"මේ තියෙන්නෙ ඩොත්රැකි මුහුද." සෙර් ජෝරා මෝර්මන්ට් පැවසූයේ කඳු වැටිය මුදුනේ සිටි ඇය අසලින් සිය අසු නතර කරමිනි.
ඔවුන්ට පහලින් වූ තැනිතලාව, අනන්තය දක්වා විහිදී පැතිරින. එය ඈතින් පෙනුනු ක්ෂිතිජය දක්වාත් ඉන් ඔබ්බටත් දිවගිය සුවිසල්, සමතලා ප්‍රදේශයක් විය. 'ඒක නම් ඇත්තටම මුහුදක් තමා' ඩැනී සිතුවා ය. මෙතැනින් එහාට කුඩා කඳු ගැට, කඳු වැටි, ගස්කොළන්, නගර හෝ පාරවල් වැනි කිසිවක් නොවීය. එහි තිබුනු එකම දෙය කෙළවරක් නොවූ තණබිම් පමණි. උසට වැඩුනු තණගස් සුළඟේ රිද්මයට අනුව එහා මෙහා පැද්දුනේ නගින බහින රළපෙලක් පරිද්දෙනි. "ඒක හරිම කොළපාටයි" ඇය පැවසුවා ය.
"දැනට නම් කොළපාටයි තමා." සෙර් ජෝරා එකඟ විය. "ඒ වුනත් මෙතන බලන්ට තියෙන්නේ මල් පිපෙන කාලෙට. අර කොණේ ඉඳන් මේ කොණ වෙනකම්ම තද රතුපාට මල් පිපිලා. හරියට ලේ පිරිච්ච මුහුදක් වගේ. පායන කාලෙ ආවහම මුලු ලෝකෙම තඹපාටට හැරෙනවා. අනික මෙතන තියෙන්නේ 'හ්රානා' තණකොළ විතරයි දරුවෝ. ඒත් ඇතුළට යන්ට යන්ට තව සිය ගානක් තණකොළ වර්ග තියෙනවා. ලෙමන් ගෙඩි වගේ කහ පාට තණකොළ, තද නිල්-දම් පාට තණකොළ, නිල් පාට, තැඹිලි පාට, දේදුන්නක් වගේ පාට පාට තණකොළ. මිනිස්සු කියනවා අෂයීවලට එහා සෙවණැලි දේශයේ තියෙනවාලු සාගරයක් තරම් පැතිරිච්ච 'හොල්මන් තණකොළ' කියලා තණකොළ වර්ගයක්. ඒවා අසරුවෙකුටත් වඩා උසට වැවෙනවලු. ඒවායේ තල වීදුරුවලටත් වඩා සුදුමැලිලු. මේවා ශාපලත් ආත්ම වගේ අඳුරේ දිලිසෙනවලු. මේ හොල්මන් තණකොළ අනිත් තණකොළ ජාති ඔක්කොම මරාදාමින් ඒවා යට කරගෙන පැතිරෙනවලු. ඩොත්රැකියෝ කියන්නේ කවදාහරි මේ තණකොළවලින් ලෝකයම වැහිලා යනවලු. එදාට මේ මුලු ලෝකයමත්, ඒකෙ ඉන්න ජීවීන් හැමෝමත් විනාස වෙලා යනවලු."
ඒ සිතුවිල්ල ඩැනීගේ සිරුර සලිත කරවීය. "මට ඒ වගේ දේවල් ගැන දැන් කතා කරන්ට උවමනා නෑ." ඇය කීවා ය. "මෙතන හරිම ලස්සනයි. මේ හැමදේම මැරිලා යනවා කියලා හිතන්ට මට උවමනා නෑ."
"ඔබ කැමැති විදියක් ඛලීසි." සෙර් ජෝරා ගරුසරු ඇතිව කීය.
ඔවුන්ට පිටුපසින් කටහඬවල් ඇසුනෙන් ඇය ආපසු හැරී බැලුවා ය. මෝර්මන්ට් හා ඇය විසින් පසුකර ආ ඔවුන්ගේ කණ්ඩායමේ ඉතිරි පිරිස ඔවුන් සිටි කඳු ගැටය නගිමින් සිටියහ. ඇගේ සේවිකාව වූ ඉරී සහ අනෙක් තරුණ දුනුවායෝ නරාශ්වයන් තරම් මටසිළුටු අන්දමින් සිය අසුන් මෙහෙයවමින් සිටියහ. එහෙත් විසේරිස් සිටියේ තවමත් ඔහුට නුහුරු කෙටි පා පටි හා කුඩා පැතලි සෑදලයත් සමගින් තරග වදිමිනි. ඇගේ සොයුරා ගේ පෙනුම අතිශයින්ම දුක්ඛිත විය. සැබැවින්ම නම් ඔහුට තිබුනේ මෙම ගමන නෑවිත් සිටින්නට ය. ඔහුට පෙන්ටොස් වල නවතින්නට යැයි මැජිස්ටර් ඉල්ලීරියෝ බල කර කියා සිටියේ ය. ඔහුට තමාගේ මන්දිරයේ ආගන්තුක සත්කාර පුද කර සිටියේ ය. එහෙත් ඒ කිසිවකට කණ් දුන්නේ විසේරිස් නොවේ. තම ණය පියවෙන තුරු, තමාට පොරොන්දු වූ සිහසුන හිමිවන තුරු අත් නොහරින සෙවනැල්ලක් මෙන් ඩ්‍රෝගෝ පසුපස යාමට ඔහුට උවමනා විය. "ඌ මට බොරු කලොත් මකරා නැගිට්ටවීමේ විපාක ඌ දැනගනීවි." විසේරිස් දිවුරා පොරොන්දු වූයේ මැජිස්ටර්ගෙන් ඉල්ලාගත් අසිපත මත අත තබාගෙන ය. වේගයෙන් ඇසිපිය ගැසූ ඉල්ලීරියෝ ඔහුට වාසනා වේවා යැයි සුබ පැතීය.
මේ සුන්දර මොහොතේ තම සොහොයුරාගේ නොනවතින කන්දොස්කිරියාවට සවන්දීමට තමාට නුවුමනා බව ඩැනීට වැටහින. එය කදිම දවසක් විය. අහස තද නිල් පැහැ වූ අතර ඈත ඉහළ දඩයම් උකුස්සකු රවුමට රවුමට පියාඹනු පෙනින. හමන සුළඟේ සෑම හුස්මක් පාසාම තෘණ සාගරය රිද්මයකට මෙන් එහා මෙහා පැද්දුනේ ය. ඇගේ මුහුණ මත ගැටුනු වාතය උණුසුම් විය. ඇයට දැනුණේ සැනසීමකි. මේ ශාන්ත බව විනාශ කිරීමට විසේරිස්ට ඉඩ නොදිය යුතුය.
"මෙතන ඉන්ට." ඩැනී සෙර් ජෝරාට කීවාය. "හැමෝටම මෙතන නවතින්ට කියන්ට. මම අණ කලා කියලා කියන්ට."
නයිට්වරයා සිනාසුනේ ය. සෙර් ජෝරා කඩවසම් මිනිසෙකු නොවී ය. ඔහුට ගවයකුට මෙන් මසින් පිරුනු ගෙලක් හා උරහිස් පිහිටා තිබින. ඔහුගේ පපුව හා දෑත් පුරාම රළු මවිල් පිරී තිබුනු අතර හිසේ එක කෙස් ගසකුදු ඉතිරි වී නොතිබින. එනමුදු ඔහුගේ සිනහව ඩැනී තුල ඇතිකලේ සතුටකි. "ඔබ රැජිණක් වගේ කතා කරන්ට ඉගෙන ගන්නවා ඩනේරිස්."
"රැජිණක් නෙමේ. ඛලීසි කෙනෙක්." තමාගේ අසු හරවාගත් ඇය තනිවම ගැටිය පහලට පිම්මේ අසු පැන්නුවා ය.
බැස්ම අධික බෑවුම් සහිත හා ගල්කුලු පිරුනු එකක් විය. එහෙත් ඈ නොබියව අසු මෙහෙයවූවා ය. එහිවූ බියමුසු සතුට ඇගේ හදෙහි ගී රාව නැංවී ය. ඇගේ මුලු ජීවිත කාලය පුරාම විසේරිස් පැවසුවේ ඇය කුමාරිකාවක බවය. එහෙත් සිය වෙළඹ වන සිල්වර් පිටෙහි නැගී යනතුරු කුමරියක් යනු කවරාකාරයේ කෙනකුදැයි ඩනේරිස් නොදැන සිටියා ය.
මුලදී නම් එය එතරම් පහසු කාර්යයක් නොවීය. මංගලෝත්සවයට පසුදින ඛලසාරය සිය කඳවුර ගැලවූයේ, නැගෙනහිර දෙසට එනම් වයෙස් ඩොත්රාක් දෙසට යන දීර්ඝ සවාරිය ඇරඹී ය. ගමනේ තෙවැනි දිනය වන විට ඩැනී සිතුවේ තමා මියයෑමට ආසන්න බවකි. ඇගේ පසු පෙදෙසෙහි සෑදලය නිසා තුවාල හටගති. ඒවා ලේ තැවරුණු ඉතා අප්‍රසන්න ඒවා විය. අනවරතයෙන් අසු ගේ ගොරෝසු පිට මත ඇතිල්ලීම නිසා ඇගේ කලවා මහත් වේදනා දුනි. තෝන් ලණුව නිසා ඇගේ දෑත්වල කරගැට නැගින. කකුලේ මස්පිඬු හා පිට පැත්ත වේදනාවෙන් පිරී තිබූ අතර, ඇයට හිඳගැනීමට පවා අපහසු විය. අඳුරු වැටී එද්දී අසුපිටින් බැසීමට ඇගේ සේවිකාවන් ගේ සහාය අවශ්‍ය විය.
එනමුදු රාත්‍රී කාලයන්ද ඇයට සැනසීමක් ගෙන නොආවේ ය. මඟුල් දිනයේදී මෙන් ගමන පුරාවටම පාහේ ඛාල් ඩ්‍රෝගෝ ඇයව නොතකා හැරියේ ය. ඔහු ගේ සැඳෑ කාලයන් ගෙවී ගියේ සිය යුධ භටයින් සහ රුධිරාක්ෂකයින් සමග එක්ව මත්පැන් පානයෙනි. තමාගේ වටිනා අසුන් පැදීමෙනි. ගැහැනුන් ගේ නැටුම් හා පිරිමින් මියයන සැටි බැලීමෙනි. ඔහුගේ ජීවිතයේ මෙම අංශයන්හි ඩැනීට තැනක් නොතිබින. ඇය තනිවම හෝ සෙර් ජෝරා සහ ඇගේ සොහොයුරා සමග හෝ රාත්‍රී ආහාරය ගත්තා ය. ඉන්පසු අඬමින් නින්දට වැටුනා ය. එහෙත් සෑම රාත්‍රියකම හිරු උදාවට හෝරා කිහිපයකට පෙර ඩ්‍රොගෝ ඇගේ කූඩාරම වෙත පැමිණුනේ, අඳුරේම ඇයව අවදි කර, තම අසු පදින තරම් නිර්දය අයුරින් ඇය හා එක්වූවේ ය. ඩොත්රැකි ක්‍රමයට අනුව ඔහු සෑමවිටම ඇය හා එක්වූයේ පසුපසිනි. ඩැනී මීට බෙහෙවින් කෘතඥවූයේ සිය සැමියාට කඳුළෙන් තෙමුනු මුහුණ නොපෙන්වීමටත්, වේදනාවෙන් නැගෙන කෙඳිරීම් කොට්ටය මත මුහුණ ඔබා මැඩලීමටත් හැකිවූ බැවිනි. එය නිමාවු පසු දෑස් පියාගන්නා ඔහු සිහින් හඬින් ගොරවන්නට පටන් ගන්නා අතර ඩැනී ඔහු අසලින් වැතිරගන්නී ය. එහෙත් ඇගේ සිරුර කෙතරම් තදින් තැලී පොඩිවී රිදුම් දුන්නේ ද යත් බොහෝ වේලාවක් යන තෙක් නින්ද ඇය සොයා නොආවේ ය.
මෙසේ දිනෙන් දින හා රාත්‍රියෙන් රාත්‍රිය ගෙවී ගිය අතර අන්තිමේදී එක්තරා රාත්‍රියක් එලඹුනේ තව එක් මොහොතකටවත් මෙය උහුලාගත නොහැකි බව ඇයට අවබෝධ කරවමිනි. මෙසේ සිටිනවාට වඩා දිවි හානිකර ගැනීම මැනැවැයි ඇය තීරණය කලාය.
එහෙත් එදා රෑ නින්දේදී ඇය නැවතත් සිය මකර සිහිනය දුටුවා ය. මෙවර එහි විසේරිස් නොවූ අතර ඇය හා මකරා පමණක් එහි සිටියහ. උගේ කොරපොතු රැය මෙන් කළු පැහැ විය. රුධිරයෙන් - ඇගේ රුධිරයෙන් - තෙත්ව ලිස්සන සුලු විය. ඒ දෑස් ගිනිගෙන දැවෙන ලාවා විල් දෙකක් මෙන් බැබලුනේ ය. ඌ සිය මුව විවර කල විට උණුසුම් වායු දහරා මෙන් ගිනිදලු පිටවී ය. ඒවා තමාට ගී ගයන්නාක් මෙන් ඇයට හැඟින. දෑත් දිගුකොට ගිනිදලු වැළැඳගත් ඇය ඊට තමාව මුලුමනින් ගිල ගැනීමට, තමාව පිරිසිදු කිරීමට, තමාව පණ ගැන්වීමට, තමාව ශුද්ධ කිරීමට ඉඩ දුන්නාය. සිය සිරුරේ මාංශය පිලිස්සී කළු පැහැ වී හැව ඉවත්වනු ද, ලේ උණු වී නටමින් වාෂ්ප බවට පත්වනු ද ඇයට දැනින. එහෙත් එහි කිසිදු වේදනාවක් නොතිබින. තම සිරුර ශක්තිමත් බවකින්, නවතාවයකින් හා නිර්භීත බවකින් වෙලී යනු ඇයට දැනින.
පුදුමයකට මෙන් ඊලඟ දිනයේ ඇයට පෙර තරම් වේදනාවක් නොදැනින. හරියටම දෙවියන් ඇගේ දුකට සවන් දී, ඇය ගැන අනුකම්පා කලාක් මෙනි. ඇගේ සේවිකාවන්ට පවා මේ වෙනස විද්‍යමාන විය. "ඛලීසි, මොනවද ඔබට වෙලා තියෙන්නේ? ඔබට අසනීපයක්වත්ද?" ජික්වි ඇසුවා ය.
"අසනීප වෙලා හිටියා. ඒත් දැන් සනීපයි." ඇය පිළිතුරු දුන්නේ සිය මඟුල් දිනයේ ඉල්ලීරියෝ විසින් තෑගි දුන් මකර බිත්තර අබියස සිටගනිමිනි. ඈ ඒ තුනෙන් විශාලම බිත්තරය ස්පර්ශ කලා ය. අනතුරුව එහි කටුව මත සෙමින් අත ගෙන ගියාය. 'කළු සහ ලේ රතු පාට, හරියට මගේ සිහිනයේ මකරා වගේ' ඇය කල්පනා කලා ය. ඇගේ අතැඟිලිවලට යටින් මේ ගල් වී ගිය බිත්තරය පුදුමාකාර අයුරින් උණුසුම් බවක් දැනවී ය... නැතහොත් ඇය තවමත් ඉන්නේ සිය සිහිනය තුළ ද? කලබලයෙන් මෙන් ඇය වහා තම අත ඉවතට ඇදගත්තා ය.
එදා ඒ පැයේ සිට ගෙවුනු සෑම දවසක්ම කලින්දාට වඩා පහසු විය. ඇගේ දෙපා වඩා ශක්තිමත් විය. දෑත්වල වූ කරගැට පිපිරී ගොරෝසු විය. ඇගේ මුදු කලවා පෙදෙස් රළු වී සමක් මෙන් සුනම්‍ය විය.
ඩැනීට ඩොත්රැකි ක්‍රමයට අසුන් පිට යෑම උගන්වන මෙන් ඛාල් විසින් ඇගේ සේවිකාවක වූ ඉරීට අණ කර තිබින. එහෙත් ඩැනීගේ සැබෑම ගුරුවරයා වූයේ ඇගේ වෙළඹ විය. ඈ ඩැනීගේ වෙනස්වෙන ඉරියව් හොඳින් දැන සිටියේ හරියටම දෙදෙනාටම එකම මනසක් තිබුනාක් මෙනි. දින ගෙවී යත්ම ඩැනීට තම අසුන් ධාවනය ගැන වඩ වඩාත් විශ්වාසය තැබිය හැකි විය. ඩොත්රැකියන් යනු හැඟීම් දැනීම් නොමැති රළු මිනිසුන් පිරිසක් වූ අතර තමන්ගේ සතුන්ට නම් තැබීමේ පුරුද්දක් ඔවුනට නොවී ය. එනිසා ඩැනී තම වෙළඹ ගැන සිතුවේ 'සිල්වර්' යන සරල වදනිනි. ඇය පෙර කිසි දිනෙක අන් කිසිදු දෙයකට මෙතරම් ආදරය කර නොතිබින.
අසුපිට යාම බරපතල කාර්යයක් නොවූ දා සිට තමා පෙර නොදුටු වටපිටාවේ සුන්දරත්වය ඇයට පෙනෙන්නට පටන් ගති. ඇය ඛලසාරය පෙරමුණේ ඩ්‍රෝගෝ හා ඔහු ගේ රුධිරාරක්ෂකයින් සමගින් ගමන් කල බැවින් සැමවිටම සැමතැනටම නැවුම්ව හා නවමුව ඇතුළු වීමේ භාග්‍යය වින්දා ය. ඔවුන් පිටුපසින් ගමන් කල සුවිසල් සතුන් රංචුව විසින් මහ පොළොව තලා, ගංගාවන් මඩකොට, හුස්ම හිරකරවනසුළු ධූලි වලාවන් ඉහල නැංවූවද ඔවුනට ඉදිරියෙන් වූ භූමිය නිතරම කොළ-නිල් පැහැයෙන් නෑවී තිබින.
ඔවුන් නොර්වොස්හි කඳු පන්තීන් තරණය කර නිමක් නැති හෙල්මළු ගොවිබිම් හා කුඩා ගම්මාන පසු කල අතර ඒවායේ විසූ මිනිස්සු සිය සුදු පැහැ ප්‍රාකාර පසුපස සැඟවී ඔවුන් දෙස තැවිලි සහගත බැලුම් හෙලූහ. ඔවුහු නිසල පුළුල් ගංගාවන් ත්‍රිත්වයක් හා පටු ප්‍රචණ්ඩ දිය පහරින් යුත් සිවුවන ගංගාවක්ද තරණය කලහ. නිල් පැහැ උස් දිය ඇල්ලක් සමීපයේ කඳවුරු ලා ගත්හ. කළු පැහැ කිරිගරුඬින් කල කුළුණු අස්සේ මළවුන් ගේ අඳෝනා නැගෙතැයි කියැවෙන අතහැරදමන ලද පාළු විසල් නගරයක් අද්දරින් ගමන් කලහ. ඩොත්රැකි ඊයක් මෙන් හරි කෙලින් විහිදුනු වසර දහස් ගණනක් පැරැණි වැලීරියන් මාවත් ඔස්සේ පිම්මේ අසුන් විහිදූහ. කොහෝර් හි වනාන්තරය පසු කිරීමට ඔවුනට අඩ මසක් ගතවී තිබින. මෙහි වූ වෘක්ෂ නගර ද්වාර තරම් උත්තුංග කඳන් සහිත වූවන් වූ අතර ඔවුනට බොහෝ ඉහළින් සිය අතුපතර එකට වියා රන්වන් පැහැ තුරු වියනක් නිමකර තිබින. මේ වනාන්තරයේ එල්ක් ගෝනන්, දිවියන් සහ විසල් දම් පැහැ දෑසින් හා රජතමය ලොමින් වැසුනු උණහපුළුවන් වෙසෙතැයි කියුවද ඉදිරියට එන ඛලසාරය හමුවේ ඒ සැවොම බියෙන් සැඟව පලා ගිය අතර ඩැනීට ඔවුන්ව දැකගැනීමේ භාග්‍යය අහිමිව ගියේ ය.
මේ වෙද්දී ඇගේ වේදනාවන් හා දුක්ඛ දෝමනස්සයන් අතු ගෑවී යන මතකයන් පමණක් වී තිබින. අසු පිට යාම නිසා තවමත් දිනය අවසානයේ ඇගේ සිරුර රිදුම් දුන්නද එය දැන් මිහිරි වේදනාවක් පමණක්ම විය. එමෙන්ම සෑම උදෑසනකම ඇය කැමැත්තෙන්ම සෑදලයට ගොඩ වූයේ අද දිනයේ කවර නම් ආශ්චර්යයන් ඈ එනතෙක් බලා සිටී දැයි යන බලාපොරොත්තුවෙනි. සිය රාත්‍රී කාලයන්හි පවා සතුට උකහා ගැනීමට දැන් ඇය පුරුදු වී සිටියා ය. ඩ්‍රෝගෝ පෙර පරිද්දෙන්ම නිර්දය අයුරින් ඈ හා එක්වූවද, ඒ සෑමවිටම ඇය කඳුළු සලා හැඩූවද ඒ වැළැපීම් වේදනාවෙන් කල වැළැපීම් පමණක්ම නොවී ය.
කඳු වැටියේ පහළින් වූ තණකොළ ඇය වටා උස්ව හා සුනම්‍ය ලෙස නැගී සිටියේ ය. ඩැනී වෙළඹට හැල්මේ යාමට සන් කර ඇයව තැනිතලාව තුළට මෙහෙයූවේ තනිකමේ ආශිර්වාදය ද ඇතිව නිල්වන් තෘණ සාගරයේ කිමිද ගියා ය. ඛලසාරය තුළදී ඇයට කිසිවිටෙකත් තනිවීමට ඉඩක් නොවින. ඛාල් ඩ්‍රෝගෝ ඇය වෙත පැමිණියේ හිරු බැස ගිය පසු මුත් ඇගේ සේවිකාවෝ සෑමවිටම ඇය හා සිටියහ. ඔවුහු ඇයට කවා පොවා නහවා ඇගේ කූඩාරම් දොරටුව අසල නිදාගත්හ. ඩ්‍රෝගෝ ගේ රුධිරාරාක්ෂකයින් හා අනෙකුත් සෙබළුන් නිතරම අතේ දුරින් ගැවසුනහ. එමෙන්ම ඇගේ සොහොයුරා දිවා රැයේ ඈ අත්හැර නොයන අප්‍රියජනක සෙවණැල්ලක් මෙන් විය. මේ වනවිට කඳුවැටිය මුදුනට ළඟා වී සිටි ඔහු කේන්තියෙන් සෙර් ජෝරාට බැනවදින කටුක හඬ ඇයට ඇසින. වෙළඹට සන් කල ඇය ඩොත්රැකි මුහුදේ තව තවත් ගැඹුරට කිමිදුනා ය.
තණබිම ඇයව ගිලගත්තේ ය. ඇය අවට වාතය පස් හා තෘණ සුවඳ, අශ්ව ගඳ, ඩැනීගේ දහදිය ගඳ හා ඈ හිසේ ගැල්වූ තෙල් සුවඳ එක්ව තැනූ අමුතුමු පුසුඹකින් පිරී තිබින. එය ඩොත්රැකියන්ටම පමණක් වෙන් වූ ඩොත්රැකි සුවඳක් විය. එය අන් කිසි තැනකට නොව මෙතැනට, මේ ඩොත්රැකි මුහුදට පමණක් අයත් සුවඳක් විය. ඩැනී සිනාසෙමින් ඒ සියල්ල ගැඹුරු හුස්මකින් තමා තුළට ඇද ගත්තාය. තමාට පහළින් වූ පොළොව අල්ලා බැලීමට, ඒ තද කළු පසෙහි සිය පා ඇඟිලි තුඩු රිංගවා ආස්වාදනය කිරීමට ඈ තුළ හදිසි ආශාවක් පැන නැංගේ ය. සෑදලයෙන් බිමට බට ඇය සිල්වර් තණ කෑම සඳහා මුදා හැර සිය උස් බූට්ස් සපත්තු කුට්ටම ගලවා දැමුවා ය.
විසේරිස් ඇය වෙත කඩා පැන්නේ අනපේක්ෂිත ගිම්හාන කුණාටුවක් මෙනි. තෝන්ලණුව තදින් ඇදීම නිසා ඔහුගේ අසු මිරිකී ගොස් තිබින. "උඹ මට තර්ජනය කරනවා?" ඔහු කෑගැසී ය. "උඹ මට අණ දෙනවා? මේ මට?" නුහුරු ලෙස අසු පිටින් බැසීමට තැත් කරද්දී ඔහු පය පැකිල ඇද වැටුනේ ය. අමාරුවෙන් මෙන් නැවත සිට ගනිද්දී ඔහුගේ මුහුණ කේන්තිය නිසා රතු වී ගොස් තිබින. ඔහු කේන්තියෙන් ඇයව තදින් අල්ලා සෙලවී ය. "උඹට අමතක වුනාද උඹ කවුද කියන එක? බලපං උඹ දිහා. බලපං උඹේ හැටි!"
ඩැනීට ඈ දෙස බැලීමට අවශ්‍යතාවක් නොවීය. ඇය පාවහන් රහිතව, තෙල් ගෑ හිසකෙසින් යුතුව, ඩොත්රැකියන් අසුන් පැදීමේදී භාවිත කරන සමින් හා මනාළි තෑග්ගක් වශයෙන් ලද වර්ණවත් බැනියමක් හැඳ සිටියා ය. ඇය දිස්වූයේ එම පරිසරයට අයත් එකියක විලසිනි. විසේරිස් හැඳ සිටි සේද හා මුදු දම්වැල් සන්නාහයෙන් සැදි නාගරික ඇඳුම කිලුටුව පැල්ලම් ගැසී තිබිණි.
"උඹට බෑ මකරාට අණදෙන්ට. උඹට තේරුණාද? මම තමා රාජධානි සප්තකයේ අධිපතියා. මේ කොහෙවත් ඉන්න අශ්ව හොරෙකුගෙ වේස බැල්ලියකගෙන් අණ ලබන්ට මම සූදාණම් නෑ. උඹට ඇහුනද?" ඔහු ගේ අතැඟිලි ඇගේ බැනියම යටින් රිංගූයේ ඇගේ පියයුරු පහුරු ගා ඇයට රිද්දුවේ ය. "උඹට මාව ඇහෙනවද?"
ඩැනී වෙර යොදා ඔහුව තල්ලු කර දැමුවා ය.
විස්මයට පත් විසේරිස් සිය එළ-නිල් පැහැ දෑසින් ඇය දෙස බලා සිටියේ ය. ඇය මින් පෙර කිසිදා ඔහුට විරෝධය පා නොතිබින. මින් පෙර කිසිදා පෙරලා සටන් කොට නොතිබින. කෝපය නිසා ඔහුගේ මුහුණ විකෘති වී ගියේ ය. දැන්නම් ඔහු ඇයට තදින්ම රිදවන්නට යන බැව් ඇයට තේරුම් ගියේ ය.
Jorah Mormont: “The common people pray for rain, healthy children, and a summer that never ends, It is no matter to them if the high lords play their game of thrones, so long as they are left in peace.”