තෑගි ලද අසිපත අතකින් ගෙන පඩිපෙළ පහළට බසින අතරේ මුර සෙබළු ඔහු දෙස බලා සිනාසුනෝය. "නියම කඩුවක්." එකෙක් කීය. "උඹ නියම විදියට ඒක දිනාගත්තා ස්නෝව්." තවෙකෙක් කීවේය. ජොන්ද පෙරලා ඔවුන් වෙත සිනහවක් පහල කරන්නට සමත් වූ නමුදු ඔහුගේ හදවතේ කිසිදු සන්තෝෂයක් නොවීය. තමා මේ ත්‍යාගය ගැන සතුටු විය යුතු බැව් ඔහු යටිසිතින් දැන සිටියද ඔහුට එවැන්නක් නොදැනින. ඔහුගේ තුවාල වූ අත ඇදුම්කමින් තිබුනු අතර මුවට කෝපයක තිත්ත රසය දැනෙමින් තිබුනි. එනමුදු මේ කේන්තිය කා සමගින් කුමක් අරභයා ඇතිවූවක්දැයි කියන්නට ඔහුට හැකියාවක් නොවීය.
ප්‍රධාන අණදෙන නිළධාරිතුමා දැන් සිය නිවහන වෙනුවෙන් තෝරාගෙන තිබුනු රජතුමාගේ කුළුණින් පිටතට එද්දී පිටත සිය මිතුරන් අඩ දුසිමක් පමණ අයාලේ ඇවිදිමින් සිටිනු ජොන් දුටුවේය. ධාන්‍යාගාරයේ දැවැන්ත දොරෙහි ඉලක්කයක් සලකුණු කොට දුනු විදීම පුරුදුවෙමින් සිටි බවක් පෙන්නුම් කලද ඔවුන් සැබැවින්ම වෙනත් කරුනක් වෙනුවෙන් මෙසේ රැස්වී සිටින බැව් ඔවුන් දුටු විගසම ජොන් තේරුම් ගත්තේය. ඔහු දොරින් මෑත් වූ වහාම පිප් හඬගෑවේය. "ආ මෙහෙ වරෙන් මෙහෙ වරෙන්. කෝ අපිටත් බලන්ට."
"බලන්ට? මොකක් බලන්ට ද?"
ටොඩ් ඉදිරියට පැමිණියේය. "උඹේ රෝස පාට තට්ටම් දෙක. වෙන මොකක්ද?"
"කඩුව යකෝ." ග්‍රෙන්ද කතාවට එක්විය. "අපට ඕන කඩුව බලන්ට."
ජොන් ඔවුන් දෙස සැකමුසු බැල්මක් හෙලීය. "ඒ කියන්නෙ උඹලා දැනගෙන හිටියද?"
පිප් විරිත්තුවේය. "උඹ හිතුවද අපි හැමෝම ග්‍රෙන් වගේ මෝඩයො කියලා?"
"උඹ මෝඩයි තමා." ග්‍රෙන් කඩා පැන්නේය. "උඹ මටත් වඩා මෝඩයි."
හෝල්ඩර් සමාව යදින ආකාරයෙන් දෙවුර ඇකිළීය. "පේට්ට ඔය කඩු මිට හදන්ට මම තමා උදවු කලේ. උඹේ යාළුවා සෑම් තමා අර රබහ මැණික් ගෙනාවෙ මෝල්ස් ටවුන් වලින්."
"ඒ වුනත්, අපි ඊටත් කලින් ඉඳලාම දැනගෙන හිටියා." ග්‍රෙන් කීවේය. "රජ් දැන් ඩොනල් නොයේට කම්මලේ වැඩවලට උදවු කරනවනෙ. නාකි වලහා පිච්චුන කඩුව නොයේට ගෙනත් දෙද්දි ඌ එතන ඉඳලා තියෙනවා."
"කඩුව." මැට් බලකර සිටියේය. අනිකුන්ද ඊට එක්වූහ. "කඩුව. කඩුව. කඩුව."
දිගුනියපහුර කොපුවෙන් මෑත්කරගත් ජොන් එය ඔවුන්ට පෙන්වීය. ඔවුන් වඩා හොඳින් එය අගය කරනු වස් එය ඒ මේ අත පෙරලමින් එහි වරුන පෙන්වීය. මලානික හිරුඑළියේ අසිපත් තලය අඳුරු මාරාන්තික දීප්තියකින් බැබලුනේය. "වැලීරියන් වානේ." ඔහු ගාම්භීර ස්වරයෙන් නිවේදනය කලේය. තමාගෙන් පලවිය යුතු ආඩම්බර ස්වරය ඊට මුසු කරන්නට ඔහු වග බලාගත්තේ ය.
"මම අහලා තියෙනවා වැලීරියන් වානේවලින් දැලිපිහියක් හදාපු මනුස්සයෙක් ගැන." ටොඩ් කීවේය. "ඌ රැවුල බාන්ට හදද්දි බෙල්ල කැපිලා මලා."
පිප් විරිත්තුවේය. "නිශාරැකුම අවුරුදු දාස්ගානක් පැරණියි. ඒ වුනත් මම කැට තියලා කියන්නම්, ස්නෝව් උතුමානන් තමා අණදෙන නිළධාරිතුමාගෙ කුළුණ ගිනිතියලා ඒකට තෑගි දිනාගත්තු පළවෙනි කළු සහෝදරයා."
කොලු රැළ සිනාසුනෝය. ජොන්ටද සිනා නොවී බැරි විය. ඇත්තෙන්ම කිවහොත් ජොන් ඇතිකල ගින්න විසින් ඒ ශක්තිසම්පන්න ශෛලමය කුළුණ සම්පූර්ණයෙන්ම විනාශ කර නොදැමීය. එනමුදු නාකි වලහා සිය නිදන කාමර වශයෙන් භාවිත කල එහි ඉහළ මාල දෙකෙහි අභ්‍යන්තරය සෑහෙන තරම් දුරට දවාලන්නට එයට හැකි වී තිබුනි. කෙසේවුවද මේ ගින්න විසින් ඔතෝර්ගේ බිහිසුණු මළකඳ දවාලන්නට සමත් වූ බැවින් කිසිවෙකුත් ඒ හානිය ගැන වද වූයේ නැත.
අර අනිත් මළකඳ ද, අතක් අහිමි මියගිය මුර සංචාරකයා ජැෆර් ෆ්ලවර්ස් ද අසිපත් දුසිමක බලය හමුවේ කීතු කීතු කර කපා විනාශ කර දැමින... එනමුදු ඊට පෙර සෙර් ජැරමි රයිකරුත්, තවත් සෙබළුන් සිවුදෙනෙකුත් මරාදමන්නට ඊට හැකිව තිබින. මළ මිනිසාගේ හිස වෙන්කරලමින් අසිපත් පහරක් එල්ල කර කාර්යය අවසන් කරන්නට සෙර් ජැරමි සමත්ව තිබූ නමුදු ඒ කවන්ධය ඔහුගේම කොපුවෙන් ඇදගත් සිරිය සෙර් ජැරමිගේ සිරුරට බස්සවා ඔහුව මරාදමන්නට සමත් විය. දැනටමත් මියගොස් තිබුනු මේ අමනුශ්‍ය සතුරන් හමුවේ ශරීර ශක්තිය හෝ ධෛර්‍යය යනු එතරම්ම වැදගත් දෙයක් නොවීය. ආයුධ හා සන්නාහ පවා එතරම් වැදගැම්මකට ඇති දෙයක් නොවීය.
මේ අඳුරු සිතුවිලි විසින් ජොන්ගේ දැනටමත් නරක මනෝභාවය තවත් අයහපත් කරන්නට සමත් වී තිබුනි. "මට හොබ්ව මුනගැහෙන්ට ඕන නාකි වලහාගෙ රෑ කෑම ගැන කතා කරන්ට." ඔහු දිගුනියපහුර නැවත කොපුවේ ලමින් ඉක්මන් ස්වරයකින් කීවේය. ඔහුගේ මිතුරන් ඔහුට හොඳක් කරන්නට සිතූවද ඔවුන් ඔහුගේ මනෝභාව තේරුම්ගත්තේ නැත. ඔවුන්ට ඔහුව තේරුම්ගන්නට ද නොහැක. ඇත්තෙන්ම කිවහොත්, එය ඔවුන්ගේ වරදක් ද නොවේ. ඔවුන් ඔතෝර්ට මුහුණ දුන්නේ නැත. අර අසාමාන්‍ය නිල් පැහැ දෑසේ වූ දීප්තිය ඔවුන් දුටුවේ නැත. ඒ සීතල ඇඟිලිවල ස්පර්ෂය ලැබූයේ නැත. ගංගා නිම්නයේ මේ වනවිට ඇවිල ඇති සටන් ගැනද ඔවුන් දන්නේ නැත. ඔවුන් කෙසේ තේරුම්ගන්ට ද? හනිකට ආපසු හැරුනු ඔහු බුම්මාගත් මුහුණින් යුතුව දිගු පියවර තබමින් ඉවතට පිය මැන්නේය. පිප් ඔහුට කතා කල නමුදු ජොන් ඒ නොතකා හැරියේය.
ගින්නෙන් පසු ඔවුන් නැවතත් ඔහු පෙර පදිංචිව සිටි කඩාහැලෙන හාර්ඩින් ගේ කුළුණේ වූ කුටිය ඔහුට වාසය පිණිස ලබා දී තිබින. ගෝස්ට් දොර අබියස වකුටුව නිදා සිටි නමුදු ජොන්ගේ බූට්ස් සපත්තුවල හඬ ඇසුනු සැනින් හිස ඔසවා බැලීය. ඝෝරවාකයා ගේ රත් පැහැ දෑස් රබහ මැණික්වලටත් වඩා අඳුරු වූ අතර මිනිසුන්ට වඩා ඥානවන්ත විය. ජොන් බිම දණ නමා, වෘකයා ගේ කණ පිටුපස කසා, සිය අසිපතේ මිට ඌට පෙන්වීය. "මේ. මේ බලපන්. මේ ඉන්නෙ උඹ."
සිය අනුරුව අනුව කැටයම් කල ශිලා මිට දෙස ඉවකර බැලූ ගෝස්ට් එය ලෙවකන්නට උත්සාහ දැරීය. ජොන් සිනාසුනේය. "උඹ තමා ගෞරවයක් ලබන්ට සුදුස්සා." ඔහු වෘකයාට කීවේය... ගිම්හානයේ එක්තරා දවසක, හිම අතරින් තමා ඌව සොයාගත් අන්දම හදිසියේම ඔහුට සිහිපත් වන්නට විය. ඔවුන් අනිත් වෘක පැටවුන් රැගෙන පිටව යන්නට සැරසුනු අතර ජොන් නැවත අසු හැරවූයේ ඇසුනු සියුම් හඬක් නිසා විය. අවට සෑමතැනම වූ මිදුනු හිම අතර මේ පැටවා මුළුමනින්ම පාහේ අදෘශ්‍යමාන විය. 'එයා තනියම.' ජොන් සිතුවේය. 'රංචුවෙ අනිත් පැටවුන්ගෙන් වෙන්වෙලා. එයා වෙනස්. ඒ නිසා උන් එයාව රංචුවෙන් එලවලා.'
"ජොන්." ඔහු හිස ඔසවා බැලුවේය. සෑම්වෙල් ටාර්ලි ඔහු අසල සිටගෙන නොසන්සුන් අයුරකින් ඔහු දෙස බලා සිටියේය. සීතය නිසා ඔහුගේ දෙකොපුල් රත් පැහැ ගැන්වී තිබුනු අතර පැළැඳ සිටි ඝනකම් ලොම් හිමකබාය නිසා ඔහුව දිස්වූයේ ශීතකාලය වෙනුවෙන් නිදන්නට සූදානම් වන වලසකු මෙනි.
"සෑම්." ජොන් නැගිට සිටියේය. "මොකක්ද? උඹටත් කඩුව බලන්ට ඕනද?" අනිත් කොලුවන් ද මේ බැව් දැනසිටියා නම් සෑම් ඒ බව නොදැන සිටීමට හේතුවක් නැත.
මහත කොලුවා හිස සැලීය. "එක කාලෙක මමත් මගේ තාත්තගෙ කඩුවට උරුමක්කාරයෙක් වෙලා හිටියා. හදවතේ විනාශය. තාත්තා කීපවතාවක්ම මට ඒක අල්ලලා බලන්ට දුන්නා. ඒ වුනත් ඒ හැම වෙලාවෙම ඒක මාව බයකලා. ඒකත් වැලීරියන් වානේ. ඒක හරිම ලස්සනයි. ඒ වුනත් ඒක හරිම මුවහත්, මම බයවුනා මගේ අතින් නංගිලාට මොකුත් අනතුරක් වෙයි කියලා. දැන් ඉතින් ඒක ඩිකන්ට තමා අයිති." ඔහු දහදිය දැමූ දෑත් සළුවේ පිසදැමීය. "මම. ආහ්!.. මේස්ටර් ඒමන්ට උඹව මුනගැහෙන්ට ඕනලු."
ඒ ඔහුගේ වෙළුම්පටි අලුත් කරන්නට අවැසි වේලාවක් නොවීය. ජොන් සැකමුසු අයුරින් රවා බැලීය. "ඇයි?" සෑම්ගෙන් දිස්වූ බැගෑපත් දුක්ඛිත පෙනුමෙන්ම ඔහු පිළිතුර වටහාගත්තේ ය. "උම එයාට කිවුවා. එහෙම නේද?" ජොන් කේන්තියෙන් ඇසීය. "උඹ මට විස්තරේ කිවුවා කියලා උඹ එයාට කිවුවා නේද?"
"මම... එයා... ජොන්, මට කියන්ට ඕන වුනේ නෑ... එයාමයි ඇහුවෙ... මම හිතන්නෙ එයා දන්නවා. අපි කාටවත් පේන්නෙ නැති දේවල් එයා දකිනවා..."
"එයා අන්ධයෙක්." ජොන් සිතේ නැගි පිළිකුලින් යුතුව සැරෙන් කීවේය. "මට පුළුවන් යන පාර හොයාගන්ට. "ඇරගත් මුවින් යුතුව නලියමින් සිටි සෑම් එතැන හැර දමා ඔහු පිටව ගියේය.
* * *
කපුටු කූඩු අසල කපුටන්ට කෑම දමමින් සිටි මේස්ටර් ඒමන් සොයාගැනීමට ජොන්ට හැකිවිය. මස් කෑලි පිරවූ බාල්දියක් අතින් ගත් ක්ලයිඩස් ද ඔහුත් සමග වූ අතර ඔවුන් දෙදෙනා කූඩුවෙන් කූඩුවට යමින් සතුන්ට අහර බෙදා දෙමික් සිටියහ. "සෑම් කිවුවා ඔබට මාව මුනගැහෙන්ට ඕනයි කියලා."
මේස්ටර්වරයා හිස වැනීය. "ඔවු. ක්ලයිඩස්, ඔය බාල්දිය ජොන්ට දීපන්. එයා මට උදවු කරයි." කුදුගැසුනු කළු සොහොයුරා බාල්දිය ජොන් අතට බාර දී දඩිබිඩියේ ඉණිමගෙන් පහළට බැස්සේය. "ඔය මස් කෑලි කූඩුවලට වීසි කරපන්." ඒමන් ඔහුට උපදෙස් දුන්නේය. "කපුටො ඉතුරු ටික බලාගනියි."
බාල්දිය දකුණතට මාරු කල ජොන් රත් පැහැ මස් කැබැලි අතරට වමත එබීය. මහහඬින් කෑගසන්නට පටන්ගත් කපුටෝ කූඩුව තුළ එහාමෙහා පියාඹමින් ලෝස දැල්වල හැපෙමින් මහත් ගාලගෝට්ටියක් කරන්නට වන්හ. මේ මස් කැබැලි ඇඟිලි පුරුකක් තරම් කුඩාවට කපා තිබුනි. එයින් මිටක් පුරවාගත් ජොන් එය කූඩුව තුළට විසිකලේය. කපුටන්ගේ ගාලගෝට්ටිය තවත් වැඩිවන්නට විය. වඩා විශාල වූ කපුටන් දෙදෙනෙකු මස් කැබැල්ලකට පොරකද්දී උන්ගේ පිහාටු දසත විසිර ගියේය. විගස දෙවන මිටක් පුරවාගත් ජොන් එය කූඩුවට විසිකලේය. "මෝර්මන්ට් උතුමානන්ගෙ කපුටා කැමැතියි පළතුරුයි ඉරිඟු ඇටයි කන්ට."
"ඌ බොහොම දුර්ලභ කුරුල්ලෙක්. ගොඩක් කපුටො ධාන්‍ය කනවා. ඒ වුනත් උන් වැඩියම කැමැති මස් කන්ට. ඒකෙන් උන් ශක්තිමත් වෙනවා. ඒ වගේම උන් ලේ රසයට කැමැතියි. එහෙම බැලුවොත් උනුත් හරියට මිනිස්සු වගේ... මිනිස්සු වගේම හැම කපුටාම එක වගේ නැහැ."
මෙයට සුදුසු පිළිතුරක් ජොන්ට සොයාගත නොහැකි විය. එබැවින් ඒමන් තමාව කැඳවූයේ මන්දැයි සිතමින් ඔහු නිහඬවම මස් කැබැලි විසිකරන්නට විය. කිසිදු සැකයකින් තොරව මහල්ලා තමාට උවමනා තරම් වේලාව ගනිමින් අවැසි වේලාවට එය ඔහුට පවසනු ඇත. මේස්ටර් ඒමන් වනාහි ඔබට හදිසි කල හැකි මිනිසකු නොවේ. "පරෙවියොත් පුරුදු කරන්ට පුළුවන් පණිවුඩ අරන් යන්ට." ඔහු දිගටම කතා කරන්නට වන්නේය. "ඒ වුනත් කපුටා වඩා ලොකුයි. ශක්තිමත් පියාඹන්නෙක්. නිර්භීතයි. හරිම දක්ෂයි. උකුස්සන්ගෙන් බේරෙන්ට වැඩි හැකියාවක් තියෙනවා... ඒ වුනත් කපුටො කළුයි. උන් ජරාව කනවා. මළකුණු කනවා. ඒක නිසා සමහර භක්තිමත් මිනිස්සු උන්ව පිළිකුල් කරනවා. උඹ දන්නවද? ආශීර්වාද ලත් බේලර් උත්සාහ කලා ඔක්කොම කපුටො අයින්කරලා එතැනට පරෙවියො දාන්ට." මහල්ලා සිනාසෙමින් සිය අන්ධ දෑස් ජොන් දෙසට හැරවීය. "නිශාරැකුම කැමැතියි කපුටන්ට."
ජොන්ගේ අතැඟිලි බාල්දියේ ගිලී ගියේ මැණික්කටුව දක්වාම රත් පැහැ ගන්වමිනි. "ඩිවන් කියනවා වනචාරින් අපට කපුටො කියලා කියනවලු."
"ඒ කියන්නෙ අර මුන්ට වඩා පොඩි කපුටො ජාතිය ගැන. උන් දෙන්නම ඥාති සහෝදරයො. උන් දෙන්නම කළුයි, පිළිකුල් කරනවා, වරදවා වටහගෙන තියෙන්නෙ."
ඔවුන් මේ කතා කරමින් සිටින්නේ කුමක් සම්බන්ධව ද, ඒ ඇයි ද යන්න දැනගන්නට ඇත්තේ නම් යැයි ජොන් කල්පනා කලේය. කපුටන් හා පරෙවියන්ගෙන් ඔහුට ඇති වැඩය කිම? මේ නාකියාට ඔහුට යමක් කියන්නට ඇත්නම් ඔහු එය කෙලින්ම නොකියන්නේ මන්ද?
"ජොන්, උඹ කවදාවත් හිතුවද ඇයි නිශාරැකුමෙ මිනිස්සු කසාද බැඳලා ළමයි හදන්නෙ නැත්තෙ කියලා?"
ජොන් දෙවුර ඇකිළීය. "නෑ." ඔහු තවත් මස් විසුරුවා හැරියේය. ඔහුගේ වමතේ අතැඟිලි රුධිරය නිසා සෙවෙල සහිත විය. ඔහුගේ දකුණත බාල්දියේ බරින් මිරිකෙන්නට විය.
"එහෙම කරන්නෙ උන්ට ආදරේ කරන්ට බැරි වෙන්ටයි. මොකද ආදරේ කියන්නෙ ගෞරවයේ විනාශය. රාජකාරියේ මරණය."
මෙය එතරම්ම ජොන්ගේ සිතට කා වැදී නොගියේය. එනමුදු ඔහු කිසිවක් නොකියා නිහඬ විය. මේස්ටර්වරයා සියක් වසරක් වයස් ගතවූවකු වන අතර නිශාරැකුමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. ඔහු කියන්නකට එදිරි වීම තමන්ට ගැලපෙන්නක් නොවේ.
මහල්ලාට ඔහුගේ දෙගිඩියාව තේරුනාක් මෙනි. "මට කියහන් ජොන්. අවාසනාවකට වගේ එක දවසක් ආවොත් උඹේ තාත්තට තෝරගන්ට තමන්ගෙ ගෞරවයයි එයා ආදරේ කරන අයයි අතරින් එකක්, එයා මොකක් කරයිද?"
ජොන් මොහොතක් අතීරණයෙන් පෙලුනේය. එඩාර්ඩ් උතුමානන් කෙදිනකවත් තමන්ගේ ගෞරවය නැති කරනොගන්නා බවත්, ආදරය වෙනුවෙන් හෝ එවැනි දෙයක් කරන්නට නොසිතන බවත් කියන්නට ඔහුට උවමනා විය. එනමුදු ඔහු තුළ වූ යම් සිහින් කටහඬක් ඔහුට කෙඳිරීය. 'එයා අවජාකතයෙකුට තාත්තා වුනා. ඒකෙ තියෙන ගෞරවය මොකක්ද? එතකොට උඹේ අම්මා? අම්මා වෙනුවෙන් එයාගෙ යුතුකම් කෝ? එයා අඩුමගානෙ අම්මගෙ නමවත් කියන්නෙ නෑ.' "එයා හරියි කියලා හිතෙන දේ කරයි. මොන දේ වුනත්."
"එහෙමනම් ඉතින් එඩාර්ඩ් උතුමානන් කියන්නෙ මිනිස්සු දහදාහකින් එක්කෙනෙක්. අපි ගොඩක් දෙනෙක් එච්චර ශක්තිමත් උදවිය නෙවෙයි. ගෑනියෙකුගෙ ආදරේ එක්ක සංසන්දනය කරලා බලද්දි ගෞරවය කියන්නේ මොන කෙහෙල්මලක් ද? උඹේ අත්දෙකට මැදිවෙලා ඉන්න අලුත ඉපදුන පුංචි එකෙක් එක්ක බලද්දි රාජකාරිය කියන්නෙ මොන මගුලක් ද? එහෙමත් නැත්තම් සහෝදරයෙක්ගෙ හිනාවත් එක්ක බැලුවොත්? එතකොට ඒවා නිකංම නිකං වචන ටිකක් විතරයි. නිකං හුළං පාරක ගහගෙන යන වචන ටිකක් විතරයි. අපි නිකංම නිකං මිනිස්සු. දෙවිවරු අපිව මවලා තියෙන්නෙ ආදරේ කරන්ට. ඒක තමා අපේ ලොකුම ජයග්‍රහණය. ඒ වගේම අපේ ලොකුම ශෝකාන්තය."
"මේ නිශාරැකුම ගොඩ නංවපු මිනිස්සු දැනගෙන හිටියා උතුරෙන් එන නපුරු අන්ධකාරයෙන් මේ රාජධානිය ආරක්ෂා කරන්ට තියෙන එකම පලිහ උන්ගෙ ධෛර්‍යය විතරයි කියලා. උන් දැනගෙන හිටියා උන්ගෙ අධිෂ්ටානය වෙනස් නොවී තියාගන්ට ඕන නම් උන්ගෙ පක්ෂපාතිත්වය, උන්ගෙ ලැදිකම හතර අතේ බෙදලා දාන්නෙ නැතුව එක තැනකට යොමුකරලා තියාගන්ට ඕනමයි කියලා. එහෙම වුනොත් උන්ගෙ අධිෂ්ටානය දුර්වල වෙනවා. ඉතින් ඒක නිසා උන් දිවුරුමක් දුන්නා කවදාවත් කසාද බඳින්නෙ නෑ, කවදාවත් ළමයි හදන්නෙ නෑ කියලා."
"ඒ වුනත් උන්ට සහෝදරයො හිටියා. සහෝදරියො හිටියා. උන්ට උපත දුන්න අම්මලා හිටියා. උන්ට නම් දුන්න තාත්තලා හිටියා. උන් ආවෙ හැම වෙලාවෙම එකාට එකා සටන් කරමින් හිටිය රාජධානි සිය ගානකින්. ඒ වගේම උන් දැනගෙන හිටියා කාලයත් එක්ක දේවල් වෙනස් වෙන්ට පුළුවන්, නමුත් මිනිස්සු වෙනස් වෙන්නෙ නෑ කියලා. ඒක නිසා උන් තවත් දිවුරුමක් දුන්නා, තමන් රකින්ට ප්‍රතිඥා දීලා තියෙන මේ රාජධානිවල අභ්‍යන්තර අරගලවලට මැදිහත් වෙන්නෙ නෑ කියලා."
"උන් මේ දිවුරුම රැක්කා. ජයග්‍රාහක ඒගන් කළු හැරෙන්ව මරලා දාලා රාජධානිය උදුරගත්තු වෙලාවෙ නිශාරැකුමෙ අණදෙන නිළධාරියා වෙලා හිටියෙ කළු හැරෙන්ගෙ සහෝදරයා. එයා යටතෙ දහදාහක් සෙබළු හිටියා. ඒ වුනත් එයා යුද්ධෙට ගියේ නැහැ. මේ රාජධානි සප්තකය ඇත්තටම වෙන් වෙන් රාජධානි හතක් වෙලා තිබුන කාලෙ උන් තුන් හතරදෙනෙක් යුද්ධ නොකර හිටපු පරම්පරාවක් තිබුනෙ නැති ගානයි. ඒ වුනත් නිශාරැකුම කාගෙවත් පැත්තක් ගත්තෙ නැහැ. අන්දාල්වරු පටු මුහුද තරණය කරලා ඇවිල්ලා මුල් මිනිස්සුන්ගෙ රාජධානි විනාශ කර කර යනකොට මේ වැටිච්ච රජවරුන්ගෙ පුත්තු තමන්ගෙ දිවුරුමට පක්ෂපාතීව තමන්ගෙ නියමිත තැන වෙච්ච ප්‍රාකාරෙටම වෙලා හිටියා. එහෙමයි ඒක හැමදාමත් වුනේ. උඹට ගණන් කරන්ටත් බැරි තරම් කාලාන්තරයක් තිස්සෙ එහෙමයි වුනේ. ඒ තමා ගෞරවය වෙනුවෙන් ගෙවන්ට වෙච්ච මිල."
"බයගුල්ලෙකුටත් පුළුවන් අනිත් ඕනම මිනිහෙක් තරමටම නිර්භීත වෙන්ට. බයවෙන්ට වෙන කිසිම කාරණයක් නැත්තම්. අපි හැමෝම අපේ රාජකාරිය අකුරටම ඉටුකරනවා ඒ වෙනුවෙන් මිලක් ගෙවන්ට සිද්ද වුනේ නැති වෙලාවට. එතකොට නම් හිතෙන්නෙ මේ ගෞරවය වෙනුවෙන් වැඩ කරන එක කොච්චර ලේසිද කියලයි. ඒ වුනත් ඉක්මනටම හරි පස්සෙ හරි හැම මිනිහෙකුටම එනවා දවසක්, ඒක තවදුරටත් ලේසි වැඩක් වෙන්නෙ නැති. දවසත් එනවා එයාට තෝරාගැනීමක් කරන්ට සිද්දවෙන."
සමහර කපුටෝ තවමත් අහර බුදිමින් සිටියහ. ඔවුන්ගේ හොටවලින් දිගැති මස් කැබැලි එල්ලෙමින් තිබුනි. එනමුදු අනික් කපුටන් සියල්ලක්ම තමා දෙස බලා සිටින්නාක් මෙන් ජොන්ට හැඟුනි. මේ පුංචි කළු පැහැ දෑස් සියල්ලම එකතු වී තමා මත මහත් බරක් පටවන්නාක් මෙන් ඔහුට දැනුනි. "ඉතින් අද තමා මගේ දවස... ඒකද ඔබ ඔය කියන්ට හදන්නෙ?"
මේස්ටර් ඒමන් හිස හරවා ඒ අන්ධ කිරි සුදු පැහැ දෑසින් ඔහු දෙස බැලුවේය. එය හරියටම ඔහු සිය සම විනිවිද ගොස් හදවත පතුළ අත ගා බලන්නාක් මෙන් විය. තමා නිරුවතින් ඔහු ඉදිරියේ සිටගෙන ඉන්නාක් වැනි හැඟීමක් ජොන්ට දැනෙන්නට විය. දෑතින්ම මස් බාල්දිය ඔසවාගත් ඔහු ඉතුරු වී තිබුනු මස් සියල්ලම කූඩුව තුළට විසිකර දැම්මේය. මස් කැබැලිත් රුධිරයත් දසත විසිර ගියේය. කපුටෝ වහා විසිර ගියේ මහහඬින් කරවු කරමින් සීසීකඩ පියාඹන්නට වන්හ. ජොන් හිස් බාල්දිය බිම අත් හැරියේය.
මහල්ලා වියළි, පුල්ලි වැටුනු අතක් ඔහුගේ දසරුව මත තැබුවේය. "ඒක වේදනාවයි කොල්ලො." ඔහු මෘදු ස්වරයෙන් කීය. "ආහ්! ඔවු. තෝරාගැනීම කියන්නෙ හැම වෙලාවෙම වේදනාවක්. මම දන්නවා ඒක හැමදාමත් එහෙම වුනා. හැමදාමත් එහෙම වේවි."
"ඔබ දන්නෙ නෑ." ජොන් කටුක ස්වරයෙන් කීය. "කිසිම කෙනෙක් දන්නෙ නෑ. මම එයාගෙ අවජාතකයා වුනත් එයා තාමත් මගේ තාත්තා..."
මේස්ටර් ඒමන් සුසුමක් හෙලීය. "මම උඹට කියාපු කිසිම දෙයක් උඹ අහගෙන නෙවෙයිද හිටියෙ ජොන්? උඹ හිතන්නෙ ඕකට මූනදුන්න පළවෙනියා උඹයි කියලද?" ඔහු සිය මහලු හිස දෙපසට වැනුවේ හරියටම වදනින් කියාගත නුහුන යමක් කියන්නට තැත් කරන්නාක් මෙනි. "දෙවිවරු මගේ දිවුරුම තුන් පාරක් පරීක්ෂා කරලා බැලුවා. එකපාරක් මම පොඩි කොල්ලෙක් කාලෙ. තව පාරක් මම හොඳට වැඩුන මිනිහෙක් වෙලා ඉන්දැද්දි. අනිත් පාර මම නාකි වෙලා ඉන්දැද්දි. ඒ වෙනකොට මගේ ශක්තිය නැතිවෙලා ගිහිල්ලයි තිබුනෙ. මගේ ඇස් දෙක දුර්වල වෙලයි තිබුනෙ. ඒ වුනත් ඒ අන්තිම පරීක්ෂාව අර මුල්ම පරීක්ෂාව තරම්ම වේදනාවක් ගෙනාවා. ඒ අන්තිම තෝරාගැනීම අර මුල්ම තෝරාගැනීම තරම්ම ක්‍රෑර වුනා. මගේ කපුටො දකුණෙ ඉඳන් පණිවුඩ අරන් ආවා. උන්ගෙ පියාපත්වලටත් වඩා අඳුරු ආරංචි. මගේ වංශයේ විනාශය. මගේ නෑයින්ගෙ මරණ. අපකීර්තිය. වියෝගය. මට මොකක්ද කරන්ට පුළුවන්? නාකියි, අන්ධයි, දුර්වලයි. මම හරියට කිරිබොන දරුවෙක් ගානට අසරණ වුනා. අනාථ වුනා. ඒ වුනත් ඒ දේවල් වෙන අතරෙදි මෙහෙම මුල්ලකට වෙලා කාටත් අමතක වෙලා ඉන්ට සිද්දවෙච්ච එක ගැන මට මහ කණගාටුවක් ඇතිවුනා. උන් මගේ මල්ලිගෙ අර අසරණ මුනුබුරාගෙ බෙල්ල කපලා මරද්දි, එයාගෙ පුතාවත් මරද්දි, ඒ පුතාගෙත් පුංචි දරුවො පවා මරද්දි..."
මහල්ලාගේ දෑසේ දිදුලන කඳුළු බිඳු දැකීමෙන් ජොන් තිගැස්සුනේය. "ඔබ කවුද?" ඔහු මෘදු ස්වරයෙන්, තැතිගැන්මෙන් යුතුව ඇසීය.
වියළි දෙතොල් මත දත් නැති සිනාවක් මතුවිය. "මම සිටඩේල් එකේ නිකංම නිකං මේස්ටර් කෙනෙක් විතරයි. කළු බලකොටුවටත් නිශාරැකුමටත් සේවය කරන්ට බැඳුන සේවකයෙක් විතරයි. අපේ නිකායෙ සම්ප්‍රදාය අනුව දිවුරුම් දීලා මේ දම්වැල කරේ දාගන්න දා ඉඳන් අපි අපේ පෙළපත් නම් අත ඇරලා දානවා." මහල්ලා සිය කෙසඟ ගෙල වටා ලිහිල්ව එල්ලා වැටුනු දම්වැල අතපත ගෑවේය. "මගේ තාත්තගෙ නම මේකර්. ඒ නමින් හිටිය පළමුවෙනියා. එයාගෙන් පස්සෙ මගේ මල්ලි ඒගන් රජවුනා මම වෙනුවට. මගේ සීයා මට නම දැම්මෙ මකර නයිට්වර ඒමන් කුමාරයා මතක් වෙන්ට කියලයි. ඒ එයාගෙ මාමා. එහෙමත් නැත්තම් එයාගෙ තාත්තා. ඒක තීරණය වෙන්නෙ උඹ මොන කතාව විශ්වාස කරනවද කියන එක උඩ. ඒමන්. එහෙමයි එයා මට නම දැම්මෙ..."
"ඒමන්... ටාර්ගේරියන්?" ජොන්ට තම දෙසවන් අදහාගැනීමට නොහැකි විය.
"එකමත් එක කාලෙක." මහල්ලා කීවේය. "එකමත් එක කාලෙක. ඉතින් දැන් උඹට පේනවනෙ. මමත් ඔය දේවල් ගැන දන්නවා... මම උඹට කියන්නෙ නෑ ඉන්ටයි කියලා. මම උඹට කියන්නෙ නෑ යන්ටයි කියලත්. ඒ තීරණය උඹ විසින්මයි ගන්ට ඕන. ඊටපස්සෙ ඒ ගත්තු තීරණයත් එක්ක උඹේ ඉතුරු ජීවිතකාලෙම ගෙවලා දාන්ට ඕන. හරියට මම කලා වගේ." ඔහුගේ කටහඬ සිහින් වී ගොස් මිමිනුමක් බවට පත්වූයේය. "හරියට මම කලා වගේ..."
Jeor Mormont: “Eight thousand years is a good while, to be sure... yet if the Night’s Watch does not remember, who will?”
හුටා....
ReplyDeleteහරි විදියට බැලුවොත් යකට ගොඩට ඉතුරු වෙලා ඉන්න ඇත්තම උරුමක්කාරයා....
මගුලක් නෙව....
නැහැ නේ බං මිනිහෙක් මහණ වුනොත් ඒ ගිහි පවුල් එක්ක තියෙන සම්බන්ධය නැති වෙනවා වගේ දැන් ඉතින් මේස්ටර්ටත් කරන්න දෙයක් නැහැ.ටාර්ගේරියන් හරි මොන ගේරියන් හරි බැදගත්තු බෙරේ ගහන්නම වෙනවා.
Deleteඋරුමක්කාරයෙක් වෙන්නෙ උරුමයට උරුමකම් කියන්ට ගියොත් නේද මහේෂ්? ඒමන් තුන්පාරක් උරුමය එපා කියලයි තියෙන්නෙ..
Delete@ මනෝජ්,
මේස්ටර්ට පුළුවන් ඕන නම් මේස්ටර් කමෙන් අයින් වෙන්ට. කළු බලකොටුවට සේවය කලාට එයා කළු සහෝදරයෙක් නෙවෙයි, මේස්ටර් කෙනෙක්. පැවිදි කෙනෙකුට උපැවිදි වෙන්ට පුළුවන් වගේ එයාටත් පුළුවන් ඕනනම් මේස්ටර් කමෙන් අයින් වෙන්ට.. දිගටම ඉන්න එක එයාගෙ තීරණයක්..
ආ එහෙමත් පුළුවන්ද ?:D
Delete//ඒමන් තුන්පාරක් උරුමය එපා කියලයි තියෙන්නෙ..//
Deleteඊට ටිකක් අඩු තනතුරකට එන්න කියල කවුරුවත් කිව්වෙ නැද්ද?
ජොන් මෙතනින් අයින් වෙලා යයිද එහෙනම් ??????
Deleteමේ මොනවා අහනවද? ජොන් කිව්වා එයාට දැන් තාප්පෙ එපා වෙලා තියෙන්නෙ, මාසෙකට දාන වේල් දෙක තුනක් කොටා බාන්න විදිහක් සැට් කරල දෙන්න බැයිද කියලා .
Deleteහැබෑටම කොයි වෙලාවෙයි කිව්වෙ නරි මොටෝ :P
Deleteඅපේ ජීවිත කතාවල ඉස්සරහට මොනවා වෙනවද දන්නේ නෑ වගේ තමා මේ කතාවත් සෝන්යා. හැබැයි මට නම් ඕනි කවදා හරි ජොන්ව රජ කරවන්ට. :P
Deleteමාත් කැමතියි ජොන් රජ වෙනවා නම් :)
DeleteAemon targaryan . Holy crap :-o
ReplyDeleteDude dude dude... :-O
DeleteAegon v targaryan. (Aegon the unlikely) fourth son of a fourth son. :)
DeleteNow that is one lucky prince eh?
අනේ ද කියන්නෙ කසිප්පු කුමාර (© කකා) , මටත් හිතෙනවා ඉස්පොයිලර් එකක් දාලා, හොඳ නරි හූවක් තියල පැනලා දුවන්න :)
DeleteWhere was the spoiler?
Deleteමං කිව්වෙ හිතෙනව කියල විතරයි :)
Deleteදාලා බලමු. නරිමොටාට මොනවද වෙන්නේ කියලා බලන්ට.:P
Deleteකළු සහෝදරයෙක් වෙලා දිවුරුම් දෙනවා කියන්නේ යකා බැදගත්තා වගේ වැඩක් නේ.
ReplyDeleteහදිසි විදේශ කුමන්ත්‍රණයකදී රජතුමාදෑත ශක්තිමත් කරන්න බැහැනේ.:D
රජතුමාගෙ මල්ලි වුනත් දෑත් ශක්තිමත් කරන්ට යන්ට බැහැ..
Deleteහැබැයි ඉතින් ඒක තීරණය වෙන්නෙ අදාල පුද්ගලයා මත. එහෙම දෑත් ශක්තිමත් කරන්ට අයථා අන්දමින් නිශාරැකුමෙ හමුදා බලය පාවිච්චි කරපු අණදෙන නිළධාරිනුත් හිටියා.. :-)
මෙහේ වගේමයි නේද ?
Deleteඑහෙත් මේ වගෙයි , මෙහෙත් ඒ වගෙයි :)
Deleteමේ මෙහේ නම් ඒ වගේ නෑලු. :P
DeleteWe are only human, and the gods have fashioned us for love. That is our great glory, and our great tragedy. :)
ReplyDeleteYou talking to PoM?
Delete私は愛で唯一のでしょうか?
Deleteこれは何ですか?
Deleteහී...හී...ප්‍රා...දැන් එක්කෙනෙක් කතාව, හිනාව, ගමන ඔක්කොම ජපන්ලු.
DeleteKore wa" am I the only one in love?" Desu
Deleteමූන ජපන් කඳ ජර්මන් කකුල් ඉතාලි. එ වුනත් අරිශ්ට නම් " අන්තිම බිඳුවටම ලාන්කිකයි"
ඕකනේ ජොන් බාප්ප මුලින්ම කිව්වෙ... දැන් ඉතින් කියන දෙයක් අහගෙන මෙහෙටම වෙලා ඉන්නයි වෙන්නෙ... ගෞරවේ නෙව වටින්නෙ ;)
ReplyDeleteපව්නේ ... ෂිහ් ජොන්ට ඉන්ට තිබ්බේ මේ පැත්තේ...:D
Deleteමගුලෙ සංවාදත් හෙන සීරියස්නෙ බං. ඒපාර ඔක්කොම කතාව කියවල විතරද ක්මෙන්ට් දාන්නෙ හිටං?
ReplyDeleteයකෝ අපිටත් යමක් ලියන්න බැරි ප්‍රබුද්ධ කමෙන්ට්, මේකද බං යහපාළනේ?
තාම පටන් ගත්තා විතරයි සිංහයෝ...:P
Deleteතව එකක් හරි...
ReplyDelete