මැසි රංචුවක් සෙමින් සෙමින් ඛාල් ඩ්‍රෝගෝ වටා කරකැවෙන්නට වූ අතර උන්ගේ පියාපත් ගැටීමෙන් නැගුනු, කණට ඇසෙන නෑසෙන තරම් වූ පහත් ගුමුගුමු හඬ ඩැනීගේ සිත භීතියෙන් පුරවාලන්නට සමත් විය.
හිරු අහසේ ඉහළ නැග තිබුනු අතර කිසිදු ක්ෂමාවකින් තොරව ඔවුන් සැම සිය තාපයෙන් පෙළමින් හුන්නේය. අවට වූ මිටි කඳුගැට පුරා විසිර පැවති ගල් පර්වත වලින් පරාවර්තනය වෙමින් ආ තාප තරංග ඉසිලිය නොහැකි තරම් විය. ඩැනීගේ ඉදිමුනු පයෝධර යුග්මය අතරින් සිහින් දිහදහරාවක් මෙන් දහදිය ගලන්නට වූයේය. ඇසුනු එකම ශබ්දය වූයේ ඔවුන්ගේ අසුන්ගේ කුරගැටෙන ඒකාකාරී හඬත්, ඩ්‍රෝගෝගේ කෙහෙරැල්ලේ ගවසා තිබුනු සීනු නද දෙන හඬත්, ඔවුන්ට පිටුපසින් ඈතින් ඇසෙන මිනිසුන් කතාකරන හඬත් පමණි.
ඩැනී නැවත වරක් මැස්සන් දෙස බැලුවාය.
ඔවුන් මීමැස්සන් තරම් විසල් වූ අතර දම් පැහැයෙන් දිදුලන්නට විය. ඩොත්රැකියන් මොවුන්ව හැඳින්වූයේ 'ලේමැස්සන්' යනුවෙනි. මොවුන් මඩවගුරුවල හා ගඳගසන පල්දියෙන් පිරි දියකඩිතිවල දිවිගෙවූ අතර මිනිසුන්ගෙන් මෙන්ම අසුන්ගෙන් ද එකසේ රුධිරය උරා බීහ. එමෙන්ම මළකඳන්වල හා මියයන්නට ආසන්න වූවන්ගේ සිරුරවල සිය බිත්තර දැමූහ. ඩ්‍රෝගෝ සෑමවිටම මේ මැස්සන්ට වෛර කලේය. මැස්සකු ඔහු වෙත ළඟා වූ සෑම විටෙකම පහරදෙන සර්පයෙකු මෙන් සැනින් ඉදිරියට විහිදෙන ඔහුගේ හස්තය මැස්සාව ග්‍රහණය කොට ගන්නේය. ඔහුට කිසිදා මේ පහර වරදිනු ඇය දැක නොතිබුනි. සිය අත මිටි කරගෙන මොහොතක් වේලා මැස්සාගේ වියරු ගුමුගුමු හඬ අසමින් සිටින ඔහු ඊළඟ මොහොතේ කෙමෙන් ඇඟිලි තද කරන්නේය. ඔහු නැවත සිය අත්ල විදහූ විට මැස්සා ඔහුගේ අත්ලේ ඇලවුනු රත් පැහැ තලපයක් පමණි.
දැන් මේ මොහොතේ එක් මැස්සෙක් ඔහුගේ අසුගේ තට්ටම් මත වසන්නට තැත් කරමින් වටයට කරකැවෙන්නට වූ අතර අශ්වයා කේන්තියෙන් මෙන් වල්ගය වනමින් ඌ පලවා හරින්නට තැත්කලේය. අනිත් මැස්සන් සියල්ලෝම ඩ්‍රෝගෝ වටා කරකැවෙමින් කෙමෙන් කෙමෙන් ඔහුට ලංවන්නට වූහ. එනමුදු ඛාල්ගෙන් කිසිදු ප්‍රතික්‍රියාවක් නොදැක්වින. ඔහුගේ දෑස් ඈතින් වූ දුඹුරු පැහැ කඳුවැටිය දෙසට එල්ල වී තිබුනු අතර දෑත් මත තෝන්ලණුව ලිහිල් ලෙස රැඳි තිබුනි. ඔහු හැඳ සිටි වර්ණවත් කමිසයට යටින් ෆිග් පත්‍ර හා වියළි නිල් මඩවලින් කල තලපයකින් සෑදු වෙළුම්පටියකින් පපුවේ වූ තුවාලය ආවරණය කොට තිබුනි. ඩොත්රැකි ඔසු ගැහැණුන් විසින් ඔහු වෙනුවෙන් මේ තලපය තනා දී තිබුනි. මිරී මාස් ඩූර්ගේ ඔසු තලපය ඔහුගේ සම දවන්නටත්, කැසිල්ල ඇති කරවන්නටත් සමත් වී තිබුනු අතර ඇයට යක්දෙස්සියකැයි පරිභව කරමින් ඔහු විසින් මීට දින සයකට පෙර ඒ වෙළුම්පටි ගලවා විසිකර දමා තිබුනි. මඩ තලපය වඩා සුවදායක වූ අතර ඔසු ගැහැණුන් විසින් ඔහු වෙනුවෙන් පොපි වයින්ද පිළියෙල කොට තිබුනි. පසුගිය දින තුන පුරාවටම ඔහු දැඩි ලෙස මෙම පොපි වයින් පානය කරන්නට පුරුදුව සිටියේය. මේ පොපි වයින් පානය නොකරන වේලාවට ඔහු වෙළඹ කිරෙන් සැදූ මධ්‍යසාරය හෝ පෙපර්බියර් හෝ පානය කරමින් හුන්නේය.
එනමුදු ඔහු සිය කෑමවලට යාන්තමින් අත ගැසුවා පමණි. එමෙන්ම ඔහු මුලු රාත්‍රිය පුරාවටම වේදනාවෙන් කෙඳිරිගාමින් ඇඹරෙන්නට විය. ඔහුගේ මුහුණ කෙතරම් ඇදී ගොස් ඇත්දැයි ඩැනීට හොඳින් නිරීක්ෂණය කලහැකි විය. ඇගේ කුසේ වූ රේගෝ පවා අතිශයින්ම නොසන්සුන් වී සිටියේය. ඔහු අශ්වයෙකු මෙන් දැඩිව පයින් ගසමින් සිටි නමුදු පෙරදී මෙන් ඩ්‍රෝගෝගේ අවධානය ඇදගන්නට එය සමත් නොවීය. සෑම උදෑසනකම ඔහු සිය නින්දෙන් - සැබෑවටම නම් නොනින්දෙන් - නැගිට සිටි විට ඒ මුහුණේ ඇඳුනු නව වේදනා සටහන් ඇයට දැකගන්නට හැකි විය. එමෙන්ම දැන් ඔහුගේ මේ හදිසි නිශ්චලත්වය ඇයව අන් කිසිවකටත් වඩා බියපත් කරවන්නට සමත් වී තිබුනි. ඔවුන් අද උදෑසන අසුපිට නැගුනු තැන් පටන් ඔහු වදනක්වත් නොදෙඩීය. ඇය ඔහුට කතා කල විට උගුරෙන් කල නොරිස්සුම් හඬක් මිස අන් පිළිතුරක් නොලැබින. අද දිවාකාලයේ සිට මේ ප්‍රතිචාරය පවා නැතිව ගොස් තිබුනි.
එක් ලේමැස්සෙක් ඛාල්ගේ නිරුවත් දසරුව මත වැසුවේය. තවත් එකෙක් කරකැවෙමින් විත් ඔහුගේ ගෙලේ වැසුවේ මුව වෙත ඇවිද යන්නට විය. එනමුදු සිය අසු ඒකාකාරී ගමනින් ඉදිරියට ඇදෙද්දී ඛාල් ඩ්‍රෝගෝ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වමින්, සීනු හඬ නංවමින් අසු මත වැනෙමින් හුන්නේය.
සිය අසුට සන් කල ඩැනී ඔහුට සමීප වූවාය. "මගේ උතුමානනි." ඇය මෘදු ස්වරයෙන් කීවාය. "ඩ්‍රෝගෝ. මගේ ඉරයි තරුයි."
ඔහුට ඇයව ඇසුනු බවක් නොපෙනින. ඔහුගේ දැවැන්ත උඩුරැවුලට යටින් ඇවිද ගිය ලේමැස්සා කම්මුල මත නතර විය. ඩැනී අසීරුවෙන් හුස්මක් ඉහළට ඇදගත්තාය. "ඩ්‍රෝගෝ." ඇය අලස අයුරින් ඔහු දෙසට නැඹුරු වී බාහුව ස්පර්ශ කලාය.
සෑදලය මත වැනුනු ඛාල් ඩ්‍රෝගෝ, යාන්තමින් ඇලවී ගොස් තඩ් හඬ නංවමින් අසුපිටින් බිම ඇද වැටුනේය. මැසි රංචුව මොහොතක් ඉවතට ඉගිල ගියද ඊළඟ මොහොතේ නැවතත් බිම වැටී සිටි ඔහු මත කරකැවෙන්නට වූහ.
"නෑ!" ඩැනී අසු නවතන්නට තෝන්ලණුව අදිමින් කීවාය. එක් මොහොතකට සිය පිරිපුන් උදරය ගැන කිසිදු තැකීමක් නොමැතිව අසු පිටින් රූටා බිමට බට ඇය ඔහු වෙත දිව ගියාය.
ඔහුට යටින් වූ තණකොළ වියළී දුඹුරු පැහැයට හැරී තිබුනි. ඩැනී ඔහු පසෙකින් බිම දණ නමද්දී ඩ්‍රෝගෝ වේදනාවෙන් කෑගැසීය. ඔහුගේ හුස්ම ගොරගොර හඬ නංවමින් උගුරේ පටලැවුනු අතර ඈ දෙස බලා සිටි ඒ දෑස් කිසිදු හඳුනාගැනීමේ ලකුණක් නොපෙන්වීය. "මගේ අශ්වයා." ඔහු අමාරුවෙන් කතා කලේය. ඩැනී ඔහුගේ පපුවේ වසා සිටි මැස්සන් පලවා හරිමින් ඔහු කරන්නාක් මෙන් එක් මැස්සකු පොඩි කරදැමීය. ඇගේ අතැඟිලිවලට යටින් ඔහුගේ සම ගිනිගෙන දැවෙන්නාක් මෙන් ඇයට හැඟින.
ඛාල්ගේ රුධිරාරක්ෂකයින් ඔවුන්ට වහාම පසුපසින් සිය අසුන් මෙහෙයවමින් සිටියෝය. ඔවුන් සිය අසුන් මෙදෙසට පන්නන අතරේ හග්ගෝ කෑගසනු ඇයට ඇසුනි. කොහොල්ලෝ අසුපිටින් බිමට පැන්නේය. "මගේ ලෙයින් උපන් ලෙය." ඩ්‍රෝගෝ පසෙකින් දණ නමන අතරේ ඔහු කීවේය. එනමුදු අනෙක් දෙදෙනා සිය අසුන් මතටම වී උන්හ.
"නෑ." ඛාල් ඩ්‍රෝගෝ වේදනාවෙන් කෙඳිරිගෑවේය. "අපි යන්ට ඕන. යන්ට. නෑ."
"එයා අශ්වයා පිටින් බිම වැටුනා." හග්ගෝ කීවේ අසු පිට සිට බිම බලමිනි. ඔහුගේ පුළුල් මුහුණේ ශාන්ත බවක් දක්නට ලැබුනද ඒ ස්වරය දැඩි විය.
"ඔබ එහෙම කියන එක හොඳ නැහැ." ඩැනී ඔහුට කීවාය. "අද දවසට අපි බොහොම දුර ගියා. අපි මෙතැන කඳවුරු බඳිමු."
"මෙතැන?" හග්ගෝ අවට පිරික්සා බැලීය. භූමිය ශුෂ්ක, දුඹුරු පැහැ, නවාතැන් ගැනීමට කොහෙත්ම නුසුදුසු ස්ථානයක් විය. "මේක කඳවුරු බඳින්ට හොඳ තැනක් නෙවෙයි."
"අපේ ගමන නවත්තන්ට ගැණියෙකුට බැහැ." ක්වෝතෝ කීවේය. "ඛලීසි කෙනෙකුටවත් බැහැ."
"අපි මෙතැන කඳවුරු බඳිනවා." ඇය නැවත කීවාය. "හග්ගෝ, එයාලට කියන්ට ඛාල් ඩ්‍රෝගෝ නවතින්ට අණ දුන්නයි කියලා. කවුරුහරි ඇහුවොත් ඒ ඇයි කියලා එයාලට කියන්ට මට දරුවා ලැබෙන්ට වෙලාව ලංවෙලා නිසා මට තවත් දුර යන්ට බැහැයි කියලා. කොහොල්ලෝ, වහල්ලු එක්කරන් එන්ට. එයාලා හැකි ඉක්මනින් ඛාල්ගෙ කූඩාරම අටවන්ට ඕන. ක්වෝතෝ-"
"ඔබට බැහැ මට අණකරන්ට ඛලීසි." ක්වෝතෝ කීවේය.
"ගිහින් මිරී මාස් ඩූර්ව හොයාගෙන එන්ට." ඇය ඔහුට කීවාය. මේ දේවදාසිය අනිත් වහලුන් සමගින් ඇවිදිනවා වන්නට ඇත. "එයාව මගේ ගාවට අරන් එන්ට. එයාගෙ බෙහෙත් පෙට්ටියත් එක්කම."
ක්වෝතෝ කළුගල් මෙන් දැඩි දෑසින් ඇය දෙස රවා බැලුවාය. "අර යක්දෙස්සි?" ඔහු බිමට කෙල ගැසීය. "ඒක මම කොහෙත්ම කරන්නෙ නැහැ."
"ඔබ ඒක කරන්ටම ඕන. එහෙම නැත්තම්, ඩ්‍රෝගෝ නැගිට්ටහම එයාට දැනගන්ට ඕන වෙයි ඇයි ඔබ මට කීකරු වුනේ නැත්තෙ කියලා."
කෝපාවිෂ්ට ස්වරයෙන් සිය අසු හරවාගත් ක්වෝතෝ කේන්තියෙන් යුතුව පිම්මේ අසු පන්නාගෙන ගියේය. එනමුදු, ඔහු එයට කෙතරම් අකැමැති වුවද ඔහු විසින් මිරී මාස් ඩූර්ව කැඳවාගෙන පැමිණෙනු ඇති බැව් ඩැනී දැන සිටියාය. මද්දහනේ දැඩි සූර්‍යතාපයෙන් මඳ හෝ අස්වැසිල්ලක් ලබනු වස් වහලුන් විසින් විසල් කළුගල් පර්වතයක සෙවනේ ඩ්‍රෝගෝගේ කූඩාරම අටවනු ලැබින. එනමුදු කූඩාරමේ සේද රෙදි යට හුස්ම ගැනීම පවා අසීරු විය. ඉරීගේ හා ඩෝරියාගේ උදවු ඇතිව ඩැනී ඩ්‍රෝගෝව වත්තම් කරගෙන කූඩාරම තුළට පිවිසියාය. වර්ණවත් රටාවන් ඇඳුනු බුමුතුරුණු බිමට එලා තිබුනු අතර කොට්ට අහුමුළුවල විසි කර දමා තිබුනි. ඉරෝආ, ඩැනී විසින් මැටි පවුරුවලට එපිටදී දූෂකයින්ගෙන් බේරාගත් බයාදු දැරිය ගිනි කබලක් දැල්වූවාය. ඔවුහු එකතුව තෘණවලින් වියූ මෙට්ටයක් මත ඩ්‍රෝගෝව දිගා කෙරුවෝය. "නෑ." ඔහු පොදු බසින් කෙඳිරිගෑවේය. "නෑ. නෑ." ඔහු පැවසූ එකම දෙය එය විය. ඔහුට පවසන්නට හැකි වූ එකම දයෙ එය විය යුතුය.
ඩ්‍රෝගෝගේ පදක්කම් සහිත බඳපටිය ගැලවූ ඩෝරියා ඔහුගේ කමිසය හා කලිසම ගලවා ඉවත් කලාය. ඔහුගේ දෙපා අසල ඇනබාගත් ජික්වී ඔහු අසු පිට යන විට පළඳින පාවහන් සඟල ගලවා දැමුවාය. කූඩාරම තුළට සුළඟ එනු පිණිස දොර පැළැල්ල ඔසවා තැබීමට ඉරීට උවමනා වූ නමුදු ඩැනී එය තහනම් කලාය. ඩ්‍රෝගෝ මෙලෙස සිහිමුලාව, දුබල අයුරින් වැතිර සිටිනු කිසිවෙකුගේ ඇස ගැටෙනු ඇයට උවමනා නොවීය. ඇගේ ඛාස් එකේ සෙබළුන් පැමිණි විට ඇය ඔවුන්ව දොරකඩ මුරට සිටුවා තැබුවාය. "මගේ අවසරය නැතුව කිසිම කෙනෙකුට ඇතුළුවෙන්ට දෙන්ට එපා." ඇය ජෝගෝට කීවාය. "කිසිම කෙනෙකුට."
ඉරෝආ ඩ්‍රෝගෝ වැතිර සිටින දෙස බියමුසු බැල්මක් හෙලුවාය. "එයා මැරෙන්ටයි යන්නෙ." ඇය මිමිනුවාය.
ඩැනී ඇයට අතුල් පහරක් දුන්නාය. "ඛාල්ට මැරෙන්ට බැහැ. එයා තමා මේ ලෝකය පාලනය කරන්ට යන සෛන්ධවයාගෙ තාත්තා. එයාගෙ කොණ්ඩෙ කවදාවත් කපලා නැහැ. එයාගෙ තාත්තා එයාට දුන්න සීනු එයා තාමත් එල්ලගෙන ඉන්නවා."
"ඛලීසි." ජික්වි කීවාය. "එයා එයාගෙ අස්සයා පිටින් බිම වැටුනා."
හදිසියේම දෑසේ පිරුනු කඳුළු නවතන්නට වෑයම් කරමින්, වෙවුලමින් ඩැනී ඔවුන්ගෙන් අහකට හැරුනාය. 'එයා එයාගෙ අශ්වයා පිටින් බිම වැටුනා!' ඒක ඇත්ත. ඇය එය දුටුවාය. ඔහුගේ රුධිරාරක්ෂකයෝ එය දුටුවෝය. කිසිදු සැකයකින් තොරව ඇගේ සේවිකාවන් ද ඇගේ ඛාස් එකේ සෙබළුන් ද එය දකින්නට ඇත. තවත් කීදෙනෙකු එය දකින්නට ඇත්ද? ඔවුන් එය රහසක් වශයෙන් තබා නොගනු ඇත. එයින් කියැවෙන්නේ කුමක්දැයි ඩැනී දැන සිටියාය. අසු පිට යා නොහැකි ඛාල් කෙනෙකුට ඛලසාරයක් පාලනය කරන්නට නොහැක. ඩ්‍රෝගෝ අසුපිටින් බිම වැටුනේය.
"අපි එයාව නාවන්ට ඕන." ඩැනී මුරණ්ඩු ස්වරයෙන් කීවාය. තමාව බලාපොරොත්තු විරහිත තත්ත්වයකට පත්කරගන්නට ඇයට නොහැක. "ඉරී, දැන්ම ගිහිල්ලා නාන බාල්දිය අරන් එන්ට. ඩෝරියා, ඉරෝආ, වතුර හොයාගෙන එන්ට. සීතල වතුර. එයා හොඳටම රස්ණෙයි." ඔහු මිනිස් සමකින් වැසූ ගිනිමැලයක් වැනි විය.
වහලුන් විසින් කූඩාරමේ කොනක බරැති තඹ නාන බාල්දිය අටවන ලදී. ඩෝරියා පළමු වතුර බුජම ගෙන ආ විට සේද රෙදි කැබැල්ලක් දියෙන් පෙඟවූ ඩැනී එය ඩ්‍රෝගෝගේ ගිනිගෙන දැවෙන නළල මත ඇතිරුවාය. ඔහුගේ දෑස් ඇය දෙස බලා සිටි නමුදු ඔහු ඇය දුටු බවක් නොපෙනින. ඔහුගේ දෙතොල් විවර වූ නමුදු කෙඳිරියක් මිස කිසිදු වදනක් එයින් පිටනොවීය. "කෝ මිරී මාස් ඩූර්?" ඇය කෑගැසුවාය. බිය විසින් ඇගේ ඉවසීමේ සීමාවන් ඉක්මවා තිබුනි.
"ක්වෝතෝ එයාව හොයාගනියි." ඉරී පිළිතුරු දුන්නාය.
ගෙන්දගම් ගඳ හමන ඇල්මැරුනු දියෙන් නාන බාල්දිය පිරවූ ඇගේ සේවිකාවෝ ඊට බුජම්වලින් ගත් විවිධ තෙල් වර්ග හා පොඩි කරගත් සුවඳතලා කොළ අහුරු කිහිපයක් එක්කලෝය. නාන බාල්දිය සැකසෙන අතරේ ඩැනී සිය සැමියා අබියස නුහුරු ලෙස දණ නමා හුන්නාය. ඔවුන්ගේ දරුවා නිසා පිරීගිය ඇගේ උදරය ඇයට අපහසුවක් ඇති කර තිබුනි. ඇය අදක්ෂ, අනම්‍ය ඇඟිලිවලින් ඔහුගේ වරලස ලිහා දැමුවාය. එය හරියටම ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය දා තරු පිරි අහස යට ඔහු හා මුල්ම වරට එක්වන්නට පෙර ඇය විසින් එය ලිහා දැමුවාක් වැනි විය. ඔහු හිසේ ගවසා තිබූ සීනු එකින් එක ඇය ප්‍රවේශමෙන් ඉවත තැබුවාය. 'එයා සනීප වුනාම එයාට ආයෙමත් මේවා ඕන වෙයි.' ඇය තමාටම කියාගත්තාය.
අග්ගෝ දොර පැළැල්ල ඔසවා හිස ඇතුළට ඔබන අතරේ සීතල සුළං රැල්ළක් කූඩාරම තුළ පිරෙන්නට විය. "ඛලීසි. අන්දාලයා ඇවිල්ලා ඉන්නවා. එයා කියනවා ඇතුළට එන්ට දෙන්ටයි කියලා."
'අන්දාලයා' යනු ඩොත්රැකියන් විසින් සෙර් ජෝරා වෙනුවෙන් භාවිත කල නම විය. "ඔවු." අදක්ෂ අයුරින් නැගිටිමින් ඇය කීවාය. "එයාව ඇතුළට එවන්ට." ඇය මේ නයිට්වරයාව විශ්වාස කලාය. මේ මොහොතේ කලයුතු කුමක්දැයි දන්නා කෙනෙකු වෙත්නම් ඒ ඔහු පමණි.
දොර පැළැල්ල තුළින් දෙකට නැමී කූඩාරමට ඇතුළු වූ සෙර් ජෝරා මෝර්මන්ට් මඳ ආළෝකයට දෑස් හුරුවන තෙක් මොහොතක් නොසැලී බලා සිටියේය. දකුණුකරයේ දැඩි සූර්‍යතාපයට ගැලපෙන පරිදි ඔහු සේද රෙද්දෙන් කල සැහැල්ලු කලිසමක් හා ඉදිරියෙන් විවර වූ, අසුපිට යන විට පළඳින වර්ගයේ දණහිස තෙක් ලේස්වලින් ගැටගැසූ පාවහන් පැළැඳ සිටියේය. ඔහුගේ අසිපත් කොපුව එකට ඇඹරූ අශ්ව ලොම් කෙඳිවලින් නිමවූ පටියක එල්ලෙමින් තිබුනි. සුදු පැහැ හණ කමිසයකට යටින් වූ නිරුවත් පපුව හිරු රශ්මිය නිසා රත් පැහැ ගැන්වී තිබුනි. "ඛලසාර් එක පුරාම කටකතාවක් පැතිරෙනවා." ඔහු පැවසීය. "උන් කියනවා ඛාල් ඩ්‍රෝගෝ අශ්වයා පිටින් වැටුනයි කියලා."
"එයාට උදවු කරන්ට." ඩැනී අයැද සිටියාය. "ඔබේ හිතේ මා ගැන තියෙන ආදරේ ඇත්ත නම් එයාට දැන් උදවු කරන්ට."
නයිට්වරයා ඇය පසෙකින් බිම දණ නමා ගත්තේය. ඔහු ඩ්‍රෝගෝගේ ස්වරූපය බොහෝ වේලාවක් හොඳින් නිරීක්ෂණය කලේය. ඊළඟ මොහොතේ ඔහු ඩැනී දෙසට හැරුනේය. "ඔබේ සේවිකාවො ටික පිටතට යවන්ට."
උගුර පුරා පිරීගිය භීතිය නිසා වදනකුදු කියාගත නුහුනු ඩැනී අතක් වනා සන් කලාය. ඉරී අනිත් තරුණියන් ද කැඳවාගෙන කූඩාරමෙන් පිටතට ගියාය.
ඔවුන් දෙදෙනා තනි වූ විට සෙර් ජෝරා සිය සිරිය පිටතට ඇදගත්තේය. මෙවැනි දැවැන්ත මිනිසකුට නොවන තරම් පුදුමාකාර පලපුරුදු දක්ෂ අතකින් ඔහු ඩ්‍රෝගෝගේ පපුව මත වූ කළු පැහැ ගැන්වුනු ෆිග් පත්‍ර හා වියළි නිල් මඩවලින් සැදුනු පල්පය සූරා දමන්නට වූයේය. මේ වෙළුම්පටි බැටළු මිනිසුන්ගේ මැටි පවුරු මෙන් වියළී සවි වී තිබුනි. එමෙන්ම ඒ පවුරු මෙන් මේ පල්පය ද පහසුවෙන්ම බිඳවැටුනි. වියළී ගිය මැටි සිය සිරියෙන් කඩා දැමූ සෙර් ජෝරා සමේ ඇලී තිබුනු මැටි කැබැලි ගලවා දමා ෆිග් පත්‍ර එකින් එක ඉවත් කරන්නට වූයේය. තුවාලයෙන් සැර දුගඳක් හමා එන්නට විය. එය කෙතරම් සැර දුගඳක් වී ද යත් ඇගේ හුස්ම සිරවන්නට එන්නාක් මෙන් ඇයට දැනුනි. මේ ෆිග් පත්‍ර වියළි රුධිරයෙන් හා සැරවයෙන් වැසී පැවතුනි. ඩ්‍රෝගෝගේ පපුවෙහි වූ තුවාලය කුණු වී කළු පැහැයෙන් දිදුලමින් තිබුනි.
"අයියෝ!" දෙකොපුල් තෙමමින් කඳුළු දහරා ගලා හැලෙද්දී ඩැනි කෙඳිරුවාය. "අනේ! දෙයියනේ, මට ඇහුම්කන් දෙන්ට. මේකනම් වෙන්ට ඉඩදෙන්ට එපා."
ඛාල් ඩ්‍රෝගෝ අදිසි සතුරකු හා පොරබදින්නාක් මෙන් දෑත් ඔසවා හිස් අවකාශයට පහර දුන්නේය. විවර වූ තුවාලයෙන් කළු පැහැ කුණු ලේ සෙමින් ගලායන්නට විය.
"ඔබේ ඛාල් මැරුනා වගේ තමා කුමාරි."
"අනේ! එයාට එහෙම මැරෙන්ට බැහැ. එයාට එහෙම මැරෙන්ට අයිතියක් නැහැ. ඒක නිකංම පොඩි කැපුමක් විතරයි." ඔහුගේ කරගැටයෙන් වැසුනු ගොරහැඩි අත අල්ලාගත් ඩැනී එය සිය දෝතට මැදි කරගත්තා ය. "මම එයාට මැරෙන්ට ඉඩදෙන්නෙ නැහැ..."
සෙර් ජෝරා කටුක සිනහවක් පෑවේය. "ඛලීසි හරි රැජිනක් හරි ඒ අණ ඔබේ බලයෙන් පිටයි කුමාරි. ඔය කඳුළු නවත්තගන්ට දරුවා. එයා වෙනුවෙන් හෙට අඬන්ට. එහෙමත් නැත්තම් තව අවුරුද්දකින්. ඒ වුනත් දැන් අපට සෝක වෙවී ඉන්ට තරම් කාලයක් නැහැ. අපි දැන් යන්ට ඕන. ඉක්මනටම. එයා මැරෙන්ට කලින්."
ඩැනීට මේ කිසිවක් තේරුම් ගත නොහැකි විය. "යන්ට? අපි කොහෙ යන්ටද?"
"අශයීවලට යමු කියලයි මමනම් කියන්නෙ. ඒක තියෙන්නෙ බොහොම දුර ඈත දකුණෙ. මිනිස්සු දන්න කියන මානේ අන්තිම කෙලවරේ. ලෝකාන්තයේ. ඒ වුනත් මිනිස්සු කියන්නෙ ඒක මහා විශාල නාවුක තොටුපලක් කියලයි. අපි එතැනින් නැවක් හොයාගමු ආපහු පෙන්ටොස්වලට යන්ට. හැබැයි වරද්දගන්ට එපා, ඒක මහ අමාරු ගමනක් වේවි. ඔබේ ඛාස් එකේ සෙබළු ඔබට විශ්වාසද? උන් අපිත් එක්ක යන්ට එයිද?"
"ඛාල් ඩ්‍රෝගෝ එයාලට අණකරලා තියෙන්නෙ මාව ආරක්ෂා කරන්ටයි කියලයි." ඩැනී අතීරණාත්මකව පිළිතුරු දුන්නාය. "ඒ වුනත් එයා මැරුනොත්..." ඇය සිය පිරිපුන් උදරය පිරිමැද්දාය. "මට තේරෙන්නෙ නැහැ. ඇයි අපි පැනලා යන්ට ඕන? මමයි ඛලීසි. මගේ කුසේ ඩ්‍රෝගෝගෙ උරුමක්කාරයා ඉන්නවා. එයා ඩ්‍රෝගෝගෙන් පස්සෙ ඛාල් වෙයි..."
සෙර් ජෝරා රවා බැලුවේය. "කුමාරි, මම කියන දේ අහන්ට. මේ ඩොත්රැකියො කිරිබොන අතදරුවෙක් පස්සෙන් යන්නෙ නැහැ. උන් දැන් ඔය හිස නමන්නෙ ඩ්‍රෝගෝගෙ ශක්තියටයි. වෙන මොකටවත් නෙවෙයි. එයා මලොත් එයාගෙ තැන ගන්ට ජඛෝයි, පොනෝයි, අනිත් ඛොස්ලයි සටන් වදියි. එතකොට මේ ඛලසාර් එක ඒක විසින්ම වැනසෙයි. මේ සටනින් දිනන කෙනා කවුරු වුනත් එයාට තවත් එදිරිවාදියෙක් ඉන්න එක දරන්ට බැහැ. ඔය දරුවා ඉපදුන ගමන්ම ඔබේ තුරුලෙන් උදුරගනියි. උන් එයාව බල්ලන්ට කන්ට දායි..."
ඩැනී සිය දෙවුර වැළැඳගත්තා ය. "ඒ වුනත් ඇයි ඒ?" ඇය දුක්මුසු අයුරින් හැඬුවාය. "ඇයි උන්ට පුංචි අතදරුවෙක් මරන්ට ඕන වෙන්නෙ?"
"එයා ඩ්‍රෝගෝගෙ පුතා නිසා. අර නාකිච්චියො කිවුවා එයා තමා මේ ලෝකය පාලනය කරන සෛන්ධවයා කියලා. ඒක අනාවැකියක්. මේ දරුවා වැඩිවිය පැමිණුනාට පස්සෙ එයාගෙ වියරුවට මූනදෙනවට වඩා ලේසියි පුංචි කාලෙම මරලා දාන එක."
ඇගේ කුසයේ වූ බිළිඳා පයින් ගැසුවේ හරියටම මේ පැවසූ දේ ඔහුට ඇසුනාක් මෙනි. විසේරිස් විසින් ඇයට පැවසූ කතා, රාජ්‍යය පැහැරගත්තාගේ බල්ලන් විසින් රේගාර්ගේ දරුවන්ට සිදුකල දේ ඇයට සිහිපත් වන්නට විය. ඔහුගේ පුතාද කුඩා අතදරුවකු විය. එනමුදු ඔහුව සිය මවගේ තුරුලෙන් උදුරාගත් උන් බිත්තියක ගසා ඔහුගේ හිස පොඩිකර දැමූහ. මේ වනාහි පිරිමින්ගේ ස්වභාවයයි. "උන්ට මගේ දරුවට අනතුරක් කරන්ට දෙන්ට බෑ!" ඇය හැඬුවාය. "මම මගේ ඛාස් එකට අණ දෙන්නම් මාව ආරක්ෂා කරන්ටයි කියලා. ඒ වගේම ඩ්‍රෝගෝගෙ රුධිරාරක්ෂකයො-"
සෙර් ජෝරා ඇගේ දෙවුරෙන් අල්වාගත්තේ ය. "රුධිරාරක්ෂකයෙක් එයාගෙ ඛාලුත් එක්කම මැරෙන්ට ඕන. ඔබ දන්නවා ඒක දරුවො. උන් ඔබට ආපහු වයෙස් ඩොත්රැක්වලට අරන් යයි. අර නාකිච්චියො ගාවට. ඒ තමා උන් එයා වෙනුවෙන් ජීවිතේ අවසානෙටම කරන්ට බැඳිලා ඉන්න අණ... ඒක සිද්ද කලාට පස්සෙ උනුත් ඩ්‍රෝගෝත් එක්ක එකතුවෙන්ට නිශා ලෝකෙට යයි."
නැවත වයෙස් ඩොත්රැක් වෙත ගොස් අර මැහැලියන් සමගින් සිය දිවියේ ඉතුරු කාලය ගෙවා දමන්නට ඩැනීට කොහෙත්ම අවශය නොවීය. එනමුදු නයිට්වරයා මේ පවසන්නේ සැබෑවක් බව ඇයට වැටහින. ඩ්‍රෝගෝ ඇගේ දිවියේ ඉර හා තරුවලටත් වඩා වැඩි මෙහෙයක් ඉටුකොට තිබින. ඔහු වනාහි ඇයව ආරක්ෂාකාරීව තබාගත් පලිහ විය. "මම එයාව දාලා යන්නෙ නැහැ." ඇය මුරණ්ඩු හා දුක්ඛිත ස්වරයෙන් කීවාය. ඇය නැවතත් ඔහුගේ අතින් අල්ලාගත්තා ය. "මම එහෙම කරන්නෙ නැහැ."
කූඩාරමේ දොර පැලැල්ල සෙලවෙන හඬක් නිසා ඩැනී හිස හරවා බැලුවාය. මිරී මාස් ඩූර් දෙකට නැමී දොරින් ඇතුළුවෙමින් සිටියාය. දින ගණනාවක් පුරා ඛලසාරය පසුපසින් ඇවිදීම නිසා ඇය වැහැරී ගොස් තිබුනු අතර කොර ගසන්නට ද වූවාය. එමෙන්ම ඇගේ දෙපතුල්වල තුවාල ඇති වී ලේ ගලමින් තිබුනු අතර දෑස් යට කළු පැල්ලම් ද විය. ඇයට පසුපසින් ක්වෝතෝ හා හග්ගෝ එකතුව දේවදාසියගේ බෙහෙත් බඩු පෙට්ටිය ඔසවාගෙන පැමිණියෝය. එනමුදු ඩ්‍රෝගෝගේ තුවාලය දුටු මනතින් හග්ගෝගේ අතැඟිලි අතරින් රූටා ගිය පෙට්ටිය මහ හඬක් නගමින් කූඩාරම් පොළොව මත ඇද වැටුනි. ක්වෝතෝගේ මුවින් පිටවූ අවලාදවලින් අවට වාතය දූෂිත වන්නට විය.
මිරී මාස් ඩූර් නිසල, කිසිදු හැඟීමක් නොමැති මුහුණින් ඩ්‍රෝගෝව අධ්‍යයනය කලාය. "තුවාලෙ පැසවලා."
"මේක උඹේ වැඩක් යක්දෙස්සි." ක්වෝතෝ කීවේය. හග්ගෝ මිරීගේ මුහුණ හරහා දුන් මුෂ්ටි පහරින් ඇය විසිවී ගොස් බිම පතිත වූවාය. ඔහු නැවත බිම වැටුනු ඇයට පයින් ගැසුවේය.
"ඕක නවත්තපන්!" ඩැනී මුරගෑවාය.
ක්වෝතෝ හග්ගෝව පසෙකට ඇද දැමීය. "මේ යක්දෙස්සිට පයින් පාරවල් හොඳ වැඩියි. ඒකිව එළියට අරන් යමු. අපි ඒකිව බිමට තියලා උල ඉන්දමු. එතැනින් යන එන හැම එකාටම ඒකිගෙ ඇඟ උඩ නගින්ට පුළුවන් වෙයි. උන් වැඩේ කරගෙන අහවර වුනාට පස්සෙ බල්ලොත් ඒකිව පාවිච්චි කරයි. මුගටියො ඒකිගෙ බඩවැල් උගුල්ලපුවාවෙ. කපුටො ඒකිගෙ ඇස් දෙක කාපුවාවෙ. ගඟේ ඉන්න මැස්සො ඒකිගෙ ගර්භාෂෙ බිත්තර දාපුවාවෙ. උන් ඒකිගෙ තන් දෙකේ තුවාලවලින් හැරව උරා බීපුවාවෙ..." ඔහු සිය යකඩ බඳු අතැඟිලි දේවදාසියගේ මුදු මොළොක් බාහුවට ඔබා ඇයව නැගිට්ටෙවුවේය.
"එපා." ඩැනී කෑගැසුවාය. "එයාට අනතුරක් කරන්ට මම ඉඩදෙන්නෙ නැහැ."
ක්වෝතෝගේ දුඹුරු පැහැ බිඳුනු දත් දෙපෙළ පෙන්වමින් දෙතොල් ඇදී ගියේය. ඒ මුවේ කුරිරු සිනහවක් ඇඳී ගියේය. "එපා? උඹද මට එපා කියන්නෙ? උඹ දෙයියන්ට යාඥා කරපන් උඹේ යක්දෙස්සිත් එක්ක අපි උඹවත් පොළොවෙ උල තියන්නෙ නැති වෙන්ටයි කියලා. ඒකි වගේම උඹත් මේකට වගකියන්ට ඕන."
සෙර් ජෝරා සිය අසිපත කොපුවෙන් බුරුල් කරමින් ඔවුන් දෙදෙනා මැද්දට පා තැබුවේය. "උඹේ කට පරෙස්සම් කරගනින්. කුමාරි තාමත් උඹේ ඛලීසි."
"මගේ ලෙයින් උපන් ලෙය ජීවත්වෙලා ඉන්නකම් විතරයි." ක්වෝතෝ නයිට්වරයාට කීවේය. "එයා මැරුනට පස්සෙ ඒකි නිකම්ම නිකමෙක්."
සිය සිරුර ඇතුළතින් දරදඬු වී යන්නාක් මෙන් ඩැනීට දැනුනි. "ඛලීසි වෙන්ට කලින් මම මකරාගෙ රුධිරය. සෙර් ජෝරා, මගේ ඛාස් එකට එන්ටයි කියන්ට."
"නෑ ඕන නෑ." ක්වෝතෝ කීවේය. "අපි යනවා.. දැනට... ඛලීසි." හග්ගෝ තරහින් රවා බලමින් ඔහු පසුපසින් කූඩාරමෙන් පිටතට පිලිපන්නේය.
"අරූගෙන් නම් ඔබට කිසිම හොඳක් බලාපොරොත්තු වෙන්ට බැහැ කුමාරි." මෝර්මන්ට් කීවේය. "ඩොත්රැකියො කියන්නෙ මිනිහෙකුයි එයාගෙ රුධිරාරක්ෂකයිනුයි එකම ජීවිතයක් හවුලේ භුක්ති විඳිනවා කියලයි. ක්වෝතෝට දැන් පේනවා ඒ ජීවිතේ අවසාන වෙන්ටයි යන්නෙ කියලා. මැරිච්ච මිනිහෙක් කියන්නෙ කිසිම බයක් සැකක් නැති මිනිහෙක්."
"කිසිම කෙනෙක් තාම මැරුනෙ නැහැ. සෙර් ජෝරා, මට අද දවසේ ඔබේ කඩුවෙ සහාය උවමනා වෙයි. ඔබ ගිහින් ඔබේ සන්නාහය ඇඳගත්තනම් හොඳයි." තමාටම පවා පිළිගන්නට නොහැකි තරම් භයානක අන්දමින් ඇය බියපත්ව සිටියාය.
නයිට්වරයා හිස නැමීය. "ඔබේ කැමැත්තක්." ඔහු දිගු පියවර තබමින් කූඩාරමෙන් පිටවිය.
Daenerys Targaryen: “Am I truly your princess?”
Ser Jorah Mormont: “You know you are, gods save us both.”
හ්ම්.... එහෙනං ඒකත් එහෙමයි... ඩැනී ඩැනී ඩැනී.... උඹ පැනල යන එක හොදයි මචී
ReplyDeleteගේම් ඔෆ් ත්‍රෝන්ස් සීසන් හතර ඉවර වෙලා හම්බානෙක කල් දැං සීසන් පහ පටන් ගන්න යන්නෙ මේ වෙද්දි උන්න උංගෙන් බාගයක්ම මැරිල... ඒකෙදිත් ඉන්න උංගෙන් ඉතුරු ටිකත් මැරුනොත්
හෆොයි... මොන තරං දුකක්ද...
කතාව ඉවරවෙද්දි මාර්ටින් අංකල් විතරක් ඉතුරුවෙයිද මන්දා... :-O
Deleteඔක්කොම මැරුවත් කමක්නෑ කතාව ඉවර වෙනවනම් ඔක්කොම පහදල. ඊට පස්සෙ මාටින් අන්කල්ට වුනත් ඕනෙ නම් පොම්ගෙ අරිශ්ට රස බලල හොඳ තැනකට යන්න බැරියැ.
Delete(කවද්ද මේ මගුලෙ 6වෙනි එක එන්නෙ? ඊට පස්සෙ තව එකකුත් තියනව නේ. මාටින්ට ඒකටනම් රූකඩයක්වත් හොයාගන්නවෙයි උදව්වට)
ඊළඟ අවුරුද්දේ ලු
Deleteහැබැයි පොර හරිම දිනයක් දෙන්නේ නැල්ලු
imagination ran dry??
Imagination needs lubrication? I didn't know that. You are the fount of all knowledge PoM the magnificent
Deletelubricating your imagination
Deleteඩැනී ගැන මුලින් තිබ්බ ආල සිත දැන් නැහැ අප්පා..:( ඇයි ඒ ?
ReplyDeleteඑයා දැන් හරි වෙනස් නේ මනෝජ්.. අර ඉස්සර තිබුන අහිංසක ගතිය කොයින් ගියාද මන්දා.. ගෑණු වෙනස් වෙනවා කියන්නෙ නිකංයැ.. ;-)
DeleteDany u bloody idiot. I really don't know why she trusts the witch. So she says she once knew a maester. So what? Doesn't mean that she's trustworthy.
ReplyDeleteDesperate situations - desperate decisions..
DeleteAnd I don't think it's her fault at all.. Drogo didn't use her medication as per her recommendations..
Desperate situations ?
DeleteAah.. the kind PoM undergoes on a daily basis and escapes by the skin of his dazzling teeth.
Drogo had countless cuts and bruises over the years. the man is obviously immune to most infections. whats changed here is the medicine.
Deletethis reminds me to be thankful to Dr Alexander Fleming and Prof Gerhard Domagk. if not for them, we all still be dying of paper cuts.
Found a cure for lava and magma burns yet o' Doc?
Delete//Found a cure for lava and magma burns yet o' Doc?//
DeleteErr....Sakura juice might help :)
අප්පච්චී මලාම වලලනවා මිස ගෙදර තියාගන්නේ නෑ කියලා අපේ රටේ එකෙකුත් කිව්වානෙ උගෙ රජා ගැන.. හ්ම්ම් ලෝක ස්වභාවය..
ReplyDeleteහ්ම්ම්... හ්ම්ම්...
Deleteඌත් ඉවරයි... ඊළඟට කව්ද?
ReplyDeleteඔය කිව්වට මාර්ටින් ගොයියා මේ නංගි මරණ එකක් නැතිවෙයි නෙහ්?
කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා.. පවු ඩැනී..
ReplyDelete