දඩයක්කාර නඩය උදෑසනින් ම වින්ටර්ෆෙල් වෙතින් පිටත් වී තිබින.
රජතුමාට අද රාත්‍රියේ පැවැත්වෙන භෝජන සංග්‍රහය වෙනුවෙන් වල් ඌරු මස් උවමනා වී තිබින. ජොෆ්රි කුමරාද සිය පියා සමග පිටත් වූ අතර එනිසාම රොබ්ට ද කණ්ඩායමට එක්වීමට අවසර ලැබින. බෙන්ජින් බාප්පා, ජොරී, තියන් ග්‍රේජෝයි, සෙර් රඩ්‍රික් හා රැජිණ ගේ අඟුටුමිටි සොහොයුරා පවා ඔවුන් සමග පිටත් වූහ. මේ අවසන් දඩයම් සවාරිය වූ අතර හෙට උදෑසන ඔවුන් සියලු දෙනාම දකුණුකරය බලා පිටත් වීමට නියමිතව තිබින.
කෙසේ වෙතත් බ්‍රැන්ට ඔවුන් සමග නොගොස් ගැහැණු ළමයින් හා පුංචි රිකන් - සහ අනිවාර්යයෙන්ම ජොන් - සමග මාලිගයේ නතර වීමට සිදු විය. එනමුදු රිකන් පුංචි බබෙක් වූ අතර ගැහැණු ළමයින් ගැහැණු ළමයින්ම වූ නිසා බ්‍රැන්ට ඔවුන් සමග සෙල්ලමට යාම කොහෙත්ම කල හැක්කක් නොවී ය. ජොන් හා ඔහු ගේ වෘක පැටවා ඇසට හසුවන මානයේ නොසිටි අතර බ්‍රැන් එතරම් උනන්දුවෙන් ඒ ගැන සොයා බැලීමටද සිතුවේ නැත. මේ දවස්වල ජොන් හැමදෙනාම සමග අමනාපයෙන් පසු වන නමුදු ඒ ඇයි දැයි සිතා ගැනීමට බ්‍රැන්ට හැකි වූයේ නැත. ඔහු නිශා රැකුමට බැඳීම පිනිස බෙන් බාප්පා සමග ප්‍රාකාරය වෙත යාමට නියමිතව තිබින. එය රජතුමා සමග දකුණුකරයට යෑම හා සමානම හොඳ දෙයකි. ඔවුන් මෙහි තනිකර දමා යන්නේ රොබ්ව මිස ජොන්ව නොවේ.
දවස් ගනනාවක් පුරා බ්‍රැන් පුල පුලා බලා සිටියේ පිටත්වන දිනය පැමිණෙන තෙක් ය. ඔහු සිය සුපුරුදු පෝනියා වෙනුවට ඇත්තම ඇත්ත අශ්වයකු පිට නැගී රජමාවතේ ගමන් කරන්නට යයි. සිය පියා රජතුමා ගේ හස්තය බවට පත්වීමට නියමිත අතර ඔවුහු කින්ග්ස් ලෑන්ඩින්ග්හි රතු බලකොටුවේ ජීවත්වීමට යති. මේ බලකොටුව මකරාධිපතියන් විසින් ගොඩ නැගූවකි. නාකි ආයම්මා කියන අන්දමට නම් එය හොල්මන්, දඟගෙවල් හා බිත්ති දිගට එල්ලූ මකර හිස්වලින් පිරී ඇත. මේ ගැන සිතද්දී පවා සිය සිරුර වෙවුලා යනු බ්‍රැන්ට දැනින. සිය පියාට අමතරව රජතුමා ද ඔහු ගේ සියලුම නයිට්වරුන් ද රජුට පක්ෂපාතී සියලුම සෙබළුන් ද යන සැවොම එහි සිටිති.
බ්‍රැන් ද කෙදිනක හෝ නයිට්වරයකු වීමට සිතා ගෙන සිටියි. රාජ්‍යාරක්ෂක බලකායේ නයිට්වරයකු නම් වඩාත් හොඳය. නාකි ආයම්මා කියන්නේ මුළු රාජධානියේම සිටින දක්ෂතම සටන්කරුවන් ඔවුන් බවය. ඔවුන් සෑමවිටම සුදු පැහැ සන්නාහ පැළැඳි සත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විය. ඔවුන් කිසිදා විවාහ නොවූ අතර රජුට සේවය කිරීම වෙනුවෙන්ම පමණක් ජීවත්වූවෝ වූහ. ඔවුන් ගැන ලියැවුනු හැම කතාවක්ම පාහේ බ්‍රැන් දැන සිටියේ ය. ඔවුන් ගේ නම් ඔහු ගේ කණට සංගීතයක් බඳු විය. දර්පණ පලිහේ සර්වින්, සෙර් රයම් රෙඩ්වින්, මකර නයිට්වර ඒමන් කුමරා, කවීන් විසින් 'මකර නැටුම' යනුවෙන් හඳුන්වනු ලබන වසර සිය ගණනකට පෙර සිදුවුනු ඒ යුද්ධයේ දී එකිනෙකාට එරෙහිව සටන් වැද මියගිය නිවුන්නු දෙදෙනා සෙර් එරික් හා සෙර් ඇරික්. සුදු ගොනා - සෙර් ජෙරල්ඩ් හයිටවර්, උදෑසනේ අසිපත - සෙර් ආතර් ඩේන්, නිර්භීත බැරිස්ටාන්.
රාජ්‍යාරක්ෂක බලකායේ සෙබළුන් දෙදෙනෙක් රොබර්ට් රජු සමග උතුරට පැමිණ සිටියහ. බ්‍රැන් වශීකරණයකින් මෙන් ඔවුන් දෙදෙනා දෙස බලා සිටි මුත් ඔහුට ඔවුන් සමග කතා කිරීමට තරම් ධෛර්යයක් උපදවා ගත නොහැකි විය. සෙර් බොරෝස් මහත ගෙලකින් යුතු තට්ට හිසැත්තෙකු වූ අතර සෙර් මෙරින්ට මැලවුනු දෑසක් හා මලකඩ පැහැ රැවුලක් තිබින. මේ සැමටම වඩා පුරාණ කතාවල සිටි නයිට්වරුන්ට වඩාත්ම සමාන වූයේ සෙර් ජේමි ලැනිස්ටර් ය. ඔහු ද රාජ්‍යාරක්ෂක බලකායේ සේවය කල නමුත් රොබ් කියා සිටියේ ඔහුව ගණන් ගත නොහැකි බවය. මක්නිසාද යත් ඔහු කලින් සිටි පිස්සු රජතුමා සිය දෑතින්ම මරා දමා තිබුනු බැවිනි. එනමුදු දැනට ජීවතුන් අතර සිටින ශ්‍රේෂ්ටතම නයිට්වරයා වන්නේ රාජ්‍යාරක්ෂක බලකායේ අන දෙන නිළධාරී, නිර්භීත බැරිස්ටාන් ලෙසින් හඳුන්වන සෙර් බැරිස්ටාන් සෙල්මි ය.
ඔවුන් කින්ග්ස් ලෑන්ඩින්ග්වලට ළඟා වූ පසු සෙර් බැරිස්ටාන් මුන ගස්සවන බවට පියා ඔහුට පොරොන්දු වී තිබින. බ්‍රැන් පුල පුලා බලා සිටියේ මෙතෙක් කල් ඔහු සිහිනයෙන් පමණක් දුටු මේ නව ලෝකය සැබැවින්ම දකින්නට ය, එහි ජීවත් වන්නට ය. නමුත් දැන් ඒ දවස ළඟා වී ඇති මොහොතේ බ්‍රැන්ට හදිසියේම අතරමං වූ බවක් දැනෙන්නට විය. ඔහු හැමදාමත් දැන සිටි එකම නිවහන වින්ටර්ෆෙල් පමනක්ම විය.
සිය සමුගැනීම් සියල්ලක්ම අද දවස ඇතුළත නිමා කරන්නැයි පියා ඔහුට පවසා තිබුනු අතර ඔහු ඒ වෙනුවෙන් උත්සාහයක් දරා තිබින. දඩයක්කාර පිරිස පිටව ගිය පසු ඔහු සිය වෘක පැටවාද සමග බලකොටුව පුරා අයාලේ ගියේ ඔවුන් මෙහි දමා යන සැමට ආයුබෝවන් කියන අදහසිනි. නාකි ආයම්මා, ගේජ් නමැති කෝකියා, කම්මල්කරු මික්කන්, ඉස්තාලය බලාගන්නා හොඩෝර් සහ තවත් බොහෝ අය.
නමුත් එය එතරම් පහසු කටයුත්තක් නොවී ය. ඔහු පළමුවෙන්ම ඉස්තාලය බලා ගියේ තම පෝනියාට කතා කරන්නට නමුත් ඔහුට මතක් වූයේ තව දුරටත් ඌ තම පෝනියා නොවන බවත්, තමා ඇත්ත අශ්වයකු පිට නැගී හෙට උදෑසන පිටවී යන බවත් ය. මෙම සිතුවිල්ලත් සමග වෙන කිසිදු දෙයකට වඩා ඔහුට උවමනා වූයේ බිම වාඩිවී ඉකිබිඳ හඬන්නට ය. ඔහු වහා ආපසු හැරී දොරින් එළියට දිව ගියේ හොඩෝර් හා අනෙකුත් ඉස්තාල සේවකයින්ට සිය කඳුළු නොපෙනෙනු පිනිස ය. ආයුබෝවන් කීමේ අවසානය එය වූ අතර ඔහු මුළු උදය කාලයම ගෙවුවේ දෙව්වනය තුළ සිය වෘක පැටවා හා සමාගමයෙනි.
ඔහු තවමත් සිය වෘක පැටවාට නමක් තබා තිබුනේ නැත. රොබ් සිය පැටවාට 'ග්‍රේ වින්ඩ්' කියා නම් තැබුවේ ඌ වේගයෙන් දුවන බැවිනි. සන්සා ගේ පැටවා 'ලේඩි' නම් වූ අතර ආර්යා පරණ කතන්දර වල කියැවෙන කවුදෝ මායාකාර රැජිණකගේ නමක් සිය පැටවාට තබා තිබින. රිකන් ගේ පැටවා නිකම්ම නිකං 'ෂැගී ඩෝග්' වූ අතර එය වෘක පැටවෙකුට නොගැලපෙන මහ මෝඩ නමකැයි බ්‍රැන් සිතුවේ ය. තමා මුලින්ම 'ගෝස්ට්' යන නම නොසිතුවේ මන්දැයි ඔහු කල්පනා කලේ ය. පසුගිය සති දෙක තුළ ඔහු නම් සිය ගණනක් සිතා තිබුනු නමුත් ඒ එකක්වත් සිතට ගැලපුනේ නැත.
අන්තිමේදී දෙව්වනයේ සිටීම එපා වූ බ්‍රැන් වහළට නැගීමට තීරණය කලේ ය. බිඳවැටුනු කුළුණට නැගීමට ඔහුට සති ගණනාවකින් නොහැකි වූයේ මෙතෙක් දවස් මාලිගයේ පැවැති කලබලය නිසා ය. මේ ඔහුට ලැබෙන අවසාන අවස්ථාව විය හැක.
ඔහු දෙව්වනය හරහා දිව ගිය අතර වෘක පැටවාද ඔහු ගේ දෙපා අසලින්ම ලුහුබැඳ ආවේ ය. ආයුධ ගබඩාවේ බිත්තිය අසල මුරකරු වෘක්ෂය පාමුල නැවතුනු ඔහු වෘක පැටවාට කතා කලේ ය. "ඔයා මෙතන ඉන්ට. බිම වාඩිවෙන්ට, අන්න හරි. ඔහොමම ඉන්ට."
වෘක පැටවා අණට කීකරු විය. උගේ කණ පිටුපස කැසූ බ්‍රැන් ආපසු හැරී උඩ පැන ගසේ පහතම අත්ත අල්ලාගෙන ඉහළට ඇදුනේ ය. ඔහු ඉතා පහසුවෙන් අත්තෙන් අත්ත අල්ලාගෙන ගසේ අඩක් පමන නැග්ග පසු නැගිට සිටි වෘක පැටවා උඩුබුරලන්නට පටන් ගති. බ්‍රැන් පහත බැලුවේ ය. පැටවා නිහඬ වූ නමුත් සිය දිදුලන කහ පැහැති දෑසින් දිගටම ඔහු දෙස බලා සිටින්නට විය. අමුතු සීතලක් සිය සිරුර පුරා දිව යනු බ්‍රැන්ට දැනුනි. ඔහු නැවත නැගීම ඇරඹූ අතර පැටවාද නැවත උඩුබුරලන්නට විය. "සද්ද කරන්ට එපා." බ්‍රැන් ඌට තරවටු කලේ ය. "වාඩි වෙන්ට. වාඩි වෙලා ඔහොමම ඉන්ට. ඔයා අම්මටත් වඩා හපන් නෙ." එනමුදු ඔහු ගසේ ඉහළටම නගින තුරුත්, එයින් ආයුධ ගබඩාවේ වහළට නැග උගේ දර්ශන පථයෙන් නොපෙනී යන තුරුත් ඒ උඩුබුරලෑම ඔහු පසුපසින් හඹා ආවේ ය.
වින්ටර්ෆෙල්හි වහළවල් හා පියැසි බ්‍රැන් ගේ දෙවැනි නිවහන මෙන් විය. සිය මව නිතරම පැවසූ දෙයක් වූයේ බ්‍රැන් ඇවිදින්නට පෙර නගින්නට පටන් ගත් බවයි. තමා ඇවිදින්නට පටන්ගත්තේ කවදාදැයි බ්‍රැන්ට මතක නැත. එලෙසම තමා මෙසේ නගින්නට පටන්ගත්තේ කවදාදැයි කියාද ඔහුට මතක නැත. සමහරවිට මව කියන කතාව සත්‍යයක් විය හැක.
ඔහු වැනි කුඩා පිරිමි ළමයෙකුට වින්ටර්ෆෙල් යනු සතර අතටම විහිදී ගිය ගලින් නිමවුනු බිත්ති, කුළුණු, අංගන හා උමං පිරි වංකගිරියක් බඳු විය. මාලිගයේ පැරණිතම කොටස්වල ශාලාවන් කෙතරම් ඉහළ පහළ විහිදී ගියාදැයි කිවහොත් තමා සිටින්නේ කුමන තට්ටුවේදැයි පවා යමෙකුට සිතා ගැනීම අසීරු විය. මේස්ටර් ලුවින් වරක් ඔහුට කියා ඇති පරිදි මේ මාලිගය සියවස් ගණනාවක් පුරා ගලින් කල වෘක්ෂයක් මෙන් සෙමින් සෙමින් වැඩුනකි.
නමුදු මේ වංකගිරියෙන් මිදී ඉහළ නැගුනු පසු බ්‍රැන්ට මුළු වින්ටර්ෆෙල් මාලිගයම එකවර දැක ගත හැකි විය. ඔහුට පහළින් මාලිගයේ ජීවිතය පුරුදු පරිදි ගලා යද්දී ඔහුට ඉහළින් සිටියේ කුරුල්ලන් පමණි. මේ දෙස බලමින් පළමු බලකොටුවේ වහළ මතට වී පැය ගණන් ගතකිරීමට ඔහුට හැකියාව තිබින. සෙබළුන් සෙණ්ඩුවාලුවේ යුධ සරඹ පුරුදු වෙන අයුරු, වීදුරු උද්‍යානයේ එළවළු පැළවලට සාත්තු කරන කෝකියන්, බලු කූඩු තුළ නිනවුවක් නැතිව මෙන් එහා මෙහා දුවන බල්ලන්, ළිඳ ලඟ ඕපාදූප දොඩවන වැඩකාර කෙල්ලන්. මෙසේ ඉහළ සිට බලා සිටිද්දී ඔහුට හැඟුනේ තමා රොබ්ට පවා කිසිදා සිතා ගැනීමටවත් නොහැකි අන්දමකින් වින්ටර්ෆෙල්වල පාලකයා වී ඇති බවයි.
යම් දිනයක බ්‍රැන් වහළකින් ලිස්සා බිම වැටී මිය යනු ඇතැයි ඔහු ගේ මව දැඩි බියකින් සිටියා ය. එය කවදාවත් සිදු නොවන දෙයක් බව ඔහු ඇයට පුන පුනා කියූවත් ඇය එය විශ්වාස නොකලා ය. වරක් ඇය ඔහුගෙන් පොරොන්දුවක් ගන්නට ද සමත් වූවා ය. ඔහු සති දෙකක් පමණ ඉතා අමාරුවෙන් මෙම පොරොන්දුව රැක්කද අන්තිමේදී එක්තරා රාත්‍රියක සිය සොයුරන් සුව නින්දේ පසුවෙද්දී ජනේලයෙන් පිටව ගියේ ය.
වරදකාරී හැඟීම නිසාම පසුදින ඔහු සිය අපරාධය පාපොච්චාරණය කලේ ය. එඩාර්ඩ් උතුමානන් ඔහුව දෙව්වනයට යැවුවේ දෙවියන් ඉදිරියේ හිඳ සිය අකීකරුකම ගැන පශ්චාත්තාප වීම පිණිස ය. ඔහුට මුළු රාත්‍රියම එසේ සිටීමට නියම වුනු අතර ඔහු පිටව ඒම වැළැකීමට දොරටු වලට මුර සෙබළුන් යෙදවිනි. පසුදින උදයේ ඔහු කොතැනකවත් දකින්නට නොසිටි අතර අන්තිමේදී ඔහුව සොයාගත්තේ වනවදුලේ තිබුනු උසම මුරකරු වෘක්ෂයේ උඩම අත්තක සුව නින්දේ පසුවෙද්දී ය.
කෙතරම් තදින් කේන්ති ගොස් තිබුනද ඔහු ගේ පියාට සිනාව නවතා ගත නොහැකි වින. "උඹ නං මගෙ පුතෙක් නෙවෙයි." ඔහු බ්‍රැන්ට කීවේ ය. "උඹ ලේනෙක්. වෙන කරන්ට දෙයක් නෑ. උඹට උඩ නගින්ට ඕනම නං නැගපං. ඒත් දෙයියන්ගෙ නාමෙට අම්මගෙ ඇස්වලට පේන්ට එහෙම කරන්ට එපා."
බ්‍රැන් ඔහුට හැකි උපරිම අයුරින් මේ අවවාදය පිළිපැද්ද ද සිය මව මුලා කල හැකි විනැයි ඔහු කිසිදා නොසිතී ය. පියා එය තහනම් නොකල බැවින් ඇය උදවු පතා අන් අය වෙත හැරුනා ය. නාකි ආයම්මා ඔහුට වරක් කතාවක් කියා දුන් අතර එහි වූයේ ඉහළ නගින්නට ආශා කල නරක පිරිමි ළමයෙකු අකුණක් වැදීමෙන් බිම පතිත වූ සැටි ය. ඔහු වැටුනු පසු කපුටන් ඔහු ගේ දෑස් උගුල්ලාගත් අයුරුද ඇය විස්තර කලා ය. බිඳුනු කුළුණේ ඉහළ ඇත්තෙන්ම කපුටු කූඩු තිබුනු අතර සමහර දිනවල බ්‍රැන් ඔවුන් වෙනුවෙන් සිය සාක්කු ඉරිඟු ඇටවලින් පුරවා ගති. කපුටන් මේ ඉරිඟු ඇට ඔහු ගේ අතින්ම අනුභව කල නමුදු කිසිදු දවසක ඔහු ගේ දෑස් උගුල්ලා ගැනීමට තැත් කලේ නැත.
පසු දිනෙක මැටියෙන් කුඩා පිරිමි ළමයෙකු ගේ රුවක් ඇඹූ මේස්ටර් ලුවින් එයට බ්‍රැන් ගේ පරණ ඇඳුමක් අන්දවා පවුර මුදුනේ සිට එය බිමට අත හරිනු ලැබුවේ බිම වැටුනොත් කෙසේ විය හැකිදැයි බ්‍රැන්ට පෙන්වා දීම පිනිස ය. එය ඇත්තටම විනෝද ජනක දෙයක් වූ අතර මේස්ටර් දෙස බැලු බ්‍රැන් මෙසේ කීය. "මාව හැදිලා තියෙන්නෙ මැටියෙන් නෙවෙයි. අනෙක කොහොම වුනත් මම කවදාවත් වැටෙන්නෙ නෑ."
එයින් පසු ටික කාලයක් යනතෙක් ඔහු වහළ උඩ සිටින බව දුටහොත් සෙබළු ඔහුව හඹා ඒමට හා එයින් බිමට බස්සවා ගැනීමට යත්න දැරූහ. ඒ නම් නියමම කාලයක් වූ අතර එය හරියටම සිය සොයුරන් හා හැංගිමුත්තම් සෙල්ලම් කරනවා වැනි විය. කිසිම සෙබළෙකුට බ්‍රැන් තරම් හොඳින් ඉහළ නැගීමට නොහැකි විය. අනෙක බොහෝ අවස්ථාවල ඔවුන් ඔහුව දැක්කේම නැත. මිනිස්සු සාමාන්‍යයෙන් කිසිවිටෙකත් උඩ නොබලති. බ්‍රැන්ට දැනුනේ හරියටම තමා අදෘශ්‍යමාන පුද්ගලයකු වැනි හැඟීමකි.
Jaime Lannister: "Give me honorable enemies rather than ambitious ones, and I’ll sleep more easily by night."