Friday, 8 August 2014

ජොන් - 02


ජොන් සෙමින් සෙමින් පඩිපෙළ නැග්ගේ මේ ඔහු ‍මෙම පඩිපෙළ නගින අවසාන වතාව විය හැකි බව නොසිතා සිටීමට උත්සාහ දරමිනි. ඔහු‍ට පිටුපසින් ගෝස්ට් නිහඬවම අඩි තබමින් හුන්නේ ය. පිටත බලකොටු දොරටු හරහා හිම කුණාටුව කස හඬ නංවමින් හමා ගිය අතර සෙණ්ඩුවාලුව එකම කාලගෝට්ටියක් විය. එනමුදු මේ ඝනකම් ගල් බිත්තිවලින් ඇතුළත තවමත් උණුසුම හා නිහඬ බව රැඳී තිබින.

පඩිපෙළ මුදුනට ළඟා වූ ඔහු සිතේ බිය සමහන් වන තුරු මොහොතක් එහි නැවතී සිටි‍යේ ය. පෙරට යන්නැයි කියන්නාක් මෙන් ගෝස්ට් සිය නාසයෙන් ඔහු ගේ අත පිරිමැදි අතර එයින් දිරි උපදවාගත් ජොන් කාමරය තුළට ඇතුළු විය.

කාමරය තුළ ඇඳ පසෙකින් ස්ටාර්ක් ආර්යාව වාඩි වී සිටියා ය. දැන් සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ දිවා රෑ නොබලා ඈ මෙසේ රැඳී සිටින්නේ එක් මොහොතකටවත් බ්‍රැන් අසලින් ඈත් වීමට අකැමැත්තෙන් මෙනි. ඇය සිය ආහාරපාන සියල්ලක්ම කාමරය තුළටම ගෙන්වා ගත් අතර නිදාගැනීම පිණිස කුඩා ඇඳක් පවා එහි තබා ගත්තා ය. එනමුදු ඔවුන් පවසන්නේ ඇය කිසි විටෙක නිදා ගත් බවක් කවුරුත් නොදන්නා බව ය. බ්‍රැන් ගේ ජීවිතය රඳවා තබා ගැනීම සඳහා අවශ්‍ය මී පැණි හා වතුරත්, ඖෂධීය පානයනුත් ඇය සිය අතින්ම ඔහුට පෙවූ අතර සුළු මොහොතකට හෝ කාමරයෙන් ඉවත්ව නොගියා ය. මේ නිසා ජොන් මෙතෙක් කල් මේ කාමරය මග හැර සිටි නමුත් තව දුරටත් ඔහු‍ට එසේ කල නොහැක.

කතා කිරීමට හෝ තව ඉදිරියට යාමට හෝ බියෙන් ජොන් තව මොහොතක් දොර අසල තැවරෙමින් සිටියේ ය. කවුළුව විවරව තිබුනු අතර පිටතින් වෘකයෙක් උඩු බුරලමින් සිටියේ ය.

ස්ටාර්ක් ආර්යාව හිස ඔසවා බැලූ අතර එක මොහොතකට ඇයට ඔහුව හඳුනාගත නොහැකි විය. "උඹ මොකද මෙතන කරන්නෙ?" ඇය ඇසුවේ කිසිදු හැඟීමකින් තොර ස්වරයකිනි.

"මම ආවෙ බ්‍රැන්ව බලන්ට. මම යනවා කියලා එයාට කියන්ට."

පසුගිය දින කිහිපය තුළ ඇය විසි වසරකින් වයසට ගියාක් මෙනි. "හරි, උඹ දැන් කිවුවනෙ. දැන් ඉතින් මෙතනින් පලයං."

ආපසු හැරී දිව යන්නට සිතුනත් එසේ කලහොත් තමාට නැවත කිසිදා බ්‍රැන්ව දකින්නට නොලැබෙන බව ජොන් දැන සිටියේ ය. ඔහු බයාදු අන්දමින් කාමරය තුළට අඩියක් තැබී ය. "අනේ, කරුනාකරලා."

"මම උඹට කිවුවෙ මෙතනින් යන්ටයි කියලා. අපට උඹව මෙතනට ඕන නෑ."

එක් කලෙක නම් මෙවැනි වදන් ඇසුනු සැනින් එතැනින් පලායන්නට ඔහු පුරුදුව සිටියේ ය. එක් කලෙක මෙවැනි වදන් ඔහුව හඬවන්නට සමත් විය. එනමුදු මේ වෙලාවේ නම් එයින් සිදු වුයේ ඔහු ගේ තරහ ඇවිස්සීම පමණි. ඉක්මනින්ම ඔහු නිශා රැකුම් බලකායේ දිවුරුම් දුන් සොහොයුරකු වන්නට යන අතර කැට්ලින් ටලී ස්ටාර්ක්ට වඩා බිහිසුනු දේට මුහුණ පාන්නට ඔහුට සිදු වනු ඇත. "එයා මගේ සහෝදරයා."

"මම සෙබළුන්ට කතා කරන්ටද?"

"ඕන කෙනෙකුට කතා කරන්ට. ඔයාට මාව නවත්තන්ට බෑ." කාමරය හරහා ඇවිද ගිය ඔහු ඇඳ මත වැතිර සිටින බ්‍රැන් දෙස බැලී ය.

මේ නම් ජොන් දැක පුරුදු බ්‍රැන් නොවී ය. ඔහු ගේ සිරුරේ මාංශය දියවී ගොස් ඇටකටු පෑදී තිබුනු අතර දෙපා අස්වාභාවික අයුරින් ඇඹරී ගොස් තිබින. කළු පැහැ කුහර තුළට ගිලී ගොස් තිබුනු ඒ දෑස් විවරව තිබුනත් බ්‍රැන් එයින් කිසිවක් නොදිටී ය. ඔහු දිස් වූයේ හරියටම හමන පළමු සුළඟින්ම ගැලවී මිනීවල කරා පාවී යාමට නියමිත වියලී ගිය කොළයක් මෙනි.

එනමුදු ඒ සිඳී බිඳී ගිය ඇටකටු ගොඩට යටින් ඔහු ගන්නා සෑම හුස්මක් පාසාම පපුව සෙමින් උස් පහත් විය.

"බ්‍රැන්... මට සමාවෙන්ට කලින් ඔයාව බලන්ට එන්ට බැරි වුනාට. මට බය හිතුනා." තම දෙකම්මුල් දිගේ කඳුළු වැල් ගලා යන බැව් ජොන්ට දැනුනත් ඔහු තව දුරටත් ඒ ගැන තැකීමක් නොකලේ ය. "අනේ මැ‍රෙන්ට එපා බ්‍රැන්. අපි හැ‍මෝම බලන් ඉන්නෙ ඔයා නැගිටිනකම්. මම, රොබ්, ගෑනු ළමයි, අපි හැමෝම...."

ස්ටාර්ක් ආර්යාව බලා සිටිය මුත් සෙබළුන් කැඳවීමට කෑ ගැසුවේ නැති අතර එය තමාව ප්‍රතික්ෂේප නොකිරීමක් ලෙස ජොන් සිතා ගත්තේ ය. කවුළුවට පිටතින් බ්‍රැන් ගේ ඝෝරවෘකයා, ඔහුට තවමත් නමක් තැබීමට නොහැකි වූ වෘකයා නැවතත් උඩුබුරලන්නට විය.

"මම දැන් යන්ට ඕන." ජොන් දිගටම කතා කරන්නට විය. "බෙන්ජින් බාප්පා බලන් ඉන්නවා. මම එයත් එක්ක උතුරෙ ප්‍රාකාරෙට යන්ටයි යන්නෙ. හිම වැටෙන්ට කලින් යන්ට ඕන නිසා අපි අද පිටත්වෙනවා." බ්‍රැන් මේ ගමන ගැන කෙතරම් උනන්දුවෙන් බලා සිටියාදැයි ජොන් ට මතක් විය. ඔහුව මේ අයුරින් හැරදා යාම දරා ගත හැක්කක් නොවනු ඇත. සිය කඳුළු පිසදා හල ජොන් ඉදිරියට නැවී හෙමිහිට බ්‍රැන් ගේ මුව සිප ගත්තේ ය.

"මට ඕන වුනා එයාව මෙ‍හෙ මගෙත් එක්ක නවත්ත ගන්ට." ස්ටාර්ක් ආර්යාව මෘදු හඬින් තෙපලා ය.

ජොන් පරීක්ෂාකාරී අයුරින් ඇය දෙස බැලී ය. ඈ ඔහු දෙස බලා නොසිටි අතර ඔහුට කතා කරනවාට වඩා තමාටම කතා කරගත්තා මෙනි. එය හරියටම ඔහු මේ කාමරය තුළ නොසිටින්නාක් බඳු විය.

"මම ඒ වෙනුවෙන් යාඥා කලා." ඇය දිගටම කතා කලා ය. "එයා මගේ සුවිශේෂීම දරුවා. නෙඩ්ගෙ අදහස වෙනස් වෙලා එයාව ‍මෙහෙ දාලා යන්ටයි කියලා මම දේවස්ථානයට ගිහිල්ලා හත් වතාවක් දෙවියන්ට යාඥා කලා. සමහර වෙලාවට දෙවියො මේ යාඥාවලට උත්තර දෙනවා වෙන්ටැති."

කුමක් කිව යුතු දැයි ජොන්ට සිතා ගත නොහැකි විය. "ඒක ඔයාගෙ වැරැද්දක් නෙවෙයි."

ඇගේ දෑස් ඔහු දෙසට එල්ල වූ අතර ඒවා ද්වේශයෙන් පිරී තිබින. "මට උඹේ පවු සමාව ඕන නෑ අවජාතකයො."

ජොන් දෙනෙත් පහත් කර ගති. කුරුල්ලකු ගේ ඇට කටුවක් මෙන් සැහැල්ලු වූ බ්‍රැන් ගේ අතක් අල්ලා ගත් ඔහු එය සෙමින් මිරිකී ය. "ආයුබෝවන් මල්ලී!"

දොර අසලදී ඇගේ කටහඬ ඇසුනු ඔහු ආපසු හැරුනේ ය. "ජොන්." ඇය කිසිදා මෙසේ ඔහුව නමින් අමතා නොතිබින. ආපසු හැරුනු ඔහු දුටුවේ ඇය එක එල්ලේ ඔහු ගේ මුහුණ දෙස බලා සිටින අයුරු ය.

"ඔවු?"

"මේ දේ උඹටයි වෙන්ට තිබුනෙ." නැවතත් බ්‍රැන් දෙසට හැරුනු ඇය වැළපෙන්නට ගත්තා ය.

පිටත සියල්ල එකම කලබැගෑනියක් විය. තැනෙක කරත්තවලට බඩු පැටවෙන අතර මිනිසුන් එකිනෙකාට බෙරිහන් දුනි. අශ්වයින්ට කටකලියා හා සෑදල පළඳා ඉස්තාලවලින් පිටතට ගැනුනි. සිහින් හිම වැස්සක් වැටෙමින් තිබුනු අතර සියළුදෙනාම කලබලයෙන් වැඩ කලේ හැකි ඉක්මනින් ගමන ඇරඹීමට ය.

මේ සියළු කලබල මැද රොබ් සිටගෙන සිටියේ ඔහුට හැකි උපරිමයෙන් මිනිසුන්ට විධාන නිකුත් කරමිනි. ඔහු ගේ වෘකයා ග්‍රේ වින්ඩ් ඔහු පසෙකින් විය. බ්‍රැන් ගේ ඇද වැටීමත් සිය මව ගේ මානසික බිඳ වැටීමත් හමුවේ පසුගිය දින කිහිපය තුළ ඔහු වයසට වැඩියෙන් පරිණත වී ඇත්තාක් මෙන් පෙනින.

"බෙන්ජින් බාප්පා ඔයාව හොයනවා." ඔහු ජොන්ට පැවසී ය. "එයාට මීට පැයකට කලින් පිටත් වෙන්ට ඕන වුනා."

"මම දන්නවා. මම ඉක්මනට යනවා." තමා වටා ඇති කලිකලහයත් ඝෝෂාවත් දෙස ජොන් බැල්මක් හෙලී ය. "පිටත් වෙලා යන එක මම හිතුවට වඩා අමාරුයි."

"මටත් එහෙමයි. ඔයා එයාව බලන්ට ගියාද?"

ජොන් ඔවු කියන්නට මෙන් හිස වැනී ය.

"එයා මැරෙන්නෙ නෑ. මම ඒක දන්නවා."

"ස්ටාර්ක්ලා මරන්ට හරි අමාරුයි." ජොන් එකඟ විය. ඔහු ගේ කටහඬ වෙහෙසින් පිරී තිබින. බ්‍රැන්ව බලන්නට ගිය ගමන විසින් ඔහු ගේ මුළු ශක්තියම සිඳ දමා තිබින.

කොතැනක හෝ වැරැද්දක් ඇති බව රොබ්ට තේරුනි. "අම්මා මොකුත්...."

"එයා.... හරිම කරුනාවන්ත වුනා." ජොන් පිළිතුරු දුනි.

"ඒක හොඳයි." රොබ් සිනාසුනි. "ඊළඟ පාර මම ඔයාව දකිද්දි ඔයා මුළුමනින්ම කළු පාටින් ඇඳගෙන ඉඳියි නේද?"

සිනහවක් මුවට නගා ගැනීමට ජොන් යත්න දැරී ය. "ඒක තමා හැමදාමත් මට උරුම වෙන්ට තිබුන පාට. ඒකට තව කොච්චර කල් යයි කියලද ඔයා හිතන්නෙ?"

"බොහොම ඉක්මනට." ජොන්ව තමා දෙසට ඇදගත් රොබ් ඔහුව තර‍යේ වැළඳගත්තේ ය. "ආයුබෝවන් ස්නෝව්!"

"ඔයාටත් ආයුබෝවන් ස්ටාර්ක්! බ්‍රැන්ව පරෙස්සමින් බලාගන්ට."

"අනිවාර්යයෙන්ම." ග්‍රහනයෙන් මිදුනු ඔවුහු මොහොතක් එකිනෙකා දෙස බලා හුන්හ. අන්තිමේදී රොබ් හඬ අවදි කලේ ය. "බෙන්ජින් බාප්පා කිවුවා ඔයාව දැක්කොත් ඉස්තාලෙට එවන්ටයි කියලා."

"මට තව එක්කෙනෙකුට ආයුබෝවන් කියන්ට තියෙනවා." ජොන් කීවේ ය.

"එහෙමනං ඉතින් මම ඔයාව දැක්කෙ නෑ." රොබ් පිළිතුරු දුන්නේ ය.

රොබ්ව කරත්ත, අශ්වයින් හා වෘකයින් මැද තනිකල ජොන් යුද්ධායුධ ගබඩාව දෙසට පිය මැන්නේ ය. එහි තමා එනතෙක් බලා සිටි පොදිය අතට ගත් ඔහු ප්‍රධාන බලකොටුව වෙතට වැටී ඇති පාළම වෙතට පිළිපන්නේ ය.

.........................................

ආර්යා සිය කාමරය තුළ ඇයටත් වඩා විශාල පෙට්ටියකට ඇඳුම් අසුරමින් සිටි අතර නයිමේරියා ඇයට උදවු කරමින් සිටියා ය. ආර්යා ඇඳුමක් දෙසට අත දිගු කල විට කාමරය හරහා ගොස් එය ඩැහැගන්නා වෘකයා එය ඇය වෙත ගෙනැවිත් දෙයි. එනමුදු ගෝස්ට් ගේ ඉව දැනුනු ඇය බිම වාඩි වී ඔවුන් දෙසට බුරන්නට පටන් ගත්තා ය.

ආපසු හැරී බැලූ ආර්යා ජොන් දැක උඩ පැන නැගිට්ටා ය. ඊළඟ මො‍හොතේ ඇගේ කෙසඟ දෑත් ඔහු ගේ ගෙල වටා කිටිකිටියේ තද වුනි. "මම හිතුවෙ ඔයා ගිහිල්ලා කියලා. ඔයාට ආයුබෝවන් කියන්ට එළියට යන්ට එයාලා මට ඉඩ දුන්නෙ නෑ."

"ඔයා මොකක්ද මේ පාර දාගත්ත ලෙඩේ?"

ඔහුව සිය ග්‍රහණයෙන් මුදා හල ආර්යා මුහුණ බෙරි කර ගත්තා ය. "මම මොකුත් ක‍ලේ නෑ. මම ඔක්කොම හරියට අඩුක් කරලයි තිබුනෙ." තුනෙත් පංගුවක් පමණ පිරී තිබුනු දැවැන්ත පෙට්ටියත්, කාමරය පුරා එහා මෙහා විසිර තිබුනු ඇඳුම් රාශියත් දෙස ඇය ඇඟිල්ල දිගු කලා ය. "සෙප්ටා මෝර්ඩේන් කියනවා මට ආයෙමත් ඒක කරන්ටලු. එයා කියනවා මගේ ඇඳුම් හරියට නවලා නෙවෙයිලු පෙට්ටියට දාලා තියෙන්නෙ. එයා කියනවා නියම දකුණුකරේ ආර්යාවක් එයාගෙ ඇඳුම් නිකංම නිකං වැරහැලි වගේ පෙට්ටියකට වීසි කරලා දාන්නෙ නැතිලු."

"ඉතින් ඔයා එහෙමද කරලා තිබුනෙ පුංචි නංගී?"

"ඉතින් ගමන යද්දී ඒවා කොහොමත් එහා මෙහා වෙලා අවුල් වෙලා යනවනෙ. ඒවා නවලා ති‍යෙන්නෙ කොහොමද කියලා කවුද වදවෙන්නෙ?"

"වෙන කවුද ඉතින් සෙප්ටා මෝර්ඩේන්ම මිසක්. අනික මම හිතන්නෙ නෑ නයිමේරියා ඔයාට උදවු කරන එකටත් එයා එච්චර කැමැති වෙයි කියලා." වෘක පැටවා සිය අඳුරු රන් පැහැ දෑසින් ඔහු දෙස බලා සිටියා ය. "එහෙම වෙච්ච එකත් එක අතකට හොඳයි. ඔයාට ගෙනියන්ට දෙන්ට දෙයක් මා ගාව තියෙනවා. ඒක බොහොම පරෙස්සමින් අහුරන්ට ඕන දෙයක්."

ඇගේ මුහුණ දැල්වුනි. "තෑග්ගක්?"

"ඔයාට එහෙමත් කියන්ට පුළුවන්. දොර වහන්ට."

ආර්යා පරීක්ෂාවෙන් පිටත ශාලාව දෙස බැලුවා ය. "නයිමේරියා, මෙහාට එන්ට. මෙතනට ඇවිත් මුර කරන්ට." අමුත්තන් ගේ පැමිනීම ගැන අනතුරු අඟවන්නට වෘක පැටවා දොරට පිටතින් නැවතූ ඈ දොර වසා දැම්මා ය. මේ වනවිට තමා ගෙනා පොදිය දවටා තිබුනු කඩමාළු ඉවත් කල ජොන් එය ඇයට පිරි නැමීය.

ආර්යා ගේ දෙනෙත් විසල් විය. ඔහු ගේ වැනිම වූ අඳුරු පැහැ දෑස්. "කඩුවක්!" ඇය විස්මයෙන් කෙඳිරුවා ය.

අසිපත් කොපුව අළු පැහැ සමින් නිම වී තිබින. තලයේ තද නිල් පැහැ කාන්තිය ඇයට පැහැදිලිව පෙනෙන පරිදි ජොන් අසිපත සෙමින් කොපුවෙන් එළියට ගත්තේ ය. "මේක සෙල්ලම් බඩුවක් නෙවෙයි. පරෙස්සම් වෙන්ට, නැත්තං ඔයා ඔයාවම කපා ගනියි. මේකෙ මුවහත රැවුල බාන්ට තරම් තියුණුයි."

"ගෑනු ළමයි රැවුල බාන්නෙ නෑ." ආර්යා කීවා ය.

"එයාලත් එහෙම කරනවානම් හොඳයි. ඔයා කවදාහරි සෙප්ටාගෙ කකුල් දෙක දැකලා තියෙනවද?"

ඇය ඔහු ‍දෙස බලා විරිත්තුවා ය. "මේක හරි කෙට්ටුයි නේ."

"ඉතින් ඔයත් එහෙමනෙ. මම මේක මික්කෙන්ට කියලා විශේෂයෙන්මයි හදවගත්තෙ. මේ වගේ කඩු පාවිච්චි කරනවා පෙන්ටොස් වලයි, ම(ර්) වලයි අනිත් නිදහස් නගර වලයි. ඇත්ත, මේකෙන් මිනිහෙකුගෙ බෙල්ල වෙන්වෙන්ට කපලා දාන්ට බෑ තමයි. ඒත් ඔයා වේගවත් නම් ඔයාට පුළුවන් මේකෙන් මිනිහෙක්ව හිල් කූඩයක් කරලා දාන්ට."

"මට වේගවත් වෙන්ට පුළුවන්." ආර්යා කීවා ය.

"ඒකට ඔයාට දවස ගානෙ පුහුණුවීම් කරන්ට වෙනවා." අසිපත ඇගේ සුරතේ තැබූ ඔහු එය හරිහැටි අල්ලාගන්නා ආකාරය ඇයට කියා දුනි. "කො‍හොමද ඔයාට දැනෙන්නෙ? ඒක හරියට සමබරයි කියලා හිතෙනවද?"

"මම හිතන්නෙ ඔවු."

"පළමුවෙනි පාඩම. ඒකෙ උල් පැත්තෙන් තමා අනින්නෙ."

ආර්යා අසිපතේ පැතැළි පැත්තෙන් ඔහු ගේ අතට පහරක් එල්ල කලා ය. එය වේදනා ගෙන දුන්නත් ජොන් මෝඩයෙකු මෙන් නියවන්නට විය. "මම දන්නවා මොන පැත්තෙන්ද අනින්ට ඕන කියලා." ආර්යා කීවා ය. ඇගේ මුහු‍ණේ සැකයක සේයාවක් ඇඳී ගියේ ය. "සෙප්ටා මෝර්ඩේන් මේක මගෙන් අරගනියි."

"එයා දන්නෙ නැත්තම් ඔයා ළඟ මෙහෙම දෙයක් තියෙනවා කියලා එයාට ඒක ගන්ට බෑ."

"මම කාත් එක්කද පුහුණුවීම් කරන්නෙ?"

"ඔයා කාව හරි හොයාගනියි. කින්ග්ස් ලෑන්ඩින්ග් කියන්නෙ ‍ලොකු නගරයක්. ඒක වින්ටර්ෆෙල් වගේ දාස් ගුණයක් විශාලයි. ඔයාට පුහුණුවෙන්ට කෙනෙක් හම්බ වෙනකම් ඔයා බලා ඉන්ට කොහොමද සෙබළු සෙණ්ඩුවාළුවෙ සටන් පුරුදුවෙන්නෙ කියලා. දුවන්ට, අශ්වයො පදින්ට. ඔයා‍ගෙ ඇඟ ශක්තිමත් කරගන්ට. හැබැයි, ඔයා මොනවා කලත්...."

ඊළඟට එන්නේ කුමක්දැයි ආර්යා දැන සිටියා ය. ඔවුන් දෙදෙනාම එකවර එය කීවෝ ය.

"සන්සාට.. නම්.. කියන්ට.. එපා!"

අතක් දිගු කල ජොන් ඇගේ කෙහෙරැළි අවුල් කලේය. "මට ඔයා නැතුව පාළු දැනෙයි පුංචි නංගී."

හදිසියේම ආර්යාට දැනුනේ ඇය හඬා වැටීමට ආසන්න බවය. "ඔයාටත් අපිත් එක්ක දකුණට එන්ට තිබුනා නම්."

"වෙන වෙන පාරවල ගියත් සමහරවිට අන්තිමට වැටෙන්නෙ එකම බලකොටුවටලු. කවුද දන්නෙ?" ඔහුට සහනයක් දැ‍නෙන්නට විය. "මම දැන් ගියොත් හොඳයි. බෙන් බාප්පාව තවත් පරක්කු කලොත් ප්‍රාකාරෙ ඉන්න මුල් අවුරුද්දම මට වැසිකිළි පෝච්චි ඇද ඇද තමා ඉන්ට වෙන්නෙ."

අවසන් වැළඳගැනීමක් වෙනුවෙන් ආර්යා ඔහු දෙසට දිව ගියා ය. "ඉස්සෙල්ලා කඩුව පැත්තකින් තියලා ඉන්ට." ජොන් සිනාසෙමින් ඇයට අනතුරු ඇඟවී ය. පරෙස්සමින් අසිපත පැත්තකින් තැබූ ඈ ඔහුව වැළඳගෙන හාදු වරුසාවකින් ඔහුව තෙමන්නට විය.

දොර අසලදී ඔහු ආපසු හැරෙන විට ඇය නැවතත් අසිපත සුරතින් ගෙන එය සමබර කරමින් උන්නා ය. "මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා. හැම හොඳ කඩුවකටම නමක් තියෙනවා."

"හරියට අයිස් වගේ." සිය සුරතේ ඇති අසිපත දෙස ඇය බැලුවා ය. "මේකටත් නමක් තියෙනවද? අනේ කියන්ටකෝ."

"ඔයාට හිතාගන්ට බැරිද?" ඔහු ඇයට සමච්චල් කලේ ය. "ඔයාගෙ ප්‍රියතම උපකරණෙ."

ආර්යා ගේ මුහුණේ ප්‍රහේලිකාත්මක බැල්මක් ඇඳී ගියේ ය. එහෙත් ඊළඟ මොහොතේ ඇයට එය වැටහුනි. ඇය එතරම්ම දීප්තිමත් එකියක් වූවා ය.

"ඉදිකට්ට." ඔවුන් දෙදෙනාම එකවර කීවෝ ය.

සීතල උතුරුකරය වෙත යන මුළු ගමන පුරාවටම ඇගේ කිංකිණි සිනහවේ මතකය ඔහු ගේ සිත උණුසුම් කරන්නට සමත් විය.


Catelyn Stark: "Sometimes prayers are answered."

32 comments:

  1. එහෙම නං ආර්යත් කඩු හරඹ දාන්න පටන් ගනී වගේ..
    ඒත් ඒකට සෑහෙන කලක් බලං ඉන්න වෙයි කියල හිතෙනව..
    බලමු ඉස්සරහට මක්ක වෙයිද කියල

    ReplyDelete
  2. හැමදාම කියෙව්වට අද තමා කොමනේටුවක් දාන්නෙ. අපූරුයි. බලනවාට වඩා දැනෙනවා කියවනකොට. ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුම් සිහින!

      Delete
  3. මං උදෙත් ඇවිත් බලල ගියා... එතකොට Publish කරල තිබුණෙ නෑ.පරිවර්ථනය නියමයි..(Y)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිමුතු!

      Delete
  4. බ්‍රෑන් කොලුවට නම් ආයෙත් දෙපයින් හිටගන්න බැරි වේවි.කතාවේ අවසානෙදි ජෝන් ස්නොව් රජවෙයි කියල මටනම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපි බලන් ඉමු මාර්ටින් ලොක්කා කොයි විදියට කතාව ඉවර කරයිද කියලා නේද.

      Delete
  5. ලොකු මිනිස්සු කොයි තරම් නපුරු වුණත් පුංචි ඈයෝ එහෙම නැහැ නේද?
    ජෝන් ගැන දුකයි.එත් වෙන්නේ හොඳක්නම් කමක් නැහැ...:)

    ReplyDelete
    Replies
    1. ජොන් ගැන දුකයි තමා. ඒත් ඉතින් එන විදියකට මූන ‍දෙන්ට එපායැ නේද.

      Delete
  6. "සෙප්ටා" ග්ලොසරි එකේ නැද්ද? දැන් ග්ලොසරි එක වෙනම නැතුව අර වචනෙ උඩම තියන විදිහටද හදන්නෙ?
    (මෙය මේ පොස්ට් එකේ අන්තර්ගතය, කතාවේ අතීතය වර්තමානය අනාගතය, පුද්ගල, සත්ව, ස්තාන නාම වෙනස් කිරීම ආදී මෙකී නොකී අපරාධ ගණයට අයත් වන කොමෙන්ට් එකක් නොව අර පැත්තක තියන ග්ලොසරි එක ගැන විමසුමකි)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හේ......:D

      ප්‍රා-ජේ, හිතෙන්නැද්ද සිංහල බ්ලොග් කියවලා කමෙන්ට් කරණවට වැඩිය ලේසියෙන් දැලිපිහියෙන් කිරි කන්ඩ පුළුවන් කියලා... :P

      Delete
    2. නැතුව නැතුව සෙන්නා
      හැබැයි අපිට ටිකක් බය නැතුව කමෙන්ට් කරන්න පුලුවන් බ්ලොග් එකක් අහුවුනහම වඳුරට දැලි පිහිය දුන්න වගේ තමයි. ඒත් අහිංසක පක්සියා වෙස්ටේරෝස් ෆෑන් ක්ලබ් එකක් හදා ගෙන නිසා ඉඳල හිටල තමයි බකමූණු කතා දාන්නෙ.
      දැන් කෝච්චි බ්‍රේක් ගහන්නෙත් නෑනෙ සෙන්න වෙන අනම් කරන නිසා.

      Delete
    3. 'සෙප්ටා' glossary page එකට දාන්ට අමතක වුනා PJ. Live glossary එක තියෙන නිසා අරක maintain වෙනවා අඩුයි. මම ඒක හදන්නං. තැන්කූ මතක් කලාට.

      Delete
    4. @ Pra Jay

      නෑ, නෑ මේක කොහොමත් විචාර කැටගරියට දාන්"ට" බෑ. අනික වෙස්ටරෝස් වල විචාර කර අසුවන්නන් අල්ලා උල තබනු ලැබේ :)

      Delete
    5. වැල්කම් බැක් සෑර් . නරකද, සූජානං සරීරෙ කියලා හැල්මට් එකක් දාගත්තා නං :)
      සෑර්ට මතකද මන්දා, මං මේ අර බයිල කියන නරි මොටා ?

      ලෝකයා කයි-කතන්දර කිව්වට, මං උණු වතුරත් නිවල බොන අහිංසක කැනහිලා , සැර්

      Delete
  7. සෙප්ටා ගේ කකුල් ...
    hilarious

    ReplyDelete
  8. පුවර් ජෝන් නේද lady pods and lady niRO

    :P

    ReplyDelete
    Replies
    1. මේකට උත්තර Lady P & Lady N ම දුන්නාවෙ. :-)

      Delete
    2. සාධාරණ කොටා ඇරුනාම , ජොන් තමා ජනප්‍රියම චරිතය. අපේ අනුකම්පාව වැඩියම හිමිවන්නෙ ඔහුටයි.

      අර ස්ටාක් අම්මණ්ඩි නං අන්තිම නරකයි, ඈ?

      Delete
    3. අපෝ ජොන් හරි බබා නේ :P

      ස්ටර්ක් ආන්ටි ගේ worst moment මම හිතන්නේ .

      Delete
  9. ජොන් ඉතුරු වෙයිද මංදා.දුකයි තමා මොනා කරන්නද?

    ReplyDelete
    Replies
    1. ජීවිතේ හැටි ඔහොම තමා නේද හැලපෙ.

      Delete
  10. මේ කතාව රූපවාහිනී මාලා නාටකයක් වශයෙන් තියනවද? ඇත්තටම හිතේ මැවෙන රූප හරියට ඒ වගේමයි.

    ReplyDelete
    Replies
    1. ඔවු විචාරක. මේ පොත් සෙට් එකෙන් HBO TV series එකක් හදලා තියෙන්නෙ. YouTube එකේ search කරන්ට Game of Thrones කියලා. එහෙමත් නැත්තං baiscope.lk සයිට් එකෙන් බාගන්ට පුළුවන්. වැඩි විස්තර අපේ මාරයාගෙන් දැනගන්ට පුළුවන් වෙයි.

      Delete
  11. පවුලේ අය වෙන් වෙලා ගියත් අවසානයේ ඒ අයම එකතු වෙන්නත් බැරි නෑ.. බ්‍රෑන් ගැනනම් දුකයි.. කවුද දන්නේ මොනා වෙයිද කියලා.. අපි බලමු..

    ReplyDelete
  12. ඊයේ ගෙදර නොහිටි නිසා බලන්න බැරිඋනානේ , පුදුමයි ඒත් ඇත්තයි , මට ඊයේ සිකුරාදා කියලත් අමතක උනා :)

    අනේ මට දුකායි , අර හුරුබුහුටි බ්‍රැන් ආපහු පරණ විදිහටම සනීප වේවි නේ....

    ස්ටාර්ක් එක්ක එක පාරරටම තරහ ගියත් , ජොන්ට එයා වෛරකරන තරම ඒ කතාවෙන්ම හිතා ගත හැකි.

    ReplyDelete
    Replies
    1. ඔහොම තමා ඉතින්.. මුලින් කියන්නෙ කමෙන්ට්ස් පහ ගානෙ දාන්නං කියලා.. පහු පහු ‍වෙනකොට පෝස්ට් බලන්ටත් අමතක වෙනවා.. :-P

      Delete
  13. දිනේ පොඩ්ඩක් පැටලුනාට , මේ කතාව නම් කීයටවත් අමතක වෙන්නෙ නැහැ.........

    ReplyDelete
  14. ඉඳිකට්ට... අම්මෝ තව කීයක් තියෙනවද මග හැරිලා මට කියවන්ට

    ReplyDelete