එඩාර්ඩ් ස්ටාර්ක් උතුමානන් හිමිදිරියටත් පෙරාතුවම පිටත් වී ගිය බැව් සෙප්ටා මෝර්ඩේන් විසින් උදෑසන ආහාරය අතරතුරේදී සන්සාට දැනුම් දුන්නා ය. "රජතුමා පණිවුඩයක් එවලා තිබ්බා. තවත් දඩයම් සවාරියක් මම හිතන්නෙ. තාමත් මේ හරියෙ ඔරොක්ස්ලා ඉන්නවා කියලයි මිනිස්සු කියන්නෙ."
"මම කවදාවත් ඔරොක්ස් එකෙක් දැකලා නෑ." සන්සා කීවේ මේසයට යටින් ලේඩිට බේකන් කැබැල්ලක් කවමිනි. ඝෝරවෘකයා එය ඇගේ අතින් ඩැහැගත්තේ රැජිණක තරම් කෝමල අන්දමිනි.
සෙප්ටා මෝර්ඩේන් අප්‍රසාදය හඟවන්නට මෙන් මුහුණ ඇඹුල් කරගත්තා ය. "වංශවත් ආර්යාවක් කවදාවත් එයාගෙ කෑම මේසෙදි බල්ලන්ට කෑම කවන්නෙ නෑ."
"එයා බල්ලෙක් නෙවෙයි, ඝෝරවෘකයෙක්." සන්සා පෙන්වා දුන්නා ය. "අනික, තාත්තා කියලා තියෙන්නෙ අපට ඕනනම් එයාලා අපි ගාව තියාගන්ටයි කියලා."
මේ වදනින් සෙප්ටා සතුටු වූ බවක් පෙනුනේ නැත. "ඔයා බොහොම හොඳ දරුවෙක් සන්සා. ඒත් ඔය සතා ගැන කතාකරද්දී ඔයත් ඔයාගෙ නංගී ආර්යා තරම්ම හිතුවක්කාරයි. අනිත් එක, කෝ දැන් ආර්යා?"
"එයාට බඩගිනි නෑ කිවුවා." සන්සා කීවාය. ආර්යා මීට බොහෝ වේලාවකට පෙරාතුවම හොර රහසේ කුස්සියට රිංගා කුස්සියේ වැඩකරන කොල්ලෙකු ලවා බඩ පිරෙන්නට ආහාර වේලක් ලබාගෙන ඇති බැව් ඇය හොඳින්ම දැන සිටියා ය.
"එයාට මතක් කරන්ට අද හොඳට අඳින්ටයි කියලා. අපි හැමෝටම අද ආරාධනාවක් තියෙනවා රැජිණයි මර්සෙලා කුමාරියි එක්ක අශ්ව කරත්තෙන් ගමන් කරන්ට. ඉතින් අපි හැකි උපරිමෙන් හොඳට ඇඳලා ඉන්ට ඕන."
සන්සා මේ වනවිටත් ඇයට හැකි උපරිමයෙන් සැරසී සිටියා ය. දිගු රතු-දුඹුරු කෙස්කළඹ දිස්නය දෙන තෙක් පීරූ ඇය සිය ප්‍රියතම නිල් පැහැ සේද ඇඳුමින් සැරසුනා ය. ගෙවුනු සතියක් පුරාවටම ඇය අද දවස වෙනුවෙන් පෙරුම් පුරා බලා සිටියා ය. රැජිණ සමගින් ගමන් කිරීමට ලැබීම විශාල ගෞරවයක් වන අතර එහි සිය අනාගත වල්ලභයා වන ජොෆ්රි කුමරාද සිටිනු ඇත. ඔහු ගැන සිතත්ම නුපුරුදු චංචල බවකින් සිය සිරුර වෙලී යනු ඇයට දැනින. එනමුදු ඔවුන් දෙදෙනා විවාහ වීමට තවත් වසර ගනනාවක් ගතවනු ඇත. සන්සා තවමත් ජොෆ්රිව හරිහැටි හඳුනාගෙන නොතිබුනු නමුදු දැනටමත් ඇය ඔහු හා පෙමින් වෙලී සිටියා ය. ඇය හැමදාමත් සිහින මැවූ සිහින කුමරාට ඔහු සෑම අතින්ම සමාන විය. උස්, කඩවසම්, ශක්තිමත්, රන්වන් පැහැ කෙස් කළඹින් යුතු කුමාරයෙක්! ඔහු හා ගත කිරීමට ලැබෙන සෑම කුඩා මොහොතක්ම ඇය සතුටින් පිළිගත්තා ය.
එනමුදු අද දිනය ගැන සිතත්ම ඇයට බියවීමට එක් කාරණයක් ඇත. ආර්යා! සෑම හොඳ දෙයක්ම නැතිභංගස්ථාන කර දැමීමට ආර්යාට උපන්ගෙයි හපන්කමක් තිබින. ඇය කරන්නට යන්නේ කුමක්දැයි කිසිවෙකුටත් සිතා ගත නොහැක. "මම එයාට කියන්නම්." සන්සා අස්ථිර හඬින් කීවා ය. "ඒ වුනාට එයා අඳින්නෙ එයාට ඕන විදියට. මම යන්නද?"
"හොඳයි." සෙප්ටා අවසර දුන්නා ය. නැගී සිටිය සන්සා තමා පසුපස එන ලේඩි ද සමගින් කෑම කාමරයෙන් පිටව ගියා ය.
පිටත මිනිස්සු කූඩාරම් හා මණ්ඩප ගලවමින් තවත් දවසක ගමනට සැරසෙමින් උන්හ. තානායම ගලින් තැනූ තට්ටු තුනක් උස ගොඩනැගිල්ලක් වුවද එය ප්‍රමාණවත් වූයේ රජු ගේ නඩයෙන් තුනෙන් එකකටත් වඩා අඩු පිරිසකට සෙවන දීමට පමණි. සිය පියා විසින් කැඳවාගෙන පැමිණි පිරිසත්, ඔවුන් එන අතරමඟදී එකතුවුනු අශ්වාරෝහකයිනුත් එක්වූ විට මේ පිරිස හාරසියයකටත් වඩා වැඩි වී තිබින.
ගංගා ත්‍රිශූලයේ ඉවුරේ ඉන්නා ආර්යා සොයාගැනීමට ඇයට හැකි විය. නයිමේරියාව එක් අතකින් අල්ලා ගත් ඈ උගේ ලොම්වල ඇලී තිබුනු වියළි මඩ පිසදා හැරීමට උත්සාහ දරමින් උන්නා ය. ඝෝරවෘකයා මේ ක්‍රියාව ගැන එතරම් කැමැත්තකින් සිටින බවක් පෙනෙන්නට නොතිබින. සුපුරුදු පරිදි ආර්යා හැඳගෙන සිටියේ ඇය සැමවිටම අසු පිට යාමට අඳින සම් ඇඳුම් කට්ටලයයි.
"ඔයා ඔයිට වඩා හොඳ ඇඳුමක් ඇඳගන්නවානම් හොඳයි." සන්සා ඇයට කීවා ය. "සෙප්ටා මෝර්ඩේන් තමා කිවුවෙ. අපි අද මර්සෙලා කුමාරිත් එක්ක රැජිණගෙ අශ්ව කරත්තෙ ගමන්කරන්ටයි යන්නෙ."
"මම එන්නෙ නෑ." නයිමේරියා ගේ ලොම්වල ඇලී ඇති මඩ කැබැල්ලක් පිසදා හැරීමට තැත් කරමින් ආර්යා කීවා ය. "මයිකා යි මායි අද ගඟේ උඩහට යන්නයි ඉන්නෙ, රතු කැට හොයන්ට."
"රතු කැට? මොන රතු කැටද?"
ආර්යා ඇය දෙසට හෙලූයේ 'මේ මොන මෝඩියෙක්ද' යි අසන්නාක් වැනි බැල්මකි. "රේගාර් ගේ රතු කැට. මෙතැන තමා රොබර්ට් රජ්ජුරුවො එයාව මරලා සිංහාසනේ දිනාගත්ත තැන."
ආර්යා කියන දේ විශ්වාස කල නොහැකි විලසින් සන්සා ඈ දෙස බැලුවා ය. "ඔයාට රතු කැට හොයන්ට යන්ට බෑ. කුමාරි අපි දෙන්නව බලාපොරොත්තු වෙනවා. රැජිණ අපි දෙන්නටමයි ආරාධනා කලේ."
"ඉතින් මට මොකද? ඒ අශ්ව කරත්තෙ අඩු ගානෙ ජනේලයක්වත් නෑ. ඔයාට එළියෙ තියෙන කිසිම දෙයක් බලන්ට බෑ."
"ඔයාට මොනවද බලන්ට තියෙන්නෙ." සන්සා තරහ හඬින් ඇසුවා ය. ඇය සිතූ පරිද්දෙන්ම මේ මෝඩ ආර්යා අද දවස විනාශ කිරීමට යන්නී ය. "තැනිතලායි, ගොවි බිමුයි, බලකොටුයි."
"ඔයා මොනවද දන්නෙ?" ආර්යා මුරණ්ඩු ස්වරයෙන් ඇසුවා ය. "ඔයා අපිත් එක්ක එනවනම් අපි ඔයාට පෙන්නන්නම්."
"මම ආසම නෑ අශ්වයො පිටේ යන්ට. දූවිල්ලයි, මඩයි ඇඟේ අමාරුවයි විතරයි."
ආර්යා දෙවුර ඇකිළුවා ය. "ඔහොම ඉන්ට. මම ඔයාට රිද්දන්නෙ නෑ." ඇය නයිමේරියාට සැරකලා ය. ඉන්පසු සන්සා දෙසට හැරුනා ය. "අපි බෙල්ල පහුකරන් එන ගමනෙදි මම ගනන් කලා මීට කලින් දැකලා නැති මල් ජාති තිස්හයක්. මයිකා මට පෙන්නුවා සිංහ-කටුස්සෙක්."
සන්සා වෙවුලුවා ය. බෙල්ල නමින් හැඳින්වූ උතුරත් දකුණත් වෙන් කරන පටු ගොඩබිම් තීරය පසුකිරීමට ඔවුනට දවස් දොළහක් ගතවී තිබින. එය ඉමක් කොණක් නොපෙනෙන මඩවගුරක් මැද පිහිටි කැඩී බිඳී ගිය මංකඩක් ඔස්සේ ඇදි ඇදී ගිය වෙහෙසකර ගමනක් විය. ඒ ගතවූ සෑම දිනකටම සන්සා සාප කලාය. එහි වාතය තෙත්බරිත හා ඇලෙනසුළු විය. මංකඩ කෙතරම් පටු එකක් වී ද යත් ඔවුනට රාත්‍රියේ නියමිත අන්දමින් කඳවුරක් අටවාගැනීම පවා අපහසු විය. පෙඳ පාසියෙන් වැසුනු අඩක් දියේ ගිලී ගිය ගස් ඔවුන් වඩා අතුපතර විහිදූ අතර ගස් අතුවල එල්ලුනු සර්පයෝ ඔවුන් දෙස බලා සිටියහ. මඩ ගොහොරුවල හා පල් වී ගිය දියකඩිති මත සුවිසල් මල් වර්ගයන් පිපී දිලුනු නමුදු ඒවා කඩා ගැනීමට සිතා මංකඩින් බැහැර යන කෙනෙකු ගිල ගැනීමට බොරුවැල්ල සූදානමින් සිටියේ ය. මේ සියල්ලටමත් වඩා දියකඩිති වල අඩක් ගිලී පාවෙන කොට මෙන් සිංහ-කටුස්සෝ පීනා ගියහ.
එනමුදු මේ කිසිම දෙයකට ආර්යාව නැවැත්විය නොහැකි විය. එක් දිනෙක ඇය අවුල් වී ගිය හිසකෙසින් හා මඩ වැකුනු ඇඳුමින් යුතුව ඇගේ අර වංචාකාරී අශ්ව හිනාවත් පාමින් පැමිණියේ පියා වෙනුවෙන් කඩාගත් දම්-කොළ පැහැ මල් පොකුරක්ද සමගිනි. මේ විකාර නවතා දමා උසස් වංශවත් ආර්යාවක් මෙන් හැසිරෙන්න යැයි පියා ඇයට දොස් පවරනු ඇසීමට සන්සා බලාපොරොත්තු වූවත් ඔහු කලේ ආර්යාව බදා වැළඳගෙන අර මල්වලට ස්තූති කිරීම පමණි. එය සන්සා ගේ තත්ත්වය තවත් නරක් කලේ ය.
පසුව දැනගන්නට ලැබුනු අන්දමට ඒ දම් පැහැ මල් 'විස හාදු' නම් වූ විෂ සහිත පැළෑටියක් වූ අතර ආර්යා ගේ අත්වල කැසිල්ලක් හට ගති. මෙයින් වත් ආර්යා පාඩමක් ඉගෙනගනීවි යැයි සන්සා සිතුවත් ඈ ඒ ගැන සිනාසුනා පමණි. පසුදින ඇගේ මිතුරු මයිකා ගේ උපදෙස් පරිදි ඇය සිය අත්වල කැසිල්ල නවත්වන්නට ගමේ ගොඩේ ගැහැණියක මෙන් දෑත පුරා මඩ තවරා ගත්තා ය. ඇගේ දෑත්වල හා උරහිස්වල ඇති අනන්ත කැපුම් කෙටුම් සීරීම් තැලීම් සන්සා විසින් නිරීක්ෂණය කොට තිබින. ඇයට ඒවා කොහෙන් කොහොම ලැබුනාදැයි දන්නේ දෙවියන්ම පමණි.
ආර්යා තවමත් සිය වෘකයා ගේ මඩ පිසදමමින් දකුණට එන ගමනේදී ඇය දුටු දේ ගැන කියවමින් සිටියා ය. "පහුගිය සතියෙ අපට හම්බවුනා හොල්මන් තියෙන මුර කුළුණක්. ඊට කලින් දවසෙ අපි වල් අශ්ව රංචුවක් පස්සෙ පන්නං ගියා. උංට නයිමේරියාගෙ ඉව දැනුනම උං දුවපු හැටි ඔයා දැක්කනම්." ඇගේ ග්‍රහනයෙන් මිදීමට වෘකයා දැඟලූ අතර ඇය ඌට බැන වැදුනා ය. "ඔහොම ඉන්ට පොඩ්ඩක්. මට අනිත් පැත්තත් සුද්ද කරන්ට තියෙනවා."
"ඔයාට මේ යන පිරිසෙන් වෙන් වෙන්ට බෑ." සන්සා මතක් කර දුන්නා ය. "මතක නැද්ද තාත්තා කිවුවා?"
ආර්යා දෙවුර ඇකිළුවා ය. "මම එච්චර ඈත යන්නෙ නෑ. අනිත් එක නයිමේරියා හැම වෙලාවෙම මාත් එක්ක ඉන්නවා. මම හැමදාම එහෙම එළියට යන්නෙත් නෑ. සමහරවෙලාවට කරත්තවල යන මිනිස්සුත් එක්ක කතා කර කර යන එකත් හරිම විනෝදජනකයි."
ආර්යා මේ කතා කරමින් යන උදවිය කුමන අන්දමක අය දැයි සන්සා මනාව දැන සිටියා ය. නයිට්වරුන් ගේ සහචරයන්, කුදිර කාරයන්, වැඩකාර කෙල්ලන්, නාකි මිනිසුන් හා නිරුවත් දරුවන්, ජාතකය මොකක්දැයි නොදන්නා අයාලේ යන අශ්වාරෝහකයන්. ආර්යා මේ ඕනෑම කෙනෙකු සමග පහසුවෙන් මිතුරු වූවා ය. මේ මස්කාරයා ගේ පුතා වන මයිකා අන් සියල්ලන්ටම වඩා නරක එකෙකු විය. ඔහුව දැකීම පවා සන්සා පිළිකුල් කල මුත් ආර්යා නිතරම ඔහු ගේ සමාගමය පැතුවා ය.
සන්සා ගේ ඉවසීම එහි අන්තයට පැමිණ තිබින. "ඔයාට මගෙත් එක්ක එන්ට වෙනවා. ඔයාට රැජිණට බෑ කියන්ට බෑ. සෙප්ටා මෝර්ඩේන් ඔයාව බලාපොරොත්තු වෙනවා." සන්සා තදින් කියා සිටියා ය.
ආර්යා ඇයව නොතකා හැරියා ය. ඇගෙන් මිදුනු නයිමේරියා අනෙක් පසට හැරුනා ය. "මෙහාට එන්ට."
"අපට ලෙමන් කේකුයි තේයි ලැබෙයි." නයිමේරියා පසුපස දුවන ආර්යා දෙස බලමින් සන්සා කීවා ය. "ඇයි ඔයාට මේ ගඳ ගහන අශ්වයෙක් පිටේ නැගලා දාඩිය දාගෙන යන්ට ඕන, අගේට පිහාටු කොට්ට උඩ වාඩිවෙලා කේක් කකා රැජිණත් එක්ක යන්ට පුළුවන්කම තියෙද්දි?"
"මම රැජිණට කැමැති නෑ." ආර්යා සැහැල්ලුවෙන් කීවා ය. සන්සා හුස්ම ඉහළට ඇදගත්තේ ආර්යා මෙවැනි දෙයක් කීම අදහාගත නොහැකි පරිද්දෙනි. "එයා අඩුම ගානෙ මට නයිමේරියාව එක්කන් එන්ට දෙන්නෙත් නෑ."
"රාජකීය අශ්ව කරත්තයක් කියන්නෙ වෘකයෙකුට ඉන්ට පුළුවන් තැනක් නෙවෙයි. අනෙක, මර්සෙලා කුමාරි උංට බයයි. ඔයා හොඳටම දන්නවා ඒක."
"මර්සෙලා කියන්නෙ පුංචි බබෙක් නෙ." ආර්යා ප්‍රවේසමෙන් වෘකයා ගේ ගෙල වටා අත යවා ඌව අල්ලා ගත්තා ය. නමුත් මඩ පිසදැමීම සඳහා බුරසුව අතට ගත් සැනින් ඇගෙන් මිදුනු ඌ ඉවතට දිව ගියා ය. සිය වෑයම නිශ්ඵල වූ ආර්යා බුරුසුව විසිකර දැමුවා ය. "නරක වෘකයා." ඈ කෑ ගැසුවා ය.
සන්සාට සිනා පහළ විය. බල්ලන් බාරකරු වරක් ඇයට කියා ඇති පරිදි සතා සැමවිටම සිය ස්වාමියා අනුව යයි. සන්සා ගේ සිනාව ඇසුනු ආර්යා රවා ගත් මුහුණින් යුතුව ඇය දෙසට හැරුනා ය. "ඔයා මොනවා කිවුවත් මට කමක් නෑ. මම යනවා අශ්වයො පිටේ."
"දෙයියම්පා ආර්යා! ඔයා සමහර වෙලාවට පොඩි ළමයෙක් වගේ. ඉතින් එහෙනම් මම තනියෙන් යන්නම්. ඒක තවත් හොඳ වෙයි. ලේඩියි මායි ලෙමන් කේක් කකා තේ බිබී හොඳට කාලෙ ගතකරලා එන්නම්."
ආපසු හැරුනු ඇය ඇවිද යන්නට පටන් ගත්තා ය. එනමුදු ඇයට පිටුපසින් ආර්යා කෑ ගැසුවා ය. "ඔයාට ලේඩිව අරන් යන්ට එයාලා ඉඩ දෙන එකක් නෑ." සන්සා මෙයට පිළිතුරක් සිතා ගැනීමට පළමු ආර්යා නයිමේරියාව ලුහුබඳිමින් ගංගාව දෙසට දිව ගියා ය.
අවමානයට පත්වුනු සන්සා නැවත කඳවුර බලා පිටත් වූවා ය. ලේඩි නිහඬ අඩි තබමින් ඈ පසෙකින් පැමිණියා ය. ඇගේ දෑසට කඳුළු පුරා තිබින. ඇයට උවමනා වූ එකම දෙය වූයේ සෑමදෙයක්ම ලස්සනටත් පිළිවෙලටත් සිදුවෙනවා දැකීම පමණි. හරියටම අර වීර කාව්‍යවල කියැවෙන්නාක් මෙන් සුන්දරව සෑම දෙයක්ම සිදුවන්නට බැරි ඇයිද? ආර්යාටත් මර්සෙලා කුමරියට මෙන් සුකොමල හා කාරුණික වන්නට බැරි ඇයිද? එවැනි සොයුරියක් ඇත්නම් යැයි ඈ කල්පනා කලා ය.
වසර දෙකක් තරම් සුළු පරතරයක් ඇතිව ඉපදුනු සොයුරියන් දෙදෙනෙකු මෙසේ එකිනෙකාට සම්පූර්ණයෙන්ම අසමාන වීම සන්සාට අදහාගත නොහැකි දෙයක් විය. ආර්යාත් සිය අර්‍ධ-සොහොයුරු ජොන් මෙන් අවජාතකයෙකු වූවා නම් එය තේරුම් ගත හැක. වරක් ඇය කුඩා කාලයේදී සන්සා මේ ගැන ඇගේ මවගෙන් විමසා තිබින. සමහරවිට කුමක් හෝ වැරැදීමක් සිදුවන්නට ඇත. එසේ නැතහොත් පිශාචයින් විසින් ඇගේ නියම සොයුරිය පැහැරගෙන ගියා වන්නටත් බැරි නැත. එහෙත් මහ හඬින් සිනාසුනු ඇගේ මවු සන්සා ගේ සැකය දුරු කලා ය.
කඳවුර මධ්‍යයට ආසන්න වෙද්දී සන්සා ගේ මේ සියළු දෝමනස්සයන් අමතක වී යන්නට පටන් ගෙන තිබින. රැජිණ ගේ අශ්ව කරත්තය වටා පිරිසක් රැස්ව සිටියහ. ඔවුන් උනන්දුසහගත හඬින් කරන කතාබහ ඇසුනේ හරියටම මීවදයකින් නැගෙන මුනුමුනුව මෙනි. අශ්ව කරත්තයේ දොරවල් විවරව තිබුනු අතර ලීයෙන් කල පියගැට පෙළ මුදුනේ රැජිණ සිටගෙන සිටියා ය. ඇය පහළ සිටි යමෙකු දෙස බලා සිනාසුනා ය. "රාජසභාව අපට බොහොම ලොකු ගෞරවයකුයි කරලා තියෙන්නෙ මගේ උතුමානෙනි." ඇය කාටදෝ පවසනු සන්සාට ඇසුනා ය.
"මොකක්ද සිද්ද වෙන්නෙ?" මඳක් දැනහැඳුනුම්කම් ඇති නයිට්වරයකු ගේ සහචරයකුගෙන් සන්සා ඇසුවා ය.
"ගමනේ ඉතිරි කොටස අපව පිරිවරන් යන්ට රාජසභාවෙන් අශ්වාරෝහකයො පිරිසක් එවලා. ඒක රජතුමා වෙනුවෙන් කරපු ගෞරවයක්."
කුතුහලයට පත් සන්සා පිරිස අතරින් ඉදිරියට ගියා ය. ඝෝරවෘකයා දුටු මිනිසුන් ඇකිලෙමින් දෙපසට වීම නිසා මාර්ගය පාදා ගැනීම ඇයට අසීරු නොවී ය. පෙරට ගිය ඈ දුටුවේ අලංකාර ප්‍රභාවත් සන්නාහයෙන් සැරසුනු නයිට්වරුන් දෙදෙනෙකු රැජිණ ඉදිරියේ දණ නමාගෙන සිටින ආකාරය යි.
එක් නයිට්වරයකු සැරසී සිටියේ අලුත වැටුනු හිම මෙන් සුදෝසුදු වානේ කොරපොතු වලින් හා රජතමය ගාංචුවලින් සැදුනු සන්නාහයකිනි. ඔහු තමා පැළැඳි සන්නාහය තරමටම සුදු කේශකලාපයකින් යුත් මහළු පුද්ගලයකු බැව් ඔහු සිය හිස්වැසුම ඉවත්කල විට සන්සා දුටුවා ය. එනමුදු ඔහු ශක්තිමත් සුන්දර ශරීරයකින් හෙබියකු විය. ඔහු ගේ උරහිසෙන් පහතට එල්ලී වැටුනේ රාජ්‍යාරක්ෂක බලකායට අයත් ධවල සළුවකි.
ඔහු ගේ සගයා විසිවන වියේ පමණ වූ අතර වනාන්තරයේ තද කොළ පැහැයෙන් යුතු සන්නාහයකින් සැරසී සිටියේ ය. සන්සා සිය ජීවිත කාලය පුරාවටම දැක තිබූ කඩවසම්ම පිරිමියා ඔහු විය. උස්, මනාව වැඩුනු ශක්තිමත් දේහයකින් හෙබි, උරහිස තෙක් වැටුනු තද කළු පැහැ කෙහෙරැල්ලෙන් හා මනාව රැවුල බෑ ශෝබන මුහුණකින් යුක්ත වූ ඔහු සතුව සිය සන්නාහයටම ගැලපෙන අන්දමේ සිනාසෙන කොළ පැහැ දෑසක් විය. ඔහු එක් අතකින් රඳවාගෙන සිටි ගෝන අං තට්ටුවකින් හැඩකල විභූතිමත් හිස්වැස්ම රනින් වැඩ දමා තිබින.
ඔවුන් සමග සිටි තුන්වැන්නා පළමුව සන්සා ගේ නිරීක්ෂණයට හසු වූයේ නැත. ඔහු අන්‍යයන් සමග රැජිණ අභිමුව දණනොනැමූ අතර ඒ වෙනුවට පසෙකට වී සිය අසුන් පසෙකින් සිටගෙන සිටියේ ය. සිදුවන සියල්ල දෙස නිහඬවම බලා සිටි කෙසඟ සැරපරුෂ මිනිසකු වූ ඔහු සතුව කිසිදු හැඟීමක් නොපෙන්වූ මුහුණක් හා ගැඹුරු දෑසක් විය. සමින් කල උඩු කබායක් මත්තෙහි පැළඳ සිටි මුදු දම්වැලින් කෙරුනු චාම් සන්නාහය කාලයක් තිස්සේ පාවිච්චි කල එකක් බැව් පැහැදිලිවම පෙනෙන්නට තිබින. ඔහු සිය පිටේ පැළඳ සිටි දිගු අසිපතේ - දෑතින්ම එසවිය යුතු, එහි දිග නිසාම ඉණෙහි පැළඳිය නොහැකි දිගු අසිපතේ - මිට දකුණු උරහිසට උඩින් දැකිය හැකි විය.
"රජතුමා දඩයමේ ගිහිල්ලා. ඒත් මට විශ්වාසයි එතුමා ආපහු ආවහම ඔබලාව දැකීමෙන් සතුටු වෙයි කියලා." රැජිණ තමා ඉදිරියේ දණ නමා සිටි නයිට්වරුන් දෙදෙනාට කීවා ය. එනමුදු සන්සාට තුන්වැන්නා කෙරෙන් දෑස් ඉවතට ගැනීම අපහසු බව හැඟුනි. තමා වෙත එල්ල වී ඇති දෑසක බර දැනුනු නිසාදෝ ඔහු සෙමින් හිස හරවා බැලුවේ ය. ලේඩි ගොරවන්නට වූවා ය. ඈ කිසිදා නොදැන සිටි අන්දමේ බියක් හදිසියේම සන්සා තුළ නැග එන්නට විය. පසුපසට අඩියක් තැබූ ඈ කිසිවකු ගේ ඇඟේ හැපින.
ශක්තිමත් දෑතක් විසින් ඇගේ උරහිසින් අල්ලා ගැනින. ඒ සිය පියා විනැයි සන්සා පළමුව සිතූවත් ආපසු හැරුනු ඇය දුටුවේ තමා දෙස බලා සිටින සැන්ඩෝර් ක්ලිගේන් ගේ පිළිස්සුනු මුහුණ ය. ඔහු ගේ මුහුණේ ඇඳී තිබුනේ සමච්චල් සහගත සිනහවකි. "ඔයා වෙවුලනවා කෙල්ලේ. මම ඔයාව එච්චරටම බය කලාද?"
ඇත්තෙන්ම, ඇය ඒ පිළිස්සුනු මුහුණ දුටු දා පටන් ඊට බිය වූවද අර අනිත් තැනැත්තා ඈ තුළ ඇති කල බිය හා සසඳා බලද්දී එය නොතකා හැරිය හැකි තරම් විය. සිය උරහිස වැරෙන් ඇද්ද සන්සා ඔහුගෙන් ගැලවුනු අතර ඔහු මහ හඬින් සිනාසෙන්නට විය. ඔවුන් දෙදෙනා අතරට පිනූ ලේඩි අනතුරු හඟවන හඬින් ගොරවන්නට වූ නමුදු බිම දණ ගැසූ සන්සා වෘකයා වටා දෑත් යවා ඌ වැළඳගත්තා ය. පිරිස ඔවුන් වඩා කවයක් සැදෙන්නට වූ අතර අතරින් පතර කෙරුනු කටුකුටුවත් සිනා හඬත් ඇයට ඇසෙන්නට විය.
"වෘකයෙක්!" එක් මිනිසෙක් කීවේ ය. "අපායටම පලයං! ඒ ඝෝරවෘකයෙක්." දෙවැන්නෙක් කීය. "ඌ මොකක්ද මේ කඳවුර ඇතුළෙ කරන්නෙ?" පළමුවැන්නා ඇසී ය. දඩබල්ලා සිය ගොරෝසු ස්වරයෙන් ඊට පිළිතුරු දුනි. "ස්ටාර්ක්ලා උංව පාවිච්චි කරනවා දරුවන්ගෙ ආයම්මලා හැටියට." ආගන්තුක නයිට්වරුන් දෙදෙනා ඇද ගත් අසිපත්වලින් යුතුව තමා සහ ලේඩි දෙස බලා සිටින ආකාරය සන්සා දුටුවා ය. ඇය නැවතත් බිය පත් වූවා ය. ඇගේ දෑසට කඳුළු පුරා එන්නට විය.
Cersei Lannister: “If the wicked do not fear the King’s Justice, you have put the wrong man in the office.”