Wednesday 4 February 2015

ටිරියන් 07-1


කළු කණ් ඇත්තන් ගේ ගෝත්‍රයේ චීක් ගේ දුව වූ චෙලා ප්‍රධාන කණ්ඩායමට ඉදිරියෙන් ගියේ අවට පිරික්සා බැලීම පිණිස විය. ඉදිරියෙන් ඇති මංසන්ධියේ හමුදාවක් වාඩි ලා සිටින ආරංචිය රැගෙන ආවේ ඇය විසිනි. "උංගෙ ගිනිමැලවලින් මට කියන්ට පුළුවන් එතැන අඩුම ගානෙ විසිදාහක්වත් ඉන්නවා කියලා. උංගෙ කොඩි රතු පාටයි. ඒ මැද්දෙ රත්තරන් පාට සිංහයෙක් ඉන්නවා."

"උඹේ තාත්ත ද?" බ්‍රොන් ඇසුවේය.

"මගේ අයියා ජේමි වෙන්ටත් පුළුවන්." ටිරියන් පිළිතුරු දුන්නේය. "අපට ඉක්මනටම දැනගන්ට ලැබෙයි." ඔහු සිය කුඩා මංකොල්ලකාරී කන්ඩායම පිරික්සා බැලීය. තුන්සියයක් පමණ වූ ගල්කපුටන්, චන්ද්‍ර සොහොයුරන්, කළු කණ් ඇත්තන් හා පිළිස්සුනු මිනිසුන්ගෙන් සැදි මේ කණ්ඩායම වනාහි ඔහු සැදීමට බලාපොරොත්තුවෙන් සිටින හමුදාවේ ආරම්භක පියවර විය. මේ වනවිටත් ගර්න් ගේ පුතා ගන්තර් විසින් අනිකුත් ගෝත්‍ර එකතු කරමින් සිටිනවා ඇත. මේ සත්ත්ව සම් පොරොවාගත්, එහෙන් මෙහෙන් සොරකම් කරනලද ආයුධවලින් සැරසීගත් කණ්ඩායමෙන් සිය පියා කුමක් කරනු ඇත්දැයි ඔහු විමතියෙන් කල්පනා කලේය. ඇත්තෙන්ම කිවහොත් මොවුන්ගෙන් කුමක් කලයුතු දැයි ඔහු පවා නොදැන සිටියේය. ඔහු ඔවුන් ගේ අණදෙන නිළධාරියා ද නැතිනම් ඔවුන් ගේ සිරකරුවා ද? ඔහු ඒ බවවත් නොදැන සිටියේය. බොහෝවිට එය මේ දෙකෙහිම සම්මිශ්‍රනයක් විය. "මම විතරක් මුලින් ඉස්සරහට ගියානම් වඩා හොඳ වෙයි." ඔහු යෝජනා කලේය.

"ටයිවින්ගෙ පුතා ටිරියන්ට නං ඒක හොඳ වෙයි තමා." චන්ද්‍ර සොහොයුරන් වෙනුවෙන් කතා කල උල්ෆ් කීවේය. ෂග්ගා රවා බැලූ අතර එය දැකීමට බිහිසුනු දසුනක් විය. "ඩොල්ෆ්ගෙ පුතා ෂග්ගා ඒකට කැමැති නෑ. ෂග්ගාත් එනවා කොලුමිනිහාත් එක්ක යන්ට. කොලුමිනිහා බොරුවක් කියලා තිබ්බොත් ෂග්ගා උගෙ පිරිමි ඇඟ කපලා-"

"-එළුවන්ට කන්ට දානවා. ඔවු මම දන්නවා." ටිරියන් උදාසීන අයුරින් පැවසීය. "ෂග්ගා. මම උඹට ලැනිස්ටර් කෙනෙකුගෙ වචනෙ දෙනවා. මම ආපහු එනවා."

"අපි මොකටද උඹේ වචනෙ විශ්වාස කරන්නෙ?" චෙලා වනාහි පිරිමියෙකු ගේ මෙන් පැතැළි පපුවක් ඇති, කුඩා, දැඩි ගැහැණියක වූවාය. එමෙන්ම ඇය ‍මෝඩියක ද නොවූවා ය. "මේ පාත රටේ උත්තමයො මීට කලිනුත් අපේ ගෝත්‍රවලට බොරු කියලා තියෙනවා."

"උඹ මගේ හිත රිද්දනවා චෙලා." ටිරියන් කීවේය. "මම හිතාගෙන හිටියෙ අපි හැමෝම දැන් හොඳ යාළුවො වෙලා කියලයි. ඒ වුනත් උඹට ඕනෙම නම් උඹට පුළුවන් මගෙත් එක්ක යන්ට එන්ට. ඒ එක්කම ගල්කපුටො වෙනුවෙන් ෂග්ගායි කොනුයි, චන්ද්‍ර සහෝදරයො වෙනුවෙන් උල්ෆුයි, පිච්චුන මිනිස්සු වෙනුවෙන් ටිමට්ගෙ පුතා ටිමටුයි මාත් එක්ක එකතු වෙයල්ලා." මේ නම් කියද්දී ගෝත්‍රිකයන් එකිනෙකා අතර පරීක්ෂාකාරී බැලුම් හුවමාරු කරගන්නට වූහ‍. "මම උඹලාට එන්ටයි කියනකං අනිත් එවුන් ටික මෙතැනම නැවතිලා ඉඳපල්ලා. මම නැති අතරේ නිරපරාදෙ මිනිස්සු මරන්ට යන්නෙ නැතුව, උඹලා අත‍රේ ගැටුම් ඇතිකරගන්නෙ නැතුව හිටපල්ලා."

චෙලා
අසුට සන්කල ඔහු අසු ඉදිරියට මෙහෙයවීය. ඔහු විසින් නම් කලවුන්ට ඔහුත් සමගින් යාම හෝ නැවතී බලාසිටීම හැර වෙනත් විකල්පයක් නොවීය. ඒ දෙකෙන් කුමක් සිදුවූවද ටිරියන්ට ගැටළුවක් නොවීය. ඒ ගැන කතාකරන්නට බිම වාඩි වී සම්පූර්ණ රැයක් හා දහවලක් නාස්ති නොකරන තාක් කල් ඔහුට කිසිදු ගැටළුවක් ‍නොවීය. මේ ගෝත්‍රිකයින් සම්බන්ධයෙන් වූ එකම ප්‍රශ්නය එය විය. ඔවුන් ගේ අමුතුම සමාචාර විදිවලට අනුව සෑම දෙයකදීම සෑම මිනිසකුගේම මතය විමසා බැලීම අනිවාර්ය දෙයක් විය. එමනිසා ඔවුහු සෑමවිටම යම්දෙයක් සම්බන්ධයෙන් නොනැවතීම වාද විවාද කරමින් කල් ගෙවූහ. ඔවුන් ගේ ගැහැණුන්ට පවා මේ වාද විවාදවලට සම්බන්ධ වීමේ හැකියාව තිබින. විටින් විට සිදුවන සාමාන්‍ය මංකොල්ල කෑමකට එහා ගිය දරුණු උපද්‍රවයකින් ඒරින් මිටියාවතට හානි පැමිණවීමට ඔවුන්ට වසර සිය ගණනකින් වත් හැකි නොවීම මහ පුදුමයක් නොවේ. ටිරියන් මේ තත්ත්වය වෙනස් කරවීමට සැලසුම් කරගෙන සිටියේය.

බ්‍රොන්ද ඔහු හා එකපෙළට අසු මෙහෙයවීය. තම කුඩා කඳුකර අසුන් පිට නැගුනු ගෝත්‍රිකයෝ ඔවුන් පසුපසින් වැටුනහ. මේ කුඩා කෙට්ටු අසුන් පෝනියන් මෙන් දිස් වූ අතර උන් එළුවන් මෙන් කඳු නැගීමේ ශූරයින් වූහ.

ගල්කපුටන් දෙදෙන එකට ගමන් ක‍ලෝය. එමෙන්ම චෙලා හා උල්ෆ් ද එක්ව අසුන් මෙහෙයවූහ. චන්ද්‍ර සොහොයුරන් හා කළු කණ් ඇත්තවුන් අතර සෑමවිටම සමීප මිත්‍රත්වයක් තිබුනි. ටිමට් ගේ පුතා ටිමට් පමණක් තනිවම සිය අසු මෙහෙයවීය. කඳුකරයේ විසූ අන් සෑම ගෝත්‍රයක්ම පිළිස්සුනු මිනිසුන් කෙරෙහි බියක් දැක්වූහ. ඔවුහු සිය නිර්භීත භාවය ඔප්පුකිරීම පිණිස සිරුරු ගින්නෙන් පුළුස්සා ගැනීම චාරිත්‍රයක් ලෙසින් සිදුකලෝය. එමෙන්ම අන්‍යයන් විසින් කියූ පරිදි සිය භෝජන සංග්‍රහ වලදී කුඩා දරුවන් රෝස් කිරීමද සිදුකලහ. මේ පිළිස්සුනු මිනිසුන් සැවොම ටිමට්ට දැඩි බියක් දැක්වූහ. කොලුවකු වැඩුනු මිනිසකු බවට පත්කෙරෙන උත්සවයේදී සිය නිර්භීත භාවය ඔප්පු කරනුවස් ඔහු ගිනියම් වූ පිහියකින් තමාගේම වම් ඇස පුළුස්සාගෙන තිබුනි. සාමාන්‍යයෙන් නම් මෙවැනි උත්සවයකදී කොලුවකු විසින් සිය අතැඟිල්ලක් හෝ තණ පුඩුවක් හෝ පුළුස්සාගැනීම සම්ප්‍රදාය විය. වඩාත් නිර්භීත - හෝ වඩාත් මෝඩ - ‍කොලුවකු නම් ඔහු සිය කණක් පුළුස්සා ගනු ඇත. ටිමට් ගේ මේ ඇස් පුළුස්සා ගැනීම නිසා ඔහුගේ ගෝත්‍රයේ මිනිසුන් කෙතරම් විමතියකට පැමිණියාද යත් ඔවුහු වහාම ටිමට්ව 'රතු හස්තයක්' බවට නම් කලෝය. මේ රතු හස්තය යනු යම් ආකාරයක හමුදා නිළයක් බව ටිරියන් පසුව දැනගත්තේ ය.

"මම මේ කල්පනා කරන්නෙ උන්ගෙ රජතුමා වුන එකා මොකක් පුච්චගන්ට ඇත්ද කියලයි." මේ කතාව ඇසූ දවසේ ටිරියන් බ්‍රොන් අමතා කීවේය. කුලීහේවායා විරිත්තමින් සිය රහසඟ දෙසට ඇඟිල්ලක් දිගුකලේය... එනමුදු ටිමට් සමීපයේ සිටින විටදී බ්‍රොන් පවා සිය කට පරෙස්සම් කරගන්නට වග බලාගත්තේ ය‍. යම් මිනිසකු සියතින්ම ඇසක් පුළුස්සා ගැනීමට තරම් උන්මත්තකයකු නම් ඔහුගේ සතුරන් කෙරෙහි කරුනාවක් බලාපො‍රොත්තු වීම විහිළුවකි.

* * *

ඔවුන් ගේ කණ්ඩායම කඳුගැටයෙන් පහළට අසුන් විහිදුවද්දී දුරින් පිහි‍ටි රළු ගල් බැම්මෙන් බැඳි නිරීක්ෂක කුළුණු වල සිටි විමසිලිමත් දෑස් ඔවුන් දෙස බලා සිටියහ. පණිවුඩයක් රැගත් කපුටකු අහසට නගිනු ටිරියන් නිරීක්ෂණය කලේය. කඳුකර මාර්ගය දැවැන්ත ගල් පර්වත දෙකක් මැදින් ඇදී යන ස්ථානයකදී ඔවුන්ට පළමු මුර කපොල්ල දකින්නට ලැබුනි‍. මාර්ගය වසා අඩි හතරක් පමණ උස් පස් බැම්මක් බැඳ තිබුනු අතර දෙපස උස් බිම් හරස් දුනු දැරූ සෙබළුන් දුසිමකගෙන් ආරක්ෂා විය.

දඬුබස්නාමානයෙන් එපිට සිය සගයින් නැවැත්වූ ටිරියන් තනිවම ඉදිරියේ ඇති පස් බැම්ම වෙත ගියේය. "කවුද මෙතන අණ දෙන්නෙ?" ඔහු කෑගසා විමසීය.

ටිමට්
කපිතාන් විගස පැමිණියේ ය. එමෙන්ම සිය උතුමානන් ගේ පුත්‍රයා හඳුනාගත් ඔහු විගස ඔවුන් සමග යාමට පිරිවර සේනාවක් සූදාණම් කලේය. ඔවුහු කළු පැහැගත් බිම් හා ගිනිගත් බලකොටු පසුකරමින් පහතින් වූ ගංගා නිම්නයේ කොළ ගංගාව වෙත සිය අසුන් මෙහෙයවූහ. ටිරියන් කිසිදු මළ සිරුරක් නොදුටු නමුදු අවට ආකාශය කපුටන්ගෙන් පිරී පැවතුනි. මෙහි ඉතා මෑතකදී සටන් ඇවිලී තිබුනු බවට සාක්ෂි සෑමතැනම දැකිය හැකිවිය.

මංසන්ධියට අඩ ලීගයක දුරක් තිබියදී මාර්ගය වසා, උල්කල ලී වලින් තැනූ පැලලි යොදා මාර්ග බාධක යොදා තිබුනි. එහි මුරට දුනුවායන් ද කුන්තධරයින් ද වූහ. මේ බාධකයට එපිටින් ඇසට හසුවන මානය තෙක් යුධ කඳවුර පැතිර විසිර සිටියේය. සිය ගණනක් වූ කඳවුරු ගිනිමැලවලින් නැගි සිහින් දුම්රොටු අහසට නැග්ගේය. මුදු දම්වැල් සන්නාහයෙන් සැරසුනු මිනිස්සු ගස් යට වාඩිගෙන සිය අසිපත් මුවහත් කරමින් හුන්හ. මඩ සහිත බිමෙහි සිටවූ කණුවල හුරුපුරුදු ධජපතාක එල්ලී තිබුනි.

ඔවුන් මාර්ග බාධකයට ලංවද්දී අසරු සෙබළුන් පිරිසක් ඔවුන්ට අභියෝග කරනු වස් ඉදිරියට ආවෝය. ඔවුන්ව මෙහෙය වූ නයිට්වරයා අමතේස්ත එබ්බවූ රජතමය සන්නාහයෙන් සැරසී දම් හා රිදී පැහැ ඉරි වැටුනු සළුවක් පැළැඳ සිටියේය. ඔහුගේ පලිසේ සිය වංශ සලකුණ වන කඟවේනකු සිතුවම් කර තිබුනු අතර ඔහු පැළැඳ සිට අශ්ව හිසක හැඩය ගත් ශිරස්කයේ නළල මත අඩි දෙකක් පමණ දිගු සර්පිලාකාර අඟක් සවි වී තිබුනි. අසු නැවතූ ටිරියන් ඔහුට ආචාර කලේය. "සෙර් ෆ්ලෙමන්ට්."

සෙර් ෆ්ලෙමන්ට් බ්‍රැක්ස් සිය ශිරස්කයේ මුවවැස්ම ඉහළට එසවීය. "ටිරියන්!" ඔහු විස්මය රැඳි ස්වරයෙන් කීය. "මගේ උතුමානනි. අපි හැමෝම බයවෙලයි හිටියෙ ඔබ මැරිලයි කියලා. නැත්තම්..." ඔහු ගෝත්‍රිකයින් දෙස අතීරණාත්මක ස්වරයකින් නෙත් හෙලීය. "මේ... ඔබේ ගමන් සගයො..."

"බොහොම හොඳ යාළුවො. පක්ෂපාතී සෙබළු. මට කොහෙන්ද මගේ තාත්තව හොයාගන්ට පුළුවන්?"

"එතුමා මංසන්ධි තානායම එයාගෙ නවාතැන විදියට පාවිච්චි කරනවා."

ටිරියන් සිනාසුනේය‍. 'මංසන්ධි තානායම!' සමහරවිට දෙවිවරුන් සිතන තරම්ම නරක නැතුවා වන්නට ඇත. "මම හැකි ඉක්මනින්ම එයාව මුනගැහෙන්ට ඕන."

"ඔබේ කැමැත්තක් මගේ උතුමානනි." සිය අසු හරවාගත් සෙර් ෆ්ලෙමන්ට් කෑගසා විධානයක් දුන්නේය. බාධක පැලලි තුනක් දෙපසට ඇදුනු අතර මාර්ගයේ විවරයක් සැදුනි. ටිරියන් සිය පිරිස් ඒ තුළින් කඳවුරට ඇතුළුකලේය.

ලැනිස්ටර් යුධ කඳවුර ලීග ගනනාවක් දුරට යනතෙක් පැතිර තිබුනි. චෙලාගේ තක්සේරුව වූ සෙබළුන් විසිදහස එතරම්ම වැරැදි ගණනයක් නොවීය. සාමාන්‍ය සෙබළුන් එළිමහනේ කඳවුරු බැඳ සිටි අතර නයිට්වරුන් වෙනුවෙන් කූඩාරම් ඉදිවී තිබුනි. සමහර උසස්ම මට්ටමේ වංශාධිපතීන් වෙනුවෙන් සාමාන්‍ය නිවාසයක් තරම්ම විශාල වූ මණ්ඩප ඉදිවී තිබුනි. ප්‍රෙස්ටර්වරුන් ගේ රතු ගොනා ද, ක්‍රේක්හෝල් උතුමානන් ගේ වල්ඌරා ද, මාර්බ්‍රෑන්ඩ්වරුන් ගේ ගිනිගන්නා ගස ද, ලිඩ්න්වරුන් ගේ බැජර් මුගටියා ද ටිරියන් ගේ නිරීක්ෂණයට හසුවිය. ඔහු සිය පිරිස සමගින් හෙමින් සීරුවේ අසු ඉදිරියට මෙහෙයවන අත‍රේ දෙපස සිටි නයිට්වරුන් ඔහුට සිය ආචාරය පුදකලහ. සාමාන්‍ය සෙබළු විමතියෙන් මුව අයාගෙන ඔහුත් සමග ගමන්ගන්නා ගෝත්‍රිකයින් දෙස බලාසිටින්නට වූහ.

කිසිදු සැකයකින් තොරව ෂග්ගා ද අසීමාන්තිකවම මවිතයට පත්ව සිටියේය. ඔහු සිය ජීවිත කාලය තුළ කිසිදු දිනෙක මෙතරම් මිනිසුන්, අසුන් හෝ ආයුධ ප්‍රමාණයක් දැක නොතිබුනු අතර මුව අයාගෙන අවට බලමින් සිටියේය. සෙසු ගෝත්‍රිකයින් පිරිස එලෙස තම හැඟීම් මුහුණින් නොපෙන්වා සිටීමට තරම් ප්‍රවේශම් සහගත වුවද ඔවුන් ද ඒ හා සමානවම මවිතයට පත්ව ඇති බව ටිරියන්ට රහසක් නොවීය. 'හොඳයි! හොඳටම හොඳයි!' ලැනිස්ටර්වරුන් සතු බලය ගැන ඔවුන් මවිත වන තරමට ඔවුන්ව පාලනය කිරීම හා ඔවුන්ට අණදීම වඩා පහසු වනු ඇත.

තානායම හා එහි ඉස්තාල ටිරියන්ට මතක ඇති පරිද්දෙන්ම විය. එනමුදු ඒ අවට ගම්මානයේ වූ ගොඩනැගිලිවලින් ඉතිරිව තිබුනේ ගල් ගොඩවල් හා කළු ගැහුනු අත්තිවාරම් පමණි. තානායම් අංගනයේ එල්ලුම් ගහක් ඉදිවී තිබුනු අතර එහි මේ වනවිටත් පැද්දෙමින් තිබුනු මළකඳ කපුටන්ගෙන් වැසී පැවතින. ටිරියන් ලංවද්දී උන් කරවු හඬ නංවමින් කළු පියාපත් ගසමින් ඉගිල යන්නට වූහ. අසු බිටින් බිමට බට ඔහු මළසිරු‍රේ මේ වනවිට ඉතිරිව ඇති නශ්ටාවශේෂ දෙස බැලුවේය. කපුටන් විසින් ඒ දෙතොල්, දෙකම්මුල් හා දෑස් කා දමා තිබුනද භයංකාර සිනහවක් නගා සිටි ඒ රත් පැහැ වූ දත් දෙපෙළ හඳුනාගැනීමට ඔහු සමත් විය. "මම ඉල්ලුවෙ කාමරයකුයි, කෑමයි, වයින් ගුරුලේත්තුවකුයි විතරයි." ඔහු අවලාදයක ස්වරූපයෙන් ඇයට පැවසීය.

ෂග්ගා
ඉස්තාල කොලුවෝ හනික ඉදිරියට පැමිණියේ ඔවුන් ගේ අසුන් පිළිගැනීමට විය. සිය අශ්වයා ඔවුන්ට බාරදීමට ෂග්ගා කොහෙත්ම කැමැති නොවීය. "ඒ කොල්ලා උඹේ වෙළඹ හොරකම් කරන්නෙ නෑ බං." ටිරියන් ඔහුව අස්වැසුවේ ය. "ඌට ඕන කරන්නෙ ඒකිට ඕට්ස් ටිකකුයි වතුරයි දීලා ඒකිගෙ බූල් ටික පීරලා පොඩි සාත්තුවක් කරන්ට විතරයි." ෂග්ගාගේ බූල් කබායටද එවැනිම සාත්තුවක් අවශ්‍ය බව පෙනීගියද එවැන්නක් සඳහන් කිරීම නුවණක්කාර වැඩක් නොවනු ඇත. "උඹට මම පොරොන්දු වෙනවා. උඹේ අශ්වයාට හානියක් කරන්නෙ නෑ."

ෂග්ගා රවමින් තෝන්ලණුව අත හැරියේය. "මේ ඉන්නෙ ඩොල්ෆ්ගෙ පුතා ෂග්ගාගෙ අස්සයා." ඔහු ඉස්තාල කොලුවාට ‍ගෙරවීය.

"ඌ ඒකිව ආපහු දුන්නෙ නැත්තම් උගෙ පිරිමි ඇඟ කපලා එළුවෙකුට කන්ට දාපන්... උඹට එළුවෙක් හොයාගන්ට පුළුවන් වුනොත්." ටිරියන් පොරොන්දු විය.

ලේ රත් පැහැ සළුවෙන් සැරසී සිංහ රූප සහිත ශිරස්ක පැළැඳි ලැනිස්ටර් සෙබළුන් දෙදෙනෙක් තානායමේ නාම පුවරුව යට දොරටුව දෙපස මුරකාවලෙහි යෙදී සිටියෝය. ටිරියන් ඔවුන්ගේ නායකයා හඳුනාගත්තේ ය. "මගේ තාත්තා?"

"ප්‍රධාන ශාලාවෙ මයෙ උතුමානනි."

"මගේ මිනිස්සුන්ට කෑමයි බීමයි ඕන." ටිරියන් ඔහුට පැවසීය. "උන්ට ඒවා ලැබෙන්ට සලස්සපන්." ඔහු තානායමට ඇතුළු වූ අතර එහි ඔහුගේ පියා විය.

කාර්ස්ටලී රොක්හි උතුමානන් හා බටහිර දිග ආරක්ෂකයා වන ටයිවින් ලැනිස්ටර් පනස්වන දශකයේ මැදභාගයේ පසුවූවකු විය. එනමුදු ඔහු තවමත් විසිවියෙහි වූවකු මෙන් හැඩිදැඩි ශක්ති සම්පන්නයකු විය. හිඳගෙන සිටියදී පවා ඔහු උස් සිරුරැති, දිගැති පාද හා පුළුල් උරහිස් ඇති, පැතලි උදරයකින් හෙබියකු විය. ඔහුගේ කෙට්ටු දෑත් මාංශ පේෂියෙන් ගැවසී ගත්තේය. එක් කලෙක රන්වන් පොදියක් මෙන් දිදුලූ ඔහුගේ හිසකෙස් හැලී යන්නට පටන්ගත් විට සිය කරණවෑමියා කැඳවූ ඔහු මුළුමනින්ම තට්ටය බාන්නැයි අණකර සිටියේය‍. ටයිවින් උතුමානන් වනාහි කිසිදු වැඩක් බාගෙට සිදුකරන පුද්ගලයකු නොවීය. එබැවින් ඔහු මුව වටා හා නිකටේ වූ රුවුල පවා කපා දැමූ අතර දෙපස රැවුල පමණක් ඉතිරි කරගත්තේ ය. එකට ගෙතුනු, දැවැන්ත රන්වන් රැවුලක් ඔහුගේ දෙකණ්වල සිට හණුව දක්වා දෙකම්මුල් වසා ගත්තේය. ඔහුගේ දෙනෙත් රන් පැහැ පුල්ලි වැටුනු ලා කොළ පැහැයක් විය. එක් මෝඩ මිනිසකු වරක් ප්‍රකාශ කර සිටියේ ටයිවින් උතුමානන්ගේ මළපහ පවා රන් පැහැයෙන් දිදුලන බවකි. සමහරුන් කියන්නේ ඒ මිනිසා තවමත් ජීවත්වන බවකි. කාර්ස්ටලී රොක්හි ගැඹූරේ වන අන්ධකාර දඟගෙයක ජීවත්වන බවකි.

ටිරියන් ප්‍රධාන ශාලාවට ඇතුළුවන විට ඔහුගේ පියාගේ ජීවත්ව සිටින එකම සොහොයුරා වන සෙර් කෙවන් ලැනිස්ටර් ටයිවින් උතුමානන් සමගින් ඒල් බඳුනක් තොලගාමින් හුන්නේය. ඔහුගේ බාප්පා තරබාරු, තට්ට හිසැතියෙකු විය. කොට කර කපනලද කහවන් රැවුලකින් ඒ දැවැන්ත හණු වැසී ගියේය. ටිරියන්ව මුලින්ම දුටුයේ සෙර් කෙවන් විසිනි. "ටිරියන්!" ඔහු විමතියෙන් පැවසීය.

"බාප්පෙ." ටිරියන් හිස නමමින් කීවේය. "මගේ තාත්තෙ. ඔබලාව මෙහෙදි මුනගැහෙන්ට ලැබුන එක කොච්චර ලොකු සන්තෝසයක් ද?"


Tywin Lannister: “No sword is strong until it’s been tempered.”

38 comments:

  1. maru nam tika appa gothrikayange
    :D

    ReplyDelete
    Replies
    1. නම් ටික විතරද? බලන්ටකො චෙලාගෙ ලස්සන.. :-D

      Delete
    2. කියලා වැඩක් නෑ. ඇත්තට දැක්කොත් නින්ද යන එකකුත් නෑ. එච්චරට හැන්ඩි. :D

      Delete
  2. මං මෙච්චර කල් හිතන් හිටියෙ එළුවො කන්නෙ කොලජාති විතරයි කියල..

    ReplyDelete
    Replies
    1. ඒක තමා.. මීට පස්සෙ "එළුවන්ගෙන් ප්‍රවේශම් වෙන්ට!" තමා.. ;-)

      Delete
    2. ඇයි කෙල්ලන්ගෙන්? :P

      Delete
  3. //ෂග්ගාගේ බූල් කබාය//

    Seems he has one too eh mots :P

    ReplyDelete
    Replies
    1. නරිමොටාගෙ එකමද දන්නෙ නෑ.. මොට්ස් මේ දවස්සොල වැඩිය සද්දක් නැත්තෙත් ඒකමද දන්නෙ නෑ.. :-P

      Delete
    2. ෂග්ගාගෙන් නෙමෙයි බූල් කෝට් එක පරිස්ස්ම් කරගන්න බැරි, නැට්ට නැති කස්ටියගෙන් :)

      Delete
    3. නැට්ට නැත්තේ බස්සන්ට නේ? :P

      Delete
  4. //කොලුමිනිහා //

    නියම වචනේ :P

    අප්පා ටිරියන්ට තියෙන පිළිගැනීම දැක්කම ගෝත්‍රිකයන්ට විතරක් නෙවෙයි මටත් පුදුමයි :)

    ReplyDelete
    Replies
    1. උපාසිකා මාතාව ඊයෙ සිල් ගත්තැයි.? :-)

      Delete
    2. නහී නහී :)

      ඇයි ප්‍රධාන පෝයවල් විතරනේ :P

      Delete
    3. නහී නහී කිවුවෙ මරනානුස්සති භාවනාව වෙන්ටෑ.. :-P

      Delete
    4. අප්‍රධාන පෝය යනු කවරේද?

      Delete
    5. මම දවසකුත් කිව්ව අයියො , මගේ ප්‍රධන පෝයවල් වෙසක් , පොසොන් සහ ඇසළ :D

      Delete
    6. ඔතන කොලු-මිනිසා කිව්වම නිකං රොක් හඩ්සන් වගේ හිතෙන්නෙ නැද්ද? කෝකටත් අම්මා මුත්තා කිව්වත් නැවෙන්න නං එපෝ :)

      Delete
    7. @සෝන්යා,

      මෙයා අප්‍රධාන පෝයවලට මොනවද දන්නේ නෑ කරන්නේ? :D

      Delete
  5. @PoM, Motts, Bur et al.

    Beware of goats !!
    එලුවන්ගෙන් ප්‍රවේශම් වෙන්න

    ReplyDelete
    Replies
    1. You don't have to worry eh ? :P:P:P

      Delete
    2. මෙවුවට ඉතින් මොනා කියන්ටද කියලා හිතාගන්ට බෑ අප්පා.. :-P

      Delete
    3. @PoM, Sasquatches are elusive. They don't get the same exposure like princes, puppets and foxes.

      @ බුර්තුමා,මොනවත් කියන්ට ඕනෙ නෑ, ලී රූකඩ වුනත් එළුවන්ගෙන් ප්‍රවේශම්වීම හොඳයි. විශේෂයින්ම පිනෝකියෝගෙ ජාතියෙ ප්‍රශ්න තියන අය.

      Delete
    4. මං හිතන් හිටියෙ ලී රූකඩ පරෙස්සම් වෙන්ට ඕන ගුල්ලන්ගෙන් විතරයි කියලා.. :-O

      Delete
    5. නැවතත් මතක් කරන්ට තියෙන්නේ ඔය හැමෝටම වඩා කෙල්ලන්ගෙන් ප්‍රවේශම් වෙනු කියලා තමයි. :D

      Delete
  6. ටයිවින්තුමාට තිබ්බෙ අර මනුස්සයව දඟගෙයි දාන්නෙ නැතුව වන්දිභට්ට පෝස්ට් එකක් දෙන්ටනෙ :P

    ReplyDelete
    Replies
    1. බුවාට ඊට වඩා ටිකක් විතර මොළේ තිබිලා තියෙනවා.. :-D

      Delete
    2. රන්ගේ යෝජනාවත් නරකම නෑලු. :D

      Delete
  7. ආහ්! බූරගේ පුතා බුරාන්තීනෝ නිදහස් දවසෙත් වැඩ වගේ .මම හිතුවෙ චිල් එකේ ඇති කියල.

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි.. සතියට කොටස් තුනක් දෙනවා කිවුවොත් අනිවා දෙනවා.. නිදහස් දිනේද, පෝය දවසද, නත්තල් ද, අවුරුදු ද ඒවා නෑ.. :-D

      Delete
    2. ඔව්..ඔව්.. ඔය කියන කට්ටිය වැස්සේ නාලා චිල් එකේ ඉන්නවලු...:P

      Delete
  8. මේ ඉන්නේ කොට බුවා,එත් මම හිතුවා බුවාට මක්කවත් උනාද කියලා පේන්න නැති කොට හිටං :D

    ReplyDelete
    Replies
    1. අර කඳුකර මාර්ගෙ එන්ට එපායැ හිටං.. ඒකයි ඔය පොඩ්ඩිත්තක් විතර පරක්කු වෙලා තියෙන්නෙ හිටං.. :-D

      Delete
    2. හී හී ඒ කියන්නේ මනෝජ් හැමෝම ගැනම හිතනවා. ඩැනී ගැන විතරක් නෙමේ...

      Delete
  9. අර සෙට් එකේ ෆොටො ටික දැම්ම එකනම් කියලා වැඩක් නෑ.. හප්පේ.. හොද වෙලාවට මම කතාව මෙහෙම කියවන්නේ කියලා හිතුනා.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. කට්ටිය මාර හැන්ඩ්සම් නේ.. :-D

      Delete
    2. නලුවෝ ටික කොහෙන් හොයාගත්තද දන්නේ නෑ අප්පා...:(

      Delete
  10. හා, ඔය ඇවිල්ල තියෙන්නෙ සාධාරණ කොටා. කොටා නියම බුවා

    ReplyDelete
    Replies
    1. හා හා මේ ඇවිත් තියෙන්නේ සාධාරණ බස්සා...:P

      Delete