මෝට් කේය්ලින් |
ධජපතාක පැහැදිලිව හඳුනාගැනීමට තරම් දුර වැඩි වූ නමුදු ඒවා සුදු පැහැ බවත්, ඒ මැද්දේ අඳුරු පැහැ ලපයක් ඇති බවත් තුනී වී යන මීදුම මැද්දෙන් ඇය හඳුනාගත්තා ය. ඒ අනිවාර්යයෙන්ම හිම පසුබිමේ දත් විලිස්සා සිටිනා ස්ටාර්ක් ඝෝරවෘකයා විය යුතුය. මේ ධජපතාක සිය දෑසින්ම දුටු මුල්ම මොහොතේ අසු නැවතූ ඇය ස්තූති පූර්වකව හිස නැමුවාය. දෙවියන් එතරම්ම අකාරුණික නැත. ඇය එතරම්ම ප්‍රමාද වී නැත.
"එයාලා අපි එනකම් බලන් ඉන්නවා මගේ ආර්යාවනි." සෙර් විලිස් මැන්ඩර්ලි කීවේය. "මගේ තාත්තා දිවුරලා කිවුවා එයාලා ඉඳියි කියලා."
"එහෙමනම් අපි එයාලව තවත් පරක්කු කරන්ට හොඳ නෑ සෙර්." සිය අසුට සන් කල සෙර් බ්‍රින්ඩන් ටලී හැල්මේ ඉදිරියට ගියේය. කැට්ලින්ද ඔහු පසෙකින් සිය අසු මෙහෙයවීය.
එක්දහස් පන්සියයක් පමණ වූ සිය පිරිස පිරිවැරූ සෙර් විලිස් හා ඔහුගේ සොහොයුරා සෙර් වෙන්ඩල් ඔවුන් පසුපසින් අසුන් මෙහෙයවූහ. විස්සක් පමණ වූ නයිට්වරුන් ද, ඔවුන් ගේ සහචරයින් ද, ලන්සධරයින්, කඩුහරඹකරුවන් හා නිදහස් අසරුවන්ගෙන් සැදි දෙසියයක් පමණ වූ අසරු බලඇණියක් ද, හෙල්ලෙන් හා කුන්තයෙන් සන්නද්ධ වූ පාබල බලඇණියක් ද මේ පිරිසට අයත් වූහ. ධවල වරායේ ආරක්ෂාව බලාගැනීම පිණිස නැවතුනු වයිමන් මැන්ඩර්ලි උතුමානන් පමණක් මේ පිරිසට ඇතුළත් නොවීය. අවරුදු හැටක් වයස් වූ මැන්ඩර්ලි උතුමානන් මේ වනවිට අසකු පිට නැගිය නොහැකි තරම් තරබාරු වී සිටියේය. "මගේ ජීවිත කාලෙ ඇතුළතදි ආයෙමත් යුද්ධයක් දකින්ට ලැබෙයි කියලා හිතුවානම් මම මෙච්චර ආඳො නොකා ඉන්ට තිබුනා." කැට්ලින් පැමිණි නැව පිළිගැනීම පිණිස පැමිණි මොහොතේ ඔහු සොසේජස් තරම් මහත අතැඟිලි වලින් සිය දැවැන්ත උදරයට තට්ටුකරමින් පැවසීය. "ඒ වුනත් හිත කරදර කරගන්ට එපා ආර්යාවනි. මගේ කොල්ලො දෙන්නා බොහොම පරිස්සමෙන් ඔබව ඔබේ පුතා ළඟට එක්කරන් යයි."
ඔහුගේ මේ 'කොල්ලන්' දෙදෙනාම කැට්ලින්ට වඩා වැඩිමහලු වූවන් වූහ. එමෙන්ම ඔවුන් දෙදෙනා ඔවුන් ගේ පියාගේ ස්වරූපයට මෙතරම් සමීප නොවූවා නම් කැට්ලින් වඩාත් කැමැති විය. සෙර් විලිස් අසෙකු පිට නැගිය නොහැකි තරම් තරබාරු නොවී සිටියේ ආඳන් ඉතා ස්වල්ප දෙනෙකු ගේ මඳකමිනි. ඒ අසරණ අශ්වයා ගැන කැට්ලින්ට ඇත්තෙන්ම දුකක් දැනුනි. අනිත් අතට දෙදෙනාගෙන් ලාබාලයා වූ සෙර් වෙන්ඩල් වනාහි ඔහුගේ පියා හා වැඩිමහල් සොහොයුරා නොතකා හැරියහොත් කැට්ලින් විසින් මෙතුවක් කලෙකට දැක තිබුනු තරබාරුම පුද්ගලයා විය. විලිස් නිහඬ, උපචාර සහිත පුද්ගලයකු වූ අතර වෙන්ඩල් මහහඬින් දොඩන ඝෝෂාකාරී පුද්ගලයකු විය. මේ දෙදෙනාටම වොල්රස් සතුන්ට මෙන් දැවැන්ත, අලංකාර උඩුරැවුල් පිහිටා තිබුනු අතර හිසේ එකදු කෙස්ගසක් වත් නොවීය. එමෙන්ම ඔවුන් දෙදෙනා සතුවම ඉඳුල් පැල්ලමින් නොවැසුනු එකදු ඇඳුමක් වත් ඇතිබවක් ද නොපෙනුනි. එනමුදු කැට්ලින් මේ දෙදෙනාවම ප්‍රියකලාය. ඔවුන් ගේ පියා පොරොන්දු වූ පරිදිම ඔවුන් දෙදෙන විසින් ඇයව ආරක්ෂාකාරීව සිය පුත්‍රයා වෙත ගෙනැවිත් තිබින. එතැනින් එහාට තවත් වද විය යුතු දෙයක් නොවීය.
ඇගේ පුත්‍රයා සිවුදිගටම - නැගෙනහිර දෙසට පවා - නිරීක්ෂකයින් යවා තිබීම ඇගේ සතුටට හේතුවිය. ලැනිස්ටර්වරුන් පහර දෙන්නට එන්නේ නම් ඔවුන් පැමිණිය යුත්තේ දකුණු දෙසින් වුවද රොබ් විසින් මෙසේ අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන තිබීම යහපත් දෙයක් විය. 'මගේ පුතා හමුදාවක් අරන් යුද්ධෙට යනවා!' ඇය මවිතයෙන් යුතුව සිතුවාය. ඇයට එය තවමත් අදහාගැනීමට අසීරු කරුනක් විය. ඇය බලාපොරොත්තු විරහිත අන්දමින් ඔහු ගැනත් වින්ටර්ෆෙල් ගැනත් බියපත්ව සිටියාය. එනමුදු ඔහු ගැන ඇගේ සිතේ අමුතුම ආඩම්බරයක් ද ඇති වී ඇති බැව් නොපිළිගෙන සිටි හැකි කරුනක් නොවීය. යාන්තම් වසරකට පෙරාතුව ඔහු කුඩා කොලුවකුව සිටියේය. දැන්? දැන් ඔහු කවරෙකුදැයි ඇයවත් නොදන්නීය.
නිල් කොළ පැහැ මුහුදු දියෙන් නැගුනු ත්‍රිශූලයක් අතින් ගත් දියකිඳුරා ගේ රුව සහිත මැන්ඩර්ලි ධජපතාක නිරීක්ෂක මුර සෙබළුන් විසින් දුරතියාම හඳුනාගෙන තිබින. ඉදින් ඔවුන් ගේ පැමිණිම සාදරයෙන් පිළිගෙන කඳවුරක් ඇටවීමට තරම් සුදුසු වියළි, උස් බිමක් වෙත ඔවුන්ව කැඳවාගෙන යනු ලැබින. අසුන්ට සාත්තු කිරීමත් කඳවුරු ඇටවීමත් පිණිස සෙර් විලිස් සිය මිනිසුන් සමගින් එහි නැවතුනු අතර වෙන්ඩල් කැට්ලින් හා සෙර් බ්‍රින්ඩන් සමගින් ඉදිරියටම ගියේය. තම පියාගේ සුභාශිංසන හා පක්ෂපාතිත්වය සිය ඉහළ වංශාධිපතියා වෙත දැක්වීම අවශ්‍ය දෙයක් විය.
අසු කුර යටින් වූ පොළොව මෘදු හා තෙත් එකක් විය. ගිනිමැල, අසුන් පේළි හා ආහාරපානාදියෙන් පිරවූ කරත්ත පසුකරමින් ඔවුහු ඉදිරියටම ගියෝය. යාබද භූමියට වඩා උස් වූ, ගල්සහිත බිමක තනා තිබුනු, ඝනකම් රුවල් රෙද්දෙන් නිම වූ වංශාධිපතියකු ගේ මණ්ඩපයක් ද ඔවුහු පසුකලෝය. තැඹිලි පැහැ පසුබිමේ සිටින දුඹුරු පැහැ පිණිමුවා හෙවත් හෝර්න්වුඩ්වරුන් ගේ ලාංඡනය කැට්ලින් විසින් හඳුනාගත්තා ය.
ඊට මඳක් එහායින් මීදුම අතරින් මෝට් කේය්ලින් බලකොටුවේ පවුරු හා කුළුණු... ඇත්තෙන්ම කිවහොත් ඒවායේ නටඹුන් කැට්ලින්ට යාන්තමට මෙන් දැකිය හැකි විය. කුඩා පැල්පතක් තරම් විසල්, කළු පැහැ දැවැන්ත බැසෝල්ට් ගල්කුට්ටි මෘදු පසේ අඩක් එරී තැන තැන විසිර තිබුනේ කුඩා දරුවකු සෙල්ලම් කිරීමට ගන්නා ලී කැබලි මෙනි. එක් කලෙකදී වින්ටර්ෆෙල්හි ප්‍රාකාර තරම්ම උස් වූ බලකොටු පවුරේ මේ වනවිට ඉතිරි වී තිබුනේ එපමණකි. දැවයෙන් තැනුනු බලකොටුව ද මීට වසර දහස් ගණනකට පෙරාතුවම දිරාගොස් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබුනි. එය පිහිටි තැන හඳුනාගැනීම පිණිසවත් අඩුම තරමේ ලී කැබැල්ලක්වත් ඉතිරි වී නොතිබුනි. මුල් මිනිසුන් විසින් වසර දහස් ගණනකට පෙරාතුව ගොඩනැගූ මේ සුප්‍රසිද්ධ බලකොටුවේ දැන් ඉතිරිව තිබුනේ කුළුණු තුනක් පමණි. ප්‍රවාදවලට අනුව නම් මෙහි එක් කලෙක කුළුණු විස්සක් තිබින.
'වාහල්කඩ කුළුණ' තවමත් යම් සවිශක්තියක් ඇතුව තිබෙන බැව් පෙනුනු අතර එහි දෙපස වූ පවුරු බිත්ති දෙපැත්තෙන්ම අඩි කිහිපයක් දක්වා උස්ව නැගී තිබුනි. පෙර කල බටහිර හා දකුණු පවුරු දෙක මුනගැසුනු තැන වගුරට නුදුරින් පිහිටා තිබුනු 'බේබද්දා ගේ කුළුණ' වගුර දෙසට ඇලවී තිබුනේ බේබද්දකු වමනය කිරීමට කාණුවට ඇලවෙන්නාක් මෙනි. එක්තරා කාලයකදී වනාන්තරයේ දරුවන් විසින් සතුරන්ට එදිරිව මහා දියකඳකින් පහරදෙන්නට සිය වනාන්තරයේ නම නොදන්නා දෙවිවරුන් කැඳවූයේයැයි කියැවෙන උස් කෙට්ටු 'දරුවන් ගේ කුළුණට' එහි මුදුනෙන් බාගයක්ම අහිමිව තිබුනි. එය දිස්වූයේ හරියටම දැවැන්ත සත්ත්වයකු විසින් එයින් අඩක් සපා කා වගුර පුරා එහි කැබැලිති විසිරුවා දමා තිබුනාක් මෙනි. මේ කුළුණු තුනම කොළ පැහැ පෙඳ පාසියෙන් වැසී ගියේය. වාහල්කඩ කුළුණේ උතුරු බිත්තියේ ගල් අතරින් ගසක් පවා වැවී තිබුනි.
"දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ!" මේ නටඹුන් දුටු සෙර් බ්‍රින්ඩන් ගේ මුවින් විමතිය පලවිය. "මේකද මෝට් කේය්ලින් කියන්නෙ? ඒක නිකංම නිකං-"
සෙර් වෙන්ඩල් මැන්ඩර්ලි |
සෙර් බ්‍රින්ඩන් කෙකර සිනහවක් පෑවේය. "මට මතක් කරන්ට මෙතැන වැඩිය තැවරි තැවරි ඉන්නෙ නැතුව ඉක්මනින්ම යන්ට. අන්තිමට බලද්දි මමත් දකුණුකරේ මිනිහෙක්."
මේ කුළුණු තුනේම මුදුනේ ධජපතාක ඔසවා තිබුනි. බේබද්දා ගේ කුළුණේ ස්ටාර්ක් ධජයට යටින් කාර්ස්ටාර්ක්වරුන් ගේ සුදු පැහැ සූර්යයා ලෙල දුන්නේය. දරුවන් ගේ කුළුණේ ඒ හා සමානව ග්‍රේට්ජෝන්වරුන් ගේ දම්වැලින් බැඳි යෝධයා දක්නට හැකිවිය. එනමුදු වාහල්කඩ කුළුණේ ස්ටාර්ක් ඝෝරවෘකයා පමණක් තනිව ලෙල දුන්නේය. රොබ් එහි කඳවුරු බැඳ සිටි අතර කැට්ලින් එදෙසට සිය අසු මෙහෙයවූවා ය. ඇයට පිටුපසින් සෙර් බ්‍රින්ඩන් හා සෙර් වෙන්ඩල් කොළ-කළු පැහැ මඩ බිම මත ලී කොට හා ලෑලි පුවරුවලින් තනා තිබුනු මාවත ඔස්සේ හෙමිහිට සිය අසුන් මෙහෙයවූහ.
* * *
විසල් ශාලාවක් තුළ සිය පියාගේ ප්‍රධාන ධජ දරන්නන් පිරිවරා සිටින සිය පුත්‍රයා සොයාගැනීමට කැට්ලින්ට හැකිවිය. ශාලාවේ කොණක වූ කළු ගැසුනු උඳුනක වූ ගිනිමැලයෙන් උණුසුමට වඩා දුම් නැගඑමින් තිබුනි. දැවැන්ත ශෛලමය මේසයක් අබියස අසුන්ගෙන සිටි රොබ් ඉදිරියේ සිතියම් හා නොයෙකුත් ලිපිගොනු රැසක් අතුරා තිබුනි. ඔහු මහත් උනන්දුවකින් යුතුව රූස් බෝල්ටන් හා ග්‍රේට්ජොන් අම්බර් සමගින් කතාකරමින් හුන්නේය. ඔහු ඇයව එක්වරම නොදුටු නමුදු ඔහුගේ වෘකයා සැනින් ඇයව හඳුනාගත්තේ ය. මේ දැවැන්ත අළු පැහැ සත්ත්වයා ගිනිඋඳුන අබියස බිම වැතිර සිටි නමුදු කැට්ලින් කාමරයට ඇතුළු වූ වහා හිස ඔසවා ඈ දෙස බැලීය. උගේ රන්වන් දෑස් ඇගේ දෑස් හා සම්මුඛ විය. වංශාධිපතීන් එකිනෙකා සිය මිමිනීම් නවතා නිහඬවන්නට වූ අතර නැගුනු හදිසි නිශ්ශබ්දතාව නිසා හිස ඔසවා අවට බැලූ රොබ් ඇයව දුටුවේය. "අම්මා!" ඔහුගේ කටහඬ හැඟුම්බර විය.
කැට්ලින්ට ඔහු වෙත දිවයාමට උවමනා විය. දිවගොස් ඔහුගේ නළල සිපගැනීමට උවමනා විය. ඔහු වටා සිය දෑත් යවා ඔහුව කිටිකිටියේ තුරුළුකොට මෙලොව ඇති සියළු උපද්‍රවවලින් ඔහුව රැකගැනීමට උවමනා විය... එනමුදු මෙහි, ඔහුගේ යටත්වැසි වංශාධිපතීන් ඉදිරියේ එසේ කිරීමට තරම් ඇය නිර්භීත නොවීය. ඔහු දැන් වැඩුනු මිනිසකු මෙන් සිය රාජකාරි ඉටුකරමින් සිටින්නේය. ඔහුගෙන් එය උදුරාගැනීමට ඇයට උවමනා නොවීය. එමනිසා ඔවුන් මේසයක් වශයෙන් භාවිත කරමින් සිටි බැසෝල්ට් ලෑල්ල අසල නැවතුනු ඇය ඔවුන් දෙස බලා හුන්නාය. හනික නැගිට සිටි ඝෝරවෘකයා කාමරය හරහා ඇය සිටි තැන වෙත පියවර මැන්නේය. ඌ සාමාන්‍ය වෘකයෙකුට වඩා අතිශයින් දැවැන්තව නැගී සිටියේය. "ඔයා රැවුලක් වවලා තියෙන්නෙ." ග්‍රේ වින්ඩ් ඇගේ අත ඉව කරද්දී ඇය රොබ් ඇමතුවාය.
හදිසියේම යම් අමනෝඥ දෙයකට මුහුණපෑමට සිදුවූවාක් මෙන් රොබ් රැවුල් කොටයෙන් වැසුනු නිකට අතගෑවේය. "ඔවු." ඔහුගේ රැවුල හිසකෙස්වලටත් වඩා රත් පැහැයෙන් බැබලින.
"මම කැමැතියි ඒකට." කැට්ලින් වෘකයා ගේ හිසට සෙමින් තට්ටු කලාය. "ඔයා දැන් හරියට මගේ මල්ලි එඩ්මුයර් වගේ." සෙල්ලමට මෙන් ඇගේ අතැඟිලි සැපූ ග්‍රේ වින්ඩ් ගිනිඋඳුන අසල සිය සයනය වෙත නැවත පියමැන්නේය.
ඝෝරවෘකයා අනුව යමින් ඇයට ගෞරවාදර දැක්වීම උදෙසා කාමරය හරහා පිය නැගි පළමුවැනියා වූ සෙර් හෙල්මන් ටෝල්හාර්ට් ඇය ඉදිරිපිට දණ නමා ඇගේ සුරතේ නළල එබීය. "කැට්ලින් ආර්යාවනි. ඔබතුමී හැමදාමත් වගේ ලස්සනයි. මේ අමාරු වෙලාවෙ ඔබතුමීව මෙහෙම දකින්ට ලැබුන එක අපට ලොකු සැනසීමක්." ගැල්බට් හා රොබර්ට් ග්ලවර් ඊළඟට පැමිණියෝය. ග්‍රේට්ජොන් අම්බර් හා අනෙකුත් වංශාධිපතින් එකිනෙකා ඉන්පසු පැමිණෙන්නට වන්හ. අවසාන වශයෙන් තියන් ග්‍රේජෝයි පැමිණියේය. "ඔබතුමීව මෙතැන මෙහෙම මුනගැහෙන්ට මම බලාපොරොත්තු වුනේ නෑ මගේ ආර්යාවනි." දණ නමන අතරේ ඔහු මිමිනීය.
"මෙතැනට එන්ට මගේ කිසිම අදහසක් තිබුනෙ නෑ." කැට්ලින් කීවාය. "මම ධවල වරායෙන් ගොඩබහිනකම් මට එහෙම අදහසක් තිබුනෙ නෑ. එහෙදි වයිමන් උතුමානන් මට කිවුවා රොබ් එයාගෙ වංශාධිපතියො රැස් කරනවයි කියලා. ඔබලා දන්නවනෙ එයාගෙ පුතා, සෙර් වෙන්ඩල්." ඉදිරියට පැමිණි වෙන්ඩල් මැන්ඩර්ලි සිය දැවැන්ත වට ප්‍රමාණය විසින් අවකාශ දුන් තරමට හිස නැමීය. "ඒ වගේම මගේ බාප්පා, සෙර් බ්‍රින්ඩන් ටලී. එයා මගේ නංගිගෙ සේවයෙන් අයින්වෙලා මගේ සේවයට බැඳුනා."
"කළු මාළුවා." රොබ් කීවේය. "අපිත් එක්ක එකතුවුනාට බොහොමත්ම ස්තූතියි සෙර්. ඔබ වගේ ධෛර්‍යසම්පන්න උදවිය අපට මේ වෙලාවෙ තදින්ම උවමනායි. ඒ වගේම ඔබත් සෙර් වෙන්ඩල්. ඔබලා මෙහෙ ආපු එක ගැන මට බොහොම සන්තෝසයි. සෙර් රඩ්‍රිකුත් ඔයාත් එක්ක ආවද අම්මා? එයා නැතුව මගේ අත නෑ වගෙයි."
"සෙර් රඩ්‍රික් ධවල වරායෙ ඉඳන් උතුරට ගියා. මම එයාව වින්ටර්ෆෙල්වල මුරකාරයා විදියට නම්කරලා අපි ආපහු එනකම් එහෙ රැකගන්ටයි කියලා අණ කලා. මේස්ටර් ලුවින් කියන්නෙ හොඳ උපදේශකයෙක් තමා. ඒ වුනත් එයාට යුද්ධ උපක්‍රම ගැන ඒ හැටි දැනුමක් නෑ."
"ඒ ගැන බයක් ඇතිකරගන්ට එපා ස්ටාර්ක් ආර්යාවනි." ග්‍රේට්ජොන් සිය ගොරහැඩි රැවුදෙන ස්වරයෙන් පැවසීය. "වින්ටර්ෆෙල් බොහොම ආරක්ෂාකාරීයි. අපි බොහොම ඉක්මනට ටයිවින් ලැනිස්ටර්ගෙ පස්සා පැත්තෙ අපේ කඩු ඔබන්ටයි යන්නෙ. සමාවෙන්ට එහෙම කිවුවට. ඊටපස්සෙ අපි යමු රතු බලකොටුවට නෙඩ්ව නිදහස් කරගන්ට."
"මගේ ආර්යාවනි, ඔබ අමනාප නැත්තං මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්." ඩ්‍රෙඩ්පෝර්ට්හි අධිපතියා වූ රූස් බෝල්ටන් සතුව මෘදු කටහඬක් තිබුනි. එනමුදු ඔහු කතාකරන විට ඇහුම්කන් දීම පිණිස ඔහුට වඩා දැවැන්ත මිනිස්සු පවා සිය කතා නවත්වති. ඔහුගේ දෑස් පුදුමාකාර අන්දමින් සුදුමැලි පැහැති විය. එමෙන්ම ඔහුගේ බැල්ම සෑමවිටම කෙනෙකුව නොසන්සුන් කරවන්නක් විය. "අපට අහන්ට ලැබුනා ඔබ ටයිවින් උතුමානන්ගෙ කුරුමිටි පුතාව අත්අඩංගුවට ගත්තයි කියලා. ඔබ එයාව මෙහාට ගෙනාවද? මම කැට තියලා කියන්නම්. ඒ වගේ ප්‍රාණ ඇපකාරයෙක් ඉන්නවානම් අපට සෑහෙන ප්‍රයෝජන ගන්ට පුළුවන්."
ගැල්බට් ග්ලවර් |
වංශාධිපතිවරුන් ඇගෙන් තවතවත් තොරතුරු දැනගැනීමේ උනන්දුවකින් පසුවූහ. එනමුදු කැට්ලින් අතක් එසෙවුවා ය. "කිසිම සැකයක් නෑ අපට මේකට තව පස්සෙ වෙලාව තියෙයි. අනික මේ ගමන නිසා මට හරිම මහන්සියි. මට ඕන මගේ පුතාත් එක්ක තනියම ටිකක් කතාකරන්ට මගේ උතුමනි. මම දන්නවා ඔබලා මට සමාව දෙනවා කියලා." ඇය ඔවුන්ට කිසිදු අවස්ථාවක් නොදුන්නා ය. සැමදාමත් කීකරු උතුමකු වූ හෝර්න්වුඩ් උතුමානන් පෙරටුකොට ගත් වංශාධිපතීහු එකිනෙකා ඇයට හිස නමමින් කාමරයෙන් පිටවන්නට වූහ. "ඔබත් යන්ට ඕන තියන්." තියන් ග්‍රේජෝයි තාවර වන්නට වූ විට ඇය ඔහුට පැවසුවාය. සිනාසුනු ඔහු පිටව ගියේය.
මේසය මත ඒල් හා චීස් විය. අඟක් පිරෙන්නට මධ්‍යසාරය වත්කරගත් කැට්ලින්, අසුනක වාඩි වී, බීම තොලගාමින් සිය පුත්‍රයාව අධ්‍යයනය කරන්නට වූවාය. තමා වින්ටර්ෆෙල්වලින් පිටත්වද්දීට වඩා ඔහු උස ගොස් ඇතැයි ඇයට සිතින. එමෙන්ම රැවුල් කොට නිසා ඔහුට වඩා වැඩිමහලු පෙනුමක් ලැබී තිබුනි. "එඩ්මුයර් රැවුල වවන්ට පටන්ගනිද්දී එයාට දාසයයි."
"මටත් ඉක්මනටම දාසය ලබනවා."
"ඒ වුනාට ඔයාට තාමත් පහළොවයි. පහළොවයි. හමුදාවක් අරන් යුද්ධෙට යනවා. ඔයාට තේරෙනවද ඇයි මම මෙච්චර බයවෙලා ඉන්නෙ කියලා රොබ්?"
ඔහුගේ පෙනුම වඩාත් මුරණ්ඩු විය. "ඒකට ගැලපෙන වෙන කෙනෙක් හිටියෙ නෑ."
"වෙන කෙනෙක් හිටියෙ නෑ? දෙයියම්පා! එතකොට දැන් ටිකකට කලින් මෙතන හිටපු මිනිස්සු මොක්කුද? රූස් බෝල්ටන්, රිකාර්ඩ් කාර්ස්ටාර්ක්, ගැල්බට් ග්ලවර්, රොබර්ට් ග්ලවර්, ග්‍රේට්ජොන්, හෙල්මන් ටෝල්හාර්ට්... ඔයාට මේ ඕනෑම කෙනෙකුට අණදෙන නිළධාරි තනතුර දෙන්ට තිබුනා. ඔයාට ඕනම නම් තියන්ට වුනත් ඒක දෙන්ට තිබුනා. ඒ වුනත් මගේ තේරීම නම් එයා නෙවෙයි."
"එයාලා ස්ටාර්ක්ලා නෙවෙයි."
"එයාලා මිනිස්සු රොබ්. යුද්ධෙන් පදම්වෙච්ච මිනිස්සු. ඔයා මීට අවුරුද්දකට උඩදි ලී කඩුවකින් සෙල්ලම් කර කර හිටපු ළමයෙක්."
ඔහුගේ දෑසේ කේන්තිය නැග එනු ඇයට පෙනුනි. එනමුදු එය පැමිණි වේගයෙන්ම බැහැරව ගියේය. ඊළඟ මොහොතේ ඔහු නැවතත් අර කුඩා කොලුවා විය. "මම දන්නවා." ඔහු ලැජ්ජාවෙන් මෙන් කීවේය. "ඔයා... ඔයා මාව ආපහු වින්ටර්ෆෙල්වලට යවනවද?"
කැට්ලින් සුසුමක් හෙලුවාය. "එහෙම තමා කරන්ට වටින්නෙ. ඔයා කොහෙත්ම එහෙන් පිටවෙලා නොඑන්ටයි තිබුනෙ. ඒ වුනත් මට දැන් ඒ වැඩේ කරන්ට බෑ. ඔයා සෑහෙන්න දුර ඇවිල්ලා ඉවරයි. කවදාහරි දවසක මේ වංශාධිපතියො ඔයා දිහා බලයි එයාලගෙ උසස් උතුමානන් විදියට. මම දැන් ඔයාව හරියට රෑ කෑම දෙන්නෙ නැතුව ඇඳට යවන පුංචි එකෙක් වගේ ආපහු යැවුවොත් එයාලා ඒක මතක තියාගනීවි. ඊට පස්සෙ එයාලා ඒ ගැන හිනාවේවි. එක දවසක් එනවා, එදාට එයාලා ඔයාට ගරු බුහුමන් දක්වන්ට ඕන. ඔයාට චුට්ටක් විතර බයවෙන්ටත් ඕන. එයාලා දැන් ඔයාට හිනාවුනොත් ඒක අනාගතේට හොඳ නෑ. ඔයාට එහෙම දෙයක් වෙනවා දකින්ට මට ඕන නෑ. ඔයාව පරිස්සම් කරගන්ට ඕන වගේම ඒකත් මට ඕන."
"ඔයාට ගොඩක් ස්තූතියි අම්මා!" රොබ්ගේ මුහුණේ වූ සහනය පැහැදිළිවම දිස්විය.
Catelyn Stark: “Make no mistake, these are your bannermen, not your friends.”
පලිගන්නාසුව භූතයො."///
ReplyDeleteඒ මොක්කුද අප්පා.... මාර බූතයො සැට්ටෙකක් නෙව...
ඕක පළිගන්නා සුළු කියල වෙනස් කලොත් නරකද හැබැටම ඈ
ඕන්න හැදුවව... සොරි සොරි, හැදුවලු... ;-)
Deleteanyone up for a "historical" ( :P PJ) parallel with Cat advising robb with sri lankan history ???
ReplyDeleteMe Lady??, Ser Sasquatch??
anyone.
mmmmmmmmmmm..............
DeleteViharamahadevi
DeleteFortunately, the SL guy's mother gave some encouragement and support and stopped there.
DeleteThe father was canny, good in logistics and got the nucleus of the army.
And, the guy himself was more mature, knew how to time things and grabbed the opportunities that came his way.
No comparison after all to poor Robb.
Poor Robb :(
DeleteHaven't you guys seen by the stuff you have read that age goes differently in westeros. ??
DeleteThink about dany?? She is 14
And I know a certain rosy lady who had three husbands by the time she is 17 .
And how old were Robert and Ned when they rebelled??
I don't think it's a big issue PoM.. If u go back a century in our own world, u can see that girls were getting married at 13-14.. Boys were treated as adults at 15-16.. That was the norm..
DeleteNed is 35 when the story begins.. That makes him 20 when they rebelled.. Robert the same or perhaps couple of years older..
my point dude
Deletewhats so wrong with a guy of 15 leading an army ??
NED is 35 and has five?? kids . whoa :P
Nothing wrong.. If Dareon Targaryen could conquer Dorne when he was 14, Robb has it too.. After all, these are lordlings.. They've been trained to rule since the day they were born..
Deleteමෙකෙ නම් එක්කෙනාට එක වෘකයයි ඉඳල තියෙන්නෙ. අපෙ හිටපු රජ්ජුරුවන් වහන්සෙගෙ මාලිගාවෙ බව්වෝ හතලිස් තුනක් හිටියා.. හ්ම්ම්..
ReplyDeleteමල කරච්චලයක් තියෙන්ට ඇති නේ ඔය බවුවො සැට් එක බුරන්ට ගත්තහම.. :-O
Deleteචැහ්, වෙස්ටේරොස්වල රිලව් නෑනෙ.
Deleteහරියටම රජු රැකගන්නනම් රිලව් ඕනෙ
රැවුල තිබ්බට රොබ් පොඩි කොල්ලෙක්නේ,ළමා සොල්දාදුවන්ට යුද්දෙට යන්න බැහැ,කැට්ලින්ට උසාවි යන්නත් වේවි දැන්.
ReplyDeleteඒ කාලෙ සිද්දවෙච්ච කතාවක් මේ..
Deleteපරණ වීරයෝ ගැනයි කියන්නේ..
ඒ කාලෙ ළමයි හිටන් යුද්ධ කරයි..
ඒක නිසා උසාවි යන්ට ඕන නෑ දැන්.. :-P
ඕක මොකක්ද අපේ රටෙත් ප්‍රභාකරන් ළමා සොල්දාදුවො තියන් හිටියෙ .......
Deleteඑක හුස්මට දවස් දෙකෙන් කියවල ඉවර කළා ;)
ReplyDelete'බේබද්දා ගේ කුළුණ' නං ඉතුරු වෙලා අවුරුදු දාස් ගානකට පස්සෙත්... බලමුකො ඒකෙත් හැටි...
ආන්න දැක්කද ඇල්කොහොල්වල පවර් එක.. අහන්ටකො අපේ පොම්ගෙන්.. :-D
Delete"අපි බොහොම ඉක්මනට ටයිවින් ලැනිස්ටර්ගෙ පස්සා පැත්තෙ අපේ කඩු ඔබන්ටයි යන්නෙ." චීයා......... කඩු ටික ගඳ ගහන්නේ නැතිද එතකොට?
ReplyDeleteකඩු මිට නෙවෙයි කඩු තලේ ඔබන්ටයි යන්නෙ මම හිතන විදියට.... :-)
Deleteමීට වඩා අඩු වයසින් රාජධානි බාර ගත්ත රජ පැටවු ඉදලා තියෙන එකේ යුද්දෙට යන එක ඉතින් මහ දෙයක්ද..
ReplyDeleteඒකනෙ.. :-)
Deleteබේබද්දාගෙ කුළුණ? පොඩ්ඩක් ඇල වුනා කියල එහෙම කියන්න වටිනවද? එතකොට අර ලෝක ප්‍රසිද්ධ ඇලවුන කුළුණ ගැන මොකද හිතෙන්නෙ?
ReplyDeleteඒක හදලා තියෙන්නෙම බාස්ලා බොන ගමන්ලු.. ;-)
Deleteබේබද්දොත් වෙරිවුනාට පස්සෙ ඇලේටනෙ ඇවිදින්නෙ , බේබද්දගෙ කුළුනත් ඒ වගේ තියෙන්න එපැයි :D
Deleteඔයා දැකලා නැද්ද සාමාන්‍ය වෙලාවට ඇලේට ඇවිදින බිවුවහම හරි කෙලින් ඇවිදින මිනිස්සු.. :-O
Deleteරොබ් කොච්චර උදාරම් විදිහට හිටියත් , අම්මව මුණ ගැහුනාම ළමා ගති මතුවුනා නේද .
ReplyDeleteමේ අම්මලා තමා ළමයි ඕනවට වඩා හුරතල් කරලා නරක් කරන්නෙ.. :-P
Delete