Monday 2 March 2015

ටිරියන් 08-2

ෂේ

එනමුදු අන්ධකාරය විනිවිද නැගෙන්නට වූ කාහල නාදය මැද්දේ ටිරියන් අවදි වූයේය. ෂේ ඔහුගේ දෙවුරින් අල්ලා සොලවමින් සිටියාය. "මයෙ උතුමානනි." ඇය කෙඳිරුවාය. "නැගිටින්ට මයෙ උතුමානනි. මට බයයී."

නිදිමතයේම නැගිට සිටි ඔහු සිය පො‍රෝනාව පසෙකට වීසිකර දැමුවේය. රාත්‍රි අන්ධකාරය මධ්‍යයේ මේ හොරණෑ හඬ වියරු බවකින් හා මහා හදිසියකින් මෙන් ඇසෙන්නට විය. එය හරියටම 'ඉක්මනට! ඉක්මනට! ඉක්මනට!' යැයි මුරගාමින් ඔබව කැඳවන්නාක් මෙනි. මිනිසුන් කෑගසන හඬත්, හෙලි එකට ගැටෙන හඬත්, අසුන් ගේ හේෂාරවයත් ඔහුට ඇසෙන්නට විය. එනමුදු තවමත් කිසිදු ගැටුමක හඬක් ඔහුගේ සවනත නොවැකින. "මගේ තාත්තගෙ හොරණෑ හඬ. යුද්ධෙට කැඳවන සංඥාව. මම හිතුවෙ ස්ටාර්ක් හමුදාව තාමත් අපට දවසක දුරින් ඉන්නෙ කියලයි."

කිසිවක් තේරුම්ගත නුහුනු ෂේ හිස වැනුවාය. ඇගේ දෑස් විසල් වී සුදුමැලි පැහැගැන්වී තිබුනි.

උගුරෙන් වේදනාත්මක මොරගෑමක් කල ටිරියන් සැනෙන් දෙපයින් නැගිට සිටියේ කූඩාරමින් පිටතට විත් සිය සහචරයාට හඬගෑවේය. ගංදියෙන් නැගුනු සුදු පැහැ මීදුම දිගු සුදු අතැඟිලි මෙන් අන්ධකාරය මධ්‍යයේ පාව යමින් තිබුනි. අරුණට පෙර වූ ශීතය මැද්දේ මිනිසුන් මෙන්ම අසුන් ද පමාවන්නට වූහ, සිය කාර්‍යය වරද්දාගන්නට වූහ. සෑදල තදකොට බැඳුනු අතර කරත්තවලට බඩු පැටවෙන්නට විය. ගිනිමැල නිවී යන්නට විය. කාහල නාදය නැවත ඇසෙන්නට විය. 'ඉක්මනට! ඉක්මනට! ඉක්මනට!' නොසන්සුන් අයුරින් නහයෙන් පිඹිමින් සිටි යුධ සෛන්ධවයින් මතට නයිට්වරුන් පිනූ අතර සෙබළු දිවයන අතරේම සිය අසිපත් ඉණපටි පැළැඳගන්නට වූහ. ටිරියන් විසින් පොඩ්ව සොයාගන්නා විට කොලුවා සිහින් සරින් ගොරවමින් නිදාහුන්නේය. ටිරියන් ඔහුගේ ඉළඇටවලට පා ඇඟිලිවලින් ඇන්නේය. "මගේ සන්නාහය ගෙනෙන්. ඉක්මන් කරපන්." දැනටමත් සන්නාහයෙන් සැරසී සිය ශිරස්කය පැළැඳ සිටි බ්‍රොන් මීදුම මැද්දෙන් අසු අරා හැල්මේ ආවේය. "උඹ දන්නවද මොකක්ද සිද්ද වෙලා තියෙන්නෙ කියලා." ටිරියන් විමසීය.

"ස්ටාර්ක් කොල්ලා හොරෙන්ම කඩන් පැනලා." බ්‍රොන් පිළිතුරු දුන්නේය. "ඌ මහ රෑම රජමාවතේ පහළට ඇවිල්ලා. දැන් උන්ගෙ හමුදාව අපට‍ හැතැප්මක්වත් නැති දුරින් උතුරෙ යුද්ධෙට ලෑස්තිවෙලා ඉන්නවා."

'ඉක්මනට!' නැවතත් හොරණෑ හඬ නද දෙන්නට විය. 'ඉක්මනට! ඉක්මනට! ඉක්මනට!'

"අර ගෝත්‍රිකයො ටික සටනට යන්ට ලෑස්තිවෙලාද කියලා බලපන්." ටිරියන් දෙකට නැවී නැවතත් සිය කූඩාරම තුළට රිංගුවේය. "කෝ යකෝ මගේ ඇඳුම්?" ඔහු ෂේට කෑගැසීය. "අර තියෙන්නෙ. නෑ ඕවා නෙවෙයි. හම් ඇඳුම් බොල. උඹ යකාටම පලයන්! අන්න හරි. මගෙ බූට්ස් දෙකත් අරන් වරෙන්."

ටිරියන් හැඳපැළැඳගෙන හමාර වනවිට ඔහුගේ සහචරයා විසින් සන්නාහය ඔහු වෙනුවෙන් පිළියෙල කොට තිබුනි. ටිරියන් සතුව සිය අසාමාන්‍ය ශරීරය වෙනුවෙන්ම වෙසෙසින් සැකසුනු කදිම, ශක්තිමත් ඵලක සන්නාහයක් වූයේය. එනමුදු අවාසනාවකට මෙන් එය මේ මොහොතේ කාර්ස්ටලී රොක්හි සුරක්ෂිතව තැන්පත්ව ඇති අතර ඔහු මෙහි සිටියි. එබැවින් ඔහුට ලෙෆර්ඩ් උතුමානන් ගේ සැපයුම් කරත්තවලින් එහෙන් මෙහෙන් අහුලාගත් එකිනෙකට නොගැලපෙන සන්නාහ කට්ටලයකින් සැරසීමට සිදුව තිබින. මුදු යකඩ දම්වැලින් තැනුනු සන්නාහ කමිසයක් හා හිස් ආවරණයත්, මියගිය නයිටුවෙකුගේ ග්‍රීවාවරණයක්, පොකිරිස්සකු මෙන් වූ කලවා ආවරණ හා අත්වැසුම්, උල් වානේ බූට්ස් යුගලක් ඒ අතර විය. මේ සමහරක් කැටයම් කර තිබුනු අතර සමහරක් චාම් ඒවා විය. ඒ කිසිවක් එකිනෙක හා නොපෑහින. එමෙන්ම ඒ කිසිවක් ඔහුගේ ශරීරය සමගින්ද නොපෑහින. ඔහුගේ පපු ඵලකය ඔහුට වඩා විශාල මිනිසෙකුට සුදුසු එකක් විය. ඔහුගේ පමණට වඩා විසල් හිසට ගැලපෙන අන්දමින් ඔවුන් විසින් මුදුනේ අඩියක් පමණ දිගු ත්‍රිකෝණාකාර කුන්තයක් සවි වූ විශාල බාල්දියක් වැනි ශිරස්කයක් සොයාගෙන තිබුනි.

සන්නාහයේ ගාංචු හා පූට්ටු සවිකරනු පිණිස ෂේ පොඩ්ට සහාය වූවාය. "මම මැරුනොත් මා වෙනුවෙන් අඬපන්." ටිරියන් ඇයට පැවසීය.

"ඔබ කොහොමද දන්නෙ? ඔබ මැරිලානෙ."

"මම දන්නවා."

"මම විශ්වාස කරනවා ඒක." ෂේ ශිරස්කය ඔහුගේ හිසට උඩින් පාත් කල අතර පොඩ් එය ග්‍රීවාවරණයට තබා සවිකලේය. අසිපත හා සිරිය බරට බරේ එල්ලී තිබුනු සිය ඉණපටිය ටිරියන් පැළැඳගත්තේය‍. මේ වනවිට ඔහුගේ අස්ගොවුවා විසින් ඔහු තරම්ම සන්නාහයෙන් සැරසුනු ඔහුගේ දුඹුරු පැහැ යුධ සෛන්ධවයා කැඳවාගෙන විත් තිබුනි. අසු පිට නැගීම පිණිස ඔහුට උදවු අවශ්‍ය විය. තමා ස්ටෝන් දහසක්වත් බර යැයි ඔහුට හැඟෙන්නට පටන්ගෙන තිබුනි. පොඩ් විසින් ඔහුට යකඩින් සවිමත් කල බරැති අයන්වුඩ් ලීයෙන් තැනූ විසල් පලිහක් ලබාදුන්නේය. අවසනදී ඔහුගේ යුධ පොරොව ඔහු අතට ලැබින. අඩියක් පසුපසට තැබූ ෂේ ඔහුගේ හිස සිට දෙපතුල දක්වාම බැල්මක් හෙලීය. "මයෙ උතුමානන් හරිම බිහිසුණු පෙනුමයි."

"මයෙ උතුමානන් නොගැලපෙන සන්නාහයක් ඇන්ද කුරුමිට්ටෙක් වගේ." ටිරියන් ඇඹුල් ස්වරයෙන් පිළිතුරු දුන්නේය. "ඒ වුනත් උඹට ස්තූතියි එහෙම කිවුවට. පොඩ්රික්, යුද්ධෙ අපට අවාසි පැත්තට හැරුනොත් ආර්යාව පරිස්සමින් ගෙදර ඇරලවපන්." පොරොව ඔසවා ඇයට ආචාර කල ටිරියන් අසු ආපිට හරවාගත්තේ ඔවුන්ගෙන් වෙන්ව පිටව ගියේය. ඔහුගේ උදරය ඇඹරී එකම ගුලියක් මෙන් වේදනා ගෙනදුන්නේය. ඔහුට පසුපසින් ඔහුගේ සේවකයින් විසින් ලහිලහියේ කූඩාරම් ගලවන්නට වූහ. ක්ෂිතිජයට ඉහළින් හිරු අහසට නැගෙන්නට තැත්කරද්දී නැගෙනහිර ආකාශයේ ලා රත් පැහැ රේඛාවන් ඇඳෙන්නට විය. බටහිර දිග අහස තද දම් පැහැයකින් යුක්ත වූ අතර එහි අතරින් පතර තරු බැබලිනි. තමා විසින් දකින්නට යෙදෙන අවසන් සූර්යෝදය මෙය දැයි ටිරියන් විමතියෙන් කල්පනා කරන්නට විය... එමෙන්ම මෙසේ කල්පනා කිරීම බියගුලුකමක් දැයි සිතන්නට විය. ඔහුගේ සොහොයුරා ජේමි කවදාක හෝ සටනකට පෙර මරණය මෙනෙහි කරන්නට ඇත්ද?

ඉතා ඈතින් යුධ හොරණෑ හඬක් නැගෙන්නට විය. එය කෙතරම් ගැඹුරු, කෙතරම් දුක්මුසු හඬක් වී ද යත් ඔහුගේ සියොලඟම සීතල වී ගියේය. ගෝත්‍රිකයෝ සිය කැහැටු කඳුකර අසුන් පිට නැගී එකිනෙකාට කවට බස් දොඩමින්, සාප කරමින්, අවලාද නගමින් හුන්නෝය. ඔවුන්ගෙන් කිහිප දෙනෙකු බීමතින් පසුවන්නාක් මෙන් පෙනින. ටිරියන් විසින් ඔවුන්ව කැඳවාගෙන සටනට පිටවෙද්දී නැගෙන හිරුත් සමගින් මෙතෙක් වේලා ඔවුන් වසා පැවති මීදුම් පටලය කෙමෙන් බොඳ වී යන්නට විය. අසුන් විසින් නොකා ඉතුරු කරන ලද තණපත් මත පිණිබිඳු නැගී තිබුනි. එය හරියටම යම් කිසි දෙවිකෙනෙකුන් විසින් පොළොව මත දියමන්ති මල්ලක් හලාගෙන ගියාක් බඳු විය. ඔහුට පිටුපසින් ඔහුගේ කඳුකර ‍ගෝත්‍රිකයෝ සිය නායකයින් ගේ අණ යටතේ පේළි සැදී ගමනාරම්භ කරන්නට වූහ.

ටයිවින් ලැනිස්ටර් උතුමානන් ගේ හමුදාව අරුණාළෝකයේ පිබිදෙන යකඩ රෝස මලක් මෙන් කෙමෙන් කෙමෙන් පිබිදෙන්නට වූ අතර එහි වානේ කටු තුඩු හිරු එළියේ දිලිසෙන්නට විය.

* * *

සුපුරුදු පරිදි ටිරියන්ගේ බාප්පා විසින් හමුදාවේ මධ්‍ය බලඇණිය මෙහෙයවනු ලැබීය. සෙර් කෙවන් රජමාවතට ඉහළින් සිය සේනාංක පෙළගන්වා තිබුනි. දසරුවෙන් එල්බෙන හියොවුරු සහිත පාබල දුනුවායින්ගේ බලඇණිය මාර්ගයේ බටහිරට හා නැගෙනහිරට වන්නට දිගු පේළි තුනක් සැදී සිය දුනුවලට දුනුදිය යොදමින් සිටියෝය. ඔවුන් අතරට මැදි වූ කුන්තධරයෝ චත්‍රරස්‍රාකාර ප්‍රහාරක කණ්ඩායම් සාදමින් පෙළගැසී උන්හ. ඔවුන්ට පිටුපසින් අසිපතින්, හෙල්ලයෙන් හා යුධ පොරොවෙන් සන්නද්ධ වූ සාමාන්‍ය සෙබළු පෙළක් පසුපස පෙළක් වන සේ දිගහැරී සිටියෝය. තුන්සියයක් වූ බැර අශ්වාරෝහක බලඇණියක් සෙර් කෙවන් හා අනිකුත් ධජධරයින් වූ ලෙෆර්ඩ්, ලිඩ්න් හා සෙරට් යන උතුමන් ද ඔවුන්ගේ නයිට්වරුන් ද වටකරමින් නැගී සිටියෝය.

දකුණු බලඇණිය මුළුමනින්ම පාහේ අශ්වාරෝහක සෙබළුන්ගෙන් සැදුනි. ඒ වනාහි බරැති සන්නාහයෙන් සැරසුනු හාරදහසක සෙබළ මුලුවක් විය. මුලු හමුදාවේම සිටි නයිට්වරුන්ගෙන් හතරෙන් තුනක් පමණ මීට අයත් වූ අතර එය හරියටම මිටි කරගත් යෝධ වානේ අතක් මෙන් විය.එහි නායකත්වය සෙර් ඇඩම් මාර්බ්‍රැන්ඩ් විසින් උසුලනු ලැබීය. ඔහුගේ වංශ සලකුණ වන තැඹිලි හා අළු පැහැයෙන් යුත් ගිනිගන්නා ගසක රුව සහිත ධජය සුළඟේ ලෙලදෙනු ටිරියන් දිටීය. ඔහුට පිටුපසින් සෙර් ෆ්ලෙමන්ට් ගේ දම්පැහැ කඟවේනා ද, ක්‍රේක්හෝල්වරුන් ගේ වල්ඌරා ද, ස්විෆ්ට්වරුන් ගේ කුරු කුකුළා ද තවත් බොහෝ වංශ ලාංඡනද සුළඟේ ලෙලදෙන්නට විය.

ඔහුගේ පියා තමා පෙරදා රැයේ නවාතැන් ගත් කුඩා කඳුගැටය මුදුනේ තම බලඇණිය රඳවා සිටිනු දක්නට ලැබින. ඔහු වටා අඩක් අසරු හා අඩක් පාබල සෙබළුන්ගෙන් සැදි පන්දහසක් වූ අතිරේක බලඇණිය නැගී සිටියෝය. ටයිවින් උතුමානන් සෑමදාම පාහේ අතිරේක බලඇණියට අණදෙන්නට කැමැත්තක් දැක්වීය. ඔහු උස් බිමකට වී තමන් ඉදිරියේ සටන දිගහැරෙන ආකාරය දෙස පරීක්ෂාවෙන් බලා සිට අවැසි මොහොතේදී අවැසි තැනට සිය බලඇණිය මෙහෙයවීමේ ශූරයෙකු විය.

මෙතරම් දුරක සිට පවා ඔහුගේ පියා ඉතා දීප්තිමත්ව හා උත්තුංගව නැගී සිටිනු නිරීක්ෂණය කල හැකි විය. ටයිවින් ලැනිස්ටර් උතුමානන්ගේ යුධ සන්නාහය වනාහි එහි මහේශාඛ්‍ය භාවය විසින් ඔහුගේ පුත් ජේමි ලැනිස්ටර් ගේ රන්වන් සන්නාහය ලජ්ජාවෙන් සඟවන්නට සමත් එකක් විය. ඔහු උර පැළැඳි සළුව අනන්ත රන්කෙඳි ස්ථරයන්ගෙන් වියුනක් වූ අතර එහි බර කෙතරම් වී ද යත් ඔහු වේගයෙන් අසු විහිදුවන විට පවා එය සුළඟේ ලෙල දුන්නේ මඳ වශයෙනි. එය කෙතරම් විසල් වී ද යත් ඔහු යුධ සෛන්ධවයා පිට නැගුනු විට එයින් සත්ත්වයා ගේ පසුපස සෑහෙන ප්‍රමාණයක් ආවරණය වී ගියේය. කිසිදු සාමාන්‍ය හාරිච්චියකට මෙවැනි බරක් රඳවාගෙන සිටීම උගහට විය. එබැවින් මේ බරැති සළුව ඔහුගේ උරයේ රඳවනු වස් වෙසෙස් හාරිච්චි යුගලයක් භාවිත විය. මේ හාරිච්චි ඉදිරියට පනින්නට සූදාණමින් සිටින සිංහ ධේනුවකගේ රුවින් සැකසී තිබුනි. මේ සිංහ ධේනුන් දෙදෙනා ගේ වල්ලභයා වූ විසල් කේශර කළඹකින් හෙබි සිංහයා ටයිවින් උතුමානන් ගේ ශිරස්කය මතට වී එක් අතක් ඔසවාගෙන ගර්ජනා කරමින් හුන්නේය. මේ සිංහයින් තිදෙනාම රනින් නිමවා දෑස් වෙනුවට රතු කැට එබ්බවූ අලංකාර නිර්මාණ විය. ඔහුගේ සන්නාහය තද ලේ රත් පැහැයෙන් වර්ණ ගැන්වූ වානේ ඵලකයෙන් සැදුනේවිය. ඔහුගේ වානේ අත්වැසුම් හා ජංඝාවරණ රනින් කැටයම් කොට වැඩ දමා තිබුනි. සන්නාහයේ වූ සියළු වෘත්තාකාර ආරක්ෂාවරණයන් රනින් නිමවූ සූර්‍යයන් විය. ගාංචු හා පූට්ටු සියල්ලම රත් පැහැ වානේවලින් නිමවී තිබුනි. මේ රක්තවර්ණ වානේ කෙතරම් තදින් ඔපදමා තිබුනිද යත් නැග එන සූර්‍යාළෝකය හමුවේ ඒවා ගින්දර මෙන් දිස්නය දෙන්නට විය.

ටිරියන්ට දැන් දැන් සතුරන්ගේ බෙර හඬ ඇසෙන්නට විය. අවසන් වරට තමා රොබ් ස්ටාර්ක් දුටු දා ටිරියන්ට සිහිපත් විය. ඒ වින්ටර්ෆෙල්හි ප්‍රධාන ශාලාවේ ඔහුගේ පියාගේ උස් අසුනේ වාඩි වී දිදුලන අසිපතක් සුරතින් රැගෙන සිටි රොබ්ගේ රුව විය. සෙවනැලි මුවාවේ හිඳ ඝෝරවෘකයින් ඔහු වෙත කඩා පිනූ අයුරු ඔහුට සිහිපත් විය. දත් විලිස්සාගෙන ගොරවමින් උන් තමා වෙත කඩා පිනූ අයුරු ඔහුට මැවී පෙනෙන්නට විය. මේ කොලුවා සිය වෘකයිනුත් යුද්ධය වෙනුවෙන් දකුණුකරයට කැඳවාගෙන ආවේද? මේ සිතුවිල්ල විසින් ටිරියන්ව නොසන්සුන් කරන්නට සමත් විය.

සිය දිගු, නිදිනොමැති රාත්‍රි ගමනින් පසු උතුරුකරයේ සෙබළුන් අතිශයින්ම වෙහෙසට පත්ව සිටිනු නොඅනුමානය. මේ කොලුවා කුමක් බලාපොරොත්තු වන්නේදැයි ටිරියන් විමතියෙන් කල්පනා කලේය. ඔවුන් නිදි අතර හදිසියේ කඩා පැන පහර දෙන්නට ඔවුන් අදහස් කලේද? ඊට ඇත්තේ ඉතාම අඩු ප්‍රස්ථාවයකි. මිනිසුන් ඔහු ගැන කෙසේ කුමක් කීවද ටයිවින් ලැනිස්ටර් යනු මෝඩයෙකු නොවේ.

පෙරටු බලඇණිය වම්පස එකතු වෙමින් සිටියේය. කහ පැහැ පසුබිමක සිටින කළු බල්ලන් තිදෙනාගේ රුව සහිත බලඇණි ධජය ඔහු නිරීක්ෂණය කලේය. ටිරියන් විසින් සිය දිවිය තුළ දුටු දැවැන්තම යුධ අශ්වයා පිට නැගුනු සෙර් ග්‍රෙගර් ක්ලිගේන් මේ ධජය සෙවණේ හුන්නේය. ඔහු දෙස එක් බැල්මක් හෙලූ බ්‍රොන් සතුටින් විරිත්තුවේය. "හැමවෙලාවෙම ලොකු මිනිහෙක් එක්ක යුද්ධෙට යන්ට ඕන."

ටිරියන් ඔහු දෙසට නොපහන් බැල්මක් හෙලුවේය. "ඒ මොකද?"

"උන් බොහොම හොඳ ඉලක්ක. අර යකා පේනවනෙ. මෙතැන ඉන්න හැම දුනුවායාගෙම ඇස් දෙක ඇදිලා යන්නෙ ඌ දිහාටයි." ටිරියන් සිනාසෙමින් 'කන්ද' දෙස නැවත වරක් බැලුවේය. "මම අවංකවමයි කියන්නෙ. මම මීට කලින් කවදාවත් ඒ පැත්තෙන් ඒ දිහා බලලා නැහැ."

ක්ලිගේන් සතුව කිසිදු උත්කර්ශයක් හෝ ආනුභාවයක් හෝ නොවීය. ඔහුගේ සන්නාහය අඳුරු අළු පැහැ වානේ ඵලක විය. ඒවා භාවිතය නිසාම කැළැල් ඇති වූ කිසිදු අලංකරණයක් හෝ වංශ සලකුණක් හෝ නොමැති චාම් පැළැඳුම් විය. ඔහු අසිපතක් වනමින් සිය මිනිසුන් ස්ථානගත කරවමින් හුන්නේය. දෑතින්ම එසවිය යුතු මහ අසිපතක් වූ මෙය සෙර් ග්‍රෙගර් විසින් එක් අතකින් වනමින් හුන්නේ සාමාන්‍ය මිනිසකු සිරියක් වනන්නාක් වැනි සැහැල්ලුවකිනි. "එකෙක් හරි ආපිට දිවුවොත් මමම ඇවිල්ලා ඌව කපලා දානවා." ටිරියන්ව ඇස ගැටෙද්දී ඔහු ගිගුම් දෙමින් සිටියේය. "පුංචි යකා. වම් පැත්ත ගනින්. ගඟ අල්ලන් හිටපන්, උඹට පුළුවන් නම්."

වම්පස බලඇණියේ වම්පැත්ත. ඔවුන්ගේ අංශයට පහරදෙන්නට නම් ස්ටාර්ක් සෙබළුන්ට දිය මත පියාඹන අශ්වයින් උවමනා වනවා ඇත. ටිරියන් සිය සෙබළුන්ව ගංතෙර දෙසට මෙහෙයවීය. "අර බලපල්ලා." ඔහු සිය පොරොව දිගුකරමින් කෑගැසුවේය. "ගඟ." ලා පැහැ මීදුමක් තවමත් ගංදිය මත පැතිර පැවතින. අඳුරු කොළ පැහැ දියදහරා වේගයෙන් පහතට ගලාගියේය. ගංතෙර මඩ සහිත වූ අතර පන් ගසින් සෙවුනේය. "මේ ගඟ අපෙයි. මොන දේ සිද්දවුනත් ඒකට කිට්ටුවෙන් හිටපල්ලා. කොයිවෙලාවකවත් ඒක නොපෙනෙන තරම් දුරකට යන්ට එපා. කිසිම සතුරෙකුට අපියි ගඟයි අතරට එන්ට දෙන්ටත් එපා. උන් අපේ ගඟ අපවිත්‍ර කරන්ට ආවොත් උන්ගෙ පිරිමි ඇඟවල් කපලා මාළුන්ට කන්ට දාපල්ලා."

ෂග්ගා දෑතින්ම පොරොවක් බැගින් දරා සිටියේය. ඒවා එකට ගැටූ ඔහු මහත් හඬක් නැංවීය. "කොලුමිනිහා!" ඔහු කෑගැසුවේය. අනිකුත් ගල් කපුටන් ද, කළු කණ් ඇත්තන් හා චන්ද්‍ර සොහොයුරන් ද මේ වදන අල්ලාගත් බවක් පෙනුනි. පිළිස්සුනු මිනිස්සු කෑ නොගැසුව ද සිය අසිපත් හා හෙලි එකට ගටමින් කලිකලහයට සහය දැක්වූවෝය. "කොලුමිනිහා! කොලුමිනිහා! කොලුමිනිහා!"

සිය අසු සම්පූර්ණ වටයක් කරකැවූ ටිරියන් භූමිය නිරීක්ෂණය කලේය. මෙහි බිම වලගොඩැලි සහිත අසමාන එකක් විය. ගංගාවට ආසන්නයේ එය මෘදු හා මඩ ගතියෙන් යුක්ත විය. මඳ බෑවුමකින් යුක්තව රජමාවත දෙසට කෙමෙන් එසැවී ගිය එය ගලින් වැසුනේය. අතරින් පතර වූ ගස් කිහිපයක් හැරෙන්නට මුළු භූමියම පාහේ විවෘත එළිමහනක් හා ගොවිබිමක් විය. බෙර හඬේ තානය අනුව ඔහුගේ හදවත සැලෙන්නට විය. වානේ හා සම් ආවරණවලට යටින් ඔහුගේ නළල දහදියෙන් පෙඟී ගොස් තිබින. සෙර් ග්‍රෙගර් මිනිසුන් අතරේ එහා මෙහා යමින් කෑගසමින් හා නොයෙකුත් අභිනයන් දක්වමින් සිටින'යුරු ඔහු දිටීය. මේ බලඇණියද මුලුමනින්ම පාහේ අසරු සෙබළුන්ගෙන් සැදුනේ විය. එනමුදු නයිට්වරුන්ගෙන් හා බර ලන්සධරයින්ගෙන් සැදි වානේ මිටක් බඳු වූ දකුණු බලඇණිය මෙන් නොව පෙරටු බලඇණිය වනාහි හුදෙක් බටහිර දිග අතුගා එකතුකර සාදාගත් හමුදාවක් විය. සම් කබා හැඳි අසරු දුනුවායන්, කිසිදු විනයකින් තොර නිදහස් අසරුවන් හා කුලී හේවායින්, ගොවිපල අසුන් පිට නැගී සිය පියවරුන් ගේ මළ කෑ අසිපත් හා මහ දෑකැතිවලින් සන්නද්ධ වූ ගොවිපල සේවකයන්, ලැනිස්පෝර්ට්වල ගබඩා හා කුස්සිවලින් සොයාගත් බාගෙට පුහුණු වූ කොල්ලන් සහ ටිරියන් හා ඔහුගේ කඳුකර ගෝත්‍රිකයින්ගෙන් මේ පෙරටු බලඇණිය සමන්විත විය.

"කපුටන්ට කෑම." බ්‍රොන් කටුකුටු ගෑවේය. ඒ වනාහි ටිරියන් නොපවසා සිටි දෙයම විය. එකඟවෙමින් හිස වැනීම හැර ඔහුට අන් කල හැකි දෙයක් නොවීය. ඔහුගේ පියාට උමතුවක් වැළඳී ද? කුන්තධරයින් නැති, දුනුවායින් ස්වල්පයක් පමණක් ඇති. නයිට්වරුන් කිහිපදෙනෙකුන් හා පැරැණි ආයුධයෙන් සැරසුනු සන්නාහ නොලෑ සෙබළුන්ගෙන් පිරි, සිය ඥානයට වඩා කේන්තිය විසින් මෙහෙයවන මෘගයකු විසින් අණදෙනු ලැබූ පෙරටු බලඇණිය... මේ විකාරකාරයින් රැළ විසින් වම්පස පෙරමුණ රැකගනිවී යැයි ඔහුගේ පියා කෙලෙසක නම් බලාපොරොත්තු වන්නේද?

එනමුදු මේ ගැන සිතා තවදුරටත් වදවන්නට ඔහුට අවකාශයක් නොවීය. සතුරු බෙර හඬ අත ළඟම ඇසෙන්නට විය‍. ඔහුගේ දෑත් නලියන්නට විය. බ්‍රොන් සිය දිගු අසිපත ඇදගත්තේ ය. ඊළඟ මොහොතේ සතුරු හමුදාව ඔවුන් අබියස විය. පලිස්වලින් හා කුන්තවලින් සැදි පවුරක් පසුපසට වී සිටි සතුරු සෙබළු ප්‍රවේශම් සහගත ඉදිරි ගමනකින් කඳු ගැට මුදුනින් මතුවන්නට වූහ.

* * *

'දෙයියො යකාටම ගියාටම ගියාදෙන්! බලපන් උන් කොච්චර ඉන්නවද කියලා.' ටිරියන් තොල මතුලේය. එනමුදු සිය පියා සතුව ඊට වඩා සෙබළුන් සතුව ඇති බව ඔහු දැන සිටියේය. සන්නාහයෙන් සැරසුනු යුධ අසුන් පිට නැගුනු කපිතාන්වරුන් විසින් මේ සෙබල මුලුවට අණදෙනු ලැබින. ඔවුන් එකිනෙකාගේ වංශ සලකුණු සහිත ධජ ඔසවාගත් අසරුවෝ ඒ හා සමපාතව ඉදිරියට එන්නට වූහ. හෝර්න්වුඩ්වරුන් ගේ පිණිමුවා ද, කාර්ස්ටාර්ක්වරුන් ගේ සූර්‍යයා ද, සර්වින් උතුමානන් ගේ යුධ පොරොව ද, ග්ලවර්වරුන් ගේ මිටි මොලොවාගත් හස්තය ද... ෆ්‍රේවරුන් ගේ ද්විත්ව බලකොටුව ද ටිරියන්ට හඳුනාගත හැකි විය. වෝල්ඩර් උතුමානන් සිය සෙබළුන් සටන වෙනුවෙන් මෙහෙයවන්නේ නොමැති බවට ටයිවින් උතුමානන් ගේ වූ නිසැක නිගමනය වැරැදී තිබුනි. ස්ටාර්ක් වංශයේ සුදු පැහැ ධජ සෑම දෙසින්ම දක්නට හැකි විය. උසැති රිටි මුදුනේ වූ මේ ධජ සුළඟේ ලෙලදෙද්දී එහි වූ අළු පැහැ ඝෝරවෘකයින් ඉදිරියට පිමි පනින්නාක් මෙන් දිස්විය. "කෝ එතකොට කොල්ලා?" ටිරියන් විමතියෙන් එහා මෙහා බැලුවේය.

යුධ හොරණෑවක් නද දෙන්නට විය. හරූඌඌඌඌඌඌඌඌඌඌඌඌ... මේ ශබ්දය උතුරුකරයෙන් හමාඑන ශීතල සුළඟක් මෙන්ම දිගු පහත් හඬක් වූ අතර එය අසන්නන්ගේ සියොලඟම සීතල කර දැමීමට සමත් විය. ලැනිස්ටර්වරුන් ගේ නලා මීට පිළිතුරු වශයෙන් විරෝධාත්මක ලෝහමය හඬක් නැංවූයේය. ඩා-ඩා ඩා-ඩා ඩා-ඩාආආආආආආආආආආආආ... එනමුදු ටිරියන්ට හැඟුනේ තම නලා හඬ වඩා පහත්, කාන්සා සහගත හඬක් එකක් ලෙසිනි. තම උදරය තුළ සලබයින් පියාඹන්නාක් මෙන් ඔහුට දැනෙන්නට විය. තමා මේ මොහොතේ අසනීප වී මියනොයන්නැයි ඔහු ප්‍රාර්ථනා කලේය.

හොරණෑ හඬ හා නලා හඬ කෙමෙන් මැකී යද්දී වාතය පුරා 'හිස්ස්ස්ස්ස්...' ශබ්දයක් ඇසෙන්නට විය. ඊළඟ මොහොතේ ඔහුගේ දකුණු පසින් ඊතල වර්ෂාවක් අහසට නගිනු පෙනිනි. උතුරු සෙබළුන් මේ වනවිට කෑගසමින් ඉදිරියට දිව එන්නට පටන්ගෙන තිබුනි. එනමුදු සිය ගණනක් වූ - නැත, දහස් ගණනක් වූ ලැනිස්ටර් ඊතල ගල් කැට වර්ෂාවක් මෙන් ඔවුන් මත පතිත වන්නට වූ විට මේ කෑගැසීම් වේදනාත්මක මුරගෑම් බවට පරිවර්තනය විය. මිනිසුන් එකාපිට එකා ඇද වැටෙන්නට පටන්ගත්තේ ය. මේ වනවිට දෙවන ඊතල වර්ෂාවද අහස අරා සිටි අතර දුනුවායන් පිරිස සිය තෙවැනි ඊතලය දුනුදියේ අමුනා බලා සිටියෝය.

නැවතත් නලා හඬ නැගෙන්නට විය‍. ඩා-ඩාආආආ ඩා-ඩාආආආ ඩා-ඩා ඩා-ඩා ඩා-ඩාආආආආආආ... සිය දැවැන්ත අසිපත වැනූ සෙර් ග්‍රෙගර් යම් අණක් දෙමින් කෑගැසුවේය. ඔහුගේ හඬට පිළිතුරු ලෙසින් තවත් දහසකුත් එකක් කෑගැසීම් නැගී ආයේය. සිය අසුට පයින් සන්කල ටිරියන්ද මේ කෑගැසීමට සිය දායකත්වය ලබා දුන්නේය. ඊළඟ මොහොතේ පෙරටු බලඇණිය ඉදිරියට ඇදෙන්නට විය. "ගඟ." ඉදිරියට ඇදෙන අතරේ ඔහු සිය ගෝත්‍රික සෙබළුන් අමතා බෙරිහන් දුන්නේය. "මතක තියාගනිල්ලා. ගඟට කිට්ටුවෙන් හිටපල්ලා." අසුන් හැල්මේ යාමට සන්කරද්දීත් ඔහු පිරිසේ ඉදිරියෙන්ම විය. එනමුදු එක් නිමේශයක් තුළ ලේ සීතල කරවන අන්දමේ කෑගැසීමක් සමගින් චෙලා සිය අසු පිම්මේ ඉදිරියට පැන්නූ අතර ෂග්ගා ද ගිගුම් දෙමින් ඈ ලුහුබැඳ අසු පැන්නවීය. ඔවුන් පසුපසින් අනිකුත් ගෝත්‍රිකයින්ද ඉදිරියට ඇදෙන්නට වූ අතර ටිරියන් ධූලි වලාවක් තුළ තනිවිය.


Tywin Lannister: “Robb Stark is a green boy, more like to be brave than wise.”

24 comments:

  1. මාර යුද්දයක් නෙව... ටිරියන්ගෙ පින්තූරෙකුත් දැම්මනම් බිහිසුණු පෙනුම බලා ගන්ට තිබ්බ :)

    ReplyDelete
    Replies
    1. ඊළඟ එකේ දාන්නම්කො.. :-D

      Delete
    2. අපි බිහිසුණුයි කියලා හිතන සමහරු අපි හිතන තරම් බිහිසුණු නෑ රන්. (තව පොඩ්ඩෙන් මම ඔයාට සන්සා කියනවා ) :D

      Delete
    3. අපි බිහිසුනු නෑ කියල හිතන සමහරු හරි බිහිසුනුයි නේ පොම්?
      පොම් නම් ඉතින් ඕන වෙලාවක සුනේ සුන් වෙන අවදානමේනෙ ඉන්නෙ

      Delete
  2. තමන්ගේ අණ දෙන නිලධාරී ටිරියන්ව නොසලකා,තනි කර දැමීම ගැන චෙලා සහා ෂග්ගා යුද්ධධිකරණයට දාන්ට මම යෝජනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.. මම ඒ යෝජනාව ස්ථිර කරනවා..

      Delete
    2. හී හී මනෝජ්...මෙයාලා ඒ කාලේ හිටියා නම් මොනවා වෙයිද?

      Delete
  3. හපෝයි, ආයෙ මරාගන්න නේද හදන්නෙ? අර දිග මේසෙ වාඩිවෙලා, සොසේජස්, චීස්, ඌරු ගාතයක් කකා හිටිය නං මීට හොඳ නැත්ද? ඕනෙම නං , මටත් ඔය බැද්පු ව‍ටුවො දුසිමක් විතර විසිකලා නං..

    ReplyDelete
    Replies
    1. යුද්ධ කලේ නැත්තං අර දිග මේසෙ වාඩිවෙලා කන්ට කෑම හම්බවෙන්නෙ කොහෙන්ද? :-P

      Delete
    2. වටුවෝ තමා නරි මොටාට දෙන්ට ඕනි. huh...

      Delete
  4. පොකිරිස්සකු මෙන් වූ කලවා ආවරණ = lobstered steel?

    ReplyDelete
  5. දැන් පලවෙන වේගය හොඳයි..

    ReplyDelete
    Replies
    1. ඈ............. :-O

      ඇයි සරත් මේක පටන්ගත්තු අලුත ඉඳන්ම සතියට කොටස් තුන ගානෙ කතාව පළවුනා නෙවැ.. වේගයෙ වෙනසක් වෙලා නෑ..

      Delete
    2. සරත් ඔය කියන්නේ යුද්ධේ වේගය ගැන වෙන්ට ඇතිනේ. :P

      Delete
  6. සෙන්පතියන් සිව්දෙනාගේ ගීතය
    සතරදෙනෙක් සෙන්පතියෝ මගට වැදී යුදට ගියෝ
    යුද්දෙට ගිය ඔලුගෙඩියෝ උන්ගේ හැටි කියාපියෝ
    උන්ගේ හැටි කියාපියෝ..
    පළවෙනියට බියක් හිතේ දෙවැනියාට හති වැටෙතේ
    තුන්වැනියා මග මැරෙතේ අන්තිමයා පැන දුවතේ
    අන්තිමයා පැන දුවතේ..
    පස්වැනියෙක් මග එන්නේ ඔහු නෑ යුද්දෙට යන්නේ
    ඉර හඳ තරු පායන්නේ ඌටලු බොල බලපන්නේ
    ඌටලු බොල බලපන්නේ
    නාට්යය - හුණු වටයේ කතාව

    ReplyDelete
    Replies
    1. කියපා..................න් සිංදුවක්..

      යුද්ධෙට මං ගියා - ගෑණි ගෙදර තියා..//
      මගෙ යාළුවො මං එනතුරු - උන්දැ බලාගයි නිරතුරු..//

      තව................. හයියෙන්..

      ස්වර්ගෙට ගිය කලේ - උන්දැ ඒවි බොලේ..//
      අපොයි මගේ හා පැටියා - කියා අඬයි බොලේ..//

      Delete
    2. තවත් දේව ශාපයක්ද? :O

      Delete
  7. මම හෙන අමාරුවක වැටිලා ඉන්නේ මේක කියවන්න ගිහින්. බුරාට බ්ලොග් ලියන්නේ නැහැ කියලා බැන බැන ඉන්දල හාපුරා කියලා ලිව්ව එක නොබලා කොහොමද. මුල ඉඳන් කියොන ගමන්. ඒ දවස්වල පටන් ගත්තට ආයේ මුල මුලමතක නැහැනේ. කඩදාසියක අච්චු ගහල තිබ්බ නම් එක හුස්මට කියවන්නේ.කොහෙද ඉතින් මේ අටමගල් කම්පිතර වල පිටු පෙරලන එක වදේ . අනික පස්සට පෙරලා බලන්න ලේසිත් නැහැ. මේක ප්‍රින්ට් කලොත් මට කොපියක් එවන්ට හොඳේ.

    දැන් කවුද මේක ඇත්තටම පරිවර්ථනය කරන්නේ, පොඩ්ඩි ද . බුරාද .

    ReplyDelete
    Replies
    1. Welcome Bindi :)
      දෙන්නම දෙන්නම

      Delete
    2. කට්ටියටම හොඳ වැඩක් කරඤ්ඤං කියලා හිතලා තමා මම මේක පටන්ගන්ට හිතුවෙ.. ආයෙම ජීවිතේට කරදර නොකරන්ට මට බ්ලොග් එකක් පට්ටාං ගන්ට කියලා.. දැන් බලාන්ට, අර සෙන්නා එහෙම පැත්ත පලාතෙ එන්නෙ නෑ නෙව.. :-P

      මෙච්චර කල් කාටවත් නොකීව රහසක් ඔයාට කියන්නම් බින්දියො.. ඇත්තටම මේක පරිවර්තනය කරන්නෙ අපි දෙන්නම නෙවෙයි.. වෙන කෙනෙක්.. ඒ වුනත් එයා කැමැති නැහැලු වැඩි ප්‍රසිද්ධියට.. ඒක නිසා අපි දෙන්නගෙ නම් දෙකෙන් කතාව දාන්ටයි කියලා කිවුවා.. :-D

      Delete
    3. නැත්තන් බොලා දෙන්න එක්කහු වෙලා ලියයි මෙන්න කියලා. මටත් සෙන්නව තමයි මතක් වුණේ.

      Delete
    4. @bura,

      “The two most common elements in the universe are Hydrogen and stupidity.” :P

      Delete