Friday, 23 January 2015

බ්‍රැන් 06-2


හමුදා පෙළපාලියේදී තමාව හෝර්න්වුඩ්වරුන්ට හෝ සර්වින්වරුන්ට පසුපසින් තැබුවහොත් තම මිනිසුන්ද රැගෙන පිටව යන බවට අම්බර් උතුමානන් - ඔහුගේ මිනිසුන් විසින් 'ග්‍රේට්ජොන්' යනුවෙන් හැඳින්වූ, හොඩෝර් තරම්ම උස එමෙන් දෙගුණයක් පමණ තරබාරු වූ අම්බර් උතුමානන් - විසින් තර්ජනය කල අවස්ථාවේ කැමැති දෙයක් කරගන්නැයි රොබ් ඔහුට කීවේය‍. "ඒ වගේම, අපි ලැනිස්ටර්ලාත් එක්ක යුද්ධ කරලා ඉවර වුනාට පස්සෙ," ග්‍රේ වින්ඩ් ගේ කණ පිටුපස කසමින් ඔහු පොරොන්දු වූයේය‍. "අපි උතුරට හමුදා මෙහෙයවලා, ඔබව ඔබේ බලකොටුවෙන් එලවලා, ඔබව එල්ලලා මරනවා පොරොන්දු කඩකිරීම නිසා." කේන්තියෙන් අවලාදයක් නැගූ ග්‍රේ‍ට්ජොන්, අත තිබුනු ඒල් ගුරුලේත්තුව ගිනි උඳුනට විසි කර රොබ් වනාහි මොකුත් නොදන්නා, මෝඩ, කුඩා කොල්ලෙක් පමණක් යැයි ගුගුලේය. ඔහුව සන්සුන් කිරීම පිණිස හැලිස් මොලන් ඒ වෙත ළඟා වූ විට ඔහුට බිම වැටෙන්නට පහරක් දුන් ග්‍රේට්ජොන්, මේසයක් පෙරලෙන්නට පයින් පහරක් ගසා බ්‍රැන් විසින් මෙතෙක් කලකට දැක තිබුනු දැවැන්තම හා අවලක්ෂණම මහා අසිපත එළියට ඇදගත්තේ ය. දිගු බංකුවල අසුන්ගෙන ආහාර ගනිමින් සිටි ඔහුගේ පුතුන්, සොයුරන් හා සෙබළුන් සැනෙන් නැගිට සිටියේ තම අසිපත්වලට අත යැවූහ.

එනමුදු රොබ් සිහින් හඬින් යමක් කීවා පමණි. ඇසිපිය ගසන මොහොතක හා ගෙරවීමක පමාවෙන් අම්බර් උතුමානන් උඩුබැල්ලෙන් බිම වැටී සිටියේය. ඔහුගේ අසිපත අඩි කිහිපයක් දුරට විසි වී තිබුනු අතර ග්‍රේ වින්ඩ් විසින් සපා කෑ අතේ අතැඟිලි දෙකක් අහිමිව එතැනින් ලේ පෙරෙමින් තිබුනි. "මගේ තාත්තා මට උගන්නලා තියෙන හැටියට නම් තමන්ගෙ උසස් වංශාධිපතියා ඉදිරියේදි ආයුධයක් ඇදගන්න එකාට හිමිවෙන්නෙ මරණය." රොබ් කීවේය. "ඒ වුනත් මම හිතන්නෙ ඔබ ඔය කඩුව ඇදගන්ට ඇත්තෙ මගේ මස් කෑල්ල කපලා දෙන්ට වෙන්ට ඕන." සිය ඇඟිලි කොට දෙක මුවේ රුවා උරමින්, ‍ග්‍රේට්ජොන් තතනමින් නැගිටිද්දී බ්‍රැන්ගේ සිරුරේ ලේ වතුර විය... එනමුදු, ඊළඟ මොහොතේ මහත් පුදුමයකට මෙන් මේ දැවැන්ත මිනිසා කොක් හඬලමින් සිනාසෙන්නට පටන්ගත්තේ ය. "ඔබේ මස් කෑල්ල බොහොම හයියයි නෙ." ඔහු ගුගුලේය.

කෙසේ වුවද මේ සිදුවීමෙන් පසු ග්‍රේට්ජොන් රොබ්ගේ දකුණු අත බවට පත් විය. මේ ළමා උතුමානන් ඇත්තෙන්ම නියමම ස්ටාර්ක් කෙනෙකු බවත්, තම ජීවිතයට ආසාවක් ඇත්නම් ඔහුට දණ නමා පක්ෂපාතීත්වය දැක්වීම වඩාත්ම සුදුසු දෙය බවත් ඔහු හමුවන සෑම කෙනෙකුටම කීවේය.

එනමුදු එදා රෑ, මහා ශාලාවේ දැල්වුනු පන්දම් එකින් එක නිවී යද්දී, ඔහුගේ සොහොයුරා සුදුමැලි වී ගිය වතින් හා වෙවුලන සිරුරින් යුතුව බ්‍රැන්ගේ නිදන කාමරයට පැමිණියේ ය. "මම හිතුවෙ එයා මාව මරන්ට තමා යන්නෙ කියලා." රොබ් ඔහුට පාපොච්චාරණය කලේය. "ඔයා දැක්කද එයා හැල්ව බිම දාපු හැටි? හරියට හැල් නිකං රිකන් තරම් පුංචි එකෙක් වගෙයි තල්ලු කලේ. දෙයියම්පා! මම හොඳටම බයවුනා. අනික ග්‍රේට්ජොන් නෙවෙයි ඔතැන ඉන්න භයානකම එකා. එයා හයියෙන් කෑගහනවා විතරයි. රූස් උතුමානන් කවදාවත් වචනයක්වත් කතා කරන්නෙ නෑ. නිකංම මා දිහා බලනවා විතරයි. ඒ වුනත් ඒ වෙලාවට මට මතක් වෙන්නෙ එයාලගෙ අර ඩ්‍රෙඩ්පෝර්ට්වල තියෙනවයි කියන කාමරේ. බෝල්ටන්ලා තමන්ගෙ හතුරො මරලා හමගහලා ඒ හම් එල්ලලා තියෙනවයි කියන කාමරේ."

"ඒක නාකි ආයම්මගෙ කතාවක් විතරයි නෙ." බ්‍රැන් කීවේය. ඔහුගේ ස්වරයේ සැකයක සේයාවක් තැවරී තිබුනි. "එහෙම නේද?"

"මම දන්නෙ නෑ." රොබ් දුබල අයුරින් හිස සෙලවීය. "සර්වින් උතුමානන් හිතාගෙන ඉන්නෙ එයාගෙ දුවව අපිත් එක්ක දකුණට එක්කරන් යන්ටයි. එයා කියන්නෙ නම් ඒ එයාට කෑම උයන්ට කියලයි. ඒ වුනාට තියන් නම් කියන්නෙ එක රෑක ඒ කෙල්ල මගේ ඇඳට නැගලා ඉන්නවා මට හම්බවෙයි කියලයි... තාත්තා මෙහෙ හිටියානම්..."

ඒ වනාහි ඔවුන් සැමටම එකඟ විය හැකි කරුනක් විය. බ්‍රැන්ට ද, රිකන්ට ද, රොබ් උතුමානන්ට ද යන මේ සියල්ලන්ටම සිය පියාණන් එහි නැති අඩුපාඩුව තදින්ම දැනුනි. එනමුදු එඩාර්ඩ් උතුමානන් සිටියේ ලීග දහස් ගණනක් දුරිනි. ඔහු දඟගෙයක දැමූ සිරකරුවෙකු, තම දිවි බේරාගැනීම සඳහා සැඟවී පලායන්නෙකු, නැතිනම් දැනටමත් මියගිය අයෙකු විය. ඔහුට අත් වූ ඉරණම ගැන කිසිවෙකුත් හරියටම නොදත්හ. සෑම සංචාරයකයකුම එකිනෙකට වෙනස් කතාවක් කියන්නට වූහ. ඒ සෑම කතාවක්ම පෙර එකට වඩා බිහිසුණු පුවතක් විය. හෙලි වල ඇමිනු පියාගේ සෙබළුන්‍ ගේ හිස් රතු බලකොටුවේ පවුරේ ගසා තිබුනි. පියාගේ අතින් රොබර්ට් රජතුමා මියගොස් තිබුනි. බරතියන්වරු කින්ග්ස් ලෑන්ඩින්ග් වටලෑම පිණිස පැමිණෙමින් තිබුනි. එඩාර්ඩ් උතුමානන් රජතුමා ගේ නපුරු සොහොයුරා වන රෙන්ලි උතුමානන් සමගින් දකුණට පලාගොස් තිබුනි. ආර්යා හා සන්සා දඩබල්ලා අතින් මියගොස් තිබුනි. අම්මා විසින් පුංචි යකා ටිරියන්ව මරා ඒ සිරුර රිවර්රන්හි පවුරේ එල්ලා තිබුනි. ටයිවින් ලැනිස්ටර් උතුමානන් ඉයරී වෙත යමින් මගදිගට හමුවන සියළු දේ ගිනිබත් කරමින්, මිනිසුන් මරාදමනු ලැබීය. එක් බේබදු සංචාරකයකු මේ සැමටම එහා යමින් කියා සිටියේ මළවුන්ගෙන් නැගිට පැමිණි රේගාර් ටාර්ගේරියන් සිය පියාගේ සිහසුන නැවත ලබාගනු වස් පුරාණ වීරයන්ගෙන් සමන්විත සේනාවක් ඩ්‍රැගන්ස්ටෝන්හි එක්රැස් කරමින් සිටින බවයි.

ග්‍රේට්ජොන් අම්බර්
අන්තිමේදී, කපුටකු අත සන්සා ගේ අත් අකුරින් ලියූ, පියාගේ මුඳ්‍රාව තැබූ ලිපිය ලැබුනු විට ඒ කුරිරු සත්‍යය ප්‍රබන්ධය තරම්ම විස්මයජනක විය. සිය සොයුරිය ගේ අත් අකුරින් ලියැවුනු ලිපිය කියවද්දී රොබ්ගේ මුහුණේ ඇඳුනු හැඟීම් බ්‍රැන්ට කිසි දිනෙකත් අමතක නොවනු ඇත. "එයා කියනවා තාත්තා රජතුමාගෙ සහෝදරයිනුත් එක්ක එක්කහු වෙලා රාජද්‍රෝහි වැඩක් කරලා තියෙනවයි කියලා. රොබර්ට් රජතුමා මැරිලා. අම්මවයි මාවයි කින්ග්ස් ලෑන්ඩින්ග්වලට කැඳවලා තියෙනවා ජොෆ්රිට පක්ෂපාතියි කියලා දිවුරුම් ගන්ට. එයා කියනවා අපට ලැනිස්ටර්ලාට පක්ෂපාතී වෙලා ඉන්ටලු. එයා ජොෆ්රිව කසාද බැන්දහම එයා අපේ තාත්තගෙ ජීවිතේ වෙනුවෙන් ජො‍ෆ්රිට බැගෑපත් වෙන්නම්ලු." ඔහුගේ දෑත් මිට මෙලැවී ගිය අතර ඊට මැදි වූ සන්සා ගේ ලිපිය පොඩි වී ගියේය. "අනික එයා ආර්යා ගැන මොකුත් කියන්නෙ නෑ. මොකුත්ම නෑ. අඩුමගානෙ වචනයක් වත් නෑ. මේකි යකාටම ගියාවෙ! මේ කෙල්ලට මොකක්ද වෙලා තියෙන්නෙ?"

බ්‍රැන්ගේ සියොලඟම වෙලාගෙන සීතලක් පැතිරෙන්නට විය. "එයාට එයාගෙ වෘකයා නැතිවුනා." ඔහු දුබල අන්දමින් කියාගත්තේ ය‍. ලේඩිගේ ඇටකටුත් රැගෙන පියාගේ සෙබළුන් සිවුදෙනෙකු දකුණුකරයේ සිට පැමිණි දවස බ්‍රැන්ට සිහිපත් විය. ඔවුන් දිය අගල තරණය කරන්නටත් පෙරාතුවම සමර්, ග්‍රේ වින්ඩ් හා ෂැගී ඩෝග් දුක්මුසු අසරණ ස්වරයකින් උඩුබුරලන්නට පටන් ගත්හ. මුල් බලකොටුවේ සෙවනැල්ල යට පුරාණ සුසාන භූමියක් පිහිටා තිබුනි. එහි වූ සොහොන් කොත් මේ වනවිට ලයිකනයෙන් වැසී ගොස් තිබුනි. පුරාණ ශීත රජවරුන් විසින් සිය විශ්වාසවන්ත සේවකයින් වල දැමීමට තෝරාගෙන තිබුනේ මේ ස්ථානය විය. ඇගේ සොහොයුරන් නොසන්සුන් සෙවනැලි මෙන් සොහොන් කොත් අතර එහා මෙහා සැරිසරද්දී ඔවුහු ලේඩිගේ ඇටකටු එහි භූමිදාන කලෝය. ඇය දකුණුකරයට ගිය අතර නැවත පැමිණියේ ඇගේ ඇටකටු පමණි.

ඔවුන් ගේ සීයා, පුරාණ රිකාර්ඩ් උතුමානන් ද මෙලෙසම දකුණුකරයට ගියේය. සිය පියාගේ වැඩිමහල් සොයුරා වූ ඔහු පුත් බ්‍රැන්ඩන් හා හොඳම සෙබළුන් දෙසිස දෙනෙකු ද ඒ සමගින් දකුණ බලා ගියහ. මේ කිසිවෙකුත් නැවත පැමිණියේ නැත. ඔවුන් ගේ පියා සන්සා හා ආර්යා ද කැටුව දකුණ බලා ගියේය. ඒ සමගින් ජොරී, හලන්, මහත ටොම් හා අනිකුන් ද කැටුව ගියේය. ඊට පසු අම්මා හා සෙර් රඩ්‍රික් දකුණ බලා ගියහ. මේ කිසිවෙකුත් තවමත් නැවත පැමිණියේ නැත. ඉතින් දැන් රොබ් ද දකුණ බලා යන්නට සැරසේ. ඒ කින්ග්ස් ලෑන්ඩින්ග් කරා ගොස් රජතුමාට පක්ෂපාතීත්වය දක්වන්නට නොවේ. ඔහු යන්නේ අසිපතක් සුරතින් ගෙන රිවර්රන් වෙතටය. එමෙන්ම ඔවුන් ගේ පියා ඇත්තෙන්ම දැන් සිරකරුවෙකු නම් එහි තේරුම නිසැකයෙන්ම ඔහුගේ මරණයයි. මේ සිතුවිල්ල විසින් බ්‍රැන්ව කියාගත නුහුනු තරමට බිය වැද්දුවේ ය.

* * *

"ඉතින්, රොබ්ට යන්ටම වෙනවානම් එයාව පරිස්සමින් බලාගන්ට." බ්‍රැන් පුරාණ දෙවිවරුන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේය. ඔවුහු හදවෘක්ෂයේ වූ රත් පැහැ දෑස් තුළින් ඔහු දෙස බලා සිටින්නට විය. "ඒ වගේම, එයාගෙ මිනිස්සුන්වත් බලාගන්ට. හැල්, ක්වෙන්ට්, අනිත් අය, අම්බර් උතුමානන්, මෝර්මන්ට් ආර්යාව, අනිත් උතුමන් හැමෝමත් බලාගන්ට. ඒ වගේම තියන්වත්. එයාලව පරිස්සමින් බලාගන්ට. එයාලව ආරක්ෂා කරන්ට. ඔබතුමන්ලාගෙ අමනාපයක් නැත්තම් දෙවිවරුනි, එයාලට උදවු කරන්ට ලැනිස්ටර්ලාව පරද්දලා තාත්තාව බේරගෙන ගෙදර එක්කරන් එන්ට."

දෙව්වනය පුරා මුදු පවනක් හමා ගිය අතර රතු පැහැ කොළ සිලි සිලි සරින් සැලෙමින් කොඳුරන්නට වන්හ. සමර් දත් විලිස්සුවේය. "ඔයාට එයාලව ඇහෙනවද දරුවො?" කටහඬක් විමසීය.

බ්‍රැන් වහා හිස එසවීය. පොකුණ එහා ඉවුරේ වූ පුරාණ ඔක් ගසක් යට ඕෂා සිටගෙන සිටියාය. ගසේ කොළ වල සෙවනැල්ලෙන් ඇගේ මුහුණ වැසී ගොස් තිබුනි. යකඩ දම්වැල් ලූ විට පවා මේ වනචාරියා බැළලියක මෙන් නිසලව ඇවිදීමට දත්තාය. පොකුණ වටා ගිය සමර් ඇය දෙසට ඉව ඇල්ලුවාය. උස් ගැහැණිය බියෙන් ඇකිළී ගියාය.

"සමර්, මා ගාවට වරෙන්." බ්‍රැන් කීවේය. අන්තිම වරටත් ඉව කර බැලූ වෘකයා ආපසු හැරී බ්‍රැන් වෙතට පැමිණියේය. බ්‍රැන් ඌ වටා දෑත් යවා ඌව තුරුළු කරගත්තේ ය. "උඹ මොනාද මෙතන කරන්නෙ?" වෘකවනයේදී ඇයව පණපිටින් අල්ලාගත් දාට පසු මේ වන තෙක් ඔහු ඇයව දැක නොතිබින. ඇයව කුස්සියේ රාජකාරි පිණිස යෙදවූ බව පමණක් ඔහු දැන සිටියේය.

"මෙයාලා මගෙත් දෙවියො." ඕෂා කීවාය. "ප්‍රාකාරෙට එහා පැත්තට ගියාම මෙයාලා තමා ඉන්න එකම දෙවිවරු." ඇගේ දුඹුරු පැහැ කෙස් කළඹ මේ වනවිට නැවත වැඩෙමින් තිබූ අතර ඒ නිසා ඇ‍යට වඩා වැඩි ගැහැණු පෙනුමක් ලැබී තිබුනි. එමෙන්ම ඇගේ පදම් කල සම් හා මුදු දම්වැල් සන්නාහය ඇගෙන් ඉවත් කල ඔවුහු ඇයට සරල, චාම්, දුඹුරු පැහැ හණ රෙද්දෙන් නිමැවූ ඇඳුමක් ලබා දී තිබුනි. එයද ඇගේ ගැහැණු ගතිය මනාව ඉස්මතු කලේය. "ගේජ් මට ඉඩදෙනවා සැරින් සැරේ මෙහාට ඇවිල්ලා යාඥා කරන්ට. මට එහෙම ඕනකමක් ඇතිවුනාම. ඉතින් මම එයාට ඉඩදෙනවා මගේ සාය අස්සට රිංගලා කැමැති දෙයක් කරගන්ට. එයාට එහෙම ඕනකමක් ඇතිවුනාම. ඒක මට අලුත් දෙයක් නෙවෙයි. එයාගෙ අත්වලින් එන පිටි පුසුඹට මම කැමැතියි. අනික එයා ස්ටිව්ට වඩා කරුනාවන්තයි." ඇය දරදඬු අයුරින් හිස නැමුවාය. "මම දැන් පිටවෙලා යන්නම්. හට්ටි මුට්ටි සුද්ද කරන්ට තියෙනවා."

"එපා. ඉදපන්." බ්‍රැන් ඇයට විධාන කලේය. "උඹ මොකක්ද අර දෙවියන්ව ඇහෙනවද කියලා කිවුවෙ? මට ඒක තේරුම් කරලා දීපන්."

ඕෂා ඔහුව නිරීක්ෂණය කලාය. "ඔබ එයාලගෙන් ඉල්ලුවා. එයාලා උත්තර දුන්නා. ඔබේ කණ් දෙක හොඳට ඇරගෙන ඇහුම්කන් දෙන්ට. එතකොට ඔබට ඇහෙයි."

බ්‍රැන් නිසලව හිඳ සවන් දුන්නේය. "ඒ හුළඟ විතරනෙ." මඳ වේලාවකට පසු ඔහු අතීරණයෙන් මෙන් කීවේය. "හුළඟට ‍කොළ හෙලවෙනවා."

"දෙවියන් නෙවෙයි නම් ඔය හුළඟ එවන්නෙ වෙන කවුරු කියලාද ඔබ හිතන්නෙ?" ඇය ඔහුට මුහුණ ලා පොකුණ අනිත් පස බිම හිඳගත්තේ ය. ඇය සෙලවෙන විට සිහින් ක්ලින්ක් හඬක් නැංවින. මික්කෙන් විසින් ඇගේ දෙපාවල වලළුකරට යකඩින් කල මාංචු ලා ඒ දෙක බරැති යකඩ දම්වැලක් මගින් එකතුකර තිබුනි. ඇයට කෙටි පියවර තබමින් අපහසුවකින් තොරව ඇවිදිය හැකිවිය. එනමුදු ඇයට දුවන්නට හෝ ගසකට නගින්නට හෝ අසෙකු පිට නගින්නට හෝ හැකියාවක් නොවීය. "එයාලට ඔබව පේනවා දරුවො. එයාලට ඔබ කතාකරන දේ ඇහෙනවා. අර කොළ හෙලවෙන සද්දෙ, ඒ එයාලා ඔබට ආපිට උත්තර දෙන සද්දෙ."

"එයාලා මොනවද කියන්නෙ?"

"එයාලා දුකින් ඉන්නෙ. ඔබේ ස‍හෝදරයාට එයාලගෙන් උදවු ගන්ට බෑ. එයා යන පැත්තෙ හැටියට ඒක කරන්ට බෑ. පුරාණ දෙවිවරුන්ට දකුණුකරේදි කිසිම බලයක් නෑ. එහෙ තිබ්බ වයර්වුඩ් ගස් හැම එකක්ම අවුරුදු දාස් ගානකට කලින්ම කපලා දාලා ඉවරයි. එයාලගෙ ඇස් නැතුව කොහොමද එයාලා ඔබේ සහෝදරයා ගැන හොයලා බලන්නෙ?"

රූස් බෝල්ටන්
බ්‍රැන් මේ ගැන කිසිම විටෙක සිතා බලා නොතිබුනි. එය ඔහුව බියපත් කලේය. දෙවියන්ට පවා ඔහුගේ සොහොයුරාට උදවු කල නොහැකි කල, තවත් එහි ඇති බලාපොරොත්තුව කුමක්ද? සමහරවිට ඕෂාට ඔවුන්ව වැරැදියට ඇසුනා වන්නට ඇත. හිස පසෙකට ඇල කල ඔහු නැවත වරක් වඩා හොඳින් සවන් දෙන්නට උත්සාහ කලේය. සුළඟේ තැවරී තිබුනු දුක්මුසු ස්වරය මෙවර තමාට හඳුනාගන්නට හැකිවිනැයි ඔහු කල්පනා කලේය. එනමුදු එයින් ඊට වඩා වැඩි යමක් උකහා ගන්නට නොහැකි විය.

කොළ සෙලවෙන හඬ හදිසියේම වැඩි වන්නට විය. බිම වැටුනු කොළ නිසා මැඩුනු පියවර හඬක් හා පහත් මිමිනුම් හඬක් ඔහුට ඇසෙන්නට විය. ඊළඟ මොහොතේ ගස් අතරින් හොඩෝර් මතුවිය. ඔහු නිරුවතින් සිටි අතර මුවේ සිනාවක් රැඳී තිබුනි. "හො-ඩෝ-ර්!"

"එයාට අපේ කටහඬවල් ඇහෙන්ට ඇති." බ්‍රැන් කීය. "හොඩෝර්. උඹට ඇඳුම් අමතක වෙලා."

"හො-ඩෝ-ර්." හොඩෝර් එකඟ විය. ඔහුගේ ගෙලින් පහළ සිරුර පුරා දියබිඳු බේරෙමින් තිබුනු අතර සීතල වාතය නිසා එයින් වාෂ්පයක් මතුවන්නට විය. ඔහුගේ සිරුර පුරාම සත්ත්ව සමක මෙන් ඝනකම් දුඹුරු පැහැ ලොමින් වැසී තිබුනි.

ඕෂා නොරිස්සුම් සිනහවකින් යුතුව ඔහු දෙස බැලුවාය. "මෙන්න ඉන්නවා ලොකු මිනිහෙක්. එයාට අනිවාර්යයෙන්ම යෝධයින්ගෙ ලේ තියෙන්ට ඕන. මම ඕන ඔට්ටුවක් දානවා."

"මේස්ටර් ලුවින් කියන්නෙ යෝධයො තවදුරටත් නෑ කියලයි. එයා කියන්නෙ යෝධයොත් වනාන්තරයේ දරුවන් වගේම වඳ වෙලා ගිහිල්ලා කියලා. ඉතුරුවෙලා තියෙන එකම දේ පොළොව යට තියෙන එයාලගෙ ඇටකටු විතරයි‍."

"මේස්ටර් ලුවින්ට ප්‍රාකාරෙන් එහා පැත්තට යන්ට කියන්ටකො. එතකොට එයාට යෝධයො හම්බවෙයි. එහෙමත් නැත්තං යෝධයින්ට එයාව හම්බවෙයි. මගේ අයියා එකපාරක් එකෙක්ව මැරුවා. ඒකි අඩි දහයක් උසයි. ඒ වුනත් ඒකි කුරුමිටි යෝධයෙක්. උං අඩි දොළහක් නැත්තං දහතුනක් විතර උස යනවා කියලයි කියන්නෙ. උං හරිම බිහිසුනු සත්තු. දිග ලෝමයි, දිග දතුයි. ගෑණුන්ටත් පිරිමින්ට වගේම රැවුල් තියෙනවා. ඒ නිසා උංව වෙන්කරලා අඳුරගන්ට බෑ. උංගෙ ගෑනු මිනිස් පිරිමින්ව තියාගන්නවා ආදරවන්තයො විදියට. ඒකෙන් තමා ඔය බාග යෝධයො බිහිවෙන්නෙ. උං අල්ලගන්න මිනිස් ගෑනුන්ටනං අත්වෙන්නෙ ඊට වඩා දරුණු ඉරණමක්. උං කොච්චර ලොකුද කියනවානං දරුවෙක් ලැබෙන්ට තියා ඒ ගැන හිතන්ටත් කලින්ම ගෑනු මැරෙනවා." ඇය විරිත්තුවා ය. "ඒ වුනත් මම මේ කියන්නෙ මොකක් ගැනද කියලා ඔබට තේරෙන්නෙ නෑ නේද දරුවො?"

"මට තේරෙනවා." බ්‍රැන් තිර කොට කීවේය. සහවාසය යනු කුමක්දැයි ඔහු දැන සිටියේය. අංගනයේ සුනඛයින් හා ඉස්තාලවල අසුන් එය සිදුකරනු ඔහු දැක තිබුනි. එනමුදු ඒ ගැන මෙලෙස කතාකිරීම නිසා ඔහුට අපහසුතාවක් දැනෙන්නට විය. ඔහු හොඩෝර් දෙස බැලුවේය. "ගිහින් උඹේ ඇඳුම් ටික අරන් වරෙන් හොඩෝර්. පලයන්, ගිහින් ඇඳගනින්."

"හො-ඩෝ-ර්." ගසක පහත් අත්තක් යටින් දෙකට නැමුනු හොඩෝර් ආ මගින්ම නැවත යන්නට ගියේය.

ඔහු ඇත්තෙන්ම බිය සිතෙන තරම් දැවැන්ත මිනිසෙකියි ඔහු යන දෙස බලමින් බ්‍රැන් කල්පනා කලේය. "ඇත්තටම ප්‍රාකාරෙන් එහා පැත්තෙ යෝධයො ඉන්නවද?" ඔහු දෙගිඩියාවකින් මෙන් ඕෂාගෙන් විමසීය.

"යෝධයොයි, යෝධයින්ටත් වඩා භයානක දේයි පුංචි උතුමානනි. ඔබේ සහෝදරයා මගෙන් ප්‍රශ්න කරද්දී මම මේ ගැන කියන්ට උත්සාහ කලා. එයයි, ඔබේ මේස්ටරුයි, අර නිතරම හිනාවෙන ග්‍රේජෝයි කොල්ලයි. සීතල හුළං එන්ට එන්ටම වැඩිවෙනවා. මිනිස්සු තමන්ගෙ ගිනිමැල ගාවින් නැගිටලා ගියොත් ආයෙමත් එන්නෙ නෑ... එහෙම නැත්තං උං ආපහු ආවොත් උං තවදුරටත් මිනිස්සු නෙවෙයි. නිල් පාට ඇසුයි, කළු පාට සීතල අතුයි තියෙන මළ මිනිස්සුන්ට පරිවර්තනය වෙලා. ස්ටිවුයි, හාර්ලියි, අර අනිත් මෝඩයො රැළයි එක්ක මම දකුණට දුවගෙන ආවෙ ඇයි කියලාද ඔබ හිතන්නෙ? මැන්ස් හිතනවා උනුත් එක්ක හටන් කරන්ට. නිර්භීත, මුරණ්ඩු, මෝඩ මිනිහා. ඌ හිතනවා ඇති ධවල යාත්‍රිකයො කියන්නෙ නිශා රැකුමේ මුර සංචාරකයො වගේ ජාතියක් කියලා. ඒ වුනත් ඌ මොනාද දන්නෙ? ඌ කැමැතිනං ඌට පුළුවන් ප්‍රාකාරෙන් එහා රජ්ජුරුවො කියලා තමන්ටම කියාගන්ට. ඒ වුනත් ඌ හෙවනැලි කුළුණෙන් පැනලා ගිය නාකි කළු කපුටෙක් විතරයි. ඌ කවදාවත් හරිහමන් සීත කාලයක් විඳලා නෑ. මම එහෙ ඉපදිච්ච එකියක් දරුවො. මගේ අම්මා, අම්මගෙ අම්මා, එයාගෙත් අම්මා වගේ, අපි හැමෝම නිදහස් මිනිස්සු විදියට එහෙ ඉපදිච්ච අය. අපට හැමදේම මතක තියෙනවා." ඕෂා නැගිට සිටියෙන් ඇගේ දම්වැල් නැවත නද දුනි. "මම උත්සාහ කලා ඔබේ සහෝදරයාට මේ ගැන කියන්ට. මේ ඊයෙ පවා, මම දැක්කා එයා අංගනයේ ඉන්නවා. 'මයෙ ස්ටාර්ක් උතුමානනි' මම එයාට කතා කලා. බොහොම ගරුසරු ඇතිව. ඒ වුනත් එයා මාව දැක්කෙ නෑ වගේ මා දිහා බලන් හිටියා. ඊටපස්සෙ අර මහ දැවැන්තයා, ග්‍රේට්ජොන් අම්බර් මාව එයාගෙ පාරෙන් අහකට තල්ලු කරලා දැම්මා. ඉතිං එච්චරයි. ඉතිං මම මගේ දම්වැල් ටික දාගෙන මගේ කට වහගෙන ඉන්නං. ඇහුම්කන් දෙන්නෙ නැති මිනිහෙකුට බෑ කිසිම දෙයක් අහන්ට."

"මට කියන්ට. මම රොබ්ට කියන්නම්. මම දන්නවා එයා මට ඇහුම්කන් දෙනවා කියලා."

"එයා එහෙම කරයිද? අපි බලමු. ඔබ එයාට මෙන්න මේක කියන්ට මයෙ උතුමානනි. එයාට කියන්ට එයා ඔය හමුදාවත් අරන් යන්නෙ වැරැදි පැත්තටයි කියලා. එයා හරිනම් යන්ට ඕන උතුරු පැත්තට. උතුරට. දකුණට නෙවෙයි. ඔබට මං කියන දේ ඇහෙනවද?"

බ්‍රැන් හිස වැනුවේය. "මම එයාට කියන්නම්."

* * *

එනමුදු, එදා රාත්‍රියේ ඔවුන් මහා ශාලාවේ ආහාර ගනිද්දී රොබ් ඔවුන්ට එක් නොවීය. ඔහු ඇතුළු කාමරයක රිකාර්ඩ් උතුමානන්, ග්‍රේ‍ට්ජොන් උතුමානන් හා අනිකුත් ප්‍රධාන වංශවතුන් සමගින් අහර ගත්තේය. ඉදිරියට නියමිත දිගු ගමන වෙනුවෙන් අවසන් පිඹුරුපත් සකසන්නට ඔවුන්ට සිදුව තිබුනි. ඔහුගේ අඩුව පුරවාලමින් කෑම මේසයේ මුලසුන ගන්නටත්, කාර්ස්ටාර්ක් උතුමානන් ගේ පුතුන් හා හිතමිතුරන් වෙනුවෙන් ප්‍රධාන සංග්‍රාහකයා වශයෙන් කටයුතු කරන්නටත් බ්‍රැන්ට සිදුවිය. හොඩෝර් විසින් ඔහුව ශාලාවට ඔසවාගෙන විත් මුලසුන අසල දණ නමන විටත් ඔවුන් සැවොම තම තමන්ට නියමිත අසුන්වල වාඩිගෙන සිටියෝය. සේවකයින් දෙදෙනෙකු විසින් ඔහුට කූඩයෙන් පිටතට පැමිණීමට උදවු කරන ලදී. ශාලාව තුළ සිටි සෑම ආගන්තුකයෙකු ගේ ම දෑස් තමා වෙත එල්ල වී ඇති අයුරු බ්‍රැන්ට දැනෙන්නට විය. අවට මුළුමනින්ම නිහඬතාවයෙන් පිරී ගොස් තිබුනි. "මගේ උතුමනි." හැලිස් මොලන් නිවේදනය කලේය. "වින්ටර්ෆෙල් වල බ්‍රැන්ඩන් ස්ටාර්ක්."

"ඔබ හැමදෙනාම අපේ ගිනිමැල වලට සාදරයෙන් පිළිගන්නවා." බ්‍රැන් දරදඬු ස්වරයෙන් කියාගත්තේ ය. "අපේ මිත්‍රත්වයට කරන ගරුකිරීමක් විදියට ඔබලාට කෑමෙනුත් බීමෙනුත් සංග්‍රහ කරනවා‍."

රිකාර්ඩ් උතුමානන් ගේ පුතුන් අතරින් වැඩිමලා වූ හැරියන් කාර්ස්ටාර්ක් ඇරයුම පිළිගනිමින් හිස නමා ආචාර කලේය. ඊට පසු ඔහුගේ සොහොයුරන්ද ආචාර කලෝය. එනමුදු ඔවුන් නැවතත් අසුන් ගනිද්දී වයින් කුසලාණවල හඬ මධ්‍යයේ ලාබාල පුතුන් දෙදෙනා පහත් මිමිනුම් ස්වරයෙන් එකිනෙකා හා දොඩනු බ්‍රැන්ට ඇසුනි. "... ඒ විදියට ජීවත් වෙනවාට වඩා හොඳයි මැරෙනවා." එඩාර්ඩ් කාර්ස්ටාර්ක් කෙඳිරුවේය. ඔහුගේ සොහොයුරා ටෝරන් කියා සිටියේ මේ කොලුවා පිටතින් මෙන්ම ඇතුළතින් ද බිඳී ගොස් ඇති බවත්, සිය දිවි තොර කරගැනීමට පවා නොහැකි තරම් බියසුල්ලකු බවට ඔහු පත්වී ඇති බවත් ය.

'බිඳිලා ගිහිල්ලා!' සිය පිහියා මිට තදින් මිරිකා ගනිමින් බ්‍රැන් කල්පනා කලේය. ඔහු දැන් පත්වී ඇත්තේ එවැනි තත්ත්වයකට ද? 'බිඳී ගිය බ්‍රැන්?' "මට බිඳිලා යන්ට බෑ." ඔහු සිය දකුණු පසින් අසුන්ගෙන සිටි මේස්ටර් ලුවින්ට කොඳුලේය. "මට නයිට් කෙනෙක් වෙන්ට ඕන."

"සමහර උදවිය මගේ නිකායට කියනවා 'මනසේ නයිට්වරු' කියලා." ලුවින් පිළිතුරු දුන්නේය. "ඔයා බොහොම දක්ෂ දරුවෙක් බ්‍රැන්. විශේෂයෙන්ම ඔයා යමක් ගැන හිත යොමුකරන වෙලාවට. ඔයා කවදාවත් හිතලා තියෙනවද මේස්ටර් කෙනෙක්ගෙ දම්වැලක් පළඳින්ට එහෙම? ඔයාට ඉගෙනගන්ට පුළුවන් දේ සීමාවක් නැති වේවි."

"මට ඕන ඉන්ද්‍රජාලික වැඩ ඉගෙනගන්ට. අර කපුටා මට පොරොන්දු වුනා මට පියාඹන්ට පුළුවන් වෙනවා කියලා."

මේස්ටර් ලුවින් සුසුමක් හෙලීය. "මට පුළුවන් ඔයාට උගන්නන්ට ඉතිහාසය, සුවකිරීම් ගැන, බෙහෙත් පැළෑටි ගැන. මට පුළුවන් ඔයාට උගන්නන්ට කපුටන්ගෙ භාෂාව. කොහොමද බලකොටුවක් ගොඩනංවන්නෙ කියලා. සේලරුවෙක් කොහොමද තරු දිහා බලලා පාර හොයාගන්නෙ කියලා. මට පුළුවන් ඔයාට උගන්නන්ට කොහොමද දවස් මනින්නෙ, කොහොමද ඍතු වෙන් කරන්නෙ කියලා. ඕල්ඩ්ටවුන් වල තියෙන සිටඩේල් එකට ගියොත් එයාලා ඔයාට තව දාහක් දේ උගන්නාවි. ඒ වුනත් බ්‍රැන්, කිසිම මිනිහෙකුට බෑ ඔයාට ඉන්ද්‍රජාලික උගන්නන්ට."

"දරුවන්ට පුළුවන්. වනාන්තරේ දරුවන්ට පුළුවන්." මේ කතාවත් සමගින් අද දින දහවල් දෙව්වනයේදී තමා ඕෂාට දුන් පොරොන්දුව ඔහුට සිහිපත් විය. ඉදින් ඔහු ඕෂා විසින් තමාට කී සියල්ලක්ම මේස්ටර් ලුවින් හට පැවසුවේය.

මේස්ටර් ඉවසිලිවන්තව මේ සියල්ලටම ඇහුම්කන් දුන්නේය. "මම හිතන්නෙ, මේ වනචාරී ගෑනිට පුළුවන් කතන්දර කියන්නෙ කොහොමද කියලා නාකි ආයම්මාට උගන්නන්ට." අන්තිමේදී, බ්‍රැන් කතාව නිමා කල පසු ඔහු කීය. "ඔයා කැමැති නම් මම ඒ ගෑනිත් එක්ක ආයෙමත් පාරක් කතා කරන්නම්. ඒ වුනත් ඔයා මේ එක එක විතාර කියලා ඔයාගෙ අයියාට කරදර කරන්නෙ නැතුව ඉන්නවා නම් හොඳයි. යෝධයොයි, කැලේ ඉන්න මැරිච්ච මිනිස්සුයි එක්ක පොර බදනවාට වඩා එයාට වදවෙන්ට ගොඩක් දේවල් තියෙනවා. ඔයාගෙ තාත්තාව අල්ලලා හිරකරන් ඉන්නෙ ලැනිස්ටර්ලා බ්‍රැන්. වනාන්තරයේ දරුවො නෙවෙයි." ඔහු මෘදු අයුරින් බ්‍රැන්ගේ අත මතින් සිය අත තැබීය. "මම කියාපු දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්ට දරුවො."

* * *

දවස් දෙකකට පසු හිමිදිරි පාන්දර පෙරදිග අහස රත් පැහැ ගන්වමින් අරුණෝදය උදාවද්දී බ්‍රැන් සිය අසු වන ඩාන්සර් පිට නැගී වාහල්කඩ අසබඩ අංගනයට ළඟා වූයේය. ඔහු සිය සොහොයුරාට ආයුබෝවන් කියන්නට පැමිණ සිටියේය.

"දැන් ඔයා තමා වින්ටර්ෆෙල්වල උතුමානන්." රොබ් ඔහුට කීවේය. ඔහු අළු පැහැ යුධ සෛන්ධවයකු පිට නැගී සිටියේය. දැවයෙන් තනා යකඩින් ආවරණය කල, සුදු හා අළු පැහැයෙන් යුත් ඔහුගේ පලිස අසුගේ පසෙකින් එල්ලා තිබුනි. පලිස මතුපිට ඔවුන් ගේ වංශ සලකුණ වන දත් විලිස්සාගත් ඝෝරවෘකයා සිතුවම් කොට තිබුනි. ‍රොබ් පදම්කල සම් ආවරණ හා ඊට උඩින් අළු පැහැ මුදු දම්වැල් සන්නාහයක් පැළැඳ සිටියේය. ඔහුගේ ඉණේ දිගු අසිපතක් හා කිනිස්සක් විය. ලොම්වලින් පෝරු දැමූ දිගු සළුවක් ඔහුගේ උරහිසෙන් එල්ලුනි. "මම තාත්තගෙ තැන ගත්තා වගේ දැන් ඔයා මගේ තැන ගන්ට ඕන. අපි ආපහු එනකම්."

"මම දන්නවා." බ්‍රැන් දුක්මුසු ස්වරයෙන් පිළිතුරු දුන්නේය. මීට පෙර කිසිදිනෙකත් මෙතරම් තනිකමක්, මෙතරම් බියක්, තමා කෙතරම් ක්ෂුද්‍ර ජීවියෙක්දැයි යන හැඟීමක් ඔහු තුළ පහළ වී නොතිබුනි. උතුමානන් කෙනෙකු වන්නේ කෙසේදැයි හාංකවිංසියකවත් දැනුමක් ඔහු තුළ නොවීය.

"මේස්ටර් ලුවින්ගෙ උපදේශනයට ඇහුම්කන් දෙන්ට. රිකන්ව බලාගන්ට. එයාට කියන්ට යුද්ධෙ ඉවර වුන ගමන්ම මම ආපහු එනවා කියලා."

රිකන් සිය සොයුරාට සමු දීම සඳහා පැමිණීම ප්‍රතික්ෂේප කොට තිබුනි. ඔහු සිය නිදන කාමරයට වී රතු වූ දැස්වලින් යුතුව විරෝධය දක්වමින් සිටියේය. "නෑ!" රොබ්ට සමුදීම සඳහා ඔහු පැමිණෙන්නේදැයි බ්‍රැන් ඇසූ විට ඔහු කේන්තියෙන් බෙරිහන් දුනි. "කිසිම සමුදීමක් නෑ!"

"මම එයාට කියන්නම්." බ්‍රැන් පොරොන්දු විය. "එයා කියනවා යන කිසිම කෙනෙක් ආපහු එන්නෙ නෑ කියලා."

"එයාට හැමදාමත් පුංචි බබෙක් වෙලා ඉන්ට බෑ. එයා ස්ටාර්ක් කෙනෙක්. දැන් අවුරුදු හතරකටත් කිට්ටුයි." රොබ් සුසුමක් හෙලුවේය. "හොඳයි. අම්මා ඉක්මනටම ගෙදර එයි. මම තාත්තාව ආපහු අරන් එන්නම්. මම පොරොන්දු වෙනවා."

සිය අසු හරවා ගත් රොබ් හැල්මේ අසු පැන්නවීය. කෙට්ටු, වේගවත් ග්‍රේ වින්ඩ් අසු පසෙකින් දුවන්නට විය. සුළඟේ ලෙලදෙන සුදු පැහැ ස්ටාර්ක් ධජය ඔසවාගත් හැලිස් මොලන් ඔවුන්ට ඉදිරියෙන් ගේට්ටුව පසුකලේය. තියන් ග්‍රේජෝයි හා ග්‍රේට්ජොන් අම්බර් රොබ්ගේ දෙපසින් අසුන් විහිදූහ. පේළි දෙකකට සැදුනු ඔවුන් ගේ නයිට්වරු ඒ පසුපස්සේ වැටුනහ. ඔවුන් ගේ ලන්සවල වානේ තුඩු හිරු එළිය වැටී දිදුලන්නට විය.

හදිසියේම බ්‍රැන්ට ඕෂාගේ වදන් මතක් විය. 'එයා ගමන් කරන්නේ වැරැදි දිශාවටයි.' ඔහු කල්පනා කලේය. ඔහු පසුපසින් පිම්මේ අසු විහිදා ගොස් අනතුරු ඇඟවීමක් කරන්නට බ්‍රැන්ට මොහොතකට සිතුනේය. එනමුදු ඊළඟ මොහොතේ රොබ් කටු පැලැල්ල යටින් නොපෙනී ගිය අතර ඒ අවස්ථාව ගිලිහී ගියේය.

බලකොටුවේ පවුරුවලට එහායින් මහත් කලිකලහයක් නැගෙන්නට විය. ඒ පාබල හේවායින් හා නගරවාසීන් විසින් රොබ් වෙනුවෙන් ජයඝෝෂා නගන හඬ බව බ්‍රැන් දත්තේය. ඔවුන් මේ ජයඝෝෂා නංවන්නේ ස්ටාර්ක් උතුමානන් වෙනුවෙනි. සුළඟේ ලෙලදෙන සළුවකින් හා පසෙකින් දුවන ග්‍රේවින්ඩ් ඇතුව දැවැන්ත යුධ අසෙකු පිට නැගී පෙරට යන වින්ටර්ෆෙල්හි උතුමානන් වෙනුවෙනි. ඔවුන් කිසිදිනෙකත් තමා වෙනුවෙන් මෙසේ ජයඝෝෂා නංවන්නේ නොමැති බැව් හදෙහි සියුම් වේදනාවක් ද සමගින් ඔහුට අවබෝධ විය. සිය පියා හා වැඩිමහල් සොහොයුරා බැහැර ගිය විට ඔහු වින්ටර්ෆෙල්හි උතුමානන් වන බැව් සැබැවි. එනමුදු ඔහු තවමත් 'බිඳී ගිය බ්‍රැන්' මය. සදහටම එය එසේමය. බිම නොවැටී සිය අසු පිටින් බැසීම පවා ඔහුට කල නොහැක්කකි.

අන්තිමේදී ඈතින් ඇසුනු ජයඝෝෂා හඬ කෙමෙන් මැකී ගොස් අංගනය පුරා නිහඬතාව රජයන්නට විය. වින්ටර්ෆෙල් මිනිසුන්ගෙන් තොර, පාළු, අමු සො‍හොනක් මෙන් දිස්විය. බ්‍රැන් මොහොතක් වටපි‍ට බැලූයේ තමා සමගින් ඉතුරු වී සිටින පිරිසේ මුහුණු පිරික්සා බැලීය. ගැහැණුන්, දරුවන් හා මහල්ලන්... හා හොඩෝර් පමණක් එහි වූහ. මේ දැවැන්ත ඉස්තාල කොලුවා ගේ මුහුණේ කුමක් දෝ අතරමං වූ පෙනුමක් හා බියපත් පෙනුමක් දක්නට ලැබුනි. "හො-ඩෝ-ර්!" ඔහු දුක්මුසු ස්වරයෙන් කීවේය.

"හො-ඩෝ-ර්.‍‍‍‍‍" බ්‍රැන් එකඟවිය. ඒ පැවසූයේ කුමක් වන්නට ඇත්දැයි ඔහු විමතියෙන් කල්පනා කරන්නට විය.


Maester Luwin: “A man’s worth is not marked by a ser before his name.”

48 comments:

  1. “A man’s worth is not marked by a ser before his name but by the car he drives ”

    B? PoM?

    ReplyDelete
    Replies
    1. for a Sasquatch you are way too much in to cars.
      what happened to just simple swinging from branches eh?

      Delete
    2. You've got your apes mixed up Doc. Even gorillas do not swing from branches, let alone Sasquatches ! I shudder to think of your antics in the lab. flying mice, running fish !

      Delete
    3. hey no one knows what Sasquatches do in their downtime. its not like they are well known and documented.

      BTW http://i.telegraph.co.uk/multimedia/archive/01370/Gorillas-drunk_1370931i.jpg

      how about flying fish :P

      Delete
    4. If they swing from branches then it should be in their uptime.

      Fish do all kinda fishy things Prince. swim, dive, fly, walk, climb.en.wikipedia.org/wiki/Climbing_gourami

      And some people dink like fish too !
      Maybe you should take a fish for your sigil .

      Delete
    5. already taken by the bloody Tullys dude

      Delete
    6. Take this -

      http://www.toonvectors.com/clip-art/cartoon-piranha-drunk/8402

      Delete
    7. piranhas are lame.
      i need a cool drunk fish

      like him
      http://images.clipartof.com/Clipart-Drunk-Shark-Royalty-Free-Vector-Illustration-10241106985.jpg

      Delete
    8. https://www.facebook.com/photo.php?fbid=762420633848906&set=a.144342088990100.32649.100002429287411&type=1&theater

      Delete
    9. Sharks... hmmmm... PoM is showing his princely side here I think... :-P

      Delete
    10. @PJ,

      Whether you have a Maruti or a Lamborghini, the road remains the same.
      සෙන්නා...:D:D

      Delete
  2. අදත් කියෙව්වා ඒක හුස්මට... අගෙයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නැවතත් කුරුටු ළමයි! :-)

      Delete
    2. මට මැවිලා පේන්නෙම කුරුටු ලියන ලමයි ටිකක් නැත්නම් ලමයි ඇඳපු කුරුටු ටිකක්...:)

      Delete
  3. යෝධයෝ නේ
    බලන්ට යන්ට හිතෙනවා
    (යෝධයෝ හරිය. වෙන වෙන දේවල් නෙවෙයි :P )

    ReplyDelete
    Replies
    1. යෝධයෝ... කුරුමිට්ටෝ... :-D

      Delete
    2. @PoM,

      යෝධයෝ බලන්ට යෝධයෝ යනවලු :P

      Delete
    3. ඔව් වොව්

      Fee-fi-fo-fum,
      I smell the blood of an Sasquatch ,
      Be he live, or be he dead
      I'll grind his bones to make my bread.

      :P

      Delete
  4. ඈ බොල යෝදියෙ තෝ මේ මක්ක කරලද
    කියල ඊයෙත් වෙලේ කඩේ සයිම කෑ ගහනව ඇහුණ... ඒ කෑ ගැහුවෙ අර කියන ජාතියෙ එකියට්ටද දන්නෑ...
    පොහ් ඇග පුරාම මයිල් මූණෙ රැවුල වැවැනු ගෑණු...
    ඈක්.....
    disgusting

    ReplyDelete
    Replies
    1. වෙලේ කඩේ සයිමා යෝධයෙක් දෑ... :-)

      Delete
    2. වෙලේ සුදා

      Delete
    3. සුදා දැන් වෙලේද? :O

      Delete
    4. @ බූරු
      නෑ අය්යෝ... අඩි හතරක් විතර ඇති...
      හිහි
      වෙලේ සුදා ... හිහි

      Delete
    5. වෙලේ සුදා නම් තව ටික දවසකින් ඇලේ ඉදී...

      Delete
    6. @මහේෂ්,

      පස්සේ එනවා තව ලස්සන අය...මේ බලන්ටකෝ...හැබැයි මේ පොතේ නෙමේලු.:P

      //She was as tall as her husband, thin of body and thin of face, with prominent ears, a sharp nose, and the faintest hint of mustache on her upper lip. She plucked it daily and cursed it regularly, yet it never failed to return. Her eyes were pale, mouth stern, her voice a whip. // :D

      Delete
    7. //She was as tall as her husband, thin of body and thin of face, with prominent ears, a sharp nose, and the faintest hint of mustache on her upper lip. She plucked it daily and cursed it regularly, yet it never failed to return. Her eyes were pale, mouth stern, her voice a whip. //
      ඔව් අනේ එයා නම් හරීඊම ලස්සනයි ලු

      Delete
  5. Replies
    1. හො-ඩෝ-ර්! හො-ඩෝ-ර්! :-)

      හො-ඩෝ-ර් හො-ඩෝ-ර්, හො-ඩෝ-ර් හො-ඩෝ-ර් හො-ඩෝ-ර්?

      Delete
    2. බලාගෙන යනකොට හොඩෝර් හොඳයි ඔක්කොටම වඩා...දන්නෙත් එක වචනයයිනේ...

      කෝ මේ සෝන්යා? රොබ් මාර හැන්ඩිනේ? නැද්ද? :P

      Delete
    3. හැන්ඩි කොල්ලෝ ඇති,හැන්ඩි "කෙල්ලෝ"තව නැද්ද මෙයා..:D

      Delete
    4. @ පොඩ්ඩි,

      කියල වැඩක් නැහැ අයියෝ , හරියට රමන් බල්හා වගේ :)

      Delete
    5. ඔයාලගේ අල්ලපු ගෙදර ඉන්න ඉන්ඩියන් එක්කෙනාද? :P

      Delete
    6. දකින දකින කොල්ලට හැන්ඩි කියන එකේ කොල්ලෝ ඔක්කොම හැන්ඩියි කියන ඇත්ත පිලිගත්තනම් ඉවරයි නෙ..

      Delete
    7. දකින දකින කොල්ලන්ට? අපි හැන්ඩි කීවේ ජොන්ටයි, රොබ්ටයි විතරමලු. :P

      Delete
    8. විතරමලු ද?? එතකොට අරයා පව් ලු..

      Delete
  6. සර්වින් උතුමානන්ගේ දුවත් එක්කත් රොබ්ට යුද්ධ කරන්න වේවිද දන්නේ නැහැ :D

    ReplyDelete
    Replies
    1. වංශාධිපති කුමාරයෙක් වුනාම හරි පරෙස්සම් වෙන්ට ඕන නේ.. කෙල්ලො ඇඟටමයි එන්නෙ.. :-D

      Delete
    2. ඔව් ඔව් පරෙස්සම් වෙන්ට :P

      Delete
    3. කෙල්ලෝ එන පාරවල්වලින් අයින් වෙලා හිටියා නම් ඉවරයිනේ? :P

      Delete
  7. හම්මෝ හොදටම හැති,,............
    එක දිගටම කියෙව්වා මෙහෙ යුද්ද කාලේ කියවන්ට බැරිවෙච්චා ඔක්කොම...

    ReplyDelete
    Replies
    1. හී හී ඔහෙත් යුද්ධයක් තිබුනද?

      Delete
    2. තාමත් තැන තැන කඩු පයිට් එහෙම තියෙනවා..අහිංසකයෝ හිරේ දාන්ට හදනවා..ප්‍රධාන සතුරන්ට සැලියුට් ගහලා පැනලා යන්ට දෙනවා.. එක විකාරයි..
      වැඩේ කියන්නේ පැත්තකට වෙලා කට ඇරන් බලන් හිටපු අපිටත් බර වැඩ කරන්ට වෙලාලු..

      Delete
    3. //වැඩේ කියන්නේ පැත්තකට වෙලා කට ඇරන් බලන් හිටපු අපිටත් බර වැඩ කරන්ට වෙලාලු..//

      රාජ පුරුෂයෝ උනාම ඔහොම තමා

      Delete
  8. කාලෙකට පස්සේ ඇවිල්ලා මග ඇරුණු කොටස් ටික ඔක්කොම කියෙව්වා :) සන්සා නං හෙන මොට්ට යි, අෆ්ෆා. ඒත් කියවාගෙන යද්දී මට හිතුනා නෙඩ්ගේ හිතේ මොකක් හරි ලොකු සැලැස්මක් ඇති කියලා. ඒ නිසා සමහර විට මෝඩ විදියට වැඩ කරනවා ඇති කියලා. බලමුකෝ ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. හපොයි මෙයා දැක්කකල්.:)

      පහුවෙනකොට (ඒ කීවේ පස්සේ පොත්වල ) :P සන්සා හරියයි...

      Delete
    2. ඔව් සන්සා.. නෑ එක්කොත් ඕන නෑ..

      Delete
  9. අද හවස මතක් වුනේ සිකුරාදා මේක කියවන්න උනේ නෑ නේද කියලා..ඔන්න දුවන් ඇවිල්ලා කියෙවුවා.. හෙට ඊලග.. ;)

    ReplyDelete