Friday 11 July 2014

එඩාර්ඩ් - 01-1


තුන්සියයක් පමණ වූ අමුත්තන් පිරිස - රජුගේ ධජපතාක දරන්නන් හා නයිට්වරුන්, රජුට පක්ෂපාතීවූවන් හා නිදහස් සටන් කාමීන් - බලකොටු වාහල්කඩින් ඇතුළුවූයේ හරියටම ඔප දැමූ රන් රිදී වානේ ගංගාවක් ගලන්නාක් පරිද්දෙනි. බරතියන් නිල ලාංඡනය වන 'කිරුළ ලූ ගෝනා' ගෙත්තම් කරන ලද රන්වන් ධජ දුසිමක් පමණ ඔවුන් ගේ හිස්වලට ඉහළින් උතුරු සුළ‍ඟේ වැ‍නෙන්නට විය‍.

මේ පැමිණියවුන් බොහෝ ‍දෙනෙක් නෙඩ් නමින් දැන සිටියවුන් වූහ. රන් පැහැ දීප්තිමත් කෙස් කළඹින් යුතු සෙර් ජේමි ලැනිස්ටර් හා පිළිස්සුනු මුහුණින් යුතු සැන්ඩෝර් ක්ලිගේන්. ඔහු පසෙකින් සිටින උස පිරිමි දරුවා වෙනෙකෙකු නොව ඔටුන්න හිමි කුමරා විය යුතුය. ඔවුන්ට පිටුපසින් සිටින පුංචි කුරු මිනිසා අනිවාර්යයෙන්ම ටිරියන් ලැනිස්ටර් - පුංචි යකා - වේ.

කෙසේ වුවද, පිරිසේ ඉදිරියෙන්ම සිටි, රාජ්‍යාරක්ෂක බලකා‍යේ සුදු පැහැ සළුවෙන් වැසුනු නයිට්වරුන් දෙදෙනෙකු විසින් දෙපසින් පිරිවරන ලද, දැවැන්ත මිනිසා නෙඩ්ට පෙනුනේ නාඳුනන්නෙකු ලෙසිනි. එනමුදු නෙඩ් හොඳින් හඳුනන හඬකින් බෙරිහන් දෙමින් සිය යුධ අසු පිටින් බිමට පැන්න ඒ මිනිසා නෙඩ් ව වැළඳ ගත්තේ ඇට කටු කුඩු කරවන තරමේ ජවයකිනි. "නෙඩ්! ආහ්, උඹේ ඔය හීතලෙන් ගල් වෙච්ච මූන දකින්ට ලැබුන එක කොච්චර දෙයක්ද?" රජතුමා ඔහු ගේ හිසේ සිට දෙපතුල දක්වා බැල්මක් හෙලා මහ හඬින් සිනාසුනේ ය. "උඹ නං පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ."

නෙඩ් ටත් එලෙසම කියන්නට ලැබුනා නම් ‍කෙතරම් හොඳද? අවුරුදු පහළොවකට පෙර, ඔවුන් දෙදෙනා එකතුව කිරුළක් දිනන්නට සිය අසුන් මෙහෙයවූ කාලයේ ස්ටෝර්ම් එන්ඩ් හි වංශාධිපතියා යනු හොඳින් රැවුල බෑ, පැහැදිලි දෑසින් යුක්ත, තරුණියන් වසඟ කරවන අන්දමේ හැඩිදැඩි සිරුරකින් හෙබි පුද්ගලයෙකු විය. අඩි හයහමාරක් උසැති ඔහු අන් සාමාන්‍ය මිනිසුන් හමුවේ කුළුණක් මෙන් නැගී සිටියේ ය. ආරක්ෂක සන්නාහය පැළඳ සිය වංශයේ සලකුණ වන ගෝන අං දෙකකින් අලංකාර වූ හිස්වැසුම දමා ගත් විට ඔහු සැබෑම යෝධයෙකු මෙන් දිස් විය. ඔහුට යෝධයෙකුට මෙන් ශක්තියක් ද තිබූ අතර ඔහු ගේ ආයුධය වන කටු සහිත යගදාව නෙඩ්ට පවා එසවීමට බැරි තරම් බර එකක් විය. ඒ කාලයේ සම් ගඳ හා ලේ ගඳ ඔහුට ඇලී තිබු‍නේ හරියටම සුවඳ විලවුන් මෙනි.

නමුත් දැන්.... සුවඳ විලවුන් මෙන් ඔහුට ඇලී තිබුනේ සැබැවින්ම සුවඳ විලවුන්ම වූ අතර උසට සරිලන මහතකුත් ඔහුට උරුම වී තිබින. නෙඩ් අවසාන වරට සිය රජතුමා දුටුවේ බේලන් ග්‍රේජෝයි ගේ කැරැල්ල සමයේ ඔහුට විරුද්ධව ඔවුන් දෙදෙනා එක්ව සටන් මෙහෙයවූ කාලයේ දී ය. ඔවුන් දෙදෙනා ග්‍රේ‍ජෝයි ගේ බිඳවැටුනු බලකොටුව තුළ සිටි ඒ රාත්‍රියෙන් - රොබර්ට් කැරලිකාර වංශාධිපතියා ගේ යටත්වීම පිළිගත්, නෙඩ් එම වංශාධිපතියා ගේ පුත් තියන් ප්‍රාණ ඇපකරුවෙකු හා තම යටත් දරු‍වෙක් වශයෙන් පිළිගත් ඒ රාත්‍රියෙන් - පසු රජතුමා අඩුම ගනනේ ස්ටෝන් අටක වත් බර තම සිරුරට එකතු කර ගෙන ඇති සේ ය. එකට වෙළුණු යකඩ කම්බි මෙන් වූ කළු පැහැ ගොරහැඩි රැවුළක් විසින් ඔහු ගේ දෙබිඩි නිකට හා එල්ලා වැටුනු හණු ආවරණය කරනු ලැබී ය. එනමුදු ඔහු ගේ දැවැන්ත උදරය හෝ දෑසට යටින් වූ අඳුරු පැල්ලම් හෝ වසන් කරන්නට සමත් කිසිවක් නොවී ය.

නමුත් රොබර්ට් යනු තව දුරටත් නෙඩ් ගේ මිතුරා පමණක් නොවේ, ඔහු ගේ රජතුමා ද වේ. එම නිසා ඔහු මෙපමණක් තෙපලේ ය. "මගේ ස්වාමිනී, වින්ටර්ෆෙල් ඔබේය."

මේ වෙද්දී අන්‍යයන්ද සිය අසුන් පිටින් බැසීමට පටන්ගෙන තිබින. රොබර්ට් ගේ බිසව සෙර්සි ලැනිස්ටර් සිය බාල දරුවනුත් සමග පා ගමනින් පැමිණියහ. ඔවුන් ගමනට යොදාගත් සුවිසල් අසුන් හතලිස් දෙනෙකු විසින් අදින ලද තට්ටු දෙකකින් යුක්ත වූ දැවැන්ත අශ්ව කරත්තය බලකොටු වාහල්කඩින් ඇතුළට ගැනීමට බැරි තරම් පළල් වැඩි විය. නෙඩ් හිම මත දණ ගසා බිසව පැළඳ සිටි මුද්ද සිඹිද්දී රොබර්ට් කැට්ලින්ව වැළඳගත්තේ දිගු කලක් නොදැක සිටි සොහොයුරියක් වැළඳගන්නා පරිද්දෙනි. මීට පසු ‍දෙපසේම ළමයින් එකිනෙකා ඉදිරියට කැඳවා අඳුන්වා දීම සිදුකරන ලදී.

මේ සියළු ආචාර සමාචාර විධි හමාර වූ වහාම රජතුමා නෙඩ් දෙසට හැරුනේය. "මාව සොහොන් ගෙවල්වලට එක්ක යන්ට එඩ්ඩාර්ඩ්. මට එයාලට ගෞරව දක්වන්ට ඕන."

මෙතරම් වසර ගණනක් ගතවීත් ඔහුට 'ඈ' මතක තිබීම ගැන නෙඩ් තුළ මුළු හදින්ම ඔහු පිළිබඳ ආදරයක් ඇති විය. බිසව මීට විරෝධය දක්වන්නට පටන් ගත්තා ය. ඔවුන් හිරු උදාවේ සිට ගමන් කර තිබුනු අතර සියළු දෙනාම පාහේ ගමන් විඩාවෙන් හා සීතලයෙන් පෙලින. මුලින්ම වෙහෙස නිවාගෙන සිටීම මනෝඥ නොවේද? මැරුනු මිනිස්සුන්ට තව ටිකක් වේලා බලා සිටිය හැක. නමුත් ඇයට ඊට වඩා කතා කරන්නට අවස්ථාවක් නොලැබින. රොබර්ට් ඇය දෙස එක් තියුණු බැල්මක් හෙලූ අතර ඇගේ නිවුන් සොහොයුරා ජේමි මෘදු ලෙස ඇගේ අතින් ඇල්ලී ය. ඇය ඊට වඩා වදනක් වත් නොදෙඩී ය.

ඔවුන් දෙදෙනා එක්ව සො‍හොන් ගෙට යාමට පහළට බැස්සහ. ගලින් නිමවූ පියගැට පෙළ පටූ වූ නිසා ලන්තෑරුමත් අතකින් ගත් නෙඩ් ඉදිරියෙන් ගිය අතර රොබර්ට් ඔහු පසුපසින් පැමිණියේ ය. "මට හිතෙන්ට පටන් අරන් තිබුනෙ අපට කවදාවත් වින්ටර්ෆෙල්වලට එන්ට බැරි වෙයි කියලයි." රොබර්ට් කතාව ඇරඹී ය. "දකුණෙ මිනිස්සු මගේ රාජධානි හත ගැන කතා කරන විදියට මට අමතක වෙනවා උඹේ කොටස අනික් කොටස් හයම එක්කහු කරලා ගත්ත තරම්ම ලොකුයි කියලා."

"මං හිතනවා ඔබ ගමන රස විඳින්ට ඇති කියලා මගේ ස්වාමිනී?"

රොබර්ට් නහයෙන් හඬක් නැගී ය. "මඩ වගුරු යි, කැලෑ යි, කුඹුරු යි. බෙල්ලෙන් උඩ එක හොඳ තානායමක් නෑ‍. මේ වගේ දැවැන්ත පාළු යායක් මං ජීවිතේටම දැකලා නෑ. උඹේ මිනිස්සු ඔක්කොම කොහෙ ගිහිල්ල ද?"

"උං එළියට එන්ට ලැජ්ජාවෙන් ඇති." ‍නෙඩ් විහිළුවක් කලේ ය. "උතුරුකරේදි රජ කෙනෙක් කියන්නෙ බොහොම දුර්ලභ දැක්මක්."

"මං හිතන්නෙ උං ඔක්කොම හිමෙන් වැහිලා ගිහිල්ලා ඇති කියලයි. හිම නෙඩ්!"

"ගිම්හානය අන්තිමේ හිම කියන්නෙ සාමාන්‍ය දෙයක්. මං හිතනවා ඒකෙන් ඔබේ ගමනට බාධාවක් වෙන්ට නැතුව ඇති කියලා. සාමාන්‍යයෙන් මේ හිම බොහොම මෘදුයි."

"උඹේ ඔය මෘදු හිම අනික් එවුංම අරන් ගියාවෙ. ශීත කාලෙට මෙ‍හෙ කොහොම වෙයිද කියලා මට හිතාගන්ටත් බෑ."

"ශීත කාලෙ අමාරුයි තමා. ඒත් ස්ටාර්ක්ලා ඒවට ඔරොත්තු දෙනවා. අපි හැමදාමත් ඒකට ඔරොත්තු දුන්නා."

"උඹ දකුණට එන්ට ඕන. මේ ගිම්හානය නැති වෙලා යන්ට කලින් උඹ ඒක රස විඳින්ට ඕන. හයිගාර්ඩ්න්වල තියෙනවා රෝස යායවල්, ඉමක් කොණක් පේන්නෙ නෑ. පළතුරු කොච්චර ඉදිලද කියනවානං ඒවා උඹෙ කට ඇතුළෙ පුපුරලා යනවා - කොමඩු, පීච්, මිදි, උඹ එච්චර රසක් කවදාවත් විඳලා නැතුව ඇති. උඹ බලන්ට පුළුවන්, මං එද්දි උඹට ටිකක් අරන් ආවා. ස්ටෝර්ම්ස් එන්ඩ්වල වුනත්, අර මුහුදු බොක්කෙන් එන හුළං මැද්දෙ වුනත් රස්නෙ කොච්චරද කියනවනං එහා මෙහා යන්ටවත් බැරි තරං අමාරුයි. අනික් එක උඹ නගර දකින්ට ඕන නෙඩ්! ‍වෙළෙඳපොළවල් කෑම බීම වලින් පිරිලා ඉතිරිලා ගිහිල්ලා. වයින් කොච්චර ලාබද කොච්චර හොඳද කියනවනං හුස්ම ගන්න ටික ඇති උඹ වෙරි වෙන්ට. හැම එකාම කාලා බීලා මහත් වෙලා ඉන්නෙ." සිනාසුනු ඔහු තම දැවැන්ත උදරයට අල්ලෙන් පහරක් දුන්නේ ය. "අනික් එක කෙල්ලො නෙඩ්! රස්නෙ වැඩි කමට උං‍ගෙ හිරිඔතප් නැති වෙලා ගිහිල්ලා. උං අමු හෙළුවෙන් ගඟේ බැහැලා නානවා. පාරෙදි වුනත් රස්නෙ වැඩි කම නිසා වූල් නැත්තං ලෝම ඇඳුං අඳින්ට බෑ‍. ඉතිං හැම එකීම පා‍රෙ බැහැලා යන්නෙ කොට ගවුම් ඇඳන්. සල්ලි තියෙන එවුං සේද අඳිනවා, නැති එවුං කපු ඇඳුං අඳිනවා. ඒත් දාඩිය දාපු වෙලාවට ඒ දෙකම එකයි, හෙළුවෙන් ඉන්නවා වගෙම තමයි." ඔහු සතුටින් සිනාසුනි.

රොබර්ට් බරතියන් යනු සුවිසල් රුචියකින් හෙබි ජීවිතය රස විඳින්නේ කෙසේදැයි මනාව දත් පුද්ගලයකු විය. එනමුදු නෙඩ්ට පැහැදිලිවම දැක ගත හැකි වූයේ මේ සම්භෝගය රජුට දැඩි අයහපත් අයුරින් බලපා ඇති අන්දමයි. පඩිපෙළ බැස හමාර වන විට රොබර්ට් තදින් හති දමමින් සිටි අතර ඔහුගේ මුහු‍ණ රතූ වී තිබින.

"මගේ ස්වාමිනී." නෙඩ් ගෞරවපූර්වකව කීවේය. ලන්තෑරුම ඉහළට ඉස්සූ ඔහු අඩ වටයක් අත ගෙන ගියේ ය. දිදුලන එළියෙන් ඔවුන්ට දැක ගත හැකි වූයේ ඈතින් ඈතට අන්ධකාරය තෙක් විහිදුනු, ගලින් නිමවුනු කුළුණු ‍දෙපේලියකි. මේ කුළුණු අතරේ වූ සො‍හොන් ගැබ් තුළ මලවුන් සැතපුනු අතර ගලින් කල ඔවුන් ගේ අනුරූ සොහොන් ගෙයි බිත්තියට පිටදී ශෛලමය සිහසුන් අරා වාඩි වී සිටියහ. "ඈ ඉන්නෙ ‍පේලියෙ අන්තිමට, තාත්තයි බ්‍රැන්ඩනුයි එක්ක."

කුළුණු අතරින් ඔහු ඉදිරියට ගමන් කල අතර රොබර්ට් ඔහු පිටුපසින් ගමන් ක‍ලේ උමග තුළ වූ අධික සීතල නිසා වෙවුලමිනි. ස්ටාර්ක් වංශයේ මලවුන් අතරේ ඇවිදිද්දී ගලින් කල බිම මත ගැටුනු ඔවුන් ගේ පියවර හඬ දෝංකාර දෙන්නට විය. උමග දෙපස අනන්තය තෙක් විසිර සිටි වින්ටර්ෆෙල්හි අතීත මුතුන් මිත්තෝ ශෛලමය අසුන් වල වාඩි වී සිය දෙපා අසල බිම වකුටු වී සිටිනා ‍ඝෝරවෘකයින් ද සමග ඔවුන් ‍දෙස බලා සිටින්නට වූහ. ලන්තෑරුමේ නටන ගිනි දළු නිසා ඔවුන් ‍ගේ ඡායාවන් ‍පෙනුනේ පණ ඇතියවුන් මෙනි. පුරාණ සිරිතට අනුව වින්ටර්ෆෙල්හි අධිපති වී සිටි මුතුන් මිත්තන් ‍ගේ පිළිමවල උකුල මත යකඩින් කල දිගු අසිපතක් තැන්පත් කර තිබින. පැරණිතම සාමාජිකයින් ගේ අසිපත් මීට බොහෝ කලකට පෙරම දිරා ගොස් තිබුනු අතර ඒවා ඔවුන් ගේ උකුළ මත තැන්පත්ව තිබුනු ස්ථානවල රතු පැහැ මලකඩ පැල්ලම් පමණක් දැකිය හැකි විය. වින්ටර්ෆෙල්හි මුල්ම වංශාධිපතියෝ ඔවුන් විසින් පාලනය කරන්නට යෙදුනු භූමිය මෙන්ම දැඩි මිනිසුන් වූහ. මකරාධිපතියන් පැමිනීමට සියවස් ගණනාවකට පෙර විසූ මොවුහු කිසි‍වෙකුටත් දණ නොනැමූ උතුරුකරයේ රජවරුන් වූහ.

නැවතුනු නෙඩ් ලන්තෑරුම ඉහළට කර එසවී ය. ‍දෝනාව අන්ධකාරය ඔස්සේ දිගටම ඉදිරියට විහිදුනු නමුදු මෙතනින් එහාට තිබුනේ හිස් සොහොන් ගැබ් පමණී. "මෙන්න ‍මෙතැන." ඔහු රජුට පැවසී ය. නිහඬවම හිස වැනූ රොබර්ට් දණ බිම ඇන හිස නවා ගති.

එහි එක ළඟ වූ සොහොන් ගැබ් තුනක් තිබින. රිකාර්ඩ් ස්ටාර්ක්, නෙඩ් ගේ පියා සතුව දිගු පරුෂ මුහුණක් විය. ගල් වඩුවන් ඔහුව හොඳින් දැන සිටියා මෙනි. උදාර ලීලාවෙන් අසුන් ගෙන සිටි ඔහු දෙපසින් තවත් සොහොන් ගැබ් දෙකක් වෙන් වී තිබුනේ ඔහු ගේ දරුවන්ට ය.

බ්‍රැන්ඩන් මියයද්දී ඔහුට අවුරුදු විස්ස පිරුනා පමණි. පිස්සු රජා ඒරීස් ටාර්ගේරියන් ගේ අණින් ඔහුව ගෙල සිර කර මරා දමන විට රිවර්රන් හි කැට්ලින් ටලී හා විවාහ වීමට ඔහුට තිබුනේ දින කිහිපයක් පමණි. ඔහු මිය යන ආකාරය බලා සිටීමට පියාට  බල කෙරිණි. බ්‍රැන්ඩන් යනු පාලනය කිරීමටම උපන් වින්ටර්ෆෙල්හි නියම උරුමක්කරුවා විය.

ලියානා ඒ වන විට දහසය වැනි වියේ පසු වූවා ය. පරම සුන්දරත්වයකට හිමිකම් කියූ ගැහැණීයක බවට වැඩෙමින් සිටි දැරියක්. නෙඩ් ඇයට මුළු හදින්ම ආදරය කල අතර රොබර්ට් ඊටත් වඩා ඇයට ආදරය කලේ ය. ඇය ‍‍රොබර්ට් ගේ බිරිය වීමට නියමිතව සිටියා ය.

"එයා මීට වඩා ලස්සනයි." රජතුමා නිහඬතාව බින්දේ ය. ඔහු ගේ දෑස් ඇගේ ශෛලමය වුවන මත රැඳී තිබුනේ හරියට ඒ බැල්මෙන් ඇයට නැවත පණ ඉපැද්දීමට හැකියාවක් ඇතැයි සිතන්නාක් මෙනි. අන්තිමේ දී ඔහු නැගිට්ටේ ය. "ආහ්! යකාට ගියාවෙ නෙඩ්! ඇයි උඹට එයාව මෙතනම වලදාන්ට ඕන වුනේ?" ඔහු ගේ කටහඬ බැරෑඬි වී තිබුනේ නැවත අලුත් වූ ශෝකය නිසා ය. "එයාට මේ අන්ධකාරයට වඩා සුදුසු තැන් තියෙනවා."

"එයා වින්ටර්ෆෙල්වල ස්ටාර්ක් කෙනෙක්. මෙතන තමා එයාගෙ තැන."

"එයා ඉන්න ඕන කොහේ හරි කඳු ගැටයක් මුදුනේ, පළතුරු ගහක් යට. එයාට උඩින් ඉර එළිය යි වළාකුළු යි තියෙන්ට ඕන. එයාට පිරිසුදු වෙන්ට වැස්ස තියෙන්ට ඕන."

"එයා මැ‍රෙද්දි මං එයා ගාව හිටියා." නෙඩ් රජුට මතක් කර දුනි. "එයාට ඕන වුනා මෙතනට එන්ට. එයාට ඕන වුනා තාත්ත යි බ්‍රැන්ඩනු යි මැද්දෙන් නිදාගන්ට." තවමත් සමහර විට ඒ වදන් ඔහු ගේ දෙසවනේ දෝංකාර දෙයි. 'මට ‍පොරොන්දු වෙන්ට,' ඇය මෙසේ කියමින් හැඬුවේ ලේ සුවඳින් හා රෝස මල් සුවඳින් පිරුණු කාමරයක දී ය. 'මට පොරොන්දු වෙන්ට ‍නෙඩ්.' නැගුනු උණ විසින් ඇගේ ශක්තිය සිඳ දමා තිබුනු අතර ඇගේ කටහඬ ‍කෙඳිරිල්ලක් තරම් සිහින් විය. නමුත් ඔහු සිය පොරොන්දුව දුන් විට ඇගේ දෑසේ තිබුනු බිය සම්පූර්ණයෙන්ම නැතිව ගියේ ය. ඇය ඒ වෙලාවේ සිනාසුනු සැටි, ඇගේ අතැඟිලි දැඩිව ඔහු ගේ අත අල්ලාගෙන සිටි සැටි, ඇගේ අත්ලෙන් ගිලිහී ගිය තැලී පොඩි වී ගිය රෝස මල් පෙති මේ සියල්ලක්ම නෙඩ් ට අද ඊයේ මෙන් මතක ය. එහෙත් එයින් පසුව සිදු වූ කිසිදු දෙයක් ඔහුට මතක නැත. ඔවුන් ඔහුව සොයාගන්නා විට ඔහු එතෙකුත් ඇගේ සිරුර බදාගෙන නිහඬවම සංතාපයේ ගැලී සිටි බව ඔවුහු කියති. "මං පුළුවන් වුන හැම වෙලාවෙම එයාට මල් ගෙනල්ලා දෙනවා." නෙඩ් කීය. "ලියාන්නා මල් වලට හරිම ආසා කලා."

රජු ගේ අතැඟිලි ඇගේ මුහුණ ස්පර්ශ කලේ ය. ඒ ඇඟිලි රළු ගල් මතින් ඇදී ගියේ හරියට සජීවී මුහුණක් ස්පර්ශ කරන්නාක් තරම් මෘදු අන්දමිනි. "මං පොරොන්දු වුනා මං රේගාර් ව මරණවා කියලා ඌ එයාට කරපු දේට."

"ඔබ එහෙම කලා." නෙඩ් ඔහුට සිහිපත් කර දුනි.

"එක පාරයි." රොබර්ට් කටුක අන්දමින් පිළිවදන් දුනි.

ඔවුන් දෙදෙන එකිනෙකා හමුවුනේ ගංගා ත්‍රිශූලයේ නොගැඹුරු තොටුපලේ දී ය. ඒ වන විට ඔවුන් වටා යුද්ධය ජයටම ඇවිලෙමින් තිබින. ගෝන අං සහිත හිස් වැස්මෙන් සැරසී යගදාව අතින් ගත් රොබර්ට් හා සම්පූර්ණ කළු පැහැ ඇඳුමින් සැරසුනු ටාර්ගේරියන් කුමරා. ඔහු ගේ පපු සන්නාහය මත සිය වංශයේ ලාංඡනය වූ හිස් තුනේ මකරා හිරු එළියේ ගින්දර මෙන් දිලිසුනු රතු මැණික් වලින් කැටයම් කර තිබින. ත්‍රිශූලයේ ගං දිය රතු පැහැයට හැරෙන තෙක් ඔවුහු එකිනෙකා වටා අසුන් මෙහෙයවමින් නැවත නැවතත් කා කොටා ගත්හ. අන්තිමේ දී රොබර්ට් ගේ යගදාවෙන් වැදුනු දරුණු පහරක් විසින් හිස් තුනේ මකරාත් ඊට යටින් වූ පපුවත් සුණුවිසුණු කර දමන ලදී. නෙඩ් එම ස්ථානයට පැමිණෙන විට රේගාර් දිය කඳ මැද මියගොස් සිටි අතර දෙපසේම සෙබළුන් ඔහු ගේ සන්නාහයෙන් ගිලිහී දියට වැටුනු රතු මැණික් වලට පොර බදිමින් සිටියහ.

"මගේ හීන වලදි මං හැමදාම රෑට ඌව මරනවා." රොබර්ට් කීය. "ඌව දහස් වතාවක් මැරුවත් ඒ වාඩුව ගන්ට බෑ."

‍මෙයට පිළිතුරක් වශයෙන් කීමට නෙඩ්ට කිසිවක් නොවී ය.


Eddard Stark: “The winters are hard, But the Starks will endure. We always have.”

68 comments:

  1. අම්මේ....
    මම එක...
    ඇත්තටම රන් රිදී ගංගාවක් අර සේනාව වෙනුවට ගැලුව නං...
    හික්ස්...
    විසේරිස් ගොයියටත් පිස්සු හැදෙන්න පුලූවං

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට මට හිතෙන්නෙ රොබට් කියන්නෙ මහ පිස්සු යකෙක් කියලමයි

      Delete
    2. රජෙක් වෙන්ට පොඩිපහේ පිස්සුවකුත් තියෙන්ට ඕන නේද? :-)

      Delete
  2. විශ්මයජනකයි, උත්කෘශ්ඨයි, අනභිබවනීයයි......

    ටීවී කතාමාලවක්, චිත්‍රපටියක් බලනවට වඩා පොතක කියවනකොට දැනෙන රසවත්බව මේ කතාව කියවනකොට හොඳින්ම පැහැදිලිවෙනවා.

    පරිවර්තනය කිරීම ගැන නම් කතා කරල වැඩක් නැහැ

    ReplyDelete
    Replies
    1. තැන්කූ සොන්යා! පොතක තියෙන විස්තර සේරම ෆිල්ම් එකකින් ‍දෙන්ට බෑ ‍නෙවැ. :-)

      Delete
  3. ඒඩ්ඩාර්ඩ් කියන්නේ මුල මතක තියෙන හොඳ රජෙක් වගේ...:)
    ඒඩ්ඩාර්ඩ්ට තිබ්බේ දිගටම යුද්දේ නැතිනම් ජිම් එකකට ගිහින් හොඳට බොඩි එක මේන්ටේන් කර ගන්න.මොකද මිනිහා රජෙක්නේ.ලස්සනට ඉන්න එපැයි...:)

    කතාව ලස්සනයි ආර්යවනි,උතුමාණෙනි.කතාව කියෙව්වා වැඩ පටන් ගන්න කලියෙන්ම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්!

      එඩ්ඩාර්ඩ් කියන්නෙ රජතුමා නෙවෙයි. එඩ්ඩාර්ඩ් (නෙඩ්) ස්ටාර්ක් කියන්නෙ වින්ටර්ෆෙල්වල අධිපතියා. රජතුමා රොබර්ට් බරතියන්. පැටලෙනවා පැටලෙනවා වගේනං අර දකුණු පැත්තෙ දාලා තියෙනවා ලින්ක් එකක් වංශාධිපති පවුල් ගැන විස්තරයක් බලාන්ට. :-)

      Delete
    2. එඩ්ඩාර්ඩ් නොවේ බරතියන් ගැනයි කියන්න ගියේ මම.මට ටිකක් පැටලුනා.
      අර ලින්ක් එකට මම කලියෙන් ගියා.ආයෙත් පාරක් ගිහින් වැටහීමක් ගන්න ඕනේ.

      Delete
  4. මම දෙක ලු හොඳේ

    ReplyDelete
    Replies
    1. විලිලැජ්ජයි. මං වෙඩිතියාගන්නව. ඔව්.

      ඩිෂුම්!!!

      Delete
  5. අපූරුයි........උදේම කියවන්න ලැබුණා අද නම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්!

      Delete
  6. පු0චි යකා , The Imp?
    වාමනයා හරියන්නෙ නැද්ද්? ඒත් ඉම්ප් වල දගකාර තේරුමකුත් තියනව නේ ?
    ඔය Ser Bastian the Innocent ( අවුල් ලෝර්ඩ්, කොන්කරර් ඔෆ් මවුස්ඩම්, The Beaked Wonder of the Woods) වගේ ව0ශාධිපතියෙක්ගෙන් අහල බලන්න

    ReplyDelete
    Replies
    1. නිකංම වාමනයා නැත්තං පිශාචයා කියනවට වඩා පුංචි යකා කිවුවහම අර දඟකාරී බවත් එකතු වෙනවා නේද? අපටත් පුංචි කා‍ලෙ අම්මලා බනින්නෙ "‍‍මේකා නං පුංචි යකෙක්", "යක් පැටියෙක්" කියලා. :-D

      Conqueror of Mousedome එන්නෙ රෑ වෙලා නෙවැ. ඒ ආවහම අහමු.

      The Beaked Wonder ද නැත්තං Beaked Terror ද ගැලපෙන්නෙ? ;-)

      Delete
    2. බිංදුව නැතුව බි0දුව ලියන්නෙ ඇයි PJ?

      Delete
    3. මට දැන් අහින්සක බව ගැන අහල එපා වෙලා Terror කිව්වනම් ආයිත් අහගන්න වෙනව.
      'අවුල්'ජාලිකයා - The winged nemesis of the ratkind කොහොමද?

      (blushing and squirming) තාම Unicode කීබෝර්ඩ් එකේ o හොයා ගන්න බෑ. "Show Transliteration Scheme" එකට යන්න කම්මැලියි

      Delete
    4. x = ං (අං)
      shift + x = ඃ (අඃ)

      Delete
    5. ලෝඩ් කොටා, කෙටියෙන් "කොටා" , මගේ කැමතිම චරිතයක්. වාමනයා කියන වචනෙ නිකං අමනුස්ස හැඟීමක් එන හින්දා , ඒක මෙතනට හරි යනවද මන්දා? හරියටම හරි යන නමක් හිතට එන්නෙ නෑ

      Delete
    6. ඉස්සර කාලෙ ඔය හයි-බෝන් කස්ටිය ( බස්සොත් එහෙම තමා, ඉපදෙන්නෙ ගස් උඩනෙ?) ,තමන්ගෙ කීර්ති නාමයට අපහාස කලොත්, ද්වන්ධ සටනකට කැඳවනවාලු. ඒත්, අර දැලි පිහිය වගේ මුවාත් කඩුව වන,වන ඉන්න "අනිකා" සටනට කැඳවනවා කියන්නෙ, සියදිවි නසාගැනීමක් නෙව. ඒක නිසා හොඳම වැඩේ " අහිංසක" චරිතය රඟපාන එකයි :)

      - බස්-තියං ද ඉනසන්ට් -

      Delete
    7. Ser බස්-තියං the Terrible :P

      Delete
  7. දෙකට බෙදුණු නිකට ?
    double chin ???

    ReplyDelete
    Replies
    1. must mean double chin
      because the king is FAT

      Delete
    2. Double chin තමා. දෙබිඩි නිකට.

      Delete
    3. එහෙමනම් දෙබිඩි දාන්න.
      දෙකට බෙදුනු නම් cleft.

      Delete
    4. Okay, will change that. Thanks PJ!

      Delete
  8. ඔප දැමු රන් රිදී වානේ ගංගාවක් කියන කොට අවස්ථාව හිතේ මැවෙනවා.හරිම ලස්සන වචනයක් බුරා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපේ!

      Delete
  9. හැක හැක අර දාඩිය දාන වෙලාවක් අල්ලලා අර පැත්තේ පොඩ්ඩක් ඇවිදින්න යන්න ඕනේ ... රස්නේ වැඩි කමට මොනවද නැතිවෙලා කියනවනේ ඒ කෙල්ලොන්ගේ .... :P

    ReplyDelete
    Replies
    1. පරිස්සමෙන් ඉවාන්! සමර් එකට අපේ සමහර යාළුවොත් ඔහොම එහා මෙහා බල බලා ගිහින් ලයිට් කණුවල හැප්පෙනවා. :-D

      Delete
  10. කතාව බලත්දි මමත් කතාවතුල ඉන්නවා වගෙම සිතෙන්නෙ. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලානි!

      Delete
  11. පෝස්ට් එක ඇතුළෙ මම පොඩි අත්හදාබැලීමක් කලා. කවුරුවත් ඒ ගැන මොකුත් කියලා නැත්තෙ ඒක දැකලා නැද්ද නැත්තං ඒක එච්චර වැඩක් ඇති දෙයක් ‍නොවෙන නිසාද දන්නෙ නෑ. :-)

    ReplyDelete
    Replies
    1. ග්ලොසරි එක බලන්න අන්ඩර්ලයින් කරන එකද?

      අර බර ස්ටෝන් අට වෙනුවට රාත්තල් ගාන දාන්න හරි ස්ටෝන් එකක් කීයද (14 lb) කියල ග්ලොසරි එකේ දාන්න හරි පුලුවන් නේ?

      Delete
    2. දැක්කා,දැක්කා ඒ වෙනස.අර අන්ඩර්ලයින් කරපු වචනේ නිර්වචනය කරන එක නේ එක නියමයි.

      Delete
    3. මට දැනගන්ට ඕන අන්ඩර්ලයින් කලාම ඒ වචනය විශේෂයි, ඒක උඩට මවුස් එක අරන් යන්ට ඕන කියලා කියවන අයට පැහැදිලිව තේ‍රෙනවද කියන එක. ඒ වචනය අන්ඩර්ලයින් කලාම ඇතිද? වෙනසක් කරන්ට ඕනද? පාට ‍වෙනස් කරන්ට ඕනද? හයිලයිට් කරන්ට ඕනද?

      Delete
    4. එක්කො උඩින් හෝ පහලින් උපදෙස් දාන්න. එහෙම නැත්නම් පාට වෙනස් හෝ හයිලයිට්. පුද්ගලිකව මම කැමති හයිලයිට්

      Delete
    5. හයිලයිට් කලාට පේන්නේ නැතිවෙයි. පාට වෙනස් කලා නම් හොඳයි. පිරිමි ඉතින් පාට වෙනස් කරන්ට දක්ෂලුනේ....:D

      Delete
    6. ගෑණු අය මූඩ් වෙනස් කරනව වගේ නේ Lady Pod?

      Delete
    7. මම එකපාරට උපදෙස් දුන්නෙ නැත්තෙත් කට්ටිය මේක අල්ලගනියිද කියලා චෙක් කරන්ටයි. :-)

      හයිලයිට් කලාම ඇහැට ටිකක් අමාරුයි වගේ, මම ඔය ඔක්කොම දාලා බලලා තමා අන්ඩර්ලයින් තෝරගත්තෙ. ඒත් ඒක මදි වගේ නං වෙන ඔප්ෂන් එකකට යමු.

      Delete
    8. @Ser Pra Jay,

      හිතන් හිටියේ නම් එහෙම තමා සෙර් ප්‍රා...ඒ උණාට පිරිමි ආශ්‍රය කරන්ට පටන් ගත්තාම තේරුනේ ඒ ගොල්ලන් ලඟ තියෙන පාටවල් ගොඩක් ගෑනු අය ලඟ නෑ කියලා...:D

      @සෙර් බුරතියන්,

      පාට මාරු කරමු අනේ...:D

      Delete
    9. My Lady, මාත් දැන් අහින්සක නිසා පාට ගැන දන්නෙ නැහැ.
      සෙර් බුර් Her Poddness කියන දෙයක් කරන්න.
      හැබැයි අර "ස්ටෝන්" වෙනස් හෝ ග්ලොසරි කරන්න

      Delete
    10. වෙනින් පාටක් දැම්මොත් හොඳයි කියලායි හිතෙන්නේ නැතිද වගේ අවස්ථා වලදී.

      Delete
    11. මාත් ඔය අන්ඩ-ලයින් වලට කැමති පක්සියා නෙව. කලින් එකේ දැක්ක ගමන් කෙ‍ටුවා. මං හිතුවෙ ලින්ක් එකක් කියලයි. ඔහොම, කොටාගෙන, කොටාගෙන යනකොට මවුසා හෙලවිලා විස්තරෙ ආවා. වැඩේ නං නියමයි. පොඩි යෝජනවක්: පුළුවන් නම්. ඒක එක ලයින් එකට දිගට නොදා, පේලි දෙක තුකට දාලා කොට කරන්න.

      මේ ආවා විතරයි. උදේට මොනව හරි කොටාබාලා එඤ්ඤං . අද නං එකෙක්, දෙන්නෙක්ව බාවනවා :)

      - සේර් බස්තියං -

      Delete
  12. බෑ බෑ මේක කියවන්න ඉස්සර ආයිත් ඉස්සෙල්ල එකත් කියවන්න වෙනවා.
    බුරා. මේක යන්න එන්න කන්න බොන්න කියල ලියල පොඩ්ඩීට යවනවා. ඊට පස්සෙ පොඩ්ඩී යන්ට එන්ට කන්ට බොන්ට කියල සංස්කරණය කරලා දෙනවා ඇති..

    ReplyDelete
    Replies
    1. මේ අපූරුවට හිටපු මටත් පොඩ්ඩිගෙන් තමා ඔය ටයන්න බෝ වුනේ සරත්. :-D

      Delete
  13. මෙච්චර පායන අපේ රටේ උන්ට නැහැනේ අම්මපා ඒ රස්නේ හැටියට ජීවත් වෙන්න තරං සිහි කල්පනාවක්.. තුක් ඉතරක්.. :D

    දැන් එතකොට සෙනසුරාදා ඉරිදා දෙකටම කොටස් දානවා කියලා කිව්ව එක ඇත්තද..?

    ReplyDelete
    Replies
    1. ආන්න මාරෙ, ගෑල්ළමයින්ට පුරුදු කොරනවානං ‍හොඳ පුරුදු! අඩුම ගානෙ අර ඉස්සර කාලෙ වගේ 'උඩින් AC' වත් ඉන්නවානං නේද? :-D

      Delete
  14. එඩ්ඩාර්ඩ් (නෙඩ් ) කියලා දාන්ටලු සෝන්යා කියනවා. නැත්නම් පැටලෙනවලු...:D

    ReplyDelete
    Replies
    1. සෝන්යාට කියන්ට මේ සතිඅන්තෙ homework වලට දුන්නා කියලා අර වංශාධිපති පවුල් ලැයිස්තුව පාඩං කරන්ට කියලා. සඳුදා උදේට පාඩං ගන්නවා කියන්ට. පාඩං නැත්තං දණ ගහන් ඉන්ට වෙයි. :-P

      Delete
    2. ඒ පාර මේක කියවන ගමන් පාඩම් කරන්නත් වෙනවද
      ඈ...
      වෙන වැඩක් කරන්න වෙලාවක් නැතිවේවි මාහිතේ :)

      Delete
  15. ලස්සනයි අද කොටසත් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Reeza!

      Delete
  16. කතාවේ යටිපෙළ අරුත් බොහොමයක් තිබෙනවා. හිතන දේ නොකියන, නොකියන දේ කරන චරිත මෙහි දක්නට ලැබෙනවා. බොහොම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක! Political game එකේදි හිතන දේ නොකියන එක ලොකු advantage එකක් නේද?

      Delete
  17. ඔන්න නිදහස් වෙලාවක් එනකන් ඉදලා හොදට කියවුවා..

    එඩ්ඩාර්ඩ් මුල අමතක නැති පාලකයෙක්.. ඒක හොදයි.. අද කාලෙනම් නැත්තෙම එහෙම අයනේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්! පාලකයො හරි කැමතියි නේද මුල අමතක කරන්ට. එතකොට ලේසියි නෙ. :-)

      Delete
  18. මේ දවස් ටිකේ බ්ලොග් එක වහලා දාලා වගේ හින්දා මෙහෙම එකක් තියනවා කියලා දැක්කේ අහම්බෙන්. දැන් ඉදන් ඉතින් හැමදාම එනවා. එතකොට අඩු ගානේ මගේ බ්ලොග් එකවත් ලියවෙයි නේ. හැබයි මම නම් ගේම් ඔෆ් ත්‍රෝන් පිස්සෙක්. උදේම කරන දෙයක් තමයි ගූගල් + එකේ ගේම් ඔෆ් ත්‍රෝන් පිටුවට ගිහිල්ලා කට්ටිය මොනවාද කියන්නේ කියලා බලන එක. දන්න සිංහලෙන් කතා කරන්න කවුරුවත් නැති එක ගැන මාරම අවුලෙන් හිටියේ. දැන් ඉතින් මෙතන ඉන්නවනේ කට්ටිය. නියමයි වැඩේ

    ReplyDelete
    Replies
    1. Welcome to the club යක්ෂයා!

      මම මේ නිකමට අහන්නෙ ඔයා යක්ෂයා හින්දා. ඔයා R'hollor ගෙ පැත්තෙ යකෙක් ද නැත්තං Dark load ගෙ පැත්තෙ යකෙක් ද? :-)

      Delete
    2. Try this යක්ෂයෝ.

      http://asoiaf.westeros.org/

      im in there too.

      @ Ser Bura,
      who the hell is dark lord?
      this is ASOIAF(not LOTR, not wheel of time, not harry potter ) , so its the God of darkness or The great other
      am i right ? :P

      Delete
    3. හෙහෙ ගිණි දෙයියා ගැන පිස්සුවක් නෑ. bran හින්දා පරණ දෙයියෝ ගැන පොඩි පැහැදීමක් තියනවා.

      Delete
    4. හෙහෙ අනිවා මාත් එතනට යනවා. ඔන්න දැන් නම් එලම කිරි. කතා කර කර ඉන්න තැනක් තියනවා.
      //Ser Bura, නියම ආමන්ත්‍රණය,
      God of Darkness කියන්නේ ගිණි දෙවියාටම නේද? මම හිතාගෙන හිටියේ නම් එහෙමයි. හැබැයි dark god නම් නෙවේ තමා

      Delete
    5. //රජුන්, රැජිනියන්, වංශාධිපතියන්, ද්රෝහියන්, බොරුකාරයන්, අවස්ථාවාදීන් හා අවංක මිනිසුන් // දැන් යකෙකුත් ඉන්නවනේ...:D

      Delete
  19. yeah, R'hllor SUCKS. Lord of Light, the Heart of Fire, the God of Flame and Shadow

    they say shadow is a product of light. there will be no shadow without light. hence the "shadow demons" are creatures of light.

    ReplyDelete
  20. කතාව නම් දාපු පලවෙනිදම කියෙව්වා.. හැබැයි මම මට පොඩි වාරණයක් පනවලා ෆෝන් එක මාරු කළා.. මීට පස්සේ අගෝස්තු පහු වෙනකල් කතා ටික කියවන්නම් හැබැයි කමෙන්ට් නම් ෂුවර් නෑ.. දැම්මත් ඉංග්‍රීසියෙන් තමා.. පොඩ්ඩි අක්කයි බුරතීනෝ තුමයි තරහා නොවෙයි කියල හිතනවා.. අගෝස්තු වලින් පස්සේ ආපහු නෝමල් ස්පීඩ් දුවන්න පුළුවන්.. එතකල් සති 6ක් මෙහෙම තමා...
    එහෙනම් දෙන්නට ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. කමක් නෑ අඟහරුවෝ.....හැබැයි ඉංග්‍රීසියෙන්වත් දාමු නේ? :)

      Delete