Monday 16 March 2015

ආර්යා 05-2


මෙවර මේ ඝන්ටානාදයෙන් කියැවෙන්නේ කුමක්දැයි විමසිලිමත්වෙමින්, ආර්යා හිස ඔසවා ඇහුම්කන් දුන්නාය.

"ඒ ගමන මොකක්ද?" මුලුතැන්ගෙයක සිටි සිටි මහත මිනිසෙක් කෑ ගැසුවේය.

"දෙයියො අනුකම්පා කරන්ට. ආයෙමත් ගාන්ටාර ගහනවා." මැහැල්ලක් අඳෝනා නැගුවාය.

වර්ණවත් සේද රෙදි කඩක් හැඳ සිටි, රතු කෙසින් යුතු ගණිකාවක් දෙවන තට්ටුවේ වූ ජනේලයක් විවර කරමින් පෙනී සිටියාය. "ඒ ගමන පොඩි රජා මැරිලද?" වීථිය දෙසට නැඹුරුවෙමින් ඇය විමසුවාය. "ඔහොම තමා පොඩි කොල්ලෝ. වැඩිය අල්ලා හිටින්නේ නෑ." ඇය සිනාසෙන අතර නිරුවතින් සිටි මිනිසෙක් ඇයට පිටුපසින් දෑත් යවා, ඇයව බදා, ඇගේ ගෙල සපන්නටත්, ඇඳුමට යටින් එල්ලෙමින් තිබු ඇගේ මහත, සුදු, පියයුරු මිරිකන්නටත් පටන් ගත්තේය.

"මෝඩ වේසි!" මහත මිනිසා ඉහළ බලා පිළිතුරු දුන්නේය. "රජ්ජුරුවෝ මැරිලා නෑ. ඕක කැඳවීම් ගන්ටාවක් විතරයි. ඇහෙන්නේ නැද්ද එක කුළුණයි සද්ද කරන්නේ. රජ්ජුරුවෝ මැරුනා නං නගරයේ තියන හැම ගන්ටාවම ගහනවා නෙව."

"ඒයි, ඔය හපන එක නවත්තපන්. නැත්තං මම උඹේ ගන්ටාරේ ගහනවා." ඇය තමා පිටුපසින් සිටි මිනිසාට වැලමිටෙන් වැලමිටෙන් ඇන්නාය. "රජා නැත්තම් කවුද මැරුනෙ?"

"ඒක කැඳවීමක් විතරයි." මහත මිනිසා නැවත කීවේය.

ආර්යා ගේ වයසෙහිම වූ කොලුවන් දෙදෙනෙක් මඩ කඩිත්තක් කලතමින් ඇය පසුකර දිව ගියහ. මැහැල්ල ඔවුනට ශාප කලද ඉන් ඔවුන්ගේ වේගය අඩු වුයේ නැත. අනෙකුන්ද ශබ්දය ආ දෙසට ගමන් කරමින් සිටියේ මේ කුමක්දැයි දැනගනු පිණිස විය. අඩු වේගයකින් දිවූ කොලුවා පසුපස ආර්යා දිවගියාය. "කොහෙද මේ දුවන්නේ?" ඔහුට ලංවූ ඇය කෑගසා ඇසුවාය. "මොකක්ද වෙන්ට යන්නේ?"

වේගය අඩු නොකරම ඔහු ඇය වෙත හැරුනි. "රන්කබාකාරයෝ එයාව සප්තකයට අරන් යනවා."

"කාවද?" වේගයෙන් දුවමින් ඇය කෑගෑවාය.

"හස්තය! බූ කියනවා උන් එයාගේ හිස ගසා දාන්ටලු යන්නේ."

කලින් ගමන් කල කරත්තයක් විසින් වීථියෙහි ගැඹුරු ඇගිලියක් සාදා තිබුනි. කොලුවා එයට උඩින් පිනු නමුදු ආර්යා එය නොදුටුවාය. ඇය පය පැකිලී මුනින් අතට බිම ඇදවැටුනේ ගලක වැදුනු දණහිස සීරි ගියේය; පොළොවේ හැපුනු ඇඟිලි තැලී ගියේය. ඉදිකටුව දෙපා අතර පැටලුනි. ඇය ඉකි ගසමින් දණින් නැගිටගත්තාය. ඇගේ වමතේ මහපටැඟිල්ල ලෙයින් වැකී තිබුනි. එය කටේ දමා උරන අතර එහි නියපොත්ත දෙකඩ වී කොටසක් හැලී ගොස් ඇති බව පෙනුනි. ඇගේ දෑත් පුපුරු ගැසූ අතර දණහිස ලෙයින් පෙඟී ගොස් තිබුනි.

"ඉඩ දීපල්ලා!" යමෙකු හරස් පාරේ සිට මුර ගෑවේය. "මගේ රෙඩ්වින් උතුමන්ට ඉඩ දීපල්ලා!" සෙබළුන් සිවුදෙනෙකු දරා පිම්මේ ආ දැවැන්ත අසුන් සිවුදෙනෙකුට යටනොවී යන්තම් පාරෙන් ඉවතට පැන ගැනීමට ආර්යාට හැකි විය. ඔවුහු නිල් සහ රතු පැහැ කොටු වැටුනු සළු පැළැඳ සිටියහ. සර්වප්‍රකාරයෙන්ම එකිනෙකාට සමාන වූ තරුණ වංශාධිපතින් යුගලක් එක සමාන වූ චෙස්නට් පැහැ වෙළඹුන් දෙදෙනෙකු පිට නැගී ඔවුන් පසුපස ගමන් කලහ. ආර්යා ඔවුන් දෙදෙනාව සියවරක් පමණවත් අංගනයේදී දැක තිබුනි. රෙඩ්වින් නිවුන්නු හෙවත් සෙර් හොරාස් සහ සෙර් හොබර් වනාහි තැඹිලි පැහැ හිසකෙසින් හා දුඹුරු ලප සහිත සතරැස් මුහුණින් යුතු චාම් තරුණයන් දෙදෙනෙකු වූහ. සන්සා සහ ජේන් පූල් ඔවුන් දුටු හැමවිටම කෙකර ගෑවෝය. ඔවුන්ට සමච්චලයට කීවේ සෙර් හොරර් හෙවත් 'සන්ත්‍රාසය' සහ සෙර් ස්ලොබර් හෙවත් 'කෙල හලන හොබර්' යනුවෙනි. දැන්නම් ඔවුන් දෙපල විහිළුවක් ලෙසින් පෙනුනේ නැත.

* * *

සිදුවන දෙය දැන ගැනීමට උත්සුක වූ ඔවුන් සියලුදෙනාම එකම දිසාවකට ගමන් කරමින් සිටියහ. ඝණ්ටාවල ශබ්දය දැන් වඩාත් උස්ව ඇසුනි. ආර්යාගේ නියපොත්ත කැඩුනු මහපටැඟිල්ල මහත් ලෙස රිදුම් දුන්නේය. රිදුම් දෙන ඇඟිල්ලේ වේදනාව නිසා නැගෙන හැඬුම් ආයාසයෙන් සිර කර ගනිමින් ඇය ජන ගංගාව සමග එක්වුවාය. වේදනාව මැඩගෙන දෙතොල් විකාගත් ඇය කොර ගසමින්, අවට මිනිසුන් ගේ උනන්දුකර කතාබහට ඇහුම්කන් දුන්නාය.

"-රජතුමාගෙ හස්තය. ස්ටාර්ක් උතුමානන්. උන් එයාව බේලර්ගෙ සප්තකයට උස්සගන යනවා."

"මට ආරංචිවුනේ එයා මැරුනා කියලයි."

"ඉක්මනටම වෙයි. ඔවු ඉක්මනටම. රිදී කාසියක් ඔට්ටුයි අද මුගේ ඔලුව ගහල යනවා."

"ඔහොම උන එකම හොඳයි. ද්‍රෝහියා!" මිනිසා කෙළ ගැසීය.

ආර්යාගේ ගොළු වූ මුව විවර විය. "එයා එහෙම නෑ-" ඇය පටන්ගත් නමුදු පුංචි කෙල්ලක වූ ඇය කී දේ නෑසුනාක් මෙන් ඔවුහු තම කතාව කරගෙන ගියහ.

"එහෙම ඔළුව කපන්නෙ නෑ බූරුවො! සප්තක දෙවස්තානේ පඩිපෙළ උඩ ද්‍රෝහියන්ගෙ හිස් ගසා දමන්ට පටන් ගත්තේ කවදා ඉඳලද?"

"මිනිහව මෙතනට ගෙනාවේ නයිට් දිවුරුමක් ගන්ට නෙවෙයි නේ බොල. මට අහන්ට ලැබුන විදියට ස්ටාර්ක් තමා පරණ රොබර්ට් රජ්ජුරුවො මරල තියෙන්නෙ. ඌ කැලෑවෙදි රජ්ජුරුවන්ව බෙල්ල කපල මරල දැම්මලු. ඊට පස්සේ කිසි දෙයක් උනේ නෑ වගේ ඉඳගෙන කිව්වලු, ඒක කලේ වල්ඌරෙක් කියල."

"ඕක අමුලික බොරුවක්. අර රත්තරන් අං තට්ටුවක් හයි කරගෙන ඉන්න රෙන්ලි තමා රජ්ජුරුවන්ට වැඩේ දුන්නේ."

"බොරු නොකියා කටවහගෙන හිටපං ගෑනියේ. උඹ එළදෙනක් වගේ දොඩවන්නේ. රෙන්ලි උතුමානන් කියන්නෙ බොහොම ගුණයහපත්, කෙලින් මිනිහෙක්."

සොයුරියන්ගේ වීථිය වෙත ළඟාවන විට සෙනග උරිනුර ගැටෙන තරමට තදබද වී සිටියහ. ජනගංගාවට තමාව නිරායාසයෙන්ම විසෙන්යා ගේ කඳු මුදුනට රැගෙන යන්නට ආර්යා ඉඩ දුන්නාය. සුදු කිරිගරුඬෙන් කල චතුරස්‍රය බේලර් සප්තකයට වඩා ලංවන්නට පොදිකන මහජනයාගෙන් පිරී පැවතුනි. ඝන්ටා නාදය ඉතා උස් හඬින් ඇසෙන්නට විය.

ලී අසිපත තදින් මිරිකා අල්ලාගත් ආර්යා සෙනඟ අතරින් පණුවකු මෙන් ලිස්සා යමින්, අසුන්ගේ කුර අතරින් රිංගමින් ඉදිරියටම ඇදුනාය. ජනකාය මැද තදබදව සිටි ඇයට සප්තකයේ උස්, සිහින් කුළුණු හැර දැකගත හැකි වූ එකම දෙය මිනිසුන්ගේ දෑත්, දෙපා සහ බඩවල් පමණි. අසල වූ ලී කරත්තයක් දුටුවිට ඒ මතට නැග ගතහොත් සියල්ල පැහැදිලිව දිස්වනු ඇති බව ඇයට වැටහුනු නමුදු අවාසනාවකට මෙන් තවත් බොහෝ දෙනෙකුට ද එම නුවණ පහල වී තිබුනි. කරත්තකරු ඔවුන්ට සාප කරමින්, කසපහර දෙමින් ඔවුන්ව ඉන් පන්නා දැමුවේය.

ආර්යා කලබල වුවාය. ඉදිරි පෙළටම තල්ලු වීමට දරන උත්සාහයේදී ඇයව යම් ප්‍රථිමාවක පාදස්ථය මතට තෙරපනු ලැබුනි. ඉහල බැලූ ඇයට දක්නට ලැබුනේ පූජක රජු හෙවත් ආශිර්වාද ලත් බේලර් ගේ දැවැන්ත මුහුණ විය. ලී අසිපත ඉණතුරෙහි ගසා ගත් ඇය ඉහළ නගින්නට පටන් ගත්තාය. බිඳී ගිය නියපොත්ත කිරිගරුඬ මත ලේ පල්ලම් ඇති කලේය. එහෙත් ඇය අවසානයේ එහි ලඟා වී රජුගේ දෙපා අතර හරිබරි ගැසී හිඳ ගැනීමට සමත් වූවාය.

ඊළඟ මොහොතේ ඇය සිය පියාව දුටුවාය.

* * *

එඩාර්ඩ් ස්ටාර්ක් උතුමානන්, රන්කබාකරුවන් දෙදෙනෙකුට වත්තම් වෙමින්, සප්තකයේ දොරටුව අබියස දේශනා මණ්ඩපයේ සිටගෙන සිටියේය. ඔහු සුදු පබළුවලින් ඝෝරවෘකයෙකු ගෙත්තම් කල අළු පැහැ විල්ලුද උඩු කබායකින් හා ලොමින් නිමකර ලොමින් ‍පෝරු දැමූ අළුවන් සළුවකින් සැරසී හුන්නේය. එනමුදු ආර්යා මින් පෙර කිසිදු දිනක දැක නොමැති තරම් ඔහු කෘෂව ගොස් සිටියේය. ඒ මුහුණ වේදනාවෙන් ඇදී ගොස් තිබුනි. ඔහු සිටගෙන සිටිනවාට වඩා ඔසොවාගෙන සිටින්නාක් බඳ විය. ඔහුගේ බිඳුණු පයට දැමු වෙළුම්පටි කළුපැහැ ගැන්වී ජරාජීර්ණ වී තිබුනි.

ඔහුට පිටුපසින් ප්‍රධාන සප්තක පූජකවරයා සිටගෙන සිටියේය. ඒ වනාහි හසුරවා ගත නොහෙන තරම් තරබාරු සිරුරෙන් යුතු මිටි මහල්ලෙක් විය. සුදෝ සුදු දිගු ලෝගුවකින් සැරසුනු හේ සතර දෙසටම දේදුනු වර්ණ විහිදු රනින් හා පළිඟුවෙන් කල දැවැන්ත ඔටුන්නක් පැළැඳ සිටියේය.

සප්තකයේ දොරටු අබියස දේශනා මණ්ඩපය ඉදිරිපිට නයිට්වරුන් සහ උසස් වංශාධිපතීන් පිරිසක් රැස්කමින් සිටියහ. ලේ රතු පැහැ සේද සහ පට රෙද්දෙන් කල, සිංහයන් සහ ගෝනුන්ගෙන් යුතු අලංකාර ඇඳුමකින් සැරසී, රන් කිරුළක් පැළැඳ සිටි ජොෆ්රි ඔවුන් අතර ප්‍රමුඛස්තානය ගත්තේය. ඔහුගේ මව් රැජින රතු මිශ්‍ර කළුවන් අවමංගල ඇඳුමකින් සැරසී, කළු දියමන්තියෙන් කල වේලයක් හිස පැළැඳ සිටියාය. සිය අඳුරු අළුවන් සන්නාහයට පිටතින් හිම මෙන් සුදු පැහැ පැළැඳ, රාජ්‍යාරක්ෂක බලකායේ නයිට්වරුන් සිවුදෙනෙකු පිරිවරා සිටි දඩබල්ලා ද ආර්යාට හැඳිනිය හැකි විය. මෝස්තර සහිත දමස්ක ලෝගුවකින් සැරසී සිටි වාරිස් නම් පණ්ඩකයා සුමුදු පාවහන් ලු දෙපයින් වංශාධිපතීන් අතර එහා මෙහා යමින් සිටියේය. ඒ අතර සිටි උල් යටිරැවුලක් ඇති, රිදීවන් කෙටි ලෝගුවකින් සැරසුනු කුඩා මිනිසා වරෙක ඇගේ මව වෙනුවෙන් ද්වන්ද්ව සටනක් කල තැනැත්තා විය හැකි බව ආර්යාට සිතුනි.

මේ සියල්ලටම අමතරව ඒ මධ්‍යයයේ සන්සා ද විය. අහස් නිල් පැහැති සේද ගවුමක් හැඳ සිටි ඇගේ රතු-දුඹුරු හිසකෙස් මනාව සෝදා කැරලි කර තිබුනි. දෑත් වල රිදී වළලු පැළැඳ සිටි ඇගේ පෙනුම ආර්යාට රිස්සුවේ නැත. ඇගේ සොයුරිය මෙතන කුමක් කරන්නේ ද? ඇය මෙතරම් සතුටු පෙනුමකින් සිටින්නේ ඇයි?

හෙලි රැගත් රන්කබාකාරයින් පෙළක් ජන සන්නිපාතය පාලනය කරමින් සිටියහ. ඔවුනට අණ දුන් මහත අණදෙන නිළධාරියා කලු ලැකර් සහ රනින් වැඩ දැමු අගනා විචිත්‍ර සන්නාහයක් පැළෑඳ සිටියේය. ඔහුගේ සළුව සත්‍ය රන් හුයෙන් කල රෙදි වල දක්නට ලැබෙන ලෝහමය දිලිසීම පෙන්නුම් කලේය.

ඝණ්ටා නාදය කෙමෙන් මැකී යද්දී චත්‍රරස්‍රය පුරා කෙමෙන් කෙමෙන් නිහඬතාවක් පැතිර යන්නට විය. ඇගේ පියා හිස ඔසොවා ඉතා දුර්වල හඬකින් කතා කරන්නට පටන්ගත්තේ ය. ඔහුගේ හඬ කෙතරම් දුබල හා සිහින් වී ද යත් ඒ කියන කිසිවක් ඇයට නොවැටහුනි. ඇයට පිටුපසින් සිටි මිනිස්සු කෑගසන්නට පටන් ගත්හ. "මොකද්ද කිව්වෙ?" "හයියෙන් කියපං!" කළු හා රන් සන්නාහයෙන් සැරසුනු මිනිසා ඇගේ පියා වෙත පසුපසින් ලංවී ඔහුට තද හෙලි පහරක් දුන්නේය. 'එයාට ඉන්ට දීපන්!' ආර්යාට කෑගසන්නට සිත්විය. එනමුදු කිසිවෙකු ඇයට සවන් නොදෙන බව ඇය දත් ඇය දෙතොල් විකා ගත්තාය.

පියා සිය ස්වරය උස්කර නැවත කතාව ඇරඹුවේය. "මම එඩාර්ඩ් ස්ටාර්ක්. වින්ටෙර්ෆෙල්වල උතුමානන් සහ රජතුමා‍ගේ හස්තය." ඔහුගේ හඬ පෙරට වඩා උස්ව නැගුනු අතර එය චතුරස්‍රය පුරා විහිදී යන්නට විය. "මම දැන් ඔබලා ඉදිරියට ඇවිල්ලා ඉන්නෙ මගේ රාජද්‍රෝහී ක්‍රියාව ගැන මිනිසුන් සහ දෙවියන් ඉදිරියේ පාපොච්චාරණය කරන්ටයි."

"එපා!" ආර්යා කෙඳිරි ගෑවාය. ඇයට පහළින් සිටි ජනතාව කෑගසන්නටත් දෙස් දෙවොල් තබන්නටත් අරඹා තිබුනි. සන්සා සිය මුහුණ දෑත් අතර සඟවා ගත්තාය.

කලිකලහය මැද්දේ පැහැදිලිව ඇසෙනු පිණිස ඇ‍ගේ පියා කටහඬ තවත් උස් කලේය. "මම මගේ රජතුමාගෙ විශ්වාසය පාවාදුන්නා. මගේ යාළුවා රොබර්ට්ට ද්‍රෝහි වුනා." ඔහු මොරගෑවේය. "මම දිවුරලා පොරොන්දු වුනා එයාගෙ දරුවන් ආරක්ෂා කරනවයි කියලා. ඒ වුනත් එයාගෙ ලේ සීතල වෙන්ටත් කලින් එයාගෙ දරුවා මරා දාලා රාජ්‍යය උදුරගන්ට කුමන්ත්‍රණය කලා. මම මේ ප්‍රකාශ කරන්ට යන සත්‍යය වෙනුවෙන් ප්‍රධාන පූජකතුමාත්, ආශ්ර්වාද ලත් බේලරුත්, සප්තකයේ දෙවිවරුනුත් සාක්ෂි දෙනු ඇති. යකඩ සිංහාසනයේ නියම උරුමක්කරු ජොෆ්රි බරතියන් මිස අනිකෙක් නොවේ. සියළු දෙවිවරුන් ගේ කරුනාව ඇතුව එතුමා රාජධානි සප්තකයේ උතුමානන් හා රාජධානියේ නියම ආරක්ෂකයා වනු ඇත."

පිරිස අතරින් ගලක් පියඹා ආවේය. එය පියාගේ සිරුරේ වදිනවා දුටු ආර්යා හට හැඬුනි . රන්කබාකරුවෝ ඔහුව වැටෙන්නට නොදී අල්වා ගත්තෝය. ඔහුගේ නළලේ ගල වැදී ඇති වූ තුවාලයෙන් රුධිරය ගලා යමින් තිබුනි. තව තවත් ගල් පහර එල්ල වන්නට විය. එකක් පියාගේ වම් පැත්තේ සිටි සෙබලා ගේ වැදුනු අතර තවෙකක් රන්-කළු සන්නාහය පැළැඳ සිටි නයිට්වරයාගේ පපු ආවරණයේ වැදුනි. ජොෆ්රි සහ රැජින වෙත ගිය රාජ්‍යාරක්ෂක නයිට්වරුන් දෙදෙනෙක් ඔවුන්ගේ පලිස් වලින් රාජකීයයන්ට ආරක්ෂාව සැලසුහ.

හැඳ සිටි සළුවට යටින් ඇදී ගිය ආර්යාගේ හස්තය කොපුවෙහි ලූ ඉඳිකට්ට හා ගැටින. එහි මිට වටා තදින් වෙලී ගිය ඇගේ අතැඟිලි මින් පෙර කිසිදා කිසිවක් මිරිකා නොගත් තරම් තදින් එය මිරිකාගත්තේය. 'අනේ කරුනාකරලා දෙවියනි. එයාව ආරක්ෂා කරන්ට!' ඇය යාඥා කලාය. 'උන්ට ම‍ගේ තාත්තට හානියක් කරන්ට ඉඩදෙන්ට එපා!'

ප්‍රධාන දේවගැති තුමා ජොෆ්රි සහ ඔහුගේ මව අසල දණ නැමුවේය. "අපේ පවුවලට අපි වන්දි ගෙවන්ට ඕනෑ." පියාගේ ස්වරයට ද වඩා උස් වූ, පැතිර යන සුළු, ගීතවත් හඬකින් ඔහු කියා සිටියේය. "මේ මිනිසා මේ ශුද්ධ වූ ස්ථානයට ඇවිල්ලා තමන් කල පවු මිනිසුන් සහ දෙවියන් ඉදිරියේ පාපොච්චාරණය කලා." කන්නලව් කරනු පිණිස ඔහු දෑත් ඔසවද්දී සප්තාලෝකය ඔහු වටා දේදුන්නක් මෙන් පැතිරී ගියේය. "දෙවියන් සාධාරණයි. ඒ වුනත් ආශීර්වාද ලත් බේලර් අපිට කියා දුන්නේ දෙවියන් අනුකම්පා සහගතයි කියලයි. මේ ද්‍රෝහියාට කුමක් කල යුතුද මගේ ස්වාමිනී?"

හඬවල් දහසක් ඇයට පිටුපසින් මුරගාමින් සිටියද ආර්යා හට ඒ කිසිවක් නොඇසුනි. ජොෆ්රි කුමරා... නැහැ ජොෆ්රි රජතුමා... සිය රාජ්යාරක්ෂකයන්ගේ පලිස් අතරින් පිටතට ආවේය. "මගේ මව් රැජින මට උපදෙස් දුන්නේ එඩාර්ඩ් උතුමානන් නිශා රැකුමට එක්වෙන්ට ඕන කියලයි. සන්සා ආර්යාව එයාගෙ තාත්තා වෙනුවෙන් අනුකම්පාව අයැදිනවා." ඔහු ඉන්පසු සන්සා දෙස කෙලින් බලා සිනාසුනේය. දෙවියන් තම යාඥාවන්ට සවන් දුන් බවක් එක් මොහොතකට ආර්යාට සිතුනි. එනමුදු ඒ ජොෆ්රි ජනකාය දෙස බලා මෙසේ පවසන තෙක් පමණි. "ඒ වුනත් එයාලා ගෑනු. එයාලගේ හදවත් මෘදු වැඩි. මම උඹලගේ රජතුමා වෙලා ඉන්නකල් ද්‍රෝහීන්ට සමාවක් නැහැ. සෙර් ඉලියන්, මට උගේ ඔළුව ගෙනත් දීපන්!"

* * *

ජනසන්නිපාතය යටිගිරියෙන් හඬ තැලූහ. ඔවුන් නගින බසින රළක් මෙන් ප්‍රථිමාවේ හැප්පෙද්දී බේලර් ගේ ප්‍රථිමාව පැද්දෙනු ඇයට දැනුනි. ප්‍රධාන පූජකතුමා රජතුමා‍‍ගේ කෙටි කබායෙන් අදිමින් සිටියේය, වාරිස් යමක් කියමින්, දෑත් වනමින් පියඹා ආවේය, රැජින පවා ජොෆ්රිට යමක් කියමින් සිටියාය. නමුත් ඔහු හිස සැලීය. උස්, මුදු දම්වැල් සන්නාහයෙන් වැසුනු මසින් තොර ඇටසැකිල්ලක් බඳු වූ රජුගේ යුක්තිය පසිඳලන්නා ඉදිරියට එද්දී ඔහුට ඉඩ දෙමින් වංශාධිපතිවරුන් හා නයිට්වරුන් සියල්ල පසෙකට වුහ. සිය සොහොයුරිය කෑගසන අයුරු ආර්යාට ඉතා දුරකින් එන හඩක් මෙන් ඇසුනි. සන්සා ඉකිබිඳිමින් දණින් වැටුනාය. සෙර් ඉලියන් පේය්න් දේශනා මණ්ඩපයේ පියගැට නැගගෙන ගියේය.

ඉඳිකට්ට ඇදගත් ආර්යා බේලර් ගේ දෙපා අතරින් මිදී ජනතාව අතරට පැන්නාය. මස් වෙළෙන්දෙකු ගේ සිරුරේ වැදුනු ඇය ඔහුව බිම පෙරලා දැමුවේය.  ඒ මොහොතේම යමෙකු ඇගේ පසුපසින් සිරු‍රේ ගැටුනු අතර ඇය බිම වැටෙන්නටම වාගේ ගියේය. මිනිස්සු ඇය වටා තෙරපෙමින්, දඟලමින්, අදිමින්, තල්ලු කරමින් අසරණ මස් වෙළෙන්දා පාගා දැමුහ. ආර්යා ඔවුන් වෙත ඉඳිකට්ටෙන් පහර දුන්නාය.

ඉහළ දේශනා මණ්ඩපය මත හුන් සෙර් ඉලියන් පේය්න් යම් සංඥාවක් කල අතර රන්-කළු සන්නාහය හැඳි නයිට්වරයා විධානයක් දුන්නේය. රන්කබාකරුවෝ එඩාර්ඩ් උතුමානන්ව අල්ලා හිස හා පපුව පිටතට විහිද තිබෙන ලෙස කිරිගරුඩ පුවරුව මත බිම බෑවූහ.

"ඒයි උඹ!" යමෙකු කේන්තියෙන් මෙන් ඇයට මොරගෑවේය. එනමුදු ඇය වේගයෙන් දිවයමින්, මිනිසුන් දෙපසට තල්ලු කරමින්, ඇයට බාධාවක් වන කවරෙකු හෝ වේ නම් කඩු පහර දෙමින් ඉදිරියටම ගියාය. කොහෙන්දෝ පැමිණි අතක් ඇගේ කකුලක් අල්ලා ගන්නට උත්සාහ කල අතර ඇය එයට පහර දුන්නාය. දෙපාවලට පා පහර දුන්නාය. ගැහැණියක පා පැකිලී බිම ඇදවැටුනු අතර ආර්යා ඇගේ පිට දිගේ දිව ගියාය. දෙපස සිටි සියල්ලන් හට කඩු පහර එල්ලකරමින් ඉදිරියට ගියාය. එනමුදු මේ කිසිවකින් පලක් නොවීය. මිනිසුන් බොහෝ ප්‍රමාණයක් සිටි අතර ඉඩක් පෑදුනු වහා එය වැසී ගියේය. ඇයට තවමත් සන්සාගේ කෑගැසුම ඇසෙන්නට විය.

සෙර් ඉලියන් සිය පිටේ බැඳගෙන සිටි කොපුවෙන් දෑතින්ම එසවිය යුතු දැවැන්ත මහකඩුවක් පිටතට ඇදගත්තේ ය. ඔහු අසිපත හිසට ඉහලින් ඔසවද්දී අඳුරු ලෝහමය අසිපත් තලය මත හිරු රැස් නටන්නාක් මෙන් පෙනුනි. දැලිපිහියකටද වඩා තියුණු වූ අසිපත් දාරය දිලිසුනි. 'අයිස්!' ඇය සිතුවාය. 'එයා ගාව අයිස් තියෙනවා!' කම්මුල් දිගේ කඳුළු ගලා යද්දී දෑසට නැගුනු කඳුළු විසින් ඇගේ දර්හන පථය අවහිර කලේය. 

ඊළඟ මොහොතේ පිරිස අතරින් ක්ෂණයෙන් ඇදී ආ සවිමත් අතක් ඇගේ අත දඬුඅඬුවකින් මෙන් දැඩිව අල්ලාගත්තේය. එය කෙතරම් සවිමත් වී ද යත් ඉදිකට්ට ඇගේ අතින් ගිලිහී විසිවුනි. දෙපයින් ඔසොවා ගනු ලැබූ ආර්යා බෝනික්කෙකු මෙන් ඔහුගේ දෑතට සිරවී සිටියාය. දිගු කළු කෙස්, හැඩපලු ‍ගෙතුනු රැවුලක් හා දිරාගිය දතින් යුතු මුහුණක් ඇගේ මුහුණ අසලට තෙරපින. "බලන්ට එපා!" ගැඹුරු හඬක් ගෙරවීය.

"මම... මම... මම..." ආර්යා  ඉකි ගැසුවාය.

වියපත් මිනිසා ඇයව කෙතරම් තදින් සෙලවීද යත් ඇගේ දත් එකට වැදී කට කට ගෑවේය. "උඹේ කට වහගෙන ඇස් පියාගනින් කොල්ලෝ." සිහිනයකින් ඇසෙන්නාක් මෙන්, ඉතා ඈත දුරකින් ඇසෙන්නාක් මෙන් දුබලව නැගුනු යම් හඬක්... මෘදු හඬක්... ඇගේ කණ වැකුනි. එය හරියට මිනිසුන් දහස් ගණනක් එකවරම හුස්ම පහල හෙලුවාක් වැනි හඬකි. මහලු මිනිසාගේ යකඩ මෙන් සවිමත් වූ අතැඟිලි ඇගේ බාහුවට තදින් කා වැදුනි. "මං දිහා බලපං. ඔවු. අන්න එහෙම, මං දිහාම බලපං." ඔහුගේ ප්‍රශ්වාසය නරක්වූ වයින් ගඳින් පිරී තිබුනි. "උඹට මතකද  කොල්ලෝ?"

ඇගේ මතකය අවදිකරන්නට සමත් වූයේ අන් කිසිවක් නොව ඒ වයින් ඝන්ධය විය. හැඩපලු ගෙතුණු ජරා හිසකෙස්, ඇඹරුණු උරහිස් වසා ගෙන තිබු, අණ්ඩ දැමු දුහුවිලි වැකුනු කළු සළුව, ඇය දෙස බලා සිටි කළු දෑස්. සිය පියා හමුවීම පිණිස පැමිණි මේ කළු සොහොයුරා ඇයට මතක් විය.

"උඹට මතකයි නේද? බොහොම බුද්ධිමත් කොල්ලෙක්." ඔහු කෙල පහරක් ගැසීය. "උං මෙතැන වැඩේ කරලා අහවරයි. උඹ දැන් මගෙත් එක්ක එන්ට ඕනේ. ඒත් එක්කම උඹේ කට වහගන ඉන්ට වගබලාගනින්." ඇය එයට පිළිතුරක් දෙන්නට සුදානම් වද්දී ඔහු පෙරටත් වඩා තදින් ඇයව සෙලෙවුවේ ය. "කට වහගෙන ඉන්ට කියලා නේද මං කිව්වෙ?"

චතුරස්‍රය මිනිසුන්ගෙන් හිස් වන්නට පටන් ගෙන තිබුනි. මිනිසුන් සිය එදිනෙදා සාමාන්‍ය දිවිය වෙත නැවත යන අතරේ ඔවුන් වටා වූ තදබදය තුනී වී ගියේය. එනමුදු සිය ජීවිතය අවසන් බව ඇයට හැඟුනි. මුලු සිරුරම හිරිවැටුනාක් මෙන් ඇය යොරේන් පසුපස... ඔවු ඔහුගේ නම යොරේන් විය... ඇදෙන්නට වූවාය. අසිපත නැවත සියතට ලැබෙන තෙක්ම ඔහු ඉදිකට්ට ඇහිඳගන්නා ආකාරය ඇය දුටුවේ නැත. "මං හිතන්නෙ උඹ ඕක පාවිච්චි කරන්ට දන්නවා ඇති කොල්ලො."

"මම කොල්ලෙක් නෙ-" ඇය පටන්ගත්තා ය.

ඔහු ඇයව වසා දැමුනු දොරටුවක් තුළට තල්ලු කලේය. සිය අපවිත්‍ර ඇඟිලි ඇගේ හිසකෙස් අතරින් යවා, අඹරා, ඇගේ හිස පසුපසට තල්ලු කලේය. "-මොළේ තියෙන කොල්ලෙක් නෙවෙයි. ඒකද උඹ කියන්ට ලැස්ති උනේ?"

ඔහුගේ අනෙක් අතේ පිහියක් දිදුලුවේය.

පිහිය ඉර එළියේ දිලිසෙමින් ඇගේ මුහුණ දෙසට එද්දී ආර්යා වියරුවෙන් මෙන් පයින් ගසමින් සිය හිස පසුපසට ඇදගන්නට වෑයම් කලාය. ඇය වැරෙන් හිස දෙපසට වනමින් ඔහුගෙන් මිදෙන්නට තැත් කල නමුදු ඒ ග්‍රහණය දැඩි විය. ශක්තිමත් විය. සිය හිස්කබලේසම ඉරී යන'යුරු ඇයට දැනෙන්නට විය. එමෙන්ම සිය දෙතොලේ තැවරුනු කඳුළුවල වූ ලුණු රසය ඇයට දැනෙන්නට විය.


All she wanted was to go home, but leaving King’s Landing was not so easy as she had hoped.

31 comments:

  1. ආර්ය ගෙ කිල් ලිස්ට් එකට ජොෆ්රි වැටුණ හැටි දැං මට හිතා ගන්ට පුලුවං... මේ යොරෙන් කාරය අර හිච්චි කෙලීට මක්ක කරන්ට හදනවද මංද...
    හය්යූ..... නවත්තල හොදම තැනින්...
    පොඩ්ඩි අක්කත් කාලෙකට කලිං මෙගා ටෙලි ස්ක්‍රිප්ට් ලියපු කෙනෙක්ද මංද
    කුතුහලේ ලෙල්ලටම තියල කතාව නවත්තපු තැන

    ReplyDelete
    Replies
    1. ඕවා මාර්ටින්ගේ වැඩ මහේෂ්....පොඩ්ඩිගේ නෙමේ.:)

      Delete
  2. දන්න දන්න හැම එකාම මැරෙනවා නේ බලං ගියහම.. මම හිතුව ස්ටාර්ක් වත් බේරෙයි කියල.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට තව කවුරු මැරෙයිද දන්නේ නෑ අඟහරුවෝ...:(

      Delete
  3. ආයෙ පටාන් ගත්ත නෙව මැරිල්ල? : (
    ආයෙ කවදා කෑම මේසයක් දකින්න ලැබේවිද මන්දා?

    ReplyDelete
    Replies
    1. ඇයි බොන එක අමතක වුනාද? :P

      Delete
    2. මූත් දැන් නිකං හැලපෙ වගේ වෙලා..

      Delete
  4. ඔය කරගත්තෙ ඉතින්... බොරු පාපොච්චාරනේකුත් දීල මැරෙන්නත් උනා :(

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ඔහොම තමයි රන්. අපි කවුරුත් කවදා හරි, කාට හරි රැවටෙනවා...:(

      Delete
    2. මොකද කියන්නෙ රන්? කොහොමත් මැරෙන්ට යන එකේ සෙර්සිගෙ රහස් සේරම පිටට දීලම මලා නම් මොකද? :-)

      කොහෙද ඉතින් එච්චර මොළයක්...

      Delete
  5. ඒයි උඹ!" Means"hey you"
    I'm sorry to say its a bad translation.

    Poor ned. But wen u play, u win or u die. We all know that ned had no chance from the beginning :'(

    ReplyDelete
    Replies
    1. hey you......:)

      bad translation???
      give us a good one then :P

      Delete
    2. "මෙහෙ වරෙන්" :P

      Delete
    3. ඒක හරියන්නේ නෑ. that's 'come here' ne?

      Delete
    4. " ඒයි කෙල්ලේ" :P

      Delete
    5. //මෙහෙ වරෙන්//

      Well well, PoM disclosing the loving expressions frequently used by Fuji addressing someone we all know.

      Delete
    6. @ P,
      It just struck me that our Motts could possibly be undergoing the same blissful conditions as our PoM.

      Delete
    7. ඔන්න බොලේ ඒ සැරේ කසියා-කුමාර වටේ කැරකිච්ච පාරා වලල්ල , මයෙ දිහාට කුරුමානම් අල්ලනවා :)

      එකයි, දෙකයි, පණමට පොල් හැටයි, අපි දුවනෝ :)

      Delete
    8. Heh, too tate my Vulpine friend.
      Go get him P.

      Delete
    9. I'm quite sure u are used to that address dude :P
      Mr and Mrs quatch. :P. Walas mamayi nandayi wage athi.

      Delete
    10. ඇඩ්ඩීං.......... ;-)

      Delete
    11. Just out of sheer pleasure of torture

      Delete
  6. එඩාර්ඩ් ස්ටාර්ක්,වින්ටෙර්ෆෙල්වල උතුමානන්සමාදානයේ සැතපේවා.:(
    ශෝකයට පත් මනෝ.:(

    ReplyDelete
    Replies
    1. ශෝක තමයි. ඒත් කමෙන්ට් එක දැක්කාම හිනා ගියානේ. නෙඩ් කොහේ හරි ඉඳන් මේ කමෙන්ට් එක දිහා බලලා සතුටු වෙයි.

      Delete
  7. Noooooooooooo, noooo no no no no.... no no no... not him ....

    ReplyDelete
    Replies
    1. Yesssssssssss, yesss, yes yes yes yes..... yes yes yes... he's the culprit..... :-)

      Delete
  8. වින්ටර්ෆීල්ඩ් වලට වෙලා දෙයියනේ කියලා හිටිය මනුස්සයට වෙච්ච දෙයක්..

    පොඩි උනත් ආර්යා හිත හයිය කෙල්ලෙක්..

    ReplyDelete
    Replies
    1. හැම කෙල්ලක්ම ආර්යා වගේ නම් කොච්චර දෙයක්ද?

      Delete