"මම මෙච්චර කාලෙකට පුහුණු කරපු අනිත් එවුන් වගේම උඹලත් කිසිම වැඩකට ඇති එවුන් ටිකක් නෙවෙයි." ඔවුන් සියල්ලන්ම අංගනයේ රැස් වූ පසු සෙර් ඇලිසර් තෝර්න් ඔවුන් අමතා කීය. "උඹලාගෙ අත් හැදිලා තියෙන්නෙ උදලු ගාන්ටයි, සවලෙන් හාරන්ටයි විතරයි. කඩු අල්ලන්ට නෙවෙයි. මට පුළුවන්කමක් තිබුනා නම් උඹලා හැමෝම යවනවා ඌරො බලාගන්ට. ඒ වුනත් ඊයෙ රෑ මට දැනගන්ට ලැබුනා ග'රින් තවත් අලුත් කොල්ලො පස්දෙනෙක් එක්කරන් රජමාවතේ උඩට එනවා කියලා. ඉතින් උන්ට ඉඩදෙන්ට ඕන නිසා මම කල්පනා කලා උඹලාගෙන් අටදෙනෙක් සමත් කරලා, අණදෙන නිළධාරිතුමා ඉස්සරහට යවන්ට, එයාට උඹලත් එක්ක ඕන මගුලක් කරගන්ටයි කියලා." ඔහු නම් එකින් එක කියැවීය. "ටොඩ්, ගල්ඔළුවා, ඔරොක්ස්, ආදරී, පිම්පල්, වඳුරා, පිස්සා, අවජාතකයා."
උද්දාමයෙන් හඬක් නැගූ පිප් සිය අසිපත ඉහළට එසවීය. සෙර් ඇලිසර් ඔහු දෙස නොපහන් බැල්මක් හෙලාගෙන මොහොතක් ගතකලේය. "උන් කියයි උඹලත් දැන් නිශාරැකුම් බලකායෙ මිනිස්සු කියලා. ඒ වුනත් උඹලා ඒ කතාව විශ්වාස කරන්ට යනවානං උඹලා අහිගුණ්ඨිකයගෙ වඳුරාටත් වඩා මෝඩ අමනයො ටිකක්. උඹලා තාමත් කොල්ලො. තාමත් ගිම්හානයේ ගඳගහන පොඩි කොල්ලො. සීත කාලෙ ආවහම උඹලා නිකං මැස්සො වගේ මැරිලා යයි." මෙතෙකින් සිය සුභාශිංසන කතාව හමාර කල සෙර් ඇලිසර් පිටව ගියේය.
අනික් කොලුවන් රෑන වාසනාවන්තයින් අටදෙනා වටා රැස්කමින්, සිනාසෙමින් ඔවුනට සුබ පතන්නට වන්හ. "නිශාරැකුම් බලකායේ ටොඩ්!" කැගැසූ හෝල්ඩර් සිය අසිපත් මිටින් ටොඩ්ට පහරක් එල්ල කලේය. කළු සොයුරෙකුට අශ්වයකු අනිවාර්යයෙන්ම උවමනා බව කියමින් පිප් ග්‍රෙන් ගේ කරේ නැග්ගේය. ඔවුන් දෙදෙනාම පා පැකිලී බිම වැටුනේ හූ කියමින්, එකිනෙකාට මිටින් අනිමින් බිම පෙරලෙන්නට වන්හ. යුද්ධායුධ ගබඩාව තුළට දිව ගිය ඩේරියන් රතු වයින් මල්ලක් රැගෙන නැවත පැමිණියේ ය. ඔවුන් සෑමදෙනාම වයින් මල්ල අතිනත යවමින්, මෝඩයින් මෙන් සිනාසෙමින් සිටින අතරේ අංගනය කෙලවරේ වූ මැරුණු ගස්කඳ යට තනිවම සිටගෙන සිටින සෑම්වෙල් ටාර්ලි ජොන් ගේ නෙත ගැටින. ජොන් ඔහු වෙත වයින් මල්ල දිගුකලේය. "උගුරක් ගහමුද?"
සෑම් හිස වැනීය. "එපා. බොහොම ස්තූතියි ජොන්!"
"උඹ හොඳින්ද?"
"බොහොම හොඳින්, ඇත්තටම." මහත කොළුවා බොරුවක් ඇදබෑවේය. "මට හරිම සන්තෝසයි උඹලා හැමදෙනාම ගැන." ආයාසයෙන් මුවට සිනාවක් නගා ගැනීමට තැත් කරද්දී ඔහු ගේ රවුම් මුහුණ වෙවුලා ගියේය. "උඹත් කවදාහරි මුර සංචාරකයින්ගෙ ප්‍රධානියා වෙයි, උඹේ බාප්පා වෙලා හිටියා වගේ."
"වෙලා හිටියා වගේ නෙවෙයි, වෙලා ඉන්නවා වගේ." ජොන් ඔහුව නිවැරැදි කලේය. බෙන්ජින් ස්ටාර්ක් මියගොස් ඇතැයි යන්න ඔහු කිසිවිටෙකත් පිළි නොගත්තේ ය. ඔහු තවත් යමක් පැවසීමට පෙර හෝල්ඩර් කෑගසන්නට විය. "ඕක දීපං. උඹ ඕක තනියම ඉවර කරන්ටද කල්පනාව?" ඔහු ගේ අතින් වයින් මල්ල උදුරාගත් පිප් සිනාසෙමින් ඉවතට දිවුවේය. ග්‍රෙන් විසින් ජොන් ගේ දෑත් අල්ලාගෙන සිටින අතරේ පිප් වයින් මල්ල තදින් මිරිකුවේ ය. ජොන් ගේ මුහුණ පුරා වයින් දහරාවක් ගලා බසින්නට විය. වයින් නාස්ති කරන්නේ යැයි හෝල්ඩර් ඔවුන් සැමට බැන වදින්නට විය. ග්‍රෙන් ගේ ග්‍රහනයෙන් මිදීමට ජොන් තැත්කරන අතරේ තාප්පය උඩට නැගගත් මැතර් හා ජෙරන් ඔවුන් සැමට හිමබෝල සංග්‍රහයක් පිරිනමන්නට වූහ.
හිසේ රැඳුනු හිම හා කමිසයේ රැඳුනු වයින් පැල්ලම්ද සමගින් අන්තිමේදී ජොන් සිය දෑත් මුදාගනිද්දී සෑම්වෙල් ටාර්ලි පිටව ගොස් තිබින.
මේ විශේෂ අවස්ථාව සමරනු වස් එදින රාත්‍රියේ ඇඟිලි තුනේ හොබ් විසින් මේ කොලුවන්ට විශේෂයෙන් සකස්කල භෝජනයකින් සංග්‍රහ කලේය. ජොන් ප්‍රධාන ශාලාව වෙත ප්‍රවිශ්ට වූ විට ගොඩනංවන්නන් ගේ ප්‍රධානී බොවෙන් මාර්ෂ් විසින්ම ඔහුව ගිනිඋඳුන සමීපයේ වූ මේසය වෙත කැඳවාගෙන ගියේය. ඔහු මේස පසුකරමින් යද්දී අනෙකුත් වැඩිමහලු කළු සොයුරන් සියල්ලෝම ඔහු ගේ පිටට හා අතට තට්ටු කරමින් සිය සතුට පලකරන්නට වූහ. ළඟදීම උසස් වීමට නියමිතව සිටි මේ කොලුවන් අටදෙනා වෙනුවෙන් සුදුලූණු හා සුවඳකාරකවල බහා පිළිස්සූ බැටළු මස්, ඒ මතින් ඉසින ලද මිංචි රිකිලි හා ඒ සැම වටකරමින් බටර්වල බහාලූ හොඳින් තම්බා පොඩිකරන ලද කහ පැහැති ටර්නිප්වලින් සැදි සුවිශේෂී භෝජනයක් පිළියෙල වී තිබින. "මේවා ආවෙ අණදෙන නිළධාරිතුමාගෙ මේසෙන්මයි." බොවෙන් මාර්ෂ් ඔවුන්ට පැවසීය. මීට අමතරව නිවිති, කඩල හා ටර්නිප් කොළවලින් සැදුනු සලාදයක්ද මේසයට පැමිණියේ ය. මේ සැමටම පසු අතුරුපස වශයෙන් මිහිරි ක්‍රීම්වල බහාලූ සීතල බ්ලූබෙරි කෝප්ප ඔවුන් වෙත පිරිනැමින.
"උඹ හිතනවද අපි හැමෝටම එකට ඉන්ට පුළුවන් වෙයි කියලා?" සතුටින් මේ සංග්‍රහ ගිලදමන අතරේ පිප් ඇසීය.
ටොඩ් මුහුණ ඇද කරගත්තේ ය. "මං ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්ට එපයි කියලා. උඹේ ඔය අලි කණ් දෙක දැකලා දැකලාම මට දැන් එපා වෙලයි තියෙන්නෙ."
"හා! මේ බලහල්ලකො කේතලේ කියනවා මුට්ටිය කළුයි කියලා. උඹනං අනිවාර්යයෙන්ම මුර සංචාරකයෙක් වෙයි ටොඩ්. උඹව පුළුවන් තරං බලකොටුවෙන් ඈත්කරලා තියාගන්ට උන්ට ඕනවෙයි. බැරිවෙලාවත් මැන්ස් රේඩර් පහරදෙන්ට ආවොත් එහෙම උඹ වෙන මොකුත් කරන්ට ඕන නෑ. ශිරස්කය ගලවලා උඹේ මූන ඌට පෙන්නහං. ඌ දුවයි පණ කඩාගෙන."
ග්‍රෙන් හැර අන් සියල්ලෝම සිනාසෙන්නට වන්හ. "මාව මුර සංචාරකයෙක් කරනවානං කොච්චර දෙයක්ද?"
"උඹ විතරක් නෙවෙයි, අපි හැමෝම එහෙම තමා හිතන්නෙ." මැතර් කීය. සෑම කළු සොයුරෙක්ම ප්‍රාකාරය මත මුරසේවයේ නියැලිය යුතු වූ අතර එහි ආරක්ෂාව වෙනුවෙන් අවැසි ඕනෑම වෙලාවක ආයුධ අතට ගැනීමේ සූදාණමින් සිටිය යුතු විය. එනමුදු නිශා රැකුම් බලකායේ මූලිකම, සත්‍ය සටන්කරුවන් පිරිස වූයේ මුර සංචාරකයින් විය. ප්‍රාකාරයෙන් එහා අසුන් විහිදීමට තරම් නිර්භීත වූයේත්, හොල්මන් කැලෑව තුළ හා හිමෙන් වැසුනු කඳුකරය පුරා සෙවීම් කටයුතුවල නිරත වූයේත්, වනචාරීන්, යෝධයින් හා දැවැන්ත හිමවලසුන් සමග සටන් වැදුනේත් මුර සංචාරකයින් විය.
"හැමෝම නෙවෙයි." හෝල්ඩර් කීය. "මට ඕන ගොඩනගන්නෙක් වෙන්ට. ප්‍රාකාරෙ කඩන් වැටුනොත් මුර සංචාරකයින්ගෙන් ඇති වැඩේ මොකක්ද?"
ගොඩනගන්නන් වනාහි සෑම දෙයකම නඩත්තුව භාරව සිටියවුන් විය. බලකොටු හා කුළුණු පිළිසකර කරන පෙදරේරුවන් හා වඩුවන්, උමං හාරන හා පාරවල් වෙනුවෙන් අවශ්‍ය ගල් කඩන පතල් කරුවන්, වනාන්තරය උවමනාවට වඩා ප්‍රාකාරයට ලංවන විට ඒවා එළිපෙහෙලි කර බිම් සුද්ද කරන ගස් කපන්නන් ආදී සැවොම ගොඩනගන්නන්ට අයත් වූහ. ප්‍රවාදයට අනුවනම් එක්තරා කාලයකදී ඔවුහු හොල්මන් කැලෑවේ මිදුනු විල්වලින් කපාගත් දැවැන්ත අයිස් කුට්ටි හිම මතින් ඇදගෙන විත් ප්‍රාකාරය තවතවත් උස් කිරීමද සිදුකලහ. එහෙත් ඒ මීට කාලාන්තරයකට පෙර, සියවස් ගනනාවකට පෙර විය. දැන් ඔවුන්ට කල හැකි එකම දෙය නැගෙනහිර කුළුණේ සිට සෙවනැලි කුළුණ වෙත ප්‍රාකාරය මතින් ඇවිද ගොස් අයිස් දියවීම්, ඉරිතැලීම් ආදිය පිරික්සා බලා ඒවා පිළිසකර කිරීම පමණි.
"නාකිවලහා මෝඩයෙක් නෙවෙයි." ඩේරියන් කීය. "උඹ අනිවාර්යයෙන්ම ගොඩනගන්නෙක් වෙයි. ජොන් අනිවාර්යයෙන්ම මුර සංචාරකයෙක් වෙයි. ඌ තමා අපි අතර ඉන්න හොඳම කඩුහරඹ කාරයා. හොඳටම අශ්වයො පදින්ට පුළුවන් එකා. ඒ වගේම එයාගෙ බාප්පා තමා මුර සංචාරකයින්ගෙ ප්‍රධානියා වෙලා හිටියෙ, එයා..." තමා මේ දොඩවන්නේ කුමක්දැයි වැටහුනු ඩේරියන් ගේ හඬ කෙමෙන් මැකී ගියේය.
"බෙන්ජින් ස්ටාර්ක් තමා තාමත් මුර සංචාරකයින්ගෙ ප්‍රධානියා." ජොන් ඔහුට කීය. ඔහු සිය බ්ලූබෙරි කෝප්පය අතගාමින් සිටියා විනා එය අනුභවයට වැඩි උනන්දුවක් නොදැක්වීය. අන් සියල්ලන්ම ඔහු ගේ බාප්පා ගේ පුනරාගමනය පිළිබඳ බලාපොරොත්තු අත්හැර තිබුනද ඔහු එසේ යටත් වීමට කැමැති නොවීය. සිය බෙරි කෝප්පය පසෙකට තල්ලු කල ඔහු බංකුවෙන් නැගී සිටියේ ය.
"උඹ ඕක කන්නෙ නැද්ද?" ටොඩ් ඇසීය.
"උඹට ඕනනං ගනිං." හොබ් ගේ විශිෂ්ට භෝජන සංග්‍රහය ජොන් විසින් භුක්තිවිඳ තිබුනේ යාන්තමිනි. "මට තවත් එක කටක්වත් කන්ට බෑ." දොර අසල කොක්කක එල්ලා තිබුනු සිය සළුව පැළැඳගත් ඔහු ශාලාවෙන් පිටවිය.
පිප්ද ඔහු පසුපසින් වැටුනි. "ජොන්, මොකක්ද ප්‍රශ්නෙ?"
"සෑම්. එයා අද රෑ කෑමට ආවෙ නෑ."
"ඌ ලේසියෙන් කෑමක් මඟඇරගන්න එකෙක් නෙවෙයි." පිප් කල්පනා කලේය. "උඹ හිතන්නෙ ඌ අසනීපෙන් කියලද?"
"ඌ බයවෙලා. අපි හැමෝම ඌව දාලා යන්ටයි යන්නෙ." තමා වින්ටර්ෆෙල් හැරදා පැමිණි දිනය ජොන්ට සිහිපත් විය. මිහිර හා අමිහිර දෙකම මුසු වූ සමුගැනීම්, බිඳීගිය සිරුරින් යුතුව ලෙඩ ඇඳේ වැතිර හුන් බ්‍රැන්, හිසකෙස් අතර හිම රැඳි රොබ්, ඉඳිකට්ට තෑගි ලැබීමෙන් පසු ආර්යාගෙන් තිලිණ වූ හාදු වැස්ස, මේ හැමදෙයක්ම අද ඊයේ මෙන් විය. "අපේ දිවුරුම කිවුවට පස්සෙ අපි හැමෝටම තමතමන්ගෙ රාජකාරිවලට යන්ට වෙනවා. අපි සමහරු මෙහෙන් යන්ට යයි. නැගෙනහිර කුළුණට හරි හෙවනැලි කුළුණට හරි. සෑම් මෙතන ඉතුරුවෙයි. රැස්ටුයි, කූගරුයි, මේ අලුතෙන් එන කොල්ලොයි එක්ක පුහුණුවීම් කර කර ඉන්ට වෙයි. දෙයියොම තමා දන්නෙ අලුතින් එන එවුන් කොයි වගේද කියලා. ඒ වුනත් උඹට කැට තියලා කියන්ට පුළුවන් සෙර් ඇලිසර් මිනිහට හම්බවෙන පළවෙනි අවස්ථාවෙම උන්ව යවනවා සෑම් එක්ක සටනට."
පිප් මුහුණ පුළුටු කරගත්තේ ය. "උඹ කරන්ට පුළුවන් හැමදේම කලානෙ."
"කරන්ට පුළුවන් හැමදේම මදි නම්?"
ගෝස්ට්ව කැඳවාගෙන එනු පිණිස හාර්ඩින් ගේ කුළුණ වෙත යද්දී ඔහු ගේ සිත ගැඹුරු නොසන්සුන්තාවකින් පිරී තිබින. ඝෝරවෘකයා ඔහුත් සමග ඉස්තාලය වෙත ඇවිද ආවේය. උගේ ඉව දැනුනු සමහර අශ්වයින් කණ්පෙති පිටුපසට නවාගෙන සිය කුටි තුළ දඟලන්නට විය. සිය වෙළඹට සෑදල පැළැන්දූ ජොන් සඳ එළියෙන් නැහැවී ගිය රාත්‍රියේ කළු බලකොටුවෙන් පිටතට, දකුණු දෙසට ඌව මෙහෙයවීය. ඔහුට ඉදිරියෙන් දිවගිය ගෝස්ට් ඇසිපිය හෙලන පමාවෙන් දර්ශන පථයෙන් අතුරුදන් විය. ජොන් ඌට යන්නට ඉඩ හැරියේය. වෘකයෙකුට දඩයම් කිරීමට නිදහසක් තිබිය යුතුය.
යා යුත්තේ කොහාටදැයි ඔහුට කිසිදු නිනවුවක් නොවීය. ඔහුට උවමනා වූ එකම දෙය නිදහසේ අසු පිට යාම පමණක් විය. ඔහු මඳ වේලාවක් දිය කඳුරට සමාන්තරව අසු මෙහෙයවූයේ ගල්පර මතින් දිය බිඳු ගලහැලෙන හඬට කණ් දුන්නේය. ඉන්පසු නැවත හැරී රජමාවත වෙත අසු මෙහෙයවීය. ගල්වලින් හා වල්පැලෑටියෙන් වැසී ගිය පටු මාවත ඔහු ඉදිරියෙන් දිගින් දිගටම විහිද තිබින. මේ මාවත දැකීමෙන් ජොන් තුළ මෙතෙක් යටපත්ව පැවැති ආශාවන් හා බලාපොරොත්තු නැවත ලියලා වැඩී ආයේය. මේ මාවතේ දකුණු දෙසට යන්නෙකුට වින්ටර්ෆෙල් හමුවනු ඇත. එතැනින් තවත් පහළට ගියහොත් රිවර්රන්, කින්ග්ස් ලෑන්ඩින්ග්, ඉයරි හා තවත් නොයෙක් තැන් බොහොමයක් හමුවනු ඇත. කාර්ස්ටලී රොක්, මුහුණු දූපත, ඩෝර්න්හි රතු කඳුවැටි, මුහුදින් එතෙර දූපත් සිය ගණනකින් සැදුනු බ්‍රාවොස්, පුරාණ වැලීරියාවේ දුම්දමන නටඹුන් ආදි සියල්ලක්ම එහි තිබෙනු ඇත. ජොන් කිසිදා නොදුටු, කිසිදා දක්නට ලැබෙතියිද සිතිය නොහැකි ස්ථාන බොහොමයක් එහි තිබෙනු ඇත. ඔහු කිසිදා නොදුටු අලුත් ලෝකයක් මේ මාවතේ පහළ තිබෙන අතර ඔහු මේ ස්ථානයට වී කාලය නාස්තිකරමින් බලා සිටියි.
ඔහු සිය දිවුරුම දුන් පසු මේ ප්‍රාකාරය ඔහු ගේ නිවහන වනු ඇත. මේස්ටර් ඒමන් මෙන් මහලු වී මියයන තෙක්ම ඔහු මෙහි වසනු ඇත. 'මම තාමත් දිවුරුම් දුන්නෙ නෑ.' ඔහු තමාටම කියාගත්තේ ය. කළු බලකායට බැඳීමට හෝ එසේ නොකලහොත් මරණයෙන් වන්දි ගෙවීමට හෝ ඔහු තවමත් ගිවිසුමකින් බැඳී නැත. ඔහු නිදහස් මිනිසකු වශයෙන් මෙහි පැමිණි අතර නිදහස් මිනිසකු වශයෙන් මෙයින් පිටවී යාමේ අවකාශයද ඇත. ඔහු සිය දිවුරුම දිවුරන තෙක් ඒ අවකාශය ඇත. ඔහු කල යුතු එකම දෙය වන්නේ දිගටම මේ මාවතේ පහළට යාම පමණි. මේ සෑම දෙයක්ම හැරදා යාම පමණි. නැවතත් පුරහඳ පායන කාලය වනවිට ඔහු වින්ටර්ෆෙල්හි සිය සොයුරන් හා එක්වනු ඇත.
'උඹේ අර්ධ සොයුරන් එක්ක.' ඔහු ගේ හිස තුළ වූ කටහඬක් විසින් මතක්කර දුන්නේ ය. 'ඒ වගේම ස්ටාර්ක් ආර්යාව උඹව සාදරයෙන් පිළිගන්න එකක් නෑ.' වින්ටර්ෆෙල්වල ඔහුට හිමි තැනක් නොවීය. කින්ග්ස් ලෑන්ඩින්ග්වල පවා ඔහුට හිමි තැනක් නොවීය. ඔහුගේම මව සමීපයේ පවා ඔහුට හිමි තැනක් නොවීය. ඇය ගැන මතකය විසින් ඔහු ගේ සිත දුකින් පුරවාලන්නට සමත් විය. ඇය කවුරුන් විය හැකිදැයි, ඇය කෙබඳු කෙනෙක් විය හැකිදැයි ඔහු කල්පනා කරන්නට විය. ඔහු ගේ පියා ඇයව අත්හැර දැමූයේ මන්ද? ඇය ගණිකාවක් නැතිනම් පහත් පෙළේ එකියක් වීම නිසාද? එසේ නොමැති නම් එඩාර්ඩ් උතුමානන් ඇය ගැන කතාකරන්නට මෙතරම් මැලිවන්නේ මන්ද?
රජමාවතෙන් අසු හරවා ගත් ජොන් නැවත පසුපස බැලීය. කළු බලකොටුවේ පහන් එළි කුඩා කඳුගැටයකින් මුවා වී ගොස් තිබුනද ප්‍රාකාරය එතැන විය. සඳ එළියෙන් නැහැවී ගිය, සුදුමැලි, සීතල, උත්තුංග, එක් ක්ෂිතිජයක සිට අනිත් ක්ෂිතිජය දක්වා පැතිරුනු ප්‍රාකාරය සෑමදාම මෙන් එතැන විය.
අසුට සන් කල ඔහු නැවත නිවස බලා අසු මෙහෙයවන්නට විය.
කුඩා කඳුගැටයක් පසුකරද්දී ගෝස්ට් නැවතත් ඔහු හා එක්විය. වෘකයා ගේ හොම්බ ලේ වලින් නැහැවී රත් පැහැ ගැන්වී තිබින. ඔහු නැවතත් සෑම්වෙල් ටාර්ලි ගැන කල්පනා කරන්නට විය. ඉස්තාලය වෙත ළඟාවද්දී තමා හරියටම කුමක් කල යුතුදැයි පැහැදිලි හැඟීමක් ඔහු තුළ විය.
මේස්ටර් ඒමන් ගේ නවාතැන වශයෙන් භාවිත වූයේ කපුටන් රඳවා සිටි කුළුණේ පහතින් වූ දැවමුවා කාමර කිහිපයකි. මහලු, දුබල සිරුරකින් හෙබි මේස්ටර්වරයා සිය නවාතැන් කාමර තවත් තරුණ නිවාස බාරකරුවන් දෙදෙනෙකු හා හවුලේ බෙදාගෙන පරිහරනය කලේය. ඔවුන් දෙදෙන ඔහු ගේ කුදුමහත් කටයුත්තක්ම ඉටුකර දුන් අතර මේස්ටර්වරයා ගේ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් ඔහුට උදවු වූහ. ක්ලයිඩස් වනාහි මිටි, මහත, ඌරුමීයකු ගේ බඳු කුඩා දෑසකින් හා තට්ට හිසකින් යුතු තැනැත්තකු වූ අතර චෙට් කුරුලෑ පිරුනු රත් පැහැ මුහුණකින් හෙබියකු විය. ඔහු නිතරම කේන්තියෙන් සිටින්නාක් මෙනි දිස්විය.
ජොන් ගේ තට්ටු කිරීමට පිළිතුරු වශයෙන් චෙට් විසින් දොර අරිනු ලැබීය. "මට මේස්ටර් ඒමන්ට කතා කරන්ට ඕන." ජොන් පැවසීය.
"මේස්ටර් ඇඳට ගිහිල්ලා. උඹත් මේ වෙලාව වෙද්දි ඇඳෙයි ඉන්ට ඕන. හෙට උදේ වරෙන්. එතකොට සමහරවිට මේස්ටර් උඹව මුනගැහෙයි." ඔහු දොර වසන්නට තැත්කලේය.
ජොන් සිය බූට්ස් සපත්තුව ඔබා දොර අවහිර කලේය. "මට එයාට දැන් කතා කරන්ට ඕන. උදේ වෙනකොට පරක්කු වැඩිවෙන්ට පුළුවන්."
චෙට් මුහුණ පැඟිරි කරගත්තේ ය. "මේස්ටර් කැමැති නෑ රෑ තිස්සෙ එක එකා ඇවිල්ලා එයාව ඇහැරවනවට. උඹ දන්නවනෙ එයා කොච්චර නාකිද කියලා."
"උඹට වඩා ආචාරශීලී විදියට අමුත්තො පිළිගන්ට තරම් නාකියි. එයාට කියහං මෙහෙම කරදර කලාට මට සමාවෙන්ටයි කියලා. මේක එච්චර හදිසි දෙයක් නෙවෙයිනං මම මෙහෙම කරදර කරන්ට එන්නෙ නෑ."
"මම ඒක ප්‍රතික්ෂේප කලොත්?"
"මට මෙහෙම මෙතන හිටගෙන මුලු රෑම වුනත් ඉන්ට පුළුවන්."
උගුරෙන් නොරුස්නා හඬක් පිටකල කළු සොයුරා ජොන්ට ඇතුළුවීම පිණිස දොර විවර කලේය. "පුස්තකාලෙට වෙලා වාඩිවෙලා හිටපං. එතැන දර ඇති. උඳුනේ ගින්නක් අවුලපං. උඹ නිසා මේස්ටර්ට හෙම්බිරිස්සාවක් හැදෙනවා දකින්ට මට ඕන නෑ."
චෙට් විසින් මේස්ටර් ඒමන්ව කැඳවාගෙන එනවිට ජොන් දැල්වූ ගින්න බුර බුරා නැගෙමින් තිබින. මහලු මිනිසා දිගු නිදන ලෝගුවකින් සැරසි සිටිමුත් ඔහු ගේ නිකායට අයත් මේස්ටර් දම්වැල තවමත් ගෙල වටා විය. මේස්ටර්වරයකු නිදීම පිණිසවත් සිය දම්වැල නොගැලවීම සම්ප්‍රදාය විය. "අපි උඳුන ගාව තියෙන පුටුවේ වාඩිවෙමු." සිය මුහුණට ගිනි උණුසුම දැනුනු ඔහු පැවසීය. ඔහු සැපපහසු අයුරින් පුටුවේ වාඩිගත් පසු ඔහු ගේ දෙපා ලොම් ඇතිරිල්ලකින් ආවරණය කර දැමූ චෙට් දොර අසලට ගොස් සිටගත්තේ ය.
"ඔබව මෙහෙම නැගිට්ටවන්ට සිද්දවෙච්ච එක ගැන බොහොම කණගාටුයි මේස්ටර්." ජොන් කීය.
"ඔබ මාව නැගිට්ටෙවුවෙ නෑ. නාකි වෙන්ට වෙන්ට නිදාගන්ට ඕන කාලෙ අඩුවෙනවා කියලා මට දැනිලා තියෙනවා. මම දැන් බොහොම නාකියි. ගොඩක් වෙලාවට මම රැයෙන් බාගයක්ම ඇහැරලා ඉස්සර කාලෙ, අවුරුදු පනහකට හැටකට ඉස්සර වෙච්චි දේවල් ගැන කල්පනා කර කර ඉන්නවා. ඉතිං මේ මහ රෑ ජාමෙ අමුත්තෙක් මාව බලන්ට ආවා කියන එක හරිම හොඳ වෙනසක්. ඉතින්, මට කියන්ට ජොන් ස්නොව්. ඔබ මොකද මේ අවේලාවෙ මාව මුනගැහෙන්ට ආවෙ?"
"සෑම්වෙල් ටාර්ලිව පුහුණුවෙන් අයින් කරලා එයාවත් කළු සහෝදරයෙක් විදියට බඳවගන්ට පුළුවන්ද අහන්ට."
"ඒක මේස්ටර් ඒමන්ට අයිති දෙයක් නෙවෙයි." චෙට් පැමිණිලි ස්වරයෙන් කීය.
"අපේ අණදෙන නිළධාරිතුමා නවකයින්ව පුහුණුකරන එකයි, එයාලව සමත්කරන එකයි බාරදීලා තියෙන්නෙ සෙර් ඇලිසර් තෝර්න්ට." මේස්ටර්වරයා මෘදු ස්වරයෙන් කීය. "ඔබත් හොඳටම දන්නවනෙ, එයාට විතරමයි කියන්ට පුළුවන් නවකයෙක් දිවුරුම් දෙන්ට තරම් නියම විදියට පුහුණුවෙලා තියෙනවද කියලා. ඇයි එහෙමනම් මාව හම්බවෙන්ට ආවෙ?"
"අණදෙන නිළධාරිතුමා ඔබ කියන දේ අහනවා." ජොන් පැවසී ය. "අනිත් එක නිශා රැකුමේ තුවාල වෙච්ච අයයි, අසනීප කාරයොයි ඉන්නෙ ඔබේ බාරෙ."
"ඉතින්, ඔබේ මේ යාළුවා සෑම්වෙල් තුවාලවෙච්ච කෙනෙක්ද නැත්තං අසනීපවෙච්ච කෙනෙක්ද?"
"ඔබ උදවු කලේ නැත්තම් එයා එහෙම කෙනෙක් වෙයි." ජොන් කීය.
ඉදින් ඔහු ඔවුන්ට සෑම දෙයක් ගැනම විස්තර කලේය. එක්තරා රැයකදී ඔහු විසින් රැස්ට්ව බියකිරීම පිණිස ගෝස්ට්ව යොදාගත් අයුරු පවා විස්තර කලේය. සිය අන්ධ දෑස් ගිනිමැලය වෙත හරවාගත් මේස්ටර් ඒමන් නිහඬවම ඔහු කියන දෙයට සවන්දෙන්නට විය. එනමුදු මේ සෑම වදනක් පාසාම චෙට් ගේ මුහුණ කළු වී ගියේය. "එයාට උදවු කරන්ට අපි කවුරුවත් එතන නැත්තං සෑම්ට කිසිම අවස්ථාවක් ලැබෙන එකක් නෑ. එයාට කඩුහරඹ ගැන කිසිම දැනුමක් නෑ. මගේ පුංචි නංගි ආර්යාටත් පුළුවන් එයාව කෑලි කෑලිවලට ඉරලා දාන්ට. ආර්යාට තාම අවුරුදු දහයක්වත් නෑ. සෙර් ඇලිසර් දිගින් දිගටම එයාව සටන් කරන්ට දැම්මොත් වැඩිකල් යන්ට කලින් එයාට තුවාල වෙයි. නැත්තං එයා මැරිලා යයි." ජොන් කතාව අවසන් කලේය.
චෙට්ට තවත් ඉවසා සිටිය නොහැකි විය. "මම දැකලා තියෙනවා මේ මහත කොල්ලාව කෑම කාමරෙදි. ඌ ඌරෙක්. ඒ විතරක් නෙවෙයි උඹ කියන දේ ඇත්තනං ඌ කිසිම බලාපොරොත්තුවක් නැති බයගුල්ලෙක්."
"සමහරවිට එහෙම වෙන්ට පුළුවන්." මේස්ටර් ඒමන් කීය. "මට කියන්ට චෙට්. මේ වගේ කොල්ලෙක් එක්ක අපි මොකක් කරන්ට ඕනැයි කියලාද ඔබ හිතන්නෙ?"
"ඌට ඉන්න තැනම ඉන්ට දෙන එක. ප්‍රාකාරෙ කියන්නෙ දුබලයින්ට ගැලපෙන තැනක් නෙවෙයි. ඌ හරියට සූදාණම් වෙනකං ඌට දිගටම පුහුණුවෙන්ට අරින්ට ඕන. ඒකට අවුරුදු ගානක් ගියත් කමක් නෑ. සෙර් ඇලිසර් උගෙන් මිනිහෙක් හදයි, නැත්තං ඌ මැරිලා යයි. ඒක දෙයියන්ගෙ කැමැත්ත."
"ඒක මහ මෝඩකමක්." ජොන් කීවේය. සිය සිතුවිලි එකලස් කරගැනීම පිණිස ඔහු ගැඹුරු හුස්මක් ගත්තේය. "මට මතකයි, එකපාරක් මම මේස්ටර් ලුවින්ගෙන් ඇහුවා ඇයි එයා කර වටේ දම්වැලක් දාගෙන ඉන්නෙ කියලා."
මේස්ටර් ඒමන් සිය කෙට්ටු අතැඟිලිවලින් කර වටා වූ දම්වැල අතගෑවේය. "කියන්ට."
"එයා කිවුවා මේස්ටර් කෙනෙකුගෙ කර වටේ දම්වැලක් තියෙන්නෙ එයා හැමවෙලාවෙම සේවය කරන්ට සූදාණම් වෙලා ඉන්නවා කියන එක මතක්කරලා දෙන්ටයි කියලා. මම ඇහුවා එතකොට ඇයි මේ දම්වැලේ හැම පුරුකක්ම වෙනස් වෙනස් ලෝහවලින් හැදිලා තියෙන්නෙ කියලා. ඊට වඩා තනි රිදී දම්වැලක් තිබුනානං ඒක ලෝගුවෙ පාටත් එක්ක ගැලපෙන්නෙ නැද්ද කියලා මම ඇහුවා. මේස්ටර් ලුවින් හිනාවුනා. එයා කිවුවා මේස්ටර් කෙනෙකුගෙ දම්වැල හැදෙන්නෙ එයාගෙ අධ්‍යාපනයත් එක්ක කියලා. හැම වෙනස් දම්වැල් පුරුකක්ම වෙනස් වෙනස් ඉගෙනීම්වලට සම්බන්ධයි. රත්තරන් කියන්නෙ මුදල්, මූල්‍ය පරිපාලන කටයුතු ගැන. රිදී කියන්නෙ සුවකිරීම් ගැන. යකඩ කියන්නෙ යුද්ධ ශාස්ත්‍රය ගැන. ඒ වගේම එයා තවත් දේ කිවුවා. මේ දම්වැල මේස්ටර් කෙනෙකුට මතක් කරලා දෙනවා එයා සේවය කරන රාජධානිය ගැන. එහෙම නෙවෙයිද? රත්තරන් කියන්නෙ වංශාධිපති උත්තමයො. වානේ කියන්නෙ නයිට්වරු. ඒ වුනත් පුරුක් දෙකකින් විතරක් දම්වැලක් හැදෙන්නෙ නෑ නෙව. ඒක නිසා අපට ඕන රිදී, යකඩ, ඊයම්, ටින්, තඹ, ලෝකඩ, තව ගොඩක් ජාති. ඒ තමා ගොවියො, කම්මල්කාරයො, වෙළෙන්දො වගේ අනිත් අය. දම්වැලකට මේ හැම ජාතියෙම ලෝහවර්ග උවමනායි වගේ රටකටත් හැමජාතියෙම මිනිස්සු ඕන."
මේස්ටර්වරයා ගේ මුවේ සිනහවක් පහල විය. "ඉතින්?"
"ඒ වගේම, නිශා රැකුම් බලකායටත් මේ හැම ජාතියෙම මිනිස්සු උවමනායි. එහෙම නැත්තං අපි මොකටද මුර සංචාරකයොයි, ගොඩනගන්නොයි, නිවාස බාරකාරයොයි විදියට බෙදිලා ඉන්නෙ? රැන්ඩිල් උතුමානන්ට බැරිවුනානං සෑම්ව රණකාමියෙක් කරන්ට, සෙර් ඇලිසර් තෝර්න්ටත් ඒක කවදාවත් කරන්ට ලැබෙන්නෙ නෑ. ඔබ කොච්චර හයියෙන් තැලුවත් ටින් යකඩවලට හැරෙන්නෙ නෑ. ඒ වුනත් ඒකෙන් කියැවෙන්නෙ නෑ ටින් කියන්නෙ ප්‍රයෝජනයක් නැති දෙයක් කියලා. ඇයි සෑම්ටත් බැරි නිවාස බාරකාරයෙක් වෙන්ට?"
චෙට් කේන්තියෙන් මුහුණ ඇඹුල් කරගත්තේ ය. "මම නිවාස බාරකාරයෙක්. උඹ හිතනවද ඒක ලේසි රස්සාවක් කියලා? බයගුල්ලන්ට ගැලපෙන ජාතියෙ එකක් කියලා? නිවාස බාරකාරයො තමා මේ නිශාරැකුම පණපිටින් තියාගන්නෙ. අපි වවනවා, දඩයං කරනවා, අශ්වයො බලාගන්නවා, කිරි දොවිනවා, දර එකතු කරනවා, කෑම උයනවා. උඹලා ඔය ඇඳගෙන ඉන්න ඇඳුම් වියන්නෙ, මහන්නෙ කවුරුයි කියලාද උඹ හිතාගෙන ඉන්නෙ? දකුණේ ඉඳන් කෑමයි අනිත් බඩුබාහිරාදියයි ගේන්නෙ කවුද? නිවාස බාරකාරයො."
මේස්ටර් ඒමන් මීට වඩා මෘදු විය. "ඔබේ මේ යාළුවා දඩයක්කාරයෙක් ද?"
"එයා දඩයම පිළිකුල් කරනවා." ජොන්ට පිළිගන්නට සිදුවිය.
"එයාට කුඹුරක් හාන්ට පුළුවන් ද? එයාට කරත්තයක් දක්කන්ට පුළුවන් ද? එයාට නැවක් යාත්‍රා කරවන්ට පුළුවන් ද? එයාට හරකෙක් මසට මරන්ට පුළුවන් ද?"
"බෑ..."
චෙට් අවඥාසහගත සිනහවක් පෑවේය. "මං දැකලා තියෙනවා ඔය වගේ සුකුමාර වංශාධිපති පැටවු වැඩකරන්ට දැම්මහම සිද්දවෙන දේ. උන්ව බටර් හැඳිගාන්ට දැම්මොත් උන්ගෙ අත්වල දියපට්ටා එනවා. ලේ ගලනවා. උන්ට දර කපන්ටයි කියලා පොරොවක් දුන්නොත් උන් අතපය කපා ගන්නවා."
"මම දන්නවා අනිත් හැමෝටම වඩා හොඳට සෑම්ට කරන්ට පුළුවන් දෙයක්." ජොන් කීය.
"ඔවු?" මේස්ටර් ඒමන් ඇසීය.
දොර අසලට වී රතු වූ මුහුණින් යුතුව බලාසිටින චෙට් දෙස ජොන් පරීක්ෂාකාරී බැල්මක් හෙලීය. "එයාට පුළුවන් ඔබට උදවු කරන්ට. එයාට පුළුවන් එකතුකිරීම් අඩුකිරීම් කරන්ට. එයා දන්නවා ලියන්ට කියවන්ට. මම දන්නවා චෙට්ට අකුරු කියවන්ට බෑ කියලා. ක්ලයිඩස්ගෙ ඇස් දෙක දැන් දුර්වලයි. සෑම් එයාගෙ තාත්තගෙ පුස්තකාලෙ තිබ්බ හැම පොතක්ම කියවලයි තියෙන්නෙ. එයා කපුටන්ගෙ වැඩත් හොඳට කරයි. සත්තු එයාට කැමැතියි වගේ පේනවා. ගෝස්ට් එකපාරින්ම එයත් එක්ක යාළු වුනා. සටන්කරන එක පැත්තකින් තිබ්බොත් එයාට තව මහ හුඟක් දේවල් කරන්ට පුළුවන්. අනිත් එක, නිශාරැකුමට දැන් අනිත් හැමදාටමත් වඩා මිනිස්සු උවමනායි. ඒකට බඳවගන්ට පුළුවන් හැම මිනිහම උවමනායි. ඉතින් ඇයි නිරපරාදෙ එක්කෙනෙක්ව මරලා දාන්නෙ? ඊට වඩා හොඳ නැද්ද එයාගෙන් ගන්ට පුළුවන් වැඩක් ගන්න එක?"
මේස්ටර් ඒමන් දෑස පියාගත්තේ ය. ඔහු නින්දට වන්නේ යැයි ජොන් සුළු මොහොතකට බියපත් විය. එහෙත් අන්තිමේදී ඔහු මෙසේ කීය. "මේස්ටර් ලුවින් ඔබට බොහොම හොඳට උගන්නලා තියෙනවා ජොන් ස්නොව්. පේන විදියට නම් ඔබේ මොළෙත් ඔබේ කඩුව වගේම බොහොම බුහුටියි. බොහොම දක්ෂයි."
"ඒ කියන්නෙ...?"
"ඒ කියන්නෙ ඔබ මේ කියාපු දේ ගැන මම තව දුරටත් හිතන්ට ඕන කියන එකයි. ඉතින් දැන්, මම හිතන්නෙ මම නින්දට යන්ට සූදාණම් කියලා. චෙට්, අපේ මේ තරුණ සහෝදරයාව දොර ගාවට ඇරලවන්ට." මේස්ටර්වරයා මෘදු ස්වරයෙන් පැවසීය.
Jon Snow: “A chain needs all sorts of metals, and a land needs all sorts of people.”
පොඩි උදැල්ලක්.. හැඳි කියනවට වඩා කලු ඇඳි කිව්වනම් හොඳයි නේද?හැඳි = spoon
ReplyDeleteහපොයි කවුදෝ මගේ උදැල්ල කලිම්ම දාලනේ :D
Deletei agree with Ser W.
ඇඳි කිවුවහම නිකං පුටු ඇඳ වගේ පේන්නෙ නැද්ද? :-D
Deleteකොහොම හරි ඔන්න ඔය උතුමන් දෙන්නා කියපු නිසා එතැන චුට්ටක් වෙනස් කලා..
මට නම් දෙකම වැරදී වගේ...:(
Deleteටොඩ්, ගල්ඔළුවා, ඔරොක්ස්, ආදරී, පිම්පල්, වඳුරා, පිස්සා,
ReplyDeleteෂෝයි නම් ටික. අලුත් බ්ලොගර් ලට හොඳයි :P
//උඹේ අර්ධ සොයුරන් එක්ක.' //
poor guy :(
ඒකනේ.. නරකද ඔය පොම් පොම් කියන කැත නම අයින්කරලා නිකං "ආදරී" වගේ නමක් දාගත්තොත්.. ;-)
Deleteඊයේ නම් එකෙක් මට ඇටකටු ඔළුවා කිව්වා :p
Deleteඅද තාම පෙන්ට නෑ බුවා.
මටත් හිතෙන්නේ 'ආදරී' කියන එක ලස්සනයි.:P
Deleteජෝන් පනී (ද) ?:D
ReplyDeleteඑහෙම එහාට මෙහාට පනින්නෙ ගිම්හාන දූපත්වල ඉන්න දේසපාලුවො නේද? :-D
Deleteගිම්හාන දුපත් වල ඉන්නෙත් වවන්නේ නැති කට්ටියලුද?
Deleteඑහෙමලු... :-)
Delete@මනෝජ්,
Deleteකොහාටද? :D
//රත්තරන් කියන්නෙ මුදල්, මූල්‍ය පරිපාලන කටයුතු ගැන. රිදී කියන්නෙ සුවකිරීම් ගැන. යකඩ කියන්නෙ යුද්ධ ශාස්ත්‍රය ගැන//
ReplyDeleteමෙව්වා ඔක්කොම ඉගන ගන්ට හෙන කාලයක් යනවා ඇති නේ?
නෑ නෙව පොම් තුමනි.. හැම එකම පරතෙරට යනකං ඉගෙන ගන්නෙ නෑ නෙවැ..එහෙම බැලුවොත් අපිත් ඉස්කෝලෙදි සබ්ජෙක්ට්ස් කීයක්නම් ඉගෙන ගත්තාද? ප්‍රායෝගික භාවිතයට ඇති තරම් ඉගෙන ගන්නවා ඇති.. අනික එයාලටත් සිලබස් එකක් එහෙම තියෙන්ට ඇති කැමැති සබ්ජෙක්ට්ස් තෝරගෙන අකැමැති ඒවා අත අරින්ට.. :-)
Deleteඑක සබ්ජෙක්ට් එකක පරතෙරටම යනකං ඉගෙනගන්න කෙනා අන්තිමේදී ආර්ක්මේස්ටර් කෙනෙක් වෙනවනෙ..
ප්‍රොෆෙක් වගේ වෙන්ටෑ
Deleteකොහොම උනත් ඔය කියන තරමේ පරිචයක් ගන්ට නම් අඩු ගානේ අවුරුදු 20ක් වත් ඉගන ගන්ට වෙයි නේද?
අවුරුදු දහයකින් බැරි වෙයිද? මම හිතන්නෙ පුළුවන් වෙයි. අවුරුදු දහයකින් සබ්ජෙක්ට්ස් දහයක් කරගන්ට බැරිද? 10න් පටන්ගත්තොත් අවුරුදු විස්ස වෙනකොට මේස්ටර් කෙනෙක්..
Deleteඅනිත් එක පොම්, මේස්ටර් කෙනෙක් වුනා කියලා ඉගෙනීම නවතින්නෙත් නෑ නෙව. එයාට දිගටම ස්ටඩි කරන්ට පුළුවන්. තව පුරුක් දම්වැලට එකතු කරගන්ට පුළුවන්. එක ලෝහයකින් පුරුක් කීපයක් තියෙන්ටත් පුළුවන් ලු.. (එහෙම දෙන්නෙ පෝස්ට් ග්‍රැජුවේට්ස්ලාට වෙන්ටැති නේද?)
Deleteමතකද එක අවුරුද්දකින් පුරුක් තුනක් හදාගත්ත එකෙකුත් ඉන්නවා කතාවෙ පස්සෙදි? ඒක නිසා එක එක්කෙනාගෙ හැකියාවත් මේකට බලපානවා ඇති. මට හිතෙන්නෙ දහයකින් දම්වැලක් හදාගන්ට පුළුවන් වෙයි කියලයි..
පොම්ගෙ දම්වැල හම්බවෙන්නෙ කවදද?
He heeeeee
DeleteAlready have it. Made with links of bone , snake fangs and herbal plants :P
And come on bro, our guys take send 7 yrs earning that silver link alone.
Deleteඒ කාලෙ එච්චර ඉගෙනගන්ට තිබුනෙ නෑ නෙවැ බ්‍රෝ.. path ද, surgery ද, pharma ද ඔය මොකුත් නැහැ නෙවැ.. herbal remedies ටිකක් ඉගෙනගත්තාම කොල්ලා ගොඩ.. හරි අපි ඒකට අවුරුදු 2ක් දාමු.. ලේසි සබ්ජෙක්ට්සුත් තියෙනවනෙ.. ඉතිහාසය, අර්ථශාස්ත්‍රය වගේ ඒවා අවුරුදු ගණන් ඉගෙනගන්ට ඕන ඒවා නෙවෙයි නෙ..
Delete//පොම්ගෙ දම්වැල ...//
Deleteමේ මාත් පොඩ්ඩක් හොම්බ දාන්ටද , ඈ?
දැං ඔය දම්වැල තියනවා නේද? අපේ ගම් පලාත්වල හිටිය ලෝඩ් ඩෝග් උත්තමයො හැමෝ ගාවම ඕක තිබ්බා නෙව. ලෝඩ් කියල කිව්වෙ,එයාල හිටිය අලි වංසෙන් නිසා, අපි වගේ අයව පයිසෙකට ගණන්ගත්තෙ නෑ. හැබැයි කතා කොලේ නං ඉංගිරිසි " හව්, හව්" කියලමයි කිව්වෙ.
ඔය දම්වැලේ එක කොනක් ලෝඩ්ගෙ කරේ, අනික් කොන අග අයිතිකාරයා තමා හිටියෙ.ඊලඟට කඩයිම් පුරස්නෙ, පොංගෙ දම්වැලේ අනික් කෙලවර තියෙන්නෙ කා ගාවද?
Deleteපොම්ගේ දම්වැලේ අනික් කෙලවර තියෙන්නේ ජපානේ...:D
Lord dogs were like household knights then. And the unlord foxes were free riders :P
Deletehow about the unlord dogs then? Hedge Knights? Ronnins?
Deleteහවුස්හෝල්ඩ් නයිට්... පොම් ට කියාපු නම..
Delete@චුලෝදර
Deleteමං මේ අහන්නමයි හිටියෙ, අර බොලා දෙන්න උරුට්‍ටු අල්ලපු මැණික් පුටුවට මොකෑ වුනේ? ඒක වික්කද?
මොනා වෙන්ටද මොට්ස්.., ඒක දනට දුන්නා නෙව...
Deleteඒක නෙවේ මොටෝ ඔහේගෙ වනන්තරේ තියෙන්නේ වයඹ පැත්තට වෙන්ටද??
@චුලෝදර
Deleteවයඹ පැත්තෙ තමා . හැබැයි නත්තල් පප්පලෑ ගෙවල් කිට්‍ටුව
ජොන් නම් මොළකාරය... අම්මගෙ ජාන වලින් වෙන්ටැති. තාත්තගෙන් නම් වෙන්ට බෑ :P
ReplyDeleteවෙන්ටැති වෙන්ටැති......... :-D
Deleteකොහොමටත් හොඳ දේවල් එන්නේ අම්මලාගෙන් තමා රන්.:)
Deleteආන්ටිලට තේරෙන තරමලු ඔය...
Deleteආ මටත් මතකයි ඔය මනුස්සයව.. අර පලවෙනි දවසෙම කන කපාගන්න ගිය හාදයා නේද? අර එයාගේ අප්පොච්චා කිව්වේ එක්කෝ පලයන් නැත්තම් මැරියන් කියලා??
ReplyDeleteඑයා තමා.. එයා තමා.. :-)
Deleteඅඟහරු ලෝකේ අයගේ මතක හොඳයි...:)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහුටා! දැං නෙව මතක් වුනේ " ආයෙ මැකුවොත් තෝව මරණවා" :)
Deleteහී හී දුවලා දුවලා ගිහින් හැංගෙන්ට...
Deleteඅවුලක් න බන්. මැකුවොත් හිරේ යවනවා කිව්වොත් නම් චුට්ටක් විතර බය වෙයන්
Delete"You know nothing, Jon Snow"
ReplyDeleteමං කැමතිම චරිතයක්.
බොහොම හොඳයි අද කොටස.අද කතාව , කවදාවත් නැතිව දෙපාරක්ම කියෙව්වා , :)
Winter is coming. කාළගුනේ අයියා Winter Woods වලට දුන්නා නෙව නැතිවෙන්නම. බඩ පනුවො බොක්සිං ගහනවා, දැං යනවා හංටින්, හෙට එඤ්ඤං
ඒ වගේමයි රූපෙත් නේද නරි මොටෝ? ගෙදර එක්කගෙන යන්ට හිතෙනවා...:P
Deleteගෙදර අරන් ගිහින් ගේට්ටුව ගාව හිටවලා තියන්ට නම් හොඳයි
Deleteකුඹුරක් මැද්දෙ හිටෝලා තියන්ටත් අපූරුයි... :-D
Deleteබයිට් එකට සුදුළුනු කෑල්ලක්වත් නෑ බං, අපි ගියා. අර ගෝරිල්ලට නිවාඩු දවස්වල බ්ලොග් බලන්'ට නැති එක හරි අපරාදයක්.
ReplyDeleteසී ලංකාවෙ කස්ටිය වීක් එන්ඩ් එකට බ්ලොග් බලනවා හරි අඩුයි තමා නේද? ;-)
Delete\\සී ලංකාවෙ කස්ටිය වීක් එන්ඩ් එකට බ්ලොග් බලනවා හරි අඩුයි..\\
Deleteමඟුලක් කියනවා, මොන බ්ලොග් බැලිල්ලක්ද එහෙ හරි සැනකෙලි - ගිණිකෙලි, මල් වෙඩි සංදර්සන නොවැ. එතකොට අර මාළු බාන තරගෙ? එහෙන් මෙහෙට බානවා, මෙහෙන් එහෙට බානවා. තව එතකොට කොට්ටපොර, කණා බල්ටි ගැසීම, හිටිවන බයිලා ( රිලවුන්ට) , හප්පේ එහෙමත් සෙල්ලං :)
හරි ශෝක් නම් ටික. ජෝන්ට නම් මොලේ තියෙන පාටයි. බලමු බලමු මොකද වෙන්නෙ කියලා.
ReplyDeleteජොන් මොළේ තියෙන දරුවා.. බලමු බලමු නේ..
Deleteහම්මේ තුනායි... :D
ReplyDelete