Friday 6 March 2015

කැට්ලින් 10


වනාන්තරය මුලුමනින්ම පාහේ කෙඳිරීම්වලින් පිරී පැවතින.

මිටියාවත පතුලේ වූ කුඩා දියපහර දඟර ගැසී ගල් මතින් කිංකිනි නදින් ගලා බසිද්දී ජලතලය මත සඳඑළිය නැටීය. ගස්වල අතුපතරට යටින් යුධ අශ්වයෝ නොසන්සුන් ස්වරයෙන් සුසුම් හෙලමින් කොළ රොඩු ඇතිරුනු, තෙත් වන බිම මත දෙපා ගැසූහ. මිනිස්සු සිය වියවුල් බව පහකරගනු පිණිස මැඩගත් හඬින් කෙලිකවට බස් දෙඩූහ. අතරින් පතර ඇයට හෙල්ලයක ක්ලින්ක් හඬක් හෝ මුදු දම්වැල් සන්නාහ එහා මෙහා වනවිට ඇසෙන ලෝහ ඇතිල්ලෙන මෘදු හඬක් හෝ ඇසුනු නමුදු මේ හඬවල් පවා බෙහෙවින් යටපත් වූ ඒවා විය.

"තව වැඩි වෙලාවක් ගතවෙන එකක් නෑ මගේ ආර්යාවනි." හැලිස් මොලන් කීවේය. ඉදිරියේදී සිදුවන්නට යන සටන අතරතුරේදී ඇයව ආරක්ෂා කිරීම තමාට පවරන්නැයි ඔහු උදෙක්ම ඉල්ලා සිටියේය. වින්ටර්ෆෙල්හි මුර සෙබළුන්ගේ නායකයා වශයෙන් එය ඔහුගේ අයිතිය හා රාජකාරිය වූ අතර රොබ් එය ඔහුගෙන් උදුරා ගන්නට නොසිතුවේය. ඇය වටා මිනිසුන් තිස් දෙනෙකු සිටි අතර සටන ඔවුන්‍ගේ පසට අවාසිදායක තත්ත්වයකට පෙරලුනහොත් ඇයව ආරක්ෂාකාරීව නැවත වින්ටර්ෆෙල් බලා කැඳවාගෙන යාම ඔවුන්ට පැවරුනු රාජකාරිය විය. රොබ්ට ඒ වෙනුවෙන් මිනිසුන් පනස්දෙනෙකු යොදවන්නට උවමනා වූ අතර දසදෙනෙකු පමණටත් වඩා ඇතියැයි ඇය බලකර සිටියාය. ඔහුට සටන වෙනුවෙන් සෙබළුන් අවශ්‍ය බව ඇය දැන සිටියාය. අන්තිමේදී ඔවුන් දෙදෙනා මිනිසුන් තිස්දෙනෙකුගෙන් වාදය හමාර කල අතර ඒ ගණන සම්බන්ධයෙන් දෙදෙනාම සතුටු නොවූහ.

"ඒක එන වෙලාවට ඒක එයි." කැට්ලින් ඔහුට පිළිතුරු දුන්නාය. එය පැමිණිවිට මරණය පමණක් ප්‍රත්‍යක්ෂ බැව් ඇය දැන හුන්නාය. ඒ සමහරවිට හැල්ගේ මරණය විය හැක.. එසේත් නැතිනම් ඇයගේ.. හෝ රොබ්ගේ.. කිසිවෙකුත් මෙහි ආරක්ෂාකාරී නොමැත. කිසිදු ජීවිතයක් තිර නැත. මෙලෙස දිගටම නැවතී බලා සිටින්නට, වනාන්තරයේ කෙඳිරීම්වලට සහ දියපහරේ කිංකිනි සංගීතයට සවන් දෙන්නට, ඇගේ කෙහෙරැළිවල දැවටෙන උණුසුම් සුළඟේ පහස විඳින්නට ඇය වඩා සතුටු වූවාය.

අනිත් අතට ඇය මෙවැනි බලාපොරොත්තුවෙන් බලාසිටීම්වලට කොහෙත්ම අමුත්තියක නොවූවාය. ඇගේ ජීවිතයේ සිටි පිරිමින් හැමෙකෙක්ම පාහේ ඇයට මෙලෙස බලා සිටින්නට සලස්වා තිබින. "මං එනකම් බලන් ඉන්ට පුංචි කැට්." ඇගේ පියා රාජසභාවට හෝ වෙළෙඳපලට හෝ යුධට හෝ යන සෑමවිටෙකම පවසන්නට පුරුදුව සිටියේය. ඉදින් ඇය එසේ කලාය. රිවර්රන්හි මුරකපොලු මතට වී පහතින් ගලා යන රතු ගංගාවේ හා ටම්බ්ල්ස්ටෝන්හි දියපහර දෙස බලමින් ඉවසිලිවන්තව බලා සිටියාය. ඔහු සමහර විට එනවායැයි ඇයට පොරොන්දු වූ දවසේ නොපැමිණියේ ය. සමහරවිට කැට්ලින්ට දවස් ගණන් බලාසිටින්නට සිදුවිය. අන්තිමේදී හස්ටර් ටලී උතුමානන් සිය දුඹුරු පැහැ මහළු අසු පිට නැගී ගංඉවුර වෙත පැමිණෙන දර්ශනය දකින තෙක්ම මුර කපොලුවල විවර තුළින් හා ඊ විවර තුළින් එබී බලමින් බලාපොරොත්තුව සිටියාය. "ඔයා මම එනකම් බලන් හිටියද?" ඇයව වැළැඳගන්නට නැඹුරු වද්දී ඔහු සැමවිටම ඇගෙන් අසන්නට පුරුදුව සිටියේය. "ඔයා එහෙම කලාද පුංචි කැට්?"

බ්‍රැන්ඩන් ස්ටාර්ක් ද ඇයට බලාපොරොත්තුවෙන් බලා සිටින්නට සැලැස්වීය. "මම මහ කාලයක් ගිහින් ඉන්නෙ නැහැ ම‍ගේ ආර්යාවනි." ඔහු පිළිණ දුන්නේය. "මම ආපහු ආවහම අපි කසාද බඳිමු." එනමුදු ඇගේ විවාහ දිනය පැමිණි විට ඇය පසෙකින් සප්තක දේවස්ථානයේ හුන්නේ බ්‍රැන්ඩන් නොව ඔහුගේ සොහොයුරා එඩාර්ඩ් විය.

සිය නව මනාලිය සමගින් යාන්තමින් සති දෙකක් කාලය ගෙවූ නෙඩ් ද සිය මුවේ වූ දහසකුත් එකක් පොරොන්දු සමගින් යුධ පිණිස පිටත්ව ගියේය. අඩුම තරමේ ඔහු ඇයට පොරොන්දුවලට වඩා දෙයක් ඉතුරු කර ගොස් තිබින. ඔහු ඇයට පුතෙකු ලබා දී තිබින. සඳවල් නවයක් පිරී වියැකි ගොස් අන්තිමේදී රොබ් රිවර්රන්හි දී මෙලොව එළිය දකිද්දී ඔහුගේ පියා තවමත් ඈත දකුණුකරයේ යුධ වැදී සිටියේය. ඇය රුධිරය හා වේදනාව මතින් ඔහුව මෙලොවට ගෙන ආවාය. නෙඩ්ට කවදා තම බිළිඳු පුත්‍රයාව දකින්නට ලැබේදැයි ඇය නොදැන සිටියාය. ඔහුට කෙදිනකවත් සිය පුත්‍රයා දකින්නට ලැබේදැයි කියා හෝ ඇය දැන නොසිටියාය. ඇගේ පුතා. ඔහු එකල ක්ෂුද්‍ර පුංජයක් පමණක් විය...

ඉදින් දැන්, ඇය රොබ් වෙනුවෙන් බලා සිටියාය... රොබ් සහ ජේමි ලැනිස්ටර් වෙනුවෙන් බලා සිටියාය. මිනිසුන්ගේ කටකතා අනුව නම් මේ නයිට්වරයා බලාසිටීම යනු කවරාකාරයේ දෙයක්දැයි නොදත්තෙකු, නූගත්තෙකු විය. "රජුන් මරන්නා කියන්නෙ බොහොම නොඉවසිලිවන්ත, ඉක්මනින් කේන්ති යන කෙනෙක්." ඇගේ බාප්පා බ්‍රින්ඩන් ටලී රොබ්ට පවසා සිටියේය. ඇගේ පුතා ජයග්‍රහණය පිළිබඳ ඔවුන්ගේ සියලු බලාපොරොත්තුත්, ඔවුන්ගේ ජීවිතත් මේ එකම එක කරුණ මත පරදු තබා තිබින.

රොබ් බියපත්ව සිටියේ නම් ඔහු කිසිසේත්ම ඒ බවක් නොපෙන්වීය. ඔහු සිය සෙබළුන් අතර ඇවිදිමින්, එකෙකුගේ උරහිස මත අතක් තබමින්, තවකෙකු හා කවට බසක් දොඩමින්, තවකෙකුට සිය නොසන්සුන් වූ අසු පාලනය කරගැනීමට සහාය වෙමින් සිටින ආකාරය ඇය නිරීක්ෂණය කලාය. ඔහු එහා මෙහා යනවිට ඔහුගේ සන්නාහය මුදු හඬින් ක්ලින්ක් නද දුන්නේය. ඔහුගේ හිස පමණක් නිරාවරණය වී තිබින. සුළඟට හසු වූ ඔහුගේ රතු-දුඹුරු පැහැ කෙස් රොදක් - තමාගේම මෙන් වූ කෙස් රොදක් - නටන අයුරු ඇය බලා හුන්නාය. ඇගේ පුතා මෙතරම් වැඩුනේ කවරදා ද? අවුරුදු පහළොවක්! ඔහු දැන් ඇය තරම්ම උසය.

'එයාට තවත් උස යන්ට ඉඩදෙන්ට!' ඇය දෙවිවරුන්ගෙන් අයැද සිටියාය. 'එයාට දාසය වෙන්ට ඉඩදෙන්ට. විස්ස වෙන්ට ඉඩදෙන්ට. පනහ වෙන්ට ඉඩදෙන්ට. එයා එයාගෙ තාත්තා තරම්ම ලොකුවට වැඩෙන්ට ඉඩදෙන්ට. එයාට එයාගෙම පුතෙක් දෝතින් වඩාගන්ට ඉඩදෙන්ට. අනේ! අනේ! අ‍නේ කරුනාකරලා!' ඇය ඔහු දෙස - අලුත වැඩුනු රතු පැහැ රැවුලක් සහිත, සිය දෙපා අසලින් ඇවිදින ඝෝරවෘකයෙකු සහිත, මේ උසැති තරුණයා දෙස - බලද්දී ඇයට සිහිපත් වූ එකම දෙය නම් මීට වසර බොහෝ ගණනකට පෙරාතුව රිවර්රන්හි දී ඔවුන් ඇගේ ළමැද මත තැබූ ඒ පුංචි බිළිඳා පමණි.

රැය උණුසුම් විය. එනමුදු රිවර්රන් ගැන ඇති වූ සිතුවිල්ල ඇයව වෙවුලවාලන්නට සමත් වී තිබින. 'එයාලා කොහෙද?' ඇය විමතියෙන් කල්පනා කලාය. ඇගේ බාප්පා වැරැදි ද? ඔහු ඔවුන්ට පැවසූ ඒ එකම එක කරුණ මත බොහෝ දේ රඳා පැවතින. රොබ් කළුමාළුවාට තෝරාගත් මිනිසුන් තුන්සියයක් ලබා දී මූලික හමුදාවට පෙරාතුව ඉදිරියට යැවුවේ ඔහුගේ ඉදිරි ගමන මුවා කරනු පිණිස විය. "ජේමි කිසිම දෙයක් දන්නෙ නැහැ." ආපසු පැමිණි විට සෙර් බ්‍රින්ඩන් කියා සිටියේය. "මම මගේ ජීවිතේ පරදු තියනවා ඒ සම්බන්ධයෙන්. කිසිම කපුටෙකුට බැරිවුනා එයා ගාවට කිට්ටුවෙන්ට. මගේ දුනුවායො ඒ ගැන වගබලාගත්තා. අපි දැක්කා එයාගෙ ඔත්තුකාරයො කීපදෙනෙක්. ඒ වුනත් අපව දැකපු එයාගෙ ඔත්තුකාරයො එකෙක්වත් එයාට ඒ ආරංචිය කියන්ට ජීවත්වුනෙ නැහැ. එයා ඒක දැනගත්තනම්, හරිනම් එයා තවත් කට්ටිය එවන්ටයි තිබුනෙ. එයා දන්නෙ නැහැ."

"එයාගෙ හමුදාව කොච්චර විශාලද?" ඇගේ පුතා විමසීය.

"දොළොස්දාහක් පාබල සෙබළු. බලකොටුව වටේ වෙන වෙනම කඳවුරු තුනක විසිරිලයි ඉන්නෙ. මේ කඳවුරු මැදින් ගංගාවල් තියෙනවා." ඇයට හොඳින් හුරුපුරුදු අර විෂම සිනහවත් මුවේ ඇතිව ඇගේ බාප්පා කීවේය. "රිවර්රන් වටලන්ට වෙන කිසිම ක්‍රමයක් නැහැ. ඒ කොහොම වුනත්, ඒකම තමා උන්ට හෙනේට හිටින්නෙ. අසරු සෙබළු ඕනනම් දෙදාහක් නැත්තම් තුන්දාහක් ඇති."

"රජුන් මරන්නා අපට තුනට එකේ අනුපාතයට ඉස්සරහින් ඉන්නවා." ගැල්බට් ග්ලවර් කීවේය.

"ඇත්ත. ඒක හරි." සෙර් බ්‍රින්ඩන් පිළිවදන් දුන්නේය. "ඒ වුනත් ජේමිට නැති එක දෙයක් තියෙනවා."

"ඒ මොකක්ද?" රොබ් ඇසීය.

"ඉවසීම."

ඔවුන්ගේ හමුදාව මේ වනවිට ද්විත්ව බලකොටුවෙන් පිටවෙද්දීට වඩා වැඩී සිටියේය. ඔවුන් නිල් ගංගාව වටා කරකැවී දකුණුකරය බලා එන ගමනේදී ජේසන් මැලිස්ටර් උතුමානන් සිය හමුදාවත් සමග සීගාර්ඩ්හි සිට ඔවුන්ට එකතු විය. එමෙන්ම ඔවුන්ට තවත් අය එකතු වී සිටියෝය. දෙවන පන්තියේ නයිට්වරුන්, පහත් පෙළේ වංශාධිපතීන් සහ එඩ්මුයර් ගේ හමුදාව රිවර්රන්හිදී පරාද වූ පසු උතුරුකරය බලා පලායමින් සිටි ස්වාමියන් නොමැති සෙබළුන් ආදී විශාල පිරිසක් ඔවුන්ට එක්වූහ. ඔවුන්ගේ පැමිණිම ජේමි ලැනිස්ටර්ට දැනගන්නට ලැබෙන්නට පෙරාතුව මෙහි පැමිණීමේ අටියෙන් ඔවුහු සිය අසුන් වැරෙන් මෙහෙයවා තිබින. ඉදින් දැන් ඒ හෝරාව එළඹ තිබින.

සිය පුත්‍රයාඅසු පිට නගිනු කැට්ලින් බලාසිටියාය. වෝල්ඩර් උතුමානන් ගේ පුතු වූ ඔලිවර් ෆ්‍රේ ඔහු වෙනුවෙන් අසු අල්ලාගෙන සිටියේය. ඔහු රොබ්ට වඩා වසර දෙකක් වැඩිමහලු වූ නමුදු අත්දැකීම් විසින් ඔහුට වඩා දසවසක් ලාබාල හා ව්‍යාකූල විය. ඔහු රොබ්ගේ පලිහ නිසි ස්ථානයේ රඳවා ඔහුගේ ශිරස්කය පිරිනැමුවේය. ඇය විසින් මහත් සේ ආදරය කල ඒ මුහුණ වසමින් ඔහු ශිරස්කය පහත් කල විට එතැන ඇගේ පුතා වෙනුවට උසැති තරුණ නයිට්වරයෙකු බිහිව සිටියේය. ගස් අතර සඳඑළිය පතිත නොවූ බැවින් වටපිටාව අඳුරු විය. ඇය දෙස බැලීම පිණිස රොබ් හිස හැරවූ විට ඒ මුවවැස්ම යට අන්ධකාරය හැර අන් කිසිවක් දක්නට නොහැකි විය. "මම සෙබළු ඉස්සරහට යන්ට ඕන අම්මා." ඔහු ඇයට කීවේය. "තාත්තා කිවුවෙ, යුද්ධෙකට කලින් ඔයාගෙ සෙබළුන්ට ඔයාව දකින්ට ඉඩදෙන්ට ඕනයි කියලා."

"එහෙනම් ඔයා යන්ට." ඇය කීවාය. "එයාලට ඔයාව දකින්ට දෙන්ට."

"ඒකෙන් එයාලගෙ ධෛර්යය වැඩිවෙනවා."

'එතකොට මට ධෛර්යය දෙන්නෙ කවුද?' ඇය විමතියෙන් කල්පනා කලාය. එනමුදු ඇය ඒ තැවුල සිත යට සඟවාගෙන නිහඬවම ඔහු වෙනුවෙන් සිනාසුනාය. සිය දැවැන්ත අළු පැහැ යුධ සෛන්ධවයා හරවා ගත් රොබ් සෙමින් සෙමින් ඇගෙන් ඈත් වන්නට විය. ග්‍රේවින්ඩ් අසුගේ පියවර පසුපසින් වැටුනි. මීට පිටුපසින් ඔහුගේ යුධ ආරක්ෂක බලකාය ගමන් ගත්තේය. කැට්ලින්ට ඇගේ ආරක්ෂකයින් ගන්නයැයි ඔහු බලකර සිටි අවස්ථාවේ ඔහුද තමා වෙනුවෙන් ආරක්ෂක බල මුලුවක් තබා ගත යුතුයැයි ඇය බලකර සිටියාය. ඔහුගේ යටත් වංශාධිපතීහු මීට එකහෙලාම කැමැත්ත පලකලහ. ඔවුන්ගේ පුතුන් බොහෝදෙනෙක් මේ තරුණ වෘකයා - මේ වනාහි රොබ්ගේ වංශාධිපතීන් විසින් ඔහුට පටබැඳි නාමය විය - සමගින් ගමන් කිරීමේ ගෞරවය දිනාගැනීමට තරග කලෝය. මේ ආරක්ෂක බලකායේ සෙබළුන් තිස්දෙනා අතර ටෝරන් කාර්ස්ටාර්ක් හා ඔහුගේ සොහොයුරු එඩාර්ඩ්, පැට්‍රෙක් මැලිස්ටර්, ස්මොල්ජොන් අම්බර්, ඩේරින් හෝර්න්වුඩ්, තියන් ග්‍රේජෝයි හා වෝල්ඩර් ෆ්‍රේ ගේ පුතුන් පස්දෙනෙකු වැනි තරුණයින් මෙන්ම සෙර් වෙන්ඩල් මැන්ඩර්ලි හා රොබින් ෆ්ලින්ට් වැනි වැඩිමහලු මිනිසුන්ද වූහ. මේ සැමටම අමතරව එහි ගැහැණියක ද වූවාය. ඒ වනාහි මේජ් ආර්යාවගේ වැඩිමහලු දියණිය හා වලස් දූපතේ උරුමක්කාරිය වන ඩේසි මෝර්මන්ට් වූවාය. ඇය කෙසඟ, අඩි හයක් උස් තරුණියක වූ අතර අන් කුඩා දැරියන් බෝනික්කන් අතට ගන්නා කාලයේ ඇය කටු යගදාවක් සුරතට ගෙන තිබුනි. මේ සම්බන්ධයෙන් සමහර වංශාධිපතීන් කටුකුටු ගාන්නට පටන්ගෙන තිබුනු නමුදු කැට්ලින් ඔවුන්ගේ පැමිණිලිවලට සවන් නොදුන්නාය. "මේක ඔබලාගෙ වංශයේ ගෞරවය ගැන වදවෙන්ට ඕන අවස්ථාවක් නෙවෙයි මහත්වරුනි. මේක ඇවිල්ලා මගේ පුතාව ආරක්ෂා කරන එක ගැන හිතන්ට ඕන වෙලාවක්." ඇය ඔවුන්ට කීවාය.

'ඉතින් අපි එතැනට ආවොත්..' ඇය කල්පනා කලාය. 'තිස්දෙනෙක් ඇතිවෙයිද? හයදාහක් ඇතිවෙයිද?'

ඈතින් කුරුලු නාදයක් යාන්තමින් ඇසෙන්නට විය. එය කෙතරම් තියුණු, උච්චස්වරයක් ද යත් සිය ගෙල සීතල අතකින් පිරිමදින්නාක් මෙන් කැට්ලින්ට දැනුනි. තවත් කුරුල්ලෙක් ඌට පිළිතුරු දුන් අතර තෙවැන්නෙක් හා සිවුවැන්නෙක්ද ඊට එක් වූහ. වින්ටර්ෆෙල්හි ගෙවූ කාලය ඇතුළත ඇය ඔවුන්ගේ නාදය මනාව දැන සිටියාය. මේ වනාහි හිම ෂ්රයිකයකු විය. ශීත කාලය මැද්දේ දෙව්වනය හිමෙන් වැසී ගොස් මුලුමනින්ම සුදු පැහැ ගැන්වුනු විට සමහරවිට ඔබට මොවුන්ව දැකිය හැකිවනු ඇත. ෂ්රයිකයන් වනාහි උතුරුක‍රයේ වසන කුරුල්ලන් වර්ගයක් විය.

'එයාලා එනවා.' කැට්ලින් සිතුවාය.

"උන් එනවා මගේ ආර්යාවනි.' හැල් මොලන් මිමිනුවේය. ඔහු සෑමවිටම පෙනෙන්නට තිබෙන දෙය හුවා දක්වන පුද්ගලයකු විය. "දෙවියො අපට පිහිට වෙන්ට."

ඔවුන් වටා වනය නිසල වද්දී ඇය නිහඩවම හිස සැලුවාය. මේ නිහඬතාව මැද්දේ ඇයට ඔවුන්ව ඇසුනි. ඔවුහු තවමත් ඉතා ඈතින් නමුදු කෙමෙන් කෙමෙන් ලංවෙමින් සිටියෝය. අසුන් බොහෝ ගණනකගේ කුර ගැටෙන හඬ, අසිපත්, හෙලි හා පලිහ සෙලවෙන හඬ, මිනිසුන් පහත් හඬින් කතාකරන හඬ, එහෙන් මෙහෙන් ඇසෙන සිනා හඬක් හා අවලාද හඬක්.

වසර දහස් ගණනක් පැමිණ ගෙවී ගියාක් මෙන් දැනින. හඬවල් මඳින් මඳ වැඩි වන්නට පටන් ගත්තේය. තවත් සිනා හඬ, අණක්, කුඩා දිය පහරක් තරණය කරද්දී ජලය කැලැත්තෙන හඬ ඇයට ඇසුනි. අශ්වයෙක් උගුරෙන් හඬක් කලේය. මිනිසෙක් දිවුලේය. අන්තිමේදී ඇය ඔහුව දුටුවාය... එක් නිමේෂයකට ඔහුව දුටුවාය. පහළ මිටියාවත දෙස බලා සිටියදී ගස්වල අතුපතර පසුබිමේ ඇය ඔහුව දුටුවාය. ඡායාව අඳුරු වුවද ඒ ඔහු බව ඇය දැන සිටියාය. ජේමි ලැනිස්ටර් යනු මෙතරම් දුරක සිට පවා  පහසුවෙන් හඳුනාගත හැකි පුද්ගලයකු විය. සඳඑළිය විසින් ඔහුගේ සන්නාහය හා රන්වන් හිසකෙස් රිදී පැහැයෙන් බැබළිනි. එමෙන්ම ඔහුගේ ලේ රත් පැහැ සළුව කළු පැහැයට හරවා තිබුනි. ඔහු ශිරස්කයක් පැළැඳ නොසිටියේය.

එක් මොහොතක ඔහු දිස්වූ අතර ඊළඟ මොහොතේ ඔහු නොපෙනී ගියේය. ඔහුගේ රිදී පැහැ සන්නාහය නැවත වරක් ගස් අතර සැඟව ගියේය. ඔහුට පිටුපසින් තවත් අය පැමිණෙමින් සිටියහ. නයිට්වරු, පක්ෂපාති සෙබළු හා නිදහස් අසරුවන්ගෙන් සැදි ලැනිස්ටර් අසරු සෙබළුන්ගෙන් හතරෙන් තුන් පංගුවක් ඔහු පසුපසින් පෙළ සැදී ගමන්ගත්හ.

"තමන්ගෙ වඩුවො වැටලීම් කුළුණු හදනකම් තමන්ගෙ කූඩාරමට වෙලා බලන් ඉන්න ජාතියෙ මිනිහෙක් නෙවෙයි එයා." සෙර් බ්‍රින්ඩන් පොරොන්දු වී තිබින‍. "එයා දැනටමත් තුන්පාරක් එයාගෙ නයිට්වරුත් එක්ක එළියට ගිහිල්ලා තියෙනවා. හොරෙන් කඩාපැනලා පහර දෙන එවුන් එලවලා දාන්ට හරි, මුරණ්ඩු විදියට අල්ලන් ඉන්න පොඩි බලකොටුවකට පහරදෙන්ට හරි."

රොබ් හිස වනමින් ඇගේ බාප්පා විසින් මේසය මත අතුල සිතියම නිරීක්ෂණය කරන්නට විය. නෙඩ් ඔහුට සිතියම් කියවන්නට උගන්වා තිබුනි‍. "එයාට මෙතැනදි පහර දෙන්ට." ඔහු ඇඟිල්ල තබා පෙන්වමින් කීය. "මිනිස්සු දෙතුන් සීයක් විතර ඇති. ඊට වඩා ඕන නැහැ. ටලී කොඩි අරන් යන්ට. උන් ඔයාලා පස්සෙ පන්නන්ට පටන් ගත්තහම අපි බලන් ඉන්නවා..." ඔහුගේ ඇඟිල්ල සිතියම මත අඟලක් වම්පසට ගියේය. "මෙන්න මෙතැන."

මෙහි රැයේ නිහඬතාව විය. සඳඑළිය හා සෙවනැලි විය. ගස්වල අතුපතරින් බිමට වට මළගිය පත්‍රවලින් සැදි පාවාඩයක් පයට යටින් විය. මිටියාවතේ පතුළ දක්වා සෙමින් බෑවුම් වෙමින් යන ගස්වලින් වැසුනු කුඩා කඳු වැටි විය. භූමිය පහතට යන්නට යන්නට යටිවගාව තුනී විය.

මෙහි සිය යුධ අසු පිට නැගි ඇගේ පුත්‍රයා විය. ඇය දෙස අවසන් වරට හිස හරවා බලා ඇයට ආචාර කරනු පිණිස සිය අසිපත එසවූ ඇගේ පුත්‍රයා විය.

මෙහි මේජ් මෝර්මන්ට් ගේ යුධ හොරණෑවේ හඩ විය. එය නැගෙනහිර දෙසින් ඇරඹී නිම්නයේ පතුළ ඔස්සේ විහිදුනු දිගු, පහත් හඬක් විය. ඒ වනාහි ජේමිගේ අවසාන සෙබළාත් ඔවුන්ගේ උගුලට ඇතුළු වූ බව දන්වන සංඥාවයි‍.

ඊළඟ මොහොතේ හිස එසවූ ග්‍රේවින්ඩ් උඩු බුරන්නට විය.

මේ ශබ්දය කැට්ලින්ගේ සිරුර විනිවිද ගියාක් බඳු විය. ඇය වෙවුලන්නට පටන්ගත්තා ය. එය බිහිසුණු හඩක් විය. බියකරු හඬක් විය. එනමුදු එහි ගීතවත් බවක් ද විය. එක් තත්ත්පරයකට ඇයට පහතින් වූ ලැනිස්ටර් මිනිසුන් ගැන අනුකම්පාවක් දැනෙන්නට විය. 'ඉතින් එහෙනම්, මේක තමයි මරණයේ හඩ!' ඇය කල්පනා කලාය.

හරූඌඌඌඌඌඌඌඌඌඌ... එහා අන්තයේ කඳුවැටිය මුදුනේ සිටි ග්‍රේට්ජොන්ගේ පිළිතුරු හොරණෑ නාදය ඇසෙන්නට විය. නැගෙනහිරටත් බටහිරටත් මැලිස්ටර්වරුන් ගේ හා ෆ්‍රේවරුන් ගේ නලා විසින් පලිගැනීමේ නාදය පතුරවන්නට විය. උතුරින්, නිම්නය පටු වී වැලමිටක් මෙන් නැමුනු ස්ථානයේ වූ කාර්ස්ටාර්ක් උතුමානන‍්ගේ යුධ හොරණෑ ද ඔවුන්ගේ ගැඹුරු, දුක්මුසු නාදය මේ සංගීතයට මුසු කරන්නට විය‍. පහළින් වූ ගංගාව අසබඩ මිනිසුන් කෑගසන්නටත්, අසුන් එහා මෙහා හැරවෙන්නටත් විය.

කොඳුරන වනය එක් මොහොතකදී සිය හුස්ම සියල්ල මුදා හැරියේය. රොබ් විසින් ගස්වල අතුපතර මත සඟවන ලද දුනුවායින් සිය දුනුදිය මුදාහැරි අතර වාතය මිනිසුන්ගේ හා අසුන්ගේ කෑගැසීම්වලින් පිරී ගියේය. ඇය වටා සෑම තැනකම වූ අසරුවෝ සිය ලන්සයන් ඔසවන්නට වූහ. මෙතෙක් වේලා පසින් හා මළ කොළවලින් වැසී තිබුනු ලන්ස තුඩු පිටතට පැමිණියේ සඳඑළියේ දිදුලන්නට විය. "වින්ටර්ෆෙල්!" නැවත වරක් ඊතල අහස ගනිද්දී රොබ් කෑගසනු ඇයට ඇසුනි. ඔහු ඇගෙන් ඈත්වී සිය සෙබළුන්ට නායකත්වය දෙමින් කඳුපාමුල බලා හැල්මේ යන්නට විය.

කැට්ලින් සිය අසු මතට වී නොසැලී බලා සිටියාය. හැල් මොලන් හා ඔහුගේ ආරක්ෂක බලමුලුව ඇය වටා විය. ඉදින් ඇය පෙර පුරුදු පරිදි ඇගේ පියා, බ්‍රැන්ඩන් හා නෙඩ් වෙනුවෙන් කලාක් මෙන් බලා සිටින්නට විය. ඇය කඳුවැටියක් මුදුනේ වූ අතර ඇයට පහළින් සිදුවන ‍‍බොහෝ දෑ ගස්වල අතුපතර නිසා නොපෙනී ගියේය. හදවත ගැහෙන වාරයක්, දෙකක්, තුනක්, හතරක්... ඊළඟ මොහොතේ වනය තුළ ඇයත් ඇගේ ආරක්ෂක බලමුලුවත් හැරෙන්නට අන් කිසිවක් නැත්තාක් මෙන් පෙනී ගියේය. අනිත් සියල්ලෝම වනයේ අඳුරු කොළ පැහැය තුළට මුසු වී ගොසිනි.

එනමුදු ඇය නිම්නය හරහා අනිත් පස කඳුවැටිය දෙස බැලූවිට ග්‍රේට්ජොන්ගේ ‍අසරු සෙබළුන් ගස් වියන යටින් පිටතට පැමිණෙනු ඇය දුටුවාය. ඔවුහු දිගු අනන්ත පේළියක් සැදී වනයෙන් පිටතට එන්නට වූහ. එක් නිමේෂයකට, හද ගැස්මකින් එක් සුළු මොහොතකට සඳඑළිය ඔවුන්ගේ ලන්ස තුඩු මත වැටී දිදුලනු පමණක් ඇය දුටු අතර එය හරියටම රිදී දියෙන් නැහැවුනු දහස් ගණනක් වූ අද්භූත මායා ආළෝක කිරණ කඳු වැටියෙන් පහත බසින්නාක් මෙන් විය.

ඊළඟ මොහොතේ ඇය ඇසිපිය ගැසූ අතර ඒ අනිකක් නොව මරන්නට හෝ මියයන්නට නියමිතව සිටි මිනිසුන් පමණක් විය.

තමා සැබැවින්ම මේ යුද්ධය දුටුවාදැයි ඇයට පසුකලෙක තිර ‍කොට කියන්නට නොහැකි විය. එනමුදු ඇයට යුද්ධය ඇසුනු බව නම් ස්ථිර විය. නිම්නය පුරා හඬවල් දෝංකාර දෙමින් තිබුනි. බිඳෙන ලන්සයක ක්‍රැක් හඬ, අසිපත් එකට ගැටෙන හඬ, මිනිසුන් කෑගසන හඬ, "ලැනිස්ටර්!", "වින්ටර්ෆෙල්!", "ටලී!" හා "රිවර්රන්!" තව දුරටත් කිසිවක් දකින්නට නොහැකි බව වටහාගත් පසු ඇය දෑස් පියාගෙන යුද්ධයට කණ් දෙන්නට පටන්ගත්තා ය. ඒ සැනින් ඇය වටා යුද්ධය ඇවිලී යන්නට විය. අසුකුර ගැටෙන හඬ, නොගැඹුරු දියකඳ මත යකඩ බූට්ස් සපත්තු වලින් දිය කැලැත්තෙන හඬ, අසිපත් ලී පලිහ මත ගැටෙද්දී ඇසෙන දැවමුවා හඬ, අසිපත් හා අසිපත් එක‍ට ගැටෙන තානමය හඬ, ඊතල පියාඹා යන හඬ, බෙරහඬ, බියපත් අසුන් දහස් ගණනකගේ හේෂාරවය යන මේ සියල්ල ඇයට පැහැදිලව ඇසෙන්නට විය. මිනිස්සු අවලාද නගමින් සාප කල අතර ක්ෂමා අයැදිමින් යදින්නට විය. ඔවුන්ට ක්ෂමා ලැබුනි (හෝ නොලැබුනි). ඔවුන්ට ජීවිතය ලැබුනි (‍හෝ මරණය ලැබුනි). මේ කඳුවැටි මගින් හඬ විපරීත කරන්නට යෙදුනු බවක් සමහරවිට පෙනුනි. එක්වරක් ඇයට රොබ්ගේ කටහඬ පවා ඇසුනි. එය කෙතරම් පැහැදිලි වී ද යත් ඔහු ඇය පසෙකින් සිටගෙන සිටින්නාක් වැනි විය. "මගේ ළඟට වරෙල්ලා! මගේ ළඟට වරෙල්ලා!" එමෙන්ම ඔහුගේ ඝෝරවෘකයා දත් විලිස්සමින් ගොරවන හඬ පවා ඇයට ඇසෙන්නට විය. ඒ දිගු දත් එකිනෙක ගැටෙන හඬ, මස් ඉරෙන හඬ, මිනිසුන් හා අසුන් දෙකොටසම බියෙන් හා වේදනාවෙන් කල මුරගෑම් යන මේ සියල්ල එකට කැලැත්තී ගියේය. ඒ එක් තනි වෘකයෙකු නොව වෘකයින් රංචුවක් වැන්න.

අන්තිමේදී කෙමෙන් කෙමෙන් මේ ශබ්ද නෑසී ගියේය. අන්තිමේදී වෘකයාගේ හඬ හැරෙන්නට අන් සෑම හඬක්ම නෑසී ගියේය. නැගෙනහිර දෙසින් රත් පැහැ අරුණාළෝකය උදාවද්දී ග්‍රේවින්ඩ් නැවත වතාවක් හිස ඔසවා උබු බුරන්නට පටන්ගත්තේ ය.

රොබ් වෙනත් අසෙකු පිට නැගී ඇය මුනගැසීමට පැමිණියේය. ඒ ඔහු නිම්නය පහළට ගමන්ගත් අළු පැහැ යුධ සෛන්ධවයා නොව පුල්ලි වැටුනු සතකු විය. ඔහුගේ පලිහේ වූ වෘක හිස කැබලිවලට කැඩී ගොස් තිබුනි. ඕක් ලීය මත ගැඹුරු කැපුම් ඇති වූ තැන්වල ලීය පවා පැහැදිලිව දිස්විය. එනමුදු රොබ්ට කිසිදු තුවාලයක් සිදුවූ බවක් නොපෙනින. එනමුදු ඔහු තමා සමීපයට එද්දී ඔහුගේ අත්වැසුම් හා පිටකබායේ අත් රුධිරයෙන් පෙඟී කළු පැහැ වී ඇති බැව් ඇය දුටුවාය. "ඔයාට තුවාල වෙලා." ඇය කීවාය.

අත එසවූ රොබ් ඇඟිලි නමන්නටත් දිග හරින්නටත් විය. "නැහැ. මේ... ටෝරන්ගෙ ලේ වෙන්ටැති සමහරවිට. එහෙමත් නැත්තම්..." ඔහු හිස වැනීය. "මම දන්නෙ නැහැ."

කුණු වැකුනු, ඇඳුමු පැළැඳුම් ඉරීගිය, සන්නාහ තැලී ගිය, එනමුදු විරිත්තමින් පැමිණි පිරිසක් රොබ් පසුපසින් කන්ද නැග ආහ. ඔවුන්ගේ ඉදිරියෙන්ම පැමිණියේ තියන් හා ග්‍රේට්ජොන් විය. ඔවුන් දෙදෙනා එකතුව දෙදෙනාට මැදින් ජේමි ලැනිස්ටර්ව ඇදගෙන ආවෝය. ඔවුන් ඔහුව ඇගේ අසුගේ පාද මුල අතහැරියේය. "රජුන් මරන්නා." හැල් පුරුදු පරිදි නිවේදනය කලේය.

ලැනිස්ටර් සිය හිස එසවීය. "ස්ටාර්ක් ආර්යාවනි." ඔහු දණින් වැටී හිඳිමින්ම කතා කලේය. ඔහුගේ කම්මුලෙහි වූ කැපුමකින් රුධිරය වෑස්සින. එනමුදු අරුණෝදයේ ලා එළිය විසින් ඔහුගේ හිසකෙස්වල නියම රන්වන් පැහැය නැවත උරුම කර දී තිබුනි. "මම ඔබට මගේ කඩුව පුදන්ට කැමැතියි. ඒ වුනත් ‍පේන හැටියට නම් ඒක මගෙ අතින් නැතිවෙලා."


"මට ඔබේ කඩුවෙන් ඇති වැඩක් නැහැ සෙර්. මට මගේ තාත්තව දෙන්ට. මගේ මල්ලි එඩ්මුයර්ව දෙන්ට. මට මගේ දුවලව දෙන්ට. මට මගේ සැමියව දෙන්ට."

"මට බොහොම කණගාටුයි. මම හිතන්නෙ ඒ හැමෝම මගෙ අතින් නැතිවෙලා."

"බොහොම කණගාටුවට කාරණයක්." ඇය සීතල ස්වරයෙන් කීවාය.

"ඌව මරන්ට රොබ්." තියන් ග්‍රේජෝයි උනන්දු සහගත ස්වරයෙන් කීය. "උගෙ ඔළුව කඳින් වෙන් කරන්ට."

"නැහැ." ඇගේ පුත්‍රයා පිළිතුරු දුන්නේය. "එයා මැරුනාට වඩා පණපිටින් ඉන්න එක ප්‍රයෝජනවත්. අනික මගේ තාත්තා සටනකින් පස්සෙ යුධ හිරකාරයින්ව මරන එකට කවදාවත් කැමැති වුනේ නැහැ."

"බොහොම නුවණක්කාර මනුස්සයෙක්." ජේමි ලැනිස්ටර් කීවේය. "ඒ වගේම උදාර මනුස්සයෙක්."

"මෙයාව අරන් ගිහින් දම්වැල් දාලා බැඳලා දාන්ට." කැට්ලින් කීවාය.

"මගේ අම්මා කියපු විදියට කරන්ට." රොබ් අණ දුන්නේය. "ඒ වගේම එයා වටේ හොඳට මුරකාවල් දාන්ට. කාර්ස්ටාර්ක් උතුමානන්ට එයාගෙ ඔළුව කුන්තයක අමුනන්ට ඕන වෙයි."

"අනිවාර්යයෙන්ම ඕන වෙයි." ග්‍රේට්ජොන් අතින් සන් කරමින් එයට එකඟ විය. තුවාලවලට සාත්තු කිරීමටත්, දම්වැලින් බැඳ දැමීමටත් පිණිස ජේමි ලැනිස්ටර් ඉවත කැඳවාගෙන යනු ලැබීය.

"ඇයි කාර්ස්ටාර්ක් උතුමානන්ට එයාගෙ ඔළුව ඕන වෙන්නෙ?" කැට්ලින් විමසුවාය.

රොබ් හිස හරවා වනය දෙස බැලීය. ඒ වනාහි නෙඩ් වෙතින් බොහෝවිට දකින්නට ලැබුනු කල්පනාවෙහි ගැලුනු පෙනුමක් විය. "එයා.. එයා අරගොල්ලන්ව මැරුවා."

"කාර්ස්ටාර්ක් උතුමානන්ගෙ පුත්තු." ගැල්බට් ග්ලවර් පැහැදිලි කලේය.

"ඒ දෙන්නවම." රොබ් කීවේය. "ටෝරනුයි එඩාර්ඩුයි. ඩේරින් හෝර්න්වුඩ්වත් මැරුවා."

"කිසිම කෙනෙකුට බැහැ ලැනිස්ටර්ගෙ ධෛර්‍යය ගැන එයාට චෝදනා කරන්ට." ග්ලවර් කීවේය. "තමන්ගෙ හමුදාව පැරදුනයි කියලා දැක්කහම එයා ඉතුරුවෙලා හිටපු ටික දෙනාවත් එකතු කරන් නිම්නයේ උඩහට ආවා සටන් කර කර. එයා බලාපොරොත්තු වුනේ රොබ් උතුමානන්ව කපලා දාන්ටයි. එයා එතැනටම ආවා.."

"එයාගෙ කඩුපාර වැරදිලා වැදුනෙ එඩාර්ඩ් කාර්ස්ටාර්ක්ගෙ බෙල්ලටයි. ඊටපස්සෙ එයා ටෝරන්ගෙ අත සම්පූර්ණයෙන්ම කපලා වෙන්කරලා ඩේරින් හෝර්න්වුඩ්ගෙ හිස්කබල දෙකට පැලුවා." රොබ් කීවේය. "ඒ වුනත් හැම ‍වෙලාවෙම එයා මගේ නම කිය කියා කෑ ගහගහයි හිටියෙ. අරගොල්ලො එයාව නවත්තන්ට හැදුවෙ නැත්තම්-"

"-කාර්ස්ටාර්ක් උතුමානන් වෙනුවට මමයි එහෙනම් මෙතැන වැලපෙන්නෙ." කැට්ලින් කීවාය. "ඔයාගෙ මිනිස්සු කලේ එයාලා කරන්නම් කියලා දිවුරුම් දුන්න දේයි රොබ්. එයාලා මැරුනෙ එයාලගෙ උතුමානන්ව ආරක්ෂා කරන්ට ගිහිල්ලයි. එයාලා වෙනුවෙන් දුක්වෙන්ට. එයාලගෙ ධෛර්යය, ශූරවීරකම වෙනුවෙන් එයාලට ගෞරව කරන්ට. ඒ වුනත් දැන් නෙවෙයි. ඔයාට දැන් දුක් වෙවී ඉන්ට තරම් කාලයක් නැහැ. ඔයා සර්පයාගෙ ඔළුව කපලා දැම්මා වෙන්ට පුළුවන්. එ වුනාට උ‍ගේ ඇඟේ හතරෙන් තුනක්ම තාමත් මගේ තාත්තගෙ බලකොටුව වටලන් ඉන්නවා. අපි දිනුවෙ එක සටනයි. යුද්ධයක් නෙවෙයි."

"ඒ වුනත් ඒක කොච්චර නියම සටනක්ද!" තියන් ග්‍රේජෝයි උනන්දු ස්වරයෙන් කීවේය. "මගේ ආර්යාවනි. මේ රාජධානිය මේ වගේ ජයග්‍රහණයක් දැක්කෙ නැහැ 'ගිනිගත් කෙතේ' සටනින් පස්සෙ. මම දිවුරනවා. අපෙන් වැටුන එක මිනිහෙකුට ලැනිස්ටර්ලා දහදෙනෙක් වැටුනා. අපි නයිට්වරු සීයකට කිට්ටු ගානක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම වංශාධිපතියො දුසිමක් විතරත්. වෙස්ටර්ලින්ග් උතුමානන්, බේන්ෆර්ට් උතුමානන්, සෙර් ගාර්ත් ග්‍රීන්ෆීල්ඩ්, එස්ට්‍රෙන් උතුමානන්, සෙර් ටයිටස් බ්‍රැක්ස්, ඩෝර්නිෂ්කාරයා මැලර්... ජේමිට අමතරව තවත් ලැනිස්ටර්ලා තුන්දෙනෙක්. ටයිවින් උතුමානන්ගෙ බෑණාවරු. එයාගෙ සහෝදරීගෙ පුත්තු දෙන්නෙකුයි එයාගෙ මැරිච්ච සහෝදරයගෙ පුතෙකුයි..."

"එතකොට ටයිවින් උතුමානන්?" කැට්ලින් බාධා කලාය. "ඔබලා ටයිවින් උතුමානනුත් අල්ලගත්තද තියන්?"

"නෑ." ග්‍රේජෝයි නැවත පියවි සිහියට ආවාක් මෙන් පෙනින.

"ඔබලා එයාව අල්ලගන්නකම් මේ යුද්ධෙ ඉවර වෙලා නැහැ."

හිස එසවූ රොබ් සිය දෑසට වැටී තිබුනු කෙස් රොදක් පිසදා හැරියේය. "මගේ අම්මා කියන කතාව ඇත්ත. අපට තාමත් රිවර්රන් බේරගන්ට තියෙනවා‍."


Ser Brynden Tully: “There is one thing Ser Jaime lacks.”
Robb Stark: “Yes?”
Ser Brynden Tully:  “Patience.”

41 comments:

  1. වලිනං වලිෂේප් නං ඒත් වලි හරි ය
    වලි ෂේප් දෙකක් නෑ.....
    හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අනිවා.. උතුරුකරේ මිනිස්සු හරි කෙලින් මිනිස්සු හරිය.. ගේමෙන් නම් ගේමෙන්.. සාමෙන් නම් ඒත් ගේමෙන්.. :-D

      Delete
    2. @මහේෂ්,

      මේ දවස්වල first comment දාන කෙනාගේ ෆොටෝ වැටෙනවා මූණු පොතේ මේ ලින්ක් එක එක්ක. අද මහේෂ්ගේ තිබුණේ. එන්ට. ඔබගේ වටිනා කමෙන්ටුව මුලින්ම දැමීමෙන් ඔබගේ ෆොටෝව පෙන්නීමට ලැබෙන මේ අගනා අවස්තාව නැති කරගන්ට එපා. :D :D

      Delete
  2. //"එතකොට ටයිවින් උතුමානන්?" කැට්ලින් බාධා කලාය. "ඔබලා ටයිවින් උතුමානනුත් අල්ලගත්තද තියන්?"

    "නෑ." ග්‍රේජෝයි නැවත පියවි සිහියට ආවාක් මෙන් පෙනින.

    "ඔබලා එයාව අල්ලගන්නකම් මේ යුද්ධෙ ඉවර වෙලා නැහැ."//

    she knows the way of it

    ReplyDelete
    Replies
    1. She should know it better than anyone else.. She started all this mess..

      Delete
    2. i think you and i both know this whole mess started when jon arryn died. and that happened because of a sword thrust from neck to groin and a guy looking for a handkerchief :P

      Delete
    3. m'lord m'lord... who's folly was it again? If little Cat didn't ask Mr. Brandon Stark to spare that mischievous mockingbird, this seven kingdom won't be bleeding this much right now.. It'll be still under peaceful reign of our beloved Robert.. :-P

      Delete
    4. ඔහෙලට පිස්සු හලෝ.... මෙව්වා ඔක්කොටම වගකියන්න ඕන අර මාර්ටින් ලොක්කා... මිනිහා ඔය පොත ලිව්වේ නැත්නම් ඔය එකෙක්වත් මැරෙන්නේ නෑනේ..

      Delete
    5. Most men would rather deny a hard truth than face it...:(

      Delete
    6. Most women would too me lady.

      @bur
      If we go full kakille on this the true blame still lies with the said mockingbird, who challenged a full fledged warrior to battle. All for a girl who didn't love him.

      Delete
    7. @Pom & P
      Generalizing is not always a reliable method of arriving at conclusions. Most men would hesitate to immolate themselves in volcanic eruptions even for the most compelling of reasons but there is one, well known to us, who positively revels in it.

      Delete
    8. @Pra,

      I completely, absolutely, totally, fully, ultimately, utterly, unconditionally agree with you…:P

      Delete
    9. Oh thank you. But our PoM doesn't have the luxury or the liberty to agree. Got to preserve life first, no?

      Delete
  3. 'එයාට දාසය වෙන්ට ඉඩදෙන්ට. විස්ස වෙන්ට ඉඩදෙන්ට. පනහ වෙන්ට ඉඩදෙන්ට. එයා එයාගෙ තාත්තා තරම්ම ලොකුවට වැඩෙන්ට ඉඩදෙන්ට. එයාට එයාගෙම පුතෙක් දෝතින් වඩාගන්ට ඉඩදෙන්ට. අනේ! අනේ! අ‍නේ කරුනාකරලා!'
    මටත් කියන්ට තියෙන්නෙ මේකම තමා... මාර්ටින්ට

    ReplyDelete
    Replies
    1. කැට්ලින් ඔය දෙවියන්ට කියලා යාඥා කරනවා ඇත්තෙ මාර්ටින්ට වෙන්ටැති තමා.. :-)

      රන්වන් කියවලා තියෙනවද සොෆීගේ ලෝකය කියලා පොතක්?

      Delete
    2. රන් ඕවාවලට අහුවෙන්ට එපා. අර අහිංසක සෝන්යා ඔය පොත අරගෙන තාම කියවගන්ට බැරුව ඉන්නවලු...:P

      Delete
  4. ජේමියා ගේ හැටි යකෝ.
    ප්‍රණ ඇපකරයෝ මරන්නේ නැති එක හොඳයි.මොකද පස්සේ කාලෙක යුද අපරාධ චෝදනා එන්ට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මනෝජ් දන්නවද ඔය අපරාධ චෝදනා ඔක්කොම එන්නෙ යුද්ධෙ පැරදුන පැත්තට කියලා.. දෙවෙනි ලෝක යුද්ධෙන් ජර්මනිය දිනුවානම් මිත්‍ර පාක්ෂිකයො තමා යුධ අපරාධකාරයො වෙන්නෙ.. :-D

      Delete
    2. ලංකාව යුද්දේ පැරදුනාද?? අර මානුෂික එක

      Delete
    3. ලංකාවේ යුද්ධයක් තිබුණද? :O

      Delete
    4. චුලෝ මම ඔය "මානුෂික යුද්ධ" කියලා එකක් ගැන ඇහුවෙත් ලංකාවේ යුද්දෙන් පස්සේ.:D

      Delete
  5. It's been a long time since I last visited here...
    Looks like I've missed a good lot of posts... A couple of weeks ago, all hell broke loose, and now I'm left without a mobile or a data sim to access internet. Now the only thing I can access Internet is my father's mobile phone, without Sinhala fonts installed. So it's no use.
    Blog is doing great, and good luck for both the writers!
    Keep on steaming, and I hope to be back soon!
    Catch you later!

    ReplyDelete
    Replies
    1. Just think it as disguised blessing mate..

      ඩේටා ආයෙමත් ලැබුන දාට කතාව එක හුස්මට කියවගෙන යන්ට පුළුවන් නෙවැ.. නැවැති නැවැති බලාගෙන ඉන්ට ඕන නැහැ එතකොට.. :-D

      Delete
    2. will be waiting අඟහරුවෝ...thanks. :D

      Delete
  6. යුද්ධේට ගිය දරුවෝ වෙනුවෙන් අම්මලා කී ලක්ෂයක් අර වගෙ පතන්න ඇත්ද ? එයින් කීදෙනෙක් පුතුන් නැවත පනපිටින් දකින්න ඇත්ද ? නැවතත් යුද්ධයක් දකින්න මෝඩකම් කරන අපේ අප්පුලා කවදා වටහා ගනීද ?

    ReplyDelete
    Replies
    1. මම යුද්ධය සාධාරණීකරණය කරනවා නෙවෙයි. නමුත්, කෙනෙකුගේ කරපිට බලෙන් යුද්ධයක් පැටවුනොත්, ඒකෙන් ගැලවෙන්ටත් බැරිනම් යුද්ධෙට යාම වැරැද්දක් ද සරත්?

      Delete
    2. ඕනෑම කෙනෙක් බලෙන් යුද්ධවලට පැටලෙන්නේ නැතුව ඉන්ට දැනගන්ට ඕනෑලු. :P

      Delete
  7. ඔබ මේ පරිවර්තන කාර්යය ඉවසීමෙන් හා උත්සාහයෙන් කරගෙන යාම ඉහලින්ම අගය කරනවා. මුල් කෘතියේ රසයට හානියක් නොවන ආකාරයට මෙවැන්නක් කිරීමේ අපහසුතාව මා හොඳින්ම දන්නවා. අවසානයේදී මෙය PDF ගොනුවක් ලෙස බාගන්නට සැලැස්විය හැකිනම් බොහොම පින්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක! :-)

      Delete
    2. PDF??? :O මෙහි අවසානය ගැන හිතනකොට හිත හිරි වැටෙනවා විචා...:(

      Delete
  8. ඊයේ පෙරේදා වයසට ගිය කුමාරිහාමි තාම නෑ වගේ??

    ReplyDelete
    Replies
    1. චූලෝ.. කාලෙකට පස්සෙ.. පහුගිය කාලෙ ‍කොයිබකැයි ගොහින් හිටියේ..? :-D

      Delete
    2. තාම සුමාන දෙක පහුවුනා විතරයි. නැගිටගන්ටත් බෑනේ.:P

      සමහර අය අමාරුවෙන් හොයලා එවපු 21 වෙනි birthday wish එහෙම ලස්සනේ බෑලු. :D

      Delete
    3. පොඩ්ඩි නැන්දී ගේ 21 වෙනි birthday එක තිබ්බේ අවුරුදු 21 කලින් නෙමේද ?

      Delete
    4. මගෙත් එක්ක තනියම අයිස්ක්‍රීම් කේක් බීලත් එක්ක කියන කතා :O හී හී...

      Delete
    5. සේර් බුරා...

      යහපාලන ආනිසංසේ හින්දා හුස්මක් කටක් ගන්ට බැරිවෙනකන් වැඩ වැඩි උනානේ හිටං....ඊටත් පස්සේ විභාගෙකට ලියන්ට උනා ඉදගෙන....

      @චූටි නැන්ඩි ඉතිං එදා රෑ එහෙම උනාලුද?

      Delete
  9. ටයිවින් උතුමන්ව නම් අල්ලන එක කැට්ලින් හිතන තරම් ලේසි වෙන එක් නෑ.. බලමුකෝ...

    ReplyDelete
    Replies
    1. ගෑනුන්ට කරන්ට බැරි දෙයක් නෑලු දිනේශ්...:P

      Delete
  10. අදට ඇති වගේ... සෙස්ස පස්සට...

    ReplyDelete