Monday 9 February 2015

සන්සා 05


සිහසුන් ශාලාවේ බිත්ති සියල්ලම නිරුවත් කර දමා තිබුනි. රොබර්ට් රජතුමා මහත් ආදරයෙන් රැක බලාගත් දඩයම් සිතුවම් සහිත තිරරෙදි සියල්ලම ගලවා දමා ශාලාවේ ‍කොණක කුණුගොඩක් මෙන් ගොඩගසා තිබුනි.

සෙර් මැන්ඩන් මූර් තමාට නියමිත ස්ථානය වූ සිංහාසනයට පහළින් තම ධවළ සොහොයුරන් දෙදෙනෙකු මුරකාවලෙහි යෙදී සිටි තැනට ගොස් ඔවුන් හා එක්විය. පළමුවරට කිසිදු මුරකරුවකු හෝ ආරක්ෂකයකු නොමැතිව තනි වූ සන්සා දොර අසල තාවර වූවාය. ඇගේ යහපත් හැසිරීම වෙනුවෙන් පිරිනැමුනු ත්‍යාගයක් වශයෙන් රැජිණ විසින් ඇයට බලකොටුව තුළ නිදහසේ ඇවිදීමේ අවසරය ඇයට ලබා දී තිබුනි. එනමුදු ඇය යන යන සෑම තැනකටම ඇයත් සමග යාමට පරිවාර සෙබළකු යෙදවිනි. 'මගේ අනාගත දුව වෙනුවෙන් ආරක්ෂක බහුමානයක්!' රැජිණ මේ සෙබළුන් හැඳින්වූයේ එනමිනි. එනමුදු ඔවුන් සමීපයේදී සන්සාට කිසිදු බුහුමනක් නොදැනුනි.

'බලකොටුව තුළ නිදහසේ ඇවිදීමේ අවසරය' යනු සන්සා පවුරු සීමාවෙන් එපිටට නොයන පොරොන්දුව පිට රතු බලකොටුව තුළ ඇයට කැමැති කැමැති තැනකට යෑමේ නිදහස විය. සන්සා මේ පොරොන්දුව බිඳහෙලීමට තබා ඒ ගැන සිතන්නටවත් උත්සුක නොවූවාය. ඇය උත්සාහ කලද ගේට්ටුවෙන් පිටවීමට නොහැකි වනු ඇත. මේ ගේට්ටුව සෑමවිටම ජේනස් ස්ලින්ට් ගේ නගරාරක්ෂක සෙබළුන් විසින් රකිනු ලැබින. එමෙන්ම ලැනිස්ටර් ගෘහාරක්ෂක සෙබළුන්ද සෑමවිටම අතේ දුරින් වූහ. අනිත් අතට, ඇය බලකොටුවෙන් පිටවී ‍කොහේ කියා යන්ටද? අංගනයේ ඇවිදින්නට ලැබීමත්, මර්සෙලා ගේ උද්‍යානයේ මල් නෙලන්නට අවස්ථාව ලැබීමත්, ඇගේ පියා වෙනුවෙන් යාඥා කරන්නට සප්තක දේවස්ථානයට යන්නට ලැබීමත් ඇයට ඉහටත් උඩින් විය. ස්ටාර්ක්වරුන් විසින් තවමත් පුරාණ දෙවිවරුන් අදහනු ලැබීම නිසා ඇය යම් යම් අවස්ථාවල යාඥාව පිණිස දෙව්වනයට යාමටද පුරුදුව සිටියාය.

මේ වනාහි ජොෆ්රි ගේ රාජ්‍ය සමයේ පළමු රාජසභා රැස්වීම විය. එනිසා සන්සා වියවුල් සිතින් වටපිට බලමින් හුන්නාය. ශාලාවේ බටහිර දිග බිත්තියේ වූ කවුළුවලට යටින් ලැනිස්ටර් ගෘහාරක්ෂක සෙබළුන් පිරිසක් ද, නැගෙනහිර දිග බිත්තියේ කවුළුවලට යටින් නගරාරක්ෂඛ බලඇණියේ සෙබළුන් පිරිසක් ද මුරකාවලෙහි යෙදී සිටියහ. එහි එකදු සාමාන්‍ය වැසියකු නොවීය. එනමුදු සක්මනට පහළින් උස් හා පහත් වංශාධිපතීන් පිරිසක් නොසන්සුන් අයුරින් ඇඹරෙමින් උන්නෝය. රොබර්ට් රජතුමා හමුවීම පිණිස දිනෙකට වංශාධිපතීන් සියයක් පමණ පැමිණීම සාමාන්‍ය දෙයක් වුවද අද දිනයේ එහි වූයේ විස්සක් තරම් සුළු පිරිසකි.

සන්සා හෙමින් සීරුවේ ඔවුන් අතරට ඇදුනාය. එකිනෙකා පසුකරමින් සෙමින් ශාලාවේ ඉදිරියට ඇදෙන අතරේ ඇය ඇසගැටෙන උතුමන්ට මුමුනමින් මෙන් ආචාර සමාචාර දැක්වූවාය. මේ වංශාධිපති කණ්ඩායමේ හුන් කළු පැහැ සමෙන් යුතු ජලබාර් ක්ෂෝ, අඳුරු කරගත් මුහුණින් යුතු සෙර් ආරොන් සැන්ටගාර්, රෙඩ්වින් නිවුන්නු දෙදෙනා ආදීන් හඳුනාගැනීමට ඇය සමත්වූවාය... එනමුදු ඒ කිසිවෙකුත් ඇයව හඳුනාගත් බවක් නොපෙනුනි. නොඑසේව, ඔවුන් ඇයව හඳුනාගත්තේ වී නම් ඇයට කළු වසංගතය බෝවී ඇතිවාක් මෙන් ඔවුහු පිළිකුලෙන් යුතුව ඇගෙන් ඈත් වූහ. අසනීපකාර ජයිල්ස් උතුමානන් ඇය ලංවන විට සිය මුහුණ වසාගෙන බොරුවට කහින්නට විය. නිතරම සිනහවෙන් සිටින, බේබදු සෙර් ඩොන්ටොස් ඇයට ප්‍රත්‍යාචාර දක්වන්නට සැරසුනු විට සෙර් බේලන් ස්වෝන් ඔහුගේ කණට කර රහසින් යමක් කෙඳිරූ අතර ඔහු වහා අනික් පස හැරුනේය.

තවත් බොහෝ වංශාධිපතීන් එහි නොවීය. 'ඒ සියල්ලන්ම කොයිබක ගොස්ද?' සන්සා මවිතයෙන් කල්පනා කලාය. මිත්‍රශීලී මුහුණක් දකිනු රිසියෙන් ඇය නිශ්ඵල ලෙස එහා මෙහා බැලුවාය. එනමුදු ඒ කිසිවෙකුත් ඇගේ දෑස්වලට මුනනොගැසෙන්නට වග බලාගත්හ. එය හරියටම ඇය මියගොස් භූතයකු වී ඇත්තාක් මෙන් විය.

රාජසභික මේසයේ ප්‍රධාන මේස්ටර් පයිසෙල් පමණක් තනිව හිඳගෙන සිටියේය. ඔහුගේ දෑත් දැවැන්ත සුදු රැවුළ මතින් එකට බැඳී තිබුනු අතර ඔහු නින්දේ පසුවන්නාක් මෙන් දිස්විය. වාරිස් උතුමානන් හනිහනික ශාලාවට ප්‍රවිශ්ට වූ අතර ඔහුගේ පියවර ගැටෙන හඬ නෑසෙන තරම් විය‍. සුළු මොහොතකට පසුව පිටුපස වූ දැවැන්ත දොරටු තුළින් සිනාමුසු මුහුණින් යුතු බේලිෂ් උතුමානන් ඇතුළුවිය. ඉදිරියට යන අතරේ ඔහු සෙර් බේලන් හා සෙර් ඩොන්ටොස් සමගින් මිත්‍රශීලී අයුරින් දෙඩීය. තම උදරයේ සමනළුන් පියාඹන්නාක් මෙන් සන්සාට දැනුනි. 'මම බයවෙන්ට හොඳ නෑ.' ඇය තමාටම කියාගත්තා ය. 'මට බයවෙන්ට කිසිම හේතුවක් නෑ. හැමදේම හොඳින් සිද්ද වෙයි. ජොෆ්රි මට ආදරෙයි. රැජිණත් මට ආදරෙයි.' ඇය තවදුරටත් කියාගත්තා ය.

රාජදූතයකු ගේ ප්‍රශස්ති ගායනාවකින් අභිනව රජතුමා ගේ පැමිණීම දැන්විනි. "අන්දාල්වරුන් ගේ ද රොයිනාර්වරුන් ගේ ද මුල් මිනිසුන් ගේ ද රජු වන, රාජධානි සප්තකයේ ස්වාමීන් වන, බරතියන් වංශයේ හා ලැනිස්ටර් වංශයේ ජොෆ්රි වන, එම නමින් යුත් පළමු රජතුමා‍‍ ගේ ශ්‍රී නාමය සැරදේවා! එතුමන් ගේ උදාර මවුතුමිය වන, භාරකාර රැජිණ වන, බස්නාහිර දිශාවේ ආළෝකය වන, රාජධානියේ ආරක්ෂකයා වන, ලැනිස්ටර් වංශයේ සෙර්සි උත්තමාවගේ ශ්‍රී නාමය සැරදේවා!"

සුදු පැහැ ඵලක සන්නාහයෙන් ඒකාළෝක වූ සෙර් බැරිස්ටාන් සෙල්මි ඔවුන්ව කැඳවාගෙන ආයේය. සෙර් ඒරිස් ඕක්හාර්ට් රැජිණගේ පරිවාරකයා වශයෙන් කටයුතු කල අතර සෙර් බොරෝස් බ්ලොන්ට් ජොෆ්රි පසෙකින් ඇවිද ආවේය. මේ අනුව මේ ශාලාව තුළ අද දින රාජ්‍යාරක්ෂක බලකායේ නයිට්වරු සයදෙනෙකු - ජේමි ලැනිස්ටර් හැරෙන්නට අන් සියළුම අය - එක්රැස්වී සිටියහ‍. ඇගේ කුමරා - නැත නැත, දැන් ඇගේ රජතුමා! - පියගැට පෙළේ පඩි දෙක බැගින් නගිමින් සිහසුන වෙත ළඟා වූ අතර ඔහුගේ මව පහළින් වූ රාජසභා මේසයේ අසුන්ගත්තා ය. ජොෆ් ලේ රතු පැහැ වයිරම් වැටුනු කළු පැහැ විල්ලුදයෙන් සැරසී දිදුලන රන් නූලෙන් කල උස් කොලරයක් සහිත කබායක් හැඳ සිටියේය. ඔහුගේ හිස මත කළු දියමන්ති හා රතු කැට එබ්බවූ රන්වන් කිරුළක් විය.

ජොෆ්රි ආපසු හැරී ශාලාවේ හුන් පිරිස දෙස බලද්දී ඔහුගේ දෑස් සන්සා ගේ දෑස් හා ගැටින. ඔහු සිනාසෙමින් අසුන්ගත්තේ කතාව ඇරඹීය. "පක්ෂපාතී නොවූවන්ට දඬුවම් දීම හා අපට සත්‍ය වශයෙන්ම ලැදි අයට ත්‍යාග ලබාදීම රජතුමාගේ වගකීමයි. ප්‍රධාන මේස්ටර් පයිසෙල්, මගේ නියෝග ටික කියවන්ට."

පුටුව පසුපසට තල්ලු කල පයිසෙල් නැගී සිටියේය. ඔහු අද දිනයේ මහානුභාව සම්පන්න අයුරින් සුදු පැහැ මුගටි ලොම් කොලරයකින් හා දිදුලන රන්වන් ගාංචු ඇති ඝනකම් රත් පැහැ විල්ලුද ලෝගුවකින් සැරසී හුන්නේය. අලංකාර, ගෙත්තම් කල කබා අතක් තුළින් කඩදාසියක් පිටතට ගෙන දිගහැරගත් ඔහු දිගු නම් ලැයිස්තුවක් කියවන්නට විය. මේ නම් කියැවෙන සෑම කෙනෙකුම රජතුමා ගේ හා රාජසභාවේ නාමයෙන් මෙහි පැමිණ ජොෆ්රිට පක්ෂපාතී බවට දිවුරිය යුතු විය. එසේ නොකලහොත් ඔවුන් රාජද්‍රෝහීන් හැටියට හංවඩු ගැසෙන අතර ඔවුන් ගේ තනතුරු, වතුපිටි, ඉඩකඩම් රාජසන්තක කෙරෙනු ඇත.

මේ ඇසුනු නම් ලැයිස්තුව නිසා සන්සා ගේ හුස්ම පවා හිරවී ගියේය. ස්ටැනිස් බරතියන් උතුමානන්, ඔහුගේ ආර්යාව හා ඔහුගේ දියණිය. රෙන්ලි බරතියන් උතුමානන්. රොයිස් උතුමන් දෙදෙන හා ඔවුන‍් ගේ පුතුන්. සෙර් ලෝරාස් ටිරල්. මේස් ටිරල් උතුමානන්, ඔහුගේ සොහොයුරන්, මාමාවරුන් හා පුතුන්. රතු පූජකයා, ම(ර්) හි තොරෝස්, බෙරික් ඩොන්ඩරියන් උතුමානන්. ලයිසා ඒරින් ආර්යාව හා ඇගේ පුතණුවන්, පුංචි රොබර්ට් උතුමානන්. හස්ටර් ටලී උතුමානන්, ඔහුගේ සොහොයුරා සෙර් බ්‍රින්ඩන් ටලී, ඔහුගේ පුතා සෙර් එඩ්මුයර්. ජේසන් මැලිස්ටර් උතුමානන්. වගුරුබිම්වල බ්‍රයිස් කැරන් උතුමානන්. ටයිටස් බ්ලැක්වුඩ් උතුමානන්. වෝල්ඩර් ෆ්‍රේ උතුමානන් හා ඔහුගේ උරුමකරු සෙර් ස්ටිව්රන්. කේරිල් වාන්ස් උතුමානන්. ජොනෝස් බ්‍රැකන් උතුමානන්. ශීලා වෙන්ට් ආර්යාව. ඩෝර්න් හි කුමරුවා ඩෝරාන් මාර්ටෙල් හා ඔහුගේ පුතුන්. 'මහ ගොඩක්!' පයිසෙල් විසින් නම් ලැයිස්තුව නොනවත්වාම කියවාගෙන යද්දී සන්සා මවිතයෙන් කල්පනා කලාය‍. මේ නියෝග රාජධානියේ සතර අතටම යැවීමට කපුටන් රංචුවක් අවශ්‍ය වනු ඇත.

අන්තිමේදී, ලැයිස්තුව ඉවරවෙන්නට ආසන්නයේදී සන්සා මෙතෙක් වේලා භීතියෙන් යුතුව අසන්නට බලා සිටි නම් කියැවෙන්නට විය. කැට්ලින් ස්ටාර්ක් ආර්යාව, රොබ් ස්ටාර්ක්, බ්‍රැන්ඩන් ස්ටාර්ක්, රිකන් ස්ටාර්ක්, ආර්යා ස්ටාර්ක්. සන්සා මවිතයෙන් හුස්මක් ඉහළට ඇදගත්තා ය. ආර්යා! ආර්යා මෙහි විත් පක්ෂපාතී දිවුරුමක් ලබාදෙනු දකින්නට ඔවුන්ට උවමනාය... එහි තේරුම ඇගේ සොයුරිය කෙසේ හෝ අර නැවේ නැගී පැනගන්නට සමත් වී ඇති බවයි. මේ වනවිට ඇය වින්ටර්ෆෙල්හි පවුරු තුළ සුරක්ෂිතව පසුවනවා ඇත...

කඩදාසිය රෝල්කල පයිසෙල් එය සිය වම් කබා සාක්කුවේ රුවා ගත්තේය. ඉන්පසු දකුණු කබා සාක්කුවෙන් තවත් කඩදාසියක් ඇදගත්තේ ය. උගුර පාදාගත් ඔහු නැවතත් කාර්යය ආරම්භ කලේය. "රාජද්‍රෝහියකු වන එඩාර්ඩ් ස්ටාර්ක්ගෙන් හිස්වන රජතුමාගේ හස්තය තනතුරට අපේ ස්වාමීන් වහන්සේ ගේ අභිමතය අනුව කාර්ස්ටලී රොක්හි උතුමානන් හා බටහිර දිග ආරක්ෂකයා වන ටයිවින් ලැනිස්ටර් උතුමානන් පත්වනු ඇත. එතුමා රජතුමා ගේ නාමයෙන් කතා කරනු ඇත, එතුමා ගේ සතුරන්ට එදිරිව එතුමා ගේ හමුදා මෙහෙයවනු ඇත, එතුමා ගේ රාජකීය අභිප්‍රායන් ඉටුකරනු වස් කටයුතු කරනු ඇත. රජතුමා මෙලෙස තීන්දු ප්‍රකාශ කරන අතර රාජසභාව එයට එකඟ වෙයි."

"රාජද්‍රෝහියකු වන ස්ටැනිස් බරතියන්ගෙන් හිස්වන රාජසභික තනතුරට අපේ ස්වාමින් වහන්සේ ගේ අභිමතය අනුව සෑමදා එතුමන්ට ශක්තිමත් බලකණුවක් වෙමින් සහයෝගය දුන් රාජමාතාව හා භාරකාර රැජිණිය වන සෙර්සි ලැනිස්ටර් පත්වනු ඇත. ඇය රාජසභාවේ අසුන්ගෙන නැණවත් හා යුක්තිගරුක අයුරින් රාජ්‍යය විචාරීමට එතුමන්ට සහාය වනු ඇත. රජතුමා මෙලෙස තීන්දු ප්‍රකාශ කරන අතර රාජසභාව එයට එකඟ වෙයි."

තමා වටා සිටි වංශාධිපතීන් අතරින් සිහින් මුනුමුනුවක් නැග එනු සන්සාට ඇසුනි. එනමුදු එය නැගුනු සැනින් තුනී වී ගියේය. පයිසෙල් දිගටම කතා කරන්නට විය.

"අප ස්වාමීන් ගේ තවත් අභිප්‍රායක් අනුව එතුමන් ගේ පක්ෂපාතී යටත් සේවක, කින්ග්ස් ලැන්ඩින්ග්හි නගරාරක්ෂක බලකායේ අණදෙන නිළධාරී, ජේනස් ස්ලින්ට් වහාම ක්‍රියාත්මක වන පරිදි වංශාධිපති තනතුරට උසස් කෙරෙනු ඇත. එතුමන්ට පුරාණ හැරෙන්හෝල් බලකොටුව හා එහි ඉඩකඩම් ආදායම්ද හිමිවනු ඇත. ඔහුගේ පුතුන්ට ද පුතුන් ගේ පුතුන්ට ද යනාදී වශයෙන් කාලාවසානය දක්වා මේ ඉඩකඩම් හා තනතුරු භුක්ති විඳීමේ හැකියාව හිමිවනු ඇත. එමෙන්ම, අප ස්වාමින් වහන්සේ ගේ අභිප්‍රාය පරිදි ස්ලින්ට් උතුමානන්ව වහාම ක්‍රියාත්මක වන පරිදි රාජසභික තනතුරකට පත්කෙරෙනු ඇත. එතුමන් රාජසභාවේ අසුන්ගෙන රාජ්‍ය විචාරීම සඳහා අප ස්වාමීන්ට උපකාර කරනු ඇත. රජතුමා මෙලෙස තීන්දු ප්‍රකාශ කරන අතර රාජසභාව එයට එකඟ වෙයි."

සන්සා දෑස් කොණින් යම් චලනයක් දුටුවාය. ජේනස් ස්ලින්ට් ශාලාවට ඇතුළුවිය. මෙවර අනිකුත් වංශාධිපතීන් ගේ කටුකුටුගෑම් පෙරටත් වඩා වැඩි වූ අතර ඒ ස්ව‍රයේ කේන්තියක්ද ගැබ් වී තිබුනි. ගෙඹි මුහුණකින් හා තට්ට හිසකින් යුතු, සාමාන්‍ය පෙළපතකින් පැමිණෙන මේ නව වංශාධිපතියා සෙමින් ඉදිරියට ඇදෙද්දී වසර දහස් ගනනාවක අතීතයකට උරුමකම් කියන පෙළපත්වලින් පැවැතෙන මාන්නක්කාර රදළයෝ අකැමැත්තෙන් මෙන් දෙපසට වී ඔහුට මඟ ඉඩදුන්නෝය. ඔහු හැඳ සිටි කළු පැහැ විල්ලුද කබායට අල්ලා මසා තිබුනු රන් කොරපොතු තබන තබන පියවරක් පාසා සිහින් හඬින් නද දුන්නේය. ඔහුගේ සළුව කළු හා රන් පැහැයෙන් කොටු වැටුනු පට රෙද්දක් විය. ඔහුගේ පුතුන් විය හැකි අවලක්ෂණ කොලුවන් දෙදෙනෙක් ඔහුට ඉදිරියෙන් ගියේ ඔවුන් තරම්ම උස, බර යකඩ පලිසක් ඔසවාගෙන ගියහ. මේ කොලුවන් දෙදෙනා පලිහේ බරින් මිරිකී සිටි බැව් පැහැදිලිව පෙනෙන්නට තිබුනි. සිය වංශ සලකුණ වෙනුවෙන් ජේනස් ස්ලින්ට් උතුමානන් රාත්‍රි අන්ධකාරය මෙන් කළු පැහැ පසුබිමක ඇති රන්වන් හෙල්ලයක් තෝරාගෙන තිබුනි. මේ හෙලි තලය රුධිරයෙන් පෙඟී ඇති බැව් හැඟවෙන්නට රතු පැහැයෙන් පාටකර තිබුනි. මේ දුටු විගස සිය බාහුවල හී ගඩු පිපී එන්නාක් මෙන් සන්සාට දැනුනි.

ස්ලින්ට් උතුමානන් තමාට නියමිත ස්ථානයේ අසුන් ගනිද්දී ප්‍රධාන මේස්ටර් පයිසෙල් නැවතත් කතාව ඇරඹීය. "අවසාන වශයෙන්, මේ ද්‍රෝහිකම් හා ආරවුල්වලින් පිරුන කාලයේ, අපේ ආදරණීය රොබර්ට් රජතුමා මියගිහිල්ලා තියෙන වෙලාවෙ, අපගේ අභිනව රජතුමා වන ජොෆ්රි උතුමානන් ගේ ජීවිතාරක්ෂාව ගැන සැලකිලිමත් වීම අපේ ප්‍රමුඛතම කාර්යභාරයක් බවට රාජසභාව තීරණය කර තිබේ..." ඔහු රැජිණ දෙස බැලීය.

සෙර්සි නැගිට සිටියාය. "සෙර් බැරිස්ටාන් සෙල්මි. එදිරියට එනු."

සෙර් බැරිස්ටාන් යකඩ සිහසුනට නගින පියගැටපෙළ පාමුල ප්‍රථිමාවක් මෙන් සිටගෙන සිටි‍යේය. ඔහු වහා එක් දණක් නවා හිස බිමට නැඹුරු කරගත්තේ ය. "මගේ උත්තමාවනි. ඔබේ අණ මගෙයි."

"නැගිටින්ට සෙර් බැරිස්ටාන්." සෙර්සි ලැනිස්ටර් කීවාය. "නැගිටලා ඔය ශිරස්කය අයින් කරන්ට."

"මගේ උත්තමාවනි?" නැගිට සිටි මහලු නයිට්වරයා සිය උස්, සුදු පැහැ ශිරස්කය ගැලවීය. එනමුදු ඒ කුමක් සඳහාදැයි ඔහුට කිසිදු නිනවුවක් නොවීය.

"ඔබ බොහොම දීර්ඝ කාලයක් තිස්සේ මේ රාජධානියට බොහොම ලැදිකමෙන් සේවය කලා මගේ හොඳ නයිට්වරයානනි. මේ රාජධානි සප්තකයේ ඉන්න හැම පිරිමියෙක්ම, හැම ගෑනියෙක්ම ඔබට ඒ වෙනුවෙන් ස්තූතිපූර්වක වෙනවා. ඒ වුනත් මට බොහොම කනගාටුවෙන් වුනත් කියන්ට වෙනවා ඔබේ සේවය අවසානයි කියලා. ඔබේ හිසේ තියෙන ඔය ලොකු බර අහක් කරන්ට කාලෙ හරි කියලා රජතුමාත් රාජසභාවත් තීරණය කරලා තියෙනවා."

"මගේ... හිසේ... බර? සමාවෙන්ට... මට... මට තේරෙන්නෙ නෑ..."

අලුත පත්කෙරුනු ස්ලින්ට් උතුමානන් සිය ගැඹුරු, මොට්ට හඬින් කතාකලේය. "අපේ උත්තමාවිය කියන්ට හදන්නෙ, ඔබ රාජ්‍යාරක්ෂක බලකායෙ අණදෙන නිළධාරි තනතුරෙන් අයින් කලා කියලයි."

උසැති, සුදු පැහැ හිසකෙසින් යුතු නයිට්වරයා සිටිතැනම කිඳා බැස්සාක් මෙන් දිස්විය. ඔහුට හුස්ම ගැනීම පවා අසීරු වූවාක් මෙන් පෙනුනි. "මගේ උත්තමාවනි." ඔහු අන්තිමේදී කියාගත්තේ ය. "රාජ්‍යාරක්ෂක බලකාය කියන්නෙ දිවුරුම් දුන්න ස‍හෝදරත්වයක්. අපේ දිවුරුම මුලු ජීවිත කාලෙටම වලංගු වෙනවා. රාජ්‍යාරක්ෂක බලකායෙ අණදෙන නිළධාරිතුමාව තමන්‍‍ගෙ රාජකාරියෙන් අයින් කරන්ට පුළුවන් මරණයට විතරයි."

"කාගෙ මරණයට ද සෙර් බැරිස්ටාන්?" රැජිණ ගේ හඬ සේද මෙන් මෘදු විය. එනමුදු ඒ හඬ මුලු ශාලාව පුරාම විහිද ගියේය. "ඔබේ ද? නැත්තම් ඔබේ රජතුමාගෙ ද?"

"උඹ මගේ තාත්තව මැරෙන්ට ඇරියා." ඉහළ යකඩ සිහසුනේ අසුන්ගෙන සිටි ජොෆ්රි චෝදනාත්මක ස්වරෙයෙන් කතා කලේය. "කාවවත් ආරක්ෂා කරන්ට බැරි තරම් උඹ දැන් නාකි වැඩියි."

නයිට්වරයා සිය අභිනව රජතුමා දෙස හිස ඔසවා බලන'යුරු සන්සා දුටුවාය. ඔහු වෙතින් මෙවැනි මහලු බවක් දිස්වනු ඇය කිසිදා නොදුටු දෙයක් විය. එනමුදු මේ මොහොතේනම් ඔහු දුබල මහල්ලෙකු හැර අන් කිසිවකු නොවීය. "මගේ ස්වාමිනී. මම රාජ්‍යාරක්ෂක බලකායට තේරුනෙ මගේ විසිතුන්වෙනි අවුරුද්දෙදි. ඒ තමා මම හැමදාමත් හීන දැකපු දේ. මම කඩුවක් අතින් අල්ලපු මුල්ම දවසේ ඉඳන් මගේ හීනය වුනේ. පරම්පරාවෙන් මට උරුම වෙන්ට තිබුන බලකොටුවට ඇයි අයිතිය මම අතඇරලා දැම්මා. මම කසාද බඳින්ට බලාපොරොත්තුවෙන් හිටිය කෙල්ල මා වෙනුවට ම‍ගේ ඤාති සහෝදරයෙක් එක්ක විවාහ වුනා. මට ඉඩකඩම් වලින්වත්, පුත්තුන්ගෙවත් වැඩක් නෑ. මම මගේ ජීවිතේ ජීවත්වෙන්ට නියමවුනේ මේ රාජධානිය වෙනුවෙන්. සෙර් ජෙරල්ඩ් හයිටවර්, එයාමයි මගේ දිවුරුම ගත්තෙ... මට හැකි උපරිම ශක්තියෙන් රජතුමාව රැකබලා ගැනීම... ඒ වෙනුවෙන් මගේ රුධිරයෙන් වුනත් මිල ගෙවීම... මම සුදු ගොනා, එතකොට ඩෝර්න්වල ලෙවින් කුමාරයා වගේ අය එක්ක එක්කහුවෙලා සටන්කරලා තියෙනවා... උදෑසනේ අසිපත සෙර් ආතර් ඩේන් එක්ක එක්කහු වෙලා සටන්කරලා තියෙනවා. ඔබේ පිය රජතුමාට සේවය කරන්ට කලින් මම ඒරිස් රජතුමාව ආරක්ෂා කලා. එයාට කලින් එයාගෙ තාත්තා ජහරිස් ආරක්ෂා කලා... රජවරු තුන්දෙනෙක්..."

"ඒ තුන්දෙනාම දැන් මැරිලා." සුළැඟිල්ලා පෙන්වා දුන්නේය.

"ඔබේ කාලය ඉවරයි." සෙර්සි ලැනිස්ටර් නිවේදනය කලාය. "ජොෆ්රිට උවමනායි එයා වටේ තරුණ, ශක්තිමත් ආරක්ෂකයො ඉන්නවා දකින්ට. රාජසභාව තීරණය කරලා තියෙනවා ඔබෙන් හිස්වෙන රාජ්‍යාරක්ෂක බලකායෙ අණදෙන නිළධාරි තනතුරට සෙර් ජේමි ලැනිස්ටර්ව පත්කරන්ට."

"රජුන් මරන්නා!" මේ සිදුවුනු අවමානය නිසා සෙර් බැරිස්ටාන් ගේ ස්වරය දැඩි වී තිබුනි. "තමන් දිවිහිමියෙන් ආරක්ෂා කරනවයි කියලා දිවුරුම් දුන්න රජතුමාව තමන්ගෙම කඩුවෙන් ‍බෙල්ල කපලා මරලා දාපු පොරොන්දු කඩකරපු එකා!"

"උඹ ඔය කතාකරන වචන ගැන පරිස්සම් වෙයන් සෙර්." සෙර්සි අනතුරු ඇඟෙවුවාය. "උඹ ඔහොම කතාකරන්නෙ මගේ සහෝදරයට. අපේ රජතුමාගෙ ලේ වලට."

වාරිස් උතුමානන් අන් අයට වඩා මෘදු ස්වරයෙන් කතාකලේය. "ඔබතුමාගෙ සේවය අපි අමතක කරලා දැම්මෙ ‍නෑ අපේ හොඳ නයිට්තුමනි. ටයිවින් ලැනිස්ටර් උතුමානන් බොහොම කරුනාවන්තව ඉදිරිපත් වෙලා ඔබ වෙනුවෙන් ලැනිස්පෝර්ට්වලට උතුරින් ඉඩම් කෑල්ලක් වෙන්කරලා දුන්නා. මුහුද අද්දරම. ඔබතුමාට ඇති තරම් රත්තරන් හම්‍බවෙනවා. ඇති තරම් මිනිස්සු ලැබෙනවා හොඳ ශක්තිමත් බලකොටුවක් ගොඩනංවන්ට. ඔබතුමාගෙ හැම වැඩක්ම කරලා දෙන්ට ඇති තරම් සේවකයො හම්බවෙනවා."


සෙර් බැරිස්ටාන් සැනෙන් ඔහු දෙස බැලීය. "මැරෙනකම් ඉන්ට පැල්පතකුයි. මැරුනම වළලන්ට මිනිස්සුයි. බොහොම ස්තූතියි මගේ උතුමනි... ඒ වුනත් ඔබලාගෙ මේ දයාවට මම කෙලගහනවා." අත එසවූ ඔහු සිය සළුව රඳවා තිබුනු හාරිච්චිය ගැලෙවුවේය. ඝනකම, ධවල සළුව උරහිසෙන් රූටා ගොස් බිම වැටුනි. මෙතෙක් වේලාවක් අත තිබුනු ශිරස්කය නදදෙමින් බිමට අතහැරුනි. "මම නයිට්වරයෙක්." සිය පපු තහඩුව රඳවා තිබුනු රජතමය ගාංචු ගලවා එයද බිම දමන අතරේ ඔහු කීවේය. "මම මැරෙන්නෙත් නයිට්වරයෙක් විදියට."

"පේන විදියට නම් හෙලුවැල්ලෙන් ඉන්න නයිට්වරයෙක් විදියට." සුළැඟිල්ලා නර්මාලාපයක් කීවේය.

ඔවුහු සියලුදෙනාම මීට සිනාසුනෝය. සිහසුනේ සිටි ජොෆ්රි, රැස්ව සිටි වංශාධිපතිවරු, ජේනස් ස්ලින්ට් හා රැජිණ හා සැන්ඩෝර් ක්ලිගේන්, රාජ්‍යාරක්ෂක බලකායේ නයිට්වරු පවා සිනාසුනෝය. මීට සුළු මොහොතකට පෙරාතුව ඔහුගේ සොහොයුරන්ව සිටි ධවල නයිට්වරුන් පවා සිනාසුනෝය. එය අන් සෑම දෙයකටම වඩා රිදුම් දෙන්නට ඇතැයි සන්සා කල්පනා කලාය. ලැජ්ජාවෙන් මිරිකී රතුවුනු මුහුණින් යුතුව, කතා කරන්නට පවා නොහැකි තරම් කේන්තියකින් පිපිරෙමින් සිටගෙන සිටි මේ නිර්භීත මහලු මිනිසා කෙරෙහි ඇති වූ දයානුකම්පාවකින් ඇගේ හදවත පිරී ඉතිරී යන්නට විය. අන්තිමේදී ඔහු සිය අසිපත කොපුවෙන් පිටතට ඇද්දේය.

කිසිවකු තැතිගැන්මෙන් මෙන් හුස්මක් ඇදගනු සන්සාට ඇසුනි. ඔහුට අභිමුඛ වනු පිණිස සෙර් බොරෝස් හා සෙර් මෙරින් ඉදිරියට පා තැබූහ. එනමුදු ඔවුන් දෙස හෙලූ එක් අවඥාසහගත බැල්මකින් ඔවුන්ව එතැනම ගල්කරන්නට සෙර් බැරිස්ටාන් සමත් විය. "බයවෙන්ට එපා මහත්වරුනි. ඔබලාගෙ රජතුමා ආරක්ෂිතයි... හැබැයි ඔබලාට ස්තූතිවෙන්ට නෙවෙයි. මේ දැන් වුනත් මට පුළුවන් ඔබලා පස්දෙනාවම කපලා දාන්ට, පිහියකින් බටර් කපනවාටත් වඩා ලේසියෙන්. ඔබලා රජුන් මරන්නා යටතේ සේවය කරන්ට යනවානම් ඔබලා එක්කෙනෙක්වත් ඔය පැළැඳගෙන ඉන්න සුදු සළු අඳින්ට සුදුසු නෑ." ඔහු සිය අසිපත යකඩ සිහසුන පාමුලට විසිකර දැම්මේය. "මෙන්න කොල්ලො. උඹ කැමැතිනම් මේකත් උණුකරලා අනිත් කඩු ගොඩටම එකතු කරහන්. මේ අනිත් පස්දෙනා අතේ තියෙන කඩුවලට වඩා සේවයක් කරන්ට ඒකට පුළුවන් වෙයි. ස්ටැනිස් උතුමානන් උඹේ සිහසුන පැහැරගත්තම සමහරවිට එයා ඒක උඩ වාඩිවෙන්ට පුළුවන්."

ආපසු හැරුනු ඔහු ශාලාවේ අනිත් අන්තයෙහි වූ දොර දෙසට පිය මනින්නට විය. ඔහුගේ පියවර හඬ ශාලාවේ නිරුවත් බිත්තිවල හැපී දෝංකාර දෙන්නට වූයේය. වංශාධිපතියෝ හා වංශාධිපතිනියෝ දෙපසට වී ඔහුට යන්නට ඉඩ හැරියෝය. දොරටු පල්ලන් විසින් ඔහුට පිටුපසින් දැවැන්ත ඕක් හා ලෝකඩ දොරපලු වසාදමන තෙක් තුශ්නීම්භූතව බලාසිටි ශාලාව තුළ නැවතත් හඬ ඇසෙන්නට විය. මෘදු මිමිනීම්, නොසන්සුන් එහා මෙහා වීම් හා රාජසභික මේසය මත වූ කඩදාසි සැලෙන හඬ ඇසෙන්නට විය. "ඌ මට කොල්ලා කිවුවා." ජොෆ්රි නුරුස්සනු සුළු ස්වරයෙන් කීය. ඔහුගේ කටහඬ චෝදනා කරන ලාබාල දරුවෙකු ගේ මෙන් විය. "ඌ මගේ බාප්පා ස්ටැනිස් ගැනත් කිවුවා."

"හිතලු කතා‍." වාරිස් කීවේය. "ඔහේ කටට ආපු පලියට කියාපුවා."

"ඌ දැන් ගිහිල්ලා මගේ බාප්පලා එක්ක එකතුවෙලා මට විරුද්ධව කුමන්ත්‍රණය කරන්ට පුළුවන්. මට ඌව අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්ට ඕන." කිසි කෙනෙකුන් නොසෙල්වින. ජොෆ්රි හඬ උස්කලේය. "මම කිවුවෙ, මට ඕන ඌව අත්අඩංගුවට ගන්ට."

ජේනස් ස්ලින්ට් රාජසභික මේසයෙන් නැගිට සිටියේය. "මගේ නගරාරක්ෂකයො ඒ ගැන වගබලාගනියි ස්වාමිනී."

"බොහොම හොඳයි." ජොෆ්රි රජතුමා කීවේය. ජේනස් උතුමානන් දිගු පියවර තබමින් ශාලාවෙන් පිටව ගියේය. ඔහුගේ අවලක්ෂණ පුතුන් දෙදෙනා ස්ලින්ට් වංශයේ සලකුණ සහිත යකඩ පලිස ඔසවාගෙන ඔහු පසුපසින් දුවමින් මෙන් ගියහ.

"මගේ ස්වාමිනී." සුළැඟිල්ලා රජු ඇමතීය. "අපි නවත්තපු වැඩේ ගැන ආයෙමත් කතාකලොත්, දැන් අපට ඉන්නෙ නයිට්වරු හයදෙනයි. හත්දෙනෙක් ඉන්ට ඕන. රාජ්‍යාරක්ෂක බලකායට තව නයිට්වරයෙක් හොයාගන්ට අපට සිද්දවෙලා තියෙනවා."

ජොෆ්රි සිනාසුනේය. "එයාලට කියන්ට අම්මා."

"රජතුමයි රාජසභාවයි දැඩිවම තීරණය කරලා තියෙනවා, මේ මුලු රාජධානි සප්තකයේම ඉන්න මිනිස්සු අතරින් රජතුමාව ආරක්ෂා කරන්ට හොඳින්ම ගැලපෙන කෙනා එයාගෙම අංගාරන්ෂකයා සැන්ඩෝර් ක්ලිගේනුයි කියලා."

"උඹ මොකක්ද ඒ ගැන හිතන්නෙ බල්ලො?" ජොෆ්රි රජතුමා ඇසීය.

දඩබල්ලා ගේ කැළැල්වලින් වැසුනු මුහුණේ වූ හැඟීම් කියැවීම අසීරු විය. ඔහු සිය තීරණය ලබා දීම පිණිස බොහෝ වේලාවක් කල්පනා කලේය. "මොකද නැත්තෙ? මට ඉඩකඩම් නෑ. මේ වෙනුවෙන් අතඇරලා දාන්ට මට ගෑනියෙක් නෑ. මම එහෙම අතෑරලා දැම්මත් කවුද ඒ ගැන වදවෙන්නෙ?" ඔහුගේ මුහුණේ පිළිස්සුනු අඩ නැටුවේය. "ඒ වුනත් මම අනතුරු අඟවන්ට කැමැතියි. මම ඔය මලඉලවු නයිට් දිවුරුම නම් දෙන්නෙ නෑ‍."

"රාජ්‍යාරක්ෂක බලකායෙ දිවුරුම් දුන්න සහෝදරයො හැම වෙලාවෙම නයිට් කෙනෙක් වෙන්ට ඕන." සෙර් බොරෝස් තිර හඬින් කියා සිටියේය.

"මේ වෙනකං." දඩබල්ලා සිය ගොරෝසු ස්වරයෙන් කීවේය. සෙර් බොරෝස් කට වසාගත්තේ ය.

* * *

රාජදූතයා ඉදිරියට පැමිණිවිට සිය මොහොත උදා වී ඇතැයි සන්සා තේරුම් ගත්තාය. ඇය නොසන්සුන් අයුරින් සිය සාය හරි ගැස්සුවාය. මියගිය රජතුමාට කරන ගෞරවයක් වශයෙන් ඇය ශෝකය පළකරන ඇඳුමින් සැරසි හුන්නාය. එනමුදු ඒ අතරම සිය සුන්දරත්වය මනාව ඉස්මතු වී පෙනෙන'යුරින් සැරසීමට ද ඇය අමතක නොකලාය. ඇය හැඳ සිටි ගවොම රැජිණ විසින් ඇයට තෑගි වශයෙන් ලබා දුන්, ආර්යා දොඩම් ඉස්ම ඉස විනාශකර දමන ලද ඒ ඇත්දළ පැහැති සේද ඇඳුම විය. එනමුදු ඇය සායම් උලා ඒ පැල්ලම මකා දමන්නට සමත් වී තිබුනි. සුදුසු ආභරණ තෝරාගත නොහැකිව සිය ආභරණ මංජුසාව අබියස පැය ගණනක් කල්පනා කල ඇය අන්තිමේදී සරල එනමුදු කදිම, මනහර රිදී දම්වැලක් පමණක් තෝරාගෙන තිබුනාය.

රාජදූතයා‍ ගේ ස්වරය ශාලාව තුළ ගිගුම් දුන්නේය. "මෙතන ඉන්නා කිසියම් මිනිසෙකුට අපේ ස්වාමින් ඉදිරියේ තමන් ගේ යම් ගැටළුවක් ඉදිරිපත් කරන්නට උවමනා නම් දැන් එයට සුදුසු කාලයයි. දැන් කතා කරන්ට. නැත්තම් නිහඬවම ඉන්ට."

සන්සා තැතිගත්තා ය. 'දැන්!' ඇය තමාටම කියාගත්තා ය. 'මම දැන් ඒක කරන්ටම ඕන. දෙවියො මට අවශ්‍ය ධෛර්‍යය දෙන්ට.' ඇය සෙමින් එක් පියවරක් ඉදිරියට තැබුවාය. ඉන්පසු තවෙකක්. වංශාධිපතියෝ හා නයිට්වරු ඇයට යාමට ඉඩදෙනු පිණිස නිහඬවම දෙපසට වූහ. ඔවුන් ගේ දෑස් තමා මත පතිත වී ඇති ආකාරය ඇයට දැනෙන්නට විය. 'මම ම‍ගේ අම්මා වගේ ශක්තිමත් වෙන්ට ඕන.' "මගේ ස්වාමිනී." ඇය මෘදු, සැලෙන හඬින් කීවාය.

පියගැටපෙළ ඉහළ සිහසුනේ හුන් ජොෆ්රිට අන් කවරෙකුටත් වඩා හොඳින් ඇයව දැකගත හැකි විය. ඇයව දුටු මුල්ම තැනැත්තා ඔහු විය. "ඉස්සරහට එන්ට ම‍ගේ ආර්යාවනි." ඔහු සිනාමුසු මුහුණින් යුතුව කීවේය.

ඔහුගේ සිනහව ඇයට ධෛර්‍යය ලබා දුන්නේය. තමා ලස්සන හා ශක්තිමත් යැයි හැඟීමක් ඇය තුළ ඇතික‍ලේය. 'එයා මට ආදරෙයි! එයා ඇත්තටම මට ආදරෙයි!' හිස එසවූ සන්සා ඔහු දෙසට පිය මැන්නාය. 'වැඩිය හෙමින් යන්ට එපා. වැඩියම හයියෙන් යන්ටත් එපා.' තමා කෙතරම් නොසන්සුන් වී ඇත්දැයි අන්‍යයන්ට පෙන්වීමට ඇයට අවැසි නොවීය.

"ස්ටාර්ක් වංශයේ සන්සා ආර්යාව." රාජදූතයා නිවේදනය කලේය.

සිහසුන පාමුල බිම වැටී තිබුනු සෙර් බැරිස්ටාන් ගේ ශිරස්කය, පපු ඵලකය හා ධවල සළුව අසල ඇය නැවතුනාය. "ඔයාට රජතුමාගෙනුයි රාජසභාවෙනුයි මොකක් හරි ඉල්ලන්ට තියෙනවද සන්සා?" රැජිණ රාජසභික මේසයේ හිඳ ඇසුවාය.

"එහෙමයි." සන්සා බිම වැටී තිබුනු සළුව මත දණගැසුවේ සිය ගවොමේ කුණු නොගෑවෙනු පිණිසය. ඇය ඉන්පසු හිස ඔසවා බිහිසුණු, කළු පැහැ යකඩ සිහසුන මත හිඳි සිය කුමරුවා දෙස බැලීය. "ඔබතුමාගෙ කරුනාවෙන්, මම කැමැතියි මගේ තාත්තා, රජතුමාගෙ හිටපු හස්තය එඩාර්ඩ් ස්ටාර්ක් උතුමානන්ට සමාව භජනය කරන්ට කියලා ඉල්ලන්ට." ඇය මේ වදන් පෙළ සිය වරක් ප්‍රගුන කර තිබුනාය.

රැජිණ සුසුමක් හෙලුවාය. "සන්සා ඔයා මගේ බලාපොරොත්තු නැතිකරලා දානවා. මම මොකක්ද ඔයාට කිවුවෙ ද්‍රෝහියෙකුගෙ ලේ ගැන?"

"ඔබේ තාත්තා බොහොම භයානක රාජද්‍රෝහී අපරාධයක් කරලා තියෙන්නෙ මගේ ආර්යාවනි." ප්‍රධාන මේස්ටර් පයිසෙල් තිර හඬින් කියා සිටියේය.

"අනේ පුංචි අසරණ දරුවා." වාරිස් සුසුමක් හෙලුවේය. "එයා නිකංම පුංචි දරුවෙක් විතරයි මගේ උතුමනි. එයාට තේරුමක් නෑ එයා මේ මොකක් ගැනද අහන්නෙ කියලා."

සන්සා සිය දෙනෙත් ජොෆ්රි වෙතින් මුදා නොගත්තා ය. 'එයා මට ඇහුම්කන් දෙන්ට ඕනමයි. ඕනමයි.' සන්සා සිතුවාය. රජතුමා සිය ආසනයේ හරිබරි ගැසුනේය. "එයාට කතා කරන්ට ඉඩදෙන්ට. එයාට මොනවද කියන්ට තියෙන්නෙ කියලා මට අහන්ට ඕන." ඔහු අණකලේය.

"බොහොම ස්තූතියි මගේ ස්වාමිනී!" සන්සා සිනාසුනාය. ඔහු වෙනුවෙන්ම වූ ලැජ්ජාකාරී රහස් සිනහවක් පෑවාය. ඔහු ඇයට ඇහුම්කන් දෙමින් සිටියි. ඇය එය දත්තාය.

"රාජද්‍රෝහිකම කියන්නෙ බොහොම හානිකර වල් පැලෑටියක්." පයිසෙල් ගාම්භීර හඬින් නිවේදනය කර සිටි‍යේය. "ඒක උදුරලා විනාශකරලා දාන්ට ඕන. මුලයි, කඳයි, ඇටයි ඔක්කොම. එහෙම කලේ නැත්තම් පාර දිගේ හැම ගහක් ගලක් ගානෙම අලුත් ද්‍රෝහියො මෝදුවෙයි."

"ඔබ ඔබේ තාත්තගෙ අපරාධය ප්‍රතික්ෂේප කරනවද?" බේලිෂ් උතුමානන් ඇසුවේය.

"නැහැ ම‍ගේ උතුමනි." සන්සා ඊට වඩා දැනුම් තේරුම් ඇතිව සිටියාය. "මම දන්නවා එයාට දඬුවම් ලබාදෙන්ට ඕනයි කියලා. මම ඉල්ලන්නෙ අභයදානය විතරයි. මම දන්නවා මගේ තාත්තා එයා කරපු දේ ගැන පසුතැවිලි වෙන්ට ඕනයි කියලා. එයා රොබර්ට් රජතුමාගෙ යාළුවා. එයා එතුමාට ආදරේ කලා. ඔබලා හැමෝම දන්නවා එයා එතුමාට ආදරේ කලා කියලා. රජතුමා එයාගෙන් අහනකම් එයාට රජතුමාගෙ හස්තය වෙන්ට කිසිම උවමනාවක් තිබුනෙ නැහැ‍. එයාලා තාත්තට බොරු කිවුවා වෙන්ට ඕන. රෙන්ලි උතුමානන් හරි ස්ටැනිස් උතුමානන් හරි... එහෙමත් නැත්තම් වෙන කවුරු හරි. එයාලා තාත්තට බොරු කිවුවා වෙන්ටම ඕන. එහෙම නෙවෙයි නම්..."

ජොෆ්රි රජතුමා සිහසුනේ ඉදිරියට බරවූයේය. ඔහු දෑතින් අසුනේ ඇඳි අල්ලාගෙන සිටි අතර ඇඟිලි අතරින් කැඩුනු අසිපත් තුඩු ඉදිරියට නෙරා විත් තිබින. "ඌ කිවුවා මම රජතුමා නෙවෙයි කියලා. ඇයි ඌ එහෙම දෙයක් කිවුවෙ?"

"එයාගෙ කකුල කැඩිලයි තිබුනෙ." සන්සා සැනෙන් පිළිතුරු දුන්නාය. "ඒක දිගටම බොහොම වේදනා දිදියි තිබුනෙ. මේස්ටර් පයිසෙල් එයාට හැමදාම වගේ පොපි යුෂ දුන්නා. මිනිස්සු කියන්නෙ පොපි යුෂ හන්දා කෙනෙකුගෙ ඔළුව බරවෙනවයි කියලා. ඒ නිසා කෙනෙකුට හරියට හිතන්ට බැරිවෙනවයි කියලා. එහෙම නැත්තම් එයා කවදාවත් ඒ වගේ දෙයක් කියන්ට හිතන්නෙවත් නෑ."

"දරුවෙක්ගෙ බලාපොරොත්තු... කොච්චර අහිංසක කමක්ද... ඒ වුනත්, මිනිස්සු කියනවා දරුවන්ගෙ කටෙන් තමා බොහොම වෙලාවට ඥානවන්ත කතා එළියට එන්නෙ කියලා." වාරිස් කීවේය.

"රාජද්‍රෝහිකම රාජද්‍රෝහිකමමයි." පයිසෙල් පෙරලා පිළිතුරු දුන්නේය.

ජොෆ්රි නොසන්සුන් අයුරින් සිහසුන මත ඇඹරුනේය. "අම්මා?"

සෙර්සි ලැනිස්ටර් මොහොතක් සන්සා කී දේ ගැන සිතා බැලුවාය. "එඩාර්ඩ් උතුමානන්ට පුළුවන් නම් එයා කරපු අපරාධය ගැන පාපොච්චාරණයක් කරන්ට..." ඇය අන්තිමේදී කීවාය. "එතකොට අපි දන්නවා එයා කරපු අපරාධය ගැන පසුතැවෙනවා කියලා."

ජොෆ්රි සිහසුනෙන් නැගිට්ටේය. 'අනේ කරුනාකරලා!' සන්සා සිතුවාය. 'අනේ! අනේ! හොඳ කරුනාවන්ත උදාර රජකෙනෙක් විදියට මගේ හිතේ ඔයා ගැන තියෙන හැඟීම බිඳලා දාන්ට එපා. අනේ!' "ඔබට තව මොකුත් කියන්ට තියෙනවද?" ඔහු ඇගෙන් ඇසුවේය.

"ඔබතුමා මට දක්වන ආදරේ වෙනුවෙන්, මට මේ කරුනාව දක්වයි කියලා මම බලාපොරොත්තු වෙනවා මගේ කුමරුනි."

ජොෆ්රි රජතුමා ඇගේ උඩ සිට පහළට යනතෙක් නෙත් හෙලීය. "ඔබේ මේ සුන්දර වචන නිසා මට එහෙම කරන්ට හිතෙනවා." සෑම දෙයක්ම හොඳින් සිදුවන්නට යන්නේ යැයි ඇයට ඒත්තු ගන්වන්නට මෙන් ඔහු උදාර ලෙස හිස වැනුවේය. "ඔබ අහන විදියට මම කරන්නම්... ඒ වුනත් මුලින්ම ඔබේ තාත්තා පාපොච්චාරණයක් කරන්ට ඕන. එයා පාපොච්චාරණය කරන්ට ඕන. ඒ වගේම කියන්ට ඕන මම තමා නියම රජතුමා කියලා. එහෙම නැත්තම්, එයාට කිසිම අභයදානයක් ලැබෙන්නෙ නැහැ."

"එයා එහෙම කරාවි." හද උතුරා යන සතුටින් යුතුව සන්සා කීවාය. "අනේ! මම දන්නවා එයා එහෙම කරාවි."


Ser Barristan Selmy: “The Kingsguard is a Sworn Brotherhood. Our vows are taken for life. Only death may relieve the Lord Commander of his sacred trust.”

47 comments:

  1. හය්යෝ.........
    මේ වගේ මගුල් කොටසක් කියවන්න
    මේ දෑස් මක්කටද......
    හය්යෝ සන්ස....
    කෝ බොලල්ල අර ආර්යා කෙලී....
    අය්යෝ ඒ අහිංසක කෙලී ඉන්න කොටහ කපලම දැම්ම නේහ්....
    මේ පිස්සු මළ හුචක්කුව ලැහ්....

    ReplyDelete
    Replies
    1. කට්ටිය ආර්යාට මාර කැමතී නේ? කපලා නෑ. ලඟදීම එනවලු...:D

      Delete
    2. මේ මෝඩ වැස්සි සන්සත් වග කියන්න ඕනෙ මෙව්වට:(

      Delete
  2. //"රාජද්‍රෝහිකම කියන්නෙ බොහොම හානිකර වල් පැලෑටියක්." පයිසෙල් ගාම්භීර හඬින් නිවේදනය කර සිටි‍යේය. "ඒක උදුරලා විනාශකරලා දාන්ට ඕන. මුලයි, කඳයි, ඇටයි ඔක්කොම. එහෙම කලේ නැත්තම් පාර දිගේ හැම ගහක් ගලක් ගානෙම අලුත් ද්‍රෝහියො මෝදුවෙයි."//

    රාජධානි සප්තකයෙත් එහෙනං එහෙමයි ඈ.....

    සන්සා කාලෙකට පස්සෙ පොඩ්ඩක් ඔළුව පාවිච්චි කරලා වැඩ කරනවා.

    ReplyDelete
    Replies
    1. තව පස්සට ඔයිට වඩා පාවිච්චි කරන්ට වෙයි. අර වගේ මැටි කොල්ලෙකුට හිත දුන්නලුනේ...ෂිහ්...:(

      Delete
  3. හප්පා අද නම් ලංකාවේ වගේමයි .
    පව් බැරිස්ටාන් . හැබැයි එය දැනගන ඉන්ට ඇති ඕක වෙයි කියල කවද හරි

    "ඒ වුනත් මම අනතුරු අඟවන්ට කැමැතියි. මම ඔය මලඉලවු නයිට් දිවුරුම නම් දෙන්නෙ නෑ‍."
    අන්න කොල්ලෝ

    ReplyDelete
    Replies
    1. සෙර් බැරිස්ටාන් නියම පොරක්නේ
      අන්න අන්කල්ලා ..:D

      Delete
    2. @පොම්,

      කෝ කෝ කොල්ලෝ? :P

      Delete
    3. @මනෝජ්,

      අන්කල්ලා නම් දැක්කා...:D

      Delete
    4. දඩබල්ලත් කොල්ලෙක් තමා මෙයා. පොඩි කාලේ :P

      Delete
  4. ජොෆ්රි රජතුමා බබෙක් වගේනේ,සන්සා මායම් වලට අහුවේවිද ?
    සේර්සි ගේ පාට් එක හරියට සෝනියා ගාන්ධි වගේ නේ...:D

    ReplyDelete
    Replies
    1. සෙර්සි සොන්යා වගේ කිව්වා ? ???? :O
      මලා . ඔන්න අපි එහෙම නෙවයි කිව්වේ . :P

      Delete
    2. ඇයි අනේ ඉතින් රජිව් මැරුණට පස්සේ ඉතින් කොන්ග්‍රස් පක්ෂයේ නායකයා වුණා,රාහුල්ව ගෙනවා.කොටින්ම මන්මෝහන් සිං සියා රට පාලනය කෙරුවත් නිකම් පිටිපස්සේ හිටියේ සෝනියා ආන්ටි නෙමේද ?:P

      සෙර්සි වගේ කුමන්ත්‍රණ නම් කරන්නේ නැතුව ඇති...:D

      Delete
    3. @මනෝජ්,

      සෝන්යා ගාන්ධි කොච්චර හොඳ කෙනෙක්ද? :(

      Delete
    4. @පොම්,

      සෝන්යා කීවාම ලෝකේ ඉන්නේ එකම එක්කෙනෙක් නෙමේ...:P

      Delete
    5. ඔව් ඔව් සෝන්යා ගාන්ධි කියන්නෙ ලෝක ප්‍රසිද්ධ එක්කෙනෙක්නේ , සොන්යා සිංහා කියන්නෙ ජනප්‍රිය එක්කෙනෙක්නේ :)

      Delete
  5. මෙයාගෙන මට වැඩක් නැ. මං බලාගෙන ඉන්නෙ ආර්යා එනකල්..

    ReplyDelete
    Replies
    1. ඔක්කොම පිරිමි ගහගන්ට පුලුවන් ගෑනු ලමයින්ට කැමති වගේ. :D

      Delete
    2. ආර්යාවට ගුටි කෙලි පුළුවන් ලු ද ?

      Delete
  6. සංසාගෙත් තියෙන දෙයක් කපලා එලුවන්ට කන්න දැම්මොත් නරකද මොලේ ටිකක් පෑදෙන්න කියලා

    ReplyDelete
    Replies
    1. කොන්ඩේ ඔක්කොම කපලා දාමුනේ. එලුවෝ කොන්ඩේ කනවලුද? :O

      Delete
    2. මොකද කියන්නේ එළුවෙක් ගෙනත් ටෙස්ට් කරලා බලමුද?
      හැබැයි ඔය කොන්ඩේ ගාල තියන ඔක්කොම හෝදගන එන්ට ඈ . එළුවා උනත් පව් :P

      Delete
    3. කියලා වැඩක් නැහැ ඒ ගැන සෙර් පොම්.මේ ලඟදි බස් එකේ මට එහා පැත්තේ සිට් එකේ අසුන් ගෙන හිටිය ලලනාවක් ඇගේ වරලස මුදා හැරලා මගේ කටේ කෙස්.මුළු ගමනාන්තය පුරාවටම මම හිටියේ කෙස් කකා...:D

      Delete
    4. උඹ එළුවෙක් කියල හිතන්ට ඇති මචෝ :P

      Delete
  7. මන්දැක්ක කුමාරිහාමි ඒ කාලෙ සිරිසඟබෝ ස්ටුඩියෝ එකෙන් ගත්තු පින්තූරෙ බුකියෙ දාල තීනව. sweet old days නේද!

    ReplyDelete
    Replies
    1. ඔලුව තාම ස්ටුඩියෝ එකේලු. ඒ කාලෙත් ඇන්දේ ඔහොමලුද? මම හිතුවේ ඔයිට හපන් කියලා. :O

      Delete
    2. පොඩ්ඩි හරි නරකයි ,ෆෝටෝ එකේ මම ඉන්න හරියත් කපල දාලනෙ ඔයා :D

      Delete
    3. ඔයාල එච්චර පරණ යාලුවොද? මම උන්නෙ බ්ලොග් ලියන්න අරන් අඳුනගෙන කියල ( ඒ ෆොටෝ එක ගත්තු කාලෙ සිංහල බ්ලොග් කියල දෙයක් තිබුනෙ නෑනෙ, ඒකයි :P )

      Delete
    4. ඒක ගත්තේ (Wednesday, ‎December ‎31, ‎2014, ‏‎6:29:53 PM) අනේ...ඒ දවස්වල සිංහල බ්ලොග් කියලා ජාතියක් තිබුනේ නෑලුද? මතකවත් නෑ ...:P

      Delete
    5. Wednesday, ‎December ‎31, ‎2004, ‏‎6:29:53 PM

      Delete
    6. ලොකු අමාරුවක් තියෙනවලුනේ....:P

      Delete
    7. හපොයි මෙන්න මං ගියා, නිකං බැණුං හාන්නෙ මොකාටද :(

      Delete
    8. අර යසට ඉන්න ආර්යාව නාකි කරවන්ට කියන ජාආආආආතීඊඊඊඊඊඊ.
      මෙව්වා ජාත්‍යන්තර (අප්‍රිකානු) කුමන්ත්‍රන හමුදුරුවනේ .
      :p :p :p

      Delete
  8. ආයෙත් අකමැති කොටසක්. පස්සෙ එඤ්ඤං :)

    ReplyDelete
    Replies
    1. නොවැරදීම එන්ට. :P

      Delete
    2. අනේ මේ මෝඩ සන්සා මට අහු උනා නම් මම දෙන දඬුවම නම් ..........

      Delete
  9. හයියෝ ඉතින් මේවට මොනවා නම් කියන්නද?

    හා හා ඊලග ( දැන් මාරයත් නැති එකේ මමවත් කියන්න)

    ReplyDelete
    Replies
    1. එයා තාම ඇවිල්ලා නෑලුද? :O

      Delete
  10. කෝ බුරා? දැක්කෙ නෑ කාලෙකින්.

    ReplyDelete
    Replies
    1. එයා වැඩලු. මටත් කියලා තියෙන්නේ පැත්තේ එන්ට එපා කතා කරන්ටවත් කියලා. අපි නම් යයි...හී හී...

      Delete
    2. එළුවෙකුටම තමා දෙන්ට තියෙන්නේ...:P

      Delete
    3. එන්'ට' එපැයි කියන්නෙ ඌට එළිච්චියක්වත් හොයල නොදෙන යාළුවො මොටද කියල හිතෙ'ටැ'ති

      Delete
    4. එළුවා කාල වෙන්ට බෑ
      ගුල්ලෝ ගහල ඇති, පව් අහිංසක රූකඩේ

      Delete
    5. පව්නේ ගුල්ලො :D

      Delete