වයෙස් ඩොත්රැක්හි තුරඟ ද්වාරය පසුපාදවලින් සිටගත් දැවැන්ත ලෝකඩ අසුන් දෙදෙනෙකුගෙන් නිමවී තිබින. අඩි සියයක් පමණ ඉහළින් උන්ගේ පෙර පාද එකිනෙක ගැටී කවාකාර ආරුක්කුවක් නිමැවුනේ ය.
ඇසට හසුවන මානයේ කිසිදු ගොඩනැගිල්ලක් හෝ ප්‍රාකාරයක් නැති නගරයකට දොරටුවක් කුමකට දැයි ඩැනීට සිතා ගත නොහැකි විය. එහෙත් ඈතින් පෙනෙන දම් පැහැ කඳු වැටිය රාමු කරමින් එය තේජමානව නැගී සිටියේය. රුධිරාරක්ෂකයින් පිරිවැරූ ඛාල් ඩ්‍රෝගෝ තම ඛලසාරය ලෝකඩ කුර අතරින් දෙවියන්ගේ මාවත ඔස්සේ මෙහෙයවද්දී සන්ධ්‍යාව එළැඹී තිබුනු අතර ලෝහමය අසුන්ගේ දැවැන්ත සෙවනැල්ල නැලවෙන තණබිම් හරහා විහිදී තිබින.
රිදීවන් වෙළඹ පිට නැගුනු ඩැනී යලිත් අසුපිට යාමට වරම් ලබා සිටි විසේරිස් සහ සෙර් ජෝරා මෝර්මන්ට් පිරිවරා ඒ පසුපස ගමන් කලාය. ඩැනී විසින් විසේරිස්ව තණබිමේ තනිකර දැමු දින සිට, ඔහුට ඛලසාරය වෙත පයින්ම ගාටන්නට සිදුවූ දින සිට ඩොත්රැකියෝ ඔහුට 'ඛාල් රේ මා' හෙවත් කොර කකුල් රජා යැයි උසුළු විසුළු කලහ. ඊළඟ දිනයේ ඩ්‍රෝගෝ විසින් ඔහුට කරත්තයක නැග ගමන් කිරීමට අවස්ථාවක් ලබා දුන් අතර ඔහු සතුටින් බාර ගත්තේය. ඛාල් විසින් තමාව විහිළුවට ලක්කරන බව මේ මුරණ්ඩු මෝඩයා නොදත්තේ ය. ඩොත්රැකි සමාජය තුළ කරත්ත වල ගමන් කරන්නේ ගැබිණි මවුන්, නපුංසකයන්, ආබාධිතයන්, මහල්ලන් සහ ළදරුවන් පමණක් බව ඔහු දන සිටියේ නැත. එදා පටන් ඔහුට 'ඛාල් රාඝට්' හෙවත් කරත්ත රජා යනුවෙන් තවත් විසුළු නමක් පටබැඳින. එනමුදු ඩැනීගේ මෝඩ සොහොයුරා සිතුවේ මේ ඇය කල වරදට ඛාල් ඔහුගෙන් සමාව අයදින ආකාරය බවය. ඔහුට සත්‍ය පහදා දී ලජ්ජාවට පත් නොකරන ලෙස සේර් ජෝරාගෙන් අයැද සිටීමට ඇයට සිදුවිය. ලැජ්ජාවට පත් වීම ඔහුට සිදුවන හොඳක් බව සිතුවද ජෝරා ඇයට එකඟ විය. දින ගණනාවක් තිස්සේ කල අයැදීම් සහ ඩෝරියා විසින් කියාදුන් ශිල්ප සියල්ල භාවිතයෙන් පසු විසේරිස්ට නැවත ඛලසාරයේ ඉදිරි පෙළට එක් වී ඔවුන් අසලින් කරන්නට ඉඩදීම වෙනුවෙන් ඛාල් එකඟ කරවාගැනීමට ඇයට හැකිවිය.
"කෝ නගරය?" ලෝකඩ ආරුක්කුව පසු කරන අතර ඇය ඇසුවාය. කිසිදු ගොඩනැගිල්ලක් හෝ මිනිස් පුලුටක් හෝ නොමැති තණබිම මැදින් වැටී තිබුනු මාවත දෙපස ඩොත්රැකියන් විසින් සියවස් ගනනාවක් තිස්සේ යටත් කරගත්, කොල්ල කෑ, විනාශ කර දැමූ නගරවල පෞරාණික සිහිවටන පමණක් විසිරී තිබින.
"ඉස්සරහ." සෙර් ජෝරා පිළිතුරු දුන්නේය. "කන්ද පාමුල."
තුරඟ ද්වාරයට ඔබ්බෙන් මාවත දෙපස සොරකම් කල විරුවෝ සහ මංකොල්ල කෑ දෙවිවරු උත්තුංගව නැගී සිටියහ. බිඳී ගිය අකුණු සර අහසට එල්ලකර ගෙන සිටි, මළගිය නගරවල අමතක වූ දෙවිවරුන් ගේ දෙපා පසු කරමින් ඩැනී ඇගේ රිදීවන් අසු ධාවනය කලාය. කැඩී බිඳී ගිය පැල්ලම් වැකුනු මුහුණු ඇති, ශෛලමය නරපතියෝ ඔවුන් ගේ සිහසුන් වල සිට ඇය දෙස තුච්ජ ලෙස බලා සිටියහ. ඔවුන් ගේ නම් පවා කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් තිබින. මලින් පමණක් ගත වසා ගත් සුලලිත අංගනාවෝ කිරිගරුඬ ඵලක මත රංගනයේ යෙදුනහ, නැතිනම් බිඳුනු බඳුන් බිමට නමා සිටියහ. කලකට ඉහතදී නම් මේ බඳුන්වලින් දිය වෑස්සෙන්නට ඇත. දිදුලන මිණි ඇසින් යුත් කළු යකඩ මකරු, ගොරවන නරසිංහයෝ, පහරදීම පිණිස තුඩු සහිත වල්ගා අමෝරාගත් මැන්ටිකෝරයින් සහ ඇය නම් නොදන්නා වෙනත් බොහෝ රාක්ෂසයයෝ මග දෙපස රැක සිටියහ. සමහර ප්‍රථිමා කෙතරම් මනබඳිනසුළු වීද යත් ඒ වෙතින් දෑස් ඉවතට ගැනීම පවා අපහසු වූ අතර තවත් සමහරක් බැලිය නොහැකි තරමට විරූපී හෝ හඳුනාගත නොහැකි තරමට කැඩී බිඳී ගොස් තිබින. සෙර් ජෝරාට අනුව නම් ඒවා අෂයීවලට ඔබ්බෙන් වූ සෙවනැලි දේශයෙන් ගෙන ආ ප්‍රථිමා විය.
"මෙච්චර ගොඩක්!" සිය රිදී අසු සෙමෙන් සෙමෙන් ඉදිරියට මෙහෙයවමින් ඩැනී මිමිනුවා ය. "එච්චර ගොඩක් රටවලින්!"
විසේරිස් නම් ඒවායින් එතරම් පුදුමයට පත් වූ බවක් නොපෙනින. "මැරිච්ච නගරවලින් ගෙනාපු පරණ කහල ගොඩවල්!" ඔහු නියැවීය. ඩොත්රැකියන්ට නොතේරෙන පරිදි පොදු බසින් කතාකිරීමට තරම් ඔහු පරෙස්සම් සහගත විය. එනමුදු සිය ඛාස්වරුනට ඒවා නොඇසුනු බව සහතික කරගැනීමට ඩැනී ඔවුන් දෙස හැරී බැලුවාය. "මේ ම්ලේච්ඡයින්ට තේරෙන එකම දේ තමන්ට වඩා උසස් මිනිස්සු හදපු දේවල් හොරකම් කරන්ටයි... මිනීමරන්ටයි විතරයි." ඔහු සිනාසෙමින් කියාගෙන ගියේය. "හොඳ වෙලාවට උන් මිනීමරන්ට දන්නවා, නැත්තම් මට මුන්ගෙන් මෙලෝ වැඩක් නෑ."
"එයාලා දැන් මගේ මිනිස්සු." ඩැනී විරුද්ධ වූවාය. "එයාලට ම්ලේච්ඡයෝ කියන්ට එපා."
"මකරාට ඕනේ එකක් මකරා කියනවා." ඔහු තමා පසුපසින් ගමන් කරමින් සිටි ඒගෝ සහ රඛාරෝ වෙත සමච්චල් සිනාවකින් සංග්‍රහ කලේය. "පේනවනෙ, මුන්ට ශිෂ්ට භාෂාවක්වත් තේරුම්ගන්ට තරම් බුද්ධියක් නැති හැටි." ඔවුන් ඉදිරියෙන් වූ අඩි පනහක් පමණ උසැති, පෙඳ පාසියෙන් වැසීගිය ගල් කණුවක් දෙස ඔහු උදාසීන නෙතින් බැලුවේය. "මේ කහල ගොඩේ තව කොච්චර කල් ලැගල ඉන්ට වෙයිද මගේ හමුදාව දෙනකල්? මට මේකේ ඉඳල එපාවෙලයි තියෙන්නේ."
"කුමාරිව ඩොෂ් ඛලීන්ලාට පෙන්නන්ට ඕන..."
"ඔවු ඔවු අර නාකිච්චියෝ ටිකනේ." ඔහු කඩා පැන්නේ ය. "ඊට පස්සෙ ඕකිගෙ බඩේ ඉන්න එකා ගැන අනාවැකි කියන්ට තවත් මොකද්ද මල කෝලමක් තියනවා කියලා උඹ මට කලින් කිවුවා නේද? ඒකෙන් මට වැඩක් නෑ. අශ්ව මස් කාල කාල මට දැන් ඇති වෙලා තියෙන්නේ. මේ ම්ලේච්ජයන් ගේ ගඳත් මට ඉවසන්ට බෑ." ඔහු සුවඳ කුඩු පසුම්බියක් රඳවා තබාගෙන සිටි කබා අත සිම්බේ ය. එනමුදු එයින් කිසිදු ඵලක් ඇති නොවූයේ ඔහුගේ කබාය එකම කුණු ගොඩක් වී තිබුනු බැවිනි. පෙන්ටොස්වලින් පිටත්වද්දී ඔහු ඇඳ සිටි බර ලොම් ඇඳුම් හා සේද රෙදි සියල්ල දිරාගොස් දහඩියෙන් ජරා වී ගොස් තිබින.
"බටහිර වෙළෙඳපලේ කටට රහ කෑම තියෙයි මගේ ස්වාමිනී. නිදහස් නගරවල වෙළෙන්දෝ උන්ගෙ බඩු විකුණගන්ට එහාට එනවා. ඛාල් එයාගේ පොරොන්දුව හරි වෙලාවට ඉටු කරයි." සෙර් ජෝරා පැවසුවේ ය.
"එහෙම කලොත් හොඳයි." ඔහු සාහසික ලෙස පැවසීය. "ඌ මට ඔටුන්නක් පොරොන්දු වුනා, ඒක මම කොහොමහරි ගන්නවා. මකරත් එක්ක විහිළු බෑ." පියයුරු හයක් සහ මුගටි හිසක් තිබුණු විශාල ප්‍රථිමාවක් දුටු ඔහු එය වඩා හොඳින් නිරීක්ෂණය කිරීම පිණිස එදෙසට අසු මෙහෙයවූයේය.
ඩැනීට සැහැල්ලුවක් දැනුනද ඇගේ සිතේ වූ වියවුල් බව මුලුමනින්ම මැකී නොගියේ ය. "මගේ ඉරයි-තරුයි එයාව ගොඩක් කල් මෙහෙ තියාගන්නෙ නැතිවෙන්ටයි කියලා මම ප්‍රාර්ථනා කරනවා." ඔහු නෑසෙන මානයට ගියපසු ඇය සෙර් ජෝරාට පැවසුවා ය.
නයිට්වරයා ඇගේ සොහොයුරා දෙස සැකමුසු බැල්මක් හෙලුවේ ය. "ඔබේ සහෝදරයට තිබුනෙ පෙන්ටොස්වල නතරවෙලා ඉන්ටයි. ඛලසාරයක් කියන්නෙ එයාට හරියන තැනක් නෙවෙයි. ඉල්ලිරියෝ ඕක කියන්ට උත්සාහ කලා."
"එයාගෙ සෙබළු දහදාහ හම්බවුන හැටියේ එයා මෙහෙන් යයි. මගේ ස්වාමියා එයාට රත්තරන් ඔටුන්නක් පොරොන්දු උනා නේ."
සේර් ජොරා අමනාපයෙන් මෙන් ගෙරවීය. " ඔවු ඛලීසි. ඒ වුනත්... ඩොත්රැකියෝ මේවා දිහා බලන්නේ බටහිර අපි බලන විදියට නෙවෙයි, උන්ගේම විදියකට. මම ඕක පැහැදිලි කරන්ට උත්සාහ කලා, ඉල්ලිරියෝ ඕක පැහැදිලි කරන්ට උත්සාහ කලා. ඒත් ඔබේ සහෝදරයා ඕව කණකට ගන්නෙ නෑ නෙව. මේ අශ්වහිමියො කියන්නෙ වෙළෙන්දෝ නෙවෙයි. විසේරිස් හිතාගෙන ඉන්නේ එයා ඔබව විකුණුවා කියලයි. දැන් එයා බලාගෙන ඉන්නේ ඒකෙ මිල ලැබෙනකල්. ඒත් ඛාල් ඩ්‍රෝගෝ හිතන්නේ ඔබ තෑග්ගක් කියලයි. එයා විසේරිස්ට ආපහු තෑග්ගක් දෙයි. ඇත්ත... හැබැයි එයාට ඕන වෙලාවට. තෑගි ඉල්ලලා බලකරන්ට බෑ නෙව. ඛාල් කෙනෙක්ගෙන් නම් මොනවත්ම බල කරලා ගන්ට බෑ."
"ඒත් එයාව මෙහෙම තියාගෙන ඉන්න එක හරි නෑ." තමා මෙසේ සිය සොයුරාව ආරක්ෂා කරන්නේ මන්දැයි ඩැනී නොදත්තා ය. "විසේරිස් කියනවා රණකාමියෝ දහදාහකින් එයාට මුලු රාජධානි සප්තකයම පිහදාලා යටත් කරගන්ට පුළුවන් කියලා."
සෙර් ජෝරා උපහාසයෙන් හඬක් නැගීය. "විසේරිස්ට කොසු දහදාහකින් අස්ස ගාලක්වත් අතුගාගන්ට බෑ."
ඔහුගේ උපහාසාත්මක ස්වරය ඩැනීව විශ්මයට පත් කිරිමට අසමත් විය. "කොහොමද... කොහොමද ඒ විසේරිස් නැතුව වෙන කෙනෙක් වුනා නම්? වෙන කෙනෙක් උන්ව මෙහෙයෙවුවොත්? වඩා ශක්තිමත් කෙනෙක්? එහෙම වුනොත් ඩොත්රැකියන්ට ඇත්තටම රාජධානි සප්තකය අල්ලගන්ට පුළුවන් වෙයිද?"
සෙර් ජෝරාගේ මුහුණ බැරෑරුම් හා කල්පනාකාරී විය. "මම පිටුවහලෙක් විදියට මුලින්ම මෙහාට ආපු කාලේ මට මුන්ව පෙනුනේ බාගෙට හෙළුවෙන් ඉන්න වැද්දෝ ටිකක් වගේ. උන්ගෙ අශ්වයින් වගේම වනචාරියො ටිකක් වගේ. ඒ කාලේ ඔය ප්‍රශ්නය මගෙන් ඇහුවානම් කුමාරි, මම කියයි හොඳ දක්ෂ නයිට්වරුන් දාහකට මුන් ලක්ෂයක් එක්ක වුනත් ලේසියෙන්ම සටන් කරන්ට පුළුවන් කියලා."
"ඒත් මම දැන් ඇහුවොත්?"
"දැන්?" නයිට්වරයා පිළිතුරු දුන්නේ ය. "දැන්නම් මට ඒක එච්චරම විශ්වාස නෑ. මුන් අපේ ඕනම නයිට් කෙනෙකුට වඩා හොඳ අසරුවො. යකාටවත් බය නෑ. අනික මුන්ගේ දුනු වලින් අපේ ඒවාට වඩා ඈතට විදින්ට පුළුවන්. රාජධානි සප්තකයේ නම් දුනුවායෝ සටන් කරන්නේ බිම ඉඳන්. නැත්තම් පලිහ පිටිපස්සේ හැංගිලා. එහෙමත් නැත්නම් උල් රිටිවලින් හදාපු බාධකයක් ඉස්සරහින් තියාගෙන. ඩොත්රැකියෝ විදින්නේ අශ්වයො පිටේ යන ගමන්මයි. පහරදෙනව ද නැත්තම් පහුබහිනව ද කියලා වෙනසක් නෑ. අනික කිසිම වැරැදීමක් නැතුව ඉලක්කෙටම විදින්ට උන්ට පුළුවන්... ඒත් එක්කම උන් මහා ගොඩක් ඉන්නවා මගේ ආර්යාවනි. ඔබේ සැමියා ගේ ඛලසාර් එකේම රණකාමී අසරු සෙබළු හතලිස් දාහක් ඉන්නවා."
"ඒක ඇත්තටම ලොකු ගානක් ද?"
"ඔබේ සහෝදරයා රේගාර්, ගංගා ත්‍රිශූලයේ සටනටත් ඒ තරම්ම ගානක් ගෙනාවා." සෙර් ජෝරා පිළිගත්තේ ය. "ඒත් ඒකෙන් දහයෙන් එකක් විතරයි නයිට්වරු හිටියේ. අනික් උන් ඔක්කොම දුනුවායොයි, නිදහස් සටන් කාරයොයි, හෙල්ලෙනුයි කුන්තානියෙනුයි සටන් කරන පාබල හමුදාවයි විතරයි. රේගාර් වැටුනයින් පස්සේ උන්ගෙන් හුඟදෙනෙක් ආයුධ ඔක්කොම විසිකරලා පැනල ගියා. ඒ වගේ පඹයො ටිකක් ලේ පිපාසිත ඩොත්රැකියො හතලිස් දාහක් එක්ක කොච්චර වෙලා සටන් කරයි කියලද ඔබ හිතන්නෙ? වැස්සක් වගේ ඊතල වැටෙනකොට ඔය හම් කබාවලටයි, මුදු දම්වැල් සන්නාහවලටයි කොච්චර වෙලාවක් ඔරොත්තු දීගෙන ඉන්ට පුළුවන් වෙයිද?"
"එච්චර වෙලාවක් නෙවෙයි. එච්චර හොඳටත් නෙවෙයි."
ඔහු හිස වැනීය. "මේක තේරුම් ගන්ට කුමාරි. රාජධානි සප්තකයේ පාලකයින්ට මොළේ කළඳක්වත් තියෙනවා නම් මේකෙන් වලකින්ට පුළුවන්. මේ ඩොත්රැකියන්ට ඔය බලකොටු වටලෑම් ගැන දැනුමක් නෑ. ඒක උන්‍ට අල්ලන්නෙත් නෑ . රාජධානි සප්තකයෙ තියෙන දුර්වලම බලකොටුවවත් මුන්ට අල්ලගන්ට පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නෑ. ඒත් රොබර්ට් බරතියන් මෝඩයා වගේ මුනුත් එක්ක මූනට මූන සටන් කරන්ට ගියොත් නම්..."
"එයා එහෙම කෙනෙක් ද?" ඩැනී ඇසුවාය. "ඒ කීවේ මෝඩයෙක් ද?"
නයිට්වරයා මොහොතක් කල්පනා කලේය. "රොබර්ට් ඉපදෙන්ට තිබ්බේ ඩොත්රැකියෙක් වෙලා." ඔහු අන්තිමේදී පිළිතුරු දුන්නේය. "ඔබේ ඛාල්ගෙන් ඇහුවොත් එයා කියයි කඩුවක් අතින් අරන් සතුරාට මුහුණ දෙන්නෙ නැතුව ප්‍රාකාර අස්සේ හැංගිලා සටන්කරන්නෙ බයගුල්ලෝ කියලා. රොබර්ටුත් ඒකට එකඟ වෙයි. එයා බොහොම ශක්තිමත් නිර්භීත මිනිහෙක්. එයාට පුළුවන්නම් එයා ඩොත්රැකියොත් එක්ක එලිමහනෙම සටන් කරයි. ඒත්, එයාගෙ වටේ ඉන්න නලාකාරයෝ ගහන්නෙ වෙනමම පදයක්. එයාගේ මල්ලි ස්ටැනිස්, ටයිවින් ලැනිස්ටර් උතුමානන්, එඩාර්ඩ් ස්ටාර්ක් උතුමානන් වගේ අය." ඔහු බිමට කෙල පහරක් ගැසුවේය.
"ඔබට මේ ස්ටාර්ක් උතුමානන්ව පේන්ට බෑ නේද?"
"ඌ මාව මම ආදරේ කරපු හැම දේකින්ම වෙන් කලා. ජරා හොර දඩයක්කාරයො ටිකකුයි, උගෙ මලඉලවු ගෞරවයයි නිසා." සෙර් ජෝරා අමිහිරි හඬකින් පිළිතුරු දුන්නේ ය. ඒ ස්වරයේ ගැබ් වූ වේදනාව කොතෙක්ද යන්න වටහා ගන්නට ඩැනීට හැකිවිය. ඔහු වහාම කතාව වෙනතකට හැරවූයේ ය. "අන්න, අර තියෙන්නෙ." ඔහු ඇඟිල්ල දිගුකොට පෙන්වීය. "වයෙස් ඩොත්රැක්, අශ්වාධිපතියන් ගේ නගරය. "
ඛාල් ඩ්‍රෝගෝ සහ ඔහුගේ රුධිරාරක්ෂකයෝ බටහිර වෙළෙඳපලෙහි යස කඩ වීදි ඔස්සේද, ඉන් ඔබ්බෙහිවූ පුළුල් මාවත් දිගේද සිය ඛලසාරය මෙහෙයවූහ. ඊට පිටුපසින් රිදීවන් අසු පිට ගමන් කල ඩැනී වටපිට වූ අමුතු දසුන් දෙස දෑස් අයා බලමින් ගමන් කලාය. වයෙස් ඩොත්රැක් ඇය දුටු විශාලතම නගරය මෙන්ම කුඩාම නගරය ද විය. එය පෙන්ටොස් මෙන් දස ගුණයක් විශාල වන්නට ඇතැයි ඈ සිතුවාය. එය නගර ප්‍රාකාරවලින් හෝ අන් කිසිවකින් සීමා නොවූ සුවිසල් තැනක් විය. එහි වූ නිතරම වේගවත් සුළං හමන පුළුල් මංපෙත් තණකොල, මඩ සහ කැලෑමලින් වැසී තිබින. බටහිර දේශයේ පිහිටි නිදහස් නගර වනාහි මාලිගා, කුළුණු, පැල්පත්, පාලම් සහ වෙළෙඳසල් යන සියල්ලම එකිනෙකට තදබද වුනු සීමිත ප්‍රදේශයන් විය. එහෙත් වයෙස් ඩොත්රැක් තම පෞරාණිකබව පෙන්වමින්, ආඩම්බරයෙන් හා හිස් බවින් යුතුව, හිරු එළියේ නැහැවෙමින් සිටියාය.
මෙහි වූ ගොඩනැගිලි පවා අමුතු විලාසයක් ගත්තේය. කැටයම් කරන ලද පාෂාණමය මණ්ඩප, වියන ලද තණපත් වලින් නිම කල බලකොටු තරම් විශාල මන්දිර, දැවයෙන් කරන ලද දුර්වල කුළුණු, කිරිගරුඬ අල්ලන ලද පඩි සහිත පිරමීඩ, වහලක් රහිත ගස් කඳන් වලින් තැනුනු ශාලා ආදී සෑම දෙයක්ම එහි විය. සමහර මන්දිර ප්‍රාකාර වෙනුවට කටු වැටින් වට කර තිබුණි. "එක වගේ දෙකක් හොයාගන්ට නෑ!" ඇය පුදුමයෙන් පැවසුවා ය.
"ඔබේ සහෝදරයා කියාපු දේවලින් බාගයක් ඇත්ත." සෙර් ජෝරා පිළිගත්තේ ය. "ඩොත්රැකියෝ කිසිම දෙයක් ගොඩනගන්නේ නෑ . අවුරුදු දාස් ගානක් තිස්සෙ උං පුරුදුවෙලා ඉන්නෙ ඉහට උඩින් වහළක් ඕන නම් බිම වලක් හාරලා උඩින් වියාපු තණකොළ වලින් වහල දාන්ටයි. මේවා හදල තියෙන්නේ උං කොල්ල කාපු එකේක රටවලින් අල්ලගෙන ආපු වහල්ලු. උන් ඉතින් තම තමාගේ රටේ විදිහට තමයි හදන්නේ."
බොහෝ මන්දිර, විසල් ඒවා පවා පාළුවට ගොස් තිබින. "කෝ මෙහෙ ජීවත්වෙන මිනිස්සු?" ඩැනී ඇසුවාය. වෙළෙඳපල කෑ ගසන මිනිසුන්ගෙන් හා එහා මෙහා දුවන දරුවන්ගෙන් පිරී තිබින. එහෙත් අනෙක් තැන්වල ඇය දුටුවේ තම තමන්ගේ වැඩ කටයුතු සඳහා එහා මෙහා යන නපුංසකයින් කිහිපදෙනෙකු පමණි.
"ඩොෂ් ඛලීන් මැහැලියො ටික විතරයි මේ පූජනීය නගරේ ස්ථිරවම ජීවත් වෙන්නෙ. උනුයි උන්ගෙ වැඩකාරයොයි, වහල්ලු ටිකයි." සෙර් ජෝරා පිලිතුරු දුන්නේ ය. "ඒ වුනත් හැම ඛලසාර් එකකම ඉන්න හෑම මිනිහෙකුටම ඉන්ට තරම් ඉඩ මෙතන තියෙනවා. ඔක්කොම ඛාල්ලා තම තමන්ගෙ ඛලසාරුත් එක්ක එක මොහොතේ මෙතනට ආවත් ඉඩ තියෙනවා. මේ මැහැලියන්ගෙ අනාවැකි අනුව කවදා හරි දවසක ඒ දේ ඇත්තටම සිද්ද වෙනවලු. ඉතින් වයෙස් ඩොත්රැක් හැමවෙලාවෙම තමන්ගෙ දරුවො සේරම එකපාර පිළිගන්ට ලෑස්ති වෙලා ඉන්ට ඕනලු."
අන්තිමේදී නැගෙනහිර වෙළෙඳපල අසල යිටී, අෂයී හා සෙවනැලි දේශයෙන් වෙළෙදාම පිණිස මෙහි පැමිණ සිටි තවලම් අසලදී ඛාල් ඩ්‍රෝගෝ විසින් පිරිසට නැවතීමට සන්කලේය. 'කඳුවැටිවල මාතාව' නමින් හැඳින්වුනු උසැති කන්ද ඔවුන්ට ඉහළින් උත්තුංගව නැගී සිටියාය. මැජිස්ටර් ඉල්ලීරියෝ ගේ වහල් දැරිය විසින් සඳහන් කරන්නට යෙදුනු, රිදී දොරවල් සහිත කාමර දෙසීයේ මාලිගාව සිහිවූ ඩැනීට සිනහවක් පහළ විය. මේ 'මාලිගාව' වනාහි දැවයෙන් නිමකල, ගුහාවක් වැනි උත්සව ශාලාවක් පමණක් විය. එහි බිත්ති අඩි හතලිහක් පමණ උසට විහිදුනු, කපන ලද රළු ලීයෙන් නිමවිය. වහල එකට තබා මසන ලද දිගැති සේද රෙද්දකින් නිම වූයේ, කලාතුරකින් වැටෙන වැස්සෙන් ආරක්ෂාවීම සඳහා ඉහළට එසවීමට හෝ අනන්ත ආකාශය පිළිගැනීම සඳහා පහත් කිරීමට හෝ හැකි කූඩාරමක් බඳු විය. ශාලාව වටා උස් වූ වැටින් යුත් තණින් වැසුනු අස් අංගනය, ගිණි වලවල් සහ කුඩා කඳුගැට මෙන් උඩට නෙරා ආ, මැටියෙන් තනා තෘණ සෙවිලි කල සිය ගණනක් වූ නිවාස පිහිටා තිබින.
ඛාල් ඩ්‍රෝගෝ ගේ පැමිණීමට සූදානම් වීම පිණිස වහලුන් කණ්ඩායමක් කලින්ම එහි ගොස් සිටියහ. අසරුවන් එකිනෙකා තම සෑදලවලින් බැස්සේ ඉණෙහි පැළැඳ සිටි ඇරඛ් ගලවා, තමන් සතු අනෙක් ආයුධත් සමගින් එහි බලාසිටි වහලුන් අතට දුන්නහ. ඛාල් ඩ්‍රෝගෝට පවා මීට යටත්වීමට සිදුවිය. වයෙස් ඩොත්රැක්වලදී ආයුධ ගෙනයෑමත්, නිදහස් මිනිසෙකුගේ ලේ වැගිරීමත් තහනම් දෙයක් බව සෙර් ජෝරා විස්තර කලේය. එකිනෙකාට එරෙහිව යුධ වැදී සිටි ඛලසාර් පවා කඳුවැටිවල මාතාව ඉදිරියේ තම අමනාපකම් ඉවත දමා එකට කෑම් බීම් කලහ. ඩොෂ් ඛලීන් මැහැල්ලන් විසින් නියෝග කරන ලද පරිදි මේ නගරය තුළදී සෑම ඩොත්රැකියෙක්ම එකම ලෙයක්, එකම ඛලසාරයක් හා එකම රංචුවක් වූහ.
ඉරී සහ ජික්වී විසින් සිල්වර් පිටින් බැසීම සඳහා ඩැනීට උදව් කරද්දී කොහොල්ලෝ එතැනට පැමිණියේ ය. ඔහු ඩ්‍රෝගෝ ගේ රුධිරාරක්ෂකයින්ගෙන් වයසකම තැනැත්තා වූ අතර තරබාරු සිරුරක්, ඇද වූ නාසයක් හා කැඩුනු දතින් පිරි මුවක් හිමිවූයේය. විසිවසකට පෙර ඒවා යගදා පහරකින් කැඩී ගොස් තිබුනේ කුලී හේවායින් විසින් ලාබාල ඛලඛාව ඔහු ගේ පියා ගේ සතුරන්හට විකිණීමට යාම වළක්වන්නට කල උත්සාහයේදී ය. ඔහු ගේ ජීවිතය ඩ්‍රෝගෝ ගේ ජීවිතය හා බැඳුනේ ඇගේ සැමියාගේ උපතත් සමග විය.
සෑම ඛාල්වරයෙකුටම ඔහුට වෙන්වූ රුධිරාරක්ෂකයෝ වූහ. මුලදී ඩැනී සිතුවේ ඔවුන් රාජ්‍යාරක්ෂක මුර සෙබළුන් මෙන් සිය ස්වාමියා රැකීම සඳහා දිවුරුම් දුන් කොටසක් වශයෙනි. එනමුදු එය ඉන් එහා ගිය යමක් විය. රුධිරාරක්ෂකයින් යනු සාමාන්‍ය අංගාරක්ෂකයින්ට වඩා වැඩි දෙයක් බව ජික්වී ඇයට කියාදුන්නා ය. ඔවුහු ඛාල් ගේ සොහොයුරන්, සෙවනැල්ල මෙන් ළඟින් සිටින්නන් හා සැහැසි මිතුරෝ වූහ. ඛාල් ඔවුන් නම් කලේ 'මගේ රුධිරයෙන් උපන් රුධිරය' කියාය. එසේ කීවාක් මෙන්ම ඔවුන් භුක්ති වින්දේද එක් ජීවිතයක් විය. මොවුන් ගේ පුරාණ චාරිත්‍රවලට අනුව, ඛාල් කෙනෙකු මියයනවිට ඔහුගේ රුධිරාරක්ෂකයින් ද ඔහු සමග මිය යා යුතු විය. මක්නිසාද යත් මරණින් මතු ඔවුන් සැම යන 'නිශා දේශයේදී' ඔහුත් සමග පසෙකින් යාමට පිරිසක් සිටිය යුතු වූ බැවිනි. යම් හෙයකින් ඛාල් සතුරෙකු අතින් මියගියේ නම් ඔහු ගේ පලිය ගැනීම සඳහා පමණක් ජීවත්ව ඉන්පසු සතුටින් තම මිනීවල කරා යා යුතු විය. ජික්වී ඇයට කියා දුන් පරිදි සමහර ඛලසාර්වල රුධිරාරක්ෂකයෝ ඛාල් ගේ වයින්, ඔහු ගේ කූඩාරම පමණක් නොව ඔහුගේ බිරින්දන් පවා බෙදා හදා ගත්තෝ ය. එහෙත් කිසිදිනක ඔහු ගේ අසුන් බෙදාගැනීමක් සිදු නොවින. මිනිසකු ගේ අසු යනු ඔහු පමණක් සන්තක වස්තුවක් විය.
ඛාල් ඩ්‍රාගෝ මේ පුරාණ ක්‍රම අනුගමනය නොකිරීම ගැන ඩැනී අතිශයින් සතුටුවූවා ය. තමාව ඔවුන් අතර බෙදාදීමට ඇය කිසිසේත්ම කැමැති නොවනු ඇත. මහලු කොහොල්ලෝ ඇයට කරුනාවෙන් සැලකුවද ඇය සෙස්සන්ට බිය වූවාය. දැවැන්ත එමෙන්ම නිහඬ හග්ගෝ ඇය කවුදැයි අමතක වූවාක් මෙන් ඇයට නිතර රැවීය. ඛෝතෝට නපුරු දෑසක් හා අනුන්ට රිදවීමට කැමැති දෑතක් තිබින. ඔහු ඩෝරියාව අල්ලන සෑම විටකදීම ඇගේ සුමුදු සුපු පැහැ සම මත සලකුණු තැබීය. එමෙන්ම සමහර රාත්‍රින්හිදී ඉරීව හැඬවීය. ඔහු ගේ අශ්වයෝ පවා ඔහුට බියවූහ.
එනමුදු ඔවුන් ඛාල් ඩ්‍රෝගෝට දිවියෙන් හා මරණයෙන් බැඳී සිටි අතර ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීම ඩනේරිස්ට කල නොහැක්කක් විය. සමහර අවස්ථාවලදී තම පියාටත් මෙවැනි ආරක්ෂකයින් සිටියා නම් යන සිතුවිල්ල ඇගේ සිත තුළට ඇතුළුවිය. ගී සැහැලිවල කියැවෙන පරිදි නම් රාජ්‍යාරක්ෂක බලකායේ ධවල නයිට්වරුන් සියලුදෙනා ඉතා නිර්භීත, උදාර ගතිගුණ ඇති විශිෂ්ට රණවිරුවන් වුවද එවැනි එක් අයෙකු අතින්ම ඇගේ පියාව ඝාතනය විය. එවකට කඩවසම් කොලුවෙකු වූ ඔහුට දැන් සියල්ලෝම රජුන් මරන්නා යයි කියති. තවෙකෙකු වන නිර්භීත සෙර් බැරිස්ටාන් සිහසුන උදුරාගත් එකාගේ පැත්තට පැන තිබින. රාජධානි සප්තකයේ සියළුම මිනිසුන් මෙබඳු චපලයන්දැයි ඇය මවිතයෙන් කල්පනා කලාය. ඇගේ පුත්‍රයා යම් දිනයක යකඩ සිහසුන අරා හිඳිනා විට ඔහුගේ ආරක්ෂාවට රුධිරාරක්ෂකයන් යෙදවිමට ඇය ඉටා ගත්තාය.
"ඛලීසි," කොහොල්ලෝ ඩොත්රැකි බසින් ඇයව ඇමතුවේ ය. "ආපසු ගමනට ආසිරි පතලා දෙවියන්ට පුදපූජා කරන්ට අද රෑ කඳුවැටිවල මාතාව තරණය කරන්ට යනවයි කියලා ඔබට කියන්ටයි කියලා මගේ රුධිරයෙන් උපන් රුධිරය වන ඩ්‍රෝගෝ අණ කළා."
මවුතුමිය වෙත පියනැගිය හැක්කේ පිරිමින්ට පමණක් බව ඩැනී දැන සිටියා ය. ඛාල්ගේ රුධිරාරක්ෂකයින් ද ඔහු සමග ගොස් හිරු උදාවත් සමග ආපසු එනු ඇත. "මගේ හිරු-සහ-තාරකාවන්ට කියන්ට මම එයා එනතුරු කාංසාවෙන් බලන් ඉන්නවා කියලා." ඇය ඔහුට පැවසූයේ ඩ්‍රෝගෝට සිතින් කෘතඥ වෙමිනි. කුසෙහි වු දරුවා වැඩෙත්ම ඩැනීට වැඩි වැඩියෙන් වෙහෙස දැනෙන්නට පටන්ගෙන තිබින. ඇත්තෙන්ම මෙසේ එක් රැයක් හෝ නිස්කලංකව ගත කරන්නට ලැබීම ඇය සතුටින් බලපොරොත්තු වූ දෙයක් විය. දරුගැබ නිසා ඛාල්ගේ කාමුක ආශාවන් තව තවත් ඇවිස්සුනාක් මෙන් පෙනුනු අතර ඔහු හා ගෙවුනු පසුගිය රාත්‍රින් කිහිපය නිසා ඇගේ ශක්තිය මුලුමනින්ම නැතිවී ගොස් තිබින.
ඇය සහ ඛාල් වෙනුවෙන් පිලියෙල කර තිබූ හෙල කුහරය වෙත ඩෝරියා ඇයව කැඳවාගෙන ගියාය. ඒ තුළ මැටියෙන් කල කූඩාරමක මෙන් අඳුරු හා සීතල විය. "ජික්වී, මට නාන්ට ලෑස්ති කරන්ට." ඇය අණ කලාය. ගමන පුරාවටම තැවරනු දුහුවිලි සෝදා හැරීමට හා වෙහෙසට පත් ඇඟපත තෙමා ගැනීමට ඇයට උවමනා විය. ඔවුන් මෙම ස්ථානයේ මඳ කලක් නැවතෙන බව ද, හෙට දවසේ නැවතත් සිල්වර් පිට නැගීමට සිදු නොවන බව ද දැනගැනීම ඇත්තෙන්ම සුන්දර විය.
වතුර ඇය කැමති අන්දමට දැවෙන තරම් උණුසුම් වූයේය. "මම අද රෑ මගේ සහෝදරයට එයාගේ තෑගි දෙන්ට ඕන." ජික්වී ඇගේ හිසකෙස් සෝදන අතර ඇය තීරණය කලාය. "මේ පූජනීය නගරයේ එයා රජෙක් වගේ පේන්ට ඉන්ට ඕනි. ඩෝරියා, දුවලා ගිහින් මම එයාට අද රෑ කෑමට ආරාධනා කලා කියලා කියන්ට." විසේරිස් ඇගේ ඩොත්රැකි සේවිකාවන්ට වඩා මෙම ලයිසෙනී කෙල්ලට කරුනාව දැක්විය. සමහරවිට පෙන්ටොස්වලදී, ඉල්ලීරියෝ විසින් ඇයව ඇඳට ගෙනයෑමට ඉඩ දුන් නිසා වන්නට ඇත. "ඉරී, කඩවීදියට දුවලා මසුයි, පළතුරුයි ගේන්ට. අශ්ව මස් නැතුව වෙන ඕනම දෙයක්."
"අශ්ව මස් තමා හොඳම." ඉරී පැවසුවා ය. "ඒවයින් මිනිහෙකුට හයිය හත්තිය ලැබෙනවා."
"විසේරිස්ට අශ්ව මස් පෙන්නන්ට බෑ."
"ඔබ කියන විදියක් ඛලීසි."
ඇය එළු ගාතයක්ද, එළවළු හා පළතුරු කූඩයක්ද ගෙනාවා ය. ජික්වී මස් ගාතය වරින්වර මී පැණියෙන් තෙත් කරමින්, ස්වීට්ග්‍රාස් හා සුවඳ පැළෑටි වර්ග මුහු කරමින් පිලිස්සුවාය. ඒ සමග කොමඩු, දෙළුම්, ප්ලම් හා ඩැනී නම නොදන්නා, නැගෙනහිර පෙදෙසේ වැවෙන අමුතු පළතුරු වර්ගයක්ද විය. සේවිකාවන් රෑ කෑම වේල පිලියෙල කරන අතර ඩැනී සිය සොයුරා ගේ මිම්මට අනුව ඇය විසින් නිම කල ඇඳුම් අතුරා හැඩ බැලුවා ය. සුමුදු සුදු හණ රෙද්දෙන් නිමවුනු කබායක් හා කලිසමක්, දණිස්ස තෙක් පටි ගොතා බඳින හම් පාවහන් යුගලක්, තඹ පදක්කමකින් අලංකාර කෙරුනු ඉණ පටියක් සහ ගිණි පිඹින මකරුන් පින්තාරු කරන ලද බැනියමක් ඒ අතර විය. සිඟන්නෙකු සේ නොපෙනේ නම් ඩොත්රැකියන් ඔහුට ගරු කරනු ඇතැයි ඈ සිතුවාය. එමෙන්ම එදා තණපිටියේදී ඔහුට ලජ්ජා කිරීම ගැන ඔහු ඇයට සමාව ද දෙනු ඇත. ඔහු තවමත් ඇගේ රජු මෙන්ම ඇගේ සහෝදරයා ද විය. ඔවුන් දෙදෙනාම මකර රුධිරයෙන් බිහිවූවන් වූහ.
ඔහු වෙනුවෙන් නිම වූ තෑගිවලින් අවසාන එක වන, ඔහුගේ හිසේ රිදී පැහැය කැපී පෙන්වන, ලා අළු පාට වාටියකින් හෙබි තණකොල පැහැ සේද සළුවක් ඇය විසින් අතට ගනිද්දී විසේරිස් කූඩාරමට ඇතුළු විය. ඒ නිකම්ම නොව, තමා පසුපසින් ඇදගෙන ආ ඩෝරියා ද සමග විය. ඔහු පහරකෑමට ලක් වීම නිසා ඇගේ ඇසක් රතුවී තිබින. "උඹ කොහොමද මේ පරට්ට වේසිව එව්වේ මට අණ කරන්ට?" ඔහු ඇසුවේ ය. ඔහු සේවිකාව රළු ලෙස පලස මතට තල්ලු කලේය.
ඔහුගේ මේ කෝපය ඇයව මුලුමනින්ම පුදුම කරවී ය. "මට ඕනේ කලේ... ඩෝරියා උඹ මොනවද එයාට කිවුවේ?"
"මට සමාවෙන්ට ඛලීසි. ඔබ කිවුව විදියට මම එයාව හොයාගෙන ගියා. ගිහින් කිවුවා රෑ කෑමට ඔබත් එක්ක එක්වෙන්ටයි කියලා ඔබ අණ කලා කියලා."
"මකරට කවුරුත් අණ දෙන්නේ නෑ!" විසේරිස් පිම්බේ ය. "මම උඹේ රජ්ජුරුවෝ! මට තිබුනේ උඹට මේකිගේ ඔළුව ආපහු එවන්ට."
ලයිසෙනී කෙල්ල බියෙන් ඇකිලුනු මුත්, ඩැනී ඇය අල්වා නිසල කලාය. "බයවෙන්ට එපා. එයාගෙන් උඹට කරදරයක් වෙන්නෙ නෑ. මගේ හොඳ අයියා, වැරැදියට කතාකලාට මේකිට සමාවෙන්ට. මම කීවේ ඔබතුමා කැමැති නම් අද රෑ කෑම මාත් එක්ක ගන්ට පුළුවන් කියලයි." ඔහුගේ අතින් අල්ලාගත් ඇය ඔහුව කාමරය තුළට කැඳවූවා ය. "මේ බලන්ට. මේවා ඔයාට."
විසේරිස් සැකයෙන් බැම ඇකිළීය. "මේ මොනවද?"
"අලුත් ඇඳුම්. මමමයි ඔයාට හැදුවේ." ඈ ලජ්ජාසහගත සිනාවක් පෑවාය.
ඔහු ඇය දෙස බලා මුව ඇද කලේය. "ඩොත්රැකි කඩමලු! උඹ ඒ පාර මට ඇඳුම් අන්දන්ටත් හදනවද?"
"අනේ... මම හිතුවේ ඒවයින් ඔයාට රස්නෙ අඩුවෙලා හොඳ සනීපයක් දැනෙයි කියලා. මම හිතුවේ... සමහරවිට, ඔයා එයාලගෙ විදියට ඇන්දොත්, ඩොත්රැකියො..." මකරා අවුස්සා නොගෙන එය කියන්නේ කෙසේදැයි ඩැනී නොදැන සිටියා ය.
"ඊලඟට උඹට ඕනවෙයි මගේ කොන්ඩෙත් ගොතන්ට!"
"මම කවදාවත් එහෙම කරන්නේ නෑ..." ඔහු සෑමවිටම මෙතරම් නපුරු වන්නේ මන්ද? ඇයට උවමනා වූයේ උදව්වක් කිරීමට පමණි. “ඔයා තාම කිසිම සටනකින් දිනලා නැති හන්දා කොණ්ඩේ ගොතන්ට අවසර නෑ නේ."
එය වැරදි කතාවක් විය. ඔහුගේ එළ නිල් දෑස කෝපයෙන් දිලිසින. එහෙත් ඇගේ සේවිකාවන් බලා සිටිද්දී, ඇගේ ඛාස් සෙබළුන් පිටත මුරකාවලේ යෙදී සිටිද්දී ඇයට පහරදීමේ හැකියාවක් ඔහුට නොවීය. විසේරිස් සළුව අතට ගෙන ඉව කලේය. "ගොම ගඳයි. සමහරවිට මට මේක පාවිච්චි කරන්ට පුලුවන් වෙයි අශ්ව කම්බිලියකට."
"මම මේක ඩෝරියාට කියලා මැස්සුවේ ඔයා වෙනුවෙන්මයි." ඇය රිදුනු සිතින් කීවාය. "මේවා ඛාල් කෙනෙකුට ගැලපෙන ඇඳුම්."
"මම රාජධානි සප්තකයේ අධිපතියා. කොන්ඩේ සීනු එල්ල ගත්ත, ඇඟ පුරා තණකොල ඉස්ම තැවරිච්ච ම්ලේච්ජයෙක් නෙමෙයි." විසේරිස් ඇය දෙසට කෙළ ගැසීය. ඔහු ඇගේ අත තදින් මිරිකා අල්ලාගත්තේ ය. "උඹට උඹවම අමතක වෙලා ගිහිල්ලා පරට්ටියෙ. උඹ හිතනවද මකරා නැගිට්ටොත් උඹේ ඔය ලොකු බඩ උඹව බේර ගනී කියලා?"
ඔහුගේ අතැඟිලි ඇගේ හස්තය මිරිකමින් තවතවත් තදවී ගියේය. එක් මොහොතකට ඩැනීට දැනුනේ ඇය නැවතත් ඔහුගේ කෝපය ඉදිරියේ බියෙන් ඇකිළෙන කුඩා දැරිය බවට පත් වී ඇතුවාක් මෙනි. නිදහස් අතින් අතපත ගෑ ඇය අතට හසු වූ පළමු දේ අල්ලාගත්තා ය. ඒ ඇය ඔහුට තෑගි දීමට සිතූ අලංකාර පදක්කම් සහිත බර ඉණපටිය විය. එය තදින් අල්ලාගත් ඩැනී හැකි උපරිම වීරියෙන් එයින් දමා ගැසුවාය.
එය ඔහුගේ මුහුණ හරහා එල්ලවින. විසේරිස් ඇයව අත් හලේය. පදක්කමකට කැපී විවරවූ තැනකින් ඔහුගේ කපොල ඔස්සේ රුධිරය රූරා බසින්නට විය. "උඹට තමා තමන් කවුද කියලා මතක නැත්තේ." ඩැනී පැවසුවා ය. "උඹ එදා තණගොල්ලෙදි මොකුත්ම ඉගෙනගත්තෙ නැද්ද? මෙතැනින් දැන්මම පිටවෙයන්. මගේ ඛාස්ලට එන්ට කියන්ට කලින්. මම ප්‍රාර්ථනා කරනවා ඛාල් ඩ්‍රෝගෝ මේ ගැන දැනගන්න එකක් නෑ කියලා. නැත්තම් එයා උඹේ බඩ කපලා බඩවැල් ටික උඹටම කවයි"
විසේරිස් නැවත නැගී සිටියේය. "මට මගේ රාජධානිය ලැබුන දාට උඹ මේ දවස ගැන පසුතැවිලි වෙයි වේසියේ!" සිය තුවාල වුනු මුහුණ අල්ලාගත් හේ ඇගේ තෑගි සියල්ලම එහි තිබියදී පිටව ගියේය.
ඔහුගේ ලේ බිඳු කිහිපයක් අලංකාර සේද සළුව පුරා විසිර තිබින. ඇය සුමුදු සළුව තම මුහුණට තද කරගනිමින් නිදන මෙට්ටය මත දෙදණ නමා හිඳ ගත්තාය.
"ඔබේ කෑම ලෑස්තියි ඛලීසි." ජික්වී පැවසුවා ය.
"මට බඩගිනි නෑ!" ඩැනී කණගාටුවෙන් පැවසුවාය. හදිසියේම ඇයට දැඩි වෙහෙසක් දැනෙන්නට විය. "මේ කෑම උඹලාම බෙදාගන්ට. කැමැති නම් සෙර් ජෝරාටත් ටිකක් යවන්ට." මොහොතකට පසු ඇය නැවත හඬ අවදිකලා ය. "කරුනාකරලා මට මට මකර බිත්තරයක් ගෙනත් දෙන්ට."
ඉරී ඇය වෙත කොළ පැහැ කටුව සහිත බිත්තරය ගෙනාවා ය. තමාගේ කුඩා අත්වලින් බිත්තරය ඒ මේ අත හරවන විට ඒ කොරපොතු මැද්දේ තඹ පැහැති තිත් තිත් දිලෙනු ඩැනී දුටුවා ය. ඇය පැත්තට හැරී ගුලිවූයේ සේද සළුව තම සිරුර වැසෙන සේ දමාගෙන නෙරා ආ උදරයට හා ඇදුම් කන කුඩා පයෝධරයන්ට මැදින් බිත්තරය තබා ගත්තාය. මෙසේ මකර බිත්තර ලඟ තබාගෙන අල්ලාගෙන සිටීමට ඇය ප්‍රිය කලාය. ඒවා ඉතා මනහර විය. එමෙන්ම සමහර වේලාවට ඒවා ළඟින් තබාගත් විට තමා වඩා නිර්භීත හා වඩා ශක්තිමත් වන්නාක් මෙන් ඩැනීට දැනින. හරියටම ඇය විසින් ඒ බිත්තර තුළ සිර කෙරුනු මකරුන් ගේ ශක්තිය උරාගන්නාක් මෙනි. මෙසේ ඇලවී සිටිද්දී සිය බිළිඳා කුස තුළ හැරෙන ආකාරය ඇයට දැනින. එය හරියටම... සොහොයුරෙකුට සොහොයුරෙක් බැඳෙන්නාක් මෙන් නැතහොත් ලෙයට ලෙයක් ඈඳෙන්නාක් මෙන් බිළිඳා බිත්තරය දෙසට දෑත් දිගු කලාක් බඳු විය. "ඔයා තමයි මකරා!" ඩැනී ඔහුට ඇසෙන සේ මිමිනුවා ය. "ඇත්තම මකරා. මම ඒක දන්නවා. මම ඒක හොඳින්ම දන්නවා!" ඈ සිනාසුනා ය. ඉන්පසු නිවෙස ගැන සිහින දකිමින් නින්දට වැටුනා ය.
Daenerys Targaryen: “Viserys says he could sweep the Seven Kingdoms with ten thousand Dothraki screamers.”
Ser Jorah Mormont: “Viserys could not sweep a stable with ten thousand brooms.”
විසේරිස් නං රජෙක් වෙන්න කොහොමවත් සුදුසු මිනිහෙක් නෙමෙයි.
ReplyDeleteරජෙක් නෙවෙයි, බුවා මිනිහෙක්වත් නෙවෙයි... :-D
Deleteරිදීවන් වෙළඹ ඩැනී ..........
ReplyDelete//ඇය එළු ගාතයක්ද, එළවළු හා පළතුරු කූඩයක්ද ගෙනාවා ය. ජික්වී මස් ගාතය වරින්වර මී පැණියෙන් තෙත් කරමින්, ස්වීට්ග්‍රාස් හා සුවඳ පැළෑටි වර්ග මුහු කරමින් පිලිස්සුවාය. ඒ සමග කොමඩු, දෙළුම්, ප්ලම් හා ඩැනී නම නොදන්නා, නැගෙනහිර පෙදෙසේ වැවෙන අමුතු පළතුරු වර්ගයක්ද විය. //
කෝ කන්න ඕන කට්ටිය එන්ට..
ඔය තියෙන්නේ කෑම :D
Deleteඔන්න බලාන්ට, කෑම හොයන කට්ටිය අද පළාතෙවත් එන්නෙ නෑ.. එයාලා එන්නෙම කෑම නැතිදාට තමා.. :-)
Deleteකෝ මේ හැලපෙ අයියා , එන්න එන්න කෑම ලෑස්තියි :)
Deleteමෙයාලා නම් සම්පූර්ණ මොන්ගොල් කොපියක් වගේ. right down to battle tactics and bloodriders.
ReplyDeleteMongols & Huns my lord...
DeleteBut, as per my knowledge, Mongols were experts in siege warfare.. They used human shields to attack fortresses.. Also, they were experts in psychological warfare & biological warfare.. :-)
biological?
Deletecare to explain my lord?
Read the comments in this post my lord. U will get all the answers on Mongols.
Deleteps: There are some links to external articles as well. Read 'em too..
කුඩාරමින් ඔබ්බට - ජෙන්ගිස් ඛාන්කුබ්ලායි ඛාන් සහ පෝලෝ සමග සේද මාවතෙන් ඉවතට
that was some fine comment war :D
Deleteමහමාරියෙන් පහර දීම.
පහර දෙන්ට ඕනෑ නම් මැරුණු මිනිස්සු යවන්ටම ඕනෑ නෑ. මීයෝ ටිකකින් දෙන්ට පුළුවන් ගේම.
දැන්නම් ඉතින් මීයෝ ඕනෙත් නෑ . we can weaponize a lots of viruses and other pathogens that doesn't need any mammalian or arthropod vectors. but mongols didn't know it , obviously.
Indeed my lord.. Shall we send some Ebolas.. :-)
DeleteEbola?
Deletenot very effective
genetically modified (chimera) small pox
now there is a killer for you.
පිස්සු යකෙක්...
ReplyDeleteවිසේරිස් යවන්න ඕන අංගොඩ....
ආ...හ් එහෙ එහෙම එකක් නැද්ද....
එහෙනං ඌව මෙහෙට්ට එවන්ට කියමු මොකද මෙහෙ තමා මෑන්ට ගැලපෙනම තැන තියෙන්නෙ
දියවන්නා පිස්සං කොටුව
ඕයේ
විසේරිස්ව ඕයේ ඔජායේ කිය කිය ඉන්ට යවමුද? ;-)
Deleteවිසේරියස් නම් සහෝදරයෙක් නෙවෙයි , හතුරෙක්වත් ඔහොම හැසිරෙන්නෙ නැහැ . හරියට සතෙක් වගේ . ඒත් ඒක සත්තුන්ටත් කරන අපහාසයක් :(
ReplyDeleteහෝව් හෝව්! කාම් ඩවුන් මැතිණිය, කාම් ඩවුන්.. :-)
Deletegrr
DeleteViserys has woken the lion(ness). Reminds me of MGM opening sequence. :P
Deleteවිසේරිස්ගේ විසේ නැති කරන්න කාලේ හරි වගේ...
ReplyDeleteබෙහෙතක් දුන්නානං හොඳයි තමා නේද.. :-D
Deleteඩැනී ඔය මකර බිත්තර රකිනවද කියල මට හිතෙන්නෙ ( කිකිළියො බිත්තර රකිනව වගේ ) :)
ReplyDeleteආන්න ඔයාට තේරුනා.. හැබැයි එයා 'කොක් අ ඩොඩ්ල් ඩූ......' ගාන්නෙ නං නෑ.. :-)
DeleteKikiliyo kawadda ban 'කොක් අ ඩොඩ්ල් ඩූ......gaawe ? Haka haka
Deleteඒක නේන්නං කිවුවෙ කොක් අ ඩොඩ්ල් ඩූ ගාන්නෙ නෑ කියලා.. :-P
Deleteබලාගෙන යද්දී ඩොත්රැකියෝ කියන්නේ සටනට එක පැත්තකින් දක්ෂයෝ වගේම අනික් පැත්තෙන් දුර්වලයෝ..
ReplyDeleteවිසේරිස් නම් පිස්සු යකෙක්..
අනිවා.. :-)
Deleteදිගා.............යි හැබැයි රසා..................................................................යි
ReplyDelete