Wednesday, 11 March 2015

ඩනේරිස් 08-2


ඩැනී නැවත මිරී මාස් ඩූර් වෙත හැරුනාය. ගැහැණියගේ දෑස් පරීක්ෂාකාරී විය. "ඉතින් එහෙනම් ඔබ ආයෙත් වතාවක් මාව බේරගත්තා."

"ඉතින් දැන් ඔබ එයාව බේරගන්ට ඕන. අනේ කරුනාකරලා."

"ඔබ වහලෙකුගෙන් අහන්නෙ නෑ." මිරී තියුණු ස්වරයෙන් පිළිතුරු දුන්නාය. "ඔබ අණ කරනවා." පැදුර මත බෑවි උණෙන් පෙලෙමින් සිටි ඩ්‍රෝගෝ වෙතට ගිය ඇය ඔහු‍ගේ තුවාලය බොහෝ වේලාවක් පිරික්සා බැලුවාය. "ඇහුවත් කිවුවත් දැන් ඒකෙන් වැඩක් වෙන්නෙ නැති ගානයි. එයා දැන් සුවකරන්නන්ගෙ හැකියාවෙන් එහා ගිහිල්ලා." ඇය වැසී තිබුනු ඛාල්ගේ ඇසක් අතැඟිලිවලින් විවර කලාය. "එයා පොපි යුෂ බීලා වේදනාව මැඩ පවත්වගෙන ඉඳලා තියෙනවා."

"ඔවු." ඩැනී පිළිගත්තාය.

මම ගිනි කරලුයි, බූව කොළයි අඹරලා ආලේපයක් හදලා බැටළු හමකින් තුවාලෙට තියලා බැන්දා."

"එයා කිවුවා ඒක දැවිල්ලයි කියලා. එයා ඒක ඉරලා විසි කලා. ඔසු ගෑනු එයාට අලුත් ආලේපයක් හදලා දුන්නා. හොඳ තෙත් සනීප එකක්."

"ඒක දැවිල්ලයි. ඔවු. ගින්දරේ ලොකු මායා බලයක් තියෙනවා තුවාල හොඳ කරන්ට පුළුවන්. ඔබලාගෙ නපුංසකයො පවා ඒක දන්නවා."

"එයාට තවත් ආලේපයක් හදලා දෙන්ට." ඩැනී ආයාචනා කලාය. "මේ ගමන එයා ඒක දිගටම පැළැඳගෙන ඉන්නවයි කියලා මම සහතික වෙන්නම්."

"ඒකට දැන් කල් ගිහින් වැඩියි ම‍ගේ ආර්යාවනි. දැන් මට කරන්ට පුළුවන් එකම දේ එයාට යන්ට තියෙන අන්ධකාර පාර සුවපහසු කරලා දෙන එක විතරයි. එයා එතකොට වේදනාවක් නැතුව නිශා ලෝකෙට යන්ට යයි‍. උදේ වෙද්දි එයා ගිහින් තියෙයි."

ඇගේ වදන් පිහි පහරවල් මෙන් ඩැනීගේ හදවත පසා කලේය. දෙවියන් මෙතරම් නපුරු වන්නට, මෙතරම් කුරිරු වන්නට ඇය සිදු කල වරද කුමක්ද? ඇය මෙතෙක් ගෙවූ දුක්ඛිත දිවිය නිමා කර අන්තිමේදී වාසය පිණිස ආරක්ෂාකාරී ස්ථානයක් සොයාගත්තා පමණි. අන්තිමේදී ආදරය හා බලාපොරොත්තුව ළඟාකරගත්තා පමණි. අන්තිමේදී නැවත ගෙදර යන්නට පටන්ගත්තා පමණි. ඉදින් දැන් මේ සියල්ලක්ම නැති කරගන්නට... "නෑ." ඇය ආයාචනා කලාය. "එයාව බේරගන්ට. එතකොට මම ඔබව නිදහස් කරන්නම්. මම දිවුරනවා. ඔබ මොකක් හරි ක්‍රමයක් දන්නවා වෙන්ට ඕන... මොකක් හරි මායා බලයක්... මොකක් හරි..."

බිම වාඩිගත් මිරී මාස් ඩූර් රාත්‍රිය මෙන් කළු පැහැ දෑසින් ඩැනීව නිරීක්ෂණය කලාය. "එක හූනියමක් තියෙනවා." ඇගේ ස්වරය කෙඳිරීමක් තරම් පහත් විය. "ඒ වුනත් ඒක හරිම අමාරු දෙයක් ආර්යාවනි. ඒ වගේම ඒක මහ නපුරු දෙයක්. සමහරු කියනවා මරණය ඊට වඩා පිරිසුදු දෙයක්ය කියලා. මම මේක ඉගෙනගත්තෙ අෂයීවල ඉන්න කාලෙ. ඒ වගේම ඒ පාඩම වෙනුවෙන් මම කියලා නිම කරන්ට බැරි තරමේ මිලක් ගෙවුවා. මගේ ගුරුවරයා වුනේ හෙවනැලි දේශයෙන් ආපු ලේ යකැදුරෙක්."

ඩැනීගේ සියොලඟම සීතල වී ගියේය. "ඒ කියන්නෙ ඇත්තටම ඔබ යක්දෙස්සියක්."

"එහෙමද?" මිරී මාස් ඩූර් සිනාසුනාය. "ඔබේ මේ අසරුවාව බේරගන්ට පුළුවන් දැන් ඉතින් යක්දෙස්සියකටම විතරයි රිදී ආර්යාවනි."

"වෙන කිසි ක්‍රමයක් නැද්ද?"

"කිසිම ක්‍රමයක් නෑ."

ඛාල් ඩ්‍රෝගෝ අසීරුවෙන් හුස්මක් ඇද්දේය.

"ඒක කරන්ට." ඩැනීගේ දෙතොල් අතරින් පිටවිය. ඇය බිය විය යුතු නොවේ. ඇය මකරාගේ රුධිරයයි. "එයාව බේරගන්ට."

"ඒ වෙනුවෙන් මිලක් ගෙවන්ට ඕන." යක්දෙස්සිය අනතුරු ඇඟෙවුවාය.

"ඔබට ඕන දෙයක්. රත්තරන්. අශ්වයො."

"රත්තරන්වලින්වත් අශ්වයොන්ගෙන්වත් වැඩක් නෑ. මේ ඇවිල්ලා ලෙයින් කරන හූනියමක් ආර්යාවනි. ජීවිතය වෙනුවෙන් මිලක් ගෙවන්ට පුළුවන් මරණයෙන් විතරයි."

"මරණයෙන්?" සිය දෑත් සිරුර වටා යවා තමාවම වැළැඳගත් ඩැනී දෙපා මත පැද්දුනාය. "මගේ මරණයෙන් ද?" ඔහු වෙනුවෙන් මිය යා යුතු නම් තමා ඊටද සූදානම් බැව් ඇය තමාටම කියාගත්තා ය. ඇය මකරාගේ රුධිරයයි. ඇය බිය විය යුතු නොවේ. ඇගේ සොහොයුරා රේගාර් තමා ආදරය කල කාන්තාව වෙනුවෙන් දිවි පිදුවාය.

"නෑ." මිරී මාස් ඩූර් පිළිණ දුන්නාය. "ඔබේ මරණය නෙවෙයි ඛලීසි."

ලද සහනය නිසා ඩැනී වෙවුලුවාය. "ඒක කරන්ට."

යක්දෙස්සිය සන්සුන් අයුරින් හිස වැනුවාය. "ඔබ කියන විදියක්. එහෙමනං ඒක එහෙම වෙච්චාවෙ. ඔබේ සේවකයින්ට කතා කරන්ට."

රඛාරෝ සහ ක්වාරෝ එක්ව ඛාල් ඩ්‍රෝගෝව නාන බාල්දියට බහාලද්දී ඔහු දුබල ලෙස වේදනාවෙන් ඇඹරුනේය. "නෑ." ඔහු කටුකුටු ගෑවේය. "නෑ. යන්ට ඕන." එනමුදු දියට බහා ලූ සැනින් ඔහු සතු සියලු ශක්තිය සිඳී ගියාක් වැනි විය.

"එයාගෙ අශ්වයාව ගේන්ට." මිරී මාස් ඩූර් අණකලාය. ඒ අණ එලෙසින්ම ඉටුවිනි. ජෝගෝ දැවැන්ත රතු පැහැ සෛන්ධවයා කූඩාරම තුළට දක්කාගෙන ආවේය. මරණයේ ඉව දැනුනු සත්ත්වයා දෑස් කරකවමින්, කෑගසමින් පසුබසින්නට තැත්කලේය. ඌව යටපත් කරගන්නට මිනිසුන් තිදෙනෙකුගේ සහය අවශ්‍ය විය.

"ඔබ මොකක්ද දැන් කරන්ට බලාපොරොත්තු වෙන්නෙ?" ඩැනී ඇගෙන් විමසුවාය.

"අපට උගේ ලේ ඕන." මිරී පිළිතුරු දුන්නාය. "ඒක තමා ක්‍රමේ."

සිය අරඛ් එකට අත යවමින් ජෝගෝ වහා පසුපසට ඇදුනි. ඔහු දහසය වැනි වියේ වූ, කසයක් මෙන් සිහින්, නිර්භය, නිතරම සිනාසෙන ගැටවරයෙකු විය. ඔහුගේ පළමු උඩුරැවුල සිහින් රේඛාවක් මෙන් උඩු‍තොලට ඉහළින් යාන්තමට මතුවන්නට ගත්තා පමණි. ඔහු ඇය පසෙකින් දණින් වැටුනි. "ඛලීසි. ඔබ මේක කරන්ට හොඳ නෑ. මට මේ යක්දෙස්සිව මරලා දාන්ට ඉඩදෙන්ට." ඔහු අයැද සිටියේය.

"එයාව මැරුවා කියන්නෙ උඹේ ඛාලුත් මරලා දැම්මා වගේ තමා."

"මේ ලේ යකැදුරුකම්. මේවා කරන්ට තහනම්."

"මමයි ඛලීසි. මම කියනවා ඒක තහනම් නැහැයි කියලා. වයෙස් ඩොත්රැක්වලදි ඛාල් ඩ්‍රෝගෝ අශ්වයෙක්ව මරලා මට උගේ හදවත කන්ට දුන්නා. අපේ පුතාට ශක්තියයි ධෛර්‍යයයි ලැබෙන්ටයි කියලා. මේකත් ඒ වගේ ‍දෙයක් තමා."

රඛාරෝ, ක්වාරෝ හා අග්ගෝ එකතුව අශ්වයාව ඛාල්ව බහා ලූ නාන බාල්දිය අසලට රැගෙන එද්දී ඌ පයින් ගසමින් ඔවුන්ගෙන් මිදෙන්නට තැත්ක‍ලේය. ඛාල් දැනටමත් මියගිය එකෙකු මෙන් දිය මත පාවෙමින් හුන් අතර ඔහුගේ තුවාලයෙන් වැගිරුනු කුණු ලෙයින් හා සැරවයෙන් දිය අපවිත්‍ර විය. මිරී මාස් ඩූර් ඩැනීට වටහාගත නුහුන කුමක්දෝ භාෂාවකින් මතුරන්ට පටන්ගෙන තිබින. ඊළඟ මොහොතේ ඇගේ සුරතට පිහියක් පැමිණියේය. එය කොහෙන් කෙසේ ආවාදැයි ඩැනීට නිනවුවක් නොවීය. ගසක කොළයක හැඩය ගත්, රත් පැහැ ලෝකඩයෙන් නිමවූ පැරැණි ආයුධයක් වූ එහි තලයේ පුරාණ රූපාක්ෂර කොටා තිබින. යක්දෙස්සිය අසුගේ ගෙල වටා පිහිය ඇද්දාය. රත් පැහැ දිය දහරාවක් මෙන් රුධිරය පිටතට විදිද්දී අසු කෑගසමින් වෙවුලන්නට විය. ඇගේ ඛාස් එකේ සෙබළුන් විසින් ඔසවාගෙන නොසිටින්නට ඌ බිම ඇද වැටෙනු නිසැක විය. "අශ්වයාගේ ශක්තිය අසරුවාට ගලන්ට." අශ්ව රුධිරය නාන බාල්දියේ වූ දිය හා මුසුවද්දී මිරී ගායනා කලාය. "අශ්වයාගේ ශක්තිය අසරුවාට ගලන්ට."

අශ්වයා‍ගේ බරින් මිරිකී සිටි ජෝගෝ බියෙන් ත්‍රස්ත වී ගිය බවක් පෙනෙන්නට තිබුනි. මළකඳකට කර ගසන්නට වීම ගැන මෙන්ම එය අතහරින්නට ද ඔහු එක සේ බිය වූ බවක් පෙනුනි. 'ඒ නිකම්ම අශ්වයෙක් විතරයි.' ඩැනී සිතුවාය. අශ්වයකුගේ මරණය විසින් ඩ්‍රෝගෝට නැවත පණ උපද්දවන්නට සමත් වන්නේනම් ඇය එමෙන් දහස් ගුණයක් වුව මිල ගෙවනු ඇත.

* * *

අන්තිමේදී ඔවුන් අසු බිම අතහරින විට නාන බාල්දිය රුධිරයෙන් පිරී තද රත් පැහැ වී තිබුනු අතර ඩ්‍රෝගෝගේ මුහුණ හැර අන් යමක් දැකිය නොහැකි විය. මිරී මාස් ඩූර්ට මළකඳෙන් ඵලක් නොමැති විය. "ඌව පුච්චන්ට." ඩැනී ඔවුන්ට කීවාය. සම්ප්‍රදාය අනුව සිදුවිය යුත්තේ එය බව ඩැනී දැන සිටියාය. මිනිසකු මියගිය විට ඔහුගේ අශ්වයාද මරා ආදාහන සෑය යටින් තබනුයේ ඔහුව නිශා ලෝකයට කැඳවාගෙන යනු පිණිස විය. ඇගේ ඛාස් එකේ සෙබළුන් විසින් අශ්ව මළකඳ කූඩාරමෙන් පිටතට ඇදගෙන යනු ලැබින. රුධිරය දසත තැවරුනි. සේද රෙද්දෙන් කල කූඩාරම් බිත්ති පවා රත් පැහැයෙන් පින්තාරු වී තිබුනු අතර පයට යටින් වූ බුමුතුරුණු කළු පැහැ වී ඇලෙමින් තිබුනි.

ගිනිකබල් දැල්වින. මිරී මාස් ඩූර් ගල්අඟුරු මතට යම් රතු කුඩක් විසිකල අතර එයින් නැගෙන දුමට ප්‍රසන්න කුළුබඩු සුවඳක් එක් විය. එනමුදු ඉරෝආ කඳුළු සලමින් කූඩාරමෙන් පිටතට දිවගිය අතර ඩැනීගේ සිතට බියක් දැනෙන්නට විය. කෙසේ වුවද දැන් ආපසු හැරෙන්නට නොහැකි තරම් දුරක් ඇය පියමැන අවසානය. ඇය සිය සේවිකාවන් ඉවත යැවුවාය. "එයාලත් එක්ක ඔබත් යන්ට රිදී ආර්යාවනි." මිරී මාස් ඩූර් පැවසුවාය.

"මම ඉන්නවා. මේ මිනිහා අහසේ තරු යටදි මාව එයාගෙ බිරිඳ කරගත්තා. මට එයාගෙ දරුවෙක් දුන්නා. මම එයාව දාලා යන්නෙ නැහැ."

"ඔබ යන්ට ඕනමයි. මම ගීතිකා ගායනා කරන්ට පටන්ගත්තට පස්සෙ කිසිම කෙනෙකුට මේ කූඩාරමට ඇතුළුවෙන්ට බෑ. මගේ ගීතිකා නිසා බොහොම පුරාණ, බොහොම භයානක බලවේගවලට පණ එනවා. අද රෑ මේ කූඩාරම ඇතුළෙ මළවුන් නටයි. කිසිම පණ ඇති මිනිහෙක් එයාලා දිහා බලන එක සුදුසු නෑ."

කිසිදු පිළිසරණක් නොමැති වූ ඩැනී හිස නැමුවාය. "කිසිම කෙනෙක් ඇතුළුවෙන එකක් නැහැ." නාන බාල්දියට උඩින් පාත් වූ ඇය ඩ්‍රෝගෝගේ නළල සැහැල්ලු ලෙස සිපගත්තා ය. "එයාව ආපහු මට ලබාදෙන්ට." කූඩාරමෙන් පිටවීමට පෙර ඇය මිරී මාස් ඩූර්ට කොඳුලාය.

* * *

පිටත හිරු ක්ෂිතිජය අබිසයටම පාහේ බැසගොස් තිබුනු අතර අහස රත් පැහැ විය. ඛලසාරය කඳවුරු බැඳ තිබින. ඇසට හසුවන මානය ‍තෙක් කූඩාරම් ද නිදන පැදුරු ද විසිර පැවතින. උණුසුම් සුළඟක් හමන්නට විය. ජෝගෝ සහ අග්ගෝ නොගැඹුරු වලක් සාරමින් සිටියේ මළ අසු දවනු පිණිස විය. ඩැනී වටා රැස් වූ පිරිසක් ඔවුන්ගේ දැඩි, කළු පැහැ දෑස්වලින් ඇය දෙස බලා සිටින්නට වූහ. ඔවුන්ගේ මුහුණු තඹයෙන් කල වෙස්මුහුණු මෙන් කිසිදු හැඟීමකින් තොර විය. සිය සම් ආවරණයන්ගෙන් හා සන්නාහයෙන් සැරසුනු, නළල පුරා දහදිය නැගි සෙර් ජෝරා මෝර්මන්ට්ව ඇය දුටුවාය. ඩොත්රැකියන් පීරමින් ඉදිරියට පැමිණි ඔහු ඇගේ පසෙකින් නතර විය. ඇගේ බූට්ස් සපත්තුවල අඩිය විසින් බිම මත ඇතිකර තිබුනු රත් පැහැ පා සලකුණු දුටු විට ඔහුගේ මුහුණ සුදුමැලි වී ගියේය. "උඹ මොකක්ද මේ කලේ? උඹ පුංචි මෝඩි." ඔහු රළු ස්වරයෙන් ඇසුවේය.

"මට එයාව බේරගන්ට ඕන වුනා."

"අපට ලේසියෙන්ම පැනලා යන්ට තිබුනා. මට ඔබව පරෙස්සමින් අෂයීවල‍ට එක්කරන් යන්ට තිබුනා කුමාරි. මෙහෙම දෙයක් කරන්ට කිසිම උවමනාවක් තිබුනෙ නැහැ..."

"මම ඇත්තටම ඔබේ කුමාරිද?"

"ඔබ දන්නවනෙ ඒක. දෙයියො අපි දෙන්නවම බේරන්ට."

"එහෙමනම් දැන් මට උදවු කරන්ට."

සෙර් ජෝරා මුහුණ පුලුටු කරගත්තේය. "මම දන්නෙ නෑ කොහොමද උදවු කරන්ට ඕන කියලා."

මිරී මාස් ඩූර්ගේ ස්වරය උස්, බෙරිහන්දෙන විලාපයක් බවට පත්වූ අතර ඩැනීගේ කොඳුඇටපෙළ දිගේ සීතල වෙවුලුමක් දිවගියේය. එකිනෙකාට කටුකුටු ගාන්නට පටන්ගත් සමහර ඩොත්රැකියෝ පසුබා ඉවත යන්නට වූහ. ඇතුළත වූ ගිනිකබල්වල ආළෝකයෙන් කූඩාරම උජ්වලිත වී තිබින. ලේ පැල්ලම් වැකුනු සුදුපැහැ සේද රෙදි අතරින් සෙවනැලි එහාමෙහා යනු ඇයට දැකිය හැකි විය.

මිරී මාස් ඩූර් නටමින් සිටියාය. එනමුදු ඒ තනිවම නොවේ.

‍ඩොත්රැකියන් ගේ මුහුණු මත ඇඳුනු බිය ඩැනී පැහැදිලිවම දුටුවාය. "මේක වෙන්ට දෙන්ට බෑ." ක්වෝතෝ ගිගිරුවේය. රුධිරාරක්ෂකයා ගේ මේ පුනරාගමනය ඇය නොදුටුවක් විය. හග්ගෝ සහ කොහොල්ලෝ ද ඔහු සමග වූහ. ඔවුහු ගින්නෙන්, පිහියෙන් හා ඉඳිකටුවෙන් වැඩගන්නා නපුංසක සුවකරන්නන් කැඳවාගෙන විත් තිබින.

"මේක වෙයි." ඩැනී පිළිතුරු දුන්නාය.

"යක්දෙස්සි." හග්ගෝ ගුගුලේය. මහලු කොහොල්ලෝ - ඩ්‍රෝගෝ උපන් දා පටන් ඔහුගේ දිවිය හා සිය දිවිය ඈඳූ කොහොල්ලෝ, ඇයට හැමදාමත් කාරුනිකව සැලකූ කොහොල්ලෝ - ඇගේ මුහුණ පුරා කෙල පහරක් ගැසුවේය.

"මේකට නං උඹ මැරෙනවා යක්දෙස්සි." ක්වෝතෝ දිවුලේය. "ඒ වුනාට උමට ඉස්සෙල්ලා අනිකි මැරෙන්ට ඕන." සිය අරඛ් එක ඇදගත් ඔහු කූඩාරම දෙසට පිය මනින්නට වූයේය.

"එපා." ඇය කෑගැසුවාය. "උඹට එහෙම කරන්ට බෑ." ඇය ඔහුගේ දසරුවෙන් අල්ලාගත් නමුදු ක්වෝතෝ ඇයව තල්ලුකර දැමුවේය. දණින් වැටුනු ඩැනී සිය දරුවා රැකගනු වස් උදරය හරහා දෑත් යවා බදාගත්තා ය. "ඌව නවත්තන්ට." ඇය සිය ඛාස් සෙබළුන්ට අණකලාය. "ඌව මරන්ට."

කූඩාරමේ දොර පැලැල්ල දෙපස රඛාරෝ හා ක්වාරෝ මුරට තබා තිබුනි. ක්වාරෝ ඉදිරියට පියවරක් තැබූයේ සිය කසයේ මිට වෙත අත යැවීය. එනමුදු ක්වෝතෝ නැට්ටුවෙකු මෙන් සුනම්‍ය අයුරින් ඉදිරියට පිනූයේ සිය කවාකාර අරඛ් එක ඉහළට ඔසවා කැපීය. පහර ක්වාරෝගේ බාහුවට පහළින් ළපැත්ත කපාගෙන සම් ඇඳුම්, සම් මස් හා ඉළඇට පසා කරමින් කිඳා බැස්සේය. තරුණ අසරුවා හුස්මක් අදිමින් පසුපසට විසිවද්දී උල්පතකින් මෙන් රුධිරය ගලා ආයේය.

ක්වෝතෝ වැරෙන් අත ගස්සා ඇද සිය අරඛ් එක නිදහස් කරගත්තේ ය. "අස්හිමියො." සෙර් ජෝරා කෑගැසුවේය. "මාත් එක්ක හැප්පිලා බලපන්." ඔහුගේ දිගු අසිපත කොපුවෙන් පිටතට ඇදී ආයේය.

ක්වෝතෝ අවලාදයක් නගමින් ආපසු හැරුනේය. ඔහුගේ අරඛ් එක කෙතරම් වේගයෙන් ඉදිරියට පිනූයේ ද යත් එහි තැවරී තිබුනු ක්වාරෝ ගේ රුධිරය උණුසුම් වර්ෂාවක් මෙන් දසත විසිර ගියේය. සෙර් ජෝරාගේ මුහුණට අඩියක් ඉදිරියෙන් එසැවුනු දිගු අසිපත විසින් මේ පහර වැළැක්වූ අතර මේ ග්‍රහනය එක් මොහොතක් එලෙසම පැවතුනේ ක්වෝතෝ වියරුවෙන් මොරගෑවේය. නයිට්වරයා සිය මුදු දම්වැල් සන්නාහයෙන් සැරසී, යකඩ අත්වැසුම්, ජංඝාවරණ හා ග්‍රීවාවරණ පැළැඳ සිටි නමුදු සිය ශිරස්කය පැළැඳීමට අමතක කර තිබුනි.

ක්වෝතෝ නටමින් මෙන් පසුපසට පිනීය. ඔහුගේ අරඛ් එක විදුලියක් මෙන් හිස වටා කරකැවෙන්නට විය. විදුලි කොටන්නාක් මෙන් එක පිට එක පහර වදින්නට වූ අතර නයිට්වරයා තමාට හැකි උපරිමයෙන් පහර වලකන්නට වූයේය. එනමුදු මේ පහරවල් එකකට එකක් නොපරදින්නට මෙන් වේගයෙන් පැමිණියේ ක්වෝතෝට අත් සතරක් හා අරඛ් සතරක් ඇත්තාක් මෙන් ඩැනීට පෙනුනි. අරඛ් එක මුදු දම්වැල් සන්නාහයේ ගැටෙන හඬ ඇයට ඇසුනි. යකඩ අත්වැසුම්වල එය ගැටීමෙන් නගින ගිනි පුළිඟු ඇය දුටුවාය. ඊළඟ මොහොතේ මෝර්මන්ට් පසුබසින්නට වූ අතර ක්වෝතෝ පහර පිට පහර දෙමින් ඉදිරියට පැන්නේය. නයිට්වරයා ගේ මුහුණේ වම්පස රුධිරයෙන් තෙමී ගොස් තිබුනි. උකුළට වැදුනු පහරක් විසින් මුදු දම්වැල් සන්නාහය කැපී ගොස් තිබුනු අතර ඔහු කොර ගසන්නට විය. ක්වෝතෝ ඔහුට ගර්භා කරමින් ඇනුම්පද කියන්නට වූයේය. ඔහු බියගුල්ලකු, කොන්ද පණ නැතියකු, යකඩ ඇඳුමක සැඟවුනු නපුංසකයකු යැයි කියමින් පරිභව කරන්නට වූයේය. "උඹ දැන් මැරෙනවා!" ඔහු දිවුලේය. රත්පැහැ සැඳෑ හිරුඑළියේ අරඛ් එක විදුලියක් මෙන් දිදුලන්නට විය. ඩැනීගේ ගැබෙහි වූ ඇගේ පුත්‍රයා වියරුවෙන් මෙන් පයින් ගසමින් සිටියේය. තනි කෙලින් වූ දිගු අසිපත මතින් ලිස්සා ගිය කවාකාර අරඛ් එක නයිට්වරයාගේ මුදු දම්වැල් සන්නාහයේ පෙර වූ කැපුම තුළින් රිංගා ගොස් ඔහුගේ උකුළ මතට කිඳා බැස්සේය.

මෝර්මන්ට් උගුරෙන් වේදනාත්මක හඬක් පිට කල අතර ඔහුගේ පා පැකිළුනේය. සිය උදරයේ තියුණු වේදනාවක් සමගින් කළවා තෙත්ව යනු ද ඩැනිට දැනෙන්නට විය. ක්වෝතෝ ජයග්‍රාහී හඬක් නැගුවේය. එනමුදු ඔහුගේ අසිපත ඇටකටුවක් කපාගෙන කිඳා බැස තිබුනු අතර එය සුළු මොහොතක් එලෙසින්ම සිරව තිබු‍නේය.

ඒ සුළු මොහොත නයිට්වරයාට ප්‍රමාණවත් විය. සෙර් ජෝරා තමා තුළ ඉතිරිව ඇති මුලු වෙර යොදා සිය දිගු අසිපත පහළට ගෙන ආයේය. එය සම් මස් ඇට කපා දමමින් ඇතුළට කිඳා බැස්සේ ක්වෝතෝ ගේ අත සහමුලින්ම පාහේ කැපී ගොස් කුඩා සම් හා නහරවැලකින් එල්ලා වැටෙන්නට විය. ඩොත්රැකියා ගේ කණ අසලින් වැදුනු නයිට්වරයා ගේ දෙවන පහර කෙතරම් බිහිසුණු එකක් වී ද යත් ක්වෝතෝ ගේ මුහුණ සුනුවිසුනුව ගියේය.

ඩොත්රැකියෝ කෑගසන්නට වන්හ. මිරී මාස් ඩූර් කූඩාරම තුළ සිට අමානුෂික ස්වරයකින් බෙරිහන් දෙමින් සිටියාය. මියයමින් සිටි ක්වාරෝ දියපොදක් ඉල්ලා අයැදින්නට විය. ඩැනී උදවු ඉල්ලා කෑ ගැසූ නමුදු කිසිවෙකුටත් ඇයව ඇසුනු බවක් ‍නොපෙනින. රඛාරෝ හග්ගෝ සමගින් පොර වැටී සිටියේය. අරඛ් දෙක නටමින්, උඩ පනිමින් එකිනෙක හා ගැටුනු අතර අකුණක් පුපුරන්නාක් මෙන් ඉදිරියට ඇදුනු ජෝගෝගේ කසය හග්ගෝ ගේ ගෙල වටා සිරව ගියේය. ඔහු කසය ගස්සා ඇද්ද අතර සිය අරඛ් එක හා සමබරතාව අහිමිව ගිය රුධිරාරක්ෂකයා පා පැකිළ පසුපසට ඇද වැටුනේය. වියරුවෙන් කෑගසමින් ඉදිරියට පිනූ රඛාරෝ සිය අරඛ් එක දෑතින්ම අල්ලා හග්ගෝ ගේ හිස මතට ගෙන ආ‍යේය. අසිපත් තුඩ රත් පැහැයෙන් දිදුලමින් ඔහුගේ දෙනෙත් මැදින් නළල තුළට කිඳා බැස්සේය. කිසිවෙකු ගල් පහරක් එල්ල කල අතර ආපසු හැරී බැලූ ඩැනී සිය දසරුව තුවාල වී ලේ ගලමින් තිබෙනු දුටුවාය. "එපා." ඇය වැලපුනාය. "එපා. අනේ එපා. නවත්තන්ට. ඒක හොඳටම වැඩියි. මේ මිල හොඳටම වැඩියි." තව තවත් ගල් පියාඹා එමින් තිබුනි. දණගාමින් කූඩාරම දෙසට යන්නට උත්සාහ කල නමුදු ඊළඟ මොහොතේ කොහොල්ලෝ ඇයව අල්ලාගත්තේ ය. ඇගේ කෙහෙවල්ලෙන් අල්ලාගත් ඔහු හිස පසුපසට නැමූ අතර සිය උගුර මුල ඔහුගේ සීතල පිහිය ස්පර්ෂ වනු ඇයට දැනින. "මගේ දරුවා." ඇය කෑගැසුවාය. සමහරවිට දෙවිවරුන්ට ඇයව ඇසුනා වන්නට ඇත. මක්නිසාද යත් ඊළඟ මොහොතේ කොහොල්ලෝ මියගිය බැවිනි. අග්ගෝ ගේ දුන්නෙන් මිදුනු ඊයක් ඔහුගේ බාහුවට යටින් ඇතුළුව හදවත හා පෙනහල්ලක් පසා කරගෙන ගොස් තිබින.

* * *

අන්තිමේදී සිය හිස ඔසවාගන්නට තරම් ශක්තියක් ඇයට ලැබුනු විට පිරිස කෙමෙන් විසිර යන්නට පටන්ගෙන තිබුනු බැව් ඇය දුටුවාය. ඩොත්රැකියෝ සෙමින් සෙමින් සිය කූඩාරම් හා නිදන පැදුරු වෙතට යමින් සිටියෝය. තවත් සමහරු සිය අසුන්ට සෑදල පළඳා පිටව යමින් සිටියෝය. හිරු බැස ගොස් තිබින. ඛලසාරය පුරා ගිනිමැල දැල්වී තිබින. ඒවායේ තැඹිලි පැහැ ගිනිදළු වියරුවෙන් මෙන් පට පට හඬින් පුපුරමින් ඉහළින් වූ ආකාශයට ගිනි පුලිඟු මුදාහලේය. ඇය නැගී සිටින්නට තැත් කලාය. එනමුදු ඇගේ සර්වාංගයම වෙලා ගත් අති මහත් වේදනාවක් යෝධයකු ගේ අත්මිටක් මෙන් ඇයව මිරිකන්නට විය. ඇගේ හුස්ම හිර වී ගිය අතර ආයාසයෙන් හුස්මක් ඇදගැනීම හැර කල හැකි අන් යමක් නොවීය. මිරී මාස් ඩූර්ගේ කෑගැසීම මේ වනවිට මළගෙයක ලතෝනියක් මෙන් ඇසෙන්නට විය. කූඩාරම තුළ සෙවනැලි වේගයෙන් එහාමෙහා නැටුවෝය.

ඇගේ ඉණ වටා අතක් ඇදී ගිය අතර ඊළඟ මොහොතේ සෙර් ජෝරා ඇයව දෙපයින් නැගිට්ටෙවුවේය. ඔහුගේ මුහුණ ලෙයින් පෙඟී ඇලෙමින් තිබුනු අතර ඔහුට එක් කණකින් අඩක් අහිමිව තිබෙනු ඇය දුටුවාය. නැවත වතාවක් සියොළඟම පෙලමින් වේදනාව පැතිර යද්දී ඇය ඔහුගේ දෑත් අතරට මැදිව ගැහෙන්නට වූවාය. නයිට්වරයා උදවු ඉල්ලා ඇගේ සේවිකාවන්ට කෑගසන හඬ ඇයට සිහිනයෙන් මෙන් ඇසුනි. 'උන් හැමෝම බයවෙලාද?‍' ඇය පිළිතුර දැන සිටියාය. වේදනාවේ තවත් වටයක් ඇරඹුනි. ඩැනීගේ මුවින් වේදනාත්මක කෑගැසීමක් පිටවිය. එය හරියටම ඇගේ පුත්‍රයා දෑතින් පිහි දෙකක් රැගෙන පිටතට පැමිණීමට පාරක් කපනවාක් වැනි විය. "ඩෝරියා. උඹ යකාටම පලයං!" සෙර් ජෝරා ගුගුලේය. "මෙහාට වරෙන්. ගිහිල්ලා වින්නඹු ගෑනු එක්කරන් වරෙන්."

"උන් එන්නෙ නෑ. උන් කියන්නෙ එයාට ශාපයක් වැදිලා කියලා."

"උන් ආවෙ නැත්තං මම උන්ගෙ ඔළුගෙඩි ටික කපලා දානවා."

ඩෝරියා වැලපනාය. "උං ඔක්කොම යන්ට ගිහින් මගේ උතුමානනි."

"යක්දෙස්සි." කවුදෝ කීවේය. 'ඒ කවුද? අග්ගෝ ද?' "එයාව යක්දෙස්සි ගාවට අරන් යන්ට."

'එපා!' ඩැනීට පැවසීමට උවමනා විය. 'එපා එපා. ඒකනම් කරන්ට එපා. ඔබ‍ට ඒක කරන්ට බැහැ.' එනමුදු ඇය සිය මුව විවර කල විට වචන වෙනුවට දිගු වේදනාත්මක වැලපීමක් පමණක් එයින් පිටවිය. ඇගේ ගතේ දහදිය නැගෙන්නට විය. 'ඔවුන්ට මේ කුමක් වෙලාද? ඔවුන්ට එය නොපෙනේද?' කූඩාරම තුළ සෙවනැලි නටමින් සිටියෝය. ඒවා ගිනිකබල් හා නාන බාල්දිය වටා කරකැවෙමින් සුදු පැහැ සේද රෙද්දේ කළු පැහැ රටා මවමින් නටන්නට වූවෝය. මේ සමහරක් සෙවනැලි කිසිසේත්ම මිනිස් අනු රූ හා සමාන නොවීය. දැවැන්ත වෘකයකු ගේ ඡායාවක් ද, ගින්නෙන් වෙලී ගිය මිනිසකු ගේ රුවක් මෙන් වූ තවත් ඡායාවක් ද ඇය යාන්තමින් දුටුවාය.

"මේ බැටළු ගෑනි දන්නවා වින්නඹු කම් ගැන." ඉරී කීවාය. "ඒකිමයි කිවුවෙ. මම අහගෙනයි."

"ඔවු." ඩෝරියා එකඟවූවාය. "මමත් අහගෙනයි."

'එපා!' ඇය කෑගැසුවාය. එසේත් නැතිනම් එසේ කෑගැසුවායැයි සිතුවාය. මක්නිසාද යත් ඇගේ දෙතොලින් කිසිදු හඬක් පිටනොවූ බැවිනි. ඇයව ඔසවා ගැනුනි. ඇ‍ගේ දෙනෙත් ඉහළින් වූ කළු පැහැ, මුඩු, තරු රහිත ආකාශය දෙසට යොමුවූයේය. 'එපා. අනේ එපා.' මිරී මාස් ඩූර්ගේ හඬ වඩ වඩාත් උස්ව නැගෙන්නට විය. අන්තිමේදී එයින් ඇගේ මුලුමහත් ලෝකයම පිරී යන්නාක් මෙන් දැනුනි. 'හෙවනැලි!' ඇය කෑගැසුවාය. 'නැට්ටුවො!'

සෙර් ජෝරා ඇයව ඔසවාගෙන කූඩාරම තුළට පිවිසියේය.


Daenerys Targaryen: “I will not let him die...”
Ser Jorah Mormont: “Khaleesi or queen, that command is beyond your power.”

36 comments:

  1. යුද්ධ වලින් ගැහැණුන් පීඩාවට පත්වීම වලක්වමු.
    ගැබිණි මව අපට සම්පතකි.

    ReplyDelete
    Replies
    1. ට්‍රෝජන් කාන්තාවෝ... :-O

      Delete
    2. @මනෝජ්,

      //ගැබිණි මව අපට සම්පතකි.//

      ඔබට සම්පතකි...:O

      Delete
  2. Replies
    1. Again I say, desperate situations - desperate decisions... :-)

      Delete
    2. Her idiocy made a perfectly normal situation into a desperate one.
      Is she so naïve to believe that the witch is hers just because she saved her?

      Delete
    3. dude.. this is only a fourteen years old girl who lived her whole life running from place to place just to protect her life.. till now she didn't know about love or care.. she's been sold by her brother to some barbarian.. somehow she managed to love that barbarian and to be loved back. finally she started to get that care, protection, respect and home she was looking for.. and now all these things going to end suddenly.. what do u expect her to do? she has to keep Drogo alive at any cost..

      Delete
    4. හනේ අම්මේ මට නං බෑ , බයක් හැකක් නැතුව හිතෙන දේ කියාන්ට. දැක්කා නේද අපේ GetAfix වෙදාට කොටපු කෙටිල්ල :)

      මයෙ නැට්ට පරිස්සං කරගෙන මං දුවනෝ

      Delete
    5. I agree that the situation is dire now. But it wasn't to begin with. All started with the assumption that any one who says maestr (in other words anything to do with westeros) is a good healer.
      And don't give me the age argument dude. This is not planet earth. This is a place where 15yr olds lead armies.

      Delete
    6. That 15 years old one is a lordling.. he was raised and trained as a lordling.. so he has the ability to do so.. this one supposed to be a princess, but her whole childhood spent on running from here to there.. no proper education, no home, no one to teach good or bad.. and was abused by her sadistic brother.. take a step back and look at the whole picture bro..

      Delete
    7. what i meant is that in westeros age is not perceived in the same way as its here. DID Dany have a difficult childhood, yeah. But she shouldn't have trusted a person who had a million reasons to harm her khal. i mean he had a lots of his own healers

      but no, she heard Westeros and Maester , and that was it.

      Delete
    8. @PoM,

      //what did i say??
      dany u idiot//

      I'm not going to stop the wheel; I'm going to break the wheel. Drogo…:P

      Delete
    9. Guys….guys….:D

      Daenerys is THE "Queen of the Andals and the First Men, Lady Regnant of the Seven Kingdoms". So don’t worry...:P

      Delete
    10. @ PK

      what happend to the rhoynar ?
      :P

      Delete
  3. තොට දේව ශාපය ලැබෙනවා

    ReplyDelete
  4. Replies
    1. මොකද සරත් wow? :-)

      Delete
    2. @සරත්,

      ඩැනී??? :P

      Delete
  5. හපොයි ඩැනීට වෙච්චි දෙයක් :(

    ReplyDelete
    Replies
    1. මදැයි පවුලක් පන්සලක් වෙලා තැන්පත් වෙන්ට හැදුවා... නේද?

      Delete
    2. ඒ වුනාට එයා ඕවායින් සැලෙන එකක් නෑ රන්...:)

      Delete
  6. සංසාරේ බොහොම දිගයි දරුවෝ!

    හොක්කි, හොක්කි හූ.....

    ReplyDelete
    Replies
    1. බොලා දැන් ඔය හූ කියන්නෙ කාටද? පොම්ට ද නැත්තං අර ගෝරිල්ලාට ද?

      Delete
    2. හැබෑට කාටද මොට්ස්? :P

      Delete
  7. රාජ්‍ය ලබා ගන්නවා කෙසේ වෙතත් ඩැනීට ලග හිටිය අයත් අන්තිමේ නැති උනානේ..

    ReplyDelete
    Replies
    1. කෙල්ලගෙ නරක වෙලාව තමා නේ..

      Delete
    2. හැමදේම වෙන්නේ හොඳට වෙන්ටත් පුලුවන් දිනේශ්... :)

      Delete
  8. ඛාල් නැගිට්ටොත් ඩැනී ට හිතෙයි ඇයි මං මූ ව නැගිට්ටව ගත්තෙ කියල...
    කෝමත් කාල් නැති ඩැනේරිස් ගෙන් ඇති වැඩක් නෑ.. හිහි

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මහේෂ්.. ක්වෝතෝ කිවුවා වගේ ඛාල් නැත්තම් ඛලීසි කෙනෙකුත් නැහැ..

      සිකුරාදාට උදෙන්ම එන්ට.. එදාට එනවලු හිච්චි කෙලී.. :-)

      Delete
    2. මහේෂ් සිකුරාදා රෑ ඉඳන් මෙතන ඉන්ට ඕනි නැතිවෙයිලු...:P

      Delete
    3. හම්මේ ආර්යා කෙලී. අහන්ටත් සන්තොසයි
      පීලිං මෙව්ව මෙව්ව වගේ
      <3 <3 <3 <3 <3 <3

      පොඩ්ඩි අක්ක

      සිකුරාදා උදේ දෙන එකට බුරාස්පතින්ද ඉදං බලං ඉන්නව මිසක්ක ආයෙ සිකුරාද රෑ ඉදං බලං ඉනන ඕන ඇයි කියල මට නං තේරෙන්නෑ :-P :-P

      Delete
    4. මම කීවේ බැලුවට පස්සේ මෙතන ඉන්ට ඕනි නෑ කියලයි. හැබැයි ටයිප් වෙලා තියෙන්නේ වැරදියට.:P

      Delete
  9. අනේ මන්ද.... මොන මළ ජංජාලයක් වෙන්ඩ යනවද කියලා....

    පොඩ්ඩි මගේ පාට ගැන මොනවදෝ කතන්දරයක් කියලා තිබ්බා මම දැක්කා.... අපි ඉතිං සුදුවට ඉන්නවට ඉරිසියා ඇති...

    ReplyDelete
    Replies
    1. සුදු නම් ඉරිසියා නෑ. ඒ වුනාට දේදුනු පාට වුනාම කාටද ඉරිසියා හිතෙන්නේ නැත්තේ...:D

      Delete