Friday, 10 April 2015

ඩනේරිස් 10


හිරු රැසින් හේබා දැවී ගිය රතුවන් බිමේ දැව සොයා ගැනීම උගහට විය. දැව සෙවීමට ගිය ඇගේ පිරිස රැගෙන ආවේ ගැට සහිත කොට්ට පුළුන් දර, දම් පැහැ පඳුරු සහ දුඹුරුවන් තණපත් පමණි. සොයාගැනීමට තිබුනු ඍජුම ගස් දෙකක පොතු ඉවත් කර අතු ඉති කපා දැමු ඔවුහු එම කොටන් දෙකට පලා චතුරශ්‍රාකාරව පො‍ළොව මත ඇතිරූහ. ඒ මැද පිදුරු, මිටි බැඳි තණපත්, ගස්වලින් කපා ඉවත් කල පොතු සහ වියළුනු පඳුරු වලින් පුරවා දැමින. රඛාරෝ  ඉතිරි වී සිටි අසුන් ස්වල්පය අතුරින් හොඳ සෛන්ධවයෙකු තෝරාගත්තේය. ඌ ඩ්‍රෝගෝගේ රතු සෛන්ධවයා හා සම කල හැක්කෙකු නොවුවද කල හැකි දෙයක් නොවීය. අනිත් අතට ඩ්‍රෝගෝගේ අසු හා සම කල හැක්කන් වේ නම් ඒ අත‍ලොස්සකි. චතුරශ්‍රය මැදට අසු රැගෙන ආ අග්ගෝ ඌට වියලුනු ඇපල් ගෙඩියක් කන්නට දී දෑස මැදටම දුන් පොරෝ පහරකින් ඌව මරා දැමුවේය.

අත පය බඳින ලදුව ධූලි පිරුනු බිම දපා සිටි මිරී මාස් ඩූර් සිය කලුවන් දෑස පුරාවූ නොඉවසිල්ලකින් යුතුව  ඒ දෙස බලා සිටියාය. "අස්සයෙක් විතරක් මරලා හරියන්නේ නෑ.” ඈ ඩැනීට කීවාය. “නිකංම ලේ කියන්නෙ කිසිම වැඩකට ඇති දෙයක්නෙවෙයි. ඔබ මන්තර දන්නෙත් නෑ, ඒවා හිතාගන්ට ඔබට ඒ ගැන දැනුමකුත් නෑ. ඔබ හිතාගෙන ඉන්නේ ලේ යකැදුරුකම් කියන්නෙ පොඩි දරුවන්ගෙ සෙල්ලමක් කියලද? ඔබ මට යක්දෙස්සි කියන්නෙ හරියට ඒක නිකම් අපහාසයක් වගේ. ඒ වුනත් ඒකේ තේරුම ඥානවන්තකම කියන එකයි. ඔබ තාම පොඩි එකෙක්. කිසිම දෙයක් තේරෙන්නේ නෑ. ඔබ ඔය කරන්ට යන්නෙ මොකක් වුනත් ඒ කිසි දෙයක් හරියන්නෙ නෑ . මේ බැමි ගලවන්ට. මම ඔබට උදවු කරන්නම්."

"මේ යක්දෙස්සිගෙ කරච්චලේ අහලා මට එපා වෙලා." ඩැනි ජෝගෝට කීවාය. ඔහුගේ කසපහර ලැබූ ගැහැනිය නිහඬ වූවාය.

ඔවුන්ට සොයාගත හැකි වූ සියලුම කුඩා ගස් වල සෘජු කඳන් ද, විශාල ගස්වල අතුද යොදාගෙන ඔවුහු අසුගේ මළකුණ මත වේදිකාවක් ගොඩ නැංවූහ. සියළුම දැව කඳන් නැගෙනහිර දිසාවේ සිට බටහිර දිසාවට ඇතිරුනේ හිරු නැගෙන දෙස සිට හිරු බසින දෙසට ඇතිරීම සම්ප්‍රදාය වූ බැවිනි. මේ වේදිකාව මත ඛාල් ඩ්‍රෝගෝගේ සියලු වස්තුව තැන්පත් කෙරින: ඔහුගේ දැවැන්ත කුඩාරම, වර්ණවත් කෙටි කබා, සෑදල හා කටකලියා, වැඩිවිය පැමිණුනු දා ඔහුගේ පියා ගෙන් තෑගී ලද කසය, ඛාල් ඕගෝ සහ ඔහුගේ පුතාට මරු කැඳවූ අරඛ් අසිපත, ඔහුගේ සවිමත් මකරාස්ථි දුන්න, මේ සියල්ල එහි තැන්පත් කෙරින. ඛාල් ඩ්‍රෝගෝගේ රුධිරාරක්ෂකයින් වෙතින් මනාලි තෑගි ලෙසින් ඇය ලද ආයුධ ද එයට එක් කරන්නට අග්ගෝ අදහස් කලද ඩැනී එයට එරෙහි විය. "ඒවා මගේ. මට ඒවා තියාගන්ට ඕනේ." අවසන මේ වස්තුව මත තවත් අතුපතර තට්ටුවක් ද ඊටත් උඩින් තවත් තණපත් තට්ටුවක් ද අතුරනු ලැබින.

හිරු කෙමෙන් ක්ෂිතිජය වෙතට ලඟාවෙද්දී සෙර් ජෝරා මෝර්මන්ට් ඇයව පසෙකට ඇදගත්තේය. "කුමාරි..." ඔහු කතාව ඇරඹීය.

"ඇයි ඔබ මට එහෙම කතා කරන්නෙ?" ඩැනි ඔහුට අභියෝග කලාය . "මගේ අයියා වි‍සේරිස් ඔබේ රජතුමා. එ‍හෙම නෙමෙයිද?"

"ඒක ඇත්ත මගේ ආර්යාවනි."

"විසේරිස් මැරුනා. මම තමා එයාගේ උරුමක්කාරී. මම තමා ටාර්ගේරියන් වංශයේ අන්තිම ලේ උරුමක්කාරි. එයාට අයිති වෙලා තිබ්බ හැම දේම දැන් මගේ."

"මගේ... රැජිනියනි!" සෙර් ජෝරා දණක් නැමුවේය. "එයාට අයිතිව තිබූන මගේ අසිපත දැන් ඔ‍බෙයි ඩ‍නේරිස්. ඒ වගේම මගේ හදවතත්. ඒක කවදාවත් එයාට අයිති වෙලා තිබුනෙ නෑ . මම නිකංම නිකං නයිට්වරයෙක් විතරයි. මට ඔබට පුදකරන්ට තියෙන්නේ පිටුවහල් ජීවිතයක් විතරයි. ඒ වුනත් මම ඔබෙන් අයදිනවා. මම කියනදේ අහන්ට. ඛාල්ව අමතක කරලා දාන්ට. ඔබට තනිවෙන්ට දෙන්නෙ නෑ, මම ඒක පො‍රොන්දු වෙනවා. වයෙස් ඩොත්රැක්වලට යන්ට ඔබ කැමැති නැත්තං කිසිම මිනිහෙකුට එහෙම ගෙනියන්ට දෙන්නේ නෑ කියල මම පොරොන්දු වෙනවා. ඩොෂ් ඛලීන් මැහැල්ලන්ට එකතුවෙන්ට ඕනේ වෙන්නේ නෑ. මගෙත් එක්ක නැගෙනහිරට යමු. යි ටි, ඛාර්ත්, ජේඩ් මුහුද, අෂයී වල සෙවනැලි දේශය. කිසිම කෙනෙක් දැකල නැති ආශ්චර්යජනක දේවල් අපි බලමු. දෙවියන් අපි පිට දාන ඉරණම මොකක් වුනත් ඒකට මූන දෙමු. අනේ ඛලීසි ඔබ කරගන්ට යන දේ මම දන්නවා. එපා. අනේ එපා."

"මම ඒක කරන්ටම ඕන." ඔහුගේ මුහුණ දුකින් සහ ස්නේහයෙන් යුතුව ස්පර්ශ කරමින් ඩැනි  පිළිතුරු දුන්නාය. "ඔබට තේරෙන්නේ නැහැ."

"ඔබ එයාට ආදරෙන් හිටිය බව මට තේරෙනවා." සෙර් ජෝරා ගේ කටහඬ මනස්තාපයෙන් බර විය. "මමත් කාලයක් මගේ ආර්යාවට ආදරේ කලා. ඒත් එයා එක්ක මම මැරුනෙ නෑ. ඔබ මගේ රැජින. මගේ කඩුව ඔබෙයි. ඒ වුනත් ඔබ ඩ්‍රෝගෝගේ චිතකයේ පිච්චෙනවා බලන්ට මට බෑ. ඒක වෙනකල් මම නිකන් ඉන්නේ නෑ."

"ඔබ බය වුනේ ඒකටද?" ඔහුගේ පුළුල් නළල්තලය මුදුව සිප ගන්නා අතර ඩැනි විමසුවාය. "එහෙම කරගන්ට මම පොඩි ළමයෙක් නෙවෙයි."

"එහෙනම් මට දිවුරලා කියන්ට. ඔබ එයත් එක්ක මැරෙන්නේ නෑ නේද මගේ රැජින?"

"ඔව් මම දිවුරනවා." පිය උරුමයෙන් ඇයට අයත් විය යුතු රාජධානි සප්තකයේ පොදු වහරින් ඇය පිළිතුරු දුන්නාය.

වේදිකාවේ තෙවන ස්ථරය ඇඟිල්ලක් තරම් ගනකම අතු රිකිල්ලෙන් සාදා වියලි තණපතින් වසනු ලැබින. ඒවා හිමේ සිට ගින්දර දක්වා එනම් උතුරේ සිට දකුණු දෙස දක්වා අතුරා ඒ මතුපිට සුමුදු පුළුන් කොට්ට සහ සේද රෙදි වලින් වසා දමා තිබුනි. මළ හිරු අවරගිර දෙසට සමීප වන මොහොත වන විට සියල්ල සූදානම් වී හමාර විය. ඩැනි සිය ඩොත්රැකියන් එක්රැස් කලාය. ඉතිරිව සිටි සියල්ලෝම සියයකටත් අඩු ප්‍රමාණයක් විය. 'ඒගන් සිය මෙහෙයුම ඇරඹූයේ කී දෙනෙකුගෙන්ද?' ඇය විමතියෙන් කල්පනා කලාය. එය වැදගැම්මකට ඇති දෙයක් නොවේ.

"ඔබලා තමා මගේ ඛලසාරය වෙන්නෙ." ඇය ඔවුනට පැවසුවාය. "මට මෙතන පේන්ට ඉන්නේ වහල්ලු. මම උඹලාව නිදහස් කරනවා. උඹලාගේ ඔය වහල් කරපටි ගලවපල්ලා. උඹල කැමති නම් යන්ට පුළුවන්. කවුරුත් උඹලට අනතුරන් කරන්නේ නැහැ. උඹල ඉන්නවා නම් ඒ ඉන්නේ සහෝදර-සහෝදරියෝ අඹු-සැමියෝ විදිහට. නිදහසේ." කළුවන් දෑස් කිසිදු හැඟීමක් නොමැති, පරීක්ෂාකාරී බැල්මකින් ඇය දෙස බලා සිටියේය. "මට පේනවා මෙතන ගැහැණු ඉන්නවා, ළමයි ඉන්නවා, රැලි ගැහුනු මූනු තියනවා. මම ඊයේ කෙල්ලක්, අද ගෑනියක්, හෙට නාකිච්චියක් වෙයි. උඹලා ඔක්කොටමයි මම මේ කියන්නෙ. මට එකතු වෙයල්ලා, උඹලට හැමදාම මගේ ළඟ ඉඩ තියේවි." ඩැනී සිය ඛාස් එකේ තරුණ රණකාමීන් තිදෙනා වෙත හැරුනාය. "ජෝගෝ, ඔබට මම තෑගි දෙනවා මේ රිදී මිට ගහපු කසය. මේක මගේ මනාලි තෑග්ගක්. මම ඔබව නම් කරනවා කෝ කෙනෙක් විදියට. මට ඔබේ දිවුරුම ඕන. ඔබ මගේ රුධිරයෙන් උපන් රුධිරය විදියට ජීවත් වෙලා මියයන්ට සුදානම් ද? මගේ පැත්තකින් අශ්වයා විහිදලා මගේ ආරක්ෂාව බලාගන්නට දිවුරනවද?"

ජෝගෝ ඇගේ අතින් කසය ගත් නමුදු ඔහුගේ මුහුණ අවුල්සහගත විය. "ඛලිසි..." ඔහු පැකිලෙමින් පැවසීය. "මේක කරන්ට පුළුවන් දෙයක් නෙවෙයි. ගෑනියෙක්ගෙ රුධිරාරක්ෂකයා වෙන එක මට මහ නින්දාවක්."

"අග්ගෝ," ඔහු නෑසුනා සේ ඩැනී කතා කලාය. දැන් නැවත හැරී බැලුවොත් ඇය සිය සටන පරාද වනු ඇත. "මගේ මනාලි තෑග්ගක් වුන මේ මකරාස්ථි දුන්න මම ඔබට දෙනවා." එය ඇයටත් වඩා උසැති, වක් දෙකකින් යුක්ත, කළු පැහැයෙන් දිදුලන අගනා භාණ්ඩයක් විය. "මම ඔබව නම් කරනවා කෝ කෙනෙක් විදිහට. ඔබ මගේ රුධිරයෙන් උපන් රුධිරය විදියට ජීවත් වෙලා මියයන්ට සුදානම් ද? මගේ පැත්තකින් අශ්වයා විහිදලා මගේ ආරක්ෂාව බලාගන්නට දිවුරනවද?"

අග්ගෝ බිමට නැඹුරු වූ දෑසින් යුතුව තෑග්ග පිළිගත්තේය. "මට මේ වචන කියන්ට බෑ . කෝ ‍කෙනෙක් නම් කරන්ට පුළුවන්, ඛලසාරයක් පාලනය කරන්ට පුළුවන් පිරිමියෙකුට විතරයි."

"රඛාරෝ," ඔහුගේ පිළිතුර ගණනකට නොගත් ඩැනී පැවසුවාය. "මගේ මනාලි තෑග්ගක් වුන, මිටයි තලෙයි රන් වැඩ දාපු මේ දැවැන්ත අරඛ් අසිපත මම ඔබට දෙනවා. මම ඔබවත් නම් කරනවා කෝ කෙනෙක් විදිහට. ඔබ මගේ රුධිරයෙන් උපන් රුධිරය විදියට ජීවත් වෙලා මියයන්ට සුදානම් ද? මගේ පැත්තකින් අශ්වයා විහිදලා මගේ ආරක්ෂාව බලාගන්නට දිවුරනවද?"

"ඔබතුමි ඛලීසි." අරඛ් එක අතට ගනිමින් රඛාරෝ තෙපලුවේය. "මම එන්නම් ඔබත් එක්ක කඳුවැටියේ මාතාව පාමුල වයෙස් ඩොත්රැක් වලට. ඔබතුමි ඩොෂ් ඛලීන්ලාට එකතු වෙනකල් මම ඔබව ආරක්ෂා කරන්නම්. ඊට වඩා දෙයක් මට පොරොන්දු වෙන්ට බෑ."

එම පිළිතුර නෑසුනාක් ‍මෙන් සන්සුන්ව හිස සැලූ ඩැනී සිය අවසන් සටන්කරු වෙත හැරුනාය. "සෙර් ජෝරා මෝර්මන්ට්, මගේ පළවෙනි ඒ වගේම ම‍ගේ විශිෂ්ටතම නයිට්වරයා. ඔබට දෙන්ට මට මනාලි තෑග්ගක් නැහැ. ඒ වුනත් මම දිවුරනවා. දවසක මගේ අතින් ඔබට ලැබෙයි ලෝකයා මෙතක් දැකලා නැති විදි‍යෙ, මකර අග්නියෙන් වාත්තු කරලා වැලිරියන් වානේවලින් හදාපු විශිෂ්ට අසිපතක්. මට ඔබෙනුත් දිවුරුමක් උවමනායි."

"මම දිවුරනවා මගේ රැජිනියනි." දණින් වැටුනු සෙර් ජෝරා සිය අසිපත ඇගේ දෙපා මුල තැබීය. "මම ඔබට සේවය කරන්නම්, ඔබේ අණ පිලිපදින්නම්. අවශ්‍ය වුනොත් ඔබ වෙනුවෙන් ජීවිතය දෙන්නම්."

"මොන විපතක් ආවත්‍?"

"මොන විපතක් ආවත්."

"මම ඒ දිවුරුම රකිනවද කියල බලන්නම්. ඔබට ඒක ගැන පසුතැවිලි වෙන්ට නොලැබෙන්ටයි කියලා මම පතනවා." ඩැනී ඔහුව දෙපයින් සිටෙව්වාය. ඇඟිලි තුඩින් එසැවුනු ඇය ඔහුගේ දෙතොල් මුදුව සිප ගත්තාය. "ඔබ තමා මගේ රැජිනි ආරක්ෂකයන්ගේ පළමු‍වෙනියා."

සිය කුඩාරමට ඇතුළුවන අත‍රේ ඇයට තමා පිටුපසින් එල්ල වී ඇති ඩොත්රැකියන්ගේ බැල්ම දැනින. ඔවුහු කටුකුටු ගාමින් ඔවුන්ගේ ආමන්ඩ් හැඩැති කළුවන් දෑස් අගින් ඇය දෙස පුදුමයෙන් බැලුවෝය. තමා උන්මාදයෙන් පෙලෙන බවක් ඔවුන් සිතන බව ඇයට වැටහුනි. සමහරවිට ඇය ඇත්තටම අවසිහියෙන් පෙලෙනවා විය හැක. සියල්ල ඉක්මනින් පැහැදිලි වනු ඇත. දැන් නැවත හැරී බැලුවොත් ඇය සිය සටන පරාද වනු ඇත.

* * *

ඉරීගේ සහාය ඇතුව ස්නානය සඳහා නාන බාල්දියට ගොඩවද්දී ජලය සම දවන තරම් උණුසුම් විය. එනමුදු ඩැනී පැකිලුනේ හෝ කෑ ගැසුවේ හෝ නැත. ඇය උණුසුම ප්‍රිය කලාය. ඉන් ඇයට පිරිසිදු බවක් දැනෙන්නට විය. ජික්වී විසින් වයෙස් ඩොත්රැක් වලින් ගෙන ආ සඝන්ධ තෙල් ජාති මුසු කල උණුසුම් ජලය මන්මත් කරවන සුළු වාෂ්ප වාතලයට මුදා හැරියේය. ඩෝරියා ඇගේ හැඩපලු ගෙතුනු හිසකෙස් සෝදා, අවුල් කඩා හොඳින් පීරුවාය. ඉරී ඇගේ පිට අතුල්ලන අතරේ ඩැනී දෑස් වසාගෙන සුගන්ධයට සහ උණුසුමට සිය ගත වැළඳගන්නට ඉඩ දුන්නාය. ඇගේ යටිකයේ වූ වේදනාව සනහාලමින් උණුසුම් ජලය ගලා යන අයුරු ඇයට දැනුනි. උණුසුම ඈ තුළට ප්‍රවිශ්ට වූ විට ඇගේ සිරුර වෙවුලා ගියේය. මඳකින් ඇගේ සියලු වේදනාවන් සහ හිරිවැටුම් බොඳ වී ගොස් තමා අතිමහත් සැහැල්ලුවක පාවෙන්නාක් මෙන් ඇයට දැනෙන්නට විය.

පිරිසිදු වී අවසන් වූ පසු ඇයට වතුරෙන් ගොඩ එනු පිණිස පරිවාර සේවිකාවෝ උදව් කලහ. ඉරී සහ ජික්වී ඇයව වියලෙන තුරු පවන් සැලූ අතර ඩෝරියා විසින් පීරනු ලැබූ ඇගේ වරලස රිදී ගඟුලක් මෙන් ගලා හැලෙන්නට විය. ඔවුහු කුරුඳු සහ සුඝන්ධවත් ආලේපයන් ඇගේ ගත ගැල්වූයෝය. මැණික්කටු දෙකෙහිත්, කන් පිටුපසත්, කිරෙන් බරවූ පයෝධර පුඩුත් සුවඳවත් කලහ. අවසන් සුඝන්ධාලේපය ඇගේ යටිකය වෙනුවෙන් විය. ඉරීගේ ස්පර්ශය ආදරවන්තයෙකුගේ සුමුදු සිසිල් හාදුවක් මෙන් මුදුව ඇගේ දෙතොල් පෙති මත තැවරුනේය.

ඉන්පසු ඔවුන් සියල්ලන් පිටත් කර යැවූ ඩැනී, ඛාල් ඩ්‍රෝගෝ ඔහුගේ නිශා ලෝකයට යන ගමන සඳහා සුදානම් කලාය. ඔහුගේ සිරුර සෝදා හල ඇය ඒ දිගු කේශ කලාපය පීරා සුවඳ තෙල් ගැල්වුවාය. දිලිසෙන දිගු කෙස් අතරින් ඇඟිලි යවන ඇයට එහි බර දැනුනි. ඔවුන්ගේ මංගල රාත්‍රියේ එය මුල් වරට ස්පර්ශ කල අයුරු ඇයට සිහිවිය. ඔහුගේ හිසකෙස් කිසි දිනක කපා නොමැත. නොකැපු හිසකෙසින් යුතුව මළවුන් අතරට යාමට හැකි මිනිසුන් කීදෙනෙක් නම් සිටිය හැකිද? මුහුණ කෙස් අතර සඟවා ගත් ඩැනී එහි වූ අපුර්ව සුගන්ධය විඳ ගත්තාය. ඒ සුවඳ තණබිම සහ මහ පො‍ළොව සිහි ගැන්වීය. දුම් සහ පුරුෂ බීජ සහ අසුන් සිහි ගැන්වීය. එය ඩ්‍රෝගෝගේ සුවඳම විය. 'මගේ ජීවිතයේ ඉර මට සමාවෙන්ට!' ඇය සිතුවාය. 'මම කරපු දේවල් වලටයි... මම කරන්ට යන දේටයි හැමදේටම මට සමාවෙන්ට!' ඇය සිතින් ආයාචනා කලාය. 'මම මිල ගෙව්වා මගේ තාරකාව. ඒ වුනත් ඒ මිල බොහොම සැරයි. බොහොම වැඩියි...'

ඔහුගේ හිසකෙස් ගෙතු ඩැනී ඒ රැවුල රිදී මුදු වලින් සැරසුවාය. රන්, රිදී හා ලෝකඩයෙන් නිම වූ සීනු ඔහුගේ ගෙතු කොණ්ඩයේ එකින් එක එල්ලුවාය. එතැන සීනු රැසක් විය. ඒ සීනු හඬ ඔහුගේ සතුරන්ට ඔහු එන බව දන්වනු පිණිසත්, ඔවුන් බියෙන් වෙවුලවනු පිණිසත් විය. අස් ලොමින් කල කලිසමක් සහ උස බූට් සපත්තු ඔහුට ඇන්දවූ ඩැනී බරැති රන්රිදී පදක්කම් සවිකල බඳපටිය ඔහුගේ ඉණෙහි බැන්දාය. ඔහුගේ බෙහෙවින් ප්‍රිය කල, පරණ, පාට වියැකී ගිය වර්ණවත් කබාය සුව වූ කැළැල් වලින් ගහන පුළුල් උරතලය වසා ඇන්දවුවාය. ඇය තමා වෙනුවෙන් ලිහිල් සේද කලිසමක් ද, දණහිස දක්වා පටි ගෙතිය යුතු සැහැල්ලු පාවහන් යුවලක් සහ ඩ්‍රෝගෝගේ මෙන් වූ කබායක් ද තෝරා ගත්තාය.

ඔහුගේ සිරුර චිතකය වෙත ගෙන යන්නට ඔවුන්ට හඬ ගසන විට ඉරු අවරට යමින් තිබින. අග්ගෝ සහ ජෝගෝ ඔහුව ඔසොවාගෙන එන අයුරු ඩොත්රැකියෝ නිහඬවම බලා සිටියහ. ඩැනී ඔවුන් පසුපස ගමන් කලාය. ඔහු‍ගේ හිස කඳු මාතාව වැඩසිටින ඊසාන දෙසට සිටින සේ දේහය චිතකයේ සේද රෙදි හා කොට්ටා මත තැන්පත් කෙරුනි.

"තෙල්!" ඇය අණ දුන්නාය. තෙල් බඳුන් ගණනාවක් රැගෙන ආ ඔවුහු චිතකයේ දැව සහ තෘණ පෙඟෙන තුරු, මහපොළවට තෙල් උරාගන්නා තුරු, අවට වාතය තෙල් සුවඳින් සුගන්ධවත් වන තුරු චිතකයට තෙල් දැමුහ. "මගේ බිත්තර ගේන්ට." ඇය සිය පරිවාර සේවිකාවන්ට අණ කලාය. ඇගේ ස්වරයේ තිබුනු යමක් නිසා ඔවුන්ගේ ගමන දිවුමක් බවට පෙරලින.

සෙර් ජෝරා  අගේ අතින් අල්ලා ගත්තේය. "නිශා ලෝකෙදි ඩ්‍රෝගෝට බිත්තරවලින් වැඩක් නෑ මගේ රැජිනියනි. අපි ඒවා අෂයීවලට අරන් ගිහින් විකුණමු. එකක් විකුණුවොත් ඔබට නිදහස් නගර වලට යන්ට නැවක් ගන්ට පුළුවන්. තුනම විකුණුවොත් ඔබට ජීවිත කාලයටම සැප පහසුවට ඉන්ට ඒ ඇති."

"මේවා මට දුන්නේ විකුණන්ට නෙවෙයි."  ඇය පිළිතුරු දුන්නාය.

චිතකය මතට නැගුනු ඩැනී ඇගේ හිරු හා තරු වටා එම මකර බිජු තැන්පත් කලාය. කළුවන් බිත්තරය ඔහුගේ හදවත අසලින් අත යටින් ද, හරිතවන් බිත්තරය දිගු කෙස් වැටියෙන් ඔතා හිස අද්දර ද, ක්‍රීම් හා රන් පැහැති බිත්තරය ඔහුගේ දෙපා අතර ද තැන්පත් කලාය. අවසන් වරට ඔහුව සිප ගනිද්දී ඒ දෙතොලෙහි වූ තෙල් වල මිහිරි රසය ඇයට දැනුනි.

තමා චිතකයෙන් බසින දෙස මිරී මාස් ඩූර් බලා සිටින'යුරු ඇය දුටුවාය. "ඔබට පිස්සු." යක්දෙස්සිය බැරෑඬි හඬින් පැවසුවාය.

"පිස්සුවේ ඉඳන් ඥානවන්තකමට ගොඩක් දුරද?" ඩැනී ඇසුවාය. “සෙර් ජෝරා, මේ යක්දෙස්සිව අරන් ගිහින් චිතකයට තියලා බඳින්ට."

"චිතකෙට... මගේ රැජිනියෙනි. එපා. මම කියන දේ අහන්ට..."

"මම කිව්ව විදියට කරන්ට." එනමුදු ඔහු තවමත් පැකිලෙනු දුටු  ඩැනීගේ වියරුව නැග ආයේය. "‍මොන දෙයක් සිද්ද වුනත් මට කීකරුවෙනවා කියල පොරොන්දු උනා නේද? රඛාරෝ එයාට උදව් කරන්ට."

ඛාල් ඩ්‍රෝගෝගේ චිතකයට තබා බැඳ දමද්දී යක්දෙස්සිය කිසිවක් නොදෙඩුවාය, කෑ නොගැසුවාය. ඩැනී සියතින්ම ඇගේ හිස මත තෙල් වත්කලාය. "මට කියා දුන්න පාඩම්වලට බොහොම ස්තුතියි මිරී මාස් ඩූර්!"

"මම කෑගහන හඬ ඔබට අහන්ට ලැබෙන එකක් නෑ." හිසෙන් බේරෙන තෙල්වලින් ඇඳුම් පෙඟෙද්දී මිරි පොරොන්දු වූවාය.

"ඒක මම අහගන්නම්." ඩැනී පිළිතුරු දුන්නාය. "ඒත් මට උවමනා කරලා තියෙන්නෙ උඹේ කෑගැහිල්ල නෙවෙයි. උඹේ ජීවිතේ විතරයි. උඹ කියල දුන්න දේවල් ඔක්කොම මට මතකයි. ජීවිතේට වන්දි ගෙවන්ට පුළුවන් මරණයෙන් විතරයි." මිරී මාස් ඩූර් මුව විවර කලද, පිලිතුරක් නුදුන්නාය. යක්දෙස්සියගේ කළු පැහැ දෑසේ මෙතෙක් වේලා රජයමින් තිබූ අපහාසය වෙනුවට බියක් වැනි යමක් සටහන් වෙනු ඩැනීට දැකගත හැකි විය. ඉන්පසු හිරු බැස ගොස් පළමු තරුව උදාවන තුරු බලා සිටීම හැර වෙනත් කරන්නට යමක් ඉතුරුව තිබුනේ නැත.

ඛාල්වරයෙකු මියගිය පසු, නිශා ‍‍ලෝකය කරා අභිමානයෙන් යුතුව යනු පිණිස ඔහුගේ අසුද මරා දමනු ලැබේ. විවෘත ආකාශය යට දෙදෙනාවම ආදාහනය කල පසු ඛාල් ඔහුගේ ගින්නෙන් දැවෙන අසු පිට නැගී තරු අතර ඔහුට හිමි ස්ථානය වෙත යනු ඇත. ආදාහන ගින්න දීප්තිමත් වන තරමට ඔහුගේ තාරකාවද දීප්තිමත් වනු ඇත.

එය මුලින්ම දුටුවේ ජෝගෝ විය. "අන්න!" ඔහු පහත් හඬින් පැවසීය. හිස එසවූ ඩැනීද නැගෙනහිර අහ‍සේ පහතින් එල්බ තිබුනු එය දුටුවාය. මුල්ම තරුව දැවෙන රත් පැහැ වල්ගා තරුවක් විය. ලේ රතු පැහැ, ගිනි රතු පැහැ, මකර වල්ගයක් විය. ඊටත් වඩා හොඳ සලකුණක් ඇයට කිසිසේත් බලාපොරොත්තු විය නොහැක.

අග්ගෝ ගේ අතේ තිබු පන්දම ගත් ඩැනී එය ලී කඳන් අතරෙහි එබුවාය. තෙල් වලට එක්වරම ගිනි ඇවිලුනු අතර සුලු මොහොතකින් තණපත් සහ ලී වලට ද ගින්න පැතිරුනි. දුවන රතු මීයන් බඳු වූ කුඩා ගිනිදලු රිකිලි වලින් අතුවලට ද, අතුවලින් කොළවලට ද වශයෙන් ඉහළටම පැතිරුනි. ඉහළ නගින උණුසුම් වායු දහරා ආදරවන්තයෙකුගේ උණුසුම් සුසුම් මෙන් සැනෙකින් ඩැනීගේ මුහුණ සිප ගත්තේය. උණුසුම ඉක්මනින්ම දරාගත නොහැකි තරමට ඉහළ ගියෙන් ඩැනී අඩියක් පසුපසට ගත්තාය. ලී දඬු පුපුරමින් හඬ දෙන්නට පටන් ගති. මිරී මාස් ඩූර් උච්ච උඩුබිරුමක ස්වරයකින් ගයන්නට පටන් ගත්තාය. ගිනි දළු ලෙලදෙමින්, ඇඹරෙමින්, වේදිකාව දිගේ එකිනෙකා පරයමින් ඉහළ නගින්නට විය. සැඳෑ අඳුර දිදුලවමින් ගිනිදලු ඉහළ නගින්නට විය. අවට වාතය ‍මේ ගින්දරෙන් ඉපදුනාක් මෙන් දැනින. ලී බිඳෙන හඬ ඩැනීට ඇසුනි. ගින්න මිරී මාස් ඩූර්ව වෙලා ගති. ඇගේ ගී ස්වරය තවත් උච්ච විය... ඉන්පසු කිහිප වරක් වැරෙන් හුස්ම අල්ලාගන්නට තැත් කල ඇගේ ගීතය වේදනාවෙන් පිරුනු, කන් හිරි වට්ටන, තියුණු අදෝනාවක් බවට පරිවර්තනය විය.

දැන් ගින්දර ඇගේ ඩ්‍රෝගෝ වෙත ලඟා වී තිබුනි. සිරුර වටා රැඟූ ගිනිදලු ඔහුගේ ඇඳුම් දවාලූයේය. එක මොහොතකට ඔහු දිලෙන තැඹිලිවන් සේදයෙන් සහ අළුවන් ධුමයෙන් වැසුනාක් මෙන් විය. ඩැනීගේ දෙතොල් විවර වූ අතර තමා හුස්ම අල්ලාගෙන සිටිනු ඇයට වැටහුනි. සෙර් ජෝරා පෙරදී බියවූවාක් මෙන්, ඔහුගේ චිතකයට පැන ඔහුගෙන් සමාව අයැදීමට, තවත් වරක් තමන් සමග එක්වන ලෙස ඔහුට ආයාචනා කිරීමට, ඔවුන් දෙදෙනාම එක අයෙකු වන තුරු ගින්නෙන් දැවී යාමට ඇයට උවමනා විය.

ඇයට පිළිස්සෙන මසෙහි පුළුටු ගඳ දැනුනි. පුළුස්සන අශ්ව මසෙහි හා එහි වෙනසක් නොවීය. දැඩිවන අන්ධකාරය මධ්‍යයේ දැවෙන චිතකය දැවැන්ත වන සතෙකු මෙන් ගර්ජනා නැඟූ අතර මිරී මාස් ඩූර්ගේ දුබල හඬ ඊට යටපත් විය. ඉහළින් වූ නුබ ගැබ ලෙවකන්නට තැත් දරන දිගු දිව් මෙන් ගිනිදලු ඉහළ නගින්නට විය. දුම්කඳ කෙමෙන් දැඩි වද්දී ඩොත්රැකියෝ කහිමින් චිතකයෙන් ඈත් වුහ. හමා ආ සුළඟට හසු වූ තැඹිලිවන් සුවිසල් ගිනිදැල් ධජ පතාක දිගහැරෙන්නාක් මෙන් ලෙලදුනි . බිඳවැටෙන ලී කඳන් වලින් උපන් දහස් ගණන් කලාමැදිරියන් බඳු වූ ගිනිපුපුරු වායු ධාරාවන්හි නැගී ඈතට පියාසර කලෝය. දැඩි තාපය විසින් ඩොත්රැකියන් සහ මෝර්මන්ට් පවා පසුබස්වමින් අවට වාතලයට සිය රක්ත වර්ණ පියාපත් වලින් පහර පිට පහර එල්ල කළේය. එනමුදු ඩැනී පමණක් සිටිපිය සිටගෙන සිටියාය. ඇය මකරාගේ රුධිරය විය. මේ වනාහි ඇය තුළ ඇවි‍ලෙමින් තිබුනු ගින්න විය.

තමා මේ සත්‍යය බොහෝ කලෙක පටන්ම දැන සිටි බව ගිනිජාලාව දෙසට එක් පියවරක් තබන අතරේ ඩැනී කල්පනා කලාය. ඇගේ කුඩා ගිනිකබලේ ඇවිලුනු ගින්නෙහි උණුසුම මඳ වුවා පමණි. තාපයෙන් පණ ගැන්වුනු, බියකරු එහෙත් සොඳුරු ගිනිදලු ඇගේ විවා දිනයේ රැඟුම් දැක්වූ ගැහැණුන් මෙන් කහ-තැඹිලි පැහැයෙන් ඇය වටා රඟන්නට විය. බැලීමට බියජනක වූ මුත් ගින්නෙන් පණ නැගුනු එය සුන්දර විය. අති සුන්දර විය. ඩැනී ඒ වෙත සිය දෑත් දිගු කලාය. ඇගේ සම රතු පැහැයෙන් දිලෙන්නට විය. 'මේකත් විවාහයක් තමා.' ඇය කල්පනා කලාය. මිරී මාස් ඩූර් අන්ති‍මේදී නිහඬ වී ඇත. මේ යක්දෙස්සිය ඇය දැරියක කොට සිතුවාය. එනමුදු දරුවෝ වැඩෙති. දරුවෝ ඉගෙන ගනිති.

ඇය තවත් පියවරක් ඉදිරියට තැබූ අතර ගිනියම් වූ වැලිතලයේ උණුසුම පාවහන් හරහා දෙපතුලට දැනුනි. ඇගේ පියයුරු, දෙකලවා සහ පෙර කඳුලින් වැසී තිබුනු දෙකොපුල් තල තෙමමින් දියපහරක් මෙන් දහදිය ගලා ගියේය. සෙර් ජෝරා පසුබිමින් කෑ ගසමින් සිටියේය. එහෙත් දැන් අග්නිය මිස ඔහු එතරම් වැදගත් නොවේ. ගිනිදලු අලංකාර විය. ඇය මෙතෙක් කලෙකට දැක ඇති අලංකාරතම දෙය විය. ඒවා කහ, තැඹිලි සහ රක්තවර්ණයෙන් යුත් ලෝගු ඇඳ, ධූමයෙන් සුසැදුනු සළු වනමින් පැමිණි මායාකරුවන් පිරිසක් බඳු විය. ‍ලේ රත් පැහැ ගිනිසිංහයින් ද, කසාවන් දැවැන්ත සර්පයින් ද, ලා නිල්වන් ගිනි දැල්ලෙන් සෑදුනු කඟවේනුන් ද එහි සැරිසැරූහ. මසුන් ද, සිඟාලයන් ද, රකුසන් ද, වෘකයන් ද, දිලෙන සියොතුන් සහ මලින් බර වෘක්ෂයන් ද යන සියල්ල එකිනෙකා පරයන සුන්දරත්වයෙන් එහි විරාජමානව සිටියහ. අළුවන් ධුමයෙන් නිමවුනු දැවැන්ත සෛන්ධවයෙක් නිල් ගින්නේ ප්‍රභාවෙන් ඇය දුටුවාය. 'ඔවු මගේ වස්තුව. මගේ ඉරයි තරුයි. දැන් ඔබේ ගමනට වෙලාව ඇවිල්ලා. අශ්වයා පිටේ නැගලා පිටවෙලා යන්ට.'

ඇගේ කෙටි කබායෙන් දුම් දමන්නට පටන් ගත් අතර ඩැනී එය උනා බිම දැමුවාය. වර්ණ ගැන්වූ සම් කබාය ක්ෂණයෙන් ගිනිගත් අතර ඇය තවතවත් ඉදිරියට පිය මැන්නාය. ගින්නට නිරාවරණය වූ ඇගේ පයෝධරයන්ගේ ඉදිමුණු රත් පැහැ තනපුඩු වලින් කිරි දහරා ගලා හැලෙන්නට විය. 'දැන්!' ඇය සිතුවාය. 'දැන්!' එක් මොහොතකට තමා ඉදිරියෙන් සිටින ඛාල් ඩ්‍රෝගෝ ඇගේ නෙත ගැටුනි. ඔහු සිය ධූම සෛන්ධවයා පිට නැගී ගිනිගෙන දැවෙන කසයක් ලෙලවමින් සිටියේය. චිතකය වෙත තද කස පහරක් එල්ල කරන අතර ඔහු ඇය දෙස බලා හිනැහුනේය.

ගලක් කැබලි වී යන්නාක් වැනි තියුණු හඬක් ඇයට ඇසුනි. ලීයෙන් සහ තණපතින් නිම කර තිබුණු වේදිකාව බිඳ වැටෙන්නට පටන් ගෙන තිබුනි. ඩැනීව අළු සහ ගිනි අඟුරු වලින් නහවමින් ලී කඳන් ඇය වෙත ලිස්සා එන්නට ගත්තේය. ඊට අමතරව වටකුරු යමක් ගින්නෙන් මිදී ඉපිලෙමින් විත් ඇගේ දෙපා මුල පතිත විය. රන් පැහැයෙන් වර්ණවත් වූ, ලා පැහැති වටකුරු ගලක් වූ එය බිඳීගොස් දුම් දමමින් තිබුනි. ලොවම වසාගත් ගින්නේ ගෝරනාඩුව අතරින් ළමුන්ගේ විස්මිත කෑ ගැසීමුත් කාන්තාවන්ගේ මුරගෑමත් ඇයට ඇසුනි.

ජීවිතයට වන්දි ගෙවිය හැක්කේ මරණයෙන්ම පමණි.

ඊළඟ මොහො‍තේ දෙවන පිපුරුමක හඬ ඇසුනි. ඒ හඬ අකුණු නාදයක් තරම්ම පැහැදිලි හා තියුණු විය. චිතකයේ හැඩය නැවත වරක් වෙනස් වෙද්දී දුම් රොටු ඇය වටානැටීය. ගින්න විසින් ඔවුන්ගේ හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරද්දී ලී ‍කොට පුපුරා ගියේය. ලෙලදෙන සුළි නගන දුම් රොටු අතරින් බියපත් අසුන්ගේ ලතෝනියත්, ඩොත්රැකියන්ගේ කෑගැසීමත් අතරින් ඇගේ නම කියමින් සෙර් ජෝරා කෑගසමින් ශාප කරන හඬ ඇයට පැහැදිලිවම ඇසුනි. 'නෑ!' කෑ ගසා ඔහුට පවසන්නට ඇයට උවමනා විය. 'නෑ මගේ හොඳ නයිට්වරයානෙනි. මා ගැන බයවෙන්ට එපා. ගින්දර කියන්නෙ මට අයිති දෙයක්. මම ඩනේරිස් ස්ටෝම්බෝර්න්. මකරුන්ගෙ දියණිය. මකරුන්ගේ මනාලිය. මකරුන්ගේ මව. ඔබට ඒක පේන්නෙ නැද්ද? ඔබට ඒක පේන්නෙ නැද්ද?' අහස් කුස දෙසට අඩි තිහක් තරම් ඉහළ නැගුනු පිපුරුමක් සමගින් ඇය වටා චිතකය බිඳ වැටුනි. එනමුදු ඩැනී නොබියව, සිය දරුවන්ට හඬගාමින් ගිනි කුණාටුව තුළට පිය මැන්නාය.

තෙවැනි පිපුරුම මුලු ලොවම පිපිරී ගියාක් මෙන් මහත් ගර්ජනා හඬක් නැංවීය.

* * *

අන්තිමේදී ගින්දර නිවී ගොස් ඇවිදීමට තරම් පොළොව සිසිල් වූ පසු සෙර් ජෝරා මෝර්මන්ට් විසින් ඇයව සොයා ගත්තේය. ඇය කළු ගැසී ගිය ලී කොටවලින් ද, තවමත් දැවෙන ගිනි අඟුරෙන් ද දැවී ගිය ඇටකටු - මිනිසා ‍ගේ ගැහැණිය ගේ හා අශ්වයාගේ ඇටකටු - වලින්ද වටවී සිටියාය. ඇය මුලුමනින්ම නිරුවත් විය. ගත මුලුමනින්ම අළුවලින් වැසී ගියේය. ඇගේ ඇඳුම් සියල්ල ගිනිගෙන අළු බවට හැරී තිබුනි. ඒ පියකරු කෙස්වැටිය දැවී ගොස් තිබුනි... එනමුදු ඇයට කිසිදු අනතුරක් සිදු වී නොතිබින.

ක්‍රීම්-රන් පැහැ මකරා ඇගේ වම් පියයුරෙන් කිරි උරා බොමින් සිටියේය. කොළ-ලෝකඩ පැහැ මකරා දකුණු පියයුරේ එල්ලී සිටියේය. ඇගේ දෑත් ඔවුන් දෙදෙනාව තුරුල් කරගනිමින් ඔවුන් වටා වෙලී තිබුනි. කාල-රක්ත වර්ණ මකරා ඇගේ දසරුව මත වැතිර සිටි අතර උගේ දිගු වක් වූ ගෙල ඇගේ නිකට යට දඟර ගැසී තිබුනි. සෙර් ජෝරාව දුටු ඌ හිස ඔසවා ගිනිඅඟුරු වැනි දෑසින් ඔහු දෙස බැලීය.

වදනකුදු පවසා ගැනීමට අසමත් වූ නයිට් වරයා දණින් වැටුනි. ඔහුට පිටුපසින් ඇගේ ඛාස් සෙබළු ඉදිරියට පැමිණියහ. සිය අරඛ් අසිපත ඇගේ පාමුල තැබූ පළමුවැන්නා ජෝගෝ විය. "මගේ රුධිරයෙන් උපන් රුධිරය!" දුම් දමන පොළොව වෙත හිස නමමින් ඔහු මිමිනීය. "මගේ රුධිරයෙන් උපන් රුධිරය!" අග්ගෝ ප්‍රතිරාව නැංවීය. "මගේ රුධිරයෙන් උපන් රුධිරය!" රඛාරෝ කෑගැසීය.

ඔවුන්ට පසුව ඇගේ පරිවාර සේවිකාවෝ පැමිණියහ. ඊටත් පිටුපසින් ඇගේ ඛලසාරයේ සියල්ලෝ වුහ. පිරිමි ද, ගැහැණු ද, දරුවන් ද ඇතුළු ඩොත්රැකියෝ  සියලු දෙනම එහි වූහ. ඔවුන්ගේ දෑසේ වූ බැල්ම දුටු ඩැනීට දැන් ඔවුන් තමන්ගේ බැව් වැටහී ගියේය. ඔවුන් අදත්, හෙටත් හැමදාමත් ඇයගේ විය. ඩ්‍රෝගෝට කෙදිනකවත් අයත් කරගන්නට නොහැකි වූ තරම් දැඩි බැඳීමකින් ඔවුන් ඇය හා බැඳී ගියේය.

ඩනේරිස් ටාර්ගේරියන් සෙමින් දෙපයින් නැගී සිටිද්දී කළු මකරා කටින් සහ නාසයෙන් ලා පැහැ දුම් රොටු පිට කරමින් සැහැසි ලෙස පිම්බේය. අනික් දෙදෙනාද ඇගේ පියයුරුවලින් මුව මෑත් කරගත්තේ සිය හඬ ඊට මුසුකලෝය. ඔවුන්ගේ විනිවිද පෙනෙනසුළු පියාපත් වාතය සසල කරවමින් සැලෙන්නට විය. වසර සිය ගණනකට පසු නැවත වරක් රාත්‍රි අන්ධකාරය අලලවමින් මකරුන්ගේ සංගීතය ඇසෙන්නට විය.





Daenerys Targaryen: “Viserys is dead. I am his heir, the last blood of House Targaryen. Whatever was his is mine now.”

***********************

ජෝර්ජ් ආර්. ආර්. මාර්ටින්ගේ 'ගිනි සිසිලක ගීතය' කතා මාලාවේ පළමු පොත වන 'සිහසුනට තරග වැද' අදින් නිමාව දකිනු ඇත.

පොඩ්ඩිගේ ස්තූතිය...

2014 ජූනි මාසේ ඉඳන් අවුරුද්දකට කිට්ටු කාලයක් තුල අපි මෙතන එකතු වුනා. වෙන කාගේදෝ හීනයක් කතාවට හැරෙද්දි, අපි අලුත් යාලුවෝ හදාගත්තා. ඉන්න අයට තවත් ලංවුනා. ජීවිතේ අමතක නොවෙන රසවත් කාලයක්.

හැමදාම වගේ ඇවිත් කමෙන්ට් කරපු, නොකරපු, කතාව කියවපු, නොකියවපු හැමෝගෙන්ම අද අපි දුකෙන් සමු ගන්නවා.


මේ වගේ ලොකු වැඩක් බූරා නැත්නම් කවදාවත් ඉෂ්ට වෙන්නේ නෑ. එයාගේ කැපවීමට, මහන්සියට, ලස්සනට වැඩේ කලාට එයාට තමා ලොකුම ස්තූතිය. ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරපු මට ඊලඟට මමම ස්තූති කරගන්නවා. :P


ආයේ කවදා හරි මේ සයිබර් ලෝකයේ කොතැනකදි හරි අපි හමුවේවි.  :D එතකල් ඔබ හැමට සුබ අනාගතයක්.


බුරාගේ ස්තූතිය...

ඇරඹුනු දා පටන් මෙහි පැමිණ කතාව කියවමින්, අදහස්, යෝජනා, විචාර, වාද විවාද, අවවාද අනුශාසනා පල කරමින් අපට දිරි දුන් පාඨක ඔබ සැමට. ඔබ නොසිටියේ නම් මේ කතාව මෙලෙස අවසානය දක්වා පැමි‍ණීමක් සිදු නොවනු ඇත. ඔබට අනේක වාරයක් ස්තූතියි!

බුරාගේ විශේෂ ස්තූතිය...

මගේ ඇනුම් බැනුම් රැවුම් ගෙරවුම් මැද්දේ නොසැලී, සෑම විටම මට දිරියක් වෙමින් කතාවේ අවසානය තෙක්ම මාව ඇදගෙන ආ, නිබඳ මට සෙවනැල්ලක් මෙන් සිටි පොඩ්ඩිට! For giving me motivation and encouragement and for being there when I felt so low and down and exhausted, Thank you my lady!

වසර පහක බ්ලොග් චාරිකාවක අවසන බුරතීනෝ aka බුරා aka ලී බෝනික්කා (©බින්දි) aka බුරානිස් (©සෙන්නා) aka බුරාභිධාන කෙළෙඹි පුත් (©රවි) aka බූරු පුතා (©ඔබා) වන මම බ්ලොග් අවකාශයෙන් සමුගෙන යන්නෙමි. බ්ලොග් නිසා මට හිමි වූ දෑ බොහෝ වන අතර අහිමි වූ දෑ කිහිපයක් ද වේ. මගේ ප්‍රියතම වි‍‍නෝදාංශය වන පොත් කියැවීම එයින් ප්‍රධානය. නැවත මගේ ආදරණීය පොත් වෙත යාමට මට අවැසි අතර ඒ වෙනුවෙන් අසීරුවෙන් හෝ බ්ලොග්වලට සමුදීමට තීරණය කලෙමි. බ්ලොග් හිතමිතුරනි, ඔබට ම‍ගේ ආදර ගෞරව ප්‍රනාමය. ගෙවුනු කාලය තුළ මා අතින් කිසිවෙකුගේ හෝ සිත රිදවෙන යමක් කියැවුනි නම් ඊට කමන්න.

අවසාන වශයෙන්...
ඔබ සැමට සිරින් සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

74 comments:

  1. ඔහ් මේ මොකද.... මේ අය්යෝ... එතකොට ඉතුරු පොත් නැද්ද හෆොයි... මෙච්චර කල් මේක කියවලකියවල දැං පිස්සු වගේ ඉතුරු ටික නොදීම යන එකට මගේ මෙව්ව එක...
    දැං ඉතිං මොකෙයි දං වළදන්නෙතව පොත් පහක් එහෙම්මමයි එකක් මග එන ගමන්ලු...

    ඩැනේරිස්ගෙ පිස්සුව හොද වුනා පොඩ්ඩි අක්කටයි බුරාටයි මක් වුණාද හෆොයි...

    මෙච්චර කල් අපි වෙනුවෙන් කට්ට කාගෙන මේක පරිවර්තනය කරල සතියට දවස් තුනක් තිස්සෙ පළ කරල කරපු කර්තව්‍යට ස්තූති කොරන්න වචන නෑ...
    අපි කැමතියි මේක පොතක් විදියට එළි දැක්වෙනව නං මෙහෙම වැළලිලා යන්ට නොදී... අනික් ඉල්ලීම තමා ඉතුරු පොත් ටික ගැනත් සලකල බලන්න කියල එක...

    කොහෙම වුණත් හැමදාම සතියට දවයස් තුනක් කතාව කියවන්න බලං ඉදල දැං ඒකටම පුරුදු වෙලා ආයෙත් එහෙම ඉදල තේරුමක් නෑ කියල හිතෙද්දි නං පිස්සු වගේ...

    සුභ අළුත් අවුරුද්දක් වේවා ඔබ දෙපලටම

    ReplyDelete
    Replies
    1. අපි වගේම පිස්සු අය තවත් ඉන්නවා කියලා දැනගත්තේ කට්ටියගේ කමෙන්ට්ස්වලින්. හැමදාම උදෙන්ම ඇවිත් මොලේ අවුල් කරලා යන මහේෂ් අනිවාර්යෙන් මිස් වෙනවාමයි. :P

      දුක තමා ඉතින්...:(

      ඔයාටත් සුබ අලුත් අවුරුද්දක්!

      Delete
    2. මං හින්ද කාගෙ හරි මොළේ කොලොප්පං වෙනව නං ඊට වඩා කික් එකක් නෑ ආයිබංඩ හිහි :-D :-D :-D
      ඒත් ඉතිං ආයෙත් අර බොලොගර් ඩෑෂ් බෝඩ් එක උදේ අටේ ඉදං රීෆ්‍රෙෂ් කර කර ඉදියට වැඩක් නෑ නෙව
      ආයෙ ඉතිං කාව කොලොප්පමට ගන්ටද

      Delete
    3. හැමදේකම අවසානයක් තියෙන්ට එපායැ මහේෂ්.. ඒ වගේ ඉතින් මේකත් ඉවරවුනාලු..

      අනිත් පොත් ගැන පස්සෙ නිවාඩු පාඩුව හෙමිහිට සලකලා බලමුකෝ.. ;-)

      සමාවෙන්ටෝනැ උත්තර පරක්කු වුනාට.. පොඩි ට්‍රිප් එකක් ගිහින් අදයි ගෙදර ආවෙ.

      Delete
  2. :'( :'( :'(
    Thank you two very much for the book. I know it must have been hard. I am eternally grateful. Good luck in your future endeavours.

    ReplyDelete
    Replies
    1. How can I say thanks in a way that will express the gratitude I feel? I don’t have enough words PoM. Thank you. :(

      Delete
    2. :(
      මෙව්වට තමා බිටර් ස්වීට්‌ කියන්නේ
      but i must admit i cant see sweet at the moment.

      Delete
    3. Never knew it gonna be this hard PoM.. Otherwise, I even don't think about translating this.. :-)

      සමාවෙන්ටෝනැ උත්තර පරක්කු වුනාට.. පොඩි ට්‍රිප් එකක් ගිහින් අදයි ගෙදර ආවෙ.

      Delete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    දෙන්නට ම ස්තූතියි මේ වගේ අමාරු පොතක් සිංහල ට පරිවර්තනය කිරීම ගැන. හැමදාම කමෙන්ට් නොකලත් කියවන්න නම් අමතක කලේ නෑ.
    බුරතීනෝගෙ සමුගැනීම නම් කණගාටුයි. බ්ලොග් වලදි සංවාද අරව මේවට සම්බන්ද වෙලා නැතත්, සාහිත්‍ය ,ලෝක ඉතිහාසය....ect වගේ බුරාගෙ, සුජීවගෙ සංවාද සෑහෙන්න රස වින්දා වගේම ඉගෙනත් ගත්තා.. සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිමුතු. ඔයා වගේ කියවලා විතරක් යන ගොඩක් අය ඉන්නවා. ලීවෙත් ඔයාලා බලන හින්දනේ. සුබ අලුත් අවුරුද්දක් ඔයාටත්!

      Delete
    2. ඔයාටත් බොහොම ස්තූතියි දිමුතු!

      සමාවෙන්ටෝනැ උත්තර පරක්කු වුනාට.. පොඩි ට්‍රිප් එකක් ගිහින් අදයි ගෙදර ආවෙ.

      Delete
  4. අපොයි මේ මොනවද වෙලා තියෙන්නෙ... පොල්ලෙන් ගැහුවා වගේ :'(

    කොහොම වුනත් බුරාටයි පොඩ්ඩිටයි ස්තුති කරන්ට ඕනි මේ මහා ව්‍යාපෘතියට. ලේසි පහසු වැඩක් නෙවෙයිනේ කලේ දෙන්න එක්ක. අනික් පොත් ටිකත් ආවනම් හරිම සන්තෝසයි උනත් අපහසුව තේරුම් ගන්ට පුළුවන්.

    බුරාට පොඩ්ඩිට සහ ආ ගිය හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් සහ සුබ අනාගතයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ ටිකේම දුකෙන් ඉන්නේ රන්. ආයේ මෙහෙම ඇවිත් රන්ඩු කරන්ටවත් වෙන්නේ නෑනේ. ඔයාටත් සුබ අවුරුද්දක්! රන්පාට කැවුම් හදන්ටලු. :)

      Delete
    2. අනිත් පොත් ගැනත් සලකා බලමුකො රන්.. මේකෙ අමාරුව නොදැනනෙ වැඩේට අතගැහු‍වෙ.. ඒක නිසා කොහොමහරි අවසානය වෙනකම්ම ඇදගෙන ගියා.. ඒත් දැන් වැඩේ අමාරුව දන්න නිසා අනිත් පොත් ටික‍ට අතගහන්ට නිකං බයයි බයයි වගේ.. :-)

      සමාවෙන්ටෝනැ උත්තර පරක්කු වුනාට.. පොඩි ට්‍රිප් එකක් ගිහින් අදයි ගෙදර ආවෙ.

      Delete
    3. ෂාහ් සලකල බලමුකො කියපු එකම මදැයි :D
      දුකයි තමා පොඩ්ඩි... අදත් මේ ඇවිත් බැලුවෙ මොකුත් ආරංචියක් තියේද කියල...

      Delete
  5. හැමදාම කමෙන්ට් නොකළත් සඳුදා, බදාදා, සිකුරාදා කම්පියුටර් එක ඔන් කරපු ගමන් කරන වැඩ වලින් එකක් තමයි මේක කියනව එක. බැරිවෙලාවත් මග ඇරුනොත් නොවැරදීම කොහොමහරි වෙලාවක් හොයාගෙන පහුගිය ඒවා කියවනවා. ඔයාලා දෙන්නා නිසාමයි මම මේ පොත අඳුරගත්තේ, ඔයාලාගේ පරිවර්තනයේ තිබ්බ අපූර්වත්වය නිසාමයි මම ඉවසිල්ලක් නැති කමට මුල් පොත හොයාගෙන ඉක්මනට ඉක්මනට කතාව කියෙව්වේ, ඒ කියවලාත් ඒ අපූරු කතාව ඔයාලා පරිවර්තනය කරන අපූරුව බලන්න හැමදාම මෙතනට ආවේත්.

    පොඩ්ඩි අක්කේ, බූරො අයියේ - ඔයාලාගේ මහන්සිය, කැපවීම, ධෛර්යය අති විශිෂ්ඨයි. අපි වෙනුවෙන් එක දවසක්වත් නොවරදවා කතාවේ කොටස් පොරොන්දු වෙච්ච විදිහටම පළ කළාට හුඟාක් ස්තූතියි. මේක පොතක් විදිහට එළි දක්වාවි කියලා මම වගේම මෙතන පාඨකයෝ හැමෝම වගේ බලාපොරොත්තු වෙනවා. පොත් පෙළේ ඉතිරි පොත් වලට අත ගහන එක ලේසි වැඩක් නෙවෙයි කියලා මම දන්නවා. ඒත් සමහරවිට පොඩි විවේකයක් අරන් ආයෙ තව ටික කාලෙකින් ඔයාලට ඒවටත් අත ගහන්න හිතෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    බූරො අයියේ, ඔයා අර මොකද්ද කියලා තියෙන්නේ සමුගන්න කතාවක්. මට තේරුණේ නෑනේ. කොහොමත් මම ඔයාව දන්නෙ අර වළව්වේ ලොකු මැණිකේ කිව්ව විදිහට බුරුත ළමයා කියලානේ. එහෙම කෙනෙක් සමුගන්න බවක් කියලා නැති හින්දා ඔන්න මං වැඩිය ඒ ගැන හිත් අමාරු කරගන්නෙ නෑ ඔන්න හොඳද.

    දෙන්නටම සුභම සුභ අළුත් අවුරුද්දක්!

    ReplyDelete
    Replies
    1. මිනිස්සු හැමදාම වෙනස්වෙනවා. ඒත් දැකපුදා ඉඳන් එක වගේ ඉන්න සිත්තමීට මම එදා වගේම ආදරෙයි. මේ ලබපු සිංහල අවුරුද්ද ඔයාටත්, සිත්තරාටත්, පැට්ටාටත් සුබ එකක්ම වේවා.

      Delete
    2. බුරුත ළමයා කිවුවා ඔයාට ටටා කියන්ට කියලා සිත්තමී.. ;-)

      හැම හොඳ දේකම අවසානයක් තියෙන්ට එපායැ.. දැන් ඉතින් ඇති කියලා හිතුනා සිත්තමී..

      අනිත් පොත් නේද? බලමු බලමු නේ.. :-D

      සමාවෙන්ටෝනැ උත්තර පරක්කු වුනාට.. පොඩි ට්‍රිප් එකක් ගිහින් අදයි ගෙදර ආවෙ.

      Delete
  6. පසුගිය වසරකට ආසන්න කාලය පුරාම මමත් ඔබ දෙදෙනාගේ පරිවර්තනය සමග රැඳී සිටියා. දැන් දැනෙන්නේ සමීප මිතුරන් ගෙන් වෙන් වී යන්න සිදු වුණා වගේ හැඟීමක්. ඔබ දෙදෙනා කළ කාර්‍යය විශිෂ්ඨයි. මගේ ස්තුතිය සමග සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි උපුල්. කලින්ම දැනගත්තානම් මීට වඩා හොඳයි කියලා හිතුනා.

      Delete
    2. ඔබටත් ‍බොහොම ස්තූතියි උපුල්!

      සමාවෙන්ටෝනැ උත්තර පරක්කු වුනාට.. පොඩි ට්‍රිප් එකක් ගිහින් අදයි ගෙදර ආවෙ.

      Delete
  7. @ Translators

    Congrats for a job very well done. (some might say 1/7 done, though)

    Thank you

    ReplyDelete
    Replies
    1. You never fail to surprise us with your comments Pra. Thanks to you too….:P

      Delete
    2. I know it's less than a half job Pra Jay.. But phew! this book had only 807 pages.. the rest goes as 969, 976, 1128 and so on.. my my, we've to retire from our jobs first.. :-D

      සමාවෙන්ටෝනැ උත්තර පරක්කු වුනාට.. පොඩි ට්‍රිප් එකක් ගිහින් අදයි ගෙදර ආවෙ.

      Delete
    3. @B, Give some thought to an abridged type of translation for the rest. Not my fav type but u got to take drastic measures in the case of such a humongous series. You might even write everything in one or two sinhala books and call it a version based on books of Martin. Something is better than nothing as the cliche goes

      Delete
  8. ස්තූතියි බුරා & පොඩ්ඩි...
    අමාරු වැඩක් සාර්ථකව ඉවර කරන්න කල කැපවීමට හිස නමා ආචාර කරමි...
    බුරාගේ සමුගැනීම තවකාලික එකක් වේවායි ප්‍රාර්ථනා කරන ගමන් උඹට සුභ ගමන් පතමි...!

    I believe this massive project deserves one last 'behind the scenes' post called "Making of සිහසුනට තරග වැද" :)

    ReplyDelete
    Replies
    1. බීටලේගෙ ඒ යෝජනාවට මගේ සහයෝගය.

      දුක තමා රංජනී, ඒත් මක්කැයි කොරන්නෙ? අපිට මේ යලට මහට ලියන පෝස්ට් එකත් ලියන්න තියෙන අමාරුව බැලුවාම, සතියට දින තුනක් නොවරදවා ලියපු,
      මේ වගේ බරපතල වැඩක් කරන්න, කොච්චර කැපවීමක් තියෙන්න ඕනෙද? අම්මපා , මතක් වෙනකොටත්, ඇඟේ මයිල්, ඉස්මයිල් වෙනවා. දෙන්නාටම බොහොම පිං

      Delete
    2. @Beetle,

      What a great idea…:D

      who is going to do that? You? Motts or Pom :P

      Delete
    3. බස්සට කියලා වැඩක් නෑ. එයා හැමදාම එන්නේ නෑනේ...:P

      Delete
    4. How can any of us write the behind scenes act? We didn't write the bloody thing did we ? :P

      Delete
    5. guys guys guys... there's nothing much in those so called 'behind the scenes'.. only my grumbles, rumbles, shouts and scoldings.. perhaps, Lady Pods might be able to write an afterthought.. Working with Bura - The worst decision been taken in my life :-D

      සමාවෙන්ටෝනැ උත්තර පරක්කු වුනාට.. පොඩි ට්‍රිප් එකක් ගිහින් අදයි ගෙදර ආවෙ.

      Delete
  9. අවුරුද්දක් ගියා නේද නොදැනීම.... එක දිගට කමෙන්ට් නොකරත්, කතාව කියවලා රස වින්දා.. මම හිතන්නේ නෑ ඉංග්‍රීසියෙන් කියෙව්වත් මේ තරම් රස විඳින්න ලැබෙයි කියල. බුරා තුමාගේ වෙන බ්ලොග් එකක් පැත්තේ මම ඇවිල්ල නොතිබ්බත්, පොඩි කුමාරිහාමි අක්කගේ බ්ලොග් එක පැත්තේ නම් අනිවාර්යෙන් යැවෙනවා. එයා තමා මට මුලින්ම රිප්ලයි කමෙන්ට් එකක් දාපු එක්කෙනා. ඒක නොවෙන්න අද අඟහරුවා කියල බ්ලොග්කාරයෙක් නොඉන්නත් තිබුනා.
    බුරතීනෝගෙන් මම ඉල්ලීමක් කරනවා බ්ලොග්කරණයෙන් ඉවත් වෙන්න එපාය කියල. ඒ වගේම මේ දෙපොලගෙන්ම මම තවත් ඉල්ලීමක් කරනවා හුදී ජනයාගේ ලාම්පු කණගාටුව පිණිස දෙවැනි පොතත් පරිවර්තනය කරන්න කියලා!

    ReplyDelete
    Replies
    1. හී හී හුදී ජනයාගේ ලාම්පු කණගාටුව? ඒවා නිමිලා නැද්ද තාම. අඟහරුවටත් සුබ අලුත් අවුරුද්දක්!

      Delete
    2. බුරාට වෙන බ්ලොග් එකක් නෑ අඟහරුවො. ඉඳලා ඉඳලා ලිවුවා එකක්, ඒකෙන්ම ඇතිවුනා. :-D

      අනිත් පොත් ටික නේ.. බලමු බලමු නේ..

      සමාවෙන්ටෝනැ උත්තර පරක්කු වුනාට.. පොඩි ට්‍රිප් එකක් ගිහින් අදයි ගෙදර ආවෙ.

      Delete
  10. වනන්තරේ වන සපු මල් පිපීයන්
    නිරන්තරේ පොද වැස්සට තෙමීයන්
    මගෙ හිතේ දුකට අරිස්ට මට ලැබීයන්
    අදත් රෑ හීනෙන් බැදපු ව‍ටුවො පෙනීයන්

    හොක්කි , හොක්කි .. හූ...

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා දුකට කවි කියනවා...පොහ්...

      Delete
    2. Motts, ගිහින් අර බීටලේ කියලා තියෙන එක බලන්ටකෝ...:D

      Delete
    3. තැන්කූ මොට්ස්!

      මොනා කොරන්ටද, දවස ආවහම කො‍හොමත් යන්ට වෙනව නේ.. :-O

      සමාවෙන්ටෝනැ උත්තර පරක්කු වුනාට.. පොඩි ට්‍රිප් එකක් ගිහින් අදයි ගෙදර ආවෙ.

      Delete
  11. අපේ මේ බුරම්පි ලමයා පැන්සොන් ගන්නව කියන ආරංචියටයි ආවෙ. මෙන්න ප්‍රේක්ෂක ප්‍රතිචාර:

    PoM : ආ බුරාද, ඔය කවුරු මොනව කිව්වත් බුරා නියම බුවා. හැබැයි, ගිය මාසෙ පොතට ගහපු අරිස්ට වඩි දෙකක සල්ලි තාම දෙන්න තියනවා

    ප්‍රා. ජේ : බුරාද? මාටියගෙ පොත වගේම එයත්"pigment of imagination" තමයි.

    බස්සා : මඟුලක් කියනවා. බුරා කියන්නෙ පූසෙක්. වැඩ කරන්නෙ පුස්තකාලෙක. පොත් මරුව. මේ ඉන්නෙ පොතට යටවෙලා

    නරි මොටා: ඕකා මහ ගල් ආඳා. දැක්ක නේද ලිස්සල ගිය හැටි?

    හැලපෙ: මම මේ කන්න මොකුත් දෙයක් තියනවද බලන්නයි ආවෙ

    චූලෝදර: ෂ්,ෂ්.......

    මාරයා: හා, හා ඊළඟ

    සරත් : කියෙව්වා

    සෝන්යා: අනේ බලන්නකො මම නැති ටිකේ වෙලා තියෙන දෙයක්. එන්න වුනේ නෑ මෙයා, දාන ගෙවල් දෙකකුයි, පිරිතකුයි, මල ගෙයකුයි තිබ්බා

    ReplyDelete
    Replies
    1. වඩි දෙකක්?
      ඔ‍ය ලී බෝනික්කා පහුනු අවුරුද්දෙම අරිස්ට ගැහුවෙ පොතට . දැන් ඔය විස්‍රාම සුවය කියන්නෙ කමෙන්ට් එකක් වත් කොටන්නෙ නෑ කියන එකලුද?

      Delete
    2. අප්පද බොල! සිරිබිරිසාව දැක්ක කල්.. අපේ බාප්පාගෙ අයියාගෙ එකම මල්ලි දැක්කා වගේ සන්තෝසයි..

      අඩෝව් පොම්, පොඩ්ඩක් හිටහන්.. පොත ප්‍රින්ට් කරලා පළවෙනි සල්ලි මිටිය අතට ආපු ගමන් ඔය ණය ෂල්ලි සේරම බේරනවා.. ;-)

      සමාවෙන්ටෝනැ උත්තර පරක්කු වුනාට.. පොඩි ට්‍රිප් එකක් ගිහින් අදයි ගෙදර ආවෙ.

      Delete
    3. ඉස්සර සිරිබිරිස්ගේ වගේ ඇඟක් හදාගන්ට පොඩ්ඩි කොච්චර නම් මහන්සි වුනාද? :P

      Delete
  12. බොහෝම ස්තූතියි දෙන්නාටම මේ වගේ මිහිරක් ලං කෙරුවාට අපිට.
    මම හිතන්නේ දෙන්නාගේ මේ වැයම ඉතාමත් සාර්ථකයි."ජෝර්ජ් ආර් ආර් මාර්ටින්"කවදාවත් අහලා නොතිබ්බ කතුවරයෙක්ගේ නිර්මාණයක් අපේම දෙයක් තරමට ලංකරන්න ඔබ දෙන්නා සමත් වුනා.

    බුරාට හොඳ ලස්සන පොත් කියවන්න වැඩිවැඩියෙන් අවස්ථාව ලැබේවා,පොඩ්ඩිගේත් සියලු දේ සර්වාප්‍රකාරයෙන්ම සර්ථක වේවා!
    මේ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමෙන් පිරුණු,ප්‍රේමය උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
    මෙයට,
    සෙර් මනෝ.

    ReplyDelete
    Replies
    1. 'මිහිරෙන් මතකයේ ඇඳේ - ඒ රසේ රැඳේ මා සිතේ' වගේද මනෝජ්?

      ඔයාටත් බො‍හොම ස්තූතියි මනෝජ්!

      සමාවෙන්ටෝනැ උත්තර පරක්කු වුනාට.. පොඩි ට්‍රිප් එකක් ගිහින් අදයි ගෙදර ආවෙ.

      Delete
    2. සෙර් මනෝගේ ප්‍රාර්ථනා ඒ විදියටම ඉෂ්ට වෙන්ට කියලා පතනවා. ඒ කීවේ අපේ ජීවිත ප්‍රේමෙන් උතුරන්ට කීව එක. මේ දවස්වල වැඩියෙන් පීනන්ටත් පටන් ගත්තා හදිසියේ ගිලුනොත් කියලා බයට. :D

      Delete
  13. පොඩි කුමාරිහාමි අක්කි, sir බුරතීනෝ ගොඩක් ස්තුතියි. මම මුල ඉඳලම මේ කතාව ගොඩාක් ආසාවෙන් කියෙව්වා . ඒ වගේම මේ තමයි මම කියෙව්ව මුල්ම බ්ලොග් ඒක.... :) ඔයාල අයෙමත් මේ වගේම දෙයක් කරන්න. නවත්වන්න එපා. ඔයාලට සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!! :)

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බො‍හොම ස්තූතියි Princess Fiona!

      මේ නිකමට අහන්නෙ, ඔයා අර Prince of Moonshine ගෙ නෑ කෙනෙක් ද? :-D

      සමාවෙන්ටෝනැ උත්තර පරක්කු වුනාට.. පොඩි ට්‍රිප් එකක් ගිහින් අදයි ගෙදර ආවෙ.

      Delete
    2. :P Prince of Moonshine ගේ නෑ කෙනෙක් නම් නෙවෙයි මම. :D

      ආ ඒකට කමක් නැහැ . :)

      වෙලාවක් තිබුනොත් Sir Ryder Haggard ගෙ පොතක් පරිවර්තනය කරන්න ..... :)

      Delete
    3. එහා රටේ ලු
      කොහොමද ශ්‍රෙක් අන්කල් හෙම සනීපෙන් ඉන්නවද? :P

      Delete
    4. :P ආ ශ්රේක් අන්කල් ඉන්න තැනක සනීපෙන් ඇති කියල හිතනවා ..... :D

      Delete

    5. ස්තූතියි PF . ගොඩක් සන්තෝෂයි අන්තිම මොහොතේ හරි අඳුනගන්ට ලැබීම ගැන. :)

      Delete
  14. හෑ, එතකොට අනික් පොත් ලියන්නේ නැද්ද? මම හිතුවේ පොඩ්ඩි අක්කා එදා විහිළුවට ලියන්නේ නෑ කිවුවා කියලා.. අසාධාරණයි අප්පා.. :(

    ReplyDelete
    Replies
    1. මාර්ටින් අංකලුත් තාම සම්පූර්ණ කතාව ලියලා ඉවර කරලා නෑ දිනේශ්.. අසාධාරණේ මේ මිනීමෝරු වාගේ.. :-)

      බොහොම ස්තූතියි හැමදාමත් ඇවිල්ලා කතාව කියෙවුවට!

      Delete
    2. පොඩ්ඩි විහිලු දන්නෙම නෑලු...:P

      Delete
  15. ස්තුතියි පොඩ්ඩී.. ස්තුතියි බුරා .. වෙලාව නැතිදාට වෙන මොන බ්ලොග් අමතක කලත් මම මේකට ආවා. ඒ ඔබ දෙදෙනාගේ කැපවීමට ගරු කිරීමක් වශයෙනුත්..(කියවා රසවිඳීම ගැන කිවයුතු නැහැනේ) ඔබ දෙදෙනා මේ කලේ පහසු දෙයක් නෙවෙයි.. මට නම් හිතන්නවත් බැහැ..ඉසිඹුවක් අරන් ආපහු එන්ට !

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තූතියි සරත් හැමදාමත් ඇවිල්ලා කතාව කියවමින්, කමෙන්ට් කරමින් අපට දුන්න දිරියට!

      Delete
    2. ස්තූතියි සරත්. මේ අවුරුද්දේ නම් ඉසිඹු නෑලු...:P

      Delete
  16. හොක්කි, හොක්කි හූ.........ඌ..

    ReplyDelete
    Replies
    1. මෙන්න නරියෙක් ඇවිත්...:P

      Delete
  17. බොහොම ස්තුතියි. අන්තිම එකත් කියෙව්වා. ලස්සනට ලියල තිබෙනවා.

    ReplyDelete
  18. මේක දාල තිබෙන්නේ www.blogpower.info එකේ. නෙලුම් යායට ඇතුලත් කරනවා ළඟදීම.

    ReplyDelete
  19. කෑලි කාලි කියවන්න ගියාට මට ඇල්ලුවේ නැහැ ටික ටික කියෝන වැඩේ. දැන් හරි නිවී සැනසිල්ලේ මුල ඉඳන් කියවමි. මොකක් කිව්වා සමුගන්න. එහෙම පුලුවන්ද

    ReplyDelete
  20. ඉතාම වියුණු බසින් මේ වගේ පරිවර්තනයක් කරන එක කොච්චර අමාරුද. අපි ඔය දෙන්නට ගොඩක් ස්තුති කරන්න වටිනවා. පොඩ්ඩි ට නම් උම්මා එකක් දෙන්නත් පුළුවන්. අනික් අයට උම්මා දෙන්න ගිහින් ඉතින් අයිතිකාරයන්ගෙන් ගුටි කන්නේ මොකටද. බුරා කමෙන්ට් කරන එකත් නවත්තනවද . අපොයි එහෙනම් අපි බ්ලොග් වහල ස්ට්‍රයික් කරනවා .

    ReplyDelete
    Replies
    1. කෝ පොඩ්ඩිගේ උම්මා එක? මම නම් උම්මා දෙනකොට අයිතිකාරයෝ ඉන්නවද කියලා අහ, අහා ඉන්නේ නෑ. ඒ වැඩේ බින්දිත් කලා නම් හරි. :D

      උම්මා දෙනවා කීවොත් ආයෙම එයිද දන්නේ නෑනේ? :P

      Delete
  21. ඔබ බ්ලොග් වලින් සමු ගෙන යාම කියෙව්වේ ශෝකයෙන්. ඔබ වැනි අය සිටිය යුතුයි. මෙය පොතක් වශයෙන් පරිවර්තනයක් වශයෙන් පල කරන්නේ නැත්ද?

    ReplyDelete
  22. මුලින්ම කොටස් කීපයේ පොඩි සුපර් නැචුරල් ගතියක් තිබ්බ නිසා මම ඇත්තටම මේක කියවන්න පටන් ගත්තේ නෑ. මතක ඇතිනේ කැමති නෑ කියලා ලිස්සලා ගියා. හැබැ‍යි ඉඳහිට ඇවිත් මොකද වෙන්නේ කියලා බලන්න අමතක කලේ නෑ. මේ කතාව කියවන්න ඇත්තටම පටන් ගත්තේ වැඩිය බ්ලොග් පෝස්ට්ස් ලියවුණේ නැති කාලෙක මේක නිකමට කියවන්න පටන් ගත්ත නිසා. අද වෙනකොට මම මේක හතරවෙනි පොත කියවන ගමන්. මේක කියවන්න ගත්ත තීරණය ගැන ඇත්තටම සතුටුයි. හැරී පොටර්, ට්වයිලයිට් වගේ පොත් ගොඩක් ජනප්‍රිය වෙද්දි, ඉන්ද්‍රජාල අවම මට්ටමේ තියාගෙන වැඩි බරක් දේශපාලනය, මනුශ්‍ය ස්වභාවයට දාල ලියලා තියන පොත් පෙලක් (දැනට). මේ පොත් කියවීමට මාව පෙළඹවීමේ ගෞරවය තනිකරම පොඩ්ඩි සහ බූරා සතුයි.

    මෙච්චර කාලයක් ඉතා පිළිවෙලට නියමිත දිනයට කොටස් පල කිරීම නම් ප්‍රශංසනීයයි. බූරාගේ සමුගැනීම මම හිතන්නේ බුරාට හුරු පුරුදු ඉඳහිට කොමෙන්ට් කිරීමේ ඉඳලා එක පාරටම මේ වගේ බරපතල වැඩක් නොනවත්වා කාලයක් කරන්න සිදුවීමේ ආතතිය නිසා වෙන්න ඕනේ :) පොඩි විවේකයකින් පස්සේ ඉඳහිට කමෙන්ට් කරන්න වත් එයි කියලා බලාපොරොත්තු වෙනවා. මමත් පරක්කු වෙලා ආවෙ නිවඩුවකින් පස්සෙ... ඉතිං ඔබ දෙපොළ මේ ගත්ත වෙහෙස මහන්සියට මගේ හෘදයාංගම ස්තූතිය.... නැවත හමුවේවා!!!

    ReplyDelete
  23. මම හැමදාම කතාවෙ හැම කොටසක්ම කියෙව්ව කමෙන්ට් කරන්න බැරිඋනාට . කතාව අවසාන වුන ඒගැනනම් දුකයි. ඉක්මනට මේක ප්‍රින්ට් කරනවනම් හොඳයි කියල හිතනවා. අනිත් පොතුත් පරිවර්තනය කලොත් හොඳයි නේ :) අමාරු වැඩක් නම් තමා ඒ උනත් හරිම වටිනාකමක් තියෙනවා මේ පරිවර්තන විලාශයට. පොඩ්ඩියි + බූරයි එකතු වෙලා ආපහු පටන් ගන්නවද ඊලඟ පොතත් . මේ වගේ ලස්සන පරිවතනයක් අපට කියවන්න ලබා දුන්න අවස්තාව ගැන දෙන්නටම ස්තූතිවන්ත වෙනවා.

    ජයවේවා!!!!!

    ReplyDelete
  24. ෂික් මම මේක දැක්කේ දැන්නේ !

    ආයුබෝවන් බුරානිස්.. උඹ මට බ්ලොග් ලෝකෙදි හමුවූ සොඳුරු මිනිහෙක්. දැනුම් ගබඩාවක්. ඇවිදින පොත් ගුලක්. උඹට ජය !

    කැමතිනම් විතරක් මේකට හීයක් එවපන්.

    htadis@gmail.com

    ReplyDelete
  25. මාත් ආවෙ දැං. බුරා වැනි දැනුම ගබඩාවක් යමක් ලියනවානම් එය ඉතා පොහොසත් යමක් විය යුතුයි. වහ වහා කියවන්නට පටන් ගමි.

    ReplyDelete
  26. අදයි මට මේ බ්ලොග් 1 අහම්බෙන් හමු උනේ. මං හිතන්නෙ මේක පරිවර්තය කරන්න අත්තෙ ලොකු කැප කීරීමක් කරලා. ඒ දේට ගොඩක් ස්තුතිය.. කොහොම උනත් මේ පරිවර්තය පොතක් විදියට එලි දක්වන්න තියන්වනම් ගොඩක් වටිනාකමක් එකතු වෙනව මේ කරපු කැප කිරීමට. හැකියාවක් තියනවානම් මේ කොටස් ටික ලේසියෙන් ලාගා වෙන පුලුවන් විදිහට පටුනක් ව්දිහට දාන්න. ස්තුතියි

    ReplyDelete