"වේදනාව කියන්නෙ දෙවියන්ගෙන් ලැබුන තෑග්ගක් එඩාර්ඩ් උතුමානනි." ප්‍රධාන මේස්ටර් පයිසෙල් කීවේය. "ඒකෙන් කියැවෙන්නෙ ඇටේ හයිවෙනවා කියලා. තුවාලෙ හොඳවෙනවා කියලා. ඒක නිසා ඒ ගැන ස්තූතිවන්ත වෙන්ට."
"මම ස්තූතිවන්ත වෙන්නම් මේ කකුල ඇදුම්කන එක නැවතුන දාට."
පයිසෙල් කට වැසූ ශරාවක් ඇඳ පසෙකින් වූ මේසය මත තැබීය. "පොපි යුෂ. වේදනාව උහුලන්ට බැරි තරම් වැඩිවෙච්ච වෙලාවට ගන්ට."
"මම දැනටමත් ඕනෑවටත් වඩා වැඩියෙන් නිදාගන්නවා."
"නින්ද තමා හොඳම වෙදනා."
"මම හිතාගෙන හිටියෙ ඔබ තමා හොඳම වෙදනා කියලයි."
පයිසෙල් පාණ්ඩු සිනහවක් පෑවේය. "ඔබතුමා ඔහොම මුරණ්ඩු විදියට ඉන්නවා දකින්ට ලැබීමත් සතුටක් මගේ උතුමානනි." ඔහු ඉදිරියට නැඹුරුව කටහඬ බාලකලේය. "අද උදේ කපුටෙක් ආවා. රැජිණට ලියුමක් එයාගෙ තාත්තාගෙන්. ඔබ දැනගත්තොත් හොඳයි කියලා මම හිතුවා."
"කළු පියාපත් - නපුරු පණිවුඩ." නෙඩ් සැඩපරුස ස්වරයෙන් කීය. "මොකක්ද ඒකෙ තිබුනෙ?"
"ඔබතුමා සෙර් ග්‍රෙගර් ක්ලිගේන් පස්සෙන් සෙබළු යවපු එක ගැන ටයිවින් උතුමානන්ට බොහොම තදේට කේන්ති ගිහිල්ලා. මම බයවුනා ඔය දේ වෙයි කියලා. ඔබට මතක ඇති මම ඕක රාජසභාවෙදි කිවුවා."
"එයාට ඕන නම් කේන්ති ගත්තාවෙ." නෙඩ් කීවේය. සිය කකුල ඇදුම්කන සෑම විටෙකම ජේමි ලැනිස්ටර් ගේ සිනාසෙන මුහුණත් සිය දෑතේ මියගොස් සිටි ජොරී ගේ රුවත් ඔහු ගේ සිතේ ඇඳෙන්නට විය. "එයාට කැමැති තරමක් රැජිණට ලියුම් ලියාපුවාවෙ. බෙරික් උතුමානන් ගියේ රජතුමාගෙ ධජය යටතේ. ටයිවින් උතුමානන් උත්සාහ කරනවානම් රජතුමාගෙ යුක්තිය ඉෂ්ටකරන එකට බාධා කරන්ට, එයා ඒක රොබර්ට් එක්කම බලාගත්තාවෙ. අපේ රජතුමා දඩයම් කරන එක ළඟට වැඩියම ආසකරන දේ තමන්ට අවනත නොවෙන වංශාධිපතීන් එක්ක යුද්ධ කරන එක."
පයිසෙල් වහා පසුපසට වූ අතර ඔහු ගේ මේස්ටර් දම්වැල නද දුන්නේ ය. "ඔබ කියන විදියක්. මම ආයෙමත් හෙට ඔබව බලන්ට එන්නම්." සිය අඩුමකුඩුම ටික වහ වහා එකතුකරගත් මහල්ලා හනික කාමරයෙන් පිටවිය. රැජිණට රහස් කෙඳිරීම සඳහා ඔහු කෙලින්ම රාජකීය නිවස්නය වෙත යන බවට නෙඩ්ට කිසිදු සැකයක් නොවීය. 'ඔබ දැනගත්තොත් හොඳයි කියලා මම හිතුවා.' ඇත්තෙන්ම... සිය පියා ගේ තර්ජන තමාට දැනුම්දෙන මෙන් සෙර්සි ඔහුට උපදෙස් දුන් බවටද ඔහුට කිසිදු සැකයක් නොවීය. සිය ප්‍රතිචාරය නිසා ඇගේ දත්ඇඳි පූට්ටුවී යනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. ඇත්තෙන්ම කියුවහොත්, නෙඩ් පයිසෙල්ට මවා පෙන්වූ තරම් විශ්වාසයක් රොබර්ට් ගේ ප්‍රතිචාරය පිළිබඳව ඔහු තුළ නොතිබින. එනමුදු සෙර්සිට එය දැනගැනීමට හැකියාවක් නොමැත.
පයිසෙල් පිටව ගිය පසු නෙඩ් මීපැණි දැමූ වයින් කෝප්පයක් ගෙන්වා ගත්තේ ය. එය වේදනාව මෙන්ම මනසද මඳක් මුවාකර දැමූවද එය එතරම්ම නරක නොවීය. ඔහුට සිතන්නට අවැසිව තිබින. දහස්වන වතාවටත් ඔහු තමාගෙන්ම ඇසුවේ මේ සම්බන්ධයෙන් ජොන් ඒරින් කුමක් කරන්නට ඇතිද යන්නයි. ඔහු තමා දැනගත් දේ මත ක්‍රියාකරන්නට පෙරම මැරුම් කෑවාද? නැතහොත් එසේ ක්‍රියාකරන්නට ගොස් මැරුම් කෑවාද?
සමහරවිටෙකදී වියපත් මිනිසකු ගේ දෑසට හසුනොවන දේ කුඩා දරුවකු ගේ අහිංසක ඇසට හසුවන සැටි විස්මයජනකය. යම් දිනෙක, සන්සා යමක් කමක් තේරුම්ගත හැකි තරම් වැඩුනු පසු, ඇගේ කතාව නිසා තමාට මෙතෙක් කලක් සිතාගත නුහුනු දේ පැහැදිලි වූ සැටි ඔහු ඇයට කියාදෙනු ඇත. 'එයා කොහෙත්ම අර නාකි බේබදු රජතුමා වගේ කෙනෙක් නෙවෙයි' ඇය කීවාය. ඇය එය කීවේ කරුනු නොදැන හා තරහින් නමුදු ඒ තුළ ඇති සරල සත්‍යය ඔහුට වහා අවබෝධ විය. එය මරණය තරම්ම සීතල සත්‍යයක් විය. මේ වනාහි ජොන් ඒරින් මැරුම් කෑ කඩුව බව නෙඩ් වටහාගත්තේ ය. එමෙන්ම එය රොබර්ට්ව ද මරාදමනු ඇත. සෙමින් සෙමින් නමුදු නිසැකවම එය රොබර්ට්ව ද මරාදමනු ඇත. බිඳුනු පාදයක් කාලයත් සමග සුව වන නමුදු පාවාදීම් ඔබේ සිත ඇතුළේ පැසවමින් ඔබේ ආත්මය හලාහල විෂෙන් පුරවාලයි.
ප්‍රධාන මේස්ටර් පිටව ගොස් පැයකට පමණ පසු සුළැඟිල්ලා ඔහු හමුවීමට ආයේය. ඔහු කළු පැහැ නූලෙන් පපුව මත කවට කුරුල්ලකු ගේ රුවක් ගෙත්තම් කල දුඹුරු පැහැ කබායක් හා සුදු සහ කළු ඉරි වැටුනු සළුවක් පැළැඳ සිටියේය. "මට ගොඩක් වෙලා රැඳෙන්ට බැහැ මගේ උතුමානනි. ටන්ඩා ආර්යාව මාව දවල් කෑමට බලාපොරොත්තු වෙනවා. කිසිම සැකයක් නැහැ එයා හොඳ වහුපැටියෙක් රෝස්කරලා ඇති. එයාගෙ අර මහත දුව තරම්ම තරබාරු වස්සෙක් වුනොත් එහෙම නම් මම කාලා කාලා පැලිලා මැරෙයි. ඉතින්, කොහොමද ඔබේ කකුල?"
"හරිම දැවිල්ලයි, රිදෙනවා. ඒක කසනකොට මට නිකං පිස්සු වගේ."
සුළැඟිල්ලා ඇහිබැමක් එසවීය. "මීට පස්සෙවත් පරිස්සම් වෙන්ට, ඒක උඩට අශ්වයො වට්ටගන්නෙ නැතුව ඉන්ට. මම ඔබට අණකරනවා ඉක්මනින්ම සනීප වෙන්ටයි කියලා. රාජධානිය බොහොම අවිනීත තත්ත්වයකට පත්වේගෙනයි එන්නෙ. වාරිස්ට බටහිර පැත්තෙන් එන බොහොම අසුබ කෙඳිරීම් තමා අහන්ට ලැබිලා තියෙන්නෙ. කුලී හේවායොයි නිදහස් අසරුවොයි කාර්ස්ටලී රොක්වල පොදි ගැහෙනවලු."
"රජතුමාගෙන් මොකුත් පණිවුඩයක් තියෙනවද? එයා තව කොච්චර කාලයක් ඔහොම දඩයම් කර කර ඉන්ට බලාපොරොත්තු වෙනවද?"
"ඇතිවෙලා තියෙන තත්ත්වෙ හැටියට නම් මම හිතන්නෙ එයා කැලේටම වෙලා ඉඳියි ඔබයි රැජිණයි දෙන්නම නාකිවෙලා මැරිලා යනකම්. එහෙම නැත්තං එයා ඔය මොකෙක් හරි මරාගත්ත ගමන් ඉක්මනටම ආපහු එයි. අහන්ට ලැබෙන විදියට නම් එයාලට අර සුදු ගෝනා හම්බවෙලා... ඇත්තම කියනවා නම් ඒ සතාගෙ ඇටකටු ටික. අපේ රජතුමාට කලින් ඌව වෘකයො රංචුවකට මුනගැහිලා. උං ඉතුරුකරලා ගිහින් තියෙන්නෙ අං තට්ටුවයි කුරයි විතරයිලු. රොබර්ට්ට හොඳටෝම කේන්ති ගිහිල්ලා. ඊටපස්සෙ එයාට අහන්ට ලැබිලා තියෙනවා වනාන්තරේ මැද්දෙ ඉන්න මහ විශාල වල් ඌරෙක් ගැන. ඊටපස්සෙ ඉතින් එයාව නවත්තන්ට ලැබෙන්නෙ නෑ නෙව. ජොෆ්රි කුමාරයා අද උදේ ආපහු ආවා රොයිස්ලයි, සෙර් බේලන් ස්වෝනුයි, කණ්ඩායමේ තව විසි දෙනෙකුයි එක්ක. අනිත් අය තාමත් රජතුමාත් එක්ක."
"දඩබල්ලා?" නෙඩ් රැවුම් මුහුණින් යුතුව ඇසීය. සිය පියාට එක්වීම පිණිස ජේමි ලැනිස්ටර් නගරයෙන් පලා ගිය පසු මුලු ලැනිස්ටර් පිරිසෙන්ම නෙඩ් ගේ අවධානය වැඩිපුරම යොමුවූයේ සැන්ඩෝර් ක්ලිගේන් කෙරෙහි විය.
"ආහ්! මිනිහා ජොෆ්රිත් එක්ක ආපහු ආවා. ආව ගමන් කෙලින්ම ගිහින් තියෙන්නෙ රැජිණව මුනගැහෙන්ට. බෙරික් උතුමානන් එයාගෙ අයියාගෙ බෙල්ල කපලා මරලා දාන්ට ගියාය කියන කතාව මිනිහට අහන්ට ලැබෙන මොහොතෙදි ඒ පලාතෙවත් නොහිට කැරපොත්තෙක් වගේ දුවලා ගිහින් හැංගෙන්ට තියෙනවා නම් මම රිදී කාසි සීයක් දෙනවා."
"අන්ධ මිනිහෙක් වුනත් දන්නවා දඩබල්ලා එයාගෙ අයියාව පිළිකුල් කරනවා කියලා."
"ආහ්! ඒ වුනත් ග්‍රෙගර් ඉන්නෙ එයාට පිළිකුල් කරන්ට. ඔබට මරලා දාන්ට නෙවෙයි. අපේ ඩොන්ඩරියන් අර කන්ද අතුගාලා දැම්මට පස්සෙ ක්ලිගේන් ඉඩකඩම් ටිකයි ඔක්කොම ආදායමයි අයිතිවෙන්නෙ සැන්ඩෝර්ට. ඒ වුනත් මම නම් හිතන්නෙ නෑ මිනිහා අපට ස්තූති කරන්ටවත් හිතයි කියලා. එයා ඒ ජාතියෙ මිනිහෙක් නෙවෙයි. ඉතින් දැන් ඔබ මට සමාවෙන්ට ඕන. ටන්ඩා ආර්යාව එයාගෙ අර තර වස්සාත් එක්ක මම එනකම් බලන් ඉන්නවා."
දොර වෙතට යන අතරේදී මේසය මත තිබුනු ප්‍රධාන මේස්ටර් මැලියන් ගේ දැවැන්ත පුස්තක රත්නය සුළැඟිල්ලා ගෙ නෙත ගැටින. මොහොතකට නැවතුනු ඔහු නිකමට මෙන් කවරය පෙරලා බැලීය. "'රාජධානි සප්තකයේ උදාර වංශවත් පවුල්වල ඉතිහාසය හා පෙළැන්තිය: බොහෝ උසස් වංශාධිපතියන්, කුලීන ආර්යාවන් හා ඔවුන් ගේ දරුවන් ගේ විස්තර සමගින්.' මෙන්න තියෙනවා මම දැකලා තියෙන කියවන්ට අමාරුම පොතක්. නිදි බෙහෙතක්ද මගේ උතුමානනි?"
ඔහුට සියල්ලම කිවයුතු යැයි නෙඩ්ට එක් මොහොතකට සිතුනේය. එනමුදු සුළැඟිල්ලා ගේ මේ අනවශ්‍ය විහිළුවල ඔහුට හිරිහැරදායී යම් කිසිවක් තිබින. මේ මිනිසා ඕනෑවටත් වඩා ශූරයකු විය. ඔහු ගේ මුවේ නිතරම සමච්චල්සහගත සිනාවක් රැඳී පැවතින. "ජොන් ඒරින් අසනීප වෙද්දි කියව කියවා හිටියෙ ඔය පොත." නෙඩ් සුපරීක්ෂාකාරී ස්වරයකින් කීවේ සුළැඟිල්ලා ගේ ප්‍රතිචාරය කවරාකාර වේදැයි දැනගැනීමට ය.
සිතූ ලෙසින්ම ප්‍රතිචාරය නර්මාලාපයක් විය. "එහෙමනම් ඉතින් මරණය බොහොම සුන්දර සහනයක් වෙන්ට ඇති." හිස නැමූ පෙටයර් බේලිෂ් පිටව ගියේය.
එඩාර්ඩ් ස්ටාර්ක් තමාටම අවලාදයක් නගාගත්තේ ය. තමන්ගේ සෙබළුන් හා සේවකයින් හැරුනු විට මේ නගරයේ ඔහු විශ්වාසය තැබූ මිනිසුන් ගනණ අල්ප විය. සුළැඟිල්ලා කැට්ලින්ට සැඟව ගැනීමට උදවුකර නෙඩ් ගේ පරීක්ෂණවලට ද සහාය වූ බව සැබෑවකි. එනමුදු එදා රෑ ජේමි හා ඔහුගේ සෙබළ මුලුව තමා වට කල විට ඔහු තම ආරක්ෂාව පතා දිව ගිය අන්දම තවමත් නෙඩ් ගේ සිතේ රැවු දුන්නේ ය. වාරිස් ඊටත් වඩා අන්ත විය. පක්ෂපාතීත්වය ගැන ඔහු දොඩවන නන්දෙඩවිලි කෙතරම් වුවද මේ පණ්ඩකයා බොහෝ දේ දැන සිටි නමුදු ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරී වූයේ ඉතා අඩුවෙනි. ගතවන සෑම දිනක් පාසාම ප්‍රධාන මේස්ටර් පයිසෙල් රැජිණ ගේ මිනිසකු බව වඩ වඩාත් පැහැදිලි විය. සෙර් බැරිස්ටාන් කිසිදු බුරුලක් නැති, අනම්‍ය, මහලු මිනිසකු විය. සිය රාජකාරිය කරගෙන ඉන්නැයි ඔහු නෙඩ්ට පවසනු නොඅනුමානය.
කාලය අතිශයින්ම කෙටි විය. රජතුමා සිය දඩයම් සවාරිය නිම කර හැකි විගසින් නැවත පැමිණෙනු ඇති අතර නෙඩ් තමා සොයාගත් සියල්ල සමගින් ඔහු හමුවට යා යුතුය. තව තෙදිනකින් සන්සාට හා ආර්යාට මෙයින් පිටව යා හැකිවන පරිදි වින්ඩ් විච් නමැති බ්‍රාවොසි නෞකාවක් සොයාගන්නට වයොන් පූල් විසින් සමත්ව තිබින. අස්වනු නෙලීමේ උත්සවයට පෙර ඔවුන් වින්ටර්ෆෙල්වලට ගොස් සිටිනු ඇත. ඔහු ගේ පමාවට සමාවක් වශයෙන් ඔවුන් ගේ ආරක්ෂාව ගැන ඇති ප්‍රමුඛතාව නෙඩ්ට තවදුරටත් යොදාගත නොහැකි විය.
එනමුදු පෙරදා රැයේ ඔහු රේගාර් ගේ දරු දෙදෙනා සිහිනෙන් දුටුවේය. ටයිවින් උතුමානන් විසින් සිය සෙබළුන් දෙදෙනෙකු ගේ ලේ රතු පැහැ සළුවලින් එතූ මළකඳන් දෙක යකඩ සිහසුන පාමුල තබා තිබින. ඔහු ඇත්තෙන්ම කපටියකු විය. රත් පැහැ සළුව නිසා ලේ පැල්ලම්වල භයානකත්වය දිස් වූයේ යාන්තමිනි. පුංචි කුමරිය පාවහන් කිසිත් නොමැතිව තවමත් රාත්‍රි නිදන ඇඳුම පිටින් සිටි අතර පුංචි කුමරා... පුංචි කුමරා...
නැවතත් එවැන්නක් සිදුවීමට ඉඩදීමට නෙඩ්ට කොහෙත්ම හැකියාවක් නොවීය. රාජධානියට තවත් පිස්සු රජෙක් නුවුමනාය. තවත් පලිගැනීමක් හා තවත් ලේ හැලීමක් නුවුමනාය. මේ දරුවන් රැකගන්නට ඔහු කුමක් හෝ කල යුතුය.
රොබර්ට් වනාහි සාමාන්‍යයෙන් සමාව දෙන සුළු පුද්ගලයකු විය. සෙර් බැරිස්ටාන් යනු ඔහුගෙන් සමාව ලද එකම සතුරා නොවේ. ප්‍රධාන මේස්ටර් පයිසෙල්, වාරිස්, බේලන් ග්‍රේජෝයි උතුමානන්. මේ හැම කෙනෙක්ම වරක් රොබර්ට් ගේ සතුරකුව සිටියහ. එනමුදු යටත් බව ප්‍රකාශ කිරීමෙන් පසුව මේ හැම කෙනෙකුටම රොබර්ට් ගේ මිත්‍රත්වයේ දෑත් දිගු වූ අතර ඔවුන් සතුව පැවැති තනතුරු, ගරුනම්බු එලෙසින්ම පවත්වාගෙන යාමේ අවස්ථාවද හිමිවිය. මිනිසකු අවංක සහ නිර්භීත වන තාක් රොබර්ට් ඔවුන්ට ගෞරවනීය සතුරකුට හිමි ගරු බුහුමන නොඅඩුවම ලබා දුන්නේය.
එනමුදු මෙය හාත්පසින්ම වෙනස් දෙයක් විය. මේ වනාහි අඳුරේ සිට විස කැවීමකි. ආත්මය පසාරුවන සේ පිහියෙන් ඇනීමකි. ඔහු මෙයට කිසිදා සමාවක් නොදෙනු ඇත. රේගාර්ට කලාක් මෙන් ඔහු මොවුන්ගෙනුත් පලිගනු ඇත. ඔහු මොවුන් සැවොම මරාදමනු ඇත.
එනමුදු ඔහුට නිහඬව සිටීමට හැකියාවක් නොමැත. ඔහුට රොබර්ට් වෙනුවෙන් යුතුකමක් තිබේ. රාජධානිය වෙනුවෙන් යුතුකමක් තිබේ. ජොන් ඒරින් ගේ මතකය වෙනුවෙන් යුතුකමක් තිබේ... බ්‍රැන් වෙනුවෙන් යුතුකමක් තිබේ. බ්‍රැන් නිසැකවම මේ සම්බන්ධයෙන් යමක් දැනගන්නට ඇත. එසේ නොමැතිනම් ඔවුන්ට ඔහුව මරා දැමීමට උවමනා වූයේ ඇයි?
අපරභාගයේදී ඔහු ටොමාර්ඩ්ව කැඳෙවුවේ ය. ලා දුඹුරු පැහැ පැති රැවුලකින් යුතු මේ තරබාරු සෙබළා ඔහු ගේ දරුවන් විසින් මහත ටොම් යනුවෙන් හැඳින්වූහ. ජොරී මියගිය පසු, ඇලන් බෙරික් උතුමානන් හා පිටව ගිය පසු ටොම් දැන් ගෘහාරක්ෂක බලකායේ නායකයා වශයෙන් කටයුතු කරමින් සිටියි. මේ දැනුම නෙඩ්ව මඳක් නොසන්සුන් කරවන්නට සමත් විය. ටොමාර්ඩ් වනාහි ශක්තිමත්, කාරුණික, පක්ෂපාතී, පහසුවෙන් විඩා නොවැටෙන දක්ෂ සෙබළෙකු විය. එනමුදු දැන් ඔහු පනස්වන වියට ආසන්නව සිටියේය. තරුණ කාලයේදී පවා ඔහු එතරම් කඩිසර ක්‍රියාශීලී අයෙකු නොවීය. සමහරවිට නෙඩ් විසින් කඩිමුඩියේ තම සෙබළ මුලුවෙන් බාගයක් - ඔහු ගේ හොඳම සෙබළුන් - බෙරික් උතුමානන් හා පිටත්කර හැරීම මෝඩ ක්‍රියාවක් වන්නට ඇත.
"මට උඹේ උදවු ඕන." කාමරයට පැමිණි ටොමාර්ඩ් අමතා නෙඩ් පැවසීය. සිය ස්වාමියා ඉදිරියට කැඳවන සෑම විටෙකම මෙන් ඔහු දැනුත් යම් බිය මුසු හැඟීමකින් පෙලෙමින් සිටියේය. "මාව දෙව්වනයට එක්කරන් පලයන්."
"ඒක එච්චරම ඥානාන්විත වැඩක් නෙවෙයි නේද මයෙ උතුමානනි? ඔය කකුල තාම හොඳ නෑ නේද?"
"ඒක නම් එහෙම තමා. ඒත් මේ වැඩේ කරන්ටම ඕන."
ටොමාර්ඩ් වාර්ලිව කැඳෙවුවේ ය. දෙදෙනාගේම උරහිසට උඩින් අතක් දමාගත් නෙඩ් අසීරුවෙන් පඩිපෙළෙන් බැසගත්තේ ය. "මුරකාවල් දෙගුන කරන්ට මට ඕන." අංගනය හරහා පැන පැන යන අතරේදී නෙඩ් ටොමාර්ඩ් අමතා කීය. "මගේ අවසරයක් නැතුව කිසිම කෙනෙකුට හස්තයේ කුළුණෙන් පිටට යන්ටත් බෑ ඇතුළුවෙන්ටත් බෑ."
ටොම් ඇසිපිය සැලුවේය. "මයෙ උතුමානනි, ඇලනුයි අනිත් අයයි ගියාට පස්සෙ අපි ටිකක් අමාරුවෙන් තමා වැඩ කරන්නෙ-"
"ඒක පොඩි කාලෙකට විතරයි. මුර කාලෙ වැඩි කරපන්."
"ඔබතුමාගෙ කැමැත්තක් මයෙ උතුමානනි. මට අහන්ට පුළුවන්ද ඇයි-"
"එපා." නෙඩ් පිළිතුරු දුන්නේය.
දෙව්වනය කිසිවෙකුත් නැති පාළු ස්ථානයක් විය. දකුණුකරයේ දෙවිවරුන් ගේ වාසභවනක් වූ මේ නගරය තුළ එය මහ අරුමයක් නොවීය. සෙබළුන් දෙදෙනා විසින් නෙඩ්ව හදවෘක්ෂය අසල තණබිස්සේ වාඩි කරවද්දී ඔහු ගේ පාදය වේදනාවෙන් ගිනිගෙන දැවෙමින් තිබින. "බොහොම ස්තූතියි!" සිය වංශයේ සලකුණින් මුද්‍රා තැබූ ලිපියක් ඔහු කමිස අත තුළින් පිටතට ගත්තේය. "මේක හැකි ඉක්මනින් ගිහින් බාරදීපන්."
නෙඩ් විසින් ලිපි කවරයේ ලියා තිබුනු නම දුටු ටොමාර්ඩ් වියවුල් සිතින් සිය දිවෙන් දෙතොල් තෙමාගත්තේ ය. "මයෙ උතුමානනි..."
"මම කියපු විදියට කරපන් ටොම්."
ඔහු මෙසේ දෙව්වනයේ නිහඬතාව මැද්දේ කෙතරම් වේලාවක් ගතකලේදැයි නෙඩ්ට හරියටම නිච්චියක් නොවීය. එය ඉතා සාමකාමී තැනක් විය. ඝනකම් ප්‍රාකාර විසින් බලකොටුවේ කලිකලහය මුවා කොට තිබින. කුරුල්ලන් ගේ කිචිබිචිය ද, තණපත් අතර සැඟවුනු රැහැයියන් ගේ නාදය ද, මඳ සුළඟේ තුරු පත් නගන සිලි සිලි හඬ ද ඔහුව නිවා සනහන්නට විය. මෙහි වූ හදවෘක්ෂය කිසිදු මුහුණක් නොකෙටූ දැවැන්ත ඕක් ගසක් වුවද සිය දෙවිවරුන් ගේ ආමුඛය නෙඩ් ස්ටාර්ක් විසින් හඟින්නට විය. ඔහු ගේ පාදයේ වේදනාව පවා අඩු වූවාක් මෙන් දැනින.
සැඳෑ හිරු රැස් විසින් ප්‍රාකාර හා කුළුණුවලට ඉහළින් වූ වළාකුළු රත් පැහැ කරද්දී ඇය ඔහු සොයා පැමිණියා ය. ඔහු පවසා තිබුනු පරිදිම ඇය කිසිදු පිරිවරක් නොමැතිව තනිවම ඔහු සොයා පැමිණියා ය. අද ඇය ඉතාමත් සරල කොළ පැහැති ඇඳුමක් හැඳ සමින් කල බූට්ස් සපත්තු පැළැඳ සිටියාය. ඇය සිය දුඹුරු පැහැ කබායේ හිස්වැස්ම පහත්කල විට රජතුමා ගේ අතුල් පහරින් ඇගේ මුහුණේ ඇති වූ තැල්ම තවමත් පැහැදිලිවම දැකිය හැකි විය. එහි වූ රතු පැහැය මැකී ගොස් ඉදිමුම බැස තිබුනද එය දුටු කිසිවෙකුටත් ඒ කුමක්දැයි හඳුනාගැනීම අසීරුවක් නොවීය.
"ඇයි මෙතන?" ඔහු අභිමුව සිටගෙන සිටි සෙර්සි ලැනිස්ටර් ඇසුවා ය.
"දෙයියන්ට අපිව පේන්ට ඕන නිසා."
ඇය ඔහු පසෙකින් තණබිම මත වාඩිවුනාය. ඇගේ සෑම චලනයක්ම ඉතා මනෝඥ විය. ඇගේ කැරැළි ගැසුනු තඹවන් කෙහෙරැළි මඳ සුළඟේ නටන්නට විය. ඇගේ දෙනෙත් ගිම්හානයේ තුරු පත් මෙන් කොළ පැහැයෙන් බබළන්නට විය. ඇය මෙතරම් රූමත් බව නෙඩ් බොහෝ කලෙකින් දැක නොතිබින. එනමුදු ඔහු දැන් එය දුටුවේය. "මම දන්නවා ජොන් ඒරින් මැරුනෙ මොකක් නිසාද කියලා." ඔහු කීවේය.
"ඇත්තට?" රැජිණ බැළලියක් මෙන් පරීක්ෂාකාරී අයුරින් ඔහු ගේ මුහුණ නිරීක්ෂණය කලාය. "ඒකද උඹ මට මෙතැනට එන්ට කිවුවෙ ස්ටාර්ක් උතුමානනි? මට ප්‍රහේලිකා කියන්ටද? එහෙමත් නැත්තම් උඹේ බිරිඳ මගේ මල්ලිව පැහැරගත්තා වගේ උඹ මාවත් පැහැරගන්ටද යන්නෙ?"
"ඇත්තෙන්ම එහෙම දෙයක් හිතුවා නම් ඔබ මෙතැනට එන්නෙ නෑ." නෙඩ් මෘදු අයුරින් ඇගේ කම්මුල ස්පර්ශ කලේය. "එයා මීට කලිනුත් මෙහෙම ගහලා තියෙනවද?"
"එකපාරක් නැත්තම් දෙපාරක්." ඇය ඔහු ගේ ස්පර්ශයෙන් ඈත් වෙමින් පැවසුවා ය. "ඒ වුනාට මීට කලින් කවදාවත් මූනට ගහලා නෑ. ජේමි ඒක දැක්කානම් එයාව මරලා දාවි, ඒකෙන් එයාගෙ ජීවිතේට හානියක් වුනත් කමක් නෑ කියලා." සෙර්සි ඔහු දෙස විරෝධාත්මක බැල්මක් හෙලුවාය. "මගේ සහෝදරයා උඹේ යාළුවට වඩා සිය ගුණයක් හොඳයි."
"ඔබේ සහෝදරයා ද? නැත්තම් ඔබේ ආදරවන්තයා ද?"
"දෙකම." ඇය සත්‍යයෙන් පලායාමට තැත් නොකලාය. "අපි පුංචි එවුන් දෙන්නෙක් කාලෙ ඉඳන්ම. ඇයි බැරි? ටාර්ගේරියන්ලා අවුරුදු තුන්සීයක් තිස්සෙ සහෝදර සහෝදරියො කසාද බඳිනවා, එයාලගෙ ලේ පිරිසුදුව තියාගන්ට. අපි දෙන්නා සිරුරු දෙකක ජීවත්වෙන එක පුද්ගලයෙක්. අපි දෙන්නා එක ගර්භාෂයක් හවුලෙ බෙදාගෙන ජීවත්වුනා. එයා මේ ලෝකෙට ආවෙ මගෙ කකුලකින් අල්ලගෙන. එහෙමයි අපේ නාකි මේස්ටර් කිවුවෙ. එයා මං ඇතුළෙ ඉන්නකොට මට දැනෙන්නෙ හරියට... හරියට මම සර්වසම්පූර්ණයි කියලයි." ඇගේ මුවේ සිනාහවක් ඇඳී මැකී ගියේය.
"මගේ පුතා බ්‍රැන්..."
සෙර්සි ඉවත නොබැලුවා ය. ඇයට අඩුම තරමේ ඒ ගෞරවය දිය යුතු විය. "එයා අපි දෙන්නව දැක්කා. උඹ උඹේ දරුවන්ට ආදරෙයි. එහෙම නේද?"
තරගාවලිය දා උදෑසන රොබර්ට් ද මේ ප්‍රශ්නයම ඔහුගෙන් අසා තිබින. නෙඩ් ඇයට ද එම පිළිතුරුම දුන්නා ය. "මගේ මුලු හදවතින්ම."
"ඒ තරම්ම මමත් මගේ ළමයින්ට ආදරෙයි."
එතැනට ආවොත්, නෙඩ් සිතුවේය. රොබ්, සන්සා, ආර්යා, බ්‍රැන් හා රිකන් ගේ ජීවිතයට එදිරිව මම නොදන්නා දරුවකු ගේ ජීවිතය පරදුවට තබන්නට වුවහොත්, මම කුමක් කරාවිද? ඊටත් වඩා කැට්ලින් කුමක් කරාවිද? ඒ ඇගේ කුසින් උපන් දරුවන්ට එදිරිව ජොන් ස්නොව් වූවොත් ඇය කුමක් කරාවිද? ඔහුට එය සිතාගත නොහැකි විය. තමාට කිසිදා එවැන්නක් දැනගැනීමට ද නොලැබේවායි ඔහු පැතීය.
"ළමයි තුන්දෙනාම ජේමිගෙ." ඔහු කීවේය. එය ප්‍රශ්නයක් නොවීය.
"දෙයියන්ට ස්තූති වෙන්ට."
'බීජය ශක්තිමත්', ජොන් ඒරින් මරණ මංචකයේ හිඳ කීවේය. එය එසේම විය. අර සියළුම අවජාතකයින්, රාත්‍රිය මෙන් කළු පැහැ හිසකෙසින් යුතු රොබර්ට් ගේ අවජාතකයින් ඊට සාක්ෂි විය. මීට වසර අනූවකට පමණ පෙර සිදු වූ ගෝනකු හා සිංහයකු අතර කෙරුනු අවසාන සහවාසය ප්‍රධාන මේස්ටර් මැලියන් ගේ පොතේ අපූරුවට විස්තර කර තිබින. ටියා ලැනිස්ටර් හා ගොවෙන් බරතියන්ට ලැබුනු එකම දරුවා, බිළිඳු වියේදීම මියගිය ඒ අතදරුවා, තද කළු පැහැ හිසකෙසින් යුතු පිරිමි දරුවකු විය. ඊටත් වසර තිහකට පෙරාතුව පිරිමි ලැනිස්ටර්වරයකු විසින් බරතියන් තරුණියක ආවාහයට ගෙන තිබින. ඇය ඔහුට දාව දියණියන් තිදෙනකු හා එක් පුතකු ප්‍රසූත කර තිබුනු අතර ඔවුන් සියල්ලෝම කළු පැහැ හිසකෙසින් යුක්ත වූහ. මැලියන් ගේ පුස්තකය තුළ කෙතරම් ගැඹුරට, කෙතරම් අතීතයට හාරා බැලුවද, ඒ සැමවිටම ඔහුට සොයාගත හැකි වූයේ රන් පැහැය සෑමවිටම කළු පැහැයට පරාද වූ වග විය.
"අවුරුදු දොළහක්! කොහොමද එච්චර කල් ඔබට රජතුමාගෙන් දරුවො ලැබුනෙ නැත්තෙ?"
ඇය නැවත වරක් විරෝධාත්මක අයුරින් හිස එසෙවුවා ය. "උඹේ රොබර්ට් නිසා මට එකපාරක් දරුවෙක් ලැබෙන්ට හිටියා." ඇගේ ස්වරය අවඥාවෙන් පිරී තිබින. "ජේමි හොයාගත්තා ගෑනියෙක්ව, දරුගැබ ගබ්සා කරලා දාන්ට. රොබර්ට්ට කවදාවත් දැනගන්ටවත් ලැබුනෙ නෑ. ඇත්තටම කියනවා නම් එයාට මාව අල්ලන්ට දෙන එකවත් මට රිස්සුවෙ නෑ. මම දැන් අවුරුදු ගානකින් එයාට මගෙත් එක්ක එකතුවෙන්ට දුන්නෙ නෑ. එයාගෙ වේස ගෑනු අමතක වෙලා එයා මගේ ඇඳට නැග්ගහම එයාව සතුටුකරන්ට පුළුවන් වෙන වෙන ක්‍රම මම දන්නවා. රජතුමා කොච්චර බීලාද ඉන්නෙ කියනවා නම් අපි මොනා මොනා කලාද කියන එක පහුවෙනිදා උදේට එයාට අමතකයි."
ඔවුන් සියල්ලන්ම මෙතරම් අන්ධව සිටියේ කෙසේද? සත්‍යය සෑමදාමත් ඔවුන් ගේ දෑස් ඉදිරියේ විය. සත්‍යය සෑමදාමත් අර දරුවන් ගේ මුහුණු මත සනිටුහන් වී තිබින. නෙඩ්ට අදහාගත නොහැකි විය. "රොබර්ට් සිංහාසනේට නැගපු දවස මට අද ඊයෙ වගේ මතකයි. එයා හැම අඟලක් ගානෙම රජෙක් වගේ හිටියෙ. කොච්චර තේජසක් ද. කොච්චර කඩවසම් ද. තව ගෑනු දාහක් ගත්තොත් උන් හැමෝම එයාට පණ වගේ ආදරය කරයි. ඔබ එයාට මෙච්චර වෛර කරන්ට එයා මොකක්ද ඔබට කලේ?"
ඇගේ දෑස ගිනිගෙන දැවුනේය. හරියටම සැඳෑ අඳුරේ නටන කොළ පැහැ ගිනිදළු මෙන්, ඇගේ වංශ සලකුණ වන සිංහ ධේනුවක ගේ මෙන් ඒ දෑස් කොළ පැහැයෙන් දිලිසුනේ ය. "අපේ මංගල රෑ, අපි දෙන්නා එක ඇඳක නිදාගත්ත පළවෙනි රෑ, එයා මට කතාකලේ උඹේ නංගිගෙ නමින්. එයා මගේ ඇඟ උඩ, මගේ ඇතුළෙ ඉන්න ගමන් මට කෙඳිරුවා 'ලියානා' කියලා."
නෙඩ් ස්ටාර්ක් ගේ දෑස් ඉදිරියේ නිල් පැහැ රෝස මල් පෙති මැවී පෙනෙන්නට විය. මොහොතකට ඔහුට හඬන්නට උවමනා විය. "මම දන්නෙ නෑ ඔබලා දෙන්නාගෙන් කාටද මම වැඩියෙන් අනුකම්පා කරන්නෙ කියලා."
රැජිණ එයින් විස්මයට පත් වූ බැව් පෙනින. "උඹේ අනුකම්පාව උඹ ගාවම තියාගනිං ස්ටාර්ක් උතුමානනි. මට ඒකෙන් බිංදුවක්වත් ඕන නෑ."
"ඔබ දන්නවද මම දැන් මොකක්ද කරන්ට අවශ්‍ය කියලා?"
"අවශ්‍ය?" ඇය ඔහු ගේ පාදය මත, දණහිසට මඳක් ඉහළින් අතක් තැබුවා ය. "ඇත්ත මිනිහෙක් නම් කරන්නෙ එයාට කරන්ට උවමනා දේ. කරන්ට අවශ්‍ය දේ නෙවෙයි." ඇගේ අතැඟිලි සෙමින් සෙමින් ඔහු ගේ කළවෙහි පිරිමැදෙමින් ඔහුව පොළොඹවාලන්නට තැත් දැරීය. "මේ රාජධානියට දැන් හොඳ ශක්තිමත් හස්තයක් ඕන. ජොෆ් නිසි වයසට එන්ට තව අවුරුදු ගානක් යනවා. කාටවත්ම ආයෙමත් යුද්ධයක් උවමනා නෑ. මටත් උවමනා නෑ." ඇගේ අතැඟිලි ඔහු ගේ මුහුණ, ඔහු ගේ කෙහෙරැළි ස්පර්ශ කරන්නට විය. "මිතුරන්ට සතුරො වෙන්ට පුළුවන් නම් සතුරන්ටත් පුළුවන් මිතුරො වෙන්ට. උඹේ බිරිඳ ඉන්නෙ ලීග දාස් ගානක් ඈත. ජේමි නගරයෙන් පැනලා ගිහිල්ලා. මට කරුනාවන්ත වෙයන් නෙඩ්. මම දිවුරලා පොරොන්දු වෙනවා, උඹ ඒ ගැන කවදාවත් පසුතැවෙන එකක් නෑ."
"ඔබ ඔය පොරොන්දුවම ද ජොන් ඒරින්ට දුන්නෙත්?"
ඇය ඔහුට අතුල් පහරක් දුන්නාය.
"මම ඒක ගෞරවනීය සලකුණක් විදියට පළඳින්නම්." නෙඩ් වියළි ස්වරයෙන් කීය.
"ගෞරවය?" ඇය බිමට කෙල ගැසුවාය. "උඹ කොහොමද ඔය විදියට බොරුවට උදාර වංශවත් උතුමානන් කෙනෙක් විදියට රඟපාන්නෙ? උඹ හිතන්නෙ මම කවුරුයි කියලද? උඹටත් උඹේම කියලා අවජාතකයෙක් ඉන්නවා. මම ඌව දැක්කා. කවුද උගෙ අම්මා? උඹ දූෂණය කරලා දාපු කවුරුහරි ඩෝර්නිෂ් ගැමි කෙල්ලක් ද? වේස ගෑනියෙක් ද? එහෙමත් නැත්තම් ඒ අර අවාසනාවන්ත සහෝදරී අශාරා ඩේන් ද? මම අහලා තියෙන විදියට ඒකි මුහුදට පැනලා මැරුනා. ඇයි ඒ? උඹ ඒකිගෙ අයියාව මරලා දාපු නිසා ද? එහෙමත් නැත්තම් උඹලා දෙන්නගෙ දරුවාව උඹ ඒකිගෙන් උදුරගත්තු නිසා ද? මට කියහං, මගේ උදාර එඩාර්ඩ් උතුමානනි, උඹ කොහොමද රොබර්ට්ට, මට නැත්තම් ජේමිට වඩා වෙනස් වෙන්නෙ?"
"මුලින්ම බැලුවොත්, මම දරුවො මරන්නෙ නෑ. මම මේ කියන දේ බොහොම පරිස්සමින් අහන් ඉන්ට මගේ ආර්යාවනි. මම මේක එකපාරයි කියන්නෙ. රජතුමා දඩයම් සවාරිය ඉවරකරලා ආපහු ආවට පස්සෙ මම හිතාගෙන ඉන්නවා එයා ඉස්සරහට ගිහිල්ලා මේ හැමදෙයක්ම කියන්ට. ඒ වෙද්දි ඔබ ගිහින් හිටියොත් හොඳයි. ඔබයි, ඔබේ දරුවො තුන්දෙනාමයි. හැබැයි කාර්ස්ටලී රොක්වලට නෙවෙයි. මම ඔබ නම් මම කරන්නෙ වහාම නැවක් අරන් නිදහස් නගරවලට පැනලා යන එක. සමහරවිට ඊටත් වඩා ඈතට. ගිම්හාන දූපත්වලට නැත්තම් ඉබ්න් තොටමුණට. හුළඟට ඔබව අරන් යන්ට පුළුවන් උපරිම දුරකට."
"පිටුවහල් වෙන්ට? ඒක බොන්ට බොහොම අමාරු තිත්ත කසායක් මගේ උතුමානනි."
"ඔබේ තාත්තා රේගාර් ගේ දරුවන්ට දුන්නාට වඩා බොහොම රසවත් පානයක්. අනික ඔබට නොවටින තරම් කාරුනික දෙයක්. ඔබේ තාත්තයි, ඔබේ සහෝදරයිනුයිත් ඔබත් එක්කම ගියානම් වඩා හොඳයි. ටයිවින් උතුමානන්ගෙ රත්තරන්වලට පුළුවන් වෙයි ඔබට අවශ්‍ය සැපපහසුව සපයන්ට. ඒ වගේම ඔබට ආරක්ෂාවට අවශ්‍ය සෙබළු සපයන්ට. ඔබට ඒක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි. ඔබ කොයි ලෝකෙ ගියත් ඒ පස්සෙන්ම රොබර්ට්ගෙ උදහස, ද්වේෂය ඔබව හොයන් එයි."
රැජිණ නැගිට සිටියාය. "එතකොට මගෙ උදහස ගැන මොකද කියන්නෙ ස්ටාර්ක් උතුමානනි?" ඇය මෘදු ස්වරයෙන් ඇසුවාය. ඇගේ දෑස් ඔහු ගේ මුහුණ පරීක්ෂාවෙන් පිරික්සා බැලීය. "උඹයි මේ රාජධානිය අයිතිකරගන්ට තිබුනෙ. ඒක උඹේ අතේ දුරින් තිබුනෙ. ජේමි මට කිවුවා කින්ග්ස් ලෑන්ඩින්ග් වැටුන දවසෙ උඹ කොහොමද එයාව යකඩ සිංහාසනයේ වාඩි වෙලා ඉන්දැද්දි හොයාගත්තෙ කියලා. කොහොමද උඹ එයාට යටත් කරගත්තෙ කියලා. ඒ තමා උඹේ අවස්ථාව. උඹට කරන්ට තිබුන එකම දේ ඒ පඩිපෙළ නැගලා ගිහිල්ලා යකඩ සිංහාසනයේ වාඩි වෙන එක විතරයි. ඒක බොහොම ලොකු, බොහොම නරක අත්වැරැද්දක් මගෙ උතුමානනි."
"ඔබට හිතාගන්ටවත් බැරි තරම් අත්වැරැදි ගොඩක් මම කරලා තියෙනවා. ඒ වුනත් ඒක අත්වැරැද්දක් නෙවෙයි."
"ආහ්! ඒ වුනත් ඒක එහෙම තමා මගෙ උතුමානනි." සෙර්සි තිර ස්වරයෙන් කීවාය. "උඹ සිහසුන් ක්‍රීඩාව කරනවා නම් එක්කො උඹ දිනන්ට ඕන, නැත්තම් උඹ මැරෙන්ට ඕන. ඔය දෙක අතරමැද ඇති දෙයක් නෑ."
සිය මුහුණ වැසෙන සේ සළුවෙන් හිස පොරවා ගත් ඇය ඔහුව ඒ ඕක් වාක්ෂය යට අන්ධකාරයේ තනිකර දා නික්ම ගියාය. දෙව්වනයේ නිහඬතාව මැද්දේ, නිල් කළු පැහැ අහස යට තනිකර දා නික්ම ගියාය. තරු එකින් එක නැග එන්නට පටන්ගෙන තිබින.
Cersei Lannister: “When you play the game of thrones, you win or you die. There is no middle ground.”
Ladies and gentlemen , this is where you say " holy crap , she did what? " :)
ReplyDelete"She did what?" or you rather say, "What the heck this idiot has done!!??" :-D
DeleteIts well established that ned is an idiot :P but the reader is supposed to be shocked here by the blatant admission by the queen.
Deletedoes she got any other options rather than accepting the truth.!?
Deleteshe could have said oh hell no
Deletehow can anyone prove?
DNA was not invented in westeros .
මෙතනදි නම් නෙඩ් මෝඩයි කියලා මම වගේ නෙඩ් රසිකයෙකුට උණත් පිළිගන්න වෙනවා.
ReplyDelete//තමන්ගේ සෙබළුන් හා සේවකයින් හැරුනු විට මේ නගරයේ ඔහු විශ්වාසය තැබූ මිනිසුන් ගනණ අල්ප විය//
එහෙම හිතපු එකා මොන රෙද්දකටද මේක කෙලින්ම රැජිනට කියන්න යන්නේ...
ඒක නේන්නං අපි මුල ඉඳලාම කිවුවෙ.. :-D
Deleteඅනුන්ගෙ ළමයි ආරක්ෂා කරන්ට කලින් තමන්ගෙයි, තමන්ගෙ දරුවන්ගෙයි ආරක්ෂාව ගැන හිතන්ට එපාය.. සතුරාට කෙලින්ම ගිහින් කියනවා 'මම මෙහෙමයි මෙහෙමයි උඹට ඇටෑක් කරන්ට යන්නෙ. පුළුවන් නම් බේරියන්' කියලා.. මොළේ තියෙන සතුරෙක් නිකං ඉඳියි ද?
සන්සා මේ හැටි මෝඩ ගහක් උනේ ඇයි කියලා දැන් ඔන්න පැහැදිලි වෙනවා.. කැට්ලින්ගෙයි නෙඩ්ගෙයි දුවෙක් උනහම එයිට වඩා දෙයක් ඒ දරුවට කොහේ ලැබෙන්ටද..? :D
ReplyDeleteඔන්න දැන් දැන් මට ආර්යා සහ බ්‍රැන්ගේ ජාතකේ ගැන සැක පහල වෙනවා...
බුරෝ.. නැද්ද ඔය //රාජධානි සප්තකයේ උදාර වංශවත් පවුල්වල ඉතිහාසය හා පෙළැන්තිය: බොහෝ උසස් වංශාධිපතියන්, කුලීන ආර්යාවන් හා ඔවුන් ගේ දරුවන් ගේ විස්තර සමගින්.// කියන පොතේ ආර්යගෙයි බ්‍රැන්ගෙයි හැඩ හුරුකං වලට සමාන මොකෙක් හරි ගැන විස්තරයක්.. :D
පොත හොයාගෙනම බලන්ට වටිනවා ඒ විස්තරේ නම්.. :-D
Deleteඅනේ ඇත්තමයි සන්සා කරන මෝඩවැඩ වලට වඩා මෝඩ වැඩක්නෙ මේ නෙඩ් කලේ :(
Deleteඔයාටත් එහෙනම් වෙනස තේරෙනවා ඈ... :-)
Deleteආර්යායි බ්‍රැනුයි සිරා චරිත උනාට සිහසුන් ක්‍රීඩාව නම් එයාල ප්ලේ කරාවි කියල හිතන්න අමාරුයි (චරිත ලක්ෂණ අනුව). ඊට වඩා ක්‍රීඩාව ඉගෙන ගන්න සන්සාට පොටෙන්ෂල් තියෙනවා කියල හිතෙන්නේ නැද්ද?
DeleteWow niRo. Very insightful
Deleteඇත්තම කියනවා නම් මම සන්සාට ලොකු රාජකාරියක් පවරලයි තියෙන්නෙ.. මම හිතනවා හත්වෙනි පොතේදිවත් එයා (ඇත්තටම කිවුවොත් ජෝර්ජ් ලොක්කා) ඒ වැඩේ අකුරටම ඉෂ්ට කරයි කියලා..
Deleteබලමු මගේ තියරි එක හරියයිද කියලා.. :-)
Oh she will be up to the task . Late bloomer our little lady of winterfel :)
DeleteOh yes! I hope she's up to the task.. But I'm not 100% sure about our good old uncle George.. :-D
Deletewell knowing him may be only hodor will remain in the end of winter
Deleteදිනන්න බැරි නම් මැරෙන්න තමාලු වෙන්නෙ. දිනන්න පුළුවන් පාටක් පේන්න නම් නෑ.
ReplyDeleteදිනන්ට පුළුවන්ද අප්පා මෙහෙම වැඩ කරනකොට...
Deleteමෙ යන්නෙ, පොතේ මං අකමැතිම හරිය. ටික දොහක් කැලේටම වෙලා ඉඳලාම එඤ්ඤං
ReplyDeleteකැලේට වෙලා ඉඳලා හාවො අල්ලන්ටයැ.. මේ දවස්සොල වින්ටර් එක නිසා උනුත් නිදි..
Deleteඅනේ ඔය නරිය අල්ලන හාවෝ :P
Deleteමස් කරලා කට ලඟට ගෙනාවොත් නම් කාල දායි වලහ වගේ. දඩයමේ යන්ට බැරිලුනේ කෝට් එකේ කුණු ගෑවෙනවා කියල :P
බූල් කෝට් එකේ කුණු ගෑවෙයි කියලා..!!?? ඒකනෙ සර්ෆ් එක්සෙල් තියෙන්නෙ... :-D
Deletewhat if i said that ned is not being an idiot here at all, rather hes doing what a human being should do.
ReplyDeleteYeah true.. but that's applicable only when a human being is dealing with another human being.. when u r dealing with a crazy dog/ bitch, that's inapplicable..
DeleteThen u are sure who's responsible for what happens in the end? :-o
DeleteYeah.. Pretty sure.. Starks are the culprits..
Deleteමට අනුව නෙඩ් වැරදි නෑ... සෙර්සි එක්ක මේ හමුවීම නැතිනම් රජාට සේරම කියන එකේ තේරුමකුත් නෑ... කඩ්ඩෙන් කිව්වොත් This is how the game of thrones should be played...
ReplyDeleteMy3 යන වෙලාවේ මරා එක්ක තනිවම මේ වගේ හමුවීමක් තිබුණාද දන්නේ නෑ... සමහරවිට නැතුව ඇති,... ඒත් එහෙම එකක් තිබුණා කියා හිතන්න මම කැමතියි... :)
Two thumbs up :)
DeleteMay be they discussed ot while eating Appa :P
මෙහෙමයි බීටලේ, මේ හමුවීම වැරැදි නෑ.. ඒත් ඒ මේ හමුවීමෙන් පස්සෙ එන අතුරු ප්‍රතිඵලවලටත් නෙඩ් ලෑස්තිවෙලා හිටියානම් විතරයි.. තමන්ගෙ සොල්දාදුවො සේරම එහාට මෙහාට යවලා, කිසිම උපකාරකයෙක් නැතුව, තනි මතේට මේවා කරලා හරියන්නෙ නෑ නෙව.. සතුරා උඩ බලාගෙන නිකං ඉන්නෙ නෑ නෙව..
Deleteචෙස් අදිද්දි අපි නිකංම තනියෙන් ඉස්සරහට ගිහිල්ලා 'චෙක්' කියන්නෙ නෑ නෙව.. එහෙම කලොත් බෙල්ල මුලින්ම කපලා දානවා.. ඒක නිසා තමා අපි සපෝර්ට් එකට තව ඉත්තො එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි අරන් යන්නෙ.. ඒ වගේම ප්ලෑන් A එක වැරැදුනොත් ප්ලෑන් B එකක් හදාගෙන තියාගන්නෙ.. ප්‍රතිවාදියාගෙ එකම එක මූව් එකක් නිසා අපේ ප්ලෑන් සේරම අහක යන්ට පුළුවන්.. අපි ඒකටත් ලෑස්තිවෙලා නෙව ඉන්නෙ..
චෙස් කියන්නෙ කොච්චර ලස්සන ක්‍රීඩාවක් ද නේද... :-D
ඔව් උඹ හරි... බැකප් ප්ලෑන්ස් නැති එකගැන විවාදයක් නෑ...
Deleteචෙස් ලස්සන ක්‍රීඩාවක් කිව්වාම මතක්වුනේ අර කොමඩි ටීවී ශෝ එකක් යන්නේ Brooklyn Nine Nine කියලා... ඒකේ Jake කියලා කොමිටල් ඩිටෙක්ටිව් කෙනෙක් ඉන්නවා... උන් අල්ලපු ලොකුම හොරා මුගේ වැරැද්දෙන් පැනලා ගියාම මූ බොස්ට එක්ස්කියුස් එක විදියට කියන්නේ... "boss just like in chess... In order to win, sometimes you have to sacrifice your king." කියලා :D
සෙර්සි හරි සෙක්සි නෙහ්..:D
ReplyDeleteහ්ම් හ්ම්.. :-D
Delete