Wednesday, 18 February 2015

ජොන් 08-1


"උඹට දැන් හොඳයි ද ස්නෝව්?" මෝර්මන්ට් උතුමානන් පැඟිරි කරගත් මුහුණෙන් යුතුව විමසුවේය. "හොඳයි!" ඔහුගේ කපුටා කෑගැසීය. "හොඳයි!"

"එහෙමයි මගේ උතුමානනි." ජොන් බොරුවක් කීවේ එයින් තත්ත්වය යහපත් අතට හැරේයැයි සිතුවාක් මෙනි. "ඔබට කොහොමද?"

මෝර්මන්ට් බැම ඇකිළීය. "මැරිච්ච මිනිහෙක් මාව මරන්ට හැදුවා. ඉතිං කොහොමද බං මම හොඳින් වෙන්නෙ?" ඔහු සිය නිකට යට කැසුවේය. ඔහුගේ පෙර පැවැති පුළුල් අළු පැහැ රැවුල ගින්නට හසුව පිළිස්සී ගිය බැවින් ඔහුට එය බූ ගා දැමීමට සිදුවිය. අලුත වැවුනු රැවුල් කොට විසින් ඔහුට වඩාත් මහලු, ගර්භිත හා නොඉවසිලිවන්ත පෙනුමක් ලබා දී තිබුනි. "උඹ හොඳින් කියලා පේන්නෙ නම් නැහැ. කොහොමද උඹේ අත?"

"තුවාල ටික ටික හොඳ වෙනවා." වෙළුම් පටි යෙදූ සිය අතැඟිලි ඔහුට පෙනෙන සේ ජොන් අත එසැවීය. එදා අර ගිනිගත් තිර රෙදි ඔසවා විසිකරද්දී සිතුවාටත් වඩා තදින් ඔහුව පිළිස්සී තිබූ අතර දකුණත වැලමිට අසලට යනතෙක්ම වාගේ සේද රෙද්දෙන් කල වෙළුම්පටිවලින් ඔතා තිබුනි. ඒ මොහොතේදී ඔහුට කිසිවක් නොදැනුනු නමුදු පසුව පැමිණි වේදනාව දරාගත නොහැකි තරම් අතිමහත් විය. ඔහුගේ සම පිපිරී ඉස්ම ගලා එන්නට වූ අතර ඇඟිලිවල කැරපොත්තන් තරම් විසල් ලේ බිබිළි නැග එන්නට විය. "මේස්ටර් කිවුවා තුවාල කැළැල් දිගටම තියෙයි කියලා. ඒ වුනත් අත නම් කලින් තිබුන ගානටම හොඳවෙයි කියලා කිවුවා."

"තුවාල කැළැල් කියන්නෙ මහ ලොකු දෙයක් නෙවෙයි. අනික උඹ ප්‍රාකාරෙදි කොහොමත් අත්වැසුම් දාගෙනනෙ ඉන්නෙ."

"එහෙමයි මගේ උතුමානනි." ජොන් වදවූයේ මේ තුවාල කැළැල් නිසා නොවේ. වෙනත් දේ නිසාය. මේස්ටර් ඒමන් විසින් ඔහුට පොපි යුෂ ලබා දුන්නේය. එනමුදු වේදනාව ඉසිලිය නොහැකි තරම් විය. මුලදී ඔහුගේ අත දිවා රෑ නොතකා ඇදුම් දුන්නේ හරියටම එය තවමත් ගිනිදැල් වලින් වෙලී පවතින්නාක් මෙනි. හිම සහ සූරාගත් අයිස් කැබැලි පිරවූ බේසමකට අත ඔබාගෙන සිටීමෙන් පමණක් මඳ අස්වැසිල්ලක් ලබන්නට ඔහුට හැකිවිය. මේ වේදනාව නිසා තමා ඉකිබිඳිමින්, නිදි ඇ‍දේ එහාමෙහා පෙරලෙමින් සිටි අයුරු දකින්නට තමා අසල සිටියේ ගෝස්ට් පමණක් වීම ගැන ඔහු දෙවිවරුන්ට ස්තූතිවන්ත වූයේය. අන්තිමේදී නින්ද ඔහු වෙත පැමිණි විට ඔහු සිහින දකින්නට පටන්ගත් අතර එය සෑම දෙයකටම වඩා දරුණු විය. මේ සිහින තුළදී ඔහු හා පොරබැදි මළකඳට නිල් දෑසක්, කළු පැහැ දෑතක් හා සිය පියාගේ මුහුණ පිහිටා තිබුනි. එනමුදු මේ දේවල් මෝර්මන්ට් හා පවසන්නට තරම් ඔහු නිර්භය නොවීය.

"ඩිවනුයි හේකුයි ඊයෙ රෑ ආපහු ආවා. උන් දෙන්නට උඹේ බාප්පා ගැන කිසිම සලකුණක් හොයාගන්ට බැරිවෙලා. අනිත් එවුන් හොයාගත්තට වඩා වැඩියමක් නෑ."

"මම දන්නවා." සිය මිතුරන් හා එක්ව රාත්‍රී ආහාරය ගනු පිණිස ජොන් ප්‍රධාන ශාලාව වෙත ගොස් තිබුනි. මුරසංචාරකයින් ගේ අසාර්ථක මුරසංචාරය පිළිබඳ පුවත සෑම දෙනාගේම කතාබහට ලක් වූ කාරණය විය.

"උඹ දන්නවා." මෝර්මන්ට් මැසිවිලි කීවේය. "කොහොමද මෙතැන ඉන්න හැමඑකාම හැම දෙයක්ම දන්නෙ?" ඔහු මීට පිළිතුරක් බලාපොරොත්තු වූ බවක් නොපෙනුනි. "පේන විදියට නම් අර... අර සත්තු, උන් මොක්කුන් වුනත් කමක් නෑ අර සත්තු දෙන්නයි ඉඳලා තියෙන්නෙ. මම උන්ට මිනිස්සු කියලා නම් කියන්නෙ නෑ කොහොමත්ම. අපි දෙවිවරුන්ට ස්තූතිවෙන්ට ඕන උන් දෙන්නෙක් විතරක් හිටපු එක ගැන. තවත් හිටියානම්... හරි, කොහොමවුනත් උන් තව එන්ට පුළුවන්. මගේ මේ නාකි ඇටකටුවලට ඒක තේරෙනවා. මේස්ටර් ඒමනුත් ඒකට එකඟයි. සීතල හුළං වැඩිවෙනවා. ගිම්හානය ඉවරවෙලා. මේ ලෝකෙ මීට කලින් කිසිමදාක දැකලා නැති විදියෙ සීතකාලයක් එන්ටයි යන්නෙ."

'සීත කාලය එනවා.' මේ ස්ටාර්ක්වරුන් ගේ ආදර්ශ පාඨය මීට පෙර කිසිදිනෙකත් මෙතරම් ක්‍රෑර ලෙස හෝ අසුබ ලෙස හෝ ජොන්ට දැනී නොතිබුනි. "මගේ උතුමානනි." ඔහු දෙගිඩියාවකින් මෙන් ඇසීය. "උන් කියනවා ඊයෙ රෑ කපුටෙක් ආවයි කියලා."

"ආවා. ඉතින් මොකද?"

"මම හිතුවෙ මගේ තාත්තා ගැන මොකුත් ආරංචියක් ඇති කියලයි."

"තාත්තා!" මහලු කපුටා මෝර්මන්ට් ගේ දසරුවේ එහාමෙහා යමින්, හිස දෙපසට හරවමින් කෑගැසුවේය. "තාත්තා! තාත්තා!"

මෝර්මන්ට් අත ඔසවා කපුටා ගේ හොටය වසා දැමීමට තැත් දැරූ මුත් ඌ ඔහුගේ හිස මතට පැන, පියාපත් විදහා, කාමරය හරහා පියඹා ගොස්, කවුළුවක් මතට නැංගේය. ‍"දුකයි සද්දෙයි විතරයි." මෝර්මන්ට් ගෙරෙවුවේය. "එච්චරම තමා මේ කපුටො ගේන්නෙ. මම මොකට මේ දුෂ්ට කපුටා හදාගන්ට ගත්තද මන්දා... එඩාර්ඩ් උතුමානන් ගැන මොකක් හරි පණිවුඩයක් ආවානම් උඹ හිතන්නෙ නැද්ද මම උඹට එන්ට කියලා යවන්නෙ නෑ කියලා? අවජාතකයෙක් හරි මොකෙක් හරි උඹ එයාගෙ ලේ. ඒ පණිවුඩේ තිබුනෙ සෙර් බැරිස්ටාන් සෙල්මි ගැනයි. පේන හැටියට උන් එයාව රාජ්‍යාරක්ෂක බලකායෙන් අයින් කරලා. එයාගෙ තැන අර කළු බල්ලා ක්ලිගේන්ට දීලා. ඉතින් දැන් සෙල්මිව හොයනවලු රාජද්‍රෝහී අපරාධ වෙනුවෙන්. ඒ මෝඩයො එයාව අල්ලගන්ටයි කියලා නගරාරක්ෂක මුර සෙබළු ටිකක් යවලා. ඒ වුනත් එයා උන් දෙන්නෙකුත් මරලා දාලා බේරිලා පැනලා ගිහිල්ලා." මෝර්මන්ට් නහයෙන් නොරිස්සුම් හඬක් පිටකලේය. නිර්භීත බැරිස්ටාන් වැනි නම් දැරූ නයිට්වරයකු අත්අඩංගුවට ගැනීම සඳහා නගරාරක්ෂක බලකායේ සෙබළුන් යැවූ මෝඩයින් රැළ පිළිබඳ ඔහුගේ සිතේ ඇති හැඟීම එයින් මොනවට පැහැදිලි විය. "අපේ කැලෑවල සුදුපාට හෙවනැලි ඇවිදිනවා. අපේ කාමරවල මැරිච්ච මිනිස්සු ඇවිදිනවා. ඒ අස්සෙ යකඩ සිංහාසනේ පුංචි කොල්ලෙක් ඉඳගෙන ඉන්නවා." ඔහු පිළිකුලෙන් යුතුව කීවේය.

කපුටා කණ් බිහිරි කරවන හඬින් කෑගැසීය. "කොල්ලෙක්! කොල්ලෙක්! කොල්ලෙක්! කොල්ලෙක්!"

සෙර් බැරිස්ටාන් වනාහි නාකි වලහාගේ හොඳම බලාපොරොත්තුව වූ බැව් ජොන්ට සිහිපත් විය. ඔහුත් සිය තනතුරුවලින් පහත වැටුනි නම් මෝර්මන්ට් ගේ ලියුම්වලට වෙනත් කෙනෙකු අවධානය යොමු කරාවි යැයි කෙලෙස බලාපොරොත්තු තබාගන්න ද? ඔහු සිය අතැඟිලි මිට මොලොවා ගත් අතර පිළිස්සුනු අතැඟිලි වේදනාවෙන් මිරිකෙන්නට විය. "මගේ නංගිලා ගැන මොකද?"

"මේ පණිවුඩේ එඩාර්ඩ් උතුමානන් ගැනවත් එයාගෙ දුවලා ගැනවත් කිසිම ආරංචියක් සඳහන් කරලා නැහැ." ඔහු පීඩාවට ලක් වූ ස්වරයකින් දෙවුර ඇකිළීය. "සමහරවිට එයාලට මගේ ලියුම ලැබුනෙ නැතුවම වෙන්ට ඇති. ඒමන් ලියුම් දෙකක්ම යැවුවා, එයාගෙ හොඳම කපුටො දෙන්නෙක් අතේ. ඒ වුනත් කාටද කියන්ට පුළුවන්? ඊටත් වඩා මම හිතන්නෙ පයිසෙල් පිළිතුරක් එවන්ට උනන්දු වෙන්නෙ නැහැ. මේ පළවෙනි වතාව නෙවෙයි. අන්තිම වතාවත් නෙවෙයි. කින්ග්ස් ලෑන්ඩින්ග්වල ඉන්න උදවිය අපිව ගනන් නොගන්නාම ගානයි. උන් අපට කියන්නෙ අපි දැනගන්ට ඕනැයි කියලා උන් හිතන දේවල් විතරයි. ඒක බොහොම සොච්චමක්."

'ඒ වගේම ඔබ මට කියන්නෙ මම දැනගන්ට ඕනැයි කියලා ඔබ හිතන දේවල් විතරයි. ඒකත් බොහොම සොච්චමයි‍.' ජොන් නුරුස්නා ස්වරයෙන් කල්පනා කලේය. ඔහුගේ සොහොයුරා රොබ්, සිය යටත් වංශාධිපතීන් කැඳවාගෙන යුධ පිණිස දකුණුකරය බලා ගොස් තිබින. එනමුදු ඒ ගැන අංශුමාත්‍රයකවත් වදනක් ඔහුගේ සවනේ නොවැටෙන්නට ඔවුන් වගබලාගෙන තිබුනි... සෑම්වෙල් ටාර්ලි හැරෙන්නට. සෑම් එම ලිපිය මේස්ටර් ඒමන් වෙනුවෙන් කියවා තිබුනු අතර එදා රැයේ ඔහු හොර රහසේම ජොන්ට එහි වූ විස්තර අකුරක් නෑර පවසා සිටියේය. එනමුදු මේ රහස් කෙඳිරීම් අතරතුර ඔහු නොනවත්වාම කියා සිටියේ තමා විසින් මේ දේවල් ජොන්ට නොපැවසිය යුතුව තිබුනු බවයි. සිය සොයුරා ගේ යුද්ධය ඔහුට කිසිදු අදාලත්වයක් නැතැයි ඔවුන් නිසැකවම උපකල්පනය කරන්නට ඇත. එය විස්තර කරන්නටවත් නොහැකි තරම් තදින් ඔහුට වද දුන්නේය. රොබ් යුධ පිණිස යන අතර ඔහු මෙතැනට වී සිටියි‍. තමාට නියමිත ස්ථානය මෙතැන, සිය කළු සොයුරන් සමගින් ප්‍රාකාරයේ බව ඔහු අනන්ත වාරයක් තම සිතට පවසාගත් නමුදු තමා මහත් බියගුල්ලෙකිය යන හැඟුම සිතෙන් පලවා හරින්නට ඊට නොහැකි විය.

"ඉරිඟු!" කපුටා කෑගැසීය. "ඉරිඟු! ඉරිඟු!"

"ආහ්! කට වහගෙන හිටහන්." නාකි වලහා ඌට ගෙරෙවුවේය. "ස්නෝව්. ඔය පිච්චුන අතෙන් වැඩගන්ට තව කොච්චර කල් යයි කියලද මේස්ටර් ඒමන් කිවුවෙ?"

"බොහොම ඉක්මනටම."

"හොඳයි." කළු පැහැ ලෝහය මත රිදියෙන් කැටයම් වැඩ දැමූ අලංකාර කොපුවක බහා ලූ විශාල අසිපතක් මෝර්මන්ට් විසින් ඔවුන් දෙදෙනා අතරින් වූ මේසය මතුයෙහි තබනු ලැබීය. "මෙන්න. ඒ කියන්නෙ එහෙනම් උඹ දැන් මේකට ලෑස්තියි."

පියාපත් විදහූ කපුටා මේසය මතට ‍‍ගොඩ බැස්සේය. ඌ කුතුහලයෙන් හිස කරකවා බලමින් අසිපත දෙසට පැනපැන යන්නට විය. ජොන් දෙගිඩියාවෙන් මෙන් මොහොතක් බලා සිටියේය. මෙයින් අදහස් වන්නේ කුමක්දැයි ඔහුට කිසිදු අරමුණක් නොවීය. "මගේ උතුමානනි?"

"ගින්න නිසා මිටේ තිබුන රිදී බෝලෙ උණුවුනා. හරස් ආවරණයයි අල්ලුවයි පිච්චුනා. කොහොමත් ඒ පරණ ලීයි වියළි හමකුයි. වෙන මොනවද අපට බලාපොරොත්තු වෙන්ට පුළුවන්? ඒ වුනත් තලය... ඒ කඩු තලේට හානි කරන්ට ඊට වඩා දාස් ගුණයක් බලසම්පන්න ගින්දරක් ඕන." මෝර්මන්ට් මේසය මත වූ අසිපත ඉදිරියට තල්ලු කලේය. "මම අනිත් ටික අලුතෙන්ම හැදෙවුවා. ඒක ගනින්."

"ඒක ගනිං!" කපුටා පුනරුච්චාරණය කලේය. "ඒක ගනිං! ඒක ගනිං!"

ජොන් නුහුරු අන්දමින් වමතින් අසිපත ඔසවාගත්තේ ය. වෙළුම්පටි ලූ ඔහුගේ දකුණත තවමත් අනම්‍ය විය. ප්‍රවේශමෙන් අසිපත කොපුවෙන් පිටතට ගත් ඔහු එය දෑස් මට්ටමින් අල්ලාගත්තේ ය.

අසිපත් මිටෙහි කෙලවර වූ ගෝලය දිගු අසිපත් තලය සමබර කිරීම පිණිස ඊයම් යොදා බර කල ලා පැහැති ගලක් විය. එය දත් විලිස්සාගෙන සිටින වෘකයෙකු ගේ හිසේ හැඩයට කැටයම් කර තිබුනු අතර උගේ දෑස් වෙනුවට රතු රබහ මැණික් දෙකක් අල්ලා තිබුනි. අල්ලුව අලුත්ම අලුත් සුමුදු, කළු පැහැ සමින් නිමියේය. එය තවමත් දහදියෙන් හෝ රුධිරයෙන් හෝ දුෂිත වි නොතිබුනි. අසිපත් තලය ජොන් පුරුදුව සිටියාට වඩා අඩි බාගයක් පමණ දිගු එකක් විය. එය කපන්නට කොටන්නට මෙන්ම අනින්නට ද සෑදූ අසිපතකි. අසිපත් තලය මත ගැඹුරු ඇළි තුනක් කොටා තිබින. ඔහු දැන සිටි අයිස් අසිපත වනාහි දෑතින්ම එසවිය යුතු මහ අසිපතක් වූ නමුදු මෙය අත් එකහමාරක අසිපතක් විය. සමහරුන් මීට 'අවජාතක අසිපත' කියාද කියති. කෙසේ වුවද මේ වෘක අසිපත ඔහු මීට පෙර භාවිත කල සෑම අසිපතකටම වඩා සැහැල්ලු බව ඔහුට දැනින. ඔහු අසිපත පැත්තට හැරවූ අතර අඳුරු අසිපත් තලය මැද්දේ නැවත නැවතත් තලමින් පන්නරය තැබූ කුඩා රැළිති ඔහුට පහසුවෙන්ම නිරීක්ෂණය කල හැකි විය. "මේක වැලීරියන් වානේනෙ මගේ උතුමානනි." ඔහු විස්මයෙන් කීවේය. ඔහුගේ පියා සිය පවුලේ අසිපත වූ අයිස් ඔහුට නිතරම අතපත ගාන්නට දී තිබුනෙන් එහි පෙනුමත්, ස්පර්ශයත් ඔහු හොඳින්ම හඳුනන දෙයක් විය.

"ඔවු." නාකි වලහා කීවේය. "ඒක මගේ තාත්තගෙ කඩුව. එයාට කලින් එයාගෙ තාත්තගෙ. මේ කඩුව සියවස් පහක් තිස්සෙ මෝර්මන්ට්වරුන්ට අයිතිවෙලා තිබුනා. මගේ කාලෙදි මම ඒක පාවිච්චි කලා. ඊට පස්සෙ මම නිශාරැකුමට බැඳෙද්දි ඒක මගේ පුතාට පවරලා දුන්නා."

'එයා මට එයාගෙ පුතාගෙ කඩුව දෙනවා!' ජොන්ට මෙය විශ්වාස කිරීමත් අසීරු සෙයක් දැනුනි. අසිපත් තලය උත්කෘෂ්ට අයුරින් සමබර විය. ආළෝකය වැටෙද්දී එහි දාර යාන්තමින් දිදුලන්නට විය. "ඔබේ පුතා-"

"මගේ පුතා මුලු මෝර්මන්ට් පරම්පරාවටම අවනම්බු කලා. ඒ වුනත් අඩුම ගානෙ එයාට ලැජ්ජාවක් කියලා එකක් තිබුනා පැනලා යද්දි මේ කඩුව දාලා යන්ට තරම්. මගේ නංගි මට ආයෙමත් ඒක ගෙනල්ලා දුන්නා. ඒ වුනත් ඒක දකින වාරයක් වාරයක් ගානෙ මට මතක්වෙනවා ජෝරා කරපු අවනම්බුව. ඒ නිසා මම ඒක පැත්තකට දාලා ඒක අමතක කරලා දාලායි තිබුනෙ. ආයෙමත් මට ඒක හම්බවුනේ මගේ නිදන කාමරේ අළු ගොඩ අවුස්සද්දියි. ඒකෙ මුලින් තිබුන මිට රිදියෙන් කරපු වලස් ඔළුවක්. ඒ වුනත් ඒක කොච්චර ගෙවිලා තිබුනද කිවුවොත් ඒ වලහෙක් කියලා අඳුරගන්ටත් බැරි මට්ටමෙනුයි තිබුනෙ. ඒ වුනත් උඹට වඩාත්ම ගැලපෙන්නෙ සුදුපාට වෘකයෙක් කියලා මම කල්පනා කලා. අපේ එක ගොඩනංවන්නෙක් ඉන්නවා, මිනිහා බොහොම දක්ෂ ගල් වඩුවෙක්."

ජොන් කුඩා කල, බ්‍රැන්ගේ වයසේ වූ අවධියේදී, අන් ඕනෑම කුඩා කොලුවකු මෙන් උදාර කර්තව්‍යයන් කිරීමේ සිහින දුටුයේය. මේ සෑම සිහිනයක් පාසාම මේ උදාර කාර්යයන් එකිනෙකට වෙනස් විය. එනමුදු ඔහු නිතරම පාහේ දුටු එක් සිහිනයක් වූයේ තමා විසින් සිය පියාණන් ගේ දිවි ගලවාගන්නා අන්දමයි. එයින් පසු එඩාර්ඩ් උතුමානන් විසින් ජොන් නියම ස්ටාර්ක් කෙනෙකු බව ක්‍රියාවෙන්ම ඔප්පුකල බැව් නිවේදනය කර අයිස් ඔහුගේ සුරතට බාරදෙන්නේය. එනමුදු ඒ කාලයේ පවා මෙය කුඩා දරුවකු ගේ මනස්ගාතයක් බැව් ඔහු යටි සිතින් දැන සිටියේය. කිසිදු අවජාතකයකු කිසිදා සිය පියාගේ අසිපත දරන්නට සිහිනෙන් හෝ බලාපොරොත්තු නොවේ. මේ මතකය පවා ඔහුව ලැජ්ජාවට පත්කරන්නට සමත් විය‍. සිය සොයුරාගේ උපන් උරුමකම් උදුරාගන්ට සිතන්නේ කවර නම් අශිෂ්ටයෙක් ද? 'මට මේකට කිසිම අයිතිවාසිකමක් නෑ.' ඔහු සිතුවේය. 'අයිස්වලට උරුමකමක් නෑ වාගෙම මේකටත් උරුමකමක් නෑ.' ඔහු සිය පිළිස්සුනු අතැඟිලි නමන්නටත් දිගහරින්නටත් වූයේ සමට යටින් කුමක්දෝ අමුතුම අන්දමේ වේදනාවක් දැනෙන්නට වූ බැවිනි. "මගේ උතුමානනි. මේක මට ලොකු ගෞරවයක්. නමුත්-"

"උඹේ නමුත් කෑලි උඹ ගාවම තියාගනින් කොල්ලො." මෝර්මන්ට් මැද්දට පැන්නේය. "උඹයි උඹේ අර සතායි නැතිවෙන්ට මම මෙතැන මෙහෙම ඉඳගෙන ඉන්නෙ නැහැ. උඹ බොහොම නිර්භීතව සටන් කලා... ඊටත් වඩා උඹ බොහොම ඉක්මනට කල්පනා කලා. ගින්දර! ඔවු. යකාටම ගියාවෙ. අපි ඒක දැනගෙන ඉන්ට තිබුනා. අපි ඒක මතකෙ තියාගෙන ඉන්ට තිබුනා. මීට කලිනුත් මේ දීර්ඝ රාත්‍රිය ඇවිල්ලා තියෙනවා. ඇත්ත, අවුරුදු අටදාහක් කියන්නෙ දිග කාලයක් තමා... ඒ වුනත්, නිශාරැකුමත් ඒක අමතක කරලා දැම්මොත් කවුද ඒක මතක තියාගන්නෙ?"

"කවුද!" කපුටා කෑගැසීය. "කවුද!"

සැබැවින්ම දෙවිවරුන් විසින් එදා රැයේ ජොන්ගේ යාඥාවට ඇහුම්කණ් දී තිබුනි. ගින්න ඒ මළ මිනිසා වෙලාගත්තේ හරියටම ඔහුගේ සම ඉටිකිරි වූවාක් මෙනි. ඔහුගේ ඇටකටු වියළි දැව වූවාක් මෙනි. ඒ අප්‍රියජනක දේ ගිනිදැල්වලින් වෙලී ගෘහභාණ්ඩවල හැපෙමින් මෝර්මන්ට්ගේ කාමරය තුළ නලියන අන්දම මවාගැනීමට ජොන්ට දෑස් පියාගැනීම පමණක් ප්‍රමාණවත් විය. සැමටම වඩා ඔහු‍‍ගේ සිතේ හොල්මන් කලේ ඒ මුහුණයි. ගිනිරැස් වළල්ලකින් වෙලී, පිදුරු මෙන් ගිනිගන්නා හිසකෙස් සහිතව, මාංසය දියවී ඊට යටින් වූ හිස්කබල මතුවී පෙනුනු ඒ අප්‍රියජනක මුහුණයි.

ඔතෝර්ව මෙහෙයවූ අමනුෂ්‍ය බලවේගය කුමක් වුවත් එය ගිනිදළු හමුවේ පැරද පලාගොස් තිබින. අළු ගොඩ අතරින් ඔවුන්ට සොයාගැනීමට හැකිවූයේ පිළිස්සුනු මාංසයත්, අඟුරු වූ ඇටකටුත් පමණි. එනමුදු සිය සිහින තුළදී ඔහු නැවත නැවතත් ඊට මුහුණ දුන්නේය... මේ වතාවේ ඒ ගිනිගෙන දැවෙන මළමිනිය ඔහුගේ පියාගේ හැඩරුව ගෙන තිබින. ගින්නට හසුව දැවෙමින් පුපුරා ඉරිතලා ගියේ සිය පියාගේ සිරුර විය. ගින්නට හසුව උණු වී කැටිගැසුනු කඳුළු මෙන් දෙකම්මුල් දිගේ ගලා ගියේ සිය පියාගේ දෑස් විය. තමාට මෙලෙස පෙනෙන්නේ ඇයිද යන්න හෝ එයින් කියැවෙන්නේ කුමක්ද යන්න හෝ ගැන ජොන්ට කිසිදු අවබෝධයක් නොවීය. එනමුදු එය වදනින් විස්තර කල නොහැකි තරමට ඔහුව බිය වැද්දුවේය.

"මේ කඩුව කියන්නෙ මගේ ජීවිතේ වෙනුවෙන් උඹට දෙන පුංචි තෑග්ගක්. උඹට ගෙවන බොහොම පුංචි මිලක්." මෝර්මන්ට් කතාව හමාර කලේය. "ඒක නිසා ඒක ගනින්. මට තවත් ඒ ගැන මොකුත් අහන්ට ඕන නැහැ. තේරුනාද උඹට?"

"එහෙමයි මගේ උතුමානනි." අසිපත් මිටෙහි සුමුදු සම ඔහුගේ අතැඟිලිවලට යටින් කදිමට එබී ගියේ අසිපත දැනටම ඔහුගේ ග්‍රහණය හා ඒකාත්මික වූවාක් මෙනි. තමාව ගෞරවයට පාත්‍ර වූවාය යන හැඟීමක් සිත තුළ ඇති විය යුතු බැව් ඔහු දැන සිටියේය. එනමුදු...

'එයා මගේ තාත්තා නෙවෙයි!‍' මේ සිතුවිල්ල අනායාසයෙන්ම ජොන්ගේ සිත තුළට පිවිසියේය. 'එඩාර්ඩ් ස්ටාර්ක් උතුමානන් තමා මගේ තාත්තා. මම එයාව අමතක කරන්නෙ නෑ. උන් මට කඩු එකක් නෙවෙයි සීයක් දුන්නත් මම එයාව අමතක කරන්නෙ නෑ.' එනමුදු තමා සිහින දුටුයේ වෙනත් මිනිසකුගේ අසිපතක් හිමිකරගැනීම පිළිබඳව යැයි මෝර්මන්ට් උතුමානන්ට කියාගැනීම ඔහුට උගහට විය...

"මට කිසිම ආචාර සමාචාරයකුත් ඕන නැහැ." මෝර්මන්ට් දිගටම කතාකලේය. "ඒ නිසා මට ස්තූති කරන්ට හදන්ටත් එපා. උ‍ඹේ රාජකාරිය හරියට ඉටුකරලා මේ කඩුවට ගෞරවය දක්වපන්. වචනවලින් නෙවෙයි."

ජොන් හිස සැලීය. "මේකට නමක් තියෙනවද මගේ උතුමානනි?"

"එක කාලෙකනම් ඒකට නමක් තිබුනා. 'දිගුනියපහුර' එහෙමයි ඒකට කිවුවෙ."

"නියපහුර!" කපුටා කෑගැසීය. "නියපහුර!"

"දිගුනියපහුර කියන්නෙ බොහොම හොඳට ගැලපෙන නමක්." ජොන් පෙරහුරු පහරක් එල්ලකිරීමට වෑයම් කලේය. වමතින් සරඹ දැක්වීම නුහුරු මෙන්ම අපහසු කාර්යයක් බැව් ඔහුට හැඟුනි. එනමුදු මේ වානේ අසිපත් තලය වාතය හරහා සුමට අන්දමින් එහාමෙහා ගියේ හරියටම එයට තමාගේම අභිප්‍රායක් ඇත්තාක් මෙනි. "වෘකයින්ටත් නිය තියෙනවා. වලස්සුන්ට වගේම."

නාකි වලහා මේ කතාවෙන් සතුටට පත් වූ බවක් පෙනුනි‍. "මාත් හිතන්නෙ එහෙමයි කියලා. මම හිතන්නෙ උඹට ඒක උරහිසට උඩින් පළඳින්ට වෙයි. ඒක ඉණේ පළඳින්ට තරම් දිග වැඩියි. අඩුමගානෙ උඹ තව අඟල් කීපයක් උස යනකම් වත් එහෙම වෙයි. ඒ වගේම උඹට සරඹ පුරුදුවෙන්ට වෙයි, කොහොමද දෑතින්ම කඩුව අල්ලලා පහර එල්ල කරන්නෙ කියලා. උඹේ ඔය තුවාල සනීප වුනාට පස්සෙ සෙර් එන්ඩෲට පුළුවන් වෙයි උඹට පොඩි ගුරුහරුකම් ටිකක් කියලා දෙන්ට."

"සෙර් එන්ඩෲ?" ජොන් මේ නම මීට පෙර අසා නොතිබින.

"සෙර් එන්ඩෲ ටාර්ත්. හොඳ මිනිහෙක්. එයා හෙවනැලි කුළුණේ ඉඳන් මෙහාට එනවා ප්‍රධාන සටන් පුහුණුකාරයා හැටියට වැඩ බාරගන්ට. සෙර් ඇලිසර් ඊයෙ උදේ පිටත්වෙලා ගියා නැගෙනහිර කුළුණට යන්ට."

ජොන් අසිපත පහත්කලේය. "ඒ මොකද?" ඔහු මුග්ධ ස්වරයකින් ඇසුවේය.

මෝර්මන්ට් උගුරෙන් හඬක් පිටකලේය. "මොකද. මම මිනිහාව යවපු හන්දා. මොකක් නිසා කියලද උඹ හිතන්නෙ? එයා අරන් යනවා උඹේ අර ගෝස්ට් ජැෆර් ෆ්ලවර්ස්ගෙ මැණික්කටුවෙන් වෙන්කරපු අත් කෑල්ල. මම එයාට අණ කලා එයාට නැවු නැගලා කින්ග්ස් ලෑන්ඩින්ග්වලට ගිහිල්ලා අර කොලු රජා ඉස්සරහා මේ අත්කෑල්ල පෙන්නන්ටයි කියලා. මම හිතන්නෙ එතකොටවත් මේ ජොෆ්රිගෙ අවධානය මෙහාට හරවගන්ට පුළුවන් වෙයි කියලයි... අනික සෙර් ඇලිසර් කියන්නෙ නයිට්වරයෙක්. උසස් පවුලක ඉපදුන, සප්තාලේපනයෙන් අභිෂේක ලබාපු, රාජසභාවෙ පරණ යාළුවො ඉන්න මිනිහෙක්. මේ හැමදෙයක්ම නිසා මිනිහාව සාමාන්‍ය කළු කපුටෙක් කියලා නොතකා හරින එක ටිකක් අමාරුයි‍."

"කපුටෙක්!" කපුටාගේ ස්වරයේ යම් කුපිත වූ බවක් ජොන්ට දැනුනි.

"ඒ වගේම." කපුටා ගේ බාධාකිරීම් නොතකා හරිමින් මෝර්මන්ට් දිගටම කතාකලේය. "මේ වැඩේ නිසා කිසිම කලබලයක් නැතුවම, කිසිම තරවටුවක් නැතුවම එයයි උඹයි අතරේ ලීග් දාස් ගානක දුරක් ඇතිවෙනවා‍." ඔහු ජොන්ගේ මුහුණට ඇඟිල්ල දිගුකලේය. "ඒ වුනත් ඒකෙන් හිතන්ට එපා ප්‍රධාන ශාලාවෙ උඹ එදා අර නටපු ජෝගිය මම අනුමත කරනවයි කියලා. සූරවීරකම කියන්නෙ ටිකක් විතර මෝඩකමත් එක්කම යන දෙයක් තමා. ඒ වුනත් උඹ තවදුරටත් පොඩි කොල්ලෙක් නෙවෙයි. උඹේ අතේ ඔය තියෙන්නෙ මිනිහෙක්ගෙ කඩුවක්. ඒක දරන්ටත් පුළුවන් මිනිහෙකුට විතරයි. මම බලාපොරොත්තු වෙනවා මෙතැන ඉඳන්වත් උඹ ඒ හැටියට වැඩ කරයි කියලා."

"එහෙමයි මගේ උතුමානනි." ජොන් අසිපත නැවතත් කොපුවේ ලෑවේය. මේ ත්‍යාගය වෙනුවෙන් මෝර්මන්ට් විසින් තෝරාගත් අසිපත ඔහුගේ පරම්පරාගත අසිපත නොවූවද එය උදාරතර ත්‍යාගයක් වනු ඇත. ඔහුව ඇලිසර් තෝර්න්ගේ මාත්සර්‍යයෙන් මුදවාගැනීම ඊටත් වඩා උදාර කර්තව්‍යයක් විය.

නාකි වලහා සිය නිකට යට කැසුවේය. "මට අමතකම වෙලයි තිබුනෙ අලුත් රැවුලක් කොච්චර කසනවද කියලා. හරි ඒකට කරන්ට දෙයක් නැහැ. උඹේ රාජකාරි ආපහු බාරගන්ට ගරමට ඔය අත හොඳවෙලාද තියෙන්නෙ?"

"ඔවු මගේ උතුමානනි."

"නියමයි. අද රෑ සීතල වෙයි. මට ඕන හොඳට කුළුබඩු දාපු උණුසුම් වයින් කෝප්පයක්. මට හොඳ රතු වයින් මල්ලක් හොයාගනින්. ගොඩාක්ම තිත්ත එකකුත් එපා. අනිත් එක ලෝබකම් කරන්නෙ නැතුව කුළුබඩු දාපන්. ඒත් එක්කම හොබ්ට කියාපන් ඌ ආයෙමත් මට තම්බපු බැටළු මස් එවලා තිබුනොත් මම ඌව තම්බනවයි කියලා. අර අන්තිමට එවාපු මස් ගාතෙ හොඳටම පරණවෙලා. අඩුගානෙ කපුටාවත් ඒකට හොට ගැහැවුවෙ නැහැ." ඔහු මහපටැඟිල්ලෙන් පක්ෂියාගේ හිස පිරිමැදි අතර ඌ අමිහිරි හඬකින් නොනවත්වාම කරවු කරන්නට විය. "හරි. දැන් පලයන්. මට වැඩ තියෙනවා කරන්ට."


Maester Aemon: “Love is the bane of honor, the death of duty.”

28 comments:

  1. සෙහ් ජොන් එඩ්වාර්ඩ් සෙර්සි සන්සා
    පුහ් මුං ගැන අහල එපා වෙලා ඉන්නෙ කෝ අර හිච්චි කෙලී.....

    මෝර්මන්ට් නරක නෑ... අඩුම ගානෙ කපුට තරං නරක නෑ

    ReplyDelete
    Replies
    1. හිච්චි කෙලී මඟ එනවා.. පොඩ්ඩක් අල්ලගෙන ඉන්ටලා... :-)

      Delete
  2. අපේ රජ කෙනෙකුටත් කපුටො හිටියා.ඒ කපුටොත් එයා කියපු වචන කිව්වා. දැන් තාමත් කියනවා. බටහිර කුමන්ත්‍රණ බටහිර කුමන්ත්‍රන කියලා. රජාගෙ නම කියන එක තමයි දැන් කරන්නෙ ..

    ReplyDelete
    Replies
    1. කපුටා දන්නවා රජා නැතුව ඌට බඩේ බතුත් නෑයි කියලා... :-D

      Delete
    2. කපුටො හොඳ ස්කැවෙන්ජර්ස්ල

      Delete
  3. යුද්දෙට නැති කඩුව කොස් කොටන්න හරි ගන්ට තිබ්බා මෙහෙනම්,ප්‍රකාරේ මොන කොස් ද :D ?

    ReplyDelete
    Replies
    1. ප්‍රාකාරෙන් එහා හොල්මන් කැලෑවෙ නම් කොස් වැවෙනවලු.. මුර සංචාරකයො කැලේ ගියාම කඩන් එනවලු.. :-P

      Delete
  4. Replies
    1. ස්තූතියි හැමදාමත් වගේ! :-)

      Delete
  5. එතකොට ජෝරගෙ තාත්තා ප්‍රාකාරෙට එවල තියෙන්නෙ අහවල් දෙයක් කලාටද?

    ReplyDelete
    Replies
    1. එයා තමන්ගෙ කැමැත්තෙන්ම ආව එක්කෙනෙක්.. retirement plan එකක් විදියටලු.. :-O

      Delete
  6. අනෙක් ඔක්කොම ආයුධ වලට වඩා අසිපතක තියෙන විශේෂත්වය මොකක්ද?
    විද්‍යා ප්‍රබන්ධ වල පවා ඉතා දියුණු තාක්ෂනය පසෙක ලා වීරයා අසිපතකින් සටන් වදින්නේ මන්ද??

    ‘Has it ever occurred to you, Master Ninefingers, that a sword is different from other weapons? Axes and maces and so forth are lethal enough, but they hang on the belt like dumb brutes.’ He ran an eye over the hilt, plain cold metal scored with faint grooves for a good grip, glinting in the torchlight. ‘But a sword . . . a sword has a voice.’

    ජෝ ඇබක්‍රොම්බි

    ReplyDelete
    Replies
    1. By the power of greyskull... I am the POWER! ;-)

      Delete
    2. you are giving me HE MAN ?
      seriously bur?

      Delete
    3. //‘But a sword . . . a sword has a voice.’//

      The sound of which must be quite similar to Fuji's when she hears what PoM is up to here.

      Delete
    4. Fuji erupts occasionally. But the wrath is always conveyed using facial expressions. U know its serious wen the eruptions are vocalized in Japanese. :P

      Delete
    5. What's wrong with He-Man PoM? How about Thundercats then? Thunder.. Thunder.. THUNDER..... ;-)

      Delete
    6. Lord Pomraa doesn't like cats.

      Delete
    7. Never liked HE MAN. If u want an iconic sword, look no further . It's Albion, power of light and darkness.

      @pj. Yeah man I hate cats. :P

      Delete
  7. පව් නේ ජොන් , වැඩිහිටියන්ගෙ වැරදි නිසා දරුවො දුක් විඳිනවා. ඉස්සරට අපට දැනගන්න ලැබේවිද , ජොන්ගෙ අම්ම ගැන එතකොට නෙඩ්ට එයාව කොහෙදිද මුණ ගැහුනෙ එහෙම .......

    ReplyDelete
    Replies
    1. අපිට මොකටද අනේ නෙඩ්ගේ පරණ ලව්:D
      අනේ ඉතින් මේ ගැණු ළමයි හොයන්නේම මොකක් හරි අවුලක් වෙන දේවල්මනේ :D

      Delete
    2. @ Sonya,

      ඕපාදූප හොයන්නෙ නැතුවම බෑ වගේ නේද? ඒ වුනාට කියන්නෙ නම් හතර පෝයට හය හත් වතාවක් සිල්ගන්නවා කියලයි.. :-P

      Delete
    3. මේ සෝන්යා ළමයා සිල් ගන්නේ හතර පෝයට නෙමේ බුරා උපාසකතුමෝ.ප්‍රධාන පෝයවල් වලට නේ හිටං:P

      Delete
  8. හප්පේ ඇති යන්තං, නරියෙකුට උනත් පිරියක් ඇතිව කියවන්න පුළුවන් කොටසක් දාලා :)

    නිකම්ම මං මෙහෙ ඉන්නව දැකලා
    කූඩුවෙ දාගෙන හදන්න කියලා
    කාක්කො දෙන්නෙක් ගෙනැල්ල දුන්නා
    අපේ බෙන්ජි මාමා.....
    අපේ බෙන්ජි මාමා...

    ReplyDelete
    Replies
    1. කූඩුවෙ දාගෙන කේජු කවාලා
      හැදුවත් උන් දැන් පැනලා ගිහිල්ලා
      ඒක නිසා දැන් ගෝරිලි පැටියෙක්
      හොයයි මොට්ස් මාමා.....
      හොයයි මොට්ස් මාමා.....

      Delete
  9. ජෝන් ගැන වෙලාවකට දුකත් හිතෙනවා.. හැබැයි වින්ටර්ෆීල් දවසක බලාගන්න නියම සුදුස්සත් ජෝන්මයි කියලයි මට නම් හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. සුදුස්සාට සුදුසු තැන හම්බවෙන්නෙ බොහොම කලාතුරකින් නේද දිනේශ්..

      Delete