Monday, 18 August 2014

එඩාර්ඩ් - 02-1


අරුණෝදයටත් පෙරාතුව රජතුමා ගේ කැඳවීම ලැබෙද්දී නෙඩ් පසු වූයේ සුව නින්දේ ය.

ඇලන් විසින් අවදි කරන්නට ‍යෙදුනු නෙඩ් අන්දමන්දව දෑස් පිසදා වටපිට බැලී ය. ඒ වනවිටත් ඔහු ගේ අසුට සෑදල පළඳා තිබුනු අතර රජතුමා අසු පිට නැග ඔහු එනතෙක් පොරොත්තු වෙමින් සිටියේ ය. දුඹුරු පැහැ ඝනකම් අත්වැසුම් හා බර ලොම් කබායකින් සැරසී සිටි රොබර්ට් දිස් වූයේ හරියටම අසු පිට සිටිනා වළසෙකු පරිද්දෙනි. "නැගිටහං ස්ටාර්ක්!" ඔහු ගෙරවී ය. "නැගිටහං, නැගිටහං. අපට රාජ්‍යයේ වැඩ කටයුතු ගැන සාකච්ඡා කරන්ට තියෙනවා."

"මම මුළුමනින්ම ඔබෙයි මගේ ස්වාමිනී. ඇතුළට යහපත් වෙන්ට." නෙඩ් කීය. ඇලන් රජතුමා වෙනුවෙන් කූඩාරමේ දොර පත්ත එසවී ය.

"නෑ නෑ නෑ. මේ කඳවුර ඇතුළෙ කී දෙනෙක් අපට කණ් දීගෙන ඉන්නවද? අනිත් එක මට උවමනායි ටිකක් එළියට ගිහිල්ලා රටතොට පොඩ්ඩක් බලන්ට." රජුට පිටුපසින් සෙර් බොරෝස් හා සෙර් මෙරින් තවත් සෙබළුන් දුසිමක් සමග බලා සිටින අයුරු නෙඩ් දුටුවේ ය. ඉදින් සිය දෑසේ නිදිමත පිසදා හැර, හැඳ පැළඳ අසු පිට නැගීම හැර වෙනත් විකල්පයක් නෙඩ්ට නොවී ය.

රොබර්ට් සිය දැවැන්ත යුධ අශ්වයා පිම්මේ ඉදිරියට පැන්නවු අතර නෙඩ් ඔහුට සමපාත වීමට උත්සාහ කරමින් ඔහු පසෙකින් අසු ‍මෙහෙයවී ය. වරක් නෙඩ් රජුගෙන් යමක් විමසූ මුත් සුළඟ නිසා රොබර්ට්ට එය නෑසින. මඳ වේලාවකින්ම ඔවුහු රජමාවතින් බැහැර වී මීදුමෙන් පිරුනු තැනිතලා බිම් හරහා සිය අසුන් මෙහෙයවමින් සිටියහ. ඒ වනවිට ආරක්ෂකයින් ඔවුන්ගෙන් සෑහෙන තරම් දුරස් වී තිබුනු මුත් රොබර්ට් අසු නැවතීමට උත්සාහයක් නොදැරුවේ ය.

අරුණෝදය උදාවෙද්දී ඔවුන් කුඩා කඳු වැටියක් තරණය කරමින් සිටි අතර අන්තිමේදී රොබර්ට් සිය අසු නැවැත්වී ය. මේ වනවිට ඔවුහු ප්‍රධාන කඳවුරෙන් සැතපුම් ගනනාවක් දුරස් වී සිටිය හ. "දෙයියම්පා! ‍නියම මිනිහෙක් වගේ මෙහෙම අශ්වයෙක් පිටේ නැගලා යන එක කොච්චර ප්‍රබෝධමත්ද." රොබර්ට් සිනාසුනේ ය. "ඇත්තමයි නෙඩ්, පාර දිගේ අර කරත්තෙන් බඩ ගාන එකම ඇති මිනිහෙක්ව පිස්සු වට්ටන්ට." රොබර්ට් බරතියන් යනු කිසි දිනෙකත් ඉවසිලිවන්ත මිනිසකු නොවී ය. "අර බඩකඩුත්තුව  පාර දිගේ කෙඳිරි ගගා යනකොට, කන්දක් නගිනවා වගේ පුංචි ගලක් උඩින් යනකොට මට මාරයා නගිනවා... ඕක තව එක පාරක් කැඩුනොත් සහතිකයි මම ඕකට ගිනි තියනවා! සෙර්සිට බැරිය පයින් යන්ට."

නෙඩ් සිනාසුනේ ය. "මම බොහොම සන්තෝසෙන් පන්දමක් අවුළුවලා දෙන්නම්."

"හොඳ හාදයා." රජතුමා ඔහු ගේ දසරුවට අතින් ගැසී ය. "මට හිතෙනවා උං ඔක්කෝම ටික මෙතන දාලා මෙහෙම්මම ඉස්සරහට යන්ට."

"මට හොඳ විශ්වාසයි ඔබ ඒක කිවුවෙ ඇත්තටමයි කියලා."

"අනිවාර්යයෙන්ම. මොකද කියන්නෙ නෙඩ්? උඹයි මායි විතරක් යමුද? රජමාවතේ දඩාවතේ යන රස්තියාදුකාර නයිට්වරු දෙන්නෙක්. අපි දෙන්නට මේ කඩු දෙක තියෙනවා. අපට ඉස්සරහට මොනවා හම්බවෙයිද කියලා දෙයි‍යො දනී. අපට රෑට ඇඳට ගන්ට ඔය ගමරාළ කෙනෙක්ගෙ දුවක් හරි තැබෑරුමක කෙල්ලෙක් හරි හොයාගන්ට බැරිය."

"එහෙම පුළුවන්නම් කොච්චර හොඳද. ඒ වුනත් අපට දැන් වගකීම් තියෙනවා මගේ ස්වාමිනී... රාජධානියට, අපේ දරුවන්ට, මට ම‍ගේ ආර්යාව වෙනුවෙන්, ඔබතුමාට රැජිණ වෙනුවෙන්. අපි දැන් ඉස්සර හිටපු පුංචි කොල්ලො නෙවෙයි."

"උඹ ඒ කාලෙත් පුංචි කොල්ලෙක් නෙවෙයි නෙ. ඒක තමා කණගාටුවට කාරනය. ඒ වුනත් මට මතකයි එක පාරක්... මොකක්ද ඒකිගෙ නම? උඹේ අර කෙල්ලගෙ නම? ‍බෙක්කා? නෑ නෑ, ඒකි මගේ කෙල්ලන්ගෙන් එකියක්. ඒකිට දෙයියන්ගෙම පිහිටයි. කළු කොණ්ඩෙයි, ලොකු ලස්සන ඇසුයි. උඹට ඒ ඇස්වල කිමිදෙන්ට පුළුවන්. උඹේ කෙල්ලගෙ නම... ඇලීනා? නෑ, උඹ මට එක පාරක් කිවුවා මතකයි. මෙරිල් ද? උඹ දන්නවනෙ මම මේ කා ගැනද කතා කරන්නෙ කියලා? උඹේ අර අවජාතකයගෙ අම්මා...

"එයාගෙ නම විල්ලා." නෙඩ් ආචාරශීලී අයුරින් පිළිතුරු දුනි. "ඒත් මම ඒ ගැන කතා කරන්ට කැමැති නෑ."

"අන්න හරි, විල්ලා. ඒකි හරිම ලස්සන කෙල්ලක් වෙන්ට ඕන. නැත්තං ඉතිං එඩාර්ඩ් ස්ටාර්ක් උතුමානන්ට එයාගෙ උදාරභාවයයි, පතිව්‍රතාවයි අමතකවෙයියැ. උඹ මට කවදාවත් කියලා නෑ ඒකි කොයි වගේ කෙල්ලක්ද කියලා..."

කේන්තිය නිසා නෙඩ් ගේ දෙතොල් තද විය. "මම ඒ ගැන කියන්නෙත් නෑ. ඔබේ හිතේ මං ගැන තියෙනවයි කිවුව ආදරේ ඇත්තනම් ඕක අමතක කරලා දාන්ට රොබර්ට්. මම මගේ ගෞරවය නැති කරගත්තා, මම කැට්ලින් ගේ ගෞරවයත් නැති කලා."

"දෙයියම්පා! උඹ කැට්ලින්ව යාන්තං අඳුරගත්තා විතරයි."

"එයා මගේ බිරිඳ වෙලයි තිබුනෙ. එයා මගේ දරුවා කුසේ දරාගෙනයි හිටියෙ."

"උඹ නොසෑහෙන්ට උඹටම වද දීගන්නවා නෙඩ්. උඹ හැමදාමත් එහෙමයි. යකාටම පලයං!" ඔහු සිය දණහිසට අතුල් පහරක් දුන්නේ ය. "ඒත්, උඹ ඒ ගැන ඔච්චර තදට හිතනවානම් මම ඒ ගැන තවත් හාරාවුස්සන්නෙ නෑ."

අරුණෝදයේ මීදුම අතරින් උදා හිරු කිරණ ගලා එන්නට වූ අතර ඔවුන් ඉදිරියේ මුඩු, දුඹුරු පැහැ විසල් තැනිතලා බිමක් විද්‍යමාන විය. එහි සමතල බව තැනින් තැන බිඳී ගොස් තිබුනේ පහත් කඳු හා ගොඩැලි වලිනි. නෙඩ් එදෙසට අත දිගු කලේ ය. "අර තියෙන්නෙ මුල් මිනිස්සුන් ගේ සොහොන් ගොඩැලි."

රොබර්ට් දෙබැම ඇකිළුවේ ය. "අපි මේ සොහොන් පිට්ටනියකටද ඇවිල්ලා තියෙන්නෙ?"

"උතුරුකරේ හැම තැනම මෙහෙම සොහොන් ගොඩැලි තියෙනවා මගේ ස්වාමිනී. මේක බොහොම පුරාණ භූමියක්."

"ඒ වගේම සීතල භූමියක්." රොබර්ට් කී‍වේ සිය ගත දැවටූ සළුව තව තවත් තද කර ගනිමිනි. "හරි, මම උඹව මෙතනට එක්කන් ආවෙ සො‍හොන් පිට්ටනි ගැන කතා කරන්ටවත්, උඹේ අවජාතකයා ගැන හාරාවුස්සන්ටවත් නෙවෙයි. ඊයෙ රෑ අශ්වාරෝහකයෙක් ආවා. කින්ග්ස් ලෑන්ඩින්වල ඉඳලා වාරිස් උතුමානන්ගෙන් පණිවුඩයක් අරන්. මෙන්න." ඉණ බැඳි පටි‍යෙන් කොළයක් ඇද ගත් රජතුමා එය නෙඩ් දෙසට දිගු කලේ ය.

වාරිස් නම් පණ්ඩකයා රජු ගේ ඔත්තුකරුවන් ගේ නායකයා විය. කලෙකදී ඒරීස් ටාර්ගේරියන්ට සේවය කල අයුරින්ම දැන් ඔහු රොබර්ට්ට සේවය කරයි. නෙඩ් චකිතයකින් ‍මෙන් කඩදාසිය දිග හැරියේ ලයිසා හා ඇගේ සැකය ගැන යම් කිසිවක් එහි ලියැවී ඇත්දැයි සිතමිනි. එනමුදු එහි ඒරින් ආර්යාව ගැන කිසිදු සඳහනක් නොවී ය. "කොහෙන්ද මේ තොරතුරු ලැබුනෙ?"

"උඹට මතකද සෙර් ජෝරා මෝර්මන්ට්?"

"මට ඌව කවදාවත් අමතක වෙන්නෙ නෑ." නෙඩ් නොසැලකිල්ලෙන් කීවේ ය. වලස් දූපතේ මෝර්මන්ට්වරුන් වනාහී ගෞරවනීය මෙන්ම මාන්නක්කාර පුරාණ වංශවත් පෙළපතක් විය. එහෙත් ඔවුන් සතු භූමිය සීතලින් පිරි, දුරස්ථ එමෙන්ම වැඩි ආදායමක් ගෙන දුන්නක් නොවී ය. සිය පවුලේ ආදායම වැඩි කර ගැනීමට සිතූ සෙර් ජෝරා හොර දඩයක්කරුවන් පිරිසකට නිසි අයුරින් දඬුවම් පැමිනවීම වෙනුවට ඔවුන්ව ටයිරෝෂි වහල් වෙළෙඳුන්ට විකුණන ලදී. මෝර්මන්ට්වරුන් යනු ස්ටාර්ක් ධජ දරන්නන් වූ නිසා මේ ‍නොමනා ක්‍රියාව මගින් ඔවුන් මුළු උතුරම අපකීර්තියට ලක් කර තිබින. ඔහු‍ට දඬුවම් කිරීම පිනිස නෙඩ් දුරුකතර ගෙවා වලස් දූපතට ගියමුත් ඒ වන විටත් සෙර් ජෝරා රජු ගේ නීතියෙන් මිදී නැවු නැග පලා ගොස් තිබින. ඒ මීට වසර පහකට පෙරයි.

"සෙර් ජෝරා දැන් ඉන්නෙ පෙන්ටොස් වල. මිනිහා බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නෙ රාජකීය සමාවක් ලබලා පිටුවහලෙන් මිදිලා ආයෙමත් මෙහාට එන්ට." රොබර්ට් පැහැදිලි කලේ ය. "වාරිස් උතුමානන් මිනිහව හොඳට පාවිච්චි කරනවා."

"හා හා හා. ඒ කියන්නෙ වහල් වෙළෙන්දා දැන් ඔත්තුකාරයෙක් වෙලා." නෙඩ් අප්‍රිය ස්වරයෙන් කීවේ ය. ඔහු ලිපිය නැවත රජතුමා දෙසට දිගු කලේ ය. "මම වැඩිය කැමැතියි මිනිහා මළකඳක් වෙනවනං."

"වාරිස්නං කියන්නෙ මළකඳන්වලට වඩා ඔත්තුකාරයො ප්‍රයෝජනවත් කියලයි. හරි, ජෝරාව පැත්තකට දාපංකො. උඹ ‍මොකක්ද මේ ලියුමෙන් තේරුම් ගන්නෙ?"

"ඩනේරිස් ටාර්ගේරියන් ඩොත්රැකි නායකයෙක්ව කසාද බැඳලා. මොකක්ද ඒකෙන් අපට ඇති වැඩේ? අපි එයාට තෑග්ගක් යවන්ට ඕනද?"

රජතුමා රවා බැලී ය. "පිහියක් යැවුවොත් කොහොමද? හොඳ මුවහත් පිහියක්? ඒක පාවිච්චි කරන්ට දන්න හොඳ සාහසික මිනිහෙකුත් යවන්ට ඕන."

ටාර්ගේරියන්වරුන් කෙරෙහි රොබර්ට් තුළ ඇති වෛරය පිස්සුවක් තරමටම උග්‍ර එකක් විය. සිය ස්වාමිභක්තිය ඔප්පු කරනු වස් ටයිවින් ලැනිස්ටර් විසින් රේගාර් කුමරා ගේ බිරිඳ ගේ හා දරුවන් ගේ මළකඳන් රොබර්ට් ‍වෙත පුද කල දා තමා හා රජු අතර ඇති වූ දරුණු වාග් ප්‍රහාරය නෙඩ් ට මතක් විය. එය මනුශ්‍ය ඝාතනයක් ලෙස නෙඩ් විසින් අර්ථ දැක්වූ අතර රොබර්ට් කීවේ යුද්ධය යනු එය බවයි. පුංචි කුමරා හා කුමරිය අත දරුවන් බව නෙඩ් පෙන්වා දුන් විට රජතුමා කීවේ 'මට මෙතන පුංචි දරු‍වො පේන්නෙ නෑ, මට පේන්නෙ මකර බිත්තර විතරයි.' කියා ය. එතැන පැන නැගුනු කුණාටුව සන්සිඳුවීමට ජොන් ඒරින්ටවත් නොහැකි වූ අතර එඩාර්ඩ් ස්ටාර්ක් බලවත් ප්‍රකෝපයෙන් යුතුව එතැනින් පිට වී ගියේ ය. ඔවුන් දෙදෙනා නැවත එකමුතු කරන්නට සමත් වූයේ තවත් මරණයක් - ලියානා ගේ මරණය - වීම දෛවයේ සරදමක් ‍මෙනි.

මේ වතාවේ තම කෝපය සඟවා ගැනීමට නෙඩ් වග බලා ගති. "මගේ ස්වාමිනී, මේ කෙල්ල දරුවෙකුට වඩා යාන්තං පොඩ්ඩක් වැඩිමල්. අහිංසකයො ඝාතනය කරන්ට ඔබ ටයිවින් ලැනිස්ටර් නෙවෙයි." ඔවුන් කියන අන්දමට සෙබළුන් විසින් රේගාර් ගේ පුංචි දූ කුමරිය ඇය සැඟවී සිටි ඇඳ යටින් එළියට අදිද්දී ඇය හඬා වැලපී ඇත. පුංචි කුමරා කිරි බොන අත දරුවකු වුවද මව ගේ ඇකයෙන් ඔහුව උදුරාගත් ටයිවින් උතුමානන් ගේ සෙබළු දෙපයින් අල්ලා බිත්තියක ගැසීමෙන් ඔහු ගේ හිස සුණුවිසුණු කලහ.

"උඹේ මේ පුංචි කෙල්ල තව කොච්චර කාලයක් අහිංසක විදියට ඉඳියි කියලා උඹ හිතනවද? මේ කෙල්ල වැඩි කල් යන්ට කලින් කකුල් දෙක පළල් කරලා මකර බිත්තර බෝ කරන්ට පටන් ගනියි. එතකොට මොකද වෙන්නෙ?"

"ඒ කොහොමවුනත්, ළමයි මරනවා කියන්නෙ මහ නීච, අධම වැඩක්."

"අධම වැඩක්?" රජතුමා ගෙරෙවුවේ ය. "ඒරිස් උඹේ සහෝදරයා බ්‍රැන්ඩන්ට කරපු දේ අධම වැඩක්. උඹේ තාත්තව මරපු විදිය, අන්න ඒක අධම වැඩක්. එතකොට රේගාර්... උඹ හිතන්නෙ ඒ පරයා උඹේ නංගිව කී පාරක් දූෂණය කරන්ට ඇති කියලද?" ඔහු ගේ කටහඬ කෙතරම් බිහිසුණු වී ද යත් බියට පත් අශ්වයා හේශාරවය කරන්නට විය. "මගෙ අතට අහුවෙන හැම ටාර්ගේරියන් කෙනෙක්වම මම මරනවා. උංගෙ මකරු වගේ උනුත් මේ ලෝකෙන් වඳ වෙලා යනකං මම උංව මරනවා. ඊට පස්සෙ උංගෙ මිනී වලට කෙල ගහනවා."

ඔහු ගේ ක්‍රෝධය අධික වූ මෙවැනි අවස්ථාවන්හිදී ඔහු සමග වාද කිරීමෙන් පලක් නොවන බව නෙඩ් අත්දැකීමෙන්ම දැන සිටියේ ය. මෙතරම් වසර ගණනකට වුවත් රොබර්ට්ගේ පලිගැනීමේ පිපාසය සන්සිඳවීමට නොහැකි විනි නම් ඔහු ගේ වදන් වලින් එය කෙසේ කරන්ටද?


Robert Baratheon: “What did any Targaryen ever know of honor?”

70 comments:

  1. PoM සඳහා 1 තැන වෙන් කර ඇත.

    ReplyDelete
    Replies
    1. පක්ෂීන්, කැනහිලුන් හා ගෝඩාකාරයන්ගේ සේවයට අප කැපවී සිටී
      (වෙන මොනවත් කලොත් උල තියන නිසා)

      Delete
    2. හහ්, කියන්නෙ නං මට උලත් එකයි පිලත් එකයි කියල තමා :)

      Delete
    3. 1 වෙන් කරේලා තිබිලා වැඩක් නෑ එක වෙන්ටත් එපැයි...:P

      Delete
    4. had a little hazmat malfunction :(

      Delete
  2. හ්ම්...


    හැමදාම හැම තැනම..
    සැකය විතරයි
    ඉතුරුව...
    මරණය
    සුස්මනව දැනෙන කොට
    පළායෙමි මම...
    නුඹෙන් දුරකට...
    නොයෙනු පිණිස..
    සැකයේ
    සෙවණැල්ල මා වෙත...

    ReplyDelete
    Replies
    1. // හැමදාම හැමතැනම
      සැකය විතරයි//


      එය සත්‍යයක් ......

      Delete
    2. ලෝකය වෙනස් වුවද මිනිසා වෙනස් වී නොමැත.

      Delete
  3. ජොන්ගෙ අම්ම විල්ල කියල කෙනෙක්ද එතකොට... කොහෙද මේ නෙඩ් කාරය ඒක ගැන කතා කරන්න කැමතිම නෑ නෙ.
    පොතේ ඔක්කොම chapters මේ විදිහට පුද්ගල නාම වලින්ද තියෙන්නෙ Ser Bur?

    ReplyDelete
    Replies
    1. Wylla = Why-luh නෙමෙයිද?

      (@ශ්‍රීමත් බුර්, නොදන්නාකමට ඇසූ දේ පැහැදිලි කරන්නේ නම් කුරුතග්න වන නමුත් කුමන හේතුවක් නිසාවත් පෝස්ට් වල නාමයන් මේ ඇසූ දෙ නිසා වෙනස්කර තාම ගුප්ත සත්වවිද්යාවේ ඉන්න සතෙක් වඳකිරීමේ පාප කර්මයට දායක නොවන්න. කාවහරි අල්ලගන්න ඕනැමනම් ඔය වෙන සත්ව pestල ඉන්නෙ )

      Delete
    2. "විලා" නේද PoM? Thanks.

      ( @To whom it may concern, මං නෙමෙයි කිව්වෙ Duke of Distillation, හරිය?)


      Delete
    3. @ RanVan,

      පො‍තේ ඉන්නවා PoV (Point of View) Characters කියලා කට්ටියක්. එයාලගෙ දෘෂ්ටි කෝණයෙන් තමා ඒ ඒ chapter එක යන්නෙ. එඩාර්ඩ්, බ්‍රැන්, කැට්ලින්, ඩනේරිස්, ජොන්, ටිරියන්, සන්සා, ආර්යා මේ ව‍ගේ PoV characters තමා‍.

      @ අනිත් ළමයි,

      මම හැමදාම කියනවා ඔය ළමයින්ට නම් උච්චාරණය ගැන මාර්ටින් ලොක්කවත් ඔච්චර වදවෙන්නෙ නෑ කියලා. :-P

      Delete
    4. ඒක නෙව , මං බොලා දෙන්නට කොච්ච්ගර නං කියල තියනවද, අපේ සේර් බුරා නමක් දැම්ම්මොත් ආයෙ හගිස්වන්ට දෙයක් නෑ කියලා.

      දැන් බලාන්ට , උන්දෑ ඔය නම " විල්ල" කියල දැම්මෙ ඇයි?

      ඇයි හත්වලාමෙ, නැහ්නං අර අභිමානවත්, උදාර, වංශවත් නෙඩ් උතුමාණන් පතිවුරතාවෙක් කඩාගෙන , " විල්ල"ට එතුමාගෙ.....නෑ එක්කො ඕනැන්නෙ නෑ. නිකං මං මොකටෑ ඔව්ව කියන්න ගිහිල්ලා මයෙ බූල් කෝට් එක සවුත්තු කර ගන්නෙ?

      Delete
    5. ප්‍රා හිටපු ගමන් කුමාරයෙක්ව පහලට ඇද දාලා තියෙන හැටි...:D

      Delete
    6. විල්ල
      මේ මොටාටත් එන අයිඩියාස් ඈ :P

      මුගේ කෝට් එක ඉතුරු වෙලා තියෙනවද තාම?

      Delete
    7. නරි මොටත් හැමවෙලාවෙම බලන්නෙ කාටද පාරක් ගහන්නෙ කියලනේ...

      Delete
  4. බාලචන්ද්‍රන් මතක් වුන අය අත උස්සන්න

    .....හා හා ඊළග

    ReplyDelete
    Replies
    1. ඒ කවුද ඒ? අපට එහෙම කෙනෙක් මතක නෑ නෙ. (අපට ඕනෑම දෙයක් මතක තියෙන්නෙ සති දෙකයි) :-D

      Delete
    2. මට නම් ඊයේ අහපු දේ අද වෙනකොට මතක නෑ...:D

      Delete
    3. hmmmmm an ATYPICAL Lady :P
      mostly they remember alll, like Robin Hood

      Delete
    4. //mostly they remember alll, like Robin Hood //
      මේක නම් හබී ත් නිතරම කියන දෙයක්... :D
      මේකයි හඳ එළි කුමරුනි, අපිට ඉතින් ඔය හබීලා BF ලා කියන දේවල් විතරයි එහෙම දෙබස් පිටින් ගලේ කෙටුව වගේ මතක හිටින්නේ !! (එයාලට නම් මතක ඉතින් එක්දාස් නවසිය අනු එකේ ඉන්දියාවයි ලංකාවයි ගැහුව ටෙස්ට් මැච් එකක අරවින්ද කීයක් ගැහුවද වගේ මෙලෝ වැඩකට නැති දේවල් නේ ) :P

      Delete
    5. ඔව් ඔව්
      හම් තුම් එකේද කොහෙද සින්දුවකත් තියනවා ඔය ladiesල ට මතක තියන දේවල් ගැන . :P

      ඒ මැච් එකේ අරා 44ක් ගැහුවා, හැබැයි ලංකාව 137කින් පැරදුනා :P

      Delete
    6. @niRo,

      අනූ එකේ ඉන්දියාවයි ලංකාවයි ටෙස්ට් මැච් එකක් ගැහුවෙ නෑ.. හූ හූ!

      මේ ඒක ‍නෙවෙයි. දැන් ඔයාට හබී කියන ඒවයි BF කියන ඒවයි පැටලිලා වැඩේ අඤ්ඤකොරොස් වෙන්නෙ එහෙම නැද්ද? :-P

      Delete
  5. රජවරු කොහෙත් එක වගේනේ ගොඩක් වෙලාවට මහා දරුණු ඒකාධිපතියෝ.

    ReplyDelete
    Replies
    1. බලය ඇතිවුන් බලය රැකගැනීම සඳහා වෙ‍හෙසෙති.

      Delete
  6. @ දිමුත් මධුසංක,

    සමාවෙන්ට! ඔයාගෙ කමෙන්ට් එක මකන්ට සිද්ධවුනා ඒකෙ පොඩි spoiler ගතියක් තිබුන නිසා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් , මා වැනි යටත්වැසියන්ට පමණක් නොව බුරතීනෝත්තමයන්ටද මරණ බිය දැනේ

      Delete
    2. අහා, බලන්න පිංවතුනි "අයෙ හෙම ඉස්පොයිලර දාලා තිබ්බොත් ‍තෝව මකෝනව" කියන එක සෞමය ලෙස ලියා ඇති අපූරුව.

      දැං කඩයිම් පුරස්නෙ , ගන්නවද?

      ( ගන්නවද නෙමෙයි , අහල නාගන්නද? කියන එකයි හරි)
      . අපි දන්නව නෙව මාටියා, උපන්ගෙයි වලා. ඕන කුනුහබ්බයක් කටේ දිවේ නොගෑවෙන්න කෙලල අරින එකා.

      මාටියටයි, උන්දැ ඉන්න පරිසරයටයි, ඔව්වා සාමානය දේ වුනාට. එව්වා අමුවෙන්ම පරිවර්තනය වෙලා එනකොට මට නං නිකං හංකිචි ගතියක් දැනෙනවා. බැරිද පොඩ්ඩක් ඇල්මරලා,ව්‍යංගයෙන් වගේ දෙන්න.

      අදහසක් පමණයි. ක්‍රියාත්මක කිරීමේ අපහසුතා ගැන නොදනිමි

      Delete
    3. ඔය කියන්නෙ අර පහුගිය කොටස ව‍‍ගේ එවුවද? එවුවා ඇල් මරන්ට ගෙහුං මෙවුං ටික මැරෙන්ට තියා ගනී. පේන් නැද්ද, ඉල්ලන්නෙම XXX. :-)

      Delete
    4. @නරි මොටා,

      අපේ ව්‍යංග වැඩ නෑලු. :P

      Delete
    5. ව්‍යංගයෙන් නම් එපා "ලු" :P

      Delete
    6. නරි මොටානෝ ඉන්න පරිසරය මොකක්ද? ඔයතරම් ලඳ බොලඳ?

      Delete
    7. ලෝකයා කයි-කතන්දර කියනව වුනාට මං බෝම ලැජ්ජා බයට හැදුනු සතා, ආයිබෝං. වැදගත් පවුලක නැහැදිච්ච නරියෙක්. අපි සිඟාල වංසෙ. ඉන්නෙ කැලෑවෙ. හප්පා, රූස්ස කැලෑව. මෙහෙ ගස් ගෝන්නු ,ගල් ඉබ්බො, පොලොස් කොට්ටොරුවො එහෙමත් ඉන්නවා

      Delete
    8. ඉතින් කැලෑවේ හැමෝම කතා කොරන්නේ වියන්ගයෙන්ද ? :O

      Delete
    9. ඔවු හැමෝම කතා කරන්නෙ "පැටියෝ! එරියා නනවා, වහෙන් ඔරෝ" විදියටලු.. ;-)

      Delete
    10. ගම හාමිනේ නං කියන්නෙ මෙහෙමෙයි:
      "එරිය නනෝ.හා, හා , ගෙකිලි කිට"
      හපෝයි මයෙ යසට තිබ්බ බූල් කෝට් එක. එබුව නේද ආයෙ මඩේ :)

      Delete
    11. මට මැවිලා පේනවා වගේ මූ එනකොට කිකිලියෝ දුවන හැටි

      Delete
  7. කොල්ලකාරයොත් ගොඩවදිනවද දැන් මෙතැන්ට

    ReplyDelete
  8. අපරාදේ ජෝන්ගේ අම්මා ගැන තොරතුරක් දැන ගන්න ඇවිල්ලත් ඒක මිස් උනානේ..

    දැන් එතකොට එදා නවත්තපු එකේ හොදම ටික නෑනේ... හලි අප්සට් අෆ්ෆ..

    ReplyDelete
    Replies
    1. ඒ ටිකට කොටු කොටු දැම්මා. :-D

      Delete
    2. අනේ දිනේශ් පව් අප්පා...හී හී...

      Delete
    3. කොටු දැමීම පිලිබඳ අපගේ බලවත් විරෝධය.

      Delete
    4. අම්මපා, පවු කියලා හිනාවෙන කෙනෙක් මේ දැක්කමයි.. :P

      Delete
  9. රජවරුන්ට නම් සැනසිල්ලක් ඇත්තෙම නැහැ නේද ?

    දැන් අර ඩනේරිස්ල කතාවෙ ඉතුරු ටික බලන්න හිටි අය පව් නේ :)

    ReplyDelete
    Replies
    1. එකනේ සොන්යා ඔයා තේරුම් ගත්ත දේ මෙයාල තේරුම් අරන් නැහැනේ...:P

      Delete
    2. ඩනේරිස්ගෙ කතාවෙ ඉතුරු ටික තව පස්සෙ එනවලු. ;-)

      Delete

    3. මටත් නම් මේ පිරිමි ලමයින්ට දුකේ බෑ අප්පා...:P

      Delete
  10. වෛරය කියන්නේ ඇසිඩ් වගේ කියලා කියනවනේ...

    ReplyDelete
    Replies
    1. අයුක්තියට ඉඩ නැතේ...
      යුක්තිය ලොව රජ වෙතේ...
      වෛරෙන් වෛරය නොවේ...
      මෛත්‍රියෙන් ජය ලැබේ...

      Delete
    2. හා හා ඔයත් එහෙනම් මෛත්‍රී කලාම ලැබෙන බලය ගැන දන්නවනේ :)

      Delete
    3. මම නෙවෙයි ඔහොම කිවුවෙ.. 'ලා තණකොළපෙත්තාස්' ගෲප් එක.. :-P

      Delete
  11. මකර බිත්තරත් තියෙනවද බුරා,ඒවා කුකුල් බිත්තර වගේද නැත්නං ඊට ලොකුද?

    ReplyDelete
    Replies
    1. මකර බිත්තර නිකං කිඹුල් බිත්තර වගෙයි හැලපෙ. ඔම්ලට් දාන්ට එහෙම මරු...

      Delete
    2. ඔය බූරාගේ බොරු කතා හැලපේ. ඒවා කුකුල්/කිකිළි බිත්තර වලට වඩා ගොඩාආආක් ලොකුලු. ඔම්ලට් හදන්ට බෑ. කට්ට මාර හය්යලු. :D

      Delete
    3. මටත් මකර ඔම්ලට් එකක් ඕනේ :D

      Delete
  12. රාජධානි සප්තකයේ රජතුමාත් වද වෙන එකේ මේ ලෝකෙ මිනිස්සු ජොන්ගෙ අම්ම ගැන වද වෙන එකත් පුදුම නෑ බලං යනකොට

    ReplyDelete
    Replies
    1. මොනාද ලතා මේ කතා කිවුවලු.. :-)

      Delete
  13. මහේල ජයවර්ධනගේ චූටි දුවගේ නම සන්සා නේද ? :O :D :D

    must be a big fan, good for u මයියා.

    ReplyDelete
    Replies
    1. මට නම් ලස්සණ 'ආර්යා' කියන නම...:D

      Delete
    2. පොඩි කෙස් එකක් තියනවනේ :D

      Delete
    3. සන්සයි ආර්යයි දෙකමලු

      Delete
  14. ඇද ටිකක් කෙටි වැඩියි වගේ. මීට වඩා දිගට ලිව්වට කමක් නැහැ. කලින් වෙන්කරගෙනද තියෙන්නේ කොටස් වලට?

    ReplyDelete
    Replies
    1. කොටසක දිග තීරණය වෙන්නේ පොතේ පරිච්ඡේදයේ දිග අනුවයි විචාරක. මේ පරිච්ඡේදය දෙකට කඩලයි තියෙන්නෙ.

      Delete