Monday 2 February 2015

කැට්ලින් 08-2


මේසය හරහා නැඹුරු වූ කැට්ලින් රොබ්ගේ හිසකෙස් පිරිමැද්දා ය. "ඔයා තමා මගේ පළවෙනි දරුවා රොබ්. ඔයා දිහා බලන එක බැල්මක් ඇති මට ඔයා මේ ලෝකෙට ආපු දවස මතක් කරගන්ට. මූන රතුකරගෙන, මහ හයියෙන් අඬ අඬා."

ඔහු නැගී සිටියේය. ඇගේ ස්පර්ශය නිසා ඔහු අසීරුවට පත් වූ බැව් පැහැදිළිව පෙනෙන්නට විය. නැගිට සිටි ඔහු ගිනිඋඳුන වෙත ඇවිද ගියේය. ග්‍රේ වින්ඩ් ඔහුගේ පාදයේ සිය හිස අතුල්ලන්නට විය. "ඔයා දන්නවනෙ... තාත්තා ගැන නේද?"

"ඔවු." රොබර්ට්‍ ගේ හදිසි අභාවයත් නෙඩ්ගේ බිඳ වැටීමත් ඇයව කිවනොහැකි තරම් තදින් බියපත් කරන්නට සමත් වී තිබින. එනමුදු සිය පුත්‍රයාට සිත තුළ ඇති බිය පෙන්වීමට ඇයට උවමනා නොවීය. "මම ධවල වරායෙන් ගොඩ බැස්සාම මැන්ඩර්ලි උතුමානන් මට ඒ ගැන කිවුවා. ඔයාට නංගිලා ගැන මොකුත් ආරංචියක් ලැබුනද?"

"ලියුමක් ආවා." ඝෝරවෘකයා ගේ නිකට යට කසමින් රොබ් කීය. "ඔයාටත් එකක් ආවා. ඒ වුනත් ඒක ආවෙ වින්ටර්ෆෙල්වලට. ම‍ගේ එකත් එක්කම." මේසය වෙත ළඟා වූ ඔහු සිතියම් හා ලිපි ගොනු අවුස්සා පොඩි වී ගිය කඩදාසියක් සොයාගත්තේ ය. "මේ තියෙන්නෙ එයා මට එවපු එක. ඔයාට ආපු එක අරන් එන්ට මට කල්පනා වුනේ නැහැ."

රොබ්ගේ ස්වරයේ තැවරී තිබුනු කුමක් හෝ දෙයක් නිසා ඇ‍ගේ සිත නොසන්සුන් විය. කඩදාසිය දිගහැරගත් ඇය එය කියවන්නට වූවාය. ඇගේ සිතේ වූ අවධානය ක්‍රමයෙන් අවිශ්වාසයටත්, එතැනින් කේන්තියටත්, අන්තිමේදී බියකටත් පෙරැලුනි. "මේකෙ තියෙන්නෙ සෙර්සිගෙ වචන. ඔයාගෙ නංගිගෙ නෙවෙයි." ලිපිය කියවා හමාර වූ පසු ඇය කීවාය. "ඇත්තම පණිවුඩේ තියෙන්නෙ සන්සාට කියාගන්ට බැරි ටිකේ. ලැනිස්ටර්ලා එයාට බොහොම කරුනාවෙන් ආදරෙන් සලකනවයි කියලා තියෙන ටිකේ... මම දන්නවා තර්ජනයක් කරන්නෙ කොහොමද කියලා. මට තේරෙනවා මෙතැන තියෙන්නෙ තර්ජනයක් කියලා. උන් සන්සාව ප්‍රාණ ඇපකාරියක් වගේ තියාගෙනයි ඉන්නෙ. උන් එයාව දිගටම එහෙම තියාගන්ටයි හිතාගෙන ඉන්නෙ."

"ඒකෙ ආර්යා ගැන කිසිම සඳහනක් නෑ." රොබ් දුක්ඛිත අයුරින් පෙන්වා දුන්නේය.

"නෑ." එයින් අදහස් වන්නේ කුමක්දැයි සිතන්නට පවා කැට්ලින්ට උවමනා නොවීය. දැන්, මේ මොහොතේ, මෙතැනදී ඒ ගැන සිතන්නටවත් ඇයට අවශ්‍ය නොවීය.

"මම හිතාගෙන හිටියෙ... ඔයා ගාව පුංචි යකා ඉන්නවා නම්, ප්‍රාණ ඇපකාරයො හුවමාරු කරගන්ට." සන්සා ගේ ලිපිය නැවත අතට ගත් ඔහු එය මිටිකරගත් අතින් පොඩිකලේය. ඔහු එය කල විලාසයෙන්ම මේ පළමු වතාව නොවන බැව් කැට්ලින්ට වැටහුනි. "ඉයරිවලින් මොකුත් පණිවුඩයක් නැද්ද? මම උදවු ඉල්ලලා ලයිසා පුංචි අම්මාට ලියුමක් යැවුවා. එයා ඒරින් උතුමානන්ගෙ ධජ දරන්නො එකතු කරනවද? ඔයා දන්නවද ඒ ගැන? මිටියාවතේ නයිට්වරු අපට එකතුවෙන්ට එයිද?"

"එකම එක්කෙනයි. එයා තමා හොඳම එක්කෙනා. මගේ බාප්පා... ඒ වුනත් බ්‍රින්ඩන් කියන්නෙ මුලින් ටලී කෙනෙක්. මගේ නංගි එයාගෙ අර මලඉලවු ලේ වාහල්කඩින් මෙහාට අඩියක් තියන්නෙ නෑ."

මෙය රොබ්ට තදින්ම වැදුනි. "අම්මා. අපි මොකක්ද දැන් කරන්ට යන්නෙ? මම මේ මහ විසාල හමුදාව එකතු කරන් මෙහාට ආවා. දහඅටදාහක් මිනිස්සු... ඒ වුනත් මම... මට හිතාගන්ට බෑ..." ඔහු ඇය දෙස බැලුවේය. ඒ දෑස් දිලිසෙමින් තිබුනි. අර උදාර, තරුණ වංශාධිපතියා සැනින් අතුරුදන්ව ගොස් නැවතත් අර කුඩා දරුවා එතැනට පැමිණ තිබුනි. සිය මවගෙන් පිළිතුරු බලාපොරොත්තු වන වසර පහළොවක කුඩා ‍කොලුවා බවට පත්ව තිබුනි.

නැත. එවැන්නක් සිදුවීමට දිය නොහැක.

"ඔයා මොකක් ගැනද ඔය බයවෙන්නෙ රොබ්?" ඇය මෘදු ස්වරයෙන් ඇසුවාය.

"මම..." කඳුළු බිඳු සඟවනු පිණිස ඔහු ඉවත බැලුවේය. "අපි දිගටම පහළට ගියත්... අපි යුද්ධය දිනුවත්... ලැනිස්ටර්ලා තාත්තාවයි සන්සාවයි අල්ලගෙනයි ඉන්නෙ. උන් එයාලව මරලා දායි. එහෙම නෙවෙයිද?"

"උන්ට ඕන අපි ලවුවා එහෙම හිතන්ටයි."

"ඔයා කියන්නෙ උන් බොරු කියනවා කියලද?"

"මම දන්නෙ නෑ රොබ්. මම දන්න එකම දේ ඔයාට වෙන විකල්පයක් නෑ කියන එක විතරයි. ඔයා කින්ග්ස් ලෑන්ඩින්ග්වලට ගිහිල්ලා උන්ට පක්ෂපාතියි කියලා දිවුරුම් දුන්නොත් ඔයාට ආයෙ කවමදාවත් එහෙන් ගැලවිලා එන්ට ලැබෙන්නෙ නෑ. ඔයා නැට්ට කකුල් දෙක අස්සෙ ගහගෙන ආයෙම වින්ටර්ෆෙල්වලට ගියොත් ඔයාගෙ යටත් වංශාධිපතීන්ගෙ හිතේ ඔයා ගැන තියෙන ගෞරවය එහෙම පිටින්ම නැතිවෙලා යයි. සමහර අය ලැනිස්ටර්ලාගෙ පැත්තට යන්ටත් පුළුවන්. එහෙම වුනොත් රැජිණ දැනගන්නවා එයාට බයවෙන්ට ඒ හැටි හේතුවක් නෑ කියලා. ඒක නිසා එයා හිරකාරයින්ට එයා කැමැති දෙයක් කරයි. අපට තියෙන හොඳම බලාපොරොත්තුව, ඇත්තටම බැලුවොත් අපට තියෙන එකම බලාපොරොත්තුව ඔයා සතුරාව යුද්ධ භූමියෙදි පරද්දන එකයි. ඔයාට පුළුවන් වුනොත් ටයිවින් උතුමානන් නැත්තම් රජුන් මරන්නාව පණපිටින් අල්ලගන්ට... ආන්න එහෙම වුනොත් නම් අපට පුළුවන් වෙයි ප්‍රාණ ඇපකාරයො හුවමාරුවක් ගැන සලකලා බලන්ට. ඒ වුනත් ඒක නෙවෙයි ඒකෙ තියෙන වැදගත්ම දේ. ඔයා බලවත්ව ඉන්න තාක් කල් උන් ඔයාට බය වෙනවා. ඒ කියන්නෙ නෙඩුයි ඔයාගෙ නංගියි ආරක්ෂාකාරීයි. සෙර්සි කපටි අම්මන්ඩි. එයාට මොළේ තියෙනවා. බැරි වෙලාවත් යුද්ධෙන් එයාගෙ පැත්තට අවාසි වුනොත් තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් අර දෙන්නා ඕන වෙනවා කියලා එයා දන්නවා."

"යුද්ධෙ එයාට අවාසි වෙන පැත්තකට හැරුනෙ නැත්තම් මොකද වෙන්නෙ? ඒක අපට අවාසි වෙන පැත්තකට හැරුනොත් මොකද කරන්නෙ?"

කැට්ලින් ඔහුගේ දෑතින් අල්ලාගත්තා ය. "රොබ්. මම ඔයාගෙන් ඇත්ත හංගන්නෙ නෑ. ඔයා යුද්ධෙන් පැරදුනොත් අපි කිසිම කෙනෙකුට තවත් බලාපොරොත්තුවක් ඉතුරුවෙන්නෙ නෑ. කාර්ස්ටලී රොක්වල මැද්දෙ ගල් ඇරෙන්ට වෙන මොකුත් නැහැයි කියලයි මිනිස්සු කියන්නෙ. මතකනෙ රේගාර්ගෙ දරුවන්ට මොකක්ද වුනේ කියලා?"

ඔහුගේ තරුණ දෑසේ විද්‍යමාන වූ බිය ඇය පැහැදිළිවම දුටුවාය. එනමුදු එහි එක්තරා අන්දමක අධිෂ්ටානයක් හා ශක්තිමත් බවක් ද පෙනෙන්නට විය. "එහෙම නම් ඉතින් මම පරදින්නෙ නෑ." ඔහු දිවුලේය.

"මට කියන්ට. ගංගා නිම්නයේ සටන් ගැන ඔයා මොනවද දන්නෙ?" ඔහු ඇත්තෙන්ම මීට සූදාණම්දැයි දැනගැනීමට ඇයට අවශ්‍ය විය.

"එයාලා ගෝල්ඩන් ටූත්වලට පහළින් තියෙන කඳුගැටවලදි සටනක් කරලා තාම සති දෙකක්වත් ගියේ නෑ. එඩ්මුයර් මාමා වාන්ස් උතුමානන්වයි පයිපර් උතුමානන්වයි යැවුවා කපොල්ල ආරක්ෂා කරගන්ටයි කියලා. ඒ වුනත් රජුන් මරන්නා එයාලා උඩට කඩන් වැදිලා සටන් කලා. වාන්ස් උතුමානන් මැරුනා. අපට අන්තිමට අහන්ට ලැබුන ආරංච්යේ හැටියට පයිපර් උතුමානන් පහුබහිනවා. රිවර්රන් වල ඉන්න එඩ්මුයර් මාමායි අනිත් වංශාධිපතියොයි එක්ක එකතුවෙන්ට. ජේමි ලැනිස්ටර් එයාගෙ පස්සෙන්ම පන්නනවා. ඒ වුනත් ඒක නෙවෙයි නරකම දේ. එයාලා කපොල්ලෙ සටන් කරන අතරතුරේදී ටයිවින් උතුමානන් තවත් ලැනිස්ටර් හමුදාවක් අරන් වටෙන් ගිහින් දකුණු පැත්තෙන් උඩට එනවා. කියන හැටියට නම් ඒක ජේමිගෙ හමුදාවටත් වඩා ‍ලොකුයි."

එඩ්මුයර් ටලී
"තාත්තා ඒ ගැන දැනගෙන හිටියා වෙන්ට ඕන. මොකද එයා ඒ හමුදාවට විරුද්ධව එයාගෙ හමුදාවක් යවලා තියෙනවා. රජතුමාගෙම ධජය යටතේ. එයා දකුණුකරේ ඔන්න ඔය එරික් ද ඩෙරික් ද කවුද මන්දා උතුමානන් කෙනෙකුට තමා ඒ හමුදාවෙ අණදෙන නිළධාරි තනතුර දීලා තියෙන්නෙ. සෙර් රේමන් ඩැරීත් එයාලත් එක්ක ගිහින් තියෙනවා. ලියුමෙ තියෙන විදියටනම් ඒ හමුදාවෙ තවත් නයිට්වරුත් ඉඳලා තියෙනවා. තාත්තගෙම වින්ටර්ෆෙල් සෙබළුත් ඉඳලා තියෙනවා. ඒ වුනත් ඒක උගුලක්. මේ ඩෙරික් උතුමානන් රතු ගංගාව තරණය කරපු ගමන් ලැනිස්ටර් හමුදාව එයාලට පහරදීලා තියෙනවා. එයාලා රජතුමාගෙ ධජය යටතෙ ඉන්නෙ කියලා පොඩ්ඩක්වත් ගනන් අරන් නෑ. එයාලා මමර්ස් ෆෝර්ඩ් පැත්තෙන් පහුබහින්ට ගියාම ග්‍රෙගර් ක්ලිගේන් එයාලට පිටිපස්සෙන් පහරදීලා තියෙනවා. මේ ඩෙරික් උතුමානනුයි තවත් ටික දෙනෙකුයි බේරෙන්ට ඇති කියලා තමා කියන්නෙ. කවුරුවත් ඒක හරියටම දන්නෙ නෑ. ඒ වුනත් සෙර් රේමන් මැරිලා. වින්ටර්ෆෙල්වල අපේ සෙබළුත් ඔක්කොම වගේ මැරිලා. ටයිවින් උතුමානන් රජමාවත වහලා දාලා කියලයි කියන්නෙ. දැන් එයා උතුරේ හැරෙන්හෝල්වලට හමුදාව මෙහෙයවනවා. මග දිගට හම්බවෙන හැම දෙයක්ම ගිනිතියලා විනාශකරලා දානවා."

'භයානකයි! හොඳටම භයානකයි!' කැට්ලින් කල්පනා කලාය. තත්ත්වය ඇය සිතුවාටත් වඩා බරපතල විය. "ඉතින් ඔයා හිතාගෙන ඉන්නෙ එයාව මෙතැනදි මුනගැහෙන්ට ද?"

"එයා මෙච්චර උතුරට ආවොත්. ඒ වුනත් කිසිම කෙනෙක් හිතන්නෙ නෑ එයා එහෙම කරයි කියලා. මම පණිවුඩයක් යැවුවා හොව්ලන්ඩ් රීඩ්ට. මතකනෙ ග්‍රේවෝටර් වොච්වල ඉන්න තාත්තගෙ පරණ යාළුවා. ලැනිස්ටර්ලා බෙල්ල දිගේ උතුරට ආවොත් තියන තියන අඩියක් ගානෙ වගුරු මිනිස්සු උන්ගෙ ලේ හලාවි. ඒ වුනත් ගැල්බට් ග්ලවර් කියන්නෙ ටයිවින් ලැනිස්ටර් ඒ වගේ දෙයක් කරන්ට තරම් මෝඩයෙක් නෙවෙයි කියලයි‍. රූස් බෝල්ටනුත් ඒ කතාවට එකඟවෙනවා. එයාලා හිතන්නෙ ටයිවින් උතුමානන් දිගටම ගංගා නිම්නය පැත්තෙම කැරකෙයි කියලයි. එතකොට එයාට පුළුවන් ගංගා නිම්නයේ ඉන්න වංශාධිපතියන්ගෙ බලකොටු එකින් එක අල්ලගන්ට. එතකොට අන්තිමේදි ඉතුරු වෙන්නෙ රිවර්රන් විතරයි‍. ඒ නිසා හොඳම වැඩේ අපි දකුණට ගිහිල්ලා එයාට මුහුණ දෙන එකයි."

මේ අදහස නිසා කැට්ලින් ඇටමිදුළුවලට යනතෙක්ම සීතල වී ගියාය. යුද්ධයෙන් පදම් වූ තෙම්පරාදු වූ අණදෙන නිළධාරින් වන ජේමි හා ටයිවින් ලැනිස්ටර් හමුවේ පහළොස් වියැති කොලුවෙකුට ඇති අවස්ථාවන් කවරේද? "ඒක මොළේ ඇති වැඩක් ද? ඔයා මෙතැන බොහොම ආරක්ෂාකාරීව ඉන්නවා. එයාලා කියන්නෙ උතුරේ පුරාණ රජවරු මෝට් කේය්ලින්වල ඉඳන් එයාලා වගේ දහගුණයක් විශාල හමුදාවල් හිටන් පරද්දලා පන්නලා දැම්මයි කියලා."

"ඔවු. ඒක ඇත්ත. ඒ වුනත් අපේ කෑමබීමයි අනිත් කලමනායි හැමදේම අඩුවේගෙන යනවා. මේක අපට ලේසියෙන් කෑම හොයාගන්ට පුළුවන් භූමියක් නෙවෙයි. අපි මෙච්චර කල් බලන් හිටියෙත් මැන්ඩර්ලි උතුමානන් එනකනුයි. ඉතින් දැන් එයාගෙ පුත්තු දෙන්නා අපට එකතුවෙලා තියෙන නිසා අපි ඉක්මනින්ම මෙතැනින් පිටවෙලා ඉස්සරහට යන්ට ඕන."

මේ කතාකරන්නේ සිය පුත්‍රයා නොව ඔහුගේ යටත් වංශාධිපතීන් ගේ වදන් බැව් කැට්ලින් වහා වටහාගත්තා ය. පසුගිය වසර ගනනාවක් තිස්සේ ඇය මොවුන්ගෙන් බොහෝ දෙනෙකුට වින්ටර්ෆෙල්හිදී සංග්‍රහ කර තිබුනාය. එමෙන්ම නෙඩ් සමගින් මොවුන් ගේ බලකොටුවලට ගොස් ආගන්තුක සත්කාර ද විඳ තිබුනාය. ඔවුන් සෑම කෙනෙකුම කවරාකාරයේ කෙනෙකුදැයි කීමට ඇය දැන සිටියාය. රොබුත් ඒ බව දනීදැයි ඇය විමතියෙන් කල්පනා කරන්නට විය.

එනමුදු ඔහු පැවසූ දෙය ද සත්‍යයක් විය. ඇගේ පුත්‍රයා විසින් එකතුකරගත් මේ හමුදාව නිදහස් නගරවල මෙන් ස්ථිරව පවත්වාගෙන යන හමුදාවක් නොවීය. එමෙන්ම මුදල් ගෙවා නඩත්තු කරන පෞද්ගලික හමුදාවක් ද නොවීය. මෙහි වූ බහුතරය සාමාන්‍ය ජනතාව වූහ. ඔවුහු සුළු ගොවීන්, ගොවිපළ අත්උදවු කරුවන්, මසුන් මරන්නන්, එඬේරුන්, තැබෑරුම් හිමියන් ගේ පුතුන්, වෙළෙන්දන් හා පෙහෙරන්ගෙන් සැදි පිරිසක් වූහ. ඒ අතරට කොල්ලකෑමෙන් මුදල් ඉපයීමේ ආසාවෙන් ඊට එක් වූ කුලී හේවායින් හා නිදහස් අසරුවන් සුළු පිරිසක්ද එක්වී සිටියහ. ඔවුන් ගේ වංශාධිපතීන් විසින් කැඳවූ විට ඔවුන් පැමිණිය යුතු විය... එනමුදු ඒ සදාකල් වෙනුවෙන් නොවීය. "ඉස්සරහට යන එක හොඳයි තමා. ඒත් කොහාටද යන්නෙ? මොන අරමුනක් වෙනුවෙන් ද යන්නෙ? ඔයා මොකක්ද කරන්ට බලාපො‍රොත්තු වෙන්නෙ?"

රොබ් තැතනුවේය. "ග්‍රේට්ජොන් හිතන්නෙ අපි ටයිවින් උතුමානන්ට හදිසි පහරදීමක් කරලා, එයාව පුදුම කරවන්ට ඕන කියලයි. ඒ වුනත් ග්ලවර්ලායි කාර්ස්ටාර්ක්ලායි හිතන්නෙ අපි ටයිවින්ගෙ හමුදාව වටෙන් ගිහිල්ලා එඩ්මුයර් මාමාත් එක්ක එකතුවෙලා ජේමි ලැනිස්ටර්ගෙ හමුදාවට පහරදෙන එක ඊට වඩා නුවණක්කාරයි කියලයි." ඔහු අසතුටට පත් වූ අයුරින් සිය රතු-දුඹුරු හිසකෙස් අතරින් අතැඟිලි විහිදෙවුවේය. "ඒ වුනත් අපි රිවර්රන්වලට කිට්ටු කරන වෙලාව වෙනකොට... මට හරියටම ස්ථිර නෑ..."

"ස්ථිර වෙන්ට. එහෙම නැත්තම් ආයෙමත් ගෙදර ගිහිල්ලා අර ලී කඩුව අතට ගන්ට. රූස් බෝල්ටන් නැත්තම් රිකාර්ඩ් කාර්ස්ටාර්ක් වගේ මිනිස්සු ඉස්සරහදි ඔයාට දෙගිඩියාවෙන් ඉන්නවා කියලා පෙන්නන්ට බෑ. වරද්දගන්ට එපා රොබ්, මේ ඉන්නෙ ඔයාගෙ යටත් වංශාධිපතියො. ඔයාගෙ යාළුවො නෙවෙයි. ඔයාමයි ඔයාට මේ හමුදාවෙ අණදෙන නිළධාරි තනතුර දීගත්තෙ. එහෙමනම් ඔයාම අණදෙන්ට."

ඇගේ පුත්‍රයා ඈ දෙස බැලුවේය. මේ අසන්නට ලැබුනු දෙයින් ඔහු තිගැස්සුනු බවක් පෙනෙන්නට තිබුනි. "ඔයා කියන විදියක් අම්මෙ."

"මම ආයෙමත් අහන්නම්. ඔයා මොකක්ද කරන්ට බලාපොරොත්තු වෙන්නෙ?"

රොබ් මේසය මත වූ පැරණි, පාට වියැකී ගිය, සමින් කල සිතියමක් ඇදගත්තේ ය. නිරන්තර ඇකිළීම නිසා එහි එක් කෙලවරක් රෝල් වී තිබුනු අතර රොබ් ඒ මතින් සිය සිරිය තැබීය. "ඒ සැලසුම් දෙකේම හොඳ-නරක දෙකම තියෙනවා... මම ටයිවින් උතුමානන්ගෙ වටේ යන්ට උත්සාහ කලොත් එයයි ජේමි ලැනිස්ටර්ගෙ හමුදාවයි දෙක අතරේ අපි හිරවීමෙ අවදානමක් තියෙනවා. අපි එයාට පහර දුන්නොත්... අපට ලැබුන හැම වාර්තාවක්ම අනුව එයාට මට වඩා හමුදාව ඉන්නවා. මට වඩා ගොඩක් අශ්වාරෝහක සෙබළු ඉන්නවා. ග්‍රේට්ජොන් කියන්නෙ අපි එයාව පුදුමයට පත්කරලා හදිසි පහරදීමක් කලොත් ඒ‍කෙ එච්චරම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැයි කියලයි. ඒ වුනත් මට හිතෙන්නෙ ටයිවින් ලැනිස්ටර් වගේ යුද්ධ අත්දැකීම් තියෙන මනුස්සයෙක්ව එහෙම පුදුම කරන්ට ‍ලේසියෙන් බැහැයි කියලයි."

"බොහොම හොඳයි!" සිය පුත්‍රයා ගේ කතාව තුළින් ඇය සිය ස්වාමියාව දුටුවාය. "මට තව කියන්ට."

"මම මෙතැන මෝට් කේය්ලින්වල පුංචි හමුදාවක් ඉතුරුකරලා යනවා. වැඩිපුරම දුනුවායො. අනිත් කට්ටිය රජමාවතේ පහළට අරන් යනවා. ඒ වුනත් බෙල්ල පහුකරපු ගමන් මම අපේ හමුදාව දෙකට බෙදනවා. ප්‍රධාන පාබල හමුදාව දිගටම රජමාවතේ පහළට යනවා. ඒ අතරෙ අපේ අශ්වාරෝහක සෙබළු නිවුන් බලකොටුව ගාවින් කොළ ගංගාව අනිත් පැත්තට පනිනවා." ඔහු සිතියම මත ඇඟිල්ල තබා පෙන්වීය. "අපි දකුණට ආවා කියන ආරංචිය ටයිවින් උතුමානන්ට ලැබුනහම එයා අපට පහරදෙන්ට උතුරට එයි. ඒකෙන් අපේ අශ්වාරෝහකයින්ට ඉඩ ලැබෙනවා කිසි කරදරයක් නැතුව බටහිර ඉවුර දිගේ ඉක්මනින්ම රිවර්රන්වලට යන්ට." රොබ් මැඩගත් සිනහවකින් යුතුව නැවත අසුන් ගත්තේය. ඔහු තමා ගැනම සතුටට පත් වී සිටි අතර පැසසුමක් බලාපොරොත්තු වන කුඩා දරුවකු මෙන් පෙනුනි.


කැට්ලින් සිතියම දෙස රවා බැලුවාය. "එතකොට ඔයා ඔයාගෙ හමුදාවෙ කොටස් දෙක අතරේ ගංගාවක් තියාගන්නවනෙ."

"ඒ වගේම ‍ජේමිගෙයි ටයිවින්ගෙයි හමුදා දෙක අතරෙත් ගංගාවක් තියෙනවා." ඔහු උනන්දුවෙන් කීවේය. මැඩගත් සිනහව මෙවර එළියට පැන්නේය. "රොබර්ට් රේගාර්ව මරලා සිංහාසනේ දිනපු රතුකැට තොටුපළෙන් පස්සෙ උතුරට යනකම් කොළ ගංගාවෙ කිසිම තොටුපළක් නෑ. මෙතැන උඩ නිවුන් බලකොටුවට එනකම් කිසිම කෙනෙකුට ගඟෙන් එතෙර වෙන්ට බෑ. එතැන පාලම පාලනය කරන්නෙ ෆ්‍රේ උතුමානන්. එයා ඔයාගෙ තාත්තගෙ යටත් වංශාධිපතියෙක් නේද?"

'හැමදාම ප්‍රමාද වෙන ෆ්‍රේ උතුමානන්.' කැට්ලින් කල්පනා කලාය. "එහෙමනම් තමා. ඒ වුනත් මගේ තාත්තා එයාව කවදාවත් විශ්වාස කලේ නෑ. ඔයත් එයාව විශ්වාසකරන්ට එපා."

"මම එහෙම කරන්නෙ නෑ." රොබ් පොරොන්දු විය. "ඔයා මොකද හිතන්නෙ?"

මේ සැලසුම සැබැවින්ම ඇයව විමතියට පත්කරන්නට සමත්ව තිබුනි. 'එයා ටලී කෙනෙක් වගේ තමා පේන්නෙ.' ඇය සිතුවාය. 'ඒ වුනත් එයා තාත්තගෙම පුතා. නෙඩ් එයාට හොඳට උගන්නලා තියෙනවා!' "ඔයා අණදෙන්නෙ මෙතැනින් කොයි හමුදාවට ද?"

"අශ්වාරෝහකයින්ට." ඔහු සැනෙන් පිළිතුරු දුන්නේය. 'ආයෙමත් තාත්තා වගේ!' නෙඩ් හැමදාමත් වඩා අවදානම් රාජකාරිය තමා පිට පවරාගන්නේය.

"එතකොට අනිත් හමුදාව?"

"ග්‍රේට්ජොන් හැමදාම කියනවා අපි ටයිවින්ව පොඩිකරලා දාන්ට ඕන කියලා. ඉතින් මම හිතුවා එයාට ඒ ගෞරවය දෙන්ට."

ඒ වනාහි ඔහුගේ පළමු වැරැදීම විය. එනමුදු ඔහුගේ නිසලබව හා ආත්ම විශ්වාසය නොබිඳෙන සේ ඔහුට ඒ බව ඒත්තු ගන්වන්නේ කෙසේදැයි කැට්ලින් මොහොතක් කල්පනා කලාය. "ඔයා‍ගෙ තාත්තා මට එකපාරක් කිවුවා ග්‍රේට්ජොන් එයා දන්න වෙන ඕනම මිනිහෙකුට වඩා බිහිසුනුයි කියලා."

රොබ් විරිත්තුවේය. "ග්‍රේ වින්ඩ් එයාගෙ අතේ ඇඟිලි දෙකක් හපලා කඩාගත්තා. එයා ඒ ගැන හිනාවුනා විතරයි. ඉතින්, ඒ කියන්නෙ ඔයා ඒකට එකඟවෙනවා නේද?"

"ඔයාගෙ තාත්තා බිහිසුනු නෑ." ඇය පෙන්වා දුන්නාය. "එයා නිර්භීතයි. ඒත් ඒ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක්."

ඇගේ පුත්‍රයා ඒ ගැන මොහොතක් කල්පනා කර බැලුවේය. "නැගෙනහිර ඉවුරෙ හමුදාව කියන්නෙ ටයිවින් උතුමානනුයි වින්ටර්ෆෙලුයි අතර තියෙන එකම බාධකේ." ඔහු කල්පනාකාරීව පැවසීය. "එයාලයි, මෙතැන මෝට් කේය්ලින්වල මම ඉතුරුකරලා යන දුනුවායො ටිකයි විතරයි‍. ඒ කියන්නෙ, මට මේ වැඩේට බිහිසුනු කෙනෙක් දාලා හරියන්නෙ නෑ. එහෙම නේද?"

"නෑ. මම හිතන්නෙ ඔයාට ඕන වෙන්නෙ දරුණු කපටියෙක්. ධෛර්‍යවන්ත කෙනෙක් නෙවෙයි."

"රූස් බෝල්ටන්." රොබ් සැනෙන් කීය. "මේ මනුස්සයා හැමවෙලාවෙම මාව බයකරනවා."

"එහෙමනම් අපි යාඥා කරමු එයා ටයිවින් උතුමානන්වත් බයකරයි කියලා."

හිස වැනූ රොබ් සිතියම ඇකිළුවේය. "මම අවශ්‍ය නියෝග දෙන්නම්. ඒ වගේ ම ඔයාව පරිස්සමෙන් ගෙදර එක්කරන් යන්ට භට කණ්ඩායමක් ලෑස්ති කරන්නම්."

තමාව ශක්තිමත් කරගැනීමට කැට්ලින් හැකි සෑම උත්සාහයක්ම දරා තිබුනි. නෙඩ් වෙනුවෙන් හා ඔවුන් දෙදෙනා ගේ මේ නිර්භීත මුරණ්ඩු පුතණුවන් වෙනුවෙන් ශක්තිමත්ව නැගී සිටීමට ඇය හැකි උපරිමයෙන් සටන් වැද තිබුනි. අඳින්නට පිළිකුල් කරන ඇඳුම් දෙකක් මෙන් නෂ්ටාපේක්ෂාව හා බිය යන හැඟීම් ඇය විසින් සිය සිතෙන් ඈත් කොට තිබුනි... එනමුදු, කෙතරම් සිය සිත රවටාගෙන සිටියද තමා මෙතෙක් කලක් තිස්සේ එම ඇඳුම් හැඳගෙන සිටි බැව් ඇයට ඒ මොහොතේ තේරුම් ගියේය.

"මම වින්ටර්ෆෙල්වලට යන්නෙ නැහැ." තම මුවින් පිටවෙනු ඇයට ඇසුනි. හදිසියේම දෑසට නැඟුනු කඳුළු බිඳු විසින් ඇගේ දර්ශන පථය බොඳ කොට දැමීය. "මගේ තාත්තා රිවර්රන්වල ප්‍රාකාර පිටිපස්සෙ මැරෙන්ට වැටිලා ඉන්නවා. මගේ මල්ලිව සතුරො වටකරලා. මම දැන් එයාලා ගාවටයි යන්ට ඕන."


Theon Greyjoy: “I had not looked to see you here, my lady.”
Catelyn Stark: “I had not thought to be here.”

42 comments:

  1. Robb seems to know what he is doing eh??

    ReplyDelete
    Replies
    1. හොක්කි, හොක්කි හූ

      Delete
    2. @ PoM,

      Sometimes knowing too little is very helpful in decision making.. :-)


      උසි උසි නරිමොටා... :-P

      Delete
    3. මට මතක් වෙන්නේ විහාර මහා දේවිව. ගෑනු කෙනෙක් නැත්නම් පිරිමි හැම තිස්සෙම අමාරුවේ නේ? :D

      Delete
    4. @පොම්,

      කුමරුනි ඔන්න ඔය නරි මොටාව අල්ලගන්ට.:P

      Delete
    5. @ සේර් බුර්
      පණ්ඩිතයා සහ ඒදණ්ඩ මතක් වේ
      @ ලේඩි පොඩි

      (නෝ ඔෆෙන්ස් ටු අභිශවෙර දේවී ) මේ තුමිය තමා ඔක්කොටම මුල

      මොටා ඉතින් හැමදාම කලේ හූ කියන එකනේ. ලබා උපන් හැටි තමා

      Delete
  2. අන්න බුලට් එක...
    මට හිතෙන්නෙ බුවා සෑහෙන්න හිතල තියෙනව වගේ
    හහ් හහ් හා......
    ඇග කිලිපොලා යන මධුර සටන් බලාපොරොත්තු වන්න
    හිහි

    ReplyDelete
    Replies
    1. ඇඟ කිලිපොලා යන මධුර සටන් හා ත්‍රාසජනක පෙම් ජවනිකා.. ;-)

      Delete
    2. භයානක ගීත, විකට ආදර ජවනිකා...:D:D

      Delete
    3. අයියෝ ඒ පාර ආදරෙත් විකට වෙලාද :)

      Delete
    4. ආදරේ කොහොමත් විහිලුවක්නේ සෝන්යා...:P

      Delete
    5. බයානක ගීත යනු කවරේද?
      මහා ගායක ඉරාජ් ගේ එව්වද ?

      Delete

  3. පොඩ්ඩි මගෙ බ්ලොග් එකට ආවෙ නැති හින්දා මං ලියන්නෙත් නෑ ! හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි මේ දවස්වල පොඩ්ඩක් බිසී වැඩියිලු සරත්..

      Delete
    2. @සරත්,

      අන්න ගිහිල්ලා කවියක්ම ලීවා...:D

      Delete
  4. යකෝ යුද්දේ යනවානේ.අර සටන් විරාම කාලේ වගේ නේ.නිල වශයෙන් නැහැ,හැබැයි ගහ ගන්නවා නෙහේ.

    ReplyDelete
    Replies
    1. අනිවා.. ගහනව කිවුවට ගහන්නෙම නෑ.. නැත්තෙත් නෑ.. කවුරු කාගෙ පැත්තෙද කියලා දන්නෙත් නෑ.. :-O

      Delete
    2. @මනෝජ්,

      දැක්කනේ එතනත් යුද්ධේ කොයි වෙලාවක හරි දිනවන්නේ ගෑනියෙක්ලු :P

      Delete
    3. ( රහසින් ) කෑගන්න එපා ඕක පැරදුනොත් කනක් ඇහෙන්න ලැබෙන්නෙ නැහැ :P

      Delete
    4. (හයියෙන්) ගැණු නැතිනම් යුද්ධත් නැහැලු..:P

      Delete
    5. ( කෑගහලා) දාපන් මල්ලි පහක්

      Delete
  5. ස්ටාර්ක්ලට යුද්ධ කරන්න නම් හොඳට මොලේ තියනවා වගේ....

    ReplyDelete
    Replies
    1. රොබ්ගෙ අම්මා කියන්නෙනම් ඒක ටලී මොළේ කියලලු.. ;-)

      Delete
    2. නෙඩ්ට ඇර නේ තිසර.:)

      Delete
  6. කියෙව්වා..
    නම් මතක හිටින්නෙ නෑ අප්පා

    ReplyDelete
    Replies
    1. මේ දරුවා පාඩම් කරන්ට හොරයි වගේ.. මීට පස්සෙ පන්තියෙදි නම් ටික පාඩම් ගන්නවා.. පාඩම් නැතිවුනොත් දණ ගස්සවලා තියනවා.. :-D

      Delete
    2. හී හී පව් අප්පා...

      Delete
  7. දැන් යුද්ධෙ නැගලම යන පාටයි. හා, හා ඔහොම යං

    ReplyDelete
    Replies
    1. ඔහොම යං කිවුවෙ කොහාටද දන්නෙ නෑ නේද? :-O

      Delete
    2. යන දිහාක පොම්වත් අරන්යන්න මොට්ස්

      Delete
    3. පොම් අරං ගිහිං කොහොමද? බොන දෙයක්වත් බෙදලා දෙන්ට කෙනෙක් ඉන්නවා කියලද? :P

      Delete
    4. තැන්කු ලේඩි පොඩි. :D

      දැක්කනේ ගොරිල්ලෝ මොලේ තියන උදවියට අපේ අගේ තේරෙනවා :P

      Delete
  8. යුද්දෙම හැර වෙන විසඳුමක් නැති පාටයි... ස්ටාර්ක්ල හැම පැත්තෙන්ම හිර වෙලා :(

    ReplyDelete
    Replies
    1. අපි හැදුවා මිත්‍රවරුනි සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එන්ට.. ඒත් මේ ලැනිස්ටර්ලා ඉල්ලන්නෙම යුද්ධයයි මිත්‍රවරුනි.. යුද්ධෙට යුද්ධෙන් පිළිතුරු දෙන එක ඇරෙන්ට අපට දැන් වෙන විසඳුමක් නෑ මිත්‍රවරුනි.. මේ කෲර මිනීමරු ලැනිස්ටර් රෙජිමයෙන් රාජධානි සප්තකය ගලවගන්ට පෙරට එන්ටයි කියලා අපි ඔබ තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා මිත්‍රවරුනි.. අපි එකාවන්ව නැගිටලා මේ පොදු සතුරා පරාජය කරන්ට ඕන මිත්‍රවරුනි.. මේ රාජධානියේ භෞමික අඛණ්ඩතාවය කඩවෙන්ට දෙන්ට බෑ මිත්‍රවරුනි..

      Delete
    2. බැරි වේවිද "සෝල්හයිම්"ලොක්කට කියලාවත් මොකුත් කරගන්න.

      Delete
    3. හා හා බූරෝ...ඔහොම කෑගන්ට හොඳ නෑ. මෙයා මේ පහුගිය කාලේ ටීවී වැඩියෙන් බලලා නොවැ.

      Delete
    4. සාම සාකච්චා කරලා වැඩක් නෑ ලැනිස්ටර් ලා එක්ක "හාමුදුරුවනේ" :P

      Delete
  9. මම ආසම නැහැ යුද්ධවලට , ඒත් මේ රොබ් යුද්ධෙට ලෑස්තිවෙනවා දැක්කම නම් ඒ යුද්ධෙ ගැන දැන ගන්න ආස හිතෙනවා. රොබ්ට මොනාත් වෙන්නෙ නැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. කිසි දෙයක් වෙන්ට දෙන්නේ නෑ පොඩ්ඩි ඉන්නකල්... :P

      Delete
    2. මෙයාගේ "දේස ප්‍රේමේ" බලහල්ලකෝ : :P

      Delete
  10. තාත්තා නෙමේ අප්පච්චි....:'(

    ReplyDelete