Friday, 16 January 2015

ජොන් 07-1


"ඒ ඔතෝර්." සෙර් ජැරමි රයිකර් කීවේය. "කිසිම සැකයක් නෑ. එතකොට මේ ඉන්නෙ ජැෆර් ෆ්ලවර්ස්." ඔහු සිය පයින් මළකඳ අනිත් පසට පෙරලුවේය. සුදුමැලි මළ මුහුණ සිය නිල් පැහැ දෑසින් වැහි අන්ධකාරයෙන් පිරි අහස දෙස බලා සිටියේය. "මුන් දෙන්නම බෙන් ස්ටාර්ක්ගෙ මිනිස්සු."

'මගෙ බාප්පගෙ මිනිස්සු.' ජොන්ගේ උගුරට අමිහිරි තිත්ත රසයක් දැනෙන්නට විය. ඔහුත් සමග යාමට ඉඩදෙන්නැයි තමා සිය බාප්පාගෙන් අයැද සිටි අයුරු ජොන්ට සිහිපත් විය. 'දෙයියනේ! මම කොච්චර මෝඩ කොල්ලෙක් වගේද හැසිරුනෙ. එයා එදා මාව එක්කරන් ගියානම් අද මෙතැන මෙහෙම වැටිලා ඉන්නෙ මමයි...'

ගෝස්ට් ගේ හණුවට හසුවීම නිසා ජැෆර් ගේ දකුණු මැණික්කටුව අසලින් අත වෙන්වී තිබුනු අතර එතැන ඉරී ගිය මාංශය හා බිඳී ගිය ඇටකටු පමණක් ඉතුරු වී තිබුනි. වෙන්වී ගිය අත මේ වනවිට මේස්ටර් ඒමන් ගේ කාමරයේ විනාකිරි බඳුනක පාවෙමින් තිබේ. ඔහුගේ වමත ඔහු පැළැඳ සිටි කළු පැහැ සළුව තරම්ම කළු පැහැ ගැන්වී තිබින.

"දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ." නාකි වලහා කටුකුටු ගෑවේය. අසු පිටින් බිමට බට ඔහු තෝන්ලණුව ජොන්ට භාරකලේය. උදෑසන අසාමාන්‍ය අන්දමින් උණුසුම් විය. අණදෙන නිළධාරිතුමාගේ නළලේ නැගි දහදිය බිඳු කොමඩු ගෙඩියක තැවරුනු පිණිබිඳු මෙන් දිදුලන්නට විය. ඔහුගේ අශ්වයා නොසන්සුන් අයුරින් දඟලමින්, දෑස් දෙපසට නෙරවමින්, ‍තෝන්ලණුව ඉඩදෙන උපරිමය දක්වා මළ මිනිසාගෙන් ඈත් වූයේය. ජොන් ඌව පියවර කිහිපයක් ඈතට රැගෙන ගියේ ලණුව කඩාගෙන දිව යෑමට ඌ කරන උත්සාහය මැඩ පැවැත්වීමට යත්න දරමිනි. මෙම ස්ථානයේදී දැනෙන හැඟීමට කිසිම අශ්වයකු කැමති නොවීය. එබැවින්ම ජොන් ද එතැනට කැමැති නොවීය.

මේ හැමටම වඩා බල්ලෝ එතැනට අකැමැති වූහ. කණ්ඩායම මෙතැනට කැඳවාගෙන එනු ලැබූයේ ගෝස්ට් විසිනි. බලු රංචුව සම්පූර්නයෙන්ම පාහේ අසාර්ථක වී තිබින. සුනඛයින් බලාගන්නා වූ බාස් උන්ට වෙන්වී ගිය අත් කැබැල්ල ඉව කිරීමට දුන්විට උන් සම්පූර්ණයෙන්ම පාහේ වියරු වැටුනේ බුරමින් හා උඩුබුරමින් ඉවතට දිවයෑමට උත්සාහ දැරූහ. මේ දැන් පවා උන් දත් විලිස්සමින්, කෙඳිරිගාමින් තමන්ව බැඳ ඇති රැහැනින් මිදී යාමට යත්න දරමින් සිටින අතර චෙට් උන්ට සාප කරමින් උන්ව වැරෙන් අල්ලාගෙන සිටියේය.

'මේක නිකංම කැලයක්.' ජොන් තමාටම කියාගත්තේ ය. 'මුන් නිකංම මැරිච්ච මිනිස්සු.' ඔහු මීට පෙරද මළ මිනිසුන් ඇතිපදම් දැක තිබේ...

පෙරදා රැයේ ඔහු නැවත වරක් අර වින්ටර්ෆෙල් සිහිනය දුටුවේය. ඔහු හිස් බලකොටුව පුරා ඉබාගාතේ ඇවිදිමින් සිය පියාව සෙවීය. අන්තිමේදී ඔහු සොහොන් ගුහාවලට බැස්සේය. එනමුදු මේ වතාවේ සිහිනය කලින් වතාවට වඩා තරමක් දුර ගොස් තිබුනි. සොහොන් ගුහාවල අන්ධකාරය මැද්දේ ගල් මත ගල් ඇතිල්ලෙන හඬ ඔහුට ඇසුනි. ආපසු හැරී බැලූ ඔහු දුටුවේ සොහොන් ගැබ් එකින් එක විවර වන ආකාරයයි. සිය සීතල, අඳුරු සොහොන් ගුහා තුළ සිට මියගිය ශීත රජවරුන් එකින් එකා පිටතට එද්දී ඔහු සිහිනයෙන් අවදිවිය. අවට දැඩි අන්ධකාරයෙන් වෙලී තිබුනු අතර ඔහුගේ හදවත වේගයෙන් ගැහෙමින් තිබුනි‍. ගෝස්ට් ඇඳට නැග උගේ හොම්බ ඔහුගේ මුහුණේ ඇතිල්ලූ විට පවා සිය සිතේ නැගි ත්‍රාසය හා භීතිය පලවා හරින්නට ඔහුට හැකි නොවීය. නැවත නින්දට යාමට තරම් ඔහු නිර්භීත නොවීය. ඒ වෙනුවට නැගිට ප්‍රාකාර මුදුනට නැගි ඔහු අරුණෝදය වන තෙක් නොසන්සුන් සිතින් එහි එහා මෙහා ඇවිද්දේය. 'ඒක හීනයක් විතරයි. මම දැන් නිශා රැකුමේ කළු සහෝදරයෙක්. බයවෙච්ච පොඩි කොල්ලෙක් නෙවෙයි.' ඔහු තමාටම කියාගත්තේ ය.

සෑම්වෙල් ටාර්ලි අසුන්ට අඩක් මුවා වී තුරුවදුල යට දෑත් පොරවා බලා හුන්නේය. ඔහුගේ වටකුරු මුහුණ කිරි මෙන් සුදුමැලි පැහැ ගැන්වී තිබින. වනය තුළට දුවගොස් අප්පිරියාවෙන් වමනය නොකර සිටීමට ඔහු මේ වන තෙක් සමත් වී සිටියේය. එනමුදු ඔහු මළ මිනිසුන් දෙස කිසිදු බැල්මක් නොහෙලා සිටීමට ද පරෙස්සම් වූයේය. "මට ඒ දිහා බලන්ට බෑ." ඔහු අසරණ අයුරින් කොඳුලේය.

"උඹ ඒක බලන්ට ඕනමයි." අන්‍යයන්ට නෑසෙන පරිදි ඔහු සිය කටහඬ පහත් කලේය. "මේස්ටර් ඒමන් උඹව මෙහාට එවුවෙ එයාගෙ ඇස් දෙක වෙන්ට. මෙතැන සිද්ද වෙන හැම දෙයක්ම බලාගෙන යන්ට. ඒ ඇස් දෙක වැහිලා තිබුනොත් මොකක්ද ඒකෙන් ඇති වැඩේ?"

"ඔවු. ඒ වුනත්... මම මහ බයගුල්ලෙක් ජොන්."

ජොන් සෑම්ගේ උරහිසේ අතක් තැබීය. "මෙතැන අපිත් එක්ක මුර සංචාරක සෙබළු දුසිමක් විතර ඉන්නවා. බල්ලො ඉන්නවා. ගෝස්ටුත් ඉන්නවා. කාටවත් බෑ උමට හානියක් කරන්ට. සෑම්, ඉස්සරහට ගිහිල්ලා බලපන්. මුල්ම වතාවෙ බලන එක තමා අමාරුම වැඩේ."

සෑම් වේගයෙන් හිස වැනීය. ඔහු සිය ධෛර්‍යය වඩා ගන්නට වෑයම් කරන්නාක් මෙන් පෙනින. අන්තිමේදී ඔහු විසල් කරගත් දෑසින් යුතුව හෙමින් සැරේ හිස හැරවීය. ඔහුට ආපසු හැරීමට නොහැකි වන සේ ජොන් ඔහුගේ උරහිස මත දිගටම අත තබාගෙන හුන්නේය.

"සෙර් ජැරමි." නාකි වලහා කර්කශ ස්වරයෙන් ඇසීය. "බෙන් ස්ටාර්ක් ප්‍රාකාරෙන් පිටත්වෙලා යද්දි එයාත් එක්ක මිනිස්සු හයදෙනෙක් ගියා. කෝ එතකොට අනිත් එවුන්?"

සෙර් ජැරමි හිස වැනුවේය. "මම දන්නෙ නෑ උතුමානනි."

ලැබුනු පිළිතුරෙන් මෝර්මන්ට් සෑහිමකට පත්නොවූ බැව් පැහැදිලිවම දිස්විය. "අපේ ස‍හෝදරයො දෙන්නෙක් ප්‍රාකාරය පේන මායිමේ මරලා දාලා ඉන්නවා. ඒ වුනත් අපේ මුර සංචාරකයින්ට කිසිම දෙයක් ඇහිලා නෑ. උන් කිසිම දෙයක් දැකලා නෑ. නිශා රැකුම දැන් ඒ ගානට වැටිලා ද? අපි තාමත් මේ කැලේ මුර සංචාර කරනවද?"

"එහෙමයි මගෙ උතුමානනි. ඒත්-"

"අපි තාමත් රෑ මුරේ කරනව ද?"

"කරනවා. ඒත්-"

"මේ මිනිහා ගාව දඩයම් හොරණෑවක් තියෙනවා." මෝර්මන්ට් ඔතෝර් ගේ මළකඳ දෙසට අත දිගුකලේය. "එතකොට මම හිතාගන්ට ඕන ඌ ඒක පිඹින්නෙ නැතුවම මලා කියලද? එහෙමත් නැත්තම් උඹේ මුර සංචාරකයො හැමෝගෙම ඇස් අන්ධ වෙලා කණ් බීරි වෙලා ගිහිල්ලා ද?"

සෙර් ජැරමි වේගයෙන් හුස්මක් පිටකලේය. කේන්තිය නිසා ඔහුගේ මුහුණ රතු වී ගොස් තිබුනි. "කිසිම හොරණෑවක් පිම්බෙ නෑ මගෙ උතුමානනි. එහෙම වුනානම් මගේ මුර සංචාරකයින්ට ඒ සද්දෙ ඇහෙනවා. මට උවමනා තරම් මුර සංචාර දාන්ට ඇති තරම් මිනිස්සු නෑ... අනික, බෙන්ජින් නැතිවුනාට පස්සෙ අපි ඉස්සර තරම්ම කැලෑව ඇතුළට යන්නෙ නැතුව ප්‍රාකාරෙ කිට්ටුවෙන් තමා ඉන්නෙ. ඒ ඔබතුමාගෙම අණ."

නාකි වහලා උගුරෙන් හඬක් නැගීය. "හොඳයි, ඒක එහෙමයි කියමු එහෙනම්." ඔහු නොසැලකිල්ලෙන් මෙන් අතක් වැනීය. "මට කියහන් කොහොමද මුන් මැරිලා තියෙන්නෙ කියලා."

ජැෆර් ෆ්ලවර්ස් ගේ මළකඳ අසලින් උක්කුටියෙන් වාඩිගත් සෙර් ජැරමි ඔහුගේ හිසකෙස්වලින් අල්ලාගත්තේ ය. එනමුදු වියළි පිදුරු මෙන් කැඩෙන බිඳෙන සුළු වූ හිසකෙස් ඔහුගේ ඇඟිලි අතරට ගැලවී ආවේය. අවලාදයක් නැගූ නයිට්වරයා සිය අත්ලේ මිටෙන් මළකඳේ හිස පසෙකට හැරවීය. ගෙලේ පැත්තකින් වූ ගැඹුරු කැපුමක් මුව අයා තිබුනු අතර එහි වියළි රුධිරය මිදී තිබින. හිස ගෙල හා සම්බන්ධ වී තිබුනේ කුඩා කණ්ඩරා හා නහර කිහිපයකින් පමණි. "මේ වැඩේ කරලා තියෙන්නෙ පොරොවකින්."

"ඔවු." මහලු මුර සංචාරකයා, ඩිවන් මතුලේය. "ඒක ඔතෝර් අරන් ගිය පොරොව වගේ මයෙ උතුමානනි."

සිය උදෑසන ආහාරය කුස තුළ දඟලන්නාක් මෙන් ජොන්ට දැනුනි. එනමුදු දෙතොල් වැරෙන් විකාගත් ඔහු දෙවන මළකඳ දෙස ද නෙත් හෙලීය. ඔතෝර් දැවැන්ත අවලස්සන මිනිසෙකු විය. එහෙයින් දැන් එතැන වූයේ දැවැන්ත අවලස්සක මළකඳකි. ඔහු සතුව පොරොවක් ඇති බවක් පෙනෙන්නට නොවීය. ජොන්ට ඔතෝර්ව මතක තිබුනි. සිය බාප්පා සමගින් මුර සංචාරකයින් පිටව ගිය දිනයේ මහ හඬින් ග්‍රාම්‍ය ගීයක් ගයමින් සිටි පුද්ගලයා ඔහු විය. එනමුදු ඔහු තවත්නම් ගී නොගයනු ඇත. දෑත් හැරෙන්නට ඔහුගේ මුලු සිරුරම සුදුමැලි පැහැයට හැරී තිබුනි. ඒ දෑත් ජැෆර් ගේ මෙන්ම කළු පැහැ ගැන්වී තිබින. ඔහුගේ සිරුර පුරා - උදරය, පපුව, ගෙල, පාද සෑමතැනම - විසිර පැවැති මාරාන්තික තුවාල වලින් ගැලූ, දැන් වියළී ගොස් ඇති රුධිරය විසින් රටා මවා තිබින. එනමුදු ඔහුගේ දෑස් තවමත් විවරව තිබුනි. නිල්මිණි මෙන් නිල් පැහැ වූ ඒ දෑස් අහස දෙසට විවරව තිබුනි.

සෙර් ජැරමි නැගිට සිටියේය. "වනචාරින් ගාවත් පොරෝ තියෙනවා."

මෝර්මන්ට් ඔහුව වටකලේය. "ඉතින් උඹ හිතන්නෙ මේක මැන්ස් රේඩර්ගෙ වැඩක් කියලද? ප්‍රාකාරෙට මෙච්චර කිට්ටුවෙන්?"

"වෙන කවුද මගේ උතුමානනි?"

ඊට පිළිතුරු දීමේ හැකියාව ජොන් සතුව පැවතිනි. ඔහු උත්තරය දැන සිටියේය. එතැන සිටි සැවොම උත්තරය දැන සිටියෝය. එනමුදු කිසිවෙකුත් ඒ වචනය නොකියන්නට වග බලාගත්හ. අනික් එවුන් වනාහි කතන්දරයක් පමණි. කුඩා දරුවන් බිය කිරීමට යොදාගන්නා කතන්දරයක් පමණි. උන් කවරදාක හෝ ජීවත්ව සිටියානම් මීට වසර අටදහසකට පෙරාතුව විනාශ වී ගොස් තිබුනි. මේ සිතුවිල්ල පවා මහා මෝඩ එකක් ලෙසින් ජොන්ට හැඟෙන්නට විය. ඔහු දැන් වැඩුනු මිනිසෙකි. නිශා රැකුමේ සේවය කරන කළු සොහොයුරෙකි. බ්‍රැන්, රොබ් හා ආර්යා සමගින් එක්ව නාකි ආයම්මා ගේ පාමුල වාඩි වී කතන්දර ඇසූ කුඩා කොලුවා නොවේ.

එනමුදු අණදෙන නිළධාරි මෝර්මන්ට් උගුරෙන් නොරිස්සුම් හඬක් පිටකලේය. "කළු බලකොටුවෙන් දවස් බාගෙක දුරින් බෙන් ස්ටාර්ක්ට වනචාරින්ගෙ ප්‍රහාරයකට මූන දෙන්ට වුනානම් එයා අනිවාර්යයෙන්ම ආපිට ඇවිල්ලා තවත් මිනිස්සු අරන් යනවා. ඇවිල්ලා අපා හතම පීරලා හරි මේ මිනීමරුවො හොයාගෙන උන්ගෙ ඔළු ගෙඩි ටික මට අරන් එනවා."

"එයත් මැරුනෙ නැත්තම්." සෙර් ජැරමි තිර ස්වරයෙන් කියා සිටියේය.

ඒ වදන් අතිශයින්ම වේදනා සහගත විය. මේ දැන් පවා ඒවා වේදනාකාරී විය. ඒ කෙතරම් කලක්ද. බෙන් ස්ටාරක් තවමත් ජීවත්ව සිටී යැයි බලාපොරොත්තුවෙන් පසුවීම මෝඩකමක් විය. එනමුඩු මුරණ්ඩු වීම හැරෙන්නට ජොන් ස්නොව්ට වෙනත් විකල්පයක් නොවීය.

"බෙන්ජින් පිටවෙලා ගිහිල්ලා දැන් අවුරුදු බාගෙකට කිට්ටුවෙන්ට ආවා මගේ උතුමානනි." සෙර් ජැරමි දිගටම කතාකලේය. "මේ වනාන්තරේ මහ විශාලයි. වනචාරින් මේ ඕන තැනකදි එයාට පහරදෙන්ට පුළුවන්. මම ඕන ඔට්ටුවක් අල්ලනවා මේ තමා එයාගෙ කණ්ඩායමේ ඉතුරුවුන අන්තිම දෙන්නා. උන් ආපහු ප්‍රාකාරෙට එන ගමන් වෙන්ට ඕන... ඒ වුනත් උන් අන්තිම සීමාව පනින්ට ඉස්සෙල්ලා සතුරො උන්ව හොයාගත්තා. මේ මළකඳන් තාම අලුත්. මුන් මැරිලා තාම දවසකට වඩා වැඩිවෙන්ට බෑ."

"නෑ." සෑම්වෙල් ටාර්ලි හෙමින් සීරුවේ කොඳුලේය.

ජොන් තිගැස්සුනි. සෑම්ගේ තියුණු, බයාදු කටහඬ වනාහි ඔහු මෙතැන අසන්නට බලාපොරොත්තු නොවුනම දෙය විය. මේ තර කොලුවා නිළධාරින් විෂයෙහි අතිශයින්ම බයපක්ෂපාත විය. එමෙන්ම සෙර් ජැරමි යනු ඉවසිලිවන්ත පුද්ගලයකු හැටියට නමක් දිනා සිටියකු නොවීය.

"මම උඹේ මතය ඇහුවෙ නෑ කොල්ලො." සෙර් ජැරමි කෝපසහගත ස්වරයෙන් කීය.

"එයාටත් කතා කරන්ට ඉඩදෙන්ට සෙර්." ජොන් කීය.

මෝර්මන්ට් ගේ දෑස් සෑම්ගේ සිට ජොන් වෙත ද නැවත සෑම් වෙත ද යොමුවිය. "මේ කොල්ලාට යමක් කියන්ට තියෙනවා නම් මම කැමැතියි ඒකත් අහන්ට. ළඟට වරෙන් කොලුවො. උඹ ඔය අශ්වයො පිටිපස්සෙ ඉන්නකොට අපට පේන්නෙ නෑ."

සියොලඟම දහදියෙන් පෙඟී ගිය සෑම් හෙමින් සීරුවේ අශ්වයින් හා ජොන්ව පසුකරමින් ඉදිරියට පිය මැන්නේය. "මගේ උතුමානනි, ඒක... ඒක දවසක් දෙකක් වෙන්ට බෑ... බලන්ට... ලේ..."

"ඔවු?" මෝර්මන්ට් නොඉවසිල්ලෙන් ගෙරවීය. "ලේ. මොකක්ද?"

"ලේ දැක්කහම ඌ‍ට චූ යනවා." චෙට් මහ හඬින් කීය. මුර සංචාරකයින් සිනාසෙන්නට විය.

සෑම් නළලේ නැගි දහදිය බිඳු පිස දැමීය. "ඔබට... ඔබට පේනවා ගෝස්ට්... ජොන්ගෙ වෘකයා... ඔබට පේනවා ඌ මළකඳේ අත කඩාගත්ත තැන, ඒ වුනත්... අත් කොටෙන් ලේ ගලන්නෙ නෑ, බලන්ට... ම‍ගේ තාත්තා... රැන්ඩිල් උතුමානන්, එයා සමහර වෙලාවට මට බලකරනවා එයා සත්තු හමගහලා මස් කරන දිහා බලා ඉන්ටයි කියලා." සෑම් වේගයෙන් හිස දෙපසට වැනීය. මේ මළකඳන් දෙස බැලීමට දිරි වඩාගත් පසු දැන් එයින් අහක බැලීමට ඔහුට නොහැකිවාක් මෙන් දිස්විය. "අලුතෙන්ම මැරුවොත්... දිගටම ලේ ගලනවා... ඊට පස්සෙ... ඊට පස්සෙ ලේ කැටි ගැහෙනවා... හරියට ජෙලි වගේ..." ඔහු අසනීප වීමට යන්නාක් මෙන් පෙනුනි. "මේ මිනිහා... බලන්ට එයාගෙ අත දිහා... ඒ ඔක්කොම... වියළියි. හරියට..."

සෑම් මේ කියන්නේ කුමක්දැයි ජොන් වහා වටහාගත්තේ ය. මළ මිනිසා ගේ මැණික්කටුව අසල සුදුමැලි මාංශයෙන් පිටතට ආ කළු පැහැ ගැන්වුනු ලේ නහර ඔහුට දැකිය හැකි විය. ඒ රුධිරය සම්පූර්ණයෙන්ම වියළී ගොස් කළු පැහැ වී තිබුනි. එනමුදු ජැරමි රයිකර් සෑහීමකට පත් වූ බවක් නොපෙනුනි. "උන් මැරිලා දවසකට වඩා වැඩියි නම් දැන් උන් ඉදිමිලා තියෙන්ට ඕන කොල්ලො. අනික මුන්ගෙන් කුණු ගඳක් එන්නෙත් නෑ."

තමාට හිම වැටෙන වැටෙන්නට යන සුවඳ පවා දැනේ යැයි පාරම්බාන මහලු මුර සංචාරකයා ඩිවන් මළකඳන්වලට කිට්ටු වී ළය පුරා හුස්මක් ගත්තේය. "ඔවු, ඒක මල් සුවඳ නෙවෙයි තමා. ඒත්... මයෙ උතුමානන් කිවුවෙ ඇත්ත. කුණුගඳක් දැනෙන්නෙ නෑ තමා."

"උන්... උන් කුණුවෙන්නෙ නෑ." සෑම් පෙන්වා දුන්නේය. ඔහුගේ මහත අතැඟිලි වෙවුලමින් තිබින. "බලන්ට, එතැන... එතැන ඉහඳ පනුවො නෑ... වෙන පනුවොත් නෑ... උන් මෙතැන මේ කැලේ මැද්දෙ වැටිලා ඉන්නවා. ඒ වුනත් උන්... උන්ව කිසිම සතෙක් කාලා නෑ... ගෝස්ට් විතරයි... එහෙම නැත්තං උන්... උන්..."

"උන්ට මොකෙක්වත් අත තියන්නෙ නෑ." ජොන් කීවේය. "ගෝස්ට් කියන්නෙ වෙනස් විදියෙ සතෙක්. ඒ වුනත් සාමාන්‍ය බල්ලොයි අශ්වයොයි එතැනට කිට්ටු වෙන්නෙවත් නෑ."

මුර සංචාරකයෝ එකිනෙකා දෙස බැලුම් හෙලන්නට ගත්හ. එය සත්‍යයක් බැව් ඒ සෑම කෙනෙකුටම පෙනී ගියේය. මෝර්මන්ට් බැම ඇකිළුවේ ය. ඔහු මළකඳන් දෙස ද බල්ලන් දෙස ද බැල්මක් හෙලුවේය. "චෙට්, ඔය බල්ලො ළඟට අරන් වරෙන්."

චෙට් උත්සාහ කලේය. අවලාද නගමින් බල්ලන් බැඳ සිටි පටිවලින් ඇද්දේය. අන්තිමේදී එකෙකුට පා පහරක් පවා දුන්නේය. එනමුදු සෑම බල්ලෙක්ම කෙඳිරිගාමින් සිටිපිය නොසෙල් වී සිටියහ. ඔහු එයින් එකෙකු ඇද ගැනීමට තැත්කලේය. බැල්ල ගොරවමින් ඇඹරෙන්නට වූයේ කර බැඳි පටිය කඩාගන්නට තැත්කලාය. අන්තිමේදී බැල්ල ගොරවමින් චෙට් වෙත කඩාපැන්නා ය. වහා පටිය බිම දැමූ චෙට් ඇකිළෙමින් පසුපසට වූ අතර පා පැකිලී බිම ඇද වැටුනේය. ඔහුට ඉහළින් පිනූ බැල්ල ගස් අතර නොපෙනී ගියාය.

"මේක... මේ හැම දෙයක්ම වැරැදියි." සෑම් දිගටම කියවාගෙන ගියේය. "ලේ... උන්ගෙ ඇඳුම්වල ලේ පැල්ලම් පිරිලා... උන්ගෙ මස් වේලිලා, තදයි...  ඒ වුනත් බිම කොහෙවත් ලේ පැල්ලම් නෑ... කොතැනවත් නෑ. අර වගේ... අර වගේ..." අමාරුවෙන් කෙල ගිල්ල සෑම් ගැඹුරු හුස්මක් ඇදගත්තේ ය. "අර වගේ තුවාල... භයානක තුවාල... මේ හැමතැනම ලේ විසිරිලා තියෙන්ට ඕන. එහෙම නේද?"

ඩිවන් දත් අතරින් හුස්මක් ඇද්දේය. "සමහරවිට උං මැරුනෙ මෙතන නෙවෙයි වෙන්ට ඇති. සමහරවිට කවුරුහරි උංව මෙතැනට ගෙනල්ලා දාන්ට ඇති අපට හොයාගන්ට පුළුවන් වෙන්ට. අනතුරු ඇඟවීමක්. හරි ඒ වගේ මොකක් හරි." මහලු මුර සංචාරකයා අවිශ්වාස සහගත අයුරින් මළකඳන් දෙස එබී බැලුවේය. "මම මහ මෝඩයෙක් වගේ පේන්ට පුළුවන්. ඒ වුනත් මම දැනගෙන හිටියෙ නෑ ඔතෝර්ට කවදාවත් නිල් පාට ඇස්‍ දෙකක් තිබ්බා කියලා."

සෙර් ජැරමි තිගැස්සුනු බැල්මක් හෙලුවේය. "ෆ්ලවර්ස්ටත් නිල් ඇස් තිබුනෙ නෑ." ඔහු මළකඳන් දෙසට හැරෙමින් කීවේය. වනාන්තරය පුරා නිහඬතාවක් පැතිරුනි. එක් මොහොතකට ඔවුන්ට ඇසුනු එකම හඬ වූයේ සෑම් ගැඹුරු ලෙස හුස්ම ගන්නා හඬ හා ඩිවන් තම දත් අතරින් හුස්ම අදින හඬ පමණි. ජොන් ගෝස්ට් පසෙකින් ඇන බාගත්තේ ය.

"උංව පුච්චන්ට ඕන." කිසිවෙක් කෙඳිරුවේය. ඒ මුර සංචාරකයෙක් වූ නමුදු හරියටම කවුරුදැයි ජොන්ට සිතා ගත නොහැකි විය. "ඔවු. උංව පුච්චමු." තවත් කටහඬක් ඊට එක්විය.

නාකි වලහා මුරණ්ඩු අයුරින් හිස වැනීය. "දැන්ම නෙවෙයි. මට ඕන මේස්ටර් ඒමන් මේවා පරීක්ෂා කරලා බලන්ට. අපි ඒවා ආපහු ප්‍රාකාරෙට අරන් යන්ට ඕන."

සමහර නියෝග දිම පහසු වුවද ක්‍රියාත්මක කිරීම අසීරුය. ඔවුහු මළකඳන් සළුවලින් එතූහ. එනමුදු හේක් හා ඩිවන් විසින් එක් මළකඳක් අසෙකු පිට තබා ගැට ගැසීමට තැත් කල විට සතා වියරු වැටුනි. ඌ මහ හඬින් හේෂාරවය කරමින්, වියරුවෙන් මෙන් උඩ පනිමින් මළ සිරුරෙන් ඈත් වන්නට තැත් කල අතර උදවුවට දිව ගිය කෙටර්ව සපන්නට පවා පෙළඹුනේය. අනික් අසුන්ගෙන් ද ලැබුනේ සමාන ප්‍රතිචාරයකි. ඉතාම කීකරු, ශාන්තම අශ්වයා පවා මේ නපුරු බඩු පොදිය කර ගැසීමට කැමැති වූයේ නැත. අන්තිමේදී ගස්වල අතු කපා සාදාගත් මැසි මත මළකඳන් හොවා පා ගමනින් ඒවා ඔසවාගෙන යන්නට ඔවුන්ට සිදුවිය. ඔවුන් ආපසු ගමන අරඹද්දී මධ්‍යහ්නය පසු වී බොහෝ වේලාවක් ගතව තිබුනි.

"මට ඕන මේ අවට කැලේ සෝදිසි කරන්ට." ගමන පිටත්වද්දී මෝර්මන්ට් සෙර් ජැරමිට නියෝග කලේය. "හැම ගහක්ම, හැම ගලක්ම, හැම පඳුරක්ම. මෙතැන ඉඳන් ලීග දහයක් ඇතුළත හැම බිම් අඟලක් ගානෙ සෝදිසි කරන්ට. උඹට ඉන්න ඔක්කොම මිනිස්සු පාවිච්චි කරපන්. උඹට මිනිස්සු මදි නම් දඩයක්කාරයොයි ගස් කපන එවුනුයි ඉල්ලගනින් නිවාස බාරකාරයින්ගෙන්. බෙනුයි, අනිත් එවුනුයි මැරිලා හරි පණපිටින් හරි මේ කොහේ හරි ඉන්නවානම් මට ඕන උන්ව හොයාගන්ට. ඒ වගේම මේ කැලේ තව මොකෙක් හරි හැංගිලා ඉන්නවා නම් මට ඒකත් දැනගන්ට ඕන. උඹ උන් පස්සෙ ලුහුබැඳගෙන ගිහිල්ලා උන්ව අල්ලගන්ට ඕන. පණපිටින් පුළුවන් නම් වඩා හොඳයි.තේරුනා ද?"

"එහෙමයි මගේ උතුමානනි. ඒක ඒ විදියටම වෙයි."

එයින් පසු මෝර්මන්ට් සිතුවිල්ලේ ගැලෙමින් නිහඬවම ගමන් කලේය. අණදෙන නිළධාරියා ගේ සේවකයා වශයෙන් ජොන් ඔහු පසුපසින්ම වාගේ සිය අසු මෙහෙයවීය. ඒ ඔහුට නියමිත ස්ථානය විය. 

* * *

දවස අඳුරු, තෙත්බරිත, වැහි කළුවෙන් අහස වැසී ගිය එකක් විය. එය කෙනෙකු ආසාවෙන් වැස්සක් බලාපොරොත්තු වන අන්දමේ දවසක් විය. වනය තුළ සුළං පොදකුදු නොහැමීය. අවට වාතය උණුසුම් තෙත්බරිත එකක් විය. දහදිය නිසා ජොන්ගේ ඇඳුම් ඇඟටම ඇලී තිබුනි. එය උණුසුම් දවසක් විය. උවමනාවටත් වඩා උණුසුම් දවසක් විය. ප්‍රාකාරය දැඩි ලෙස හඬමින් තිබුනි. එය දැන් දවස් ගනනාවක් තිස්සේම හඩමින් තිබුනි. සමහර අවස්ථාවලදී ජොන්ට පෙනී ගියේ ප්‍රාකාරය ඇකිළී ඇතිවාක් මෙනි.

නාකි මිනිසුන් මෙය හැඳින්වූයේ 'භූත ගිම්හානය' යනුවෙනි. ඔවුන්ට අනුව ඍතුව එය සතු අවසාන ආත්මයන් දියකර හරිමින් පැවතුනි. මෙයින් පසුව ශීතය පැමිණෙන බැව් ඔවුන් අනතුරු අඟවා තිබුනි. එමෙන්ම දිගු ගිම්හානයක් යනු හැමවිටම දිගු ශීත කාලයක් වනවා ඇත. මේ ගිම්හානය වසර දහයක් පුරාවට පැවැතියේ ය. එය ඇරඹෙද්දී ජොන් අත දරුවෙකු විය.

මඳක් තැන් යනතෙක් ඔවුන් සමග දිවගිය ගෝස්ට් ගස් අතරට වැදී අතුරුදන් විය. මේ ඝෝරවාකයා තමා අසල නැති වූ විට ජොන්ට නග්නව ඉන්නාක් වැනි හැඟීමක් දැනෙන්නට විය. පසුකරන සෑම සෙවනැල්ලක් දෙසම නොසන්සුන් අයුරින් බලන්නට තමා පටන්ගෙන ඇති බැව් ඔහුට තේරුම් ගියේය. කුඩා කොලුවෙකුව වින්ටර්ෆෙල්හි සිටි සමයේ නාකි ආයම්මාගෙන් අසා දැනගත් කතන්දර නිරායාසයෙන්ම ඔහුගේ සිතට ගලා එන්නට විය. ඇගේ කටහඬත්, කතා කියන අතර ඇය ගොතන ඉදිකටු නොනැවතී එකිනෙක ගැටෙන ක්ලික් ක්ලික් ක්ලික් නාදයත් මේ දැන් ඇසෙන්නාක් මෙන් දැනෙන්නට විය. 'මේ අන්ධකාරෙ තමා අනික් එවුන් ඉස් ඉස්සෙල්ලාම ආවෙ,' ඇය කටහඬ පහත් කර රහස් ස්වරයෙන් කියුවාය. 'උං හරිම සීතල එවුන්. මැරිච්ච එවුන්. උං යකඩවලටයි, ගින්දරටයි, ඉර එළියටයි, උණසුම් ලේ නහර අස්සෙ දුවන හැම සතෙකුටමයි වෛර කලා. උං බලකොටු, නගර, රාජධානි එකින් එක යටත් කලා. වීරයොයි හමුදායි බුරුතු පිටින් උං අතින් මැරුම් කෑවා. උං ආවෙ තමන්ගෙ මැරිච්ච සුදුමැලි අස්සයො පිටේ නැගලා තමන් අතින් මැරුම් කාපු එවුන්ගෙන් හැදිච්ච හමුදාවකුත් එක්කයි. උං උංගෙ මේ මැරිච්ච සේවකයින්ට මිනිස් දරුවො කන්ට දුන්නා...'

පෞරාණික ඕක් වෘක්ෂයකට ඉහළින් මුලින්ම ප්‍රාකාරයේ මුදුන පෙනෙන්නට පටන්ගත් විට ජොන්ගේ සිතට මහත් සහනයක් දැනෙන්නට වීය. හදිසියේම තෝන්ලණුව ඇද අසු නැවතූ මෝර්මන්ට් සෑදලය මත ආපසු හැරුනේය. "ටාර්ලි." ඔහු කෑගැසුවේය. "මෙහාට වරෙන්."

සිය වෙළඹ පිට නැගී ගාටමින් ඉදිරියට එන අතරේ සෑම්ගේ මුහුණේ ඇඳී තිබුනු භීතිය ජොන් පැහැදිලිවම දුටුයේය. තමා කුමක් හෝ වැරැද්දක් සිදුකර ඇතැයි ඔහු සිතන බැව් නිසැක විය. "උඹ මහතයි තමා, ඒ වුනත් උඹ මෝඩයෙක් නෙවෙයි කොල්ලො." නාකි වලහා කර්කෂ ස්වරයෙන් කීය. "උඹ අතනදි බොහොම හොඳට කටයුතු කලා. උඹත් එහෙමයි ස්නොව්."

සෑම්ගේ මුහුණට ලේ පුරා ආ අතර ආචාරශීලී අයුරින් ප්‍රතිඋත්තරයක් දෙන්නට තතනද්දී ඔහුගේ දිව පැටලුනි. ජොන්ට සිය සිනාව සඟවාගන්නට බැරි විය.

තුරු වියනෙන් පිටතට පැමිණි විට හැල්මේ ඉදිරියට යන්නැයි මෝර්මන්ට් සිය අසුට සන් කලේය. දඩයමක් නිසා රත් පැහැ ගත් හොම්බ ලෙවකමින් ගෝස්ට් ගස් අතරේ හිඳ ඔවුන් මුන ගැසෙන්නට පෙරමගට දිව ආවේය. ඉතා ඉහළ ප්‍රාකාරය මුදුනේ සිටි මුර සෙබළු ඔවුන් එන බව දුටුවෝය. සැතැපුම් ගනනාවක් ඈතට විහිද යන, මුරකරුවන් ගේ ගැඹුරු, ඒකතානමය හොරණෑ හඬ ජොන්ට ඇසෙන්නට විය. එක් දිගු, තනි හොරණෑ හඬක් ගස් අතරින් රිංගා ගොස් අයිස් මතින් නින්නාද වී විසිර ගියේය.

ආවූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ

හොරණෑ හඬ කෙමෙන් මැකී ගොස් නිහඬතාව රජයන්නට විය. එක් හොරණෑ නාදයක් යනු මුර සංචාරකයින් ගේ නැවත පැමිණිම දන්වන සලකුණයි. 'මමත් අඩුම ගානෙ එක දවසකට හරි මුර සංචාරකයෙක් වුනා.' ජොන් කල්පනා කලේය. කුමක් කෙසේ සිදුවුවද කිසිවෙකුටත් එය ඔහුගෙන් ඉවත් කල නොහැකි වනු ඇත.

ඔවුන් සිය කුඩා කඳුකර අශ්වයින් සීතල අයිස් උමග දිගේ දක්කාගෙන යද්දී බොවෙන් මාර්ෂ් පළමු ගේට්ටුව අසල පොරොත්තුවෙන් බලා සිටියේය. ප්‍රධාන නිවාස බාරකරුවා ගේ මුහුණ රතු වී කැළැඹිලි ස්වභාවයක් පෙනෙන්නට තිබුනි. "මගේ උතුමානනි." යකඩ දොර අරින අතරේ ඔහු මෝර්මන්ට් ඇමතීය. "කපුටෙක් ආවා. ඔබතුමා ඉක්මනින්ම ආවොත් හොඳයි."

"මොකක්ද මිනිහෝ?" මෝර්මන්ට් කර්කෂ ස්වරයෙන් ඇසීය.

මහත් කුතුහලයට හේතුවන පරිද්දෙන් පිළිතුරක් දීමට පෙර මාර්ෂ් ජොන් දෙස බැල්මක් හෙලීය. "මේස්ටර් ඒමන් ගාවයි ලියුම තියෙන්නෙ. එයා ඔබතුමා එනකම් බලන් ඉන්නවා."

"බොහොම හොඳයි. ජොන් මගේ අශ්වයාව ගනින්. සෙර් ජැරමිට කියාපන් අර මළකඳන් දෙක ගබඩා කාමරේකට දාන්ටයි කියලා මේස්ටර් ඒමන් ඒ දෙක පරීක්ෂා කරලා බලන්ට එනකම්." මෝර්මන්ට් කණ්කෙඳිරි ගාමින් දිගු පියවර තබා ඉවත ගියේය.

* * *

අසුන් දක්කාගෙන ඉස්තාල වෙන අතරතුරේදී ජොන්ගේ ඉමහත් අසන්තෝෂයට හේතුවන පරිද්දෙන් සෑමදෙනාම තමා දෙස බලාසිටින බැව් ඔහුට වැටහුනි. සෙර් ඇලිසර් තෝර්න් අංගනයේ සිය කොලු රෑණ පුහුණු කරවමින් සිටියේය. එනමුදු එය නවතා දැමූ ඔහු මඳ සිනාවක් දෙතොලේ ඇතිව ජොන් දෙස බලා සිටින්නට විය. එක'තක් ඇති ඩොනල් නොයේ යුද්ධායුද ගබඩාවේ දොරට පිටතින් බලා සිටියේය. "දෙයියො උඹට පිහිට වෙයි ස්නොව්!" ඔහු හඬගෑවේය.

'මොකක් හරි වැරැදිලා.' ජොන් කල්පනා කලේය. 'මොකක් හරි හොඳටෝම වැරැදිලා.'

මළකඳන් දෙක ප්‍රාකාරය පාමුල වූ ගබඩා කාමරයකට ගෙන යන ලදී. අයිස් කුට්ටිය තුළට කැපූ අඳුරු සීතල බිංගෙයක් වැනි වූ එය මස්, ධාන්‍ය හා බීර ගබඩා කිරීමට භාවිත කෙරුනු එකක් විය. මෝර්මන්ට් ගේ අසුට කවා පොවා සාත්තු කර නිමාවූ පසු ඔහු සිය අසු ගැන අවධානය යෙදවීය. මේ සැමෙකකින්ම පසු ඔහු සිය මිතුරන් සොයා යන්නට විය. ග්‍රෙන් හා ටොඩ් මුරකාවල පිණිස පිටව ගොස් තිබුනු නමුදු ප්‍රධාන ශාලාව තුළ ඉන්නා පිප් සොයාගැනීම අසීරු නොවීය.

"මොකක්ද වෙලා තියෙන්නෙ?" ඔහු ඇසුවේය.

පිප් සිය කටහඬ පහත්කලේය. "රජ්ජුරුවො මැරිලා."

ජොන් ගල්ගැසී ගියේය. රොබර්ට් බරතියන් වින්ටර්ෆෙල්වලට පැමිණි කාලයේ තරබාරු වයස්ගත මිනිසෙකු මෙන් දිස්වුවද ඔහු හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව සිටියේය. ඔහු අසනීපයෙන් පසු වූ බවට ද කිසිම ආරංචියක් නොවීය. "උඹ කොහොමද දැනගත්තෙ?"

"ක්ලයිඩස් ඒ ලියුම මේස්ටර් ඒමන්ට කියවනවා මුරකාරයෙක් අහන් ඉඳලා තියෙනවා." පිප් ඔහුට ලං විය. "ජොන් මට හරි කණගාටුයි. එයා උඹේ තාත්තා‍ගෙ යාළුවෙක්. එහෙම නේද?"

"එක කාලෙක නම් එයාලා සහෝදරයෝ තරමටම ලංවෙලයි හිටියෙ." ජොෆ්රි සිය පියාව දිගටම හස්තය තනතුරේ තබාගනීවිදැයි ඔහු විමතියෙන් කල්පනා කලේය. එය එතරම්ම විය හැක්කක් නොවේ. එයින් කියැවෙන්නේ එඩාර්ඩ් උතුමානනුත් සිය සොහොයුරියනුත් නැවත වින්ටර්ෆෙල් බලා එන බවයි. මෝර්මන්ට් උතුමානන් ගේ අවසරය ඇතුව ඔහුට එහි ගොස් ඔවුන් දැකබලාගෙන එන්නට හැකි වනු ඇත. ආර්යා ගේ විරිත්තීම නැවත දකින්නට ලැබීමත් සිය පියා හා කතා කරන්නට ලැබීමත් සිතට සැනසීමක් ගෙන එනු ඇත. 'මම එයාගෙන් මගේ අම්මා ගැන අහනවා.' ඔහු තීරණයකට එළඹියේ ය. 'මම දැන් මිනිහෙක්. එයා මට ඒක කියන්ට ඕන කාලෙ දැන් හොඳටම පහුවෙලා. එයා ගණිකාවක් වුනත් මට කමක් නෑ. මට දැනගන්ට ඕන.'

'මට අහන්ට ලැබුනා හේක් කියනවා අර මැරිච්ච එවුන් දෙන්නා උඹේ බාප්පාගෙ මිනිස්සු කියලා." පිප් ඇසීය‍.

"ඔවු. එයාත් එක්ක ගිය හයදෙනාගෙන් දෙන්නෙක්. උන් මැරිලා ගොඩාක් කල් වෙනවා. එකම දේ... ඒ මළකඳන් දෙක අසාමාන්‍යයි."

"අසාමාන්‍යයි?" පිප් කුතුහලයෙන් ඇලලී ගියේය. "කොහොමද අසාමාන්‍ය වෙන්නෙ?"

"සෑම් උඹට ඒ ගැන කියයි." ජොන්ට ඒ පිළිබඳ කතා කරන්නට උවමනා නොවීය. "මම දැන් ගිහින් බලන්ට ඕන නාකි වලහාට මගෙන් මොකුත් කෙරෙන්ට තියෙනවද කියලා."


Jeor Mormont: “The things we love destroy us every time.”

33 comments:

  1. මේ සියලුම කොටස් PDF ගොණුවක් ලෙස බාගන්නට සලස්වන්න හොඳේ?

    ReplyDelete
    Replies
    1. එහෙම වුනොත් ෂෝක් එකට තියෙයි කියල හිතෙන්නෙ නැද්ද
      මේක හොර ගුහාවක්..

      Delete
    2. @ විචාරක,

      බලමුකෝ.. ඉස්සෙල්ලාම කතාව ඉවරකරලා ඉන්ටත් එපායැ.. :-)

      @ මහේෂ්,

      දැනුත් ඉතින් කොපි කරන්ට පුළුවන් ඕන කෙනෙකුට.. pdf කලා කියලා ලොකු වෙනසක් වෙන්නෙ නෑ නේද? :-)

      Delete
    3. ඒවා බෑ. පබ්ලිෂ් කරමු...:D

      Delete
  2. Sam would have made a good detective. Noticing the coagulation patterns like that :)

    ReplyDelete
  3. ඌප්ස්.........
    සෑම හොදයි නෙ බොල...කෝමත් අපේ සැමට වඩා නං පට්ට හොදයි...
    එතකොට වනචාරි කේස් එකක් නෙවී නේහ්...
    එහෙනං කතාව පටං ගද්දිම හිටපු උං වෙන්න ඕන...
    නරක නෑ

    ReplyDelete
    Replies
    1. මොකක්ද මහේෂ් නරක නැත්තෙ? වනචාරියො අතින් මැරුම් කන එක ද නැත්තම් අනික් එවුන් අතින් මැරුම් කන එක ද? :-)

      Delete
    2. අපේ සෑමා? ඒ කවුද මහේෂ්?

      Delete
  4. සමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන ඉන්ද්‍රීයයන්ට නොදැනෙන දේ සතුන්ට දැනෙනවා තමයි..මට මතකයි වරක් මගෙ බව්වා එක එක තෙන්වලට තැනකට පැන පැන බිරුවා. කොච්චර ඇද්දත් එතන පහුකරන්න මිනිහා කැමති උනේ නෑ. කිසිදෙයක් තිබ්බෙ නෑ පෙනෙන්න..

    ReplyDelete
    Replies
    1. ඒක මම හිතන්නෙ ඉවත් එක්ක යන දෙයක් වෙන්ටැති නේද? මිනිස්සුන්ට ඉව දැනෙන්නෙ නැත්තෙ අපරාදෙ..

      Delete
    2. ඒ වුනත් අසාමාන්‍ය මිනිසුන්ට ඒ ඉව තියෙනවලු. :P

      Delete
  5. මට අනුව නම් මේක හරිම අගේ අැති පොතක්.......... කවදා පළ වෙයිද???? අපි බලාන ඉන්නවා හරි....

    ReplyDelete
    Replies
    1. ඉන්ට ඉන්ට.. ඉක්මනටම ඉවර කරලා දෙන්නම්.. :-)

      Delete
    2. දැන් නම් මාටින් ගොය්යගේ පරම්පරාවේ ඔක්කොම මතක් වෙනවා. ඒත් ඉවර වුනාම දුක හිතෙයි...:D

      Delete
  6. හප්පේ ඇති යාන්තං, නරියෙක්ට උනත් අපුලක් නැතිව කියවන්න පුළුවන් කොටසක් ආවා.

    අර කෙටල එලදෙන - සන්සාගෙ වැඩ හින්දා එපා වෙලා හිටියෙ.

    හා, හා ඔහොම යං

    ReplyDelete
    Replies
    1. ඇයි බොලාම නේද ඒ කාලෙ "උන්දෑ හරි ලස්සනයි!" ය, "උන්දෑගෙ නාහෙ ගිරා හොටක් වගෙයි!" ය වගේ කතා කිය කියා හිටියෙ.. :-P

      Delete
    2. ලස්සන නං තමා, ඒත් කේප්ප වැස්සියෙක් නෙව :)

      Delete
    3. කේප්ප වැස්සියක් උනත් මොකෝ අනේ , ලස්සනයිනේ :P

      Delete
    4. ඕං නරිමොටෝ.. මං නෙවේ කියන්නෙ ඈ... ;-)

      Delete
    5. නරි මොටාලා වැඩියෙන් කැමති කිකිළියොන්ටලු. ගිනි ඒ කියන්නේ හොට් කිකිළියන්ට. :D

      Delete
  7. ජෝන්ලාට වැඩ වැඩි කාලයක් වගේ ඉස්සරහාට

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්....

      Delete
    2. සෙර් බුරා බස්සෙක් වේගෙන එන ලකුණු පෙනේ...:P

      Delete
  8. අදයි කතාව කියවන්න ලැබුණේ , දැන් හොල්මන් පිශාච කට්ටියත් කතාවට එනවා වගේ :(

    ReplyDelete
    Replies
    1. දැන් නෙවේ අ‍නේ, එයාලා ආවෙ කතාව පට්ටාං ගනිද්දිමයි... :-)

      Delete
    2. බලාගෙන සෝන්යා...නිදාගත්තාම ඇස් අරින්ට එහෙම එපා. කට්ටිය වටේ බලාගෙන ඉන්නවලු...:P

      Delete
  9. දැන් මේ ලොකු පොතේ කොයි හරියේ වගේද කතාව තියේන්නේ? මම ඉතින් ලේසියට සිංහල එකනේ හෙමිට කියවන්නේ ඒකයි ඇහුවේ..

    ReplyDelete
    Replies
    1. දැන් යන්නෙ පොතේ 53 වන පරිච්ඡේදය දිනේශ්.. ඔක්කොම පරිච්ඡේද 73ක් තියෙනවා..

      Delete
    2. හතර සැරයක්ම කියෙව්වා. මං මේ හරියට බොහොම මනාපයි. දැනට කැමතිම චරිතය සැම්වෙල් ටාර්ලි

      73 න් 53 ක් 20 යි. විස්ස තුනෙන් බෙදුවාම හතයි.
      හවු ඌඌඌඌඌඌ........

      Delete