ශෛලමය වංකගිරියක් වූ වින්ටර්ෆෙල්හි කොහේදෝ තැනක සිට වෘකයෙක් උඩුබුරලෑමට පටන්ගති. එය මාලිගය සිසාරා පැතිර ගියේ ශෝකාලාපයක් මෙනි.
හොඳින් ආවරණය වූ උණුසුම් පුස්තකාලය තුළ පොතක් කියවමින් සිටි ටිරියන්ට සිය සිරුර වෙවුලා යනු දැනින. වෘකයා ගේ උඩුබුරලෑම විසින් ඔහුව සිටින ස්ථානයෙන් එපිටට ගෙන ගොස් අඳුරු වනයක බහා තිබින. තමා කුසගින්නෙන් පෙලෙන වෘක රංචුවකට ඉදිරියෙන් පණ බේරා ගැනීමට දිවයන නිරුවත් මිනිසෙකු මෙන් ඔහුට හැඟුනි.
වෘකයා නැවත වරක් උඩුබුරලෑම ඇරඹූ විට ටිරියන් මෙතෙක් වේලා කියවමින් සිටි සමින් බැඳුනු ඝනකම් පොත වසා දැමීය. පිටි අත්ලෙන් ඈනුමක් මුවා කල ඔහු වට පිට බැලුවේ ය. උසැති කවුළු අතරින් හිමිදිරි ආලෝකය එබෙමින් තිබුනු අතර තෙල් මඳකම නිසා පහන නිවී යාමට ආසන්නව තිබින. ඔහු මුළු රැයම නොනිදා පොත් කියවමින් සිට ඇත, නමුත් මෙය අලුත් දෙයක් නොවේ. ටිරියන් ලැනිස්ටර් යනු කවදාවත් නින්දට ලොබ බැඳගත්තෙකු නොවී ය.
ඔහු ගේ දෙපා හිරි වැටී තිබුනු අතර බංකුවෙන් බිමට බට ටිරියන් දෙපා මඳක් සම්බාහනය කර, අසල මේසයක් මත දිගහැර තිබුනු පොතක් මත ගොරවමින් නිදා සිටි පූජකයා අවදි කරවන්නට ගියේ ය. "ෂේය්ල්." ඔහු මෘදුව ඇමතී ය. තරුණ පූජකයා සැනෙන් නැගිට සිටියේ අන්දමන්දව වටපිට බලන්නට විය. "මම යනවා උදේ කෑම කන්ට. පොත් ටික ඔක්කොම ආපහු රාක්කවලට දාන්ට. අර වැලීරියන් ලියවිලි ටික බොහොම පරෙස්සමෙන් අතට ගන්ට. ඒකෙ කඩදාසි හොඳටෝම වේලිලා තියෙන්නෙ. අයර්මිඩන් ගේ 'යුද්ධ යන්ත්‍ර' කියන්නෙ බොහොම දුර්ලභ පොතක්. මම දැකපු එකම සම්පූර්ණ පොත තියෙන්නෙ ඔබලා ළඟ." ෂේය්ල් තවමත් නින්ද පහව නොගිය දෑසින් යුතුව ඔහු දෙස මුව අයා බලා සිටියේ ය. බොහෝ ඉවසිලිවන්තව තවත් වරක් ඔහුට සිය උපදෙස් මාලාව ලබා දුන් ටිරියන් එතනින් පිටත් වීය.
පිටතට පැමිණ ළය පුරා සීතල හුස්මක් ගත් ඔහු පුස්තකාල කුළුණ වටා සර්පිලාකාරව විහිදුනු ගල් පඩිපෙළ බසින්නට විය. ගල් පඩි උස් හා පටු වූ අතර ඔහු ගේ දෙපා කෙටි හා බකල් වූ නිසා බැස්ම සෙමින් සිදු විය. උදා හිරු එළිය තවමත් වින්ටර්ෆෙල්හි උසැති පවුරුවලින් මෙපිට ආක්‍රමණය කර නොතිබුනු නමුදු සෙබළුන් ඒ වනවිටත් සෙණ්ඩුවාලුවේ සිය සරඹ පුහුණුවීම අරඹා තිබින. සැන්ඩෝර් ක්ලිගේන් ගේ රළු හඬ ඔහු වෙත ගලා ආවේ ය. "මේ කොල්ලා මැරෙන්ට සෑහෙන කාලයක් ගන්නවා. මම කැමැතියි ඒක ඉක්මනට සිද්ධවෙනවා නම්."
පහත බැලූ ටිරියන් දුටුවේ සිය සහචරයින් පිරිවරා දඩබල්ලා සමග සිටගෙන සිටින ජොෆ්රි ය. "අඩු ගානෙ එයා සද්දයක් නොකර මැරෙනවා." කුමරා පිළිතුරු දුනි. "වෘකයා තමා ඔය සද්ද කරන්නෙ. මට ඊයෙ රෑ පොඩ්ඩක්වත් ඇහැ පියාගන්ට ලැබුනෙ නෑ."
ක්ලිගේන් ගේ සහචරයා ඔහු ගේ සන්නාහයේ හිස් වැස්ම පැළඳවී ය. "මට ඒ සතාව නිශ්ශබ්ද කරන්ට පුළුවන්. ඔබ ඒකට සතුටු නම්." ඔහු සිය විවර වුනු මුව වැස්ම තුළින් පැවසී ය. සහචරයා ඔහු අතට දිගු අසිපතක් ලබා දුන් අතර ඔහු වාතය පෙති ගසමින් එහි සමබරතාව මැන බැලී ය. ඔහුට පිටුපසින් සෙණ්ඩුවාලුව පුරා වානේ ආයුධ එකට ගැටෙන හඬින් ගිගුම් දුනි.
මේ කල්පනාව නිසා කුමරා ප්‍රීතියට පත් වූ බව පෙනින. "බල්ලෙක්ව මරන්ට තව බල්ලෙක් යවන්ට!" ඔහු කෑ ගැසුවේ ය. "වින්ටර්ෆෙල් වෘකයන්ගෙන් පිරිලා ගිහිල්ලා තියෙන්නෙ. එකෙක් අඩු වුනා කියලා ස්ටාර්ක්ලට ඒක දැනෙන එකක් නෑ."
ටිරියන් අවසාන පඩියෙන් බිමට පැන්නේ ය. "මම නම් හිතන්නෙ වෙන විදියකට බෑනො. ස්ටාර්ක්ලට හයට වැඩියෙන් ගණන් කරන්ට පුළුවන්. මම දන්න සමහර කුමාරවරු ඉන්නවා ඒකවත් බැරි."
ජොෆ්රි ගේ මුහුණ රතු විය.
"කොහෙන්ද ඒ කටහඬක් ඇහුනෙ?" සැන්ඩෝර් ඇසී ය. ඔහු සිය හිස් වැස්ම තුළින් එහා මෙහා බැලී ය. "හොල්මන්ද?"
සිය ශරීරාක්ෂකයා මේ විහිළුව කරන සෑම විටෙකදීම මෙන් මෙවරද කුමරා සිනාසුනේ ය. ටිරියන් ඇති පදම් මෙය අත්විඳ තිබින. "මෙතන පහළ."
පහළට එබී බැලූ උස් මිනිසා ටිරියන්ව පළමු වරට දුටුවාක් මෙන් ඇඟවී ය. "ටිරියන් පුංචි උත්තමයා. මට සමාවෙන්ට. මම දැක්කෙ නෑ ඔබතුමා ඔතන හිටගෙන ඉන්නවා."
"ඔය අහංකාරකම් වලට උත්තර දෙන්ට මට අද ඕනෑකමක් නෑ." ටිරියන් සිය බෑනනුවන් දෙසට හැරුනි. "ජොෆ්රි, එඩාර්ඩ් උත්තමයයි ආර්යාවයි මුනගැහෙන්ට ගිහිල්ලා එයාලට ඔයාගෙ කණගාටුව ප්‍රකාශ කරන්නෙ නැද්ද? ඔයා දැනටමත් පරක්කු වැඩියි."
ජොෆ්රි නොරිස්සුම් මුහුණක් හදාගත්තේ ය. "මගේ කණගාටුවෙන් එයාලට ඇති වැඩේ මොකක්ද?"
"මොකුත් නෑ." ටිරියන් කීවේ ය. "ඒ වුනත් ඔයා එහෙම කරයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා. ඔයා ගියේ නෑ කියලා හැමෝම දන්නවා."
"ඔය ස්ටාර්ක් කොල්ලාගෙන් මට ඇති වැඩක් නෑ. අනික මට රුස්සන්නෙ නෑ ඔය ගෑනුන්ගෙ ඇඬිලි වැලපිලි."
ඉහළට එසවුනු ටිරියන් ලැනිස්ටර් සිය බෑනනුවන් ගේ මුහුණ පුරා දැඩි අතුල් පහරක් දුන්නේ ය. ළමයා ගේ කම්මුල රත් පැහැ වින.
"තව එක වචනයක්වත් කිවුවොත් මම උඹට ආයෙමත් ගහනවා."
"මම අම්මට කියනවා." ජොෆ්රි කෑ ගැසුවේ ය.
ටිරියන් තවත් අතුල් පහරක් දුන්නේ ය.
"උඹට ඕනම නම් ගිහින් අම්මට කියපං. හැබැයි ඊට කලින් උඹ ගිහිල්ලා ස්ටාර්ක් උතුමානනුයි ඒ ආර්යාවයි ඉස්සරහ දණින් වැටිලා කියන්ට ඕන මේ සිද්ධවෙච්ච දේ ගැන උඹ කොච්චර කණගාටු වෙනවද, මේ දුෂ්කර වෙලාවෙ එයාලා වෙනුවෙන් කරන්න පුළුවන් පුංචිම පුංචි උදවුවක් වුනත් කරන්ට පුළුවන් නම් උඹ හැකි උපරිමයෙන් ඒක ඉටු කරනවය, උඹ හැම වෙලාවෙම එයාලා වෙනුවෙන් යාඥා කරනවය කියලා. උඹට තේරුනා ද?"
ළමයා ගේ මුහුණින් පෙනුනේ ඔහු හැඬීමට ආසන්න බවකි. එහෙත් එය යටපත් කරගත් ඔහු සෙමින් හිස වැනී ය. ඉන්පසු වහා ආපසු හැරුනු ඔහු කම්මුල අල්ලාගෙන සෙණ්ඩුවාලුවෙන් පිටතට දිව ගිය අතර ටිරියන් ඒ දෙස බලා සිටියේ ය.
සිය මුහුණ වසා සෙවනැල්ලක් වැටෙනු දැනී ආපසු හැරුනු ඔහු දුටුවේ ඔහු අසලින් කන්දක් මෙන් උසට උසේ සිටගෙන සිටිනා ක්ලිගේන් වය. ඔහු සිය හිස් වැස්මේ මුව ආවරණය පහත් කොට තිබින. එය නිමකර තිබුනේ දැකීමට බිහිසුණු දත් විලිස්සාගෙන සිටින බල්ලෙකු ගේ ස්වරුපයෙන් මුත් ටිරියන් සෑමවිටම සිතුවේ ක්ලිගේන් ගේ පිළිස්සී විරූපී වුනු මුහුණට වඩා මේ වෙස්මුහුණ ලස්සන බව ය.
"කුමාරයා ඕක මතක තියාගෙන ඉඳියි, පුංචි උතුමානෙනි." දඩබල්ලා ඔහුට අනතුරු ඇඟවී ය.
"මම හිතනවා එයා ඒක මතක තියාගනියි කියලා." ටිරියන් පිළිතුරු දුන්නේ ය. "එයාට ඒක අමතක වුනොත් උඹ හොඳ බල්ලෙක් වගේ එයාට ඒක මතක් කරලා දීපං." ඔහු සෙණ්ඩුවාලුව සිසාරා බැල්මක් හෙලී ය. "උඹ දන්නවද මගේ සහෝදරයා කොහෙද කියලා?"
"රැජිණත් එක්ක උදේ කෑම ගන්නවා."
"ආහ්!" ටිරියන් කීවේ ය. සැන්ඩෝර් ක්ලිගේන් වෙත නොසැලකිලිමත් අයුරින් හිස වැනූ ඔහු සියුරුහඬලමින් ඉවතට ඇවිද ගියේ ය. අද දින දඩබල්ලාත් සමග සරඹ පුරුදු වීමට පැමිණෙන පළමු නයිට්වරයා ඉතා අවාසනාවන්තයෙකු වනු ඇත.
Tyrion Lannister: "Death is so terribly final, while life is full of possibilities."
