Monday, 3 November 2014

ටිරියන් 04-1

 

අරුණෝදයේ ශීතය අතරේ සිටගෙන, චිගන් විසින් සිය අසු මරා මස්කරනු බලා සිටි ටිරියන් ලැනිස්ටර් ස්ටාර්ක්වරුන් ‍ගේ ණය ගොඩට තවත් එක් ණයක් එක් වූ බැව් සිතේ සනිටුහන් කරගත්තේ ය.

උක්කුටියෙන් වාඩි වී සිටි ‍මේ කුලී හේවායා සිය සතුන් හමගසන පිහියෙන් අසු ගේ උදරය කපා විවෘත කරද්දී ශීතය නිසා මළසිරු‍රේ උණුසුම වාශ්පයක් මෙන් ඉහළ නැග්ගේ ය. ඔහු ‍ගේ අතැඟිලි දක්ෂ කඩිසර අයුරින් එහා මෙහා දිවුවේ කිසිදු මස් කැබැල්ලක් ඉවත නොයන අයුරින් සතාව හම ගැසුවේය. ලේ ගඳ දැනී කඳු සිංහයින් පැමිණීමට ප්‍රථම වැඩය අහවර කල යුතු විය.

"අපි කාටවත් අද රෑ බඩගින්නෙ ඉන්ට වෙන එකක් නෑ." බ්‍රොන් කීය. මේ කුලී හේවායා ඇටකටු පෙනෙන තරම් කෙට්ටු, දරදඬු සිරුරකින් හෙබි අතර කළු පැහැ දෑස්, කළු පැහැ හිසකෙස් හා කළු පැහැ කෙටි රැවුලකින් යුතු වූයේය.

"සමහරු බඩගින්නෙ ඉඳියි." ටිරියන් පිළිතුරු දුන්නේ ය. "මම ආස නෑ අශ්ව මස් කන්ට. විශේෂයෙන්ම මගේම අශ්වයාගෙ මස්."

"මස් කියන්නෙ මස්." බ්‍රොන් දෙවුර අකුළමින් කීය. "ඩොත්රැකියො හරක් මස්, ඌරු මස්වලට වඩා අශ්ව මස්වලට කැමැතියි."

"උඹ හිතන්නෙ මාත් ඩොත්රැකියෙක් කියලද?" ටිරියන් මුහුණ ඇඹුල් කරගනිමින් ඇසීය. සැබැවින්ම  ඩොත්රැකියන් අශ්ව මාංසය අනුභව කලද ටිරියන් ඔවුන් ගේ ගති පැවැතුම් පිළිකුල් කලේය.

තුනී මස් පෙත්තක් කපාගත් චිගන් එය ඉහළට අල්ලා පිරික්සා බැලීය. "රස බලන්ට කෑල්ලක් දෙන්ටද කුරුමිට්ටො?"

"ම‍ගේ අයියා ජේමි, ඔය වෙළඹ මට දුන්නෙ මගේ විසිතුන්වෙනි උපන්දිනේට තෑග්ගක් විදියට." ටිරියන් වියළි ස්වරයෙන් කීය.

"එහෙනං එයාට අපි වෙනුවෙන් ස්තූති කරහං. උඹට ආයෙ කවදාහරි එයාව දකින්ට ලැබු‍නොත්." චිගන් සිය කහ පැහැ දත් පෙනෙන සේ නියැවීය. ඔහු අමු මස් පෙත්ත කටවල් දෙකකින් ගිල දැමීය. "හොඳට හැදිච්ච අශ්වයෙක්ගෙ රහ තියෙනවා."

"ඒක ලූණුත් එක්ක බැදලා ගත්තනං ඔයිට වඩා රහයි." බ්‍රොන් කීවේය.

වදනකුදු නොදෙඩූ ටිරියන් බකල ගසමින් එතැනින් ඉවත්ව ගියේය. ශීතය ඔහු ගේ ඇටමිදුළු වලටම කා වැදී තිබුනු අතර දෙපා කෙතරම් තදින් රිදුම් දුන්නේද යත් ඔහුට ඇවිදගත හැකි වූයේ යාන්තමිනි. සමහරවිට මියගිය වෙළඹ ඔහුට වඩා වාසනාවන්ත වූවා විය හැක. ඔහුට තවත් හෝරා කිහිපයක් මෙ‍සේ ඉදිරියට යාමට තිබුනු අතර ඉන්පසු කුඩා අහර කටවල් කිහිපයකින් සෑහීමකට පත් වී සීතල තද පොළොවේ පැය කිහිපයක නින්දක් ලබන්නට තිබින. ගෙවුනු සෑම රැයක්ම මෙසේ වූ අතර ඉදිරියට තිබෙන සෑම රැයක්ම මෙසේ වනු ඇති බැව් ඔහු දැන සිටියේ ය. මෙය කෙසේ අවසන් වනවාදැයි දන්නේ දෙවියන් පමණි. "ඒකි යකාටම ගියාදෙන්." ඔහු කෝප‍යෙන් කටුකුටු ගෑවේ සිය කණ්ඩායමට එක් වීම පිණිස ඇවිද යන අතරය. "ඒකියි ස්ටාර්ක්ලා ඔක්කොමයි යකාටම ගියාදෙන්."

ඒ මතකය තවමත් අමිහිරි විය. එක මොහොතකදී ඔහු සිය රාත්‍රී ආහාරය ඇනැවුම් කරමින් සිටි අතර ඇසිපිය හෙලන මොහොතක පමා‍වෙන් අසිපත් ඇදගත් සෙබළුන් පිරිසකට මුහුණ දීමට ඔහුට සිදුවිය. ජයික් සිය අසිපත වෙත සුරත යවමින් හුන් අතර තානායම්පතිනිය යටි උගුරෙන් කෑ ගැසුවා ය. "කඩු ඇදගන්ට එපා. අනේ මෙතන නම් කඩු ඇදගන්ට එපා. කරුනාකරලා මයෙ උතුමනි."

ඔවුන් දෙදෙන කෑලි කෑලිවලට කැපී යන්නට පළමු ජයික් ‍‍ගේ අසිපත රැගත් සුරත සෙමින් පහත් කරන්නට ටිරියන්ට හැකි විය. "කෝ උඹේ ආචාරශීලීත්වය ජයික්? අ‍පේ හොඳ තානායම්පතිනිය කියනවා කඩු ඇදගන්ට එපයි කියලා. එයා කියන විදියකට කරපන්." සිය මුවේ සිනාවක් ඇඳ ගැනීමට ඔහු යත්න දැරුවද එය සාර්ථක උත්සාහයක් නොවූ බව ඔහුටම වැටහින. "ඔබ බොහොම බරපතල අත්වැරැද්දක් කරන්නෙ ස්ටාර්ක් ආර්යාවනි. ඔබේ පුතාට කෙරුනු කිසිම අනතුරකට මගේ සම්බන්ධයක් නෑ. මම දිවුරනවා මගේ ගෞරවය-"

"ලැනිස්ටර් ගෞරවය." ඇය කීවේ එපමනකි. මුලු කාමරයටම පෙනෙන පරිදි ඇය සිය දෑත් එසෙවුවා ය. "උගෙ කිනිස්සෙන් තමා මේ තුවාල කැළැලි ඇති වුනේ. ඒ කිනිස්ස එවලා තිබුනෙ මගේ පුතාගෙ බෙල්ල කපන්ටයි."

ස්ටාර්ක් ආර්යාවගේ දෑතේ ඇති ගැඹුරු තුවාල කැළැල් දැකීමෙන් පිරිස තුළ නැග ආ කේන්තිය දුමාරයක් මෙන් තමා වටා පිරෙනු තමාව සිරකරනු ටිරියන්ට දැනින. "ඌව මරාපං." පිටිපස්සේ සිටි කවුරුන් හෝ බේබද්දෙක් මුරගා කීය. ඊළඟ මොහොතේ ඔහුට යමක් සිතාගන්නටවත් ඉඩක් ලැබෙන්නට පෙර තවත් හඬවල් එයට එක් විය. මීට මොහොතකට පෙර මිත්‍රශීලී වූ ඒ හඬවල් දැන් සතෙකු ගේ ඉව පාරේ පන්නන බලු රෑනක් මෙන් ඔහු ගේ රුධිරය ඉල්ලා මුරගාමින් තිබින.

ටිරියන් හඬ නගා කතා කලේ සිය ස්වරයේ ඇති වෙවුලිල්ල මකා දැමීමට උත්සාහ දරමිනි. "ස්ටාර්ක් ආර්යාව විශ්වාස කරනවා නම් මම මොකක්හරි අපරාධයක් වෙනුවෙන් වගකියන්ට ඕනැයි කියලා මම සූදාණම් එයත් එක්ක ගිහිල්ලා ඒකට උත්තර දෙන්ට."

කල හැකි වූ එකම දෙය එය පමණක් විය. මිනිසුන් කපා හෙලා මෙතැනින් පිටව යාමට තැත් කිරීම නිසැක මරණය කැඳවන්නක් විය. ස්ටාර්ක් ආර්යාව ‍ගේ ආයාචනයට පිළිතුරු දීම් වස් අසිපත් දුසිමක් පමණ කොපුවලින් එළියට ඇදී තිබින. හැ‍රෙන්හෝල්හි සෙබළා, බ්‍රැකන්වරු ති‍දෙනා, ඔහුව ඕනෑම මොහොතක මරා දැමීමට සූදාණම් යැයි පෙනුනු කුලී හේවායින් දෙදෙනෙක් හා සිදුවන්නේ කුමක්දැයි කිසිදු අවබෝධයක් නොමැති ‍මෝඩ ගොවීන් පිරිසක් ඒ අතර වූහ. ඔවුන්ට එදිරිව ටිරියන් සතුව තිබුනේ සිය ඉණපටියේ රැඳි සිරිය හා තවත් මිනිසුන් දෙදෙ‍නෙකු පමණි. ජයික් හොඳ සටන්කරුවකු වුවද මො‍රෙක් ගණන් ගත හැක්කෙකු නොවීය. ඔහු අඩක් කෝකියකු, අඩක් සේවකයකු මිස සෙබළකු නොවීය. අනිත් අතට කළු සොයුරන් රාජධානියේ අභ්‍යන්තර කලබැගෑනිවලට අත ‍පොවන්නන් නොවන බැවින් යොරේන් කිසිවක් නොකරනු ඇත.

එය එ‍සේම සිදුවිය. කැට්ලින් පසෙකින් සිටි මහළු නයිට්වරයා "උංගෙ ආයුධ ගනින්" යැයි පවසද්දී යොරේන් නිහඬවම පසෙකට විය. ඉදිරියට පියමැන්න බ්‍රොන් ජයික් ගේ සුරතේ රැඳි අසිපතත් ඔවුන් දෙදෙනා ඉණ බැඳි කිනිසිත් ගලවාගත්තේ ය‍. "හොඳයි." ශාලාව තුළ පැවැති නොසන්සුන් බව ‍කෙමෙන් අඩු වී යද්දී මහළු මිනිසා කීවේය. "නියමයි." ටිරියන් මේ රළු කටහඬ හඳුනාගත්තේ ය. සිය රැවුල බෑ වින්ටර්ෆෙල්හි සටන් පුහුණු ගුරුවරයා, සෙර් රඩ්‍රික්.

"එයාව මෙතැනදි මරන්ට එපා." තානායම්පතිනිය කැට්ලින්ගෙන් අයැද සිටියාය.

"එයාව කොහෙදිවත් මරන්ට එපා." ටිරියන් උනන්දුකරවන ස්වරයෙන් කීය.

"එයාව වෙන කොහාට හරි අරන් යන්ට, ම‍යෙ උත්තමාවනි. මෙතන ලේ හොල්ලන්ට එපා. උතුමන් ‍ගේ රණ්ඩුදබර මේක ඇතුළෙ වෙනවා දකින්ට මට උවමනා නෑ."

"අපි එයාව ආපහු වින්ටර්ෆෙල්වලට අරන් යනවා." කැට්ලින් කීවාය. 'හොඳයි, එක අතකට...' ටිරියන් සිතුවේය. කාමරය පුරා දෑස් කරකවා තත්ත්වයේ ස්වභාවය ගැන වටහාගන්නට මේ වනවිට ඔහුට අවස්ථාවක් ලැබී තිබින. දකින්නට ලැබුනු දෙයින් ඔහු වඩාත්ම අසතුටට පත් වූයේද නැත. ස්ටාර්ක් ආර්යාව දක්ෂ වූවාය. ඒ ගැන සැකයක් නැත. ඔවුන් ‍සේවය කරන වංශාධිපතීන් සිය පියාට ඇති පක්ෂපාතීත්වය ගැන මුලු ශාලාවම ඉදිරියේ දිවුරුම් ප්‍රකාශයක් ලබාගත්තාට පසුව ඇය ඔවුන් ගේ ආධාරය ඉල්ලා සිටියාය. ඇත්තෙන්ම එය සුන්දර උපායයක් විය. එනමුදු ඇගේ උත්සාහය ඇය බලාපොරොත්තු වූ තරමටම සාර්ථක වූ එකක් නොවීය. ඔහු ගේ හදිසි ගණනයට අනුව ඒ වනවිට කාමරය තුළ පනහකට ආසන්න පිරිසක් වූහ. කැට්ලින් ස්ටාර්ක් ගේ ආයාචනයට අනුව ඇයට සහය පිණිස නැගී සිටියේ එයින් දුසිමක් පමණි. අනිකුන් එක්කෝ වියවුල් සිතින්, එක්කෝ බියෙන් නැතහොත් දෙකට දෙවාරේ වැනෙමින් බලා සිටියහ. ෆ්‍රේවරුන් අතරින් දෙදෙනෙකු පමණක් නැගිට සිටි අතර සිය කපිතාන් නොසෙල්වෙන බැව් දුටු ඔවුහු වහා නැවත අසුන් ගත්හ. හැකියාවක් තිබිනි නම් ඔහු සිනාසෙනු නිසැකය.

"හොඳයි එහෙමනම්, වින්ටර්ෆෙල්." ටිරියන් කීය. එහි සිට මේ දැන් පැමිණ සිටි ඔහු ඒ වනතෙක් කෙතරම් දුරක් ඇත්දැයි මනාව දැන සිටියේ ය. ගමන අතරතුර අනේක දෑ සිදුවිය හැක. "මගේ තාත්තා කල්පනා කරයි මට මොනවා වෙලාද කියලා." ඔහු එකතු කලේ ඔහුට සිය කාමරය පුදකරන්නට නැගී සිටි කුලී හේවායා ගේ දෑස සිය දෑසින් මුනගැ‍සෙමිනි. "අද මෙතන මොනවද වුනේ කියන එක ගැන විස්තරයක් එයාට දන්නන්ට පුළුවන් කෙනෙකුට මගේ තාත්තා හොඳ සන්තෝසමක් දෙයි." ටයිවින් උතුමානන් එවැන්නක් සිදු නොකරනු ඇති නමුදු නිදහස් වීමට හැකියාවක් ලැබුනහොත් ටිරියන් ලැනිස්ටර් ඒ ගැන වග බලා ගනු ඇත.

සෙර් රඩ්‍රික් සිය ආර්යාව දෙස බැලීය. ඔහු ගැටළුකාරී තත්ත්වයකට මැදි වී ඇති සෙයක් දිස්විය. "එයාගෙ මිනිස්සුත් එයත් එක්ක එයි." මහලු නයිට්වරයා නිවේදනය කලේය. "අනිත් අයට අපි බොහොම ස්තූතිවන්ත වෙනවා අද මෙතැන සිද්දවෙච්චි දේ ගැන කට පියාගෙන ඉන්නවානම්."

සිය සිනහව නවත්වාගැනීමට ටිරියන්ට මහත් උත්සාහයක් දැරීමට සිදුවිය. 'කට පියාගෙන ඉන්ට?' නාකි මෝඩයා. මුලු තානායමේම සිටින පිරිස අත්අඩංගුවට ගෙන රැගෙන යන්නේ නම් මිස ඔවුන් මෙතැනින් පිටව ගිය වහාම මේ ආරංචිය ලැවු ගින්නක් මෙන් පැතිර යනු නිසැකය. සිය රන්කාසිය පිළිගත් කුලී හේවායා මේ ආරංචිය රැගෙන ඊයක් මෙන් කාර්ස්ටලී රොක් වෙත පියාඹා යනු ඇත. ඔහු නැතහොත් වෙනෙකෙකු. යොරේන් මේ පුවත දකුණ බලා රැගෙන යනු ඇත. අර මෝඩ ගායකයා මේ ගැන සැහැල්ලක් සාදා ගයනු ඇත. ‍ෆ්‍රේවරුන් සිය ස්වාමියා වෙත මේ ආරංචිය රැගෙන යනු ඇති අතර ඔහු කුමක් කරනු ඇතිදැයි දන්නේ දෙවියන් පමණි. වෝල්ඩර් ෆ්‍රේ උතුමානන් යනු රිවර්රන්වලට පක්ෂපාති වංශාධිපතියකු විය. එනමුදු ඔහු මෙතරම් වයස්ගත වන තෙක් දිවි රැකගැනීමට සමත් වී ඇත්තේ පරීක්ෂාකාරීව හිඳ සෑමවිටම ජයග්‍රාහකයා ගේ පැත්ත ගැනීමට සමත් වීම නිසාය. අඩුම තරමේ ඔහු පණිවුඩය රැගත් පක්ෂීන් දකුණේ කින්ග්ස් ලෑන්ඩින්ග් වෙත යවනු ඇත. සමහරවිට ඔහු ඊට වඩා වැඩි දෙයක් කරනු ඇත.

කැට්ලින් ස්ටාර්ක් කාලය අපතේ නොහැරියා ය. "අපි දැන්මම පිටත් වෙන්ට ඕන. අපට අලුත් අශ්වයොයි ගමනට කෑමයි ඕන කරනවා‍. මිනිස්සුනේ, දැනගන්ට ඔබලාට ස්ටාර්ක් පෙළපතේ කෘතඥතාව හැමදාමත් හිමිවෙනවා. මේ හිරකාරයො මුරකරලා පරෙස්සමින් වින්‍ටර්ෆෙල්වලට අරන් යන්ට අපට උදවු කරන්ට කෙනෙක් කැමැති නම් එයාලට බොහොම හොඳට තෑගි ලැබේවි. මම ඒක පොරොන්දු වෙනවා." එපමණකි. මිනිස්සු නොපැකිල ඉදිරියට එන්නට වන්හ. ටිරියන් ඉතා පරෙස්සමින් මේ සෑම මිනිසකුගේම මුහුණ අධ්‍යයනය කර මතක‍යේ තබා ගත්තේය. මේ සෑම කෙ‍නෙකුටම හොඳට තෑගි ලැබෙනු ඇත. ටිරියන් තමාටම පොරොන්දු වූයේය. එනමුදු ඒ ඔවුන් බලාපොරොත්තු වූ අයුරින් නොවනු ඇත.

එනමුදු තානායමෙන් පිටතදී ඔවුන් ඔහු ගේ දෑත් බැඳ දමද්දී, වර්ෂාව මධ්‍යයේම අසුන් සූදානම් කරද්දී ටිරියන් ලැනිස්ටර් ගේ සිතට බියක් නොදැනින. ඔවුන්ට ඔහුව කෙසේවත් වින්ටර්ෆෙල්වලට ගෙනයා නොහැකි වනු ඇත. ටිරියන් ඒ ගැන පරදු තබන්නට පවා සූදානමින් උන්නේ ය. දවස නිමා වීමට ප්‍රථම අසරුවන් ඔවුන් හඹා එනු ඇත. පණිවුඩ රැගත් පක්ෂීන් එහා මෙහා පියාඹනු ඇත. සිය පියා ගේ හොඳ හිත දිනාගැනීමේ ආශාවෙන් පසුවන ගංගා නිම්නයේ වසන කිනම් හෝ වංශාධිපතියෙක් නිසැකයෙන්ම ඔවුන්ට අත පොවනු ඇත. සිය විචක්ෂණභාවය ගැන ටිරියන් මෙසේ සතුටුවෙමින් සිටිද්දී කෙනෙක් ඔහු ගේ දෑස් වැසෙන සේ හිස් ආවරණයක් පළඳවා ඔහුව අසෙකු පිටට නැග්ගුවේය.

ඔවුහු වර්ෂාව මධ්‍යයේම පිම්මේ සිය අසුන් ඉදිරියට පැදවූහ. වැඩි වේලාවක් යන්නට පෙරම ටිරියන් ගේ කලවා ඇදුම් කන්නට පටන්ගත් අතර පශ්චාත්භාගය වේදනා ගෙන දෙන්නට පටන් ගති. ඔවුන් තානායමෙන් ආරක්ෂාකාරී දුරකට ඈත් වූ පසු කැට්ලින් ඔවුන් ගේ අසුන් හැල්මේ දුවන තරම් වේගය අඩු කලද එය රූක්ෂ භූමියක් මතින් කෙරුනු හැලහැප්පීම්වලින් පිරුනු දුක්ඛිත ගමනක් විය. ඔහු ගේ දෑස් බැඳ තිබීම තත්ත්වය තවත් නරක අතට හරවන්නක් විය. සෑම ඇඹරීමක්ම, සෑම හැරවීමක්ම ඔහුව අසු පිටින් බිමට ඇද දමන්නට උත්සාහ කලේය. මුහුණ වැසූ ආවරණය නිසා තමා අවට ‍කෙරෙන කිසිදු කතාබහක් ශ්‍රවණය කිරීමේ හැකියාවක්ද ඔහුට නොවීය. රෙද්දට උරාගත් වැසි දිය නිසා එය මුහුණටම ඇලී ගියේ අවසානයේදී ඔහු ගේ ආශ්වාස ප්‍රශ්වාසයටද බාධා කරන්නට විය. දෑත් බැඳ දමා තිබුනු ලණු පොට නිසා ඔහු ගේ දෑත් කැපී ගිය අතර රාත්‍රිය ‍ගෙවී යද්දී ඒවා තවත් තද වන බැව් ඔහුට හැඟෙන්නට විය. 'මම ගිනිමැලයක් ගාව වාඩිවෙලා පුච්චපු වළිකුකුළෙක් කන්ටයි ලැස්ති වුනේ. මේ කාලකන්නි ගායකයා උගෙ අර බෝක්කු කට ඇරියා.' ටිරියන් පැමිණිලි ස්වරයෙන් කල්පනා කරන්නට විය. ඒ කාලකන්නි ගායකයාද ඔවුන් සමග පැමිණ තිබින. "මේ සිදුවීමෙන් හොඳ ලස්සන සින්දුවක් හැදෙන්ට පුළුවන්ය කියලා මට හිතෙනවා. ඉතින් මමම තමා ඒක හදන්ට ඕන." මේ කදිම වීර චාරිකාව නිමවන්නේ කෙසේදැයි දැනගැනීම තම අභිප්‍රාය බව ඔවුන්ට එක්වීමට හේතුව වශයෙන් ඔහු කැට්ලින්ට කියා සිටියේ ය. ලැනිස්ටර් අසරුවන් ඔවුන් මත කඩා පාත් වන මොහොතේ මේ වීර චාරිකාව කෙතරම් කදිම එකක්දැයි ඔහුට තේරුම් යනු ඇතැයි ටිරියන් කල්පනා කලේය.

අන්ති‍මේදී වර්ෂාව නැවතී උදා හිරු කිරණ ඔහු ගේ මුහුණ වැසූ තෙත් ‍රෙදිකඩ හරහා විත් ඔහු ගේ දෑස් සිපගනිද්දී කැට්ලින් ස්ටාර්ක් අසුන් නැවැත්වීමට විධාන කලාය. කාගේ හෝ දෑතක් රළු අයුරින් ඔහුව අසු පිටින් බිමට ඇද දමා, ඔහු ගේ මැණික්කටු බැමිවලින් මුදා, මුහුණ වසා තිබුනු රෙදිකඩ ඉවත් කලේය. ඔහු පළමු වරට පටු, රළු මාවත දුටු විට, ඔවුන් වට කරමින් සිටි වනයෙන් වැසුනු මිටි කඳු දුටු විට, හිමෙන් වැසුනු මුදුන් සහිත දැවැන්ත කඳු ශිඛර ඈත ක්ෂිතිජයේ දුටු විට ඔහු තුළ පැවති බලාපොරොත්තු සියල්ලක්ම හිරු දුටු පිනි මෙන් සැනෙන් නැතිවී ගියේය. "මේ 'කඳුකර පාර නේ'." ඔහු මවිතයෙන් හුස්මක් අල්ලා ස්ටාර්ක් ආර්යාව දෙස සැකමුසු බැල්මක් හෙලීය. "නැගෙනහිර පාර. ඔබ කිවුවෙ අපි වින්ටර්ෆෙල්වලට යනවයි කියලා!"

කැට්ලින් ස්ටාර්ක් ඔහුට කෙටි සිනහවකින් සංග්‍රහ කලාය. "ඔවු. කාටත් ඇහෙන්ට බොහොම හයියෙන්." ඇය එකඟ වූවාය. "කිසිම සැකයක් නෑ අපේ පස්සෙන් එන උ‍ඹේ යාළුවො සේරම ඒ පැත්තට යයි. උන්ට බොහොම වේගෙන් යන්ට ලැබෙන්ටයි කියලා මම ප්‍රාර්ථනා කරනවා."

දවස් ‍බොහෝ ගණනකට පසු මේ දැන් පවා ඒ මතකය ඔහු ගේ සිත කර්කෂ වියරුවකින් පුරවාලන්නට සමත් විය. මුලු ජීවිත කාලය පුරාවටම ටිරියන් ලැනිස්ටර් සිය කපටි තීක්ෂ්ණ ඥානය ගැන උදම් වෙමින් සිටියේ ය. සෑම දෙයක්ම අහිමිවෙද්දී දෙවියන් විසින් ඔහුට ලබා දුන් එකම ත්‍යාගය එය විය. එනමුදු, මේ සත්වරක් යකාට ගිය වෘක බැල්ලිය, කැට්ලින් ස්ටාර්ක් විසින් සෑම අංශයකින්ම ඔහු ‍ගේ ඒ තීක්ෂ්ණ බව පරදවන්නට සමත්ව තිබින. ඔහුව පැහැරගැනීමකට ලක්වූවාය යන සත්‍යයටත් වඩා මේ කරුන දැනගැනීම කටුක හා බේදජනක අයුරින් ඔහුට රිදවීය.

අසුන්ට කෑම හා වතුර දීමට පමණක් ප්‍රමාණවත් වේලාවක් නැවතුනු ඔවුහු නැවත ගමන් ඇරඹූහ. මේ වතාවේ ටිරියන් ගේ දෑස් වැසීමට උත්සාහයක් නොදැරින. දෙවන රාත්‍රියෙන් පසු ඔහු ගේ දෑත් බැඳීමද නැවතින. කඳුකරයේ ඉහළට නැගුනු පසු කිසිවෙකුත් ඔහුව මුර කිරීමටවත් උනන්දු නොවූහ. ඔහු ගේ පලායාමක් ගැන ඔවුන් බිය නොවූ අතර එසේ වීමටද අවශ්‍ය නොවීය. මේ ඉහළ කඳුකරයේ භූමිය රළු ගිරි ශිඛරයෙන් හා වනයෙන් වැසුනු අතර මාවත ගලින් වැසුනු අඩි පාරකට වඩා යාන්තම් පුළුල් විය. ඔහු පලා ගියද තනිවම, කිසිදු කෑමක් බීමක් නොමැතිව කෙතරම් දුරක් නම් යා හැකිවේද? කඳු සිංහයින් ඔහුව රසවත් අතුරුපසක් වශයෙන් භාවිත කරනු ඇත. එමෙන්ම ‍මේ කඳුකරයේ වසන වනචාරී ගෝත්‍රික රංචු අසිපතට මිස අන් කිසිදු නීතියකට හිස නොනමන පල්හොරුන් හා මිනීමරුවන් වූහ.

එනමුදු ස්ටාර්ක් ආර්යාව කිසිදු නැවතීමක් නොමැතිව ඔවුන්ව ඉදිරියට ‍මෙහෙයෙවුවා ය. ඔවුන් ගේ ගමනාන්තය වන්නේ කුමක්දැයි ඔහු දැන සිටියේ ය. ඔහු ගේ හිස වැසූ ආවරණය ඉවත් කල මොහොතේම ඔහු එය දැනගත්තේ ය. මේ කඳුකරය වනාහි ඒරින් වංශයේ රාජධානිය විය. මියගිය හස්තයේ හෙවත් ජොන් ඒරින් ගේ ආර්යාව ටලී වරියක, කැට්ලින් ටලී ස්ටාර්ක් ‍ගේ සොයුරිය වූවාය... එමෙන්ම ලැනිස්ටර්වරුන් ගේ මිතුරකුද නොවූවා ය. ලයිසා ආර්යාව කින්ග්ස් ලෑන්ඩින්ග්හි සිටි සමයේ ටිරියන් ඇයව යාන්තමින් හඳුනාගෙන සිටි නමුදු ඒ දැනහැඳුනුම්කම් නැවත අලුත් කරගැනීමේ කිසිදු ආශාවක් ඔහු තුළ නොවීය.

ඔහු ගේ පිරිස මාවතට නුදුරු කුඩා දියපහරක් අසබඩ නැවතී සිටියහ. අසුන් කුස් පුරා දිය බී තණ උලාකමින් සිටියහ. ජයික් හා මොරෙක් එක ළඟින් වාඩි වී දෑත් පොරවාගෙන බුම්මාගත් මුහුණින් බලා සිටි අතර මොහෝර් සිය දිගු හෙල්ලයට වාරු වී ඔවුන් අසලින් සිටගෙන සිටියේ ය. ඒ අසලින් බිම වාඩි වී සිටි මැරිලියන් සිය වීණාවේ තත්වල තෙල් ගල්වමින් සිටියේ මේ කඳුකර‍යේ තෙත් වාතය සිය වීණා තත්වලට සිදුකරන හානිය ගැන මැසිවිලි නැගුවේ ය.

"අපි පොඩි විවේකයක් ගන්ට ඕනමයි ම‍‍ගේ ආර්යාවනි." දෙවන පෙළ නයිට්වරයකු වූ සෙර් විලීස් වෝඩ් කැට්ලින්ට පවසනු ළඟාවන ටිරියන්ට ඇසින. වෙන්ට් ආර්යාව‍ ගේ සේවයේ යෙදී සිටි දරදඬු මිනිසකු වූ ඔහු තානායමේදී කැට්ලින් ගේ සහාය පිනිස නැගී සිටි පළමුවැනියා විය.

"සෙර් විලීස් කියන්නෙ ඇත්ත මගේ ආර්යාවනි." සෙර් රඩ්‍රික් එකඟතාව පල කලේය. "මේ අපට නැති‍වෙච්ච තුන්වෙනි අශ්වයා-"

"ලැනිස්ටර්ලාට අපිව අල්ලගන්ට පුළුවන් වුනොත් අපට අශ්වයින්ට වඩා දේවල් නැතිවෙන්ට පුළුවන්." ඇය ඔවුන්ට මතක් කර දුන්නා ය. නිරන්තර ශීත සුළඟට හසු වූ ඇගේ මුහුණ වෑරී ගොස් තිබුනු නමුදු එහි පෙර තිබූ අධිෂ්ඨානය හා මුරණ්ඩු බව බිඳකුදු අඩු නොවීය.

"ඒක දැන්නම් කොහෙත්ම වෙන්ට විදියක් නෑ." ටිරියන් කතාවට මැදිහත් විය.

"ආර්යාව උ‍ඹෙන් මොකුත් ඇහුවෙ නෑ කුරුමිට්ටො." කර්ලිකට් කඩා පැන්නේ ය. කෙටි කර කපන ලද හිසකෙසින් හා ඌරු මුහුණකින් හෙබි මහත මෝඩයකු වූ ඔහු ජො‍නෝස් බ්‍රැකන් උතුමානන් යටතේ ‍සේවය කල සෙබළෙකු විය. මොවුන් සැමදෙනාගේම නම් හා මුහුණුවර මතකයේ තබා ගැනීමට ටිරියන් විශේෂ උනන්දුවකින් කටයුතු කලේ පසුව ලැබෙන අවස්ථාවකදී තමාට සිදුකරනු ලබන මේ සත්කාර සංග්‍රහවලට ස්තූති කිරීමට පහසුවනු පිණිසය‍. ලැනිස්ටර්වරු සෑමවිටම සිය ණය ගෙවා දමනු ලබන බැව් කර්ලිකට් දිනෙක වටහා ගන්නවා ඇත. ඔහු මෙන්ම ඔහු ගේ යහළුවන් වන ලාරිස් හා මොහෝර් ද, සෙර් විලීස් ද, කුලී හේවායින් දෙදෙනෙකු වූ බ්‍රොන් හා චිගන් ද මේ බැව් වටහා ගන්නවා ඇත. ඔහු මැරිලියන් වෙනුවෙන් විශේෂ වූ සංග්‍රහයක් සිතේ සනිටුහන් කර ගත්තේ ය.

"එයාට කතා කරන්ට දෙන්ට." ස්ටාර්ක් ආර්යාව අණ කලාය.

ටිරියන් ලැනිස්ටර් ගලක් මත වාඩි ගත්තේ ය. "මේ වෙනකොට අපිව ලුහුබැඳන් එන එවුන් ඔබේ බොරුව විශ්වාස කරලා බෙල්ලත් පහුකරන් රජමාව‍තේ උතුරට යනවා ඇති... ඒ කියන්නෙ ලුහුබැඳීමක් සිද්දවෙනවා නම්. ඒක අනිවාර්ය‍යෙන්ම වෙන්ට පුළුවන් දෙයක් නෙවෙයි. ආහ්! කිසිම සැකයක් නෑ මේ වෙනකොට මගේ තාත්තාට පණිවුඩේ ගිහින් ඇති... ඒ වුනත් මගේ තාත්තා මට එහෙමට ආදරේ එක්කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට විශ්වාස නෑ එයා එච්චරම ක්‍රියාශීලී වෙලා මගේ පස්සෙන් මිනිස්සු එවයි කියලා." මෙය ඇත්තෙන්ම අර්ධ-බොරුවක් විය. ටයිවින් ලැනිස්ටර් උතුමානන් සිය අංගවිකල පුත්‍රයා ගැන කිසිදු ආදරයක් නොදැක් වූ බව සත්‍යයකි. එනමුදු සිය වංශයේ ගෞරවයට එරෙහිව සිදුකෙරෙනු ලබන ඕනෑම කටයුත්තක් ඔහු විසින් නොඉවසන ලදී. "මේක බොහොම කුරිරු භූමියක් ස්ටාර්ක් ආර්යාවනි. ඔබට මිටියාවතට ළඟා වෙනකම් පිටතින් කිසිම ආධාරයක් බලාපොරොත්තු වෙන්ට බෑ. නැතිවෙන අශ්වයෙක් ගානෙ අනිත් එවුන්ට තියෙන අමාරුකම් වැඩිවෙනවා. ඒකටත් වැඩිය නරකයි, ඔබට මාවත් නැතිවෙන්ට පුළුවන්. මම බොහොම පුංචි එකෙක්. මම ශක්තිමත් නෑ. මම මැරුනොත් ‍මොකක්ද මේ ගමනින් ඇති ප්‍රයෝජනේ?" එය කිසිසේත්ම බොරුවක් නොවීය. මේ ගමන් වේගයට තව කෙතෙක් දුරක් යනතෙක් ඔරොත්තු දී සිටිය හැකිදැයි ටිරියන් නොදත්තේ ය.


Tyrion Lannister: “I never bet against my family.”