
"එයා සෙර් ලෝරාස්ව යවන්නෙ නෑ." එදින රාත්‍රියේ පහන් ආළෝකය යටට වී රෑ කෑම ගනිමින් ඉන්නා අතරේ සන්සා ජේන් පූල්ට පැවසුවා ය. "මම හිතන්නෙ ඒ එයාගෙ කකුල නිසා."
එඩාර්ඩ් උතුමානන් සිය නිදන කාමරයේදී ඇලන්, හාර්වින් හා වයොන් පූල් සමගින් එක්ව රාත්‍රි ආහාරය ගත්තේ ය. ඔහු ගේ කකුල සුව වීම පිනිස හොඳින් විවේකය අවශ්‍ය විය. රාජසභා ශාලාවට එපිටින් මුලු දවසම සිටගෙන සිටි නිසා තමාගේ කකුල් රිදෙන්නේයැයි පවසමින් සෙප්ටා මෝර්ඩේන් ද රෑ කෑම මඟහැර තිබින. ආර්යා ඔවුන් හා එක්වීමට නියමිතව තිබුනද ඇය තවමත් සිය නැටුම් පන්ති අහවර කර නොතිබුනා ය.
"එයාගෙ කකුල?" ජේන් අතීරණාත්මක ස්වරයෙන් ඇසීය. ඇය සන්සාගේම වයසේ වූ, කළු පැහැ හිසකෙසින් යුතු, රූමත් දැරියක විය. "සෙර් ලෝරාස්ගෙ කකුල තුවාල වෙලාද?"
"එයාගෙ කකුල නෙවෙයි මෝඩියෙ," කුකුළු අඬුවක් ලෑටිගාමින් සන්සා කීය. "තාත්තගෙ කකුල. ඒක හැමවෙලාවෙම එයාට රිද්දනවා. ඒක නිසා එයා හැමවෙලාවෙම ඉන්නෙ තරහින්. එහෙම නෙවෙයිනං මම දන්නවා එයා අනිවාර්යයෙන්ම යවන්නෙ සෙර් ලෝරාස්ව."
ඇගේ පියා ගේ තීරණය ඇයව තවමත් වික්ෂිප්ත කරන්නට සමත්ව තිබින. කුසුම් නයිට්වරයා ඉදිරියට පැමිණි වේලාවේ නාකි ආයම්මා ගේ කතන්දරයක් සැබෑවන්නට යන්නේ යැයි ඇයට සහතික විය. සෙර් ග්‍රෙගර් යනු දුෂ්ට යක්ෂයා වන අතර සෙර් ලෝරාස් යනු ඒ නපුරා විනාශකර දමන වීරයා ය. කෙට්ටු, කඩවසම්, රන් රෝස ඉණපටියක් පැළැඳි, දෑසට කඩාහැලෙන දුඹුරු පැහැ කෙහෙරැළි සහිත ඔහු ඇත්තෙන්ම සැබෑම වීරයෙකු මෙන් දිස්විය. එනමුදු ඊළඟ මොහොතේ තාත්තා ඔහු ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලේය! ඇයට වදනින් පවසාගත නොහැකි තරමට ඇගේ සිත රිදවන්නට එය හේතු වී තිබින. ආපසු එන අතරමගදී ඇය සෙප්ටාට ඒ බැව් කියා සිටියද සෙප්ටා කීවේ සිය පියා ගේ තීරණ විවේචනය කිරීම ඇයට අයත් කාර්යයක් නොවන බවය.
එනමුදු ඒ මොහොතේ එතැන සිටි බේලීෂ් උතුමානන් කතාවට මැදිහත් විය. "ආහ්! අනේ මම දන්නෙ නෑ සෙප්ටා. ඒ වුනත් මටත් හිතෙනවා එයාගෙ තාත්තගෙ සමහර තීරණ ගැන දෙපාරක් හිතලා බලන එක හොඳයි කියලා. මේ තරුණ ආර්යාව ලස්සන වගේම තමා බුද්ධිමත්." ඔහු සන්සා දෙසට හිස නැමීය. එනමුදු එය තමා වෙත එල්ල වූ ප්‍රශංසාවක් ද නැතහොත් සමච්චලයක් ද යන්න තෝරා බේරා ගත නොහැකි වූ ඇය විපිලිසර අන්දමින් බලා සිටියාය.
බේලිෂ් උතුමානන්ට තමන් දෙදෙනා ගේ දෙබස අසන්නට ලැබීම ගැන සෙප්ටා සිත් කරදරයට පත්වූවා ය. "මේ දැරිවි ඔහේ කටට එන දෙයක් කියවනවා මගේ උතුමානනි. මෝඩ දෙඩවීම්. ඒවා ගන්ට තරම් දෙයක් නෙවෙයි. එයා දන්නෙත් නෑ එයා මොනවා කිවුවද කියලා."
බේලිෂ් උතුමානන් සිය උල් යටිරැවුල පිරිමැද්දේ ය. "දෙඩවීම්? මට කියන්ට දරුවො. ඇයි ඔයා සෙර් ලෝරාස්ව යවන්ට හිතුවෙ?"
වීරයින් හා නපුරු යක්ෂයින් ගැන ඔහුට කියනවා ඇරෙන්නට සන්සාට වෙනත් විකල්පයක් නොතිබින. සුළැගිල්ලා සිනාසුනේ ය. "අපොයි, මගේ හිතට ආපු හේතු නම් ඒවා නෙවෙයි. ඒ වුනත්..." ඔහු ඇගේ කම්මුලක් ස්පර්ෂ කලේය. "ජීවිතේ කියන්නෙ සින්දුවක් නෙවෙයි වස්තුවෙ. ඔයාටම දවසක ඒ ගැන තේරුම්ගන්ට ලැබෙයි."
කෙසේවුවද, මේ සෑමදෙයක්ම ජේන්ට පවසන්නට සන්සාට උවමනා නොවීය. නැවත ඒ ගැන සිහිපත් කිරීම පවා ඇයව අපහසුතාවට පත්කරන්නට සමත්ව තිබින.
"සෙර් ඉලියන් තමා රජතුමාගෙ අළුගෝසුවා. සෙර් ලෝරාස් නෙවෙයි." ජේන් කීය. "එඩාර්ඩ් උතුමානන් එයාවයි යවන්ට තිබුනෙ."
සන්සා වෙවුලා ගියාය. ඇය සෙර් ඉලියන් දෙස බලන සෑම වාරයක් පාසාම ඇගේ සිරුර වෙවුලන්ට විය. ඔහු දෙස බලනවිට ඇයට දැනුනේ හරියටම සිය සමට යටින් කුමක්දෝ වස්තුවක් ලිස්සා යන්නාක් වැනි හැඟීමකි. "සෙර් ඉලියන් කියන්නෙත් තවත් යක්ෂයෙක් වගේනෙ. තාත්තා එයාව තෝරගත්තෙ නැති එක ගැන මට හරිම සතුටුයි."
"බෙරික් උතුමානනුත් සෙර් ලෝරාස් තරම්ම වීරයෙක්. එයාත් හරිම නිර්භීතයි, හරිම සූරවීරයි."
"මම හිතන්නෙ." සන්සා අතීරණාත්මක ස්වරයෙන් කීවාය. බෙරික් ඩොන්ඩරියන් කඩවසම් තරුණයකු බව ඇත්තකි. එනමුදු ඔහු වයස්ගත පුද්ගලයකු විය. ඔහුට දැනටමත් වයස විසිදෙකකි. ඇත්තෙන්ම කුසුම් නයිට්වරයා ඊට වඩා අත්‍යයෙන්ම හොඳය. ජේන් මුල්ම වරට තරගාවලිය දා බෙරික් උතුමානන්ව දුටු මොහොතේ පටන් ඔහු හා පෙමින් බැඳී සිටියා ය. සන්සා සිතුවේ ඇය මෝඩියක මෙන් හැසිරෙන බවකි. කොහොම නමුත්, ජේන් වනාහි නිකංම නිකං නිවාස බාරකරුවකු ගේ දියණියක පමණි. ඇය ඔහු ගැන කෙතරම් සිහින මැවුව ද, කෙතරම් ඔහු පසුපස ගියද ඔහු කෙදිනකවත් ඇය වැන්නියක් දෙස බලන්නේවත් නැති වනු ඇත. ඇය ඔහු ගේ වයසින් හරි අඩක් තරම් ලාබාල නොවූවද ඔහු එසේ නොබලනු ඇත.
එසේ වුවද මේ බැව් ඇයට කියා පෑම අකාරුණික දෙයක් වනු ඇත. එමනිසා සන්සා සිය කිරි වීදුරුවෙන් උගුරක් බී මාතෘකාව වෙනස් කලාය. "මම හීනයක් දැක්කා, ජොෆ්රි තමා සුදු ගෝනාව අල්ලගන්නෙ කියලා." එය ඇත්තෙන්ම ඇගේ සිත තුළ වූ බලාපොරොත්තුවක් පමණක් වූ නමුදු එයට සිහිනයකැයි කීම වඩා ලස්සන විය. සිහින යනු අනාගතය පෙන්වන කැඩපත් බව සෑමදෙනාම දනිති. සුදු ගෝනුන් වනාහි ඉතා දුර්ලභ, මායාවී සත්ත්ව විශේෂයක් වන අතර ඌව අල්ලාගැනීම සඳහා සිය නිර්භීත කුමරුවා ඔහු ගේ අර බේබදු පියාට වඩා සිය ගුණයකින් සුදුසු බව ඇය මුළු හදින්ම දැන සිටියාය.
"හීනයක්? ඇත්තටම? ජොෆ්රි කුමාරයා ඌ ළඟටම ගිහිල්ලා, ඌට කිසිම හානියක් කරන්නෙ නැතුව අතින් ඇල්ලුවද?"
"නෑ. එයා ඌට රත්තරන් ඊයකින් විදලා ඌව මගේ ළඟට අරන් ආවා." වීර කාව්‍යවලදී නම් නම් ශූරවීර නයිට්වරු කිසිවිටෙකත් මෙවැනි මායාකාරී සතුන්ට හානියක් නොකරති. ඒ වෙනුවට ඔවුන් සතා අසලට ගොස් ඌ සමග මිතුරු වෙති. එනමුදු ජොෆ්රි දඩයමට කැමැති බව ඇය දැන සිටියාය. ඔහු විශේෂයෙන්ම සතාව මරන කොටසට වඩාත් කැමැතිය. එසේ වුවද ඒ සතුන් පමණි. ජොරී හා අනිත් අහිංසකයින් මරා දැමීමට ජොෆ්රි ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව සන්සා නිසැකයෙන්ම දැන සිටියාය. ඒ ඔහු ගේ අර නපුරු කුරිරු මාමා, රජුන් මරන්නාය. ඇගේ පියා තවමත් ඒ සිදුවීම සම්බන්ධයෙන් කේන්තියෙන් සිටින බව ඇය දැන සිටියාය. එනමුදු ඒ සම්බන්ධයෙක් ජොෆ්රිට චෝදනා කිරීම සාධාරණ නොවේ. එය හරියටම ආර්යා කල කුමක් හෝ දෙයකට ඇයට චෝදනා කරන්නා හා සමානය.
"මම අද දවල් ඔයාගෙ නංගිව දැක්කා." සන්සා ගේ සිතුවිලි දුටුවාක් මෙන් ජේන් කියා සිටියාය. "එයා ඉස්තාලෙ ඇතුළෙ එයාගෙ අත්දෙකෙන් ඇවිද ඇවිද හිටියා. එයා මොකද එහෙම දෙයක් කරන්නෙ?"
"ආර්යා මොනවා කරත් ඒ ඇයි කියන්ට මම දන්නෙ නෑ." සන්සා ඉස්තාල පිළිකුල් කලාය. ඒවා අශ්ව බෙටි හා මැස්සන් පිරුනු ගඳගහන අපිරිසුදු තැන් විය. අසුන් පිට යන විට පවා ඉස්තාල කොලුවන් විසින් තමාගේ අසුට සෑදල පළන්දා අංගනයට රැගෙන එන්නේ නම් ඇය සතුටු වූවාය. "ඔයාට රාජසභාව ගැන විස්තර අහන්ට ඕනද නැද්ද?"
"මට ඕන."
"ඊට පස්සෙ ආව මේ කළු සහෝදරයා. ප්‍රාකාරය වෙනුවෙන් මොනාද ඉල්ලගෙන. නාකි, ගඳගහන මනුස්සයෙක්." ඇය එයට කිසිසේත්ම කැමැති නොවූවාය. ඇය සෑමවිටම සිතුවේ නිශාරැකුම වනාහි සිය බාප්පා වන බෙන්ජින් ස්ටාර්ක් වැන්නන්ගෙන් සැදුනු තැනක් සැටියටය. වීර කාව්‍යවල ඔවුන් ගැන කියැවෙන්නේ ප්‍රාකාරයේ වසන කළු නයිට්වරුන් ලෙසිනි. එනමුදු මේ මිනිසා කුදුගැසුනු අසික්කිතයෙක් විය. ඔහු ගේ හිසේ උකුණන් ඉන්නා බවක් ද පෙනුනි. නිශාරැකුමේ සැබෑ තත්ත්වය මෙය නම් ඇයට සිය අවජාතක අර්ධ සොහොයුරා ජොන් ගැන දුකක් ඇතිවිය. "තාත්තා ඇහුවා රාජසභාවෙන් එතන කවුරුවත් ඉන්නවද නිශාරැකුමට බැඳිලා තමන්ගෙ වංශයට ගෞරව කරන්ට සූදාණම් කෙනෙක් කියලා. ඒ වුනත් කවුරුවත් ඉස්සරහට ආවෙ නෑ. ඉතින් තාත්තා මේ මනුස්සයාට කිවුවා හිරකාරයො අතරින් එයාට කැමැති එකෙක් තෝරගන්ටයි කියලා. ඔන්න ඊටපස්සෙ ආවා මේ සහෝදරයො දෙන්නා, ඩෝර්නිෂ් වගුරුබිම්වලින් ආපු කුලී හේවායො දෙන්නෙක්. එයාලට ඕන වුනා රජතුමාගෙ සේවයට බැඳෙන්ට. ඉතින් තාත්තා එයාලගෙන් දිවුරුම් ගත්තා..."
ජේන් ඈනුමක් ඇරියාය. "ලෙමන් කේක් එහෙම නැතුව ඇති නේද?"
සිය කතාවට මෙසේ බාධා කරනු ලැබීම ගැන සන්සා කැමැති වූයේ නැත. එනමුදු අද දින රාජසභාවේ සිදුවූ සිදුවීම් වලට වඩා ලෙමන් කේක් අතිශයින්ම රසවත්ය. "යමු. අපි බලමු." ඇය නැගිට්ටා ය.
කුස්සියේ කොහෙන්වත් ලෙමන් කේක් සොයාගත නුහුනු නමුදු ඔවුන්ට අඩක් කා හමාර වූ ස්ට්‍රෝබෙරි පයි එකක් සොයාගන්නට හැකිවිය. ඔවුන් දෙදෙන කුළුණු පඩිපෙළේ වාඩි වී කැකිරි පලමින්, ඕපාදූප දොඩමින්, සිය රහස් හුවමාරු කරගනිමින් පයි එක කා හමාර කලෝය. එදා රැයේ සන්සා ආර්යා තරම්ම නපුරු සතුටකින් යුතුව නින්දට වන්නීය.
පසුදා අළුයමින්ම පිබිදුනු ඇය බෙරික් උතුමානන් විසින් සිය මිනිසුන් අංගනයේ රැස්කරනු බැලීමට නිදිමත බේරෙන දෑසින් යුතුව සිය කවුළුව වෙතට දිවගියා ය. නගරයට ඉහළින් අරුණාළෝකය පැතිරෙද්දී ඔවුහු බලකොටුවෙන් පිටව ගියහ. ඔවුන්ට ඉදිරියෙන් ධජ ත්‍රිත්වයක් - රජතුමා ගේ සලකුණ වන කිරුළ ලූ ගෝනා සහ ඊට වඩා පහළින් එල්ලුනු ස්ටාර්ක් ඝෝරවෘකයා හා ඩොන්ඩරියන් ගේ දෙබල අකුණ - ඔසවාගෙන ගිය අතර එය ඇත්තෙන්ම සිත්ගන්නාසුළු දසුනක් විය. අසිපත්වල ලෝහමය නාදය, ගිනි පන්දම් සුළඟේ ලෙලදෙන අයුරු, සුළඟේ ලෙලදෙන ධජ, අශ්වයින් ගේ සුසුම් හෙලීම් හා හේෂාරවය, කටුපැලැල්ල ඉහළට එසැවෙද්දී ඒ අතරින් පෙරී ආ රන්වන් උදා හිරු රැස්, මේ සියල්ල හරියටම වීර කාව්‍යයක මෙන් අති සුන්දර විය. රිදීවන් සන්නාහයෙන් හා දිගු අළු පැහැ සළුවෙන් සැරසී සිටි වින්ටර්ෆෙල්හි සෙබළු අන් සැමටම වඩා මනෝඥ වූහ.
ඇලන් විසින් ස්ටාර්ක් ධජය ඔසවාගෙන යනු ලැබින. ඔහු යම්කිසිවක් කීම සඳහා බෙරික් උතුමානන් හා එක පෙළට අසු නවතනු දුටු සන්සා ගේ සිත ආඩම්බරයෙන් පිරී ගියේය. ඇලන් ජොරීට වඩා බෙහෙවින් කඩවසම් පුද්ලයකු විය. ඔහු යම් දිනෙක නයිට්වරයකු වීමේ බලාපොරොත්තුවෙන් පෙළෙමින් සිටියි.
සෙබළුන් ගේ පිටත්වීම නිසා හස්තයේ කුළුණ කෙතරම් ජනශූන්‍ය තැනක් ලෙස පෙනී ගියේද යත් උදෑසන ආහාරය පිණිස පහළට යද්දී සිය සොයුරිය ආර්යාව දැකීමෙන් පවා ඇය පිනාගියා ය. "කොහෙද මේ මිනිස්සු හැමෝම ගිහිල්ලා තියෙන්නෙ?" දොඩම් ගෙඩියක් ලෙලි ගසමින් ඇගේ සොයුරිය ඇසුවා ය. "තාත්තා එයාලව ජේමි ලැනිස්ටර්ව දඩයම් කරන්ට යැවුවද?"
සන්සා සුසුමක් හෙලුවා ය. "එයාලා බෙරික් උතුමානනුත් එක්ක පිටවෙලා ගියා, සෙර් ග්‍රෙගර් ක්ලිගේන්ගෙ බෙල්ල කපලා මරලා දාන්ට." ඇය කෑම කමින් සිටි සෙප්ටා මෝර්ඩේන් දෙසට හැරුනා ය. "සෙප්ටා, බෙරික් උතුමානන් සෙර් ග්‍රෙගර්ගෙ ඔළුව එයාගෙම බලකොටුවෙ ගේට්ටුවෙ ගහයි ද නැත්තම් රජතුමාට පෙන්නන්ට මෙහාට අරන් එයිද?" මේ කරුන සම්බන්ධයෙන් ඇය හා ජේන් පූල් අතර පෙරදා රැයේ විවාදයක් ඇතිව තිබින.
සෙප්ටා භීතියෙන් ඇලලී ගියාය. "කුලීන ආර්යාවක් කෑම ගන්න අතරේ ඔය වගේ දේවල් ගැන කතාකරන්නෙ නෑ. කෝ ඔයාගෙ ආචාරශීලීත්වය සන්සා? ඇත්තමයි, මේ පහුගිය දවස් ටිකේ ඉඳන් ඔයත් ඔයාගෙ සහෝදරී තරම්ම නරක්වෙලා."
"ග්‍රෙගර් මොකක්ද කරලා තියෙන්නෙ?" ආර්යා ඇසුවා ය.
"එයා ගමක් ගිනිතියලා මිනිස්සු ගොඩක් මරලා දාලා. ගෑණුයි ළමයිනුයි එක්කම."
ආර්යා මුහුණ බෙරි කරගත්තා ය. "ජේමි ලැනිස්ටර් ජොරීවයි, හේවර්ඩ්වයි, විල්වයි මැරුවා. දඩබල්ලා මයිකාව මැරුවා. කවුරුහරි මෙයාලගෙත් බෙල්ල කපලා මරලා දාන්ට ඕන."
"ඒක වෙනස්." සන්සා කීවාය. "දඩබල්ලා කියන්නෙ ජොෆ්රිගෙ ආරක්ෂකයා. ඔයාගෙ අර මස්කාර කොල්ලා තමා කුමාරයට ඉස්සෙල්ලාම පහරදුන්නෙ."
"බොරුකාරි." ආර්යා කෑගැසුවා ය. ඇගේ අතැඟිලි කෙතරම් තදින් දොඩම් ගෙඩිය මිරිකාගත්තේ ද යත් අතැඟිලි අතරින් ඉස්ම බේරී ආවේය.
"හා කමක් නෑ. ඕනතරම් නම් කියලා මට බනින්ට." සන්සා අධිපතිවාදී බවක් මවාගෙන කීවාය. "මම ජොෆ්රිව කසාද බැන්දදාටත් ඔයා එහෙම කරන්ට තරම් නිර්භීත වෙන්නෙ නෑ. ඔයාට එතකොට සිද්දවෙනවා මට ඔළුව නවලා 'මගේ උත්තමාවනි' කියලා කියන්ට." ආර්යා මේසය හරහා දොඩම් ගෙඩිය වැරෙන් දමා ගැසූයෙන් ඇය යටිගිරියෙන් කෑගැසුවා ය. හරියටම ඇගේ නළල මැදට වැදුනු දොඩම උකුළ මතට වැටින.
"ඔන්න ඔබතුමීගෙ මූනෙ ඉස්ම ගෑවිලා මගේ උත්තමාවනි." ආර්යා කීවාය.
දොඩම් ඉස්ම ඇගේ නාසය දිගේ රූරා වැටෙන්නට වූ අතර දෑස් තුළට ගොස් දෑස් දවන්නට විය. ඇය අත්පිස්නාවක් ගෙන මුහුණ පිස දැමුවාය. එනමුදු උකුළ මතට වැටුනු දොඩම විසින් ඇගේ ඇත්දළ පැහැ සේද ගවොමට කර ඇති හානිය දුටු සැනින් ඇයට නැවත වරක් කෑගැස්සින. "උඹ නම් මහ නරකාදියක්. ලේඩි වෙනුවට එයාලා උඹවයි මරන්ට තිබුනෙ." ඇය ආර්යාට මොරගැසුවා ය.
සෙප්ටා මෝර්ඩේන් සැනෙන් නැගිට සිටියා ය. "ඔයාලගෙ තාත්තාට මේක අහන්ට ලැබෙයි! යනවලා තම තමන්ගෙ කාමරවලට. දැන්මම. දැන්මම!"
"මාත්?" සන්සා ගේ දෑසට කඳුළු පුරා ආයේය. "ඒක හරිම අසාධාරණයි."
"ඒ ගැන ආය වචනයක්වත් කතා කරන්ට එපා. යනවලා!"
සන්සා කේන්තියෙන් හිස උස්සාගෙන කාමරයෙන් පිටවූවාය. ඇය රැජිණක් වන්නට යන අතර රැජිණක් කෙදිනකවත් කඳුළු නොසලන්නීය. අඩුම තරමේ මිනිසුන්ට පෙනෙන්නටවත් කඳුළු නොසලන්නීය. සිය නිදන කාමරයට ගිය ඇය දොර අගුළු දමා ගවොම ඉවත්කලා ය. දොඩම් ගෙඩිය විසින් ඇගේ සේද ගවොමේ රතු පැහැ පැල්ලමක් ඉතුරුකර තිබින. "මට එයාව පේන්ට බෑ!" ඇය නැවතත් කෑගැසුවා ය. ගවොම ගුලි කල ඇය පෙරදා රැයේ ඇවිලුනු ගින්නෙන් ඉතුරු වූ අළු පිරුනු ගිනිඋඳුන තුළට එය විසිකර දැමුවාය. කහට පැල්ලම එතෙකින් නොනැවතී සිය යට ඇඳුම්වලටද උරාගෙන තිබෙනු දුටු විට මෙතෙක් වේලා ඇය අසීරුවෙන් නවතාගෙන සිටි කඳුළු දෙනෙතින් ඉවතට පැන්නේය. වියරුවෙන් මෙන් තමා හැඳ සිටි ඇඳුම් සියල්ල ගලවා විසිකල ඇය ඇඳට පැන කඳුළු සයුරේ කිමිදෙමින් නැවතත් නින්දට වන්නීය.
සෙප්ටා මෝර්ඩේන් ඇගේ දොරට තට්ටුකරන විට මධ්‍යහ්නය වී තිබින. "සන්සා, ඔයාගෙ තාත්තාට ඔයත් එක්ක කතාකරන්ට ඕනලු."
සන්සා සැනෙන් නැගිට සිටියාය. "ලේඩි!" ඇය මිමිනුවා ය. එක් මොහොතකට ඇගේ වෘක පැටවා නැවතත් කාමරය තුළ, අර රන්පැහැ දෑසින් ඇය දෙස දුක්මුසු බැල්මක් හෙලාගෙන සිටින්නාක් බඳු විය. තමා සිහිනයක් දකිමින් සිටියා යැයි ඇයට ප්‍රත්‍යක්ෂ විය. ලේඩි ඇයත් සමගින් සිටි අතර ඔවුන් දෙදෙන තරගයට දුවමින් සිටියහ. එමෙන්ම... එමෙන්ම.. එය සිහියට නගාගැනීඹට තැත්කිරීම ඇඟිලි තුඩින් වැස්ස අල්ලාගැනීමට තැත් කරන්නනාක් මෙන් විය. සිහිනය බොඳ වී ගිය අතර ලේඩි නැවතත් මියගොස් සිටියාය.
"සන්සා." දොරට තට්ටුකිරීම පෙරට වඩා තදින් ඇසුනි. "ඔයාට මාව ඇහෙනවද?"
"ඔවු සෙප්ටා. කරුනාකරලා, මට පොඩි වෙලාවක් දෙන්ට ඇඳුම් ඇඳගන්ට." හැඬීම නිසා ඇගේ දෑස් රත් පැහැ වී තිබුනු නමුදු ඇය හැකි උපරිමයෙන් අලංකාරව පෙනී සිටීමට යත්න දැරුවා ය.
සෙප්ටා මෝර්ඩේන් ඇයව විසිත්ත කාමරයට කැටුව යද්දී එඩාර්ඩ් උතුමානන් සම් බැම්මෙන් බැඳනු දැවැන්ත පොතකට හිස ඔබාගෙන සිටියේය. ඔහු ගේ පාදය තවමත් වෙළුම්පටිවලින් ඔතා තිබුනි. ඇගේ සොයුරිය කැඳවාගෙන එනු පිණිස සෙප්ටා පිටව ගිය පසු පියා ඇය ඇමතීය. "මෙහාට එන්ට සන්සා." ඒ ස්වරය කාරුනික විය. "ඇවිත් මගේ පැත්තකින් වාඩිවෙන්ට." ඔහු පොත වසා දැමීය.
සිය ග්‍රහණයෙන් බේරීම සඳහා තරයේ දඟලන ආර්යාව අතින් ඇදගත් සෙප්ටා නැවත කාමරයට ඇතුළුවූවාය. අලංකාර ලා කොළ පැහැ ගවොමක් හැඳ පසුතැවිලි සහගත පෙනුමක් මුහුණේ රඳවාගන්නට සන්සා උත්සුක වී තිබුනද ආර්යා තවමත් උදෑසන හැඳ සිටි හම් සහ කඩමාලුවලින් සැරසී සිටියා ය. "මෙන්න ඉන්නවා අනිත් එක්කෙනා." සෙප්ටා නිවේදනය කලාය.
"බොහොම ස්තූතියි සෙප්ටා මෝර්ඩේන්! මම කැමැතියි මගේ දුවලා දෙන්නත් එක්ක තනියෙන් කතාකරන්ට. ඔබේ අමනාපයක් නැත්තම්." හිස නැමූ සෙප්ටා කාමරයෙන් පිටව ගියාය.
"ආර්යා තමා ඒක පටන්ගත්තේ." සන්සා සැනෙන් කීවේ තරගයේ මුල් වාසිය තමන් සතුකරගැනීමේ අටියෙනි. "එයා මට බොරුකාරියෙක් කියලා බැනලා දොඩම් ගෙඩියකින් ගහලා මගේ ගවුම සවුත්තු කලා. අර ඇත්දළ පාට සේද ගවුම. රැජිණ ඒක මට දුන්නෙ මාව ජොෆ්රි කුමාරයට පොරොන්දු වුන දවසෙ. ආර්යා ඉරිසියයි මම ජොෆ්රිව කසාද බඳින්ට යන එකට. එයාට ඕන හැම දෙයක්ම විනාස කරලා, නැතිබංගස්තාන කරලා දාන්ට තාත්තෙ. එයාට කිසිම ලස්සන, හොඳ දෙයක් පේන්ට බෑ."
"ඔය ඇති සන්සා." එඩාර්ඩ් උතුමානන් ගේ ස්වරයේ නොඉවසිල්ල තැවරී තිබින.
ආර්යා මුව ඇරියාය. "මට සමාවෙන්ට තාත්තෙ. මම තමා වැරදිකාරයා. මගේ හොඳ අක්කාගෙන් සමාව ඉල්ලන්ට මම ලෑස්තියි."
සන්සා කෙතරම් අන්දුන් කුන්දුන් වූවා ද යත් ඇයට කීමට වදනක් සොයාගත නොහැකි විය. අන්තිමේදී ඇය තම කටහඬ සොයාගත්තා ය. "එතකොට මගෙ ගවුම?"
"සමහරවිට... මට ඒක හෝදලා දෙන්ට පුළුවන් වෙයි." ආර්යා අතීරණාත්මක ස්වරයෙන් කීවාය.
"ඒක හේදුවා කියලා වැඩක් වෙන්නෙ නෑ. ඔයා මුලු රෑ තිස්සෙමයි දවල් කාලෙ තිස්සෙමයි ඒක අතුල්ලලා හේදුවත් වැඩක් වෙන්නෙ නෑ. සේද රෙද්ද නාස්තිවෙලා ඉවරයි."
"එහෙමනං මම... ඔයාට අලුත් එකක් මහලා දෙන්නම්."
සන්සා අවඥාවෙන් යුතුව හිස පසුපසට ගැස්සුවා ය. "ඔයා? ඔයාට පුළුවන්ද අඩුමගානෙ ඌරු කොටු කාරයෙකුටවත් ගැලපෙන ජාතියෙ ඇඳුමක් මහන්ට?"
පියා සුසුමක් හෙලීය. "මම ඔයාලා දෙන්නට මෙතනට එන්ටයි කිවුවෙ ඇඳුම් ගැන කතාකරන්ට නෙවෙයි. මම ඔය දෙන්නම ආයෙමත් වින්ටර්ෆෙල්වලට යවනවා."
දෙවන වතාවටත් සන්සා කීමට යමක් සොයාගත නොහැකි වන තරමට තෝන්තු වී ගියාය. තම දෑස් තෙත් වී එන්නාක් මෙන් ඇයට දැනුනි.
"ඔයාට එහෙම කරන්ට බෑ." ආර්යා කීවාය.
"අනේ තාත්තේ!" සන්සා අන්තිමේදී ගොත ගැසුවා ය. "අනේ එපා තාත්තේ!"
එඩාර්ඩ් ස්ටාර්ක් සිය දියණියන් දෙදෙනා දෙසට විඩාබර සිනහවක් හෙලීය. "ඔන්න අන්තිමේදී අපට පුළුවන් වුනා ඔය දෙන්නම එකඟවෙන කාරනයක් හොයාගන්ට."
"මම කිසිම වැරැදි වැඩක් කලේ නැහැ." සන්සා ආයාචනාත්මක ස්වරයෙන් කියා සිටියාය. "මට ඕන නැහැ ආපහු යන්ට." ඇය සැබැවින්ම කින්ග්ස් ලෑන්ඩින්ග්වලට ආදරය කලාය. රාජසභාවේ උත්කර්ෂය, විල්ලූදයෙන් හා සේදයෙන් හා මිණිබරණින් සැරසුනු උසස් වංශාධිපතියන් හා කුලීන ආර්යාවන්, මිනිසුන්ගෙන් පිරුනු විසල් නගරය, මේ සියල්ල විසින් ඇගේ සිත ආහ්ලාදයකින් පුරවාලන්නට සමත් වී තිබින. නයිට්වරුන් ගේ තරගාවලිය ඇය සිය ජීවිතකාලය තුළ දුටු විස්මයජනකම දර්ශනය විය. එනමුදු ඇය තවමත් නොදුටු බොහෝ දේ එහි විය. අස්වනු නෙලීමේ උත්සව, බාල් නැටුම්, නාට්‍යකරුවන් ගේ සන්දර්ශන ආදි බොහෝ දේ එහි විය. මේ සියල්ල අහිමිව යාම ඇයට දරාගත නොහැකි දෙයක් වනු ඇත. "ආර්යාව යවන්ට. එයා තමා මේ ඔක්කොම පටන්ගන්නෙ තාත්තෙ. මම දිවුරනවා. මම හොඳ ළමයෙක් වගේ ඉන්නම්. ඔන්න බලන්ටකො. මට ඉන්ට ඉඩදෙන්ට, මම රැජිණ තරම්ම උදාර විදියට, ආචාරශීලී විදියට හැසිරෙන්නම්. මම පොරොන්දු වෙනවා."
පියා ගේ මුව විකෘති වී ගියේය. "සන්සා මම ඔයාලව යවන්නෙ ඔයාලා රණ්ඩුකරගන්න නිසා නෙවෙයි. ඇත්තම කියනවානම් දෙයියො දන්නවා ඔයාලා දෙන්නගෙ රණ්ඩු දබර නිසා මට කොච්චර හිතේ වේදනයිද කියලා. මට ඔයාලව ආපහු වින්ටර්ෆෙල්වලට යවන්ට ඕන ඔයාලගෙම ආරක්ෂාවට. මගේ මිනිස්සු තුන්දෙනෙක් මෙතැන ඉඳන් ලීග් එකක්වත් නැති දුරින් බල්ලො වගේ කපලා මරලා දැම්මා. ඒත් රොබර්ට් මොකක්ද කලේ? එයා දඩයමේ ගියා."
ආර්යා සිය දෙතොල් විකමින් බලාසිටියා ය. "අපට සිරියෝත් එක්කරන් යන්ට පුළුවන්ද?"
"ඔයාගෙ ඔය මෝඩ නැටුම් ගුරුවරයා ගැන කවුද වදවෙන්නෙ?" සන්සා කඩාපැන්නා ය. "තාත්තෙ, මට දැනුයි මතක් වුනේ. මට මෙහෙන් පිටවෙලා යන්ට බෑ. මම ජොෆ්රි කුමාරයාව කසාද බඳින්ටනෙ යන්නෙ." සිය කුමරුවා වෙනුවෙන් නිර්භීත සිනහවක් මවා ගැනීමට ඇය උත්සාහ දැරුවා ය. "මම එයාට ආදරෙයි තාත්තෙ. මම ඇත්තටම, ඇත්තටම එයාට ආදරෙයි. මම එයාට ආදරෙයි හරියට නේරිස් රැජිණ ඒමන් කුමාරයාට ආදරේ කලා වගේ. හරියට ජොන්ක්විල් සෙර් ෆ්ලෝරියන්ට ආදරේ කලා වගේ. මට ඕන එයාගෙ රැජිණ වෙලා එයාගෙ ළමයි හදන්ට."
"මගේ වස්තුවේ." පියා මෘදු ස්වරයෙන් කතාව ඇරඹීය. "මම කියන දේ අහන්ට. ඔයා නිසි වයස ආපුවහම මම ඔයාට ගැලපෙන, උසස් වංශාධිපතියෙක් හොයලා දෙන්නම්. හොඳ නිර්භීත, කරුනාවන්ත, ශක්තිමත් මනමාලයෙක්. ජොෆ්රිත් එක්ක කරපු මේ විවාහ ගනුදෙනුව බොහොම භයානක වැරැදීමක්. ඔයා මාව විශ්වාස කරන්ට. ඔය කොල්ලා ඒමන් කුමාරයා වගේ නෙවෙයි."
"එහෙම තමා!" සන්සා තිර ස්වරයෙන් කීවාය. "මට ඕන නෑ නිර්භීත කරුනාවන්ත වෙන කවුරුවත්. මට ඕන එයාවයි. අපි දෙන්නට පුළුවන් හැමදාමත් සතුටින් ඉන්ට. හරියට අර සින්දුවල තියෙනවා වගේ. ඔන්න ඔයා බලන්ටකො. මම එයාට දෙනවා රත්තරන් පාට හිසකෙස් තියෙන පුතෙක්. එතකොට එයා දවසක මේ රටේ රජතුමා වෙයි. ඉතිහාසයෙ හිටිය ශ්‍රේෂ්ටම රජතුමා. වෘකයෙක් වගේ නිර්භීත සිංහයෙක් වගේ උදාරම් රජෙක්."
ආර්යා මුව ඇදකලාය. "ජොෆ්රි එයාගෙ තාත්තානම් ඉතින් ඒ වැඩේ වෙන්නෙ නෑ. ජොෆ්රි කියන්නෙ බොරුකාරයෙක්, බයගුල්ලෙක්. අනික එයා සිංහයෙක් නෙවෙයි ගෝනෙක්."
සිය දෑසට කඳුළු පුරා එනු සන්සාට දැනුනාය. "එයා එහෙම කෙනෙක් නෙවෙයි! එයා කොහෙත්ම අර නාකි බේබදු රජතුමා වගේ කෙනෙක් නෙවෙයි." වියරුව නිසා සෑමදෙයක්ම අමතකව ගිය ඇය ආර්යා දෙසට හැරී මුරගෑවාය.
පියා මවිතයෙන් මෙන් ඈ දෙස බැලීය. "දෙයියනේ! මේ පුංචි එවුන්ගෙ කටවල් වලින්..." ඔහු අවලාදාත්මක ස්වරයෙන් කෙඳිරීය. සෙප්ටා මෝර්ඩේන්ට පැමිණෙන්නැයි හඬගෑ ඔහු සිය දියණියන් දෙදෙනා දෙසට හැරුනි. "ඔයාලාව ගෙදර යවන්ට මම හොඳ වේගවත් වෙළෙඳ නැවක් හොයනවා. මේ දවස්වල රජමාවතෙන් යනවාට වඩා ආරක්ෂාවයි මුහුදෙන් යන එක. හොඳ නැවක් හම්බවුන ගමන්ම ඔයාලා මෙහෙන් පිටත්වෙයි. සෙප්ටා මෝර්ඩේනුයි, සෙබළු ටිකකුයි... ඔවු අපට සමහරවිට සිරියෝ ෆොරෙල්වත් එකතුකරගන්ට පුළුවන් වෙයි. හැබැයි ඉතින් ඒ එයා මගෙ සේවයට බැඳෙන්ට කැමැතිවුනොත් විතරයි. කොහොමවුනත්, මේ ගැන කාටවත්ම මොකුත් කියන්ට එපා. අපේ සැලසුම් ගැන කිසිකෙනෙක් මොකුත් නොදැන ඉන්න තරමට හොඳයි. අපි මේ ගැන හෙට තව කතාකරමු."
සෙප්ටා මෝර්ඩේන් විසින් ඔවුන් දෙදෙන පඩිපෙළ පහළට කැඳවාගෙන යන අතරතුරේ සන්සා ඉකිබිඳ වැලපෙන්නට වූවාය. ඔවුන් මේ සෑමදෙයක්ම ඇගෙන් උදුරාගන්නට සැරසෙති. තරගාවලීන් ද, රාජසභාව ද, ඇගේ කුමරුවා ද, සෑම දෙයක්ම. ඔවුන් ඇයව නැවතත් ඇර අඳුරු මූසල වින්ටර්ෆෙල්වලට යවන්නට සැරසෙති. ඇයට සිය මුලු දිවියම එහි සිරවී ගතකරන්නට සිදුවනු ඇත. ඇගේ සුන්දර ජීවිතය හරිහැටි ඇරඹෙන්නටත් පෙරම නිමාවන්නට යයි.
"ඔය ඇඬිල්ල නවත්තගන්ට දරුවෝ." සෙප්ටා මෝර්ඩේන් තරවටු ස්වරයෙන් කීවාය. "මට හොඳටම විශ්වාසයි ඔයාගෙ තාත්තා හරි තීරණයක් තමා අරන් තියෙන්නෙ කියලා. ඔයාලට ගැලපෙන හොඳම දේ මොකක්ද කියලා එයානෙ දන්නෙ."
"ඒක එච්චරම නරක් වෙන එකක් නෑ සන්සා." ආර්යා කීවාය. "අපි නැවක නැගලා යන්ටයි යන්නෙ. ඒක හරිම හොඳ වීර චාරිකාවක් වෙයි. අනික අපට ආයෙමත් බ්‍රැනුයි රොබුයි එක්ක ඉන්ට පුළුවන් වෙයි. එතකොට නාකි ආයම්මායි, හොඩෝරුයි අනිත් අයයි හැමෝම." ඇය සන්සා ගේ අතින් ඇල්ලුවා ය.
"හොඩෝර්!" සන්සා බෙරිහන් දුන්නා ය. "උඹ හොඩෝර්ව තමා කසාද බඳින්ට ඕන. උඹත් ඌ වගේම මෝඩයි, ගඳගහනවා, කැතයි." සිය සොයුරියගේ ග්‍රහනයෙන් අත ඇදගත් ඇය නිදන කාමරයට වැදී මහත් හඬින් දොර වසා දැමුවාය.
Eddard Stark: “Three of my men were cut down like dogs not a league from where we sit, and what does Robert do? He goes hunting.”