අසුපිටින් බට ඛාල් ඩ්‍රෝගෝ තමාට හිමි උස් අසුන කරා පියමැන්නේ ය. ඔවුන් ගේ ඛලසාරය නගරයට ඇතුළුවන විටත් එහි වාඩි ලා සිටි ඛාල් ජෝමෝ හා ඛාල් ඕගෝට ඩ්‍රෝගෝගේ දෙපසින් අසුන් පැනවී තිබින. ඔවුන්ට පහතින් මේ ඛාල්වරුන් තිදෙනා ගේ රුධිරාරක්ෂකයින් අසුන්ගෙන සිටි අතර ඔවුන්ටද පහතින් ඛාල් ජෝමෝ ගේ බිරින්දෑවරුන් තිදෙන අසුන් ගෙන සිටියහ.
වෙළඹ පිටින් බට ඩැනී තෝන්ලණුව සිය වහලෙකු අතට දුන්නාය. ඩෝරියා හා ඉරී ඇයට අසුන් ගනු පිණිස බිම මෘදු කොට්ට අසුරද්දී ඇය සිය සොයුරා සොයනු පිණිස අවට නිරීක්ෂණය කලාය. මේ දැවැන්ත ශාලාව තුළ, මේ අතිමහත් පිරිස මධ්‍යයේ වුව ඔහුගේ සුදුමැලි සමත්, රිදී පැහැ කේශ කලාපයත්, හැඳ සිටි වැරහිලිත් හඳුනාගැනීම අසීරුවක් නොවීය. එනමුදු ඇයට කොතැනකවත් ඔහුව සොයාගත නොහැකි විය.
ඇය නැවත වතාවක් බිත්ති අද්දර මිටි මේස අබියස අසුන්ගෙන සිටි, තත්ත්වයෙන් පහත් මට්ටමේ වූ මිනිසුන් පිරිස පවා පිරික්සා බැලුවාය. එනමුදු ඒ සෑම මුහුණක්ම තඹ පැහැ සමින් හා කළු පැහැ දෑසින් යුතු ඒවා විය. ශාලාව මැද්දේ වූ දැවැන්ත ගිනිමැලය අසල සිටින සෙර් ජෝරා ඇගේ නෙත ගැටින. එය උසස්ම අසුනක් නොවූ නමුදු ගෞරවාන්විත ආසනයක් විය. මේ නයිට්වරයා ගේ කඩුහරඹ හැකියාව ගැන ඩොත්රැකියන් උසස් කොට සැලකූහ. ඔහුව තම මේසයට කැඳවාගෙන එන්නැයි කියමින් ඩැනී විසින් ජික්වීව පිටත්කර හැරියාය. සෙර් ජෝරා සැනින් පැමිණියේ ඇය අසලින් දණක් නැමීය. "ඛලීසි. ඔබතුමීගෙ ඕනම අණක් කියන්ට."
ඇය තමා පසෙකින් තිබුනු කොට්ටයට තට්ටු කලාය. "මෙතැනින් වාඩිවෙලා මගෙත් එක්ක ටිකක් කතා කරන්ට."
"ඒක මට ලොකු ගෞරවයක්." ඔහු දෙපා හරස්කර කොට්ටය මත වාඩිවිය. ඔහු අසලින් දණ නැමූ වහලෙක් ඉදුනු ෆිග් පිරුනු තැටියක් ඔහු දෙසට පිරිනැමීය. ෆිග් ගෙඩියක් අතින් ගත් සෙර් ජෝරා ඉන් අඩක් මුවේ ලා සැපීය.
"කෝ මගේ අයියා?" ඩැනී ඇසුවාය. "මේ සංග්‍රහයට සහභාගි වෙන්ට එයා දැන් මෙතැනට ඇවිල්ලා ඉන්ට ඕන."
"මම අද උදේ එතුමන්ව දැක්කා. එයා මට කිවුවා වයින් ටිකක් හොයාගන්ට බටහිර වෙළෙඳපළ පැත්තට යනවා කියලා."
"වයින්?" ඩැනී විපිලිසරව ඇසුවාය. ඩොත්රැකියන් පානය කරන වෙළඹ කිරෙන් නිමැවූ මේ මධ්‍යසාරය විසේරිස්ට උහුලා ගත නොහැකි දෙයක් විය. ඇය එය මනාව දැන සිටියාය. එමෙන්ම විසේරිස් මේ දිනවල නිතරම වෙළෙඳපළ වෙතට ගොස් බටහිරින් හා නැගෙනහිරින් තවලම් රැගෙන පැමිණ සිටි වෙළෙඳ නායකයින් සමගින් මත්පැන් බොමින් කල් ගතකරන්නට පුරුදුව සිටියේය. ඇගේ සමාගමයට වඩා ඔවුන් ගේ සමාගමය ඔහුට වඩා හිතකර වූ බැව් පෙනෙන්නට තිබුනි.
"වයින්." සෙර් ජෝරා තිර කලේය. "ඒත් එක්කම එයාට පොඩි අදහසක් තියෙනවා මේ තවලම් මුරකරන කුලී හේවායින් එයාගෙ හමුදාවට බන්දාගන්ට." සේවිකාවක් ඔහු ඉදිරිපිටින් පයි එකක් තැබූ අතර ඔහු විගස වැඩට බැස්සේය.
"ඒක නුවණක්කාර වැඩක්ද? එයාට මේ සෙබළුන්ට ගෙවන්ට රත්තරන් නෑ. එයාව පාවලා දුන්නොත් මොකද වෙන්නෙ?" තවලම් මුරකරුවන් වනාහි ගෞරවය, ලැදිකම වැනි දෑ නාඳුනන්නෝ වූහ. කින්ග්ස් ලෑන්ඩින්ග්හි සිටින රාජ්‍යය පැහැරගත්තා ඇගේ සොයුරා ගේ හිස් ගෙඩියට ඉහළම මිලක් ගෙවනු ඇත. "ඔබත් එයත් එක්ක යන්ටයි තිබුනෙ. එයාව ආරක්ෂා කරන්ට. ඔබ එයාගෙ දිවුරුම් දුන්න හේවායෙක්."
"අපි මේ ඉන්නෙ වයෙස් ඩොත්රැක්වලයි. මේක ඇතුළෙ කිසිම මිනිහෙක් ආයුධයක් ගෙනියන්නෙ නෑ. කිසිම මිනිහෙකුගෙ ලේ හොල්ලන්නෙ නෑ." ඔහු ඇයට සිහිපත් කරදුන්නේ ය.
"ඒ වුනත් මිනිස්සු මැරෙනවා. ජෝගෝ මට කිවුවෙ. මේ සමහර වෙළෙන්දො ගාව නපුංසක වහල්ලු ඉන්නවා. මහ දැවැන්ත එවුන්. උන් සේද රෙදි කෑල්ලකින් හොරුන්ගෙ බෙල්ල හිරකරලා මරලා දානවා. එහෙම කලාම ලේ හෙල්ලෙන්නෙ නැති හන්දා දෙවියො කෝපවෙන්නෙ නෑ."
"එහෙමනම් ඉතින් අපි ප්‍රාර්ථනා කරමු කිසිම දෙයක් හොරකම් නොකර ඉන්ට තරම් ඔබේ සහෝදරයා ඥානවන්ත වෙයි කියලා." සිය මුව වටා තැවරී තිබුනු මේදය පිටිඅත්ලෙන් පිසදා හල සෙර් ජෝරා මේසය හරහා ඇය දෙසට නැඹුරු විය. "එයා සැලසුම් කරගෙන හිටියා ඔබේ මකර බිත්තර ටික හොරකම් කරන්ට. ඒ වුනත් මම එයාට අනතුරු ඇඟෙවුවා එයා ඒවට අතවත් තිබ්බොත් මම එයාගෙ අත් දෙක කපලා දානවා කියලා."
මේ පුවතින් ඩැනී කෙතරම් අන්දුන් කුන්දුන් වී ද යත් මොහොතක් ගතවන තුරු ඇයට කතා කරන්නට වදන් සොයාගත නොහැකි විය. "මගේ බිත්තර... ඒ වුනත් ඒවා මගේනෙ. මැජිස්ටර් ඉල්ලීරියෝ ඒවා මට දුන්නෙ මනාලි තෑග්ගක් විදියටයි. ඇයි විසේරිස්ට ඒවා ඕන... ඒවා නිකංම නිකං ගල්නෙ..."
"රතුකැට, දියමන්ති, අනිත් මුතුමැණික් ගැනත් ඒ දේම කියන්ට පුළුවන් මගේ කුමාරි... අනික මකර බිත්තර කියන්නෙ ඊටත් වඩා දුර්ලභ වටිනා දෙයක්. එයාත් එක්ක බොන ඔය වෙළෙන්දො ඔය එක බිත්තරයක් වෙනුවෙන් තමන්ගෙ රහසඟත් කපලා විකුනයි. ඔය බිත්තර තුන වික්කොත් විසේරිස්ට පුළුවන් එයාගෙ කුලී හේවායින්ට ගෙවන්ට ඕන රත්තරන් හොයාගන්ට."
ඩැනී මේ බවක් නොදැන සිටියාය. මේ බවක් කිසිකලෙකත් සැක නොකලාය. "එහෙමනම් ඉතින්... එයාම ඒවා ගත්තාවෙ. ඒත් එයාට ඒවා හොරකම් කරන්ට ඕන නෑ. එයා මගෙන් ඇහුවානම් මම ඒවා එයාට දෙනවනෙ. එයා මගේ සහෝදරයා... මගේ ඇත්තම ඇත්ත රජා."
"එයා ඔබේ සහෝදරයා තමා." සෙර් ජෝරා එකඟවන ස්වරයෙන් කීය.
"ඔබට තේරෙන්නෙ නෑ සෙර්. මට උපත දීලා මගේ අම්මා මැරිලා ගියා. මගේ තාත්තයි අයියා රේගාරුයි ඊටත් කලින් මැරිලා ගියා. මට ඒවා ගැන කියලා දෙන්ට විසේරිස් නොහිටියා නම් මට අඩුම ගානෙ එයාලගෙ නම්වත් දැනගන්ට ලැබෙන්නෙ නෑ. එයා තමා මට ඉතුරුවුන එකම එක්කෙනා. එකම එක්කෙනා. එයා තමා දැන් මට ඇති එකම දේ."
"ඔවු, ඒ එක කාලෙකදි. ඒ වුනත් දැන් ඒක තවදුරටත් එහෙම නෙවෙයි ඛලීසි. ඔබ දැන් අයිති ඩොත්රැකියන්ට. ඔබේ ගර්භාෂයෙ ඉන්නවා මේ ලෝකය හොල්ලන සෛන්ධවයා." ඔහු සිය කුසලාණ එසවූ අතර වහලියක විසින් එය මධ්‍යසාරයෙන් පුරවාලීය.
ඩැනී අතක් වනා ඇයව පිටත්කර හැරියාය. එහි ඇති ඇඹුල් සුවඳ නිසා ඇයට අප්පිරියාවක් දැනෙන්නට විය. මහත් ආයාසයෙන් කුස තුළට එබූ අර අමු අශ්ව මාංශය නැවත වතාවක් පිටතට ගැනීමට ඇයට කොහෙත්ම අවශ්‍යතාවක් නොවීය. "මොකක්ද ඒකෙන් කියැවෙන්නෙ? කවුද මේ සෛන්ධවයා? හැමකෙනාම ඒක කියලා මට කෑගැහුවා. ඒත් ඒ කිසිදෙයක් මට තේරුනෙ නෑ."
"මේ සෛන්ධවයා තමා පුරාණ අනාවැකියක කියැවෙන ඛාල්ලාගෙත් ඛාල්. අනාවැකියෙ පොරොන්දු වෙන විදියට එයා මේ ඛලසාර් ඔක්කොම එකතුකරලා එක තනි ඛලසාර් එකක් හදලා ලෝකෙ කෙලවරටම යනකම් යනවා. මේ ලෝකෙ ඉන්න හැම මිනිහෙක්ම එයාගෙ යටත් වැසියෙක් වෙයි."
"ආහ්!" ඩැනි කෙඳිරුම් ස්වරයෙන් කීවාය. ඇගේ අත සිනිඳු සේද කබායට උඩින් උදරය මුදු ලෙස පිරිමදින්නට විය. "මම එයාට නම දැම්මෙ රේගෝ කියලා."
"ඒ නම ඇහුවහම රාජ්‍යය පැහැරගත්ත එකාගෙ ඇඟේ ලේ වතුර වෙයි."
හදිසියේම ඩෝරියා ඇගේ වැලිමිටින් අදින්නට විය. "මගේ උත්තමාවනි." ඇය හදිසි ස්වරයෙන් මිමිනුවා ය. "ඔබේ සහෝදරයා..."
ඩැනී ශාලාවේ අනිත් අන්තය දෙස බැලුවාය. ඔහු දිගු පියවර තබමින් ඔවුන් දෙසට පැමිණෙමින් සිටියේය. ඔහු අඩි තබන ආකාරයෙන්ම විසේරිස්ට ඔහු සෙවූ වයින් ලැබී ඇති බැව් ඇය වටහාගත්තා ය. ඒ වයින් සමගින්ම ඔහුට කතාවට අවැසි ධෛර්‍යය ද ලැබී තිබින.
විසේරිස් පාට වියැකී ගිය, ගමන නිසා වැරහැලි වී ගිය සිය ලේ රතු පැහැ සේද ඇඳුම්වලින් සැරසී හුන්නේය. ඔහු ගේ සළුවත් අත්වැසුමුත් හිරු එළියෙන් පාට වියැකුනු කළු පැහැ විල්ලුදයෙන් නිමවීය. ඔහුගේ බූට්ස් සපත්තු වියළී, ඉරිතලා ගොස් තිබුනු අතර ඒ රිදී පැහැ කෙස්කළඹ අවුල් වී ගැටගැසී තිබින. සමින් කල කොපුවක බහාලූ දිගු අසිපතක් ඉණෙහි එල්ලෙමින් තිබින. ඩොත්රැකියන් ගේ දෑස් ඒ දිගු අසිපත වෙත යොමුව තිබුනේය. සාපකිරීම් ද, අවලාද ද, මැසිවිලි හා කෝපසහගත කටුකුටු ගෑම් ද රැල්ලක් මෙන් ඇය වටා නැගෙන්නට විය. සංගීතය කෙමෙන් මැකී ගියේය.
ඇගේ හදවත වටකරමින් භීතිය නැග ආවේය. "එයා ගාවට යන්ට." ඇය සෙර් ජෝරාට අණකලාය. "එයාව නවත්තන්ට. එයාව මෙහාට ගේන්ට. එයාට කියන්ට එයාට ඕනනම් අර මකර බිත්තර ටික ගන්ට පුළුවන් කියලා." නයිට්වරයා සැනෙන් දෙපයින් නැගිට සිටියේය.
"කෝ මගේ නංගී?" විසේරිස් මුරගෑවේය. වයින් නිසා ඔහුගේ ස්වරය පැටලිලි සහගත විය. "ඔන්න මම ඒකිගෙ භෝජන සංග්‍රහයට ආවා. උඹලා කොහොමද මම එන්ට කලින් කෑම කන්ට පටන්ගන්ට තරම් නිර්භීත වුනේ? කිසිම කෙනෙක් රජ්ජුරුවන්ට කලින් කන්ට පටන්ගන්නෙ නෑ. කෝ ඒකි? ඔය වේසිට බෑ මකරාගෙ ඇස්වලින් වහන්වෙන්ට."
ගිනිමැල අතරින් විශාලතම එක අබියස නැවතුනු ඔහු ඩොත්රැකියන් ගේ මුහුණු පිරික්සා බලන්නට විය. මේ ශාලාව තුළ මිනිසුන් පන්දහසකට වඩා සිටි නමුදු ඒ අතරින් පොදු භාෂාව තේරුම් ගත හැකි පුද්ගලයින් වූයේ අතලොස්සකි. එනමුදු, ඔහු පවසන වදන් තේරුම් ගත නුහුනු නමුදු, ඔහු බීමතින් සිටින බව දැනගැනීමට ඒ දෙස හෙලන එක් බැල්මක්ම ප්‍රමාණවත් විය.
සෙර් ජෝරා සැනින් ඔහු වෙත ළඟාවිය. ඔහු විසේරිස් ගේ කණට යමක් කොඳුරා ඔහුගේ අතකින් අල්ලාගත්තේ ය. එනමුදු අත ගසාදැමූ විසේරිස් ඔහුගෙන් නිදහස් වූයේය. "උඹේ ඔය ජරා අත මගෙන් අහකට ගනින්. කිසිම කෙනෙකුට බෑ අවසරයක් නැතුව මකරාව අල්ලන්ට."
ඩැනී වියවුල් සිතින් උස් ආසන පෙළ දෙස බැලුවාය. ඛාල් ඩ්‍රෝගෝ ඔහු පසෙකින් සිටි අනික් ඛාල්ලාට යමක් කියමින් සිටියේය. ඛාල් ජෝමෝ දත් විරිත්තූ අතර ඛාල් ඕගෝ කොක්හඬලා සිනාසෙන්නට විය.
මේ නැගුනු සිනා හඬ නිසා විසේරිස් දෑස් ඔසවා බැලීය. "ඛාල් ඩ්‍රෝගෝ." ඔහු ආචාරශීලී නමුදු පැටලිලි සහගත ස්වරයෙන් කීය. "ඔන්න මම ආවා ඔබේ භෝජන සංග්‍රහයට." සෙර් ජෝරාගෙන් ඈත්වුනු ඔහු ඛාල්වරුන්ට එක්වීම සඳහා එදෙසට පිය නගන්නට විය.
නැගී සිටි ඛාල් ඩ්‍රෝගෝ අත දිගුකර ඩැනීට වටහා ගත නුහුනු තරමේ වේගයකින් යමක් කීවේය. "ඛාල් ඩ්‍රෝගෝ කියනවා ඔබේ ස්ථානය එයාගෙ පැත්තකින් නෙවෙයි කියලා. ඛාල් ඩ්‍රෝගෝ කියනවා ඔබේ ස්ථානය අතනයි කියලා." සෙර් ජෝරා විසේරිස් වෙනුවෙන් පරිවර්තනය කලේය.
හිස හැරවූ විසේරිස් ඛාල් පෙන්වන දෙස බැලීය. ශාලාවේ ඈත කොණේ, බිත්තිය අසල මුල්ලක, අනිකුත් වැදගතුන් ගේ ඇස නොගැටෙන පරිද්දෙන් අඳුරු සෙවනැලි මුවාවේ ඩොත්රැකි සමාජයේ පහත්ම මිනිස්සු අසුන්ගෙන සිටියහ. තවමත් සටනක් සඳහා නොගිය කුඩා කොල්ලන්, කිසිවක් නොපෙනෙන දෑසින් යුත් හා වාතරක්තියෙන් පෙලෙන සන්ධිවලින් හෙබි මහල්ලන්, මන්ද බුද්ධිකයින් හා අංගවිකල වූවන් එහි වූහ. ඔවුහු මස් මාංශයෙන් ද සියළු ගෞරවයන්ගෙන් ද ඈත් කර තැබූවෝ වූහ. "ඒක රජෙකුට ගැලපෙන තැනක් නෙවෙයි." ඇගේ සොයුරා කීවේය.
"ඒක තැන." ඛාල් ඩ්‍රෝගෝ පොදු බසින් පිළිතුරු දුන්නේය. "කොර කකුල් රජාට." ඔහු අත්පොඩි සැලීය. "කරත්තයක්! කරත්තයක් ගෙනෙල්ලා ඛාල් රාඝට්ට!"
පන්දහසක් ඩොත්රැකියන් සිනහවෙන්නටත් මහහඬින් කෑගසන්නටත් පටන්ගත්හ. සෙර් ජෝරා විසේරිස් පසෙකින් සිටගෙන ඔහුගේ කණට කෑගසමින් සිටිමුත් අධික ගෝෂාව නිසා ඩැනීට ඔහු කියන්නක් නෑසින. ඇගේ සොහොයුරා පෙරලා නයිට්වරයාට කෑගසමින් සිටි අතර ඔවුන් දෙදෙනා එකිනෙකා බදාගෙන ඉන්නාක් මෙන් පෙනින. ඊළඟ මොහොතේ පහරක් ගැසූ මෝර්මන්ට් විසේරිස්ව බිමදැමීය.
ඇගේ සොහොයුරා සිය අසිපත ඇදගත්තේ ය.
අසිපත් තලය ගිනිදළු නිසා රත් පැහැයෙන් බබලන්නට විය. "මගෙන් ඈත් වෙලා හිටපං!" විසේරිස් පිම්බේය. සෙර් ජෝරා අඩියක් පසුපසට තැබූ අතර ඇගේ සොයුරා අව්‍යක්ත අයුරින් සිය දෙපා මතින් නැගිටගත්තේ ය. ඔහු සිය අසිපත - ඔහුව වඩා රාජකීය ලීලාවෙන් අන්‍යයන්ට පෙනෙන සේ මැජිස්ටර් ඉල්ලීරියෝ විසින් ඔහුට දුන් අසිපත - හිසට ඉහළින් ලෙලවීය. ඩොත්රැකියෝ සෑම දෙසින්ම ඔහුට සාප කරන්නටත් අවලාද නගන්නටත් පටන්ගත්හ.
ඩැනීගේ මුවින් නොදැනුවත්වම ත්‍රාසය භීතය මුසු කෑගැසීමක් නැගින. ඇගේ සොහොයුරා එය නොදැන සිටියද මේ නගරය තුළ අසිපතක් ඇදගන්නාගේ ඉරණම ඇය දැන සිටියාය.
ඇගේ කටහඬ නිසා හිස හරවා බැලූ විසේරිස් පළමු වරට ඇයව දැක්කේය. "ආ! අර ඉන්නෙ ඒකි." ඔහු සිනාසෙමින් කීය. ඔහු ඈ වෙතට දිගු පියවර තැබූයේ හරියටම සතුරන් රෑනක් මැදින් මාර්ගය පාදා ගැනීමට තැත් කරන්නාක් මෙන් අසිපත වනමිනි. එනමුදු ඔහුට මග ඇහිරූ කිසිවෙකුත් නොවීය.
"ඔයාගෙ කඩුව... ඔයාට එහෙම කරන්ට බෑ." ඇය අයැද සිටියාය. "අනේ විසේරිස්! ඒක තහනම්. ඔය කඩුව පැත්තකින් දාලා එන්ට මගේ මේසෙට. මෙතැන බීම තියෙනවා, කෑමත්... ඔයාට ඕන මකර බිත්තරද? ඔයාට ඒවා ගන්ට පුළුවන්. අනේ ඔය කඩුව වීසිකරලා දාන්ට."
"එයා කියන විදියට කරපන් මෝඩයෝ!" සෙර් ජෝරා කෑගැසීය. "නැත්තං උඹ නිසා අපි ඔක්කොටම මැරුම්කන්ට වෙයි."
විසේරිස් කොක්හඬලා සිනාසුනේය. "උන්ට බෑ අපිව මරන්ට. උන්‍ට බෑ මේ පූජනීය නගරෙ ඇතුළේ ලේ හොල්ලන්ට... ඒ වුනත් මට පුළුවන්." ඩැනීගේ පියයුරු මැද්දෙන් සිය අසිපත් තුඩ තැබූ ඔහු එය සෙමින් පහළට, ඇගේ කවාකාර උදරය ඔස්සේ පහළට ගෙන ආවේය. "මට ඕන මම බලාපොරොත්තුවෙන් ආපු දේ." ඔහු ඇයට කීවේය. "මට ඕන ඌ මට පොරොන්දු වෙච්ච ඔටුන්න. ඌ උඹව සල්ලි දීලා ගත්තා, ඒ වුනත් තාම ඒකෙ මිල ගෙවුවෙ නෑ. ඌට කියාපන් ඌ මට පොරොන්දු වුන දේ දෙන්ටයි කියලා. නැත්තම් මම උඹව ආපහු අරන් යනවා. උඹයි උඹේ බිත්තර ටිකයි ඔක්කොම. ඌට පුළුවන් උගේ මලඉලවු අශ්ව පැටියාව තියාගන්ට. මම ඒ අවජාතකයාව කපලා එළියට අරන් ඌට තියලා යන්නම්." සේද කබාය හරහා තද වූ අසිපත් තුඩ ඇගේ නාභිය කිතිකැවුවේ ය. එක් කලෙක ඇගේ සොහොයුරා වූ මේ මිනිසා, විසේරිස්, හඬමින් නැත එක්වරම හඬමින් හා සිනාසෙමින් සිටි බැව් ඇය දුටුවාය.
සිය සේවිකාව වන ජික්වී බියෙන් ගැහෙමින් ඉකිබිඳින ආකාරය ඇයට සිහිනයකින් මෙන් ඇසුනි. විසේරිස් විසින් පැවසූ දෑ ඛාල් වෙනුවෙන් තමාට පරිවර්තනය කරන්නට බැරි යැයි ද, එසේ කලහොත් ඔහු තමාව අසුගේ ගැටගසා බිම දිගේ ඇදගෙන කන්ද මුදුනට යනු ඇතැයි ඇය වැලපුනාය. ඩැනී මේ දැරිය වටා අතක් යැවුවාය. "උඹ බයවෙන්ට එපා. මමම ඛාල්ට කියන්නම්."
විස්තර කරන්නට තරම් අවශ්‍ය වචන තමා දන්නේදැයි ඇයට විශ්වාස නැති විය. එනමුදු ඇය එය පවසා අවසානයේ ඛාල් ඩ්‍රෝගෝ ඩොත්රැකි බසින් යම් කිසිවක් කීවේය. එනයින් තමා කියූ දේ ඔහුට අවබෝධ වූ බැව් ඇයට වැටහිනි. ඇගේ ජීවිතයේ සූර්යයා සිය උස් ආසනයෙන් පහළට බැස්සේය.
"ඌ මොකක්ද කිවුවෙ?" ඇගේ සොහොයුරාව සිටි මේ මිනිසා ඇගෙන් ඇසීය.
ශාලාව කෙතරම් නිහඬතාවයේ ගැලී තිබුනා ද යත් ඩ්‍රෝගෝ තබන තබන පියවරක් පාසා ඔහුගේ කෙස්කළඹේ වූ සීනු රැවුදෙන හඬ පවා ඩැනීට ඇසෙන්නට විය. තඹ පැහැ සෙවනැලි තුනක් මෙන් ඔහුගේ රුධිරාරක්ෂකයින් තිදෙනා ද ඔහු පසුපසින් පැමිණෙන්නට වූහ. ඩනේරිස් ගේ සියොලඟම සීතල වී ගියේය. "එයා කියනවා මිනිහෙකුට පලඳින්ට බය හිතෙන තරම් ලස්සන ඔටුන්නක් ඔයාට දෙනවයි කියලා."
සිනාසුනු විසේරිස් අසිපත පහත්කලේ ය. දුක්මුසුම දර්ශනය එය විය. එදායින් පසු සෑමදාමත් ඇයව රිදවූ, ඇයව හැඬවූ දර්ශනය එය විය... ඔහු සිනාසුනු ආකාරය විය. "එච්චරයි මට ඕන කරන එකම දේ. මට පොරොන්දු වෙච්ච දේ." ඔහු කිවේය.
ඇගේ සූර්යයා ඇය වෙත සමීප වූ පසු ඩැනී ඔහුගේ බඳ වටා අතක් යවා වැළඳගත්තා ය. ඛාල් වදනක් බිනූ අතර ඔහුගේ රුධිරාරක්ෂකයින් ඉදිරියට පිනූහ. ක්වොතෝ විසේරිස් ගේ අත්දෙකින් අල්ලාගත් අතර හග්ගෝ සිය දැවැන්ත අතින් අල්ලා ඇඹරීමෙන් ඔහුගේ මැණික්කටුව බිඳ දැමීය. කොහොලෝ ඔහුගේ අප්‍රාණික අතැඟිලිවලින් අසිපත මුදාගත්තේ ය. සිදුවන්නට යන්නේ කුමක්දැයි මේ වනතුරුත් විසේරිස්ට හැඟීමක් නොවීය. "නෑ." ඔහු මුරගෑවේය. "උඹලාට බෑ මාව අල්ලන්ට. මම තමා මකරා. මම තමා මකරා. මම අභිෂේක ලබන්ටයි යන්නෙ!"
ඛාල් ඩ්‍රෝගෝ සිය ඉණ බැඳි පටිය ගැලවීය. එහි වූ සෑම පදක්කමක්ම මිනිසකු ගේ අතක් තරම් විශාල, අලංකාර කැටයමින් සැරසුනු, තනි රනින් නිමැවුනු ඒවා විය. ඔහු අණක් නිකුත්කලේය. වහල් කෝකියන් විසින් ගිනිමැලයට ඉහළින් එල්ලා තිබුනු දැවැන්ත යකඩ හට්ටියක් ඔසවා එහි වූ ඉස්ටුව බිම හලා නැවතත් එම හට්ටිය ගින්නට උඩින් එල්ලූහ. සිය ඉණපටිය ඒ තුළට විසිකර දැමූ ඩ්‍රෝගෝ රත්රන් උණු වී රත් පැහැයට හැරෙන ආකාරය දෙස කිසිදු හැඟීමක් නැති දෑසින් බලා සිටියේය. ඔහුගේ අගත්ති පැහැ දෑසේ ගිනිදළු නටන'යුරු ඩැනී දුටුවාය. වහලෙකු විසින් ඔහුට අශ්ව ලොමින් කල ඝනකම් කෝකි අත්වැසුම් දෙකක් පිරිනැමූ අතර ඔහු හට්ටිය දෙස බලාගෙනම ඒවා පැළැඳගත්තේ ය.
මරණයට මුහුණදෙන බියගුල්ලෙකු ගේ මුවින් පිටවන ඒ කිසිදු තේරුමක් නොමැති, තියුණු, අඳෝනාත්මක කෑගැසීම විසේරිස් ගේ මුවින් පිටවන්නට විය. ඔහු බිම දෙපය ගසමින්, ඇඹරෙමින්, බලු කුක්කෙකු මෙන් වේදනාවෙන් කෙඳිරිගාමින්, කුඩා දරුවෙකු මෙන් හඬන්නට විය. එනමුදු ඩොත්රැකියෝ ඔහුව තදින් අල්ලාගෙන සිටියහ. මේ වනවිට සෙර් ජෝරා නැවතත් ඩැනීගේ පසෙකට පැමිණ තිබින. ඔහු ඇගේ උරහිස මතින් අතක් තැබීය. "අහකට හැරෙන්ට මගේ කුමාරි. මම බොහොම බැගෑපත්ව ඉල්ලා හිටිනවා."
"මට බෑ." ඇය ආරක්ෂාකාරී අයුරින් සිය උදරයට උඩින් දෑත් බැඳගත්තා ය.
අන්තිමේදී විසේරිස් ඇය දෙස බැලීය. "නංගී, කරුනාකරලා... ඩැනී එයාලට කියාපන්... මගේ ආදරණීය නංගී..."
රත්රන් අඩක් උණු වී උකු තත්ත්වයට පත් වූ පසු එදෙසට නැඹුරු වූ ඩ්‍රෝගෝ හට්ටිය ඔසවාගත්තේ ය. "ඔටුන්න!" ඔහු ගුගුලේය. "මෙන්න. කරත්ත රජාට ඔටුන්නක්!" ඔහු උණු වූ රත්රන් සහිත හට්ටිය විසේරිස් ගේ - එක් කලෙක ඇගේ සොහොයුරාව සිටි පුද්ගලයා ගේ - හිසේ මුනින් අතට නැමීය.
මේ අතිභයානක යකඩ ශිරස්කයෙන් සිය හිස වැසී යද්දී විසේරිස් ටාර්ගේරියන් නැගූ හඬ අමානුෂික, වේදනාත්මක කෑගැසීමක් විය. දැඩි වේගයෙන් බිම ගැසූ ඔහුගේ දෙපා කෙමෙන් වේගය අඩු වී ගොස් අන්තිමේදී නිශ්චල විය. උනු රත්රන් දියර බිංදු පහළට වෑස්සී ඔහුගේ කමිස කබාය මතට වැටුනු අතර එයින් දුම් දමන්නට විය... එනමුදු එහි එකදු ලේ පැල්ලමක්වත් දකින්නට නොවීය.
'එයා මකරෙක් නෙවෙයි!' පුදුමකරවන අන්දමේ ශාන්තභාවයකින් යුතුව ඩැනී සිතුවාය. 'ගින්දරට බෑ මකරෙක්ව මරන්ට.'
Jorah Mormont: “We are in Vaes Dothrak, no one may carry a blade here or shed a man’s blood.”
Wow
ReplyDeleteආ මල්ලී...කොහොමෙයි??? චුටි නැන්දිගෙ පරිවර්තනේ ලස්සනයි නෙහ්?
Deleteස්තූතියි අසංග..!!
Deleteචූලෝටත් ස්තූතියි කමෙන්ට්ස්වලට උත්තර දුන්නට.. :-D
විසෙරිස් ට ඔටුන්නක් හම්බ වුනා එහෙනම් .
ReplyDeleteFigs equals දිඹුල් නෙවෙයි ලු ද pods?
ඔහෙටත් ඕනෙයි එකක්??
Deleteහම්බවුනාලු හම්බවුනාලු..
Deleteදිඹුල් තමාලු.. පොතෙත් එහෙම කියලා තිබ්බලු.. ඒ වුනාට එතෙන්ට දිඹුල් කියලා දැම්මහම මහ නොගැලපෙන ගතියක් ආවනෙ පොම්.. ඒ ගමන ඒක ෆිග් කියලාම තිබ්බා..
Wats so wrong abt that? :-o
Deleteදිඹුල් කියලා දැම්මහම දිඹුල් ගහේ නැගලා හිටිය උදුම්බරා දේවි මතක් වෙනවනෙ.. :-O
Deleteඔයාට උදුම්බරා දේවී මතක් වුනාම මොකදෝ මොකදෝ වගේද?
Deleteහා හා එහෙනම් කමක් නෑ . figs ම කියමුකෝ :P
මෝඩ විසේරියස් , මිනිහාට බැහැ කොහොමත් රජෙක් වෙන්න . තමන්ගෙ එකම නංගිට ආදරේ කරන්න නොදන්න මිනිහ කොහොමද රටක් පාලනය කරන්නෙ.....
ReplyDeleteරජෙක් වෙන්ට ආදරේ කරන්ට දැනගෙන ඉන්ට ඕන නෑ නෙව මැඩම්.. තමන්ගෙ එකම නංගිවත් විකුණන්ට පුළුවන් ජාතියෙ එකා තමා දේශපාලනයෙදි වඩා සාර්ථක වෙන්නෙ.. :-)
Deleteඔව් ඒකත් ඇත්ත , හරි නම් හොඳ රජෙක් රටේ හැම වැසියෙක්ම ආදරෙන් බලා ගන්න ඕනේ . එහෙම රජවරු කොයි කාලෙකවත් නැද්ද?
Deleteඑහෙම රජවරු ඉන්නවා කතන්දරවල, පොත් වල, සුරංගනා කතාවල එහෙම... :-D
Delete[spoilers] u wont find any in this book :P.
Deleteඒ ජාතියෙ කුමාරවරු එහෙම ඉන්නවද දන්නෙ නෑ නේද? :-P
DeleteInnawalu :P
Deleteමාත් මොනවා හරි කියන්ටද??
Deleteකියාන්ට කියාන්ට.. ඔවුවා හිතේ හිර කරන් ඉන්ට හොඳ නෑලු...
DeleteHodor
ReplyDeleteආ මේ ඉන්නෙ.. හොඩෝර් හොඩෝර්! :-)
Deleteසොරි වැරදුනා.
Deleteප්‍රාජේ ප්‍රාජේ
ප්‍රා... ජේ... ප්‍රා... ජේ...
Deleteමාර වැඩේනෙ.. ඕක දිගටම ඔහොම කියාගෙන යනකොට ඇහෙන්නෙ හරියට 'පරාජේ... පරාජේ..' කියනවා වගේ.. :-D
පොහ්...................ඊයේ පෙරේදා දවසක අහම්බෙන් අහුවුනානේ චන්ද්‍රිකා රූපවාහිනියේ යනවා මේ කතාවේ කොටසක්. ඇස් දෙකෙන් විතරක් නෙවෙයි කටත් ඇරගෙන බලාහිටියේ මම.
ReplyDeleteකටත් ඇරන් බලා හිටියා නම් අර 'අර වගේ' කෑල්ලක් ද දන්නෙ නෑ නේද අහුවුනේ... ;-)
Deleteවිචාරක දැන් ඇස් අමාරුව හොඳයි ද? ඒ වුනත් තව ටික දවසක් යනකං ඇස් දෙක වැඩිය මහන්සි කරන්ට එපා.. විවේක ගන්ට..
හොක්කි, හොක්කි ..හූ..ඌඌඌඌ....
ReplyDeleteඋඹට වටිනවද ඔය පොම් පොම්ට ඔහොම හූ කියන්ට... :-D
Deleteඅඩොව් කවුද මේ සීතල කාලේ හූ කියන්නේ?
Deleteබොගේ කෝට් එකට ආසාව ඇත ඇරිලා වගේද?
කාගෙන් හරි මට්ටු වෙන්නෙ නැතැයි :D
Deleteඑකායි....
ReplyDelete