Friday 30 January 2015

කැට්ලින් 08-1

මෝට් කේය්ලින්

ධජපතාක පැහැදිලිව හඳුනාගැනීමට තරම් දුර වැඩි වූ නමුදු ඒවා සුදු පැහැ බවත්, ඒ මැද්දේ අඳුරු පැහැ ලපයක් ඇති බවත් තුනී වී යන මීදුම මැද්දෙන් ඇය හඳුනාගත්තා ය. ඒ අනිවාර්යයෙන්ම හිම පසුබිමේ දත් විලිස්සා සිටිනා ස්ටාර්ක් ඝෝරවෘකයා විය යුතුය. මේ ධජපතාක සිය දෑසින්ම දුටු මුල්ම මොහොතේ අසු නැවතූ ඇය ස්තූති පූර්වකව හිස නැමුවාය. දෙවියන් එතරම්ම අකාරුණික නැත. ඇය එතරම්ම ප්‍රමාද වී නැත.

"එයාලා අපි එනකම් බලන් ඉන්නවා මගේ ආර්යාවනි." සෙර් විලිස් මැන්ඩර්ලි කීවේය. "මගේ තාත්තා දිවුරලා කිවුවා එයාලා ඉඳියි කියලා."

"එහෙමනම් අපි එයාලව තවත් පරක්කු කරන්ට හොඳ නෑ සෙර්." සිය අසුට සන් කල සෙර් බ්‍රින්ඩන් ටලී හැල්මේ ඉදිරියට ගියේය. කැට්ලින්ද ඔහු පසෙකින් සිය අසු මෙහෙයවීය.

එක්දහස් පන්සියයක් පමණ වූ සිය පිරිස පිරිවැරූ සෙර් විලිස් හා ඔහුගේ සොහොයුරා සෙර් වෙන්ඩල් ඔවුන් පසුපසින් අසුන් මෙහෙයවූහ. විස්සක් පමණ වූ නයිට්වරුන් ද, ඔවුන් ගේ සහචරයින් ද, ලන්සධරයින්, කඩුහරඹකරුවන් හා නිදහස් අසරුවන්ගෙන් සැදි දෙසියයක් පමණ වූ අසරු බලඇණියක් ද, හෙල්ලෙන් හා කුන්තයෙන් සන්නද්ධ වූ පාබල බලඇණියක් ද මේ පිරිසට අයත් වූහ. ධවල වරායේ ආරක්ෂාව බලාගැනීම පිණිස නැවතුනු වයිමන් මැන්ඩර්ලි උතුමානන් පමණක් මේ පිරිසට ඇතුළත් නොවීය. අවරුදු හැටක් වයස් වූ මැන්ඩර්ලි උතුමානන් මේ වනවිට අ‍සකු පිට නැගිය නොහැකි තරම් තරබාරු වී සිටියේය. "ම‍ගේ ජීවිත කාලෙ ඇතුළතදි ආයෙමත් යුද්ධයක් දකින්ට ලැබෙයි කියලා හිතුවානම් මම මෙච්චර ආඳො නොකා ඉන්ට තිබුනා." කැට්ලින් පැමිණි නැව පිළිගැනීම පිණිස පැමිණි මොහොතේ ඔහු සොසේජස් තරම් මහත අතැඟිලි වලින් සිය දැවැන්ත උදරයට තට්ටුකරමින් පැවසීය. "ඒ වුනත් හිත කරදර කරගන්ට එපා ආර්යාවනි. මගේ කොල්ලො දෙන්නා බොහොම පරිස්සමෙන් ඔබව ඔබේ පුතා ළඟට එක්කරන් යයි."

ඔහු‍ගේ මේ 'කොල්ලන්' දෙදෙනාම කැට්ලින්ට වඩා වැඩිමහලු වූවන් වූහ. එමෙන්ම ඔවුන් දෙදෙනා ඔවුන් ගේ පියාගේ ස්වරූපයට මෙතරම් සමීප නොවූවා නම් කැට්ලින් වඩාත් කැමැති විය. සෙර් විලිස් අසෙකු පිට නැගිය නොහැකි තරම් තරබාරු නොවී සිටියේ ආඳන් ඉතා ස්වල්ප දෙනෙකු ගේ මඳකමිනි. ඒ අසරණ අශ්වයා ගැන කැට්ලින්ට ඇත්තෙන්ම දුකක් දැනුනි. අනිත් අතට දෙදෙනාගෙන් ලාබාලයා වූ සෙර් වෙන්ඩල් වනාහි ඔහුගේ පියා හා වැඩිමහල් සොහොයුරා නොතකා හැරියහොත් කැට්ලින් විසින් මෙතුවක් කලෙකට දැක තිබුනු තරබාරුම පුද්ගලයා විය. විලිස් නිහඬ, උපචාර සහිත පුද්ගලයකු වූ අතර වෙන්ඩල් මහහඬින් දොඩන ඝෝෂාකාරී පුද්ගලයකු විය. මේ දෙදෙනාටම වොල්රස් සතුන්ට මෙන් දැවැන්ත, අලංකාර උඩුරැවුල් පිහිටා තිබුනු අතර හිසේ එකදු කෙස්ගසක් වත් නොවීය. එමෙන්ම ඔවුන් දෙදෙනා සතුවම ඉඳුල් පැල්ලමින් නොවැසුනු එකදු ඇඳුමක් වත් ඇතිබවක් ද නොපෙනුනි. එනමුදු කැට්ලින් මේ දෙදෙනාවම ප්‍රියකලාය. ඔවුන් ගේ පියා පොරොන්දු වූ පරිදිම ඔවුන් දෙදෙන විසින් ඇයව ආරක්ෂාකාරීව සිය පුත්‍රයා වෙත ගෙනැවිත් තිබින. එතැනින් එහාට තවත් වද විය යුතු දෙයක් නොවීය.

ඇගේ පුත්‍රයා සිවුදිගටම - නැගෙනහිර දෙසට පවා - නිරීක්ෂකයින් යවා තිබීම ඇගේ සතුටට හේතුවිය. ලැනිස්ටර්වරුන් පහර දෙන්නට එන්නේ නම් ඔවුන් පැමිණිය යුත්තේ දකුණු දෙසින් වුවද රොබ් විසින් මෙසේ අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන තිබීම යහපත් දෙයක් විය. 'මගේ පුතා හමුදාවක් අරන් යුද්ධෙට යනවා!' ඇය මවිතයෙන් යුතුව සිතුවාය. ඇයට එය තවමත් අදහාගැනීමට අසීරු කරුනක් විය. ඇය බලාපොරොත්තු විරහිත අන්දමින් ඔහු ගැනත් වින්ටර්ෆෙල් ගැනත් බියපත්ව සිටියාය. එනමුදු ඔහු ගැන ඇගේ සිතේ අමුතුම ආඩම්බරයක් ද ඇති වී ඇති බැව් නොපිළිගෙන සිටි හැකි කරුනක් නොවීය. යාන්තම් වසරකට පෙරාතුව ඔහු කුඩා කොලුවකුව සිටියේය. දැන්? දැන් ඔහු කවරෙකුදැයි ඇයවත් නොදන්නීය.

නිල් කොළ පැහැ මුහුදු දියෙන් නැගුනු ත්‍රිශූලයක් අතින් ගත් දියකිඳුරා ගේ රුව සහිත මැන්ඩර්ලි ධජපතාක නිරීක්ෂක මුර සෙබළුන් විසින් දුරතියාම හඳුනාගෙන තිබින. ඉදින් ඔවුන් ගේ පැමිණිම සාදරයෙන් පිළිගෙන කඳවුරක් ඇටවීමට තරම් සුදුසු වියළි, උස් බිමක් වෙත ඔවුන්ව කැඳවාගෙන යනු ලැබින. අසුන්ට සාත්තු කිරීමත් කඳවුරු ඇටවීමත් පිණිස සෙර් විලිස් සිය මිනිසුන් සමගින් එහි නැවතුනු අතර වෙන්ඩල් කැට්ලින් හා සෙර් බ්‍රින්ඩන් සමගින් ඉදිරියටම ගියේය. තම පියාගේ සුභාශිංසන හා පක්ෂපාතිත්වය සිය ඉහළ වංශාධිපතියා වෙත දැක්වීම අවශ්‍ය දෙයක් විය.

අසු කුර යටින් වූ පොළොව මෘදු හා තෙත් එකක් විය. ගිනිමැල, අසුන් පේළි හා ආහාරපානාදියෙන් පිරවූ කරත්ත පසුකරමින් ඔවුහු ඉදිරියටම ගියෝය. යාබද භූමියට වඩා උස් වූ, ගල්සහිත බිමක තනා තිබුනු, ඝනකම් රුවල් රෙද්දෙන් නිම වූ වංශාධිපතියකු ගේ මණ්ඩපයක් ද ඔවුහු පසුකලෝය. තැඹිලි පැහැ පසුබිමේ සිටින දුඹුරු පැහැ පිණිමුවා හෙවත් හෝර්න්වුඩ්වරුන් ගේ ලාංඡනය කැට්ලින් විසින් හඳුනාගත්තා ය.

ඊට මඳක් එහායින් මීදුම අතරින් මෝට් කේය්ලින් බලකොටුවේ පවුරු හා කුළුණු... ඇත්තෙන්ම කිවහොත් ඒවායේ නටඹුන් කැට්ලින්ට යාන්තමට මෙන් දැකිය හැකි විය. කුඩා පැල්පතක් තරම් විසල්, කළු පැහැ දැවැන්ත බැසෝල්ට් ගල්කුට්ටි මෘදු පසේ අඩක් එරී තැන තැන විසිර තිබු‍නේ කුඩා දරුවකු සෙල්ලම් කිරීමට ගන්නා ලී කැබලි මෙනි. එක් කලෙකදී වින්ටර්ෆෙල්හි ප්‍රාකාර තරම්ම උස් වූ බලකොටු පවුරේ මේ වනවිට ඉතිරි වී තිබුනේ එපමණකි. දැවයෙන් තැනුනු බලකොටුව ද මීට වසර දහස් ගණනකට පෙරාතුවම දිරාගොස් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබුනි. එය පිහිටි තැන හඳුනාගැනීම පිණිසවත් අඩුම තරමේ ලී කැබැල්ලක්වත් ඉතිරි වී නොතිබුනි. මුල් මිනිසුන් විසින් වසර දහස් ගණනකට පෙරාතුව ගොඩනැගූ මේ සුප්‍රසිද්ධ බලකොටුවේ දැන් ඉතිරිව තිබුනේ කුළුණු තුනක් පමණි. ප්‍රවාදවලට අනුව නම් මෙහි එක් කලෙක කුළුණු විස්සක් තිබින.

'වාහල්කඩ කුළුණ' තවමත් යම් සවිශක්තියක් ඇතුව තිබෙන බැව් පෙනුනු අතර එහි දෙපස වූ පවුරු බිත්ති දෙපැත්තෙන්ම අඩි කිහිපයක් දක්වා උස්ව නැගී තිබුනි. පෙර කල බටහිර හා දකුණු පවුරු දෙක මුනගැසුනු තැන වගුරට නුදුරින් පිහිටා තිබුනු 'බේබද්දා ගේ කුළුණ' වගුර දෙසට ඇලවී තිබුනේ බේබද්දකු වමනය කිරීමට කාණුවට ඇලවෙන්නාක් මෙනි. එක්තරා කාලයකදී වනාන්තරයේ දරුවන් විසින් සතුරන්ට එදිරිව මහා දියකඳකින් පහරදෙන්නට සිය වනාන්තරයේ නම නොදන්නා දෙවිවරුන් කැඳවූයේයැයි කියැවෙන උස් කෙට්ටු 'දරුවන් ගේ කුළුණට' එහි මුදුනෙන් බාගයක්ම අහිමිව තිබුනි. එය දිස්වූයේ හරියටම දැවැන්ත සත්ත්වයකු විසින් එයින් අඩක් සපා කා වගුර පුරා එහි කැබැලිති විසිරුවා දමා තිබුනාක් මෙනි. මේ කුළුණු තුනම කොළ පැහැ පෙඳ පාසියෙන් වැසී ගියේය. වාහල්කඩ කුළුණේ උතුරු බිත්තියේ ගල් අතරින් ගසක් පවා වැවී තිබුනි.

"දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ!" මේ නටඹුන් දුටු සෙර් බ්‍රින්ඩන් ගේ මුවින් විමතිය පලවිය. "මේකද මෝට් කේය්ලින් කියන්නෙ? ඒක නිකංම නිකං-"

සෙර් වෙන්ඩල් මැන්ඩර්ලි
"-මර උගුලක්." කැට්ලින් ඔහු වෙනුවෙන් වාක්‍යය සම්පූර්ණ කලාය. "මම දන්නවා, ඒක පේන්නෙ බොහොම නරක විදියට බාප්පෙ. ඒක දැකපු මුල්ම වතාවෙ මම හිතුවෙත් ඔහොමමයි. ඒ වුනත් නෙඩ් මට පෙන්නලා දුන්නා ඒක පේනවාට වඩා බොහොම බලසම්පන්නයි කියලා. මේ ඉතුරුවෙලා තියෙන කුළුණු තුනෙන් පුළුවන් මේ අවට පාර සම්පූර්ණයෙන්ම හැම පැත්තෙන්ම පාලනය කරන්ට. මේ පාරෙන් යන ඕනම හතුරෙක් අනිවාර්යයෙන්ම කුළුණු පහුකරගෙන ඒ මැදිනුයි යන්ට ඕන. මේ අවට තියෙන වගුරට බැහැලා එතෙර වෙන්ට කොහෙත්ම බෑ. බොරුවැල්ලයි, මඩ වලවලුයි. හැම තැනම සර්පයො පිරිලා. මේ එක කුළුණකට හරි පහරදෙන්ට ඕන නම් හතුරො ඉණක් ගැඹුරු කළු මඩේ බැහැලා සිංහ කටුස්සන්ගෙන් පිරිච්ච දියඅගලක් තරණය කරන්ට ඕන. ඊටපස්සෙ අර පෙඳපාසියෙන් වැහිච්ච බිත්ති දිගේ නගින්ට ඕන. ඒ හැමදෙයක්ම අතරෙදි උන් අනිත් කුළුණු දෙකේ ඉන්න දුනුවායන්ගෙ ඊතල පාරට ගොදුරු වෙනවා." ඇය සිය බාප්පාට දරුණු සිනහවකින් සංග්‍රහ කලාය. "ඒත් එක්කම මේකෙ රෑට භූතයො ඉන්නවයි කියලා කියනවා. දකුණුකරේ එවුන්ගෙ ලේ බොන්ට පිපාසෙන් බලන් ඉන්න උතුරුක‍රේ සීතල, පලිගන්නාසුළු භූතයො."

සෙර් බ්‍රින්ඩන් කෙකර සිනහවක් පෑවේය. "මට මතක් කරන්ට මෙතැන වැඩිය තැවරි තැවරි ඉන්නෙ නැතුව ඉක්මනින්ම යන්ට. අන්තිමට බලද්දි මමත් දකුණුකරේ මිනිහෙක්."

මේ කුළුණු තුනේම මුදුනේ ධජපතාක ඔසවා තිබුනි. බේබද්දා ගේ කුළුණේ ස්ටාර්ක් ධජයට යටින් කාර්ස්ටාර්ක්වරුන් ගේ සුදු පැහැ සූර්යයා ලෙල දුන්නේය. දරුවන් ගේ කුළුණේ ඒ හා සමානව ග්‍රේට්ජෝන්වරුන් ගේ දම්වැලින් බැඳි යෝධයා දක්නට හැකිවිය. එනමුදු වාහල්කඩ කුළුණේ ස්ටාර්ක් ඝෝරවෘකයා පමණක් තනිව ලෙල දුන්නේය. රොබ් එහි කඳවුරු බැඳ සිටි අතර කැට්ලින් එදෙසට සිය අසු මෙහෙයවූවා ය. ඇයට පිටුපසින් සෙර් බ්‍රින්ඩන් හා සෙර් වෙන්ඩල් කොළ-කළු පැහැ මඩ බිම මත ලී කොට හා ලෑලි පුවරුවලින් තනා තිබුනු මාවත ඔස්සේ හෙමිහිට සිය අසුන් මෙහෙයවූහ.

* * *

විසල් ශාලාවක් තුළ සිය පියාගේ ප්‍රධාන ධජ දරන්නන් පිරිවරා සිටින සිය පුත්‍රයා සොයාගැනීමට කැට්ලින්ට හැකිවිය. ශාලාවේ කොණක වූ කළු ගැසුනු උඳුනක වූ ගිනිමැලයෙන් උණුසුමට වඩා දුම් නැගඑමින් තිබුනි. දැවැන්ත ශෛලමය මේසයක් අබියස අසුන්ගෙන සිටි රොබ් ඉදිරියේ සිතියම් හා නොයෙකුත් ලිපිගොනු රැසක් අතුරා තිබුනි. ඔහු මහත් උනන්දුවකින් යුතුව රූස් බෝල්ටන් හා ග්‍රේට්ජොන් අම්බර් සමගින් කතාකරමින් හුන්නේය. ඔහු ඇයව එක්වරම නොදුටු නමුදු ඔහුගේ වෘකයා සැනින් ඇයව හඳුනාගත්තේ ය. මේ දැවැන්ත අළු පැහැ සත්ත්වයා ගිනිඋඳුන අබියස බිම වැතිර සිටි නමුදු කැට්ලින් කාමරයට ඇතුළු වූ වහා හිස ඔසවා ඈ දෙස බැලීය. උ‍ගේ රන්වන් දෑස් ඇගේ දෑස් හා සම්මුඛ විය. වංශාධිපතීන් එකිනෙකා සිය මිමිනීම් නවතා නිහඬවන්නට වූ අතර නැගුනු හදිසි නිශ්ශබ්දතාව නිසා හිස ඔසවා අවට බැලූ රොබ් ඇයව දුටුවේය. "අම්මා!" ඔහුගේ කටහඬ හැඟුම්බර විය.

කැට්ලින්ට ඔහු වෙත දිවයාමට උවමනා විය. දිවගොස් ඔහුගේ නළල සිපගැනීමට උවමනා විය. ඔහු වටා සිය දෑත් යවා ඔහුව කිටිකිටියේ තුරුළුකොට මෙලොව ඇති සියළු උපද්‍රවවලින් ඔහුව රැකගැනීමට උවමනා විය... එනමුදු මෙහි, ඔහුගේ යටත්වැසි වංශාධිපතීන් ඉදිරියේ එසේ කිරීමට තරම් ඇය නිර්භීත නොවීය. ඔහු දැන් වැඩුනු මිනිසකු මෙන් සිය රාජකාරි ඉටුකරමින් සිටින්නේය. ඔහුගෙන් එය උදුරාගැනීමට ඇයට උවමනා නොවීය. එමනිසා ඔවුන් මේසයක් වශයෙන් භාවිත කරමින් සිටි බැසෝල්ට් ලෑල්ල අසල නැවතුනු ඇය ඔවුන් දෙස බලා හුන්නාය. හනික නැගිට සිටි ඝෝරවෘකයා කාමරය හරහා ඇය සිටි තැන වෙත පියවර මැන්නේය. ඌ සාමාන්‍ය වෘකයෙකුට වඩා අතිශයින් දැවැන්තව නැගී සිටියේය. "ඔයා රැවුලක් වවලා තියෙන්නෙ." ග්‍රේ වින්ඩ් ඇගේ අත ඉව කරද්දී ඇය රොබ් ඇමතුවාය.

හදිසියේම යම් අමනෝඥ දෙයකට මුහුණපෑමට සිදුවූවාක් මෙන් රොබ් රැවුල් කොටයෙන් වැසුනු නිකට අතගෑවේය. "ඔවු." ඔහුගේ රැවුල හිසකෙස්වලටත් වඩා රත් පැහැයෙන් බැබලින.

"මම කැමැතියි ඒකට." කැට්ලින් වෘකයා ගේ හිසට සෙමින් තට්ටු කලාය. "ඔයා දැන් හරියට මගේ මල්ලි එඩ්මුයර් වගේ." සෙල්ලමට මෙන් ඇගේ අතැඟිලි සැපූ ග්‍රේ වින්ඩ් ගිනිඋඳුන අසල සිය සයනය වෙත නැවත පියමැන්නේය.

ඝෝරවෘකයා අනුව යමින් ඇයට ගෞරවාදර දැක්වීම උදෙසා කාමරය හරහා පිය නැගි පළමුවැනියා වූ සෙර් හෙල්මන් ටෝල්හාර්ට් ඇය ඉදිරිපිට දණ නමා ඇගේ සුරතේ නළල එබීය. "කැට්ලින් ආර්යාවනි. ඔබතුමී හැමදාමත් වගේ ලස්සනයි. මේ අමාරු වෙලාවෙ ඔබතුමීව මෙහෙම දකින්ට ලැබුන එක අපට ලොකු සැනසීමක්." ගැල්බට් හා රොබර්ට් ග්ලවර් ඊළඟට පැමිණියෝය. ග්‍රේට්ජොන් අම්බර් හා අනෙකුත් වංශාධිපතින් එකිනෙකා ඉන්පසු පැමිණෙන්නට වන්හ. අවසාන වශයෙන් තියන් ග්‍රේජෝයි පැමිණියේය. "ඔබතුමීව මෙතැන මෙහෙම මුනගැහෙන්ට මම බලාපොරොත්තු වුනේ නෑ මගේ ආර්යාවනි." දණ නමන අත‍‍‍රේ ඔහු මිමිනීය.

"මෙතැනට එන්ට මගේ කිසිම අදහසක් තිබුනෙ නෑ." කැට්ලින් කීවාය. "මම ධවල වරායෙන් ගොඩබහිනකම් මට එහෙම අදහසක් තිබුනෙ නෑ. එහෙදි වයිමන් උතුමානන් මට කිවුවා රොබ් එයාගෙ වංශාධිපතියො රැස් කරනවයි කියලා. ඔබලා දන්නවනෙ එයාගෙ පුතා, සෙර් වෙන්ඩල්." ඉදිරියට පැමිණි වෙන්ඩල් මැන්ඩර්ලි සිය දැවැන්ත වට ප්‍රමාණය විසින් අවකාශ දුන් තරමට හිස නැමීය. "ඒ වගේම මගේ බාප්පා, සෙර් බ්‍රින්ඩන් ටලී. එයා මගේ නංගිගෙ සේවයෙන් අයින්වෙලා මගේ සේවයට බැඳුනා."

"කළු මාළුවා." රොබ් කීවේය. "අපිත් එක්ක එකතුවුනාට බොහොමත්ම ස්තූතියි සෙර්. ඔබ වගේ ධෛර්‍යසම්පන්න උදවිය අපට මේ වෙලාවෙ තදින්ම උවමනායි. ඒ වගේම ඔබත් සෙර් වෙන්ඩල්. ඔබලා මෙහෙ ආපු එක ගැන මට බොහොම සන්තෝසයි. සෙර් රඩ්‍රිකුත් ඔයාත් එක්ක ආවද අම්මා? එයා නැතුව මගේ අත නෑ වගෙයි."

"සෙර් රඩ්‍රික් ධවල වරායෙ ඉඳන් උතුරට ගියා. මම එයාව වින්ටර්ෆෙල්වල මුරකාරයා විදියට නම්කරලා අපි ආපහු එනකම් එහෙ රැකගන්ටයි කියලා අණ කලා. මේස්ටර් ලුවින් කියන්නෙ හොඳ උපදේශකයෙක් තමා. ඒ වුනත් එයාට යුද්ධ උපක්‍රම ගැන ඒ හැටි දැනුමක් නෑ."

"ඒ ගැන බයක් ඇතිකරගන්ට එපා ස්ටාර්ක් ආර්යාවනි." ග්‍රේට්ජොන් සිය ගොරහැඩි රැවුදෙන ස්වරයෙන් පැවසීය. "වින්ටර්ෆෙල් බොහොම ආරක්ෂාකාරීයි. අපි බොහොම ඉක්මනට ටයිවින් ලැනිස්ටර්ගෙ පස්සා පැත්තෙ අපේ කඩු ඔබන්ටයි යන්නෙ. සමාවෙන්ට එහෙම කිවුවට. ඊටපස්සෙ අපි යමු රතු බලකොටුවට නෙඩ්ව නිදහස් කරගන්ට."

"මගේ ආර්යාවනි, ඔබ අමනාප නැත්තං මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්." ඩ්‍රෙඩ්පෝර්ට්හි අධිපතියා වූ රූස් බෝල්ටන් සතුව මෘදු කටහඬක් තිබුනි. එනමුදු ඔහු කතාකරන විට ඇහුම්කන් දීම පිණිස ඔහුට වඩා දැවැන්ත මිනිස්සු පවා සිය කතා නවත්වති. ඔහුගේ දෑස් පුදුමාකාර අන්දමින් සුදුමැලි පැහැති විය. එමෙන්ම ඔහුගේ බැල්ම සෑමවිටම කෙනෙකුව නොසන්සුන් කරවන්නක් විය. "අපට අහන්ට ලැබුනා ඔබ ටයිවින් උතුමානන්ගෙ කුරුමිටි පුතාව අත්අඩංගුවට ගත්තයි කියලා. ඔබ එයාව මෙහාට ගෙනාවද? මම කැට තියලා කියන්නම්. ඒ වගේ ප්‍රාණ ඇපකාරයෙක් ඉන්නවානම් අපට සෑහෙන ප්‍රයෝජන ගන්ට පුළුවන්."

ගැල්බට් ග්ලවර්
"මම ටිරියන් ලැනිස්ටර්ව අත්අඩංගුවට ගත්තා තමා. ඒ වුනත් එයා තවදුරටත් මගේ ගාව නෑ." කැට්ලින්ට පිළිගන්නට සිදුවිය. සන්ත්‍රාසයෙන් හා චිත්තවික්ෂේපයෙන් කල මිමිනීම් රැසක් විසින් මේ ආරංචිය පිළිගනු ලැබින. "මමත් ඔබලා තරමටම කණගාටු වෙනවා ඒ වෙච්ච දේ ගැන මගේ උතුමනි. දෙවිවරුන් තීරණය කලා එයා වැරැදිකාරයෙක් නෙවෙයි, එයාව නිදහස් කල යුතුයි කියලා. ඒ වැඩේට මගේ මෝඩ නංගිගෙනුත් සෑහෙන උදවුවක් හම්බවුනා." තමාට සිදු වූ මදිපුංචිකම ගැන මෙසේ වීවෘතව කතාකිරීම නොමනා යැයි ඇය දැන සිටියාය. එනමුදු ඉයරි වෙතින් සිදු වූ ඇගේ පිටවීම ප්‍රසන්න එකක් නොවීය. වින්ටර්ෆෙල්හි හදාවඩා ගැනීම සඳහා ඇයත් සමග කුඩා රොබර්ට් කැටුව යාමට ඉඩ දෙන්නැයි ඇය සිය සොයුරියගෙන් ඉල්ලා තිබුනි. අනිකුත් පිරිමි දරුවන් සමගින් හැදී වැඩෙන්නට ඇත්නම් එය ඔහුට ලොකු යහපතක් වනු ඇතැයි ඇය කියා සිටියාය. ලයිසා ගේ කේන්තිය හා වියරුව බලාසිටිය නොහැකි තරම් අතිමහත් විය. "උඹ මගේ අක්කා වුනත් නැතත්," ලයිසා පිළිතුරු දී තිබින. "උඹ මගේ දරුවාව මගෙන් උදුරගන්ට හැදුවොත්, උඹටත් යන්ට වෙන්නෙ අර චන්ද්‍ර දොරටුවෙන් තමා." එතැනින් පසු ඒ ගැන තවත් කතා කල හැක්කක් නොවීය.

වංශාධිපතිවරුන් ඇගෙන් තවතවත් තොරතුරු දැනගැනීමේ උනන්දුවකින් පසුවූහ. එනමුදු කැට්ලින් අතක් එසෙවුවා ය. "කිසිම සැකයක් නෑ අපට මේකට තව පස්සෙ වෙලාව තියෙයි. අනික මේ ගමන නිසා මට හරිම මහන්සියි. මට ඕන මගේ පුතාත් එක්ක තනියම ටිකක් කතාකරන්ට මගේ උතුමනි‍. මම දන්නවා ඔබලා මට සමාව දෙනවා කියලා." ඇය ඔවුන්ට කිසිදු අවස්ථාවක් නොදුන්නා ය. සැමදාමත් කීකරු උතුමකු වූ හෝර්න්වුඩ් උතුමානන් පෙරටුකොට ගත් වංශාධිපතීහු එකිනෙකා ඇයට හිස නමමින් කාමරයෙන් පිටවන්නට වූහ. "ඔබත් යන්ට ඕන තියන්." තියන් ග්‍රේජෝයි තාවර වන්නට වූ විට ඇය ඔහුට පැවසුවාය. සිනාසුනු ඔහු පිටව ගියේය.

මේසය මත ඒල් හා චීස් විය. අඟක් පිරෙන්නට මධ්‍යසාරය වත්කරගත් කැට්ලින්, අසුනක වාඩි වී, බීම තොලගාමින් සිය පුත්‍රයාව අධ්‍යයනය කරන්නට වූවාය‍. තමා වින්ටර්ෆෙල්වලින් පිටත්වද්දීට වඩා ඔහු උස ගොස් ඇතැයි ඇයට සිතින. එමෙන්ම රැවුල් කොට නිසා ඔහුට වඩා වැඩිමහලු පෙනුමක් ලැබී තිබුනි. "එඩ්මුයර් රැවුල වවන්ට පටන්ගනිද්දී එයාට දාසයයි."

"මටත් ඉක්මනටම දාසය ලබනවා."

"ඒ වුනාට ඔයාට තාමත් පහළොවයි. පහළොවයි. හමුදාවක් අරන් යුද්ධෙට යනවා. ඔයාට තේරෙනවද ඇයි මම මෙච්චර බයවෙලා ඉන්නෙ කියලා රොබ්?"

ඔහුගේ පෙනුම වඩාත් මුරණ්ඩු විය. "ඒකට ගැලපෙන වෙන කෙනෙක් හිටියෙ නෑ."

"වෙන කෙනෙක් හිටියෙ නෑ? දෙයියම්පා! එතකොට දැන් ටිකකට කලින් මෙතන හිටපු මිනිස්සු මොක්කුද? රූස් බෝල්ටන්, රිකාර්ඩ් කාර්ස්ටාර්ක්, ගැල්බට් ග්ලවර්, රොබර්ට් ග්ලවර්, ග්‍රේට්ජොන්, හෙල්මන් ‍ටෝල්හාර්ට්... ඔයාට මේ ඕනෑම කෙනෙකුට අණදෙන නිළධාරි තනතුර දෙන්ට තිබුනා. ඔයාට ඕනම නම් තියන්ට වුනත් ඒක දෙන්ට තිබුනා. ඒ වුනත් මගේ තේරීම නම් එයා නෙවෙයි."

"එයාලා ස්ටාර්ක්ලා නෙවෙයි."

"එයාලා මිනිස්සු රොබ්. යුද්ධෙන් පදම්වෙච්ච මිනිස්සු. ඔයා මීට අවුරුද්දකට උඩදි ලී කඩුවකින් සෙල්ලම් කර කර හිටපු ළමයෙක්."

ඔහුගේ දෑසේ කේන්තිය නැග එනු ඇයට පෙනුනි. එනමුදු එය පැමිණි වේගයෙන්ම බැහැරව ගියේය. ඊළඟ මොහොතේ ඔහු නැවතත් අර කුඩා කොලුවා විය. "මම දන්නවා." ඔහු ලැජ්ජාවෙන් මෙන් කීවේය. "ඔයා... ඔයා මාව ආපහු වින්ටර්ෆෙල්වලට යවනවද?"

කැට්ලින් සුසුමක් හෙලුවාය. "එහෙම තමා කරන්ට වටින්නෙ. ඔයා කොහෙත්ම එහෙන් පිටවෙලා නොඑන්ටයි තිබුනෙ. ඒ වුනත් මට දැන් ඒ වැඩේ කරන්ට බෑ. ඔයා සෑහෙන්න දුර ඇවිල්ලා ඉවරයි. කවදාහරි දවසක මේ වංශාධිපතියො ඔයා දිහා බලයි එයාලගෙ උසස් උතුමානන් විදියට. මම දැන් ඔයාව හරියට රෑ කෑම දෙන්නෙ නැතුව ඇඳට යවන පුංචි එකෙක් වගේ ආපහු යැවුවොත් එයාලා ඒක මතක තියාගනීවි. ඊට පස්සෙ එයාලා ඒ ගැන හිනාවේවි. එක දවසක් එනවා, එදාට එයාලා ඔයාට ගරු බුහුමන් දක්වන්ට ඕන. ඔයාට චුට්ටක් විතර බයවෙන්ටත් ඕන. එයාලා දැන් ඔයාට හිනාවුනොත් ඒක අනාගතේට හොඳ නෑ. ඔයාට එහෙම දෙයක් වෙනවා දකින්ට මට ඕන නෑ. ඔයාව පරිස්සම් කරගන්ට ඕන වගේම ඒකත් මට ඕන."

"ඔයාට ගොඩක් ස්තූතියි අම්මා!" රොබ්ගේ මුහුණේ වූ සහනය පැහැදිළිවම දිස්විය.


Catelyn Stark: “Make no mistake, these are your bannermen, not your friends.”

Wednesday 28 January 2015

ඩනේරිස් 06-2


වංගුවකින් හැරුනු ඔවුහු කුඩා දිදාල ප්‍රමාණයේ කෝප්පවල බහාලූ වයින් මග යන එන්නවුන්ට රස බලන්නට දෙමින් සිටි වයින් වෙළෙන්දෙකු අභිමුවට පැමිණියෝය. "රස රතු වයින්." ඔහු ව්‍යක්ත ඩොත්රැකිවලින් කෑගැසීය. "මගේ ගාව තියෙනවා රස රතු වයින්. ලයිස්වලින් ගෙනාපුවා. වොලැන්ටිස්වලින් ගෙනාපුවා. ආර්බර්වලින් ගෙනාපුවා. ලයිස්වල සුදු වයින්. ටයිරෝෂිවල පෙයාර් බ්‍රැන්ඩි. ෆයර්වයින්. පෙපර්වයින්. ම(ර්)වල ලා කොළ පාට පැණිරස එවුවා. ස්මොක්බෙරි දුඹුරුපාට එවුවා. අන්දලීෂ් ඇඹුල් වයින්. මගේ ගාව තියෙනවා. මගේ ගාව තියෙනවා." ඔහු කෙට්ටු, කඩවසම්, කුඩා මිනිසකු විය. ඔහුගේ හණ වැනි කෙහෙරැළි ලයිස්වල විලාසිතාව අනුව කැරැළි ගස්වා සුවඳ ගල්වා තිබුනි. ඩැනී ඔහුගේ සල්පිල ඉදිරියේ නැවතුනු යිට ඔහු හිස පහත් කලේය. "ඛලීසිට රස බලන්ට චුට්ටක් දෙන්ටද? මගේ ගාව තියෙනවා ඩෝර්න්වලින් ගෙනාපු හොඳ රස රතු වයින් එකක් මගේ ආර්යාවනි. ඒකෙ තියෙනවා හොඳ මිදියි චෙරියි රහකුයි එක්ක එකතුවෙච්ච තද ඕක් කහට රහක්. පීප්පයක් බොමුද, කෝප්පයක් බොමුද, උගුරක් බොමුද? එක උගුරක් බීලා බැලුවොත් ඔබේ ඔය කුසේ ඉන්න දරුවා මගේ නමින් නම් කරනවා සහතිකයි."

ඩැනී සිනාසුනාය. "මගේ පුතාට දැනටමත් නමක් තියෙනවා. ඒ වුනත් මම ඔබේ සමර්වයින් චුට්ටක් බීලා බලන්නම්." ඇය වැලීරියන් බසින් - නිදහස් වෙළෙඳ නගරවල භාවිත වන වැලීරියන් බසින් - වෙළෙන්දාට කීවාය. මෙතරම් කලකට පසු මේ වදන් තෙපලීමේ නුහුරු බවක් ඇගේ මුවට දැනුනි. "පුංචි උගුරක් දෙන්ටකො රස බලන්ට."

වෙළෙන්දා ඇය ඩොත්රැකියකු කොට සිතූ බවකි. ඇය හැඳ සිටි ඇඳුම් ද, තෙල් ගැල්වූ කෙහෙරැළි ද, අවුවට පිච්චී ගිය සම ද නිසා එය මහ අරුමයක් නොවීය. ඇගේ කතාව ඇසූ ඔහු විමතියෙන් මුව අයාගත්තේ ය. "මගේ ආර්යාවනි, ඔබතුමී... ටයිරෝෂි ද? ඒක වෙන්ට පුළුවන් ද?"

"මගේ කතාව ටයිරෝෂි වෙන්ට ඇති. මගේ ඇඳුම් ඩොත්රැකි වෙන්ට ඇති. ඒ වුනත් මම වෙස්ටෙරොස්වල රාජධානි සප්තකයේ." ඩැනී ඔහුට කීවාය.

ඩෝරියා ඉදිරියට පැමිණ ඇය පසෙකින් සිටගත්තා ය. "උඹ මේ කතා කරන්නෙ ටාර්ගේරියන් වංශයේ ඩනේරිස්ට. ඩනේරිස් ස්ටෝර්ම්බෝර්න්ට. අශ්වාරෝහකයින්ගෙ ඛලීසිට. රාජධානි සප්තකයේ කුමාරිට. උඹට මේක ලොකු ගෞරවයක්."

වයින් වෙළෙන්දා දණින් වැටුනේය. "කුමරියනි." ඔහු හිස නැමීය.

"නැගිටින්ට." ඩැනී ඔහුට අණකලාය. "මම තාමත් කැමැතියි ඔබ අර කියාපු සමර්වයින් චුට්ටක් රස බලන්ට."

මිනිසා දඩිබිඩියේ නැගිටගත්තේ ය. "ඒක? අර ඩෝර්නිෂ් ජරාව? ඒක කුමාරියකට තරම් නෑ. මගේ ගාව තියෙනවා බොහොම හොඳ වියළි රතු ආර්බර් වයින් එකක්. බොහොම ප්‍රසන්නයි. බොහොම මනෝහරයි. කරුනාකරලා, මට ඉඩදෙන්ට ඔබතුමීට ඒකෙන් පීප්පයක් දෙන්ට."

නිදහස් නගර වෙත නිරන්තරයෙන් කෙරුනු ඛාල් ඩ්‍රෝගෝගේ සංචාර විසින් ඔහු තුළ හොඳ වයින් කෙරෙහි මහත් ඇල්මක් ඇති කොට තිබින. මෙවැනි අගනා පැරැණි වයින් වර්ගයක් ලැබුනහොත් ඔහු අමන්දානන්දයට පත්වනු ඇති බැව් ඩැනී දැන සිටියාය. "ඔබ මට ගෞරව කරනවා සෙර්." ඇය මධුර ස්වරයෙන් මිමිනුවාය.

"ගෞරවය අයිති මටයි." සිය සල්පිලේ පසුපසට ගිය වෙළෙන්දා ඕක් ලීයෙන් කල කුඩා පීප්පයක් රැගෙන ආයේය. මේ පීප්පයේ ලීය මතුපිට මිදි පොකුරක සලකුණක් හංවඩු ගසා තිබුනි. "රෙඩ්වින් සලකුණ." ඔහු එයට ඇඟිල්ල දිගු කරමින් කියා සිටියේය. "ආර්බර්වල සලකුණ. මේකට ගහන්ට පුළුවන් බීමක් වෙන කොහෙවත් නෑ."

"ඛාල් ඩ්‍රෝගෝයි මමයි ඒක ඉවර කරන්නම්. අග්ගෝ. කරුනාකරලා මේක මගේ දෝලාවට අරන් යන්ට." ඩොත්රැකියා වයින් පීප්පය ඔසවා ගනිද්දී වයින් වෙළෙන්දා සතුටින් පිනා ගියේය.

සෙර් ජෝරාගේ කටහඬ ඇසෙන තෙක් නයිට්වරයා තම පිරිසට යළි එකතු වී ඇති බවක් ඇය නොදත්තාය. "එපා!" ඔහුගේ ස්වරයට අමුතු පරුෂ බවක් එක් වී තිබුනි. "අග්ගෝ. ඔය පීප්පෙ බිමින් තියාපන්."

අග්ගෝ ඩැනී දෙස බැලීය. ඇය දෙගිඩියාවකින් මෙන් ඔවු කියන්නට හිස සැලුවාය. "සෙර් ජෝරා. මොකක් හරි ප්‍රශ්නයක් ද?"

"මට පොඩි තිබහක් ආවා. වයින් වෙළෙන්දා, මේ පීප්පෙ ඇරපන්."

වෙළෙන්දා රවා බැලීය. "මේ වයින් එක ඛලීසිට. උඹලා වගේ එවුන්ට නෙවෙයි සෙර්."

සෙර් ජෝරා සල්පිල වෙත තවත් ලංවිය. "උඹ ඒක ඇරියෙ නැත්තම්, මම උඹේ ඔළුවෙ ගහලා ඒක අරිනවා." මේ පූජනීය නගරය තුළ ඔහු කිසිදු ආයුධයක් අත නොදැරීය. සිය දෑත් හැරෙන්නට වෙනත් කිසිදු ආයුධයක් ඔහු අත නොවීය. එනමුදු ඒ විසල්, හැඩිදැඩි, දළ ලොමින් ගැවසීගත් දෑත් උවමනාවටත් වඩා වැඩි ආයුධයක් විය. වයින් වෙළෙන්දා මොහොතක් අතීරණයෙන් පෙලෙන්නාක් මෙන් පෙනින. එනමුදු ඊළඟ මොහොතේ ඔහු සිය මිටිය අතට ගෙන පීප්පයේ ඇබයට ගසා එය විවර කලේය.

"වක්කරපන්." සෙර් ‍ජෝරා නියෝග කලේය. ඩැනීගේ ඛාස් එකේ තරුණ සෙබළුන් සිවුදෙනා ඔහු පිටුපසින් පෙළ සැදුනහ. ඔවුන් ගේ රවුම් ආමන්ඩ් හැඩැති දෑස් රවන්නට පටන් ගත්හ.

"මේ වගේ හොඳ වයින් එකකට නියම විදියට හුළං වදින්ට දෙන්නෙ නැතුව එකපාරටම බොන එක මහ අපරාධයක්." වයින් වෙළෙන්දා තවමත් සිය මිටිය පහත හෙලා නොතිබින.

ජෝගෝ සිය ඉණපටියේ රුවා තිබුනු කසය වෙත අත යැවීය. එනමුදු මුදු ලෙස ඔහුගේ අත ස්පර්ශ කල ඩැනී ඔහුව නැවැත්වීය. "සෙර් ජෝරා කියාපු විදියට කරපන්." ඇය වෙළෙන්දාට අණදුනි. මග යන එන්නෝද සිදුවන්නේ කුමක්දැයි බලනු පිණිස රැස් කන්නට වූහ.

මිනිසා ඇය වෙත කෙටි බුම්මාගත් බැල්මක් හෙලීය. "කුමරියගෙ කැමැත්තක්." මිටිය පසෙකින් තැබූ ඔහු පීප්පය ඔසවාගත්තේ ය. ඉන්පසු බිඳකුදු අපතේ නොයන සේ පරෙස්සමින් දිදාලයක ප්‍රමාණයේ රස බලන කෝප්ප දෙකකට වයින් වත්කලේය.

කෝප්පය එසවූ සෙර් ජෝරා රවාගත් මුහුණින් යුතුව එය ඉවකර සුවඳ බැලීය.

"ප්‍රසන්නයි නේද?" වයින් වෙළෙන්දා සිනාසෙමින් කීවේය. "ඔබට පළතුරු සුවඳ දැනෙනවද සෙර්? ඒ තමා ආර්බර්වල සුවඳ විලවුන් සුවඳ. රහ බලන්ට මගේ උතුමානනි. රහ බලලා මට කියන්ට මෙච්චර කාලෙකට ඔබේ දිවේ ගෑවුන හොඳම ප්‍රණීතම වයින් එක මේක නෙවෙයිද කියලා."

සෙර් ජෝරා කෝප්පය ඔහු දෙසට දිගුකලේය. "උඹ ඉස්සෙල්ලා රහ බලපන්."

"මම?" මිනිසා සිනාසුනේය. "මේ හොඳ වයින් එක බොන්ට තරම් මම සුදුස්සෙක් නෙවෙයි මගේ උතුමානනි. අනික තමන්ගෙ වෙළෙඳ බඩුවලින් වයින් බොන වෙළෙන්දා හොඳ වෙළෙන්දෙක් නෙවෙයි." ඔහුගේ මුවේ නැගුනු සිනහව ආදරණීය මිත්‍රශීලී එකක් වුවද ඔහුගේ නළලේ නැගි දහදිය බිඳු ඩැනී මනාව දුටුවාය.

"උඹ මේක බොන්ටම ඕන." ඩැනී සීතල ස්වරයෙන් කීවාය. "ඔය කෝප්පෙ බීලා ඉවරකරපන්. එහෙම නොකලොත් මම කියනවා මගේ මිනිස්සුන්ට උඹව අල්ලගෙන ඉන්න අතරෙ සෙර් ජෝරාට ඔය වයින් පීප්පෙම උඹේ උගුරෙන් පහළට යවන්ටයි කියලා."

දෙවුර ඇකිළූ වෙළෙන්දා කෝප්පය වෙත නැඹුරු විය... එහෙත් සැනින් වයින් පීප්පය දෑතින් ගත් ඔහු එය ඩැනී වෙත දමා ගැසීය. සෙර් ජෝරා ගොනෙකු මෙන් ඇය දෙසට කඩා පිනූයේ ඇයව ඉවතට තල්ලු කර හැරියේය. ඔහුගේ උරහිසේ වැදුනු පීප්පය බිම වැටී වයින් දසත විසිර ගියේය. පා පැකිළුනු ඩැනී වැටෙන්නට ගියාය. "අයියෝ!" වැටීම වලක්වනු වස් අත් දිගු කරමින් ඇය කෑගැසුවාය... ඇගේ අතකින් අල්ලාගත් ඩෝරියා ඇයව පසුපසට ඇද්දාය. එනයින් ඩැනී සිය උදරය මත නොව ඩෝරියා ගේ පාද මත ඇද වැටුනාය.

සල්පිල හරහා පිනූ වෙළෙන්දා අග්ගෝ හා රඛාරෝ අතරින් ඊයක් මෙන් විද්දේය. තමා අත නොමැති අරඛ් එකක් වෙනුවෙන් ක්වාරෝ සුරත යොමද්දී මිනිසා ඔහුව පසෙකට තල්ලු කර දැම්මේය. ඔහු වීථිය දිගේ දුවන්නට වන්නේය. ඊළඟ මොහොතේ ඩැනීට ජෝගෝගේ කසයේ හඬ ඇසුනි. සර්පයකු මෙන් ඉදිරියට පිනූ සම් කසය වෙළෙන්දා ගේ වළළුකර වටා එතී ගියේය. මිනිසා මුහුණ ඉදිරියට සිටින සේ වීථිය මැද හතරගාතයෙන් වැටුනේය.

තවලම් මුරභටයින් දුසිමක් පමණ එදෙසට දිව එන්නට වූහ. තවලමේ නායකයා වූ කපිතාන් බයන් ‍වොටිරිස් ද ඒ අතර විය. මේ කුඩා නොර්වොෂියා පදම්කල සමක් මෙන් වියළී ගිය දෙකණ් දක්වා විහිද ගිය දැවැන්ත නිල් පැහැ උඩු රැවුලක් ඇත්තෙකු විය. වදනකුදු කතා නොකරම සිදුව ඇත්තේ කුමක්දැයි වහා වටහාගන්නට ඔහු සමත් විය. "මේකාව අරන් ගිහින් ඛාල්ට බාර දීපන් කැමැත්තක් කරගන්ටයි කියලා." බිම හොත් මිනිසා දෙස අතක් දිගු කරමින් ඔහු අණකලේය. මුරභටයින් දෙදෙනෙක් වයින් වෙළෙන්දා දෙපයින් සිටවූහ. "උගේ බඩු ඔක්කොම මම තෑග්ගක් විදියට ඔබතුමීට දෙනවා කුමරියනි." කපිතාන් දිගටම කතාකලේය. "මගේම මිනිහෙක් මෙහෙම දෙයක් කලැයි කියලා හිතනකොට මට ඇතිවෙන පසුතැවීම කණගාටුව වෙනුවෙන් පුංචි සංකේතයක්."

ඩෝරියා හා ජික්වි එක්ව ඩැනිව අල්ලා පරෙස්සමින් ඇයව නැවත නැගිට්ටෙවුවෝ ය. බිම වැටී පලුදු වූ වයින් පීප්පයේ වූ විසමුසු වයින් පොළොවට කාන්දු වන්නට විය. "ඔබ කොහොමද දැනගත්තෙ?" ඇය වෙවුලමින් සෙර් ජෝරාගෙන් විමසුවාය. "කොහොමද?"

"මම දැනගෙන හිටියෙ නෑ ඛලීසි. මේ මිනිහා වයින් බොන එක ප්‍රතික්ෂේප කරනකම්ම මම දැනගෙන හිටියෙ නෑ‍. ඒ වුනත් මැජිස්ටර් ඉල්ලීරියෝගෙ ලියුම කියෙවුවට පස්සෙ මට පොඩි බයක් ඇතිවුනා." ඔහුගේ අඳුරු දෑස් වෙළෙඳපලෙහි වූ නාඳුනන මුහුණු පිරික්සා බැලීය. "එන්ට අපි යමු. මෙතැන ඉඳන් ඒ ගැන කතාකරන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි."

ඔවුන් ඇයව නැවත ඔසවාගෙන යද්දී ඩැනී හැඩුම් එන්නට ආසන්නව සිටියාය. ඇගේ මුවේ වූ ඒ අමිහිරි රසය ඇය මින් පෙරද දැන සිටි දෙයක් විය. බිය! වසර ගනනාවක් තිස්සේ ඇය විසේරිස් කෙරෙහි ඇති භීතියෙන් යුතුව කල් ගෙවුවාය. මකරාව අවදි වේයැයි බියෙන් කල් ගෙවුවාය. මෙය ඊටත් වඩා නරක දෙයක් විය. ඇය දැන් බියපත් වූයේ තමා වෙනුවෙන් පමණක් නොවේ. සිය කුස තුළ වැඩෙන බිළිඳා ගැනද බියපත් වූවාය. ඔහුටද ඇගේ බිය දැනුනා වන්නට ඇත. මක්නිසාද යත් ඔහු නොසන්සුන් අයුරින් ගැබ තුළ පෙරලෙන අයුරු ඇයට දැනුනු බැවිනි. ඩැනී හෙමින් සීරුවේ සිය පිරුනු උදරය පිරිමැද්දා ය. තමාට ඔහු වෙත ළඟා විය හැකිනම්, ඔහුව ස්පර්ෂ කල හැකිනම්, ඔහුව සැනසිය හැකිනම් යැයි ඇය දුකින් කල්පනා කලාය. "ඔයා මකරාගෙ රුධිරය පුංචි පැටියෝ." තිරරෙදි තදින් පහතට ඇදදමා තිබුනු සිය දෝලාව සෙමින් පැද්දෙද්දී ඇය මිමිනුවාය. "ඔයා මකරාගෙ රුධිරය. මකරු බයවෙන්නෙ නෑ."

වයෙස් ‍ඩොත්රැක්වල ඇගේ නිවහන වූ උමගක් සහිත පස් ගොඩැල්ල තුළට පිවිසි පසු ඩැනී සෙර් ජෝරා හැරෙන්නට අන් සැවොම ඉවත යැවුවාය. "මට කියන්ට." සිය කොට්ට මත හාන්සි වෙන අත‍රේ ඇය අණකලාය. "ඒ රජකම පැහැරගත්තු එකාගෙ වැඩක්ද?"

"ඔවු." නයිට්වරයා නැමූ කඩදාසියක් පිටතට ඇදගත්තේ ය. "මැජිස්ටර් ඉල්ලීරියෝගෙන් විසේරිස්ට ලියුමක්. ඔබේ හරි ඔබේ සහෝදරයාගෙ හරි මරණය වෙනුවෙන් රොබර්ට් බරතියන් වංශාධිපති තනතුරක් ප්‍රදානය කරනවා."

"මගේ සහෝදරයා?" ඇගේ ඉකිබිඳුම අඩ සිනහවක් බවට පෙරැලින. "එයා තාම ඒ ගැන දන්නෙ නෑ. එහෙම නේද? රජකම පැහැරගත්තු එකා ඩ්‍රෝගෝට වංශාධිපති තනතුරක් දෙන්ට ඕන." මෙවර ඇගේ සිනහව අඩ ඉකිබිඳුමක් විය. ඇය තමාව ආරක්ෂා කරගන්නට මෙන් තමාවම වැළැඳගත්තා ය‍. "ඒ වගේම මාත් කියලා ඔබ කිවුවා. මම විතරද?"

"ඔබයි දරුවයි දෙන්නම." සෙර් ජෝරා දරුණු ස්වරයෙන් කීය.

"නෑ. ඌට බෑ මගේ පුතාව ගන්ට." තවදුරටත් වැලපිය යුතු නැතැයි ඇය තීරණය කලාය. තවදුරටත් බියෙන් වෙවුලිය යුතු නැත. 'රජකම පැහැරගත්තු එකා දැන් මකරාව නැගිට්ටෙවුවා.' ඇය තමාටම කියාගත්තා ය... අඳුරු පැහැ විල්ලූද මත තැන්පත්ව ඇති මකර බිත්තර දෙස ඇගේ දෑස් ඇදීගියේය. එහා මෙහා දඟලන පහන් දැල්ල මේ බිත්තරවල ශෛලමය කොරපොතු මත නැටීය. දිදුලන ජේඩ් කොළ පැහැ, ලේ රතු පැහැ හා රන් පැහැ ධූලි අංශු මේ බිත්තර වටා වූ වාතය තුළ පිහිනුවේය. එය හරියටම රජෙකු වටා ඉච්ඡාකාරයින් රෑනක් දඟලන්නාක් මෙන් විය.

ඊළඟ මොහොතේ තමා තුළ මතුව ආයේ බිය නිසා උපන් එක්තරා අන්දමක පිස්සුවක් ද? එසේත් නැතිනම් ඇගේ මකර රුධිරය තුළ සැඟවී තිබුනු කිසියම් අන්දමක ප්‍රඥාවක් ද? ඩැනීට ඒ කුමක් නිසාදැයි කිව නොහැකි විය. එනමුදු සිය මුවින් මෙවදන් පිටවනු ඇයට ඇසුනි. "සෙර් ජෝරා. ගිනිකබල පත්තු කරන්ට."

"ඛලීසි?" නයිට්වරයා ඇය දෙස විස්මයෙන් බැලීය. "මෙතැන හරිම රස්නෙයි. ඔබට හොඳටම විශ්වාස ද?"

ඇයට මින් පෙර කෙදිනකවත් මෙවැනි විශ්වාසවන්ත බවක් දැනී නොතිබුනි. "ඔවු. මට... මට පොඩි සීතලක් දැනුනා. ගිනිකබල පත්තු කරන්ට."

ඔහු හිස නැමීය. "ඔබේ කැමැත්තක්."

ගල්අඟුරු ගිනිගෙන දැල්වෙන්නට වූ විට ඇය සෙර් ජෝරාව ඉවත යැවුවාය. දැන් මේ සිදුකරන්නට යන දෙය ඇය විසින් තනිවම කල යුත්තක් විය. 'මේක මහ පිස්සුවක්!' කළු හා ලේ රතු පැහැ මකර බිත්තරය විල්ලූද මතින් ඔසවද්දී ඇය තමාටම කියාගත්තා ය. 'ඒක නිකම්ම පිපිරිලා පිච්චිලා යයි. අනික ඒක කොච්චර ලස්සන ද. මම ඒක විනාස කරලා දැම්මොත් සෙර් ජෝරා මට මෝඩියෙක් කියලා කියයි. ඒ වුනත්, ඒ වුනත්...'

දෑතින්ම බිත්තරය ඔසවාගත් ඇය ගිනිකබල වෙතට පිය මැන්නී එය ගිනිගන්නා ගල්අඟුරු මත තැන්පත් කලාය. කළු පැහැ කොරපොතු තාපය උරාගනිද්දී දිදුලන්නට විය. රතු පැහැ දිවවල් මෙන් වූ ගිනිදළු බිත්තරය වැළඳගන්නට විය. ඩැනී ඉතුරු බිත්තර දෙකද කළු බිත්තරය පසෙකින් ගිනිකබලේ අඟුරු මත තැන්පත් කලාය. ගිනිකබල වෙතින් මෑත්වද්දී සිය හුස්ම උගුරේ හිරවන්නාක් මෙන් ඇයට දැනුනි.

ගල්අඟුරු දැවී අළු බවට පත්වන තෙක්ම ඇය එදෙස බලා හුන්නාය. ඉහළට නැගුනු ගිනිපුපුරු දුම් පිටකරන සිදුරෙන් එළියට ඇදී ගියේය. තාප ධාරා බිත්තර වටා නැටීය. එපමණකි.

'ඔබේ සහෝදරයා රේගාර් තමා අන්තිම මකරා.' සෙර් ජෝරා ඇයට වරක් කියා තිබුනි. ඩැනී දුක්මුසු බැල්මක් දෙනෙතේ රඳවාගෙන සිය බිත්තර දෙස බලා හුන්නාය. ඇය වෙන කුමක් බලාපොරොත්තු වන්නට ද? මීට වසර දහස් ගණනකට එහානම් මේ බිත්තර සජීවී ඒවා වන්නට ඇත. එනමුදු දැන්... ඒවා නිකංම නිකං ලස්සන ගල් තුනක් පමණි.

'ඒවාට බෑ මකරෙක් උපද්දන්ට. මකරෙක් කියන්නෙ ගින්දරයි වාතයයි. මකරෙක් කියන්නෙ ජීවත්වෙන මාංශයක්. මැරිච්ච ගලක් නෙවෙයි.'

* * *

ඛාල් ඩ්‍රෝගෝ නැවත පැමිණෙන මොහොත වනවිට ගිනිකබල ද සීතල වී ගොස් තිබුනි. කො‍හොල්ලෝ තමාට පසුපසින් බර අදින අසෙකු දක්කාගෙන ආවේය. මේ අසු පිට සුදු පැහැ දැවැන්ත සිංහයකු ගේ මළ සිරුරක් හොවා තිබුනි. ඉහළ අහසේ තරු පායා එමින් තිබුනි. සිනාසෙමින් අසුපිටින් බට ඛාල් හ්රක්කාර් විසින් සිය කලිසම හරහා පහුරු ගා පාදයේ ඇති කල තුවාල ඇයට පෙන්වීය. "මම උගේ හමෙන් ඔබට ලස්සන සළුවක් මස්සලා දෙන්නම්, මගේ ජීවිතේ හඳ." ඔහු දිවුලේය.

අද දිනයේ වෙළෙඳපලේදී සිදුවූ සිද්දීන් ඩැනී ඔහුට පැවසූ විට මේ සියළු සිනා නැවතුනි. ඛාල් ඩ්‍රෝගෝ ගැඹුරු නිහඬතාවක වෙලී ගියේය.

"මේ තමා පළවෙනියා." සෙර් ජෝරා ඔහුට අනතුරු ඇඟවීය. "ඒ වුනත් ඌ අන්තිමයා වෙන එකක් නෑ. වංශාධිපති තනතුරක් වෙනුවෙන් මිනිස්සු ඕනම දෙයක් කරයි."

ඩ්‍රෝගෝ බොහෝ වේලාවක් නිහඬව සිටියේය. අන්තිමේදී ඔහු කටහඬ අවදි කලේය. "මේ වස විකුනපු එකා මගේ ජීවිතේ හඳෙන් ඈතට දුවලා ගියා. වඩා හොඳයි ඌ එයා පස්සෙන් දිවුවොත්. ඒක එහෙමම වෙයි. ජෝගෝ, අන්දාල් ජෝරා. මම මේ උඹලා දෙන්නටමයි කියන්නෙ. මගේ අශ්වයො රංචුවෙන් උඹලා කැමැති ඕනෑම අශ්වයෙක් ගානෙ තෝරගනිල්ලා. උං උඹලාට අයිතිවෙයි. මගේ රතු අශ්වයයි, මගේ ජීවිතේ හඳට මම මනාලි තෑග්ගක් විදියට දීපු රිදීයි ඇරෙන්ට වෙන ඕනෑම අශ්වයො දෙන්නෙක් තෝරගනිල්ලා. උඹලා දෙන්නා අද දවසේ කරපු උපකාරෙ වෙනුවෙනුයි මේ තෑගි දෙන්නෙ."

"ඩ්‍රෝගෝගෙ පුතා රේගෝට, මේ ලෝකය පාලනය කරන්ට යන සෛන්ධවයාට, එයාටත් මම තෑග්ගක් දෙනවා. එයාට මම තෑගි දෙනවා එයාගෙ අම්මාගෙ තාත්තා වාඩිවෙලා හිටපු යකඩ පුටුව. එයාට මම දෙනවා රාජධානි සප්තකය. මම, ඩ්‍රෝගෝ, ඛාල් මේක කරනවාමයි." ඔහුගේ හඬ උස් වන්නට වූ අතර මිටිකරගත් සිය අත ඔහු ආකාශය දෙසට එසෙවුවේය. "මගේ ඛලසාර් එක අරන් මම යනවා බටහිරට. මම යනවා ලෝකාන්තයට. මීට කලින් කිසිම ඛාල් කෙනෙක් කරපු නැති විදියට මම ලී අශ්වයො පිටේ නැගලා කළුපාට ලුණු වතුරෙන් එහා පැත්තට යනවා. මම යකඩ ඇඳුම් ඇඳලා ඉන්න මිනිස්සු මරලා උංගෙ ගල් කූඩාරම් විනාශකරලා දානවා. මම උංගෙ ගෑනු දූෂණය කරනවා. උංගෙ දරුවො වහල්කමට ගන්නවා. උංගෙ බිඳිච්චි දෙයියො ඇදගෙන එනවා වයෙස් ඩොත්රැක් වලට. ගෙනල්ලා කඳු මාතාවට උං ලව්වා නමස්කාර කරවනවා. මේක මම දිවුරනවා. මම, බාර්බෝගෙ පුතා ඩ්‍රෝගෝ. මම මේක දිවුරනවා කඳු මාතාව ඉදිරියේ. අහසෙ තරු මට සාක්කි දෙයි."

දවස් දෙකකට පසු ඔහුගේ ඛලසාරය වයෙස් ඩොත්රැක් වෙතින් පිටවූයේය. ඔවුහු තැනිතලාව හරහා බටහිරට බරව දකුණු දෙසට ගමන් කරන්නට වූහ. සිය රතු පැහැති දැවැන්ත සෛන්ධවයා පිට නැගුනු ඛාල් ඩ්‍රෝ‍ගෝ ඔවුන්ව මෙහෙයවීය. රිදී පිට නැගුනු ඩැනී ඔහු පසෙකින් විය. ගෙලට හා මැණික්කටුවලට යදම් දැමූ, නිරුවත් වයින් වෙළෙන්දා ඔවුන් පසුපසින් දිව ආයේය. ඔහුව බැඳ තිබූ දම්වැල් ඩැනීගේ වෙළඹ, රිදී‍ගේ ඉස්පටියට ඈඳා තිබුනි. ඇය අසු ධාවනය කරන අතරේ ඔහු ඈ පසුපසින් දිව ආවේය. නිරුවත් දෙපයින් යුතුව, පා පැකිලෙමින් දිව ආවේය. ඔහුට කිසිදු අනතුරක් සිදු නොවනු ඇත... සිය වේගය පවත්වා ගන්නා තෙක් කිසිවක්ම සිදු නොවනු ඇත.


Jorah Mormont: “The Dothraki do things in their own time, for their own reasons.”

Monday 26 January 2015

ඩනේරිස් 06-1


සිය තෘප්තිය විඳ හමාර වූ පසු ඛාල් ඩ්‍රෝගෝ නිදි පැදුරෙන් නැගිට සිටියේය. ඇය අබියස නැගී සිටි ඔහු කුළුණක් මෙන් උස්ව පෙනුනි. ගිනි කබලෙන් නැගුනු රත් පැහැ ආළෝකය නිසා ඔහුගේ සම ලෝකඩ පැහැයෙන් දිදුලන්නට විය. ඒ පුළුල් පපුවෙහි වූ පැරැණි තුවාල කැළැල් සිහින් ඉරි මෙන් දිස් විය. ඔහුගේ උරහිස මත හා පිට දිගේ ලිහිල්ව වැක්කෙරුනු තීන්ත මෙන් කළු පැහැ වූ නොගෙතූ කෙස් වැටිය ඉණෙනුත් පහළට වැටී තිබූ අතර පුරුෂ ලිංගය තෙත්ව දිලිසුනේය. ඒ දිගු උඩු රැවුලට යටින් ඛාල්ගේ මුව ඇදවී රවමින් තිබින. "ලෝකය පාලනය කරන සෛන්ධවයාට ඔය යකඩ පුටුවලින් ඇති වැඩක් නෑ."

සිය වැලමිටට බර දී එසවුනු ඩැනී ඔහු දෙස බැලුවාය. 'ඔහු කෙතරම් උස් ද. කෙතරම් තේජාන්විත ද.' ඇය වෙසෙසින්ම ඔහුගේ දිගු කේශ කලාපයට ආදරය කලාය. එය කිසිදාක නොකැපූ කෙස් කළඹක් විය. ඔහු කිසිදාකත් පරාජය යනු කුමක්දැයි හඳුනාගත්තකු නොවීය. "අනාවැකියෙ කියැවෙන විදියට මේ සෛන්ධවයා ලෝකෙ කෙලවරටම යනකම් යනවා." ඇය ඔහුට සිහිපත් කර දුන්නාය.

"කළු පාට ලුණු මුහුද ගාවින් ලෝකෙ ඉවර වෙනවා." ඩ්‍රෝගෝ සැනෙන් පිළිතුරු දුන්නේය. සිය ගතේ රැඳි දහදිය හා තෙල් ගතිය පිසදා හරිනු පිණිස ඔහු උණුසුම් දිය පිරි බේසමක රෙදි කැබැල්ලක් බහා තෙමාගත්තේ ය. "කිසිම අශ්වයෙකුට බෑ ඔය වස වතුර හරහා යන්ට."

"නිදහස් නගරවල නැවු දාස් ගානක් තියෙනවා‍." මීට පෙර අනන්ත වතාවක් කියා ඇති පරිද්දෙන් ඩැනී නැවතත් කීවාය. "ඒවා හරියට කකුල් සිය ගානක් තියෙන ලී අශ්වයො ව‍ගේ. උන්ට පුළුවන් පියාපත් විදහලා මුහුද උඩින් පියාඹලා යන්ට."

ඛාල් ඩ්‍රෝගෝට මේ කිසිවක් අසන්නට උවමනා නොවීය. "මේ ලී අශ්වයොයි යකඩ පුටුයි ගැන අපි ආයෙමත් කතා නොකර ඉම්මු." තෙත් රෙදි කැබැල්ල බිම අතහල ඔහු ඇඳුම් ඇඟලාගන්නට පටන්ගත්තේ ය. "අද දවසේ මම තණ පිටියට යනවා දඩයම් කරන්ට, මගේ බිරිඳ." වර්ණවත් සම් බැනියමක් හැඳ රන්, රිදී හා ලෝකඩින් නිමවූ පදක්කම්වලින් කල පුළුල් ඉණ පටියක් පළඳිමින් ඔහු කීවේය.

"හොඳයි මගේ ඉරයි තරුයි." ඩැනී කීවාය. ඩ්‍රෝගෝ සිය රුධිරාරක්ෂකයින් පිරිවරා හ්රක්කාර් හෙවත් තණබිමේ වසන දැවැන්ත සුදු සිංහයා දඩයම් කරනු පිණිස යාමට අදහස් කරගෙන සිටියේය. ඔවුන් දඩයම සාර්ථක කරගෙන ජයග්‍රාහක ලීලාවෙන් නැවත පැමිණියහොත් ඇගේ සැමියා ගේ ප්‍රීතිය අතිමහත් එකක් වනු ඇත. සමහරවිට එවිට ඔහු ඇයට ඇහුම්කන් දෙනු ඇත.

ඔහු කිසිදු වන සතෙකුට බිය නොවීය. කිසිදු මිනිසකුට ද බිය නොවීය. එනමුදු මුහුද යනු වෙනස්ම දෙයක් විය. ඩොත්රැකියන්ට අනුව තම අසුන්ට පානය තල නොහැකි ජලය වනාහි උපද්‍රව සහගත දෙයක් විය. අළු-කොළ පැහැ තැනිතලාවක් මෙන් වූ දැවැන්ත මුහුද ඔවුන් තුළ මිත්‍යා විශ්වාසයන්ගෙන් පිරි පිළිකුලක් ජනිත කලේය. ඩොත්රැකි තැනිතලාවේ වසන අනෙකුත් අස් හිමියන්ට වඩා ඩ්‍රෝගෝ පනස් ගුණයක් නිර්භීත බැව් ඇය මේ වනවිට වටහාගෙන සිටියාය... එනමුදු මේ එයින් එකක් නොවීය. නැවකට නැගීමට ඔහු කෙසේ හෝ නම්මා ගැනීමට ඇයට හැකි වී නම්...

ඛාල් හා ඔහුගේ රුධිරාරක්ෂකයින් සිය දුනුත් රැගෙන පිටව ගිය පසු ඩැනී සිය සේවිකාවන් කැඳෙවුවාය. තම සිරුර දැන් කෙතරම් තර හා අශෝභන ලෙස ඇයට හැඟුනේද යත් සේවිකාවන් ගේ ශක්තිමත්, බුහුටි දෑත් ඇය සාදරයෙන් පිළිගත්තාය. ටික කලෙකට පෙරදී නම් ඔවුන් ගේ මේ සාත්තු සත්කාර ඇයට මහත් හිසරදයක් වී තිබුනි. ඔවුහු ඇගේ ඇඟ අතුල්ලා, නහවා, ලිහිල් සැහැල්ලු සේද රෙදි ඇගේ ගත දැවටූහ. ඩෝරියා ඇගේ හිස පීරන අ‍තරේ සෙර් ජෝරා මෝර්මන්ට් කැඳවාගෙන එනු පිණිස ඇය ජික්වීව පිටත්කොට හැරියාය.

නයිට්වරයා සැනින් පැමිණියේය. ඔහු අසරුවකුට ගැලපෙන පරිද්දෙන් අශ්ව කෙඳිවලින් වියන ලද කලිසමක් හා වර්ණවත් බැනියමක් හැඳ සිටියේය. ඔහුගේ පුළුල් පපුව හා දෑත් කළු පැහැ දළ රෝමයෙන් ගැවසීගත්තේ ය. "මගේ කුමරියනි. මම මොකක්ද ඔබ වෙනුවෙන් කරන්ට ඕන?"

"ඔබ මගේ සැමියාත් එක්ක කතා කරන්ටම ඕන. ඩ්‍රෝගෝ කියනවා ලෝකය පාලනය කරන සෛන්ධවයාට මේ මුලු ලෝකෙම තියෙන භූමිය ලැබෙනවාලු පාලනය කරන්ට. ඒ වුනත් එයා විස වතුරෙන් එහාට යන්ට කැමැති නැහැ‍. එයා හිතාගෙන ඉන්නෙ රේගෝ ඉපදුනාට පස්සෙ ඛලසාරයත් අරන් නැගෙනහිර පැත්තට යන්ටයි. එයාට ඕන ජේඩ් මුහුද අවට තියෙන බිම් කොල්ලකන්ට."

නයිට්වරයා මොහොතක් වේලා කල්පනා කර බැලීය. "ඛාල් කවදාවත් රාජධානි සප්තකය දැකලා නෑ. එයාට ඒ නම ඇහුනා කියලා මොකුත් අමුත්තක් දැනෙන්නෙ නෑ. එයා බැරිවෙලාවත් ඒ ගැන හිතුවත් එයාගෙ හිතේ මැවෙන්නෙ පොඩි දූපත් කීපයක් විතරයි. ලෝරාත් හරි ලයිස් හරි ව‍ගේ කුණාටු මුහුදෙන් වටවෙලා ගල් කන්දක් උඩ හදලා තියෙන පුංචි නගර කීපයක් කියලා තමා එයාට හිතෙන්නෙ. නැගෙනහිර පැත්තෙ තියෙන වස්තු සම්භාරය ඊට වඩා ආකර්ෂණීයයි."

"ඒ වුනත් එයා බටහිර පැත්තට යන්ටම ඕන." ඩැනී නෂ්ටාපේක්ෂාවකින් යුතුව කීවාය. "අනේ! කරුනාකරලා. එයාට මේක තේරුම් කරලා දෙන්ට මට උදවු කරන්ට." ඩ්‍රෝගෝ පමණක් නොව ඇය පවා රාජධානි සප්තකය යනු කවරාකාරයේ එකක්දැයි කිසිදා දැක නොතිබුනාය. එනමුදු සිය සොහොයුරා ඇයට කියා දුන් කතන්දර අනුව ඒ සෑම තැනක්ම ඇගේ සිතේ මැවී තිබින. ඔහු විසින් මතු යම් කවරදාක හෝ ඇයව නැවතත් එහි කැඳවාගෙන යන බවට විසේරිස් ඇයට පොරොන්දු වී තිබින. එනමුදු ඔහු දැන් මියගිය පුද්ගලයකු වන අතර ඔහුගේ පොරොන්දු ද ඔහුත් සමගම මියගොස් තිබින.

"ඩොත්රැකියො මොකක් හරි දෙයක් කරන්නෙ උන්ට ඕන වෙලාවට. උන්ටම හිතෙන හේතු උඩ. ඉවසලා ඉන්ට කුමාරි. ඔබේ සහෝදරයා කරපු වැරැද්දම කරන්ට යන්ට එපා. අපි දවසක ගෙදර යනවා. මම ඔබට පොරොන්දු වෙනවා."

ගෙදර? මේ වදන ඇගේ සිතේ ශෝකයක් ජනිත කරවන්නට සමත් විය. සෙර් ජෝරාට නම් ඔහුගේ වලස් දූපත ඇත. එනමුදු ඇයට ගෙදර කියන්නට ඇත්තේ කුමක්ද? කතන්දර කිහිපයක්, දිවමතුරක් සේ නැවත නැවතත් ගයන්නට යෙදුනු නම් කිහිපයක්, මතකයෙන් වියැකී යමින් තිබෙන රතු පැහැ දොරක සේයාවක්... එපමණකි. වයෙස් ඩොත්රැක් සදහටම ඇගේ නිවස වන්නට යන්නේද? ඩොෂ් ඛලීන් මැහැල්ලන් දෙස බැලූවිට ඇයට පෙනුනේ ඇගේම අනාගතය ද?

සෙර් ජෝරාට ඇගේ මුහුණේ වූ දුක්මුසු බව පෙනුනා වන්නට ඇත. "ඊයෙ රෑ මහ දැවැන්ත තවලමක් ආවා ඛලීසි. අශ්වයො හාරසීයක්. උන් පෙන්ටොස්වල ඉඳන් නොර්වොසුයි කොහෝරුයි හරහා ඇවිල්ලා තියෙන්නෙ‍. වෙළෙඳ කපිතාන් කෙනෙක් වෙන බයන් වොටිරිස් කියලා එකෙක් තමා මේ තවලමේ නායකයා. සමහරවිට ඉල්ලීරියෝ උන් අතේ මොකක් හරි ලියුමක් එවලා තියෙනටත් පුළුවන්. මොකද කියන්නෙ, අපි බටහිර වෙළෙඳපල පැත්තෙ යමුද?"

ඩැනී කැළැඹුනාය. "ඔවු. මම ඒකට කැමැතියි." තවලමක් පැමිණි සෑම විටෙකම වෙළෙඳපල ජීවයෙන් ඇලලී යයි. මේ වෙළෙන්දන් කවරාකාරයේ වස්තු සම්භාරයක් මෙවර රැගෙන එන්නට ඇත්දැයි කිසිවෙකුටත් කිව නොහැකි විය. එමෙන්ම මිනිසුන් වැලීරියන් බසින් කතා කරනු අසන්නට ලැබීමත් සිතට සහනයක් විය. එය ඇයට නැවතත් නිදහස් වෙළෙඳ මතක් කර දුනි. "ඉරී. දෝලාවක් ලෑස්ති කරන්ටයි කියලා කියපන්..."

"මම ඔබේ ඛාස් එකේ සෙබළුන්ට කියන්නම්." සෙර් ජෝරා පිටව ගියේය.

ඛාල් ඩ්‍රෝගෝ ඇයත් සමග සිටියේ නම් ඇය සිය වෙළඹ, රිදී පිට නැගී යන්නට තිබින. ගැබිණි මවුවරුන් සිය දරු ප්‍රසූති මොහොත ලංවන තෙක්ම අසුපිට නැගී ගමන් යාම ඩොත්රැකියන් අතර සාමාන්‍ය දෙයක් විය. සිය සැමියාගේ දෑස් හමුවේ තමා දුර්වලයෙකියි පෙන්වන්නට ද ඇයට උවමනා නොවීය. එනමුදු ඛාල් දඩයම් පිණිස පිටව ගොස් ඇති මේ වේලාවේ, සුමුදු කොට්ටවලට හේත්තු වී වයෙස් ඩොත්රැක් හරහා ඔසවාගෙන යනු ලැබීම සුවදායක දෙයක් වනු ඇත. එමෙන්ම රතු පැහැ සේද තිර රෙදි විසින් ඇයව උණුසුම් හිරු එළියෙන් ආවරණය කරනු ඇත. අසු පිට නැගුනු සෙර් ජෝරා ඇය පසෙකින් වැටුනු අතර ඇගේ ඛාස් එකේ තරුණ සෙබළුන් සිවුදෙනා හා ඇගේ සේවිකාවෝ ඒ පසුපසින් පෙළ ගැසුනෝය.

දවස උණුසුම හා වළාකුළු රහිත විය. අහස තද නිල් පැහැයෙන් දීප්තිමත්ව බැබලුනේය. සුළං හමද්දී තණකොළවල හා පසේ ප්‍රණීත සුවඳ ඇගේ නැහැ පුඩුවලට දැනෙන්නට විය. ඩොත්රැකියන් විසින් මංකොල්ලකනු ලැබූ ස්මාරක අබියසින් ඇගේ දෝලාව ඔසවාගෙන යද්දී ඇය මාරුවෙන් මාරුවට හිරු එළියටත් සෙවනැලිවලටත් නිරාවරණය වූවාය. ඩැනී දෝලාවේ පසෙකට හැරී මේ මියගිය විරුවන් ගේ හා නම් අමතකව ගිය රජවරුන් ගේ මුහුණු උනන්දුවෙන් පිරික්සා බැලුවාය. ගිනිගෙන බිමට සමතලා වූ නගරවලින් පැමිණි මේ දෙවිවරුන්ට තවමත් යාඥාවලට පිළිතුරු දීමේ හැකියාවක් ඇත්දැයි ඇය විමතියෙන් කල්පනා කලාය.

‍'මම මකරාගෙ රුධිරය නොවුනා නම් මේක මගේ ගෙදර වෙන්ට තිබුනා.' ඩැනී උකටලී සිතින් කල්පනා කලාය. ඇය ඛලසාරයක ඛලීසි වූවාය. ඇයට ශක්තිමත්, උදාර සැමියකු හා වේගවත් අසෙකු සිටිති. ඇයට සේවය කරන්නට උවමනා තරම් සේවිකාවෝ සිටිති. ඇයව රකින්නට ඕනෑවටත් වඩා රණකාමීහු සිටිති. ඇය මහලු වූ පසු ඩොෂ් ඛලීන්හි ගෞරවාන්විත ස්ථානයක් ඇය වෙනුවෙන් වෙන්වී ඇත... එමෙන්ම මතු යම් දිනෙක මේ මුලුමහත් ලෝකයම පාලනය කරන පුතෙකු ඇගේ ගැබේ සෙමින් වැඩෙමින් සිටියි. සාමාන්‍ය ගැහැණියකට නම් මේ දේවල් ඉහටත් උඩින් වනු ඇත... එනමුදු මකරෙකුට එසේ නොවේ. විසේරිස් මියගොස් ඇති නිසා දැන් මෙලොව වසන අවසාන මකරා - අවසානම මකරා - වන්නේ ඇයයි. ඇය රජවරුන් ගේ හා ආක්‍රමණික ජයග්‍රාහකයින් ගේ බීජයෙන් උපන්නියකි. ඇගේ කුස තුළ සිටින බිළිඳා ද එවැන්නෙකි. ඇය මේවා අමතක කර දැමිය යුතු නොවේ.

බටහිර වෙළෙඳපල වනාහි එහා මෙහා විසිර ගිය අමු ගඩොලින් තැනූ සත්ත්ව කොටු හා සුදු පිරියම් කල තැබෑරුම්වලින් වටවූ විසල්, චත්‍රරස්‍රාකාර භූමි භාගයක් විය. පොළොව යට සිට මතුපිටට ඒමට දඟලන දැවැන්ත සතුන් ගේ පිටවල් බඳු වූ පස් ගොඩැලි එහි සෑම තැනකම දැකිය හැකි විය. මේ සතුන්ගේ අයාගෙන සිටි කළු පැහැ මුවවල් ඔස්සේ පොළොව යටට හාරා තිබුනු සිසිල්, උමං වැනි ගබඩා කාමර කරා පිවිසිය හැකි විය. චතුරස්‍රයේ ඇතුළත, වියූ තණකොළයෙන් සෙවන වූ වෙළෙඳ සල්පිල් හා එකිනෙක වෙළුනු වීථිවලින් පිරුනු අවුල්ජාලයක් විය.

ඔවුන් ඇතුළුවන විටත් සිය ගණනක් වූ වෙළෙන්දෝ හා කඩකාරයෝ සිය බඩු බාහිරාදිය බිමට බාමින්, වෙළෙඳ සල්පිල් ඉදිකරමින් හුන්හ. එනමුදු ඩැනී පෙන්ටොස් හා අනෙකුත් නිදහස් වෙළෙඳ නගරවල දැක තිබුනු වෙළෙඳපල හා සසඳන විට මෙය නිහඬ, අතහැර දැමුනු තැනක් මෙන් පෙනුනි‍. සෙර් ජෝරා පැවසූ පරිදි මේ වෙළෙඳ තවලම් නැගෙනහිර දිගින් හා බටහිර දිගින් පැමිණ මෙසේ වයෙස් ඩොත්රැකිවලදී එකිනෙක මුනගැසුනේ ඩොත්රැකියන්ට බඩු විකිණීමටත් වඩා තම තමන් අතර බඩු හුවමාරු කරගැනීම පිණිස විය. මේ ශුද්ධ වූ නගරයේ සාමය කඩ නොකරන තාක් කල්, සියළු කඳුවල මවුතුමිය හෝ ලෝකයේ ගැබ නොකෙලෙසන තාක් කල්, ඩොෂ් ඛලීන්හි මැහැල්ලන්ට ගෞරවයෙන් සලකා සම්ප්‍රදායික තෑගි වන ලුණු, රිදී හා ධාන්‍යවලින් ඔවුන් පුදන තාක් කල් මේ වෙළෙන්දන්ට කිසිදු බාධාවකින් තොරව නිදහසේ තම කටයුතු කරගෙන යෑමේ අවසරය ඩොත්රැකියන් වෙතින් ලැබී තිබුනි. බඩු විකිණීම් හා මිලට ගැනීම් වනාහි ඩොත්රැකියන්ට නුහුරු නුපුරුදු දෙයක් විය.

අසාමාන්‍ය දර්ශනයන්ගෙන්, ශබ්දවලින් හා සුවඳින් පිරුනු නැගෙනහිර වෙළෙඳපලට ද ඩැනී ප්‍රියකලාය. ඇය බොහෝවිට සිය උදය කාලයන් එහි ගෙවා දමන්නට පුරුදුව සිටියාය. පළඟැටි පයි එකක් හෝ කොළ නූඩ්ල්ස් එකක් හෝ කමින්, මහ හඬින් බෙරිහන් දෙන මායාගායකයින් ගේ හඬට කණ් දෙමින්, රිදී කූඩුවල සිර කර සිටින මැන්ටිකෝරයින්, දැවැන්ත අළු පැහැ හස්ථීන් හා ජොගෝස් නායි සිට ගෙන ආ කළු-සුදු ඉරි වැටුනු අශ්වයින් දෙස මුව අයාගෙන බලමින් කාලය ගෙවාලන්නට ඇය පුරුදුව සිටියාය. එමෙන්ම එහි සිටි අමුතු මිනිසුන්ද ඇයට විනෝදයක් විය. අඳුරු, ගම්භීර අෂයීයන් හා උසැති සුදුමැලි පැහැ කාර්තීනුවන්, වඳුරු වලිගා තොප්පි පැළැඳි, දීප්තිමත් දෑසින් යුතු යි-ටී වැසියන්, බයාසාබාද්, ෂමිරියානා හා කයකයනායාවලින් පැමිණි, තණපුඩුවල යකඩ මුදු සහ දෙකම්මුල්වල රතුකැට පැළැඳි රණකාමී තරුණියන්, සිය දෑත් දෙපා පපු පුරා පච්චා කොටාගත්, වෙස්මුහුණු පැළැඳ මුහුණු වසාගත් පරුෂ බියකරු සෙවනැලි මිනිසුන් ආදින් දෙස බලමින් ඇයට මුළු දවසම වුව එහි ගෙවා දැමිය හැකි විය. නැගෙනහිර වෙළෙඳපල ඩැනීට සැමවිටම මායාකාරී ආශ්චර්යවත් ස්ථානයක් විය.

එනමුදු බටහිර වෙළෙඳපලින් සෑමවිටම හැමුවේ ඇයට හුරුපුරුදු ගෙදර සුවඳ විය.

ඉරී හා ජික්වි ඇයට දෝලාවෙන් බසින්නට උපකාර කරද්දී අවට වාතය ඉව ඇල්ලූ ඇය සුදුළූණු හා ගම්මිරිස් සුවඳ හඳුනාගත්තා ය. මේ සුවඳ විසින් මීට බොහෝ කලෙකට පෙර ටයිරොෂ් හා ම(ර්)හි මාවත්වල ගතකල දවස් ඇයට සිහිපත් කරදුන් අතර එය ඇගේ මුවට සිනහවක් නංවන්නට සමත්විය. මේ කුළුබඩු සුවඳට යටින් ඇයට ලයිස්වලින් ගෙනා හිස බර කරවන අන්දමේ මිහිරි සුවඳ විලවුන් සුවඳ ද දැනෙන්නට විය. වහලුන් විසින් ඔසවාගෙන යනු ලබන විවිධ සංකීර්ණ රටාවන්ගෙන් වියුනු මරිෂ් රේන්ද කච්චි ද, වර්ණ දුසිම් ගනනාවකින් පාට කැවුනු අගනා ලොම් රෙදි කච්චි ද ඇය දුටුවාය. කහ පැහැ කපු රෙද්දෙන් කල, දණ තෙක් දිගු කබා හැඳ, තඹ ශිරස්ක පැළැඳි තවලම් මුරභටයෝ වීථී අතර එහා මෙහා ඇවිද්දෝය. වියන ලද සමින් නිමැවූ ඔවුන් ගේ ඉණපටිවලින් පහළට එල්ලුනු හිස් අසිපත් කොපු එහා මෙහා පැද්දුනි. ආයුධ වෙළෙන්දෙකුට අයත් වූ එක් සල්පිලෙක රිදියෙන් හා රනින් කැටයම් වැඩ දැමූ වානේ සන්නාහ පපු තහඩු ද, අනේක විධ සතුන් ගේ හැඩයට තැනූ වානේ ශිරස්ක ද විකුණනන්ට දමා තිබුනි. ඔහුගේ අසල්වාසියා වූයේ ලැනිස්පෝර්ට්වලින් ගෙනා රන් බඩු - මුදු, හාරිච්චි, ගෙල පළඳනා හා ඉණපටි සාදන්නටම ගැලපෙන අගනා පදක්කම් - විකිනූ රූමත් තරුණියකි. ගොළු, හිසේ එකදු කෙස් ගසකුදු නැති, දහදියෙන් පෙඟුනු විල්ලුදයෙන් සැරසුනු දැවැන්ත පණ්ඩකයෙක් ඇගේ සල්පිලේ මුරටා සිටුවා සිටියේ ඊට සමීපවන කවරෙකු හෝ දෙස තරහයෙන් රවා බැලුවේය. වීථියේ අනිත් පස සිටි යි-ටී වලින් පැමිණි මහත රෙදි වෙළෙන්දා කුමක් දෝ කොළ පැහැ සායමක මිල සම්බන්ධයෙන් පෙන්ටෝෂියෙකු හා වාද කරමින් හුන්නේය. ඔහු හිස සොලවන වාරයක් වාරයක් පාසා හිසේ වූ තොප්පියෙන් එල්ලුනු වඳුරු වාලධිය එහා මෙහා පැද්දෙන්නට විය.

"මම පුංචි කෙල්ලක් කාලෙ මම හරිම ආසා කරපු දෙයක් තමා වෙළෙඳපලේ සෙල්ලම් කරන එක." සල්පිල් අතරින් වීථි දිගේ ඇවිද යන අතරේ ඩැනී සෙර් ජෝරාට කීවාය. "ඒක හරිම ජීවයෙන් පිරිච්ච තැනක්. මිනිස්සු කෑගහනවා, හිනාවෙනවා. බලන්ට ගොඩාක් දේවල් තියෙනවා... ඒ වුනත් උවමනා දේවල් මිලට ගන්ට අපට ඇති තරම් සල්ලි තිබුනෙ නෑ කවදාවත්... ඉඳලා හිටලා ඔය සොසේජ් එකක්, පැණි ඇඟිල්ලක් වගේ දෙයක් ඇරෙන්ට... ඒ ටයිරෝෂ්වල හදන ජාතියෙ පැණි ඇඟිලි රාජධානි සප්තකයෙක් තියෙනව ද?"

"ඒවා කේක් වගේ ජාතියක් ද? මම කියන්ට දන්නෙ නෑ කුමාරි." නයිට්වරයා හිස නැමීය. "මට පොඩ්ඩකට සමාවෙන්ට. මම කපිතාන් හම්බවෙලා බලන්නම් අපට මොකුත් ලියුම් එහෙම ඇවිල්ලා තියෙනවද කියලා එයාගෙ බාරෙ."

"හරි හොඳයි. මම ඔබට උදවු කරන්නම් එයාව හොයාගන්ට."

"ඔබ කරදර වෙන්ට ඕන නෑ." සෙර් ජෝරා නොඉවසිල්ලෙන් මෙන් ඉවත බැලීය. "වෙළෙඳපල වටේ ඇවිදලා විනෝද වෙන්ට. මේ වැඩේ ඉවරවුනාට පස්සෙ මම ආයෙමත් කට්ටියට එකතු වෙන්නම්."

'ඒක හරි පුදුමයි!' දිගු පියවර තබමින් සෙර් ජෝරා ඉවත යන දෙස බලමින් ඩැනී සිතුවාය. ඔහුත් සමග තමාද නොයාමට හේතුවක් ඇයට නොපෙනින. සමහරවිට වෙළෙඳ කපිතාන් මුනගැසීමෙන් අනතුරුව ගණිකාවක හෝ එබඳු ගැහැණියක සොයායාමට ජෝරා අදහස් කරනවා විය හැක. ගණිකාවන් මෙවැනි වෙළෙඳ තවලම් සමගින් නිතරම ගමන්ගන්නා බැව් ඇය දැන සිටියාය. එමෙන්ම සමහර මිනිසුන් තම ලිංගික චර්යාවන් සම්බන්ධයෙන් ලැජ්ජාශීලීය. ඇය දෙවුර ඇකිළුවාය. "එන්ට යමු." ඇය සිය පිරිස බැනවීය.

ඩැනී වෙළෙඳපල සංචාරය නැවත ආරම්භ කල අතර ඇගේ සේවිකාවෝ ඇය පසුපසින් වැටුනහ. "අනේ අර බලන්ට." ඇය ‍ඩෝරියාට අත දිගුකොට පෙන්වූවාය. "අන්න ඒ වගේ සොසේජස් ගැන තමා මම කිවුවෙ." කුඩා සල්පිලෙක වූ ජරාවට ගිය කුඩා ගැහැණියක් ගිනි උඳුනක් මත තබා මස් හා ළූණු පුළුස්සමින් උන්නාය. "එයාලා ඒකට ගොඩක් සුදුළූණුයි ගම්මිරිසුයි දානවා." සිය සොයාගැනීම නිසා උද්දාමයට පත් වූ ඩැනි සොසේජ්වල රස බැලීමට තමා හා එක්වන්නැයි ඇගේ පිරිසේ වූවන්ගෙන් ඉල්ලා සිටියාය. ඇගේ සේවිකාවෝ කිචි කිචි ගාමින්, විරිත්තමින් සිය සොසේජ් උගුරට දෙකට ගිලදැමූහ. එනමුදු ඇගේ ඛාස් එකේ ‍සෙබළු මේ පිළිස්සු මස් දෙස ඉවකරමින් සැකසහිත බැලුම් හෙලන්නට වූහ. "මට මතක තිබුනාට වඩා මේකෙ රසය වෙනස්නෙ." කටවල් දෙකතුනක් කෑමෙන් පසු ඩැනී කීවාය.

"පෙන්ටොස්වලදි මම මේවා හදන්නෙ ඌරුමස්වලින්." මහලු ගැහැණිය කීවාය. "ඒ වුනත් මගේ ඌරො ඔක්කොම ඩොත්රැකි මුහුදෙදි මැරුනා. මේවා හදලා තියෙන්නෙ අශ්ව මස්වලින් ඛලීසි. ඒ වුනත් මම ඒවට නියම ගානටම කුළුබඩු දැම්මා."

"ආහ්!" ඩැනීට සිය බලාපොරොත්තු බිඳවැටුනු බවක් දැනෙන්නට විය. එනමුදු ක්වොරෝ සිය සොසේජ් එකේ රසයට කෙතරම් ගිජු වූවාද යත් ඔහුට තවත් එකක් කෑමට උවමනා විය. ඔහුට නොපරදින්නට සිතූ රඛාරෝ මහ හඬින් රාමතෙල් අරිමින් තවත් සොසේජස් තුනක්ම කා නිම කලේය. ඩැනී කැකිරි පලන්නට වූවාය.

"ඔබේ සහෝදරයා, කරත්ත රජාට ඩ්‍රෝගෝ ඔටුනු පලන්දපු දවස ඉඳලම ඔබ හිනාවුනේ නෑ." ඉරී කීවාය. "ඔබ හිනාවෙනවා දකින්ට ලැබීමත් ලොකු සතුටක් ඛලීසි."

ඩැනී ලැජ්ජාශීලී සිනහවක් පෑවාය. සිනාසීම ඇගේ සිතේ තිබූ බර ඉවත් කලාක් වැන්න‍‍. තමා නැවතත් දැරියක බවට පත්ව ඇතැයි ඇයට සිතෙන්නට විය.

ඔවුහු මුලු උදේ වරුවෙන් අඩක්ම මෙලෙස ඇවිද්දෝය. ගිම්හාන දූපත්වලින් ගෙනා පිහාටුවලින් කල අලංකාර සළුවක් දුටු ඇය එය කාට හෝ තෑගි දෙනු පිණිස මිලදී ගත්තාය. ඩොත්රැකියන් ගනුදෙනු කරන ආකාරයට සිය ඉණපටියෙන් ගලවාගත් රිදී පදක්කමකින් ඇය එහි මිල ගෙවුවාය. කුරුල්ලන් වෙළෙන්දෙක් කොළ හා රතු පැහැ ගිරවෙකුට ඇගේ නම කියන්නට ඉගැන්වීය. ඩැනී නැවතත් සතුටින් සිනාසුනු නමුදු මේ පක්ෂියා මිලදී ගැනීම ප්‍රතික්ෂේප කලාය. ඛලසාරය තුළ ඇය රතු-කොළ පැහැති ගිරවකු හා කුමක් කරන්නද? මීට අමතරව සිය ළමා කාලයේදී ඇඟ ගල්වන්නට පුරුදුව සිටි සුවඳ කැවූ තෙල් බහාලූ බෝතල් දුසිමක් පමණ ද ඇය මිලයට ගත්තාය. දෑස පියාගෙන මේ තෙල්වල සුවඳ බැලූ පමණින් රතු දොරක් සහිත අර සුවිසල් නිවසේ රුව ඈ ඉදිරිපිට මැවෙන්නාක් බඳු විය. විජ්ජාකරුවකු ගේ සල්පිලේ තමා තිබුනු සරුබව ලබාදෙන යම් වශීකරණයක් දෙස ඩෝරියා මහත් ආසාවෙන් බලාසිටිනු දුටු ඩැනී එය මිලයට ගෙන ඇයට තෑගි කලාය. දැන් තමා ඉරී හා ජික්වී වෙනුවෙන් ද යමක් මිලයට ගතයුතු බව ඇගේ සිත ඇයට කීවේය.


Daenerys Targaryen: “The Usurper owes Drogo a lordship.”

Friday 23 January 2015

බ්‍රැන් 06-2


හමුදා පෙළපාලියේදී තමාව හෝර්න්වුඩ්වරුන්ට හෝ සර්වින්වරුන්ට පසුපසින් තැබුවහොත් තම මිනිසුන්ද රැගෙන පිටව යන බවට අම්බර් උතුමානන් - ඔහුගේ මිනිසුන් විසින් 'ග්‍රේට්ජොන්' යනුවෙන් හැඳින්වූ, හොඩෝර් තරම්ම උස එමෙන් දෙගුණයක් පමණ තරබාරු වූ අම්බර් උතුමානන් - විසින් තර්ජනය කල අවස්ථාවේ කැමැති දෙයක් කරගන්නැයි රොබ් ඔහුට කීවේය‍. "ඒ වගේම, අපි ලැනිස්ටර්ලාත් එක්ක යුද්ධ කරලා ඉවර වුනාට පස්සෙ," ග්‍රේ වින්ඩ් ගේ කණ පිටුපස කසමින් ඔහු පොරොන්දු වූයේය‍. "අපි උතුරට හමුදා මෙහෙයවලා, ඔබව ඔබේ බලකොටුවෙන් එලවලා, ඔබව එල්ලලා මරනවා පොරොන්දු කඩකිරීම නිසා." කේන්තියෙන් අවලාදයක් නැගූ ග්‍රේ‍ට්ජොන්, අත තිබුනු ඒල් ගුරුලේත්තුව ගිනි උඳුනට විසි කර රොබ් වනාහි මොකුත් නොදන්නා, මෝඩ, කුඩා කොල්ලෙක් පමණක් යැයි ගුගුලේය. ඔහුව සන්සුන් කිරීම පිණිස හැලිස් මොලන් ඒ වෙත ළඟා වූ විට ඔහුට බිම වැටෙන්නට පහරක් දුන් ග්‍රේට්ජොන්, මේසයක් පෙරලෙන්නට පයින් පහරක් ගසා බ්‍රැන් විසින් මෙතෙක් කලකට දැක තිබුනු දැවැන්තම හා අවලක්ෂණම මහා අසිපත එළියට ඇදගත්තේ ය. දිගු බංකුවල අසුන්ගෙන ආහාර ගනිමින් සිටි ඔහුගේ පුතුන්, සොයුරන් හා සෙබළුන් සැනෙන් නැගිට සිටියේ තම අසිපත්වලට අත යැවූහ.

එනමුදු රොබ් සිහින් හඬින් යමක් කීවා පමණි. ඇසිපිය ගසන මොහොතක හා ගෙරවීමක පමාවෙන් අම්බර් උතුමානන් උඩුබැල්ලෙන් බිම වැටී සිටියේය. ඔහුගේ අසිපත අඩි කිහිපයක් දුරට විසි වී තිබුනු අතර ග්‍රේ වින්ඩ් විසින් සපා කෑ අතේ අතැඟිලි දෙකක් අහිමිව එතැනින් ලේ පෙරෙමින් තිබුනි. "මගේ තාත්තා මට උගන්නලා තියෙන හැටියට නම් තමන්ගෙ උසස් වංශාධිපතියා ඉදිරියේදි ආයුධයක් ඇදගන්න එකාට හිමිවෙන්නෙ මරණය." රොබ් කීවේය. "ඒ වුනත් මම හිතන්නෙ ඔබ ඔය කඩුව ඇදගන්ට ඇත්තෙ මගේ මස් කෑල්ල කපලා දෙන්ට වෙන්ට ඕන." සිය ඇඟිලි කොට දෙක මුවේ රුවා උරමින්, ‍ග්‍රේට්ජොන් තතනමින් නැගිටිද්දී බ්‍රැන්ගේ සිරුරේ ලේ වතුර විය... එනමුදු, ඊළඟ මොහොතේ මහත් පුදුමයකට මෙන් මේ දැවැන්ත මිනිසා කොක් හඬලමින් සිනාසෙන්නට පටන්ගත්තේ ය. "ඔබේ මස් කෑල්ල බොහොම හයියයි නෙ." ඔහු ගුගුලේය.

කෙසේ වුවද මේ සිදුවීමෙන් පසු ග්‍රේට්ජොන් රොබ්ගේ දකුණු අත බවට පත් විය. මේ ළමා උතුමානන් ඇත්තෙන්ම නියමම ස්ටාර්ක් කෙනෙකු බවත්, තම ජීවිතයට ආසාවක් ඇත්නම් ඔහුට දණ නමා පක්ෂපාතීත්වය දැක්වීම වඩාත්ම සුදුසු දෙය බවත් ඔහු හමුවන සෑම කෙනෙකුටම කීවේය.

එනමුදු එදා රෑ, මහා ශාලාවේ දැල්වුනු පන්දම් එකින් එක නිවී යද්දී, ඔහුගේ සොහොයුරා සුදුමැලි වී ගිය වතින් හා වෙවුලන සිරුරින් යුතුව බ්‍රැන්ගේ නිදන කාමරයට පැමිණියේ ය. "මම හිතුවෙ එයා මාව මරන්ට තමා යන්නෙ කියලා." රොබ් ඔහුට පාපොච්චාරණය කලේය. "ඔයා දැක්කද එයා හැල්ව බිම දාපු හැටි? හරියට හැල් නිකං රිකන් තරම් පුංචි එකෙක් වගෙයි තල්ලු කලේ. දෙයියම්පා! මම හොඳටම බයවුනා. අනික ග්‍රේට්ජොන් නෙවෙයි ඔතැන ඉන්න භයානකම එකා. එයා හයියෙන් කෑගහනවා විතරයි. රූස් උතුමානන් කවදාවත් වචනයක්වත් කතා කරන්නෙ නෑ. නිකංම මා දිහා බලනවා විතරයි. ඒ වුනත් ඒ වෙලාවට මට මතක් වෙන්නෙ එයාලගෙ අර ඩ්‍රෙඩ්පෝර්ට්වල තියෙනවයි කියන කාමරේ. බෝල්ටන්ලා තමන්ගෙ හතුරො මරලා හමගහලා ඒ හම් එල්ලලා තියෙනවයි කියන කාමරේ."

"ඒක නාකි ආයම්මගෙ කතාවක් විතරයි නෙ." බ්‍රැන් කීවේය. ඔහුගේ ස්වරයේ සැකයක සේයාවක් තැවරී තිබුනි. "එහෙම නේද?"

"මම දන්නෙ නෑ." රොබ් දුබල අයුරින් හිස සෙලවීය. "සර්වින් උතුමානන් හිතාගෙන ඉන්නෙ එයාගෙ දුවව අපිත් එක්ක දකුණට එක්කරන් යන්ටයි. එයා කියන්නෙ නම් ඒ එයාට කෑම උයන්ට කියලයි. ඒ වුනාට තියන් නම් කියන්නෙ එක රෑක ඒ කෙල්ල මගේ ඇඳට නැගලා ඉන්නවා මට හම්බවෙයි කියලයි... තාත්තා මෙහෙ හිටියානම්..."

ඒ වනාහි ඔවුන් සැමටම එකඟ විය හැකි කරුනක් විය. බ්‍රැන්ට ද, රිකන්ට ද, රොබ් උතුමානන්ට ද යන මේ සියල්ලන්ටම සිය පියාණන් එහි නැති අඩුපාඩුව තදින්ම දැනුනි. එනමුදු එඩාර්ඩ් උතුමානන් සිටියේ ලීග දහස් ගණනක් දුරිනි. ඔහු දඟගෙයක දැමූ සිරකරුවෙකු, තම දිවි බේරාගැනීම සඳහා සැඟවී පලායන්නෙකු, නැතිනම් දැනටමත් මියගිය අයෙකු විය. ඔහුට අත් වූ ඉරණම ගැන කිසිවෙකුත් හරියටම නොදත්හ. සෑම සංචාරයකයකුම එකිනෙකට වෙනස් කතාවක් කියන්නට වූහ. ඒ සෑම කතාවක්ම පෙර එකට වඩා බිහිසුණු පුවතක් විය. හෙලි වල ඇමිනු පියාගේ සෙබළුන්‍ ගේ හිස් රතු බලකොටුවේ පවුරේ ගසා තිබුනි. පියාගේ අතින් රොබර්ට් රජතුමා මියගොස් තිබුනි. බරතියන්වරු කින්ග්ස් ලෑන්ඩින්ග් වටලෑම පිණිස පැමිණෙමින් තිබුනි. එඩාර්ඩ් උතුමානන් රජතුමා ගේ නපුරු සොහොයුරා වන රෙන්ලි උතුමානන් සමගින් දකුණට පලාගොස් තිබුනි. ආර්යා හා සන්සා දඩබල්ලා අතින් මියගොස් තිබුනි. අම්මා විසින් පුංචි යකා ටිරියන්ව මරා ඒ සිරුර රිවර්රන්හි පවුරේ එල්ලා තිබුනි. ටයිවින් ලැනිස්ටර් උතුමානන් ඉයරී වෙත යමින් මගදිගට හමුවන සියළු දේ ගිනිබත් කරමින්, මිනිසුන් මරාදමනු ලැබීය. එක් බේබදු සංචාරකයකු මේ සැමටම එහා යමින් කියා සිටියේ මළවුන්ගෙන් නැගිට පැමිණි රේගාර් ටාර්ගේරියන් සිය පියාගේ සිහසුන නැවත ලබාගනු වස් පුරාණ වීරයන්ගෙන් සමන්විත සේනාවක් ඩ්‍රැගන්ස්ටෝන්හි එක්රැස් කරමින් සිටින බවයි.

ග්‍රේට්ජොන් අම්බර්
අන්තිමේදී, කපුටකු අත සන්සා ගේ අත් අකුරින් ලියූ, පියාගේ මුඳ්‍රාව තැබූ ලිපිය ලැබුනු විට ඒ කුරිරු සත්‍යය ප්‍රබන්ධය තරම්ම විස්මයජනක විය. සිය සොයුරිය ගේ අත් අකුරින් ලියැවුනු ලිපිය කියවද්දී රොබ්ගේ මුහුණේ ඇඳුනු හැඟීම් බ්‍රැන්ට කිසි දිනෙකත් අමතක නොවනු ඇත. "එයා කියනවා තාත්තා රජතුමාගෙ සහෝදරයිනුත් එක්ක එක්කහු වෙලා රාජද්‍රෝහි වැඩක් කරලා තියෙනවයි කියලා. රොබර්ට් රජතුමා මැරිලා. අම්මවයි මාවයි කින්ග්ස් ලෑන්ඩින්ග්වලට කැඳවලා තියෙනවා ජොෆ්රිට පක්ෂපාතියි කියලා දිවුරුම් ගන්ට. එයා කියනවා අපට ලැනිස්ටර්ලාට පක්ෂපාතී වෙලා ඉන්ටලු. එයා ජොෆ්රිව කසාද බැන්දහම එයා අපේ තාත්තගෙ ජීවිතේ වෙනුවෙන් ජො‍ෆ්රිට බැගෑපත් වෙන්නම්ලු." ඔහුගේ දෑත් මිට මෙලැවී ගිය අතර ඊට මැදි වූ සන්සා ගේ ලිපිය පොඩි වී ගියේය. "අනික එයා ආර්යා ගැන මොකුත් කියන්නෙ නෑ. මොකුත්ම නෑ. අඩුමගානෙ වචනයක් වත් නෑ. මේකි යකාටම ගියාවෙ! මේ කෙල්ලට මොකක්ද වෙලා තියෙන්නෙ?"

බ්‍රැන්ගේ සියොලඟම වෙලාගෙන සීතලක් පැතිරෙන්නට විය. "එයාට එයාගෙ වෘකයා නැතිවුනා." ඔහු දුබල අන්දමින් කියාගත්තේ ය‍. ලේඩිගේ ඇටකටුත් රැගෙන පියාගේ සෙබළුන් සිවුදෙනෙකු දකුණුකරයේ සිට පැමිණි දවස බ්‍රැන්ට සිහිපත් විය. ඔවුන් දිය අගල තරණය කරන්නටත් පෙරාතුවම සමර්, ග්‍රේ වින්ඩ් හා ෂැගී ඩෝග් දුක්මුසු අසරණ ස්වරයකින් උඩුබුරලන්නට පටන් ගත්හ. මුල් බලකොටුවේ සෙවනැල්ල යට පුරාණ සුසාන භූමියක් පිහිටා තිබුනි. එහි වූ සොහොන් කොත් මේ වනවිට ලයිකනයෙන් වැසී ගොස් තිබුනි. පුරාණ ශීත රජවරුන් විසින් සිය විශ්වාසවන්ත සේවකයින් වල දැමීමට තෝරාගෙන තිබුනේ මේ ස්ථානය විය. ඇගේ සොහොයුරන් නොසන්සුන් සෙවනැලි මෙන් සොහොන් කොත් අතර එහා මෙහා සැරිසරද්දී ඔවුහු ලේඩිගේ ඇටකටු එහි භූමිදාන කලෝය. ඇය දකුණුකරයට ගිය අතර නැවත පැමිණියේ ඇගේ ඇටකටු පමණි.

ඔවුන් ගේ සීයා, පුරාණ රිකාර්ඩ් උතුමානන් ද මෙලෙසම දකුණුකරයට ගියේය. සිය පියාගේ වැඩිමහල් සොයුරා වූ ඔහු පුත් බ්‍රැන්ඩන් හා හොඳම සෙබළුන් දෙසිස දෙනෙකු ද ඒ සමගින් දකුණ බලා ගියහ. මේ කිසිවෙකුත් නැවත පැමිණියේ නැත. ඔවුන් ගේ පියා සන්සා හා ආර්යා ද කැටුව දකුණ බලා ගියේය. ඒ සමගින් ජොරී, හලන්, මහත ටොම් හා අනිකුන් ද කැටුව ගියේය. ඊට පසු අම්මා හා සෙර් රඩ්‍රික් දකුණ බලා ගියහ. මේ කිසිවෙකුත් තවමත් නැවත පැමිණියේ නැත. ඉතින් දැන් රොබ් ද දකුණ බලා යන්නට සැරසේ. ඒ කින්ග්ස් ලෑන්ඩින්ග් කරා ගොස් රජතුමාට පක්ෂපාතීත්වය දක්වන්නට නොවේ. ඔහු යන්නේ අසිපතක් සුරතින් ගෙන රිවර්රන් වෙතටය. එමෙන්ම ඔවුන් ගේ පියා ඇත්තෙන්ම දැන් සිරකරුවෙකු නම් එහි තේරුම නිසැකයෙන්ම ඔහුගේ මරණයයි. මේ සිතුවිල්ල විසින් බ්‍රැන්ව කියාගත නුහුනු තරමට බිය වැද්දුවේ ය.

* * *

"ඉතින්, රොබ්ට යන්ටම වෙනවානම් එයාව පරිස්සමින් බලාගන්ට." බ්‍රැන් පුරාණ දෙවිවරුන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේය. ඔවුහු හදවෘක්ෂයේ වූ රත් පැහැ දෑස් තුළින් ඔහු දෙස බලා සිටින්නට විය. "ඒ වගේම, එයාගෙ මිනිස්සුන්වත් බලාගන්ට. හැල්, ක්වෙන්ට්, අනිත් අය, අම්බර් උතුමානන්, මෝර්මන්ට් ආර්යාව, අනිත් උතුමන් හැමෝමත් බලාගන්ට. ඒ වගේම තියන්වත්. එයාලව පරිස්සමින් බලාගන්ට. එයාලව ආරක්ෂා කරන්ට. ඔබතුමන්ලාගෙ අමනාපයක් නැත්තම් දෙවිවරුනි, එයාලට උදවු කරන්ට ලැනිස්ටර්ලාව පරද්දලා තාත්තාව බේරගෙන ගෙදර එක්කරන් එන්ට."

දෙව්වනය පුරා මුදු පවනක් හමා ගිය අතර රතු පැහැ කොළ සිලි සිලි සරින් සැලෙමින් කොඳුරන්නට වන්හ. සමර් දත් විලිස්සුවේය. "ඔයාට එයාලව ඇහෙනවද දරුවො?" කටහඬක් විමසීය.

බ්‍රැන් වහා හිස එසවීය. පොකුණ එහා ඉවුරේ වූ පුරාණ ඔක් ගසක් යට ඕෂා සිටගෙන සිටියාය. ගසේ කොළ වල සෙවනැල්ලෙන් ඇගේ මුහුණ වැසී ගොස් තිබුනි. යකඩ දම්වැල් ලූ විට පවා මේ වනචාරියා බැළලියක මෙන් නිසලව ඇවිදීමට දත්තාය. පොකුණ වටා ගිය සමර් ඇය දෙසට ඉව ඇල්ලුවාය. උස් ගැහැණිය බියෙන් ඇකිළී ගියාය.

"සමර්, මා ගාවට වරෙන්." බ්‍රැන් කීවේය. අන්තිම වරටත් ඉව කර බැලූ වෘකයා ආපසු හැරී බ්‍රැන් වෙතට පැමිණියේය. බ්‍රැන් ඌ වටා දෑත් යවා ඌව තුරුළු කරගත්තේ ය. "උඹ මොනාද මෙතන කරන්නෙ?" වෘකවනයේදී ඇයව පණපිටින් අල්ලාගත් දාට පසු මේ වන තෙක් ඔහු ඇයව දැක නොතිබින. ඇයව කුස්සියේ රාජකාරි පිණිස යෙදවූ බව පමණක් ඔහු දැන සිටියේය.

"මෙයාලා මගෙත් දෙවියො." ඕෂා කීවාය. "ප්‍රාකාරෙට එහා පැත්තට ගියාම මෙයාලා තමා ඉන්න එකම දෙවිවරු." ඇගේ දුඹුරු පැහැ කෙස් කළඹ මේ වනවිට නැවත වැඩෙමින් තිබූ අතර ඒ නිසා ඇ‍යට වඩා වැඩි ගැහැණු පෙනුමක් ලැබී තිබුනි. එමෙන්ම ඇගේ පදම් කල සම් හා මුදු දම්වැල් සන්නාහය ඇගෙන් ඉවත් කල ඔවුහු ඇයට සරල, චාම්, දුඹුරු පැහැ හණ රෙද්දෙන් නිමැවූ ඇඳුමක් ලබා දී තිබුනි. එයද ඇගේ ගැහැණු ගතිය මනාව ඉස්මතු කලේය. "ගේජ් මට ඉඩදෙනවා සැරින් සැරේ මෙහාට ඇවිල්ලා යාඥා කරන්ට. මට එහෙම ඕනකමක් ඇතිවුනාම. ඉතින් මම එයාට ඉඩදෙනවා මගේ සාය අස්සට රිංගලා කැමැති දෙයක් කරගන්ට. එයාට එහෙම ඕනකමක් ඇතිවුනාම. ඒක මට අලුත් දෙයක් නෙවෙයි. එයාගෙ අත්වලින් එන පිටි පුසුඹට මම කැමැතියි. අනික එයා ස්ටිව්ට වඩා කරුනාවන්තයි." ඇය දරදඬු අයුරින් හිස නැමුවාය. "මම දැන් පිටවෙලා යන්නම්. හට්ටි මුට්ටි සුද්ද කරන්ට තියෙනවා."

"එපා. ඉදපන්." බ්‍රැන් ඇයට විධාන කලේය. "උඹ මොකක්ද අර දෙවියන්ව ඇහෙනවද කියලා කිවුවෙ? මට ඒක තේරුම් කරලා දීපන්."

ඕෂා ඔහුව නිරීක්ෂණය කලාය. "ඔබ එයාලගෙන් ඉල්ලුවා. එයාලා උත්තර දුන්නා. ඔබේ කණ් දෙක හොඳට ඇරගෙන ඇහුම්කන් දෙන්ට. එතකොට ඔබට ඇහෙයි."

බ්‍රැන් නිසලව හිඳ සවන් දුන්නේය. "ඒ හුළඟ විතරනෙ." මඳ වේලාවකට පසු ඔහු අතීරණයෙන් මෙන් කීවේය. "හුළඟට ‍කොළ හෙලවෙනවා."

"දෙවියන් නෙවෙයි නම් ඔය හුළඟ එවන්නෙ වෙන කවුරු කියලාද ඔබ හිතන්නෙ?" ඇය ඔහුට මුහුණ ලා පොකුණ අනිත් පස බිම හිඳගත්තේ ය. ඇය සෙලවෙන විට සිහින් ක්ලින්ක් හඬක් නැංවින. මික්කෙන් විසින් ඇගේ දෙපාවල වලළුකරට යකඩින් කල මාංචු ලා ඒ දෙක බරැති යකඩ දම්වැලක් මගින් එකතුකර තිබුනි. ඇයට කෙටි පියවර තබමින් අපහසුවකින් තොරව ඇවිදිය හැකිවිය. එනමුදු ඇයට දුවන්නට හෝ ගසකට නගින්නට හෝ අසෙකු පිට නගින්නට හෝ හැකියාවක් නොවීය. "එයාලට ඔබව පේනවා දරුවො. එයාලට ඔබ කතාකරන දේ ඇහෙනවා. අර කොළ හෙලවෙන සද්දෙ, ඒ එයාලා ඔබට ආපිට උත්තර දෙන සද්දෙ."

"එයාලා මොනවද කියන්නෙ?"

"එයාලා දුකින් ඉන්නෙ. ඔබේ ස‍හෝදරයාට එයාලගෙන් උදවු ගන්ට බෑ. එයා යන පැත්තෙ හැටියට ඒක කරන්ට බෑ. පුරාණ දෙවිවරුන්ට දකුණුකරේදි කිසිම බලයක් නෑ. එහෙ තිබ්බ වයර්වුඩ් ගස් හැම එකක්ම අවුරුදු දාස් ගානකට කලින්ම කපලා දාලා ඉවරයි. එයාලගෙ ඇස් නැතුව කොහොමද එයාලා ඔබේ සහෝදරයා ගැන හොයලා බලන්නෙ?"

රූස් බෝල්ටන්
බ්‍රැන් මේ ගැන කිසිම විටෙක සිතා බලා නොතිබුනි. එය ඔහුව බියපත් කලේය. දෙවියන්ට පවා ඔහුගේ සොහොයුරාට උදවු කල නොහැකි කල, තවත් එහි ඇති බලාපොරොත්තුව කුමක්ද? සමහරවිට ඕෂාට ඔවුන්ව වැරැදියට ඇසුනා වන්නට ඇත. හිස පසෙකට ඇල කල ඔහු නැවත වරක් වඩා හොඳින් සවන් දෙන්නට උත්සාහ කලේය. සුළඟේ තැවරී තිබුනු දුක්මුසු ස්වරය මෙවර තමාට හඳුනාගන්නට හැකිවිනැයි ඔහු කල්පනා කලේය. එනමුදු එයින් ඊට වඩා වැඩි යමක් උකහා ගන්නට නොහැකි විය.

කොළ සෙලවෙන හඬ හදිසියේම වැඩි වන්නට විය. බිම වැටුනු කොළ නිසා මැඩුනු පියවර හඬක් හා පහත් මිමිනුම් හඬක් ඔහුට ඇසෙන්නට විය. ඊළඟ මොහොතේ ගස් අතරින් හොඩෝර් මතුවිය. ඔහු නිරුවතින් සිටි අතර මුවේ සිනාවක් රැඳී තිබුනි. "හො-ඩෝ-ර්!"

"එයාට අපේ කටහඬවල් ඇහෙන්ට ඇති." බ්‍රැන් කීය. "හොඩෝර්. උඹට ඇඳුම් අමතක වෙලා."

"හො-ඩෝ-ර්." හොඩෝර් එකඟ විය. ඔහුගේ ගෙලින් පහළ සිරුර පුරා දියබිඳු බේරෙමින් තිබුනු අතර සීතල වාතය නිසා එයින් වාෂ්පයක් මතුවන්නට විය. ඔහුගේ සිරුර පුරාම සත්ත්ව සමක මෙන් ඝනකම් දුඹුරු පැහැ ලොමින් වැසී තිබුනි.

ඕෂා නොරිස්සුම් සිනහවකින් යුතුව ඔහු දෙස බැලුවාය. "මෙන්න ඉන්නවා ලොකු මිනිහෙක්. එයාට අනිවාර්යයෙන්ම යෝධයින්ගෙ ලේ තියෙන්ට ඕන. මම ඕන ඔට්ටුවක් දානවා."

"මේස්ටර් ලුවින් කියන්නෙ යෝධයො තවදුරටත් නෑ කියලයි. එයා කියන්නෙ යෝධයොත් වනාන්තරයේ දරුවන් වගේම වඳ වෙලා ගිහිල්ලා කියලා. ඉතුරුවෙලා තියෙන එකම දේ පොළොව යට තියෙන එයාලගෙ ඇටකටු විතරයි‍."

"මේස්ටර් ලුවින්ට ප්‍රාකාරෙන් එහා පැත්තට යන්ට කියන්ටකො. එතකොට එයාට යෝධයො හම්බවෙයි. එහෙමත් නැත්තං යෝධයින්ට එයාව හම්බවෙයි. මගේ අයියා එකපාරක් එකෙක්ව මැරුවා. ඒකි අඩි දහයක් උසයි. ඒ වුනත් ඒකි කුරුමිටි යෝධයෙක්. උං අඩි දොළහක් නැත්තං දහතුනක් විතර උස යනවා කියලයි කියන්නෙ. උං හරිම බිහිසුනු සත්තු. දිග ලෝමයි, දිග දතුයි. ගෑණුන්ටත් පිරිමින්ට වගේම රැවුල් තියෙනවා. ඒ නිසා උංව වෙන්කරලා අඳුරගන්ට බෑ. උංගෙ ගෑනු මිනිස් පිරිමින්ව තියාගන්නවා ආදරවන්තයො විදියට. ඒකෙන් තමා ඔය බාග යෝධයො බිහිවෙන්නෙ. උං අල්ලගන්න මිනිස් ගෑනුන්ටනං අත්වෙන්නෙ ඊට වඩා දරුණු ඉරණමක්. උං කොච්චර ලොකුද කියනවානං දරුවෙක් ලැබෙන්ට තියා ඒ ගැන හිතන්ටත් කලින්ම ගෑනු මැරෙනවා." ඇය විරිත්තුවා ය. "ඒ වුනත් මම මේ කියන්නෙ මොකක් ගැනද කියලා ඔබට තේරෙන්නෙ නෑ නේද දරුවො?"

"මට තේරෙනවා." බ්‍රැන් තිර කොට කීවේය. සහවාසය යනු කුමක්දැයි ඔහු දැන සිටියේය. අංගනයේ සුනඛයින් හා ඉස්තාලවල අසුන් එය සිදුකරනු ඔහු දැක තිබුනි. එනමුදු ඒ ගැන මෙලෙස කතාකිරීම නිසා ඔහුට අපහසුතාවක් දැනෙන්නට විය. ඔහු හොඩෝර් දෙස බැලුවේය. "ගිහින් උඹේ ඇඳුම් ටික අරන් වරෙන් හොඩෝර්. පලයන්, ගිහින් ඇඳගනින්."

"හො-ඩෝ-ර්." ගසක පහත් අත්තක් යටින් දෙකට නැමුනු හොඩෝර් ආ මගින්ම නැවත යන්නට ගියේය.

ඔහු ඇත්තෙන්ම බිය සිතෙන තරම් දැවැන්ත මිනිසෙකියි ඔහු යන දෙස බලමින් බ්‍රැන් කල්පනා කලේය. "ඇත්තටම ප්‍රාකාරෙන් එහා පැත්තෙ යෝධයො ඉන්නවද?" ඔහු දෙගිඩියාවකින් මෙන් ඕෂාගෙන් විමසීය.

"යෝධයොයි, යෝධයින්ටත් වඩා භයානක දේයි පුංචි උතුමානනි. ඔබේ සහෝදරයා මගෙන් ප්‍රශ්න කරද්දී මම මේ ගැන කියන්ට උත්සාහ කලා. එයයි, ඔබේ මේස්ටරුයි, අර නිතරම හිනාවෙන ග්‍රේජෝයි කොල්ලයි. සීතල හුළං එන්ට එන්ටම වැඩිවෙනවා. මිනිස්සු තමන්ගෙ ගිනිමැල ගාවින් නැගිටලා ගියොත් ආයෙමත් එන්නෙ නෑ... එහෙම නැත්තං උං ආපහු ආවොත් උං තවදුරටත් මිනිස්සු නෙවෙයි. නිල් පාට ඇසුයි, කළු පාට සීතල අතුයි තියෙන මළ මිනිස්සුන්ට පරිවර්තනය වෙලා. ස්ටිවුයි, හාර්ලියි, අර අනිත් මෝඩයො රැළයි එක්ක මම දකුණට දුවගෙන ආවෙ ඇයි කියලාද ඔබ හිතන්නෙ? මැන්ස් හිතනවා උනුත් එක්ක හටන් කරන්ට. නිර්භීත, මුරණ්ඩු, මෝඩ මිනිහා. ඌ හිතනවා ඇති ධවල යාත්‍රිකයො කියන්නෙ නිශා රැකුමේ මුර සංචාරකයො වගේ ජාතියක් කියලා. ඒ වුනත් ඌ මොනාද දන්නෙ? ඌ කැමැතිනං ඌට පුළුවන් ප්‍රාකාරෙන් එහා රජ්ජුරුවො කියලා තමන්ටම කියාගන්ට. ඒ වුනත් ඌ හෙවනැලි කුළුණෙන් පැනලා ගිය නාකි කළු කපුටෙක් විතරයි. ඌ කවදාවත් හරිහමන් සීත කාලයක් විඳලා නෑ. මම එහෙ ඉපදිච්ච එකියක් දරුවො. මගේ අම්මා, අම්මගෙ අම්මා, එයාගෙත් අම්මා වගේ, අපි හැමෝම නිදහස් මිනිස්සු විදියට එහෙ ඉපදිච්ච අය. අපට හැමදේම මතක තියෙනවා." ඕෂා නැගිට සිටියෙන් ඇගේ දම්වැල් නැවත නද දුනි. "මම උත්සාහ කලා ඔබේ සහෝදරයාට මේ ගැන කියන්ට. මේ ඊයෙ පවා, මම දැක්කා එයා අංගනයේ ඉන්නවා. 'මයෙ ස්ටාර්ක් උතුමානනි' මම එයාට කතා කලා. බොහොම ගරුසරු ඇතිව. ඒ වුනත් එයා මාව දැක්කෙ නෑ වගේ මා දිහා බලන් හිටියා. ඊටපස්සෙ අර මහ දැවැන්තයා, ග්‍රේට්ජොන් අම්බර් මාව එයාගෙ පාරෙන් අහකට තල්ලු කරලා දැම්මා. ඉතිං එච්චරයි. ඉතිං මම මගේ දම්වැල් ටික දාගෙන මගේ කට වහගෙන ඉන්නං. ඇහුම්කන් දෙන්නෙ නැති මිනිහෙකුට බෑ කිසිම දෙයක් අහන්ට."

"මට කියන්ට. මම රොබ්ට කියන්නම්. මම දන්නවා එයා මට ඇහුම්කන් දෙනවා කියලා."

"එයා එහෙම කරයිද? අපි බලමු. ඔබ එයාට මෙන්න මේක කියන්ට මයෙ උතුමානනි. එයාට කියන්ට එයා ඔය හමුදාවත් අරන් යන්නෙ වැරැදි පැත්තටයි කියලා. එයා හරිනම් යන්ට ඕන උතුරු පැත්තට. උතුරට. දකුණට නෙවෙයි. ඔබට මං කියන දේ ඇහෙනවද?"

බ්‍රැන් හිස වැනුවේය. "මම එයාට කියන්නම්."

* * *

එනමුදු, එදා රාත්‍රියේ ඔවුන් මහා ශාලාවේ ආහාර ගනිද්දී රොබ් ඔවුන්ට එක් නොවීය. ඔහු ඇතුළු කාමරයක රිකාර්ඩ් උතුමානන්, ග්‍රේ‍ට්ජොන් උතුමානන් හා අනිකුත් ප්‍රධාන වංශවතුන් සමගින් අහර ගත්තේය. ඉදිරියට නියමිත දිගු ගමන වෙනුවෙන් අවසන් පිඹුරුපත් සකසන්නට ඔවුන්ට සිදුව තිබුනි. ඔහුගේ අඩුව පුරවාලමින් කෑම මේසයේ මුලසුන ගන්නටත්, කාර්ස්ටාර්ක් උතුමානන් ගේ පුතුන් හා හිතමිතුරන් වෙනුවෙන් ප්‍රධාන සංග්‍රාහකයා වශයෙන් කටයුතු කරන්නටත් බ්‍රැන්ට සිදුවිය. හොඩෝර් විසින් ඔහුව ශාලාවට ඔසවාගෙන විත් මුලසුන අසල දණ නමන විටත් ඔවුන් සැවොම තම තමන්ට නියමිත අසුන්වල වාඩිගෙන සිටියෝය. සේවකයින් දෙදෙනෙකු විසින් ඔහුට කූඩයෙන් පිටතට පැමිණීමට උදවු කරන ලදී. ශාලාව තුළ සිටි සෑම ආගන්තුකයෙකු ගේ ම දෑස් තමා වෙත එල්ල වී ඇති අයුරු බ්‍රැන්ට දැනෙන්නට විය. අවට මුළුමනින්ම නිහඬතාවයෙන් පිරී ගොස් තිබුනි. "මගේ උතුමනි." හැලිස් මොලන් නිවේදනය කලේය. "වින්ටර්ෆෙල් වල බ්‍රැන්ඩන් ස්ටාර්ක්."

"ඔබ හැමදෙනාම අපේ ගිනිමැල වලට සාදරයෙන් පිළිගන්නවා." බ්‍රැන් දරදඬු ස්වරයෙන් කියාගත්තේ ය. "අපේ මිත්‍රත්වයට කරන ගරුකිරීමක් විදියට ඔබලාට කෑමෙනුත් බීමෙනුත් සංග්‍රහ කරනවා‍."

රිකාර්ඩ් උතුමානන් ගේ පුතුන් අතරින් වැඩිමලා වූ හැරියන් කාර්ස්ටාර්ක් ඇරයුම පිළිගනිමින් හිස නමා ආචාර කලේය. ඊට පසු ඔහුගේ සොහොයුරන්ද ආචාර කලෝය. එනමුදු ඔවුන් නැවතත් අසුන් ගනිද්දී වයින් කුසලාණවල හඬ මධ්‍යයේ ලාබාල පුතුන් දෙදෙනා පහත් මිමිනුම් ස්වරයෙන් එකිනෙකා හා දොඩනු බ්‍රැන්ට ඇසුනි. "... ඒ විදියට ජීවත් වෙනවාට වඩා හොඳයි මැරෙනවා." එඩාර්ඩ් කාර්ස්ටාර්ක් කෙඳිරුවේය. ඔහුගේ සොහොයුරා ටෝරන් කියා සිටියේ මේ කොලුවා පිටතින් මෙන්ම ඇතුළතින් ද බිඳී ගොස් ඇති බවත්, සිය දිවි තොර කරගැනීමට පවා නොහැකි තරම් බියසුල්ලකු බවට ඔහු පත්වී ඇති බවත් ය.

'බිඳිලා ගිහිල්ලා!' සිය පිහියා මිට තදින් මිරිකා ගනිමින් බ්‍රැන් කල්පනා කලේය. ඔහු දැන් පත්වී ඇත්තේ එවැනි තත්ත්වයකට ද? 'බිඳී ගිය බ්‍රැන්?' "මට බිඳිලා යන්ට බෑ." ඔහු සිය දකුණු පසින් අසුන්ගෙන සිටි මේස්ටර් ලුවින්ට කොඳුලේය. "මට නයිට් කෙනෙක් වෙන්ට ඕන."

"සමහර උදවිය මගේ නිකායට කියනවා 'මනසේ නයිට්වරු' කියලා." ලුවින් පිළිතුරු දුන්නේය. "ඔයා බොහොම දක්ෂ දරුවෙක් බ්‍රැන්. විශේෂයෙන්ම ඔයා යමක් ගැන හිත යොමුකරන වෙලාවට. ඔයා කවදාවත් හිතලා තියෙනවද මේස්ටර් කෙනෙක්ගෙ දම්වැලක් පළඳින්ට එහෙම? ඔයාට ඉගෙනගන්ට පුළුවන් දේ සීමාවක් නැති වේවි."

"මට ඕන ඉන්ද්‍රජාලික වැඩ ඉගෙනගන්ට. අර කපුටා මට පොරොන්දු වුනා මට පියාඹන්ට පුළුවන් වෙනවා කියලා."

මේස්ටර් ලුවින් සුසුමක් හෙලීය. "මට පුළුවන් ඔයාට උගන්නන්ට ඉතිහාසය, සුවකිරීම් ගැන, බෙහෙත් පැළෑටි ගැන. මට පුළුවන් ඔයාට උගන්නන්ට කපුටන්ගෙ භාෂාව. කොහොමද බලකොටුවක් ගොඩනංවන්නෙ කියලා. සේලරුවෙක් කොහොමද තරු දිහා බලලා පාර හොයාගන්නෙ කියලා. මට පුළුවන් ඔයාට උගන්නන්ට කොහොමද දවස් මනින්නෙ, කොහොමද ඍතු වෙන් කරන්නෙ කියලා. ඕල්ඩ්ටවුන් වල තියෙන සිටඩේල් එකට ගියොත් එයාලා ඔයාට තව දාහක් දේ උගන්නාවි. ඒ වුනත් බ්‍රැන්, කිසිම මිනිහෙකුට බෑ ඔයාට ඉන්ද්‍රජාලික උගන්නන්ට."

"දරුවන්ට පුළුවන්. වනාන්තරේ දරුවන්ට පුළුවන්." මේ කතාවත් සමගින් අද දින දහවල් දෙව්වනයේදී තමා ඕෂාට දුන් පොරොන්දුව ඔහුට සිහිපත් විය. ඉදින් ඔහු ඕෂා විසින් තමාට කී සියල්ලක්ම මේස්ටර් ලුවින් හට පැවසුවේය.

මේස්ටර් ඉවසිලිවන්තව මේ සියල්ලටම ඇහුම්කන් දුන්නේය. "මම හිතන්නෙ, මේ වනචාරී ගෑනිට පුළුවන් කතන්දර කියන්නෙ කොහොමද කියලා නාකි ආයම්මාට උගන්නන්ට." අන්තිමේදී, බ්‍රැන් කතාව නිමා කල පසු ඔහු කීය. "ඔයා කැමැති නම් මම ඒ ගෑනිත් එක්ක ආයෙමත් පාරක් කතා කරන්නම්. ඒ වුනත් ඔයා මේ එක එක විතාර කියලා ඔයාගෙ අයියාට කරදර කරන්නෙ නැතුව ඉන්නවා නම් හොඳයි. යෝධයොයි, කැලේ ඉන්න මැරිච්ච මිනිස්සුයි එක්ක පොර බදනවාට වඩා එයාට වදවෙන්ට ගොඩක් දේවල් තියෙනවා. ඔයාගෙ තාත්තාව අල්ලලා හිරකරන් ඉන්නෙ ලැනිස්ටර්ලා බ්‍රැන්. වනාන්තරයේ දරුවො නෙවෙයි." ඔහු මෘදු අයුරින් බ්‍රැන්ගේ අත මතින් සිය අත තැබීය. "මම කියාපු දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්ට දරුවො."

* * *

දවස් දෙකකට පසු හිමිදිරි පාන්දර පෙරදිග අහස රත් පැහැ ගන්වමින් අරුණෝදය උදාවද්දී බ්‍රැන් සිය අසු වන ඩාන්සර් පිට නැගී වාහල්කඩ අසබඩ අංගනයට ළඟා වූයේය. ඔහු සිය සොහොයුරාට ආයුබෝවන් කියන්නට පැමිණ සිටියේය.

"දැන් ඔයා තමා වින්ටර්ෆෙල්වල උතුමානන්." රොබ් ඔහුට කීවේය. ඔහු අළු පැහැ යුධ සෛන්ධවයකු පිට නැගී සිටියේය. දැවයෙන් තනා යකඩින් ආවරණය කල, සුදු හා අළු පැහැයෙන් යුත් ඔහුගේ පලිස අසුගේ පසෙකින් එල්ලා තිබුනි. පලිස මතුපිට ඔවුන් ගේ වංශ සලකුණ වන දත් විලිස්සාගත් ඝෝරවෘකයා සිතුවම් කොට තිබුනි. ‍රොබ් පදම්කල සම් ආවරණ හා ඊට උඩින් අළු පැහැ මුදු දම්වැල් සන්නාහයක් පැළැඳ සිටියේය. ඔහුගේ ඉණේ දිගු අසිපතක් හා කිනිස්සක් විය. ලොම්වලින් පෝරු දැමූ දිගු සළුවක් ඔහුගේ උරහිසෙන් එල්ලුනි. "මම තාත්තගෙ තැන ගත්තා වගේ දැන් ඔයා මගේ තැන ගන්ට ඕන. අපි ආපහු එනකම්."

"මම දන්නවා." බ්‍රැන් දුක්මුසු ස්වරයෙන් පිළිතුරු දුන්නේය. මීට පෙර කිසිදිනෙකත් මෙතරම් තනිකමක්, මෙතරම් බියක්, තමා කෙතරම් ක්ෂුද්‍ර ජීවියෙක්දැයි යන හැඟීමක් ඔහු තුළ පහළ වී නොතිබුනි. උතුමානන් කෙනෙකු වන්නේ කෙසේදැයි හාංකවිංසියකවත් දැනුමක් ඔහු තුළ නොවීය.

"මේස්ටර් ලුවින්ගෙ උපදේශනයට ඇහුම්කන් දෙන්ට. රිකන්ව බලාගන්ට. එයාට කියන්ට යුද්ධෙ ඉවර වුන ගමන්ම මම ආපහු එනවා කියලා."

රිකන් සිය සොයුරාට සමු දීම සඳහා පැමිණීම ප්‍රතික්ෂේප කොට තිබුනි. ඔහු සිය නිදන කාමරයට වී රතු වූ දැස්වලින් යුතුව විරෝධය දක්වමින් සිටියේය. "නෑ!" රොබ්ට සමුදීම සඳහා ඔහු පැමිණෙන්නේදැයි බ්‍රැන් ඇසූ විට ඔහු කේන්තියෙන් බෙරිහන් දුනි. "කිසිම සමුදීමක් නෑ!"

"මම එයාට කියන්නම්." බ්‍රැන් පොරොන්දු විය. "එයා කියනවා යන කිසිම කෙනෙක් ආපහු එන්නෙ නෑ කියලා."

"එයාට හැමදාමත් පුංචි බබෙක් වෙලා ඉන්ට බෑ. එයා ස්ටාර්ක් කෙනෙක්. දැන් අවුරුදු හතරකටත් කිට්ටුයි." රොබ් සුසුමක් හෙලුවේය. "හොඳයි. අම්මා ඉක්මනටම ගෙදර එයි. මම තාත්තාව ආපහු අරන් එන්නම්. මම පොරොන්දු වෙනවා."

සිය අසු හරවා ගත් රොබ් හැල්මේ අසු පැන්නවීය. කෙට්ටු, වේගවත් ග්‍රේ වින්ඩ් අසු පසෙකින් දුවන්නට විය. සුළඟේ ලෙලදෙන සුදු පැහැ ස්ටාර්ක් ධජය ඔසවාගත් හැලිස් මොලන් ඔවුන්ට ඉදිරියෙන් ගේට්ටුව පසුකලේය. තියන් ග්‍රේජෝයි හා ග්‍රේට්ජොන් අම්බර් රොබ්ගේ දෙපසින් අසුන් විහිදූහ. පේළි දෙකකට සැදුනු ඔවුන් ගේ නයිට්වරු ඒ පසුපස්සේ වැටුනහ. ඔවුන් ගේ ලන්සවල වානේ තුඩු හිරු එළිය වැටී දිදුලන්නට විය.

හදිසියේම බ්‍රැන්ට ඕෂාගේ වදන් මතක් විය. 'එයා ගමන් කරන්නේ වැරැදි දිශාවටයි.' ඔහු කල්පනා කලේය. ඔහු පසුපසින් පිම්මේ අසු විහිදා ගොස් අනතුරු ඇඟවීමක් කරන්නට බ්‍රැන්ට මොහොතකට සිතුනේය. එනමුදු ඊළඟ මොහොතේ රොබ් කටු පැලැල්ල යටින් නොපෙනී ගිය අතර ඒ අවස්ථාව ගිලිහී ගියේය.

බලකොටුවේ පවුරුවලට එහායින් මහත් කලිකලහයක් නැගෙන්නට විය. ඒ පාබල හේවායින් හා නගරවාසීන් විසින් රොබ් වෙනුවෙන් ජයඝෝෂා නගන හඬ බව බ්‍රැන් දත්තේය. ඔවුන් මේ ජයඝෝෂා නංවන්නේ ස්ටාර්ක් උතුමානන් වෙනුවෙනි. සුළඟේ ලෙලදෙන සළුවකින් හා පසෙකින් දුවන ග්‍රේවින්ඩ් ඇතුව දැවැන්ත යුධ අසෙකු පිට නැගී පෙරට යන වින්ටර්ෆෙල්හි උතුමානන් වෙනුවෙනි. ඔවුන් කිසිදිනෙකත් තමා වෙනුවෙන් මෙසේ ජයඝෝෂා නංවන්නේ නොමැති බැව් හදෙහි සියුම් වේදනාවක් ද සමගින් ඔහුට අවබෝධ විය. සිය පියා හා වැඩිමහල් සොහොයුරා බැහැර ගිය විට ඔහු වින්ටර්ෆෙල්හි උතුමානන් වන බැව් සැබැවි. එනමුදු ඔහු තවමත් 'බිඳී ගිය බ්‍රැන්' මය. සදහටම එය එසේමය. බිම නොවැටී සිය අසු පිටින් බැසීම පවා ඔහුට කල නොහැක්කකි.

අන්තිමේදී ඈතින් ඇසුනු ජයඝෝෂා හඬ කෙමෙන් මැකී ගොස් අංගනය පුරා නිහඬතාව රජයන්නට විය. වින්ටර්ෆෙල් මිනිසුන්ගෙන් තොර, පාළු, අමු සො‍හොනක් මෙන් දිස්විය. බ්‍රැන් මොහොතක් වටපි‍ට බැලූයේ තමා සමගින් ඉතුරු වී සිටින පිරිසේ මුහුණු පිරික්සා බැලීය. ගැහැණුන්, දරුවන් හා මහල්ලන්... හා හොඩෝර් පමණක් එහි වූහ. මේ දැවැන්ත ඉස්තාල කොලුවා ගේ මුහුණේ කුමක් දෝ අතරමං වූ පෙනුමක් හා බියපත් පෙනුමක් දක්නට ලැබුනි. "හො-ඩෝ-ර්!" ඔහු දුක්මුසු ස්වරයෙන් කීවේය.

"හො-ඩෝ-ර්.‍‍‍‍‍" බ්‍රැන් එකඟවිය. ඒ පැවසූයේ කුමක් වන්නට ඇත්දැයි ඔහු විමතියෙන් කල්පනා කරන්නට විය.


Maester Luwin: “A man’s worth is not marked by a ser before his name.”

Wednesday 21 January 2015

බ්‍රැන් 06-1


අශ්වාරෝහක සෙබළුන් තුන්සියයක් හා පාබල සෙබළුන් දෙදහසක් පමණ පිරිවැරූ කාර්ස්ටාර්ක්වරුන් එක් සීතල උදෑසනක කාර්හෝල්ඩ්හි පිහිටි සිය බලකොටුවේ සිට පැමිණියෝය. සෙබළ මුලුව සෙමින් සෙමින් ඉදිරියට ඇදී එද්දී ඔවුන් ගේ කුන්තවල වානේමය තුඩු මලානික හිරු එළියේ දිදුලන්නට විය. තමන්ට ද වඩා විශාල බෙරයක් කරේ එල්ලාගත් මිනිසෙක් ඔවුන්ට ඉදිරියෙන් යමින් සරඹ රිද්මයට අනුව බෙරයට තඩිබෑවේය. බුම්! බුම්! බුම්!

හො‍ඩෝර් ගේ උරහිස මත වාඩිවී මේස්ටර් ලුවින් ගේ පිත්තල දුරබලන කන්ණාඩිය දෙනෙතට තද කරගත් බ්‍රැන් ඔවුන් පිටත පවුරේ මුරකුළුණ පසුකරමින් එන සැටි බලා සිටියේය. රිකාර්ඩ් කාර්ස්ටාර්ක් උතුමානන් පිරිසේ ඉදිරියෙන්ම පැමිණියේ ය. ඔහුගේ පුතුන් වන හැරියන්, එඩාර්ඩ් හා ටෝරන් සිය වංශ ලාංඡනය වන කළු පසුබිමේ දිදුලන සුදු පැහැ හිරුගේ සලකුණ සහිත ධජපතාක සෙවනේ ඔහු පසෙකින් අසුන් විහිදූහ. නාකි ආයම්මා කියූ සැටියට නම් ඔවුන් ගේ නහර තුළ ගලාගියේ ද ස්ටාර්ක් රුධිරය විය. වසර සිය ගණනකට පෙරාතුව ඔවුන් ස්ටාර්ක්ලාගෙන් වෙන්වී වෙනමම පෙළපතක් පිහිටුවා තිබුනි. එනමුදු ඔවුන් හා ස්ටාර්ක්වරුන් අතර කිසිදු සමානකමක් බ්‍රැන්ට නම් දැකගත හැකි නොවීය. ඔවුහු බිහිසුනු, මුහුණ පුරා ඝනකම රැවුල් වවාගත්, උරහිසට ද පහතින් වැටෙන සේ දිගු කොණ්ඩා වවාගත්, දැවැන්ත මිනිසුන් වූහ. ඔවුන් ගේ සළු නිමැවී තිබුනේ වලසුන්, වෘකයින් හා සීල් සතුන් ගේ සමිනි.

මේ වනාහි අවසාන පිරිස බව බ්‍රැන් දැන සිටියේය. අනිකුත් වංශාධිපතින් මේ වනවිට ද සිය සෙබළ මුලු හා පැමිණ තිබුනි. ඔවුන් අතර ඇවිද යමින් ශීත පෙළපත්වල ශ්‍රී විභූතිය දැකබලා ගන්නට බ්‍රැන්ට තදින්ම උවමනා විය. සෑම උදෑසනකම මිනිසුන් වෙළෙඳපළ චතුරස්‍රයේ පොර කෑ අතර වීථී කරත්ත රෝදවලට හා සත්ත්ව කුරවලට හසු වී මැඩී ගියේය. එනමුදු ඔහුට මාලිගයෙන් පිටවීම රොබ් විසින් තහනම් කර තිබුනි. "අපට ඔයාව පරිස්සම් කර කර ඉන්ට තරම් අමතර සෙබළු නෑ." ඔහු පැහැදිලි කර තිබුනි.

"මම සමර්ව අරන් යන්නම්." බ්‍රැන් වාද කලේය.

"පොඩි ළමයෙක් වගේ මාත් එක්ක සෙල්ලම් කරන්ට එපා බ්‍රැන්. ඔයා දැන් ඊට වඩා හොඳින් යමක් තේරුම්ගන්ට ඕන. බෝල්ටන් උතුමානන්ගෙ මිනිහෙක් ස්මෝකින් ලොග්වලදි සර්වින් උතුමානන්ගෙ මිනිහෙකුට පිහියෙන් ඇනලා යාන්තං දවස් දෙකයි. ඔයාව එහෙම අවදානමක දැම්මොත් අපේ අම්මා මාව පණපිටින් හම ගහයි." ඔහු මෙය පැවසූයේ රොබ් උතුමානන් සතු විධානාත්මක හඬිනි. එබැවින් එතැනින් එහාට තවත් අයැද සිටීමේ තේරුමක් නැති බව බ්‍රැන් වටහාගත්තේ ය.

මේ සියල්ල එදා අර වෘක වනයේදී සිදුවුනු දේ නිසා බැව් ඔහු දැන සිටියේය. මේ මතකය තවමත් ඔහු වෙත නපුරු සිහින ගෙන එන්නට සමත් වී තිබුනි. ඔහු එදා කිසිදු පිළිසරණක් නැති කුඩා දරුවකු ගේ තත්ත්වයට, අඩුම ගනනේ රිකන් තරමටවත් සිය ආරක්ෂාව සලසාගත නොහැකි තත්ත්වයකට පත්ව සිටියේය. රිකන්ට අඩුම තරමේ ඔවුන්ට පා පහර දීමටවත් හැකියාව තිබුනි. මෙය ඔහුව ලැජ්ජාවට පත්කලේය. ඔහු රොබ්ට වඩා යාන්තම් වසර කිහිපයකින් ලාබාලය. සිය සොයුරා මේ වන විට වැඩුනු මිනිසකු නම් ඔහුද එසේමය. ඔහු තමාව ආරක්ෂා කරගන්නට සමත් විය යුතුව තිබුනි.

මීට වසරකට පෙරාතුව නම්, නගරයට යන්නට උවමනා විනි නම් තනිවම ප්‍රාකාරයට නැගගෙන හෝ එය ඉටු කරගන්නට ඔහුට හැකියාව තිබින. ඒ කාලයේ ඔහුට පියගැටපෙළ දිගේ ඉහළ පහළ දිවයාමට හැකි විය. සිය පෝනියා පිට තනිවම නැගගත හැකි විය. ලී අසිපතක් අත දරා ටමෙන් කුමරා පරදවන්නට හැකි විය. දැන් ඔහුට කල හැකි එකම දෙය මේස්ටර් ලුවින් ගේ දුරේක්ෂයෙන් එබී බැලීම පමණි. මේස්ටර්වරයා ඔහුට සියළුම ධජ ගැන ඉගැන්නුවේ ය. ග්ලවර්වරුන් ගේ ලේ රතු පැහැ පසුබිමේ ඇති රජතමය මිටි මොලවා ගත් අත, මෝර්මන්ට් ආර්යාව ගේ කළු වලසා, ඩ්‍රෙඩ්පෝර්ට්හි රූස් බෝල්ටන් ගේ හමගැසූ මිනිසා, හෝර්න්වුඩ්වරුන් ගේ පිණිමුවා, සර්වින්වරුන් ගේ යුධ පොරොව, ටෝල්හාර්ට්වරුන් ගේ මුරකරු වෘක්ෂ තුන සහ අම්බර් වංශයේ දම්වැල්වලින් බැඳ දැමූ ගොරවන යෝධයා ආදි සියල්ලක්ම ඔහු මනාව දැන සිටියේය.

රිකාර්ඩ් කාර්ස්ටාර්ක්
වැඩි කලක් යන්නට මත්තෙන් ඔහු මේ වංශාධිපතීන් ගේ මුහුණු ද හඳුනාගන්නට සමත් වීය. මේ උතුමන් ද, ඔවුන් ගේ පුතුන් ද, නයිට්වරුන් ද භෝජන සංග්‍රහයන්ට සහභාගි වීම පිණිස වින්ටර්ෆෙල්වලට පැමිණියහ. මේ සියල්ලන්ටම එකවර අසුන් ගන්නට තරම් වින්ටර්ෆෙල්හි ප්‍රධාන ශාලාවද ඉඩ මදි තරම් විය. එබැවින් රොබ් විසින් ප්‍රධාන වංශාධිපතින් මාරුවෙන් මාරුවට ආගන්තුක සත්කාරය පිණිස කැඳවන ලදී. මේ සෑමවිටම බ්‍රැන්ට සිය සොයුරා ගේ දකුණු පසින් වූ ගරු ආසනයක් හිමිවූයේය. ඔහු එහි අසුන්ගෙන සිටියදී සමහර වංශාධීපතිහූ ඔහු දෙස නොපහන් බැලුම් හෙලන්නට ද අමතක නොකලහ. මේ අබ්බගාත, කුඩා කොලුවා තමන්ට වඩා උසස් අසුනක වාඩි වී සිටින්නේ මොන කෙහෙල්මලකට දැයි ඔවුන් කල්පනා කරනවා වන්නට ඇත.

"දැනට කොච්චර කට්ටිය ඇවිල්ලා ඉන්නවද?" බ්‍රැන් මේස්ටර් ලුවින්ගෙන් ඇසු‍වේය.

"දොලොස්දාහක් හරි ඊට කිට්ටුවෙන් යන ගානක්."

‍"නයිට්වරු කීදෙනෙක් ද?"

"ටික දෙනෙක්." මේස්ටර්වරයා නොඉවසිලිමත් බව තැවරුනු ස්වරයෙන් පිළිතුරු දුන්නේය. "නයිට් කෙනෙක් වෙන්ට ඔයා සප්තක දේවස්ථානයක දණ නමලා සප්තාලේපනයෙන් අභිෂේක ලබලා දිවුරුම් දෙන්ට ඕන. මේ උතුරෙ ඉන්න වංශවත් පවුල්වලින් බොහොම ටිකයි සත්‍ය ලබ්ධිය අදහන්නෙ. අනිත් හැමෝම තාමත් පුරාණ දෙවිවරුයි අදහන්නෙ. ඒ නිසා එයාලා නයිට්වරු නම් කරන්නෙ නෑ... ඒ වුනත් ඒකෙන් කියැවෙන්නෙ නෑ මේ උතුමානන්ලායි, එයාලාගෙ පුතාලයි, එයාලට දිවුරුම් දීලා ඉන්න සෙබළුයි පක්ෂපාතී බව අතින් හරි ගෞරවනීය බව අතින් හරි නයිට්වරුන්ට වඩා පහතින් ඉන්නවා කියලා. මිනිහෙක්ගෙ වටිනාකම තීරණය වෙන්නෙ එයාගෙ නමට ඉස්සරහින් 'සෙර්' කෑල්ලක් තියෙනවාද නැද්ද කියන එකෙන් නෙවෙයි. මම මීට කලින් සියවාරයක් ඔයාට ඒ ගැන කියලා දීලා ඇති."

"ඒ වුනත්... නයිට්වරු කීදෙනෙක් ද?"

මේස්ටර් ලුවින් සුසුමක් හෙලීය. "තුන්සීයක්, නැත්තං හාරසීයක් විතර... නයිට්වරු නොවෙන සන්නද්ධ ලන්සකාරයො තුන්දාහක් අතරෙ."

"කාර්ස්ටාර්ක් උතුමානන් තමා අන්තිම එක්කෙනා." බ්‍රැන් කල්පනාවෙන් බරව කීවේය. "රොබ් අද රෑ එයාට භෝජන සංග්‍රහයක් පවත්වයි."

"කිසිම සැකයක් නෑ."

"කොච්චර කල් යයිද එයාලා... එයාලා පිටත්වෙලා යන්ට?"

"එයා බොහොම ඉක්මනටම පිටත්වෙලා යන්ට ඕන. එහෙම නැත්තම් නොගිහින් ඉන්ට ඕන. වින්ටර් ටවුන් එක පිරෙන්ටම සෙනඟ ඉන්නවා. මේ හමුදාව තව දිගටම මෙහෙ කඳවුරු බැඳගෙන හිටියොත් එයාලා මේ අවට හැම තැනකම තියෙන කෑම ටික කාලා ඉවර කරයි‍. තවත් අය එයා එනකම් රජමාවතේ බලාගෙන ඉන්නවා. සොහොන් ගොඩැලිවල නයිට්වරුයි, වගුරු මිනිස්සුයි, මැන්ඩර්ලි උතුමානනුයි, ෆ්ලින්ට් උතුමානනුයි. දැනටමත් ගංගා නිම්නයේ සටන් පටන් අරගෙනයි තියෙන්නෙ. ඔයාගෙ අයියාට ලීග් සියගානක් දුර යන්ට තියෙනවා."

"මම දන්නවා." බ්‍රැන්ගේ ස්ව‍රයේ වූයේ දුක්මුසු බවකි. ඔහු පිත්තල බටය නැවත මේස්ටර්වරයා අතට දුන්නේය. මේස්ටර් ලුවින් ගේ හිස මුදුනේ කෙස් පෑදී ඇති අයුරුත් යාන්තමට තට්ටය මතු වී ඇති අයුරුත් ඔහුගේ නිරීක්ෂණයට හසුවිය. සිය මුලු ජීවිත කාලය පුරාවටම පහළ සිට ඔහු දෙස බලා හිඳ දැන් මෙසේ ඉහළක සිට ඔහු දෙස බැලීම නුහුරු දෙයක් විය. එනමුදු ඔබ හොඩෝර් ගේ පිට මත වාඩිවී සිටින විට ඔබ අන් සියළුදෙනාම දකින්නේ ඔබට පහළිනි. "මට තවත් බලන් ඉන්ට ඕන නෑ. හොඩෝර්, මාව බලකොටුවට අරන් පලයන්."

"හො-ඩෝ-ර්." හොඩෝර් පිළිතුරු දුනි.

මේස්ටර් ලුවින් පිත්තල බටය සිය කමිස අතක් අස්සේ ගසා ගත්තේය. "බ්‍රැන්, ඔයාගෙ අයියට දැන් ඔයා ගැන හොයලා බලන්ට වෙලාවක් ලැබෙන එකක් නෑ. එයා ඉස්සරහට ගිහිල්ලා කාර්ස්ටාර්ක් උතුමානනුයි එයාගෙ පුත්තුයි පිළිගන්ට ඕන."

"මම රොබ්ට බාධා කරන්ට යන්නෙ නෑ. මට දෙව්වනයට යන්ට ඕන." ඔහු හොඩෝර් ගේ උරහිස ස්පර්ශ කලේය. "හොඩෝර්."

කුළුණේ ඇතුළත බිත්තියේ ඉණිමගක් මෙන් භාවිතයට ගත හැකිවන පරිද්දෙන් කළුගල තුළට නියනෙන් කුහර කපා තිබුනි. මේ පඩි අල්ලාගනිම්න් සෙමින් සෙමින් පහළ බසින අතරේදී හොඩෝර් තනුවක් නොමැති ගීයක් මුමුනන්නට විය. මේස්ටර් ලුවින් විසින් ඔහු වෙනුවෙන් පිළියෙල කරදුන් කූඩයේ බැස හොඩෝර් ගේ පිටේ එල්ලී සිටි බ්‍රැන් මේ සෑම බැස්මක් පාසාම ගැස්සෙමින් ඔහුගේ පිටේ වැදුනි. ලුවින්ට මේ අදහස පැමිණ තිබුනේ දර එකතු කරන ගැහැණුන් විසින් පිටේ එල්ලාගෙන යන කූඩා දැකීමෙනි. ඔහුගේ පාද පිටතට දමාගනු පිණිස කුහර දෙකක් හා බර මනාව බෙදී යන පරිදි අමතර පටි කිහිපයක් එක් කිරීම පමණක් අමුතුවෙන් නිර්මාණය කල යුතුව තිබුනි. එය ඩාන්සර් පිටේ යන්නාක් තරම්ම හොඳ නොවුවද ඩාන්සර්ට පවා යා නොහැකි තැන් විය. එමෙන්ම හොඩෝර් විසින් තමාව කුඩා දරුවකු මෙන් දෝතින් වඩාගෙන සිටීමට වඩා මේ ක්‍රමයට බ්‍රැන් කැමැති විය. හොඩෝර් ද මීට කැමැති වූවාක් මෙන් පෙනුනි. එනමුදු හොඩෝර් සිතන්නේ කුමක්දැයි දන්නේ දෙවියන් පමණි. වද විය යුතු එකම කාරණය වූයේ දොරවල් ය. සමහරවිට තමාගේ පිටේ බ්‍රැන් ඉන්නා බව හොඩෝර්ට අමතක වී යයි. එවැනි අවස්ථාවල දොරවල් තුළින් යාම වේදනාකාරී විය.

සති දෙකක් පුරාවට වංශාධිපතීන් ගේ යාම් ඊම් කෙතරම් සිදුවීද යත් අන්තිමේදී දිවා රෑ නොතකා පවුරු දෙකේම කටු පැලැලි ඔසවා තබා දිය අගලට ඉහළින් වූ පාළම පහත්කොට තබන්නැයි අණ දීමට රොබ්ට සිදුවින. බ්‍රැන් මේස්ටර් ගේ කුළුණෙන් පිටතට එද්දී ලන්සකරුවන් කණ්ඩායමක් දිගු පේළියක් සැදී පවුරු දෙක අතර වූ පාළම තරණය කරමින් සිටියෝය. කාර්ස්ටාක් සෙබළු සිය උතුමන් පසුපසින් බලකොටුවට ඇතුළුවෙමින් සිටියහ. ඔවුහු යකඩින් කල කළු පැහැ අඩ ශිරස්ක හා සුදු පැහැ සූර්ය රටාවන්ගෙන් අලංකාර වූ කළු ලොම් සළු පැළැඳ සිටියහ. හොඩෝර් තමාටම සිනාසෙමින් මේ සෙබළ මුලුව පසෙකින් පාළමින් එතෙර වන්නට විය. අශ්වාරෝහකයින් විසින් ඔවුන් දෙදෙන දෙසට අමුතු බැලුම් හෙලන්නට වූ අතර කිසිවකු කොක්හඬලා සිනාසෙනු වරක් බ්‍රැන්ට අසන්නට ලැබින. එය සිය සිතට වදයක් කර නොගැනීමට ඔහු ඉටා ගත්තේය. "මිනිස්සු ඔයා දිහා අමුතු විදියට බලයි." මුල්ම වතාවේ හොඩෝර් ගේ පිටේ කූඩය බඳිද්දී මේස්ටර් ලුවින් විසින් ඔහුට අනතුරු හඟවා තිබුනි. "එයාලා බලයි. එයාලා කතාවෙයි. සමහර අය ඔයාට සමච්චල් කරයි." 'උන්ට ඕන නම් හිනාවෙච්චාවෙ.' බ්‍රැන් සිතුවේය. කිසිවකු ඔහුගේ නිදන කාමරයේදී ඔහුව සමච්චලයට ලක් නොකලේය. එනමුදු ඔහුට සිය මුලු ජීවිත කාලයම නිදන කාමරයේ ගතකල නොහැක.

ප්‍රධාන ද්වාරයේ කටු පැලැල්ල යටින් යන අතරේ බ්‍රැන් ඇඟිලි දෙකක් මුවේ රුවා සියුරුහන් හඬ නැංවීය. සමර් අංගනය හරහා දිව ආවේය. අශ්වයින් සිය දෑස් කරකවමින්, නොසන්සුන් අයුරින් හේෂාරවය කරන්නට පටන්ගත් අතර කාර්ස්ටාර්ක් ලන්සකරුවන්ට සිය අසුන් පාලනය කරගැනීම සඳහා මහත් වෙහෙසක් දරන්නට සිදුවිය. එක් අසෙකු ආපසු හැරී වියරුවෙන් මෙන් දිවයන්නට වූ අතර අසරුවා අවලාද නගමින්, බලාපොරොත්තු විරහිත අයුරින් සෑදලයේ එල්ලී හුන්නේය. ඝෝරවෘකයා ගේ ඉව අසුන් මෙතරම් නොසන්සුන් කරන්නට හේතු වුයේ උන් මීට පෙර ඊට හුරුපුරුදුව නොසිටි බැවිනි. එනමුදු සමර් දොරටුවෙන් එපිට නොපෙනී ගිය පසු උන් නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වන්නට වූහ. "දෙව්වනයට." බ්‍රැන් හොඩෝර්ට මතක් කර දුන්නේය.

වින්ටර්ෆෙල් පවා මුලුමනින්ම මිනිසුන්ගෙන් පිරී තිබුනි. අංගනය පුරාවටම අසිපත් හා පොරෝ හඬත්, කරත්ත රෝදවල කිරි කිරි හඬත්, බල්ලන් බුරන හඬත් නැගෙන්නට විය. යුද්ධායුධ ගබඩාවේ දොර ඇර තිබුනි. මික්කෙන් දහදිය පෙරාගෙන සිය කිණිහිර වෙත නැවී මිටියෙන් තලමින් සිටිනු බ්‍රැන්ගේ දර්ශන පථයට හසුවින. බ්‍රැන් සිය මුලු ජීවිත කාලය පුරාවටම මෙතරම් අමුත්තන් පිරිසක් එක්රැස් වී සිටිනු දැක නොතිබින. අඩුම තරමේ රජතුමා වින්ටර්ෆෙල්වලට පැමිණි විටදීවත් මෙවැන්නක් සිදුවී නොතිබින.

මේස්ටර් ලුවින්
හො‍ඩෝර් පටු දොරකින් ඇතුළුවද්දී කූඩය තුළ නොඇකිළී සිටින්නට බ්‍රැන් උත්සාහ දැරුවේය. සමර් සන්සුන් ගමනින් ඔවුන් පසෙකින් ඇවිද එද්දී ඔවුහු දිගු මන්දාළෝක ශාලාවක් හරහා ඇවිද යන්නට වූහ. වෘකයා වරින් වර හිස ඔසවා සිය රන්වන් දියර බඳු දෑස්වලින් ඔහු දෙස බැලීය. ඌව අල්ලන්නට බ්‍රැන්ට උවමනා වූ නමුදු ඔහු අතේ දුරට වඩා ඉහළින් සිටියේය.

දෙව්වනය වනාහි වින්ටර්ෆෙල්වල කලිකලහයෙන් විනිර්මුක්ත වූ සාමකාමී දිවයිනක් බඳු විය. හොඩෝර් ඕක්, අයන්වුඩ් හා මුරකරු වෘක්ෂ වදුලු අතරින් හෙමිහිට පිය මනිමින් දෙව්වනය මධ්‍යයේ වූ හදවෘක්ෂය සමීපයේ පිහිටි නිසල පොකුණ වෙත ළඟා වන්නට විය. අන්තිමේදී ඔහු සිහින් හඬින් මුමුනමින් වයර්වුඩ් වෘක්ෂයේ ගැට සහිත අතුපතර යට නතර වූයේය. ඔහුගේ හිසට ඉහළින් අත දිගුකල බ්‍රැන් ගසේ අත්තක් අල්වාගෙන ඉහළට එසැවී සිය අජීවී දෙපා කූඩයේ කුහර තුළින් ඇදගත්තේ ය. තද රත් පැහැ වයර්වුඩ් පත්‍ර මුහුණේ ඇතිල්ලෙද්දී ඔහු මෙසේ මොහොතක් අත්තේ එල්ලී සිටි අතර හොඩෝර් ඔහුව ඔසවා පොකුණ පසෙකින් වූ සුමට ගල මතින් තැබීය. "මට ටික වෙලාවක් තනියෙන් ඉන්ට ඕන." බ්‍රැන් කීවේය. "උඹ ගිහින් නාපන්. පොකුණුවලට පලයන්."

"හො-ඩෝ-ර්." ගස් අතරින් උඩ පනිමින් නටමින් ගිය හොඩෝර් සැනෙන් අතුරුදන් විය. දෙව්වනයේ අනෙක් පස, අමුත්තන් ගේ ශාලාවේ කවුළුවලට පහතින් පොළොව යටින් ගැලූ උණුදිය උල්පතක් විසින් කුඩා පොකුණු තුනක් නිමවා තිබුනි. මේ පොකුණු මතින් දිවා රෑ නොතකා ජලවාෂ්ප ඉහළ නැගි අතර ඒ අබියස වූ පවුරු බිත්ති දිය සෙවෙලින් ගැවසී ගත්තේය. හොඩෝර් සීතල ජලයට වෛර කලේය. කිසිවකු ඔහුව නාවන්නට තැත් කලහොත් වල් බළලෙකු මෙන් ඊට එරෙහිව සටන් කලේය. එනමුදු මේ උණුදිය පොකුණු තුනෙන් උණුසුම්ම පොකුණේ ගිලී හෝරා ගනනක් වුව ගෙවාලන්නට ඔහු ප්‍රිය කලේය.

පොකුණෙන් දිය උරා බිවු සමර් බ්‍රැන් පසෙකින් වැතිරුනේය. ඔහු වෘකයා ගේ හොම්බ යට හෙමිහිට පිරිමදින්නට විය. මඳ වේලාවක් ගතවන තෙක් කොලුවාට ද සත්ත්වයාට ද සොඳුරු සාමකාමී බවක් දැනෙන්නට විය. බ්‍රැන් හැමදාමත් දෙව්වනය ප්‍රියකලේය. ඔහු අබ්බගාතයකු වීමට පෙර පවා එය ප්‍රියකලේය. එනමුදු මෑතක සිට තමා වඩ වඩාත් දෙව්වනය දෙසට ඇදෙන බවක් ඔහුට දැනී තිබුනි. හදවෘක්ෂය පවා තවදුරටත් පෙරපරිදි ඔහුව බියපත් කරන්නට සමත් නොවීය. සුදු පැහැ ගස් කඳේ කෙටූ ගැඹුරු රත් පැහැ දෑස් තවමත් ඔහු දෙස බලා සිටි නමුදු දැන් එයින් ඔහුට දැනෙන්නට වූයේ සුවදායක බවකි. දෙවිවරුන් - පුරාණ දෙවිවරුන්, ස්ටාර්ක්වරුන් ගේ මුල් මිනිසුන් ගේ හා වනාන්තරයේ දරුවන් ගේ දෙවිවරුන්, සිය පියාගේ දෙවිවරුන් - තමා දෙස බලාසිටින බව ඔහු තමාටම කියාගත්තේ ය. මේ දෙවිවරුන් ගේ ආමුඛය අබියස ඔහුට වඩා ආරක්ෂාකාරී බවක් දැනෙන්නට විය. එමෙන්ම මේ ගස්වැල්වල ගැඹුරු නිහඬතාව විසින් ඔහුට දිගින් දිගටම කල්පනා කරන්නට අවශ්‍ය ඉඩප්‍රස්ථාව ලබාදුන්නේ ය. සිය වැටීමෙන් පසු බ්‍රැන් වඩ වඩාත් කල්පනා කරන්නට පටන්ගෙන තිබුනි. කල්පනා කරන්නට, සිහින දකින්නට හා දෙවිවරුන් හා කතා කරන්නට පටන්ගෙන තිබුනි.

"කරුනාකරලා රොබ්ට මෙහෙන් යන්ට වෙන්නෙ නැති විදියට වැඩ සිද්ද කරන්ට." ඔහු මෘදු ස්වරයෙන් දෙවියන්ට යාඥා කරන්නට විය. සීතල ජලය තුළ අතක් බහා සෙලවූ ඔහු පොකුණු තලය මත දිය රැළිති නංවන්නට විය. "කරුනාකරලා එයාව ගෙදර නවත්තන්ට. එයාට යන්ටම වුනොත් එයාව ආපහු පරිස්සමින් ගෙදර එවන්ට. අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි එක්ක. ඒ වගේම... ඒ වගේම රිකන්ට මේ හැම දෙයක්ම තේරුම් කරලා දෙන්ට."

රොබ් යුධ පිණිස පිටවී යන බැව් දැනගත් දා ඔහුගේ ළදරු සොහොයුරා අඬමින් හා කේන්තියෙන් පුපුරා හැලෙමින් ශීත ඍතුවේ කුණාටුවක් මෙන් දරුණු අන්දමින් පෙරළි කරන්නට වන්නේය. ඔහු ආහාර ගැනීම ප්‍රතික්ෂේප කල අතර රාත්‍රි කාලයේ වැඩි හරියක් අඬමින් හා කෑගසමින් ගතකලේය. නාකි ආයම්මා ඔහුව නින්දට යවනු පිණිස නිද්‍රා ගීයක් ගයන්නට තැත් දැරූ මොහොතේ ඔහු ඇයට පවා මුෂ්ටි ප්‍රහාරයක් එල්ලකලේ ය. ඊළඟ දවසේ ඔහු අතුරුදන් විය. ඔහුව සොයනු පිණිස රොබ්ට බලකොටුවේ වූ පිරිසෙන් අඩක්ම යෙදවීමට සිදුවිය. අන්තිමේදී පහළ සොහොන් ගුහාවල සැඟවී සිටි ඔහුව සොයාගත් මොහොතේ මළගිය ශීත රජකෙනෙකු‍ගෙන් උදුරාගත් මළ කෑ යකඩ අසිපතක් අතින් ගත් රිකන් ඔවුන්ට පහරදුන්නේ ය. ඔහුගේ වෘකයා ෂැගීඩෝග් කොළ පැහැ දිලිසෙන දෙනෙතින් යුතු රාක්ෂයකු මෙන් අන්ධකාරයේ සිට ඔවුන් වෙත කඩාපැන්නේ ය. මේ වෘකයාද රිකන් තරමටම වියරු වැටී සිටියේය. ඌ ගේජ්ගේ අත සපා මික්කෙන් ගේ කලවයෙන් මස් කුට්ටියක් කඩා ගත්තේය. ඌව සන්සුන් කර යටපත් කරන්නට රොබ් හා ඔහුගේ වෘකයා ග්‍රේ වින්ඩ් යන දෙදෙනාම උවමනා විය. ඌ දැන් ෆාර්ලන් ගේ අධීක්ෂණය යටතේ බලු කූඩුවක දම්වැලින් බැඳ දමා සිටින අතර සිය සුරතලා නැති සොවින් රිකන් ගේ හැඬුම් තවත් අලුත් වූයේය.

රොබ්ට වින්ටර්ෆෙල්වලම නැවතී සිටින්නැයි මේස්ටර් ලුවින් අනුශාසනා කලේය. එමෙන්ම බ්‍රැන් ඔහුගෙන් එසේ අයැද සිටියේය. ඒ ඔහු වෙනුවෙන් පමණක් නොව පුංචි රිකන් වෙනුවෙන් ද විය. එනමුදු ඔහුගේ සොහොයුරා මුරණ්ඩු අයුරින් හිස වැනීය. "මට යන්ට ඕන නෑ. ඒ වුනත් මම යා යුතුයි."

එය ඇත්තෙන්ම අධර්‍ සත්‍යයක් විය. 'බෙල්ල' සුරක්ෂිතව ආරක්ෂාකරගනිමින් ලැනිස්ටර්වරුන්ට විරුදුව සටන් වදින්නට ටලීවරුන්ට සහායවීම පිණිස කවුරුන් හෝ යා යුතුව තිබුනි. එය බ්‍රැන්ට ද තේරුම් ගත හැකි දෙයක් විය. එනමුදු ඒ වෙනුවෙන් රොබ්ම යාම අවශ්‍ය නොවීය. හමුදාවේ නායකත්වය පහසුවෙන්ම හැලිස් මොලන්ට හෝ තියන් ග්‍රේජෝයිට හෝ ඔහුගේ ධජ දරන යටත් වංශාධිපතියකුට හෝ දිය හැකිව තිබුනි. එය එසේ කරන්නැයි මේස්ටර් ඒමන් දැඩිව ඉල්ලා සිටිමුත් රොබ් ඒ ගැන අසන්නටවත් කැමැති නොවීය. "මගේ තාත්තා කවදාවත් වින්ටර්ෆෙල් බලකොටුව අස්සෙ සුරක්ෂිතව හැංගිලා එයා වෙනුවෙන් සටන් කරන්ටයි මැරෙන්ටයි මිනිස්සු යවන්නෙ නෑ." ඔහු රොබ් උතුමානන් ගේ හඬින් කීවේය.

ඇත්තෙන්ම, දැන් බ්‍රැන්ට රොබ් යනු අඩක් ආගන්තුක පුද්ගලයකු විය. ඔහු තවමත් සිය දහසය වන විය සපුරා නොතිබුනු නමුදු දැනටමත් උතුමානන් කෙනෙකු බවට පරිවර්තනය වී තිබුනි. ඔවුන් ගේ පියාගේ ධජ දරන යටත් වංශාධිපන්ට පවා ඒ බව හැඟුනු බවක් පෙනෙන්නට තිබුනි. මේ බොහොමයක් වංශාධිපතීන් නොයෙක් නොයෙක් ක්‍රම භාවිත කරමින් ඔහුව පිරික්සුමට ලක්කලෝය. රූස් බෝල්ටන් හා රොබර්ට් ග්ලවර් යන දෙදෙනාම හමුදාවේ නායකත්වය තමන්ට පවරන්නැයි ඉල්ලා සිටියෝය. පළමුවැන්නා රළු පරළු ගොරෝසු ස්වරයෙනුත් දෙවැන්නා මුවේ සිනහවක් ඇතුව විහිළු ස්වරයෙනුත් මේ ඉල්ලීම කර තිබුනි. පිරිමියකු මෙන් වානේ මුදු සන්නාහයෙන් සැරසුනු තරබාරු, පැසුනු හිසකෙස් ඇති මේජ් මෝර්මන්ට් රොබ්ට කියා සිටියේ ඔහු ඇයගේ මුණුබුරා වන්නට තරම් ලාබාල බවයි. ඇයට අණ දෙන්නට තරම් ඔහුට හැකියාවක් නොමැති අතර... අවශ්‍ය නම් සිය මිණිබිරිය ඔහුට විවාහ කරදෙන්නට තමා සූදාණම් බව ද ඇය කියා සිටියාය. මෘදු හඬින් කතා කරන සර්වින් උතුමානන් ඇත්තෙන්ම ඔහුගේ දියණිය ඔහුත් සමග කැඳවාගෙන විත් තිබුනි. තරබාරු, චාම්, වයස තිහක දැරියක වූ මේ දියණිය සෑමවිටම කෑම මේසයේ සිය පියාණන් ගේ වම්පසින් අසුන්ගත් අතර කිසිවිටෙකත් කෑම පිඟානෙන් දෑස් ඉවතට නොගත්තා ය. සෙල්ලක්කාර හෝර්න්වුඩ් උතුමානන්ට දියණියක් නොසිටියා ය. එනමුදු ඔහු සෑම දිනෙකම විවිධ තෑගි රැගෙන එන්නට පටන්ගත්තේ ය. එක් දිනෙක අශ්වයෙක්, ඊළඟ දවසේ මුව ගාතයක්, ඊටත් පසු දවසේ රිදී ආලේපිත දඩයම් හොරණෑවක් ආදි තෑගි ඒ අතර විය. ඔහු මේ තෑගි වෙනුවෙන් කිසිදු ප්‍රත්‍යුපකාරයක් බලාපොරොත්තු නොවීය... ඔහුගේ සීයාගෙන් උදුරාගත් කුඩා බලකොටුවක් ආපසු ලබාගැනීම, කුමක්දෝ කඳුගැටයකින් මෙහා දඩයම් අයිතිය ලබාගැනීම, සුදු ගංගාවේ වේලි බඳින්නට අයිතිය ලබාගැනීම වැනි සුළු සුළු කාරනා කිහිපයක් හැරෙන්නට කිසිදු ප්‍රත්‍යුපකාරයක් බලාපොරොත්තු නොවීය.

රොබ් මේ සෑමදෙයකටම සන්සුන් ආචාරශීලී ස්වරයෙන් පිළිතුරු ලබා දුන්නේය. ඔවුන් ගේ පියා සිදුකරතැයි බලාපොරොත්තු වන අයුරින්ම ඒවාට මුහුණ දුන්නේය. කෙසේ හෝ අන්තිමේදී ඔහු මේ සැවොම ඔහුගේ අණසකට යටත් කරගත්තේ ය.


Robb Stark: “You are the lord in Winterfell now. You must take my place, as I took Father’s, until we come home.”