Friday 27 February 2015

ටිරියන් 08-1


රජමාවත පෙනෙන මානයේ වූ කුඩා කඳුගැටයක් මුදුනේ, එල්ම් ගසක සෙවනැල්ල යට, අලුත කපාහෙලන ලද පයින් දැවයෙන් නිමවූ මැස්සක් වැනි දිගු මේසයක් මත රන්වන් මේස රෙද්දක් එලා තිබුනි. සිය මන්ඩපයට මඳක් ඔබ්බෙන් වූ මේ මේසයේ අසුන්ගත් ටයිවින් උතුමානන්, ඔහුගේ ප්‍රධාන නයිට්වරුන් හා ධජ දරන යටත් වංශාධිපතියන් හා එක්ව රාත්‍රි භෝජනය සප්පායම් වන්නට විය. උසැති කුන්තයක අමුනා තිබුනු ඔහුගේ රන් හා ලේ රත් පැහැ වංශ සලකුන උඩඟු ලෙසින් මඳ පවනේ වැනෙමින් තිබින.

ටිරියන් මේසයට වාඩි වන්නට පමා වී තිබුනි. දවස පුරාම සෑදලය මතට වී සිටීම නිසා ඔහු බෙහෙවින් විඩා වැටී නොරිස්සුම් බවකින් පෙලෙමින් සිටියේය. බකල ගසමින් කුඩා කඳු ගැටය නගිද්දී තමා කෙතරම් විකාරරූපිව අන්‍යයන්ට පෙනේද යන්න ඔහු හොඳාකාරවම දැන හුන්නේය. දවසේ හමුදා පෙලපාලිය අතිශයින්ම දිගු හා වෙහෙසකර එකක් විය. අද රෑ තමා නොසෑහෙන්නට මත්පැන් පානය කරනු ඇතැයි ඔහු කල්පනා කලේය. සන්ධ්‍යාව එළඹ තිබුනු අතර අවට පරිසරය දීප්තිමත් එළි විහිදුවන කනාමැදිරියන්ගෙන් පිරී පැවතින.

සේවකයෝ මේ වනවිට මස් පලංගාන් මේසයට ගෙනඑමින් සිටියහ. සම පුපුරා රන්වන් පැහැ වනතෙක් පැළහූ ඌරු පැටවුන් පස්දෙනෙක් ඔවුන් අතින් මේසයට වැඩියහ. මේ සෑම ඌරු පැටවකුගේම මුවේ එකිනෙකට වෙනස් පළතුරක් ඔබා තිබුනි. සුවඳ කෙතරම් ප්‍රනීත වී ද යත් ටිරියන්ගේ මුවට කෙල ඉනුවේය. "මට සමාවෙන්ට." සිය මාමා පසෙකින් බංකුව මත අසුන්ගන්නා අතරේ ඔහු කීවේය.

"මම හිතන්නෙ, සමහරවිට අපේ මැරිච්ච එවුන් වලලන එක උඹට බාරදුන්නා නම් හොඳයි කියලයි ටිරියන්." ටයිවින් උතුමානන් කීවේය. "උඹ කෑම මේසෙට එන තරමටම යුද්ධෙට එන්ටත් පරක්කු වුනොත් උඹ එන වෙලාව වෙනකොට යුද්ධෙ හමාර වෙලා තියෙයි."

"ආහ්! කිසිම සැකයක් නැහැ, ඔබ මට ඔය ගම්මු කීපදෙනෙක් හරි ඉතුරු කරයි තාත්තෙ. මහ ගොඩක් ඕන නැහැ. මම එච්චරම කෑදර නැහැ‍." සිය වයින් කුසලාණ පුරවාගත් ඔහු සේවකයෙකු විසින් ඌරාව කපන ආකාරය දෙස බලා සිටියේය. පිහියට යටින් රන්වන් පැහැ වූ සම පුපුරා ගිය අතර උණසුම් ඉස්ම හෙමිහිට පහළට රූටා ගියේය. ඒ වනාහි ටිරියන් කාලයකට පසු දුටු අලංකාරතම දර්ශනය විය.

"සෙර් ඇඩම්ගෙ ඔත්තුකාරයො කියනවා ස්ටාර්ක් හමුදාව ද්විත්ව බලකොටුවෙන් පහළට ඇවිල්ලලු." සේවකයකු විසින් සිය පිඟානට ඌරු මස් පෙත්තක් බෙදන අතරේ ඔහුගේ පියා නිවේදනය කලේය. "ෆ්‍රේ උතුමානන්ගෙ හමුදාවත් උන්ට එක්කහු වෙලා. උන් අපට වඩා දවසක දුරින් උතුරේ ඉන්නවා වෙන්ට ඕන."

"අයියෝ තාත්තෙ. මම මේ කෑම කන්ටයි හදන්නෙ."

"ස්ටාර්ක් කොල්ලාට මූන දෙන්ට යනවා කියලා හිතනකොට උඹේ පිරිමි ගතිය නැතිවෙලා යනවද ටිරියන්? උඹේ අයියා ජේමි නම් ඌත් එක්ක පොර අල්ලන එක ගැන හිතනකොටත් ආසාවෙන් උඩ පනියි."

"ඊට වඩා මම කැමැතියි අර ඌරු පැටියාත් එක්ක පොර අල්ලන්ට. රොබ් ස්ටාර්ක් ඒකෙන් බාගයක්වත් මොළකැටි නැහැ. අනික එයා කවදාවත් මෙච්චර සුවඳ ගැහැවුවෙත් නැහැ."

සැමවිටම පැඟිරි කරගත් මුහුණින් සිටින පක්ෂියකු වන ඔවුන්ගේ ගබඩා හා සැපයුම් භාර නිළධාරී ලෙෆර්ඩ් උතුමානන් ඉදිරියට නැඹුරු වීය. "මම හිතනවා ඔබේ ඔය අමනාපය ඔබේ අර ම්ලේච්ඡයන්ටත් බෝවෙලා නැහැයි කියලා. එහෙම වුනොත් අපේ ආයුධ ටික අපතේ ගියා වෙනවා."

"මගේ ම්ලේච්ඡයො ටික ඔබේ ආයුධ බොහොම හොඳට පාවිච්චි කරයි මගේ උතුමානනි." ටිරියන් පිළිතුරු දුන්නේය. උල්ෆ් විසින් කඳුකර මාර්ගයේ සිට කැඳවාගෙන ආ ඔහුගේ කඳුකර ගෝත්‍රිකයින් තුන්සිය දෙනාට ආයුධ හා සන්නාහ අවශ්‍යයැයි ටිරියන් විසින් කියා සිටි අවස්ථාවේ ලෙෆර්ඩ්ගේ මුහුණින් පලවූයේ හරියටම ඔහුගේ දියණියන් ගේ කන්‍යාභාවය මේ ගෝත්‍රිකයින් ගේ සතුට වෙනුවෙන් පුද දෙන්නට ඇසුවාක් මෙනි.

ලෙෆර්ඩ් උතුමානන් රැවුවේය. "මම අද දැක්කා අර ලොමින් වැහිච්ච යෝධයාව. අර කළු වානේවලින් හදාපු දෙපැත්ත කැපෙන යුද්ධ පොරෝ දෙකක්ම ඕනෙයි කියලා කියපු එකා."

"ෂග්ගා කැමැතියි අත් දෙකෙන්ම මරන්ට තියෙනවා නම්." ටිරියන් කීවේ ඔහු ඉදිරියෙන් සේවකයකු විසින් තැබූ දුම් දමන ඌරු මස් පලංගාන දෙස බලමිනි.

"ඌ තාමත් අර ලී පොරොවත් පිටේ එල්ලන් ඉන්නවා."

"ෂග්ගා කියන්නෙ පොරෝ දෙකකට වඩා පොරෝ තුනක් හොඳයි කියලයි." ලුණු කුඩු දීසියට මහපටැඟිල්ලත් දබරැඟිල්ලත් එබූ ටිරියන් සිය මස් පෙත්ත මත ලුණු අහුරක් ඉස්සේය.

සෙර් කෙවන් ඉදිරියට නැමුනේය. "අපට පොඩි අදහසක් ආවා ඔබයි ඔබේ ඔය ම්ලේච්ඡයො ටිකයි පෙරමුණු බල ඇණියට දාන්ට."

සෙර් කෙවන්ගේ මේ 'අදහස්' වනාහි සෑමවිටම ටයිවින් උතුමානන්ගේ සිතේ පිළිසිඳ ඉන්පසු සිය සොහොයුරා වෙත සපැමිණි ඒවා විය. පිහියෙන් කුඩා මස් කැබැල්ලක් කපාගත් ටිරියන් එය සිය මුව වෙත ගෙන ආවා පමණි. ඔහු වහා එය පහත් කලේය. "පෙරමුණු බලඇණිය?" ඔහු අවිශ්වාසයෙන් යුතුව ප්‍රතිරාව නැංවීය. එක්කෝ ඔහුගේ පියාණන් සිය කුරුමිටි පුත්‍රයාගේ හැකියාවන් කෙරෙහි අලුත් අන්දමේ ගෞරවයක් ඇති කරගත්තා විය යුතුය. එසේත් නැතහොත් සදහටම සිය කුරුමිටි පුත්‍රයාගෙන් වෙන්වන්නට අදහස් කරගෙන සිටිනවා විය යුතුය. පිළිතුර මේ දෙකෙන් කොයිකදැයි තමා දන්නා බව ටිරියන්ට වැටහී ගියේය.

"උන් බොහොම බිහිසුණුයි නෙ." සෙර් කෙවන් කීය.

"බිහිසුණුයි?" තමා ගිරවෙකු මෙන් තම මාමා කියන දේම නැවත කියන බව ටිරියන් තේරුම් ගත්තේ ය. ඔහුගේ පියා පරීක්ෂාවෙන් ඔහු දෙස බලමින්, ඔහු පවසන සැම වදනක්ම කිරා බලන බව ඔහුට වැටහුනි. "මම ඔබට කියන්නම් උන් කොච්චර බිහිසුණුද කියලා. ඊයෙ රෑ, මේ සොසේජ් එකක ප්‍රශ්නයක් නිසා චන්ද්‍ර සහෝදරයෙක් ගල් කපුටෙකුට පිහියෙන් ඇන්නා. ඉතින් අද අපි කඳවුර අටවද්දි ගල්කපුටො තුන්දෙනෙක් අර මිනිහාව අල්ලගෙන උගෙ උගුරු දණ්ඩ කපලා දැම්මා. සමහරවිට උන් හිතුවද දන්නෙ නැහැ අර සොසේජ් එක ආපහු එළියට ගන්ට. මට ඒක හරියටම කියන්ට බැහැ. බ්‍රොන් බොහොම අමාරුවෙන් නවත්තගත්තෙ ෂග්ගාට ඒ මැරිච්ච මිනිහගෙ පිරිමි ඇඟ කපන්ට නොදී. ඒක ‍ලොකු වාසනාවක්. ඒ වුනත් උල්ෆ් ලේ මිල ඉල්ලනවා. කොනුයි ෂග්ගායි ඒක ප්‍රතික්ෂේප කරනවා."

"සොල්දාදුවන්ගෙ විනය හොඳ නැත්තම් ඒකෙ වැරැද්ද පැටවෙන්නෙ උන්ගෙ අණදෙන නිළධාරියාටයි." ටයිවින් උතුමානන් කීවේය.

ඔහුගේ සොහොයුරා ජේමි නම් සෑමවිටෙකම මිනිසුන් ඔහු පසුපස ගෙන්වා ගැනීමේ ආකර්ශනයකින් යුක්ත වූවකු විය. මිනිස්සු ඔහු වෙනුවෙන් දිවි පිදීමට වුව සූදානම් වූහ. එනමුදු ටිරියන්ට එවැනි කුසලතාවක් නොවීය. ඔහු මිල මුදල් ගෙවීමෙන් පක්ෂපාතිත්වය මිලදී ගත් අතර ඒ මිලදී ගත්තවුන් ගේ කීකරු බව වෙනුවෙන් බලකර සිටින්නට ඔහුට සිදුවිය. "මට වඩා ලොකු මිනිහෙකුට පුළුවන් වෙයි උන්ගෙ හිත්වලට බය කාවද්දන්ට. ඒකද ඔබ ඔය කියන්ට හදන්නෙ මගේ උතුමානනි?"

ටයිවින් ලැනිස්ටර් උතුමානන් සිය සොහොයුරා දෙසට හැරුනේය. "මගේ පුතාගෙ මිනිස්සු එයාගෙ අණට කීකරු වෙන්නෙ නැත්තම්, පෙරමුණු බලඇණිය කියන්නෙ එයාට ගැලපෙන තැනක් නෙවෙයි. එයාව පස්සට දැම්මොත් වඩා හොඳවෙයි මම හිතන්නෙ. එයාට බැරිය අපේ සැපයුම් තවලම් ආරක්ෂා කරන්ට."

"මට බොරුවට කරුනාව පෙන්නන්ට ඕන නැහැ තාත්තෙ‍." ඔහු කේන්තියෙන් කීවේය. "ඔබට බැරිනම් මට වෙන තැනක් දෙන්ට, මම ඔබේ පෙරමුණු බලඇණියට අණ දෙන්නම්."

ටයිවින් උතුමානන් සිය කුරුමිටි පුත්‍රයා දෙස නිරීක්ෂණාත්මක බැල්මක් හෙලුවේය. "මම කිවුවද අණදීමක් ගැන? උඹ සටන් කරන්නෙ සෙර් ග්‍රෙගර්ගෙ අණ යටතේ."

ඌරු මස් කැබැල්ලක් මුවට ලා ගත් ටිරියන් මොහොතක් එය සෙමින් සැපීය. එනමුදු ඊළඟ මොහොතේ කේන්තියෙන් කෙල ගසා එය බිමට විසිකර දැමීය. "මම හිතන්නෙ මට කොහෙත්ම බඩගිනි නැහැ." අදක්ෂ අයුරින් බංකුවෙන් බිමට බසිමින් ඔහු කීවේය. "මට සමාවෙන්ට මගේ උතුමනි."

හිස මඳක් ඇල කල ටයිවින් උතුමානන් ඔහුට යාමට අවසර ලබා දුන්නේය. ආපසු හැරුනු ටිරියන් ඉවතට ඇවිද යන්නට විය. කඳුගැටය පහළට බසිද්දී ඔහු පිටුපසින් එල්ල වී ඇති ඔවුන්ගේ දෑස් ඔහුට හැඟෙන්නට විය. ඔහු පසුපසින් කෑම මේසයෙන් මහත් සිනා හඬක් නැග එන්නට වූ නමුදු ටිරියන් ආපසු හැරී නොබැලුවේය. ඔවුන් සියල්ලෝම සිය ඌරු මස් කැබලි උගුරේ සිරවී මියයන්නේ නම් මැනවැයි ටිරියන් ප්‍රාර්ථනා කලේය.

* * *

සැඳෑඅඳුර දසත වෙලාගත්තේ ධජ සියල්ල අඳුරු කළු පැහැයකට හැරුනි. ලැනිස්ටර් යුධ කඳවුර ගංගාවත් රජමාවතත් අතර සැතැපුම් ගනනාවක් දුරට යනතෙක් විහිද පැවතින. දහස් ගණනක් වූ මිනිසුන්, අශ්වයින් හා ගස් අතරේ මිනිසකු අතරමං වීම පහසු දෙයක් විය. මේ මොහොතේ ටිරියන්ට ද ඒ දේම සිදු විය. ඔහු දැවැන්ත මන්ඩප දුසිමක් පමණද කඳවුරු ගිනිමැල සිය ගණනක් ද පසුකලේය. කූඩාරම් අතරේ පියෑඹු කනාමැදිරින් දිස්වූයේ ඔහු මෙන්ම වල්මත්ව ඉබාගාතේ යන තාරකාවන් මෙනි. හොඳ පදමට සුදුළූණු හා කුළුබඩු මුසු කල සොසේජ් බැදෙන සුවඳ ඔහුට දැනෙන්නට වූ අතර එයින් වූයේ ඔහුගේ හිස් උදරය තවතවත් ඇවිස්සීම පමණි. ඈත කොහේදෝ තැනක මිනිසුන් ගොරහැඩි හඬින් ග්‍රාම්‍ය ගීයක් ගයන'යුරු ඔහුට ඇසුනි. අඳුරු පැහැ සළුවකට යටින් මුළුමනින්ම නිරුවත්ව සිටි ගැහැණියක් කැකිරි පලමින් ඔහු පසුකොට දිවගියාය. ඈ පසුපසින් පන්නාගෙන පැමිණි බේබද්දා ගස්මුල්වල පය පැකිලී ඇද වැටිනි. මඳක් ඈතින් වූ කුඩා දිහපහරක් අසබඩ හෙලිධරයින් දෙදෙනෙක් එකිනෙකාට මුහුණ ලා කෙමෙන් තුනී වී යන ආළෝකය අතරේ සිය පහරවල් හා පහර වැළැකීම් පුහුණුවෙමින් සිටියෝය. ඔවුන්ගේ නිරුවත් පපු දහදියෙන් පෙඟී දිලිසුනි.

කිසිවෙක් ඔහු දෙස නොබැලීය. කිසිවෙක් ඔහු හා කතා නොකලේය. කිසිවෙක් ඔහු කෙරෙහි කිසිදු අවධානයක් නොයෙදවීය. විසිදහසක් වූ ලැනිස්ටර් පාක්ෂිකයින්ගෙන් සැදි දැවැන්ත හමුදාවක මධ්‍යයේ සිටියේ වුව ඔහු තනිවී සිටියේය.

* * *

අන්ධකාරය විනිවිද ෂග්ගාගේ සිනාහඬ ගිගුම් දෙනු ඇසුනු ඔහු ඒ හඬ පැමිණි දිශාව ඔස්සේ පියමැන්නේ ගල් කපුටන් ගේ කඳවුර වෙත පැමිණියේය. ඔහු දුටු කොරාට්ගේ පුතා කොන් ඒල් පිරි ගුරුලේත්තුවක් ඔසවා ඔහුට ආචාර කලේය. "ටිරියන් කොලුමිනිහා! වරෙන් වරෙන්. අපේ ගිනිමැලේ ගාවින් වාඩිවෙලා අපිත් එක්ක මස් කෑල්ලක් කාපන්. අපි ගොනෙක්ව පුච්චනවා."

"මට ඒ වග පේනවා කොරාට්ගෙ පුතා කොන්." කුඩා ගස්කඳක් තරම් වූ හරස් පොල්ලක ගැසූ දැවැන්ත රතු පැහැ මළසිරුර බුර බුරා නගින ගිනිජාලාවට ඉහළින් කරකැවෙමින් තිබින. ගල් කපුටන් දෙදෙනෙකු දෙපසින් හිඳ මේ මස් කුට්ටිය කරකවමින් පලහන අතරේ එයින් වැගිරුනු මේදය හා රුධිරය පහතින් වූ ගිනිදළු හා මුසුව ගියේය. "උඹලාට බොහොම ස්තූතියි! ගොනා පිච්චුනාම මට පණිවුඩයක් එවපන්කො. පෙනුන අයුරින් නම් යුද්ධාරම්භය වෙනතුරු වත් ඔහුට බලා සිටින්නට සිදුවන සැටියකි. ඔහු නොනැවතීම ඉදිරියට ගමන් කලේය.

මේ සෑම ගෝත්‍රයකටම ඊට වෙන්වූ ගිනිමැලයක් විය. කළු කණ් ඇත්තන් ගල් කපුටන් හා එක්ව අහර නොගත්තෝය. ගල් කපුටන් චන්ද්‍ර සොහොයුරන් හා එක්ව අහර නොගත්තෝය. කිසිදු ගෝත්‍රයක් පිළිස්සුනු මිනිසුන් හා එක්ව අහර නොගත්තෝය. ලෙෆර්ඩ් උතුමානන් වෙතින් ඔහු ඉල්ලාගත් චාම් කූඩාරම මේ ගිනිමැල හතර මැද්දේ එසැවී තිබුනි. බ්‍රොන් ඔහුගේ නව සේවකයින් හා එක්ව වයින් මල්ලක් හිස් කරමින් හුන්නේය. ටයිවින් උතුමානන් විසින් ඔහුගේ අවශ්‍යතා වෙනුවෙන් අස් ගොවුවකු හා සේවකයකු එවා තිබුනි. එමෙන්ම ඔහු වෙනුවෙන් සහචරයෙකු ලබාගන්නා මෙන් බලකර තිබුනි. මේ සියළුදෙන කුඩා ගිනිමැලයක නිවී යමින් තිබෙන ගිනිදළු අසබඩ අසුන්ගෙන සිටියහ. කෙසඟ, කළු පැහැ හිසකෙසැති තරුණියක් ද ඔවුන් සමග සිටියාය. ඇගේ වයස යාන්තමින් දහඅටක් පමණ වූවායැයි බැලූ බැල්මටම පෙනුනි. ටිරියන් මොහොතක් ඇගේ මුහුණ නිරීක්ෂණය කලේය. ඊළඟ මොහොතේ ඔහුගේ දෑසට ගිනිමැලයේ අළු අතර වූ මාළු ඇටකටු හසුවිනි. "උඹලා මොනවද කෑවෙ?"

"ට්‍රවුට් මයෙ උතුමානනි." ඔහුගේ නව අස් ගොවුවා පිළිතුරු දුනි. "බ්‍රොන් උංව ඇල්ලුවා."

'ට්‍රවුට්.' ඔහු සිතුවේය. 'ඌරු පැටවු. මගේ තාත්තව යකාටම ගියාදෙන්.' ඔහු දුක්මුසු අයුරින් මේ මාළු ඇටකටු දෙස බලා සිටින්නට විය. කුසගින්න නිසා ඔහුගේ උදරය පෙරලී එන්නාක් මෙන් දැනෙන්නට විය.

ඔහුගේ නව සහචරයා වූ, පොඩ්රික් පේය්න් නම් අමුතුම නමක් හිමි කොලු ගැටයා කියන්නට ආ කුමක් හෝ දෙයක් ගිලගත්තේ ය. මේ කොලුවා රජතුමාගේ අළුගෝසුවා වන සෙර් ඉලියන් පේය්න්ගේ දුරස්ථ ඤාතියකු විය... එමෙන්ම ඔහුද සෙර් ඉලියන් තරම්ම නිහඬ පුද්ගලයකු විය. එනමුදු මේ නිහඬ බව සෙර් ඉලියන්ට මෙන් දිවක් නොමැති නිසා සිදු වූවක් නොවීය. ඒ බව තහවුරු කරගන්නට ටිරියන් වරක් ඔහුට දිව දිගුකර පෙන්වන්නට යැයි කීවේය. "ආ ඇත්තටම ඒක දිවක් තමා." ඔහු එදා කීවේය. "උඹ දවසක ඉගෙනගනියි කොහොමද ඒක පාවිච්චි කරන්නෙ කියලා."

මේ මොහොතේදී ‍කොලුවාගේ සිතේ ඇති දේ පිටතට ඇදගැනීම වෙනුවෙන් වෙහෙසෙන්නට තරම් ඉවසිල්ලක් ටිරියන් වෙත නොවීය. එමෙන්ම ඔහුගේ පියා විසින් සිය නොකැමැත්තෙන්ම මේ කොලුවා ඔහු වෙතට පැමිනවූයේ යම් කුරිරු විහිළුවක් වශයෙනැයි ඔහු සැකකලේය. එබැවින් ඔහු නැවත සිය අවධානය තරුණිය දෙසට යොමුකලේය. "මේ ඒකිද?" ඔහු බ්‍රොන්ගෙන් ඇසුවේය.

ඇය සුනම්‍ය අයුරින් නැගී සිට අඩි පහක් පමණ උස් වූ තමාට පහතින් සිටි ටිරියන් දෙස බැලුවාය. "එහෙමයි මයෙ උතුමානනි. ඔබතුමා සතුටුනං ඒකිටම පුළුවන් ඒකි ගැන කතා කරන්ට."

ඔහු හිස පසෙකට ඇලකලේය. "මම ටිරියන්. ලැනිස්ටර් වංශයේ. මිනිස්සු මට කතා කරන්නෙ පුංචි යකා කියලා."

"මගේ අම්මා මට නම තිබ්බෙ ෂේ කියලා. මිනිස්සු මට කතා කරන්නෙ... නිතරම වගේ."

බ්‍රොන් සිනාසුනේය. ටිරියන්ට ද සිනාගියේය. "උඹ අකැමැත්තක් නැත්තම් කූඩාරම ඇතුළට යමන් ෂේ." ඇයට ඇතුළුවීම පිණිස ඔහු කූඩාරමේ දොර පියල්ල එසැවීය. ඇතුළට වන් ඔහු ඉටිපන්දමක් දල්වනු වස් බිම දණ නමාගත්තේ ය.

සොල්දාදුවකු ගේ ජීවිතය වනාහි යම් යම් ප්‍රතිලාභ රහිත වූවක්ම නොවේ. ඔබ කොහේ කොතැන කඳවුරක් අටවාගත්ත ද ඒ සමගින් කඳවුරු පසුපස යන ගණිකාවෝ එතැනට ඇදී එන්නෝය. අද දවසේ ගමන නිමා වූ වහා ඔහු බ්‍රොන්ව පිටත්කර හැරියේ එවැනි ගණිකාවක් සොයාගෙන එනු පිණිස විය. "මම වඩා කැමැතියි ඒකි හොඳ තරුණ එකියක් නම්. හොඳ ලස්සන මූනක් තියෙනවා නම් තවත් හොඳයි. ඒකි මේ අවුරුද්ද ඇතුළෙ දවසක් හරි නාලා තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒකි නාලා නැත්තම් නාවලා ගනින්. ඒ වගේම මතක ඇතුව ඒකිට කියාපන් මම කවුද කියන එකත්, මම කොයි වගේ කෙනෙක්ද කියන එකත්‍." ඔහුගේ පෙර සේවකයා වූ ජයික් මේ පිළිබඳව සෑමවිටම එතරම් අවධානයක් නොදැක්වූවෙකු විය. ඔවුන් විසින් සතුට සපයන්නට නියමිත උතුමානන් වහන්සේ කවරාකාරයේ කෙනෙකුදැයි මුලින්ම දුටු වේලේ මේ සමහර කෙල්ලන්ගේ දෑසේ අමුතුම ආකාරයේ බැල්මක් හටගැනෙනු ටිරියන් නිරීක්ෂණය කොට තිබින... එමෙන්ම ඒ බැල්ම නැවත දකින්නට ටිරියන් ලැනිස්ටර් කොහෙත්ම සතුටු නොවීය.

දැල්වූ ඉටිපන්දම ඉහළට එසැවූ ඔහු තරුණිය නිරීක්ෂණය කරන්නට විය. බ්‍රොන් සෑහෙන සතුටුදායක රාජකාරියක් ඉටුකොට තිබුනි. ඇය කෙසඟ, මුව ඇසින් හා කුඩා සවිමත් පයෝධරයින්ගෙන් යුතු කෙල්ලක වූවාය. ඇගේ සිනහව තුළ ලැජ්ජාවක්, අහංකාර කමක් මෙන්ම නපුරු කමක් ද සැඟව තිබුනි. ටිරියන් මීට බෙහෙවින් කැමැති විය. "මම ගවුම ගලවන්ට ද මයෙ උතුමානනි?"

"ඒක ඒ වෙලාවට පුළුවන්. උඹ අවිවාහකයිද ෂේ?"

"ඔබතුමා සතුටුනම් මයෙ උතුමානනි." ඇය බොරු ලැජ්ජාවකින් මෙන් පිළිතුරු දුන්නාය.

"මම සතුටු වෙන්නෙ උඹෙන් ඇත්ත කියැවුනොත් තමා කෙල්ලෙ."

"එහෙමයි. ඒ වුනත් එතකොට ඔබට ගාස්තුව දෙගුණයක් ගෙවන්ට වෙයි."

ඔවුන් දෙදෙන නියමෙටම පෑහෙතැයි ටිරියන්ට සිතුනි. "මම ලැනිස්ටර් කෙනෙක්. මගේ ගාව ඇති පදම් රත්තරන් තියෙනවා. ඒ වගේම උඹ තේරුම් ගනියි මම කරුනාවන්තයි, තෑගිවන්තයි කියලා... ඒ වුනත් උඹෙ ඔය කකුල් දෙක මැද්දෙ තියෙන එකට වඩා දේවල් මම උඹෙන් බලාපොරොත්තු වෙනවා. ඇත්ත මට ඒකත් ඕන තමා. උඹ මගෙත් එක්ක මගේ කූඩාරමේම ජීවත් වෙයි. මගේ කුසලාණට වයින් පුරවයි. මම විහිළු කරනකොට හිනාවෙයි. දවස අහවර වුනාම මගේ කකුල් කෙඩෙත්තුව යනකම් මගේ කකුල් දෙක අතගායි... ඒ වගේම, මම උඹව දවසක් තියාගත්තත්, අවුරුද්දක් තියාගත්තත්, ඒක කොච්චර කාලයක් වුනත් අපි දෙන්නා එකට ඉන්න ඒ කාලෙ ඇතුළත උඹ වෙන මිනිහෙක් ඇඳට ගන්ට බෑ."

"හරි. සාධාරණයි." පහතට නැමුනු ඇය දළ හණ රෙද්දෙන් කල සිය ගවොමේ වාටිය දෑතින් අල්ලා එක් සුනම්‍ය සෙලැවීමකින් එය ඉහළට ඇද හිසෙන් පන්නා ගලවා දැමුවාය. මේ ගවොමට යටින් නිරුවත් ෂේ හැර අන් යමක් නොවීය. "මයෙ උතුමානන් ඔය ඉටිපන්දම පැත්තකින් තිබ්බෙ නැත්තං එතුමා එතුමාගෙ ඇඟිලි ටික පුච්චගනියි."

ඉටිපන්දම පසෙකින් තැබූ ටිරියන් ඇගේ අතින් අල්ලා මුදු අන්දමින් ඇයව තමා වෙත ඇදගත්තේ ය. පහතට නැමුනු ඇය ඔහුගේ දෙතොල් සිපගත්තා ය. ඇගේ මුවින් මීපැණි හා කරාබුනැටි රසක් වහනය විය. ඇගේ දක්ෂ, සුනම්‍ය, පලපුරුදු අතැඟිලි විසින් ඔහුගේ ඇඳුමේ ගාංචු ගලවා දැමින.

ඔහු ඈ තුළට ප්‍රවිශ්ට වද්දී ඇය ආදරණීය කෙඳිරුමකින් හා සිහින් සතුටුදායක වෙවුලීමකින් ඔහුව පිළිගත්තා ය. ඇගේ මේ සතුට බොරු මවා පෙන්වීමක් බවට ටිරියන් සැකකලේය. එනමුදු ඇය එය කෙතරම් හොඳින් සිදුකලේද යත් ඒ ගැන සිතා වදවීම අවශය නොවීය. ටිරියන්ට එතරම්ම ගැඹුරට සත්‍යය සොයා කිමිදෙන්නට කොහෙත්ම අවශ්‍යතාවක් නොවීය‍.

* * *

සතුට ලැබීමෙන් පසුව ඇය ඔහුගේ දෝතට මැදිව නිදා සිටියදී තමාට ඇයව උවමනා කර තිබුනු බව ඔහුට තේරුම් ගියේය. ඔහුට ඇය හෝ ඈ වැනි කෙනෙකු තදින්ම උවමනා වී තිබුනි. ඔහු අවසන් වරට මෙලෙස ගැහැණියක හා රැයක් පහන් කොට මේ වනවිට වසරකට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබුනි. ඒ ඔහු රොබර්ට් රජතුමා හා සිය සොහොයුරාත් සමග වින්ටර්ෆෙල් බලා පිටව ගිය කාලයේ විය. සමහරවිට ඔහු හෙට හෝ අනිද්දා හෝ යුද්ධයෙන් මිය යනු ඇත. එසේ වුවහොත් ඔහු මිනීවලට ගෙන යන්නේ සිය පියා ගැන මතකය හෝ ලයිසා ඒරින් ගැන මතකය හෝ කැට්ලින් ස්ටාර්ක් ගැන මතකය හෝ නොව ෂේ ගැන මතකය වනු ඇත.

සිය බාහුවට තද වී තිබුනු ඇගේ පයෝධරවල මෘදු බව ඔහුට දැනුනි. එය සතුටුදායක හැඟීමක් හා දැනීමක් විය. ඔහුගේ සිතට ගීයක මතකය ගලා එන්නට විය. ඔහු සිහින්, මෘදු හඬින් සියුරුහඬ ලන්නට වූයේය.

"ඒ මොකක්ද මයෙ උතුමානනි?" ෂේ මිමිනුවාය.

"මොකුත් නෑ කෙල්ලෙ. මම පුංචි කාලෙ ඉගෙනගත්තු සින්දුවක්. එච්චරයි‍. උඹ නිදාගනින් වස්තුවෙ."

ඇගේ දෑස් පියැවී ගොස් ඇගේ හුස්ම ගැඹුරු හා ඒකාකාරී වූ පසු ඔහු හෙමිහිට ඇයට නොදැනෙන සේ, ඇගේ නින්දට බාධා නොවන සේ ඇගේ ග්‍රහණයෙන් මිදුනේය. ඉන්පසු දණගාමින් මෙන් කූඩාරමෙන් පිටතට ඇදුනු ඔහු සිය සහචරයා ගේ සිරුරට උඩින් පැන මුත්‍රා කරනු වස් කූඩාරම වටා එහි පිටුපස වූ ගස් අතරට පිය මැන්නේය.

ඔවුන් විසින් සිය අසුන් ගැටගැසූ ස්ථානයට යාබද චෙස්නට් ගසක් යට බ්‍රොන් දෙපා හරස් කර වාඩි වී සිටියේය. ඔහු මුළුමනින්ම අවදිව තෙල් ගලකින් සිය අසිපත මුවහත් කරමින් සිටියේය. මේ කුලී හේවායා අනිකුත් මිනිසුන් මෙන් නිදාගැනීම පිළිබඳ එතරම් සිත යොමන කෙනෙකු නොවීය.

"උඹ කොහෙන්ද ඒකිව හොයාගත්තෙ?" මුත්‍රා කරන අතරතුර ටිරියන් ඔහුගෙන් විමසීය.

"මම ඒකිව නයිට් කෙනෙක්ගෙන් උදුරගත්තා. ඒ යකා මේකිව දෙන්ට කොහෙත්ම කැමැති වුනේ නෑ. ඒ වුනත් උඹේ නම කිවුවහම ඌ හිත වෙනස් කරගත්තා... ඒකයි ඒ එක්කම උගේ බෙල්ලට තදවෙලා තිබ්බ මගේ කිනිස්සයි නිසා."

"නියමයි." ටිරියන් වියළි ස්වරයෙන් කීවේය. "මතක විදියට මම උඹට කිවුවේ මට කෙල්ලෙක් හොයන් වරෙන් කියලා විතරයි. මට අලුතෙන් හතු‍රො හදන්ටයි කියලා නෙවෙයි."

"ලස්සන එවුන් ඔක්කොම අරන් නෙ‍. උඹට දත් හැලිච්ච නාකිච්චියෙක් ඕන නම් මම මේකිව ආපහු අරන් යන්නම්."

ඔහු අසුන්ගෙන සිටි ස්ථානයට ටිරියන් බකල ගසමින් පියමැන්නේය. "මගේ තාත්තානම් ඕකට කියයි අහංකාරකම කියලා. උඹේ නොහික්මුන කමට දඬුවමක් විදියට උඹව පතල්වල වැඩට යවයි."

"උඹ උඹේ තාත්තා නොවිච්ච එක හොඳට ගියා. මම දැක්කා නාහෙ පුරාම බිබිළි නැගිච්ච එකියක්. උඹ ඒකිට කැමැතිද?"

"මොකක්? එහෙම කරලා මම උඹේ හදවත බිඳලා දාන්ටද?" ටිරියන් පෙරලා සමච්චල් කලේය. "මම ෂේව තියාගන්නම්. උඹ ඒකිව උදුරගත්තු නයිට්ගෙ නම මතක තියාගත්ත ද? යුද්ධෙ වෙලාවෙදි ඌව මගේ පැත්තකින් තියානොගෙන ඉන්ට මම කැමැතියි."

බ්‍රොන් බළලෙකු මෙන් සුනම්‍යව බළලෙකු මෙන් ක්ෂණිකව නැගිට සිටියේය. ඔහු මිටින් ගත් අසිපත එහා මෙහා පෙරලුවේය. "යුද්ධෙ වෙලාවෙදි මම උඹේ පැත්තකින් ඉඳියි කුරුමිට්ටො."

ටිරියන් හිස වැනීය. රාත්‍රී සුළඟ ඔහුගේ නිරුවත් සම මත උණුසුම්ව දැවටුනේය. "මාව මේ යුද්ධෙදි පරිස්සමින් බලාගනින්. එතකොට උඹට කැමැති තෑග්ගක් මගෙන් ඉල්ලගන්ට පුළුවන් වෙයි."

දිගු අසිපත දකුණතින් වමතට මාරු කල බ්‍රොන් හරස් කැපුමක් අත්හදා බැලීය. "උඹ වගේ එකෙක්ව මරලා දාන්ට කාටද ඕනවෙන්නෙ?"

"මගේ තාත්තා. එයින් එක්කෙනෙක්. එයා මාව පෙරමුණු බලඇණියට දැම්මා."

"මම එයානං මමත් ඒ දේමයි කරන්නෙ‍. ‍ලොකු පලිහක් ගත්තු පුංචි මිනිහෙක්. උඹ නිසා දුනුවායින්ට ඔළුව කැක්කුම හැදෙයි."

"මට හිතෙන්නෙ හරියට උඹ මට ප්‍රශංසා කරනවා, මට ඔල්වරසන් දෙනවා වගේ. මට පිස්සුද මන්දා."

බ්‍රොන් අසිපත කොපුවේ ලෑවේය. "ඒ ගැන කිසිම සැකයක් නෑ"

ටිරියන් නැවත සිය කූඩාරමට ඇතුළු වූ විට ෂේ සිය වැලමිට මතින් එසැවී නිදිමතයේම මිමිනුවාය. "මම නැගිටලා බලද්දි මයෙ උතුමානන් යන්ට ගිහිං."

"මයෙ උතුමානන් ඔන්න ආපහු ආවා." ඔහු ඇය පසෙකින් වැතිරුනේය.

ඔහුගේ බකල කකුල් අතරින් ගිය ඇගේ දෑත් ඔහුගේ රහසඟ පිරිමැද්දේය. "ඔවු මෙන්න එතුමා ඇවිල්ලා." ඇය ඔහුව පිරිමදිමින් කෙඳිරුවාය.

බ්‍රොන් විසින් ඇයව උදුරාගත් ඒ නයිට්වරයා පිළිබඳ ඔහු ඇගෙන් විමසීය. යම්කිසි පහත් මට්ටමේ වංශාධිපතියකු ගේ නයිට්වරයකු ගේ නමක් පිළිතුරු වශයෙන් ලැබුනි. "ඔබතුමා එයාට බය වෙන්ට ඕන නෑ මයෙ උතුමානනි." තරුණියගේ අතැඟිලි ඔහුගේ දෙපා අතර කඩිසරව වැඩකරමින් තිබින. "එයා බොහොම පුංචි මිනිහෙක්."

"එතකොට මම කවුද බොලේ? යෝධයෙක් ද?"

"අපොයි ඔවු." ඇය පුරුපුරු ගෑවාය. "මගේ ලැනිස්ටර් යෝධයා." ඊළඟ මොහොතේ ඇය ඔහුගේ සිරුර මත නැගගත් අතර ටික මොහොතක් යන තෙක් තමා සැබෑවටම යෝධයෙකු යැයි ඔහුට විශ්වාස කරන්නට සැලැස්වූවාය. ටිරියන් සිනාසෙමින් නින්දට වන්නේය...


Bronn: “Always follow a big man into battle.”
Tyrion: “And why is that?”
Bronn: “They make such splendid targets. they’ll draw the eyes of every bowman on the field.”

Wednesday 25 February 2015

ඩනේරිස් 07-2


ඝනකම මැටි බිත්තියෙන් බැඳි, කිසිදු කවුළුවක් නොමැති, මුදුනත දැවැන්ත දුඹුරු පැහැ ළූණු ගෙඩියක් වැනි ශිඛර ගෝලාර්ධයක් පිහිටි දෙවොලක් අබියස ඛාල් ඩ්‍රෝගෝ හිඳ සිටිනු ඔවුන්ට හමුවිය. ඔහු පසෙකින් ඔහුටත් වඩා උස් වූ හිස් ගොඩක් ගොඩගසා තිබුනි. බැටළු මිනිසුන් ගේ කෙටි ඊයක් ඔහුගේ උඩු බාහුව පසා කරගෙන ගොස් තිබුනි. ඔහුගේ නිරාවරණ පපුවේ වම්පස රත් පැහැයෙන් පින්තාරු කලාක් මෙන් රුධිරයෙන් පෙඟී තිබුනි. ඔහුගේ රුධිරාරක්ෂකයින් තිදෙනාද ඔහු පසෙකින් වූහ.

ඩැනීට අසුපිටින් බිමට බැසීමට ජික්වී උපකාර කලාය. සිය උදරය කෙමෙන් විශාල වද්දී, එහි බර වැඩි වද්දී ඇය අශෝභන අනම්‍ය තත්ත්වයකට පත්ව තිබුනි. ඇය ඛාල් පසෙකින් දණ නමා ගත්තාය. "මගේ ඉරයි තරුයි තුවාල වෙලා." අරඛ් තුවාලය පුළුල් නමුදු නොගැඹුරු එකක් විය. ඔහුගේ වම් කණපුඩුව සම්පූර්ණයෙන්ම කැපී වෙන්ව ගොස් තිබුනු අතර ලෙයින් පෙඟී ගිය මස් හා සම් පෙත්තක් තෙත් රෙදි කැබැල්ලක් මෙන් පපුවෙන් එල්ලා වැටුනේය.

"ඒක නිකං හීරීමක් විතරයි මගේ ජීවිතේ හඳ. ඒක ඛාල් ඕගොගෙ එක් රුධිරාරක්ෂයෙක්ගෙ අරඛ් එකෙන් වුනේ." ඩ්‍රෝගෝ පොදු බසින් ඇයට පිළිතුරු දුන්නේය. "මම ඒ වෙනුවෙන් ඌව මැරුවා. ඕගෝවත් මැරුවා."ඔහු හිස හැරවූ අතර කෙහෙරැල්ලේ බැඳි සීනු මුදු හඬින් නදදෙන්නට විය. "ඇහෙනවද? ඒ ඇහෙන්නෙ ඕගෝගෙ හඬ. ඒ වගේම එයාගෙ ඛලඛා ෆෝගෝගෙ හඬ. ඕගෝ මලාට පස්සෙ එයා ඛාල් වුනා."

"මගේ ජීවිතේ ඉරත් එක්ක හැරෙන්ටවත් කිසිම මිනිහෙකුට බැහැ. එයා තමා ලෝකය පාලනය කරන සෛන්ධවයාගෙ තාත්තා."

අසෙකු පිටින් පැමිණි ඩොත්රැකි රණකාමියෙක් මහා හදිසියකින් මෙන් අසුපිටින් බිමට පැන්නේය. ඔහු හග්ගෝට යමක් කීවද කෝපයෙන් හා වේගයෙන් බිනූ ඩොත්රැකි වදන් අල්ලාගැනීම ඩැනීට උගහට විය. දැවැන්ත රුධිරාරක්ෂකයා සිය ඛාල් දෙසට හැරෙන්නට පෙර ඩැනී වෙතට නොපහන් බැල්මක් හෙලුවේය. "මේ ඉන්නෙ මාගෝ. කෝ ජඛෝගෙ ඛාස් එකේ සෙබළෙක්. එයා කියනවා ඛලීසි එයාගෙ තෑග්ග එයාගෙන් උදුරගත්තලු. එයා නගින්ට ලෑස්තිවුන බැටළු කෙල්ල එයාගෙන් උදුරගත්තලු."

ඛාල් ඩ්‍රෝගෝගේ මුහුණ දැඩි හා නිසල වුවද ඒ කළු පැහැ දෑස් ඩැනී දෙසට යොමුවද්දී ඒවා කුතුහලයෙන් පිරී තිබුනි. "මේ කතාවෙ ඇත්ත මොකක්ද කියලා මට කියන්ට මගේ ජීවිතේ හඳ." ඔහු ඩොත්රැකි බසින් අණ දුන්නේය.

ඛාල්ට වඩා හොඳින් වටහාගත හැකි වන පරිදි ඇය තමා කල දේ ඩොත්රැකි බසින් ඔහුට විස්තර කර දුන්නාය. ඇගේ වදන් කෙටි එමෙන්ම සරල ඒවා විය.

ඇගේ කතාව නිමාවන විට ඩ්‍රෝගෝගේ මුහුණට රැවුමක් එක් වී තිබුනි. "මේ තමා යුද්ධෙ හැටි. මේ ගෑනු දැන් අපේ වහල්ලු. අපට කැමැති දෙයක් උන්ට කරන්ට අපට පුළුවන්."

"උන්ව ආරක්ෂා කරගත්තහම මට සතුටුයි‍." ඩැනී කීවේ තමා උවමනාවටත් වඩා නිර්භීත වුවාදැයි සැකසහිත වෙමිනි. "ඔබේ සෙබළුන්ට මේ ගෑනු ගන්ට ඕන නම් උන්ට මීට වඩා ශිෂ්ට විදියට ගන්ටයි කියන්ට. උන්ව තමන්ගෙ බිරින්දන් විදියට ගන්ටයි කියන්ට. උන්ටත් ඛලසාර් එකේ තැනක් දීලා උන්ට ඔබේ පුත්තු දෙන්ට."

ඛාල්ගේ රුධිරාරක්ෂකයින් අතරින් කුරිරුතම පුද්ගලයා වූ ක්වෝතෝ මහහඩින් සිනාසුනේය. "අශ්වයො කවදද බැටළුවොත් එක්ක එක්කහු වෙලා පැටවු ගැහුවෙ?"

ඔහුගේ ස්වරයේ වූ යමක් විසින් ඇයට විසේරිස්ව සිහිපත් කලේය. ඩැනී කේන්තියෙන් යුතුව ඔහු දෙසට හැරුනාය. "මකරු අශ්වයොයි බැටළුවොයි දෙගොල්ලන්ම කෑමට ගන්නවා."

ඛාල් ඩ්‍රෝගෝ සිනාසුනේය. "පේනවනෙ එයා කොච්චර බිහිසුණු විදියට වැඩිලාද කියලා. ඒ එයාගෙ ඇතුළෙ ඉන්න මගේ පුතා නිසයි. ලෝකය පාලනය කරන සෛන්ධවයා නිසයි. එයා තමා තමන්ගෙ ගින්නෙන් එයාව පුරවන්නෙ. පරෙස්සමින් කතා කරපන් ක්වෝතෝ... අම්මා උඹ ඔය ඉන්න තැනම උඹව පුච්චලා දැම්මෙ නැත්තන් එයාගෙ පුතා උඹව මඩේ දාලා පාගයි. ඒත් එක්කම උඹ මාගෝ.. උඹේ කට වහගෙන ගිහින් නගින්ට වෙන බැටළුවෙක් හොයාගනින්. මුන් දැන් අයිති මගේ ඛලීසිටයි." ඔහු ඩැනී දෙසට අතක් දිගු කිරීමට වෑයම් කලද අත එසවූ පමණින් නැගුනු හදිසි වේදනාවෙන් මැඩුනු ඩ්‍රෝගෝ වහා ඉවත බැලීය.

ඩැනීට ඔහුගේ වේදනාව දැනෙන්නාක් මෙන් විය. සෙර් ජෝරා ඇයට විශ්වාස කරන්නට සැලැස්වූවාට වඩා ඒ තුවාල දරුණු විය. "කෝ වෙද්දු?" ඇය විමසා සිටියාය. ඛලසාරය තුළ වඳ ගැහැණුන් හා නපුංසක වහලුන් වශයෙන් සුවකරන්නන් දෙකොටසක් සිටියහ‍. වඳ ගැහැණුන් හෙවත් ඔසු ගැහැණුන් විවිධාකාරයේ තරලසාර හා හදි හූණියම් මගින් සුව කිරීම් සිදුකලහ. අනත් අතට නපුංසකයෝ පිහියෙන්, ඉඳිකටුවෙන් හා ගින්නෙන් වැඩගත්තන් වූහ. "ඇයි උන් ඛාල් ගැන හොයා බලන්නෙ නැත්තෙ?"

"ඛාල් ඒ මිනිස්සු අහක යැවුවා ඛලීසි." මහලු කොහොල්ලෝ ඇයව අස්වැසීය. මේ රුධිරාරක්ෂයා ද තුවාල ලබා සිටිනු ඩැනී දුටුවාය. ඔහුගේ වම් උරහිසේ දරුණු ගැඹුරු කැපුමක් විය.

"ගොඩක් සෙබළුන්ට තුවාල වෙලා." ඩ්‍රෝගෝ මුරණ්ඩු ස්වරයෙන් කියා සිටියේය. "ඉස්සෙල්ලා උන්ට සාත්තු කරලා හිටපුවාවෙ. මේ ඊතලේ මැස්සෙක් කාපු තරම්වත් ගානක් නෑ. මේ පුංචි කැපුම මගේ පුතාට පාරට්ටු කරන්ට පුළුවන් තවත් එක තුවාල කැළැලක් විතරයි."

ඔහුගේ පපුවේ සම තුවාල වූ තැන යටින් වූ මාංශය පවා ඩැනීට පැහැදිලිව දැකිය හැකි විය. ඔහුගේ බාහුව සිදුරු කල ඊතලය දිගේ සිහින් රුධිර ධාරාවක් ගලායමින් තිබුනි. "ඛාල් ඩ්‍රෝගෝව මෙහෙම පරක්කු කරන්ට හොඳ නැහැ." ඇය නිවේදනය කලාය. "ජෝගෝ. අර නපුංසකයො ටික හොයාගෙන ඉක්මනටම මෙහාට එක්කරන් එන්ට."

"රිදී ආර්යාවනි." ඇයට පසුපසින් ගැහැණු කටහඬක් කතා කලේය‍. "මට පුළුවන් වෙයි මේ උදාර අසරු උත්තමයගෙ තුවාලවලට බෙහෙත් කරන්ට."

ඩැනී හිස හැරෙවුවාය. ඒ වනාහි ඇය විසින් දූෂකයින්ගෙන් බේරාගත් අර තර, මුක්කම් නාසයකින් හෙබි ගැහැණිය විය.

"බැටළුවොත් එක්ක නිදිවදින ගෑනුන්ගෙන් ඛාල්ට කිසිම උදවුවක් ඕන නෑ." ක්වෝතෝ ගුගුලේය. "අග්ගෝ. ඒකිගෙ දිව කපලා දාපං."

ඇගේ කෙහෙරැල්ලෙන් අල්ලාගත් අග්ගෝ උගුර මුලට පිහියක් තදකලේය.

ඩැනී අතක් එසෙවුවාය. "එපා. ඒකි අයිති මටයි. ඒකිට කතා කරන්ට ඉඩදෙන්ට."

අග්ගෝ ඇගේ මුහුණත් ක්වෝතෝගේ මුහුණත් දෙස මාරුවෙන් මාරුවට බැලුවේය. ඔහු සිය පිහිය පහත් කරගත්තේ ය.

"මම වැරැද්දක් කරන්ට හිතුවෙ නෑ නිර්භීත රණකාමියනෙ." මේ ගැහැණිය ඩොත්රැකි බස හොඳින් වහරන්නට දත්තාය. ඇය හැඳ සිටි සළුපිලි එක් කලෙකදී නම් මනාව ගෙත්තම් කර වැඩ දැමූ උසස්ම තත්ත්වයේ ලොම් ඇඳුම් විය. එනමුදු දැන් නම් ඒවා මඩ හා ලේ වැකී ඉරී වැරහැලි වී තිබුනි. ඇය සිය හැට්ටයේ ඉරීගිය රෙදි දෙපට අතින් එක්කර එයින් සිය විසල් පියයුරු ආවරණය කරගෙන හුන්නාය. "මටත් සුවකිරීම් ගැන පොඩි දැනුමක් තියෙනවා."

"උඹ කවුද?" ඩැනී ඇයගෙන් විමසුවාය.

"මගේ නම මිරී මාස් ඩූර්. මම මේ දේවාලයේ දේවදාසියක්."

"යක්දෙස්සියක්." හග්ගෝ සිය අරඛ් එක අතගාමින් උගුරෙන් පිළිකුල මුසු හඬක් නැංවීය. ඔහුගේ බැල්ම භයානක විය. එක්තරා රැයක ආහාර පිසින අතරේ ජික්වී විසින් ඇයට පවසා තිබුනු භයානක කතන්දරයකදී ඇය මේ නම අසා තිබුනි. යක්දෙස්සියන් යනු යක්ෂයින් සමග නිදිවදින, ඉතාම දරුණු ගනයේ හදිහූණියම් සිදුකරන, සිය ආත්මය යක්ෂයින්ට කැප කල නපුරු අයවලුන් විය. ඔවුන් රාත්‍රී අන්ධකාරයට මුවා වී පිරිමින් කරා පැමිණ ඔවුන්ගේ ජීවිතයත් ශක්තියත් උරාගනිති.

"මම වෙදෙක්." මිරී මාස් ඩූර් කීවාය.

"බැටළුවන්ට වෙදකම් කරපු වෙදෙක්." ක්වෝතෝ නියැවීය. "මගේ රුධිරයෙන් උපන් රුධිරය, මම කියන්නෙ අපි මේ යක්දෙස්සිව මරාදාලා නපුංසක‍යො එනකම් ඉම්මු කියලයි."

ඩැනී මේ රුධිරාරක්ෂකයා ගේ ප්‍රකාශය නොතකා හැරියාය. මේ මහලු, චාම්, තර ගැහැණිය යක්දෙස්සියක් මෙන් ඇයට නොපෙනුනි. "උඹ කොහෙන්ද මේ වෙදකම් ඉගෙනගත්තෙ මිරී මාස් ඩූර්?"

"මගේ අම්මත් දේවදාසියක්. එයා මට ඉගැන්නුවා ඔක්කොම ගීතිකා, උපචාර විදි කොහොමද අපේ මහා එඬේරාව සන්තෝස කරන්නෙ කියලා. කොහොමද ගස්වල පොතු, කොළ, ගෙඩි, මුල් අරන් පූජනීය සුවඳ දුම්, සුවඳ තෙල් හදන්නෙ කියලා. මම තරුණ කාලෙ වෙළෙඳාම් තවලමක් එක්ක සෙවනැලි දේශයේ අශයීවලට ගියා එයාලගෙ විජ්ජාකාරයින්ගෙන් තව දුරටත් ඉගෙනගන්ට. ලෝකෙ හැම රටකින්ම වාගේ නැවු එනවා අශයීවලට. ඉතින් ඒක නිසා මම ‍ගොඩක් කල් එහෙ නැවතිලා ඉඳලා එක එක මිනිස්සුන්ගෙ බේත්-හේත් ක්‍රම ගැන ඉගෙනගත්තා. ජොගෝස් නායිවලින් ආපු සඳගායිකාවක් මට කියලා දුන්නා එයාලගෙ දරුඋපත් ගීතිකා ගැන. ඔබේ මේ ඩොත්රැකි ගෑනියක් මට කියලා දුන්නා තණකොළවලයි, ඉරිඟුවලයි, අශ්වයොන්ගෙයි රහස් ගැන. ඉරබහින දේශයෙන් ආපු මේස්ටර් කෙනෙක් මළකඳක් කපලා මට පෙන්නුවා අපේ හමට යටින් මොනාද හැංගිලා තියෙන්නෙ කියලා."

සෙර් ජෝරා මෝර්මන්ට් කතාකලේය. "මේස්ටර් කෙනෙක්?"

"මාර්වින්. එයා එහෙමයි තමන්ට කියාගත්තෙ." ගැහැණිය පොදු බසින් පිළිතුරු දුන්නාය. "මුහුදෙන්. මුහුදෙන් එතෙර‍. රටවල් හතෙන්. ඉරබහින රටෙන්. මිනිස්සු යකඩින් හැදිලා තියෙන රටෙන්. මකරු පාලනය කරන රටෙන්. එයා තමා මට මේ බාසාව ඉගැන්නුවෙ."

"අශයීවල මේස්ටර් කෙනෙක්." සෙර් ජෝරා විස්මය පලකලේය. "මට කියපන් දේවදාසි, උඹේ මේ මාර්වින් මොකක්ද එයා‍ගෙ බෙල්ල වටේ පැළඳගෙන හිටියෙ?"

"දම්වැලක්. ඒක කොච්චර තදද කිවුවොත් එයාගෙ හුස්ම හිරවෙලා මැරෙයි කියලා මට හිතුනා යකඩ උතුමානනි. ඒ දම්වැල හැදිලා තිබුනෙ එක එක ජාතියෙ ලෝහවලින්."

නයිට්වරයා ඩැනී දෙස බැලුවේය. "ඕල්ඩ්ටවුන්වල සිටඩේල් එකේ පුහුණු වෙච්ච මිනිහෙකුට විතරයි එහෙම දම්වැලක් පළඳින්ට පුළුවන්. එයාලා සුවකිරීම් ගැන ගොඩක් දේවල් දන්නවා."

"ඇයි උඹට ඕන වුනේ මගේ ඛාල්ට උදවු කරන්ට?"

"මිනිස්සු හැමෝම එක රංචුවකට අයිති අයයි. අපි එහෙමයි ඉගෙනගෙන තියෙන්නෙ." මිරී මාස් ඩූර් පිළිතුරු දුන්නාය. "මහා එඬේරා මාව මේ ලෝකෙට එවලා තියෙන්නෙ බැටළුවන්ව සුවකරන්ටයි. මට එයාලා කොහෙන් හම්බවුනත් එකයි."

ක්වෝතෝ ඇයට දරුණු අතුල් පහරක් දුන්නේය. "අපි බැටළුවො නෙවෙයි යක්දෙස්සියෙ."

"ඕක නවත්තපන්." ඩැනී කේන්තියෙන් කීවාය. "ඒකි අයිති මටයි‍. ඒකිට හිංසා කරන්ට මට ඕන නැහැ."

ඛාල් ඩ්‍රෝගෝ උගුරින් නොරිස්සුම් හඬක් නැගීය. "මේ ඊතලේ පිටට ගන්ට ඕන ක්වෝතෝ."

"එහෙමයි මහා අසරුවානනි." අතුල් පහරින් රතු වූ සිය මුහුණ අතගාමින් මිරී මාස් ඩූර් පිළිතුරු දුන්නාය. "ඒ වගේම ඔබතුමාගෙ පපුවෙ තුවාලෙත් හෝදලා මහන්ට ඕන. එහෙම කලේ නැත්තං ඒක පැසවන්ට පුළුවනි."

"එහෙමනම් ඒක කරපං." ඩ්‍රෝගෝ අණකලේය.

"මහා අසරුවානනි. ම‍ගේ ආයුධ, උපකරණයි, බේත්-හේතුයි ඔක්කොම තියෙන්නෙ දේවාලෙ ඇතුළෙ. ඒක ඇතුළෙ තමා සුවකිරීමේ ශක්තිය වැඩිම."

"මම ඔබව උස්සගෙන යන්නං, රුධිරයෙන් උපන් මගේ රුධිරය." හග්ගෝ ඉදිරියට පැමිණියේය.

ඛාල් ඩ්‍රෝගෝ ඔහුව ප්‍රතික්ෂේප කලේය. "මට කිසිම මිනිහෙක්ගෙ උදවු ඕන නෑ." ඔහු දැඩි, උදාරම් හඬින් කීවේය. ඔහු කිසිවෙකුගේ උදවුවක් නොමැතිව නැගිට සිටි අතර පිරිස අතරේ උස් කුළුණක් මෙන් උසට උසේ නැගී සිටියේය. පපුවේ වූ තුවාලයෙන් අලුත් රුධිර දහරාවක් ගලා යන්නට විය. ඩැනී වහා ඔහු පසෙකට ඇවිද ගියාය. "මම මිනිහෙක් නෙවෙයි." ඇය මිමිනුවාය. "ඒක නිසා ඔබට පුළුවන් මට වාරුවෙන්ට." ඩ්‍රෝගෝ ඔහුගේ දැවැන්ත අතක් ඇගේ දසරුව මතින් තැබීය. ඇය ඔහුගේ බරින් කොටසක් දරා සිටියදී ඔවුන් දෙදෙන එකතුව මැටියෙන් කල දෙවොල වෙත ඇවිද ගියහ. ඔහුගේ රුධිරාරක්ෂකයින් තිදෙනාද ඒ පසුපසින් ඇවිද එන්නට වූහ. දෙවොලේ ද්වාරය මුරකරමින් එතැන හිඳ, ඔවුන් දෙවොල තුළ සිටින අතරේදී කිසිවෙකුටත් එය ගිනි තබන්නට ඉඩ නොදෙන්නැයි ඩැනී සෙර් ජෝරාටත් ඇ‍‍ගේ ඛාස් එකේ සෙබළුන්ටත් අණකලාය.

* * *

දෙ‍වොල ඇතුළත වූ කාමර රැසක් පසුකරමින් ගිය ඔවුහු අන්තිමේදී ගෝලාර්ධ ශිඛරයට යටින් වූ මධ්‍යම කුටියට ඇතුළු වූහ. ඉහළින් වූ සැඟවුනු කවුළුවලින් කුටියට මෘදු ආළෝකයක් පතිත වුනි. බිත්තියේ සවිකර තිබුනු ආධාරකවල වූ පන්දම් කිහිපයක් දුම් දමමින් ඇවිලෙන්නට විය. බිම මැටි පොළොව මත බැටළු සම් අතුරා තිබුනි. "අතෙන්ට." අල්තාරය ලෙසින් භාවිත වුනු, එඬේරුන් හා ඔවුන්ගේ බැටළු රංචු කැටයම් කර තිබුනු දැවැන්ත ගල් කුට්ටියට අත දිගු කරමින් මිරී මාස් ඩූර් කියා සිටියාය. ඛාල් ඩ්‍රෝගෝ ඒ මත වැතිර ගත්තේය. ගැහැණිය ගිනිකබලකට වියළි කොළ අහුරක් එක් කලෙන් කාමරය පුරවාලමින් සුවඳ ධුමයක් නැග එන්නට විය. "ඔබලා එළියෙන් නැවතිලා හිටියොත් හොඳයි." ඇය පිරිසට කීවාය.

"අපි එයාගෙ රුධිරයෙන් උපන් රුධිරය." කොහොල්ලෝ කීවේය. "අපි මෙතැනයි ඉන්නෙ."

ක්වෝතෝ මිරී මාස් ඩූර් සමීපයට පිය මැන්නේය. "මේක හොඳට මතක තියාගනිං බැටළු දෙයියන්නෙ ගෑනියෙ. උඹ ඛාල්ට මොකුත් අනතුරක් කලොත් උඹටත් ඒක ඒ විදියටම විඳින්ට වෙනවා." සතුන් හමගැසීමට භාවිත කරන පිහිය කොපුවෙන් පිටතට ඇදගත් ඔහු එය ගැහැණියට පෙන්වීය.

"එයා එහෙම මොකුත් අනතුරක් කරන එකක් නැහැ." මේ ගැහැණිය විශ්වාස කටයුතු අයෙකු යැයි ඩැනීට සිතෙන්නට පටන්ගෙන තිබුනි. කෙසේවුවද ඩැනී විසින් ඇයව ඇයගේ දූෂකයින්ගෙන් ගලවාගෙන තිබුනි.

"ඔබලාට ඉන්ටම ඕනනං, එහෙනං මට උදවු කරන්ට." මිරී රුධිරාරක්ෂකයින්ට කීවාය. "මේ මහා අසරුවා මට ආම්බාන් කරන්ට බැරිතරං ශක්තිමත්. මම ඊතලේ ඇදලා ගන්නකං එයාව අල්ල‍‍ගෙන ඉන්ට." සිය වැරහැලි වී ගිය ගවොම අත හැරිය අතර එය ඇගේ ඉණ තෙක් පහළට වැටුනි. කැටයම් කල පෙට්ටගමක් විවර කල ඇය එතුළින් විවිධාකාරයේ බෝතල්, පෙට්ටි, පිහියා හා ඉඳිකටු පිටතට ගත්තාය. මේ සියල්ලම සූදාණම් වූ පසු කටුසහිත ඊමුණ කඩා දැමූ ඇය ඊදණ්ඩ පිටතට ඇදගත්තා ය. මේ වෙදකම් අතරතුරේදී ඇය ලසාරීන්ගේ ඒකස්වර ගායන බසින් ගීතිකා මතුරන්නට වූවාය. ගිනිකබලෙහි බහා වයින් ගුරුලේත්තුවක් නටන තුරු රත්කල ඇය ඒ වයින් ඩ්‍රෝ‍ගෝගේ තුවාල මත වත්කලාය. ඛාල් ඩ්‍රෝගෝ වේදනාවෙන් ඇයට සාප කල නමුදු ඔහු වේදනාවෙන් ඇඹරුනේ තබා සෙලවුනේවත් නැත. තෙත් කොළවලින් සැදි වෙළුම් පටියකින් ඊතල තුවාලය වෙලූ ඇය ඉන්පසු පපුවේ තුවාලය වෙත සිය අවධානය යොමුකලාය. තුවාලය මත ලා-කොළ පැහැ ආලේපයක් තැවරූ ඇය නැවත සම් හා මස් පෙත්ත ඇද නියමිත ස්ථානයේ තැබුවාය. ඛාල් දත්මිටි කමින් වේදනාත්මක කෑගැසිල්ලක් මැඩගත්තේ ය. රිදී ඉඳිකටුවක් හා සේද නූල් පන්දුවක් ගත් දේවදාසිය තුවාලය මැසීමට පටන්ගත්තා ය. මේ කාර්‍යය හමාර වූ පසු ඒ මතින් නැවත වරක් රත් පැහැ ආලේපයක් තැවරූ ඇය ඊට උඩින් තවත් කොළ වර්ග තබා අන්තිමේදී බැටළු සමින් කල වෙළුම්පටියකින් තුවාලය වසා දැමුවාය. "මේ වෙළුම්පටිය දවල් දහයකුයි රෑ දහයකුයි තියෙන්ට ඕන. ඒ වගේම මම කියලා දීපු යාඥා ගීතිකා දිගටම කියන්ට ඕන." ඇය ඩ්‍රෝගෝට පැවසුවාය. "උණක් හැදෙයි. තුවාලෙ කසයි. ඒ වගේම තුවාලෙ හොඳවුනාට පස්සෙ එතැන ලොකු කැළැලක් ඉතුරුවෙයි."

ඛාල් ඩ්‍රෝගෝ නැගිට සිටි අතර හිසේ වූ සීනු නද දුන්නේය. "මගේ තුවාල කැළැලි ගැන මම සින්දු කියනවා බැටළු ගෑනියෙ." ඔහු සිය අත නවමින් දිගහරිමින් අවලාදාත්මක ස්වරයෙන් කීවේය.

"වයින් බොන්ටත් එපා පොපි යුෂ බොන්ටත් එපා." ඇය ඔහුට අනතුරු ඇඟෙවුවාය. "ඔබට වේදනාව දැනෙයි. ඒ වුනත් නපුරු ආත්මත් එක්ක සටන් කරන්ට ඔබ ඔ‍බේ ඇඟ ශක්තිමත්ව තියාගන්ට ඕන."

"මම ඛාල්." ඩ්‍රෝගෝ කීවේය. "මම වේදනාවට කෙල ගහනවා . ඒ වගේම මම කැමැති දෙයක් බොනවා. කොහොල්ලෝ, මගේ කබාය ගෙනෙන්." මහලු මිනිසා සැනෙන් පිටව ගියේය.

ඩැනී මේ ලසාරීන් ගැහැණිය දෙසට හැරුනාය. "කලින් මම අහගෙන උඹ කිවුවා දරුඋපත් ගීතිකා ගැන..."

"මම වින්නඹු කාමරේ හැම රහසක්ම දන්නවා රිදී ආර්යාවනි. මගේ අතින් මෙච්චර කාලෙකට කිසිම දරුවෙක් නැතිවෙලා නෑ."

"මගේ වෙලාවත් ලංවෙනවා. දරුවා ඉපදෙනකොට උඹ එතැන ඉන්නවානම් මම සතුටුයි. උඹ කැමැති නම්."

ඛාල් ඩ්‍රෝගෝ මහහඬින් සිනාසුනේය. "මගේ ජීවිතේ හඳ, ඔබ වහල්ලුන්ගෙන් අහන්නෙ නෑ. ඔබ උන්ට කියනවා. අණදෙනවා. ඔබ අණ කරන දෙයක් ඒකි කරයි." ඔහු අල්තාරයෙන් බිමට පැන්නේය. "එන්ට මගේ රුධිරය. අශ්වයො කතා කරනවා. මෙතැන දැන් ඉතුරුවෙලා තියෙන්නෙ අළු විතරයි. අපට පිටවෙලා යන්ට කාලෙ හරි."

හග්ගෝද ඛාල් අනුව දෙවොලින් පිටවිය. එනමුදු ක්වෝතෝ මොහොතක් පමා වූයේ මිරී මාස් ඩූර්ට දරුණු බැල්මකින් සංග්‍රහ කලේය. "මතක තියාගනිං යක්දෙස්සි. ඛාල්ට මොකක් හරි සිද්දවුනොත් උඹටත් ඒ දේම වෙයි."

"ඔබ කැමැති විදියක් අසරුවෝ." ගැහැණිය සිය බෙහෙත් බෝතල් හා ආම්පන්න එකතු කරගනිමින් පිළිතුරු දුන්නාය. "මහා එඬේරා එතුමන්ගෙ රංචුව ආරක්ෂා කරනවා."


Jorah Mormont: “You are your brother’s sister, in truth.”
Daenerys: “Viserys?”
Jorah Mormont: “No, Rhaegar.”

Monday 23 February 2015

ඩනේරිස් 07-1


සටන නිමවූ පසු ඩැනී මළකඳන් පිරුනු භූමිය අතරින් සිය රිදී වෙළඹ මෙහෙයෙවුවා ය. ඇගේ සේවිකා‍වෝ හා ඛාස් එකේ සෙබළු සිනාසෙමින්, එකිනෙකාට විහිළු කරමින් ඈ පසුපසින් ඇදී ආවෝය.

‍ඩොත්රැකියන් ගේ අසු කුර මගින් පොළොව මැඩී, රයි හා පරිප්පු වගාවන් බිමටම සමතලා වී තිබුනි. මේ අතර අරඛ් හා ඊතල මගින් නවතම වගාවක් සිටුවා එයට රුධිරයෙන් පොහොර දමා තිබුනි. මියයමින් සිටි අස්හු පසුකර යන ඇය දෙස හිස ඔසොවා බලා දුක්ඛිත අයුරින් හේෂාරවය කලෝය. තුවාල ලැබූ මිනිස්සු වේදනාවෙන් කෙඳිරිගාන්නටත් යාඥා කරන්නටත් වන්හ. බරැති පොරෝ අතින් ගත් ජඛ්ඛා ර්හාන් හෙවත් ක්ෂමාවේ දූතයෝ මේ මිනිසුන් අතර ඇවිදිමින් ඔවුන්ට සාමය ලබාදෙමින් හුන්හ. ඔවුන්ට අයත් රාජකාරිය වූයේ මියගිය හා මියයමින් සිටින්නන් ගේ හිස්ගෙඩි එකතු කරගැනීමයි. මේ ක්ෂමාවේ දූතයින්ට පසුපසින් පැමිණි කුඩා ගැහැණු ළමයින් රංචුවක් මළකඳන්වල ඇමිනී තිබුනු ඊතල ගලවාගෙන සිය කූඩා පුරවාගන්නට වූහ‍. මේ සැමටම පසුව කෙසඟ, සැමවිටම කුසගින්නෙන් පෙලෙන බලු රංචුව ඉව කරමින් පැමිණියහ. මේ ප්‍රචණ්ඩ බලු රංචුව සෑමවිටම ඩොත්රැකි සේනාවට සමීපයෙන් සිටීමට පුරුදු වී සිටියෝය.

බැටළු රංචු සැමටම පෙර මියගොස් සිටියෝය. ඔවුන් දහස් ගණනක් බිම විසිරී සිටි අතර ඒ වටා මැස්සෝ පොදි කමින් සිටියහ‍. මේ සෑම මළකඳකම ඇමිනුනු ඊතලයක් බැගින් විය. ඛාල් ඕගෝගේ සෙබළුන් විසින් මේ ඝාතන කරන්නට ඇති බැව් ඩැනී දැන සිටියාය. මරා දමන්නට ඇතිතරම් එඬේරුන් සිටියදී බැටළුවන්ට විද ඊතල නාස්ති කර දමන්නට තරම් මෝඩයෝ ඩ්‍රෝගෝගේ ඛලසාරයේ නොවූහ.

නගරය ගිනිගෙන දැවෙමින් තිබුනි. කළු පැහැ විසල් දුම් රොටු නිල් අහසට නගිමින් තිබුනි. වියළි මැටියෙන් තැනුනු බිඳීගිය නගර ප්‍රාකාර යට අසරුවෝ එහාටත් මෙහාටත් යමින් සිටියහ‍. ඔවුහු සිය දිගු කස වනමින් සටනින් නොමැරී ඉතුරු වූ මිනිසුන්ව දුම් දමන නටඹුන් අතරින් ගාල් කරමින් සිටියහ. ඕගෝගේ ඛලසාරයේ ගැහැණුන් හා දරුවන් පරාජිතව, බැම්මෙන් බැඳී නමුදු බුම්මාගත් මාන්නයකින් යුතුව ඇවිදින්නට වූහ. ඔවුන් දැන් වහලුන් වූ නමුදු ඔවුන් ඒ ගැන බිය වූ බවක් ‍පෙනෙන්නට නොතිබුනි. එනමුදු නගරවැසියන් කෙරෙහි එය වෙනස් ආකාරයේ අත්දැකීමක් විය. ඩැනීට ඔවුන් ගැන මහත් අනුකම්පාවක් දැනෙන්නට විය. මරබිය යනු කවරාකාරයේ දෙයක් දැයි ඇය හොඳින් දැන සිටියාය. හිස්, කිසිදු ප්‍රාණවත් බවක් නොමැති මුහුණින් යුතු මවුවරු සිය ඉකිබිඳින දරුවන් අතින් ඇදගෙන පැකිලෙමින් ඇවිදින්නට වන්හ. මේ අතර පිරිමින් වූයේ ඉතාම සොච්චමකි. අබ්බගාතයින්, බියගුල්ලන් හා මහල්ලන් පමණි.

මේ රාජ්‍යයේ මිනිසුන් තමන්ව ලසාරීයයන් නමින් හඳුන්වාගන්නා බැව් සෙර් ජෝරා ඇයට කියාදුන්නේය. එනමුදු ඩොත්රැකියන් ඔවුන්ව හැඳින්වුයේ හයෙශ් රාඛි හෙවත් බැටළු මිනිසුන් වශයෙනි‍. එක් කලෙකදී නම් ඩැනි ඔවුනුත් ඩොත්රැකියන් යැයි වරදවා වටහාගන්නවා ඇත. මන්ද ඔවුන්ට ද ඒ හා සමාන තඹ පැහැ සමක් හා ආමන්ඩ් හැඩැති දෑස් තිබුනු බැවිනි‍. එනමුදු දැන් ඇයට ඔවුන් ගේ වෙනස්කම් විද්‍යමාන වන්නට විය. මිටි, තරබාරු සිරුරු හා පැතැළි මුහුණු හිමිව තිබුනු ඔවුන්ගේ කළු පැහැ හිසකෙස් අසාමාන්‍ය ලෙස කෙටි කර කපන ලද්දේය. ඔවුහු බැටළුවන් බලාගන්නා එඬේරුන් හා එළවළු අනුභව කරන්නන් වූහ. ඛාල් ඩ්‍රෝගෝ පැවසූයේ ඔවුන් ගංගාවේ නැම්මෙන් දකුණේ මිනිසුන් බවයි. ඩොත්රැකි තැනිතලාවේ වූ තෘණ වර්ග බැටළුවන්ට හිතකර ඒවා නොවීය.

පිරිසෙන් මිදුනු එක් කොලුවෙක් ගංගාව දෙසට දිවයන ආකාරය ඩැනී දුටුවාය. ඔහුට අවහිර කල අසරුවෙක් ඔහුව ආපසු හැරවූ අතර තවත් සෙබළු ඔහුව වටකලෝය. ඔවුහු ඔහුගේ මුහුණට කසපහර දෙමින් ඔහුව ඒ මේ අත දුවවන්නට වූහ. එකෙක් ඔහු පසුපස අසු පන්නමින් කොලුවාගේ තට්ටම් ලෙයින් රත් පැහැ ගැන්වෙන තෙක් ඔහුට කසයෙන් තැලුවේය. තවෙකෙක් ඔහුගේ වලළුකර වටා කසය පටලවා ඇද්දෙන් කොලුවා හතරගාතයෙන් බිම ඇදවැටුනි. අන්තිමේදී, මේ කොලුවාට තවත් දුවන්නට හෝ නැගී සිටින්නට නොහැකි වූ විට, ඔහු බිම බඩගාන්නට පටන්ගත් විට මේ සෙල්ලම එපා වූ අසරුවෝ කොලුවාගේ පිට හරහා ඊයක් විද ඔහුට ශාන්තිය අත්කර දුන්නෝය.

* * *

බිඳවැටුනු නගර ද්වාරය අභිමුවදී ඇයට සෙර් ජෝරා මුනගැසුනි. ඔහු සිය මුදු දම්වැල් සන්නාහයට උඩින් තද කොළ පැහැ පිට කබායක් හැඳ සිටියේය. ඔහුගේ අත්වැසුම්, කළවා ආවරණ හා ශිරස්කය තද අඳුරු පැහැ වානේවලින් නිමියේය. මේ සන්නාහය ලාගත් විට ඩොත්රැකියන් විසින් ඔහුට බියගුල්ලෙකියි සමච්චල් කර තිබුනු නමුදු නයිට්වරයා මේ සමච්චල් පෙරලා ඩොත්රැකියන් වෙතටම එල්ලකරන්නට සමත් වී තිබුනි. වහසිබස් දෙඩවී, දිගු අසිපත හා අරඛ් එකට ගැටී තිබුනු අතර අන්තිමේදී වඩාත්ම හයියෙන් වහසිබස් දෙඩූ, සමච්චල් කල අසරුවා සිය තුවාලවලින් මියයන්නට හැරදමා තිබුනි.

ඉදිරියට පැමිණි සෙර් ජෝරා සිය ශිරස්කයේ මුව වැස්ම ඉහළට එසවීය. "ඔබේ සැමියා නගරෙ ඇතුළෙ ඔබ එනකම් බලන් ඉන්නවා."

"ඩ්‍රෝගෝට මොකුත් අනතුරක් නැහැ නේද?"

"පොඩි පොඩි කැපුම් දෙකතුනක් විතරයි‍. ඒවා ඒ හැටි ගණන් ගන්ට ඕන ඒවා නෙවෙයි. එයා අද දවසේ ඛාල්ලා දෙන්නෙක් මරලා දැම්මා. මුලින්ම ඛාල් ඕගෝව. ඊටපස්සෙ ඕගෝ මැරුනට පස්සෙ ඒ ඛලසාර් එකේ ඛාල් වුන එයාගෙ පුතා ෆෝගෝව. එයාගෙ රුධිරාරක්ෂකයො උන්ගෙ කොණ්ඩාවල ගහලා තිබුන සීනු ඔක්කොම ගලවලා දැම්මා. දැන් ඛාල් ඩ්‍රෝගෝ තියන තියන පියවරක් ගානෙ ඉස්සරටත් වඩා හයියෙන් සීනු සද්ද ඇහෙයි."

විසේරිස්ට ඔටුනු පැළැන්දූ දා පැවැති නම් තැබීමේ උත්සවයේදී ඛාල් ඕගෝත් ඔහුගේ පුතාත් දෙදෙනාම ඇගේ සැමියා හා එක්ව ගෞරවනීය උස් ආසනයේ වාඩි වී භෝජන සංග්‍රහය භුක්ති වින්දෝය. එනමුදු ඒ වයෙස් ඩොත්රැක්වල සියළු කඳුවල මාතාවගේ පාමුලදී විය. ඒ ශුද්ධ වූ නගරය තුළදී සියළුම ඩොත්රැකියන් සහෝදරයින් වූ අතර සියළුම අමනාපකම්, සටන්, ගැටුම් අමතක කර දමන ලදී. එනමුදු එයින් පිටත මේ තණපිටියේදී තත්ත්වය ඉඳුරාම වෙනස් විය. ඛාල් ඩ්‍රෝගෝ ඔවුන්ට පහර දෙද්දී ඕගෝගේ ඛලසාරය නගරයට පහර එල්ලකරමින් සිටියේය. බැටළු මිනිසුන් මේ සිදුවීම ගැන කුමක් සිතන්නට ඇත්දැයි ඩැනී විමතියෙන් කල්පනා කලාය. මැටි ප්‍රාකාරය උඩ සිට ඩ්‍රෝගෝගේ අසරු හමුදාව විසින් ඇතිකරන ලද ධූලි වලාව දෙස බලද්දී සමහරවිට තමන් විසින් දෙවියන්ට කල යාඥා සඵල වී යැයි, දෙවියන් විසින් ඔවුන්ව මුදවා ගත්තේයැයි ඔවුන් සිතන්නට ඇත.

පාරෙන් එහා පස එක් ඩොත්රැකි අසරුවෙක් ඩැනීගේ වයසේ වූ දැරියක් මළකඳන් අතර මුනින්තලා බිම ‍හොවා ඇයව දූෂණය කරමින් සිටියේය. මේ දැරිය නොනවත්වාම තියුණු සරින් ඉකිබිඳ හඬමින් සිටියාය. තවත් අසරුවෝ එතැන අසු නවත්වා බිමට බැස්සේ සිය වාරය එනතෙක් කල් මරන්නට වූහ. මේ වනාහි ඩොත්රැකියන් වෙතින් බැටළු මිනිසුන්ට පිදුනු ගලවාගැනීම විය.

'මම තමා මකරාගේ රුධිරය!' ඩැනී තමාටම පවසාගත්තේ මේ දසුනෙන් ඉවතට දෑස් හරවමිනි. දෙතොල් තද කරගත් ඇය, හදවත දැඩි කරගෙන නගර ද්වාරය දෙසට අසු මෙහෙයවීය.

"ඕ‍ගෝගෙ සෙබළු වැඩිහරිය පැනලා දිවුවා." සෙර් ජෝරා කීවේය‍. "ඒ වුනත්, අපට දහදාහක් විතර අල්ලගන්ට පුළුවන් වුනා."

'වහල්ලු!' ඩැනී සිතුවාය. ඛාල් ඩ්‍රෝගෝ විසින් ඔවුන්ව ගංගාව පහළ වූ වහල් හිමියන්ගේ මුහුදු බොක්ක අසල නගරයකට දක්කනවා ඇත. ඇයට හඬන්නට උවමනා විය. එනමුදු තමා ශක්තිමත් විය යුතු බැව් ඇය තමාටම පවසාගත්තා ය. 'මේ තමා යුද්ධය. මේ තමා ඒකෙ හැටි. මේ තමා යකඩ සිංහාසනය වෙනුවෙන් ගෙවන්ට ඕන මිල.'

"මම ඛාල්ට කිවුවා එයා මීරීන්වලට ගියානම් වඩා හොඳයි කියලා." සෙර් ජෝරා දිගටම කතාකලේය. "වහල් තවලමකින් ගෙවනවාට වඩා හොඳ ගානක් උන්ගෙන් ගන්ට පුළුවන් වෙයි. ඉල්ලීරියෝ ලියලා තිබුනා උන්ට ගිය අවුරුද්දෙ වසංගතයක් ආවයි කියලා. එහෙ ගණිකා මඩම්වලින් හොඳ නිරෝගී කෙල්ලන්ට දෙගුණයක් මිල ගෙවනවලු. අවුරුදු දහයෙන් පහළ කොල්ලන්ට තුන්ගුණයක් ගෙවනවලු. ඇති තරමක් ළමයි මේ ගමන නිසා නොමැරී ඉතුරුවුනොත් අපට හොඳ සල්ලියක් හොයාගන්ට පුළුවන් වෙයි. එතකොට අපට පුළුවන් ඕනකරන නැවු ඔක්කෝමයි ඒවායෙ සේවය කරන්ට ඕන නාවිකයොයි ඔක්කොම හොයාගන්ට."

ඔවුන්ට පිටුපසින් දූෂණයට ලක්වෙමින් සිටි තරුණිය හදවත රිදවන අන්දමේ ස්වරයකින් හඬන්නට වන්නීය. ඇගේ උස්, තියුණු වැළපීම නොනවත්වාම ඇසෙන්නට විය. ඩැනීගේ දෑත් තෝන්ලණුව තදින් මිරිකා ගති‍. ඇය සිය රිදී වෙළඹ ආපසු හැරෙවුවාය. "උන්ට ඒක නවත්තන්ටයි කියන්ට." ඇය සෙර් ජෝරාට අණ දුන්නාය.

"ඛලීසි?" නයිට්වරයා වික්ෂිප්ත වූවාක් මෙන් පෙනුනි.

"ඔබට ඇහුනානෙ මම කියපු දේ. උන්ව නවත්තන්ට‍." ඇය සිය ඛාස් එකේ සෙබළුන්ට ඩොත්රැකි බසින් ඇමතුවාය. "ජෝගෝ, ක්වාරෝ. උඹලා සෙර් ජෝරාට උදවු කරන්ට ඕන. මට ඕන මේ දුෂණ නවත්තන්ට."

සෙබළු පැටලිලි සහගත ස්වරයෙන් එකිනෙකා ගේ මුහුණු බලන්නට වන්හ.

සිය අසුට සන් කල ජෝරා ඇයට සමීප විය. "කුමාරි. ඔබට බොහොම කරුනාවන්ත හදවතක් තියෙනවා. ඒ වුනත් ඔබ මේක තේරුම් ගන්නෙ නැහැ. මෙහෙම තමා හැමදාම වැඩ සිද්ද වුනේ. මේ මිනිස්සු ඩ්‍රෝගෝ වෙනුවෙන් තමන්ගෙ ලේ හැලුවා. දැන් උන් ඒකෙ හිලවුවට තෑගි ලබාගන්නවා."

පාරෙන් එහා පස වූ තරුණිය තවමත් වැලපෙමින් සිටියාය. මුල් අසරුවා මේ වනවිට සිය කාර්‍යය නිමා කොට තිබුනු අතර තවෙකෙකු ඔහුගේ ස්ථානය ගෙන තිබුනේය.

"ඒකි බැටළු කෙල්ලෙක්." ක්වාරෝ කීවේය. "ඒකි කොහෙත්ම වැදගැම්මකට ඇති එකියක් නෙවෙයි ඛලීසි. මේ සෙබළු ඒකිට ගෞරවයක් ඔය කරන්නෙ. බැටළු මිනිස්සු කියන්නෙ බැටළුවො එක්කත් නිදිවදින ජාතියෙ මිනිස්සු‍. ඒක දන්න දෙයක්."

"ඒක දන්න දෙයක්." ඇගේ සේවිකාව ඉරී ද ප්‍රතිරාව නැගුවාය.

"ඒක දන්න දෙයක්." ඩ්‍රෝගෝ විසින් ඔහුට ලබාදුන් අළු පැහැ උස් සෛන්ධවයා පිට නැගුනු ජෝගෝද එකඟ විය. "ඒකිගෙ කෑගැහිල්ල ඔබේ කණ් දෙකට හිරිහැරයක් නං ඛලීසි, ජෝගෝ ගිහින් ඒකිගෙ දිව කපලා ඔබට අරන් එන්නං." ඔහු සිය අරඛ් එක පිටතට ඇදගත්තේ ය.

"ඒකිට අනතුරක් කරන්ට මට ඕන නැහැ." ඩැනී කීවාය. "මම ඒකිට අයිතිවාසිකම් කියනවා. මම අණ කරන විදියට කරපන්. එහෙම නොකලොත් ඛාල් ඩ්‍රෝගෝට දැනගන්ට ඕන වෙයි ඒ ඇයි කියලා."

"එහෙමයි ඛලීසි." ජෝගෝ පිළිතුරු දුන්නේය. ඔහු අසු හරවා ගත් අතර ක්වාරෝ හා අනිකුන් ඒ පසුපසු අසුන් පැන්නවූහ. ඔවුන්ගේ කෙහෙරැළිවල බැඳි සීනු නද දෙන්නට විය.

"එයාලත් එක්ක යන්ට." ඇය සෙර් ජෝරාට අණකලාය.

"ඔබේ අණ මගෙයි කුමාරි." නයිට්වරයා ඈ දෙස කුතුහලාත්මක බැල්මක් හෙලුවේය. "ඇත්තම කියනවා නම් ඔබ ඔබේ අයියාගෙම නංගි."

"විසේරිස්?" ඇයට ඔහු කියන්නක් වටහා ගත නොහැකි විය.

"නෑ. රේගාර්." ඔහු සිය අසු පිම්මේ ඉවත පැන්නවීය.

* * *

ජෝගෝ ‍කෑගසන හඬ ඩැනීට ඇසුනි. දූෂකයෝ ඔහුට සිනාසුනෝය. එක් මිනිසෙක් පෙරලා කේන්තියෙන් කෑගැසීය. ජෝගෝගේ අරඛ් එක විදුලියක් මෙන් ඉදිරියට පිනූ අතර කෑගැසූ මිනිසාගේ හිස කඳින් වෙන්ව පෙරැලී ගියේය. අනිකුත් දූෂකයින් ගේ මුවේ වූ සිනා මැකීගොස් අවලාද මතුවන්නට වූ අතර ඔවුන්ද සිය ආයුධ වෙතට අත් යැවූහ. එනමුදු ඒ වනවිට ක්වාරෝ, අග්ගෝ හා රඛාරෝ ද ඒ දෙසට ළඟා වී සිටියහ. ඇය සිය රිදී පිට වාඩිවී බලා සිටින දෙසට අතක් දිගුකරමින් අග්ගෝ කුමක්දෝ පවසනු ඇය දුටුවාය. දූෂකයෝ ද්වේශය පිරුනු දෑසින් ඇය දෙස බලාසිටින්නට වූහ. එකෙක් බිමට කෙලගැසීය. අනිකුන් කටුකුටු ගාමින් සිය අසුන් පිටට නැගී විසිර යන්නට වූහ.

මේ සියල්ල සිදුවද්දී බැටළු කෙල්ල මත නැගී සිටි දූෂකයා කිසිදු වගක්වත් නොමැතිව දිගටම සිය කාර්‍යයේ යෙදී සිටියේය. ඔහු සිය තෘප්තිය කෙරෙහි කෙතරම් සිත් අලවා සිටියේද යත් අවට සිදුවන කිසිදු දෙයක් ඔහුගේ අවධානයට හසු වී නොතිබින. අසු පිටින් බිමට බට සෙර් ජෝරා ඔහුව ගලග්‍රහයෙන් ගෙන විසිකර දැමුවේය. බිම මඩෙහි හතරගාතයෙන් ඇදවැටුනු ‍ඩොත්රැකියා ඊළඟ මොහොතේ පිහියක් අතැතිව නැගිට සිටියේය. එනමුදු අග්ගෝගේ දුන්නෙන් මිදුනු ඊයක් විසින් ඔහුව නිහඬ කෙරින. මළකඳන් අතර බිම බැවී සිටි තරුණිය අතින් අල්ලා නැගිට්ටවූ මෝර්මන්ට් සිය ලේ වැකි සළුවෙන් ඇයව ආවරණය කර ඇයව ඩැනී වෙත කැඳවාගෙන ආවේය. "එයාට මොකක් කරන්ටද ඔබට ඕන?"

තරුණිය විසල් කරගත් දෑසින් යුතුව වෙවුලමින් සිටියාය. ඇගේ හිසකෙස් රුධිරයෙන් පෙඟී එකට ඇලී තිබින. "ඩෝරියා. ඒකිගෙ තුවාලවලට බෙහෙත් දාන්ට. උඹට ඩොත්රැකියෙකුගෙ පෙනුම නැහැනෙ. ඒ නිසා සමහරවිට ඒකි උඹට බයවෙන එකක් නැහැ. අනිත් අය මගෙත් එක්ක එන්ට." ඩැනී සිය රිදී වෙළඹ බිඳ වැටුනු නගර ද්වාරය තුළින් මෙහෙයෙවුවා ය.

නගරය තුළ තත්ත්වය ඊටත් වඩා නරක් විය. නිවාස බොහොමයක් ගිනිගනිමින් තිබුනු අතර ජක්කා ර්හාන්වරුන් විසින් සිය කාර්යය නිමාකොට තිබුනි. එකිනෙක වෙලී ගිය පටු මාවත් හිස් නොමැති මළකඳන්වලින් පිරීගි‍යේය. තැනින් තැන ගැහැණුන් දූෂණයට ලක්වෙමින් සිටිනු දක්නට ලැබුනි. මේ සෑම විටෙකදීම අසු නැවතූ ඩැනී සිය ඛාස් සෙබළුන් යවා දූෂණයන් නතර කරවා ඒ ගැහැණුන් සිය වහලියන් වශයෙන් බඳවාගත්තා ය. මේ අතරින් එකියක් වූ මුක්කම් නාසයකින් යුත් සතලිස් වියේ පමණ වූ තර ගැහැණිය නිදහස් නගරවල පොදු බසින් ඩැනීව අමතමින් ඇයට ආශීර්වාද කර සිටියාය. එනමුදු අනිකුන් වෙතින් ඩැනීට ලැබුනේ නිහඬ බැලුම් පමණි. ඔවුන් ඇයව අවිශ්වාස කරන බව ඩැනී දුක්මුසු අයුරින් වටහාගත්තා ය. ඇය ඔවුන්ව මුදාගත්තේ මීට වඩා දරුණු ඉරණමකට ඇද දමනු පිණිස යැයි ඔවුන් සිතූ බවක් පෙනෙන්නට තිබුනි.

"ඔබට මේ හැමෝවම අයිති කරගන්ට බෑ දරුවො." සිවුවන වර අසු නවත්වද්දී සෙර් ජෝරා ඇයට කියා සිටියේය. ඇගේ ඛාස් සෙබළු අලුත බඳවාගත් වහලියන් ඇය පසුපසින් දක්කාගෙන එමින් සිටියහ.

"මමයි ඛලීසි. මමයි රාජධානි සප්තකයේ උරුමක්කාරයා. මමයි මකරාගෙ රුධිරය." ඩැනී ඔහුට සිහිපත් කර දුන්නාය. "මට කරන්ට පුළුවන් මොකක්ද බැරි මොකක්ද කියලා කියන එක ඔබට අයිති වැඩක් නෙවෙයි." නගරයේ ගොඩනැගිල්ලක් අග්නිජාලා හා දුම් රොටු විහිදුවමින් මහ හඬ නංවමින් කඩා වැටුනි. බියට පත් කුඩා දරුවන්ගේ හැඬුම් හා කෑගැසීම් ඇයට දුරින් ඇසුනි. ඇය සිය අසු ඉදිරියටම මෙහෙයවූවා ය.


Khal Drogo: “Moon of my life, you do not ask a slave, you tell her. She will do as you command.”

Friday 20 February 2015

ජොන් 08-2


තෑගි ලද අසිපත අතකින් ගෙන පඩිපෙළ පහළට බසින අත‍රේ මුර සෙබළු ඔහු දෙස බලා සිනාසුනෝය. "නියම කඩුවක්." එකෙක් කීය. "උඹ නියම විදියට ඒක දිනාගත්තා ස්නෝව්." තවෙකෙක් කීවේය. ජොන්ද පෙරලා ඔවුන් වෙත සිනහවක් පහල කරන්නට සමත් වූ නමුදු ඔහුගේ හදවතේ කිසිදු සන්තෝෂයක් නොවීය. තමා මේ ත්‍යාගය ගැන සතුටු විය යුතු බැව් ඔහු යටිසිතින් දැන සිටියද ඔහුට එවැන්නක් නොදැනින. ඔහුගේ තුවාල වූ අත ඇදුම්කමින් තිබුනු අතර මුවට කෝපයක තිත්ත රසය දැනෙමින් තිබුනි. එනමුදු මේ කේන්තිය කා සමගින් කුමක් අරභයා ඇතිවූවක්දැයි කියන්නට ඔහුට හැකියාවක් නොවීය.

ප්‍රධාන අණදෙන නිළධාරිතුමා දැන් සිය නිවහන වෙනුවෙන් තෝරාගෙන තිබුනු රජතුමාගේ කුළුණින් පිටතට එද්දී පිටත සිය මිතුරන් අඩ දුසිමක් පමණ අයාලේ ඇවිදිමින් සිටිනු ජොන් දුටුවේය. ධාන්‍යාගාරයේ දැවැන්ත දොරෙහි ඉලක්කයක් සලකුණු කොට දුනු විදීම පුරුදුවෙමින් සිටි බවක් පෙන්නුම් කලද ඔවුන් සැබැවින්ම වෙනත් කරුනක් වෙනුවෙන් මෙසේ රැස්වී සිටින බැව් ඔවුන් දුටු විගසම ජොන් තේරුම් ගත්තේය‍. ඔහු දොරින් මෑත් වූ වහාම පිප් හඬගෑවේය. "ආ මෙහෙ වරෙන් මෙහෙ වරෙන්. කෝ අපිටත් බලන්ට."

"බලන්ට? මොකක් බලන්ට ද?"

ටොඩ් ඉදිරියට පැමිණියේය. "උඹේ රෝස පාට තට්ටම් දෙක. වෙන මොකක්ද?"

"කඩුව යකෝ." ග්‍රෙන්ද කතාවට එක්විය. "අපට ඕන කඩුව බලන්ට."

ජොන් ඔවුන් දෙස සැකමුසු බැල්මක් හෙලීය. "ඒ කියන්නෙ උඹලා දැනගෙන හිටියද?"

පිප් විරිත්තුවේය. "උඹ හිතුවද අපි හැමෝම ග්‍රෙන් වගේ මෝඩයො කියලා?"

"උඹ මෝඩයි තමා." ග්‍රෙන් කඩා පැන්නේය. "උඹ මටත් වඩා මෝඩයි."

හෝල්ඩර් සමාව යදින ආකාරයෙන් දෙවුර ඇකිළීය. "පේට්ට ඔය කඩු මිට හදන්ට මම තමා උදවු කලේ. උඹේ යාළුවා සෑම් තමා අර රබහ මැණික් ගෙනාවෙ මෝල්ස් ටවුන් වලින්."

"ඒ වුනත්, අපි ඊටත් කලින් ඉඳලාම දැනගෙන හිටියා." ග්‍රෙන් කීවේය. "රජ් දැන් ඩොනල් නොයේට කම්මලේ වැඩවලට උදවු කරනවනෙ. නාකි වලහා පිච්චුන කඩුව නොයේට ගෙනත් දෙද්දි ඌ එතන ඉඳලා තියෙනවා."

"කඩුව." මැට් බලකර සිටියේය. අනිකුන්ද ඊට එක්වූහ. "කඩුව. කඩුව. කඩුව."

දිගුනියපහුර කොපුවෙන් මෑත්කරගත් ජොන් එය ඔවුන්ට පෙන්වීය. ඔවුන් වඩා හොඳින් එය අගය කරනු වස් එය ඒ මේ අත පෙරලමින් එහි වරුන පෙන්වීය. මලානික හිරුඑළියේ අසිපත් තලය අඳුරු මාරාන්තික දීප්තියකින් බැබලුනේය. "වැලීරියන් වානේ." ඔහු ගාම්භීර ස්වරයෙන් නිවේදනය කලේය. තමාගෙන් පලවිය යුතු ආඩම්බර ස්වරය ඊට මුසු කරන්නට ඔහු වග බලාගත්තේ ය.

"මම අහලා තියෙනවා වැලීරියන් වානේවලින් දැලිපිහියක් හදාපු මනුස්සයෙක් ගැන." ටොඩ් කීවේය. "ඌ රැවුල බාන්ට හදද්දි බෙල්ල කැපිලා මලා."

පිප් විරිත්තුවේය. "නිශාරැකුම අවුරුදු දාස්ගානක් පැරණියි. ඒ වුනත් මම කැට තියලා කියන්නම්, ස්නෝව් උතුමානන් තමා අණදෙන නිළධාරිතුමාගෙ කුළුණ ගිනිතියලා ඒකට තෑගි දිනාගත්තු පළවෙනි කළු සහෝදරයා."

කොලු රැළ සිනාසුනෝය. ජොන්ටද සිනා නොවී බැරි විය. ඇත්තෙන්ම කිවහොත් ජොන් ඇතිකල ගින්න විසින් ඒ ශක්තිසම්පන්න ශෛලමය කුළුණ සම්පූර්ණයෙන්ම විනාශ කර නොදැමීය. එනමුදු නාකි වලහා සිය නිදන කාමර වශයෙන් භාවිත කල එහි ඉහළ මාල දෙකෙහි අභ්‍යන්තරය සෑහෙන තරම් දුරට දවාලන්නට එයට හැකි වී තිබුනි. කෙසේවුවද මේ ගින්න විසින් ඔතෝර්ගේ බිහිසුණු මළකඳ දවාලන්නට සමත් වූ බැවින් කිසිවෙකුත් ඒ හානිය ගැන වද වූයේ නැත.

අර අනිත් මළකඳ ද, අතක් අහිමි මියගිය මුර සංචාරකයා ජැෆර් ෆ්ලවර්ස් ද අසිපත් දුසිමක බලය හමුවේ කීතු කීතු කර කපා විනාශ කර දැමින... එනමුදු ඊට පෙර සෙර් ජැරමි රයිකරුත්, තවත් සෙබළුන් සිවුදෙනෙකුත් මරාදමන්නට ඊට හැකිව තිබින. මළ මිනිසාගේ හිස වෙන්කරලමින් අසිපත් පහරක් එල්ල කර කාර්යය අවසන් කරන්නට සෙර් ජැරමි සමත්ව තිබූ නමුදු ඒ කවන්ධය ඔහුගේම කොපුවෙන් ඇදගත් සිරිය සෙර් ජැරමිගේ සිරුරට බස්සවා ඔහුව මරාදමන්නට සමත් විය. දැනටමත් මියගොස් තිබුනු මේ අමනුශ්‍ය සතුරන් හමුවේ ශරීර ශක්තිය හෝ ධෛර්‍යය යනු එතරම්ම වැදගත් දෙයක් නොවීය. ආයුධ හා සන්නාහ පවා එතරම් වැදගැම්මකට ඇති දෙයක් නොවීය.

මේ අඳුරු සිතුවිලි විසින් ජොන්ගේ දැනටමත් නරක මනෝභාවය තවත් අයහපත් කරන්නට සමත් වී තිබුනි. "මට හොබ්ව මුනගැහෙන්ට ඕන නාකි වලහාගෙ රෑ කෑම ගැන කතා කරන්ට." ඔහු දිගුනියපහුර නැවත කොපුවේ ලමින් ඉක්මන් ස්වරයකින් කීවේය. ඔහුගේ මිතුරන් ඔහුට හොඳක් කරන්නට සිතූවද ඔවුන් ඔහුගේ මනෝභාව ‍තේරුම්ගත්තේ නැත. ඔවුන්ට ඔහුව තේරුම්ගන්නට ද නොහැක. ඇත්තෙන්ම කිවහොත්, එය ඔවුන්ගේ වරදක් ද නොවේ. ඔවුන් ඔතෝර්ට මුහුණ දුන්නේ නැත. අර අසාමාන්‍ය නිල් පැහැ දෑසේ වූ දීප්තිය ඔවුන් දුටුවේ නැත. ඒ සීතල ඇඟිලිවල ස්පර්ෂය ලැබූයේ නැත. ගංගා නිම්නයේ මේ වනවිට ඇවිල ඇති සටන් ගැනද ඔවුන් දන්නේ නැත. ඔවුන් කෙසේ තේරුම්ගන්ට ද? හනිකට ආපසු හැරුනු ඔහු බුම්මාගත් මුහුණින් යුතුව දිගු පියවර තබමින් ඉවතට පිය මැන්නේය. පිප් ඔහුට කතා කල නමුදු ජොන් ඒ නොතකා හැරියේය.

ගින්නෙන් පසු ඔවුන් නැවතත් ඔහු පෙර පදිංචිව සිටි කඩාහැලෙන හාර්ඩින් ගේ කුළුණේ වූ කුටිය ඔහුට වාසය පිණිස ලබා දී තිබින. ගෝස්ට් දොර අබියස වකුටුව නිදා සිටි නමුදු ජොන්ගේ බූට්ස් සපත්තුවල හඬ ඇසුනු සැනින් හිස ඔසවා බැලීය. ඝෝරවාකයා ගේ රත් පැහැ දෑස් රබහ මැණික්වලටත් වඩා අඳුරු වූ අතර මිනිසුන්ට වඩා ඥානවන්ත විය. ජොන් බිම දණ නමා, වෘකයා ගේ කණ පිටුපස කසා, සිය අසිපතේ මිට ඌට පෙන්වීය. "මේ. මේ බලපන්. මේ ඉන්නෙ උඹ."

සිය අනුරුව අනුව කැටයම් කල ශිලා මිට දෙස ඉවකර බැලූ ගෝස්ට් එය ලෙවකන්නට උත්සාහ දැරීය. ජොන් සිනාසුනේය. "උඹ තමා ගෞරවයක් ලබන්ට සුදුස්සා." ඔහු වෘකයාට කීවේය... ගිම්හානයේ එක්තරා දවසක, හිම අතරින් තමා ඌව සොයාගත් අන්දම හදිසියේම ඔහුට සිහිපත් වන්නට විය. ඔවුන් අනිත් වෘක පැටවුන් රැගෙන පිටව යන්නට සැරසුනු අතර ජොන් නැවත අසු හැරවූයේ ඇසුනු සියුම් හඬක් නිසා විය. අවට සෑමතැනම වූ මිදුනු හිම අතර මේ පැටවා මුළුමනින්ම පාහේ අදෘශ්‍යමාන විය. 'එයා තනියම.' ජොන් සිතුවේය. 'රංචුවෙ අනිත් පැටවුන්ගෙන් වෙන්වෙලා. එයා වෙනස්. ඒ නිසා උන් එයාව රංචුවෙන් එලවලා.'

"ජොන්." ඔහු හිස ඔසවා බැලුවේය. සෑම්වෙල් ටාර්ලි ඔහු අසල සිටගෙන නොසන්සුන් අයුරකින් ඔහු දෙස බලා සිටියේය. සීතය නිසා ඔහුගේ දෙකොපුල් රත් පැහැ ගැන්වී තිබුනු අතර පැළැඳ සිටි ඝනකම් ලොම් හිමකබාය නිසා ඔහුව දිස්වූයේ ශීතකාලය වෙනුවෙන් නිදන්නට සූදානම් වන වලසකු මෙනි.

"සෑම්." ජොන් නැගිට සිටියේය. "මොකක්ද? උඹටත් කඩුව බලන්ට ඕනද?" අනිත් කොලුවන් ද මේ බැව් දැනසිටියා නම් සෑම් ඒ බව නොදැන සිටීමට හේතුවක් නැත.

මහත කොලුවා හිස සැලීය. "එක කාලෙක මමත් මගේ තාත්තගෙ කඩුවට උරුමක්කාරයෙක් වෙලා හිටියා. හදවතේ විනාශය. තාත්තා කීපවතාවක්ම මට ඒක අල්ලලා බලන්ට දුන්නා. ඒ වුනත් ඒ හැම වෙලාවෙම ඒක මාව බයකලා. ඒකත් වැලීරියන් වානේ. ඒක හරිම ලස්සනයි. ඒ වුනත් ඒක හරිම මුවහත්, මම බයවුනා මගේ අතින් නංගිලාට මොකුත් අනතුරක් වෙයි කියලා. දැන් ඉතින් ඒක ඩිකන්ට තමා අයිති." ඔහු දහදිය දැමූ දෑත් සළුවේ පිසදැමීය. "මම. ආහ්!.. මේස්ටර් ඒමන්ට උඹව මුනගැහෙන්ට ඕනලු."

ඒ ඔහුගේ වෙළුම්පටි අලුත් කරන්නට අවැසි වේලාවක් නොවීය. ජොන් සැකමුසු අයුරින් රවා බැලීය. "ඇයි?" සෑම්ගෙන් දිස්වූ බැගෑපත් දුක්ඛිත පෙනුමෙන්ම ඔහු පිළිතුර වටහාගත්තේ ය. "උම එයාට කිවුවා. එහෙම නේද?" ජොන් කේන්තියෙන් ඇසීය. "උඹ මට විස්තරේ කිවුවා කියලා උඹ එයාට කිවුවා නේද?"

"මම... එයා... ජොන්, මට කියන්ට ඕන වුනේ නෑ... එයාමයි ඇහුවෙ... මම හිතන්නෙ එයා දන්නවා. අපි කාටවත් පේන්නෙ නැති දේවල් එයා දකිනවා..."

"එයා අන්ධයෙක්." ජොන් සිතේ නැගි පිළිකුලින් යුතුව සැරෙන් කීවේය. "මට පුළුවන් යන පාර හොයාගන්ට. "ඇරගත් මුවින් යුතුව නලියමින් සිටි සෑම් එතැන හැර දමා ඔහු පිටව ගියේය.

* * *

කපුටු කූඩු අසල කපුටන්ට කෑම දමමින් සිටි මේස්ටර් ඒමන් සොයාගැනීමට ජොන්ට හැකිවිය. මස් කෑලි පිරවූ බාල්දියක් අතින් ගත් ක්ලයිඩස් ද ඔහුත් සමග වූ අතර ඔවුන් දෙදෙනා කූඩුවෙන් කූඩුවට යමින් සතුන්ට අහර බෙදා දෙමික් සිටියහ. "සෑම් කිවුවා ඔබට මාව මුනගැහෙන්ට ඕනයි කියලා."

මේස්ටර්වරයා හිස වැනීය. "ඔවු. ක්ලයිඩස්‍, ඔය බාල්දිය ජොන්ට දීපන්. එයා මට උදවු කරයි." කුදුගැසුනු කළු සොහොයුරා බාල්දිය ජොන් අතට බාර දී දඩිබිඩියේ ඉණිමගෙන් පහළට බැස්සේය. "ඔය මස් කෑලි කූඩුවලට වීසි කරපන්." ඒමන් ඔහුට උපදෙස් දුන්නේය. "කපුටො ඉතුරු ටික බලාගනියි."

බාල්දිය දකුණතට මාරු කල ජොන් රත් පැහැ මස් කැබැලි අතරට වමත එබීය. මහහඬින් කෑගසන්නට පටන්ගත් කපුටෝ කූඩුව තුළ එහාමෙහා පියාඹමින් ලෝස දැල්වල හැපෙමින් මහත් ගාලගෝට්ටියක් කරන්නට වන්හ. මේ මස් කැබැලි ඇඟිලි පුරුකක් තරම් කුඩාවට කපා තිබුනි. එයින් මිටක් පුරවාගත් ජොන් එය කූඩුව තුළට විසිකලේය. කපුටන්ගේ ගාලගෝට්ටිය තවත් වැඩිවන්නට විය. වඩා විශාල වූ කපුටන් දෙදෙනෙකු මස් කැබැල්ලකට පොරකද්දී උන්ගේ පිහාටු දසත විසිර ගියේය. විගස දෙවන මිටක් පුරවාගත් ජොන් එය කූඩුවට විසිකලේය. "මෝර්මන්ට් උතුමානන්ගෙ කපුටා කැමැතියි පළතුරුයි ඉරිඟු ඇටයි කන්ට."

"ඌ බොහොම දුර්ලභ කුරුල්ලෙක්. ගොඩක් කපුටො ධාන්‍ය කනවා. ඒ වුනත් උන් වැඩියම කැමැති මස් කන්ට. ඒකෙන් උන් ශක්තිමත් වෙනවා. ඒ වගේම උන් ලේ රසයට කැමැතියි. එහෙම බැලුවොත් උනුත් හරියට මිනිස්සු වගේ... මිනිස්සු වගේම හැම කපුටාම එක වගේ නැහැ."

මෙයට සුදුසු පිළිතුරක් ජොන්ට සොයාගත නොහැකි විය. එබැවින් ඒමන් තමාව කැඳවූයේ මන්දැයි සිතමින් ඔහු නිහඬවම මස් කැබැලි විසිකරන්නට විය. කිසිදු සැකයකින් තොරව මහල්ලා තමාට උවමනා තරම් වේලාව ගනිමින් අවැසි වේලාවට එය ඔහුට පවසනු ඇත. මේස්ටර් ඒමන් වනාහි ඔබට හදිසි කල හැකි මිනිසකු නොවේ. "පරෙවියොත් පුරුදු කරන්ට පුළුවන් පණිවුඩ අරන් යන්ට." ඔහු දිගටම කතා කරන්නට වන්නේය. "ඒ වුනත් කපුටා වඩා ලොකුයි. ශක්තිමත් පියාඹන්නෙක්. නිර්භීතයි. හරිම දක්ෂයි. උකුස්සන්ගෙන් බේරෙන්ට වැඩි හැකියාවක් තියෙනවා... ඒ වුනත් කපුටො කළුයි. උන් ජරාව කනවා. මළකුණු කනවා. ඒක නිසා සමහර භක්තිමත් මිනිස්සු උන්ව පිළිකුල් කරනවා. උඹ දන්නවද? ආශීර්වාද ලත් බේලර් උත්සාහ කලා ඔක්කොම කපුටො අයින්කරලා එතැනට පරෙවියො දාන්ට." මහල්ලා සිනාසෙමින් සිය අන්ධ දෑස් ජොන් දෙසට හැරවීය. "නිශාරැකුම කැමැතියි කපුටන්ට."

ජොන්ගේ අතැඟිලි බාල්දියේ ගිලී ගියේ මැණික්කටුව දක්වාම රත් පැහැ ගන්වමිනි. "ඩිවන් කියනවා වනචාරින් අපට කපුටො කියලා කියනවලු."

"ඒ කියන්නෙ අර මුන්ට වඩා ‍පොඩි කපුටො ජාතිය ගැන. උන් දෙන්නම ඥාති සහෝදරයො. උන් දෙන්නම කළුයි, පිළිකුල් කරනවා, වරදවා වටහගෙන තියෙන්නෙ."

ඔවුන් මේ කතා කරමින් සිටින්නේ කුමක් සම්බන්ධව ද, ඒ ඇයි ද යන්න දැනගන්නට ඇත්තේ නම් යැයි ජොන් කල්පනා කලේය. කපුටන් හා පරෙවියන්ගෙන් ඔහුට ඇති වැඩය කිම? මේ නාකියාට ඔහුට යමක් කියන්නට ඇත්නම් ඔහු එය කෙලින්ම නොකියන්නේ මන්ද?

"ජොන්, උඹ කවදාවත් හිතුවද ඇයි නිශාරැකුමෙ මිනිස්සු කසාද බැඳලා ළමයි හදන්නෙ නැත්තෙ කියලා?"

ජොන් දෙවුර ඇකිළීය. "නෑ." ඔහු තවත් මස් විසුරුවා හැරියේය. ඔහුගේ වමතේ අතැඟිලි රුධිරය නිසා සෙවෙල සහිත විය. ඔහුගේ දකුණත බාල්දියේ බරින් මිරිකෙන්නට විය.

"එහෙම කරන්නෙ උන්ට ආදරේ කරන්ට බැරි වෙන්ටයි. මොකද ආදරේ කියන්නෙ ගෞරවයේ විනාශය. රාජකාරියේ මරණය."

මෙය එතරම්ම ජොන්ගේ සිතට කා වැදී නොගියේය. එනමුදු ඔහු කිසිවක් නොකියා නිහඬ විය. මේස්ටර්වරයා සියක් වසරක් වයස් ගතවූවකු වන අතර නිශාරැකුමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. ඔහු කියන්නකට එදිරි වීම තමන්ට ගැලපෙන්නක් නොවේ.

මහල්ලාට ඔහුගේ දෙගිඩියාව තේරුනාක් මෙනි. "මට කියහන් ජොන්. අවාසනාවකට වගේ එක දවසක් ආවොත් උඹේ තාත්තට තෝරගන්ට තමන්ගෙ ගෞරවයයි එයා ආදරේ කරන අයයි අතරින් එකක්, එයා මොකක් කරයිද?"

ජොන් මොහොතක් අතීරණයෙන් පෙලුනේය. එඩාර්ඩ් උතුමානන් කෙදිනකවත් තමන්ගේ ගෞරවය නැති කරනොගන්නා බවත්, ආදරය වෙනුවෙන් හෝ එවැනි දෙයක් කරන්නට නොසිතන බවත් කියන්නට ඔහුට උවමනා විය. එනමුදු ඔහු තුළ වූ යම් සිහින් කටහඬක් ඔහුට කෙඳිරීය. 'එයා අවජාකතයෙකුට තාත්තා වුනා. ඒකෙ තියෙන ගෞරවය මොකක්ද? එතකොට උඹේ අම්මා? අම්මා වෙනුවෙන් එයාගෙ යුතුකම් කෝ? එයා අඩුමගානෙ අම්මගෙ නමවත් කියන්නෙ නෑ.' "එයා හරියි කියලා හිතෙන දේ කරයි. මොන දේ වුනත්."

"එහෙමනම් ඉතින් එඩාර්ඩ් උතුමානන් කියන්නෙ මිනිස්සු දහදාහකින් එක්කෙනෙක්. අපි ගොඩක් දෙනෙක් එච්චර ශක්තිමත් උදවිය නෙවෙයි. ගෑනියෙකුගෙ ආදරේ එක්ක සංසන්දනය කරලා බලද්දි ගෞරවය කියන්නේ මොන කෙහෙල්මලක් ද? උඹේ අත්දෙකට මැදිවෙලා ඉන්න අලුත ඉපදුන පුංචි එකෙක් එක්ක බලද්දි රාජකාරිය කියන්නෙ මොන මගුලක් ද? එහෙමත් නැත්තම් සහෝදරයෙක්ගෙ හිනාවත් එක්ක බැලුවොත්? එතකොට ඒවා නිකංම නිකං වචන ටිකක් විතරයි. නිකං හුළං පාරක ගහගෙන යන වචන ටිකක් විතරයි. අපි නිකංම නිකං මිනිස්සු. දෙවිවරු අපිව මවලා තියෙන්නෙ ආදරේ කරන්ට. ඒක තමා අපේ ලොකුම ජයග්‍රහණය. ඒ වගේම අපේ ලොකුම ශෝකාන්තය."

"මේ නිශාරැකුම ගොඩ නංවපු මිනිස්සු දැනගෙන හිටියා උතුරෙන් එන නපුරු අන්ධකාරයෙන් මේ රාජධානිය ආරක්ෂා කරන්ට තියෙන එකම පලිහ උන්ගෙ ධෛර්‍යය විතරයි කියලා. උන් දැනගෙන හිටියා උන්ගෙ අධිෂ්ටානය වෙනස් නොවී තියාගන්ට ඕන නම් උන්ගෙ පක්ෂපාතිත්වය, උන්ගෙ ලැදිකම හතර අතේ බෙදලා දාන්නෙ නැතුව එක තැනකට යොමුකරලා තියාගන්ට ඕනමයි කියලා. එහෙම වුනොත් උන්ගෙ අධිෂ්ටානය දුර්වල වෙනවා. ඉතින් ඒක නිසා උන් දිවුරුමක් දුන්නා කවදාවත් කසාද බඳින්නෙ නෑ, කවදාවත් ළමයි හදන්නෙ නෑ කියලා."

"ඒ වුනත් උන්ට සහෝදරයො හිටියා. සහෝදරියො හිටියා. උන්ට උපත දුන්න අම්මලා හිටියා. උන්ට නම් දුන්න තාත්තලා හිටියා. උන් ආවෙ හැම වෙලාවෙම එකාට එකා සටන් කරමින් හිටිය රාජධානි සිය ගානකින්. ඒ වගේම උන් දැනගෙන හිටියා කාලයත් එක්ක දේවල් වෙනස් වෙන්ට පුළුවන්, නමුත් මිනිස්සු වෙනස් වෙන්නෙ නෑ කියලා. ඒක නිසා උන් තවත් දිවුරුමක් දුන්නා, තමන් රකින්ට ප්‍රතිඥා දීලා තියෙන මේ රාජධානිවල අභ්‍යන්තර අරගලවලට මැදිහත් වෙන්නෙ නෑ කියලා."

"උන් මේ දිවුරුම රැක්කා. ජයග්‍රාහක ඒගන් කළු හැරෙන්ව මරලා දාලා රාජධානිය උදුරගත්තු වෙලාවෙ නිශාරැකුමෙ අණදෙන නිළධාරියා වෙලා හිටියෙ කළු හැරෙන්ගෙ සහෝදරයා. එයා යටතෙ දහදාහක් සෙබළු හිටියා. ඒ වුනත් එයා යුද්ධෙට ගියේ නැහැ. මේ රාජධානි සප්තකය ඇත්තටම වෙන් වෙන් රාජධානි හතක් වෙලා තිබුන කාලෙ උන් තුන් හතරදෙනෙක් යුද්ධ නොකර හිටපු පරම්පරාවක් තිබුනෙ නැති ගානයි. ඒ වුනත් නිශාරැකුම කාගෙවත් පැත්තක් ගත්තෙ නැහැ. අන්දාල්වරු පටු මුහුද තරණය කරලා ඇවිල්ලා මුල් මිනිස්සුන්ගෙ රාජධානි විනාශ කර කර යනකොට මේ වැටිච්ච රජවරුන්ගෙ පුත්තු තමන්ගෙ දිවුරුමට පක්ෂපාතීව තමන්ගෙ නියමිත තැන වෙච්ච ප්‍රාකාරෙටම වෙලා හිටියා. එහෙමයි ඒක හැමදාමත් වුනේ. උඹට ගණන් කරන්ටත් බැරි තරම් කාලාන්තරයක් තිස්සෙ එහෙමයි වුනේ. ඒ තමා ගෞරවය වෙනුවෙන් ගෙවන්ට වෙච්ච මිල."

"බයගුල්ලෙකුටත් පුළුවන් අනිත් ඕනම මිනිහෙක් තරමටම නිර්භීත වෙන්ට. බයවෙන්ට වෙන කිසිම කාරණයක් නැත්තම්‍. අපි හැමෝම අපේ රාජකාරිය අකුරටම ඉටුකරනවා ඒ වෙනුවෙන් මිලක් ගෙවන්ට සිද්ද වුනේ නැති වෙලාවට. එතකොට නම් හිතෙන්නෙ මේ ගෞරවය වෙනුවෙන් වැඩ කරන එක කොච්චර ලේසිද කියලයි. ඒ වුනත් ඉක්මනටම හරි පස්සෙ හරි හැම මිනිහෙකුටම එනවා දවසක්, ඒක තවදුරටත් ලේසි වැඩක් වෙන්නෙ නැති. දවසත් එනවා එයාට තෝරාගැනීමක් කරන්ට සිද්දවෙන."

සමහර කපුටෝ තවමත් අහර බුදිමින් සිටියහ. ඔවුන්ගේ හොටවලින් දිගැති මස් කැබැලි එල්ලෙමින් තිබුනි. එනමුදු අනික් කපුටන් සියල්ලක්ම තමා දෙස බලා සිටින්නාක් මෙන් ජොන්ට හැඟුනි. මේ පුංචි කළු පැහැ දෑස් සියල්ලම එකතු වී තමා මත මහත් බරක් පටවන්නාක් මෙන් ඔහුට දැනුනි. "ඉතින් අද තමා මගේ දවස... ඒකද ඔබ ඔය කියන්ට හදන්නෙ?"

මේස්ටර් ඒමන් හිස හරවා ඒ අන්ධ කිරි සුදු පැහැ දෑසින් ඔහු දෙස බැලුවේය. එය හරියටම ඔහු සිය සම විනිවිද ගොස් හදවත පතුළ අත ගා බලන්නාක් මෙන් විය. තමා නිරුවතින් ඔහු ඉදිරියේ සිටගෙන ඉන්නාක් වැනි හැඟීමක් ජොන්ට දැනෙන්නට විය. දෑතින්ම මස් බාල්දිය ඔසවාගත් ඔහු ඉතුරු වී තිබුනු මස් සියල්ලම කූඩුව තුළට විසිකර දැම්මේය. මස් කැබැලිත් රුධිරයත් දසත විසිර ගියේය. කපුටෝ වහා විසිර ගියේ මහහඬින් කරවු කරමින් සීසීකඩ පියාඹන්නට වන්හ. ජොන් හිස් බාල්දිය බිම අත් හැරියේය.

මහල්ලා වියළි, පුල්ලි වැටුනු අතක් ඔහුගේ දසරු‍ව මත තැබුවේය. "ඒක වේදනාවයි කොල්ලො." ඔහු මෘදු ස්වරයෙන් කීය. "ආහ්! ඔවු. තෝරාගැනීම කියන්නෙ හැම වෙලාවෙම වේදනාවක්. මම දන්නවා ඒක හැමදාමත් එහෙම වුනා. හැමදාමත් එහෙම වේවි."

"ඔබ දන්නෙ නෑ." ජොන් කටුක ස්වරයෙන් කීය. "කිසිම කෙනෙක් දන්නෙ නෑ. මම එයාගෙ අවජාතකයා වුනත් එයා තාමත් මගේ තාත්තා..."

මේස්ටර් ඒමන් සුසුමක් හෙලීය. "මම උඹට කියාපු කිසිම දෙයක් උඹ අහගෙන නෙවෙයිද හිටියෙ ජොන්? උඹ හිතන්නෙ ඕකට මූනදුන්න පළවෙනියා උඹයි කියලද?" ඔහු සිය මහලු හිස දෙපසට වැනුවේ හරියටම වදනින් කියාගත නුහුන යමක් කියන්නට තැත් කරන්නාක් මෙනි. "දෙවිවරු මගේ දිවුරුම තුන් පාරක් පරීක්ෂා කරලා බැලුවා. එකපාරක් මම පොඩි කොල්ලෙක් කාලෙ. තව පාරක් මම හොඳට වැඩුන මිනිහෙක් වෙලා ඉන්දැද්දි. අනිත් පාර මම නාකි වෙලා ඉන්දැද්දි. ඒ වෙනකොට මගේ ශක්තිය නැතිවෙලා ගිහිල්ලයි තිබුනෙ. මගේ ඇස් දෙක දුර්වල වෙලයි තිබුනෙ. ඒ වුනත් ඒ අන්තිම පරීක්ෂාව අර මුල්ම පරීක්ෂාව තරම්ම වේදනාවක් ගෙනාවා. ඒ අන්තිම තෝරාගැනීම අර මුල්ම තෝරාගැනීම තරම්ම ක්‍රෑර වුනා. මගේ කපුටො දකුණෙ ඉඳන් පණිවුඩ අරන් ආවා. උන්ගෙ පියාපත්වලටත් වඩා අඳුරු ආරංචි. මගේ වංශයේ විනාශය. මගේ නෑයින්ගෙ මරණ. අපකීර්තිය. වියෝගය. මට මොකක්ද කරන්ට පුළුවන්? නාකියි, අන්ධයි, දුර්වලයි. මම හරියට කිරිබොන දරුවෙක් ගානට අසරණ වුනා. අනාථ වුනා. ඒ වුනත් ඒ දේවල් වෙන අතරෙදි මෙහෙම මුල්ලකට වෙලා කාටත් අමතක වෙලා ඉන්ට සිද්දවෙච්ච එක ගැන මට මහ කණගාටුවක් ඇතිවුනා. උන් මගේ මල්ලිගෙ අර අසරණ මුනුබුරාගෙ බෙල්ල කපලා මරද්දි, එයාගෙ පුතාවත් මරද්දි, ඒ පුතාගෙත් පුංචි දරුවො පවා මරද්දි..."

මහල්ලාගේ දෑසේ දිදුලන කඳුළු බිඳු දැකීමෙන් ජොන් තිගැස්සුනේය. "ඔබ කවුද?" ඔහු මෘදු ස්වරයෙන්, තැතිගැන්මෙන් යුතුව ඇසීය.

වියළි දෙතොල් මත දත් නැති සිනාවක් මතුවිය. "මම සිටඩේල් එකේ නිකංම නිකං මේස්ටර් කෙනෙක් විතරයි. කළු බලකොටුවටත් නිශාරැකුමටත් සේවය කරන්ට බැඳුන සේවකයෙක් විතරයි. අපේ නිකායෙ සම්ප්‍රදාය අනුව දිවුරුම් දීලා මේ දම්වැල කරේ දාගන්න දා ඉඳන් අපි අපේ පෙළපත් නම් අත ඇරලා දානවා." මහල්ලා සිය කෙසඟ ගෙල වටා ලිහිල්ව එල්ලා වැටුනු දම්වැල අතපත ගෑවේය. "මගේ තාත්තගෙ නම මේකර්. ඒ නමින් හිටිය පළමුවෙනියා. එයාගෙන් පස්සෙ මගේ මල්ලි ඒගන් රජවුනා මම වෙනුවට. මගේ සීයා මට නම දැම්මෙ මකර නයිට්වර ඒමන් කුමාරයා මතක් වෙන්ට කියලයි. ඒ එයා‍ගෙ මාමා. එහෙමත් නැත්තම් එයාගෙ තාත්තා. ඒක තීරණය වෙන්නෙ උඹ මොන කතාව විශ්වාස කරනවද කියන එක උඩ. ඒමන්. එහෙමයි එයා මට නම දැම්මෙ..."

"ඒමන්... ටාර්ගේරියන්?" ජොන්ට තම දෙසවන් අදහාගැනීමට නොහැකි විය.

"එකමත් එක කාලෙක." මහල්ලා කීවේය. "එකමත් එක කාලෙක. ඉතින් දැන් උඹට පේනවනෙ. මමත් ඔය දේවල් ගැන දන්නවා... මම උඹට කියන්නෙ නෑ ඉන්ටයි කියලා. මම උඹට කියන්නෙ නෑ යන්ටයි කියලත්. ඒ තීරණය උඹ විසින්මයි ගන්ට ඕන. ඊටපස්සෙ ඒ ගත්තු තීරණයත් එක්ක උඹේ ඉතුරු ජීවිතකාලෙම ගෙවලා දාන්ට ඕන. හරියට මම කලා වගේ." ඔහුගේ කටහඬ සිහින් වී ගොස් මිමිනුමක් බවට පත්වූයේය. "හරියට මම කලා වගේ..."


Jeor Mormont: Eight thousand years is a good while, to be sure... yet if the Night’s Watch does not remember, who will?”

Wednesday 18 February 2015

ජොන් 08-1


"උඹට දැන් හොඳයි ද ස්නෝව්?" මෝර්මන්ට් උතුමානන් පැඟිරි කරගත් මුහුණෙන් යුතුව විමසුවේය. "හොඳයි!" ඔහුගේ කපුටා කෑගැසීය. "හොඳයි!"

"එහෙමයි මගේ උතුමානනි." ජොන් බොරුවක් කීවේ එයින් තත්ත්වය යහපත් අතට හැරේයැයි සිතුවාක් මෙනි. "ඔබට කොහොමද?"

මෝර්මන්ට් බැම ඇකිළීය. "මැරිච්ච මිනිහෙක් මාව මරන්ට හැදුවා. ඉතිං කොහොමද බං මම හොඳින් වෙන්නෙ?" ඔහු සිය නිකට යට කැසුවේය. ඔහුගේ පෙර පැවැති පුළුල් අළු පැහැ රැවුල ගින්නට හසුව පිළිස්සී ගිය බැවින් ඔහුට එය බූ ගා දැමීමට සිදුවිය. අලුත වැවුනු රැවුල් කොට විසින් ඔහුට වඩාත් මහලු, ගර්භිත හා නොඉවසිලිවන්ත පෙනුමක් ලබා දී තිබුනි. "උඹ හොඳින් කියලා පේන්නෙ නම් නැහැ. කොහොමද උඹේ අත?"

"තුවාල ටික ටික හොඳ වෙනවා." වෙළුම් පටි යෙදූ සිය අතැඟිලි ඔහුට පෙනෙන සේ ජොන් අත එසැවීය. එදා අර ගිනිගත් තිර රෙදි ඔසවා විසිකරද්දී සිතුවාටත් වඩා තදින් ඔහුව පිළිස්සී තිබූ අතර දකුණත වැලමිට අසලට යනතෙක්ම වාගේ සේද රෙද්දෙන් කල වෙළුම්පටිවලින් ඔතා තිබුනි. ඒ මොහොතේදී ඔහුට කිසිවක් නොදැනුනු නමුදු පසුව පැමිණි වේදනාව දරාගත නොහැකි තරම් අතිමහත් විය. ඔහුගේ සම පිපිරී ඉස්ම ගලා එන්නට වූ අතර ඇඟිලිවල කැරපොත්තන් තරම් විසල් ලේ බිබිළි නැග එන්නට විය. "මේස්ටර් කිවුවා තුවාල කැළැල් දිගටම තියෙයි කියලා. ඒ වුනත් අත නම් කලින් තිබුන ගානටම හොඳවෙයි කියලා කිවුවා."

"තුවාල කැළැල් කියන්නෙ මහ ලොකු දෙයක් නෙවෙයි. අනික උඹ ප්‍රාකාරෙදි කොහොමත් අත්වැසුම් දාගෙනනෙ ඉන්නෙ."

"එහෙමයි මගේ උතුමානනි." ජොන් වදවූයේ මේ තුවාල කැළැල් නිසා නොවේ. වෙනත් දේ නිසාය. මේස්ටර් ඒමන් විසින් ඔහුට පොපි යුෂ ලබා දුන්නේය. එනමුදු වේදනාව ඉසිලිය නොහැකි තරම් විය. මුලදී ඔහුගේ අත දිවා රෑ නොතකා ඇදුම් දුන්නේ හරියටම එය තවමත් ගිනිදැල් වලින් වෙලී පවතින්නාක් මෙනි. හිම සහ සූරාගත් අයිස් කැබැලි පිරවූ බේසමකට අත ඔබාගෙන සිටීමෙන් පමණක් මඳ අස්වැසිල්ලක් ලබන්නට ඔහුට හැකිවිය. මේ වේදනාව නිසා තමා ඉකිබිඳිමින්, නිදි ඇ‍දේ එහාමෙහා පෙරලෙමින් සිටි අයුරු දකින්නට තමා අසල සිටියේ ගෝස්ට් පමණක් වීම ගැන ඔහු දෙවිවරුන්ට ස්තූතිවන්ත වූයේය. අන්තිමේදී නින්ද ඔහු වෙත පැමිණි විට ඔහු සිහින දකින්නට පටන්ගත් අතර එය සෑම දෙයකටම වඩා දරුණු විය. මේ සිහින තුළදී ඔහු හා පොරබැදි මළකඳට නිල් දෑසක්, කළු පැහැ දෑතක් හා සිය පියාගේ මුහුණ පිහිටා තිබුනි. එනමුදු මේ දේවල් මෝර්මන්ට් හා පවසන්නට තරම් ඔහු නිර්භය නොවීය.

"ඩිවනුයි හේකුයි ඊයෙ රෑ ආපහු ආවා. උන් දෙන්නට උඹේ බාප්පා ගැන කිසිම සලකුණක් හොයාගන්ට බැරිවෙලා. අනිත් එවුන් හොයාගත්තට වඩා වැඩියමක් නෑ."

"මම දන්නවා." සිය මිතුරන් හා එක්ව රාත්‍රී ආහාරය ගනු පිණිස ජොන් ප්‍රධාන ශාලාව වෙත ගොස් තිබුනි. මුරසංචාරකයින් ගේ අසාර්ථක මුරසංචාරය පිළිබඳ පුවත සෑම දෙනාගේම කතාබහට ලක් වූ කාරණය විය.

"උඹ දන්නවා." මෝර්මන්ට් මැසිවිලි කීවේය. "කොහොමද මෙතැන ඉන්න හැමඑකාම හැම දෙයක්ම දන්නෙ?" ඔහු මීට පිළිතුරක් බලාපොරොත්තු වූ බවක් නොපෙනුනි. "පේන විදියට නම් අර... අර සත්තු, උන් මොක්කුන් වුනත් කමක් නෑ අර සත්තු දෙන්නයි ඉඳලා තියෙන්නෙ. මම උන්ට මිනිස්සු කියලා නම් කියන්නෙ නෑ කොහොමත්ම. අපි දෙවිවරුන්ට ස්තූතිවෙන්ට ඕන උන් දෙන්නෙක් විතරක් හිටපු එක ගැන. තවත් හිටියානම්... හරි, කොහොමවුනත් උන් තව එන්ට පුළුවන්. මගේ මේ නාකි ඇටකටුවලට ඒක තේරෙනවා. මේස්ටර් ඒමනුත් ඒකට එකඟයි. සීතල හුළං වැඩිවෙනවා. ගිම්හානය ඉවරවෙලා. මේ ලෝකෙ මීට කලින් කිසිමදාක දැකලා නැති විදියෙ සීතකාලයක් එන්ටයි යන්නෙ."

'සීත කාලය එනවා.' මේ ස්ටාර්ක්වරුන් ගේ ආදර්ශ පාඨය මීට පෙර කිසිදිනෙකත් මෙතරම් ක්‍රෑර ලෙස හෝ අසුබ ලෙස හෝ ජොන්ට දැනී නොතිබුනි. "මගේ උතුමානනි." ඔහු දෙගිඩියාවකින් මෙන් ඇසීය. "උන් කියනවා ඊයෙ රෑ කපුටෙක් ආවයි කියලා."

"ආවා. ඉතින් මොකද?"

"මම හිතුවෙ මගේ තාත්තා ගැන මොකුත් ආරංචියක් ඇති කියලයි."

"තාත්තා!" මහලු කපුටා මෝර්මන්ට් ගේ දසරුවේ එහාමෙහා යමින්, හිස දෙපසට හරවමින් කෑගැසුවේය. "තාත්තා! තාත්තා!"

මෝර්මන්ට් අත ඔසවා කපුටා ගේ හොටය වසා දැමීමට තැත් දැරූ මුත් ඌ ඔහුගේ හිස මතට පැන, පියාපත් විදහා, කාමරය හරහා පියඹා ගොස්, කවුළුවක් මතට නැංගේය. ‍"දුකයි සද්දෙයි විතරයි." මෝර්මන්ට් ගෙරෙවුවේය. "එච්චරම තමා මේ කපුටො ගේන්නෙ. මම මොකට මේ දුෂ්ට කපුටා හදාගන්ට ගත්තද මන්දා... එඩාර්ඩ් උතුමානන් ගැන මොකක් හරි පණිවුඩයක් ආවානම් උඹ හිතන්නෙ නැද්ද මම උඹට එන්ට කියලා යවන්නෙ නෑ කියලා? අවජාතකයෙක් හරි මොකෙක් හරි උඹ එයාගෙ ලේ. ඒ පණිවුඩේ තිබුනෙ සෙර් බැරිස්ටාන් සෙල්මි ගැනයි. පේන හැටියට උන් එයාව රාජ්‍යාරක්ෂක බලකායෙන් අයින් කරලා. එයාගෙ තැන අර කළු බල්ලා ක්ලිගේන්ට දීලා. ඉතින් දැන් සෙල්මිව හොයනවලු රාජද්‍රෝහී අපරාධ වෙනුවෙන්. ඒ මෝඩයො එයාව අල්ලගන්ටයි කියලා නගරාරක්ෂක මුර සෙබළු ටිකක් යවලා. ඒ වුනත් එයා උන් දෙන්නෙකුත් මරලා දාලා බේරිලා පැනලා ගිහිල්ලා." මෝර්මන්ට් නහයෙන් නොරිස්සුම් හඬක් පිටකලේය. නිර්භීත බැරිස්ටාන් වැනි නම් දැරූ නයිට්වරයකු අත්අඩංගුවට ගැනීම සඳහා නගරාරක්ෂක බලකායේ සෙබළුන් යැවූ මෝඩයින් රැළ පිළිබඳ ඔහුගේ සිතේ ඇති හැඟීම එයින් මොනවට පැහැදිලි විය. "අපේ කැලෑවල සුදුපාට හෙවනැලි ඇවිදිනවා. අපේ කාමරවල මැරිච්ච මිනිස්සු ඇවිදිනවා. ඒ අස්සෙ යකඩ සිංහාසනේ පුංචි කොල්ලෙක් ඉඳගෙන ඉන්නවා." ඔහු පිළිකුලෙන් යුතුව කීවේය.

කපුටා කණ් බිහිරි කරවන හඬින් කෑගැසීය. "කොල්ලෙක්! කොල්ලෙක්! කොල්ලෙක්! කොල්ලෙක්!"

සෙර් බැරිස්ටාන් වනාහි නාකි වලහාගේ හොඳම බලාපොරොත්තුව වූ බැව් ජොන්ට සිහිපත් විය. ඔහුත් සිය තනතුරුවලින් පහත වැටුනි නම් මෝර්මන්ට් ගේ ලියුම්වලට වෙනත් කෙනෙකු අවධානය යොමු කරාවි යැයි කෙලෙස බලාපොරොත්තු තබාගන්න ද? ඔහු සිය අතැඟිලි මිට මොලොවා ගත් අතර පිළිස්සුනු අතැඟිලි වේදනාවෙන් මිරිකෙන්නට විය. "මගේ නංගිලා ගැන මොකද?"

"මේ පණිවුඩේ එඩාර්ඩ් උතුමානන් ගැනවත් එයාගෙ දුවලා ගැනවත් කිසිම ආරංචියක් සඳහන් කරලා නැහැ." ඔහු පීඩාවට ලක් වූ ස්වරයකින් දෙවුර ඇකිළීය. "සමහරවිට එයාලට මගේ ලියුම ලැබුනෙ නැතුවම වෙන්ට ඇති. ඒමන් ලියුම් දෙකක්ම යැවුවා, එයාගෙ හොඳම කපුටො දෙන්නෙක් අතේ. ඒ වුනත් කාටද කියන්ට පුළුවන්? ඊටත් වඩා මම හිතන්නෙ පයිසෙල් පිළිතුරක් එවන්ට උනන්දු වෙන්නෙ නැහැ. මේ පළවෙනි වතාව නෙවෙයි. අන්තිම වතාවත් නෙවෙයි. කින්ග්ස් ලෑන්ඩින්ග්වල ඉන්න උදවිය අපිව ගනන් නොගන්නාම ගානයි. උන් අපට කියන්නෙ අපි දැනගන්ට ඕනැයි කියලා උන් හිතන දේවල් විතරයි. ඒක බොහොම සොච්චමක්."

'ඒ වගේම ඔබ මට කියන්නෙ මම දැනගන්ට ඕනැයි කියලා ඔබ හිතන දේවල් විතරයි. ඒකත් බොහොම සොච්චමයි‍.' ජොන් නුරුස්නා ස්වරයෙන් කල්පනා කලේය. ඔහුගේ සොහොයුරා රොබ්, සිය යටත් වංශාධිපතීන් කැඳවාගෙන යුධ පිණිස දකුණුකරය බලා ගොස් තිබින. එනමුදු ඒ ගැන අංශුමාත්‍රයකවත් වදනක් ඔහුගේ සවනේ නොවැටෙන්නට ඔවුන් වගබලාගෙන තිබුනි... සෑම්වෙල් ටාර්ලි හැරෙන්නට. සෑම් එම ලිපිය මේස්ටර් ඒමන් වෙනුවෙන් කියවා තිබුනු අතර එදා රැයේ ඔහු හොර රහසේම ජොන්ට එහි වූ විස්තර අකුරක් නෑර පවසා සිටියේය. එනමුදු මේ රහස් කෙඳිරීම් අතරතුර ඔහු නොනවත්වාම කියා සිටියේ තමා විසින් මේ දේවල් ජොන්ට නොපැවසිය යුතුව තිබුනු බවයි. සිය සොයුරා ගේ යුද්ධය ඔහුට කිසිදු අදාලත්වයක් නැතැයි ඔවුන් නිසැකවම උපකල්පනය කරන්නට ඇත. එය විස්තර කරන්නටවත් නොහැකි තරම් තදින් ඔහුට වද දුන්නේය. රොබ් යුධ පිණිස යන අතර ඔහු මෙතැනට වී සිටියි‍. තමාට නියමිත ස්ථානය මෙතැන, සිය කළු සොයුරන් සමගින් ප්‍රාකාරයේ බව ඔහු අනන්ත වාරයක් තම සිතට පවසාගත් නමුදු තමා මහත් බියගුල්ලෙකිය යන හැඟුම සිතෙන් පලවා හරින්නට ඊට නොහැකි විය.

"ඉරිඟු!" කපුටා කෑගැසීය. "ඉරිඟු! ඉරිඟු!"

"ආහ්! කට වහගෙන හිටහන්." නාකි වලහා ඌට ගෙරෙවුවේය. "ස්නෝව්. ඔය පිච්චුන අතෙන් වැඩගන්ට තව කොච්චර කල් යයි කියලද මේස්ටර් ඒමන් කිවුවෙ?"

"බොහොම ඉක්මනටම."

"හොඳයි." කළු පැහැ ලෝහය මත රිදියෙන් කැටයම් වැඩ දැමූ අලංකාර කොපුවක බහා ලූ විශාල අසිපතක් මෝර්මන්ට් විසින් ඔවුන් දෙදෙනා අතරින් වූ මේසය මතුයෙහි තබනු ලැබීය. "මෙන්න. ඒ කියන්නෙ එහෙනම් උඹ දැන් මේකට ලෑස්තියි."

පියාපත් විදහූ කපුටා මේසය මතට ‍‍ගොඩ බැස්සේය. ඌ කුතුහලයෙන් හිස කරකවා බලමින් අසිපත දෙසට පැනපැන යන්නට විය. ජොන් දෙගිඩියාවෙන් මෙන් මොහොතක් බලා සිටියේය. මෙයින් අදහස් වන්නේ කුමක්දැයි ඔහුට කිසිදු අරමුණක් නොවීය. "මගේ උතුමානනි?"

"ගින්න නිසා මිටේ තිබුන රිදී බෝලෙ උණුවුනා. හරස් ආවරණයයි අල්ලුවයි පිච්චුනා. කොහොමත් ඒ පරණ ලීයි වියළි හමකුයි. වෙන මොනවද අපට බලාපොරොත්තු වෙන්ට පුළුවන්? ඒ වුනත් තලය... ඒ කඩු තලේට හානි කරන්ට ඊට වඩා දාස් ගුණයක් බලසම්පන්න ගින්දරක් ඕන." මෝර්මන්ට් මේසය මත වූ අසිපත ඉදිරියට තල්ලු කලේය. "මම අනිත් ටික අලුතෙන්ම හැදෙවුවා. ඒක ගනින්."

"ඒක ගනිං!" කපුටා පුනරුච්චාරණය කලේය. "ඒක ගනිං! ඒක ගනිං!"

ජොන් නුහුරු අන්දමින් වමතින් අසිපත ඔසවාගත්තේ ය. වෙළුම්පටි ලූ ඔහුගේ දකුණත තවමත් අනම්‍ය විය. ප්‍රවේශමෙන් අසිපත කොපුවෙන් පිටතට ගත් ඔහු එය දෑස් මට්ටමින් අල්ලාගත්තේ ය.

අසිපත් මිටෙහි කෙලවර වූ ගෝලය දිගු අසිපත් තලය සමබර කිරීම පිණිස ඊයම් යොදා බර කල ලා පැහැති ගලක් විය. එය දත් විලිස්සාගෙන සිටින වෘකයෙකු ගේ හිසේ හැඩයට කැටයම් කර තිබුනු අතර උගේ දෑස් වෙනුවට රතු රබහ මැණික් දෙකක් අල්ලා තිබුනි. අල්ලුව අලුත්ම අලුත් සුමුදු, කළු පැහැ සමින් නිමියේය. එය තවමත් දහදියෙන් හෝ රුධිරයෙන් හෝ දුෂිත වි නොතිබුනි. අසිපත් තලය ජොන් පුරුදුව සිටියාට වඩා අඩි බාගයක් පමණ දිගු එකක් විය. එය කපන්නට කොටන්නට මෙන්ම අනින්නට ද සෑදූ අසිපතකි. අසිපත් තලය මත ගැඹුරු ඇළි තුනක් කොටා තිබින. ඔහු දැන සිටි අයිස් අසිපත වනාහි දෑතින්ම එසවිය යුතු මහ අසිපතක් වූ නමුදු මෙය අත් එකහමාරක අසිපතක් විය. සමහරුන් මීට 'අවජාතක අසිපත' කියාද කියති. කෙසේ වුවද මේ වෘක අසිපත ඔහු මීට පෙර භාවිත කල සෑම අසිපතකටම වඩා සැහැල්ලු බව ඔහුට දැනින. ඔහු අසිපත පැත්තට හැරවූ අතර අඳුරු අසිපත් තලය මැද්දේ නැවත නැවතත් තලමින් පන්නරය තැබූ කුඩා රැළිති ඔහුට පහසුවෙන්ම නිරීක්ෂණය කල හැකි විය. "මේක වැලීරියන් වානේනෙ මගේ උතුමානනි." ඔහු විස්මයෙන් කීවේය. ඔහුගේ පියා සිය පවුලේ අසිපත වූ අයිස් ඔහුට නිතරම අතපත ගාන්නට දී තිබුනෙන් එහි පෙනුමත්, ස්පර්ශයත් ඔහු හොඳින්ම හඳුනන දෙයක් විය.

"ඔවු." නාකි වලහා කීවේය. "ඒක මගේ තාත්තගෙ කඩුව. එයාට කලින් එයාගෙ තාත්තගෙ. මේ කඩුව සියවස් පහක් තිස්සෙ මෝර්මන්ට්වරුන්ට අයිතිවෙලා තිබුනා. මගේ කාලෙදි මම ඒක පාවිච්චි කලා. ඊට පස්සෙ මම නිශාරැකුමට බැඳෙද්දි ඒක මගේ පුතාට පවරලා දුන්නා."

'එයා මට එයාගෙ පුතාගෙ කඩුව දෙනවා!' ජොන්ට මෙය විශ්වාස කිරීමත් අසීරු සෙයක් දැනුනි. අසිපත් තලය උත්කෘෂ්ට අයුරින් සමබර විය. ආළෝකය වැටෙද්දී එහි දාර යාන්තමින් දිදුලන්නට විය. "ඔබේ පුතා-"

"මගේ පුතා මුලු මෝර්මන්ට් පරම්පරාවටම අවනම්බු කලා. ඒ වුනත් අඩුම ගානෙ එයාට ලැජ්ජාවක් කියලා එකක් තිබුනා පැනලා යද්දි මේ කඩුව දාලා යන්ට තරම්. මගේ නංගි මට ආයෙමත් ඒක ගෙනල්ලා දුන්නා. ඒ වුනත් ඒක දකින වාරයක් වාරයක් ගානෙ මට මතක්වෙනවා ජෝරා කරපු අවනම්බුව. ඒ නිසා මම ඒක පැත්තකට දාලා ඒක අමතක කරලා දාලායි තිබුනෙ. ආයෙමත් මට ඒක හම්බවුනේ මගේ නිදන කාමරේ අළු ගොඩ අවුස්සද්දියි. ඒකෙ මුලින් තිබුන මිට රිදියෙන් කරපු වලස් ඔළුවක්. ඒ වුනත් ඒක කොච්චර ගෙවිලා තිබුනද කිවුවොත් ඒ වලහෙක් කියලා අඳුරගන්ටත් බැරි මට්ටමෙනුයි තිබුනෙ. ඒ වුනත් උඹට වඩාත්ම ගැලපෙන්නෙ සුදුපාට වෘකයෙක් කියලා මම කල්පනා කලා. අපේ එක ගොඩනංවන්නෙක් ඉන්නවා, මිනිහා බොහොම දක්ෂ ගල් වඩුවෙක්."

ජොන් කුඩා කල, බ්‍රැන්ගේ වයසේ වූ අවධියේදී, අන් ඕනෑම කුඩා කොලුවකු මෙන් උදාර කර්තව්‍යයන් කිරීමේ සිහින දුටුයේය. මේ සෑම සිහිනයක් පාසාම මේ උදාර කාර්යයන් එකිනෙකට වෙනස් විය. එනමුදු ඔහු නිතරම පාහේ දුටු එක් සිහිනයක් වූයේ තමා විසින් සිය පියාණන් ගේ දිවි ගලවාගන්නා අන්දමයි. එයින් පසු එඩාර්ඩ් උතුමානන් විසින් ජොන් නියම ස්ටාර්ක් කෙනෙකු බව ක්‍රියාවෙන්ම ඔප්පුකල බැව් නිවේදනය කර අයිස් ඔහුගේ සුරතට බාරදෙන්නේය. එනමුදු ඒ කාලයේ පවා මෙය කුඩා දරුවකු ගේ මනස්ගාතයක් බැව් ඔහු යටි සිතින් දැන සිටියේය. කිසිදු අවජාතකයකු කිසිදා සිය පියාගේ අසිපත දරන්නට සිහිනෙන් හෝ බලාපොරොත්තු නොවේ. මේ මතකය පවා ඔහුව ලැජ්ජාවට පත්කරන්නට සමත් විය‍. සිය සොයුරාගේ උපන් උරුමකම් උදුරාගන්ට සිතන්නේ කවර නම් අශිෂ්ටයෙක් ද? 'මට මේකට කිසිම අයිතිවාසිකමක් නෑ.' ඔහු සිතුවේය. 'අයිස්වලට උරුමකමක් නෑ වාගෙම මේකටත් උරුමකමක් නෑ.' ඔහු සිය පිළිස්සුනු අතැඟිලි නමන්නටත් දිගහරින්නටත් වූයේ සමට යටින් කුමක්දෝ අමුතුම අන්දමේ වේදනාවක් දැනෙන්නට වූ බැවිනි. "මගේ උතුමානනි. මේක මට ලොකු ගෞරවයක්. නමුත්-"

"උඹේ නමුත් කෑලි උඹ ගාවම තියාගනින් කොල්ලො." මෝර්මන්ට් මැද්දට පැන්නේය. "උඹයි උඹේ අර සතායි නැතිවෙන්ට මම මෙතැන මෙහෙම ඉඳගෙන ඉන්නෙ නැහැ. උඹ බොහොම නිර්භීතව සටන් කලා... ඊටත් වඩා උඹ බොහොම ඉක්මනට කල්පනා කලා. ගින්දර! ඔවු. යකාටම ගියාවෙ. අපි ඒක දැනගෙන ඉන්ට තිබුනා. අපි ඒක මතකෙ තියාගෙන ඉන්ට තිබුනා. මීට කලිනුත් මේ දීර්ඝ රාත්‍රිය ඇවිල්ලා තියෙනවා. ඇත්ත, අවුරුදු අටදාහක් කියන්නෙ දිග කාලයක් තමා... ඒ වුනත්, නිශාරැකුමත් ඒක අමතක කරලා දැම්මොත් කවුද ඒක මතක තියාගන්නෙ?"

"කවුද!" කපුටා කෑගැසීය. "කවුද!"

සැබැවින්ම දෙවිවරුන් විසින් එදා රැයේ ජොන්ගේ යාඥාවට ඇහුම්කණ් දී තිබුනි. ගින්න ඒ මළ මිනිසා වෙලාගත්තේ හරියටම ඔහුගේ සම ඉටිකිරි වූවාක් මෙනි. ඔහුගේ ඇටකටු වියළි දැව වූවාක් මෙනි. ඒ අප්‍රියජනක දේ ගිනිදැල්වලින් වෙලී ගෘහභාණ්ඩවල හැපෙමින් මෝර්මන්ට්ගේ කාමරය තුළ නලියන අන්දම මවාගැනීමට ජොන්ට දෑස් පියාගැනීම පමණක් ප්‍රමාණවත් විය. සැමටම වඩා ඔහු‍‍ගේ සිතේ හොල්මන් කලේ ඒ මුහුණයි. ගිනිරැස් වළල්ලකින් වෙලී, පිදුරු මෙන් ගිනිගන්නා හිසකෙස් සහිතව, මාංසය දියවී ඊට යටින් වූ හිස්කබල මතුවී පෙනුනු ඒ අප්‍රියජනක මුහුණයි.

ඔතෝර්ව මෙහෙයවූ අමනුෂ්‍ය බලවේගය කුමක් වුවත් එය ගිනිදළු හමුවේ පැරද පලාගොස් තිබින. අළු ගොඩ අතරින් ඔවුන්ට සොයාගැනීමට හැකිවූයේ පිළිස්සුනු මාංසයත්, අඟුරු වූ ඇටකටුත් පමණි. එනමුදු සිය සිහින තුළදී ඔහු නැවත නැවතත් ඊට මුහුණ දුන්නේය... මේ වතාවේ ඒ ගිනිගෙන දැවෙන මළමිනිය ඔහුගේ පියාගේ හැඩරුව ගෙන තිබින. ගින්නට හසුව දැවෙමින් පුපුරා ඉරිතලා ගියේ සිය පියාගේ සිරුර විය. ගින්නට හසුව උණු වී කැටිගැසුනු කඳුළු මෙන් දෙකම්මුල් දිගේ ගලා ගියේ සිය පියාගේ දෑස් විය. තමාට මෙලෙස පෙනෙන්නේ ඇයිද යන්න හෝ එයින් කියැවෙන්නේ කුමක්ද යන්න හෝ ගැන ජොන්ට කිසිදු අවබෝධයක් නොවීය. එනමුදු එය වදනින් විස්තර කල නොහැකි තරමට ඔහුව බිය වැද්දුවේය.

"මේ කඩුව කියන්නෙ මගේ ජීවිතේ වෙනුවෙන් උඹට දෙන පුංචි තෑග්ගක්. උඹට ගෙවන බොහොම පුංචි මිලක්." මෝර්මන්ට් කතාව හමාර කලේය. "ඒක නිසා ඒක ගනින්. මට තවත් ඒ ගැන මොකුත් අහන්ට ඕන නැහැ. තේරුනාද උඹට?"

"එහෙමයි මගේ උතුමානනි." අසිපත් මිටෙහි සුමුදු සම ඔහුගේ අතැඟිලිවලට යටින් කදිමට එබී ගියේ අසිපත දැනටම ඔහුගේ ග්‍රහණය හා ඒකාත්මික වූවාක් මෙනි. තමාව ගෞරවයට පාත්‍ර වූවාය යන හැඟීමක් සිත තුළ ඇති විය යුතු බැව් ඔහු දැන සිටියේය. එනමුදු...

'එයා මගේ තාත්තා නෙවෙයි!‍' මේ සිතුවිල්ල අනායාසයෙන්ම ජොන්ගේ සිත තුළට පිවිසියේය. 'එඩාර්ඩ් ස්ටාර්ක් උතුමානන් තමා මගේ තාත්තා. මම එයාව අමතක කරන්නෙ නෑ. උන් මට කඩු එකක් නෙවෙයි සීයක් දුන්නත් මම එයාව අමතක කරන්නෙ නෑ.' එනමුදු තමා සිහින දුටුයේ වෙනත් මිනිසකුගේ අසිපතක් හිමිකරගැනීම පිළිබඳව යැයි මෝර්මන්ට් උතුමානන්ට කියාගැනීම ඔහුට උගහට විය...

"මට කිසිම ආචාර සමාචාරයකුත් ඕන නැහැ." මෝර්මන්ට් දිගටම කතාකලේය. "ඒ නිසා මට ස්තූති කරන්ට හදන්ටත් එපා. උ‍ඹේ රාජකාරිය හරියට ඉටුකරලා මේ කඩුවට ගෞරවය දක්වපන්. වචනවලින් නෙවෙයි."

ජොන් හිස සැලීය. "මේකට නමක් තියෙනවද මගේ උතුමානනි?"

"එක කාලෙකනම් ඒකට නමක් තිබුනා. 'දිගුනියපහුර' එහෙමයි ඒකට කිවුවෙ."

"නියපහුර!" කපුටා කෑගැසීය. "නියපහුර!"

"දිගුනියපහුර කියන්නෙ බොහොම හොඳට ගැලපෙන නමක්." ජොන් පෙරහුරු පහරක් එල්ලකිරීමට වෑයම් කලේය. වමතින් සරඹ දැක්වීම නුහුරු මෙන්ම අපහසු කාර්යයක් බැව් ඔහුට හැඟුනි. එනමුදු මේ වානේ අසිපත් තලය වාතය හරහා සුමට අන්දමින් එහාමෙහා ගියේ හරියටම එයට තමාගේම අභිප්‍රායක් ඇත්තාක් මෙනි. "වෘකයින්ටත් නිය තියෙනවා. වලස්සුන්ට වගේම."

නාකි වලහා මේ කතාවෙන් සතුටට පත් වූ බවක් පෙනුනි‍. "මාත් හිතන්නෙ එහෙමයි කියලා. මම හිතන්නෙ උඹට ඒක උරහිසට උඩින් පළඳින්ට වෙයි. ඒක ඉණේ පළඳින්ට තරම් දිග වැඩියි. අඩුමගානෙ උඹ තව අඟල් කීපයක් උස යනකම් වත් එහෙම වෙයි. ඒ වගේම උඹට සරඹ පුරුදුවෙන්ට වෙයි, කොහොමද දෑතින්ම කඩුව අල්ලලා පහර එල්ල කරන්නෙ කියලා. උඹේ ඔය තුවාල සනීප වුනාට පස්සෙ සෙර් එන්ඩෲට පුළුවන් වෙයි උඹට පොඩි ගුරුහරුකම් ටිකක් කියලා දෙන්ට."

"සෙර් එන්ඩෲ?" ජොන් මේ නම මීට පෙර අසා නොතිබින.

"සෙර් එන්ඩෲ ටාර්ත්. හොඳ මිනිහෙක්. එයා හෙවනැලි කුළුණේ ඉඳන් මෙහාට එනවා ප්‍රධාන සටන් පුහුණුකාරයා හැටියට වැඩ බාරගන්ට. සෙර් ඇලිසර් ඊයෙ උදේ පිටත්වෙලා ගියා නැගෙනහිර කුළුණට යන්ට."

ජොන් අසිපත පහත්කලේය. "ඒ මොකද?" ඔහු මුග්ධ ස්වරයකින් ඇසුවේය.

මෝර්මන්ට් උගුරෙන් හඬක් පිටකලේය. "මොකද. මම මිනිහාව යවපු හන්දා. මොකක් නිසා කියලද උඹ හිතන්නෙ? එයා අරන් යනවා උඹේ අර ගෝස්ට් ජැෆර් ෆ්ලවර්ස්ගෙ මැණික්කටුවෙන් වෙන්කරපු අත් කෑල්ල. මම එයාට අණ කලා එයාට නැවු නැගලා කින්ග්ස් ලෑන්ඩින්ග්වලට ගිහිල්ලා අර කොලු රජා ඉස්සරහා මේ අත්කෑල්ල පෙන්නන්ටයි කියලා. මම හිතන්නෙ එතකොටවත් මේ ජොෆ්රිගෙ අවධානය මෙහාට හරවගන්ට පුළුවන් වෙයි කියලයි... අනික සෙර් ඇලිසර් කියන්නෙ නයිට්වරයෙක්. උසස් පවුලක ඉපදුන, සප්තාලේපනයෙන් අභිෂේක ලබාපු, රාජසභාවෙ පරණ යාළුවො ඉන්න මිනිහෙක්. මේ හැමදෙයක්ම නිසා මිනිහාව සාමාන්‍ය කළු කපුටෙක් කියලා නොතකා හරින එක ටිකක් අමාරුයි‍."

"කපුටෙක්!" කපුටාගේ ස්වරයේ යම් කුපිත වූ බවක් ජොන්ට දැනුනි.

"ඒ වගේම." කපුටා ගේ බාධාකිරීම් නොතකා හරිමින් මෝර්මන්ට් දිගටම කතාකලේය. "මේ වැඩේ නිසා කිසිම කලබලයක් නැතුවම, කිසිම තරවටුවක් නැතුවම එයයි උඹයි අතරේ ලීග් දාස් ගානක දුරක් ඇතිවෙනවා‍." ඔහු ජොන්ගේ මුහුණට ඇඟිල්ල දිගුකලේය. "ඒ වුනත් ඒකෙන් හිතන්ට එපා ප්‍රධාන ශාලාවෙ උඹ එදා අර නටපු ජෝගිය මම අනුමත කරනවයි කියලා. සූරවීරකම කියන්නෙ ටිකක් විතර මෝඩකමත් එක්කම යන දෙයක් තමා. ඒ වුනත් උඹ තවදුරටත් පොඩි කොල්ලෙක් නෙවෙයි. උඹේ අතේ ඔය තියෙන්නෙ මිනිහෙක්ගෙ කඩුවක්. ඒක දරන්ටත් පුළුවන් මිනිහෙකුට විතරයි. මම බලාපොරොත්තු වෙනවා මෙතැන ඉඳන්වත් උඹ ඒ හැටියට වැඩ කරයි කියලා."

"එහෙමයි මගේ උතුමානනි." ජොන් අසිපත නැවතත් කොපුවේ ලෑවේය. මේ ත්‍යාගය වෙනුවෙන් මෝර්මන්ට් විසින් තෝරාගත් අසිපත ඔහුගේ පරම්පරාගත අසිපත නොවූවද එය උදාරතර ත්‍යාගයක් වනු ඇත. ඔහුව ඇලිසර් තෝර්න්ගේ මාත්සර්‍යයෙන් මුදවාගැනීම ඊටත් වඩා උදාර කර්තව්‍යයක් විය.

නාකි වලහා සිය නිකට යට කැසුවේය. "මට අමතකම වෙලයි තිබුනෙ අලුත් රැවුලක් කොච්චර කසනවද කියලා. හරි ඒකට කරන්ට දෙයක් නැහැ. උඹේ රාජකාරි ආපහු බාරගන්ට ගරමට ඔය අත හොඳවෙලාද තියෙන්නෙ?"

"ඔවු මගේ උතුමානනි."

"නියමයි. අද රෑ සීතල වෙයි. මට ඕන හොඳට කුළුබඩු දාපු උණුසුම් වයින් කෝප්පයක්. මට හොඳ රතු වයින් මල්ලක් හොයාගනින්. ගොඩාක්ම තිත්ත එකකුත් එපා. අනිත් එක ලෝබකම් කරන්නෙ නැතුව කුළුබඩු දාපන්. ඒත් එක්කම හොබ්ට කියාපන් ඌ ආයෙමත් මට තම්බපු බැටළු මස් එවලා තිබුනොත් මම ඌව තම්බනවයි කියලා. අර අන්තිමට එවාපු මස් ගාතෙ හොඳටම පරණවෙලා. අඩුගානෙ කපුටාවත් ඒකට හොට ගැහැවුවෙ නැහැ." ඔහු මහපටැඟිල්ලෙන් පක්ෂියාගේ හිස පිරිමැදි අතර ඌ අමිහිරි හඬකින් නොනවත්වාම කරවු කරන්නට විය. "හරි. දැන් පලයන්. මට වැඩ තියෙනවා කරන්ට."


Maester Aemon: “Love is the bane of honor, the death of duty.”