Friday, 1 August 2014

බ්‍රැන් 02-2


මේ ඉහළ නැගීමට බ්‍රැන් ආසා කිරීමට තවත් හේතු බොහෝ විය. බිත්තියේ ඇති කුඩා පැලුම් අතරට අතැඟිලි හා පා ඇඟිලි රිංගවමින් සිය සිරුර අඟලින් අඟල ඉහළට ඇදගනිද්දී දැනෙන හැඟීමට ඔහු ප්‍රිය ක‍ලේ ය. මේ වෙහෙසීම නිසා මාංශ පේශීන්වල ඇති වන ඒ ගැඹුරු මිහිරි වේදනාවට ඔහු ප්‍රිය කලේ ය. එතරම් ඉහළ උසකදී හමන සුළඟේ ඇති සීතල රසයට ඔහු ප්‍රිය කලේ ය. මේ සියල්ලටම අමතරව ඔහු කුරුල්ලන්ට - බිඳුනු කුළු‍ණේ සිටින කපුටන්, ගල් අතර පැලුම් තුළ කූඩු සදාගෙන සිටින පුංචි ගේ කුරුල්ලන්, පරණ ආයුධ ගබඩාවට උඩින් ඇති අට්ටාලයේ නිදා වැටෙන නාකි බස්සා - ප්‍රිය කලේ ය. මේ සියළුදෙනාම ඔහු ගේ මිතුරන් වූහ.

මේ හැමටත් වඩා අන් කිසිවෙකුටත් යා නොහැකි තැන්වලට යාමටත්, අන් කිසිවෙකුටත් කිසි දිනෙක දැක ගත නොහැකි අන්දමින් වින්ටර්ෆෙල් දැක ගැනීමටත් බ්‍රැන් ප්‍රිය කලේ ය. ඔහු ගේ ප්‍රියතම ස්ථානය වූයේ බිඳුනු කුළුණ ය. කලෙකදී එය වින්ටර්ෆෙල්හි උසම කුළුණ වූ අතර මුර අට්ටාලයක් ලෙසින් භාවිතයට ගැනින. නමුත් ඔහු ගේ පියා උපදින්නටත් වසර සිය ගණනකට පෙරාතුව සිදු වූ අකුණු ගැසීමකින් ඇති වූ ගින්නක් නිසා එහි තුනෙන් පංගුවක් පමණම බිඳ වැටී තිබින. එය නැවත කිසිදා අලුත්වැඩියා නොකෙරුනු අතර බ්‍රැන් හා කපුටන් හැර වෙන කිසිවෙක් එහි මුදුනට නොනගිති.

එහි යා හැකි හොඳම විදිය වූයේ දෙව්වනයෙන් ආරම්භ කර, මුරකරු වෘක්ෂයෙන් ඉහළට නැග, ආයුධ ගබඩාවේ හා මුර සෙබළුන්ගේ ශාලාව උඩින් වහලවල් මතින් පැන පැන යාම විය. මෙය ඔබව මාලිගයේ පැරණිතම කොටස වන පළමු බලකොටුව   (එහි දැන් ජීවත්වන්නේ මීයන් හා මකුළුවන් පමණි) වෙත ගෙන එන අතර එහි පිටතට විහිදී ඇති දිය පිටකරන නළ වල එල්ලී වඳුරෙකු මෙන් පැද්දී යාමෙන් ඔබට බලකොටුවේ උතුරු දෙසට ළඟා විය හැක. එතැන සිට අත දිගු කල විට ඔබට බිඳුනු කුළුණ අල්ලා ගත හැකි අතර එයින් පසු ඇත්තේ අඩි දහයක පමණ සුළු නැග්මකි.

මෙසේ සිය හුරුපුරුදු දෑතින් නළයෙන් නළයට පැද්දෙමින් යද්දී බ්‍රැන්ට කටහඬක් ඇසුනි. ඔහු කෙතරම් තැතිගැනුනාදැයි කිවහොත් තව ටිකකින් ග්‍රහණය ගිලිහී යාමටත් තිබින. සිය ජීවිත කාලය පුරාම පළමු බලකොටුව හිස් ව තිබුනකි.

"මම ඒකට කැමැති නෑ." ගැහැණියක ගේ හඬ ඇසුනි. ඔහුට පහළින් කවුළු පේළියක් තිබුනු අතර හඬ ඇසුනේ එහි අන්තිම කවුළුවෙනි. "ඔයයි හරි නම් රොබර්ට්ගෙ අත වෙන්ට ඕන."

"දෙයියන්ගෙ නාමෙට, ඒක මට උවමනා ගෞරවයක් නෙවෙයි." පිරිමියෙකු ගේ හඬ පිළිතුරු දුනි. "ඒක මහ අමාරු වැඩ ගොඩක් තියෙන රාජකාරියක්."

බ්‍රැන් අත්දෙකෙන් එල්ලී නිසලව සිටියේ ඉදිරියට යාමට බියෙනි. කවුළුව පසු කර යාමට තැත්කලහොත් ඔවුන් ඔහු ගේ දෙපා දකිනු ඇත.

"ඔයාට පේන්නෙ නැද්ද මේකෙන් අපි කොච්චර ලොකු අනතුරකද වැටෙන්නෙ කියලා." ගැහැණිය කීවා ය. "රොබර්ට් මේ මිනිහට සහෝදරයෙකුට වගේ ආදරෙයි."

"රොබර්ට්ට එයාගෙ සහෝදරයො කොහොමත් දිරවන්නෙ නෑ. මං ඒකට මිනිහට වැරැද්දක් කියන්නෙත් නෑ. ස්ටැනිස්ව දැක්කහම ඇති කෙනෙකුට බඩේ අමාරුව හැදෙන්ට."

"මෝඩයෙක් වගේ කතා කරන්ට එපා. ස්ටැනිසුයි රෙන්ලියි කියන්නෙ එක දෙයක්, එඩාර්ඩ් ස්ටාර්ක් කියන්නෙ තව දෙයක්. ස්ටාර්ක් කියන දේ රොබර්ට් අහනවා. උං දෙන්නම යකාට යන්ට ඕන. මට තිබුනෙ ඔයාට මේ තනතුර දෙන්ටයි කියලා බලකරලා කියන්ට. මම හිතුවෙ ස්ටාර්ක් මේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි කියලා."

"අපි හිතාගන්ට ඕන අපි වාසනාවන්තයි කියලා." පිරිමියා කීය. "රජ්ජුරුවන්ට තිබ්බා මේ තනතුරට එයාගෙ සහෝදරයෙක්ව නම් කරන්ට, එහෙම නැත්තං සුළැඟිල්ලාව. එහෙම වුනානං අපට දෙයියන්ගෙම පිහිටයි. ඉහළ නගින්ට බලාපොරොත්තුවෙන් ඉන්න සතුරෙකුට වඩා ගෞරවනීය සතුරෙකුට මම කැමැතියි. මට එතකොට රෑට ලේසියෙන් නිදාගන්ට පුළුවන්."

ඔවුන් කතා කරමින් ඉන්නේ තාත්තා ගැනය. බ්‍රැන්ට තව දුරටත් මේ කතාවට කණ් දීමට උවමනා විය. තව අඩි කීපයක්... නැත එසේ කලහොත් ඔවුන් ඔහුව දකිනු ඇත.

"අපට එයා දිහා බොහොම පරෙස්සමෙන් ඇහැ ගහගෙන ඉන්ට වෙයි." ගැහැණිය කීවා ය.

"මම ඊට වඩා කැමැතියි ඔයා දිහා ඇහැ ගහගෙන ඉන්න." පිරිමියා ගේ ස්වර‍යෙහි වූයේ උදාසීන බවකි. "මෙන්න මෙහාට එන්ට."

"බෙල්ලෙන් පහළ දකුණුකරයෙ සිද්ධවෙච්ච කිසිම දෙයක් ගැන එඩාර්ඩ් උතුමානන් කවදාවත් කිසිම උනන්දුවක් පෙන්නුවෙ නෑ." ගැහැණිය කීවා ය. "කවදාවත්ම නෑ. මම ඔයාට කියන්නම්, එයා ‍මේ අපට විරුද්ධව නැගිටින්ට තමා යන්නෙ. එහෙම නැත්තම්, එයා මෙහෙම එයාගෙ බල වසම අත ඇරලා දාලා යන්ට හේතුව මොකක්ද?"

"හේතු සිය ගානක් තියෙන්ට පුළුවන්. රාජකාරිය. ගෞරවය. එයාගෙ නම ඉතිහාස පොතේ ලොකුවට ලියාගන්ට ඕන වෙලා. එයාගෙ බිරිඳගෙන් ටිකක් ඈත්වෙන්ට ඕන වෙලා. මේ හේතු දෙකම වෙන්ටත් පුළුවන්. එහෙමත් නැත්තම් එයාට ටිකක් උණුහුම් වෙන්ට ඕන වෙලා වෙන්ටත් පුළුවන්."

"එයාගෙ බිරිඳ කියන්නෙ ඒරින් ආර්යාවගෙ සහෝදරී. පුදුමයි ලයිසා අපි එද්දි මෙහෙ හිටිය නැති එක, එයාගෙ අර චෝදනා පත්තරෙත් එක්ක."

බ්‍රැන් පහත බැලුවේ ය. කවුළුවට ඉහළින් අඟල් කිහිපයක් පළල ගැට්ටක් විය. ඔහු ඒ මතට පහත් වීමට උත්සාහ කලද එය දුර වැඩි විය.

"ඔයා ගොඩාක් දුර හිතනවා වැඩියි. ලයිසා ඒරින් කියන්නෙ බයවෙච්ච එළදෙනක් විතරයි."

"ඒ බයවෙච්ච එළදෙන ජොන් ඒරින් එක්ක එක ඇඳේ නිදාගත්තා."

"එයා මොනව හරි දන්නවනං කින්ග්ස් ලෑන්ඩින්ග් වලින් පැනලා යන්ට කලින් එයාට රොබර්ට්ව මුනගැහෙන්ට තිබුනා."

"රොබර්ට් එයාගෙ පුතාව කාර්ස්ටලී රොක්වල හදාගන්ට යවන්ට පොරොන්දු වෙලා ඉන්දැද්දී? මං හිතන්නෙ නෑ. එයා දැනගෙන හිටියා ළමයගෙ ජීවිතේ ප්‍රාණ ඇපයට අරන් එයාට කටවහන් ඉන්ට කියයි කියලා. දැන් බොහොම පරෙස්සමට ඉයරි වලට වෙලා ඉන්න නිසා එයා බය සැක නැතිවෙයි."

"දෙයියම්පා මේ අම්මලාගෙ හැටි! මම හිතන්නෙ ළමයි බිහි කලාට පස්සෙ ඔයාලාට මොකක් හරි වෙනවා. ඔයාලා හැමෝටම පිස්සු." ඔහු සිනාසුනේ ය. "ඒරින් ආර්යාව එයාට ඇති පදම් බය සැක නැති වෙච්චාවෙ. එයා මොනවා දැනගෙන හිටියත්, එයා මොනවා දන්නවද කියලා එයා හිතාගෙන හිටියත් එයාට ඒකට සාක්කි නෑ. එහෙම නේද?"

"ඔයා හිතනවද රජතුමාට සාක්කි ඕන වෙයි කියලා?" ගැහැණිය කීවා ය. "මම ඔයාට කියන්නෙ, එයා තව දුරටත් මට ආදරේ නෑ."

"ඉතිං ඒක කාගෙ වැරැද්ද ද සහෝදරී?"

බ්‍රැන් සැලකිල්ලෙන් ගැට්ට දෙස බැලී ය. ඔහුට ඒ මතට පැන්න හැකිය. නමුත් ශබ්දයක් ඇසුනහොත් අර දෙදෙනා කවුළුව අසලට පැමිණෙනු ඇත. තමා මේ ඇහුම්කන් දෙන්නේ කුමකටදැයි ඔහුට හරියටම නොතේරුනත් එය සිය දෙසවනේ පතිත විය යුත්තක් නොවන බව ඔහු දැන සිටියේ ය.

"ඔයත් රොබර්ට් තරම්ම අන්ධයි." ගැහැණිය කීවා ය.

"ඔයා ඒ‍කෙන් අදහස් කරන්නෙ මමත් ඒ දේම දකිනවා කියලද? ඔවු. මට පේන්නෙ තමන්ගෙ රජතුමාගෙ විශ්වාසය කඩකරන්ට කලින් මැරෙන්ට වුනත් සූදානම් මිනිහෙක්."

"එයා දැනටමත් එක්කෙනෙක් පාවා දීලයි තියෙන්නෙ. ඔයාට අමතක වුනාද? මම කියන්නෙ නෑ එයා රොබර්ට්ට පක්ෂපාතී නෑ කියලා. මොකද වෙන්නෙ රොබර්ට් මැරිලා ජොෆ් සිංහාසනේට නැග්ගහම? ඒ වැඩේ ඉක්මන් වෙන තරමට අපි හැමෝටම ආරක්ෂාවයි. රජතුමා දවස ගානෙ තව තවත් කලබල වෙනවා. ස්ටාර්ක් එයාගෙ පැත්තකින් ඉන්නවා කියන්නෙ ඒක තවත් නරක අතට හැරෙනවා කියන එකයි. රොබර්ට් තාමත් එයාගෙ සහෝදරීට ආදරෙයි. එයා මාව පැත්තකට දාලා අලුත් ලියානා කෙනෙක් හොයාගන්ට තව කොච්චර කල් යයි කියලද ඔයා හිතන්නෙ?"

හදිසියේම බ්‍රැන්ට දැඩි බියක් දැනෙන්නට විය. වෙන කිසිම දෙයකටවත් වඩා ඔහුට උවමනා වූයේ පැමිණි දිසා‍වටම ආපසු ගොස් සිය සොයුරන් සොයාගැනීමට ය. නමුත් ඔහු ඔවුන්ට කියන්නේ කුමක්ද? ඔහු මීට වඩා කිට්ටු විය යුතුය. මේ කතා කරන්නේ කවරෙක්දැයි දැක බලා ගත යුතු ය.

පිරිමියා සුසුමක් හෙලී ය. "ඔයා අනාගතේ ගැන අඩුවෙන් හිතලා මේ මොහොතේ සතුට ගැන වැඩියෙන් හිතන්ට ඕන."

"ඕක නවත්තන්ට." අතුල් පහරක හඬත් පිරිමියා සිනාසෙන හඬත් බ්‍රැන්ට ඇසුනි.

ඉහළට ඇදුනු බ්‍රැන් දිය බටයට ගොඩවී එයින් වහළයට නැග්ගේ ය. මෙය තමා පහසුම ක්‍රමය. ඔහු කවුළුවට වහාම ඉහළින් තිබුනු ඊළඟ දිය බටය වෙතට ගියේ ය.

"මේ කතා හරිම හිරිහැරදායකයි සහෝදරී. මෙන්න මෙහාට ඇවිල්ලා කට වහගෙන ඉන්ට."

දිය බටය මත දෙපා දෙපසට දමා වාඩිවුනු බ්‍රැන් ඒ වටා දෙපා තදකර ගත්තේ ය. ඉන්පසු හෙමින් සැරේ හිස පහතට සිටින සේ පහතට නැමුනේ ය. උඩු යටිකුරු වූ ලෝකය අමුතුම ආකාරයකින් පෙනෙන්නට විය. ඔහුට බොහෝ පහළින් දියවුනු හිම නිසා තෙතබරිත වූ ගලින් සැදුනු අංගනයක් විය. සිය දෙපාවලින් බටයේ එල්ලුනු බ්‍රැන් ගෙල දික්කර, හෙමින් හිස හරවා, කවුළුව තුළින් බැලුවේ ය.

කාමරය තුළ පිරිමියෙක් හා ගැහැණියක් නිරුවතින් පොර බදමින් සිටියහ. ඔවුන් කවුරුදැයි බ්‍රැන්ට හඳුනාගත නොහැකි විය. පිරිමියා ඔහුට පිටුපා සිටි අතර ඔහු ගේ සිරුර මගින් බිත්තියට හේත්තු වී සිටි ගැහැණිය ආවරණය වී තිබින.

බ්‍රැන් විසල් දෑසින් හා අයාගත් මුවින් යුතුව බලා සිටියේ ය. ඔවුන් දෙදෙනා සිප ගනිමින් සිටි අතර පිරිමියා ගේ අත ඇ‍ගේ දෙපා අතරේ රැඳී තිබින. ඔහු ඇයට රිදවූවාක් මෙන් ඇය කෙඳිරි ගාන්නට පටන් ගත්තා ය. "ඕක නවත්තන්ට." ඈ කීවාය.  "නවත්තන්ට... නවත්තන්ට කරුණාකරලා." ඇගේ හඬ පහත් හා දුර්වල විය. එහෙත් ඇය ඔහු ඉවතට තල්ලු නොකළා ය. ඔහු ගේ රන්වන් කෙහෙරැළි අත‍රේ සිය අතැඟිලි රැඳවූ ඇය සිය ළයමඬල දෙසට ඔහු ගේ හිස සෙමින් ඇදගත්තා ය.

ඒ අවසරයෙන් බ්‍රැන් ඇගේ මුහුණ දැක්කේ ය. ඇගේ දෑස් වැසී තිබුනද, කෙඳිරිය නිසා ඇගේ මුව විවරව තිබුනද, රන් පැහැ කෙහෙරැළි එහා මෙහා විසිර තිබුනද බ්‍රැන්ට ඉතා පහසුවෙන්ම රැජිණව හඳුනාගත හැකි විය.

විමතිය නිසා ඔහු යම් ශබ්දයක් කලා වන්නට ඇත. රැජිණ හදිසියේම දෑස් විවර කල අතර ඒ දෑස් එක එල්ලේ යොමු වී තිබුනේ බ්‍රැන් දෙසට ය. ඊළඟ මොහොතේ ඇය කෑ ගැසුවා ය.

එක් මොහොතක් තුළ බොහෝ දේ සිදුවිය. රැජිණ වියරුවෙන් මෙන් පිරිමියාව පසෙකට තල්ලු කර ඔහු දෙසට ඇඟිලි දික්කරමින් කෑ ගසන්නට විය. බ්‍රැන් ඉහළට ඇදෙන්නට උත්සාහ කලේ දිය බටය අල්ලා ගැනීමට අත දිගු කරමිනි. හදිසිය නිසා ඔහුට හසුවූයේ සුමට ගල් බිත්තිය පමණක් වූ අතර සන්ත්‍රාසය නිසා දෙපා ලිස්සුවේ ය. ඊළඟ මොහොතේ ඔහු පහළට වැටිනි. විදුලි වේගයෙන් කවුළුව පසුකරද්දී අතක් දිගු කල ඔහු කවුළු පඩියේ එල්ලුනේ ය. ඔහුව තදින් පැද්දී ගොස් ගල් බිත්තියේ හැපුනු අතර ඝට්ටනය නිසා හුස්ම හිරවුනාක් බඳු විය. එක් අතකින් කවුළු පඩියේ එල්ලීගත් බ්‍රැන් හතිලන්නට විය. ඔහුට ඉහළින් කවුළුව තුළින් මුහුණු දෙකක් මතු විය. රැජිණ. ඒ මොහොතේ ඇයට පසෙකින් සිටි පිරිමියා කවුදැයි බ්‍රැන් හඳුනා ගත්තේ ය. ඔවුන් දෙදෙනා  දර්පණයකින් පෙනෙන ප්‍රතිබිම්බයක් මෙන් එකිනෙකාට සමාන විය.

"එයා අපිව දැක්කා." රැජිණ විනිවිද යන ස්වරයකින් කීවා ය.

"ඔවු." පිරිමියා කීවේ ය.

බ්‍රැන් ගේ අතැඟිලි ලිස්සන්නට විය. ඔහු අනිත් අතින් කවුළු පඩිය අල්ලා ගත්තේ ය. පිරිමියා පහතට නැඹුරු විය. "ඔයා වැටෙන්ට කලින් මගේ අතින් අල්ලගන්ට."

ඔහු ගේ අත අල්ලාගත් බ්‍රැන් හැකි උපරිම ශක්තියෙන් එහි එල්ලුනේ ය. පිරිමියා ඔහුව කවුළු පඩිය මතින් ඉහළට ඇද ගත්තේ ය. "ඔයා මොනවද ඔය කරන්නෙ?" රැජිණ ඇසුවා ය.

පිරිමියා ඇයව නොතකා හැරියේ ය. ඔහු බ්‍රැන්ව ඔසවා කවුළු පඩිය මත සිටවී ය. "උඹට වයස කීයද කොල්ලො?"

"හතයි." බ්‍රැන් කීවේ ලද සහනය නිසා වෙවුලමිනි. ඔහු ගේ අතැඟිලි පිරිමියා ගේ යටිබාහුවට දැඩිව කා වැදී තිබින. ඒ දුටු ඔහු බියසුලු ලෙස එය අත හැරියේ ය.

පිරිමියා හිස හරවා රැජිණ දෙස බැලී ය. "ආදරේ හන්දා මම කරන දේවල්." ඔහු පිළිකුලින් යුතුව කීය. ඊළඟ මොහොතේ ඔහු බ්‍රැන්ව පිටතට තල්ලු ක‍ලේ ය.

මරහඬක් නගමින් බ්‍රැන් කවුළුවෙන් පිටත සීතල සුළඟ වෙත විසි වී ගියේ ය. අල්ලා ගැනීමට කිසිවක්ම නොතිබුනු අතර ඔහුව පිළිගැනීමට අංගනය වේගයෙන් ඉදිරියට පැමිණියේ ය.

ඈත කො‍හේදෝ තැනක වෘකයෙක් උඩුබුරලන්නට විය. කපුටෝ ඉරිඟු ඇට බලාපොරොත්තුවෙන් බිඳුනු කුළුණ වටා පියා සලන්නට වූහ.


Bran Stark: “I'm not made of clay. And anyhow, I never fall.”