Friday 20 March 2015

බ්‍රැන් 07-2

රිකන් ස්ටාර්ක්

කොළ පැහැ ගින්දර මෙන් දිදුලන දෑසක් ද, විලිස්සුනු දත් දෙපෙළක දිලිසීම ද, ඔවුන් වටා වූ අන්ධකාරය තරමටම කළු පැහැ වූ ලොම් ගුලියක් ද බ්‍රැන් දුටුවේය. කෑගැසූ මේස්ටර් ලුවින් දෑත් වැනුවේය. අතැඟිලි අතරින් ගිලිහී පියාඹා ගිය ගිනි පන්දම බ්‍රැන්ඩන් ස්ටාර්ක් ගේ මුහුණේ වැදී ඔහුගේ ප්‍රථිමාවේ පාමුල වැටුනු අතර එහි දෙපා ගිනිදළුවලින් වැසී ගියේය. නිවෙන්නට තතනමින් දඟලන ගිනිදළුවල ආලෝකය මැද්දේ මේස්ටර් ලුවින් ඝෝරවෘකයා හා සටන් වදිනුත්, ඔහුගේ එක් අතක් සතාගේ හණුවට සිරවී තිබියදී ඔහු අනිත් අතින් උගේ හොම්බට තඩිබානුත් ඔවුහු දුටුවෝය.

"සමර්!" බ්‍රැන් මොරගැසුවේය.

ඔවුන්ට පිටුපසින් වූ අන්ධකාරය විනිවිද සෙවනැල්ලක් මෙන් සමර් දිව ආයේය. ඌ ෂැගීඩෝග් වෙතට කඩාපැන ඌව බිම පෙරලා දැමූ අතර ඊළඟ මොහොතේ ඝෝරවෘකයින් දෙදෙනා එකිනෙකා සපාකමින්, එකිනෙකාට කඩා පනිමින්, අළු පැහැ සහ කළු පැහැ ලොම් ගුලි දෙකක් මෙන් නැවත නැවතත් එකිනෙකා හා සටන් වැදුනෝය. සිය තුවාල වූ රුධිරය වැගිරෙන අතත් සමගින් මේස්ටර් ලුවින් දණින් නැගී සිටියේය. බ්‍රැන්ව රිකාර්ඩ් උතුමානන්ගේ ශෛලමය වෘකයාට හේත්තු කොට තැබූ ඕෂා මේස්ටර්වරයාට උදවු වනු පිණිස දිවගියාය. බිම වැටී තිබුනු පන්දමේ දඟලන එළියෙන් අඩි විස්සක් උසැති සෙවනැලි වෘකයින් දෙදෙනෙක් උමගයේ බිත්ති මත හා වහලය මත එකිනෙකා කා කොටාගන්නා අයුරු පෙනුනි.

"ෂැගී." කුඩා කටහඬක් කතාකලේය‍. බ්‍රැන් හිස ඔසවා බැලූ විට ඔහු බාල සොහොයුරා සිය පියා වෙනුවෙන් තැනුනු සොහොන් ගැබේ මුවවිට සිටගෙන සිටිනු දිස්විය. අවසාන වරට සමර්ගේ මුහුණට කඩා පිනූ ෂැගීඩෝග් සටනින් මිදී රිකන්ගේ පසෙක‍ට පිනීය. "ඔයා මගේ තාත්තට ඉන්ට දෙන්ට." රිකන් මේස්ටර්වරයාට අනතුරු ඇඟවීය. "ඔයා එයාට ඉන්ට දෙන්ට."

"රිකන්." බ්‍රැන් මෘදු ස්වරයෙන් ඇමතීය. "තාත්තා මෙහෙ නැහැ."

"නෑ එයා ඉන්නවා. මම එයාව දැක්කා." රිකන්ගේ මුහුණේ කඳුළු බිඳු දිදුලනු පෙනින. "මම එයාව ඊයෙ රෑ දැක්කා."

"ඔයාගෙ හීනෙදි...?"

රිකන් හිස වැනීය. "ඔයා එයාට ඉන්ට දෙන්ට. ඔයා එයාට ඉන්ට දෙන්ට. එයා දැන් ගෙදර එනවා. පොරොන්දු වුනා වගේම එයා ගෙදර එනවා."

මේස්ටර් ලුවින් මෙතරම් අතීරණාත්මක ස්වරයෙන් බලා සිටිනු බ්‍රැන් මින් පෙර කිසිදා දැක නොතිබුනි. ෂැගීඩෝග් විසින් ඔහුගේ කබා අතේ ලොම් හා ඊට යටින් වූ මාංසය ඉරා දැමූ තැනින් රුධිර බිංදු වෑස්සෙන්නට විය. "ඕෂා. පන්දම ගනින්." ඔහු වේදනාවෙන් දත්මිටි කමින් කීවේය. ඇය වහා පැන එය නිවී යන්නට පෙර ඔසවා ගත්තාය. බ්‍රැන්ගේ මහප්පාගේ දෙකකුල් දැළිඅඟුරු විසින් කළු පැහැයට හරවා තිබුනි. "මේ... මේ සතා... බලු කූඩුවෙ දම්වැලින් බැඳලා දාලයි ඉන්ට ඕන." ලුවින් කීවේය.

රිකන් ෂැගීඩෝග් ගේ ලෙයින් පෙඟී තිබුනු හොම්බට තට්ටු කලේය. "මම එයාව නිදහස් කලා. එයා දම්වැල්වලට කැමැති නැහැ." ඌ ඔහුගේ අතැඟිලි ලෙවකෑවේය.

"රිකන්. ඔයා මගෙත් එක්ක එන්ට කැමැතිද?" බ්‍රැන් ඇසුවේය.

"නෑ. මම කැමැතියි මෙතනට වෙලා ඉන්ට."

"මෙතන හරිම කළුවරයිනෙ. ඒ වගේම සීතලයි."

"මම බය නැහැ. මට තාත්තා එනකම් බලන් ඉන්ට ඕන."

"ඔයාට මාත් එක්ක බලන් ඉන්ට පුළුවන්. අපි දෙන්නම බලන් ඉමු. අපි දෙන්නයි අපේ වෘකයා දෙන්නයි." ඝෝරවෘකයින් දෙදෙනාම දැන් සිය තුවාල ලෙවකමින් සිටියෝය.

"බ්‍රැන්." මේස්ටර්වරයා තිරහඬින් කීවේය. "මම දන්නවා ඔයා ඔය හොඳක් කරන්ටයි හදන්නෙ කියලා. ඒ වුනත් ෂැගීඩෝග් මෙහෙම නිදැල්ලෙ යන්ට අරින්ට තරම් කැලෑ ගතිය වැඩියි. ඌ හපාකාපු තුන්වෙනියා මම. ඌට මෙහෙම නිදහසේ බලකොටුවෙ ඇවිදින්ට දුන්නොත් වැඩිකල්යන්ට කලින්ම ඌ මිනිහෙක්ව මරලා දායි. ඇත්ත පිළිගන්ට අමාරුයි තමා. ඒ වුනත් මේ වෘකයා එක්කො දම්වැල් දාලා බඳින්ට ඕන. එහෙම නැත්තම්..." ඔහු තැතනුවේය.

'...එහෙම නැත්තම් මරලා දාන්ට ඕන.' බ්‍රැන් සිතුවේය. එනමුදු ඔහු කීවේ අනිකකි. "එයා හැදිලා ඉන්නෙ දම්වැලින් බැඳලා දාන්ට නෙවෙයි. අපි ඔයාගෙ කුළුණට වෙලා බලා ඉන්නම්. අපි ඔක්කොම."

"ඒක කරන්ට බැරි දෙයක්." මේස්ටර් ලුවින් කී‍වේය.

ඕෂා විරිත්තුවාය. "මම දන්න තරමින් නම් මේ දරුවා තමා දැන් මේ බලකොටුවෙ උතුමානන්." පන්දම නැවත මේස්ටර්වරයාට බාරදුන් ඇය බ්‍රැන්ව දෝතින් ඔසවා ගත්තාය. "මේස්ටර්ගෙ කුළුණට යමු."

"ඔයත් එනවද රිකන්?"

ඔහුගේ සොහොයුරා හිස වැනීය. "ෂැගීත් එනවනම් විතරයි." ඕෂා හා බ්‍රැන් පසුපස දුවමින් ඔහු කීවේය. වෘකයින් දෙස පරීක්ෂාකාරීව බලමින් ඔවුන් පසුපසින් වැටෙනවා හැර මේස්ටර් ලුවින් වෙත වෙනත් විකල්පයක් නොවීය.

* * *

මේස්ටර් ලුවින් ගේ කුළුණ කෙතරම් අපිළිවෙල තැනක් වී ද යත් යම් කිසිවක් උවමනා වූ විට ඔහු එය සොයාගන්නේ කෙසේදැයි බ්‍රැන් මවිතයෙන් යුතුව කල්පනා කලේය. මේස සහ පුටු මත පොත් තට්ටු පිට තට්ටු ගොඩගසා තිබින. රාක්ක පුරවා නොයෙකුත් දෑ පිරවූ වීදුරු බෝතල්, බරණි පේළියක් පසුපස පේළියක් බැගින් වූ අතර ගෘහභාණ්ඩ සැමෙකක්ම පාහේ ඉටිපන්දම් කොටවලින් හා වියළී ගිය ඉටිවලින් අපවිත්‍ර විය. ත්‍රිපාදයක් මත සවිකර තිබුනු ලෝකඩින් කල ම(ර්)රිෂ් කාච බටය සඳළුතලයට පිවිසෙන දොර පසෙක විය. බිත්තිවල නොයෙක් තරු රටා, වගු හා චක්‍ර එල්ලා තිබින. අනේකවිධ සිතියම් ද, කඩදාසි ද, පිහාටු පෑන් හා තීන්ත බහාලන බඳුන් ද දසත විසිර තිබින. මේ සෑම භාණ්ඩයක්ම හා උපකරණයක්ම කපුටු කූඩුවල සිටින කපුටන් විසින් හෙලූ වසුරුවලින් අපවිත්‍ර වී තිබින. මේස්ටර් ලුවින් ගේ උපදෙස් මැද්දේ ඕෂා විසින් ඔහුගේ තුවාල පිරිසුදු කර බෙහෙත් දමන අතරේ ඉහළින් වූ මේ කපුටු කූඩුවල සිටි කපුටෝ කරව් කරමින් ඔවුන් දෙස බලා සිටින්නට වූහ. "මේක මහ මෝඩ පිස්සු වැඩක්." ඇය ඔහුගේ තුවාලය මත දැවෙනසුළු ආලේපයක් අතුල්ලන අතරේ ඔහු කීවේය. "මම පිළිගන්නවා ඔයාලා දෙන්නම එකම හීනෙ දැකපු එක ටිකක් අමුතුයි තමා කියලා. ඒ වුනත් ඔයාලා පොඩ්ඩක් නැවතිලා ඒ ගැන හිතලා බැලුවොත් තේරෙයි ඒක සාමාන්‍යයි කියලා. ඔයාලට ඔයාලගෙ තාත්තා නැතුව පාළුයි. ඒ වගේම ඔයාලා දන්නවා එයා හිරකාරයෙක් කියලා. බය නිසා මිනිස්සුන්ගෙ හිත්වලට එක එක විකාර අදහස් පහළවෙන්ට පුළුවන්. රිකන් තාම පුංචි වැඩියි තේරුම්ගන්ට-"

"මට දැන් හතරයි." රිකන් පිළිතුරු දුන්නේය. ඔහු දු‍රේක්ෂය තුළින් පළමු බලකොටුවේ මුරක‍පොලු නිරීක්ෂණය කරමින් හුන්නේය. ඝෝරවෘකයින් දෙදෙනා කාමරයේ දෙපස වාඩිගෙන සිය තුවාල ලෙවකමින්, ඇටකටුවක් ලෑටිගාමින් සිටියහ.

"-බොහොම ලාබාලයි. ආහ්! අපා හතටම පලයන්! ඒක දනවා... නෑ.. නෑ.. නවත්තන්ට එපා. තව දාන්ට. මම කියන්නෙ බොහොම ලාබාලයි. ඒ වුනත් ඔයා බ්‍රැන්.. ඔයා දැන් ලොකු ළමයෙක්. ඔයා දැනගන්ට ඕන හීන කියන්නෙ හීන විතරයි කියලා."

"සමහර ඒවා එහෙමයි. සමහර ඒවා එහෙම නෙවෙයි." ඕෂා ගැඹුරු කැපුමක් මතට ලා රත් පැහැ ගිනිවතුර වත්කල අතර මේස්ටර්වරයා හුස්මක් ඇදගත්තේ ය. "වනාන්තරයේ දරුවන්ට පුළුවන් වෙයි ඔබට හීන ගැන කාරනයක් දෙකක් කියලා දෙන්ට."

බෙහෙත්වල සැර නිසා මේස්ටර්වරයාගේ දෑසින් කඳුළු කඩා හැලෙන්නට විය. එනමුදු ඔහු මුරණ්ඩු අයුරින් හිස වැනීය. "දරුවො... ඉන්නෙ හීනවල විතරයි. දැන් එයාලා සහමුලින්ම වඳවෙලා ගිහිල්ලා. ඇති. ඔය ඇති. දැන් වෙළුම්පටි ඔතන්ට. හොඳට ඔතලා තදට ගැටගහන්ට. නැත්තම් ආයෙමත් ලේ ගලයි."

"නාකි ආයම්මා කිවුවෙ දරුවො දැනගෙන හිටියා කියලා ගස්වල කතා බහ තේරුම්ගන්ට. එයාලට කුරුල්ලො වගේ පියාඹන්ට, මාළු වගේ පීනන්ට, සත්තුත් එක්ක කතා කරන්ට පුළුවන් කියලා." බ්‍රැන් කීවේය. "එයා කිවුවා දරුවො කොච්චර ලස්සනට සංගීතය වාදනය කරනවද කිවුවොත් ඔයාගෙ ඇස් දෙකට කඳුළු පිරෙනවලු ඒවා අහනකොට."

"මේ හැමදෙයක්ම එයාලා කලේ මායා බලවල පිහිටෙන්." මේස්ටර් ලුවින් කීය. "එයාලා දැනුත් හිටියානම්... එහෙමනම් මගේ අත ඉක්මනට සනීප කරගන්ට තිබුනා මායා බලයක් පාවිච්චි කරලා. ඒ වගේම එයාලට පුළුවන් වෙයි ෂැගීඩෝග්ට කතා කරලා කියන්ට කාවවත් හපන්ට එපයි කියලා." ඔහු දෑස් කොනින් දැවැන්ත කළු පැහැ ඝෝරවෘකයා දෙස නොපහන් බැල්මක් හෙලුවේය. "මෙන්න මේක තේරුම්ගන්ට බ්‍රැන්. මායා බන්ධන වැඩ ගැන විශ්වාසය තියන මිනිහා කරන්නෙ හරියට වීදුරු කඩුවකින් ද්වන්ද්ව සටනක් කරනවා වගේ වැඩක්. හරියට වනාන්තරයේ දරුවො කලා වගේමයි. එන්ට. මම ඔයාට යමක් පෙන්නන්නම්." නැගිට සිටි ඔහු කාමරය හරහා ගොස් කොළ පැහැ වීදුරු බරණියක් රැගෙන නැවත පැමිණියේය. "මේවා දිහා පොඩ්ඩක් බලන්ට." බරණියේ කට විවර කර දිදුලන, කළු පැහැ ඊමුනු අහුරක් අතට ගනිමින් ඔහු කීවේය.

බ්‍රැන් එයින් එකක් අතට ගත්තේය. "ඒක හැදිලා තියෙන්නෙ වීදුරුවලින්." කුතුහලයට පත් රිකන් ද මේසය අසලට ළඟා වූයේ වඩා හොඳින් දැකගනු පිණිස විය.

"මකරවීදුරු." ඕෂා කීවේ වෙළුම්පටි රැගෙන මේස්ටර් ලුවින් අසලින් අසුන් ගනිමිනි.

"ඔබ්සිඩියන්." මේස්ටර්වරයා තිරහඬින් කීවේය. ඇයට වෙළුම්පටි යොදනු පිණිස ඔහු සිය තුවාල අත ඔසවා අල්ලාගත්තේ ය. "පොළොවෙ බොහොම යට තියෙන දෙවියන්ගෙ ගින්නෙන් පදම් කරලා හදාපුවා. අවුරුදු දාස් ගානකට කලින් වනාන්තරයේ දරුවො දඩයම් ක‍ලේ මේවයින් තමා. දරුවො ලෝහ පාවිච්චි කලේ නැහැ. ඇඳුම් පැළැඳුම් වෙනුවට එයාලා ගස්වල කොළවලින් වියාපු දිග ගවුම් වගේ ඇඳුමක් ඇන්දා. කකුල්වලට ගස්වල පොතු තියලා බැන්දා. එතකොට එයාලට ලේසියෙන්ම කැලේ ගස් අතරේ හැංගිලා ඉන්ට පුළුවන්. කඩු වෙනුවට එයාලා පාවිච්චි කලේ ඔබ්සිඩියන් වලින් හදාපු තල."

"තාමත් පාවිච්චි කරනවා‍." මේස්ටර්වරයා ගේ තුවාල මතින් සුමුදු රෙදි කැබැලි තැබූ ඇය දිග හණ රෙදි පටිවලින් ඒවා තදකොට බැන්දාය.

බ්‍රැන් ඊමුණ දෑසට ලංකොට නිරීක්ෂණය කලේය. කළු පැහැ වීදුරුව සිනිඳු දිදුලන එකක් විය. එය අලංකාර යැයි ඔහු සිතුවේය. "මට එකක් තියාගන්ට පුළුවන් ද?"

"ඔයාගෙ කැමැත්තක්." මේස්ටර් ලුවින් කීවේය.

"මටත් එකක් ඕන." රිකන් කීය. "මට හතරක් ඕන. මොකද මට හතරයි නෙ."

ලුවින් ඔහුට ඒවා ගණන් කර ගන්නැයි කීවේය. "පරෙස්සමින්. ඒවා තාමත් හරි තියුණුයි. කපාගන්ට එහෙම එපා."

"මට දරුවො ගැන කියන්ට." බ්‍රැන් කීය. එය වැදගත් දෙයක් බැව් ඔහුට හැඟුනි.

"ඔයාට මොනවද දැනගන්ට ඕන?"

"හැම දෙයක්ම."

* * *

මේස්ටර් ලුවින් සිය ගෙල වටා සිරව තිබූ දම්වැල අතින් ඇද්දේය. "එයාලා 'උදා යුගයේ' හිටපු ජන කොට්ටාසයක්. මුල්ම ජනතාව. රාජධානියි රජවරුයි එන්ටත් ගොඩක් ඉස්සර. ඒ කාලෙ මේ වගේ බලකොටු, මාලිගා තිබුනෙ නැහැ. නගර මොකුත් තිබුනෙත් නැහැ. මෙතැන ඉඳන් ඩෝර්න් මුහුද ගාවට යනකම්ම කිසිම නගරයක්, අඩුම ගානෙ පුංචි වෙළෙඳපලක්වත් තිබුනෙ නැහැ. කිසිම මිනිහෙක් හිටියෙත් නැහැ. අපි දැන් මේ රාජධානි සප්තකය කියලා කියන මුළු බිමේම හිටියෙ වනාන්තරයේ දරු‍වො විතරයි."

"එයාලා අඳුරු පාට හමක් තිබුන, බොහොම ලස්සන ජනතාවක්. එයාලගෙ ඇඟවල් පොඩියි. වැඩුන කෙනෙක් වුනත් දැන් කාලෙ දරුවෙකුට වඩා උස ගියේ නැහැ. එයාලා ජීවත්වුනේ කැලේ මැද්දෙ, බොහොම ගැඹුරෙ ගල් ගුහාවල, පොළොවෙ පැළුම්වල, රහසිගත ගස් නගරවල එහෙම. ශරීර ප්‍රමාණෙන් පුංචි වුනා වගේම එයාලා බොහොම වේගවත්. ක්ෂණිකයි. පිරිමි ගෑනු දෙගොල්ලම හරි හරියට දඩයමේ ගියා. ඒකට එයාලා පාවිච්චි කලා වයර්වුඩ් ලීයෙන් හදාපු දුනුයි, උගුලුයි. එයාලගෙ දෙවිවරුන්ට කිවුවෙ වනාන්තරයේ දෙවිවරු කියලයි. ගස්, ගල්, දියපාරවල්. මේ දෙවිවරුන්ට නමක් තිබුනෙ නැහැ. මෙයාලගෙ හිටියා බොහොම ඥානවන්ත වක්තෘන්ලා, එයාලට කිවුවෙ 'සිහිනදකින්නෝ' කියලා. එයාලා වයර්වුඩ් ගස්වල මූනු කෙටුවා වනාන්තරේ ඇතුළෙ සිද්දවෙන දේවල් ඒ මූනු හරහා දකින්ට පුළුවන් වෙන්ට. මේ වනාන්ත‍රයේ දරුවො කොහෙන් මෙහාට ආවද එයාලා කොච්චර කාලයක් මෙහෙ හිටියද කියන එක කිසිම කෙනෙක් දන්නෙ නැහැ."

"ඒ වුනත් මීට අවුරුදු දොළොස්දාහකට කලින් නැගෙනහිර දිසාවෙ ඉඳන් මුල් මිනිස්සු ආවා. ඩෝර්න්වල කැඩුන අත ඒ කාලෙ කැඩිලා නෙවෙයි තිබුනෙ. ඉතින් එයාලා ඒක දි‍ගේ ඇවිදගෙන ආවා. එයාලා ආවෙ ලෝකඩ කඩු අරන්, දැවැන්ත හම් පලිස් අරන්. අශ්වයො පිටේ නැගලා. ඒ වෙනකම් පටු මුහුදෙන් මෙහා පැත්තෙ අශ්වයෙක් දැකලා තිබුනෙ නැහැ. කිසිම සැකයක් නැහැ දරුවො මේ අශ්වයො දැකලා බයවුනා. ඒ තරමටම මුල් මිනිස්සුත් බයවුනා වයර්වුඩ් ගස්වල කොටලා තිබුන මූනු දැකලා. ඉතින් මේ මුල් මිනිස්සු වනාන්තරේ එළිකරලා ගොවිපල, බලකොටු හදන්ට පටන් ගත්තහම එයාලා මේ වයර්වුඩ් ගස් කපලා ඒවා ගින්නට දැම්මා. වනාන්තරේ දරුවො මේ වැඩෙන් ත්‍රස්ත වුනා. ඉතින් එයාලා යුද්ධෙට ආවා. පරණ සැහැලිවල තියෙන විදියට නම් සිහිනදකින්නො බොහොම බලසම්පන්න මායා බල පාවිච්චි කරලා, මුහුද ගොඩ ගලන්ට සලස්වලා, ඩෝර්න්වල අත යටකරලා දැම්මා. එහෙම තමා ඩෝර්න්වල අත අද ඔය තියෙන තත්ත්වයට පත්වුනේ. ඒ වුනත් එයාලා දොර වහන්ට පරක්කු වුනා වැඩියි. යුද්ධෙ දිගටම ඇදි ඇදී ගියා. මුල් මිනිස්සුන්ගෙ වගේම දරුවොන්ගෙ ලෙයින් මේ බිම රතු පාට වුනා. ඒත් වැඩිපුරම මැරුනෙ දරුවො. මොකද මිනිස්සු ශරීරයෙන් විශාලයි, ශක්තිමත්. අනික ලී, ගල්, ඔබ්සිඩියන් වලින් හදාපු ආයුධවලට ලෝක‍ඩ ආයුධත් එක්ක හැප්පෙන්ටවත් බැරිවුනා. අන්තිමේදි දෙපැත්තෙම ඥානවන්ත උදවිය තේරුම්ගත්තා මේ යුද්ධෙ තේරුමක් නැති දෙයක් කියලා. ඉතින් මුල් මිනිස්සුන්ගෙ නායකයොයි වීරයොයි ගියා වනාන්තරේ දරුවන්ගෙ සිහිනදකින්නොයි වනනැට්ටුවොයි මුන ගැහෙන්ට. එයාලා 'දෙවියන්ගෙ ඇස' කියන මහ විශාල විල මැද්දෙ තියෙන පුංචි දූපතේ වයර්වුඩ් වදුලු මැද්දෙදි මුනගැහුනා."

"එතැනදි මෙයාලා සාම ගිවිසුමක් ඇතිකරගත්තා. මේ ගිවිසුමෙන් මුල් මිනිස්සුන්ට බෙදලා වෙන් කලා මුහුදු වෙරළයි, උස් තැනිතලා බිමුයි, මිටියාවත් ටිකයි, කඳුයි වගුරු බිමුයි. ඒ වුනත් වනාන්තර දිගටම දරුවන්ට අයිති වුනා. ඒ වගේම ආයෙමත් කිසිම වයර්වුඩ් ගහක් කපන්නෙ නැහැයි කියලත් පොරොන්දුවක් ලැබුනා. මේ සාම ගිවිසුමට දෙවියන්ට සාක්කි කරන්ට දූප‍තේ හැම ගහකම මූනක් කෙටුවා. ඊටපස්සෙ මේ 'මුහුණු දූපතේ' පිහිටෙවුවා 'සිහිනදකින්නන් ගේ ශුද්ධ වූ නිකාය' කියලා එකක් සාම ගිවිසුමේ ඵලවිපාක ගැන ඇහැගහගෙන ඉන්ටයි කියලා."

"මේ සාම ගිවිසුම නිසා මුල් මිනිස්සුයි වනාන්තරේ දරුවොයි අතරේ අවුරුදු හාරදාහක සාමයක් ඇතිවුනා. ඒ වගේම මේ දෙගොල්ල ටික ටික මිත්‍ර වුනා. කාලෙකට පස්සෙ මුල් මිනිස්සු එයාල මෙහාට අරන් ආපු එයාලගෙ පැරණි දෙවිවරු අතඇරලා දාලා වනාන්තරේ දරුවන්ගෙ නමක් නැති දෙවිවරුන්වම අදහන්ට පටන්ගත්තා. මේ සාම ගිවිසුම අත්සන් කරායින් තමා 'උදායුගය' ඉවර වෙන්නෙ. ඊට පස්සෙ පටන්ගත්තා 'වීරයින්ගෙ යුගය.'

බ්‍රැන්ගේ සුරත අත්ල මත වූ සිනිඳු කළු පැහැ ඊමුණ වටකරමින් ගුලි වී ගියේය. "ඔයා කිවුවා ඒ වුනත් දැන් වනාන්තරේ දරුවො ඔක්කොම වඳවෙලා ගිහිල්ලයි කියලා."

"මෙහෙ වඳවෙලා ගිහිල්ලා." ඕෂා පිළිතුරු දුන්නාය. අවසාන වෙළුම්පටිය ගැට ගැසූ ඇය ගැටය තදවනු පිණිස දතින් ඇද්දාය. "ඒ වුනත් ප්‍රාකාරෙන් උතුරෙ තත්ත්වය වෙනස්. වනාන්තරේ දරුවො එහාට තමා ගියේ. එයාලයි, යෝධයොයි, අනිත් පැරණි ජන කොටස් හැමෝමයි."

මේස්ටර් ලුවින් සුසුමක් හෙලීය. "ගෑනියෙ. හරිනම් උඹව මරලා දාන්ටයි තිබුනෙ. නැත්තම් දම්වැල්වලින් බැඳලා දාන්ට. ස්ටාර්ක්ලා උඹට ඕනවටත් වඩා හොඳට සලකනවා. එයාලගෙ කරුනාවන්ත කමට කරන නිග්‍රහයක් ඔහොම එක එක වල්පල් කියලා මේ දරුවන්ගෙ ඔළුවලට ඔය මෝඩ අදහස් දාන එක."

"මට කියන්ට එයාලා කොහෙද ගියේ කියලා." බ්‍රැන් කීවේය." මට දැනගන්ට ඕන."

"මටත් මටත්." රිකන් ද එකතුවිය.

"හරි බොහොම හොඳයි." ලුවින් කටුකුටු ගෑවේය. "හරි ඉතින්, මේ මුල් මිනිස්සුන්ගෙ රාජධානි තියෙන තාක් කල් මේ සාම ගිවිසුම හොඳින් පවත්වගෙන ගියා. වීරයින්ගෙ යුග‍ය පුරාවටමත්, අන්ධකාර රාත්‍රියෙත්, රාජධානි සප්තකය පටන්ගන්නකනුත්. ඒ වුනත් මීට අවුරුදු සිය ගානකට පස්සෙ කාලයක් ආවා, තවත් මිනිස්සු කොට්ටාසයක් පටු මුහුද තරණය කරලා මෙහාට ආවා."

"ඒ ආපු මුල්ම අය තමා අන්දාල්වරු. එයාලා බොහොම උස, ලා පාට හිසකෙස් තියෙන රණකාමී ජනතාවක්. එයාලා ආවෙ වානේවලින් හදාපු ආයුධ අරගෙන, ගින්දරත් අරගෙන, එයාලගෙ අලුත් දෙවියා වුන සප්තකය නිරූපනය කරන්ට එයාලගෙ පපුවල සප්තාග්‍ර තරු ඇඳගෙනයි. මේ යුද්ධ තවත් අවුරුදු සියගානක් තිස්සෙ ඇදිලා ගියා. ඒ වුනත් අන්තිමේදී දකුණුකරේ රාජධානි හයම එයාලා ඉදිරියෙ බිඳ වැටුනා. මේ උතුරු‍කරේ විතරයි මුල් මිනිස්සුන්ගෙ රාජධානියක් ඉතුරු වුනේ. බෙල්ල පහුකරලා උතුර ආක්‍රමණය කරන්ට ආපු හැම අන්දාල් හමුදාවක්ම උතු‍රෙ රජතුමාගෙ හමුදාවලට පරාද වුනා. මේ අන්දාල්වරු වයර්වුඩ් වදුලු ගිනි තිබ්බා. මූණු කපලා කොටලා විනාශ කරලා දැම්මා. අතට අහුවුන හැම වනාන්තරේ දරුවෙක්ම මරලා දැම්මා. හැම තැනකම පුරාණ දෙවිවරු නැතිකරලා එයාලගෙ අලුත් සප්තක දෙවියන්ව පිහිටෙවුවා. ඉතින් වනාන්තරේ දරුවො උතුර-"

සමර් උඩුබුරන්නට පටන්ගත්තේ ය.

* * *

තැතිගත් මේස්ටර් ලුවින් හිටි අඩියේ නැවතුනි. දෙපයින් නැගිටගත් ෂැගීඩෝග්ද සිය සොහොයුරාගේ හඬට තමාගේ හඬද මුසු කරන්නට වන් කල බ්‍රැන්ගේ හදවත භීතියෙන් පිරී යන්නට විය. "ඒක එනවා." ඔහු මිමිනුවේය. එය සහතික වශයෙන්ම බලාපොරොත්තු විරහිත ස්වරයක් විය. තමා පෙරදා රැයේ පටන්ම එය දැන සිටි බැව් ඔහු තේරුම් ගත්තේය. අර කපුටා පැමිණ පියාට ආයුබෝවන් කියන්නට තමාව සොහොන් ගුහාවලට කැඳවාගෙන ගිය මොහොතේ සිටම ඔහු ඒ බැව් දැන සිටියේය. එනමුදු ඔහු එය විශ්වාස කිරීමට මැලි විය. මේස්ටර් ලුවින් පැවසූ දේ හරියනු දැකීමට ඔහුට උවමනා විය. 'කපුටා!' ඔහු කල්පනා කලේය. "ඇස් තු‍නේ කපුටා...'

ඇරඹුනු තරම්ම අනපේක්ෂිතව උඩුබිරීම හදිසියේම නැවතින. කාමරය හරහා ෂැගීඩෝග් වෙත ඇවිද ගිය සමර් සිය සොහොයුරාගේ ගෙලේ පිටුපස තැවරී තිබුනු ලේ පැල්ලමක් දිවෙන් පිසදාලන්නට විය. කවුළුව දෙසින් පියාපත් ගසන හඬක් ඇසුනි.

කපුටෙක් අඳුරු අළු පැහැ ශෛලමය කවුළු පඩිය මතට ගොඩ බැස්සේය. සිය හොටය විවර කල ඌ නොරිස්සුම් හඬකින් කරව් කරන්නට විය.

රිකන් හඩන්නට වන්නේය. ඔහුගේ සුරතින් මිදුනු ඊමුණු එකින් එක බිම පතිත විය. ඔහුව තමා ළඟට ඇදගත් බ්‍රැන් සිය සොයුරාව වැළැඳගත්තේ ය.

මේස්ටර් ලුවින් කපුටා දෙස බලා සිටියේ හරියටම පියාපත් සහිත ගෝනුස්සකු දෙස බලන්නාක් මෙනි. නින්දෙන් ඇවිදින්නාක් මෙන් හෙමිහිට නැගිට සිටි ඔහු කවුළුව වෙතට ළඟාවූයේය. ඔහු සියුරුහඬලෑ අතර කපුටා ඔහුගේ වෙළුම්පටිවලින් ඔතා තිබුනු අත මතට නැංගේය. උගේ පියාපත් අතර වියළි රුධිරය තැවරී තිබුනි. "උකුස්සෙක්." ලුවින් මිමිනුවේය. "එහෙමත් නැත්තම් බස්සෙක් වෙන්ට ඇති. අසරණ සතා. ඌ මෙහෙමවත් ආපු එක මහ පුදුමයක්." ඔහු කපුටා ගේ පාදයේ ගැටගසා තිබුනු පණිවුඩය ගලවාගත්තේ ය.

මේස්ටර්වරයා කඩදාසිය දිගහරිද්දී තම සිරුර වෙවුලමින් තිබෙනු බ්‍රැන්ට දැනුනි. "ඒ මොකක්ද?" සිය සොයුරා තවත් තදින් වැළැඳගනිමින් ඔහු විමසීය.

"ඔයා දන්නවා ඒ මොකක්ද කියලා දරුවො." ඕෂා කීවාය. එය අකාරුණික ස්වරයක් නොව ඔහුව තේරුමගත්, ඔහුව හඳුනාගත් ස්වරයක් විය. ඇය සිය අත ඔහුගේ හිස මත තැබුවාය.

‍මේස්ටර් ලුවින් කිසිදු හැඟීමක් නොමැති ස්වරූපයෙන් ඔවුන් දෙස බැලුවේය. සිය අළු පැහැ ලොම් කබා අතේ රුධිරය තැවරුනු, වෙළුම්පටිවලින් සුරත වෙලූ මේ කුඩා මහලු මිනිසාගේ දීප්තිමත් අළු පැහැ දෑසේ කඳුළු බිඳු මතුව තිබුනි. "මගේ උතුමනි," ඔහු බැරැඬි, වෙවුලුම්කන ස්වරයකින් දෙසොහොයුරන්ව ඇමතීය. "අපි... අපි හොයාගන්ට ඕන එතුමන්ගෙ රූපකාය හොඳට දන්න ගල්වඩුවෙක්ව......"


Osha: “Winter’s got no king. If you’d seen it, you’d know that.”

24 comments:

  1. එහෙනම් බස්සා වෙස්ටෙරෝස් ගියා ඈ
    මයි කන්ග්‍රජුලේෂන්ස්

    ReplyDelete
    Replies
    1. බෂ්ෂා වෙෂ්ටෙරෝෂ් ගිහින් දැන් කොච්චර කල්ද පොම්.. ගෙවලුත් මාරු කලා නෙවැ.. පොර දැන් ඉන්නෙ අයර්න්වුඩ් ගහක..

      Delete
    2. පියාඹන්නත් බයයි, පොලවට බහින්නත් බයයි. හොඳට කොලතියන ගහක උඩ අත්තක වහල ඉන්න එක තරම් දෙයක් කොහෙන්ද ඇණේකින් බේරෙන්න

      Delete
    3. Beware of heat seeking"Ana" ser Bastian :P. They will find u even among trees

      Delete
    4. frozen ලු නෙ‍‍‍.. ඒක නිසා owlaක් වෙන එකක් නැහැ මයෙ හිතේ.. :-D

      Delete
    5. මං වැජිටේරියන් බස්සෙක්, චිකන් විතරමයි කන්නෙ. පොලවට බහින්නෙ කොහොමද, අර නැට්ට නැති උන්නාන්සෙ ගහමුල නෙව?

      ඔය කාක්කට කුරුමානම් අල්ලපු කතාච අමූලික බොරුවක්. අනික, කාක්කෙක් දැක්කකම අපේ PoM මතක් වෙනව කියල ඔය ලෝකයා කියන්නෙ :)

      Delete
    6. ලෝකයා ඉන්නෙ ජපානෙද?

      Delete
    7. @ බස්සො,

      නැට්ට නැති උන්නාන්සෙ ලෝකයා තමා, ඒක ඉතින් කවුරුත් දන්න දේ නෙවැ.. ඒ වුනත් හරි නෑ නේද එහෙම මූනටම කියන එක.. ;-)

      Delete
    8. ජපානෙ ඉන්න අය මෙහෙ ඉන්න පොම්ව නටවනව වගේ රූකඩ උන්නාන්සෙව මොන puppet master නටවනවද කියල මේ කල්පනා කලේ. ඒත් ඉතින් පොම්නම් ඔය ඕනැකෙනෙකුට පේන්න කාලවර්ණයෙන් බැබලි බැබලී ඉන්නවනෙ. සමහරුනම් කියන්නෙ රූකඩ උන්නාන්සෙ a figment of imagination විතරයි කියල. අපි ඔක්කොම deluded කියල

      Delete
    9. රූකඩ උන්නාන්සෙව ?? කලින් නැටෙව්වෙ කොයිරාළ කියල කෙනෙක්..එක්කො ඕනැන්නෙ නෑ. ඔව්වා කියන්න ගිහිල්ලා මේ යස අගේට තියෙන මයෙ බූල් වලිගෙ කපා ගන්නෙ මොකටද?

      ඇස් තුනේ කපුටා තමා කිව්වෙ :)

      Delete
    10. Maneesha koirala da?
      Ser Notail loves to comment on my beautiful color.
      What's wrong ser?
      Jealous?
      Had vitiligo like the moonwalker?

      Delete
  2. හ්ම් එහෙම නං බ්‍රැන් පස්වෙනි පොත වෙන කං ඉතුරු වෙලා ඉන්නෙ එහෙමයි...
    හ්ම් හ්ම්.... එයාගෙ හීන ඕෂා....
    බ්ලා බ්ලා.... බ්ලා

    ReplyDelete
  3. දරුවො පව්...

    ReplyDelete
    Replies
    1. හැමදාමත් අහිංසකයො තමා වැඩියම දුක් විඳින්නෙ නේද?

      Delete
    2. //හැමදාමත් අහිංසකයො තමා වැඩියම දුක් විඳින්නෙ නේද//

      There are exceptions. කිසිම අහිංසක කමක් නැතුවත් ගිනිකඳු පිපිරීම්වලට අහුවුන අය ඉන්නව

      Delete
  4. කමින් කලර්ස් නොට් ගුඩ් නේ..:D

    ReplyDelete
    Replies
    1. කමින් කලර්ස් ආ ලැනිස්ටර් කලර්ස් කිවුවලු.. :-)

      Delete
  5. එන පොට හොඳ නෑ වගේ.. බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. ඒ වගේ නේ..

      දැන් කම්පියුටර් එකේ තිබුන අටානූවක් දෝෂ නවානූවක් ව්‍යාධි සනීප ද?

      Delete
  6. එහෙම වුනේ ඇයි කියල මම මේ කල්පනා කලේ.. කමක් නෑ කියවගෙන යමුකෝ බලන්න.. එතකොට උත්තර ලැබේව්නේ..

    ReplyDelete
    Replies
    1. එහෙම වුනේ ඇයි - අයි ඩෝන්ට් නෝ වයි

      එහෙම වුනේ කිවුවෙ කොහොම වුනේ ද දිනේශ්?

      Delete