Wednesday 4 March 2015

ටිරියන් 08-3


සතුරු හෙලිධරයින් අඩසඳක හැඩයේ ඉරියවුවකින් පෙළ සැදුනෝය. ඒ වනාහි කාර්ස්ටාර්ක් සූර්‍යයා සලකුණ කල උසැති ඕක් පලිහවලින් කෙරුනු පවුරක් පිටුපස වූ වානේමය ඉත්තෑවකු බඳු විය. ග්‍රෙගර් ක්ලිගේන් මුලින්ම එහි ළඟාවුයේ ඔහු පසුපසින් වූ තවත් සන්නාහ සන්නද්ධ අසරු සෙබළ මුලුවකුත් සමගිනි. ප්‍රහාරයේ අන්තිම තත්ප‍රයේදී සතුරු හෙලි ඉදිරියට දිගු වූ අතර අසුන් ඊට බියෙන් ඉද්දගැසුවාක් මෙන් නවතින්නටත් පසුබසින්නටත් වූහ. සමහර අසුන් පැකිළෙද්දී තවත් සමහරුන් ගේ පපු පසා කරමින් සතුරු හෙලි ගිලා බැස්සේය. ඇතිවූ ක්ෂණික නැවතීම නිසා සෙබළුන් දුසිමක් පමණ අසුන් පිටින් විසි වී යනු ටිරියන් නිරීක්ෂණය කලේය. සෙර් ග්‍රෙගර් ගේ දැවැන්ත යුධ සෛන්ධවයා බියෙන් මෙන් පසුබෑවේ තියුණු කටු සහිත හෙලි තලයක් උගේ ගෙල සූරා දැමූ බැවිනි. බියෙන් වියරු වැටුනු සත්ත්වයා කෙලින්ම ඉදිරියට පිනීය. හෙලි දුසිමක් පමණ සතර අතින්ම ඌට අනින්නට වූ නමුදු සතාගේ දැවැන්ත භාවයත් අධික බරත් නිසා හෙලි පවුර බිඳී ගියේය. මරණ වේදනාවෙන් කල උගේ දැඟලීමෙන් බේරෙනු පිණිස උතුරු සෙබළු ඉවතට පැන්නෝය. සිය සෛන්ධවයා මුවින් ලේ බිඳිති විසි කරමින් අවසාන හුස්ම හෙලද්දී උගේ ස්වාමියා, අසු පිට යන කන්ද. කිසිදු අනතුරකින් තොරව සිය දැවැන්ත අසිපතත් අතකින් ගෙන කන්දක් මෙන් නැගී සිටියේය.

පලිස් පවුර නැවත වැසෙන්නට පෙර ෂග්ගා විදුලි වේගයෙන් විවරය තුළින් ඇතුළට රිංගුවේය. ඔහු පසුපසින් තවත් ගල් කපුටෝද ඒ විවරයෙන් රිංගාගන්නට සමත් වූහ. "පිච්චුන මිනිස්සුනේ. වන්ද්‍ර සහෝදරයිනේ. ම‍ගෙත් එක්ක වරෙල්ලා." ටිරියන් කෑගැසුවේය. එනමුදු ඒ වනවිටත් ඔවුන් බොහෝදෙනෙක් ඔහුට වඩා ඉදිරියෙන් වූහ. ටිමට්ගේ පුතා ටිමට් නැගි අසු ඉදිරි පිම්මෙන්ම මියයද්දී ඔහු අසු පිටින් ඉවතට පැන්නේය. චන්ද්‍ර සොහොයුරකු කාර්ස්ටාර්ක් හෙල්ලයක ඇමිනුනේය. කොන්ගේ අසු සිය කුර පහරින් මිනිසෙකුගේ ඉළඇට බිඳ දැමීය‍. ඔවුන් මත ඊතල වර්ෂාවක් වැටෙන්නට වූ නමුදු ඒවා කොයිබින් පැමිණියේදැයි ඔහුට සිතා ගත නොහැකි විය. මේ ඊතල වර්ෂාව ලැනිස්ටර් හෝ ස්ටාර්ක් කියා වෙනසක් නොමැතිව මිනිසුන් මත පතිත වන්නට විය. සමහර ඊතල සන්නාහයේ ගැටී ඉවත විසි වූ අතර තවත් සමහර ඒවා සම් මස් පසාකරමින් ගිලා බැස්සෝය. තම පලිහ එසවූ ටිරියන් මේ වර්ෂාවෙන් නොතේමී බේරිමට තැත් දැරුවේය.

වානේ ඉත්තෑවා බිඳී යන්නට පටන්ගෙන තිබුනි. අශ්වාරෝහක බලඇණියේ ප්‍රහාරය හමුවේ උතුරු සෙබළුන් පසුබසින්නට පටන්ගෙන තිබුනි. ෂග්ගා හෙලිධරයකුට පහර දෙනු ටිරියන් දුටුවේය. බරැති යුධ පොරොව මුදු දම්වැල් සන්නාහය ද, සම් ආවරණය ද, මාංශ ඇටකටු හා සතුරාගේ පෙනහල්ලක් ද කපාගෙන පපුව තුළට කිඳා බැස්සේය. මිනිසා සිටි පිය මියගිය අතර පොරෝ හිස ඔහුගේ පපුව තුළ ගිලාබැස තිබුනි. එනමුදු සිය පොරොව මුදා ගන්නට වෑයම් නොකල ෂග්ගා දකුණතේ එල්ලෙන මළකඳත් සමගින්ම පෙරට ගියේ වමතේ වූ පොරොවෙන් තවත් පලිහක් දෙපළු කලේය. අන්තිමේදී මළකඳ ගැලවී වැටුනු අතර ෂග්ගා පොරෝ දෙක එකට ගටා ගිගුම් දුන්නේය.

මේ වනවිට සතුරු සෙබළුන් ඔහු කරා ළඟා වී සිටියේය. සෙබළෙකු ඔහුගේ පපුවට සිය හෙල්ලයෙන් ඇන්න නමුදු පොරොව වැනූ ටිරියන් පහර වළකා හැරියේය. මිනිසා දෙවන ප්‍රහාරයකට සැරසුනු අතරේ සිය අසුට සන් කර ඉදිරියට පැන්නවූ ටිරියන් සතුරාව යට කර දැම්මේය. බ්‍රොන් සතුරන් තිදෙනෙකුට මැදිව සිටියේය. තමා වෙත එල්ල වූ පළමු හෙලි පහර අසිපතෙන් පිසදා හැරි ඔහු පසුකැපුම් පහරක් මගින් තවත් සෙබළෙකුගේ මුහුණ විනාශ කර දැම්මේය.

වම්පසින් ටිරියන් වෙත දමාගැසුනු හෙල්ලයක් තඩ් හඬින් ඔහුගේ පලිහේ ඇමිනී ගියේය. වහා අසු හරවාගත් ටිරියන් පහර දුන්නා හඹා යන්නට විය. එනමුදු උපායශීලී වූ සතුරා සිය පලිහ හිසට ඉහළින් එසවූ අතර ටිරියන් ඔහු වටා කරකැවෙමින් පලිහට පහර පිට පහර එල්ල කරන්නට විය. ඕක් ලී කැබැලි දසත විසිර යන්නට විය. අන්තිමේදී පා පැකිලී ගිය සතුරා උඩුබැල්ලෙන් බිම වැටුනු අතර පලිහ ඔහු මත වැටුනේය. ඔහු ටිරියන්ගේ පොරොවට හසුවන මානයෙන් ඔබ්බේ වූ අතර එවැනි සුළු දෙයක් වෙනුවෙන් අසු පිටින් බිමට බසින්නට ටිරියන්ට උවමනාවක් ද නොවීය. එබැවින් අසු හරවා ගත් ඔහු වෙනත් සතුරකු සොයා යන්නට විය. සතුරාගේ පසුපසින් භයානක යටි කැපුමක් එල්ල වූ අතර ඝට්ටනය නිසා ඇති වූ කම්පනය ටිරියන්ගේ සුරත පුරා දිවයන්නට විය. මෙය ඔහුට මොහොතක නිස්කලංක අවකාශයක් ලබා දුන්නේය. අසු නැවතූ ටිරියන් ගංගාව කොහේදැයි විමසා බැලූ අතර එය මෙවර ඔහුගේ දකුණු පසින් විය. ඔහු කෙලෙසක හෝ සිය අසු ආපසු හරවාගෙන තිබුනි.

සිය අසු මත කිඳා බැසි පිළිස්සුනු මිනිසෙක් ඔහුව පසුකොට ගියේය. මිනිසාගේ උදරයෙන් ඇතුළු වූ හෙල්ලයක් පිට පලාගෙන මතුව තිබුනි. ඔහුට තවත් කිසිදු පිහිටකින් පලක් නොවිනි. එනමුදු උතුරු සෙබළෙක් දිවගොස් මේ අසුගේ තෝන්ලණුව අල්ලාගැනීමට තැත්දරනු දුටු ටිරියන් එදෙසට අසු පැන්නුවේය.

ප්‍රතිමල්ලවයා අසිපත අතැතිව ඔහුට මුහුණ දුනි. උස් කෙට්ටු මේ මිනිසා මුදු යකඩ දම්වැලින් කල සන්නාහයකින් සැරසී සිටි නමුදු ඔහුට ඔහුගේ ශිරස්කය අහිමිව ගොස් තිබින. ඔහුගේ නළල හරහා වූ කැපුමකින් දෑස් මතට රුධිරය වෑස්සෙමින් තිබින. ටිරියන් ඔහුගේ මුහුණට පහරක් එල්ල කල නමුදු මිනිසා පහසුවෙන්ම පහර පිසදා හැරියේය. "කුරුමිට්ටො!" සෙබළා කෑගැසුවේය. "තෝ මැරියං!" සතුරාගේ හිසට හා උරහිසට පහර එල්ල කරමින් ටිරියන් ඔහු වටා අසු පන්නවද්දී මිනිසා වටයට කරකැවුනේය. වානේ මත වානේ ගැටී නද දුන් අතර ප්‍රතිවාදියා තමාට වඩා ශක්තිමත් හා වේගවත් බව ටිරියන් වැඩි වේලාවක් යන්නට මත්තෙන් වටහා ගත්තේය. 'මේ බ්‍රොන් බූරුවා කොහේ ගියාද?' "මැරියං!" මිනිසා නැවතත් කෑගැසුවේ ඔහුට දරුණු පහරක් එල්ල කරමිනි. ටිරියන් යාන්තමින් සිය පලිහ ඔසවා ගැනීමට සමත් වූ අතර පහරේ දැඩි බව නිසා පලිහ දෙදරුම් කෑවේය. පලිහේ කැඩුනු කැබලි දසත විසිර ගියේය. "මැරියං!" මිනිසා නැවතත් ගිගුම් දෙමින් ඉදිරියට පැන ඔහුගේ නළල හරහා පහරක් එල්ල කලේය. සිය හිස පුපුරා යන්නාක් මෙන් ටිරියන්ට දැනුනි. උස මිනිසා සිනාසුනේය... එනමුදු ඊළඟ මොහොතේ සර්පයකු මෙන් ඉදිරියට පිනූ ටිරියන්ගේ අශ්වයා මිනිසාගේ කම්මුල ඇටයට යනතෙක්ම සපා කෑවේය. මිනිසා වේදනාවෙන් කෑ ගසන්නට වූ අතර ටිරියන් සිය පොරොව ඔහුගේ හිස මතට කිඳා බැස්සුවේය. "තෝ මැරියං!" ඔහු කීවේය. මිනිසා මියගියේය.

සිය පොරෝතලය මළකඳේ හිසෙන් ඇදගන්නා හාම ඔහුට කෑගැසීමක් ඇසුනි. "එඩාර්ඩ්!" කිසිවෙක් බෙරිහන් දුන්නේය. "එඩාර්ඩුයි වින්ටර්ෆෙලුයි වෙනුවෙන්!" නයිට්වරයා දම්වැලක බැඳි කටු යගදාවක් හිස වටා කරකවමින් විදුලියක් මෙන් ඔහු වෙත පිනීය. යුධ අශ්වයින් දෙදෙනා එකිනෙක හැපෙන මොහොතේදී ටිරියන් බ්‍රොන්ට කෑගසන්නට මුව විවර කලේය. දකුණු වැලමිට ආවරණය කල තුනී ලෝහ ආවරණය මත කටු යගදාව වදිද්දී සිය වැලමිට පුපුරා යනු ඔහුට වේදනාත්මත අන්දමින් අවබෝධ විය. ඒ හා සමගින්ම ඔහුගේ පොරොවද ඉවතට විසිව ගියේය. ඔහු සිය අසිපත ඇදගනු වස් සුරත යැවූ නමුදු නැවත වරක් කැරකෙමින් ආ කටු යගදාව මුහුණ පුරා තදින් වැදී ගියේය. තමාව තැලී පෙලී සිඳී යනු දැනෙද්දී ඔහු අසු පිටින් විසි වී ගියේය. තමා බිම හැපෙනු ඔහුට නොදැනුනු නමුදු හිස හරවා ඉහළ බලද්දී ඔහුට ඉහළින් ආකාශය මිස අන් කිසිවක් නොවීය. පසෙකට රෝල් වී ගිය ඔහු දෙපා මතින් නැගී සිටීමට තැත් දැරූ නමුදු සිරුර පුරා වේදනාව පිරී'තිරී යන්නට වූ අතර මුලු ලෝකයම කැරකෙන්නට විය. ඔහුව බිම දැමූ නයිට්වරයා අසු සමීපයට ගෙන ආවේය. "ටිරියන් පුංචි යකා." ඔහු බිම බලා ගර්ජනය කලේය. "උඹ දැන් මගෙයි. උඹ යටත්වෙනවද ලැනිස්ටර්?"

'ඔවු' ටිරියන් සිතුවේය. එනමුදු වදන් උගුරේ සිරවනු මිස පිටතට නොපැමිණියේය. උගුරෙන් ‍ගොර ගොර හඬක් නිකුත් කල ඔහු දණින් නැගී සිටීමට තැත් දැරුවේය. කුමක් හෝ ආයුධයක් ඇදගනු පිණිස ඔහු අතපත ගෑවේය. සිය අසිපත, සිය සිරිය හෝ අන් කුමක් වුවත් කම් නැත...

"උඹ යටත් වෙනවද?" සන්නාහ ලූ අසු මත සිට නයිට්වරයා ගිගිරුවේය. මිනිසා හා අශ්වයා යන දෙදෙනාම දැවැන්තව නැගී සිටියෝය. කටු යගදාව හෙමිහිට වටයට කරකැවෙමින් තිබුනි. ටිරියන්ගේ දෑත් හිරි වැටී තිබුනි. දසුන අපැහැදිලි විය. අසිපත් කොපුව හිස් විය. "යටත් වෙයන් නැත්තම් මැරියන්." නයිට්වරයා නිවේදනය ක‍ලේය. ඔහුගේ කටු යගදාව වඩ වඩා වේගයෙන් කරකැවෙන්නට පටන්ගත්තේය‍.

දෙපයින් නැගී සිටි ටිරියන් සිය හිසෙන් අසුගේ උදරයට ඇන්නේය. වේදනාත්මක කෑගැසීමක් කල සත්ත්වයා පසුපසට පිනීය. ඌ වේදනාවෙන් ඇඹරුනු අතර රුධිරය හා අතුණුබහන් වර්ෂාවක් මෙන් ටිරියන්ගේ මුහුණ තෙමීය. අශ්වයා ගිරිහිම නිපාතයක් මෙන් බිම ඇදවැටින. ඊළඟ මොහොතේ ඔහුගේ මුවවැස්ම මඩදියෙන් පිරී ගිය අතර ඔහුගේ පාදය යම් කිසිවකට සිරවුනි. ඔහු ආයාසයෙන් පාදය පිටතට ඇදගත්තේ ය.

"යටත් වෙනවා..." ඔහු අන්තිමේදී යාන්තමින් කෙඳිරිගෑවේය.

"ඔවු." වේදනාවෙන් පිරි කටහඬක් පිළිතුරු දුන්නේය.

ටිරියන් සිය මුවවැස්මේ පිරි මඩ අතින් පිසදා හැරි‍යේ හොඳින් අවට බලනු පිණිසය. අශ්වයා සිය අසරුවාව යටකරමින් බිම වැටී සිටියේය. නයිට්වරයා ගේ පාදය අසුට යටවී සිරවී තිබුනු අතර වැටීම වැළකීම වස් බිමට තද කල අතර ඇඹරී කැඩි ගොස් තිබුනි. "යටත්වෙනවා." ඔහු නැවතත් කීවේය. සිය හොඳ අතින් ඉණපටිය අතපත ගෑ ඔහු අසිපත කොපුවෙන් පිටතට ඇද ටිරියන්ගේ දෙපා මුලට විසිකර දැමුවේය. "මම යටත් වෙනවා මගේ උතුමානනි."

තෝන්තු වී ගිය කුරුමිට්ටා බිම දණ නමා අසිපත අහුලාගත්තේ ය. සිය අත එහා මෙහා කරද්දී ඔහුගේ වැලමිට තුළින් නැග ආ වේදනාව ඉසිලිය නොහැකි තරම් විය. පෙනුන සැටියට නම් මේ වනවිට සටන ඔවුන් පසුකර ‍ගොස් තිබුනි. බිම වැටුනු මළකඳන් සමූහයක් හැරෙන්නට අන් කිසිවෙක් අවට නොවීය. කපුටන් දැනටමත් අහස සිසාරා පියාඹමින් සිය බොජුන් මේස මත වසන්නට පටන්ගෙන තිබින. සෙර් කෙවන් විසින් පෙරටු බලඇණියේ සහාය පිණිස සිය මධ්‍ය බලඇණිය රැගෙන විත් ඇති බැව් ඔහු දුටුවේය. ඔහුගේ කුන්තධරයින් විසින් උතුරු සෙබළුන් නැවතත් ඔවුන්ගේ කඳු ගැට වෙතටම තල්ලු කර හරින්නට සමත්ව තිබින. කඳු බෑවුමේදී ඔවුන්ට තවත් පලිස් පවුරකට මුහුණ දෙන්නට සිදුවිය. ඕවලාකාර, යකඩින් සවිමත් කල මේ පලිස් පවුර අබියස ඔවුන්ගේ උත්සාහය යම් තරමකින් මැඩ පැවැත්වෙන්නට වූ නමුදු ඊළඟ මොහොතේ තවත් ඊතල වර්ෂාවක් අහසට නගින්නට විය. මේ මාරාන්තික ප්‍රහාරය හමුවේ පලිස් පවුර හා එහි පදනම් බිඳ වැටෙන්නට පටන්ගත්තේ ය. "මම හිතන්නෙ උඹලා සටන පරදින්ටයි යන්නෙ සෙර්." ඔහු අසුට යටවී සිටි නයිට්වරයා අමතා කීවේය. එනමුදු ප්‍රතිවාදියා කිසිදු පිළිතුරක් නොදුන්නේය.

පසුපසින් ඇසුනු කුරහඬක් නිසා ටිරියන් වහා ආපසු හැරුනේය. සිය වැලමිට අධික ලෙස වේදනා ගෙන දුන්නද ඔහු අසිපත පහත නොදමා සිටීමට තරම් සමත්විය. තෝන්ලණුව ඇද අසු නැවතූ බ්‍රොන් ඔහු දෙස පහළ බැලීය.

"උඹෙන් කිසිම වැඩක් වුනේ නැහැ." ටිරියන් ඔහුට කීවේය.

"පේන හැටියට නං උඹ තනියෙම්ම හොඳ වැඩ කොටසක් කරලා තියෙනවා වගේ." බ්‍රොන් පිළිතුරු දුන්නේය. "උඹේ ශිරස්කයේ ගහලා තිබ්බ උල නැතිවෙලා හැබැයි."

ටිරියන් සිය ශිරස්කයේ මුදුන අතගා බැලුවේය. තුන්හුලස් උල සම්පූර්ණයෙන්ම ගැලවී වෙන්වී තිබුනි. "මම ඒක නැතිකරගත්තෙ නැහැ. මම දන්නවා හරියටම ඒක කොහෙද තියෙන්නෙ කියලා කියන්ට. උඹ මගේ අශ්වයාව දැක්කද?"

* * *

ඔවුන් ඌව සොයාගන්නා මොහොත වන විට නැවතත් නලා හඬක් ඇසෙන්නට විය. ටයිවින් උතුමානන්ගේ අතිරේක බලඇණිය ගංඉවුර දිගේ ධූලි වලා නංවමින් ඇදී ආයේය. ලේ රතු හා රන් පැහැ ලැනිස්ටර් ධජය සෙවනේ සිය පියා පියාඹා යනු ටිරියන් දුටුවේය. ඔහු වටා නයිට්වරුන් පන්සියයක් වූහ. ඔවුන්ගේ ලන්ස තුඩු හිරුඑළිය වැටී දිදුලමින් තිබින. ඔවුන්ගේ මේ අවසාන ප්‍රහාරය හමුවේ ස්ටාර්ක් හමුදාවෝ මිටියකින් පහර ලැබූ වීදුරුවක් මෙන් සිඳී බිඳී යන්නට වූහ.

සිය සන්නාහයට යටින් වැලමිට ඉදිමී වේදනා ගෙන දෙන්නට වූ බැවින් ටිරියන් මේ අවසන් සමූල ඝාතනයට සහභාගි වන්නට නොසිතුවේය. ඒ වෙනුවට ඔහු බ්‍රොන් හා එක්ව සිය මිනිසුන් සොයන්නට පිටත්ව ගියේය. ඔහුට හමුවූ බොහෝ දෙනෙක් මළවුන් අතරට ගොස් සිටියෝය‍. උල්ෆ්ගේ පුත් උමර් ලේ විලක් මැද වැටී සිටි අතර ඔහුගේ අත වැලමිට අසලින් වෙන්ව ගොස් තිබුනි. ඔහුගේ චන්ද්‍ර සොහොයුරන් දුසිමක් පමණ ඔහු වටා බිම වැටී සිටියෝය. ඊතලවලින් වැසීගිය ෂග්ගා ගස් කඳකට හේත්තු වී සිටියේය. ඔහුගේ උකුළ මත කොන්ගේ හිස විය. ඔවුන් දෙදෙනම මියගොස් වනැයි ටිරියන් සිතුවේය. එනමුදු ඔහු අසු පිටින් බසිද්දී ෂග්ගා දෙනෙත් හැරියේය. "උං කොරාට්ගෙ පුතා කොන්ව මැරුවා." හෙල්ල පහරකින් පපුව පසා වූ රත් පැහැ පැල්ලම හැරෙන්නට කඩවසම් කොන්ගේ සිරුරේ අන් කිසිදු තුවාලයක් නොවීය. බ්‍රොන් ෂග්ගාව අතින් ඇද නැගිට්ටවූ විට මේ දැවැන්ත මිනිසා පළමුවරට සිය සිරු‍රේ ඇමිනී තිබුනු ඊතල රැස දුටුවේය. සිය සන්නාහයට හා සම් ආවරණවලට සිදුව ඇති හානිය ගැන අවලාද නගමින් ඔහු මේ ඊතල එක එකක් පිටතට ඇද දමන්නට වූයේය. එමෙන්ම සන්නාහය විනිවිද ගොස් මසට කා වැදී තිබුනු ඊතල ඇද දමද්දී කුඩා දරුවෙකු මෙන් බෙරිහන් දුන්නේය. ඔවුන් මෙලෙස ෂග්ගාගේ සිරුරින් ඊතල ඉවතට ඇද දමමින් සිටින අතරේ සිය අසු පිට නැගී එතැනට පැමිණි චීක්ගේ දුව චෙලා ඇය විසින් කපාගත් කණ් සතරක් ඔවුන්ට පෙන්වීය. ටිමෙට් සිය පිළිස්සුණු මිනිසුන් හා එක්ව මළකඳන් වලින් කොල්ලාකමින් සිටියදී ඔවුන්ට මුනගැසුනි. ටිරියන් ලැනිස්ටර් සමගින් එක්ව යුධට පැමිණි තුන්සියයක් වූ ගෝත්‍රික පිරිසෙන් අඩක් පමණක් ඉතුරු වී තිබිනි.

පණ පිටින් සිටිනවුන්ට මළවුන් ගැන බලාගන්නට යැයි පවසා, තමාට යටත් වූ නයිට්වරයා ගැන සොයා බලන්නට බ්‍රොන්ව පිටත් කර හැරි ටිරියන් සිය පියා සොයනු පිණිස තනිවම පිටත්ව ගියේය. ටයිවින් උතුමානන් ගංඉවුරේ අසුන් ගෙන මැණික් ගල් ඇල්ලූ කුසලාණකින් වයින් බොමින් සිටින අතරේ ඔහුගේ සහචරයා සන්නාහයේ පපු තහඩුවේ ගාංචු බුරුල් කරමින් සිටියේය. "නියම දිනුමක්." ටිරියන්ව දුටු සෙර් කෙවන් පවසා සිටියේය. "ඔබේ වනචාරියො බොහොම හොඳට සටන් කලා."

ඔහු‍ගේ පියාගේ රන්වන් පුල්ලි වැටුනු කොළ පැහැ දෑස් ඔහු වෙතට එල්ල විය. එය කෙතරම් සීතල බැල්මක් වී ද යත් ටිරියන්ගේ සියොළඟම සීතල වී ගියේය. "ඒක ඔබව පුදුම කලාද තාත්තෙ?" ඔහු ඇසුවේය. "ඒක ඔබේ සැලසුම් අවුල් කලාද? අපි ඔක්කොම මස් කඩේ හරක් වගේ මැරෙන්ටයි නියම වෙලා තිබුනෙ. එහෙම නේද?"

ටයිවින් උතුමානන් කිසිදු හැඟිමක් නොමැති මුහුණින් යුතුව සිය වයින් කුසලාණ බී හමාර කලේය. "ඔවු. ඇත්ත. මම අඩුවෙන්ම විනයගරුක සෙබළු වම් පැත්තෙ තිබ්බා තමා. මම බලාපොරොත්තු වෙලා හිටියෙ උන් ඉක්මනින්ම බිඳිලා විසිරිලා යයි කියලයි. රොබ් ස්ටාර්ක් කියන්නෙ නවක කොල්ලෙක්. ඌට ඥානවන්තකමට වඩා තියෙන්නෙ නිර්භීත කම. මම බලාපොරොත්තු වුනේ ඌ අපේ වම් පැත්ත බිඳ වැටුනා කියලා දැක්කහම ඒ පැත්තට කඩා වදියි කියලයි. ඌට එතැන බොහොම ලේසි ජයක් පේන්ට තියෙන නිසා. ඌ සම්පූර්ණයෙන්ම එතැනට පැන්නට පස්සෙ කෙවන්ගෙ කුන්තධරයින්ට පුළුවන් ආපහු හැරිලා උන්ගෙ පැත්තට පහර දෙන්ට. උන් එකතු වෙලා රොබ්ගෙ හමුදාව ගඟ පැත්තට තල්ලු කරද්දි මට පුළුවන් මගේ අතිරේක බලඇණිය අරන් ඇවිත් පහරදෙන්ට."

"ඉතින් ඔබ හිතුවා මේ මනුස්ස සංහාරය මැද්දෙ තමා මම ඉන්න ඕන හොඳම තැන කියලා නේද? ඒ වගේම ඔබේ අදහස් සැලසුම් මට කියන්ට උනන්දු වුනෙත් නැහැ නේද?"

"බොරු බිඳවැටීමක් මවලා පෙන්නවට වඩා ඇත්තම බිඳවැටීමක් වඩා හොඳයිනෙ. අනිත් එක මට කිසිම උවමනාවක් නැහැ කුලී හේවායොයි, වනචාරියොයි එක්ක හවුල් තියාගන්න එකෙකුට මගේ සැලසුම් එළි කරන්ට."

"මගේ වනචාරියො ඔබේ නැටුම අවලස්සන කරපු එකට බොහොම කණගාටුයි." සිය වානේ අත්වැස්ම ගැලවූ ටිරියන් එය බිම අත හැරියේය. අත පුරා විහිද ගිය වේදනාව නිසා ඔහුගේ මුහුණ ඇකිළී ගියේය.

"ස්ටාර්ක් කොල්ලා උගේ වයසෙ එකෙකුගෙන් බලාපොරොත්තු වෙන්ට බැරිතරම් පරීක්ෂාකාරියි." ටයිවින් උතුමානන් පිළිගත්තේ ය. "කොහොම වුනත් දිනුමක් කියන්නෙ දිනුමක්. උඹට තුවාල වෙලා වගේ."

ටිරියන්ගේ දකුණත රුධිරයෙන් පෙඟී ගොස් තිබුනි. "ඔබ ඒක දැකපු එක ලොකු දෙයක් තාත්තෙ." ඔහු දත්මිටි කමින් පිළිතුරු දුන්නේය. "ඔබේ මේස්ටර්වරයෙක් ගෙන්නන්ටයි කියලා මම ටිකක් කරදර කලාට කමක් නැද්ද? ඔබට අතක් නැති කුරුමිටි පුතෙක් ඉන්න එක ගැන ඔබ එච්චරම වදවෙන්නෙ නැත්තම්..."

"ටයිවින් උතුමානනි." යැයි අනපේක්ෂිතව නැගුනු හඬක් නිසා පිළිතුරක් දෙන්නට පෙර ඔහුගේ පියාගේ හිස එදෙසට හැරවුනි. සෙර් ඇඩම් මාර්බ්‍රැන්ඩ් සිය අසු පිටින් බිමට පනිද්දී ටයිවින් ලැනිස්ටර් උතුමානන් සෙමින් නැගිට සිටියේය. අශ්වයා දහදියෙන් පෙඟී ගොස් සිටි අතර උගේ මුවින් රුධිරය ගලා ආයේය. සෙර් ඇඩම් දණක් නැමීය. ඔහු උරහිස තෙක් වැටුනු තද තඹ පැහැ හිසකෙසින් යුතු උස් කෙට්ටු මිනිසකු විය. ඔහුගේ සන්නාහය ද තඹ පැහැ වූ අතර එහි පපු තහඩුවේ සිය වංශ සලකුණ වන ගිනිගන්නා ගස කළු පැහැයෙන් කොටා තිබුනි. "මගේ උතුමානනි. අපි උන්ගෙ අණදෙන නිළධාරින් කීපදෙනෙක් හිරබාරෙට ගත්තා. සර්වින් උතුමානන්, සෙර් විලිස් මැන්ඩර්ලි, හැරියන් කාර්ස්ටාර්ක්, ෆ්‍රේලා හතරදෙනෙක්. හෝර්න්වුඩ් උතුමානන් මැරුනා. ඒ වුනත් කියන්ට කනගාටුයි රූස් බෝල්ටන් අපෙන් ගැලවිලා පැනගත්තා."

"එතකොට කොල්ලා?" ටයිවින් උතුමානන් විමසීය.

සෙර් ඇඩම් මඳක් තැතනුවේය. "ස්ටාර්ක් කොල්ලා උනුත් එක්ක හිටියෙ නැහැ මගේ උතුමානනි. උන් කියනවා එයා ද්විත්ව බලකොටුවෙදි දෙකට බෙදිලා, එයාගෙ අසරු හමුදාවෙන් වැඩි කොටසකුත් අරන් දැන් රිවර්රන්වලට පිම්මේ යනවයි කියලා."

'රොබ් ස්ටාර්ක් කියන්නෙ නවක කොල්ලෙක්. ඌට ඥානවන්තකමට වඩා තියෙන්නෙ නිර්භීත කම.' සිය පියාගේ වදන් ටිරියන්ට සිහිපත් විය. ඔහුගේ දකුණත මෙතරම් වේදනා ගෙන නොදුන්නේ නම් ටිරියන් කොක්හඬලා සිනාසෙනු නොඅනුමානය.


Tywin Lannister: “When soldiers lack discipline, the fault lies with their lord commander.”

24 comments:

  1. අඩේ අප්පා මෙන්න පයිට් :D
    ඇඟ කිලිපොලා යන සටන් ජවනිකා.මධුර ගීත ඉස්සරහට (ද)!

    ReplyDelete
    Replies
    1. අද දිනයේ මේ තරග බිමේ පළමුවැනියා වීමේ ප්‍රීතිය උදෙසා මගේ වංශ කොඩිය මෙහි දැමීමට අවසර උතුමාණනි.

      Delete
    2. අද දවසේ ප්‍රධාන නලුවා වීමේ ප්‍රීතිය සඳහා අපිට අයිස්ක්‍රීම් කේක් ගෙන එන මෙන් ඉල්ලා සිටිනු ලැබේ. (හරිද මන්දා ) :D

      Delete
    3. අයිස්ක්‍රීම් කේක් ගෙන ආ හැකි මුත් මේ දිනවල පවතින අධික ඌශ්ණත්වය නිසා අයිස්ක්‍රීම් දිය විය හැකි බව කරුණාවෙන් සලකන්ට ආර්යාවනි...:P

      Delete
    4. Ice cream cakes. Baskin Robbins eken genta aaa :P

      Delete
    5. හපොයි මනෝජුයි මමයි තනියම කන්ට හැදුවේ. මෙන්න මේ පොම් උදැල්ලක් සොරි අයිස්ක්‍රීම් කේක් එකක් අරන් ඇවිත්...Baskin-Robbins ...:P

      Delete
    6. එකනේ කියන්නේ ආර්යවනි.දුෂ්ට පොම් කුමරාත් ඇවිල්ලානේ හිටං :D

      Delete
    7. කෝ දැන් වංශ කොඩිය දැම්මද මනෝජ්? :-)

      Delete
    8. හා හා
      අර ජිම් පප්පා කපුවා වගේ කෑලි තුනක් කපන්ටකෝ එහෙනම් :P

      Delete
    9. PoM, Mentally ill gelato?

      Delete
  2. Tyrion the warrior. Who thought eh?

    ReplyDelete
  3. ස්ටාර්ක් කොල්ල පාඩමක් උගන්නයිද මේ ලොක්කන්ට?

    ReplyDelete
    Replies
    1. සිකුරාදා උදේම එන්ට රන්.. ටක්කෙටම කියනවා ස්ටාර්ක් කොල්ලාට මොකද වෙන්නෙ කියලා.. :-)

      Delete
  4. ටයිවින් උතුමානන් බලාපොරොත්තු උනාට වැඩිය හොදට රොබ් වැඩ පෙන්නනවා එහෙනම්.. ඒක හොදයි..

    හා හා ඊලග එක.. ;)

    ReplyDelete
    Replies
    1. කොල්ලා හිතුවාට වඩා දස්සයා නේ..

      හා හා මේ දෙනවා‍‍‍.. :-)

      Delete
  5. ටිරියන් මිට්ටා වීමෙත් වාසියක් තියනවා නේද?

    දැන් බලමු ටයිවින් මොකද කරන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. කොටා අණ්ඩයා කියන්නෙ නිකංද? :-D

      Delete