Monday 30 March 2015

ටිරියන් 09


"උන් මගෙ පුතාව අල්ලගෙන?" ටයිවින් ලැනිස්ටර් ඇසුවේය.

"එහෙමයි මගෙ උතුමානනි‍." අධික වෙහෙස නිසා පණිවුඩකරුවාගේ කටහඬ අපැහැදිලි විය. ඔහුගේ ඉරී ගිය උඩු කබායේ පපුවෙහි ගෙත්තම් කර තිබුනු ක්‍රේක්හෝල්හි වල්ඌරා අඩක් ලෙයින් පෙඟි තිබුනි.

'ඔබේ එක පුතෙක්.' ටිරියන් කල්පනා කලේය. එනමුදු ඔහු ජේමි ගැන කල්පනා කරමින් වයින් උගුරක් ‍තොල ගෑවා මිස වදනකුදු නොදෙඩීය. ඔහු අත එසවූ විට දරුනු වේදනාවක් වැලිමිටි සිසාරා පැතිර ගියේ යුද්ධය සම්බන්ධයෙන් ඔහුට ඇති කෙටි මතකයන් යළි සිහිපත් කරදෙමිනි. ඔහු ඇත්තෙන්ම සිය සොහොයුරාට ආදරය කලේය. එනමුදු කාර්ස්ටලී රොක්හි ඇති සියලු රත්රන් දෙන්නෙමැයි පො‍රොන්දු වුවද ඔහුත් සමග මේ මොහොතේ කොඳුරන වනාන්තරයේ සිටින්නට ටිරියන් කොහෙත්ම කැමැති නොවනු ඇත.

පණිවුඩකරුවා මෙවදන් පවසද්දී සිය පියා විසින් රැස්වීම වෙනුවෙන් කැඳවා තිබුනු කපිතාන්වරුත්, අනෙකුත් වංශාධිපතීනුත් සියල්ලෝම මුලුමනින්ම නිහඬ වූහ. ඇසුනු එකම ශබ්දය වූයේ ප්‍රධාන ශාලා‍වේ ගිනි උඳුනෙහි වූ දරකොට පට පට හඬින් පුපුරන හඬත්, ගිනිදලුවල ස්ස්ස් හඬත් පමණි.

දකුණුකරය බලා වූ දිගු, වෙහෙසකර ගමනක නිමාවේ එක් රැයක් හෝ මෙලෙස තානායමක ගත කරන්නට ලැබීම ගැන ටිරියන් අතිශයින්ම කෘතඥ විය. එනමුදු... ඒ නැවතත් මේ තානායම වීම ගැන ඔහු කොහෙත්ම සතුටට පැමිණ සිටියේ නැත. එහි එතරම්ම අඳුරු මතකයන් රැසක් විය. ඔහුගේ පියා සිය හමුදාවේ ගමන් වේගය කෙරෙහි දැඩිව සැලකිලිමත් වූ අතර ඔවුන්ට එහි ඵලවිපාක යහමින් අත්විඳින්නට සිදුවී තිබුනි. යුද්ධයේදී තුවාල වූ සෙබළුන් හැකි උපරිමයෙන් සිය ගමන් වේගය පවත්වාගැනීමට යත්න දැරූ අතර එසේ නොහැකි වූවන් ඔවුන්ටම යමක් කරගන්නට ඉඩ දී අතරමග හැරදා පියා තිබුනි. සෑම උදෑසනකම ඔවුන්ට මිනිසුන් කිහිප දෙනෙකු - සිය අවසන් නින්ද නිදා නැවත දෑස් නොහැරිය මිනිසුන් - පාර දෙපස අත හැර දා එන්නට සිදුවිය. සෑම දහවලකම තවත් ඉවසා සිටිය නොහැකි වූ මිනිසුන් කිහිපදෙනෙක් ගමන අතරමගදීම බිම ඇද වැටුනෝය. එමෙන්ම සෑම සන්ධ්‍යාවකම තවත් මිනිස්සු වැඩිවන අන්ධකාරයට මුවා වී හමුදාව අතහැර පලා ගියෝය. ඔවුන් සමග එක්ව මෙයින් මිදී පලායන්නට ටිරියන්ට සිතුනු වාර ‍බොහෝය.

තානායමේ උඩු මහලට වී පිහාටු ‍මෙට්ටයක් දැමූ ඇඳක සුවපහසුවෙන් වැතිර, තමා පසෙකින් වැතිර නිදන ෂේ ‍ගේ උණුසුම විඳිමින් සිටියදී ඔහුගේ සහචරයා විසින් ඔහුව අවදි කරනු ලැබීය. නපුරු ආරංචියක් රැගෙන රිවර්රන්හි සිට පණිවුඩකරුවකු පැමිණ තිබුනි. එසේනම් අන්තිමේදී මේ සියල්ල කිසිදු ඵලක් නොමැති දෙයක් විය. දකුණුකරය කරා පැමිණි ඉක්මන් ගමන, නිමක් නැති වෙහෙසකර පා ගමන, පාර දෙපස අතහැර පැමිණි සෙබළුන්... මේ සියල්ල අප‍තේ ගිය උත්සාහයක් විය. රොබ් ස්ටාර්ක් ඔවුන්ට දවස් ගනනාවකට පෙරාතුව රිවර්රන්වලට ළඟා වී තිබුනි.

"කොහොමද මෙහෙම දෙයක් වෙන්නෙ?" සෙර් හැරිස් ස්විෆ්ට් කෙඳිරිගෑවේය. "කොහොමද? විස්පරින්ග් වුඩ්වල පරාජයෙන් පස්සෙ වුනත් අපට රිවර්රන්වල ලොකු හමුදාවක් ඉතුරුවෙලා තිබුනා. අපි රිවර්රන් වට කරලයි තිබුනෙ... මොන පිස්සුවක් වැහිලද සෙර් ජේමි එයාගෙ හමුදාව කොටස් තුනකට බෙදුවෙ? එයා අනිවාර්ය‍යෙන්ම දැනගන්ට ඕන ඒකෙන් එයාගෙ මුලු හමුදාවම කොච්චර ලොකු අන්තරායකට මූන පානවද කියලා."

'උඹට වඩා හොඳට එයා ඒක දන්නවා. උඹ ඔය නිකටක් නැති, මහත, බූරු, බයගුල්ලො.' ටිරියන් කල්පනා කලේය. සිය සොහොයුරා රිවර්රන්හිදී පරාජයට පත් වූ බැව් සැබැවි. එනමුදු ස්විෆ්ට් වැනි අමනයෙකුගෙන් ඔහු පිළිබඳ මෙවැනි නින්දා බස් පිටවනු ඇසීම ඔහුට ඉහිලුම් නොදුන්නේය. කිසිදු ලැජ්ජාවක් නොමැති, බියගුලු මේ ඉච්ඡාකාරයා සිය දිවිය තුළ සිදුකර තිබුනු වැදගත්ම දෙය වූයේ තමා මෙන්ම තරබාරු වූ සිය දියණිය සෙර් කෙවන්ට විවාහකර දී එමගින් ලැනිස්ටර්වරුන් සමග ඥාතිත්වයක් ගොඩනංවා ගැනීම පමණි.

"මම වුනත් ඒ දේම කරයි." ටිරියන් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ශාන්ත භාවයකින් යුතුව ඔහුගේ බාප්පා පිළිතුරු දුන්නේය. "ඔබ කවදාවත් රිවර්රන් දැකලා නැහැ සෙර් හැරිස්. එහෙම දැකලා තිබුනා නම් ඔබ තේරුම් ගනියි ජේමිට ‍වෙන විකල්පයක් තිබුනෙ නැහැයි කියන එක. මේ බලකොටුව පිහිටලා තියෙන්නෙ ටම්බල්ස්ටෝන් ගංගාව රතු ගංගාවට වැටෙන තැන ගොඩබිම අද්දරමයි. මේ ගංගා දෙක නිසා ත්‍රිකෝණයෙ දෙපැත්තක් ආවරණය වෙනවා. අනතුරුදායක කාලයක් ආපු ගමන් ටලීලා ග‍ඟේ ඉහළින් තියෙන සොරොවුවක් අරිනවා. එතකොට තුන්වෙනි පැත්තෙ තියෙන දියඅගල වතුරෙන් පිරිලා යනවා. රිවර්රන් තනිකරම දූපතක් වෙනවා. බලකොටුවෙ ප්‍රාකාර ‍කෙලින්ම වතුරෙ ඉඳන්මයි ඉහළ නගින්නෙ. උන්ගෙ බලකොටු කුළුණුවල ඉන්න ආරක්ෂකයින්ට පුළුවන් තුන්පැත්තෙම ලීග ගානක් දුර යනකම් බලන්ට. කෙනෙකුට ‍මේ බලකොටුව වටලන්ට ඕන නම් එයා තුන් පැත්තකින් හමුදාව යොදවන්ට ඕන. ටම්බ්ල්ස්ටෝන්වලට උතුරෙන් එක කඳවුරකුත්, රතු ගංගාවෙන් දකුණෙ එක කඳවුරකුත්, මේ ගංගා දෙක මැද්දෙ, දියඅගලෙන් බටහිරට වෙන්ට තව කඳවුරකුත් දාන්ට ඕන. වෙන ක්‍රමයක් නැහැ. කිසිම ක්‍රමයක් නැහැ."

"සෙර් කෙවන් කියන්නෙ ඇත්තයි මගේ උතුමනි." පණිවුඩකරුවා පැවසීය. "අපි කඳවුරු හැම එකක්ම වටේට උල් කරපු රිටි ගහලා දඬුවැටවල් බැඳලයි තිබ්බෙ. ඒ වුනත් ඒ දේ ඇති වුනේ නෑ. පහරදීම ආවෙ හදිස්සියෙමයි. අනික ගඟ නිසා අපි තුන්ගොල්ලම එකාට එකා වෙන්වෙලයි හිටියෙ. උං මුලින්ම උතුරු කඳවුරට කඩන් පැන්නා. කිසිම කෙනෙක් ‍මෙහෙම පහරදීමක් බලාපොරොත්තුවෙන් හිටියෙ නෑ. මාර්ක් පයිපර් අපේ සැපයුම් කණ්ඩායම්වලට පහර දුන්නා තමා. ඒත් මිනිහා ගාව පනහකට වඩා වැඩි සෙබළු පිරිසක් හිටියෙ නෑ. සෙර් ‍ජේමි කලින් දා රෑ පිටත්වෙලා ගියා උන්ට පහරදෙන්ට... ඇත්තම කියනවා නම් උනුයි කියලා අපි හිතාගෙන හිටපු හමුදාවකට පහරදෙන්ට. අපට ලැබුන ආරංචිවල හැටියට ස්ටාර්ක් හමුදාව කොළ ගංගා‍වෙන් නැගෙනහිර පැත්තෙ දකුණට යමිනුයි හිටියෙ."

"එතකොට උඹලාගෙ ඔත්තුකාරයො?" සෙර් ග්‍රෙගර් ගේ මුහුණ ගලින් නෙලුවාක් වැනි විය. උඳුනෙහි වූ ගිනිදළු විසින් ඔහුගේ සමට තැඹිලි පැහැයක් එක් කර තිබුනු අතර ඒ ගිලී ගිය දෑස් තුළ ගැඹුරු සෙවනැලි ඇතිකර තිබුනි. "උන් මොකුත් දැක්කෙ නැද්ද? උන් මොකුත් අනතුරු ඇඟවීමක් කලේ නැද්ද?"

පණිවුඩකරුවා හිස සැලීය. "අපේ සමහර ඔත්තුකාරයො අතුරුදහන් වුනා. අපි හිතුවෙ මාර්ක් පයිපර්ගෙ වැඩක් වෙන්ටැතියි කියලා. ආපහු ආපු එක ඔත්තුකාරයෙක්වත් කිසිම දෙයක් දැකලා තිබ්බෙ නෑ."

"කිසිම දෙයක් දකින්නෙ නැති එකෙකුට උගෙ ඇස් දෙකෙන් ඇති වැඩක් නැහැ‍." කන්ද නිවේදනය කලේය. "උගෙ ඇස් දෙක කපලා දීපන් ඊළඟ ඔත්තුකාරයාට. ඌ‍ට කියපන් ඇස් දෙකක් වෙනුවට ඇස් හතරකට හොඳට බලන්ට පුළුවන් කියලා... ඒකත් හරි ගියෙ නැත්තම් ඊළඟට යන එකාට ඇස් හයක් හම්බවෙයි."

සෙර් ග්‍රෙගර් දෙසට හැරුනු ටයිවින් ලැනිස්ටර් උතුමානන් ඔහු ‍වෙත නිරීක්ෂණාත්මක බැල්මක් හෙලුවේය. ගිනිදළු රන්වන් පැහැයෙන් ඒ දෑස්වල කණිනිකා මත නටන ආකාරය ටිරියන් දුටුවේය. එනමුදු ඒ බැල්ම ග්‍රෙගර් පැවසූ දේ හා එකඟවන බැල්මක් ද නොඑසේ නම් පිළිකුල හඟවන බැල්මක් ද යන්න ඔහුට වටහාගත නොහැකි විය. ටයිවින් උතුමානන් මෙවැනි රැස්වීම්වලදී බොහෝ විට නිහඬතාව රැක්කේ අන් සැමටම පසුව සිය අදහස් කියාපෑමට පුරුදුව සිටියේය. ටිරියන් ද මේ පුරුද්ද ඇති කරගැනීමට අසාර්ථක උත්සාහ කිහිපයක්ම දරා තිබුනි. එනමුදු මේ ‍මොහොතේ ටයිවින් උතුමානන් වෙතින් පලවන නිහැඬියාව අසාමාන්‍ය එකක් විය. ඔහු සිය වයින් බඳුනට අතවත් තබා නොතිබුනි.

"උඹ කිවුවා උන් ආවෙ රෑ ජාමෙ කියලා." සෙර් කෙවන් විමසීය.

මිනිසා විඩාබර අයුරින් හිස වැනීය. "කළුමාළුවා තමා පෙරටු බලඇණිය මෙහෙයුවෙ. ඌ අපේ මුරසෙබළු කපලා දාලා දඬුවැටවල් ගලවලා අයින් කලා උන්ගෙ ප්‍රධාන බලඇණියට එන්ට ලේසිවෙන්ට. සිද්දවෙන්නෙ මොකක්ද කියලා අපේ මිනිස්සු තේරුම්ගන්නකොටත් අසරු හමුදාව කඩුයි පන්දමුයි අරන් අපේ කඳවුරට ඇතුල්වෙලා ඉවරයි. මම නිදාගෙන හිටි‍යෙ ගංගා දෙක මැද්දෙ තිබ්බ බටහිර කඳවුරේ. අපට සටනෙ සද්දෙ ඇහුනම, කූඩාරම් ගිනිගන්නවා දැක්කම බ්‍රැක්ස් උතුමානන් අපිව මෙහෙයුවා අපේ පහුරුවලට. ඒ වුනත් ග‍ඟේ සැඩපාර සැර වැඩි හන්දා අපිව පහළට ගහ‍ගෙන ගියා. ඒත් එක්කම ටලීලා පටන්ගත්තා උන්ගෙ ප්‍රාකාරෙ උඩ ඉඳන් කැටපෝලවලින් අපට ගල් විදින්ට. මම දැක්කා එක පහුරක් සම්පූර්ණයෙන්ම කෑලි කෑලිවලට කැඩිලා යන හැටි. තවත් පහුරු තුනක් අනිත් පැත්ත ගැහුවා. මිනිස්සු ගඟට විසිවෙලා ගිහින් වතු‍රෙ ගිලුනා‍... ‍කොහොමහරි පීනලා ගඟෙන් එතෙර වෙන්ට පුළුවන් වුන එවුන් එහා පැත්තෙ ගංඉවුරෙ රැකගෙන හිටපු ස්ටාර්ක් සෙබළුන්ට ගොදුරු වුනා."

රජත හා දම් පැහැ සන්නාහයකින් සැරසී සිටි සෙර් ෆ්ලෙමන්ට් බ්‍රැක්ස් තමාට ‍මේ අසන්නට ලැබුනු දේ අදහාගත නොහැකි සේ හිස ඔසවා බැලුවේය. "ම‍ගේ තාත්තා-"

"කණගාටුයි මගේ උතුමානනි." පණිවුඩකරු කීවේය. "බ්‍රැක්ස් උතුමානන් එතුමන්ගෙ වානේ සන්නාහයෙන් සැරසිලායි හිටියෙ. එතුමන්ගෙ පහුර අනිත් පැත්ත ගැහුවා. එතුමන් බොහොම නිර්භීතයි‍."

'ඌ මහ මෝඩයෙක්.' සිය වයින් කුසලාණ සෙමින් කරකවමින් ටිරියන් කල්පනා කලේය. රාත්‍රි අන්ධකාරය මධ්‍යයේ, සම්පූර්ණ සන්නාහයෙන් සැරසී, සතුරා අනිත් ඉවුරේ තමා එනතෙක් බලා සිටියදී, පහුරක නැගී ගංගාවක් තරණය කරන්නට යෑම නිර්භීත කමක් වශයෙන් සැලකෙන්නේ නම් හැමවිටම බියගුල්ලකු මෙන් සිටීම වඩා යහපත් වනු ඇත. සිය සන්නාහයේ අධික බර විසින් ඔහුව කළු පැහැ ගංදිය යටට ඇදගෙන යද්දී බ්‍රැක්ස් උතුමානන්ගේ සිතට කෙබඳු අන්දමේ නිර්භීත කමක් දැනෙන්නට ඇත්දැයි ඔහු විමතියෙන් කල්පනා කලේය.

"ගංගාවල් දෙක අතරෙ තිබ්බ කඳවුරටත් පහරදුන්නා." පණිවුඩකරුවා දිගටම කියාගෙන ගියේය. "අපි ගඟ තරණය කරන්ට ලෑස්තිවෙන අතරේ තවත් ස්ටාර්ක් හමුදාවක් ආවා බටහිර පැත්තෙන්. සන්නාහ සන්නද්ධ අසරු බලකායක්. පේළි දෙකක්ම. මම දැක්කා අම්බර් උතුමානන්ගෙ දම්වැල් දාපු යෝධයයි, මැලිස්ටර්ලාගෙ රාජාලියායි. ඒ වුනත් ඒ හමුදාවට අණදුන්නෙ ස්ටාර්ක් කොල්ලාමයි. උගෙ පැත්තකින් දිවුවා මහ දැවැන්ත වෘකයෙක්. මම එතන හිටියෙ නෑ ඒක දකින්ට. ඒ වුනත් දැකපු මිනිස්සු කිවුවෙ ඌ මිනිස්සු හතරදෙනෙක් මරලා දාලා තවත් අශ්වයො දුසිමක් විතර කෑලි කෑලිවලට ඉරලා දැම්මයි කියලා. අපේ හෙලිධරයො ඉක්මනට එකතුවෙලා උන්ගෙ පළවෙනි ප්‍රහාරයට විරුද්ධව පලිස් පවුරක් හැදුවා. ඒ වුනත් ඒක දැක්ක ගමන් ටලීලා උන්ගෙ බලකොටු දොර ඇරියා. ටයිටස් බ්ලැක්වුඩ් දියඅගලට උඩින් තිබ්බ පාලමෙන් හමුදාවක් අරන් ඇවිත් උන්ට පස්සෙන් පහර දුන්නා."

"දෙයියො අපට පිහිටවෙන්ට." ලෙෆර්ඩ් උතුමානන් දිවුලේය.

"ග්‍රේට්ජොන් අම්බර් අපි හද හදා හිටපු වැටලීම් කුළුණු සේරටම ගිනිතිබ්බා. බ්ලැක්වුඩ් උතුමානන් ඇවිල්ලා දම්වැල් දාලා බැඳලා හිටපු සෙර් එඩ්මුයර් ටලීවයි අනිත් හිරකාර‍යො ඔක්කොමයි නිදහස් කරන් අරන් ගියා. අපේ දකුණු කඳවුරට අණදුන්නෙ සෙර් ෆෝර්ලි ප්‍රෙස්ටර්. අනිත් කඳවුරු දෙක බිඳවැටුනා කියලා දැක්කහම එයා මො‍ළේ පාවිච්චි කරලා එයාගෙ හමුදාවත් අරන් පසුබැස්සා. දෙදාහක් විතර හෙලිධරයොයි, ඒ තරම්ම ඇති දුනුවායොයි. ඒ වුනත් නිදහස් අසරුවන්ට අණදුන්නු ටයි‍රෝෂි කුලී හේවායා එයාගෙ ධජ විසිකරලා දාලා සතුරු හමුදාවට එකතුවුනා."

"ඌ යකාටම ගියාදෙන්." කෙවන් ලැනිස්ටර් පුදුමයට වඩා කේන්තියට පත් වී සිටින බවක් දිස්විය. "මම ජේමිට අනතුරු ඇ‍ඟෙවුවා ඌව විශ්වාස කරන්ට එපැයි කියලා. සල්ලිවලට සටන්කරන මිනිහෙක් පක්ෂපාති වෙන්නෙ එයාගෙ සල්ලි පසුම්බියට විතරයි."

දෑතේ ඇඟිලි එකට බැඳගත් ටයිවින් උතුමානන් එය නිකටට යටින් තබාගත්තේ ය. සැමටම ඇහුම්කණ් දෙන අතරේ ඔහුගේ දෑස් පමණක් ඔබමොබ දිවුවේය. රන්වන් පැහැ දෙපස රැවුලෙන් ආවරණය වූ ඒ මුහුණ කෙතරම් නිසල වී ද යත් එය වෙස් මුහුණක් යැයි දකින්නෙකුට සිතෙනු ඇත. එනමුදු සිය පියාගේ තට්ට හිස මත සිහින් දහදිය බිඳු නැංවී තිබෙනු ටිරියන් නිරීක්ෂණය කලේය.

"කොහොමද ‍මෙහෙම දෙයක් වෙන්නෙ?" සෙර් හැරිස් ස්විෆ්ට් නැවතත් කෙඳිරිගෑවේය. "සෙර් ජේමිව අල්ලගත්තා. වැටලීම බිඳලා දැම්මා... මේක මහ විපත්තියක්."

සෙර් ඇඩම් මාර්බ්‍රෑන්ඩ් කට හැරියේය. "මේ පැහැදිලිවම පේන්ට තියෙන දේ අපිට පෙන්නලා දුන්නට බො‍හොම ස්තූතියි සෙර් හැරිස්. ප්‍රශ්නෙ තියෙන්නෙ, අපි දැන් මොකක්ද මේකට කරන්නෙ?"

"මොකක්ද අපට කරන්ට පුළුවන්? ‍ජේමිගෙ හමුදාව ඔක්කොම වගේ එක්කො මරලා දාලා, එක්කො අල්ලගෙන, නැත්තම් පැනලා ගිහිල්ලා. ස්ටාර්ක්ලායි ටලීලායි අපේ සැපයුම් මාර්ග අවහිර කරගෙන ඉන්නවා. අපිව බටහිර පැත්තෙන් කපලා දාලා. උන්ට ඕනනම් දැන් කෙලින්ම කාර්ස්ටලී රොක්වලටම යන්ට පුළුවන්. කවුද උන්ව නවත්තන්ට ඉන්නෙ? මගේ උතුමනි, අපි පැරදිලා ඉවරයි. දැන් අපි සාමයක් වෙනුවෙන් ලෑස්ති වෙන්ට ඕන."

"සාමය?" කල්පනාකාරීව සිය වයින් කුසලාන කරකවමින් මොහොතක් සිටි ටිරියන් එහි වූ වයින් සියල්ලම උගුරට හලාගෙන හිස් කුසලාණ බිමට දමා ගැසීය. එය දහසක් කැබැලිවලට සිඳී බිඳී ගි‍යේය. "ඔන්න තියෙනවා ඔබේ සාමය සෙර් හැරිස්. මගේ ආදරණීය බෑණා ඔය බඩකඩුත්තු සාමය සම්පූර්ණයෙන්ම කඩලා දැම්මා අර එඩාර්ඩ් උතුමානන්ගෙ ඔළුගෙඩිය ගහලා රතු බලකොටුවෙ බිත්ති ලස්සන කරන්ට ඕන වුන දවසෙ ඉඳලා. රොබ් ස්ටාර්ක්ව සාම ගිවිසුමකට පොළඹවනවට වඩා ලේසියි අර බිඳිච්ච කුසලාණෙන් වයින් බොන්ට හදන එක. ඌ දැන් දිනනවා... සමහර විට ඔබට ඒක පේන්නෙ නැතුව ඇති."

"සටන් දෙකකින් යුද්ධයක් තීරණය වෙන්නෙ නැහැ." සෙර් ඇඩම් තිර කොට සිටියේය. "අපි තාමත් පරාජයෙන් හුඟාක් ඈත. මේ ස්ටාර්ක් කොල්ලාත් එක්ක මගේ හමුදාව දාලා හැප්පෙන්ට මම බොහොම කැමැතියි."

"සමහරවිට උන් සාම ගිවිසුමකට එකඟ වෙයි. උන්ගෙ හිරකාරයොයි අපේ හිරකාරයොයි හුවමාරු කරගන්ට." ලෙෆර්ඩ් උතුමානන් කියා සිටියේය.

"උන් තුනට එකේ අනුපාතෙට වගේ හිරකාරයො හුවමාරු කරගන්ට කැමැති වුනොත් ඇරෙන්ට ඒකෙන් අපට ලොකු වාසියක් වෙන්නෙ නැහැ." ටිරියන් තිත්ත ස්වරයෙන් කීවේය. "අනිත් එක අපි මොනවද දෙන්නෙ ම‍ගේ අයියා වෙනුවෙන්? එඩාර්ඩ් උතුමානන්ගෙ කුණුවෙච්චි ඔළුගෙඩිය ද?"

"මට අහන්ට ලැබුනා සෙර්සි රැජිණ ගාව හස්තයේ උතුමානන්ගෙ දුවලා ‍දෙන්නා ඉන්නවයි කියලා." ලෙෆර්ඩ් බලාපොරොත්තු සහගත ස්වරයෙන් කීවේය. "අපි මේ කොල්ලට එයාගෙ නංගිලා දෙන්නා ආපහු දුන්නොත්..."

සෙර් ඇඩම් උගුරෙන් යම් අවඥාසහගත හඬක් නැංවීය. "ජේමි ලැනිස්ටර්ගෙ ජීවිතේ කෙල්ලො දෙන්නෙක්ගෙ ජීවිතේ වෙනුවෙන් හුවමාරු කරගන්ට ඌ නොම්මර එකේ ‍මෝඩයෙක් වෙන්ට ඕන."

"එහෙමනම් අපි සෙර් ජේමි වෙනුවෙන් වන්දියක් ගෙවමු. ගාන කීය වුනත් කමක් නැහැ." ලෙෆර්ඩ් උතුමානන් නැවත කීවේය.

ටිරියන් දෑස් කරකැවීය. "ස්ටාර්ක්ලාට රත්තරන් ඕන නම් උන්ට පුළුවන් ජේමිගෙ සන්නාහය උණු කරන්ට."

"අපි සාම ගිවිසුමකට කතාකලොත් උන් හිතයි අපි දැන් දුර්වල වෙලයි කියලා." සෙර් ඇඩම් විවාදාත්මක ස්වරයෙන් කීවේය. "ඊට වඩා හොඳයි අපි දැන්මම ගිහිල්ලා උන් එක්ක සටන් කරන එක."

"කිසිම සැකයක් නැහැ රාසභාවෙ ඉන්න අපේ යාළුවන්ට ඒත්තු ගන්නන්ට ඕන අලුත් හමුදාවකුත් අරන් අපිට එකතු වෙන්ට එන්ටයි කියලා." සෙර් හැරිස් කීය. "ඒත් එක්කම තවත් කවුරුහරි කාර්ස්ටලී රොක්වලට යන්ට ඕන තව හමුදාවක් රැස් කරගන්ට."

ටයිවින් ලැනිස්ටර් උතුමානන් සිය දෙපා මතින් නැගී සිටියේය. "උන් ම‍ගේ පුතා අල්ලගෙන." ඔහුගේ වදන් මේදය කුට්ටියක් කපාගෙන බසින අසිපතක් මෙන් මේ උතුමන්ගේ නන් දෙඩවීම් අභිබවමින් පැතිර ගියේය. "පලයල්ලා මෙතැනින්. උඹලා හැමෝම පලයල්ලා."

සැමදාමත් සිය පියාගේ කීකරු බලු කුක්කකු වු ටිරියන් අනිකුත් උතුමන් සමගින් පිටව යෑම පිණිස සිය බංකුවෙන් බිමට පැන්නේය. එනමුදු පියාගේ බැල්ම ඔහු වෙතට එල්ල විය. "නෑ. උඹ යන්ට එපා ටිරියන්. නැවතියන්. උඹත් නැවතියන් කෙවන්. අනිත් එවුන් හැමෝම පිටවෙලා පලයල්ලා."

* * *

ටිරියන් නිහඬවම නැවත බංකුව මත වාඩිවිය. සෙර් කෙවන් කාමරය හරහා ගොස් වයින් මලු වෙත ළඟාවිය. "බාප්පෙ, කරුනාකරලා මටත් එකක්-"

"මෙන්න මේක ගනින්." ඔහු‍ගේ පියා අතවත් නොගැසූ සිය වයින් කුසලාණ ඔහු දෙසට තල්ලු කලේය.

එවිගස නම් ටිරියන් සම්පූර්ණයෙන්ම අන්දුන් කුන්දුන් වී ගියේය. එනමුදු කුසලාණ අතට ගත් ඔහු වයින් උගුරක් බීවේය.

ටයිවින් උතුමානන් ද නැවත සිය අසුනේ වාඩි ගත්තේය. "උඹ ස්ටාර්ක් ගැන කියාපු කතාව ඇත්ත. එඩාර්ඩ් උතුමානන් පණ පිටින් හිටියානම් අපට එයාව පාවිච්චි කරලා වින්ටර්ෆෙලුයි රිවර්රනුයි එක්ක බොරු සාම ගිවිසුමක් ගහන්ට තිබුනා. ඒකෙන් අපට කාලයක් ලැබෙනවා රොබර්ට්ගෙ සහෝදරයො එක්ක හැප්පෙන්ට. ඒත් දැන් එයා මැරිලා..." ඔහුගේ දෑත් කිටිකිටියේ මිට මෙලැවී ගියේය. "මහ ගොන්කමක්. මහ බූරු ගොන්කමක්."

"‍ජොෆ් තාම පොඩි කොල්ලෙක්නෙ." ටිරියන් පෙන්වා දුන්නේය. "එයාගෙ වයසෙදි මමත් ඔය වගේ ගොන්කම් කීපයක්ම කලා නෙව."

පියා ඔහු දෙස තියුණු බැල්මක් හෙලුවේය. "මම හිතන්නෙ අපි සන්තෝස වෙන්ට ඕන එයා තාම වේස ගෑනියෙක් කසාද බැඳගත්තෙ නැති එක ගැන."

ටිරියන් නිහඬවම වයින් බඳුන තොලගෑවේය. සිය වයින් බඳුන පියාගේ මුහුණට දමා ගැසුවහොත් ඔහුව කෙසේ පෙනෙනු ඇත්දැයි ඔහු කල්පනා කලේය.

"අ‍පේ තත්ත්වය උඹලා හිතනවටත් වඩා නරක අඩියකයි තියෙන්නෙ. පේන හැටියට නම් අපට දැන් අලුත් රජ කෙනෙක් ඉන්නවා."

සෙර් කෙවන් තුෂ්නීම්භූත වී ගියාක් මෙන් පෙනින. "අලුත් මොකෙක්? උන් ඒ ගමන ජොෆ්රිට මොකක්ද කරලා තියෙන්නෙ?"

ටයිව්න් උතුමානන් ගේ දෙතොල් මත යාන්තමින් මෙන් අප්‍රසාදාත්මක රැවුමක් නැගී ආ‍යේය. "මොකුත් වෙලා නැහැ... තාමත්. මගේ මුණුබුරා තමා තාමත් යකඩ සිංහාසනේ වාඩිවෙලා ඉන්නෙ. ඒ වුනත් වාරිස් නපුංසකයාට දකුණෙන් රහස් ආරංචි වගයක් ලැබිලා තියෙනවා. දැනට සති දෙකකට උඩදි රෙන්ලි බරතියන් හයිගාර්ඩ්න්වලදි මාර්ජරී ටිරල්ව කසාද බැඳලා. දැන් එයා කිරුළට උරුමකම් කියනවලු. මනමාලිගෙ තාත්තයි, මාමලයි හැමෝම තමන්ගෙ දණ නමලා එයාට පක්ෂපාතීත්වය ඔප්පු කරලා තියෙනවා."

"ඒක බොහොම නරක ආරංචියක්." සෙර් කෙවන් බැම ඇකිළූ විට ඔහුගේ නළලේ දැනටමත් ඇති රැළි ගැඹුරු ආගාධ මෙන් දිගු වී යයි.

"මගේ දුව අණකරනවා හමුදාවත් එක්ක වහාම කින්ග්ස් ලෑන්ඩින්ග්වලට එන්ටයි කියලා. රෙන්ලි රජතුමාගෙනුයි කුසුම් නයිට්වරයාගෙනුයි රතු බලකොටුව බේරගන්ට." ඔහුගේ මුව තද වී ගියේය. "අණ කරනවා ඈ. ඔන්න බලපන්. රජතුමාගෙයි රජසභාවෙයි නාමයෙන් අණකරනවා."

"ජොෆ්රි රජතුමා කොහොමද මේ ආරංචිය ගැන හිතන්නෙ?" ව්‍යාජ විමතියකින් මුව සරසාගෙන ටිරියන් ඇසූයේය.

"සෙර්සි තාම එයාට ඒ ගැන කියන්ට හිතලා නැහැ. එයා බයයි ‍කොල්ලා රෙන්ලිට විරුද්ධව එයාම හමුදාවක් අරන් යයි කියලා."

"මොන හමුදාවක් එක්කද? ඔබ එයාට මේ හමුදාව දෙන්ට කල්පනා කරන එකක් නැහැ මම හිතන්නෙ."

"එයා හිතනවලු නගරාරක්ෂක බලකාය අරන් යන්ට."

"එයා නගරාරක්ෂක බලකාය අරන් ගියොත් නගරෙ අනාරකෂිත වෙනවනෙ." සෙර් කෙවන් කීය. "ස්ටැනිස් උතුමානන් ඩ්‍රැගන්ස්ටෝන්වල..."

"ඔවු." ටයිවින් උතුමානන් සිය පුතු දෙස බැලීය. "මම හිතාගෙන උඹ තමා බම්මන්නා කියලා ටිරියන්. ඒ වුනත් පේන හැටියට නම් මම වැරැදියි වගේ."

"ඇයි තාත්තෙ. ඒක නිකම් මට කරපු ප්‍රශංසාවක් වගේනෙ." ඔහු ඕනෑකමින්ම ඉදිරියට නැඹුරු වූයේය. "ස්ටැනිස් ගැන මොකද? එයා තමා වැඩිමලා. රෙන්ලි නෙවෙයි. එයා මොකක්ද හිතන්නෙ මල්ලිගෙ මේ රජකමට උරුමකම් කියන එක ගැන?"

ඔහුගේ පියා බැම ඇකිළීය. "මට මුල ඉඳන්ම තේරුම් ගිය දෙයක් තමා මේ අනිත් එවුන් ඔක්කොම එක්කහු කරලා ගත්තටත් වඩා තනි ස්ටැනිස් භයානකයි කියන එක. ඒ වුනත් ඌ කිසිම දෙයක් කරන්නෙ නැහැ. ඇත්ත, වාරිස්ට එක එක ආරංචි ලැබෙනවා තමා. ස්ටැනිස් නැවු හදනවලු. ස්ටැනිස් කුලී හේවායො එකතු කරනවලු. ස්ටැනිස් අෂයීවල ඉඳන් මායා බන්ධකයෙක් ගෙනාවලු. මොකක්ද ඒකෙන් කියැවෙන්නෙ? මේ කියන එක දෙයක් හරි ඇත්තද?" ඔහු පීඩාවට පත් වූ ස්වරයෙන් දෙවුර ඇකිළීය. "කෙවන්. ඔය සිතියම ‍මෙහාට අරන් වරෙන්."

සෙර් කෙවන් අණට කීකරු වූ අතර ටයිවින් උතුමානන් සම් රෝල මේසය මත දිගහැර ඇතිරුවේය. "‍ජේමි අපිව බොහොම නරක තැනකටයි අතඇරලා තියෙන්නෙ. රූස් බෝල්ටනුයි උගෙ හමුදාවෙ ඉතුරු වෙච්චි එවුනුයි අපට උතු‍රෙන්‍. අපේ හතුරො ද්විත්ව බලකොටුවයි මෝට් කේය්ලින් බලකො‍ටුවයි දෙකම පාලනය කරනවා. රොබ් ස්ටාර්ක් බටහිර පැත්තෙ. සටනක් කරන්නෙ නැතුව අපට ලැනිස්පෝර්ට්වලට හරි කාර්ස්ටලී රොක්වලට හරි පහුබහින්ට බැහැ. ජේමි අත්ඩංගුවට අරන්. එයාගෙ හමුදාව දැන් ඇත්තෙම නැති ගානයි. ම(ර්) වල තොරෝසුයි බෙරික් ඩොන්ඩරියනුයි තාමත් අපේ සැපයුම් තවලම්වලට පහර දෙනවා. නැගෙනහිර පැත්තෙන් අපට ඉන්නවා ඒරින්ලා. ස්ටැනිස් බරතියන් ඩ්‍රැගන්ස්ටෝන්වල. දකුණුක‍රේ හයිගාර්ඩ්නුයි ස්ටෝර්ම්ස් එන්ඩුයි උන්ගෙ යටත් ධජ දරන්නො එකතු කරනවා."

ටිරියන් වංචාකාරී සිනහවක් පෑවේය. "දහිරිය ගන්ට තාත්තෙ. අඩුම ගානෙ රේගාර් ටාර්ගේරියන් මැරිලනෙ."

"අපට දෙන්ට ඔය විකාර විහිළුවලට වඩා වැදගත් දෙයක් උඹ ගාව ඇතිය කියලයි මම හිතුවෙ ටිරියන්."

සෙර් කෙවන් අකුළාගත් බැමින් යුතුව සිතියම දෙස රවා බැලු‍වේය. "දැන් එඩ්මුයර් ටලීයි ගංගා නිම්නයේ අනිත් වංශාධිපතියො ඔක්කොමයි රොබ් ස්ටාර්ක් එක්ක එක්කහු වෙලයි ඉන්නෙ. උන්ගෙ හමුදා ඔක්කොම එකතු කරලා ගත්තොත් අපට වඩා වැඩිවෙන්ට පුළුවන්. ඒත් එක්කම රූස් බෝල්ටන් අපේ පිටිපස්සෙ... ටයිවින්, අපි මෙතැනට වෙලා නැවතිලා හිටියොත්, අපි හමුදා තුනකට කොටුවෙනවා."

"මෙතැනට වෙලා බලන් ඉන්ට ම‍ගේ කිසිම අදහසක් නැහැ. රෙන්ලි බරතියන් හයිගාර්ඩ්න්වල ඉඳන් හමුදාවත් අරන් උතුරට එන්ට පිටත්වෙන්ට කලින් අපි මේ තරුණ ස්ටාර්ක් උතුමානනුත් එක්ක තියෙන ගනුදෙනු අහවරක් කරලා දාන්ට ඕන. බෝල්ටන් ගැන මගේ එච්චර බයක් නැහැ. ඌ බොහොම පරීක්ෂාකාරී මිනිහෙක්. කොළ ගංගාවෙ සටනින් පස්සෙ මිනිහා කලින්ටත් වඩා පරීක්ෂාකාරී වෙයි. මිනිහා අපිව ලුහුබැඳන් එන්ට තව පරක්කු වෙයි. ඒ නිසා... අපි හෙට උදේම හැරෙන්හෝල්වලට පිටත්වෙලා යනවා. කෙවන්, මට ඕන සෙර් ඇඩම්ගෙ ඔත්තුකාරයො අ‍පේ ගමන සම්පූර්ණයෙන්ම ආවරණය කරන්ට. එයාට ඕන තරමක් මිනිස්සු ගන්ටයි කියහන්. ඒ වගේම උන් හතරදෙනාගෙ කණ්ඩායම් යවන්ටයි කියහන්. ආයෙමත් ඔත්තුකාර‍යො අතුරුදහන් වෙනවා දකින්ට මට ඕන නැහැ."

"ඔබ කියන විදියක් මගේ උතුමානනි. ඒත්... ඇයි හැරෙන්හෝල්? ඒක මහ අඳුරු, අවාසනාවන්ත තැනක් නෙව. සමහරු කියනවා ඒක සාපලත් තැනක් කියලා."

"උන්ට ඕන දෙයක් කියපුවාවෙ. සෙර් ග්‍රෙගර්ට කියපන් උගෙ මංකොල්ලාකාරයො ඔක්කොමත් අරන් අපට ඉස්සරහින් යන්ටයි කියලා. වාර්ගෝ හෝර්ටුයි උගෙ කුලී හේවායනුයිත් යවන්ට ඕන. ඒත් එක්කම සෙර් අමෝරි ලෝර්ක්වත්. මේ තුන්දෙනාටම කියපන් අසරු සෙබළු තුන්සීය ගානෙ ගන්ටයි කියලා. උන්ට කියපන් මට ඕන කියලා රතු ගංගාවෙ ඉඳන් දෙවියන්ගෙ ඇහැ වෙනකම් මුලු ගංගා නිම්නයම ගිනි තියලා, විනාශ කරලා දාන්ට."

"උන් බොහොම කැමැත්තෙන් ගිනි තියයි ම‍ගේ උතුමානනි." සෙර් කෙවන් අසුනෙන් නැගිටිමින් කීවේය. "මම අණ නිකුත් කරන්නම්." හිස නැමූ ඔහු දොර දෙසට පිටව ගියේය.

* * *

ඔවුන් දෙදෙන තනි වූ විට ටයිවින් උතුමානන් සිය පුතු දෙස දෑස් කොණින් බැල්මක් හෙලීය. "උඹේ වනචාරියොත් කැමැති වෙයි පොඩි මංකොල්ලාකෑමක් කරන්ට. උන්ට කියාපන් කැමැතිනම් වාර්ගෝ හෝර්ට් එක්ක පිටත් වෙලා ගිහිල්ලා කැමැති විදියට මංකොල්ලා කන්ටයි කියලා. කෑම, බඩුභාණ්ඩ, ගෑනු, ඕන දෙයක්. උන්ට ඕන තරමක් අරන් අනිත් හැම දෙයක්ම ගිනි තියන්ට කියපන්."

"ෂග්ගාටයි ටිමට්ටයි මංකොල්ලා කන්නෙ කොහොමද කියලා උගන්නන එක හරියට කුකුළෙකුට කොක් කොක් ගාන්ට උගන්නනවා වගේ වැඩක්. ඒ වුනත් මම කැමැතියි උන්ව මගේ ළඟ තියාගන්ට." ඔවුන් අශිෂ්ට හා දඩබ්බර නොහික්මුනු එවුන් වුවද මේ වනචාරීන් වනාහි ඔහු‍ගේ මිනිස්සු වූහ. එ‍මෙන්ම සිය පියාගේ ඕනෑම සෙබළෙකුට වඩා ටිරියන් ඔවුන්ව විශ්වාස කලේය. ඔවුන් වෙනෙකෙකු ‍ගේ පාලනය යටතට පංගාර්තු කිරීම ඔහුට කිසිසේත් අවශ්‍ය නොවීය.

"එහෙම නම් උඹ ඉගෙනගනින් කොහොමද උන්ව පාලනය කරන්නෙ කියලා. මට ඕන නැහැ උන් නගරය මංකොල්ලා කනවා දකින්ට."

"නගරය?" තමා අතරමං වූ සෙයක් ටිරියන්ට දැනින. "මොන නගරයක් ගැනද ඔය කියන්නෙ?"

"කින්ග්ස් ලෑන්ඩින්ග්. වෙන මොකක්ද? මම උඹව යවනවා රාජ සභාවට."

මේ වනාහි ටිරියන් ලැනිස්ටර් කිසිසේත්ම බලාපො‍රොත්තු නොවුනු දෙයක් විය‍. සිය වයින් බඳුන වෙත අත යැවූ ඔහු කල්පනාකාරීව වයින් උගුරක් පානය කලේය. "ඉතින් මම මොකක්ද එහෙ ගිහින් කරන්ට ඕන?"

"පාලනය කරපන්."

ටිරියන් කොක් හඬලා සිනාසුනේය. "මගේ ලස්සන අක්කාට ගොඩක් දේවල් තියෙයි ඒ ගැන කියන්ට."

"එයාට ඕන දෙයක් කියාපුදෙන්. එයාගෙ පුතා අපි හැමෝවම නැති බංගස්ථාන කරලා දාන්ට කලින් අපි එයාව පාලනය කරගන්ට ඕන. මම ඒකට වැරැද්ද පටවන්නෙ වෙන කාටවත් නෙවෙයි. රාජසභාවෙ ඉන්න අර ජේත්තුකාරයො ටිකට. අ‍‍පේ යාළුවා පෙටයර්, ගරු කටයුතු ප්‍රධාන මේස්ටර්, එතකොට අර නපුංසකයා වාරිස් උතුමානන්. ජොෆ්රි එක මෝඩ වැඩකින් තව මෝඩ වැඩකට පනිනකම් උන් මොනවද එයාට අනුශාසනා කරන්නෙ? මේ ජේනස් ස්ලින්ට් කියන බූරුවාව වංශාධිපතියෙක් කරන්ටයි කියපු එක කාගෙ අදහසක් ද? මේ මිනිහගෙ තාත්තා මස් කඩ කාරයෙක්. අනිත් එක එයාලා ඌට දෙනවා හැරෙන්හෝල්. හැරෙන්හෝල්! හැරෙන්හෝල් කියන්නෙ රජෙකුට සුදුසු තැනක්. මට පුළුවන් නම් මම ඌට ඒකට අඩිය තියන්ටවත් දෙන්නෙ නැහැ. මට ලැබුන ආරංචිවල හැටියට ඌ තමන්ගෙ වංශ ලාංඡනය හැටියට තෝරගෙන තියෙන්නෙ ලේ ගෑවිච්ච හෙල්ලක්. ලේ ගෑවිච්ච මන්නයක් ගත්තනම් හොඳයි ඊට වැඩිය." සිය පියා කටහඬ උස් කලේ නැති නමුදු ඒ රන්වන් දෑසේ දිදුලන කේන්තිය ටිරියන් පැහැදිලිවම දුටුවේය. "එතකොට සෙල්මිව තනතුරෙන් පහ කරපු එක. ඒක මොන අමන මරි මෝඩ වැඩක් ද? ඇත්ත, මේ මනුස්සයා වයසයි තමා. ඒ වුනත්, 'නිර්භීත බැරිස්ටාන්' කිවුවහම තාමත් ‍මේ රජධානි සප්තකයේ මිනිස්සු ගරු බුහුමන් දක්වනවා. එයා සේවය කරන්නෙ කාට වුනත් ඒකෙන් එයාගෙ ස්වාමියාට අත්වෙන්නෙ ගෞරවයක්. කාටවත් පුළුවන් ද මේ කතාවම දඩබල්ලා ගැන කියන්ට? උඹ උඹේ බල්ලන්ට කන්ට දෙන්නෙ මේසෙ යට. උඹ උන්ව නග්ගගන්නෙ නැහැ උඹ වාඩිවෙලා ඉන්න බංකුවෙ පැත්තකින්." ඔහු ටිරියන් ගේ මුහුණට ඇඟිල්ලක් දිගුකලේය. "සෙර්සිට මේ කොල්ලව හදාගන්ට බැරි නම් උඹ හදපන්. ඒත් එක්කම, මේ රාජසභිකයො අපට වංචා කරනවයි කියලා අහුවුනොත්..."

කලයුත්තේ කුමක්දැයි ටිරියන් මනාව දත්තේය. "යකඩ රිටි." ඔහු සුසුමක් හෙලීය. "ඔළු ගෙඩි. ප්‍රාකාර."

"මට පේනවා උඹ මගෙන් පාඩම් ටිකක් ඉගෙනගෙන තියෙනවා කියලා."

"ඔබ දන්නවාටත් වැඩියෙන් තාත්තෙ." ටිරියන් කටුකුටු ගෑවේය. සිය වයින් බඳුන බී හමාර කල ඔහු සිතුවිල්ලේ ගැලෙමින් හිස් කුසලාණය පසෙකින් තැබීය. ඔහුගෙන් අඩක් සිතනවාටත් වඩා සතුටින් ප්‍රමුදිතව සිටියේය. එනමුදු ඉතුරු අඩ ගඟ අද්දර සිදු වූ සටන මෙනෙහි කරමින් හුන්නේය. ‍මෙහි අරමුණ නැවත වරක් ඔහුව වම් අංශය රැකගැනීමට යැවීම ද? "ඇයි මම?" හිස පසෙකට ඇල කරමින් ඔහු විමසා සිටියේය. "ඇයි බාප්පාව යවන්නෙ නැත්තෙ? එහෙමත් නැත්තම් සෙර් ඇඩම් හරි සෙර් ෆ්ලෙමන්ට් හරි සෙරට් උතුමානන් හරි යවන්නෙ නැත්තෙ? ඇයි... ලොකු මිනිහෙක් යවන්නෙ නැත්තෙ?"

ටයිවින් උතුමානන් හිටි අඩියේම සිය අසුනින් නැගී සිටියේය. "මොකද උඹ ම‍ගේ පුතා නිසා."

සත්‍යය කුමක්දැයි ඔහු ඒ මොහොතේ වටහා ගත්තේය. 'උඹ එයාව අත ඇරලා දාලා ඉවරයි.' ඔහු කල්පනා කලේය. 'උඹ අවජාතක බල්ලා. උඹ හිතන්නෙ දැන් ජේමි මලා හා සමානයි කියලා. දැන් උඹට ඉතුරුවෙලා ඉන්න එකම එකා මම විතරයි.' සිය පියාට කම්මුල් පහරක් දීමට ටිරියන්ට සිත් විය. ඔහුගේ මුහුණට කෙල ගැසීමට උවමනා විය. සිය සිරිය ඇදගෙන, ඔහුගේ පපුව පලා, හදවත එළියට ගෙන, සාමාන්‍ය මිනිසුන් කියන්නාක් මෙන් ඇත්තටම ඔහු‍ගේ හදවත රනින් නිම වී ඇත්දැයි බලන්නට උවමනා විය. එනමුදු මේ කිසිවක් නොකල ඔහු සිය අසුනට වී නිසලව, නිහඬව බලා සිටියේය.

ටයිවින් උතුමානන් කාමරය හරහා පිය මනිද්දී ඔහුගේ පයට පෑගුනු බිඳුනු වීදුරු කුසලාණයේ කටුකැබැලි කරකරස් හඬින් කුඩු වී ගියේය. "තව එක දෙයක්." දොර අසලදී ආපසු හැරුනු ඔහු කී‍වේය. "උඹේ අර වේස ගෑනිව රාජසභාවට එක්කරන් යන්ට බැහැ."

සිය පියා පිටව ගිය පසු ටිරියන් ප්‍රධාන ශාලාවට වී බොහෝ වේලාවක් තනිවම ගතකලේය. අන්තිමේදී කාමරයෙන් පිට වූ ඔහු ඝණ්ඨා කුළුණ යට පිහිටි සිය සුවපහසු අට්ටාල කාමරයට යනු පිණිස පිටගැට පෙළ නැංගේය. එහි සිවිලිම පහත් එකක් වුවද ඔහු වැනි අඟුටුමිට්ටකුට එය සැලකිය යුතු දෙයක් නොවීය. කාමරයේ වූ කවුළුව තුළින් ඔහුට සිය පියා විසින් තානායම් මිදුලේ ඇටවූ එල්ලුම් ගස නිරීක්ෂණය කල හැකි විය. රාත්‍රි සුළං හමන වාරයක් පාසා එහි එල්ලී තිබුනු තානායම්පතිනිය ගේ මළසිරුර සෙමින් පැද්දෙන්නට විය. දැන් එහි වූ සම්, මස්, නහර වියළී ‍ගොස් මළසිරුර ලැනිස්ටර් බලාපොරොත්තු තරමටම සිහින් වී, තුනී වී ගොස් තිබින.

ඔහු පිහාටු මෙට්ටය මත වාඩි වෙද්දී නිදිමතයේම මොනවාදෝ මිමිනූ ෂේ ඔහු දෙසට රෝල් විය. පො‍රෝණයට යටින් රිංගූ ඔහු‍ගේ අත ඇගේ සුමුදු පයෝධරයක් මත නතර වූ අතර ඇ‍ගේ දෑස් විවර විය. "මයෙ උතුමානනි." ඇය නිදිමත සිනහවක් පාමින් කීවාය.

ඇගේ තණපුඩුව දැඩිවනු ඔහුගේ අතට දැනෙද්දී ඔහු පහත් වී ඇගේ දෙතොල් සිප ගත්තේය. "මට අදහසක් ආවා උඹව කින්ග්ස් ලෑන්ඩින්ග්වලට එක්කරන් යන්ට වස්තුවෙ." ඔහු කෙඳිරීය.


Kevan Lannister: “A man who fights for coin is loyal only to his purse.”

Friday 27 March 2015

ඩනේරිස් 09-2


මඳ වේලාවකට පසු කූඩාරමට ඇතුළු වූ සෙර් ජෝරා සහ මිරී මාස් ඩූර් විසින් තවමත් ඒවා තැන්පත් කර තිබුනු පෙට්ටිය තුළ වූ අනෙක් මකර බිත්තර දෙක දෙස බලමින් හුන් ඩැනී දුටුවෝය. ඩැනීට වැටහී ගියේ මේ බිත්තර දෙක ද ඇය තුරුළු කර නිදා සිටි මකර බිත්තරය තරම්ම උණුසුම් වී ඇති බවකි. එය අදහන්නට නොහැකි තරමේ පුදුමාකාර දෙයක් විය. "සෙර් ජෝරා, මෙහාට එන්ට." ඔහුගේ අතින් අල්ලාගත් ඇය එය ලේ රතු පැහැ සුළි වැටුනු කළු බිත්තරය මතින් තැබුවාය. "ඔබට මොනවද දැනෙන්නෙ?"

"බිත්තර කටුව. ගලක් වගේ හයියයි." නයිට්වරයා පරීක්ෂාකාරී ස්වරෙයෙන් පිළිතුරු දුනි. "කොරපොතු."

"රස්නෙ ද?"

"නැහැ. සීතල ගලක් විතරයි." ඔහු සිය අත ඉවතට ඇදගත්තේ ය. "කුමාරි, ඔබ හොඳින් ද? ඔබ මෙහෙම නැගිටලා ඉන්න එක හොඳ ද? තාම ඇඟ දුර්වලයි නේද?"

"දුර්වලයි! මම දැන් හොඳටම ශක්තිමත් සෙර් ජෝරා." එනමුදු ඔහුව සතුටු කිරීම පිණිස ඇය බිම වූ කො‍ට්ට ගොඩක් මත වාඩිවුනාය. "මට කියන්ට කොහොමද මගේ දරුවා මැරුනෙ කියලා."

"එයා කොහෙත්ම ජීවත් වුනේ නැහැ මගේ කුමාරි. ගෑනු කියන්නෙ..." ඔහුගේ කතාව හදිසියේම ඇන සිටි‍යේය. ඔහුගේ සිරුර බුරුල්ව එල්ලා වැටෙන ආකාරයත්, ඔහු ඇවිදින විට කොරගසන ආකාරයත් ඩැනී නිරීක්ෂණය කලාය.

"මට කියන්ට... මට කියන්ට මොනවද ගෑනු කියන්නෙ."

ඔහු සිය මුහුණ ඇගෙන් ඉවතට හරවා ගත්තේය. ඒ දෑස්වල අමුතුම ආකාරයේ බැල්මක් විය. "එයාලා කියනවා දරුවා..."

ඇය නැවතී බලා සිටි නමුදු සෙර් ජෝරාට එය කියා ගත නොහැකි විය. ලැජ්ජාව නිසා ඔහුගේ මුහුණ කළු වී ගියේය. ඔහුගෙන් දිස් වූයේ බාගෙට මැරුනු මිනිසකු ගේ වැනි පෙනුමකි.

"යක්ෂ පැටියෙක්." මිරී මාස් ඩූර් ඔහු වෙනුවෙන් වාක්‍යය සම්පූර්ණ කලාය. නයිට්වරයා බෙහෙවින් ශක්තිමත්, ප්‍රබල පුද්ගලයකු විය. ඒ මොහොතේ ඩැනීට ‍තේරුම් ගියේ මේ යක්දෙස්සිය ඔහුටද වඩා ශක්තිමත්, කුරිරු එමෙන්ම අපරිමානවම භයානක පුද්ගලයකු බවයි. "ඇඟ ඇඹරිලා තිබ්බෙ. මමමයි එයාව එළියට ගත්තෙ. එයාව කටුස්සෙක් වගේ කොරපොතුවලින් වැහිලා තිබුනා. ඇස් පේන්නෙ නෑ. පුංචි වල්ගා කොටේකුයි, වවුලෙකුගෙ වගේ පුංචි හම් පියාපත් දෙකකුයි තිබුනා. මම එයාව ඇල්ලුවම මස් කෑලි කෑලි ගැලවිලා ආවා. ඇඟ ඇතුළෙ තනිකරම ඉහඳ පණුවොයි, කුණු ගඳයි විතරයි. එයා අවුරුදු ගානකට කලින්ම මැරිලා."

'අන්ධකාරය!' ඩැනී කල්පනා කලාය. ඇයව ගිල දැමීමට මාන බලමින් ඇය පසුපස හඹා ආ ඒ බිහිසුණු අන්ධකාරය. දැන් නැවත හැරී බැලුවොත් ඇය සිය සටන පරාද වනු ඇත. "සෙර් ජෝරා මාව කූඩාරම ඇතුළට උස්සගෙන එද්දී එයා බොහොම ශක්තිමත්ව, පණපිටින් හිටියා. මට දැනුනා එයා පයින් ගහපු හැටි. මට දැනුනා එයා එළියට එන්ට හදපු හැටි."

"ඒක එහෙම වෙන්ට පුළුවන්." මිරී මාස් ඩූර් පිළිතුරු දුන්නාය. "ඒ වුනත් ඔබේ ගැබෙන් එළියට ආවෙ අර වගේ සතෙක්. ඒ වෙලාවෙ මේ කූඩාරම ඇතුළෙ තිබ්බෙ මරණයයි ඛලීසි."

"‍ඒවා නිකං හෙවනැලි විතරයි." සෙර් ජෝරා කී නමුදු ඒ වදන්වල තැවරී තිබුනු සැකය හා දෙගිඩියාව ඇයට තේරුම් ගියේය. "මම දැක්කා, යක්දෙස්සි. මම උඹව දැක්කා. තනියම. හෙවනැලිත් එක්ක නටනටා හිටියා."

"මළවුන් බොහොම දිග හෙවනැලි මවනවා යකඩ උතුමානනි." මිරී කීවාය. "බොහොම දිග බොහොම අන්ධකාර හෙවනැලි. අන්තිමේදී කිසිම එළියකට බෑ ඒවා නවත්තන්ට."

සෙර් ජෝරා විසින් නොදැනුවත්වම හෝ සිය පුත්‍රයා මරා දැමුනු බැව් ඩැනී වටහාගත්තා ය. ඔහු ඒ දේ කලේ ලැදි බව හා ආදරය නිසා බව සැබැවි. එනමුදු කිසිදු පණ ඇති මිනිසකු පය නොතැබිය යුතු තැනකට ඔහු විසින් ඈ ඔසවාගෙන ගොස් ඇගේ පුත්‍රයාව අන්ධකාරයට බිලි දුන්නේය. ඔහු පවා ඒ බැව් දැන සිටියේය. අඳුරු වී ගිය මුහුණ, ගිලී ගිය දෑස්, නොන්ඩිය. "ඒ හෙවනැලිවල බලපෑමට ඔබවත් අහුවෙලා සෙර් ජෝරා." ඩැනී කීවාය. නයිට්වරයා කිසිදු පිළිතුරක් නොදුන් අතර ඩැනී නැවත දේවදාසිය වෙතට හැරුනි. "ඔබ මට අනතුරු ඇඟෙවුවා ජීවිතය වෙනුවෙන් වන්දි ගෙවන්ට පුළුවන් මරණයෙන් විතරයි කියලා. මම හිතුවෙ ඔබ ඒ කිවුවෙ අශ්වයා ගැනයි කියලා."

"නෑ. ඒ ඔබ තමන්ව සනසගන්ට ඔබටම කියාගත්තු බොරුවක්. ඔබ මුල ඉඳන්ම දැනගෙන හිටියා මොකක්ද නියම මිල කියලා."

ඇය දැන සිටියා ද? ඇය එය දැන සිටියා ද? දැන් නැවත හැරී බැලුවොත් ඇය සිය සටන පරාද වනු ඇත. "හරි ඒ ඉල්ලපු මිල ගෙවුවා. අශ්වයා, මගේ දරුවා, ක්වාරෝ, ක්වෝතෝ, හග්ගෝ, කොහොල්ලෝ. මේ මිල ගෙවුවා, ගෙවුවා, ‍ගෙවුවා." ඇය වාඩි වී සිටි කොට්ටා ගොඩ උඩින් නැගිට්ටාය. "කෝ දැන් ඛාල් ඩ්‍රෝගෝ? එයාව මට පෙන්නන්ට. දේවදාසි, යක්දෙස්සි, ලේ යකැදුරී හරි මොකෙක් හරි. මට ඛාල් ඩ්‍රෝගෝව පෙන්නන්ට. මගේ පුතාගෙ ජීවිතයෙන් වන්දි ගෙවලා මම මොකක්ද මිලේට ගත්තෙ කියලා මට බලන්ට ඕන."

"ඔබේ කැමැත්තක් ඛලීසි." ගැහැණිය කීවාය. "එන්ට. මම ඔබව එයා ගාවට එක්කරන් යන්නං."

ඩැනී සිතා සිටියාට වඩා ඇය දුර්වල විය. ඇගේ බඳ වටා අතක් යැවූ සෙර් ජෝරා ඇයට කෙලින් සිටගැනීමට උදවු කලේය. "අපි මේ වැඩේ පස්සට කල් දාමු මගේ කුමාරි." ඔහු පහත් හඬින් ඇයට කීවේය.

"මට දැන් එයාව බලන්ට ඕන සෙර් ජෝරා."

කූඩාරම තුළ වූ මන්දාළෝකයෙන් පසු පිටත දෑස් නිලංකාර කරවන අන්දමින් දීප්තිමත් විය. සූර්යයා ආකාශයේ රන් පැහැයෙන් බබලමින් සිටියේය. අවට පරිසරය මුලුමනින්ම කර්කශ වී ගොස් තිබුනි. ඇගේ සේවිකාවෝ පළතුරුත්, වයින් හා ජලයත් රැගෙන ඇය එනතෙක් බලා සිටියෝය. ජෝගෝ ඇය වෙතට ළඟා වූයේ සෙර් ජෝරාට උදවු වනු පිණිස විය. ඔහුට පසුපසින් අග්ගෝ හා රඛාරෝ සිටගෙන සිටියහ. හිරුඑළිය වැල්ල මත පතිත වීම නිසා ඇති වූ දීප්තිය කෙතරම් ද යත් ඩැනී සිය දෑත් ඔසවා ආළෝකය මුවා කරන තුරු වෙනත් කිසිවක් දැකිය නොහැකි විය. විශාල ගිනිමැලයක අළු ද, එහා මෙහා ඉබාගාතේ ඇවිදිමින් තණකොළ බිඳක් සොයන අසුන් කිහිපදෙනෙකු ද, තැනින් තැන විසිරුනු කූඩාරම් කිහිපයක් හා නිදි පැදුරු ද ඇයට දැකගත හැකි විය. කුඩා දරුවන් පිරිසක් ඇය දෙස බැලීම පිණිස එක්ව සිටි අතර ඊට ඔබ්බෙන් ගැහැණුන් සිය එදිනෙදා කටයුතුවල නිරත වන ආකාරයත්, මහලු මිනිසුන් බිම වාඩි වී, දුබල දෑත්වලින් ලේ මැස්සන් තලමින්, වෙහෙසකර දෑසින් නිල් අහස දෙස බලා සිටින ආකාරයත් දිස්විය. මේ සියලු පිරිස සියයක් නොඉක්මවීය. සතලිස් දහසක් මිනිසුන් විසූ ස්ථානයේ දැන් වූයේ වියළි සුළඟත්, දුහුවිල්ලත් පමණි.

"ඩ්‍රෝගෝ ගේ ඛලසාර් එක ගිහිල්ලා."

"අශ්වයෙක් පිටේ යන්ට බැරි ඛාල් කෙනෙක් කියන්නෙ ඛාල් කෙනෙක් නෙවෙයි." ජෝගෝ පිළිතුරු දුන්නේය.

"ඩොත්රැකියො යන්නෙ ශක්තිවන්තයා පස්සෙයි." සෙර් ජෝරා කීය. "මට සමාවෙන්ට කුමාරි. උන්ව නවත්තගන්ට ක්‍රමයක් තිබුනෙ නැහැ. කෝ පොනෝ තමා මුලින්ම ගියේ. එයා තමන්ට කියාගත්තා ඛාල් පොනෝ කියලා. එයාත් එක්ක ගොඩක් දෙනෙක් ගියා. වැඩි වෙලාවක් යන්ට කලින් ජඛෝත් ඒකම කලා. අනිත් එවුන් ටිකෙන් ටික, රැයින් රැය හෙමින් සීරුවේ පිටවෙලා යන්ට ගියා. ලොකු කණ්ඩායම්, පුංචි කණ්ඩායම් විදියට. මීට කලින් ඩ්‍රෝගෝගෙ ඛලසාර් එක තිබුන තැන දැන් අලුත් ඛලසාර් දුසිමක් විතර තියෙනවා."

"නාකි එවුන් ටික විතරක් ඉතුරු වුනා." අග්ගෝ කීවේය‍. "උනුයි, බලගුල්ලොයි, දුබලයොයි, ලෙඩ්ඩුයි. ඒ වගේම ඔබට පක්ෂපාතියි කියලා දිවුරුම් දුන්නු අපි හැමෝමත් නැවතුනා."

"උන් ඛාල් ඩ්‍රෝගෝගෙ අශ්වයො ඔක්කොම අරන් ගියා ඛලීසි." රඛාරෝ ද කතාවට එක්විය. "අපට උන්ව නවත්තන්ට හැකියාවක් තිබුනෙ නෑ. අපි ටිකයි, උන් මහ ගොඩක්. බලවතා දුබලයාගෙ දේ පැහැරගන්න එක තමා අපේ ක්‍රමේ. උන් වහල්ලුත් ඔක්කොම වගේ අරන් ගියා. ඛාල්ගෙයි ඔබෙයි දෙන්නගෙම. ඒ වුනත් උන් බොහොම ‍සොච්චමක් ඉතුරු කරලා ගියා."

"එතකොට ඉරෝආ?" තමා විසින් බැටළු මිනිසුන්ගේ නගරයේ ද්වාරය අසලදී ගලවාගත් දැරිය සිහිපත් වූ ඩැනී ඇසුවාය.

"මාගෝ ඒකිව පැහැරගත්තා. මාගෝ දැන් ඛාල් ජඛෝගෙ රුධිරාරක්ෂකයෙක්." ජෝගෝ පිළිතුරු දුන්නේය. "ඌ ඒකිව කැමැති කැමැති විදියට පාවිච්චි කරලා උගෙ ඛාල්ට බාරදුන්නා. ජඛෝ ඒකිව උගෙ අනිත් රුධිරාරක්ෂකයින්ගෙ පාවිච්චියට දුන්නා. උන් හයදෙනෙක්. උන් ඇති වෙනකං ඒකිව පාවිච්චි කරලා අන්තිමේදි ඒකිගෙ බෙල්ල කපලා දැම්මා."

"ඒ තමා ඒකිගෙ ඉරණම ඛලීසි." අග්ගෝ පැවසීය.

දැන් නැවත හැරී බැලුවොත් ඇය සිය සටන පරාද වනු ඇත. "ඒක හරිම කුරිරු ඉරණමක්. ඒ වුනත් ඒක මාගෝට අත්වෙන්ට යන ඉරණම තරම් කුරිරු එකක් නෙවෙයි. මම ඒක පොරොන්දු වෙනවා. පැරැණි දෙවියන්ගෙත්, අලුත් දෙවියන්ගෙත්, අශ්ව දෙවියන්ගෙත්, බැටළු දෙවියන්ගෙත්, මේ ලෝකෙ ඉන්න හැම දෙවි කෙනෙක්ගෙම නාමෙන් මම ඒක පොරොන්දු වෙනවා. පොළෝ ගැබේ සහ කඳු මාතාවගෙ නාමයෙන් මම ඒක දිවුරනවා. මම උන්ට වධ දීලා ඉවර වෙනකොට මාගෝයි කෝ ජඛෝයි දෙන්නා උන් ඉරෝආට පෙන්නුව විදියෙ ක්ෂාන්තියක් ඉල්ලලා මගෙන් බැගෑපත් වෙනවා."

ඩොත්රැකියෝ අතීරණයෙන් මෙන් බැලුම් හුවමාරු කරගත්හ. "ඛලීසි." ඇගේ සේවිකාව ඉරී කතාකලාය." "ජඛෝ කියන්නෙ දැන් විසිදාහක් සෙබළු ඉන්න ඛලසාර් එකක් ඛාල් කෙනෙක්."

ඩැනී ගර්වයෙන් හිස එසෙවුවාය. "මම ඩනේරිස් ස්ටෝම්බෝර්න්. ටාර්ගේරියන් වංශයෙ ඩනේරිස්. ම‍ගේ ඇඟේ දුවන්නෙ ජයග්‍රාහී ඒගන්ගෙ ලේ. කුරිරු මේගර්ගෙ ලේ. ඒ ඔක්කොටමත් වඩා පුරාණ වැලීරියාවෙ ලේ. මම මකරාගෙ දුව. මම ඔබලාට දිවුරලා පොරොන්දු වෙනවා. මේ මිනිස්සු බයෙන් වේදනාවෙන් කෑ ගහ ගහ තමා මැරෙන්නෙ. දැන් මාව එක්කරන් යන්ට ඛාල් ඩ්‍රෝගෝ ගාවට."

* * *

ඔහු නිරුවත් රතු පස් මත වැතිර ඉහළින් වූ සූර්යයා දෙස බලා සිටියේය.

සිරුර පුරා ලේමැස්සන් දුසිමක් පමණ වසා සිටි නමුදු ඔහුට ඒ ගැන වගක්වත් ඇති බවක් නොපෙනුනි. ඔවුන් පිසදා ඉවත හැරි ඩැනී ඔහු පසෙකින් දණ බිම ඇන ගත්තාය. ඒ දෑස් විවරව තිබුනු නමුදු ඔහු එයින් දුටු බවක් නොපෙනුනි. ඒවා අන්ධ වී ගොස් ඇති බැව් ඩැනී එක්වරම වටහා ගත්තාය. ඇය ඔහුගේ නම මිමිනූ මුත් ඔහුට ඒ ඇසුනු බවක් නොපෙනුනි. පපුවේ වූ තුවාලය සුව වී ගොස් රතු අළු පැහැ තුවාල කැළැලක් පමණක් ඉතුරු වී තිබුනි.

"ඇයි එයා මෙහෙම අවුවට වෙලා තනියම ඉන්නෙ?"

"එයා උණුසුමට කැමැතියි වගේ කුමාරි." සෙර් ජෝරා පිළිතුරු දුන්නේය. "එයාගෙ ඇස් ඉරඑළිය එන පැත්තට හැරෙනවා. කොහොමවුනත් එයාට ඒක පේන්නෙ නැහැ. ඔබ එයාව එක්කරන් යන්නෙ කොහෙද එයා එතැනට යයි. ඊට වඩා බැහැ. ඔබ එයාගෙ කටේ කෑම එබුවොත් එයා කයි. එයාගෙ තොල්වල තැවරුවොත් වතුර බොයි."

ඩැනී ඔහුගේ නළල මෘදුව සිපගත්තා ය. ඉන්පසු නැගිට සිට මිරී මාස් ඩූර් දෙස බැලුවාය. "උඹේ යකැදුරුකම් බොහොම මිලයි යක්දෙස්සි."

"එයා ජීවත්වෙනවා." මිරී මාස් ඩූර් පිළිතුරු දුන්නාය. "ඔබ ඇහුවේ ජීවිතේ ගැන. ඔබ ගෙවුවෙ ජීවිතේ වෙනුවෙන්."

"මේක ජීවිතයක් නෙවෙයි. ඩ්‍රෝගෝ වගේ කෙනෙකුට කොහෙත්ම ජීවිතයක් නෙවෙයි. එයාගෙ ජීවිතේ වුනේ හිනාව, ගිනිමැලයකට අල්ලලා මස් පුච්චලා කන එක, අශ්වයෙකුගෙ පිටේ යන එක. එයාගෙ ජීවිතේ වුනෙ අරඛ් එකක් අතින් අරන්, කොණ්ඩෙ ගහලා තියෙන සීනු නාදවෙද්දි සතුරාව මුලිච්චි වෙන්ට ඉස්සරහට යන එක. එයාගෙ ජීවිතේ වුනේ එයාගෙ රුධිරාරක්ෂකයො, මම, එයා වෙනුවෙන් මම උපද්දන්ට ලෑස්තිවෙලා හිටපු පුතා."

මිරී මාස් ඩූර් කිසිදු පිළිතුරක් නොදුන්නාය.

"එයා ආයෙමත් පරණ පුරුදු තත්ත්වයට එන්නෙ කවදද?"

"ඉර බටහිරෙන් පායලා නැගෙනහිරෙන් බැහැලා ගියදාට." යක්දෙස්සිය පිළිතුරු දුන්නාය. "මුහුදෙ වතුර හිඳිලා ගියදාට. ගස්වල කොළ හුළඟෙ ගහගෙන යනවා වගේ කඳු හුළඟෙ ගියදාට. ඔබේ ගැබ ආයෙමත් ශක්තිමත් වෙලා ඔබේ කුසට ආයෙමත් පුතෙක් ආපු දාට. එදාට එයා ආපහු එයි. ඊට කලින් නෙවෙයි."

ඩැනී සෙර් ජෝරා හා අනිකුන්ට පිටව යන්නැයි සන් කලාය. "පිටවෙන්ට. මට මේ යක්දෙස්සිත් එක්ක තනියම කතා කරන්ට ඕන."

මෝර්මන්ට් හා ඩොත්රැකියන් පිරිස විසිර ගියෝය. "උඹ දැනගෙන හිටියා." ඔවුන් දෙදෙන තනිවූ පසු ඩැනී කීවාය. ඇගේ සිරුර ඇතුළතින් මෙන්ම පිටතින්ද වේදනාවෙන් ඇදුම් කමින් තිබින. එනමුදු කේන්තිය හා වියරුව විසින් ඇයට අමුතු ශක්තියක් ලබා දී තිබින. "උඹ දැනගෙන හිටියා මම මොකක්ද මිලට ගන්නෙ කියලා. ඒ වගේම උඹ දැනගෙන හිටියා මොකක්ද ඒ වෙනුවෙන් මම ගෙවන්ට නියමිත මිල කියලා. ඒ වුනත් උඹ ඒ ගැන මට නොකියා ඒ මිල ගෙවන්ට මට ඉඩ ඇරියා."

"උන් මගේ දේවාලෙ පිච්චුව එක වැරැදියි." තරබාරු, මුක්කම් නාසයකින් හෙබි ගැහැණිය පිළිතුරු දුන්නාය. "ඒකෙන් වුනේ මහා එඬේරා කෝප වුන එකයි."

"මේක දෙවියන්ගෙ වැඩක් නෙවෙයි." ඩැනී කෝපාන්විත ස්වරයෙන් කීවාය. දැන් නැවත හැරී බැලුවොත් ඇය සිය සටන පරාද වනු ඇත. "උම මට වංචා කලා. උඹ මගේ දරුවාව මරලා දැම්මා."

"ලෝකය පාලනය කරන සෛන්ධවයා තවත් නම් කිසිම නගරයක් ගිනිතියන එකක් නෑ. එයාගෙ ඛලසාරය තවත් නම් කිසිම ජාතියක් පාගලා පොඩිකරලා දාන එකක් නෑ."

"මම උඹ වෙනුවෙන් කතා කලා." ඇය දැඩි සන්තාපයෙන් යුතුව කීවාය. "මම උඹව බේරගත්තා."

"මාව බේරගත්තා?" ලසාරීන් ගැහැණිය බිමට කෙල ගැසුවාය. "ඩොත්රැකි අසරුවො තුන්දෙනෙක් මාව පාවිච්චි කලා. මිනිහෙක් ගෑනියෙක්ව ගන්න විදියට නෙවෙයි. පිටිපස්සෙන්. හරියට බල්ලෙක් බැල්ලියෙක්ව ගන්නවා වගේ. ඔබ මාව පහුකරන් යද්දි මගේ ඇඟ උඩ නැගලා හිටියෙ හතරවෙනියා. ඉතින් කොහොමද ඔබ කියන්නෙ මාව බේරගත්තා කියලා? මම දැක්කා මගේ දෙවියන්ගෙ දේවාලය ගිනිඅරන් කඩන් වැටෙනවා. මම ඒ දේවාලෙ ඇතුළෙදි කොච්චර නම් හොඳ මිනිස්සු සනීප කරලා ඇද්ද? උන් මගේ ගෙදරත් පිච්චුවා. පාරවල් පුරා ඔළුගෙඩි ගොඩගහලා තිබ්බා මම දැක්කා. මට පාන් පිච්චුව බක්කරේගෙ ඔළුගෙඩිය මම දැක්කා. යාන්තං මාස තුනකට විතර කලින් උණ හැදිලා වැටිලා ඉන්දැද්දි මම බේරගත්තු ඒ පුංචි කොලුවගෙ ඔළුගෙඩිය මම දැක්කා. අසරුවො උන්ගෙ කසවලින් ගගහා එලවන් යද්දි පුංචි එවුන් අඬන සද්දෙ මට ඇහුනා. මට කියන්ට ඔබ මොනවද බේරගත්තෙ කියලා."

"උඹේ ජීවිතේ."

මිරී මාස් ඩූර් කුරිරු සිනහවක් පෑවාය. "ඔබේ ඛාල් දිහා බලලා මට කියන්ට මොකක්ද ජීවිතෙන් ඇති පලේ කියලා. අනිත් හැම දෙයක්ම නැතිවුනාට පස්සෙ මොකක්ද ජීවිතෙන් විතරක් ඇති පලේ කියලා."

සිය ඛාස් එකේ සෙබළුන්ට කතා කල ඩැනී මිරී මාස් ඩූර්ව රැගෙන ගොස් ඇගේ අතපය බැඳ දමන්නැයි අණ කලාය. එනමුදු ඔවුන් විසින් ඇදගෙන යන අතරේ යක්දෙස්සිය ඇයට සිනාසුනේ හරියටම ඔවුන් දෙදෙනා පමණක් දන්නා රහසක් ගැන උදම් වන්නාක් මෙනි. සිය මුවින් පිටකරන එක් වදනකින් ඩැනීට ඇගේ හිස ගසා දැමිය හැකිව තිබුනු නමුදු ඇය කිසිත් නොකීවාය. එසේ කිරීමෙන් ඇයට අත්වන ප්‍රතිලාභය කුමක්ද? ඔළුගෙඩියක්? ජීවිතයෙන් කිසිදු ඵලක් නැතිනම් මරණයෙන් ඇති ඵලය කිම?

ඔවුහු ඛාල් ඩ්‍රෝගෝව නැවත ඇගේ කූඩාරමට කැඳවාගෙන ආවෝය. නාන බාල්දිය දියෙන් පුරවන්නැයි ඩැනී ඔවුන්ට අණ කලාය. මෙවර ඒ දියේ රුධිරය නොවීය. සියතින්ම ඔහුව නෑවූ ඩැනී ඔහුගේ අත්පාවල, පපුවේ තැවරී තිබුනු කුණු දූවිලි සෝදා හැරියාය. මුදු රෙදි කඩක් ගෙන ඔහුගේ මුහුණ පිස දැම්මාය. ඔහුගේ දිගු කළු පැහැ වරලස හොඳින් සෝදා, එහි වූ ගැට හා අවුල් කඩා ඇයට මතක තිබුනු පරිද්දෙන්ම දිස්නය දෙන තෙක් හොඳින් පීරුවාය. මේ සියලු කාර්යයන් නිමාවන විට අඳුරු වැටී බොහෝ වේලාවක් ගෙවී තිබුනු අතර ඇය බෙහෙවින් විඩා වැටී සිටියාය. කෑම කටක් කා කුමක් හෝ පානය කරනු පිණිස ඇය මඳ විවේකයක් ගත්ත ද ෆිග් ගෙඩියක් ලෑටි ගා පැන් උගුරු කිහිපයක් බීම හැර හැර අන් කිසිවක් කෙරෙහි ඇය තුළ රුචියක් නොවීය. නින්ද ඇයට හොඳ විවේකයක් වන්නට ඉඩ තිබුනු නමුදු ඇය හොඳින් නිදාගෙන තිබුනාය... උවමනාවටත් වඩා වැඩියෙන් නිදාගෙන තිබුනාය. අද රාත්‍රිය ඩ්‍රෝගෝ වෙනුවෙන් පුද කල යුතු විය. ඔවුන් දෙදෙන එක්ව ගෙවූ සියලු රාත්‍රින් වෙනුවෙන් හා මතු එළඹෙන්නා වූ සියලුම රාත්‍රින් වෙනුවෙන් අද ඔහු වෙනුවෙන් කැප කල යුතු විය.

ඔවුන් දෙදෙන එකතුව මුලින්ම අසු විහිදූ ඒ රාත්‍රිය ඇගේ සිතේ වෛවර්ණයෙන් ඇඳෙද්දී ඇය ඔහුව කැඳවාගෙන පිටත අන්ධකාරය තුළට පිවිසුනාය. මන්ද මිනිසකු ගේ දිවියේ සියලුම වැදගත් දේ විවෘත ආකාශය යට සිදුවිය යුතු යැයි ඩොත්රැකියන් තරයේ ඇදහූ බැවිනි. වෛරයට වඩා බලගතු තවත් බලයන් ඇතැයි ඇය තමාටම කියා ගත්තාය. යක්දෙස්සිය විසින් අශයීහිදී ඉගෙනගත් යකැදුරුකම්වලට වඩා පුරාණ, සත්‍ය මායා බන්ධන ඇතැයි ඇය තම සිතට ඒත්තු ගැන්නුවාය. රාත්‍රිය අන්ධකාර වූ අතර අහසේ සඳ පායා නොතිබින. එනමුදු ඔවුන්ට ඉහළින් මිලියන ගණනක් තාරකාවෝ බබලමින් තිබුනු අතර එය සුබ ලකුණක් යැයි ඇය විශ්වාස කලාය.

ඔවුන් වෙනුවෙන් බලා සිටි මෘදු තණ ඇතිරිල්ලක් එහි නොවීය. ඒ වෙනුවට එහි වූයේ කර්කශ, ගල්මුල් පිරුනු, දුඹුරුවන් වියළි පොළොව පමණක් විය. සුළඟේ ලෙලදෙමින් සිලිසිලි හඬ නංවන්නට එහි කිසිදු ගසක් නොවීය. සිය ජලදහරේ කිංකිණි සංගීතයෙන් ඇගේ සිත තුළ වූ බිය තුරන් කරන්නට කිසිදු දියපහරක් ද එහි නොවීය. එනමුදු තාරකා‍වන් ගේ ආමුඛය ඕනෑවටත් වඩා ඇති යැයි ඩැනී තමාටම කියා ගත්තාය. "මතක් කරන්ට ඩ්‍රෝගෝ." ඇය ඔහුගේ කණට කෙඳිරුවාය. "මතක් කරන්ට අපි දෙන්නා මුලින්ම අශ්වයො පැදගෙන ගිය දවස. අපි දෙන්නා කසාද බැන්ද දවස. අපි දෙන්නා එකතුවෙලා රේගෝව හදපු දවස මතක් කරන්ට. මුලු ඛලසාර් එකම අපි අවට ඉන්දැද්දි ඔබ මගේ මූන දිහාම බලාගෙන හිටපු හැටි මතක් කරන්ට. ලෝකයේ ගැබේ වතුර කොච්චර පිරිසුදු ද, කොච්චර සීතල ද කියලා මතක් කරන්ට. මගේ ඉරයි තරුයි, මේ හැම දෙයක්ම මතක් කරන්ට. මතක් කරලා ආයෙමත් මගේ ළඟට එන්ට."

දරු උපත විසින් ඇයව වියළා දමා ඉරා දමා තිබුනු බැවින් ඇයට උවමනා වූ අන්දමින් ඔහුව තමා තුළට ප්‍රවිශ්ට කරවා ගැනීම උගහට විය. එනමුදු ඩෝරියා ඇයට තවත් නොයෙකුත් ක්‍රම උගන්වා තිබුනාය. ඩැනී සිය දෑත් ද, සිය මුව ද, සිය පයෝධර යුවල ද යොදවා ගත්තාය. ඔහුව නියපොතුවලින් සූරා දමා, හාදු වලින් තෙමා, ඔහුගේ කණට කර නොයෙකුත් ආදර කතා මිමිනුවාය. අන්තිමේදී මේ කිසිදු දෙයකින් ඵලක් නොවූ තැන සිය කඳුළුවලින් ඔහුව තෙමුවාය. එනමුදු ඩ්‍රෝගෝට මේ කිසිදු දෙයක් නෑසුනි. කිසිවක් නොදැනුනි. ඔහුව යලි පුබුදන්නට සමත් තවත් කිසිවක් ඉතිරි වී නොතිබුනි.

හිස් ක්ෂිතිජයට ඉහළින් මූසල අරුණෝදය එබී බලද්දී තමා‍ගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බැව් ඩැනී වටහා ගත්තාය. ඇයට ඔහුව අහිමිව ගොස්, සදහටම අහිමිව ගොස් ඇති බැව් ඇය තේරුම් ගත්තාය. "ඉර බටහිරෙන් පායලා නැගෙනහිරෙන් බැහැලා ගියදාට." ඇය බලවත් සන්තාපයෙන් යුතුව කීවාය. "මුහුදෙ වතුර හිඳිලා ගියදාට. ගස්වල කොළ හුළඟෙ ගහගෙන යනවා වගේ කඳු හුළඟෙ ගියදාට. මගේ ගැබ ආයෙමත් ශක්තිමත් වෙලා මගේ කුසට ආයෙමත් පුතෙක් ආපු දාට. එදාට ඔබ ආපහු එයි මගේ ඉරයි තරුයි. ඊට කලින් නෙවෙයි."

'කවදාවත් ආපහු එන්නෙ නෑ!'අන්ධකාරය මුරගෑවේය‍. 'කවදාවත් නෑ! කවදාවත් නෑ! කවදාවත් නෑ!'

කූඩාරම තුළට වැදුනු ඩැනී පිහාටු පුරවා සිනිඳු සේද රෙද්දෙන් මැසූ කොට්ටයක් සොයා ගත්තාය. එය සිය ළයට තදකරගත් ඇය නැවත ඩ්‍රෝගෝ වෙතට පිය මැන්නාය. සිය දිවියේ සූර්යයා සහ තාරකාවන් වෙතට පිය මැන්නාය. දැන් නැවත හැරී බැලුවොත් ඇය සිය සටන පරාද වනු ඇත. ඇවිදීම පවා දැන් ඇයට වේදනා ගෙන දුන්නේය. ඇයට නිදන්නට අවශ්‍ය විය. කිසිදු සිහිනයක් නොදැක සුවසේ නිදන්නට අවශ්‍ය විය.

දණ බිම ඇනගත් ඩැනී අවසන් වරට ඩ්‍රෝගෝගේ දෙතොල් සිපගත්තී පිහාටු කොට්ටය ඔහුගේ මුහුණ මත තබා තදකලාය.


If she looked back she was lost.

Wednesday 25 March 2015

ඩනේරිස් 09-1


උණ විකාරයෙන් ඈ දුටු සිහින සැමෙකක්ම පාහේ මකරාගේ පියාපතින් සෙවන වී තිබින. "උඹට මකරාව නැගිට්ටවන්ට ඕන නැහැ නේද? ඕනද?"

ඇය උස්, ශෛලමය ආරුක්කු සහිත වහලයකින් යුතු දිගු ශාලාවක් ඔස්සේ ඇවිදිමින් සිටියාය. ඇයට පසුපස හැරී බැලීම කල නොහැක්කක් විය. ඇය එසේ කල යුතු ද නොවීය. ඇයට ඉදිරියෙන් ඈත දොරක් තිබේ. මෙතරම් දුරක සිට බලද්දී ඒ දොර ඉතා කුඩා පුංජයක් මෙන් දිස්වුවද එය රතු පාටින් පින්තාරු කර ඇති බැව් ඇයට පැහැදිලිවම පෙනින. ඇය වඩ වඩාත් වේගයෙන් ඇවිදින්නට පටන් ගත්තාය. ගලින් කල ශාලාවේ බිම ඇගේ නිරුවත් දෙපා විසින් රත් පැහැ ලේ පැල්ලම් මතුකලේය.

"උඹට මකරාව නැගිට්ටවන්ට ඕන නැහැ නේද? ඕනද?"

ඇය හිරුඑළියෙන් නැහැවී තිබුනු ඩොත්රැකි තැනිතලාව දුටුවාය‍. එය ජීවයෙන් පිරී පැවතුනි. නැවුම් පස් සුවඳින් හා මරණයේ සුවඳින් පිරී පැවතුනි. සුළඟේ ලෙලදුන් තණපඳුරු මුහුදු රළ මෙන් උස්පහත් විය. ඩ්‍රෝගෝ සිය ශක්තිමත් දෑතින් ඇයව වැළඳගෙන සිටියේය. ඔහුගේ හස්තය මෘදුව ඇගේ යටිකය පිරිමදිමින්, ඇයව පුබුදුවමින්, ඔහුට උරුම වූ - ඔහුට පමණක්ම උරුම වූ - ඒ මිහිරි තෙත්බව මතුකරලමින් තිබුනේය. නීලවර්ණ දිවා ආකාශයේ පායා තිබුනු තාරකාවෝ පහළින් සිටි ඔවුන් දෙස බලා සිනහ සැලූහ. "ගෙදර." ඔහු ඈ තුළට ප්‍රවිෂ්ට වෙමින් සිය බීජයෙන් ඇයව පුරවාලද්දී ඇය සෙමින් මිමිනුවාය. එනමුදු ඊළඟ මොහොතේ මේ තාරකා අතුරුදන් වී ගියේය. නීල ආකාශය පුරවාලමින් දැවැන්ත පියාපත් විදහෙන්නට විය. මුලු ලෝකයම අග්නි ජාලාවෙන් වැසී ගියේය.

"...මකරාව නැගිට්ටවන්ට ඕන නැහැ නේද? ඕනද?"

සෙර් ජෝරාගේ මුහුණ ඇදී මැලවී ගොස් දුකින් බරව තිබින. "රේගාර් තමා අන්තිම මකරා." ඔහු ඇයට කීවේය. ඔහු දිදුලන ගිනිකබලකට අල්ලා සිය විනිවිද පෙනෙන දෑත් උණුසුම් කරමින් සිටියේය. මේ ගිනිකබලෙහි වූ ගල් බිත්තර ගිනිගත් ගල්අඟුරු මෙන් රත් පැහැයෙන් දැල්වෙන්නට විය. එක් මොහොතක ඔහු එතැන වූ අතර ඊළඟ මොහොතේ කෙමෙන් වියැකී යන්නට වූයේය. වාතය මෙන් තුනී වී ගොස් පැහැය වියැකී යන්නට වූයේය. "අන්තිම මකරා." සුළං රොදක මුදු ස්වරයෙන් අවසන් වරටත් මිමිනූ ඔහු සම්පූර්ණයෙන්ම නොපෙනී ගියේය. ඇයට පසුපසින් වූ අන්ධකාරය ඇයට දැනෙන්නට විය. රතු පැහැ දොර දැන් පෙරටත් දුරස්ථ බැව් ඇයට හැඟුනි.

"...මකරාව නැගිට්ටවන්ට ඕන නැහැ නේද? ඕනද?"

ඇය ඉදිරියෙන් සිටගෙන සිටි විසේරිස් ඇයට මුරගාමින් සිටියේය. "මකරු කිසිදෙයක් ඉල්ලලා බැගෑපත් වෙන්නෙ නැහැ වේසියෙ. උඹට බැහැ මකරාට අණදෙන්ට. මමයි මකරා. මමයි රජවෙන්නෙ." උණු වී වැගිරෙන රත්රන්, උණු ඉටි මෙන් ඔහුගේ මුහුණ පුරා පහළට රූරා වැටුනේ මුහුණ පිළිස්සී ගැඹුරු අගල් මෙන් වූ තුවාල ඇතිකලේය. "මමයි මකරා. මමයි රජවෙන්නෙ." ඔහු වියරුවෙන් මුරගෑවේය. සර්පයකු මෙන් ඉදිරියට පිනූ ඔහුගේ අතැඟිලි ඇගේ පයෝධර තුඩු කොනිත්තමින්, මිරිකමින්, අඹරවමින් ඇයට පීඩා කලේය. ඔහුගේ දෑස් පුපුරා ගොස් කළු පැහැ ගැන්වුනු දෙකම්මුල් දිගේ සාරු මෙන් වැගිරුනේය.

"...මකරාව නැගිට්ටවන්ට ඕන නැහැ නේද..."

රතු පැහැ දොර ඇයට ඉදිරියෙන් එනමුදු ඇයට බොහෝ ඈතින් විය. ඇයව වසාලන්නට තැත්කරමින්, පසුපසින් ඈ දෙසට ඇදෙන සීතල හුස්ම ඇයට හැඟෙන්නට විය. එයට ඇයව අල්ලාගන්නට හැකි වුවහොත් මරණයටත් වඩා බියකරු මරණයක් ඇයට උරුම වනු ඇත. ඇයට සදාකල්ම අන්ධකාරයේ අතපත ගාමින්, වැලපෙමින් ඉන්නට සිදුවනු ඇත. ඇය දුවන්නට පටන් ගත්තාය.

"...මකරාව නැගිට්ටවන්ට ඕන නැහැ නේද..."

තම සිරුර තුළ නැග එන දැඩි උණසුම ඇයට දැනෙන්නට විය. ඒ වනාහි ඇගේ ගැබෙහි ඇවිලෙමින් තිබුනු දැවැන්ත බියකරු අග්නිජාලාවක් විය. ඒ වනාහි ඇගේ පුත්‍රයා - උස්, මාන්නක්කාර, ඩ්‍රෝගෝගේ මෙන් තඹ පැහැති සමකින් හා ඇගේ මෙන් රිදී-රන් පැහැ හිසකෙසින් යුතු, ආමන්ඩ් හැඩැති දම් පැහැ දෑසින් යුතු ඇගේ පුත්‍රයා - විය. ඈ දෙස බලා සිනාසුනු ඔහු ඇය දෙසට දෑත් දිගුකලේය. එනමුදු ඔහු ඇයට කතා කරන්නට මුව විවර කරනවාත් සමගින් අග්නිජාලා ඔහු වටකරමින් පැතිර ගියේය. ඔහුගේ හදවත පිළිස්සූ උණුවන අයුරු ඇය දුටුවාය. ඊළඟ මොහොතේ ඔහු ගින්න තුළ දියව ගියේ ඉටිපන්දම් දැල්ලකට හසුවූ සලබයකු වැනසී, අළු වී යන්නාක් මෙනි. ඇය සිය පුත්‍රයා වෙනුවෙන් හැඬුවාය. ඇගේ තණපුඩුවේ තැවරෙන්නට බලා සිටි ඒ මිහිරි දෙතොල වෙනුවෙන් වැලපුනාය. එනමුදු ඇගේ කඳුළු දෙකොපුලේ ස්පර්ශ වූ වහාම වාෂ්ප වී විසිර ගියේය.

"...මකරාව නැගිට්ටවන්ට ඕන නැහැ නේද..."

ශාලාව දිගටම වියැකී ගිය රජ ඇඳුමෙන් සැරසුනු භූතයෝ පේළි ගැසී බලා සිටියෝය. ඔවුන්ගේ අත්වල ගින්නෙන් තැනුනු අසිපත් විය. ඔවුන්ට රිදී පැහැ හිසකෙස්, රන් පැහැ හිසකෙස් හා ප්ලැටිනම් සුදු පැහැ හිසකෙස් ද උපල, අමතේස්ත, තෝරමල්ලි හා ජේඩ් පැහැති දෑස් ද විය. "හයියෙන්!" ඔවුන් සැවොම කෑගැසූහ. "හයියෙන්! හයියෙන්!" ඇය වේගයෙන් දිවගියාය. ඇගේ දෙපා ගැටුනු ශෛලමය බිම උණු වී ගියේය. "හයියෙන්!" භූතයින් සියල්ලෝම එකාවන්ව කෑගසන්නට වන්හ. වියරුවෙන් කෑගැසූ ඇය තවත් වේගයෙන් දුවන්නට පටන් ගත්තාය. ඇගේ පිටකොන්ද දිගේ පිහියකින් අනින්නාක් මෙන් තියුණු වේදනාවක් මතුවන්නට විය. ඇගේ පිට පුපුරා, සම ඉරිතලා යනු ඇයට ඇසින. උණු වී කැකෑරෙන රුධිරයේ පුසුඹ ඇයට දැනින. දැවැන්ත පියාපත් දෙකක සෙවනැලි ඇයට පෙනින. ඊළඟ මොහොතේ ඩනේරිස් ටාර්ගේරියන් පියාඹන්නට පටන් ගත්තාය.

"...මකරාව නැගිට්ටවන්ට..."

ඉදිරියෙන් වූ රතු පැහැ දොර මේ වනවිට ඇයට ආසන්න වී තිබුනි. තව ටිකයි, තව ටිකයි... ඇය වටා වූ ශාලාව අපැහැදිලි සේයාවක් පමණක් විය. ඇයට පසුපසින් වූ සීතල ඇයව අල්ලාගන්නට ඉදිරියට පැතිර ආවේය. ඊළඟ මොහොතේ ඇයට යටින් වූ ශෛලමය භූමිය නැතිව ගොස් ඇය ඩොත්රැකි තැනිතලාවට ඉහළින් පියාඹමින් සිටියාය. ඉහළටම, තවත් ඉහළටම... ඇයට පහළින් තණපඳුරු මුහුදු රළ මෙන් සුළඟේ ලෙලදුන්නේය. පණැති, හුස්ම ගන්නා සෑම කෙනෙකුම, සෑම දෙයක්ම ඇගේ දසුනට බියෙන් සැඟව පලාගියෝය. ඇයට ගෙදර සුවඳ දැනෙන්නට විය. ඇයට දැන් එය දැකිය හැකි විය. අර තියෙන්නෙ.. රතු දොරට එහායින්... කොළ පැහැ වනාන්තර ද, ගොවිබිම් ද, මිටියාවත් ද, දැවැන්ත ශෛලමය බලකොටු ද, ඇයව වැළඳගෙන උණුසුම් කරන්නට සූදානමින් බලාසිටින දෑත් ද එහි විය. ඇය දොර හැරියාය.

"...මකරාව..."

ඊළඟ මොහොතේ ඇය සිය සොයුරු රේගාර්ව දුටුවාය. ඔහු සිය සන්නාහය තරම්ම කළු පැහැති වූ දැවැන්ත සෛන්ධවයකු පිට නැගී සිටියේය. ඔහුගේ ශිරස්කයෙහි වූ පටු දැස් විවර තුළින් ගින්දර රත් පැහැයෙන් බැබලුනේය. "අන්තිම මකරා." සෙර් ජෝරාගේ මිමිනුම කොහේදෝ ඈතකින් ඇසෙන්නට විය. "අන්තිම.. අන්තිම.." ඩැනී ඔප දමා තිබුනු ඒ කළු පැහැ ශිරස්කයේ මුව වැස්ම ඔසවා විවර කලාය. ඒ තුළ වූ මුහුණ වෙනෙකක් නොව ඇගේම මුහුණ විය.

එයින් පසු බොහෝ වේලාවක් යනතෙක් වේදනාවත්, ඇගේ සිරුර තුළ ඇවිලෙමින් තිබුනු ගින්නත්, තාරකාවන් ගේ මිමිනීමත් හැරෙන්නට අන් යමක් නොවීය.

* * *

ඇය සෙමින් දෑස් විවර කලාය. අවට පරිසරය ගින්නකින් පසු දැනෙන දුම් හා අළු පුසුඹින් සහ රසයෙන් යුතු විය.

"එපා." ඇය වේදනාවෙන් කෙඳිරිගෑවාය. "එපා. අනේ එපා."

"ඛලීසි." ජික්වී බියපත් මුවදෙනක මෙන් ඇයට ඉහළින් එබුනාය.

කූඩාරම සෙවනැල්ලේ ගැලී තිබුනි. අවට සෑමතැනම නිහඬතාව පමණක්ම විය. ගිනිකබලක ඇවිලෙන ගින්නෙන් නගින දුම් හා අළු ඉහළ නගිමින් තිබුනි. ඩැනී ඒ ඔස්සේ දෑස් ගෙනයමින් ඉහළ බැලූයේ ඉහළින් වූ දුම් කවුළුව දුටුවාය. 'පියාඹනවා.' ඇය කල්පනා කලාය. 'මට පියාපත් තිබුනා. මම පියෑඹුවා.' එනමුදු එය සිහිනයක් පමණි. "මට උදවු කරන්ට." නැගිට සිටින්නට යත්න දරමින් ඇය කෙඳිරිගෑවාය. "මට ගේන්ට..." ඇගේ ස්වරය බැරෑඬි වී ගොසිනි; වේදනාවෙන් පිරී ගොසිනි. තමාට උවමනා වූ දේ කුමක්දැයි ඇයට වටහාගත නොහැකි විය. ඇගේ සිරුර මෙතරම් වේදනා ගෙන දෙන්නේ මන්ද? එය හරියටම ඇගේ සිරුර කෑලි කෑලිවලට කඩා නැවත එකතුකර පෑස්සුවාක් වැන්න. "මට ඕන..."

"එහෙමයි ඛලීසි." ඊළඟ මොහොතේ ජික්වී විදුලියක් මෙන් කූඩාරමින් පිටවී කෑගසමින් දිවයන්නට වූවාය. ඩැනීට උවමනා වූයේ යමක්... යමෙක්... කුමක්ද? එය අතිශයින්ම වැදගත් දෙයක් බව පමණක් ඇය දැන සිටියාය. ඒ වනාහි මෙ‍ලොව ඇති වැදගත්ම දෙය, වැදගැම්මකට ඇති එකම දෙය බැව් ඇය දැන සිටියාය. පසෙකට හැරුනු ඇය වැලමිටට බරදී එසවුනාය. පොරෝණය ඇගේ දෙපා වටා පැටලෙමින් ඇයට බාධා කරන්නට විය. සෙලවීම අතිශයින්ම අසීරු කටයුත්තක් විය. මුලු ලොවම මීදුමක් මෙන් ඇය වටා බොඳව යන්නට විය. 'මට...'

ඔවුන් ඇය වෙත පැමිණෙන විට ඇය බිම බුමුතුරුණු දි‍ගේ මකර බිත්තර දෙසට බඩගාමින් හුන්නාය. ඇයව දෝතින් ඔසවාගත් සෙර් ජෝරා නැවත නිදන මෙට්ටය වෙත ඇයව රැගෙන ගියේය. ඇය දුබල අයුරින් ඔහුගෙන් නිදහස් වීමට දැඟලූ නමුදු එය සාර්ථක ප්‍රයත්නයක් නොවීය. ඔහුගේ උරහිසට පිටුපසින් ඇගේ සේවිකාවන් තිදෙනා ද, තුනී උඩු රැවුලකින් යුතු ජෝගෝ ද, පැතැලි පුළුල් මුහුණකින් හෙබි මිරී මාස් ඩූර් ද සිටගෙන සිටිනු ඇය දුටුවාය. "මම..." ඇය ඔවුන්ට වටහා දෙන්නට උත්සාහ කලාය. "මට..."

"...නිදාගන්ට කුමාරි." සෙර් ජෝරා පැවසීය.

"බෑ. අනේ.. අනේ එපා.."

"ඔවු." ඇගේ සිරුර ගිනිගෙන දැවෙමින් තිබුනු නමුදු ඔහු ඇයව සේද රෙද්දකින් වැසුවේය. "නිදාගන්ට. නිදාගෙන ශක්තිමත් වෙලා ආයෙමත් නැගිටින්ට. අපේ පරණ ඛලීසි වෙලා ආයෙමත් අපි අතරට එන්ට." ඊළඟ මොහොතේ ඇය අසලට පැමිණි යක්දෙස්සි, මිරී මාස් ඩූර් ඇගේ මුවට කෝප්පයක් ලංකලේය. ඇයට ඇඹුල් කිරි රසද තවත් කුමක්දෝ අමුතු රසයක් ද දැනෙන්නට විය. කුමක් හෝ තිත්ත, උකු දියරයක්! ඇගේ නිකට දිගේ උණුසුම් දියර ගලා යන්නට වූ නමුදු ඇය ආයාසයෙන් ඒ දියරය ගිල දැමුවාය. කූඩාරම කෙමෙන් අඳුරු වී යන්නට විය. නින්ද නැවත ඇය වෙත පැමිණියේය. එනමුදු මේ වතාවේ ඇය කිසිදු සිහිනයක් නොදුටුවාය. ඒ වෙනුවට කිසිදු වෙරළක් නොමැති, කළු පැහැ මුහුදක සතුටින්, සාමයෙන් හා ශාන්තභාවයෙන් යුතුව පාවුනාය.

* * *

බොහෝ වේලාවකට පසුව - ඒ එක් රැයක් ද එක් දවසක් ද නැතිනම් එක් වසරක් ද කීමට ඇය නොදත්තා ය - ඩැනී නැවත අවදිවූවාය. කූඩාරම අන්ධකාරයේ ගැලී තිබින. පිටත හමන සුළඟ නිසා එහි පැළැලි පියාපත් මෙන් සැලෙමින් තිබින. මෙවර ඇය නැගීසිටීමට කිසිදු උත්සාහයක් නොදැරුවාය. "ඉරී." ඇය හඬගෑවාය. "ජික්වී. ඩෝරියා." ඔවුහු විගස එහි පැමිණියහ. "මගේ උගුර වේලිලා. හොඳටම වේලිලා ගිහිල්ලා." ඔවුන් ඇයට පානය පිණිස දිය ගෙන ආවෝය. ඒ ඇල්මැරුනු, නීරස ජලය වුවද ඇය මහත් ආසාවෙන් දිය බීවාය. ඉන්පසු තවත් දියපොදක් වෙනුවෙන් ජික්වීව පිටත් කර හැරියාය. රෙදි කැබැල්ලක් දියෙන් පෙඟවූ ඉරී එයින් ඇගේ නළල පිරිමැද්දාය. "මම අසනීප වෙලා හිටියා." ඩැනී කීවාය. ඩොත්රැකි දැරිය එකඟවෙමින් හිස වැනුවාය. "කොච්චර කාලයක්ද?" රෙදි කැබැල්ල සුවදායක විය. එනමුදු ඉරී වෙතින් දැඩි දුක්බර බවක් පෙන්නුම් කෙරුනු අතර ඩැනී එයින් බියපත් වූවාය. "ගොඩක් කල්." ඇය මිමිනුවාය‍. ජික්වී නැවත දිය රැගෙන පැමිණි විට ඇයත් සමග මිරී මාස් ඩූර් ද විය. ඇගේ දෑස් නිදිමතින් බර වී තිබින. "බොන්ට." ඇය කීවේ නැවත වරක් ඩැනීගේ මුවට කෝප්පයක් ලංකරමිනි. එනමුදු මේ වතාවේ එහි වූයේ වයින් විය. මිහිරි වයින් විය. වයින් සියල්ල බී හමාර කල ඩැනී නැවත පසුපසට බර වී සිය රිද්මයානුකූල හුස්ම වැටීමට කණ් දුන්නාය. නැවතත් නින්ද ඇය කරා පැමිණෙද්දී සිය අත් පා වල බර ගතිය ඇයට දැනෙන්නට විය. "මට ගේන්ට..." ඇය මිමිනුවාය. ඇගේ කටහඬ නිදිබර හා අපැහැදිලි විය. "ගේන්ට... මට තියාගන්ට ඕන..."

"ඔවු?" යක්දෙස්සිය ඇසුවාය. "ඔබට මොකක්ද ඕන ඛලීසි?"

"මට ගේන්ට... බිත්තරයක්... මකර බිත්තරයක්... අනේ..." ඇගේ ඇසිපිය ඊයම් බරු මෙන් බරවන්නට විය. ඒවා නැවත ඔසවාගන්නට තරම් ඇය දුර්වල වැඩි විය.

ඇය තෙවන වර නැවත අවදි වන විට රන්වන් හිරුකිරණ තීරුවක් ඉහළින් වූ දුම් කවුළුව තුළින් කූඩාරම තුළට වැටී තිබින. ඇගේ දෑත් මකර බිත්තරයක් වටා වෙලී එය වැළැඳගෙන සිටියේය. ඒ වනාහි ලා පැහැ, බටර් ක්‍රීම් පැහැති කොරපොතු හා රන් පැහැයෙන් හා ලෝකඩ පැහැයෙන් සුළි වැටුනු බිත්තරය විය. ඩැනීට එයින් නගින උණුසුම දැනෙන්නට විය. ඇය සිරුර වසා සිටි සේද පොරෝණයට යටින් ඇගේ නිරුවත් සම මත යාන්තමින් දහදිය දමා තිබුනි. 'මකරපින්න.' ඇය කල්පනා කලාය. ඇගේ අතැඟිලි බිත්තර කටුව මත මෘදුව එහා මෙහා යමින් එහි වූ රන්වන් සුළි පිරිමදින්නට විය‍. ඇගේ මේ පිරිමැදීමට ප්‍රතිචාරයක් වශයෙන් බිත්තරය තුළ ගැඹුරේ වූ යම්දෙයක් ඇඹරෙනු දිගහැරෙනු ඇයට දැනුනි. එනමුදු ඇයව බියපත් කරන්නට එය සමත් නොවීය. ඇගේ සිතේ වූ සියලු බිය තුරන්ව ගොසිනි. ගින්නෙන් පිළිස්සී ගොසිනි.

ඩැනී සිය නළල පිරිමැද්දාය. තුනී දහදිය ස්ථරයට යටින් ඇගේ සම ස්පර්ශයට සීතල විය. ඇගේ උණ බැස ගොස් තිබින. ඇය නැගිට හිදගත්තා ය. එක් මොහොතකට ඇයට සුළු ක්ලාන්ත ගතියක් දැනුනු අතර ඇගේ දෙකළවා අතර දැඩි වේදනාවක් ද විය. එනමුදු ඇයට මීට පෙර නොවූ විරූ ශක්තිමක් බවක් දැනෙන්නට විය. ඇගේ කටහඬ ඇසුනු විගස සේවිකාවෝ දිව ආවෝය. "වතුර. වතුර ගුරුලේත්තුවක් ගේන්ට. හොයාගන්ට පුළුවන් සීතලම වතුර නම් තවත් හොඳයි. ඒ වගේම පළතුරු ටිකකුත්. මම හිතන්නෙ ඉඳි හොඳයි."

"එහෙමයි ඛලීසි."

"මට ඕන සෙර් ජෝරා." ඇය නැගී සිටිමින් පැවසුවාය. සේද ලෝගුවක් රැගෙන ආ ජික්වී එය ඇ‍ගේ දෙවුර මතින් පෙරෙවුවාය. "නාන්ට උණු වතුරත් ඕන. මිරී මාස් ඩූර්ටත් එන්ට කියන්ට. ඒත් එක්කම..." අසුරු සැනකදී පෙර මතකය සියල්ල පෙරලා පැමිණි අතර ඇගේ කතාව ඇණ සිටියේය. "ඛාල් ඩ්‍රෝගෝ." ඇය අමාරුවෙන් කියා ගත්තාය. ඇය භීතියෙන් යුතුව ඔවුන්ගේ මුහුණු පිරික්සා බැලුවාය. "එයා..?"

"ඛාල් ජීවත් වෙනවා." ඉරී ඕනෑවටත් වඩා ඉක්මනින් පිළිතුරු දුන්නාය. එනමුදු මේ වදන් පවසද්දී ඇගේ දෑසෙහි වූ අන්ධකාරයක සේයාවක් ඩැනී දුටුවාය. මේ වදන් තෙපලූ සැනින් හනික ආපසු හැරුනු ඇය දිය ගෙන ඒම පිණිස පිටව ගියාය.

ඇය ඩෝරියා දෙසට හැරුනාය. "මට කියන්ට."

"අ... මම ගිහින් සෙර් ජෝරාව එක්කරන් එන්නම්." ඇයට හිස නැමූ ලයිසෙනී තරුණිය කඩිමුඩියේම කූඩාරමෙන් පිටතට පැනගත්තා ය.

ජික්වී ද පැන දුවන්නට ඉඩ තිබූ නමුදු ඇගේ මැණික්කටුව අසලින් අල්ලාගත් ඩැනී ඇයව සිය ග්‍රහණයට ගත්තාය. "මොකක්ද මේ? මට දැනගන්ට ඕන. ඩ්‍රෝගෝ... මගේ දරුවා." ඇයට මේ වනතෙක් ඇගේ දරුවා ගැන සිහියට නොනැගුනේ මන්ද? "මගේ පුතා... රේ‍ගෝ... කෝ එයා? මට එයාව ඕන."

සේවිකාව දෑස් බිමට නැඹුරු කරගත්තා ය. "දරුවා... එයා ජීවත් වුනේ නෑ ඛලීසි." ඇගේ ස්වරය බියෙන් තැතිගත් කෙඳිරුමක් බඳු විය.

ඩැනී ඇගේ මැණික්කටුව මත වූ ග්‍රහණය මුදා හැරියාය. 'මගේ පුතා මැරිලා!' ජික්වී කූඩාරමෙන් පිටතට පැනගද්දී ඇය විමතියෙන් කල්පනා කලාය. කෙසේ හෝ ඇය මේ බැව් කලින්ම දැන සිටියාය. පළමු වර නින්දෙන් අවදිවද්දීම ඇය මේ බැව් දැන සිටියාය. නැත නැත.. ඒ නින්දෙන් අවදිවීමට පෙරාතුවම ඇය ඒ බැව් දැන සිටියාය. තමා දුටු සිහිනය විචිත්‍රවත් පැහැදිළිවත් හදිසියේම යළි ඇගේ සිහියට ආයේය. තඹ පැහැ සමින් හා රිදී-රන් පැහැ කෙස් කළඹින් යුතු උස් මිනිසා ගිනිගෙන දැවුනු සැටි ඇයට සිහිපත් විය.

තමා වැලපිය යුතු බැව් ඩැනී දැන සිටියද ඇගේ දෑස් අළු මෙන් වියළි විය. ඇය සිය සිහිනය තුළදී හඬා වැලපී තිබුනු අතර ඇ‍ගේ දෑසින් ගැලූ කඳුළු කම්මුල් මත ස්පර්ශ වූ වහාම වාෂ්ප වී ගියේය. 'ඔක්කොම දුක සංකා පිචිචිලා මගෙන් අයින් වෙලා ගිහිල්ලා!' ඇය තමාටම කියාගත්තා ය. ඇයට දුකක් දැනුනු බව සැබැවකි. එනමුදු... රේගෝ ඇගේ දිවියෙන් ඉවතට නැඹුරු වන ආකාරය ඇයට හැඟුනි. එය හරියටම ඔහු කිසිදා ඇගේ දිවියේ කොටසක් නොවූවාක් මෙනි.


Mirri Maz Duur: “Look and see what life is worth, when all the rest is gone.”

Monday 23 March 2015

සන්සා 06


මේගර්ගේ බලකොටුවේ පිහිටි කුළුණක වූ සිය නිදන කාමරය තුළ සන්සා අන්ධකාරයේ ගිලී ගියාය. ඇඳ වටා වූ සියළුම තිර රෙදි පහළට ඇද දැමූ ඇය නින්දට යමින්, වැළපෙමින් අවදිවෙමින්, නැවත නින්දට යමින් කාලය ගෙවුවාය. තව දුරටත් නිදන්නට නොහැකි තරම් වූ විට ඇය සිය ඇතිරිලි යටට වී ශෝකය නිසා වෙවුලමින් වැතිර සිටියාය. අහර බඳුන් රැගත් සේවකයින් සෑම කෑම වේලක් පාසාම පැමිණියද ඇයට ඒ දෙස බැලීමට පවා තරම් පිරියක් නොවුනි. අතවත් නොගැසූ අහර බඳුන් ඇගේ කාමරයේ කවුළුව සමීපයෙහි වූ මේසය මත ගොඩගැසෙන්නට වූ අතර අන්තිමේදී සේවකයින් විසින්ම ඒවා ඉවත රැගෙන යනු ලැබීය.

සමහරවිට ඇගේ නින්ද කිසිදු සිහිනයක් නොදකින බර නින්දක් විය. එවැනි විටෙක ඇය නැවත දෑස් හැරියේ දෑස් පියාගන්නට පෙර සිටියාටද වඩා වෙහෙසකින් වූ නමුදු ඇය එයට වඩා කැමැති වූවාය. මක්නිසාද යත් ඇය නින්දේදී සිහින දුටහොත් ඒ සෑම සිහිනයක්ම ඇගේ පියා පිළිබඳ වූ බැවිනි. නිදා සිටියදී හෝ අවදි වී සිටියදී කියා වෙනසක් නැතිව ඇගේ දෑස් ඉදිරියේ ඔහුගේ රුව මැවී ගියේය. රන්කබාකාරයින් විසින් ඔහුව ඇදගෙන එනු ලැබූ අන්දම, සෙර් ඉලියන් දිගු පියවර තබමින් ඉදිරියට එන අන්දම, සිය පිටට අත යවා අයිස් අසිපත කොපුවෙන් පිටතට ඇදගත් අන්දම, ඒ මොහොත... ඒ මොහොත... ඒ මොහො‍තේ ඒ දෙස නොබලා ඉවත බලන්නට ඇයට ඕනෑ විය. ඇයට තදින්ම ඕනෑ විය. ඇගේ දෙපා පණ නැතිව ගොස් ඇයව දණින් ඉන්දවුනු නමුදු ඇයට කිසිසේත්ම සිය හිස හරවාගැනීමට නොහැකි විය. සියළුම මිනිසුන් කෑගසමින්, හඬ තලමින් සිටි අතර ඇගේ කුමරා ඇය දෙස බලා සිනාසුනේය. ඔහු එසේ ඈ දෙස බලා සිනාසෙද්දී ඇයට මහත් ආරක්ෂාකාරී බවක් දැනුනි. එනමුදු ඒ එක් මොහොතකට පමණි. ඔහු අර බියකරු වදන් මුවින් පිටකරන තෙක් පමණි. ඇගේ පියාගේ දෙපා... ඇයට වඩාත්ම හොඳින් මතක තිබුනු දේ එය විය... ඔහුගේ දෙපා... සෙර් ඉලියන්... අර කඩුවෙන්... ඔහුගේ දෙපා ගැහුනු අයුරු...

'සමහරවිට මාත් මැරෙයි.' ඇය තමාටම කියාගත්තා ය. මේ සිතුවිල්ල ඇය පෙර සිතා සිටි තරම් බිහිසුණු එකක් නොවීය. ඇය සිය කවුළුවෙන් පිටතට පැන්නොත් මේ වදවේදනා කෙලවර වනු ඇත. මතු යම් දවසක කවීන් ඇගේ සන්තාපය හා දිවි පිදීම ගැන කවි ලියනු ඇත. සිඳී බිඳී ගිය ඇගේ අහිංසක සිරුර පහළින් ඇති ගල් ගොඩවල් මත වැතිර තිබෙනු ඇත. ඇයව පාවාදුන්, ඇගේ විශ්වාසය පාවාදුන් ඒ සියල්ලෝම එය දැකීමෙන් ලැජ්ජාවට පත්වනු ඇත. සන්සා ඇත්තෙන්ම ඇඳෙන් බැස සිය කාම‍රයේ කවුළුව වෙතට ගොස් එහි තිර රෙදි ඇද දැමීමට තරම් දුර ගොස් තිබුනාය... එනමුදු ඊළඟ මොහොතේ ඇගේ සිත තුළ වූ ධෛර්‍යය සහමුලින්ම නැතිවී ගිය අතර ඇය ඉකිබිඳිමින් නැවත ඇඳ වෙත දිවගියාය.

කුළුණු පඩිපෙළේ පියගැටෙන හඬ ඇය සිහිනෙන් ඇසුවාය. මිනිසකු ඇ‍ගේ නිදන කාමරය වෙත හෙමින් හෙමින් ළඟාවන ඒ හඬ ඇයට ඇසුනාය. ඇයට කල හැකි වූ එකම දෙය දොර පිටුපසට වී ගුලි ගැසී වෙවුලමින් ඒ පියවර හඬට කන්දීම පමණක් විය. මේ මිනිසා තව තවත් කාමරයට ලං වූයේය. ඒ අන් කිසිවෙකුත් නොව සෙර් ඉලියන් පේය්න් බැව් ඇය දැන සිටියාය. අයිස් අසිපත සුරතින් දරා ඇගේ හිස සිඳලීම පිණිස පැමිණෙමින් සිටින සෙර් ඉලියන් පේය්න් විය. ඇයට දිව යන්නට තැනක් හෝ සැඟවෙන්නට තැනක් හෝ කාමරයේ දොරට අගුලු දැමීමට ක්‍රමයක් හෝ නොවීය. අන්තිමේදී ඒ පියවර හඬ නැවතුනු අතර ඔහු දැන් දොරට පිටතින් සිටගෙන සිටින බැව් ඇයට වැටහුනි. නිහඬවම, ඒ සීතල දෑසින් බලමින් සිටගෙන සිටිනු ඇයට දැනුනි. ඒ මොහොතේ ඇයට වැටහී ගියේ තමා මුලුමනින්ම නිරුවතින් සිටින බවකි. වහා උක්කුටියෙන් වාඩිවුනු ඇය දෝතින් සිය නිරුවත වසා ගැනීමට තැත්කලාය. ඊළඟ මොහොතේ ඇගේ කාමරයේ දොර ක්‍රීක් හඬ නංවමින් ඇරෙන්නට වූ අතර දැවැන්ත අසිපතක තුඩ එතුළින් එබී බලන්නට විය...

ඇය වෙවුලමින් කෙඳිරිගාමින් අවදිවූවාය. "අනේ එපා. අනේ එපා. මම හොඳ ළමයෙක් වගේ ඉන්නම්. අනේ එපා!" එනමුදු ඒ වදන් අසන්නට එහි කිසිවෙකුත් නොවීය.

* * *

අන්තිමේදී ඔවුන් සත්‍ය වශයෙන්ම ඇය වෙනුවෙන් පැමිණි විට සන්සාට ඔවුන්ගේ පියවර හඬ කොහෙත්ම නොඇසින. එමෙන්ම ඇගේ කාමරයේ දොර ඇරියේ සෙර් ඉලියන් නොව ඇගේ කුමරුවා වූ ජොෆ්රි විය. ඇය සිය ඇඳ මතට වී, තිර රෙදි පහත හෙලාගෙන, බෝලයක් මෙන් වකුටුව බලා සිටි අතර ඒ දහවලද නැතිනම් මධ්‍යම රාත්‍රියද කියා කියන්නටවත් නොදත්තාය. ඇයට ඇසුනු මුල්ම දෙය නම් සිය දොර මහ හඬින් වැසෙන ශබ්දයයි. ඊළඟ මොහොතේ ඇගේ ඇඳ වටා වූ තිරරෙදි වැරෙන් දෙපසට ඇදී ගිය අතර ඇතිවුනු හදිසි ආ‍ළෝක තත්ත්වයෙන් සිය දෑස් මුදාගන්නට ඇය දෑත් එසෙවුවාය.

"ඔබ අද දවාලෙ මගෙත් එක්ක රාජසභාවෙ පෙනී ඉන්ට ඕන." ජොෆ්රි කීයේය. "නාලා, හොඳට ඇඳපැළැඳගෙන මගේ කුමාරිකාවට ගැලපෙන විදියට ඉන්ට ඕන." ජොෆ්රි පසුපසින් දුඹුරු පැහැ පිටකබායකින් හා කොළ පැහැ සළුවකින් සැරසුනු දඩබල්ලා බලා සිටියේය. උදෑසන හිරුඑළිය නිසා ඔහුගේ පිළිස්සුනු මුහුණ තවත් අජූව පෙනුමක් ගත්තේය. ඔවුන්ට පිටුපසින් දිගැති සුදු පැහැ සළුවෙන් සැරසුනු රාජ්‍යාරක්ෂක බලකායේ නයිට්වරුන් දෙදෙනෙක් සිටගෙන සිටියහ.

නිකට තෙක් සිය පොරෝණය ඇදගත් සන්සා ගත වසා ගත්තාය. "නෑ." ඇය ඉකිබින්දාය. "අනේ.. අනේ කරුනාකරලා.. මට තනියෙන් ඉන්ට දෙන්ට."

"ඔබ නැගිටලා තනියෙන් ඇඳුම් ඇඳගත්තෙ නැත්තම් මගේ දඩබල්ලා ඔබ වෙනුවෙන් ඒක කරාවි." ජොෆ්රි පිළිවදන් දුනි.

"මම බොහොම බැගෑපත්ව ඔබෙන් ඉල්ලා ඉන්නවා මගේ කුමරුනි."

"මම දැන් කුමාරයෙක් නෙවෙයි රජෙක්. බල්ලො, එයාව ඇඳෙන් එළියට ඇදලා දාපන්."

ඇය කිසිදු ඵලක් නොමැතිව දුබල අයුරින් දඟලද්දී ඉඟටියෙන් අල්ලාගත් සැන්ඩෝර් ක්ලිගේන් ඇයව ඇඳෙන් නැගිට්ටෙවුවේ ය. සිරුර වසා තිබුනු පොරෝණය බිම වැටුනු අතර ඇගේ නිරුවත් සිරුර ආවරණය පිණිස හැඳ සිටි තුනී නිදන ගවොම හැර අන් කිසිවක් එහි නොවීය. "ඔබට කියාපු විදියට කරන්ට දරුවො." ක්ලිගේන් කීවේය. "ඇඳුම් ඇඳගන්ට." ඔහු මෘදු අන්දමින් ඇයව ඇඳුම් අල්මාරිය දෙසට තල්ලු කලේය.

සන්සා ඔවුන්ගෙන් පසෙකට ඇදුනාය. "මම රැජින කියපු හැම දෙයක්ම කලා. මම අර ලියුම් ලිවුවා. එයා ලියන්ට කියපු හැම දෙයක්ම මම ලිවුවා. ඔබ මට පොරොන්දු වුනා අභයදානය දෙනවයි කියලා. අනේ මට ගෙදර යන්ට දෙන්ට. මම හොඳට ඉන්නම්. කිසිම රාජද්‍රෝහි වැඩක් නොකර ඉන්නම්. මම දිවුරලා පොරොන්දු වෙනවා. මගේ ඇඟේ ද්‍රෝහියෙකුගෙ ලේ නැහැ. මට ඕන එකම දේ ගෙදර යන එක විතරයි‍."තමා උගත් ආචාරශීලීත්වයන් සිහිපත් වූ ඇය වහා හිස නැමුවාය. "ඔබතුමා සතුටු නම්". ඇය බැගෑපත් ස්වරයෙන් එක්කලාය.

"මම ඒකෙන් සතුටුවෙන්නෙ නැහැ." ජොෆ්රි පිළිතුරු දුන්නේය. "අම්මා කියන්නෙ මම ඔබත් එක්ක විවාහ වෙන්ට යනවා කියලයි. ඒක නිසා ඔබ මෙහෙ ඉන්ට ඕන. ඒ වගේම මට කීකරු වෙන්ට ඕන."

"මට ඔබත් එක්ක විවාහවෙන්ට කිසිම උවමනාවක් නැහැ. ඔබ මගේ තාත්තගෙ හිස ගසා දැම්මා."

"ඌ රාජද්‍රෝහියෙක්. මම කවදාවත් පොරොන්දු වුනේ නැහැ ඌව බේරනවා කියලා. මම කිවුවෙ මම අනුකම්පාසහගත වෙන්නම් කියලා විතරයි. මම එහෙම කලා. ඒ ඔබේ තාත්තා නැතුව වෙන මිනිහෙක් වුනානම් මම ඌව කෑලි කෑලි ඉරනවා. නැත්තම් පණපිටින් හම ගහනවා. ඒ වුනත් මම එහෙම නොකර ඌට ඉක්මන් මරණයක් ලබාදුන්නා."

සන්සා ඔහු දෙස බැලූයේ සිය දිවියේ පළමුවරට ඔහුව නියමාකාරයෙන් දුටුවාය. ඔහු සිංහ රූ වලින් අලංකාර කෙරුනු ලේ රතු පැහැ පිට කබායකින් සැරසී රන් හුයෙන් කල උස් කොලරයක් සහිත කෙටි කබායක් හැඳ සිටියේය. ඔහු කඩවසම් යැයි තමා සිතූයේ කෙසේදැයි සන්සා මවිතයෙන් කල්පනා කලාය. ඔහුගේ දෙතොල් වර්ෂාවකින් පසු මතුවන පනුවන් මෙන් සුමුදු රත් පැහැයකින් දිදුලුවේය. එමෙන්ම ඒ දෑස් අහංකාර කුරිරු ඒවා විය. "මම ඔබට වෛර කරනවා." ඇය කොඳුලාය.

ජොෆ්රි රජුගේ මුහුණ දැඩිවිය. "මගේ අම්මා මට කියපු දෙයක් තමා රජ කෙනෙක් තමන්ගෙ බිරිඳට තඩිබාන එක මහ නොහොබිනා කමක් කියලා. සෙර් මෙරින්."

ඇයට කිසිවක් සිතාගන්නට ලැබෙන්නටත් පෙර නයිට්වරයා ඇය අසල විය. සිය මුහුණ ආවරණය කරගනු පිණිස එසවූ සන්සාගේ දෑත් වැරෙන් පසෙකට ඇද දැමූ ඔහු අත්වැසුම් ලූ මිටින් ඇගේ කණ හරහා අතුල් පහරක් එල්ල කලේය. තමා ඇද වැටෙනු සන්සා නොදත් මුත් ඊළඟ මොහොතේ තමා තිරරෙදි අතර දණින් වැටී සිටිනු ඇයට තේරුම්ගියේය. ඇගේ කණ් කීං ගාමින් තිබූ අතර සෙර් මෙරින් ට්‍රෙන්ට් ඇය අබියස සිටගෙන සිටියේය. ඔහුගේ සුදු පැහැ අත්වැස්මේ රුධිරය තැවරී තිබින.

"උඹ දැන්වත් කීකරු වෙනවද නැත්තම් මම එයාට කියන්ටද ආයෙමත් වතාවත් උඹව මට්ටු කරන්ටයි කියලා?"

සිය කණ අගුළු වැටී ඇත්තාක් මෙන් සන්සාට හැඟුනි. ඇය එය අත ගා බැලූ අතර ඇඟිලි තුඩුවල රුධිරය තැවරී තිබුනි. "මම.. ඒ.. ඒ.. විදියට කරන්නම් මගේ උතුමානනි."

"උඹේ ස්වාමින්. උතුමානන් නෙවෙයි." ජොෆ්රි ඇයව නිවැරැදි කලේය. "උඹ රාජසභාවට එයි කියලා මම බලන් ඉන්නවා." ආපසු හැරුනු ඔහු පිටව ගියේය.

සෙර් මෙරින් හා සෙර් ඒරිස් ද ඔහු අනුව පිටව ගියමුත් මඳක් සුනංගු වූ සැන්ඩෝර් ක්ලිගේන් ඇයව අතින් අල්ලා ඇද නැගිට්ටෙවුවේ ය. "නිකං බොරුවට වේදනා විඳින්ට එපා දරුවො. එයාට ඕන දේ කරන්ට."

"මොකක්ද... මොකක්ද එයාට ඕන කරලා තියෙන්නෙ? අනේ මට කියන්ට."

"එයාට ඕන ඔබ හොඳ ලස්සනට හිනාවෙලා, සුවඳ ගගහ එයාගෙ ආදරණීය කුමාරිකාව වගේ ඉන්න එකයි. එයාට ඕන ඔබේ අර සෙප්ටා ඔබට උගන්නලා තියෙන විදියට ලස්සන චාටු කතා, මෝඩ කතා එයාට කියන එකයි. එයාට ඕන ඔබ එයාට ආදරේ කරන්ටයි... එයාට බයවෙන්ටයි."

ඔහු පිටව ගිය පසු නැවත තිරරෙදි අතර බිම ඇණබාගත් සන්සා බිත්තිය දෙස බලාගත්වනම කල්පනාවේ ගැලුනාය. ඇගේ සේවිකාවන් දෙදෙනෙක් බයාදු අයුරින් කාමරය තුළට රිංගාගත්තෝ ය. "මට නාන්ට උණුවතුර ඕන." ඇය ඔවුන්ට පැවසුවාය. "ඒ වගේම සුවඳ විලවුන්. ඒත් එක්කම මේ තැල්ම මකලා දානට පුයර ටිකකුත්." ඇගේ මුහුණේ දකුණු පස දැන් ඉදිමී තිබුනු අතර දැඩිව වේදනා ගෙන දුන්නේය. එනමුදු ජොෆ්රිට ඇයව අලංකාරවත් අයුරින් දකින්නට උවමනා බව ඇය දැන සිටියාය.

උණුදිය විසින් ඇයට නැවත වින්ටර්ෆෙල් සිහිගැන්වූ අතර එයින් ඇගේ සිරුරට අමුතු ශක්තියක් ලැබුනාක් මෙන් පෙනින. සිය පියා මියගිය දිනයේ සිට ඇය මුහුණ සේදීම පවා නොකල අතර සිරුරේ වූ කුණුධූලි විසින් උණුදිය අවපැහැ ගැන්වූ ආකාරය දෙස ඇය මවිතයෙන් යුතුව බලා සිටියාය. සේවිකාවෝ ඇගේ මුහුණේ වු රුධිරය සෝදා පිසදා හැර, සිරුරේ කුණු අතුල්ලා, හිසකෙස් සෝදා ඒවා නැවත පෙර මෙන් රතු දුඹුරු කැරැළි ගැසෙන තෙක් හොඳින් පීරුවෝය. ඔවුන්ට යම් යම් අණ දීමට හැරෙන්නට ඇය ඔවුන් හා වදනකුදු නොදෙඩුවාය. ඔවුන් ඇගේ සේවිකාවන් නොව ලැනිස්ටර් සේවිකාවන් විය. ඇය ඔවුන් කිසිවෙකුත් බිඳකුදු විශ්වාස නොකලාය. නා හමාර වූ පසු ඇය එදා තරගාවලිය වෙනුවෙන් සැරසුනු කොළ පැහැ සේද ගවොමෙන් සැරසුනාය. එදා රෑ පැවැති භෝජන සංග්‍රහයේදී ඇගේ කුමරුවා කෙතරම් නිර්භීත අන්දමින් හැසිරුනාදැයි ඇයට සිහිපත් වන්නට විය. සමහරවිට මේ ගවොම දැකීමෙන් ඔහුටද එය සිහිපත් වනු ඇත. එවිට ඔහු ඇයට වඩා කරුනාවෙන් සලකන ඇත.

තමාව කැටුව යාමට කෙනෙකු පැමිණෙන තෙක් බලාසිටින අතරේ කුසගින්න නිවාගනු පිණිස ඇය බටර්කිරි වීදුරුවක් පානය කර විස්කෝතු කිහිපයක් අනුභව කලාය. සෙර් මෙරින් නැවත පැමිණෙද්දී මධ්‍යහ්නය වී තිබුනි. මේ වනවිට ඔහු සිය ධවල සන්නාහයෙන් සැරසී හුන්නේය. සුදු කොරපොතු සන්නාහයේ රන් පැහැයෙන් වැඩ දමා තිබුනු අතර උස් ශිරස්කය මුදුනේ රන්වන් සූර්‍යයෙක් විය. ඔහුගේ ග්‍රීවාවරණ, අත්වැසුම්, ජංඝාවරණ හා බූට්ස් සපත්තූ යන සියල්ලක්ම ඔප දැමූ වානේවලින් නිමාවී තිබුනු අතර බරැති ලොම් සළුවක් රන්වන් සිංහ රුවක හැඩගත් හාරිච්චියකින් උරහිස මත රැඳවී තිබුනි. ශිරස්කයේ මුවවැස්ම ඉවත් කොට තිබුනෙන් ඔහුගේ රළු මුහුණ ද, දෑස් යට වූ අඳුරු පැහැ පැල්ලම් ද, නොරිස්සුම් සහගත මුව ද, අවර්ණ වී යාමට පටන්ගෙන තිබුනු මලකඩ පැහැ හිසකෙස්ද පැහැදිලිව දැකගත හැකි විය. "මගේ ආර්යාවනි." ඔහු ඇයට හිස නැමුයේ හරියට මීට පැය තුනකට පෙරාතුව ඇයට ලේ එනතෙක් තැලූ තැනැත්තා ඔහු නොවන්නාක් මෙනි. "ස්වාමින් අණකලා ඔබතුමීව රාජසභා ශාලාවට එක්කරන් එන්ටයි කියලා."

"මම එන්ට බැහැයි කිවුවොත් මට තලන්ටයි කියලත් එයා කිවුවද?"

"ඔබතුමී එන එක ප්‍රතික්ෂේප කරනවද මගේ ආර්යාවනි?" ඔහු ඇය දෙස හෙලූ බැල්ම කිසිදු හැඟීමක් නොමැති එකක් විය. අඩුම තරමේ ඔහු ඇගේ මුහුණේ ඉතුරුකර තබාගිය තැල්ම දෙසවත් දෑස් යොමු නොකලේය. ඔහු තමාට වෛර නොකරන බැව් සන්සා වටහාගත්තා ය. එමෙන්ම ඔහු තුළ ඇය කෙරෙහි ඇල්මක් ද නැත්තේය. ඔහු තුළ ඇය ගැන කිසිදු ආකාරයක හැඟීමක් නොවීය. ඔහුට ඇය නිකංම නිකම් ගෘහභාණ්ඩයක් වැනි දෙයක් පමණි. "නැහැ‍." ඇය අසුනින් නැගිටිමින් පැවසුවාය. ඇයට ‍කේන්තියෙන් පුපුරන්නට උවමනා විය. ඔහු ඇයට රිදවූවාක් මෙන් පෙරලා ඔහුට ද රිදවන්නට උවමනා විය. නැවත වරක් තමාට රිදවුවහොත් තමා රැජින වූ පසු ඔහුව මේ රාජධානියෙන් එලවා දමන්නෙමියි ඔහුට අනතුරු අඟවන්නට උවමනා විය. එනමුදු දඩබල්ලා තමාට පැවසූ දේ ඇයට සිහිපත් විය. එබැවින් ඇගේ මුවින් පිටවූයේ මෙවැන්නකි. "මගේ ස්වාමින් මට අණකරන ඕන දෙයක් මම කරන්නම්."

"හරියට මම කරනවා වගේ."

"ඔවු... ඒ වුනත් ඔබ නියම නයිට්වරයෙක් නෙවෙයි සෙර් මෙරින්."

සැන්ඩෝර් ක්ලිගේන් ඇගේ මේ කතාවට සිනාසෙන්නට ඉඩතිබුනි. තවත් සමහර මිනිසුන් ඇයට සාපකරනු ඇත. ඇයට කට පියාගෙන සිටින්නැයි අනතුරු අඟවනු ඇත. නැතිනම් ඇගෙන් සමාව ඉල්ලා සිටිනු ඇත. එනමුදු සෙර් මෙරින් ට්‍රැන්ට් මේ කිසිවක් නොකලේය. සෙර් මෙරින් ට්‍රැන්ට් මේ කිසිවක් ගැන තැකීමක් නොකලේය.

* * *

සභාශාලාවේ සඳළුතලයේ ඇය හැරෙන්නට අන් කිසිවෙකුත් නොවීය. ඇය දෑසට නැගෙන කඳුළු බිඳු වළකාලන්නට තැත්කරමින් බිමට හරවාගත් මුහුණින් යුතුව කාලය ගෙවා දැමුවාය. පහළින් වූ යකඩ සිංහාසනයේ අසුන්ගෙන සිටි ජොෆ්රි ඔහු විසින් යුක්තිය යැයි කියාගත් දේ පසිඳලමින් සිටියේය. කෙසේවුවද තමා ඉදිරියට ගෙනා නඩුහබවලින් දහයෙන් නවයක් කෙරෙහිම ඔහු තුළ කිසිදු උනන්දුවක් නොවූ අතර ඒ සැමෙකක්ම රාජසභාව වෙත යොමු කෙරින. බේලිෂ් උතුමානන්, ප්‍රධාන පූජක පයිසෙල් හා සෙර්සි රැජින විසින් මේ නඩුහබ විසඳන තෙක් ඔහු අසුන මත නොසන්සුන් ලෙස ඇඹරෙමින් බලා සිටියේය. එනමුදු යම් නඩුවක තීන්දුව තමා විසින්ම ලබාදීමට ඔහුට උවමනා විනි නම් එතැනින් එහාට ඔහුගේ මවට පවා ඊට මැදිහත් විය නොහැකි විය.

තමා ඉදිරිපිටට ගෙනා සොරෙකුගේ දෑත් ඒ මොහොතේම, සභාශාලාව තුළදීම සිඳලන්නට ඔහු විසින් සෙර් ඉලියන්ට අණ කෙරින. ඉඩම් හබයක් රැගෙන ආ නයිට්වරුන් දෙදෙනෙකුට හෙට දිනයේ ඒ වෙනුවෙන් ද්වන්ද්ව සටනක් කරන්නැයි ඔහුගෙන් උපදෙස් ලැබුනි. "එකෙක් මැරෙනකම්ම." ඒ ඔහුගේ තීන්දුව විය. ඔහු ඉදිරියේ දණ නැමූ ගැහැණියක් රාජද්‍රෝහියකු යැයි චෝදනා ලැබ හිස ගසා දමනු ලැබූවකුගේ හිස ලබා දෙන්නැයි අයැද සිටියාය. තමා ඔහුට ආදරය කල බවත්, ඔහුව නිසිපරිදි වල දමා බුහුමන් දක්වන්නට උවමනා බවත් ඇය කීවාය. "උඹ ද්‍රෝහියෙකුට ආදරේ කලානම් උඹත් ද්‍රෝහියෙක් වෙන්ට ඕන." ජො‍ෆ්රි කීවේය. රන්කබාකරුවන් දෙදෙනෙකු විසින් ඇයව දඟගෙය වෙත ඇදගෙන යනු ලැබින.

කළු විල්ලුදයෙන් කල උඩු කබායක් හා රන් හුයෙන් කල කෙටි කබායකින් සැරසුනු, ගෙඹි මුහුණකින් යුත් ස්ලින්ට් උතුමානන් රාජසභා මේසයේ කෙලවරක අසුන් ගෙන සිටියේ රජතුමා නිවේදනය කරනු ලබන සෑම තීන්දුවක්ම අවසානයේ ඒ අනුමත කරන අයුරින් හිස වැනීය. සන්සා නොපහන් ස්වරයෙන් ඒ අජූව මුහුණ දෙස බලා සිටියේ සෙර් ඉලියන්ට සිය පියාගේ ගෙල සිඳලනු පිණිස ඔහු විසින් පියාව අල්ලා බිම බාවා අල්ලාගත් ආකාරය මෙනෙහි කරමිනි. තමාට ඔහුට රිදවන්නට ඇත්නම්, කිසියම් වීරයෙකු මෙතැන පහල වී ඔහුව බිම බාවා හිස සිඳ දමන්නේ නම් යැයි ඇය ප්‍රාර්ථනා කලාය. එනමුදු ඇගේ හිස තුළ වූ කටහඬක් මුමුනන්නට විය. 'වීරයො කියලා ජාතියක් නැහැ.' එමෙන්ම පෙටයර් උතුමානන් විසින් වරක් මේ සභාශාලාව තුළදීම තමාට පවසන්නට යෙදුනක් ඇයට සිහිපත් විය. "ජීවිතේ කියන්නෙ සින්දුවක් නෙවෙයි වස්තුවෙ. ඔයාගෙ තණගාටුවට හේතුවෙන්ට ඔයාම දවසක ඒක තේරුම් ගනියි." ඔහු එදා එලෙස පැවසීය. 'ඇත්ත ජීවිතේදි දිනන්නෙ වීරයො නෙවෙයි, යක්කු, අමනුස්සයො.' ඇය තමාටම පවසා ගත්තාය. ඊළඟ මොහොතේ ඇගේ සිත තුළ දඩබල්ලා ගේ ගොරෝසු, බෙලෙක් කටහඬ ඇසෙන්නට විය. "නිකං බොරුවට වේදනා විඳින්ට එපා දරුවො. එයාට ඕන දේ කරන්ට."

දිනයේ අවසාන නඩු තීන්දුව වූයේ තරබාරු තැබෑරුම් ගායකයෙකුට එරෙහිව විය. මියගිය රොබර්ට් රජතුමාට නිගාදෙන අන්දමේ විකට ගීයක් තනා ගායනා කිරීම ඔහුට නැගුනු චෝදනාව විය. ඔහුට සිය වීණාව ලබදෙන්නැයි අණකල ජොෆ්රි මේ සභාශාලාවට ඇසෙන්නට එය දැන් ගයන්නැයි ගායකයාට අණ කලේය. බියෙන් වැලපෙන්නට වූ ගායකයා තමා නැවත කිසිදාක එය නොගයන්නෙමැයි දිවුරන්නට වූ නමුදු රජතුමා බලකර සිටියේය. එය ඇත්තෙන්ම යම් ආකාරයක විතට ගීයක් විය. රොබර්ට් රජතුමා ඌරෙකු හා සටන් වැද මියගිය අයුරු එයින් විස්තර කෙරිනි. මේ ඌරා වනාහි රොබර්ට්ව මරා දැමූ අර වල්ඌරා බැව් සන්සා දැන සිටියාය. එනමුදු ගීයේ වූ යම් යම් ව්‍යංගාර්ථයන්ගෙන් කියැවුනේ ඇත්තටම මේ කියැවෙන්නේ රැජින ගැන බැව් ඇය වටහාගත්තා ය. ගීය නිමාවූ පසු ජොෆ්රි නිවේදනය කර සිටියේ තමා අනුකම්පා සහගත වන්නට සිතූ බවයි. ගායකයාට සිය අතැඟිලි හෝ දිව යන දෙකෙන් එකක් පමණක් තබාගන්නට අවසර ලැබුනු අතර ඒ කුමක්දැයි තීරණය කරන්නට දවසක කාලයක් ද ලැබුනි. සුපුරුදු පරිදි ජේනස් ස්ලින්ට් උතුමානන් හිස වැනුවේය.

මේ වනාහි දිනයේ අවසාන නඩුව බැව් සන්සා සිතේ නැගුනු සහනයකින් යුතුව සිතුවාය. එනමුදු ඇගේ වදවිභාගය තවම හමාර නොවීය. රාජදූතයා විසින් රාජසභාව අවසන් වූ බැව් නිවේදනය කල වහා ඇය සඳළුතලයෙන් පිටවූ නමුදු සර්පිලාකාර පියගැටපෙළ පාමුල ජොෆ්රි ඇය එනතෙක් බලා සිටියේය. ඔහුත් සමග දඩබල්ලා ද සෙර් මෙරින් ට්‍රැන්ට් ද වූහ. යෞවන ‍රජතුමා ඇය දෙස විවේචනාත්මක බැල්මක් හෙලුවේය. "කලින් හිටියට වඩා දැන් ඔබ ගොඩක් ලස්සනයි."

"ස්තූතියි මගේ ස්වාමිනී!" සන්සා කීවාය. ඒ නිකංම් නිකම් හිස් වචන ටිකක් පමණක් වුවද ඔහු එයින් සතුටු වූ බව ඇය දුටුවාය.

"මගෙත් එක්ක ඇවිදින්ට." ජොෆ්රි ඇයට සිය අත දෙමින් අණ කලේය. ඒ අත ගැනීම හැර ඇයට අන් විකල්පයක් නොවීය. එක් කලෙකදී නම් මේ ස්පර්ෂය ඇගේ රෝමෝද්ගමනය කර ඇයව සතුටින් පිනවන්නට සමත් වුවද දැන් ඇයට දැනුනේ අතිමහත් පිළිකුලක් පමණි. "මගේ උපන්දිනේ ඉක්මනටම එනවා." සභාශාලාව පසුපස වූ දොරින් පිටතට පියමනින අතරේ ජොෆ්රි පැවසුවේය. "ලොකු භෝජන සංග්‍රහයක් පැවැත්වෙයි. තෑගිත් ගොඩක් ලැබෙයි. ඔබ මොනවද මට දෙන්ට යන්නෙ?"

"මම... මම ඒ ගැන හිතුවෙ නැහැ ම‍‍ගේ උතුමානනි."

"ඔබේ ස්වාමිනී." ඔහු තියුණු ස්වරයෙන් කීවේය. "ඔබ ඇත්තෙන්ම මහ මෝඩ කෙල්ලෙක් නේද? මගේ අම්මා එහෙම කියනවා."

"එයා එහෙම කියනවද?" හරිනම් මේ සිදුවූ සියලු දේවලින් පසු ඔහුගේ වදන්වලට තවදුරටත් ඇයව රිදවන්නට නොහැකි විය යුතුව තිබින. එනමුදු එය එසේ නොවීය. රැජින හැමදාමත් ඇයට කරුනාවෙන් සැලකුවාය.

"අපොයි ඔවු. එයා අපි දෙන්නට ලැබෙන්ට යන දරුවො ගැන වදවෙනවා. එයාලත් ඔබ වාගෙම මෝඩයො වෙයි කියලයි එයා බය. ඒ වුනත් මම එයාට කිවුවා ඒ ගැන වදවෙන්ට එපයි කියලා." රජතුමා සන් කල අතර සෙර් මෙරින් ඔවුන් වෙනුවෙන් දොර විවර කර දුන්නේය.

"බොහොම ස්තූතියි මගේ ස්වාමිනී!" ඇය කොඳුලාය. 'දඩබල්ලා හරි.' ඇය සිතුවාය. 'මම නිකංම නිකම් පුංචි කිරිල්ලියෙක් විතරයි. එයාලා මට උගන්නපුවා මම දොඩවනවා.' බටහිර දෙසින් වූ ප්‍රාකාරවලට එපිටින් හිරු බැසගොස් තිබුනු අතර රතු බලකොටුවේ ගල් බිත්ති ලේ රතු පැහැයෙන් බැබලින.

"ඔබ නියම කාලෙට ආපු ගමන්ම මම ඔබට දරුවෙක් දෙන්නම්." සරඹ පුහුණු අංගනය හරහා ඇයව කැඳවාගෙන යන අතරේ ජොෆ්රි පැවසීය. "පලවෙනි දරුවා මෝඩයෙක් වුනොත් මම ඔබේ හිස ගසා දාලා වෙන බුද්ධිමත් බිරිඳක් හොයාගන්නම්. කොයි කාලෙ විතර වෙයිද ඔබට දරුවෙක් ලැබෙන්ට සුදුසු තත්ත්වයට පත්වෙනකොට?"

සන්සාට හිස ඔසවා ඔහු දෙස බැලිය නොහැකි විය. ඔහු ඇයව එතරම්ම ලැජ්ජාවට පත් කර තිබුනි. "සෙප්ටා මෝර්ඩේන් කියපු විදියට නම්.. ගොඩක්.. ගොඩක් උසස් පවුල්වල ගෑනු ළමයි අවුරුදු දොළහ දහතුන වෙනකොට වැඩිවිය පැමිණෙනවා."

ජොෆ්රි හිස වැනුවේය. "මේ පැත්තෙන්." ඔහු ඇයව බලකොටු ද්වාරය පාමුල වූ ඉහළ මුරකපොලුවලට නගින පඩිපෙළ පාමුලට කැඳවාගෙන ගියේය.

සන්සා වෙවුලමින් ඔහුගෙන් මෑත්වුවාය. ඔවුන් මේ යන්නේ කොහේදැයි ඇයට හදිසියේම වැටහී ගියේය. "නෑ." බිය නිසා ඇගේ ස්වරය අමාරුවෙන් හුස්ම අල්ලන්නාක් බඳු විය. "අනේ එපා. එහෙම කරන්ට එපා. මම වඳින්නම්..."

ජොෆ්රි සිය දෙතොල් තද කරගත්තේය. "මට ඕන ඔබට පෙන්නන්ට මොකක්ද ද්‍රෝහින්ට වෙන්නෙ කියලා."

සන්සා වියරුවෙන් හිස සැලීය. "මට බැහැ.. මට බැහැ.."

"මට පුළුවන් සෙර් මෙරින්ට කියන්ට ඔබව උඩට ඇදගෙන යන්ටයි කියලා. ඔබ ඒකට කැමැති වෙන එකක් නැහැ. ඊට වඩා හොඳ නැද්ද මම කියන හැටියට වැඩ කරන එක." ජොෆ්රි ඈ දෙසට නැඹුරු වූ අතර ඇය බියෙන් ඇකිළෙමින් ඔහු වෙතින් මෑත් වුයේ දඩබල්ලා දෙසට පසුබැස්සාය.

"ඒක කරන්ට කෙල්ලෙ." දඩබල්ලා ඇයව නැවත රජතුමා දෙසට තල්ලු කරමින් සෙමින් කීවේය. ඔහුගේ මුහු‍ණේ පිළිස්සුනු පැත්තේ මුව ඇදවී තිබුනු අතර ඔහු ඊළඟට පවසන්නට යන දේ ඇයට ඇසෙන්නාක් බඳු විය. 'ඔබ මොනවා කලත් එයා කොහොමහරි ඔබව ඒක උඩට ගෙනියනවා. ඒක නිසා එයාට උවමනා දේ කරන්ට.'

ඇය ආයාසයකින් යුතුව ජොෆ්රිගේ අතකින් අල්ලාගත්තා ය. ඉහළ නැගීම නපුරු සිහිනයක් බඳු විය. තබන සෑම පියවරක්ම වෙනවෙන් කෙතරම් දැඩි ආයාසයක් දැරිය යුතු වී ද යත් එය හරියටම මඩේ බැස ඇවිදින්නාක් මෙන් විය. එමෙන්ම එහි ඇය සිහිනෙන් වත් නොසිතූ තරම් පියගැට විය. පියගැට දහස් ගණනක්, දසදහස් ගණනක්! එමෙන්ම ඉහළින් වූ මුර අට්ටාලවල ඇය වෙනුවෙන් මහත් බියකරු දෙයක් බලා සිටියේය.

මුර අට්ටාලවලට නැගගත් පසු ඔවුන්ට පහළින් මුලුමහත් ලෝකයම විවර විය. ඇගේ පියා මියගිය බේලර්ගේ සප්තකය, විසෙන්යාගේ කඳුගැටයේ පිහිටා තිබුනු ප්‍රධාන සප්තක දේවස්ථානය සන්සාට දැකගත හැකිවිය. නගරයේ අනිත් පස සොහොයුරියන් ගේ වීථියේ වූ ගින්නෙන් කළුගැසුනු, මකරාවාටයේ නටඹුන් දිස්විය. බටහිර දෙසට වන්නට රත් පැහැ ගුලියක් මෙන් වූ සූර්යයා දෙවිවරුන්‍ ගේ ද්වාරයට එපිටින් අඩක් සැඟව ගොස් තිබුනි. ඇයට පසුපසින් ලුණු මුහුද වූ අතර දකුණු පසින් මාළු වෙළෙඳපලත්, නාවුක තටාකාංගනයත්, වරායත්, වේගයෙන් ගලාබස්නා කළුදියදහරත් විය. උතුරෙන්...

ඇය උතුරු දෙසට හැරුනාය. ඇයට දැකගත හැකි වූ එකම දෙය නගරය පමණි. වීථි, පටුමං, කඳුගැට, මුඩුක්කු, තවත් වීථි, තවත් පටුමං හා අන්තිමේදී ගඩොලින් බැඳි නගර ප්‍රාකාර. එනමුදු මේ සැමට එපිටින් විවෘත භූමිභාගයක් ඇති බැව් ඇය දැන සිටියාය. ගොවිපල, තණබිම්, වනාන්තර සහ තවත් උතුරට යනවිට... උතුරට උතුරට උතුරටම යනවිට වින්ටර්ෆෙල්!

"ඔය මොකක් දිහාද ඔය බලන්නෙ?" ජොෆ්රි ඇසුවේය. "මට මෙන්න මේකයි ඔබට පෙන්නන්ට ඕන වුනේ. මෙන්න මෙතැන."

සන්සාගේ නිකට තෙක් උස්වූ තාප්පයකින් මුර අටල්ලේ පිටත සීමාව ආවරණය කෙරින. එහි අඩි පහෙන් පහට මෙන් විවර කපා තිබුනේ දුනුවායින්ට ඊ විදීම පහසු වනු පිණිස විය. ප්‍රාකාරය දිගටම මේ කපොලු දෙකක් අතර යකඩ හෙල්ලයක ඇමිනු මිනිස් හිසක් බැගින් සිටවා තිබුනේ නගර වැසියන්ට දිස්වනු පිණිසය. ඇය මුර අට්ටාලවලට නැගුනු වහාම පාහේ සන්සා මේවා දැක තිබුනද නදියේ වේගවත් දියපහර දෙස ද, ජනයා පොදිකන වීථි දෙස ද, බැසයන හිරු දෙස ද බලා සිටීම එදෙස බැලීමට වඩා ප්‍රියජනක විය. 'එයාට පුළුවන් මට ඒවා දිහා බලන් ඉන්ට කියලා බල කරන්ට.' ඇය තමාටම කියාගත්තා ය. 'ඒ වුනත් එයාට බැහැ මට ඒවා පෙන්නන්ට.'

"මේ ඉන්නෙ ඔබේ තාත්තා. මෙන්න මේක. බල්ලො, ඒක මෙහාට හරවපන් එයාට ඒක දිහා හොඳට බලන්ට."

හිසේ කෙහෙරැල්ලෙන් අල්ලාගත් සැන්ඩෝර් ක්ලිගේන් එය ඔවුන් දෙසට හැරෙවුවේය. කපා වෙන් කරන ලද හිස කල්තබා ගැනීම උදෙසා තාරවල ගිල්වා තිබුනි. සන්සා සන්සුන් ස්වරයෙන් එදෙස බලා සිටියද සැබැවින්ම එය නොදැක්කාය. 'ඒක ඇත්තෙන්ම එඩාර්ඩ් උතුමානන් වගේ නෙවෙයි.' ඇය සිතුවාය. 'ඒක ඇත්තම මිනිස් ඔළුවක් වගෙත් නෙවෙයි.' "මම කොච්චර වෙලා බලන් ඉන්ට ඕනද?"

ජොෆ්රිගේ බලාපොරොත්තු කඩවූවාක් මෙන් පෙනින. "ඔබට අනිත් ඒවාත් බලන්ට ඕනද?" එහි මිනිස් හිස්ගෙඩි දිගු පේළියක් විය.

"ඔබතුමා සතුටුනම් මගේ ස්වාමිනී‍."

ජොෆ්රි ඇයව කැඳවාගෙන මිනිස් හිස් දුසිමකට වැඩි ප්‍රමාණයක් ද හිස් යකඩ හෙලි දෙකක් ද පසු කරමින් ඇවිද ගියේය. "මම ඔය දෙක තියාගෙන ඉන්නෙ මගේ බාප්පලා දෙන්නා ස්ටැන්ලිටයි රෙන්ලිටයි." ඔහු පැහැදිලි කලේය. මේ අනිකුත් හිස් ඇගේ පියාගේ එකට වඩා පැරැණි ඒවා විය. තාරවල ගිල්වූ නමුදු ඒවා දැන් බොහෝ කොටම කුණු වී ගොස් හඳුනාගත නොහැකි තරමට විරූපව ගොස් තිබුනි. රජතුමා එයින් එකකට ඇඟිල්ල දිගුකලේය. "අර ඉන්නෙ ඔබේ සෙප්ටා." එනමුදු සන්සාට අඩුම තරමේ ඒ ගැහැණියකගේ හිසක් ද යන්නවත් හඳුනාගත නොහැකි විය. එහි හණුව ගැලවී වෙන්ව ගොස් තිබුනු අතර කපුටන් විසින් එක් කණකුත් කම්මුල්වල බොහොමයකුත් කා දමා තිබුනි‍.

සෙප්ටා මෝර්ඩේන්ට කුමක් සිදු වී දැයි සන්සා නොයෙක් වර කල්පනා කර තිබුනි. එනමුදු ඇයට ඇත්තටම කුමක් වන්නට ඇත්දැයි තමා නොදැනුවත්වම හෝ දැනසිටි බැව් ඇයට වැටහින. "ඇයි ඔබ එයාව මරලා දැම්මෙ? එයා දෙවියන්ට කැපවුන-"

"ඒකි ද්‍රෝහියෙක්." ජොෆ්රි අමනාපයෙන් හොටබලියා ගත්තේය. ඇය ඔහුව නොමනාපයට පත් කර ඇති සේය. "මගේ උපන්දිනේට ඔබ මට මොනවද දෙන්ට යන්නෙ කියලා ඔබ කිවුවෙ නැහැ. මම හිතන්නෙ ඒ වෙනුවට මම ඔබට මොනවහරි දෙයක් දෙන්ට ඕනයි කියලයි. ඔබ ඒකට කැමැතිද?"

"ඔබතුමා සතුටුනම් මගේ ස්වාමිනී."

ඔහු‍‍ගේ සිනහව දුටුවිට ඔහු ඇයට සමච්චල් කරමින් සිටින වග ඇය තේරුම් ගත්තාය. "ඔබ දන්නවද‍? ඔබේ අයියත් ද්‍රෝහියෙක්‍." ඔහු සෙප්ටා මෝර්ඩේන් ගේ හිස ආපසු හැරවීය. "මට මතක් වෙනවා ඔබේ අයියා වින්ටර්ෆෙල්වල හිටපු හැටි. මගේ බල්ලා ඌට කිවුවෙ ලී අසිපතේ උතුමානන් කියලයි. එහෙම නේද බල්ලො?"

"මම එහෙම කිවුවද?" දඩබල්ලා පිළිතුරු දුනි. "මට මතක නෑ."

ජොෆ්රි නොරිස්සුමෙන් මෙන් දෙවුර ඇකිළීය. "ඔබේ අයියා මගේ මාමා ජේමිව පරද්දලා. මගේ අම්මානම් කියන්නෙ ඒක වංචාවක් කියලයි. රාජද්‍රෝහිකමක් කියලයි. ඒ ආරංචිය ආවාහම එයා ඇඬුවා. ගෑනු ඔක්කොම හරි මෝඩයි. හරිම දුර්වලයි. එයා වුනත්. ඒ වුනත් එයා පෙන්නන්ට හදන්නෙ එයා එහෙම නැහැ කියලා. එයා කියනවා අපි කින්ග්ස් ලෑන්ඩින්ග් ඇතුළට වෙලා ඉන්ට ඕනයි කියලා. මොකද මගේ බාප්පලා දෙන්නා පහර දෙන්ට පුළුවන් නිසා. ඒ වුනත් මම එයා කියන එක අහන්නෙ නැහැ. මගේ උපන්දින උත්සවෙන් පස්සෙ මම හමුදාවකුත් අරන් යනවා මගේ අතින්ම ඔබේ අයියාව මරලා දාන්ට. ඒක තමා මම ඔබට දෙන්ට යන්නෙ සන්සා ආර්යාවනි. ඔබේ අයියාගෙ ඔළුව."

ඒ මොහොතේ ඇය තුළ මහත් වියරුවක් නැග ආවේය. සිය මුවින් මෙලෙස පිටවෙනු ඇයට ඇසුනි. "සමහර විට මගේ අයියා මට ඔබේ ඔළුව දෙයි."

ජොෆ්රි තරහින් රවා බැලුවේය. "ඔබ කවදාවත් මට ඒ වගේ විහිළු කරන්ට එපා. නියම බිරිඳක් කවදාවත් තමන්ගෙ සැමියාට ඔය වගේ විහිළු කරන්නෙ නැහැ. සෙර් මෙරින්, එයාට උගන්නන්ට."

මේ වතාවේ නයිට්වරයා ඇගේ මුහුණට පහර දෙද්දී ඇගේ හණුවෙන් අල්ලා මුහුණ තිරකොට සිර කරගත්තේ ය. ඔහු මෙවර ඇයට දෙවරක් තැලීය. වමේ සිට දකුණටත් නැවත පෙරටත් වඩා හයියෙන් දකුණේ සිට වමටත්. ඇගේ තොල පුපුරා නිකට දිගේ රුධිරය ගලා යන්නට විය. ඒවා ඇගේ දෙනෙතින් ගැලූ කඳුළු හා මුසුවිය.

"ඔබ ඔහොම හැමවෙලාවෙම අඬාගත්තු ගමන් ඉන්ට ඕන නැහැ." ජොෆ්රි කීවේය. "ඔබ හිනාවෙනකොට ඔයිට වඩා ලස්සනයි."

ඇය ආයාසයෙන් මුවට සිනාවක් නංවාගත්තා ය. එසේ නොකලහොත් ඔහු සෙර් මෙරින් ලවා නැවත වරක් ඇයට තලවනු ඇතැයි ඇය බියපත් වූවාය. එනමුදු එයින් පලක් නොවීය. රජතුමා නොරිස්සුමින් හිස සැලීය. "ඔය ලේ පිහදාගන්නවා. ඔබ බොහොම අපිරිසුදුවට පේන්නෙ."

පිටත බිත්තිය ඇගේ නිකට තරම් උස් වුවද ඇතුළත කිසිදු බිත්තියක් නොවීය. අඩි හැත්තෑවක් අසූවක් තරම් පහළින් වූ අංගනය හා ඔවුන් අතර කිසිදු බාධකයක් නොවීය. 'පුංචි තල්ලුවක් විතරයි ඕන කරන්නෙ.' ඇය තමාටම කියාගත්තා ය. ඔහු ඒ අයිනේ සිටගෙන අර පනුවන් වැනි දෙතොලින් ඇය දෙස සිනාසෙමින් බලා සිටියේය. 'ඔයාට ඒක කරන්ට පුළුවන්.' ඇය තමාටම කියාගත්තා ය. 'ඔයාට පුළුවන්! දැන්ම ඒක කරන්ට.' ඔහුත් සමග ඇයත් පහළට වැටුනද කම් නැත. එහි කිසිදු ප්‍රශ්නයක් නොමැත.

"මෙන්න කෙල්ලෙ." සැන්ඩෝර් ක්ලිගේන් ඇය ඉදිරියෙන්, ඇයත් ජොෆ්රිත් අතර වූ ඉඩේ දණ නමාගත්තේ ය. ඒ මුදුමොළොක් බව ඔහු වැනි දැවැන්ත මිනිසකුට නොගැලපෙන තරම් පුදුමාකාර එකක් විය. ඇගේ දෙතොලින් ගලන රුධිරය ඔහු පිසදා හැරියේය.

අත පත් මොහොත ඉවත ගියේය. සන්සා සිය දෑස් පහත් කරගත්තා ය. "ඔබට ස්තූතියි!" රුධිරය පිසදා හමාර වූ පසු ඇය ඔහුට කීවාය. ඇය හැමදාමත් හොඳ දරුවකු විය. ඇය සැමදාමත් සිය ආචාරශීලීත්වයන් මතක තබාගත්තා ය. රැකගත්තා ය.


Sandor Clegane: “Save yourself some pain, and give him what he wants.”

Friday 20 March 2015

බ්‍රැන් 07-2

රිකන් ස්ටාර්ක්

කොළ පැහැ ගින්දර මෙන් දිදුලන දෑසක් ද, විලිස්සුනු දත් දෙපෙළක දිලිසීම ද, ඔවුන් වටා වූ අන්ධකාරය තරමටම කළු පැහැ වූ ලොම් ගුලියක් ද බ්‍රැන් දුටුවේය. කෑගැසූ මේස්ටර් ලුවින් දෑත් වැනුවේය. අතැඟිලි අතරින් ගිලිහී පියාඹා ගිය ගිනි පන්දම බ්‍රැන්ඩන් ස්ටාර්ක් ගේ මුහුණේ වැදී ඔහුගේ ප්‍රථිමාවේ පාමුල වැටුනු අතර එහි දෙපා ගිනිදළුවලින් වැසී ගියේය. නිවෙන්නට තතනමින් දඟලන ගිනිදළුවල ආලෝකය මැද්දේ මේස්ටර් ලුවින් ඝෝරවෘකයා හා සටන් වදිනුත්, ඔහුගේ එක් අතක් සතාගේ හණුවට සිරවී තිබියදී ඔහු අනිත් අතින් උගේ හොම්බට තඩිබානුත් ඔවුහු දුටුවෝය.

"සමර්!" බ්‍රැන් මොරගැසුවේය.

ඔවුන්ට පිටුපසින් වූ අන්ධකාරය විනිවිද සෙවනැල්ලක් මෙන් සමර් දිව ආයේය. ඌ ෂැගීඩෝග් වෙතට කඩාපැන ඌව බිම පෙරලා දැමූ අතර ඊළඟ මොහොතේ ඝෝරවෘකයින් දෙදෙනා එකිනෙකා සපාකමින්, එකිනෙකාට කඩා පනිමින්, අළු පැහැ සහ කළු පැහැ ලොම් ගුලි දෙකක් මෙන් නැවත නැවතත් එකිනෙකා හා සටන් වැදුනෝය. සිය තුවාල වූ රුධිරය වැගිරෙන අතත් සමගින් මේස්ටර් ලුවින් දණින් නැගී සිටියේය. බ්‍රැන්ව රිකාර්ඩ් උතුමානන්ගේ ශෛලමය වෘකයාට හේත්තු කොට තැබූ ඕෂා මේස්ටර්වරයාට උදවු වනු පිණිස දිවගියාය. බිම වැටී තිබුනු පන්දමේ දඟලන එළියෙන් අඩි විස්සක් උසැති සෙවනැලි වෘකයින් දෙදෙනෙක් උමගයේ බිත්ති මත හා වහලය මත එකිනෙකා කා කොටාගන්නා අයුරු පෙනුනි.

"ෂැගී." කුඩා කටහඬක් කතාකලේය‍. බ්‍රැන් හිස ඔසවා බැලූ විට ඔහු බාල සොහොයුරා සිය පියා වෙනුවෙන් තැනුනු සොහොන් ගැබේ මුවවිට සිටගෙන සිටිනු දිස්විය. අවසාන වරට සමර්ගේ මුහුණට කඩා පිනූ ෂැගීඩෝග් සටනින් මිදී රිකන්ගේ පසෙක‍ට පිනීය. "ඔයා මගේ තාත්තට ඉන්ට දෙන්ට." රිකන් මේස්ටර්වරයාට අනතුරු ඇඟවීය. "ඔයා එයාට ඉන්ට දෙන්ට."

"රිකන්." බ්‍රැන් මෘදු ස්වරයෙන් ඇමතීය. "තාත්තා මෙහෙ නැහැ."

"නෑ එයා ඉන්නවා. මම එයාව දැක්කා." රිකන්ගේ මුහුණේ කඳුළු බිඳු දිදුලනු පෙනින. "මම එයාව ඊයෙ රෑ දැක්කා."

"ඔයාගෙ හීනෙදි...?"

රිකන් හිස වැනීය. "ඔයා එයාට ඉන්ට දෙන්ට. ඔයා එයාට ඉන්ට දෙන්ට. එයා දැන් ගෙදර එනවා. පොරොන්දු වුනා වගේම එයා ගෙදර එනවා."

මේස්ටර් ලුවින් මෙතරම් අතීරණාත්මක ස්වරයෙන් බලා සිටිනු බ්‍රැන් මින් පෙර කිසිදා දැක නොතිබුනි. ෂැගීඩෝග් විසින් ඔහුගේ කබා අතේ ලොම් හා ඊට යටින් වූ මාංසය ඉරා දැමූ තැනින් රුධිර බිංදු වෑස්සෙන්නට විය. "ඕෂා. පන්දම ගනින්." ඔහු වේදනාවෙන් දත්මිටි කමින් කීවේය. ඇය වහා පැන එය නිවී යන්නට පෙර ඔසවා ගත්තාය. බ්‍රැන්ගේ මහප්පාගේ දෙකකුල් දැළිඅඟුරු විසින් කළු පැහැයට හරවා තිබුනි. "මේ... මේ සතා... බලු කූඩුවෙ දම්වැලින් බැඳලා දාලයි ඉන්ට ඕන." ලුවින් කීවේය.

රිකන් ෂැගීඩෝග් ගේ ලෙයින් පෙඟී තිබුනු හොම්බට තට්ටු කලේය. "මම එයාව නිදහස් කලා. එයා දම්වැල්වලට කැමැති නැහැ." ඌ ඔහුගේ අතැඟිලි ලෙවකෑවේය.

"රිකන්. ඔයා මගෙත් එක්ක එන්ට කැමැතිද?" බ්‍රැන් ඇසුවේය.

"නෑ. මම කැමැතියි මෙතනට වෙලා ඉන්ට."

"මෙතන හරිම කළුවරයිනෙ. ඒ වගේම සීතලයි."

"මම බය නැහැ. මට තාත්තා එනකම් බලන් ඉන්ට ඕන."

"ඔයාට මාත් එක්ක බලන් ඉන්ට පුළුවන්. අපි දෙන්නම බලන් ඉමු. අපි දෙන්නයි අපේ වෘකයා දෙන්නයි." ඝෝරවෘකයින් දෙදෙනාම දැන් සිය තුවාල ලෙවකමින් සිටියෝය.

"බ්‍රැන්." මේස්ටර්වරයා තිරහඬින් කීවේය. "මම දන්නවා ඔයා ඔය හොඳක් කරන්ටයි හදන්නෙ කියලා. ඒ වුනත් ෂැගීඩෝග් මෙහෙම නිදැල්ලෙ යන්ට අරින්ට තරම් කැලෑ ගතිය වැඩියි. ඌ හපාකාපු තුන්වෙනියා මම. ඌට මෙහෙම නිදහසේ බලකොටුවෙ ඇවිදින්ට දුන්නොත් වැඩිකල්යන්ට කලින්ම ඌ මිනිහෙක්ව මරලා දායි. ඇත්ත පිළිගන්ට අමාරුයි තමා. ඒ වුනත් මේ වෘකයා එක්කො දම්වැල් දාලා බඳින්ට ඕන. එහෙම නැත්තම්..." ඔහු තැතනුවේය.

'...එහෙම නැත්තම් මරලා දාන්ට ඕන.' බ්‍රැන් සිතුවේය. එනමුදු ඔහු කීවේ අනිකකි. "එයා හැදිලා ඉන්නෙ දම්වැලින් බැඳලා දාන්ට නෙවෙයි. අපි ඔයාගෙ කුළුණට වෙලා බලා ඉන්නම්. අපි ඔක්කොම."

"ඒක කරන්ට බැරි දෙයක්." මේස්ටර් ලුවින් කී‍වේය.

ඕෂා විරිත්තුවාය. "මම දන්න තරමින් නම් මේ දරුවා තමා දැන් මේ බලකොටුවෙ උතුමානන්." පන්දම නැවත මේස්ටර්වරයාට බාරදුන් ඇය බ්‍රැන්ව දෝතින් ඔසවා ගත්තාය. "මේස්ටර්ගෙ කුළුණට යමු."

"ඔයත් එනවද රිකන්?"

ඔහුගේ සොහොයුරා හිස වැනීය. "ෂැගීත් එනවනම් විතරයි." ඕෂා හා බ්‍රැන් පසුපස දුවමින් ඔහු කීවේය. වෘකයින් දෙස පරීක්ෂාකාරීව බලමින් ඔවුන් පසුපසින් වැටෙනවා හැර මේස්ටර් ලුවින් වෙත වෙනත් විකල්පයක් නොවීය.

* * *

මේස්ටර් ලුවින් ගේ කුළුණ කෙතරම් අපිළිවෙල තැනක් වී ද යත් යම් කිසිවක් උවමනා වූ විට ඔහු එය සොයාගන්නේ කෙසේදැයි බ්‍රැන් මවිතයෙන් යුතුව කල්පනා කලේය. මේස සහ පුටු මත පොත් තට්ටු පිට තට්ටු ගොඩගසා තිබින. රාක්ක පුරවා නොයෙකුත් දෑ පිරවූ වීදුරු බෝතල්, බරණි පේළියක් පසුපස පේළියක් බැගින් වූ අතර ගෘහභාණ්ඩ සැමෙකක්ම පාහේ ඉටිපන්දම් කොටවලින් හා වියළී ගිය ඉටිවලින් අපවිත්‍ර විය. ත්‍රිපාදයක් මත සවිකර තිබුනු ලෝකඩින් කල ම(ර්)රිෂ් කාච බටය සඳළුතලයට පිවිසෙන දොර පසෙක විය. බිත්තිවල නොයෙක් තරු රටා, වගු හා චක්‍ර එල්ලා තිබින. අනේකවිධ සිතියම් ද, කඩදාසි ද, පිහාටු පෑන් හා තීන්ත බහාලන බඳුන් ද දසත විසිර තිබින. මේ සෑම භාණ්ඩයක්ම හා උපකරණයක්ම කපුටු කූඩුවල සිටින කපුටන් විසින් හෙලූ වසුරුවලින් අපවිත්‍ර වී තිබින. මේස්ටර් ලුවින් ගේ උපදෙස් මැද්දේ ඕෂා විසින් ඔහුගේ තුවාල පිරිසුදු කර බෙහෙත් දමන අතරේ ඉහළින් වූ මේ කපුටු කූඩුවල සිටි කපුටෝ කරව් කරමින් ඔවුන් දෙස බලා සිටින්නට වූහ. "මේක මහ මෝඩ පිස්සු වැඩක්." ඇය ඔහුගේ තුවාලය මත දැවෙනසුළු ආලේපයක් අතුල්ලන අතරේ ඔහු කීවේය. "මම පිළිගන්නවා ඔයාලා දෙන්නම එකම හීනෙ දැකපු එක ටිකක් අමුතුයි තමා කියලා. ඒ වුනත් ඔයාලා පොඩ්ඩක් නැවතිලා ඒ ගැන හිතලා බැලුවොත් තේරෙයි ඒක සාමාන්‍යයි කියලා. ඔයාලට ඔයාලගෙ තාත්තා නැතුව පාළුයි. ඒ වගේම ඔයාලා දන්නවා එයා හිරකාරයෙක් කියලා. බය නිසා මිනිස්සුන්ගෙ හිත්වලට එක එක විකාර අදහස් පහළවෙන්ට පුළුවන්. රිකන් තාම පුංචි වැඩියි තේරුම්ගන්ට-"

"මට දැන් හතරයි." රිකන් පිළිතුරු දුන්නේය. ඔහු දු‍රේක්ෂය තුළින් පළමු බලකොටුවේ මුරක‍පොලු නිරීක්ෂණය කරමින් හුන්නේය. ඝෝරවෘකයින් දෙදෙනා කාමරයේ දෙපස වාඩිගෙන සිය තුවාල ලෙවකමින්, ඇටකටුවක් ලෑටිගාමින් සිටියහ.

"-බොහොම ලාබාලයි. ආහ්! අපා හතටම පලයන්! ඒක දනවා... නෑ.. නෑ.. නවත්තන්ට එපා. තව දාන්ට. මම කියන්නෙ බොහොම ලාබාලයි. ඒ වුනත් ඔයා බ්‍රැන්.. ඔයා දැන් ලොකු ළමයෙක්. ඔයා දැනගන්ට ඕන හීන කියන්නෙ හීන විතරයි කියලා."

"සමහර ඒවා එහෙමයි. සමහර ඒවා එහෙම නෙවෙයි." ඕෂා ගැඹුරු කැපුමක් මතට ලා රත් පැහැ ගිනිවතුර වත්කල අතර මේස්ටර්වරයා හුස්මක් ඇදගත්තේ ය. "වනාන්තරයේ දරුවන්ට පුළුවන් වෙයි ඔබට හීන ගැන කාරනයක් දෙකක් කියලා දෙන්ට."

බෙහෙත්වල සැර නිසා මේස්ටර්වරයාගේ දෑසින් කඳුළු කඩා හැලෙන්නට විය. එනමුදු ඔහු මුරණ්ඩු අයුරින් හිස වැනීය. "දරුවො... ඉන්නෙ හීනවල විතරයි. දැන් එයාලා සහමුලින්ම වඳවෙලා ගිහිල්ලා. ඇති. ඔය ඇති. දැන් වෙළුම්පටි ඔතන්ට. හොඳට ඔතලා තදට ගැටගහන්ට. නැත්තම් ආයෙමත් ලේ ගලයි."

"නාකි ආයම්මා කිවුවෙ දරුවො දැනගෙන හිටියා කියලා ගස්වල කතා බහ තේරුම්ගන්ට. එයාලට කුරුල්ලො වගේ පියාඹන්ට, මාළු වගේ පීනන්ට, සත්තුත් එක්ක කතා කරන්ට පුළුවන් කියලා." බ්‍රැන් කීවේය. "එයා කිවුවා දරුවො කොච්චර ලස්සනට සංගීතය වාදනය කරනවද කිවුවොත් ඔයාගෙ ඇස් දෙකට කඳුළු පිරෙනවලු ඒවා අහනකොට."

"මේ හැමදෙයක්ම එයාලා කලේ මායා බලවල පිහිටෙන්." මේස්ටර් ලුවින් කීය. "එයාලා දැනුත් හිටියානම්... එහෙමනම් මගේ අත ඉක්මනට සනීප කරගන්ට තිබුනා මායා බලයක් පාවිච්චි කරලා. ඒ වගේම එයාලට පුළුවන් වෙයි ෂැගීඩෝග්ට කතා කරලා කියන්ට කාවවත් හපන්ට එපයි කියලා." ඔහු දෑස් කොනින් දැවැන්ත කළු පැහැ ඝෝරවෘකයා දෙස නොපහන් බැල්මක් හෙලුවේය. "මෙන්න මේක තේරුම්ගන්ට බ්‍රැන්. මායා බන්ධන වැඩ ගැන විශ්වාසය තියන මිනිහා කරන්නෙ හරියට වීදුරු කඩුවකින් ද්වන්ද්ව සටනක් කරනවා වගේ වැඩක්. හරියට වනාන්තරයේ දරුවො කලා වගේමයි. එන්ට. මම ඔයාට යමක් පෙන්නන්නම්." නැගිට සිටි ඔහු කාමරය හරහා ගොස් කොළ පැහැ වීදුරු බරණියක් රැගෙන නැවත පැමිණියේය. "මේවා දිහා පොඩ්ඩක් බලන්ට." බරණියේ කට විවර කර දිදුලන, කළු පැහැ ඊමුනු අහුරක් අතට ගනිමින් ඔහු කීවේය.

බ්‍රැන් එයින් එකක් අතට ගත්තේය. "ඒක හැදිලා තියෙන්නෙ වීදුරුවලින්." කුතුහලයට පත් රිකන් ද මේසය අසලට ළඟා වූයේ වඩා හොඳින් දැකගනු පිණිස විය.

"මකරවීදුරු." ඕෂා කීවේ වෙළුම්පටි රැගෙන මේස්ටර් ලුවින් අසලින් අසුන් ගනිමිනි.

"ඔබ්සිඩියන්." මේස්ටර්වරයා තිරහඬින් කීවේය. ඇයට වෙළුම්පටි යොදනු පිණිස ඔහු සිය තුවාල අත ඔසවා අල්ලාගත්තේ ය. "පොළොවෙ බොහොම යට තියෙන දෙවියන්ගෙ ගින්නෙන් පදම් කරලා හදාපුවා. අවුරුදු දාස් ගානකට කලින් වනාන්තරයේ දරුවො දඩයම් ක‍ලේ මේවයින් තමා. දරුවො ලෝහ පාවිච්චි කලේ නැහැ. ඇඳුම් පැළැඳුම් වෙනුවට එයාලා ගස්වල කොළවලින් වියාපු දිග ගවුම් වගේ ඇඳුමක් ඇන්දා. කකුල්වලට ගස්වල පොතු තියලා බැන්දා. එතකොට එයාලට ලේසියෙන්ම කැලේ ගස් අතරේ හැංගිලා ඉන්ට පුළුවන්. කඩු වෙනුවට එයාලා පාවිච්චි කලේ ඔබ්සිඩියන් වලින් හදාපු තල."

"තාමත් පාවිච්චි කරනවා‍." මේස්ටර්වරයා ගේ තුවාල මතින් සුමුදු රෙදි කැබැලි තැබූ ඇය දිග හණ රෙදි පටිවලින් ඒවා තදකොට බැන්දාය.

බ්‍රැන් ඊමුණ දෑසට ලංකොට නිරීක්ෂණය කලේය. කළු පැහැ වීදුරුව සිනිඳු දිදුලන එකක් විය. එය අලංකාර යැයි ඔහු සිතුවේය. "මට එකක් තියාගන්ට පුළුවන් ද?"

"ඔයාගෙ කැමැත්තක්." මේස්ටර් ලුවින් කීවේය.

"මටත් එකක් ඕන." රිකන් කීය. "මට හතරක් ඕන. මොකද මට හතරයි නෙ."

ලුවින් ඔහුට ඒවා ගණන් කර ගන්නැයි කීවේය. "පරෙස්සමින්. ඒවා තාමත් හරි තියුණුයි. කපාගන්ට එහෙම එපා."

"මට දරුවො ගැන කියන්ට." බ්‍රැන් කීය. එය වැදගත් දෙයක් බැව් ඔහුට හැඟුනි.

"ඔයාට මොනවද දැනගන්ට ඕන?"

"හැම දෙයක්ම."

* * *

මේස්ටර් ලුවින් සිය ගෙල වටා සිරව තිබූ දම්වැල අතින් ඇද්දේය. "එයාලා 'උදා යුගයේ' හිටපු ජන කොට්ටාසයක්. මුල්ම ජනතාව. රාජධානියි රජවරුයි එන්ටත් ගොඩක් ඉස්සර. ඒ කාලෙ මේ වගේ බලකොටු, මාලිගා තිබුනෙ නැහැ. නගර මොකුත් තිබුනෙත් නැහැ. මෙතැන ඉඳන් ඩෝර්න් මුහුද ගාවට යනකම්ම කිසිම නගරයක්, අඩුම ගානෙ පුංචි වෙළෙඳපලක්වත් තිබුනෙ නැහැ. කිසිම මිනිහෙක් හිටියෙත් නැහැ. අපි දැන් මේ රාජධානි සප්තකය කියලා කියන මුළු බිමේම හිටියෙ වනාන්තරයේ දරු‍වො විතරයි."

"එයාලා අඳුරු පාට හමක් තිබුන, බොහොම ලස්සන ජනතාවක්. එයාලගෙ ඇඟවල් පොඩියි. වැඩුන කෙනෙක් වුනත් දැන් කාලෙ දරුවෙකුට වඩා උස ගියේ නැහැ. එයාලා ජීවත්වුනේ කැලේ මැද්දෙ, බොහොම ගැඹුරෙ ගල් ගුහාවල, පොළොවෙ පැළුම්වල, රහසිගත ගස් නගරවල එහෙම. ශරීර ප්‍රමාණෙන් පුංචි වුනා වගේම එයාලා බොහොම වේගවත්. ක්ෂණිකයි. පිරිමි ගෑනු දෙගොල්ලම හරි හරියට දඩයමේ ගියා. ඒකට එයාලා පාවිච්චි කලා වයර්වුඩ් ලීයෙන් හදාපු දුනුයි, උගුලුයි. එයාලගෙ දෙවිවරුන්ට කිවුවෙ වනාන්තරයේ දෙවිවරු කියලයි. ගස්, ගල්, දියපාරවල්. මේ දෙවිවරුන්ට නමක් තිබුනෙ නැහැ. මෙයාලගෙ හිටියා බොහොම ඥානවන්ත වක්තෘන්ලා, එයාලට කිවුවෙ 'සිහිනදකින්නෝ' කියලා. එයාලා වයර්වුඩ් ගස්වල මූනු කෙටුවා වනාන්තරේ ඇතුළෙ සිද්දවෙන දේවල් ඒ මූනු හරහා දකින්ට පුළුවන් වෙන්ට. මේ වනාන්ත‍රයේ දරුවො කොහෙන් මෙහාට ආවද එයාලා කොච්චර කාලයක් මෙහෙ හිටියද කියන එක කිසිම කෙනෙක් දන්නෙ නැහැ."

"ඒ වුනත් මීට අවුරුදු දොළොස්දාහකට කලින් නැගෙනහිර දිසාවෙ ඉඳන් මුල් මිනිස්සු ආවා. ඩෝර්න්වල කැඩුන අත ඒ කාලෙ කැඩිලා නෙවෙයි තිබුනෙ. ඉතින් එයාලා ඒක දි‍ගේ ඇවිදගෙන ආවා. එයාලා ආවෙ ලෝකඩ කඩු අරන්, දැවැන්ත හම් පලිස් අරන්. අශ්වයො පිටේ නැගලා. ඒ වෙනකම් පටු මුහුදෙන් මෙහා පැත්තෙ අශ්වයෙක් දැකලා තිබුනෙ නැහැ. කිසිම සැකයක් නැහැ දරුවො මේ අශ්වයො දැකලා බයවුනා. ඒ තරමටම මුල් මිනිස්සුත් බයවුනා වයර්වුඩ් ගස්වල කොටලා තිබුන මූනු දැකලා. ඉතින් මේ මුල් මිනිස්සු වනාන්තරේ එළිකරලා ගොවිපල, බලකොටු හදන්ට පටන් ගත්තහම එයාලා මේ වයර්වුඩ් ගස් කපලා ඒවා ගින්නට දැම්මා. වනාන්තරේ දරුවො මේ වැඩෙන් ත්‍රස්ත වුනා. ඉතින් එයාලා යුද්ධෙට ආවා. පරණ සැහැලිවල තියෙන විදියට නම් සිහිනදකින්නො බොහොම බලසම්පන්න මායා බල පාවිච්චි කරලා, මුහුද ගොඩ ගලන්ට සලස්වලා, ඩෝර්න්වල අත යටකරලා දැම්මා. එහෙම තමා ඩෝර්න්වල අත අද ඔය තියෙන තත්ත්වයට පත්වුනේ. ඒ වුනත් එයාලා දොර වහන්ට පරක්කු වුනා වැඩියි. යුද්ධෙ දිගටම ඇදි ඇදී ගියා. මුල් මිනිස්සුන්ගෙ වගේම දරුවොන්ගෙ ලෙයින් මේ බිම රතු පාට වුනා. ඒත් වැඩිපුරම මැරුනෙ දරුවො. මොකද මිනිස්සු ශරීරයෙන් විශාලයි, ශක්තිමත්. අනික ලී, ගල්, ඔබ්සිඩියන් වලින් හදාපු ආයුධවලට ලෝක‍ඩ ආයුධත් එක්ක හැප්පෙන්ටවත් බැරිවුනා. අන්තිමේදි දෙපැත්තෙම ඥානවන්ත උදවිය තේරුම්ගත්තා මේ යුද්ධෙ තේරුමක් නැති දෙයක් කියලා. ඉතින් මුල් මිනිස්සුන්ගෙ නායකයොයි වීරයොයි ගියා වනාන්තරේ දරුවන්ගෙ සිහිනදකින්නොයි වනනැට්ටුවොයි මුන ගැහෙන්ට. එයාලා 'දෙවියන්ගෙ ඇස' කියන මහ විශාල විල මැද්දෙ තියෙන පුංචි දූපතේ වයර්වුඩ් වදුලු මැද්දෙදි මුනගැහුනා."

"එතැනදි මෙයාලා සාම ගිවිසුමක් ඇතිකරගත්තා. මේ ගිවිසුමෙන් මුල් මිනිස්සුන්ට බෙදලා වෙන් කලා මුහුදු වෙරළයි, උස් තැනිතලා බිමුයි, මිටියාවත් ටිකයි, කඳුයි වගුරු බිමුයි. ඒ වුනත් වනාන්තර දිගටම දරුවන්ට අයිති වුනා. ඒ වගේම ආයෙමත් කිසිම වයර්වුඩ් ගහක් කපන්නෙ නැහැයි කියලත් පොරොන්දුවක් ලැබුනා. මේ සාම ගිවිසුමට දෙවියන්ට සාක්කි කරන්ට දූප‍තේ හැම ගහකම මූනක් කෙටුවා. ඊටපස්සෙ මේ 'මුහුණු දූපතේ' පිහිටෙවුවා 'සිහිනදකින්නන් ගේ ශුද්ධ වූ නිකාය' කියලා එකක් සාම ගිවිසුමේ ඵලවිපාක ගැන ඇහැගහගෙන ඉන්ටයි කියලා."

"මේ සාම ගිවිසුම නිසා මුල් මිනිස්සුයි වනාන්තරේ දරුවොයි අතරේ අවුරුදු හාරදාහක සාමයක් ඇතිවුනා. ඒ වගේම මේ දෙගොල්ල ටික ටික මිත්‍ර වුනා. කාලෙකට පස්සෙ මුල් මිනිස්සු එයාල මෙහාට අරන් ආපු එයාලගෙ පැරණි දෙවිවරු අතඇරලා දාලා වනාන්තරේ දරුවන්ගෙ නමක් නැති දෙවිවරුන්වම අදහන්ට පටන්ගත්තා. මේ සාම ගිවිසුම අත්සන් කරායින් තමා 'උදායුගය' ඉවර වෙන්නෙ. ඊට පස්සෙ පටන්ගත්තා 'වීරයින්ගෙ යුගය.'

බ්‍රැන්ගේ සුරත අත්ල මත වූ සිනිඳු කළු පැහැ ඊමුණ වටකරමින් ගුලි වී ගියේය. "ඔයා කිවුවා ඒ වුනත් දැන් වනාන්තරේ දරුවො ඔක්කොම වඳවෙලා ගිහිල්ලයි කියලා."

"මෙහෙ වඳවෙලා ගිහිල්ලා." ඕෂා පිළිතුරු දුන්නාය. අවසාන වෙළුම්පටිය ගැට ගැසූ ඇය ගැටය තදවනු පිණිස දතින් ඇද්දාය. "ඒ වුනත් ප්‍රාකාරෙන් උතුරෙ තත්ත්වය වෙනස්. වනාන්තරේ දරුවො එහාට තමා ගියේ. එයාලයි, යෝධයොයි, අනිත් පැරණි ජන කොටස් හැමෝමයි."

මේස්ටර් ලුවින් සුසුමක් හෙලීය. "ගෑනියෙ. හරිනම් උඹව මරලා දාන්ටයි තිබුනෙ. නැත්තම් දම්වැල්වලින් බැඳලා දාන්ට. ස්ටාර්ක්ලා උඹට ඕනවටත් වඩා හොඳට සලකනවා. එයාලගෙ කරුනාවන්ත කමට කරන නිග්‍රහයක් ඔහොම එක එක වල්පල් කියලා මේ දරුවන්ගෙ ඔළුවලට ඔය මෝඩ අදහස් දාන එක."

"මට කියන්ට එයාලා කොහෙද ගියේ කියලා." බ්‍රැන් කීවේය." මට දැනගන්ට ඕන."

"මටත් මටත්." රිකන් ද එකතුවිය.

"හරි බොහොම හොඳයි." ලුවින් කටුකුටු ගෑවේය. "හරි ඉතින්, මේ මුල් මිනිස්සුන්ගෙ රාජධානි තියෙන තාක් කල් මේ සාම ගිවිසුම හොඳින් පවත්වගෙන ගියා. වීරයින්ගෙ යුග‍ය පුරාවටමත්, අන්ධකාර රාත්‍රියෙත්, රාජධානි සප්තකය පටන්ගන්නකනුත්. ඒ වුනත් මීට අවුරුදු සිය ගානකට පස්සෙ කාලයක් ආවා, තවත් මිනිස්සු කොට්ටාසයක් පටු මුහුද තරණය කරලා මෙහාට ආවා."

"ඒ ආපු මුල්ම අය තමා අන්දාල්වරු. එයාලා බොහොම උස, ලා පාට හිසකෙස් තියෙන රණකාමී ජනතාවක්. එයාලා ආවෙ වානේවලින් හදාපු ආයුධ අරගෙන, ගින්දරත් අරගෙන, එයාලගෙ අලුත් දෙවියා වුන සප්තකය නිරූපනය කරන්ට එයාලගෙ පපුවල සප්තාග්‍ර තරු ඇඳගෙනයි. මේ යුද්ධ තවත් අවුරුදු සියගානක් තිස්සෙ ඇදිලා ගියා. ඒ වුනත් අන්තිමේදී දකුණුකරේ රාජධානි හයම එයාලා ඉදිරියෙ බිඳ වැටුනා. මේ උතුරු‍කරේ විතරයි මුල් මිනිස්සුන්ගෙ රාජධානියක් ඉතුරු වුනේ. බෙල්ල පහුකරලා උතුර ආක්‍රමණය කරන්ට ආපු හැම අන්දාල් හමුදාවක්ම උතු‍රෙ රජතුමාගෙ හමුදාවලට පරාද වුනා. මේ අන්දාල්වරු වයර්වුඩ් වදුලු ගිනි තිබ්බා. මූණු කපලා කොටලා විනාශ කරලා දැම්මා. අතට අහුවුන හැම වනාන්තරේ දරුවෙක්ම මරලා දැම්මා. හැම තැනකම පුරාණ දෙවිවරු නැතිකරලා එයාලගෙ අලුත් සප්තක දෙවියන්ව පිහිටෙවුවා. ඉතින් වනාන්තරේ දරුවො උතුර-"

සමර් උඩුබුරන්නට පටන්ගත්තේ ය.

* * *

තැතිගත් මේස්ටර් ලුවින් හිටි අඩියේ නැවතුනි. දෙපයින් නැගිටගත් ෂැගීඩෝග්ද සිය සොහොයුරාගේ හඬට තමාගේ හඬද මුසු කරන්නට වන් කල බ්‍රැන්ගේ හදවත භීතියෙන් පිරී යන්නට විය. "ඒක එනවා." ඔහු මිමිනුවේය. එය සහතික වශයෙන්ම බලාපොරොත්තු විරහිත ස්වරයක් විය. තමා පෙරදා රැයේ පටන්ම එය දැන සිටි බැව් ඔහු තේරුම් ගත්තේය. අර කපුටා පැමිණ පියාට ආයුබෝවන් කියන්නට තමාව සොහොන් ගුහාවලට කැඳවාගෙන ගිය මොහොතේ සිටම ඔහු ඒ බැව් දැන සිටියේය. එනමුදු ඔහු එය විශ්වාස කිරීමට මැලි විය. මේස්ටර් ලුවින් පැවසූ දේ හරියනු දැකීමට ඔහුට උවමනා විය. 'කපුටා!' ඔහු කල්පනා කලේය. "ඇස් තු‍නේ කපුටා...'

ඇරඹුනු තරම්ම අනපේක්ෂිතව උඩුබිරීම හදිසියේම නැවතින. කාමරය හරහා ෂැගීඩෝග් වෙත ඇවිද ගිය සමර් සිය සොහොයුරාගේ ගෙලේ පිටුපස තැවරී තිබුනු ලේ පැල්ලමක් දිවෙන් පිසදාලන්නට විය. කවුළුව දෙසින් පියාපත් ගසන හඬක් ඇසුනි.

කපුටෙක් අඳුරු අළු පැහැ ශෛලමය කවුළු පඩිය මතට ගොඩ බැස්සේය. සිය හොටය විවර කල ඌ නොරිස්සුම් හඬකින් කරව් කරන්නට විය.

රිකන් හඩන්නට වන්නේය. ඔහුගේ සුරතින් මිදුනු ඊමුණු එකින් එක බිම පතිත විය. ඔහුව තමා ළඟට ඇදගත් බ්‍රැන් සිය සොයුරාව වැළැඳගත්තේ ය.

මේස්ටර් ලුවින් කපුටා දෙස බලා සිටියේ හරියටම පියාපත් සහිත ගෝනුස්සකු දෙස බලන්නාක් මෙනි. නින්දෙන් ඇවිදින්නාක් මෙන් හෙමිහිට නැගිට සිටි ඔහු කවුළුව වෙතට ළඟාවූයේය. ඔහු සියුරුහඬලෑ අතර කපුටා ඔහුගේ වෙළුම්පටිවලින් ඔතා තිබුනු අත මතට නැංගේය. උගේ පියාපත් අතර වියළි රුධිරය තැවරී තිබුනි. "උකුස්සෙක්." ලුවින් මිමිනුවේය. "එහෙමත් නැත්තම් බස්සෙක් වෙන්ට ඇති. අසරණ සතා. ඌ මෙහෙමවත් ආපු එක මහ පුදුමයක්." ඔහු කපුටා ගේ පාදයේ ගැටගසා තිබුනු පණිවුඩය ගලවාගත්තේ ය.

මේස්ටර්වරයා කඩදාසිය දිගහරිද්දී තම සිරුර වෙවුලමින් තිබෙනු බ්‍රැන්ට දැනුනි. "ඒ මොකක්ද?" සිය සොයුරා තවත් තදින් වැළැඳගනිමින් ඔහු විමසීය.

"ඔයා දන්නවා ඒ මොකක්ද කියලා දරුවො." ඕෂා කීවාය. එය අකාරුණික ස්වරයක් නොව ඔහුව තේරුමගත්, ඔහුව හඳුනාගත් ස්වරයක් විය. ඇය සිය අත ඔහුගේ හිස මත තැබුවාය.

‍මේස්ටර් ලුවින් කිසිදු හැඟීමක් නොමැති ස්වරූපයෙන් ඔවුන් දෙස බැලුවේය. සිය අළු පැහැ ලොම් කබා අතේ රුධිරය තැවරුනු, වෙළුම්පටිවලින් සුරත වෙලූ මේ කුඩා මහලු මිනිසාගේ දීප්තිමත් අළු පැහැ දෑසේ කඳුළු බිඳු මතුව තිබුනි. "මගේ උතුමනි," ඔහු බැරැඬි, වෙවුලුම්කන ස්වරයකින් දෙසොහොයුරන්ව ඇමතීය. "අපි... අපි හොයාගන්ට ඕන එතුමන්ගෙ රූපකාය හොඳට දන්න ගල්වඩුවෙක්ව......"


Osha: “Winter’s got no king. If you’d seen it, you’d know that.”