Wednesday, 25 March 2015

ඩනේරිස් 09-1


උණ විකාරයෙන් ඈ දුටු සිහින සැමෙකක්ම පාහේ මකරාගේ පියාපතින් සෙවන වී තිබින. "උඹට මකරාව නැගිට්ටවන්ට ඕන නැහැ නේද? ඕනද?"

ඇය උස්, ශෛලමය ආරුක්කු සහිත වහලයකින් යුතු දිගු ශාලාවක් ඔස්සේ ඇවිදිමින් සිටියාය. ඇයට පසුපස හැරී බැලීම කල නොහැක්කක් විය. ඇය එසේ කල යුතු ද නොවීය. ඇයට ඉදිරියෙන් ඈත දොරක් තිබේ. මෙතරම් දුරක සිට බලද්දී ඒ දොර ඉතා කුඩා පුංජයක් මෙන් දිස්වුවද එය රතු පාටින් පින්තාරු කර ඇති බැව් ඇයට පැහැදිලිවම පෙනින. ඇය වඩ වඩාත් වේගයෙන් ඇවිදින්නට පටන් ගත්තාය. ගලින් කල ශාලාවේ බිම ඇගේ නිරුවත් දෙපා විසින් රත් පැහැ ලේ පැල්ලම් මතුකලේය.

"උඹට මකරාව නැගිට්ටවන්ට ඕන නැහැ නේද? ඕනද?"

ඇය හිරුඑළියෙන් නැහැවී තිබුනු ඩොත්රැකි තැනිතලාව දුටුවාය‍. එය ජීවයෙන් පිරී පැවතුනි. නැවුම් පස් සුවඳින් හා මරණයේ සුවඳින් පිරී පැවතුනි. සුළඟේ ලෙලදුන් තණපඳුරු මුහුදු රළ මෙන් උස්පහත් විය. ඩ්‍රෝගෝ සිය ශක්තිමත් දෑතින් ඇයව වැළඳගෙන සිටියේය. ඔහුගේ හස්තය මෘදුව ඇගේ යටිකය පිරිමදිමින්, ඇයව පුබුදුවමින්, ඔහුට උරුම වූ - ඔහුට පමණක්ම උරුම වූ - ඒ මිහිරි තෙත්බව මතුකරලමින් තිබුනේය. නීලවර්ණ දිවා ආකාශයේ පායා තිබුනු තාරකාවෝ පහළින් සිටි ඔවුන් දෙස බලා සිනහ සැලූහ. "ගෙදර." ඔහු ඈ තුළට ප්‍රවිෂ්ට වෙමින් සිය බීජයෙන් ඇයව පුරවාලද්දී ඇය සෙමින් මිමිනුවාය. එනමුදු ඊළඟ මොහොතේ මේ තාරකා අතුරුදන් වී ගියේය. නීල ආකාශය පුරවාලමින් දැවැන්ත පියාපත් විදහෙන්නට විය. මුලු ලෝකයම අග්නි ජාලාවෙන් වැසී ගියේය.

"...මකරාව නැගිට්ටවන්ට ඕන නැහැ නේද? ඕනද?"

සෙර් ජෝරාගේ මුහුණ ඇදී මැලවී ගොස් දුකින් බරව තිබින. "රේගාර් තමා අන්තිම මකරා." ඔහු ඇයට කීවේය. ඔහු දිදුලන ගිනිකබලකට අල්ලා සිය විනිවිද පෙනෙන දෑත් උණුසුම් කරමින් සිටියේය. මේ ගිනිකබලෙහි වූ ගල් බිත්තර ගිනිගත් ගල්අඟුරු මෙන් රත් පැහැයෙන් දැල්වෙන්නට විය. එක් මොහොතක ඔහු එතැන වූ අතර ඊළඟ මොහොතේ කෙමෙන් වියැකී යන්නට වූයේය. වාතය මෙන් තුනී වී ගොස් පැහැය වියැකී යන්නට වූයේය. "අන්තිම මකරා." සුළං රොදක මුදු ස්වරයෙන් අවසන් වරටත් මිමිනූ ඔහු සම්පූර්ණයෙන්ම නොපෙනී ගියේය. ඇයට පසුපසින් වූ අන්ධකාරය ඇයට දැනෙන්නට විය. රතු පැහැ දොර දැන් පෙරටත් දුරස්ථ බැව් ඇයට හැඟුනි.

"...මකරාව නැගිට්ටවන්ට ඕන නැහැ නේද? ඕනද?"

ඇය ඉදිරියෙන් සිටගෙන සිටි විසේරිස් ඇයට මුරගාමින් සිටියේය. "මකරු කිසිදෙයක් ඉල්ලලා බැගෑපත් වෙන්නෙ නැහැ වේසියෙ. උඹට බැහැ මකරාට අණදෙන්ට. මමයි මකරා. මමයි රජවෙන්නෙ." උණු වී වැගිරෙන රත්රන්, උණු ඉටි මෙන් ඔහුගේ මුහුණ පුරා පහළට රූරා වැටුනේ මුහුණ පිළිස්සී ගැඹුරු අගල් මෙන් වූ තුවාල ඇතිකලේය. "මමයි මකරා. මමයි රජවෙන්නෙ." ඔහු වියරුවෙන් මුරගෑවේය. සර්පයකු මෙන් ඉදිරියට පිනූ ඔහුගේ අතැඟිලි ඇගේ පයෝධර තුඩු කොනිත්තමින්, මිරිකමින්, අඹරවමින් ඇයට පීඩා කලේය. ඔහුගේ දෑස් පුපුරා ගොස් කළු පැහැ ගැන්වුනු දෙකම්මුල් දිගේ සාරු මෙන් වැගිරුනේය.

"...මකරාව නැගිට්ටවන්ට ඕන නැහැ නේද..."

රතු පැහැ දොර ඇයට ඉදිරියෙන් එනමුදු ඇයට බොහෝ ඈතින් විය. ඇයව වසාලන්නට තැත්කරමින්, පසුපසින් ඈ දෙසට ඇදෙන සීතල හුස්ම ඇයට හැඟෙන්නට විය. එයට ඇයව අල්ලාගන්නට හැකි වුවහොත් මරණයටත් වඩා බියකරු මරණයක් ඇයට උරුම වනු ඇත. ඇයට සදාකල්ම අන්ධකාරයේ අතපත ගාමින්, වැලපෙමින් ඉන්නට සිදුවනු ඇත. ඇය දුවන්නට පටන් ගත්තාය.

"...මකරාව නැගිට්ටවන්ට ඕන නැහැ නේද..."

තම සිරුර තුළ නැග එන දැඩි උණසුම ඇයට දැනෙන්නට විය. ඒ වනාහි ඇගේ ගැබෙහි ඇවිලෙමින් තිබුනු දැවැන්ත බියකරු අග්නිජාලාවක් විය. ඒ වනාහි ඇගේ පුත්‍රයා - උස්, මාන්නක්කාර, ඩ්‍රෝගෝගේ මෙන් තඹ පැහැති සමකින් හා ඇගේ මෙන් රිදී-රන් පැහැ හිසකෙසින් යුතු, ආමන්ඩ් හැඩැති දම් පැහැ දෑසින් යුතු ඇගේ පුත්‍රයා - විය. ඈ දෙස බලා සිනාසුනු ඔහු ඇය දෙසට දෑත් දිගුකලේය. එනමුදු ඔහු ඇයට කතා කරන්නට මුව විවර කරනවාත් සමගින් අග්නිජාලා ඔහු වටකරමින් පැතිර ගියේය. ඔහුගේ හදවත පිළිස්සූ උණුවන අයුරු ඇය දුටුවාය. ඊළඟ මොහොතේ ඔහු ගින්න තුළ දියව ගියේ ඉටිපන්දම් දැල්ලකට හසුවූ සලබයකු වැනසී, අළු වී යන්නාක් මෙනි. ඇය සිය පුත්‍රයා වෙනුවෙන් හැඬුවාය. ඇගේ තණපුඩුවේ තැවරෙන්නට බලා සිටි ඒ මිහිරි දෙතොල වෙනුවෙන් වැලපුනාය. එනමුදු ඇගේ කඳුළු දෙකොපුලේ ස්පර්ශ වූ වහාම වාෂ්ප වී විසිර ගියේය.

"...මකරාව නැගිට්ටවන්ට ඕන නැහැ නේද..."

ශාලාව දිගටම වියැකී ගිය රජ ඇඳුමෙන් සැරසුනු භූතයෝ පේළි ගැසී බලා සිටියෝය. ඔවුන්ගේ අත්වල ගින්නෙන් තැනුනු අසිපත් විය. ඔවුන්ට රිදී පැහැ හිසකෙස්, රන් පැහැ හිසකෙස් හා ප්ලැටිනම් සුදු පැහැ හිසකෙස් ද උපල, අමතේස්ත, තෝරමල්ලි හා ජේඩ් පැහැති දෑස් ද විය. "හයියෙන්!" ඔවුන් සැවොම කෑගැසූහ. "හයියෙන්! හයියෙන්!" ඇය වේගයෙන් දිවගියාය. ඇගේ දෙපා ගැටුනු ශෛලමය බිම උණු වී ගියේය. "හයියෙන්!" භූතයින් සියල්ලෝම එකාවන්ව කෑගසන්නට වන්හ. වියරුවෙන් කෑගැසූ ඇය තවත් වේගයෙන් දුවන්නට පටන් ගත්තාය. ඇගේ පිටකොන්ද දිගේ පිහියකින් අනින්නාක් මෙන් තියුණු වේදනාවක් මතුවන්නට විය. ඇගේ පිට පුපුරා, සම ඉරිතලා යනු ඇයට ඇසින. උණු වී කැකෑරෙන රුධිරයේ පුසුඹ ඇයට දැනින. දැවැන්ත පියාපත් දෙකක සෙවනැලි ඇයට පෙනින. ඊළඟ මොහොතේ ඩනේරිස් ටාර්ගේරියන් පියාඹන්නට පටන් ගත්තාය.

"...මකරාව නැගිට්ටවන්ට..."

ඉදිරියෙන් වූ රතු පැහැ දොර මේ වනවිට ඇයට ආසන්න වී තිබුනි. තව ටිකයි, තව ටිකයි... ඇය වටා වූ ශාලාව අපැහැදිලි සේයාවක් පමණක් විය. ඇයට පසුපසින් වූ සීතල ඇයව අල්ලාගන්නට ඉදිරියට පැතිර ආවේය. ඊළඟ මොහොතේ ඇයට යටින් වූ ශෛලමය භූමිය නැතිව ගොස් ඇය ඩොත්රැකි තැනිතලාවට ඉහළින් පියාඹමින් සිටියාය. ඉහළටම, තවත් ඉහළටම... ඇයට පහළින් තණපඳුරු මුහුදු රළ මෙන් සුළඟේ ලෙලදුන්නේය. පණැති, හුස්ම ගන්නා සෑම කෙනෙකුම, සෑම දෙයක්ම ඇගේ දසුනට බියෙන් සැඟව පලාගියෝය. ඇයට ගෙදර සුවඳ දැනෙන්නට විය. ඇයට දැන් එය දැකිය හැකි විය. අර තියෙන්නෙ.. රතු දොරට එහායින්... කොළ පැහැ වනාන්තර ද, ගොවිබිම් ද, මිටියාවත් ද, දැවැන්ත ශෛලමය බලකොටු ද, ඇයව වැළඳගෙන උණුසුම් කරන්නට සූදානමින් බලාසිටින දෑත් ද එහි විය. ඇය දොර හැරියාය.

"...මකරාව..."

ඊළඟ මොහොතේ ඇය සිය සොයුරු රේගාර්ව දුටුවාය. ඔහු සිය සන්නාහය තරම්ම කළු පැහැති වූ දැවැන්ත සෛන්ධවයකු පිට නැගී සිටියේය. ඔහුගේ ශිරස්කයෙහි වූ පටු දැස් විවර තුළින් ගින්දර රත් පැහැයෙන් බැබලුනේය. "අන්තිම මකරා." සෙර් ජෝරාගේ මිමිනුම කොහේදෝ ඈතකින් ඇසෙන්නට විය. "අන්තිම.. අන්තිම.." ඩැනී ඔප දමා තිබුනු ඒ කළු පැහැ ශිරස්කයේ මුව වැස්ම ඔසවා විවර කලාය. ඒ තුළ වූ මුහුණ වෙනෙකක් නොව ඇගේම මුහුණ විය.

එයින් පසු බොහෝ වේලාවක් යනතෙක් වේදනාවත්, ඇගේ සිරුර තුළ ඇවිලෙමින් තිබුනු ගින්නත්, තාරකාවන් ගේ මිමිනීමත් හැරෙන්නට අන් යමක් නොවීය.

* * *

ඇය සෙමින් දෑස් විවර කලාය. අවට පරිසරය ගින්නකින් පසු දැනෙන දුම් හා අළු පුසුඹින් සහ රසයෙන් යුතු විය.

"එපා." ඇය වේදනාවෙන් කෙඳිරිගෑවාය. "එපා. අනේ එපා."

"ඛලීසි." ජික්වී බියපත් මුවදෙනක මෙන් ඇයට ඉහළින් එබුනාය.

කූඩාරම සෙවනැල්ලේ ගැලී තිබුනි. අවට සෑමතැනම නිහඬතාව පමණක්ම විය. ගිනිකබලක ඇවිලෙන ගින්නෙන් නගින දුම් හා අළු ඉහළ නගිමින් තිබුනි. ඩැනී ඒ ඔස්සේ දෑස් ගෙනයමින් ඉහළ බැලූයේ ඉහළින් වූ දුම් කවුළුව දුටුවාය. 'පියාඹනවා.' ඇය කල්පනා කලාය. 'මට පියාපත් තිබුනා. මම පියෑඹුවා.' එනමුදු එය සිහිනයක් පමණි. "මට උදවු කරන්ට." නැගිට සිටින්නට යත්න දරමින් ඇය කෙඳිරිගෑවාය. "මට ගේන්ට..." ඇගේ ස්වරය බැරෑඬි වී ගොසිනි; වේදනාවෙන් පිරී ගොසිනි. තමාට උවමනා වූ දේ කුමක්දැයි ඇයට වටහාගත නොහැකි විය. ඇගේ සිරුර මෙතරම් වේදනා ගෙන දෙන්නේ මන්ද? එය හරියටම ඇගේ සිරුර කෑලි කෑලිවලට කඩා නැවත එකතුකර පෑස්සුවාක් වැන්න. "මට ඕන..."

"එහෙමයි ඛලීසි." ඊළඟ මොහොතේ ජික්වී විදුලියක් මෙන් කූඩාරමින් පිටවී කෑගසමින් දිවයන්නට වූවාය. ඩැනීට උවමනා වූයේ යමක්... යමෙක්... කුමක්ද? එය අතිශයින්ම වැදගත් දෙයක් බව පමණක් ඇය දැන සිටියාය. ඒ වනාහි මෙ‍ලොව ඇති වැදගත්ම දෙය, වැදගැම්මකට ඇති එකම දෙය බැව් ඇය දැන සිටියාය. පසෙකට හැරුනු ඇය වැලමිටට බරදී එසවුනාය. පොරෝණය ඇගේ දෙපා වටා පැටලෙමින් ඇයට බාධා කරන්නට විය. සෙලවීම අතිශයින්ම අසීරු කටයුත්තක් විය. මුලු ලොවම මීදුමක් මෙන් ඇය වටා බොඳව යන්නට විය. 'මට...'

ඔවුන් ඇය වෙත පැමිණෙන විට ඇය බිම බුමුතුරුණු දි‍ගේ මකර බිත්තර දෙසට බඩගාමින් හුන්නාය. ඇයව දෝතින් ඔසවාගත් සෙර් ජෝරා නැවත නිදන මෙට්ටය වෙත ඇයව රැගෙන ගියේය. ඇය දුබල අයුරින් ඔහුගෙන් නිදහස් වීමට දැඟලූ නමුදු එය සාර්ථක ප්‍රයත්නයක් නොවීය. ඔහුගේ උරහිසට පිටුපසින් ඇගේ සේවිකාවන් තිදෙනා ද, තුනී උඩු රැවුලකින් යුතු ජෝගෝ ද, පැතැලි පුළුල් මුහුණකින් හෙබි මිරී මාස් ඩූර් ද සිටගෙන සිටිනු ඇය දුටුවාය. "මම..." ඇය ඔවුන්ට වටහා දෙන්නට උත්සාහ කලාය. "මට..."

"...නිදාගන්ට කුමාරි." සෙර් ජෝරා පැවසීය.

"බෑ. අනේ.. අනේ එපා.."

"ඔවු." ඇගේ සිරුර ගිනිගෙන දැවෙමින් තිබුනු නමුදු ඔහු ඇයව සේද රෙද්දකින් වැසුවේය. "නිදාගන්ට. නිදාගෙන ශක්තිමත් වෙලා ආයෙමත් නැගිටින්ට. අපේ පරණ ඛලීසි වෙලා ආයෙමත් අපි අතරට එන්ට." ඊළඟ මොහොතේ ඇය අසලට පැමිණි යක්දෙස්සි, මිරී මාස් ඩූර් ඇගේ මුවට කෝප්පයක් ලංකලේය. ඇයට ඇඹුල් කිරි රසද තවත් කුමක්දෝ අමුතු රසයක් ද දැනෙන්නට විය. කුමක් හෝ තිත්ත, උකු දියරයක්! ඇගේ නිකට දිගේ උණුසුම් දියර ගලා යන්නට වූ නමුදු ඇය ආයාසයෙන් ඒ දියරය ගිල දැමුවාය. කූඩාරම කෙමෙන් අඳුරු වී යන්නට විය. නින්ද නැවත ඇය වෙත පැමිණියේය. එනමුදු මේ වතාවේ ඇය කිසිදු සිහිනයක් නොදුටුවාය. ඒ වෙනුවට කිසිදු වෙරළක් නොමැති, කළු පැහැ මුහුදක සතුටින්, සාමයෙන් හා ශාන්තභාවයෙන් යුතුව පාවුනාය.

* * *

බොහෝ වේලාවකට පසුව - ඒ එක් රැයක් ද එක් දවසක් ද නැතිනම් එක් වසරක් ද කීමට ඇය නොදත්තා ය - ඩැනී නැවත අවදිවූවාය. කූඩාරම අන්ධකාරයේ ගැලී තිබින. පිටත හමන සුළඟ නිසා එහි පැළැලි පියාපත් මෙන් සැලෙමින් තිබින. මෙවර ඇය නැගීසිටීමට කිසිදු උත්සාහයක් නොදැරුවාය. "ඉරී." ඇය හඬගෑවාය. "ජික්වී. ඩෝරියා." ඔවුහු විගස එහි පැමිණියහ. "මගේ උගුර වේලිලා. හොඳටම වේලිලා ගිහිල්ලා." ඔවුන් ඇයට පානය පිණිස දිය ගෙන ආවෝය. ඒ ඇල්මැරුනු, නීරස ජලය වුවද ඇය මහත් ආසාවෙන් දිය බීවාය. ඉන්පසු තවත් දියපොදක් වෙනුවෙන් ජික්වීව පිටත් කර හැරියාය. රෙදි කැබැල්ලක් දියෙන් පෙඟවූ ඉරී එයින් ඇගේ නළල පිරිමැද්දාය. "මම අසනීප වෙලා හිටියා." ඩැනී කීවාය. ඩොත්රැකි දැරිය එකඟවෙමින් හිස වැනුවාය. "කොච්චර කාලයක්ද?" රෙදි කැබැල්ල සුවදායක විය. එනමුදු ඉරී වෙතින් දැඩි දුක්බර බවක් පෙන්නුම් කෙරුනු අතර ඩැනී එයින් බියපත් වූවාය. "ගොඩක් කල්." ඇය මිමිනුවාය‍. ජික්වී නැවත දිය රැගෙන පැමිණි විට ඇයත් සමග මිරී මාස් ඩූර් ද විය. ඇගේ දෑස් නිදිමතින් බර වී තිබින. "බොන්ට." ඇය කීවේ නැවත වරක් ඩැනීගේ මුවට කෝප්පයක් ලංකරමිනි. එනමුදු මේ වතාවේ එහි වූයේ වයින් විය. මිහිරි වයින් විය. වයින් සියල්ල බී හමාර කල ඩැනී නැවත පසුපසට බර වී සිය රිද්මයානුකූල හුස්ම වැටීමට කණ් දුන්නාය. නැවතත් නින්ද ඇය කරා පැමිණෙද්දී සිය අත් පා වල බර ගතිය ඇයට දැනෙන්නට විය. "මට ගේන්ට..." ඇය මිමිනුවාය. ඇගේ කටහඬ නිදිබර හා අපැහැදිලි විය. "ගේන්ට... මට තියාගන්ට ඕන..."

"ඔවු?" යක්දෙස්සිය ඇසුවාය. "ඔබට මොකක්ද ඕන ඛලීසි?"

"මට ගේන්ට... බිත්තරයක්... මකර බිත්තරයක්... අනේ..." ඇගේ ඇසිපිය ඊයම් බරු මෙන් බරවන්නට විය. ඒවා නැවත ඔසවාගන්නට තරම් ඇය දුර්වල වැඩි විය.

ඇය තෙවන වර නැවත අවදි වන විට රන්වන් හිරුකිරණ තීරුවක් ඉහළින් වූ දුම් කවුළුව තුළින් කූඩාරම තුළට වැටී තිබින. ඇගේ දෑත් මකර බිත්තරයක් වටා වෙලී එය වැළැඳගෙන සිටියේය. ඒ වනාහි ලා පැහැ, බටර් ක්‍රීම් පැහැති කොරපොතු හා රන් පැහැයෙන් හා ලෝකඩ පැහැයෙන් සුළි වැටුනු බිත්තරය විය. ඩැනීට එයින් නගින උණුසුම දැනෙන්නට විය. ඇය සිරුර වසා සිටි සේද පොරෝණයට යටින් ඇගේ නිරුවත් සම මත යාන්තමින් දහදිය දමා තිබුනි. 'මකරපින්න.' ඇය කල්පනා කලාය. ඇගේ අතැඟිලි බිත්තර කටුව මත මෘදුව එහා මෙහා යමින් එහි වූ රන්වන් සුළි පිරිමදින්නට විය‍. ඇගේ මේ පිරිමැදීමට ප්‍රතිචාරයක් වශයෙන් බිත්තරය තුළ ගැඹුරේ වූ යම්දෙයක් ඇඹරෙනු දිගහැරෙනු ඇයට දැනුනි. එනමුදු ඇයව බියපත් කරන්නට එය සමත් නොවීය. ඇගේ සිතේ වූ සියලු බිය තුරන්ව ගොසිනි. ගින්නෙන් පිළිස්සී ගොසිනි.

ඩැනී සිය නළල පිරිමැද්දාය. තුනී දහදිය ස්ථරයට යටින් ඇගේ සම ස්පර්ශයට සීතල විය. ඇගේ උණ බැස ගොස් තිබින. ඇය නැගිට හිදගත්තා ය. එක් මොහොතකට ඇයට සුළු ක්ලාන්ත ගතියක් දැනුනු අතර ඇගේ දෙකළවා අතර දැඩි වේදනාවක් ද විය. එනමුදු ඇයට මීට පෙර නොවූ විරූ ශක්තිමක් බවක් දැනෙන්නට විය. ඇගේ කටහඬ ඇසුනු විගස සේවිකාවෝ දිව ආවෝය. "වතුර. වතුර ගුරුලේත්තුවක් ගේන්ට. හොයාගන්ට පුළුවන් සීතලම වතුර නම් තවත් හොඳයි. ඒ වගේම පළතුරු ටිකකුත්. මම හිතන්නෙ ඉඳි හොඳයි."

"එහෙමයි ඛලීසි."

"මට ඕන සෙර් ජෝරා." ඇය නැගී සිටිමින් පැවසුවාය. සේද ලෝගුවක් රැගෙන ආ ජික්වී එය ඇ‍ගේ දෙවුර මතින් පෙරෙවුවාය. "නාන්ට උණු වතුරත් ඕන. මිරී මාස් ඩූර්ටත් එන්ට කියන්ට. ඒත් එක්කම..." අසුරු සැනකදී පෙර මතකය සියල්ල පෙරලා පැමිණි අතර ඇගේ කතාව ඇණ සිටියේය. "ඛාල් ඩ්‍රෝගෝ." ඇය අමාරුවෙන් කියා ගත්තාය. ඇය භීතියෙන් යුතුව ඔවුන්ගේ මුහුණු පිරික්සා බැලුවාය. "එයා..?"

"ඛාල් ජීවත් වෙනවා." ඉරී ඕනෑවටත් වඩා ඉක්මනින් පිළිතුරු දුන්නාය. එනමුදු මේ වදන් පවසද්දී ඇගේ දෑසෙහි වූ අන්ධකාරයක සේයාවක් ඩැනී දුටුවාය. මේ වදන් තෙපලූ සැනින් හනික ආපසු හැරුනු ඇය දිය ගෙන ඒම පිණිස පිටව ගියාය.

ඇය ඩෝරියා දෙසට හැරුනාය. "මට කියන්ට."

"අ... මම ගිහින් සෙර් ජෝරාව එක්කරන් එන්නම්." ඇයට හිස නැමූ ලයිසෙනී තරුණිය කඩිමුඩියේම කූඩාරමෙන් පිටතට පැනගත්තා ය.

ජික්වී ද පැන දුවන්නට ඉඩ තිබූ නමුදු ඇගේ මැණික්කටුව අසලින් අල්ලාගත් ඩැනී ඇයව සිය ග්‍රහණයට ගත්තාය. "මොකක්ද මේ? මට දැනගන්ට ඕන. ඩ්‍රෝගෝ... මගේ දරුවා." ඇයට මේ වනතෙක් ඇගේ දරුවා ගැන සිහියට නොනැගුනේ මන්ද? "මගේ පුතා... රේ‍ගෝ... කෝ එයා? මට එයාව ඕන."

සේවිකාව දෑස් බිමට නැඹුරු කරගත්තා ය. "දරුවා... එයා ජීවත් වුනේ නෑ ඛලීසි." ඇගේ ස්වරය බියෙන් තැතිගත් කෙඳිරුමක් බඳු විය.

ඩැනී ඇගේ මැණික්කටුව මත වූ ග්‍රහණය මුදා හැරියාය. 'මගේ පුතා මැරිලා!' ජික්වී කූඩාරමෙන් පිටතට පැනගද්දී ඇය විමතියෙන් කල්පනා කලාය. කෙසේ හෝ ඇය මේ බැව් කලින්ම දැන සිටියාය. පළමු වර නින්දෙන් අවදිවද්දීම ඇය මේ බැව් දැන සිටියාය. නැත නැත.. ඒ නින්දෙන් අවදිවීමට පෙරාතුවම ඇය ඒ බැව් දැන සිටියාය. තමා දුටු සිහිනය විචිත්‍රවත් පැහැදිළිවත් හදිසියේම යළි ඇගේ සිහියට ආයේය. තඹ පැහැ සමින් හා රිදී-රන් පැහැ කෙස් කළඹින් යුතු උස් මිනිසා ගිනිගෙන දැවුනු සැටි ඇයට සිහිපත් විය.

තමා වැලපිය යුතු බැව් ඩැනී දැන සිටියද ඇගේ දෑස් අළු මෙන් වියළි විය. ඇය සිය සිහිනය තුළදී හඬා වැලපී තිබුනු අතර ඇ‍ගේ දෑසින් ගැලූ කඳුළු කම්මුල් මත ස්පර්ශ වූ වහාම වාෂ්ප වී ගියේය. 'ඔක්කොම දුක සංකා පිචිචිලා මගෙන් අයින් වෙලා ගිහිල්ලා!' ඇය තමාටම කියාගත්තා ය. ඇයට දුකක් දැනුනු බව සැබැවකි. එනමුදු... රේගෝ ඇගේ දිවියෙන් ඉවතට නැඹුරු වන ආකාරය ඇයට හැඟුනි. එය හරියටම ඔහු කිසිදා ඇගේ දිවියේ කොටසක් නොවූවාක් මෙනි.


Mirri Maz Duur: “Look and see what life is worth, when all the rest is gone.”

34 comments:

  1. හය්යූ ඩැන්....
    අර පිස්සු ඩෑල් එක ඛාල් ඊළගට හොනව දොඩවයිද කව්ද දන්නෙ
    එයාට ත් වෙච්ච දෙයක්...
    අනේ මංද හය්යූ

    ReplyDelete
    Replies
    1. මොකද බං කොළඹ හතේ නෝනා කෙනෙක් මිරිස් කාලා වගේ හය්යූ.. හය්යූ.. ගාන්නෙ? :-O

      Delete
    2. මේ දවස් වල සැර වැඩි මිරිස් කාල ඤාව් වෙලා තියෙන්නෙ...
      හය්යූ...........

      Delete
    3. මට නම් හිතුනේ මහේෂ් මොනවා හරි බීලා කියලනේ...:P

      Delete
  2. Replies
    1. නාඬ ඉඳින් කොලුවො.. ජීවිතේ හැටි ඔ‍හොම තමා..

      අර නැට්ට නැති උන්නාන්සෙගෙන් හෝදපු අමුඩ ලේන්සුවක්වත් ඉල්ලලා දෙන්ටද කඳුළු පිහදාගන්ට..

      Delete
    2. හැබෑට පොම්ට අඬන්ට වෙන දෙයක් ඇත්තෙම නැද්ද? කෙල්ල එක්ක රන්ඩුවක් අල්ලන්ටකෝ අප්පා...:P

      Delete
    3. පොම් සාමාන්යයෙන් අඬන්නෙනම් එයත් එක්ක රණ්ඩුවක් නැතිවුනාම. පොම් කරබාගෙන තාර පාරෙ කඩ ඉර වාගේ හිනාව දාගෙන බැනුම් අහගෙන ඉන්න එකට කියන්නෙ රණ්ඩුවක් කියලද P?

      Delete
    4. අනේ පව් මට මැවිලා පේනවා හිනාව...හී හී...

      Delete
    5. රූකඩවලටනම් ටියුබ් එකකින් තමයි කඳුලු එවන්න වෙන්නෙ. එතකොට ඒක මිරකල් වෙලා සේන්ට් බුරතීනෝ -the patron saint of puppets and manic secrecy !!! eh PoM?

      Delete
    6. Come to think of it, this female worship of an unknown, unseen, unidentified, unproven self-proclaimed wooden puppet is so much like religion.

      Hmmm, anybody for a theological discussion of the St. Buratheno cult?

      Delete
    7. //this female worship of an unknown, unseen, unidentified, unproven self-proclaimed wooden puppet is so much like religion. //

      who are these ladies that worship the puppet?

      //හැබෑට පොම්ට අඬන්ට වෙන දෙයක් ඇත්තෙම නැද්ද? කෙල්ල එක්ක රන්ඩුවක් අල්ලන්ටකෝ අප්පා...:P //

      we had a nuclear war this morning. feeling quite alive. thanx :P

      Delete
    8. //this female worship of an unknown, unseen, unidentified, unproven self-proclaimed wooden puppet is so much like religion. //

      Binge drinking Pra? :P

      Delete
    9. @P,
      Actually, for the life of me, I can not understand how these ladies, unless in a high state of intoxication, worship the very screen St. Bur has trodden by way of his words but, "the female mind is unfathomable" a Prince constantly whines and moans.

      Delete
  3. හම්මෝ කමෙන්ට්ස් ගොඩනේ. ඉඳලා ඉඳලා ආවාම හිතාගන්ටත් බැරි තරම්... :O :D

    ReplyDelete
  4. ඩනේරිස් පව් කියල හිතෙනවා. ඒ වුණාට එයාගෙ චරිතය ගොඩ නැගෙන විදිය මාරයි. දිරිය කාන්තාවක්.

    ReplyDelete
    Replies

    1. ඔව් සිඳු. කතාවේ අන්තිමේදි ඒක තවත් ඔප්පු වෙනවා...

      Delete
  5. හ්ම්,
    අනේ ඉතින් මොනවා කරන්නද ඒ දරුවා?

    ReplyDelete
    Replies
    1. ඔයාට නම් කමෙන්ට් දාගන්ටත් බැරි තරම් දුකයිලු නේද මනෝජ්?

      Delete
  6. “Look and see what life is worth, when all the rest is gone.” Very True Poddi.
    We are what we think. All that we are arises with our thoughts. With our thoughts, we make the world.
    Buddha

    ReplyDelete
    Replies
    1. //The mind is everything. What you think you become.//

      මේ කියමනත් ආවා ඔලුවට චන්දි. ගොඩක් ස්තූතියි මේ පැත්තේ ආවට. ඔයා මේ කතාව කියවනවා කියලා දැනගෙන හිටියේ නෑ. :)

      Delete
  7. මට අග කියවනකොට මුල් නම් අමතක වෙනවා.

    ReplyDelete
    Replies
    1. අගට යනකොට මුල අමතක වෙන එක හැමෝටම වෙනවලු...:P

      Delete
  8. ඉතාම නාටකීය අවස්ථා ඉදිරිපත් කිරීමක්. කතාවට අදාළ දර්ශන පෙළ නොබැලු කෙනෙකුට වුනත් හොඳ චිත්ත රූපයක් මැවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ වුනත් දැන් දැන් මාර්ටින් මරන්ට තරම් හිතෙන අයත් ඉන්නවලු. :P

      Delete
  9. මම මේ කොටසයි මම හිතන්නේ ඊලගට ලියන්න තියෙන එකයි වෙන්න ඕන ටීවී එකේ අහම්බෙන් වගේ බැළුවලු හොදේ.. ;-)

    ReplyDelete
    Replies
    1. අනේ මාර නරක කෙනෙක්නේ...:D

      Delete
  10. අද කොටසෙ හීන විතරයි. කන්න දෙයක් ඇත්තෙත් නෑ. දුකම තමයි

    ReplyDelete
    Replies
    1. කන එකයි නිදන එකයි ඇර මේ මොටාට වෙන වැඩක් ඇත්තෙම නැද්ද?:P

      Delete
  11. හ්ම්ම්. ඒකත් එහෙම උනා එහෙනම් .

    ReplyDelete
  12. සෙර් ජෝර එයිනෙ විස්තරෙත් අරගෙන හෙට උදෙන්ම

    ReplyDelete
    Replies
    1. උදෙන්ම එන්ට ඕනද? බුවාට ටිකක් දවල් වෙනකං නිදාගන්ට බැරි වෙයිද? :-O

      Delete
  13. ආ මෙයා නැගිටලා ඉන්නේ.. අපරාදේ තව ටිකක් එහෙමම ඉන්ට තිබ්බේ..

    ReplyDelete