Wednesday 18 March 2015

බ්‍රැන් 07-1


පිරිසේ වූ වැඩිමහලුම අයවලුන් වයස දහඅටක් හෝ දහනවයක් හෝ වූ වැඩුනු මිනිස්සු වූහ‍. එක් අයෙකු පමණක් වයස විස්ස පසුකර සිටි අතර ඉතුරු බහුතරය දහසයක් හෝ ඊටත් වඩා වයසින් අඩු යෞවනයින් වූහ.

බ්‍රැන් මේස්ටර් ලුවින්ගේ කුළුණේ සඳළුතලයට වී ඔවුන් සිය ලී අසිපත් හා පලිස් වෙනුවට භාවිත කල ලී පුවරු එහා මෙහා වනමින්, වේදනාවෙන් කෙඳිරිගාමින්, එකිනෙකාට සාප කරමින් පුහුණුවීම්වල යෙදී සිටින'යුරු නැරඹීය. සෙන්ඩුවාලුව පුරාවටම ලී මත ලී වදින ක්ලැක් ක්ලැක් හඬ නොනවත්වාම ඇසෙන්නට විය. එසේම මේ හඩට අමතරව ලී අසිපතක් පදම් කල සම් ආවරණවල හෝ විවෘත මාංශයේ ගැටුනු විට නගින ත්වැක් හඬත් පහර ලද්දා වේදනාවෙන් කෑගසන හඬත් නිතරම පාහේ අසන්නට හැකිවිය. රතු වූ මුහුණින් යුතු සෙර් රඩ්‍රික් මේ පුහුණුවන්නක් අතරින් එහා මෙහා ඇවිද්දේ ඔවුන්ට කටුකුටු ගාමින් බැන වදිමින් සිටියේය. මේ මහලු නයිට්වරයා මේ තරම් සැඩපරුෂ ස්වරයෙන් සිටිනු බ්‍රැන් මින් පෙර කිසිදා දැක නොතිබින. "නෑ." ඔහු නැවත නැවතත් කීයේය. "නෑ! නෑ! නෑ!"

"එයාලා එච්චරම හොඳට සටන් කරන්නෙ නැහැ." බ්‍රැන් දෙගිඩියාවකින් මෙන් කී‍වේය. ඔහු තමා පසෙකින් මස් කැබැල්ලක රස විඳිමින් හුන් සමර්ගේ කණ පිටුපස කැසුවේය.

"සහතිකෙන්ම." මේස්ටර් ලුවින් ගැඹුරු සුසුමක් හෙලමින් එකඟවිය. මහලු මේස්ටර්වරයා සිය දුර බලන ම(ර්)රිෂ් කාචය තුළින් එබී බලමින්, උදෑසන ආකාශයේ ක්ෂිතිජය කිට්ටුව වන්නට එල්ලී තිබුනු වල්ගාතරුවක පිහිටීම අධ්‍යයනය කරමින් හුන්නේය. "ඒ වුනත් අපි එයාලට කල් දීලා බලමු. සෙර් රඩ්‍රික් කියන්නෙ ඇත්ත. අපට ප්‍රාකාරෙ රකින්ට මිනිස්සු ඕන. ඔයාගෙ තාත්තා එයාගෙ හොඳම සෙබළු ටික එයත් එක්ක කින්ග්ස් ලෑන්ඩින්ග්වලට එක්කරන් ගියා. ඉතුරුවෙලා හිටපු අය ඔයාගෙ අයියා එක්කරන් ගියා. ඒ අයත් එක්ක මේ අවට හිටපු සටන් කරන්ට පුළුවන්කමක් තිබුන හැම තරුණයෙක්ම යන්ට ඇති. මේ ගොඩ දෙනෙක් ආපහු අපි ගාවට එන එකක් නැහැ. ඉතින් එයාලගෙ තැන ගන්ට අපි කොහෙන් හරි කට්ටිය හොයාගන්ට ඕන."

පහතින් සිටි මේ නවක සෙබළුන් දෙස බ්‍රැන් නුරුස්නා බැල්මකින් බලා සිටින්නට විය. "මගේ කකුල් දෙක තාමත් හොඳට තිබුනා නම්... මට එයාලා හැමෝම පරද්දන්ට තිබුනා." තමා අවසාන වරට අසිපතක් සුරතින් ගෙන සිටි දවස් සිහියට නගාගන්නට බ්‍රැන් වෑයම් කලේය. ඒ රොබර්ට් රජතුමා වින්ටර්ෆෙල්වලට පැමිණි වකවානුවේ විය. ඒ නිකම්ම නිකම් ලී අසිපතක් වුව ඔහු එයින් තලා ටමෙන් කුමරා අඩුම තරමේ පනස් වතාවක්වත් බිම දමන්නට ඇත. "සෙර් රඩ්‍රික්ට කියන්ට ඕන මට දඬු පොරොවක් පාවිච්චි කරන්ට උගන්නන්ටයි කියලා. මට දිග මිටක් තියෙන දඬු ‍පොරොවක් තියෙනවානම් හොඩෝර්ට පුළුවන් මගේ කකුල් දෙක වෙන්ට. එතකොට අපි දෙන්නට එකතු වෙලා නයිට් කෙනෙක් වෙන්ට පුළුවන්."

"මම හිතන්නෙ ඒක... හරියන වැඩක් නෙවෙයි. බ්‍රැන්, මිනිහෙක් සටන් කරනකොට එයාගෙ අතුයි, කකුලුයි, හිතයි මේ හැමදේම එකක් වෙන්ට ඕන."

පහතින් වූ අංගනයේ සෙර් රඩ්‍රික් බෙරිහන් දෙමින් සිටියේය. "උම සටන් කරන්නෙ හරියට පාත්තයෙක් වගේ. ඌ උඹට කොටනවා, උඹ ඊට වඩා හයියෙන් ඌට කොටනවා. පැනී! පාර වලකපන්. පාත්ත සටන් හරියන්නෙ නැහැ. මේවා ඇත්ත කඩුනම් පලවෙනි කෙටිල්ලෙන්ම උඹේ අතක් කැපිලා වෙන්වෙයි." තවත් කොලුවෙක් මේ කතාවට සිනාසුනු අතර මහලු නයිට්වරයා වහා ඔහු දෙසට හැරුනි. "උඹ හිනාවෙනවා. උඹ! නියමයි. උඹ සටන් කරන්නෙ හරියට ඉත්තෑවෙක් වගේ..."

"එක නයිට් කෙනෙක් හිටියා ඇස් ‍පේන්නෙ නැති." බ්‍රැන් මුරණ්ඩු ස්වරයෙන් කීවේය. "නාකි ආයම්මා මට එයා ගැන කියලා දුන්නා. එයාට තිබුනා දිග රිටක් දෙපැත්තෙම කඩු තල දෙකක් හයිකරපු. එයාට පුළුවන් ඒ රිට හයියෙන් කරකවලා එකපාර මිනිස්සු දෙන්නෙක් කපලා දාන්ට."

"තරු ඇස් තියෙන සිමියොන්." පොතක යම් නොම්මර කිහිපයක් සටහන් කරමින් මේස්ටර් ලුවින් පිළිතුරු දුන්නේය. එයාගෙ ඇස් දෙක නැතිවුනාම එයා හිස් කුහර දෙකේ ඉඳුනිල් මැණික් දෙකක් ඔබාගත්තා. ඒ වගේ මොකක්හරි කතාවක් තමා ගායකයො කියන්නෙ. බ්‍රැන්, ඒක කතාවක් විතරයි. මෝඩ ෆ්ලෝරියන් ගැන කියැවෙන කතාව වගේ, වීරයින්ගෙ යුගයේ ඉඳන් එන සුරංගනා කතාවක් විතරයි. ඔයා ඔය හීන පැත්තකට දැම්මානම් හොඳයි‍. ඒවයින් වෙන්නෙ ඔයාගෙ හදවත රිද්දෝගන්න එක විතරයි."

මේ සිහින පිළිබඳ කතාව විසින් ඔහුට යම් දෙයක් සිහිපත් කර දුනි. "මම ඊයෙ රෑ ආයෙමත් අර කපුටාව හීනෙන් දැක්කා. අර ඇස් තුනක් තියෙන එකා. එයා මගේ නිදන කාමරේට ඇවිත් මට අඬගැහුවා එයත් එක්ක යන්ට එන්ටයි කියලා. ඉතින් මම ගියා. අපි දෙන්නා පහළ සොහොන් ගුහාවලට ගියා. තාත්තා එහෙ හිටියා. ඉතින් අපි කතා කලා. එයා හරි දුකෙන් හිටියෙ."

"ඇයි ඒ?" ලුවින් නැවත වරක් සිය දුරේක්ෂයෙන් එබී බැලුවේය.

"මම හිතන්නෙ ඒ ජොන් ගැන මොකක් හරි නිසා කියලයි." මේ සිහිනය අනිකුත් සියළුම කපුටු සිහිනවලට වඩා බ්‍රැන්ගේ සිතට පීඩාවක් ඇති කරන්නට සමත්ව තිබුනි. "හොඩෝර් ඒ සොහොන් ගුහාවලට යන්නෙ නැහැ."

මේස්ටර්වරයා ඔහුට මනාව ඇහුම්කණ් නුදුන් බව බ්‍රැන් එකවිටම වටහාගත්තේ ය. ඔහු දුරේක්ෂයෙන් දෑස් මෑත් කරගත්තේ වේගයෙන් ඇසිපිය ගසන්නට විය. "හොඩොර් මොකක්ද..."

"සොහොන් ගුහාවලට යන්නෙ නැහැ. මම නැගිට්ටට පස්සෙ මම එයාට කිවුවා මාව පල්ලෙහාට එක්කරන් යන්ටයි කියලා. තාත්තා ඇත්තටම එහෙ ඉන්නවද බලන්ට. මුලදි එයාට කොහෙත්ම තේරුනෙ නැහැ මම මොකක්ද කියන්නෙ කියලා. ඒ වුනත් මම එයාට අතින් පයින් පාර පෙන්නලා කොහොමහරි පඩිපෙළ ගාවට එක්කරන් ගියා. ඒ වුනත් එයා උඩම පඩියට වෙලා 'හොඩොර්' කිය කියා බලා හිටියා විතරයි. හරියට එයා කළුවරට බයවෙලා වගේ. ඒ වුනත් මගේ අතේ පන්දමකුත් තිබුනා. මට කොච්චර තරහා ආවද කිවුවොත් මට හිතුනා අර නාකි ආයම්මා නිතරෝම එයාට ගහනවා වගේ හොඳ පාරක් ඔළුවට දෙන්ට." මේස්ටර්වරයා මුහුණ ඇඹුල් කරගන්නා ආකාරය දුටු ඔහු වහා මේ ටිකද එකතු කලේය. "මම එහෙම කලේ නැහැ ඒ වුනත්."

"ඒක හොඳයි. හොඩෝර් කියන්නෙ මිනිහෙක්. කොටළුවෙක් නෙවෙයි තලන්ට."

"ඒ හීනෙදි නම් මම කපුටාත් එක්ක පියාඹලා පල්ලෙහාට ගියා. ඒ වුනත් මම නැගිට්ටහම මට ඒක කරන්ට බැහැ."

"ඇයි ඔයාට ඕන වුනේ සොහොන් ගුහාවලට යන්ට?"

"මම ඔයාට කිවුවෙ. තාත්තා ඉන්නවද බලන්ට."

අපහසුතාවට පත් වූ අවස්ථාවන්හිදී නිතරම කරන්නාක් මෙන් මේස්ටර්වරයා සිය ගෙල වටා වූ දම්වැල ඇද්දේය. "බ්‍රැන්, මගේ හොඳ දරුවෝ. එක දවසක් එයි එඩාර්ඩ් උතුමානනුත් එයාගෙ තාත්තයි, තාත්ත‍‍ගෙ තාත්තයි, උතුරේ රජකරපු පුරාණ ස්ටාර්වරු ඔක්කොමයි වගේ ගල් පිළිමයක් වෙලා පහළ සොහොන් ගෙට වෙලා නිදාගෙන ඉන්න... ඒ වුනත් ඒකට තව අවුරුදු ගනනාවක් යාවි. ඔයාගෙ තාත්තා දැන් කින්ග්ස් ලෑන්ඩින්ග්වල රැජිනගෙ හිරකාරයෙක්. ඔයාට එයාව පහළ සොහොන් ගෙවල්වල හොයාගන්ට හම්බවෙන්නෙ නැහැ."

"එයා ඊයෙ රෑ එහෙ හිටියා. මම එයාට කතා කලා."

"මුරණ්ඩු කොලුවා." සුසුමක් හෙලූ ‍මේස්ටර්වරයා සිය පොත පසෙකින් තැබීය. "ඔයා කැමැතිද ගිහින් බලන්ට?"

"මට බැහැ නෙ. හොඩෝර් යන්ට කැමැති නැහැ. ඩාන්සර්ගෙ පිටේ යන්ට තරම් පඩිපෙළ පටු වැඩියි, වංගු වැඩියි."

හොඩෝර් වෙනුවට වනචාරී ගැහැණිය ඕෂා කැඳවනු ලැබින. ඇය උස්, දැඩි, මැසිවිලි නොනගන වර්ගයේ අයකු විය. ඇයට අණකෙරුනු වහා කොහේ වුවද යාමට කැමැති වූවාය. "මම මගේ ජීවිතේ ගෙවුවෙ ප්‍රාකාරෙන් එහා. ඉතින් මේ පොළොවෙ හාරලා තියෙන වලකට මම මොකට බයවෙන්ටද මගේ උතුමනි." ඇය කීවාය.

"සමර්, එන්ට." ඇය සිය කෙහඟ, ශක්තිමත් දෑතින් ඔහුව ඔසවාගද්දී බ්‍රැන් කීවේය. ලෑටිගාමින් සිටි ඇටකටුව අතහැරි ඝෝරවෘකයා ඕෂා විසින් බ්‍රැන්ව ඔසවාගෙන අංගනය හරහාත් සර්පිලාකාර පඩිපෙළ දිගේ පහළින් වූ අන්ධකාර සීතල බිංගෙයටත් ගෙනයද්දී ඇය පසුපසින් ඇදුනේය. පන්දමක් අතින් ගත් මේස්ටර් ලුවින් ඔවුන්ට පළමුව පඩිපෙළ බැස්සේය. ඇය හොඩෝර් මෙන් ඔහුව පිටේ බැඳගෙන නොගොස් කුඩා දරුවකු මෙන් වඩාගෙන යෑම ගැන බ්‍රැන් එතරම්ම අහිතක් නොසිතුවේය. මේ වනචාරී ගැහැණිය වින්ටර්ෆෙල්වලට පැමිණියායින් පසුව හොඳින් හැසිරීමත් ඔවුන්ට ලැදිව සේවය කිරීමත් නිසා ඇගේ දෙපාවලට යොදා තිබුනු දම්වැල ඉවත් කරන්නැයි සෙර් රඩ්‍රික් විසින් අණ දී තිබුනි. දම්වැලින් ඈඳා තිබුනු බරැති යකඩ විලංගු යුගළ තවමත් ඇගේ වළළුකර වටා තිබුනු නමුදු - ඔවුන් තවමත් ඇයව සියයට සියයක්ම විශ්වාස නොකරන බැව් සිහිපත් කරදෙන්නට දෝ - පටු පඩිපෙළ බැස යාමට ඒ බාධාවක් නොවීය.

* * *

තමා අවසන් වරට මේ සොහොන් ගෙවලට පැමිණි අවස්ථාව සිහිපත් කරගැනීමට බ්‍රැන් අසාර්ථක උත්සාහයක් දැරීය. නියත වශයෙන්ම ඒ ඔහු කුඩා දරුවකුව සිටියදී විය යුතුය. රොබ්, ‍ජොන් හා සිය සොයුරියන් සමගින් මෙහි සෙල්ලම් කිරීමට ඔහු පුරුදුව සිටියේය.

ඔවුන් නැවතත් දැන් මෙහි සිටියානම් යැයි ඔහු හූල්ලන්නට විය. එසේනම් මේ බිංගෙය මෙතරම් අන්ධකාරවට හෝ මෙතරම් බියකරු විලසට නොපෙනෙනවා ඇත. වැඩිවන අන්ධකාරය මැද්දේ හදිසියේම නැවතුනු සමර් හිස ඔසවා බලා සීතල නිසල වාතය ඉව කර බැලීය. දත් විලිස්සාගත් ඌ හෙමිහිට පස්සට ඇදුනේ මේස්ටර්වරයා ගේ පන්දමේ එළියෙන් ඒ දෑස් රන් පැහැයෙන් දිදුලන්නට විය. පැරණි යකඩ ගොඩක් මෙන් දැඩි වූ ඕෂා පවා මොහොතකට සසල වූ බැව් පෙනුනි. "පේන හැටියට නං බොහොම භයානක සැරපරුස මිනිස්සු." සිය ශෛලමය අසුන්වලට වී සිටි ශෛලමය ස්ටාර්ක්වරුන් පේළිය දෙස බලමින් ඇය කීවාය.

"එයාලා තමා ශීත ඍතුවේ රජවරු." බ්‍රැන් මිමිනුවේය. මෙම ස්ථානයේ දී හඬනගා කතාකිරීම බලවත් වරදක් මෙන් කෙනෙකුට හැඟෙයි.

ඕෂා සිනාසුනාය. "ශීත ඍතුවට රජවරු නෑ. ඔබ ඒක දැක්කනං ඔබ ඒක තේරුම්ගනියි ගිම්හානයේ දරුවො."

"එයාලා තමා අවුරුදු දාස් ගානක් තිස්සෙ උතුරුකරයේ රජවරු." මේස්ටර් ලුවින් පැහැදිලි කලේය. ඔහු සිය පන්දම ඉහළට කර එසවූ අතර ශෛලමය මුහුණු මත ගිනිදළු නටන්නට විය. මෙයින් සමහරු දිගු කොණ්ඩා හා රැවුල් වවාගත්, සිය දෙපා අසල වැතිර නිදන වෘකයින් මෙන්ම දළ ලොමින් ගැවසීගත් බිහිසුණු මිනිසුන් වූහ. තවත් සමහරු හොඳින් රැවුල බෑ, සිය උකුළු මත ඇති දිගු යකඩ අසිපත් මෙන්ම වෑරුනු, තියුණු මිනිසුන් වූහ. "අමාරු කාලවලට එන්නෙ දැඩි මිනිස්සු. එන්ට." ඔහු දිගු පියවර තබමින් උමගට වැදුනේ ශෛලමය කුළුණුත්, නිමක් නැති ප්‍රථිමාත් පසුකරමින් ඉදිරියට යන්නට විය. ඉහළට කර ඔසවාගත් පන්දමෙන් විහිදුනු ආළෝක ධාරාවක් පසුපසට විහිදුනේය.

මේ උමගය විශාල එමෙන්ම ගැඹුරු එකක් විය‍. එය වින්ටර්ෆෙල්වලටත් වඩා දිගු එකක් විය. වරක් ජොන් ඔහුට පවසා තිබුනේ මෙහි මීටත් පහළිත් තවත් මට්ටම් ඇති බවකි. ඒ වනාහි පුරාතණ රජවරුන් නිදනා මීටත් වඩා අන්ධකාර, මීටත් වඩා ගැඹුරු උමං විය. මේස්ටර්වරයා ගේ ආළෝකය මඟහැරීම සුදුසු නොවේ. බ්‍රැන්ව වඩාගත් ඕෂා මේස්ටර්වරයා පසුපස පියමැන්න නමුදු සමර් පඩිපෙළන් බිමට බැසීම ප්‍රතික්ෂේප කරමින් එහිම රැඳී හුන්නේය.

"ඔයාට ඔයාගෙ ඉතිහාස පාඩම් මතකද බ්‍රැන්?" ඇවිදින අතරේ මේස්ටර්වරයා විමසීය. "ඔයාට පුළුවන්නම් ඕෂාට කියන්ට එයාලා කවුද, එයාලා මොනවද කලේ කියලා."

* * *

පසු කරමින් යන මුහුණ දෙස බලන අතරේ පැරැණි කතන්දර නැවත ඔහුගේ මතකයට පිවිසියේය. මේස්ටර්වරයා ඔහුට මේ කතා කියා දී තිබුනු අතර නාකි ආයම්මා ඒවා වඩා සජීවී අයුරින් ඔහු ඉදිරියේ මවා පෙන්වා තිබුනි. "අර ඉන්නෙ ජොන් ස්ටාර්ක්. නැගෙනහිරින් මුහුදු ‍කොල්ලකාරයො ගොඩබැස්සට පස්සෙ එයා උන්ව එලවලා දාලා ධවල වරායෙ තියෙන බලකොටුව ගොඩනැගුවා. එයා‍ගෙ පුතා රිකාර්ඩ් ස්ටාර්ක්. මගේ තාත්ත‍ගෙ තාත්තා නෙවෙයි, වෙන රිකාර්ඩ් කෙනෙක්. එයා වගුරු රජාගෙන් බෙල්ල අල්ලගෙන එයාගෙ දුවව කසාද බැඳගත්තා. තියන් ස්ටාර්ක් කියන්නෙ අර ඉන්න දිග කොණ්ඩෙකුයි රැවුලකුයි තියෙන කෙට්ටු එක්කෙනා. මිනිස්සු එයාට කිවුවෙ 'බඩගිනිකාර වෘකයා' කියලයි. මොකද එයා හැම තිස්සෙම යුද්ධ කර කර හිටපු නිසා. අර ඉන්නෙ, අර උස, නිදිමත මූනෙන් ඉන්නෙ බ්‍රැන්ඩන්. එයාට කිවුවෙ 'නාවුක බ්‍රැන්ඩන්' කියලා මොකද එයා මුහුදට ආදරේ කරපු නිසා. එයාගෙ සොහොන් ගැබ හිස්. එයා ඉරබහින මුහුදෙ බටහිර පැත්තට යාත්‍රා කලා. ඊටපස්සෙ එයා ගැන අහන්ට කිසිම ආරංචියක් නැහැ. එයා‍ගෙ පුතා තමා 'ගිනි තියන බ්‍රැන්ඩන්' මොකද එයා තාත්තා නැති වුන දුක නිසා තාත්තගෙ නැවු සේරටම ගිනි තියලා දැම්මා. එතකොට අර ඉන්නෙ රඩ්‍රික් ස්ටාර්ක්. එයා තමා මල්ලව පොරයකින් වලස් දූපත දිනලා ඒක මෝර්මන්ට්ලාට පවරලා දුන්නෙ. අරයා තමා 'දණ නමපු රජා' ටෝරන් ස්ටාර්ක්. එයා තමා උතුරේ අන්තිම රජතුමා. වින්ටර්ෆෙල්වල පළවෙනි අධිපතියා. එයා ජයග්‍රාහක ඒගන්ට යටත් වෙලා දණ නැමුවා. ආහ්! අර ඉන්නෙ අර ඉන්නෙ. එයා තමා ක්‍රෙගන් ස්ටාර්ක්. එයා එකපාරක් ඒමන් කුමාරයා එක්කත් සටන් කලා. මකර නයිට්වරයා ඊට පස්සෙ කිවුවා මේ තරම් දක්ශ කඩුහරඹ සූරයෙකුට එයා කවදාවත් මුහුණ දීලා නැහැයි කියලා." ඔවුන් මේ වනවිට පේළියේ අවසානයට ළඟා වී තිබුනි. සිය සිරුර පුරාම පුදුමාකාර අන්දමේ ශෝකාකූල බවක් පැතිර යනු බ්‍රැන්ට දැනුනි. "ඉතින් අර ඉන්නෙ මගේ සීයා. රිකාර්ඩ් උතුමානන්. පිස්සු රජා ඒරිස් එයාගෙ බෙල්ල කපලා මරලා දැම්මා. එයාගෙ පැත්තකින් තියෙන සොහොන් ගැබ් දෙකේ ඉන්නෙ එයාගෙ දුව ලියානායි එයාගෙ පුතා බ්‍රැන්ඩනුයි. මම නෙවෙයි. වෙන කෙනෙක්. ඒ මගේ තාත්තගෙ අයියා. හරිනම් එයාල වෙනුවෙන් ඔහොම පිළිම දෙකක් හදන්ට බැහැ. ඒ අයිතිය තියෙන්නෙ රජවරුන්ටයි අධිපතියන්ටයි විතරයි. ඒ වුනත් මගේ තාත්තා එයාලට කොච්චර ආදරේ කලාද කිවුවොත් එයා ඒ ගොල්ලො වෙනුවෙන් ඒවා හැදෙවුවා."

"ඒ තරුණි හරිම ලස්සනයි." ඕෂා පැවසීය.

"එයා විවාහ ගිවිසගෙන හිටියෙ රොබර්ට් රජතුමාත් එක්කයි. ඒ වුනත් රේගාර් කුමාරයා එයාව පැහැරගෙන ගිහින් දූෂණය කලා." බ්‍රැන් විස්තර කලේය. "එයාව ආපහු දිනාගන්ට රොබර්ට් රජතුමා යුද්ධයක් කලා. එයා ගංගා ත්‍රිශූලෙදි එයා‍ගෙ අර මහ යගදාවෙන් ගහලා රේගාර්ව මරලා දැම්මා. ඒ වුනත් ලියානා මැරුනා. එයාට ලියානාව ආපහු කවදාවත් හම්බවුනේ නැහැ."

"හරිම දුක හිතෙන කතාවක්." ඕෂා කීවාය. "ඒ වුනත් අර හිස් වලවල් ඔක්කොටම වඩා දුක්මුසුයි."

"එඩාර්ඩ් උතුමානන්ගෙ බිංගෙය. එයාගෙ කාලෙ ආවහම." මේස්ටර් ලුවින් පැහැදිලි කලේය. "ඔයාගෙ හීනෙදි තාත්තා මෙතැන ඉන්නවද ඔයා දැක්කෙ බ්‍රැන්?"

"ඔවු." මේ මතකය විසින් ඔහුව වෙවුලුවාලීය. ඔහු අපහසුතාවට පත් වූ අන්දමින් උමගේ හාත්පස පිරික්සා බැලීය. සිය ගෙලෙහි පිටුපස වූ කෙස් කෙලින් වනු ඔහුට දැනුනි. ඔහුට යම් ශබ්දයක් ඇසුනිද නැතිනම් ඒ සිතේ සැකයද? තවත් කෙනෙකු මෙහි ආවාද?

පන්දම අතින් ගත් මේස්ටර් ලුවින් විවෘත සොහොන් වල දෙසට ලංවුනි. "ඉතින් ඔයාට දැන් පේනවනෙ. එයා මෙහෙ නැහැ. තව අවුරුදු ගානකට මෙහාට එන්නෙත් නැහැ. හීන කියන්නෙ හීන විතරයි දරුවො." දැවැන්ත මෘගයෙකු ගේ මුවට අත ඔබන්නාක් මෙන් ඔහු අන්ධකාර සොහොන් වල තුළට සිය අත එබීය. "ඔයාට පේනවනෙ? ඒක නිකංම හි-"

ඊළඟ මොහොතේ අන්ධකාරය දත් විලිස්සා ඔහු දෙසට කඩා පැන්නේය.


Maester Luwin: “The man who trusts in spells is dueling with a glass sword.”

28 comments:

  1. හය්යෝ මේස්ටර් දුක තමා ඈ....
    මේ දැං පළවෙනි පොත ඉවර වෙන්ටත් කිට්ටු එකේ ඉතුරු පොතත් ට්‍රාන්ස්ලේට් කරනවද හැබ'ෑටම ඈ...
    ඔන්න නෑ කියල නං තියන්ටෙපා ඇ.

    ආර්ය බලව්ට ආවෙ කමක් නෑ මක්ක කොරන්ටද... හිහි හැමදාම පේන්ට ඉද්දින් අගයක් නැතිවයනව නෙව

    කතාව පබ්ලිෂ් කොරලතත්පර 16 යි ලු... මේ... මම නෙවී අංකල් ගූගල් කියන්නෙ

    බ්‍රැන් 07-1
    Buratheno at සිහසුනට තරග වැද - 16 seconds ago

    ReplyDelete
    Replies
    1. http://ebookbay.to/the-world-of-ice-fire-george-rr-martin-elio-m-garcia-jrlinda-antonssen/

      මක්කයෙි අප්ප මේ

      Delete
    2. //ඔන්න නෑ කියල නං තියන්ටෙපා ඇ//

      ඔව් ඈ.:)

      Delete
    3. වෙස්ටෙරෝස් ඉතිහාසය. මේ වගේ තව පොත් තුනක් තියනවා.

      tales of dunk and egg.
      (the hedge knight, the sworn sword, the mystery knight.)
      they tell the story of aegon the unlikely (Maester aemons brother) and ser duncan the tall.

      Delete
    4. if you have can you give me links for that books

      Delete
    5. https://thepiratebay.se/torrent/8123926/George_R._R._Martin_-_Tales_of_Dunk__amp__Egg

      Delete
    6. No seeders cannot download but i found the torrent hash. So i m going to search it
      again
      Thank you POM

      Delete
    7. @ මහේෂ්,

      කරනවා කරනවා.. දෙවෙනි පොතත් කරනවා.. හැබැයි අපි නෙවෙයි.. ඔය උඩ ඉන්න පොම් කුමාරයයි, අර නැට්ට නැති ගෝරිල්ලායි.. ඒ දෙන්නගෙන් තමා අහන්ට ඕන කවද්ද පබ්ලිෂ් කරන්ට පට්ටාං ගන්නෙ කියලා.. :-D

      Delete
  2. අනේ අසරණ දරුවෝ,පප්පාත් නැතුව දැන් ඉතින්,

    ReplyDelete
    Replies
    1. පප්පා මලා නෙවැ.. මම්මාත් යුද්ධ කරන්ට ගොහිල්ලා.. :-D

      Delete
  3. "එයා විවාහ ගිවිසගෙන හිටියෙ රොබර්ට් රජතුමාත් එක්කයි. ඒ වුනත් රේගාර් කුමාරයා එයාව පැහැරගෙන ගිහින් දූෂණය කලා." බ්‍රැන් විස්තර කලේය.

    two stories. his and Danys. which one is correct. i wonder if even GRRM knows.

    ReplyDelete
    Replies
    1. There are three sides to every story.
      Yours.
      Mine.
      What really happened: the truth... :-)

      Delete
    2. No way man. If "truth" is independent from you and me, prof plank and dr Schrödinger would say that it is unknowable.

      Delete
    3. Well, it might be unknowable to you & me.. but to someone else, it might be knowable.. independent from you & me doesn't always mean that it is totally independent..

      Delete
    4. you and me here is immaterial in this context. it could be used to describe any version of the truth. if you knowledge that there is an absolute truth and personal versions of the truth, then the absolute truth always remains outside the realm of understanding for any (non enlightened) person.

      Delete
    5. hmmm... let's take an example PoM... So Daenerys says one thing and Bran says one thing... But the only person who knows the truth of that, is Ned (apart from Rhaegar and Lyanna of course)... Try to enlighten me using that case study...

      Delete
    6. sure
      we know that brans and Danys truths are different. why cannot Ned's, Lyannas, Rhaegars truths be different too ?
      Ned doesn't know how Rhaegar feels about Lyanna or vice versa. Same goes for Lyanna and Rhaegar too. i mean do you ever know how anyone else feels about you completely? is there a person that you understand 100% ?
      I don't think its possible.
      My point is that EVERY truth is somebody's version of the TRUTH. in that sense the actual absolute truth is beyond the understanding of human minds. once you think you got it, it has become your truth, nothing more.

      Delete
    7. U r talking like Plato... The 'real truth' is out there and all what see is the 'shadow of the real truth'... :-)

      Delete
    8. Plato went too far I think. The perfect chair? Table? :P
      But I do believe in the perfect piece of music. Have you read Arthur c Clarke on this?

      Delete
  4. බ්‍රැන්ගෙ හීන හැබෑ වෙනව නෙහ්...

    ReplyDelete
    Replies
    1. බ්‍රැන්ට පේන හීන/ දැකපු හීන හොඳට මතක් තියන් ඉන්ට.. ඒවා කතාවෙ කොහෙදි හරි මතුවෙනවා.. :-)

      Delete
    2. මතක් තියන් "ඉන්ට" :) :)
      ඕක බෝවෙන ලෙඩක්, බලගෙනයි ගොයියෝ :)

      Delete
  5. සංග්‍රාමයෙන් හා රාජ්‍ය බලයෙන් පීඩිත මිනිසුන් කවදත් විඳින්නේ මෙවැනි දුක්ගැහැට තමයි.

    ReplyDelete
    Replies
    1. අසරණයන්. දුබලයන් හා කුඩා දරුවන් ‍තමා හැමදාම පීඩා විඳින්නෙ නේද..

      Delete
  6. හෑ, අන්ධකාරය දත් විලිස්සුවා. මට කල්පනා වුනේ , අර වඳුරු මොටානෝ , }PoM ගැන කියපු කතාවක්: එයාපොල් කෑල්ල වගේ දත් සුදු, දැකුම්-කලූ කියලා තමා කිව්වෙ :)

    ReplyDelete
    Replies
    1. පරිස්සමෙන් හිටහං.. තව කවුරු කවුරු දත් විලිස්සයිද දන්නෙ නෑ.. :-P

      Delete
  7. හප්පේ බ්‍රෑන් කොළුවා ගැන අමතකම වෙලාමයි තිබුනේ මේ යුද්ධ අස්සේ..

    ReplyDelete