්, සෙර් ලෝරාස්, ටන්ඩා ආර්යාව, රෙඩ්වින් නිවුන්නු... මේ හැමෝටම තම තමන්ට පක්ෂපාතී නයිට්වරුයි සෙබළු පිරිසකුයි රාජසභෘවෙ ඉන්නවා."

"රෙන්ලිගෙ පුද්ගලික හමුදාවෙ තිහක් ඉන්නවා. අනිත් අයට එච්චරවත් නෑ. ඒ හැමෝම මට සහාය දෙයි කියලා උපකල්පනය කලත් ඒත් සෙනග මදි‍. මට නගරාරක්ෂකයො ටික මගෙ පැත්තට ගන්ට ඕන. ඒක අවශ්‍යමයි. නගරාරක්ෂක බලකායෙ සෙබළු දෙදාහක් ඉන්නවා. මේ බලකොටුව රකින්ට දිවුරුම් දීපු, නගරය රකින්ට දිවුරුම් දීපු, රජතුමාගෙ සාමය රකින්ට දිවුරුම් දීපු දෙදාහක්."

"අපොයි, ඒ වුනත් රැජිණ එක රජ කෙනෙක් ප්‍රකාශයට පත්කරද්දි, රජතුමාගෙ හස්තය තව රජ කෙනෙක්ව නම් කරද්දි උන් රකින්ට ඕන මොන රජතුමාගෙ සාමයද?" ඇඟිලි තුඩින් කිනිස්ස අල්ලාගත් සුළැඟිල්ලා එය වේගයෙන් කරකැවීය. අන්තිමේදී එහි වේගය බාල වී ගොස් කිනිස්ස නිසල වූ විට එහි තුඩ ඔහු දෙසට හැරී තිබින. "ඇයි! ඔන්න තියෙනවා ඔබේ උත්තරේ." ඔහු සිනාසෙමින් කීවේය. "උන් අහන්නෙ උන්ට පඩි ගෙවන කෙනාගෙ අණ." අසුනේ පසුපසට ඇලවුනු ඔහු නෙඩ්ගේ මුහුණ දෙස කෙලින් බැලුවේය. ඔහුගේ අළු-කොළ පැහැ දෑස් සමච්චලය නිසා දීප්තියෙන් බැබලින. "ඔබේ ගෞරවය ඔබ පළඳින්නෙ හරියට සන්නාහයක් වගේ ස්ටාර්ක්. ඔබ හිතන්නෙ ඒකෙන් ඔබට ආරක්ෂාවක් ලැබෙයි කියලයි. ඒ වුනත් ඇත්තටම ඒකෙන් වෙන්නෙ ඔබේ බර වැඩිවෙලා ඔබට ලේසියෙන් එහා මෙහා වෙන්ට බැරිවෙන එක විතරයි. දැන් බලන්ට ඔබ දිහා. ඔබ හොඳින්ම දන්නවා ඇයි ඔබ මාව මෙතැනට කැඳෙවුවෙ කියලා. ඔබ හොඳින්ම දන්නවා මට මොකක් කරන්ටයි කියලාද කියන්ට ඕන කියලා. ඔබ හොඳින්ම දන්නවා ඒ දේ කරන්ට ඕනමයි කියලා... ඒ වුනත් ඒ වැඩේ ගෞරවාන්විත නෑ. ඒ නිසා ඔබේ උගුරෙ වචන හිරවෙලා. ඔබ ඒ ටික කියාගන්ට බැරුව තටමනවා."

ආතතිය නිසා නෙඩ්ගේ ගෙල දෙපස තද වී ගියේය. ඔහුට කෙතරම් තද කේන්තියක් දැනෙන්නට වී ද යත් මොහොතක් ගතවෙන තෙක් වදනකුදු කතා නොකර සිටියේය.

සුළැඟිල්ලා කොක්හඬලා සිනාසුනේය. "මට තිබ්බෙ ඔබටම ඒක කියාගන්ට ඉඩ දෙන්ටයි. ඒ වුනත් ඒක බොහොම නපුරු වැඩක්... ඉතින් ඒ නිසා බයවෙන්ට එපා මගේ හොඳ උතුමානනි. කැට්ලින් ගැන මගේ හිතේ තියෙන ආදරේ වෙනුවෙන් මම දැන්මම යන්නම් ජේනස් ස්ලින්ට් මුනගැහෙන්ට. ගිහින් නගරාරක්ෂක බලකාය ඔබේ පැත්තට ගන්ට වග බලාගන්නම්. රත්තරන් කාසි හයදාහකට පුළුවන් ඒ වැඩේ කරන්ට. තුනෙන් එකක් අණදෙන නිළධාරියාට. තුනෙන් එකක් අනිත් නිළධාරීන්ට. තුනෙන් එකක් සෙබළුන්ට. ඇත්තම කියනවා නම් අපිට ඒ මුදලින් බාගෙකට උන්ව මිලදී ගන්ට පුළුවන් වෙයි. ඒ වුනත් මේ වෙලාවෙ අනවශ්‍ය අවදානමක් ගන්ට මම සූදාණම් නෑ." ඔහු සිනාසෙමින් කිනිස්ස අතට ගෙන මිට පැත්ත ඉදිරියට සිටින සේ නෙඩ් වෙතට දිගුකලේය.


Eddard Stark: “Even the truest knight cannot protect a king against himself.”

Monday 29 December 2014

එඩාර්ඩ් 13-1


මීට පෙරද දහස් වතාවක් කර ඇති පරිද්දෙන් ඔහු වින්ටර්ෆෙල්වලට යටින් වූ සොහොන් ගුහා තුළ ඇවිදිමින් සිටියේය. ශීත රජුන් ඔහු පියමැන යන ආකාරය දෙස සිය මිදුනු දෑසින් බලා සිටි අතර ඔවුන් ගේ දෙපා අසල සිටි ඝෝරවෘකයෝ සිය ශෛලමය හිස් ඔසවා ඔහු දෙස බලා විලිස්සූහ. අන්තිමේදී ඔහු තමා දෙපසින් බ්‍රැන්ඩන් හා ලියානා සමගින් නිදාසිටින සිය පියාගේ සොහොන් ගැබ වෙත පැමිණියේ ය. "මට පොරොන්දු වෙන්ට නෙඩ්." ලියානා ගේ ප්‍රථිමාව කෙඳිරුවා ය. ඇගේ ගෙල වටා නිල් පැහැ රෝසමලින් කල මාලයක් පළඳා තිබුනු අතර ඇගේ දෑසින් කඳුළු වෙනුවට රුධිර බිඳු වෑහෙන්නට විය.

එඩාර්ඩ් ස්ටාර්ක් සැනෙන් නැගිට සිටියේය. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙමින් තිබුනු අතර ඇඳ ඇතිරිලි ඔහු වටා විසිරී තිබුනි. කාමරය අන්ධකාරයෙන් පිරී පැවතුනු අතර කවුදෝ මහහඬින් දොරට තඩිබාමින් හුන්නේය. "එඩාර්ඩ් උතුමානනි." කටහඩක් හඬගෑවේය.

"පොඩ්ඩක් ඉන්ට‍." අන්ධකාරය කාමරය තුළ නිදිමතේ වැනී වැනී මෙන් ඔහු දොර දෙසට පියමැන්නේ ය. ඔහු දොර විවර කල විට එතැන ටොමාර්ඩ් ද පන්දමක් අතින් ගත් කේන් ද ඒ දෙදෙන අතරින් රජතුමා ගේ නිවාස භාරකරුවා ද සිටගෙන සිටියහ.

මේ මිනිසා ගේ මුහුණ ගලින් කල පිළිමයක් මෙන් කිසිදු හැඟීමක් නොපෙන්වී ය. "මගේ හස්තයේ උතුමානනි. රජතුමා ඔබට මේ දැන්මම එන්ටයි කියලා අණ කලා."

'එහෙනම් ‍රොබර්ට් දඩයම් සවාරිය නිමාකරලා ඇවිල්ලා.' ඔහු ඕනෑවටත් වඩා වැඩි කාලයක් ඒ වෙනුවෙන් වැයකර තිබුනි. "මට ඇඳුම් ඇඳගන්ට පොඩි වේලාවක් ඕන." මිනිසා පිටත සිටගෙන සිටියදී ඔහු කේන්ගේ උදවු ඇතිව ඇඳුම් හැඳගත්තේ ය. සුදු පැහැ හණ රෙද්දෙන් කල කමිසයක් හා අළු පැහැ සළුවක් පැළැන්දේ ය. වෙළුම් පටි යෙදූ පාදයට පහසු වනු පිණිස කලිසම් කකුල අඩක් පලා දමා තිබින. සිය තනතුරට හිමි සලකුණ ද බරැති රිදී දම්වැලින් නිම කල ඉණපටියක් ද පැළැඳි ඔහු වැලීරියන් කිනිස්ස ඉණේ රුවාගත්තේ ය.

අභ්‍යන්තර අංගනය ඔස්සේ ටොමාර්ඩ් හා කේන්ගේ උදවු ඇතිව ඔහු පියනගද්දී රතු බලකොටුව අන්ධකාරයේ හා නිහඬතාවයේ ගැලී පැවතින. ප්‍රාකාරයට ඉහළින් පුරපස සඳ පායා තිබින. පවුරු අටල්ලෙහි වූ රන් කබා පැළැඳි මුරසෙබළෙක් සිය මුර සක්මනෙහි යෙදෙමින් හුන්නේය.

රාජකීය නවාතැන වූයේ 'මේගර් ගේ බලකොටුව' නමින් හැඳින්වුනු රතු බලකොටුව මධ්‍යයේ පිහිටි දැවැන්ත චතුරස්‍රාකාර බලකොටුවක් විය. එහි බිත්ති අඩි දොලසක් ඝනකම් වූ අතර එය වටා යවුල් සිටවූ වියළි අගලක් පිහිටා තිබුනි. එය බලකොටුවක් තුළ පිහිටි තවත් බලකොටුවක් විය. අගලට ඉහළින් වූ පාලමේ එහා කොණේ සුදු පැහැ වානේ සන්නාහයෙන් සැරසුනු සෙර් බොරෝස් බ්ලොන්ට් මුරකාවලෙහි යෙදී සිටියේය. පඩිපෙළ පාමුල සෙර් ප්‍රෙස්ටන් ග්‍රීන්ෆීල්ඩ් මුරකාවල් කල අතර රජතුමා ගේ නිදන කාමරයේ දොරට පිටතින් සෙර් බැරිස්ටාන් සෙල්මි රැකවල් කලේය. සුදු ඇඳුමින් සැරසුනු නයිට්වරුන් තිදෙනෙක්! ඔහුට සිය සිහිනය මතක් විය. ඔහුගේ සිරුර පුරා අමුතුම සීතලක් දිවයන්නට විය. සෙර් බැරිස්ටාන් ගේ මුහුණ ඔහුගේ සන්නාහය තරම්ම සුදුමැලි විය. ඔහුගේ මුහුණ දෙස බැලූ එක් බැල්මකින්ම කොතැනක හෝ භයානක වැරැදීමක් සිදුව ඇති බැව් නෙඩ් වටහාගත්තේ ය. රාජකීය නිවාස භාරකරුවා දොර හැරියේය. "රජතුමාගේ හස්තය, එඩාර්ඩ් ස්ටාර්ක් උතුමානන්." ඔහු නිවේදනය කලේය.

"එයාව මෙහාට ගෙනෙල්ලා." රොබර්ට් ගේ ස්වරය අසාමාන්‍ය අන්දමින් පැටලිලි සහගත විය.

කාමරයේ දෙකෙලවර වූ ගිනිඋඳුන් දෙකම දල්වා තිබුනු අතර එයින් නැගුනු ගිනිදළුවලින් කාමරය පුරා මලානික රත් පැහැයක් විහිද තිබුනි. එහි වූ උණුසුම හුස්ම හිරකරවනසුළු විය. රොබර්ට් වියන් ඇඳ මත වැතිර සිටියේය. ප්‍රධාන මේස්ටර් පයිසෙල් ඇඳ අසල එකල මෙකල වෙමින් සිටි අතර රෙන්ලි උතුමානන් වසා දැමූ කවුළු අසල නොසන්සුන් අයුරින් ඇවිදිමින් සිටියේය. සේවකයෝ කාමරය තුළ එහා මෙහා යමින්, උඳුනට දර දමමින්, වයින් උණුසුම් කරමින් සිටියහ. සෙර්සි ලැනිස්ටර් ඇඳේ කොණක සිය සැමියා පසෙකින් අසුන්ගෙන සිටියාය. නින්දේ සිටියාක් මෙන් ඇගේ කෙහෙරැළි අවුල්ව තිබුනු නමුදු ඒ දෑසේ කිසිදු නිදිමත ගතියක් නොවීය. ටොමාර්ඩ් හා කේන්ගේ සහායෙන් නෙඩ් කාමරය හරහා ඇදෙද්දී ඒ දෑස් ඔහු දෙසට එල්ලවූයේ ය. ඔහු කෙතරම් සෙමින් ඇවිද්දේ ද යත් තවමත් සිහිනයෙන් ඇවිදින්නාක් මෙන් ඔහුට හැඟින.

රජතුමා තවමත් සිය බූට්ස් සපත්තු පැළැඳ සිටියේය. රොබර්ට්ව වසා තිබුනු පොරෝණයෙන් පිටතට විහිද තිබුනු දෙපාවල ඇලී තිබුනු වියළි මඩ හා තණපත් ඔහුට දිස්විය. කපා විවර කර තිබුනු කොළ පැහැ පිට කබායක් බිම වීසිකර දමා තිබුනි. එය රතු-දුඹුරු පැහැ පැල්ලමින් ගැවසියේ ය. කාමරය පුරා විහිද තිබුනේ දුම් සුවඳ, ලේ සුවඳ හා මරණයේ සුවඳයි.

"නෙඩ්." ඔහු දුටු රජතුමා ‍කෙඳිරීය. ඔහුගේ මුහුණ කිරි මෙන් සුදුමැලි වී තිබුනි. "වරෙන්... ළඟට වරෙන්."

ඔහුගේ මිනිසුන් දෙදෙන ඔහුව ඇඳ අසලට රැගෙන ආහ. ඇඳ කණුවක් අල්ලාගත් නෙඩ් සිරුර සමබර කරගත්තේ ය. රොබර්ට්ව දුටු මනතින්ම තත්ත්වය කෙතරම් බැරෑරැම්දැයි ඔහු වටහාගත්තේ ය. "මොන...?" ඔහු කතා කරන්නට උත්සාහ කලමුත් උගුර වියළී තිබින.

"වල් ඌරෙක්." රෙන්ලි උතුමානන් තවමත් දඩයමට හැඳි කොළ පැහැ ඇඳුමින් සැරසී සිටියේය. ඔහුගේ සළුව පුරා ලේ විසිවී තිබින.

"යකෙක්." රජතුමා කීය. "මගෙම වැරැද්ද. මාව යකාටම ගියාවෙ. මම ඕනවටත් වඩා වැඩිපුර වයින් බීලා හිටියෙ. මගේ හෙල්ල පාර වැරදුනා."

"එතකොට අනිත් අය කොහෙද හිටියෙ?" නෙඩ් රෙන්ලි උතුමානන් වෙතින් විමසීය. "කොහෙද සෙර් බැරිස්ටානුයි රාජ්‍යාරක්ෂක බලකායයි හිටියෙ?"

රෙන්ලි ගේ මුව ඇදවී ගියේය. "මගේ අයියා අණකලා අපි හැමෝටම පැත්තකට වෙලා එයාට තනියම ඌරාව දඩයම් කරන්ට දෙන්ටයි කියලා."

එඩාර්ඩ් ස්ටාර්ක් පොරෝණය ඔසවා බැලුවේය.

රජුගේ තුවාලය වසාදැමීම සඳහා ඔවුන් කල හැකි සියල්ලම කර තිබුනි. එනමුදු එය කිසිසේත් ප්‍රමාණවත් නොවීය. ඒ වල් ඌරා අති බිහිසුණු සත්ත්වයකු විය යුතුය. උගේ දළ පහරින් රජුගේ ඉකිලිවල සිට පපුව දක්වා ඉරී තිබින. ප්‍රධාන මේස්ටර් පයිසෙල් විසින් තුවාලය මතින් එලූ වයින් පෙඟවූ වෙළුම්පටි දැනටමත් රුධිරයෙන් පෙඟී කළු පැහැ ගැන්වී තිබින. තුවාලයෙන් නැගුනු දුර්ඝන්ධය ඉසිලිය නොහැකි තරම් විය. නෙඩ්ගේ උදරය පෙරැලී ආයේය. ඔහු වහා පොරෝණය පහත දැමීය.

"ගඳයි නේද?" රොබර්ට් කීය. "මරණයේ ගඳ. මට ඒක දැනෙන්නෙ නැහැයි කියලා හිතන්ට එපා. අර අවජාතකයා මට හොඳ වැඩේ කලේ නේද? ඒ වුනත් මම... ඒ වුනත් මම ඌට වැඩේ දුන්නා නෙඩ්." රජුගේ සිනහව ඔහුගේ තුවාලය තරම්ම භයංකර විය. ඔහුගේ දත් රත් පැහැ වී තිබින. "මම උගේ ඇහැ හරහා කිනිස්සක් බැස්සුවා. අහපන් මුන්ගෙන් මම එහෙම කලේ නැද්ද කියලා. අහපන් මුන්ගෙන්."

"ඇත්තටම." රෙන්ලි උතුමානන් මිමිනුවේ ය. "මගේ අයියාගෙ අණ අනුව අපි උගෙ මළකඳත් ආපහු අරන් ආවා."

"භෝජන සංග්‍රහයට ගන්ටයි කියලා." රොබර්ට් කෙඳිරුවේ ය. "දැන් අපට ඉඩ දීලා කට්ටිය පිටවෙයල්ලා. උඹලා හැමෝම. මට නෙඩ් එක්ක කතා කරන්ට ඕන."

"රොබර්ට්, මගේ ආදරණීය උතුමානනි..." සෙර්සි කතාව පටන්ගත්තා ය.

"මම කිවුවෙ පිටවෙයල්ලා කියලා." රොබර්ට් සිය පැරැණි බිහිසුණු බවේ ඡායාවක් තැවරුනු ස්වරයෙන් කීය. "ඒකෙන් මොන කෑල්ලද උඹට තේරෙන්නෙ නැත්තෙ ගෑනියෙ?"

නැගිට සිය සාය මඳක් ඔසවාගත් සෙර්සි ආත්ම ගෞරවයද බේරාගෙන දොර දෙසට පියමැන්නා ය. රෙන්ලි උතුමානන් හා අනිකුන් ඒ පස්සේ වැටුනහ. ප්‍රධාන මේස්ටර් පයිසෙල් මඳක් තාවර වූයේ වෙවුලන අතින් රජු වෙත සුදු පැහැ දියරයක් පිරි කෝප්පයක් පිරිනැමීය. "පොපි යුෂ මගේ ස්වාමිනී. වේදනාව අඩුවෙන්ට ‍බොන්ට."

පිටිඅත්ලෙන් පහරක් එල්ල කල රොබර්ට් කෝප්පය විසිකර දැමීය. "පලයන් යන්ට උඹත්. මම බොහොම ඉක්මනට නිදාගන්ට තමා යන්නෙ නාකි මෝඩයො. පලයන් යන්ට මෙතැනින්."

කාමරය හරහා ගාටමින් යද්දී පයිසෙල් නෙඩ් දෙසට දුක්ඛිත බැල්මක් හෙලුවේය.

"උඹ යකාටම පලයන් රොබර්ට්!" ඔවුන් දෙදෙන තනි වූ විට නෙඩ් රජු ඇමතීය. ඔහුගේ පාදයේ වේදනාව කෙතෙක් ද යත් ඔහු අන්ධවූවාක් මෙන් හැඟින. එසේ නැතහොත් ඔහුගේ දෑසේ පටලයක් බැඳුනේ දුක නිසා වන්නට ඇත. ඔහු හෙමිහිට ඇඳ පසෙකින්, සිය මිතුරා අසලින් වාඩි විය. "ඇයි උඹ හැමවෙලාවෙම ඔච්චර මුරණ්ඩු වෙන්නෙ?"

"ආහ්! පලයන් යන්ට නෙඩ්." රජු බැරෑඬි හඬින් කීවේය. "මම ඒ අවජාතකයාව මැරුවානෙ. හොඳයි නැද්ද?" නෙඩ් දෙස රවා බලද්දී ඔහුගේ දෑස් වසා කළු පැහැ කෙස් රොදක් වැටුනේය. "උඹටත් ඒකම තමා කරන්ට ඕන. මිනිහෙකුට නිදහසේ දඩයම් කරන්ටවත් දෙන්නෙ නෑ. සෙර් රොබාර් මාව මුනගැහෙන්ට ආවා. ග්‍රෙගර්ගෙ ඔළුව. බොහොම නරක කල්පනාවක්. මම දඩබල්ලාට කිවුවෙ නෑ. සෙර්සි මිනිහව පුදුම කරපුවාවෙ." තුවාලයෙන් නැගුනු වේදනාව නිසා ඔහුගේ සිනහව වේදනාත්මක කෙඳිරියක් බවට පෙරැලින. "දෙයියො මට සමාව දෙන්ට!" ඔහු වේදනාව සඟවාගනිමින් කෙඳිරුවේය. "අර කෙල්ල. ඩනේරිස්. උඹ හරි, ඒකි පුංචි දැරිවියක් තමා... ඒක තමා, දැරිවි... දෙයියො වල්ඌරාව එවුවෙ... මට දඬුවම් කරන්ට..." රජතුමා කැස්ස අතර මුවින් ලේ බිඳිති විසිවිය. වැරැදියි. ඒක වැරැදියි. මම... පුංචි කෙල්ලෙක්... වාරිස්, සුළැඟිල්ලා, මගේම මල්ලි වුනත්... කිසිම වැඩක් නෑ... ඒක මට කියන්ට උඹ ඇරෙන්ට වෙන කිසිම කෙනෙක් හිටියෙ නෑ නෙඩ්... උඹ විතරයි..." ඔහු දුබල අයුරින් සිය අත ඔසවා සන්කලේය. "තීන්තයි කොලයි. ඔන්න ඔතැන මේසෙ උඩ. මම කියන දේ ලියපන්."

කඩදාසිය සිය දණහිස මත අතුරාගත් නෙඩ් පිහාටු පෑනක් අතට ගත්තේය. "ඔබගෙ අණ මගේ ස්වාමිනී."

"මේ තමා රොබර්ට් බරතියන්ගෙ අන්තිම කැමැති පත්‍රය. ඒ නමින් වන පළමුවෙනියා වූ ද, අන්දාල්වරුන් ගේ රජු වූ ද, ඔය ඔක්කොම මලඉලවු තනතුරු ටික දාපන්. උඹ දන්නවනෙ ඒක කොහොමද යන්නෙ කියලා... මම මෙයින් අණකර ප්‍රකාශකර සිටින්නේ රජතුමා ගේ හස්තය හා වින්ටර්ෆෙල්හි අධිපතියා වන ස්ටාර්ක් වංශයේ එඩාර්ඩ් මේ රාජධානියේ උපරාජයා ලෙසත් රාජධානියේ ආරක්ෂකයා ලෙසත් පත්කරන බවයි. මගේ... මරණයෙන් පසු මා වෙනුවට... මගේ පුත්‍රයා ජොෆ්රි නිසි වයස් පැමිණෙන තුරු ඔහු විසින් මේ රාජධානිය පාලනය කරනු ඇත..."

"‍රොබර්ට්..." ජොෆ්රි ඔබේ පුතා නෙවෙයි, ඔහුට කියන්නට උවමනා විය. එනමුදු ඒ වදන් මුවින් පිටතට ගලා ආවේ නැත. රොබර්ට්ට දැනෙමින් තිබුනු වේදනාව ඔහුගේ මුහුණින් පැහැදිලිවම දැකිය හැකි විය. ඔහුට තවදුරටත් රිදවන්නට නෙඩ්ට අවශ්‍ය නොවීය. එබැවින් ඔහු හිස පහත්කරගෙන දිගටම ලියන්නට විය. එහෙත් රජතුමා 'මගේ පුත්‍රයා ජොෆ්රි' යනුවෙන් පැවසූ තැන 'මගේ උරුමක්කරු' යනුවෙන් යොදන්නට ඔහු අතපසු නොකලේය. මේ කරනලද වංචාව නිසා ඔහුට මහත් වරදකාරී බවක් දැනෙන්නට විය. 'ආදරේ නිසා අපි කියන බොරු!' ඔහු කල්පනා කලේය. 'දෙවියන් මට සමාව දෙත්වා!' "ඔබට තව මොනවද කියන්ට ඕන?"

"කියහන්... උඹට ඕන දෙයක්. රැක බලාගන්ට, ආරක්ෂා කරන්ට. පැරණි හා නව දෙවිවරුන් ගේ නාමයෙන්. උඹ දන්නවනෙ ඔය විකාර වචන ටික. ඒ ටික ලියහන්‍. මම අත්සන් කරන්නම්. මම මලාට පස්සෙ උඹ ඒක රාජසභාවට ඉදිරිපත් කරපන්."

"රොබර්ට්..." නෙඩ් දුකින් පීඩිත වූ ස්වරයෙන් කීය. "උඹට මේක මෙහෙම කරන්ට බෑ. මාව දාලා මෙහෙම මැරෙන්ට එපා. මේ රාජධානියට උඹව අවශ්‍යයි."

රොබර්ට් ඔහුගේ අතකින් අල්ලාගත්තේ ය. ඔහුගේ අතැඟිලි දැඩිව මසට කාවැදුනි‍. "උඹනම්... මහ නරක බොරුකාරයෙක්, නෙඩ් ස්ටාර්ක්." රජතුමා වේදනාව මැඩගනිමින් කතාකලේය. "රාජධානිය... රාජධානිය දන්නවා... මම කොච්චර නරක රජෙක්ද කියලා. ඒරිස් වගේම නරක රජෙක්. දෙයියො මට සමාව දෙන්ට ඕන."

"නෑ. ඒරිස් තරම්ම නරක නෑ. මගේ ස්වාමිනී. කොහෙත්ම ඒරිස් තරමට නරක් වුනේ නෑ."

රොබර්ට් දුබල සිනහවක් පෑවේය. "අඩුමගානෙ... උන් කියයි... මේ අන්තිම දේ... ඒකවත් මම හරියට කලයි කියලා. උඹ මාව අසමත් කරන්නෙ නෑ කියලා මම දන්නවා. උඹයි දැන් රාජ්‍යය විචාරන්නෙ. උඹ ඒකට වෛර කරයි. මටත් වඩා වෛර කරයි... ඒ වුනත් මම දන්නවා උඹ ඒ වැඩේ හොඳට කරයි. උඹ ඕක ලියලා ඉවරද?"

"එහෙමයි මගේ ස්වාමිනී." නෙඩ් ලිපිය රොබර්ට් වෙතට දිගුකලේය. රජතුමා කිසිවක් නොදකින දෑසින් සිය අත්සන යෙදීය. මේ උත්සාහය නිසා ඔහු ලිපිය පුරා ලොකු ලේ පැල්ලමක් තැවරුවේය. "මේකට මුද්‍රා තියන්ට සාක්කිකාරයො ඕන."

"මගේ අවමගුල් භෝජන සංග්‍රහය වෙනුවෙන් අර ඌරාව පාවිච්චි කරපන්." රොබර්ට් ගොරෝසු හඬින් කෙඳිරිගෑවේ ය. "කටේ ඇපල් ගෙඩියක් ගහලා, හොඳට හම පිපිරෙන ගානට රෝස් කරපන්. ඌව කාපන්. උඹේ හුස්ම හිරවෙනකම්ම කාපන්. මට පොරොන්දු වෙයන් නෙඩ්."

"මම පොරොන්දු වෙනවා." 'මට පොරොන්දු වෙන්ට නෙඩ්' ලියානා ගේ කටහඬ ඔහුගේ හිස තුළ දෝංකාර දෙන්නට විය.

"අර කෙල්ල... ඩනේරිස්... ඒකිට ජීවත්වෙන්ට දියන්. උඹට පුළුවන් නම්... දැනටමත් පරක්කු වැඩි නැත්තම්... උන්ට කතා කරපන්... වාරිස්ට, සුළැඟිල්ලාට... උන්ට එයාව මරන්ට දෙන්ට එපා. ඒවගේම මගේ පුතාට උදවු කරපන් නෙඩ්. එයාට උදවු කරපන්... මට වඩා හොඳ කෙනෙක් වෙන්ට." ඔහු වේදනාවෙන් ඇකිළුනේ ය. "දෙයියො මට සමාව දෙන්ට ඕන."

"දෙයියො උඹට සමාව දෙයි මගේ මිත්‍රයා. දෙයියො සමාව දෙයි."

රජතුමා දෑස් පියාගත් අතර ඔහුට සැහැල්ලුවක් දැනුනාක් මෙන් දිස්විය. "ඌරෙක්ගෙන් මැරුම් කන්ට." ඔහු කටුකුටු ගෑවේය. "මට හිනාවෙන්ට ඕන. ඒ වුනත් එතකොට හරියට රිදෙනවා."

නෙඩ්ට සිනාසිය නොහැකි විය. "මම එයාලට ආපහු කතාකරන්ට ද?"

රොබර්ට් දුබල අයුරින් හිස සෙලවීය. "උඹේ කැමැත්තක්. දෙයියම්පා! ඇයි මෙච්චර සීතල?"

නැවත කාමරයට පැමිණි සේවකයෝ විගස උඳුන්වල ගිනි අලුත් කරන්නට වූහ. රැජිණ පිටවගොස් තිබුනු අතර අඩුම තරමේ එය සැනසීමට කරුනක් විය. ඇයට මොළයක් කියා දෙයක් ඇත්නම් දැන් කල යුතු හොඳම දෙය දරුවනුත් රැගෙන එළිවන්නට පෙර මෙයින් පැනයාමයි. ඇය දැනටමත් ඕනෑවටත් වඩා වැඩි කාලයක් මෙහි ගතකර ඇත.

රොබර්ට් රජතුමාට ඇය නැති බවක් දැනුනේවත් නැත. සිය අන්තිම කැමැති පත්‍රයට මුද්‍රා තබද්දී සාක්කිකරුවන් වශයෙන් සිය සොයුරු රෙන්ලිට හා මේස්ටර් පයිසෙල්ට අසලින් සිටගෙන සිටින්නැයි ඔහු අණකලේය. "දැන් මට වේදනාව අඩුවෙන්ට මොකක් හරි දීපල්ලා. ඊටපස්සෙ මට මැරෙන්ට දීපල්ලා."

පයිසෙල් නැවත වරක් ලහිලහියේ ඔහු වෙනුවෙන් පොපි යුෂ කෝප්පයක් සූදාණම් කලේය. මේ වතාවේ රජතුමා ඒ සියල්ලම පානය කලේය. හිස් කෝප්පය පසෙකට විසිකරද්දී ඔහුගේ කළු රැවුල පුරා සුදු පැහැ බිඳිති විසිර ගියේය. "මට හීන පෙනෙයිද?"

නෙඩ් ඔහුට පිළිතුරු දුන්නේය. "එහෙමයි මගේ ස්වාමිනී."

"බොහොම හොඳයි." ඔහු සිනාසුනේ ය. "මම ලියානාට උඹේ ආදරේ දෙන්නම් නෙඩ්. මං වෙනුවෙන් මගේ දරුවො ටික බලාගනින්."

මේ වදන් පිහිපහරවල් මෙන් නෙඩ්ගේ පපුවේ ඇනෙන්නට විය. එක් මොහොතකට ඔහුට කිවයුත්තක් සිතාගත නොහැකි විය. ඔහුට බොරුවක් කියාගත නොහැකි විය. ඊළඟ මොහොතේ ඔහුට රොබර්ට්ගේ අවජාතකයින් සිහිපත් විය. සිය මවගේ ඇකයේ නිදාසිටින පුංචි බාරා, මිටියාවතේ සිටින මයා, කම්මලේ සිටින ජෙන්ඩ්‍රි සහ අනිකුත් සියල්ලන්ම. "මම එහෙම කරන්නම්... ඔබේ දරුවො මගේ දරුවන් තරම්ම හොඳින් බලාගන්නම්." ඔහු මුදු ස්වරයෙන් කීය.

හිස සැලූ රොබර්ට් දෙනෙත් පියාගත්තේ ය. පොපි යුෂ විසින් ඔහුගේ වේදනාව මකා දමද්දී සිය පැරණි ආදරණීය මිත්‍රයා කොට්ට තුළ මෘදු අයුරින් කිඳා බැස නිදාගන්නා ආකාරය නෙඩ් බලා සිටියේය.

මේස්ටර් පයිසෙල් නෙඩ් වෙතට ළඟාවද්දී ඔහුගේ බරැති දම්වැල නද දුන්නේය. "මට පුළුවන් උපරිමය මම කරනවා මගෙ උතුමානනි. ඒ වුනත් මේ තුවාල කුණුවෙලා. එතුමාව මා ගාවට අරන් එන්ට එයාලට දවස් දෙකක් ගිහිල්ලා තියෙනවා. මම එයාව දකිනකොට පරක්කු වැඩියි. මට එතුමන්ගෙ වේදනාව අඩුකරන්ට පුළුවන්. ඒ වුනත් එතුමන්ව දැන් සනීප කරන්ට පුළුවන් දෙවියන්ට විතරයි."

"කොච්චර කාලයක් යයිද?" නෙඩ් ඇසීය.

"හරි විදියට නම් එතුමා දැනටමත් මැරිලයි ඉන්ට ඕන. මම කවමදාවත් දැකලා නෑ කිසිම මිනිහෙක් මෙච්චර තදින්, මෙච්චර බිහිසුණු විදියට ජීවිතේ එල්ලිලා ඉන්නවා."

"මගේ අයියා හැමදාමත් ශක්තිමත්." රෙන්ලි උතුමානන් කීවේය. "සමහරවිට ඥානවන්ත නොවෙන්ට පුළුවන්. ඒ වුනත් ශක්තිමත්." නිදන කාමරය තුළ වූ හුස්ම හිරකරවනසුළු උණුසුම නිසා ඔහු‍ගේ නළලින් ඩා බිඳු වෑහෙමින් තිබින. ඔහු හරියටම රොබර්ට් ගේ භූතාත්මයක් මෙන්, තරුණ, කඩවසම් රූපාකාරයකින් යුතුව එතැන සිටගෙන සිටියේය. "එයා අර ඌරාව මැරුවා. එයාගෙ බඩ ඇරිලා අතුණුබහන් එළියට ඇවිල්ලයි තිබුනෙ. ඒ වුනත් එයා කොහොමහරි ඌරාව මැරුවා." ඔහුගේ කටහඬ විමතියෙන් පිරී තිබින.

"රොබර්ට් කියන්නෙ තමන්ගෙ සතුරෙක් කෙලින් කටින් ඉන්නතාක්කල් කිසිමදාක සටන් බිමෙන් පිටවෙලා ගිය කෙනෙක් නෙවෙයි." නෙඩ් ඔහුට කීවේය.

දොරට පිටතින් සෙර් බැරිස්ටාන් සෙල්මි තවමත් මුරකාවලෙහි යෙදී සිටියේය. "මේස්ටර් පයිසෙල් රොබර්ට්ට පොපි යුෂ දුන්නා. මගේ අවසරයක් නැතුව කිසිම කෙනෙකුට එයාගෙ විවේකයට බාධා කරන්ට ඉඩදෙන්ට එපා." නෙඩ් ඔහුට පැවසීය.

"ඔබතුමාගෙ අණ ඒ විදියටම ඉටුවේවි මගෙ උතුමානනි." සෙර් බැරිස්ටාන් සිය වයසටත් වඩා මහලු වූවාක් මෙන් පෙනින. "මා ගැන තිබ්බ ගෞරවනීය විශ්වාසය රකින්ට මට බැරිවුනා."

"හොඳම නයිට්වරයෙකුටවත් බෑ රජතුමාව එයාගෙන්ම ‍බේරගන්ට. රොබර්ට් වල් ඌරො දඩයම් කරන්ට බොහොම ආසා කලා. මම දැකලා තියෙනවා එයා ඌරො දාස්ගානක් දඩයම් කරන හැටි." ඔහු කිසිදු ඇසිපිය සැලීමකින්වත් තොරව සිටිපිය සිටගෙන සිටිනු ඇත. දෙපා පළල් කරගෙන, සිය දැවැන්ත හෙල්ලය දෑතින් රැගෙන බලාසිටිනු ඇත. එමෙන්ම ඌරා පිම්මේ ඔහු වෙතට පිඹගෙන එද්දී ඔහු ඌට අවලාද නගනු ඇත, ඌට දෙස් තබනු ඇත. නියම තත්පරය එළඹෙනතුරු බලා හිඳ, සතා ඔහු මතට පනින තෙක්ම බලා හිඳ, අවසන් මොහොතේ එකම එක මාරාන්තික තිර පහරකින් සතාව මරාදමනු ඇත. "කිසිම කෙනෙක් දැනගෙන හිටියෙ නෑ මූ එයාගෙ මාරයා කියලා."

"ඔබ එහෙම කියාපු එක බොහොම කරුනාවන්තයි එඩාර්ඩ් උතුමානනි."

"රජතුමාත් ඒකම තමා කිවුවෙ. එයා කිවුවෙ වයින් නිසා මේ දේ වුනයි කියලා."

නයිට්වරයා දුබල අයුරින් හිස වැනීය. "අපි ඌරාව උගේ ලෙනෙන් එලවන් එද්දිත් රජතුමා සෑදලේ උඩ වැනි වැනියි හිටියෙ. ඒ වුනත් එතුමා අණකලා අපි හැමෝටම පැත්තකට වෙලා එයාට ඉඩදෙන්ටයි කියලා."

"මම මේ කල්පනා කරන්නෙ සෙර් බැරිස්ටාන්," වාරිස් මෘදු ස්වරයෙන් ඇසීය. "කවුද රජතුමාට වයින් දුන්නෙ?"

පණ්ඩකයා ගේ පැමිණිම නෙඩ්ට ඇසී නොතිබුනි. එනමුදු ඔහු හිස ඔසවා බලද්දී වාරිස් එතැන විය. ඔහු බිම ගෑවෙන තරම් දිග, කළු විල්ලුද කබායක් පැළැඳ, අලුතෙන් මුහුණට පුයර දමා තිබුනි.

"ඒ වයින් රජතුමාගෙම වයින් මල්ලෙන්." සෙර් බැරිස්ටාන් පිළිතුරු දුනි.

"එකම එක මල්ලක් විතරක්? දඩයම කියන්නෙ බොහොම තිබහ හැදෙන දෙයක්."

"මම ඒකනම් ගණන් කලේ නෑ. ඒ වුනත් කිසිම සැකයක් නෑ, එකකට වඩා වැඩිවෙන්ට ඕන. එයාට ඕන වුන හැමවෙලාවෙම එයාගෙ සහචරයා ඉක්මනටම අලුත් වයින් මල්ලක් ගෙනත් දුන්නා."

"කොච්චර හොඳ කීකරු කොලුවෙක්ද. තමන්ගෙ රජතුමාට විඩා වැටෙන්ට නොදී හැම වෙලාවෙම එහෙම සංග්‍රහ කරන්ට වගබලාගන්න එක." වාරිස් කීය.

නෙඩ්ගේ මුවට තිත්ත රසයක් දැනෙන්නට විය. රොබර්ට් ගේ සහචරයින් වශයෙන් සේවය කල තඹ පැහැ හිසකෙසින් යුතු අර ගැටවරයින් දෙදෙනා ඔහුගේ සිහියට නැගෙන්නට විය. "කොයි එක්කෙනා ද?"

"වැඩිමහලු එක්කෙනා." සෙර් බැරිස්ටාන් පිළිතුරු දුනි. "ලැන්සල්."

"මම දන්නවා ඒ කොලුවාව බොහොම හොඳට." වාරිස් පැවසීය. "බොහොම ශක්තිසම්පන්න කොලුවෙක්. සෙර් කෙවන් ලැනිස්ටර්ගෙ පුතා. ටයිවින් උතුමානන්ගෙ බෑණා. රැජිණගෙ ළඟම ඥාතියෙක්. මම ප්‍රාර්ථනා කරනවා මේ කොල්ලා රජතුමාගෙ මරණය ගැන තමන්ට දෙස් තියාගන්න එකක් නැහැයි කියලා. මේ තරුණ අහිංසක දරුවො කොච්චර ඉක්මනට අනතුරක වැටෙන්ට පුළුවන්ද‍. මට මා ගැනම මතක්වෙනවා."

සැබැවින්ම වාරිස්ට එක් කලෙක තරුණ වියක් තිබෙන්නට ඇත. එනමුදු ඔහු අහිංසකව සිටියාය යන කරුන සම්බන්ධයෙන් නෙඩ් තුළ කිසිදු විශ්වාසයක් නොවීය. "ඔබ දරුවො ගැන කතාකරපු නිසයි මට මේක මතක් වුනේ. රොබර්ට් ඩනේරිස් ටාර්ගේරියන් ගැන තිබුනු අදහස වෙනස් කරගත්තා. ඔබ මොන මොන විදියේ උපක්‍රම සූදාණම් කරලාද කියන්ට මම දන්නෙ නෑ. ඒ වුනත් ඒවා නවත්තන්ට ඕන. මේ දැන්මම."

"අයියෝ! මේ දැන්මම කිවුවට ප්‍රමාද වැඩියි. මට සමාවෙන්ට, ඒ වුනත් අර කුරුල්ලො දැනටමත් පියාඹලා ඇති. කොහොමවුනත් මම මට පුළුවන් උපරිමය කරන්නම්. ඔබේ අවසරය මගෙ උතුමානනි." හිස නැමූ ඔහු පඩිපෙළ දිගේ පහළට බැස අතුරුදන් විය.


Petyr Baelish: “You’ll need someone to share your burdens. I assure you, my price would be modest.”

Friday 26 December 2014

ඩනේරිස් 05-2


අසුපිටින් බට ඛාල් ඩ්‍රෝගෝ තමාට හිමි උස් අසුන කරා පියමැන්නේ ය. ඔවුන් ගේ ඛලසාරය නගරයට ඇතුළුවන විටත් එහි වාඩි ලා සිටි ඛාල් ජෝමෝ හා ඛාල් ඕගෝට ඩ්‍රෝගෝගේ දෙපසින් අසුන් පැනවී තිබින. ඔවුන්ට පහතින් මේ ඛාල්වරුන් තිදෙනා‍ ගේ රුධිරාරක්ෂකයින් අසුන්ගෙන සිටි අතර ඔවුන්ටද පහතින් ඛාල් ජෝමෝ ගේ බිරින්දෑවරුන් තිදෙන අසුන් ගෙන සිටියහ.

වෙළඹ පිටින් බට ඩැනී තෝන්ලණුව සිය වහලෙකු අතට දුන්නාය. ඩෝරියා හා ඉරී ඇයට අසුන් ගනු පිණිස බිම මෘදු කොට්ට අසුරද්දී ඇය සිය සොයුරා සොයනු පිණිස අවට නිරීක්ෂණය කලාය. මේ දැවැන්ත ශාලාව තුළ, මේ අතිමහත් පිරිස මධ්‍යයේ වුව ඔහුගේ සුදුමැලි සමත්, රිදී පැහැ කේශ කලාපයත්, හැඳ සිටි වැරහිලිත් හඳුනාගැනීම අසීරුවක් නොවීය. එනමුදු ඇයට කොතැනකවත් ඔහුව සොයාගත නොහැකි විය.

ඇය නැවත වතාවක් බිත්ති අද්දර මිටි මේස අබියස අසුන්ගෙන සිටි, තත්ත්වයෙන් පහත් මට්ටමේ වූ මිනිසුන් පිරිස පවා පිරික්සා බැලුවාය. එනමුදු ඒ සෑම මුහුණක්ම තඹ පැහැ සමින් හා කළු පැහැ දෑසින් යුතු ඒවා විය. ශාලාව මැද්දේ වූ දැවැන්ත ගිනිමැලය අසල සිටින සෙර් ජෝරා ඇගේ නෙත ගැටින‍. එය උසස්ම අසුනක් නොවූ නමුදු ගෞරවාන්විත ආසනයක් විය. මේ නයිට්වරයා ගේ කඩුහරඹ හැකියාව ගැන ඩොත්රැකියන් උසස් කොට සැලකූහ. ඔහුව තම මේසයට කැඳවාගෙන එන්නැයි කියමින් ඩැනී විසින් ජික්වීව පිටත්කර හැරියාය. සෙර් ජෝරා සැනින් පැමිණියේ ඇය අසලින් දණක් නැමීය. "ඛලීසි. ඔබතුමීගෙ ඕනම අණක් කියන්ට."

ඇය තමා පසෙකින් තිබුනු කොට්ටයට තට්ටු කලාය. "මෙතැනින් වාඩිවෙලා මගෙත් එක්ක ටිකක් කතා කරන්ට."

"ඒක මට ලොකු ගෞරවයක්." ඔහු දෙපා හරස්කර කොට්ටය මත වාඩිවිය. ඔහු අසලින් දණ නැමූ වහලෙක් ඉදුනු ෆිග් පිරුනු තැටියක් ඔහු දෙසට පිරිනැමීය. ෆිග් ගෙඩියක් අතින් ගත් සෙර් ජෝරා ඉන් අඩක් මුවේ ලා සැපීය.

"‍කෝ මගේ අයියා?" ඩැනී ඇසුවාය. "මේ සංග්‍රහයට සහභාගි වෙන්ට එයා දැන් මෙතැනට ඇවිල්ලා ඉන්ට ඕන."

"මම අද උදේ එතුමන්ව දැක්කා. එයා මට කිවුවා වයින් ටිකක් හොයාගන්ට බටහිර වෙළෙඳපළ පැත්තට යනවා කියලා."

"වයින්?" ඩැනී විපිලිසරව ඇසුවාය. ඩොත්රැකියන් පානය කරන වෙළඹ කිරෙන් නිමැවූ මේ මධ්‍යසාරය විසේරිස්ට උහුලා ගත නොහැකි දෙයක් විය. ඇය එය මනාව දැන සිටියාය. එමෙන්ම විසේරිස් මේ දිනවල නිතරම වෙළෙඳපළ වෙතට ගොස් බටහිරින් හා නැගෙනහිරින් තවලම් රැගෙන පැමිණ සිටි ‍වෙළෙඳ නායකයින් සමගින් මත්පැන් බොමින් කල් ගතකරන්නට පුරුදුව සිටියේය. ඇගේ සමාගමයට වඩා ඔවුන් ගේ සමාගමය ඔහුට වඩා හිතකර වූ බැව් පෙනෙන්නට තිබුනි.

"වයින්." සෙර් ජෝරා තිර කලේය. "ඒත් එක්කම එයාට පොඩි අදහසක් තියෙනවා මේ තවලම් මුරකරන කුලී හේවායින් එයාගෙ හමුදාවට බන්දාගන්ට." සේවිකාවක් ඔහු ඉදිරිපිටින් පයි එකක් තැබූ අතර ඔහු විගස වැඩට බැස්සේය.

"ඒක නුවණක්කාර වැඩක්ද? එයාට මේ සෙබළුන්ට ගෙවන්ට රත්තරන් නෑ. එයාව පාවලා දුන්නොත් මොකද වෙන්නෙ?" තවලම් මුරකරුවන් වනාහි ගෞරවය, ලැදිකම වැනි දෑ නාඳුනන්නෝ වූහ. කින්ග්ස් ලෑන්ඩින්ග්හි සිටින රාජ්‍යය පැහැරගත්තා ඇගේ සොයුරා ගේ හිස් ගෙඩියට ඉහළම මිලක් ගෙවනු ඇත. "ඔබත් එයත් එක්ක යන්ටයි තිබුනෙ. එයාව ආරක්ෂා කරන්ට. ඔබ එයාගෙ දිවුරුම් දුන්න හේවායෙක්."

"අපි මේ ඉන්නෙ වයෙස් ඩොත්රැක්වලයි. මේක ඇතුළෙ කිසිම මිනිහෙක් ආයුධයක් ගෙනියන්නෙ නෑ. කිසිම මිනිහෙකුගෙ ලේ හොල්ලන්නෙ නෑ." ඔහු ඇයට සිහිපත් කරදුන්නේ ය.

"ඒ වුනත් මිනිස්සු මැරෙනවා. ජෝගෝ මට කිවුවෙ. මේ සමහර වෙළෙන්දො ගාව නපුංසක වහල්ලු ඉන්නවා. මහ දැවැන්ත එවුන්. උන් සේද රෙදි කෑල්ලකින් හොරුන්ගෙ ‍බෙල්ල හිරකරලා මරලා දානවා. එහෙම කලාම ලේ හෙල්ලෙන්නෙ නැති හන්දා දෙවියො කෝපවෙන්නෙ නෑ."

"එහෙමනම් ඉතින් අපි ප්‍රාර්ථනා කරමු කිසිම දෙයක් හොරකම් නොකර ඉන්ට තරම් ඔබේ සහෝදරයා ඥානවන්ත වෙයි කියලා." සිය මුව වටා තැවරී තිබුනු මේදය පිටිඅත්ලෙන් පිසදා හල සෙර් ජෝරා මේසය හරහා ඇය දෙසට නැඹුරු විය. "එයා සැලසුම් කරගෙන හිටියා ඔබේ මකර බිත්තර ටික හොරකම් කරන්ට. ඒ වුනත් මම එයාට අනතුරු ඇඟෙවුවා එයා ඒවට අතවත් තිබ්බොත් මම එයාගෙ අත් දෙක කපලා දානවා කියලා."

මේ පුවතින් ඩැනී කෙතරම් අන්දුන් කුන්දුන් වී ද යත් මොහොතක් ගතවන තුරු ඇයට කතා කරන්න‍ට වදන් සොයාගත නොහැකි විය. "මගේ බිත්තර... ඒ වුනත් ඒවා මගේනෙ. මැජිස්ටර් ඉල්ලීරියෝ ඒවා මට දුන්නෙ මනාලි තෑග්ගක් විදියටයි. ඇයි විසේරිස්ට ඒවා ඕන... ඒවා නිකංම නිකං ගල්නෙ..."

"රතුකැට, දියමන්ති, අනිත් මුතුමැණික් ගැනත් ඒ දේම කියන්ට  පුළුවන් මගේ කුමාරි... අනික මකර බිත්තර කියන්නෙ ඊටත් වඩා දුර්ලභ වටිනා දෙයක්. එයාත් එක්ක බොන ඔය වෙළෙන්දො ඔය එක බිත්තරයක් වෙනුවෙන් තමන්ගෙ රහසඟත් කපලා විකුනයි. ඔය බිත්තර තුන වික්කොත් විසේරිස්ට පුළුවන් එයාගෙ කුලී හේවායින්ට ගෙවන්ට ඕන රත්තරන් හොයාගන්ට."

ඩැනී මේ බවක් නොදැන සිටියාය. මේ බවක් කිසිකලෙකත් සැක නොකලාය. "එහෙමනම් ඉතින්... එයාම ඒවා ගත්තාවෙ. ඒත් එයාට ඒවා හොරකම් කරන්ට ඕන නෑ. එයා මගෙන් ඇහුවානම් මම ඒවා එයාට දෙනවනෙ. එයා මගේ සහෝදරයා... මගේ ඇත්තම ඇත්ත රජා."

"එයා ඔබේ සහෝදරයා තමා." සෙර් ජෝරා එකඟවන ස්වරයෙන් කීය.

"ඔබට තේරෙන්නෙ නෑ සෙර්. මට උපත දීලා මගේ අම්මා මැරිලා ගියා. මගේ තාත්තයි අයියා ‍රේගාරුයි ඊටත් කලින් මැරිලා ගියා. මට ඒවා ගැන කියලා දෙන්ට විසේරිස් ‍නොහිටියා නම් මට අඩුම ගානෙ එයාලගෙ නම්වත් දැනගන්ට ලැබෙන්නෙ නෑ. එයා තමා මට ඉතුරුවුන එකම එක්කෙනා. එකම එක්කෙනා. එයා තමා දැන් මට ඇති එකම දේ."

"ඔවු, ඒ එක කාලෙකදි. ඒ වුනත් දැන් ඒක තවදුරටත් එහෙම නෙවෙයි ඛලීසි. ඔබ දැන් අයිති ඩොත්රැකියන්ට. ඔබේ ගර්භාෂයෙ ඉන්නවා මේ ලෝකය හොල්ලන සෛන්ධවයා." ඔහු සිය කුසලාණ එසවූ අතර වහලියක විසින් එය මධ්‍යසාරයෙන් පුරවාලීය.

ඩැනී අතක් වනා ඇයව පිටත්කර හැරියාය. එහි ඇති ඇඹුල් සුවඳ නිසා ඇයට අප්පිරියාවක් දැනෙන්නට විය. මහත් ආයාසයෙන් කුස තුළට එබූ අර අමු අශ්ව මාංශය නැවත වතාවක් පිටතට ගැනීමට ඇයට කොහෙත්ම අවශ්‍යතාවක් නොවීය. "මොකක්ද ඒකෙන් කියැවෙන්නෙ? කවුද මේ සෛන්ධවයා? හැමකෙනාම ඒක කියලා මට කෑගැහුවා. ඒත් ඒ කිසිදෙයක් මට තේරුනෙ නෑ."

"මේ සෛන්ධවයා තමා පුරාණ අනාවැකියක කියැවෙන ඛාල්ලාගෙත් ඛාල්. අනාවැකියෙ පොරොන්දු වෙන විදියට එයා මේ ඛලසාර් ඔක්කොම එකතුකරලා එක තනි ඛලසාර් එකක් හදලා ලෝකෙ කෙලවරටම යනකම් යනවා. මේ ලෝකෙ ඉන්න හැම මිනිහෙක්ම එයාගෙ යටත් වැසියෙක් වෙයි."

"ආහ්!" ඩැනි කෙඳිරුම් ස්වරයෙන් කීවාය. ඇගේ අත සිනිඳු සේද කබායට උඩින් උදරය මුදු ලෙස පිරිමදින්නට විය. "මම එයාට නම දැම්මෙ රේගෝ කියලා."

"ඒ නම ඇහුවහම රාජ්‍යය පැහැරගත්ත එකාගෙ ඇඟේ ‍ලේ වතුර වෙයි."

හදිසියේම ඩෝරියා ඇගේ වැලිමිටින් අදින්න‍ට විය. "මගේ උත්තමාවනි." ඇය හදිසි ස්වරයෙන් මිමිනුවා ය. "ඔබේ සහෝදරයා..."

ඩැනී ශාලාවේ අනිත් අන්තය දෙස බැලුවාය. ඔහු දිගු පියවර තබමින් ඔවුන් දෙසට පැමිණෙමින් සිටියේය. ඔහු අඩි තබන ආකාරයෙන්ම විසේරිස්ට ඔහු සෙවූ වයින් ලැබී ඇති බැව් ඇය වටහාගත්තා ය. ඒ වයින් සමගින්ම ඔහුට කතාවට අවැසි ධෛර්‍යය ද ලැබී තිබින.

විසේරිස් පාට වියැකී ගිය, ගමන නිසා වැරහැලි වී ගිය සිය ලේ රතු පැහැ සේද ඇඳුම්වලින් සැරසී හුන්නේය. ඔහු ගේ සළුවත් අත්වැසුමුත් හිරු එළියෙන් පාට වියැකුනු කළු පැහැ විල්ලුදයෙන් නිමවීය. ඔහුගේ බූට්ස් සපත්තු වියළී, ඉරිතලා ගොස් තිබුනු අතර ඒ රිදී පැහැ කෙස්කළඹ අවුල් වී ගැටගැසී තිබින. සමින් කල කොපුවක බහාලූ දිගු අසිපතක් ඉණෙහි එල්ලෙමින් තිබින. ඩොත්රැකියන් ගේ දෑස් ඒ දිගු අසිපත වෙත යොමුව තිබුනේය. සාපකිරීම් ද, අවලාද ද, මැසිවිලි හා කෝපසහගත කටුකුටු ගෑම් ද රැල්ලක් මෙන් ඇය වටා නැගෙන්නට විය. සංගීතය කෙමෙන් මැකී ගියේය.

ඇගේ හදවත වටකරමින් භීතිය නැග ආවේය. "එයා ගාවට යන්ට." ඇය සෙර් ජෝරාට අණකලාය. "එයාව නවත්තන්ට. එයාව මෙහාට ගේන්ට‍. එයාට කියන්ට එයාට ඕනනම් අර මකර බිත්තර ටික ගන්ට පුළුවන් කියලා." නයිට්වරයා සැනෙන් දෙපයින් නැගිට සිටියේය.

"කෝ මගේ නංගී?" විසේරිස් මුරගෑවේය. වයින් නිසා ඔහුගේ ස්වරය පැටලිලි සහගත විය. "ඔන්න මම ඒකිගෙ භෝජන සංග්‍රහයට ආවා. උඹලා කොහොමද මම එන්ට කලින් කෑම කන්ට පටන්ගන්ට තරම් නිර්භීත වුනේ? කිසිම කෙනෙක් රජ්ජුරුවන්ට කලින් කන්ට පටන්ගන්නෙ නෑ. කෝ ඒකි? ඔය වේසිට බෑ මකරාගෙ ඇස්වලින් වහන්වෙන්ට."

ගිනිමැල අතරින් විශාලතම එක අබියස නැවතුනු ඔහු ඩොත්රැකියන් ගේ මුහුණු පිරික්සා බලන්නට විය. මේ ශාලාව තුළ මිනිසුන් පන්දහසකට වඩා සිටි නමුදු ඒ අතරින් පොදු භාෂාව තේරුම් ගත හැකි පුද්ගලයින් වූයේ අතලොස්සකි. එනමුදු, ඔහු පවසන වදන් තේරුම් ගත නුහුනු නමුදු, ඔහු බීමතින් සිටින බව දැනගැනීමට ඒ දෙස හෙලන එක් බැල්මක්ම ප්‍රමාණවත් විය.

සෙර් ජෝරා සැනින් ඔහු වෙත ළඟාවිය. ඔහු විසේරිස් ගේ කණට යමක් කොඳුරා ඔහුගේ අතකින් අල්ලාගත්තේ ය. එනමුදු අත ගසාදැමූ විසේරිස් ඔහුගෙන් නිදහස් වූයේය. "උඹේ ඔය ජරා අත මගෙන් අහකට ගනින්. කිසිම කෙනෙකුට බෑ අවසරයක් නැතුව මකරාව අල්ලන්ට."

ඩැනී වියවුල් සිතින් උස් ආසන පෙළ දෙස බැලුවාය. ඛාල් ඩ්‍රෝගෝ ඔහු පසෙකින් සිටි අනික් ඛාල්ලාට යමක් කියමින් සිටියේය. ඛාල් ජෝමෝ දත් විරිත්තූ අතර ඛාල් ඕගෝ කොක්හඬලා සිනාසෙන්නට විය.

මේ නැගුනු සිනා හඬ නිසා විසේරිස් දෑස් ඔසවා බැලීය. "ඛාල් ඩ්‍රෝගෝ." ඔහු ආචාරශීලී නමුදු පැටලිලි සහගත ස්වරයෙන් කීය. "ඔන්න මම ආවා ඔබේ භෝජන සංග්‍රහයට." සෙර් ජෝරාගෙන් ඈත්වුනු ඔහු ඛාල්වරුන්ට එක්වීම සඳහා එදෙසට පිය නගන්නට විය.

නැගී සිටි ඛාල් ඩ්‍රෝගෝ අත දිගුකර ඩැනීට වටහා ගත නුහුනු තරමේ වේගයකින් යමක් කීවේය. "ඛාල් ඩ්‍රෝගෝ කියනවා ඔබේ ස්ථානය එයාගෙ පැත්තකින් නෙවෙයි කියලා. ඛාල් ඩ්‍රෝගෝ කියනවා ඔබේ ස්ථානය අතනයි කියලා." සෙර් ජෝරා විසේරිස් වෙනුවෙන් පරිවර්තනය කලේය.

හිස හැරවූ විසේරිස් ඛාල් පෙන්වන දෙස බැලීය. ශාලාවේ ඈත කොණේ, බිත්තිය අසල මුල්ලක, අනිකුත් වැදගතුන් ගේ ඇස නොගැටෙන පරිද්දෙන් අඳුරු සෙවනැලි මුවාවේ ඩොත්රැකි සමාජයේ පහත්ම මිනිස්සු අසුන්ගෙන සිටියහ. තවමත් සටනක් සඳහා නොගිය කුඩා කොල්ලන්, කිසිවක් නොපෙනෙන දෑසින් යුත් හා වාතරක්තියෙන් පෙලෙන සන්ධිවලින් හෙබි මහල්ලන්, මන්ද බුද්ධිකයින් හා අංගවිකල වූවන් එහි වූහ. ඔවුහු මස් මාංශයෙන් ද සියළු ගෞරවයන්ගෙන් ද ඈත් කර තැබූවෝ වූහ. "ඒක රජෙකුට ගැලපෙන තැනක් නෙවෙයි." ඇගේ සොයුරා කීවේය.

"ඒක තැන." ඛාල් ඩ්‍රෝගෝ පොදු බසින් පිළිතුරු දුන්නේය. "කොර කකුල් රජාට." ඔහු අත්පොඩි සැලීය. "කරත්තයක්! කරත්තයක් ගෙනෙල්ලා ඛාල් රාඝට්ට!"

පන්දහසක් ඩොත්රැකියන් සිනහවෙන්නටත් මහහඬින් කෑගසන්නටත් පටන්ගත්හ. සෙර් ජෝරා විසේරිස් පසෙකින් සිටගෙන ඔහුගේ කණට කෑගසමින් සිටිමුත් අධික ගෝෂාව නිසා ඩැනීට ඔහු කියන්නක් නෑසින. ඇගේ සොහොයුරා පෙරලා නයිට්වරයාට කෑගසමින් සිටි අතර ඔවුන් දෙදෙනා එකිනෙකා බදාගෙන ඉන්නාක් මෙන් පෙනින. ඊළඟ මොහොතේ පහරක් ගැසූ මෝර්මන්ට් විසේරිස්ව බිමදැමීය.

ඇගේ සොහොයුරා සිය අසිපත ඇදගත්තේ ය.

අසිපත් තලය ගිනිදළු නිසා රත් පැහැයෙන් බබලන්නට විය. "මගෙන් ඈත් වෙලා හිටපං!" විසේරිස් පිම්බේය. සෙර් ජෝරා අඩියක් පසුපසට තැබූ අතර ඇගේ සොයුරා අව්‍යක්ත අයුරින් සිය දෙපා මතින් නැගිටගත්තේ ය. ඔහු සිය අසිපත - ඔහුව වඩා රාජකීය ලීලාවෙන් අන්‍යයන්ට පෙනෙන සේ මැජිස්ටර් ඉල්ලීරියෝ විසින් ඔහුට දුන් අසිපත - හිසට ඉහළින් ලෙලවීය. ඩොත්රැකියෝ සෑම දෙසින්ම ඔහුට සාප කරන්නටත් අවලාද නගන්නටත් පටන්ගත්හ.

ඩැනීගේ මුවින් නොදැනුවත්වම ත්‍රාසය භීතය මුසු කෑගැසීමක් නැගින. ඇගේ සොහොයුරා එය නොදැන සිටියද මේ නගරය තුළ අසිපතක් ඇදගන්නාගේ ඉරණම ඇය දැන සිටියාය‍.

ඇගේ කටහඬ නිසා හිස හරවා බැලූ විසේරිස් පළමු වරට ඇයව දැක්කේය. "ආ! අර ඉන්නෙ ඒකි." ඔහු සිනාසෙමින් කීය. ඔහු ඈ වෙතට දිගු පියවර තැබූයේ හරියටම සතුරන් රෑනක් මැදින් මාර්ගය පාදා ගැනීමට තැත් කරන්නාක් මෙන් අසිපත වනමිනි. එනමුදු ඔහුට මග ඇහිරූ කිසිවෙකුත් නොවීය.

"ඔයාගෙ කඩුව... ඔයාට එහෙම කරන්ට බෑ." ඇය අයැද සිටියාය. "අනේ විසේරිස්! ඒක තහනම්. ඔය කඩුව පැත්තකින් දාලා එන්ට මගේ මේසෙට. මෙතැන බීම තියෙනවා, කෑමත්... ඔයාට ඕන මකර බිත්තරද? ඔයාට ඒවා ගන්ට පුළුවන්. අනේ ඔය කඩුව වීසිකරලා දාන්ට."

"එයා කියන විදියට කරපන් මෝඩයෝ!" සෙර් ජෝරා කෑගැසීය. "නැත්තං උඹ නිසා අපි ඔක්කොටම මැරුම්කන්ට වෙයි."

විසේරිස් කොක්හඬලා සිනාසුනේය. "උන්ට බෑ අපිව මරන්ට. උන්‍ට බෑ මේ පූජනීය නගරෙ ඇතුළේ ලේ හොල්ලන්ට... ඒ වුනත් මට පුළුවන්." ඩැනීගේ පියයුරු මැද්දෙන් සිය අසිපත් තුඩ තැබූ ඔහු එය සෙමින් පහළට, ඇගේ කවාකාර උදරය ඔස්සේ පහළට ගෙන ආවේය. "මට ඕන මම බලාපොරොත්තුවෙන් ආපු දේ." ඔහු ඇයට කීවේය. "මට ඕන ඌ මට පොරොන්දු වෙච්ච ඔටුන්න. ඌ උඹව සල්ලි දීලා ගත්තා, ඒ වුනත් තාම ඒකෙ මිල ගෙවුවෙ නෑ. ඌට කියාපන් ඌ මට පොරොන්දු වුන දේ දෙන්ටයි කියලා. නැත්තම් මම උඹව ආපහු අරන් යනවා. උඹයි උඹේ බිත්තර ටිකයි ඔක්කොම. ඌට පුළුවන් උගේ මලඉලවු අශ්ව පැටියාව තියාගන්ට. මම ඒ අවජාතකයාව කපලා එළියට අරන් ඌට තියලා යන්නම්." සේද කබාය හරහා තද වූ අසිපත් තුඩ ඇගේ නාභිය කිතිකැවුවේ ය. එක් කලෙක ඇගේ සොහොයුරා වූ මේ මිනිසා, විසේරිස්, හඬමින් නැත එක්වරම හඬමින් හා සිනාසෙමින් සිටි බැව් ඇය දුටුවාය.

සිය සේවිකාව වන ජික්වී බියෙන් ගැහෙමින් ඉකිබිඳින ආකාරය ඇයට සිහිනයකින් මෙන් ඇසුනි. විසේරිස් විසින් පැවසූ දෑ ඛාල් වෙනුවෙන් තමාට පරිවර්තනය කරන්නට බැරි යැයි ද, එසේ කලහොත් ඔහු තමාව අසුගේ ගැටගසා බිම දිගේ ඇදගෙන කන්ද මුදුනට යනු ඇතැයි ඇය වැලපුනාය. ඩැනී මේ දැරිය වටා අතක් යැවුවාය. "උඹ බයවෙන්ට එපා. මමම ඛාල්ට කියන්නම්."

විස්තර කරන්නට තරම් අවශ්‍ය වචන තමා දන්නේදැයි ඇයට විශ්වාස නැති විය. එනමුදු ඇය එය පවසා අවසානයේ ඛාල් ඩ්‍රෝගෝ ඩොත්රැකි බසින් යම් කිසිවක් කීවේය. එනයින් තමා කියූ දේ ඔහුට අවබෝධ වූ බැව් ඇයට වැටහිනි. ඇගේ ජීවිතයේ සූර්යයා සිය උස් ආසනයෙන් පහළට බැස්සේය.

"ඌ මොකක්ද කිවුවෙ?" ඇගේ සොහොයුරාව සිටි මේ මිනිසා ඇගෙන් ඇසීය.

ශාලාව කෙතරම් නිහඬතාවයේ ගැලී තිබුනා ද යත් ඩ්‍රෝගෝ තබන තබන පියවරක් පාසා ඔහුගේ කෙස්කළඹේ වූ සීනු රැවුදෙන හඬ පවා ඩැනීට ඇසෙන්නට විය. තඹ පැහැ සෙවනැලි තුනක් මෙන් ඔහුගේ රුධිරාරක්ෂකයින් තිදෙනා ද ඔහු පසුපසින් පැමිණෙන්නට වූහ. ඩනේරිස් ගේ සියොලඟම සීතල වී ගියේය. "එයා කියනවා මිනිහෙකුට පලඳින්ට බය හිතෙන තරම් ලස්සන ඔටුන්නක් ඔයාට දෙනවයි කියලා."

සිනාසුනු විසේරිස් අසිපත පහත්කලේ ය. දුක්මුසුම දර්ශනය එය විය. එදායින් පසු සෑමදාමත් ඇයව රිදවූ, ඇයව හැඬවූ දර්ශනය එය විය... ඔහු සිනාසුනු ආකාරය විය. "එච්චරයි මට ඕන කරන එකම දේ. මට පොරොන්දු වෙච්ච දේ." ඔහු කිවේය.

ඇගේ සූර්යයා ඇය වෙත සමීප වූ පසු ඩැනී ඔහුගේ බඳ වටා අතක් යවා වැළඳගත්තා ය. ඛාල් වදනක් බිනූ අතර ඔහුගේ රුධිරාරක්ෂකයින් ඉදිරියට පිනූහ. ක්වොතෝ විසේරිස් ගේ අත්දෙකින් අල්ලාගත් අතර හග්ගෝ සිය දැවැන්ත අතින් අල්ලා ඇඹරීමෙන් ඔහුගේ මැණික්කටුව බිඳ දැමීය. කොහොලෝ ඔහු‍ගේ අප්‍රාණික අතැඟිලිවලින් අසිපත මුදාගත්තේ ය. සිදුවන්නට යන්නේ කුමක්දැයි මේ වනතුරුත් විසේරිස්ට හැඟීමක් නොවීය. "නෑ." ඔහු මුරගෑවේය. "උඹලාට බෑ මාව අල්ලන්ට. මම තමා මකරා. මම තමා මකරා. මම අභිෂේක ලබන්ටයි යන්නෙ!"

ඛාල් ඩ්‍රෝගෝ සිය ඉණ බැඳි පටිය ගැලවීය. එහි වූ සෑම පදක්කමක්ම මිනිසකු ගේ අතක් තරම් විශාල, අලංකාර කැ‍ටයමින් සැරසුනු, තනි රනින් නිමැවුනු ඒවා විය. ඔහු අණක් නිකුත්කලේය. වහල් කෝකියන් විසින් ගිනිමැලයට ඉහළින් එල්ලා තිබුනු දැවැන්ත යකඩ හට්ටියක් ඔසවා එහි වූ ඉස්ටුව බිම හලා නැවතත් එම හට්ටිය ගින්නට උඩින් එල්ලූහ. සිය ඉණපටිය ඒ තුළට විසිකර දැමූ ඩ්‍රෝගෝ රත්රන් උණු වී රත් පැහැයට හැරෙන ආකාරය දෙස කිසිදු හැඟීමක් නැති දෑසින් බලා සිටියේය. ඔහුගේ අගත්ති පැහැ දෑසේ ගිනිදළු නටන'යුරු ඩැනී දුටුවාය. වහලෙකු විසින් ඔහුට අශ්ව ලොමින් කල ඝනකම් කෝකි අත්වැසුම් දෙකක් පිරිනැමූ අතර ඔහු හට්ටිය දෙස බලාගෙනම ඒවා පැළැඳගත්තේ ය.

මරණයට මුහුණදෙන බියගුල්ලෙකු ගේ මුවින් පිටවන ඒ කිසිදු ‍තේරුමක් නොමැති, තියුණු, අඳෝනාත්මක කෑගැසීම විසේරිස් ගේ මුවින් පිටවන්නට විය. ඔහු බිම දෙපය ගසමින්, ඇඹරෙමින්, බලු කුක්කෙකු මෙන් වේදනාවෙන් කෙඳිරිගාමින්, කුඩා දරුවෙකු මෙන් හඬන්නට විය. එනමුදු ඩොත්රැකියෝ ඔහුව තදින් අල්ලාගෙන සිටියහ. මේ වනවිට සෙර් ජෝරා නැවතත් ඩැනීගේ පසෙකට පැමිණ තිබින. ඔහු ඇගේ උරහිස මතින් අතක් තැබීය. "අහකට හැරෙන්ට මගේ කුමාරි. මම බොහොම බැගෑපත්ව ඉල්ලා හිටිනවා."

"මට බෑ." ඇය ආරක්ෂාකාරී අයුරින් සිය උදරයට උඩින් දෑත් බැඳගත්තා ය.

අන්තිමේදී විසේරිස් ඇය දෙස බැලීය. "නංගී, කරුනාකරලා... ඩැනී එයාලට කියාපන්... මගේ ආදරණීය නංගී..."

රත්රන් අඩක් උණු වී උකු තත්ත්වයට පත් වූ පසු එදෙසට නැඹුරු වූ ඩ්‍රෝගෝ හට්ටිය ඔසවාගත්තේ ය. "ඔටුන්න!" ඔහු ගුගුලේය. "මෙන්න. කරත්ත රජාට ඔටුන්නක්!" ඔහු උණු වූ රත්රන් සහිත හට්ටිය විසේරිස් ගේ - එක් කලෙක ඇගේ සොහොයුරාව සිටි පුද්ගලයා ගේ - හිසේ මුනින් අතට නැමීය.

මේ අතිභයානක යකඩ ශිරස්කයෙන් සිය හිස වැසී යද්දී විසේරිස් ටාර්ගේරියන් නැගූ හඬ අමානුෂික, වේදනාත්මක කෑගැසීමක් විය. දැඩි වේගයෙන් බිම ගැසූ ඔහුගේ දෙපා කෙමෙන් වේගය අඩු වී ගොස් අන්තිමේදී නිශ්චල විය. උනු රත්රන් දියර බිංදු පහළට වෑස්සී ඔහුගේ කමිස කබාය මතට වැටුනු අතර එයින් දුම් දමන්නට විය... එනමුදු එහි එකදු ලේ පැල්ලමක්වත් දකින්නට නොවීය.

'එයා මකරෙක් නෙවෙයි!' පුදුමකරවන අන්දමේ ශාන්තභාවයකින් යුතුව ඩැනී සිතුවාය. 'ගින්දරට බෑ මකරෙක්ව මරන්ට.'



Jorah Mormont: “We are in Vaes Dothrak, no one may carry a blade here or shed a man’s blood.”

Wednesday 24 December 2014

ඩනේරිස් 05-1


ඛාල් ඩ්‍රෝගෝ විසින් ඇය ඉදිරියේ තැබූ අමු, ලෙයින් වැකුනු අශ්ව හදවත සන්ධ්‍යාවේ සීතල සුළං මැද්දේ දුම් දමමින් තිබින. ඔහු ගේ දෑත් වැලමිටටම යනතෙක් රතු පැහැ වී තිබින. ඔහුට පිටුපසින් ඔහු ගේ රුධිරාරක්ෂයින් පිරිස ගලින් තැනූ පිහියා අතැතිව, මරා දමන ලද සෛන්ධවයා ගේ සිරුර වටා දණ බිම ඇනගෙන උන්හ. පතලේ උස් හුණුගල් බිත්ති මත්තෙහි සිට ලෙලදුන් තැඹිලි පැහැ පන්දම් ආළෝකය නිසා අසුගෙන් ගැලූ රුධිරය කළු පැහැයෙන් දිස්විය.

ඩැනී සිය ඉදිරියට නෙරා ආ උදරය පිරිමැද්දා ය. ඇගේ ගත පුරා ඩහබිඳු නැගී තිබුනු අතර නළලේ වූ දහදිය බැම දිගේ පහළට රූටාගෙන එමින් තිබින. මැහැල්ලන් තමා දෙස බලා ඉන්නා අයුරු ඇයට දැනුනි. වයෙස් ඩොත්රැක් වල අනාවැකි කියන්නියන් වූ මේ මැහැල්ලන් පිරිස සිය රැළි වැටුනු මුහුණේ වූ තද කළු පැහැ දෑස්වලින් ඇය දෙස අපේක්ෂෘ සහගතව බලා සිටින්නට වූහ. ඔවුන් ගේ දෑස් ඉදිරියේ ඇකිළී යාම බියෙන් පසු බෑම කල නොහැක්කක් විය. 'මම තමා මකරාගේ රුධිරය.' ඇය තමාටම කියාගත්තා ය. දෑතින්ම අසු ගේ හදවත ඔසවාගත් ඇය එය මුවට ලංකොට, දැඩි කෙඳි සහිත මාංශය දතින් සැපුවා ය.

ඇගේ මුව පුරා උණුසුම් රුධිරය පිරී ඉතිරී යන්නට වූ අතර මුව දෙපසින් බේරුනු රුධිරය නිකට දිගේ බේරෙන්නට විය. එහි අමු රසය නිසා ඇයට ඔක්කාරයක් ඇතිවූවද ආයාසයෙන් මාංශය විකා ගිලදමන්නට ඇයට හැකි විය. මේ සෛන්ධවයා ගේ හදවත විසින් ඇගේ පුතු ශක්තිමත්, වේගවත්, නිර්භීත අයකු කරනු ඇත. ඒ ඩොත්රැකියන් ගේ විශ්වාසයක් විය. එනමුදු එසේ වන්නේ මව කිසිදු පැකිළීමකින් තොරව මුළු හදවතම කා හමාර කලහොත් පමණි. ඇය ලේ නිසා තැති ගතහොත් නැතිනම් මාංශය නැවත වමාරා දැමුවහොත් අනාවැකි එතරම්ම යහපත් ඒවා නොවනු ඇත. දරුවා ගැබේදීම මියයන්නට, නැතිනම් දුබලයකු වන්නට, අංගවිකලයකු වන්නට හෝ ගැහැණු දරුවකු වන්නට හෝ පුළුවන.

මෙම උත්සව අවස්ථාවට මනාව සූදාණම් වනු පිණිස ඇගේ සේවිකාවන් විසින් ඇයට මහත් සේ උදවු කර තිබින. පසුගිය මාස දෙකක කාලය පුරාවටම ඇයට හිංසා පීඩා කරනු ලැබූ, මවකට ස්වභාවයෙන්ම හිමිවන සුකොමළ ආහාර රුචිය නොතකා ඇය අඩක් මිදුනු රුධිරයෙන් පිරුණු ආහාර බඳුන් හිස් කලේ මේ ලේ රසයට හුරුවනු පිණිස විය. එමෙන්ම ඉරී විසින් ඇගේ හණු රිදෙන තෙක් වියලන ලද අශ්ව මස් තීරු සපන්නට ඇයට උපදෙස් දී තිබින. උත්සවයට පෙර ඇය දින එකහමාරක් නිරාහාරව සිටියේ දැඩි කුසගින්න විසින් මෙම අමු මාංශය ගිල දමන්නට ඇයට සහාය වනු ඇතැයි යන විශ්වාසයෙනි.

අසු ගේ හදවත මුළුමනින්ම දැඩි මාංශයෙන් සැදී තිබුනු අතර ඩැනීට සෑම කෑම කටක්ම සිය දතින්ම ඉරාගෙන බොහෝ වේලාවක් තිස්සේ සපා ගිලින්නට සිදුව තිබින. ශුද්ධ වූ වයෙස් ඩොත්රැක්හි සියළු කඳුමුදුන්වල මවුතුමිය ගේ සෙවනේදී වානේ ආයුධ භාවිතය සපුරා තහනම් දෙයක් විය. ඇයට තිබුනු එකම ආයුධ වූයේ සිය දත් හා නිය පමණි. ඇගේ උදරය පෙරලී එන්නාක් මෙන් ඇයට දැනුනු නමුදු ඇය කිසිවිටෙකත් කෑම නොනැවැත්වූවා ය. මසින් නැගුනු රුධිරයෙන් ඇගේ මුහුණ තෙමී ගොස් තිබින.

ලෝකඩ පලිහක් තරම් දැඩිකරගත් මුහුණෙන් යුතු ඛාල් ඩ්‍රෝගෝ ඇය අසලින් සිටගෙන ඇය දෙස බලා සිටියේය. ඔහු ගේ ගොතන ලද දිගු කේශ කලාපය තෙල් ගැල්වීම නිසා දිදුලන්නට විය. ඔහු සිය උඩුරැවුලේ රන් මුදු ද, කෙස්වැටියේ රන් සීනු ද, ඉණ වටා මහත රන් පදක්කම් එකතුකර නිමවූ ඝනකම පටියක් ද පැළැඳ සිටි අතර පපුව ආවරණය කර නොසිටියේ ය. සිය ශක්තිය ගිලිහී යතියි ඇයට වැටහුනු සෑමවිටම ඇය ඔහු දෙස බැලුවාය. ඔහු දෙස බලමින් නොනවත්වා සපමින් ගිල්ලා ය, සපමින් ගිල්ලා ය. කාර්යය අවසන් වීගෙන එද්දී ඇය ගැන ඔහු තුළ උපන් බිහිසුනු ආඩම්බරයක ලේශමාත්‍රයක් ඒ ආමන්ඩ් දෑස් තුළින් දැකගන්නට හැකිවිනැයි ඇය සිතුවාය. එනමුදු එය හරියටම සහතික කල නොහැක්කේ ඔහු කිසිවිටෙකත් සිය සිත තුළ ඇති හැඟුම් මුහුණින් නොපෙන්වන්නට පරිස්සම් වූ බැවිනි.

අන්තිමේදී එය හමාර විය. රුධිරය නිසා ඇගේ අතැඟිලි හා කම්මුල් ඇලෙන්නට විය. එය අවසන් වූ පසුව ඇය මැහැල්ලන් පිරිස, ඩොෂ් ඛලීන් මැහැල්ලන් පිරිස දෙස බැල්මක් හෙලුවා ය.

"ඛලාකා ඩොත්‍රේ ම්රන්හා!" ඇය තමන්ට හැකි උපරිම හොඳ ඩොත්රැකි ස්වරයෙන් නිවේදනය කලාය. 'මගේ බඩේ ඉන්නේ කුමාරයෙක්!' එයින් කියැවිනි. ඇය සිය සේවිකාව වන ජික්වී සමගින් එක්ව දින ගනනාවක් පුරා මෙම වාක්‍යය නිසි අයුරින් කියන්නට පුහුණු වී තිබින.

මැහැල්ලන් අතර වූ වයසකම තැනැත්තිය, කළු පැහැ එක ඇසක් පමණක් ඇති, ඇකිළී රැළි වැටී ගිය නාකි ගැහැණිය සිය දෑත් ඉහළට එසෙවුවා ය. "ඛලාකා ඩොත්‍රේ!" ඇය මුර ගැසුවා ය. 'කුමාරයා හොඳින් වැඩෙනවා!'

"එයා වැඩෙනවා!" අනිකුත් මැහැල්ලන් පිරිස ද හඬනැගූහ. "රාඛ්! රාඛ්! රාඛ් හාජ්!" ඔවුහු නිවේදනය කලහ. 'කොළුවෙක්! කොළුවෙක්! ශක්තිමත් කොළුවෙක්!'

සීනු නද දෙන්නට විය. ගැඹුරු හඬකින් යුතු යුධ හොරණෑවක් සිය ඒකතානමය නාදය නගන්නට විය. මැහැල්ලන් පිරිස ස්තෝත්‍ර ගායනාවක් ඇරඹූහ. ඔවුන්ට සේවය කරන නපුංසකයින් විසින් විශාල ලෝකඩ අඟුරු කබලකට වියළි තෘණ මිටි දමන්නට වූ අතර එයින් නැගුනු සුඟන්ධවත් දුමාරය වළාකුලක් මෙන් ඉහළින් වූ සඳ තරු පිරි අහස දෙසට නැගෙන්නට විය. ඩොත්රැකියන් ගේ විශ්වාසයට අනුව තාරකා යනු රාත්‍රි ආකාශය පුරා පිම්මේ දිවයන, ගින්නෙන් සැදුනු සුවිසල් අශ්ව රංචුවක් විය.

සුඝන්ධ දුමාරය කෙමෙන් ඉහළ නගිද්දී ස්තෝත්‍ර හඬ කෙමෙන් තුනී වී ගියේය. නායක මැහැල්ල අනාගතය හොඳින් දකිනු පිණිස සිය තනි ඇස වසා ගත්තාය. ඔවුන් වටා පූර්ණ නිහඬතාවක් වැඩෙන්නට විය. එය කෙතරම් දැඩි නිහඬතාවක් වී ද යත් දුරින් නැගෙන නිශාචර පක්ෂීන් ගේ හඬ, පන්දම්වල ගිනිදළු නටන හඬ පමණක් නොව විලේ රැළි විසින් නගන මුදු හඬ පවා ඩැනීට ඇසෙන්නට විය. ඩොත්රැකියන් සියල්ලම ඇයගේ අනාවැකි ඇසීමට ඉවසිලිමත්ව බලා සිටියහ.

ඛාල් ඩ්‍රෝගෝ ඩැනී ගේ බාහුව මතින් අත තැබුවේය. ඔහු ගේ ඇඟිලිවල ඇති ආතතිය ඇයට හොඳින් දැනුනි. ඩොෂ් ඛලීන් මැහැල්ලන් අනාගතය දෙස දෑස් යොමන විට ඩ්‍රෝගෝ වැනි බලවත් ඛාල්වරු පවා බියෙන් වෙවුලති. ඔවුන්ට පිටුපසින් සිය සේවිකාවන් නොසන්සුන් අයුරින් ඇඹරෙන අන්දම ඇයට ඇසුනි.

අන්තිමේදී නායක මැහැල්ල සිය තනි ඇස විවර කලාය. ඇය සිය දෑත් අහසට එසවූවා ය. "මම එයාගෙ මූන දැක්කා. එයාගෙ අශ්වයාගෙ කුර හඬ ඇහුවා." ඇය සිහින් හඬින් නිවේදනය කලාය.

"එයාගෙ අශ්වයාගෙ කුර හඬ ඇහුවා!" අනිකුත් මැහැල්ලන් පිරිස අත්වැල් ඇල්ලූහ.

"එයා හුළඟ තරම් වේගයෙන් එයාගෙ අශ්වයා පැන්නුවා. ඊට පිටිපස්සෙන් එයාගෙ ඛලසාර් එක අශ්වයො පැන්නුවා. ගනන් කරන්ට බැරි තරම් මිනිස්සු. තණපත් වගේ දිලිහෙන අරඛ් අතින් ගත්තු මිනිස්සු. මේ කුමාරයා කුණාටුවක් වගේ නිර්භීත වෙනවා. එයාගෙ හතුරො එයා ඉස්සරහදි බයෙන් වෙවුලනවා. උංගෙ බිරින්දෑවරු දුකින් කඳුළු හල හලා තමන්ගෙ මැරිච්ච එවුන් වලලනවා. එයාගෙ කොණ්ඩෙ තියෙන රිදී සීනු හඬ එයා එන බව කලින්ම දැනුම් දෙනවා. ගලින් කරපූ කූඩාරම්වල හැංගිලා ඉන්න දුර්වල මිනිස්සු එයාගෙ නම ඇහුවම බයෙන් වෙවුලනවා." වෙවුලා ගිය මැහැල්ල ඩැනී දෙස බැලුවාය. "මේ කුමාරයා අශ්වයා පිටේ නැගලා යනවා. එයා තමා මේ ලෝකය හොල්ලන සෛන්ධවයා."

"එයා තමා මේ ලෝකය හොල්ලන සෛන්ධවයා!" අනිකුත් මැහැලියෝ මෙන්ම බලා සිටියවුන් ද අත්වැල් ඇල්ලූහ. ඔවුන් ගේ හඬ රාත්‍රි අහස පුරා රැවු දෙන්නට විය.

නායක මැහැල්ල ඩැනී දෙස බැලුවාය. "එයාට අපි මොකක්ද දාන නම? ලෝකය හොල්ලන සෛන්ධවයාට අපි මොකක්ද දාන නම?"

ඩැනී නැගිට සිටියාය‍. "එයාට කියන්ට ඕන රේගෝ කියලා." ජික්වී ඇයට උගන්වා තිබුනු පරිදි ඇය පිළිතුරු දුන්නාය. ඇය ආරක්ෂාකාරී අයුරින් සිය උදරය මතින් දෑත් හොවද්දී ඩොත්රැකියන් පිරිස අතරින් ඝෝෂාවක් නැගී ආයේය. "රේගෝ!" ඔවුහු කෑගැසූහ. "රේගෝ, ‍රේගෝ, රේ‍ගෝ!"

ඛාල් ඩ්‍රෝගෝ විසින් ඇයව පතලයෙන් පිටතට කැඳවාගෙන එද්දී පවා ඒ කෑගැසීම ඇගේ සවනේ රැවු දෙමින් තිබින. ඔවුන්ට පිටුපසින් පෙරහරක් ඇදෙන්නට විය. සිය නපුංසකයින් හා වහලුන් පිරිවැරූ ඩොෂ් ඛලීන් මැහැල්ලන් පිරිස පළමුව පැමිණියහ. සමහර මැහැල්ලන් සිය වාරු නැති දෙපාවලට ආධාර වශයෙන් සැරයටිවලට බරදී ඇවිද්ද අතර තවත් සමහරුන් ඕනෑම අශ්වාධිපතියකු තරම්ම උදාර අන්දමින් සිය දෙපා මතින් නැගී සිටියහ. මේ සෑම මැහැල්ලක්ම එක් කලෙකදී ඛලීසි කෙනෙකු විය. ඔවුන් ගේ සැමියන් මියගිය පසු, නව ඛාල් කෙනෙකු රංචුවේ පෙරමුණ ගත් පසු, ඔවුන් පසුපසින් නව ඛලීසි කෙනෙකු අසු පිට නැගුනු පසු ඔවුන්ව මෙහි එවා තිබින. ඔවුහු මුළු ඩොත්රැකි ජාතියටම නායකයින් වූහ. බලවත්ම, සාහසිකම ඛාල්වරයා පවා ඩොෂ් ඛලීන් ගේ අධිකාරියට හා ඥානයට හිස නැමීය. මතු යම් දිනෙක තමාවද - සිය කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ - මෙහි එවනු ලබන බව මතක්වුනු විට ඩැනී වෙවුලා ගියාය.

මේ මැහැලියන් පිටුපසින් අනිකුන් පිය මැන්නහ. ඛාල් ඕගෝ හා ඔහුගේ පුත් ඛලකා ෆෝගෝ, ඛාල් ජොමෝ හා ඔහුගේ බිරින්දන්, ඩ්‍රෝගෝගේ ඛලසාරයේ ප්‍රධානීන්, ඩැනීගේ සේවිකාවන්, ඛාල්ගේ සේවකයින් හා වහලුන් හා තවත් බොහොමයක් එහි වූහ. ඔවුන් දෙව්මාවතේ පිය මනිද්දී සීනු නාදය හා බෙර හඬ උස්පහත් වෙමින් වැයුනේය. ඩොත්රැකියන් විසින් පැහැරගෙන එනු ලැබූ සිය ගණන් වීරයින් ද, දෙවියන් ද, අනිකුත් නමක් නොදන්නා අයවලුන් ද මාවත දෙපස අන්ධකාරයේ සිට ඔවුන් දෙස බලා සිටින්නට වූහ. මාවත දෙපස පෙරහරට ආළෝකය සැපයීම පිණිස පන්දම් ඔසවාගෙන යන වහලුන් ගේ නටන පන්දම් එළි මැද්දේ මේ ප්‍රථිමා සජීවී මිනිසුන් මෙන් දිස්විය.

"මොකක්ද තේරුම, රේගෝ නමේ?" ඇවිද යන අතර ඇය දෙසට හැරුනු ඩ්‍රෝගෝ රාජධානි සප්තකයේ පොදු භාෂාවෙන් ඇයගෙන් ඇසීය. ඇය ඇයට හැකි අයුරින් ඔහුට එම භාෂාවේ වදන් කිහිපයක් උගන්වා තිබින. ඔහු උනන්දුවක් දැක්වුවහොත් එය ඉක්මනින්ම අල්ලාගන්නා දක්ෂ සිසුවකු විය. එනමුදු ඔහු ගේ උච්චාරණය කෙතරම් ම්ලේච්ඡ, කෙතරම් පැටලිලි සහගත වී ද යත් සෙර් ජෝරාට හෝ විසේරිස්ට හෝ කිසි විටෙකත් ඔහු කියන්නක් වටහාගත නොහැකි විය.

"මගේ අයියා රේගාර් කියන්නෙ බොහොම නිර්භීත රණශූරයෙක් මගේ ඉරයි තරුයි. මම ඉපදෙන්ටත් ඉස්සෙල්ලා එයා මැරැනා. සෙර් ජෝරා කියනවා එයා තමා අන්තිම මකරා කියලා."

ඛාල් ඩ්‍රෝ‍ගෝ ඇය දෙසට බැල්මක් හෙලුවේය. ඔහුගේ මුහුණ ලෝකඩින් තැනූ වෙස් මුහුණක් මෙන් දැඩි විය. එනමුදු රන් මුදුවෙන් ගැවසුනු ඒ දිගු, කළු පැහැ උඩුරැවුලට යටින් සිනහවක සේයාවක් දකින්නට හැකිවිනැයි ඇයට සිතුනි. "ඒක හොඳ නම. ඩන් ඒරිස් බිරිඳ. මගේ ජීවිතේ හඳ." ඔහු කීවේය.

ඩොත්රැකියන් විසින් 'ලෝකයේ ගැබ' යනුවෙන් හඳුන්වනු ලබන විල වෙත ඔවුහු පිය මැන්නෝය. විල වටා පන් පඳුරින් සෙවන වී තිබුනු අතර එහි ජලය නිශ්චල හා ශාන්ත විය. ජික්වී ඇයට කියා දී තිබූ පරිදි වසර දහස් ගනනාවකට පෙර මුල්ම මිනිසුන් මේ විල් පතුලෙන් උපත ලබා තිබුනි. ඔවුහු එයින්ම බිහිවූ මුල්ම අසුන් පිට නැගී විලෙන් පිටතට අවුත් ලෝකය පුරා විසිර ගියහ.

පෙරහර විල ඉවුරේ තණබිම මත නැවතුනු අතර ඩැනී සිය ලේ තැවරුනු ඇඳුම් බිමට උනා දැමුවාය. ඉන්පසු නිරුවතින්ම විලේ සීතල ජලයට බැස්සාය. මේ විලට පතුලක් නැතැයි ඉරී පවසා තිබුනද උසැති පන් ගස් පීරමින් හෙමිහිට අඩි තබා ඉදිරියට යද්දී සිය පා ඇඟිලි අතරින් මඩ මිරිකෙනු ඇයට දැනින. නිසල කළුපැහැ ජලතලය මත සඳ එළිය වැටී දිලිසුනු අතර ඇගේ චලනයන් අනුව දිය රැළි නැගෙද්දී ඒවා කැඩෙමින් නැවත හා වෙමින් අනන්ත රටා මැවීය. සීතල දිය සෙමින් සෙමින් ඇගේ කළවාත් දෙතොල් පෙතිත් තෙමද්දී ඇගේ නිරුවත් සම මත හී ගඩු පිපුනි. සෛන්ධවයා ගේ රුධිරය ඇගේ දෑතේත් ඇගේ මුව වටාත් මිදී තිබින. ඛාල් සහ අනිකුන් බලාසිටින අතරේදී දෝතට ගත් විලේ ශුද්ධ වූ ජලය හිස පිට වත්කරගනිමින් ඩැනී ඇයවත් සිය කුස තුළ සිටින බිළිඳාවත් පිරිසුදු කරගන්නට වූවාය. තමා දෙස බලා සිටින ඩොෂ් ඛලීන් මැහැල්ලන් එකිනෙකා අතර කොඳුරන හඬ ඇයට ඇසුනු අතර ඒ කුමක් විය හැකිදැයි ඇය විමතියෙන් කල්පනා කරන්නට විය.

ගතින් දිය බේරෙමින්, සීතලයෙන් වෙවුලමින් ඇය විලෙන් ගොඩ එද්දී ඩෝරියා වර්ණවත් සේද කබායක් රැගෙන හනික ඈ වෙත පැමිණියා ය. එනමුදු අතක් එසවූ ඛාල් ඩ්‍රෝගෝ ඇයව නැවැත්වීය. ඔහු ඩැනීගේ පිරුනු උදරයත් ඉදිමුනු පයෝධරයිනුත් දෙස කෑදර දෑසින් බලා සිටින්නට විය. රන් පදක්කමින් නිමැවූ ඝනකම් ඉණපටියට යටින්, අශ්ව සමින් කල කලිසම තද වී ඉදිරියට එසැවී ඇති අයුරු ඇගේ නිරීක්ෂණයට හසුවිය. සෙමින් සෙමින් ඔහු දෙසට පියමැන්න ඇය කලිසම මුදාලීමට ඔහුට උදවු කලාය.

ඊළඟ මොහොතේ ඇගේ දැවැන්ත ඛාල් කුඩා දැරියක ඔසවන්නාක් තරම් පහසුවෙන් ඉණෙන් අල්ලා ඇයව ඉහළට එසවීය. ඔහුගේ කේශ කලාපයේ ගවසා තිබුනු රිදී සීනු මෘදු හඬින් නදදෙන්නට විය.

ඔහු ඈ තුළට ප්‍රවිෂ්ට වද්දී ඇය සිය දෑත් ඔහුගේ උරහිස වටා යවමින් ඔහුගේ ගෙලේ මුහුණ සඟවාගත්තා ය. "ලෝකය හොල්ලන සෛන්ධවයා." ඩ්‍රෝගෝ ගොරෝසු හඬින් ඇගේ සවනට කෙඳිරීය. ඔහුගේ දෑත්වලින් තවමත් අශ්ව ලේ ගඳ හමමින් තිබින. වේගවත් පහර කිහිපයකින් පසු පැමිණි සුරතාන්තයේදී ඔහු දැඩිව ඇගේ ගෙල සැපුවේය. අන්තිමේදී ඔහු ඈ ඔසවා බිමින් තබද්දී ඈ තුළ පිරී තිබුනු ඔහුගේ බීජය කලවා දිගේ සෙමින් පහළට ගලන්නට විය. මේ සැමෙකකින්ම පසු ඇයව සුගන්ධවත් සේද කබායෙන් වැසීමට ඩෝරියාටත්, ඇගේ දෙපයට පාවහන් යුගලක් පැළැන්දීමට ඉරීටත් අවසර ලැබුනි.

සිය කලිසම ඉහළට ඔසවාගත් ඛාල් ඩ්‍රෝගෝ නියෝගයක් නිකුත් කල අතර විල් ඉවුරට අශ්වයින් රැගෙන එනු ලැබූහ. සිය රිදී වෙළඹ පිට නගිනු පිණිස කොහොලෝ ඩැනීට උදවු කලේය. සිය අසුට සන්කල ඩ්‍රෝගෝ සඳ හා තරු පිරි අහස යටින් දෙව්මාවත ඔස්සේ අසු විහිදීය. සිය රිදී පිට නැගුනු ඩැනී ද පහසුවෙන් ඔහු හඹා ගියාය.

ඛාල් ඩ්‍රෝගෝගේ ප්‍රධාන ශාලාවට සෙවන දුන් සේද කූඩාරම් රෙදි ඉහළට ඔසවා තිබූ අතර සඳ එළිය ශාලාව තුළට වැටී තිබින. ශාලාව තුළ වූ දැවැන්ත ගිනිමැල තුනක වූ ගිනිදළු අඩි දහයක් උසට බුර බුරා නැංගේය. ගින්නේ පැලහෙන මස්වල හා පැසවූ වෙළඹ කිරෙන් නිමැවූ මධ්‍යසාරවල සුවඳින් අවට වාතය බරව තිබුනි. ඔවුන් ඇතුළුවන විට ද ශාලාව සෙනඟින් හා කලිකලහයෙන් පිරි එකක් විය. පතලයේ පැවැති අනාගතය දැකීමේ උත්සවයට සහභාගි වීමට තරම් සමාජ තත්ත්වයක් හිමිව නොතිබුනු සැවොම මෙහි එක් රැස් වී සිටියහ. ආරුක්කු ද්වාරයෙන් ඇතුළු වී මැදි මඟ ඔස්සේ සිය අසු විහිදුවද්දී ඔවුන් සැවොම තමා දෙස බලා සිටින අන්දම ඩැනී විසින් නිරීක්ෂණය කලාය. ඇගේ පිරුනු උදරය ගැනත්, ඇගේ ඉදිමුනු පයෝධරයන් ගැනත්, ඇය කුස දරා සිටින දරුවා ගැනත් ඔවුහු කතා කරන්නට වූහ. ඔවුන් පැවසූ කිසිවක් ඇයට වටහාගත නුහුනු නමුදු එක් දෙයක් පමණක් පැහැදිලිව ඇසුනි. "ලෝකය හොල්ලන සෛන්ධවයා!" දහසක් මුවින් ගැයෙනු ඇයට ඇසුනි.

මේ සැමටම අමතරව අවට බෙර නදින් හා හොරණෑ හඬින් පිරී තිබුනි. මිටි මේස මත පැලහූ මාංශ, වියළි මිදි, රටඉඳි හා දෙළුම් පිරවූ පලංගාන් පුරවා තිබුනු අතර ඒ මැද්දේ අඩ නිරුවත් නාටිකාංගනාවෝ නර්තන ලීලාවන් දක්වමින් සිටියහ. මිනිසුන් බහුතරයක් මේ වනවිටද මධ්‍යසාරය නිසා වෙරිමතින් පසු වූ බව ඩැනී නිරීක්ෂණය කලාය. එනමුදු අද රැයේ කිසිදු අරඛ් එකක් පිටතට නොඇදෙන බවද ඇය දැන සිටියාය. මේ ශුද්ධ වූ නගරය තුළ ආයුධ ඇදගැනීම හෝ ලේ සෙලවීම සපුරා තහනම් දෙයක් විය.


Viserys Targaryen: “I want the crown he promised me. He bought you, but he never paid for you.”

Monday 22 December 2014

එඩාර්ඩ් 12


"වේදනාව කියන්නෙ දෙවියන්ගෙන් ලැබුන තෑග්ගක් එඩාර්ඩ් උතුමානනි." ප්‍රධාන මේස්ටර් පයිසෙල් කීවේය. "ඒකෙන් කියැවෙන්නෙ ඇටේ හයිවෙනවා කියලා. තුවාලෙ හොඳවෙනවා කියලා. ඒක නිසා ඒ ගැන ස්තූතිවන්ත වෙන්ට."

"මම ස්තූතිවන්ත වෙන්නම් මේ කකුල ඇදුම්කන එක නැවතුන දාට."

පයිසෙල් කට වැසූ ශරාවක් ඇඳ පසෙකින් වූ මේසය මත තැබීය. "පොපි යුෂ. වේදනාව උහුලන්ට බැරි තරම් වැඩිවෙච්ච වෙලාවට ගන්ට."

"මම දැනටමත් ඕනෑවටත් වඩා වැඩියෙන් නිදාගන්නවා."

"නින්ද තමා හොඳම වෙදනා."

"මම හිතාගෙන හිටියෙ ඔබ තමා හොඳම වෙදනා කියලයි."

පයිසෙල් පාණ්ඩු සිනහවක් පෑවේය. "ඔබතුමා ඔහොම මුරණ්ඩු විදියට ඉන්නවා දකින්ට ලැබීමත් සතුටක් මගේ උතුමානනි." ඔහු ඉදිරියට නැඹුරුව කටහඬ බාලකලේය. "අද උදේ කපුටෙක් ආවා. රැජිණට ලියුමක් එයාගෙ තාත්තාගෙන්‍. ඔබ දැනගත්තොත් හොඳයි කියලා මම හිතුවා."

"කළු පියාපත් - නපුරු පණිවුඩ." නෙඩ් සැඩපරුස ස්ව‍රයෙන් කීය. "මොකක්ද ඒකෙ තිබුනෙ?"

"ඔබතුමා සෙර් ග්‍රෙගර් ක්ලිගේන් පස්සෙන් සෙබළු යවපු එක ගැන ටයිවින් උතුමානන්ට බොහොම තදේට කේන්ති ගිහිල්ලා. මම බයවුනා ඔය දේ වෙයි කියලා. ඔබට මතක ඇති මම ඕක රාජසභාවෙදි කිවුවා."

"එයාට ඕන නම් කේන්ති ගත්තාවෙ." නෙඩ් කීවේය. සිය කකුල ඇදුම්කන සෑම විටෙකම ජේමි ලැනිස්ටර් ගේ සිනාසෙන මුහුණත් සිය දෑතේ මියගොස් සිටි ජොරී ගේ රුවත් ඔහු ගේ සිතේ ඇඳෙන්නට විය‍. "එයාට කැමැති තරමක් රැජිණට ලියුම් ලියාපුවාවෙ. බෙරික් උතුමානන් ගියේ රජතුමාගෙ ධජය යටතේ. ටයිවින් උතුමානන් උත්සාහ කරනවානම් රජතුමාගෙ යුක්තිය ඉෂ්ටකරන එකට බාධා කරන්ට, එයා ඒක රොබර්ට් එක්කම බලාගත්තාවෙ‍. අපේ රජතුමා දඩයම් කරන එක ළඟට වැඩියම ආසකරන දේ තමන්ට අවනත නොවෙන වංශාධිපතීන් එක්ක යුද්ධ කරන එක."

පයිසෙල් වහා පසුපසට වූ අතර ඔහු ගේ මේස්ටර් දම්වැල නද දුන්නේ ය. "ඔබ කියන විදියක්. මම ආයෙමත් හෙට ඔබව බලන්ට එන්නම්." සිය අඩුමකුඩුම ටික වහ වහා එකතුකරගත් මහල්ලා හනික කාමරයෙන් පිටවිය‍. රැජිණට රහස් කෙඳිරීම සඳහා ඔහු කෙලින්ම රාජකීය නිවස්නය වෙත යන බවට නෙඩ්ට කිසිදු සැකයක් නොවීය. 'ඔබ දැනගත්තොත් හොඳයි කියලා මම හිතුවා.' ඇත්තෙන්ම... සිය පියා ගේ තර්ජන තමාට දැනුම්දෙන මෙන් සෙර්සි ඔහුට උපදෙස් දුන් බවටද ඔහුට කිසිදු සැකයක් නොවීය. සිය ප්‍රතිචාරය නිසා ඇගේ දත්ඇඳි පූට්ටුවී යනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. ඇත්තෙන්ම කියුවහොත්, නෙඩ් පයිසෙල්ට මවා පෙන්වූ තරම් විශ්වාසයක් රොබර්ට් ගේ ප්‍රතිචාරය පිළිබඳව ඔහු තුළ නොතිබින. එනමුදු සෙර්සිට එය දැනගැනීමට හැකියාවක් නොමැත.

පයිසෙල් පිටව ගිය පසු නෙඩ් මීපැණි දැමූ වයින් කෝප්පයක් ගෙන්වා ගත්තේ ය. එය වේදනාව මෙන්ම මනසද මඳක් මුවාකර දැමූවද එය එතරම්ම නරක නොවීය. ඔහුට සිතන්නට අවැසිව තිබින. දහස්වන වතාවටත් ඔහු තමාගෙන්ම ඇසුවේ මේ සම්බන්ධයෙන් ජොන් ඒරින් කුමක් කරන්න‍ට ඇතිද යන්නයි. ඔහු තමා දැනගත් දේ මත ක්‍රියාකරන්නට පෙරම මැරුම් කෑවාද? නැතහොත් එසේ ක්‍රියාකරන්නට ගොස් මැරුම් කෑවාද?

සමහරවිටෙකදී වියපත් මිනිසකු ගේ දෑසට හසුනොවන දේ කුඩා දරුවකු ගේ අහිංසක ඇසට හසුවන සැටි විස්මයජනකය. යම් දිනෙක, සන්සා යමක් කමක් තේරුම්ගත හැකි තරම් වැඩුනු පසු, ඇගේ කතාව නිසා තමාට මෙතෙක් කලක් සිතාගත නුහුනු දේ පැහැදිලි වූ සැටි ඔහු ඇයට කියාදෙනු ඇත. 'එයා කොහෙත්ම අර නාකි බේබදු රජතුමා වගේ කෙනෙක් නෙවෙයි' ඇය කීවාය. ඇය එය කීවේ කරුනු නොදැන හා තරහින් නමුදු ඒ තුළ ඇති සරල සත්‍යය ඔහුට වහා අවබෝධ විය. එය මරණය තරම්ම සීතල සත්‍යයක් විය. මේ වනාහි ජොන් ඒරින් මැරුම් කෑ කඩුව බව නෙඩ් වටහාගත්තේ ය. එමෙන්ම එය රොබර්ට්ව ද මරාදමනු ඇත. සෙමින් සෙමින් නමුදු නිසැකවම එය රොබර්ට්ව ද මරාදමනු ඇත. බිඳුනු පාදයක් කාලයත් සමග සුව වන නමුදු පාවාදීම් ඔබේ සිත ඇතුළේ පැසවමින් ඔබේ ආත්මය හලාහල විෂෙන් පුරවාලයි.

ප්‍රධාන මේස්ටර් පිටව ගොස් පැයකට පමණ පසු සුළැඟිල්ලා ඔහු හමුවීමට ආයේය. ඔහු කළු පැහැ නූලෙන් පපුව මත කවට කුරුල්ලකු ගේ රුවක් ගෙත්තම් කල දුඹුරු පැහැ කබායක් හා සුදු සහ කළු ඉරි වැටුනු සළුවක් පැළැඳ සිටියේය. "මට ගොඩක් වෙලා රැඳෙන්ට බැහැ මගේ උතුමානනි. ටන්ඩා ආර්යාව මාව දවල් කෑමට බලාපොරොත්තු වෙනවා. කිසිම සැකයක් නැහැ එයා හොඳ වහුපැටියෙක් රෝස්කරලා ඇති. එයාගෙ අර මහත දුව තරම්ම තරබාරු වස්සෙක් වුනොත් එහෙම නම් මම කාලා කාලා පැලිලා මැරෙයි. ඉතින්, කොහොමද ඔබේ කකුල?"

"හරිම දැවිල්ලයි, රිදෙනවා. ඒක කසනකොට මට නිකං පිස්සු වගේ."

සුළැඟිල්ලා ඇහිබැමක් එසවීය. "මීට පස්සෙවත් පරිස්සම් වෙන්ට, ඒක උඩට අශ්වයො වට්ටගන්නෙ නැතුව ඉන්ට‍. මම ඔබට අණකරනවා ඉක්මනින්ම සනීප වෙන්ටයි කියලා. රාජධානිය බොහොම අවිනීත තත්ත්වයකට පත්වේගෙනයි එන්නෙ. වාරිස්ට බටහිර පැත්තෙන් එන බොහොම අසුබ කෙඳිරීම් තමා අහන්ට ලැබිලා තියෙන්නෙ. කුලී හේවායොයි නිදහස් අසරුවොයි කාර්ස්ටලී රොක්වල පොදි ගැහෙනවලු."

"රජතුමාගෙන් මොකුත් පණිවුඩයක් තියෙනවද? එයා තව කොච්චර කාලයක් ඔහොම දඩයම් කර කර ඉන්ට බලාපොරොත්තු වෙනවද?"

"ඇතිවෙලා තියෙන තත්ත්වෙ හැටියට නම් මම හිතන්නෙ එයා කැලේටම වෙලා ඉඳියි ඔබයි රැජිණයි දෙන්නම නාකිවෙලා මැරිලා යනකම්. එහෙම නැත්තං එයා ඔය මොකෙක් හරි මරාගත්ත ගමන් ඉක්මනටම ආපහු එයි. අහන්ට ලැබෙන විදියට නම් එයාලට අර සුදු ගෝනා හම්බවෙලා... ඇත්තම කියනවා නම් ඒ සතාගෙ ඇටකටු ටික. අපේ රජතුමාට කලින් ඌව වෘකයො රංචුවකට මුනගැහිලා. උං ඉතුරුකරලා ගිහින් තියෙන්නෙ අං තට්ටුවයි කුරයි විතරයිලු. රොබර්ට්ට හොඳටෝම කේන්ති ගිහිල්ලා. ඊටපස්සෙ එයාට අහන්ට ලැබිලා තියෙනවා වනාන්තරේ මැද්දෙ ඉන්න මහ විශාල වල් ඌරෙක් ගැන. ඊටපස්සෙ ඉතින් එයාව නවත්තන්ට ලැබෙන්නෙ නෑ නෙව. ජො‍ෆ්රි කුමාරයා අද උදේ ආපහු ආවා රොයිස්ලයි, සෙර් බේලන් ස්වෝනුයි, කණ්ඩායමේ තව විසි දෙනෙකුයි එක්ක. අනිත් අය තාමත් රජතුමාත් එක්ක."

"දඩබල්ලා?" නෙඩ් රැවුම් මුහුණින් යුතුව ඇසීය. සිය පියාට එක්වීම පිණිස ජේමි ලැනිස්ටර් නගරයෙන් පලා ගිය පසු මුලු ලැනිස්ටර් පිරිසෙන්ම නෙඩ් ගේ අවධානය වැඩිපුරම යොමුවූයේ සැන්ඩෝර් ක්ලිගේන් කෙරෙහි විය.

"ආහ්! මිනිහා ජොෆ්රිත් එක්ක ආපහු ආවා. ආව ගමන් කෙලින්ම ගිහින් තියෙන්නෙ රැජිණව මුනගැහෙන්ට. බෙරික් උතුමානන් එයාගෙ අයියාගෙ බෙල්ල කපලා මරලා දාන්ට ගියාය කියන කතාව මිනිහට අහන්ට ලැබෙන මොහොතෙදි ඒ පලාතෙවත් නොහිට කැරපොත්තෙක් වගේ දුවලා ගිහින් හැංගෙන්ට තියෙනවා නම් මම රිදී කාසි සීයක් දෙනවා."

"අන්ධ මිනිහෙක් වුනත් දන්නවා දඩබල්ලා එයාගෙ අයියාව පිළිකුල් කරනවා කියලා."

"ආහ්! ඒ වුනත් ග්‍රෙගර් ඉන්නෙ එයාට පිළිකුල් කරන්ට. ඔබට මරලා දාන්ට නෙවෙයි. අපේ ඩොන්ඩරියන් අර කන්ද අතුගාලා දැම්මට පස්සෙ ක්ලිගේන් ඉඩකඩම් ටිකයි ඔක්කොම ආදායමයි අයිතිවෙන්නෙ සැන්ඩෝර්ට. ඒ වුනත් මම නම් හිතන්නෙ නෑ මිනිහා අපට ස්තූති කරන්ටවත් හිතයි කියලා. එයා ඒ ජාතියෙ මිනිහෙක් නෙවෙයි. ඉතින් දැන් ඔබ මට සමාවෙන්ට ඕන. ටන්ඩා ආර්යාව එයාගෙ අර තර වස්සාත් එක්ක මම එනකම් බලන් ඉන්නවා."

දොර වෙතට යන අතරේදී මේසය මත තිබුනු ප්‍රධාන මේස්ටර් මැලියන් ගේ දැවැන්ත පුස්තක රත්නය සුළැඟිල්ලා ගෙ නෙත ගැටින. මොහොතකට නැවතුනු ඔහු නිකමට මෙන් කවරය පෙරලා බැලීය. "'රාජධානි සප්තකයේ උදාර වංශවත් පවුල්වල ඉතිහාසය හා පෙළැන්තිය: බොහෝ උසස් වංශාධිපතියන්, කුලීන ආර්යාවන් හා ඔවුන් ගේ දරුවන් ගේ විස්තර සමගින්.' මෙන්න තියෙනවා මම දැකලා තියෙන කියවන්ට අමාරුම පොතක්. නිදි බෙහෙතක්ද මගේ උතුමානනි?"

ඔහුට සියල්ලම කිවයුතු යැයි නෙඩ්ට එක් මොහොතකට සිතුනේය. එනමුදු සුළැඟිල්ලා ගේ මේ අනවශ්‍ය විහිළුවල ඔහුට හිරිහැරදායී යම් කිසිවක් තිබින. මේ මිනිසා ඕනෑවටත් වඩා ශූරයකු විය. ඔහු ගේ මුවේ නිතරම සමච්චල්සහගත සිනාවක් රැඳී පැවතින. "ජොන් ඒරින් අසනීප වෙද්දි කියව කියවා හිටියෙ ඔය පොත." නෙඩ් සුපරීක්ෂාකාරී ස්වරයකින් කීවේ සුළැඟිල්ලා ගේ ප්‍රතිචාරය කවරාකාර වේදැයි දැනගැනීමට ය.

සිතූ ලෙසින්ම ප්‍රතිචාරය නර්මාලාපයක් විය. "එහෙමනම් ඉතින් මරණය බොහොම සුන්දර සහනයක් වෙන්ට ඇති." හිස නැමූ පෙටයර් බේලිෂ් පිටව ගියේය.

එඩාර්ඩ් ස්ටාර්ක් තමාටම අවලාදයක් නගාගත්තේ ය. තමන්ගේ සෙබළුන් හා සේවකයින් හැරුනු විට මේ නගරයේ ඔහු විශ්වාසය තැබූ මිනිසුන් ගනණ අල්ප විය. සුළැඟිල්ලා කැට්ලින්ට සැඟව ගැනීමට උදවුකර නෙඩ් ගේ පරීක්ෂණවලට ද සහාය වූ බව සැබෑවකි. එනමුදු එදා රෑ ජේමි හා ඔහුගේ සෙබළ මුලුව තමා වට කල විට ඔහු තම ආරක්ෂාව පතා දිව ගිය අන්දම තවමත් නෙඩ් ගේ සිතේ රැවු දුන්නේ ය. වාරිස් ඊටත් වඩා අන්ත විය. පක්ෂපාතීත්වය ගැන ඔහු දොඩවන නන්දෙඩවිලි කෙතරම් වුවද මේ පණ්ඩකයා බොහෝ දේ දැන සිටි නමුදු ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරී වූයේ ඉතා අඩුවෙනි‍. ගතවන සෑම දිනක් පාසාම ප්‍රධාන මේස්ටර් පයිසෙල් ‍රැජිණ ගේ මිනිසකු බව වඩ වඩාත් පැහැදිලි විය. සෙර් බැරිස්ටාන් කිසිදු බුරුලක් නැති, අනම්‍ය, මහලු මිනිසකු විය. සිය රාජකාරිය කරගෙන ඉන්නැයි ඔහු නෙඩ්ට පවසනු නොඅනුමානය.

කාලය අතිශයින්ම කෙටි විය. රජතුමා සිය දඩයම් සවාරිය නිම කර හැකි විගසින් නැවත පැමිණෙනු ඇති අතර නෙඩ් තමා සොයාගත් සියල්ල සමගින් ඔහු හමුවට යා යුතුය. තව තෙදිනකින් සන්සාට හා ආර්යාට මෙයින් පිටව යා හැකිවන පරිදි වින්ඩ් විච් නමැති බ්‍රාවොසි නෞකාවක් සොයාගන්නට වයොන් පූල් විසින් සමත්ව තිබින. අස්වනු නෙලීමේ උත්සවයට පෙර ඔවුන් වින්ටර්ෆෙල්වලට ගොස් සිටිනු ඇත. ඔහු ගේ පමාවට සමාවක් වශයෙන් ඔවුන් ගේ ආරක්ෂාව ගැන ඇති ප්‍රමුඛතාව නෙඩ්ට තවදුරටත් යොදාගත නොහැකි විය.

එනමුදු පෙරදා රැයේ ඔහු රේගාර් ගේ දරු දෙදෙනා සිහිනෙන් දුටුවේය. ටයිවින් උතුමානන් විසින් සිය සෙබළුන් දෙදෙනෙකු ගේ ලේ රතු පැහැ සළුවලින් එතූ මළකඳන් දෙක යකඩ සිහසුන පාමුල තබා තිබින. ඔහු ඇත්තෙන්ම කපටියකු විය. රත් පැහැ සළුව නිසා ලේ පැල්ලම්වල භයානකත්වය දිස් වූයේ යාන්තමිනි. පුංචි කුමරිය පාවහන් කිසිත් නොමැතිව තවමත් රාත්‍රි නිදන ඇඳුම පිටින් සිටි අතර පුංචි කුමරා... පුංචි කුමරා...

නැවතත් එවැන්නක් සිදුවීමට ඉඩදීමට නෙඩ්ට කොහෙත්ම හැකියාවක් නොවීය. රාජධානියට තවත් පිස්සු රජෙක් නුවුමනාය. තවත් පලිගැනීමක් හා තවත් ලේ හැලීමක් නුවුමනාය. මේ දරුවන් රැකගන්නට ඔහු කුමක් හෝ කල යුතුය.

රොබර්ට් වනාහි සාමාන්‍යයෙන් සමාව දෙන සුළු පුද්ගලයකු විය. සෙර් බැරිස්ටාන් යනු ඔහුගෙන් සමාව ලද එකම සතුරා නොවේ. ප්‍රධාන මේස්ටර් පයිසෙල්, වාරිස්, බේලන් ග්‍රේජෝයි උතුමානන්. මේ හැම කෙනෙක්ම වරක් රොබර්ට් ගේ සතුරකුව සිටියහ. එනමුදු යටත් බව ප්‍රකාශ කිරීමෙන් පසුව මේ හැම කෙනෙකුටම රොබර්ට් ගේ මිත්‍රත්වයේ දෑත් දිගු වූ අතර ඔවුන් සතුව පැවැති තනතුරු, ගරුනම්බු එලෙසින්ම පවත්වාගෙන යාමේ අවස්ථාවද හිමිවිය. මිනිසකු අවංක සහ නිර්භීත වන තාක් රොබර්ට් ඔවුන්ට ගෞරවනීය සතුරකුට හිමි ගරු බුහුමන නොඅඩුවම ලබා දුන්නේය.

එනමුදු මෙය හාත්පසින්ම වෙනස් දෙයක් විය. මේ වනාහි අඳුරේ සිට විස කැවීමකි. ආත්මය පසාරුවන සේ පිහියෙන් ඇනීමකි. ඔහු මෙයට කිසිදා සමාවක් නොදෙනු ඇත. රේගාර්ට කලාක් මෙන් ඔහු මොවුන්ගෙනුත් පලිගනු ඇත. ඔහු මොවුන් සැවොම මරාදමනු ඇත.

එනමුදු ඔහුට නිහඬව සිටීමට හැකියාවක් නොමැත. ඔහුට රොබර්ට් වෙනුවෙන් යුතුකමක් තිබේ. රාජධානිය වෙනුවෙන් යුතුකමක් තිබේ. ජොන් ඒරින් ගේ මතකය වෙනුවෙන් යුතුකමක් තිබේ... බ්‍රැන් වෙනුවෙන් යුතුකමක් තිබේ. බ්‍රැන් නිසැකවම මේ සම්බන්ධයෙන් යමක් දැනගන්නට ඇත. එසේ නොමැතිනම් ඔවුන්ට ඔහුව මරා දැමීමට උවමනා වූයේ ඇයි?

අපරභාගයේදී ඔහු ටොමාර්ඩ්ව කැඳෙවුවේ ය. ලා දුඹුරු පැහැ පැති රැවුලකින් යුතු මේ තරබාරු සෙබළා ඔහු ගේ දරුවන් විසින් මහත ටොම් යනුවෙන් හැඳින්වූහ. ජොරී මියගිය පසු, ඇලන් බෙරික් උතුමානන් හා පිටව ගිය පසු ටොම් දැන් ගෘහාරක්ෂක බලකායේ නායකයා වශයෙන් කටයුතු කරමින් සිටියි. මේ දැනුම නෙඩ්ව මඳක් නොසන්සුන් කරවන්නට සමත් විය. ටොමාර්ඩ් වනාහි ශක්තිමත්, කාරුණික, පක්ෂපාතී, පහසුවෙන් විඩා නොවැටෙන දක්ෂ සෙබළෙකු විය. එනමුදු දැන් ඔහු පනස්වන වියට ආසන්නව සිටියේය. තරුණ කාලයේදී පවා ඔහු එතරම් කඩිසර ක්‍රියාශීලී අයෙකු නොවීය. සමහරවිට නෙඩ් විසින් කඩිමුඩියේ තම සෙබළ මුලුවෙන් බාගයක් - ඔහු ගේ හොඳම සෙබළුන් - බෙරික් උතුමානන් හා පිටත්කර හැරීම මෝඩ ක්‍රියාවක් වන්නට ඇත.

"මට උඹේ උදවු ඕන." කාමරයට පැමිණි ටොමාර්ඩ් අමතා නෙඩ් පැවසීය. සිය ස්වාමියා ඉදිරියට කැඳවන සෑම විටෙකම මෙන් ඔහු දැනුත් යම් බිය මුසු හැඟීමකින් පෙලෙමින් සිටියේය. "මාව දෙව්වනයට එක්කරන් පලයන්."

"ඒක එච්චරම ඥානාන්විත වැඩක් නෙවෙයි නේද මයෙ උතුමානනි? ඔය කකුල තාම හොඳ නෑ නේද?"

"ඒක නම් එහෙම තමා. ඒත් මේ වැඩේ කරන්ටම ඕන."

ටොමාර්ඩ් වාර්ලිව කැඳෙවුවේ ය. දෙදෙනාගේම උරහිසට උඩින් අතක් දමාගත් නෙඩ් අසීරුවෙන් පඩිපෙළෙන් බැසගත්තේ ය. "මුරකාවල් දෙගුන කරන්ට මට ඕන." අංගනය හරහා පැන පැන යන අතරේදී නෙඩ් ටොමාර්ඩ් අමතා කීය. "මගේ අවසරයක් නැතුව කිසිම කෙනෙකුට හස්තයේ කුළුණෙන් පිටට යන්ටත් බෑ ඇතුළුවෙන්ටත් බෑ."

ටොම් ඇසිපිය සැලුවේය. "මයෙ උතුමානනි, ඇලනුයි අනිත් අයයි ගියාට පස්සෙ අපි ටිකක් අමාරුවෙන් තමා වැඩ කරන්නෙ-"

"ඒක පොඩි කාලෙකට විතරයි. මුර කාලෙ වැඩි කරපන්."

"ඔබතුමාගෙ කැමැත්තක් මයෙ උතුමානනි. මට අහන්ට පුළුවන්ද ඇයි-"

"එපා." නෙඩ් පිළිතුරු දුන්නේය.

දෙව්වනය කිසිවෙකුත් නැති පාළු ස්ථානයක් විය. දකුණුක‍රයේ දෙවිවරුන් ගේ වාසභවනක් වූ මේ නගරය තුළ එය මහ අරුමයක් නොවීය. සෙබළුන් දෙදෙනා විසින් නෙඩ්ව හදවෘක්ෂය අසල තණබිස්සේ වාඩි කරවද්දී ඔහු ගේ පාදය වේදනාවෙන් ගිනිගෙන දැවෙමින් තිබින. "බොහොම ස්තූතියි!" සිය වංශයේ සලකුණින් මුද්‍රා තැබූ ලිපියක් ඔහු කමිස අත තුළින් පිටතට ගත්තේය. "මේක හැකි ඉක්මනින් ගිහින් බාරදීපන්."

නෙඩ් විසින් ලිපි කවරයේ ලියා තිබුනු නම දුටු ටොමාර්ඩ් වියවුල් සිතින් සිය දිවෙන් දෙතොල් තෙමාගත්තේ ය. "මයෙ උතුමානනි..."

"මම කියපු විදියට කරපන් ටොම්."

ඔහු මෙසේ දෙව්වනයේ නිහඬතාව මැද්දේ කෙතරම් වේලාවක් ගතකලේදැයි නෙඩ්ට හරියටම නිච්චියක් නොවීය. එය ඉතා සාමකාමී තැනක් විය. ඝනකම් ප්‍රාකාර විසින් බලකොටුවේ කලිකලහය මුවා කොට තිබින. කුරුල්ලන් ගේ කිචිබිචිය ද, තණපත් අතර සැඟවුනු රැහැයියන් ගේ නාදය ද, මඳ සුළඟේ තුරු පත් නගන සිලි සිලි හඬ ද ඔහුව නිවා සනහන්නට විය. මෙහි වූ හදවෘක්ෂය කිසිදු මුහුණක් නොකෙටූ දැවැන්ත ඕක් ගසක් වුවද සිය දෙවිවරුන් ගේ ආමුඛය නෙඩ් ස්ටාර්ක් විසින් හඟින්නට විය. ඔහු ගේ පාදයේ වේදනාව පවා අඩු වූවාක් මෙන් දැනින.

සැඳෑ හිරු රැස් විසින් ප්‍රාකාර හා කුළුණුවලට ඉහළින් වූ වළාකුළු රත් පැහැ කරද්දී ඇය ඔහු සොයා පැමිණියා ය. ඔහු පවසා තිබුනු පරිදිම ඇය කිසිදු පිරිවරක් නොමැතිව තනිවම ඔහු සොයා පැමිණියා ය. අද ඇය ඉතාමත් සරල කොළ පැහැති ඇඳුමක් හැඳ සමින් කල බූට්ස් සපත්තු පැළැඳ සිටියාය. ඇය සිය දුඹුරු පැහැ කබායේ හිස්වැස්ම පහත්කල විට රජතුමා ගේ අතුල් පහරින් ඇගේ මුහුණේ ඇති වූ තැල්ම තවමත් පැහැදිලිවම දැකිය හැකි විය. එහි වූ රතු පැහැය මැකී ගොස් ඉදිමුම බැස තිබුනද එය දුටු කිසිවෙකුටත් ඒ කුමක්දැයි හඳුනාගැනීම අසීරුවක් නොවීය.

"ඇයි මෙතන?" ඔහු අභිමුව සිටගෙන සිටි සෙර්සි ලැනිස්ටර් ඇසුවා ය.

"දෙයියන්ට අපිව පේන්ට ඕන නිසා."

ඇය ඔහු පසෙකින් තණබිම මත වාඩිවුනාය. ඇගේ සෑම චලනයක්ම ඉතා මනෝඥ විය. ඇගේ කැරැළි ගැසුනු තඹවන් කෙහෙරැළි මඳ සුළඟේ නටන්නට විය. ඇගේ දෙනෙත් ගිම්හානයේ තුරු පත් මෙන් කොළ පැහැයෙන් බබළන්නට විය. ඇය මෙතරම් රූමත් බව නෙඩ් බොහෝ කලෙකින් දැක නොතිබින. එනමුදු ඔහු දැන් එය දුටුවේය. "මම දන්නවා ජොන් ඒරින් මැරුනෙ මොකක් නිසාද කියලා." ඔහු කීවේය.

"ඇත්තට?" රැජිණ බැළලියක් මෙන් පරීක්ෂාකාරී අයුරින් ඔහු ගේ මුහුණ නිරීක්ෂණය කලාය. "ඒකද උඹ මට මෙතැනට එන්ට කිවුවෙ ස්ටාර්ක් උතුමානනි? මට ප්‍රහේලිකා කියන්ටද? එහෙමත් නැත්තම් උඹේ බිරිඳ මගේ මල්ලිව පැහැරගත්තා වගේ උඹ මාවත් පැහැරගන්ටද යන්නෙ?"

"ඇත්තෙන්ම එහෙම දෙයක් හිතුවා නම් ඔබ මෙතැනට එන්නෙ නෑ." නෙඩ් මෘදු අයුරින් ඇගේ කම්මුල ස්පර්ශ කලේය. "එයා මීට කලිනුත් මෙහෙම ගහලා තියෙනවද?"

"එකපාරක් නැත්තම් දෙපාරක්." ඇය ඔහු ගේ ස්පර්ශයෙන් ඈත් වෙමින් පැවසුවා ය. "ඒ වුනාට මීට කලින් කවදාවත් මූනට ගහලා නෑ. ජේමි ඒක දැක්කානම් එයාව මරලා දාවි, ඒකෙන් එයාගෙ ජීවිතේට හානියක් වුනත් කමක් නෑ කියලා." සෙර්සි ඔහු දෙස විරෝධාත්මක බැල්මක් හෙලුවාය. "මගේ සහෝදරයා උඹේ යාළුවට වඩා සිය ගුණයක් හොඳයි."

"ඔබේ සහෝදරයා ද? නැත්තම් ඔබේ ආදරවන්තයා ද?"

"දෙකම." ඇය සත්‍යයෙන් පලායාමට තැත් නොකලාය. "අපි පුංචි එවුන් දෙන්නෙක් කාලෙ ඉඳන්ම. ඇයි බැරි? ටාර්ගේරියන්ලා අවුරුදු තුන්සීයක් තිස්සෙ සහෝදර සහෝදරියො කසාද බඳිනවා, එයාලගෙ ලේ පිරිසුදුව තියාගන්ට. අපි දෙන්නා සිරුරු දෙකක ජීවත්වෙන එක පුද්ගලයෙක්. අපි දෙන්නා එක ගර්භාෂයක් හවුලෙ බෙදාගෙන ජීවත්වුනා. එයා මේ ලෝකෙට ආවෙ මගෙ කකුලකින් අල්ලගෙන. එහෙමයි අපේ නාකි මේස්ටර් කිවුවෙ. එයා මං ඇතුළෙ ඉන්නකොට මට දැනෙන්නෙ හරියට... හරියට මම සර්වසම්පූර්ණයි කියලයි." ඇගේ මුවේ සිනාහවක් ඇඳී මැකී ගියේය.

"මගේ පුතා බ්‍රැන්..."

සෙර්සි ඉවත නොබැලුවා ය. ඇයට අඩුම තරමේ ඒ ගෞරවය දිය යුතු විය. "එයා අපි දෙන්නව දැක්කා. උඹ උඹේ දරුවන්ට ආදරෙයි. එහෙම නේද?"

තරගාවලිය දා උදෑසන රොබර්ට් ද මේ ප්‍රශ්නයම ඔහුගෙන් අසා තිබින. නෙඩ් ඇයට ද එම පිළිතුරුම දුන්නා ය. "මගේ මුලු හදවතින්ම‍."

"ඒ තරම්ම මමත් මගේ ළමයින්ට ආදරෙයි."

එතැනට ආවොත්, නෙඩ් සිතුවේය. රොබ්, සන්සා, ආර්යා, බ්‍රැන් හා රිකන් ගේ ජීවිතයට එදිරිව මම නොදන්නා දරුවකු ගේ ජීවිතය පරදුවට තබන්නට වුවහොත්, මම කුමක් කරාවිද? ඊටත් වඩා කැට්ලින් කුමක් කරාවිද? ඒ ඇගේ කුසින් උපන් දරුවන්ට එදිරිව ජොන් ස්නොව් වූවොත් ඇය කුමක් කරාවිද? ඔහු‍ට එය සිතාගත නොහැකි විය. තමාට කිසිදා එවැන්නක් දැනගැනීමට ද නොලැබේවායි ඔහු පැතීය.

"ළමයි තුන්දෙනාම ජේමිගෙ." ඔහු කීවේය. එය ප්‍රශ්නයක් නොවීය.

"දෙයියන්ට ස්තූති වෙන්ට."

'බීජය ශක්තිමත්', ජොන් ඒරින් මරණ මංචකයේ හිඳ කීවේය. එය එසේම විය. අර සියළුම අවජාතකයින්, රාත්‍රිය මෙන් කළු පැහැ හිසකෙසින් යුතු රොබර්ට් ගේ අවජාතකයින් ඊට සාක්ෂි විය. මීට වසර අනූවකට පමණ පෙර සිදු වූ ගෝනකු හා සිංහයකු අතර කෙරුනු අවසාන සහවාසය ප්‍රධාන මේස්ටර් මැලියන් ගේ පොතේ අපූරුවට විස්තර කර තිබින. ටියා ලැනිස්ටර් හා ගොවෙන් බරතියන්ට ලැබුනු එකම දරුවා, බිළිඳු වියේදීම මියගිය ඒ අතදරුවා, තද කළු පැහැ හිසකෙසින් යුතු පිරිමි දරුවකු විය. ඊටත් වසර තිහකට පෙරාතුව පිරිමි ලැනිස්ටර්වරයකු විසින් බරතියන් තරුණියක ආවාහයට ගෙන තිබින. ඇය ඔහුට දාව දියණියන් තිදෙනකු හා එක් පුතකු ප්‍රසූත කර තිබුනු අතර ඔවුන් සියල්ලෝම කළු පැහැ හිසකෙසින් යුක්ත වූහ. මැලියන් ගේ පුස්තකය තුළ කෙතරම් ගැඹුරට, කෙතරම් අතීතයට හාරා බැලුවද, ඒ සැමවිටම ඔහුට සොයාගත හැකි වූයේ රන් පැහැය සෑමවිටම කළු පැහැයට පරාද වූ වග විය.

"අවුරුදු දොළහක්! කොහොමද එච්චර කල් ඔබට රජතුමාගෙන් දරුවො ලැබුනෙ නැත්තෙ?"

ඇය නැවත වරක් විරෝධාත්මක අයුරින් හිස එසෙවුවා ය. "උඹේ රොබර්ට් නිසා මට එකපාරක් දරුවෙක් ලැබෙන්ට හිටියා." ඇගේ ස්වරය අවඥාවෙන් පිරී තිබින. "ජේමි හොයාගත්තා ගෑනියෙක්ව, දරුගැබ ගබ්සා කරලා දාන්ට. රොබර්ට්ට කවදාවත් දැනගන්ටවත් ලැබුනෙ නෑ. ඇත්තටම කියනවා නම් එයාට මාව අල්ලන්ට දෙන එකවත් මට රිස්සුවෙ නෑ. මම දැන් අවුරුදු ගානකින් එයාට මගෙත් එක්ක එකතුවෙන්ට දුන්නෙ නෑ. එයාගෙ වේස ගෑනු අමතක වෙලා එයා මගේ ඇඳට නැග්ගහම එයාව සතුටුකරන්ට පුළුවන් වෙන වෙන ක්‍රම මම දන්නවා. රජතුමා කොච්චර බීලාද ඉන්නෙ කියනවා නම් අපි මොනා මොනා කලාද කියන එක පහුවෙනිදා උදේට එයාට අමතකයි‍."

ඔවුන් සියල්ලන්ම මෙතරම් අන්ධව සිටියේ කෙසේද? සත්‍යය සෑමදාමත් ඔවුන් ගේ දෑස් ඉදිරියේ විය. සත්‍යය සෑමදාමත් අර දරුවන් ගේ මුහුණු මත සනිටුහන් වී තිබින. නෙඩ්ට අදහාගත නොහැකි විය. "රොබර්ට් සිංහාසනේට නැගපු දවස මට අද ඊයෙ වගේ මතකයි. එයා හැම අඟලක් ගානෙම ‍රජෙක් වගේ හිටියෙ. කොච්චර තේජසක් ද. කොච්චර කඩවසම් ද. තව ගෑනු දාහක් ගත්තොත් උන් හැමෝම එයාට පණ වගේ ආදරය කරයි. ඔබ එයාට මෙච්චර වෛර කරන්ට එයා මොකක්ද ඔබට කලේ?"

ඇගේ දෑස ගිනිගෙන දැවුනේය. හරියටම සැඳෑ අඳුරේ නටන කොළ පැහැ ගිනිදළු මෙන්, ඇගේ වංශ සලකුණ වන සිංහ ධේනුවක ගේ මෙන් ඒ දෑස් කොළ පැහැයෙන් දිලිසුනේ ය. "අපේ මංගල රෑ, අපි දෙන්නා එක ඇඳක නිදාගත්ත පළවෙනි රෑ, එයා මට කතාකලේ උඹේ නංගිගෙ නමින්. එයා මගේ ඇඟ උඩ, මගේ ඇතුළෙ ඉන්න ගමන් මට කෙඳිරුවා 'ලියානා' කියලා."

නෙඩ් ස්ටාර්ක් ගේ දෑස් ඉදිරියේ නිල් පැහැ රෝස මල් පෙති මැවී පෙනෙන්නට විය. මොහොතකට ඔහුට හඬන්නට උවමනා විය. "මම දන්නෙ නෑ ඔබලා දෙන්නාගෙන් කාටද මම වැඩියෙන් අනුකම්පා කරන්නෙ කියලා."

රැජිණ එයින් විස්මයට පත් වූ බැව් පෙනින. "උඹේ අනුකම්පාව උඹ ගාවම තියාගනිං ස්ටාර්ක් උතුමානනි. මට ඒකෙන් බිංදුවක්වත් ඕන නෑ."

"ඔබ දන්නවද මම දැන් මොකක්ද කරන්ට අවශ්‍ය කියලා?"

"අවශ්‍ය?" ඇය ඔහු ගේ පාදය මත, දණහිසට මඳක් ඉහළින් අතක් තැබුවා ය. "ඇත්ත මිනිහෙක් නම් කරන්නෙ එයාට කරන්ට උවමනා දේ. කරන්ට අවශ්‍ය දේ නෙවෙයි." ඇගේ අතැඟිලි සෙමින් සෙමින් ඔහු ගේ කළවෙහි පිරිමැදෙමින් ඔහුව පොළොඹවාලන්නට තැත් දැරීය. "මේ රාජධානියට දැන් හොඳ ශක්තිමත් හස්තයක් ඕන. ජොෆ් නිසි වයසට එන්ට තව අවුරුදු ගානක් යනවා. කාටවත්ම ආයෙමත් යුද්ධයක් උවමනා නෑ. මටත් උවමනා නෑ." ඇගේ අතැඟිලි ඔහු ගේ මුහුණ, ඔහු ගේ කෙහෙරැළි ස්පර්ශ කරන්නට විය. "මිතුරන්ට සතුරො වෙන්ට පුළුවන් නම් සතුරන්ටත් පුළුවන් මිතුරො වෙන්ට. උඹේ බිරිඳ ඉන්නෙ ලීග දාස් ගානක් ඈත. ජේමි නගරයෙන් පැනලා ගිහිල්ලා. මට කරුනාවන්ත වෙයන් නෙඩ්. මම දිවුරලා පොරොන්දු වෙනවා, උඹ ඒ ගැන කවදාවත් පසුතැවෙන එකක් නෑ."

"ඔබ ඔය පොරොන්දුවම ද ජොන් ඒරින්ට දුන්නෙත්?"

ඇය ඔහුට අතුල් පහරක් දුන්නාය.

"මම ඒක ගෞරවනීය සලකුණක් විදියට පළඳින්නම්." නෙඩ් වියළි ස්වරයෙන් කීය.

"ගෞරවය?" ඇය බිමට කෙල ගැසුවාය. "උඹ කොහොමද ඔය විදියට බොරුවට උදාර වංශවත් උතුමානන් කෙනෙක් විදියට රඟපාන්නෙ? උඹ හිතන්නෙ මම කවුරුයි කියලද? උඹටත් උඹේම කියලා අවජාතකයෙක් ඉන්නවා. මම ඌව දැක්කා. කවුද උගෙ අම්මා? උඹ දූෂණය කරලා දාපු කවුරුහරි ඩෝර්නිෂ් ගැමි කෙල්ලක් ද? වේස ගෑනියෙක් ද? එහෙමත් නැත්තම් ඒ අර අවාසනාවන්ත සහෝදරී අශාරා ඩේන් ද? මම අහලා තියෙන විදියට ඒකි මුහුදට පැනලා මැරුනා. ඇයි ඒ? උඹ ඒකිගෙ අයියාව මරලා දාපු නිසා ද? එහෙමත් නැත්තම් උඹලා දෙන්නගෙ දරුවාව උඹ ඒකිගෙන් උදුරගත්තු නිසා ද? මට කියහං, ම‍ගේ උදාර එඩාර්ඩ් උතුමානනි, උඹ කොහොමද රොබර්ට්ට, මට නැත්තම් ජේමිට වඩා වෙනස් වෙන්නෙ?"

"මුලින්ම බැලුවොත්, මම දරුවො මරන්නෙ නෑ. මම මේ කියන දේ බොහොම පරිස්සමින් අහන් ඉන්ට මගේ ආර්යාවනි. මම මේක එකපාරයි කියන්නෙ. රජතුමා දඩයම් සවාරිය ඉවරකරලා ආපහු ආවට පස්සෙ මම හිතාගෙන ඉන්නවා එයා ඉස්සරහට ගිහිල්ලා මේ හැමදෙයක්ම කියන්ට. ඒ වෙද්දි ඔබ ගිහින් හිටියොත් හොඳයි. ඔබයි, ඔබේ දරුවො තුන්දෙනාමයි. හැබැයි කාර්ස්ටලී රොක්වලට නෙවෙයි. මම ඔබ නම් මම කරන්නෙ වහාම නැවක් අරන් නිදහස් නගරවලට පැනලා යන එක. සමහරවිට ඊටත් වඩා ඈතට. ගිම්හාන දූපත්වලට නැත්තම් ඉබ්න් තොටමුණට. හුළඟට ඔබව අරන් යන්ට පුළුවන් උපරිම දුරකට."

"පිටුවහල් වෙන්ට? ඒක බොන්ට බොහොම අමාරු තිත්ත කසායක් මගේ උතුමානනි."

"ඔබේ තාත්තා රේගා‍ර් ගේ දරුවන්ට දුන්නාට වඩා බොහොම රසවත් පානයක්. අනික ඔබට නොවටින තරම් කාරුනික දෙයක්. ඔබේ තාත්තයි, ඔබේ සහෝදරයිනුයිත් ඔබත් එක්කම ගියානම් වඩා හොඳයි. ටයිවින් උතුමානන්ගෙ රත්තරන්වලට පුළුවන් වෙයි ඔබට අවශ්‍ය සැපපහසුව සපයන්ට. ඒ වගේම ඔබට ආරක්ෂාවට අවශ්‍ය සෙබළු සපයන්ට. ඔබට ඒක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි. ඔබ කොයි ලෝකෙ ගියත් ඒ පස්සෙන්ම රොබර්ට්ගෙ උදහස, ද්වේෂය ඔබව හොයන් එයි."

රැජිණ නැගිට සිටියාය. "එතකොට මගෙ උදහස ගැන මොකද කියන්නෙ ස්ටාර්ක් උතුමානනි?" ඇය මෘදු ස්වරයෙන් ඇසුවාය. ඇගේ දෑස් ඔහු ගේ මුහුණ පරීක්ෂාවෙන් පිරික්සා බැලීය. "උඹයි මේ රාජධානිය අයිතිකරගන්ට තිබුනෙ. ඒක උඹේ අතේ දුරින් තිබුනෙ. ජේමි මට කිවුවා කින්ග්ස් ලෑන්ඩින්ග් වැටුන දවසෙ උඹ කොහොමද එයාව යකඩ සිංහාසනයේ වාඩි වෙලා ඉන්දැද්දි හොයාගත්තෙ කියලා. කොහොමද උඹ එයාට යටත් කරගත්තෙ කියලා. ඒ තමා උඹේ අවස්ථාව. උඹට කරන්ට තිබුන එකම දේ ඒ පඩිපෙළ නැගලා ගිහිල්ලා යකඩ සිංහාසනයේ වාඩි වෙන එක විතරයි. ඒක ‍බොහොම ලොකු, බොහොම නරක අත්වැරැද්දක් මගෙ උතුමානනි."

"ඔබට හිතාගන්ටවත් බැරි තරම් අත්වැරැදි ගොඩක් මම කරලා තියෙනවා. ඒ වුනත් ඒක අත්වැරැද්දක් නෙවෙයි."

"ආහ්! ඒ වුනත් ඒක එහෙම තමා මගෙ උතුමානනි." සෙර්සි තිර ස්වරයෙන් කීවාය. "උඹ සිහසුන් ක්‍රීඩාව කරනවා නම් එක්කො උඹ දිනන්ට ඕන, නැත්තම් උඹ මැරෙන්ට ඕන. ඔය දෙක අතරමැද ඇති දෙයක් නෑ."

සිය මුහුණ වැසෙන සේ සළුවෙන් හිස පොරවා ගත් ඇය ඔහුව ඒ ඕක් වාක්ෂය යට අන්ධකාරයේ තනිකර දා නික්ම ගියාය. දෙව්වනයේ නිහඬතාව මැද්දේ, නිල් කළු පැහැ අහස යට තනිකර දා නික්ම ගියාය. තරු එකින් එක නැග එන්නට පටන්ගෙන තිබින.


Cersei Lannister: “When you play the game of thrones, you win or you die. There is no middle ground.”