Wednesday 11 February 2015

එඩාර්ඩ් 15


සිරකුටියෙහි බිම අතුල පිදුරුවලින් මුත්‍රා ගඳ වහනය විය. එහි කිසිදු කවුළුවක්, නිදා ගැනීමට ඇඳක් හෝ මුත්‍රා කිරීමට භාජනයක් වත් ‍නොවීය. මුත්‍රා පැල්ලම්වලින් රටා ඇඳුණු ලා රත් පැහැ ගල් බිත්ති ද, අඟල් හතරක පමණ ඝනකමින් යුතු, යකඩ පතුරින් සවිමත් කල අඳුරු ලී දොරක් ද ඔහුට සිහිපත් විය. ඔවුන් ඔහුව මේ කුටිය තල්ලු කරද්දී එක් නිමේෂයකට මේ දේවල් දැකගන්නට ඔහුට හැකිව තිබින. එනමුදු ඒ එකම එක නිමේෂයකට පමණි. ඔහුට පසුපසින් මහහඬක් නගමින් දොර වැසී ගිය අතර තවදුරටත් යමක් දැකිමේ හැකියාවක් නොවීය. කුටිය සම්පූර්ණයෙන්ම අඳුරින් වැසී ගියේය. එය හරියටම ඔහු අන්ධයකු වූවාක් වැන්න.

එසේ නැතිනම් ඔහු මියගියා විය හැක. මියගොස් සිය රජතුමාත් සමගම වළලා දැමුවා විය හැක. "ආහ් රොබර්ට්!" අවට අතපත ගෑ ඔහුට සීතල ගල්බිත්තියක් හැර වෙනත් යමක් හසුනොවින. සිදුකරන සෑම චලනයක් පාසාම පාදය වේදනාවෙන් ඇදුම් කන්නට විය. උතු‍රේ ශීත රජවරුන් නොපහන් දෑසින් ඔවුන් දෙස බලා සිටිද්දී වින්ටර්ෆෙල්වල සොහොන් ගැබ් තුළදී රොබර්ට් ඔහුත් සමග කල විහිළුව නෙඩ්ට මතක්විය. 'රජතුමා කනවා. රජතුමාගෙ හස්තය පස්ස හෝදනවා!' රොබර්ට් එදා කෙතරම් සිනාසුනාද. එනමුදු ඔහු ඒ කී දේ සම්පූර්ණයෙන්ම වැරැදිය. හරි විදියට නම් එය 'රජතුමා මැරුනම රජතුමාගෙ හස්තය වළලනවා!' ලෙසින් වෙනස් විය යුතුය.

මේ සිරකුටිය රතු බලකොටුවේ ගැඹුරේම, ඔහුට සිතාගන්නටවත් නොහැකි තරම් ගැඹුරේ පිහිටි එකක් විය. කෲර මේගර් ටාර්ගේරියන් රජතුමා ගැන වූ කටකතා ඔහුට මතක් විය. මේ බලකොටුව නිමවා හමාර වූ පසු ඔහු ඊට සහභාගි වූ පෙදරේරුවන් හා වඩුවන් සියල්ල මරවා දැමූයේ බලකොටුවේ රහස් පිටට නොයනු පිණිස විය.

ඔවුන් සැවොම යකාට ගියාවේ. සුළැඟිල්ලා, ජේනස් ස්ලින්ට් හා ඔහුගේ නගරාරක්ෂකයින්, රැජිණ, රජුන් මරන්නා, පයිසෙල් හා වාරිස් හා සෙර් බැරිස්ටාන්. රජතුමා‍ ගේ සොහොයුරු රෙන්ලි උතුමානන් පවා යකාට ගියාවේ. තමාට ඔහුව උවමනාම වූ වේලාවේ ඔහු පලාගියේය. එනමුදු අන්තිමේදී ඔහු සිදුවූ සියල්ලක්ම සම්බන්ධයෙන් තමාටම චෝදනා කරගත්තේ ය. "මෝඩයා!" අන්ධකාරය තුළ මහ හඬින් කෑගසමින් ඔහු තමාටම සාප කරගත්තේ ය. "තුන් පාරක් යකාට ගිය බූරු පොට්ටයා."

අන්ධකාරය තුළ සෙර්සි ලැනිස්ටර් ගේ මුහුණ ඔහු ඉදිරියේ පාවෙන්නාක් මෙන් දැනුනි. ඇගේ කෙහෙරැළි හිරු රැස් වැටී බැබලෙමින් තිබුනු අතර ඒ සිනාවේ අවඥාවක් තැවරී තිබින. "උඹ සිහසුන් ක්‍රීඩාව කරද්දි එක්කෝ උඹ දිනනවා. නැත්තම් උඹ මැරෙනවා." ඇය මිමිනුවාය. නෙඩ් ක්‍රීඩා කල අතර ඔහු පැරදුනේය. ඔහුගේ අමන මෝඩකම් වෙනුවෙන් ඔහුගේ මිනිස්සු සිය රුධිරයෙන් වන්දි ගෙවූහ.

සිය දියණියන් දෙදෙනා ගැන සිතන්නට සිතන්නට ඔහුට මහහඬින් වැලපෙන්නට සිත්විය. එනමුදු දෑස්වලින් කිසිදු කඳුළක් පිටාර නොගැලුවේය. ඔහු තවමත් වින්ටර්ෆෙල්හි ස්ටාර්ක්වරයෙකි. ඔහුගේ ශෝකයත්, ඔහුගේ ක්‍රෝධයත් ඔහු තුළම මිදී ගල්වී ගිය සේය.

ඔහු එහා මෙහා නොවී නොසෙල්වී සිටින තාක් කල් පාදයේ ඇදුම් කෑම අඩු මට්ටමක තබාගත හැකි විය. එමනිසා ඔහු හැකිතාක් නොසෙල්වී සිටීමටම වගබලා ගත්තේය. එනමුදු ඔහු මෙසේ කෙතෙක් කල් සිටියාද යන්න නම් ඔහුට කිව නොහැකි විය. එහි හිරු එළියක් හෝ සඳ එළියක් හෝ නොවීය. බිත්තියේ සලකුණක් තැබීමට පවා කිසිදු ආලෝකයක් නොවීය. නෙඩ් සිය දෑස් පියාගෙන නැවත ඒවා විවර කල නමුදු එහි කිසිදු වෙනසක් නොවීය. ඔහු නිදාගත්තේ ය. නැගිට්ටේ ය. නැවත නිදාගත්තේ ය. මෙයින් කවරක් වඩා වේදනාකාරීද යන්න ඔහු නොදත්තේ ය. නිදාගැනීම හෝ අවදියෙන් සිටීම යන දෙකම එක ‍සේ වේදනාකාරී විය. නිදාගත් විට ඔහු සිහින දිටීය. ඒවා ඔහුව නොසන්සුන් කල, රුධිරය හා බිඳුනු පොරොන්දු ගැන කියැවෙන නපුරු සිහින විය. අවදියෙන් සිටිද්දී සිතීම හැර අන් කල හැකි යමක් නොවීය. එනමුදු ඔහුගේ මේ සිතුවිලි නපුරු සිහිනවලටත් වඩා භයානක විය. කැට් ගැන සිතීම කටු අතුළ යහනකටත් වඩා වේදනාකාරී විය‍. ඇය මේ වනවිට කොහේ කුමක් කරමින් සිටිනු ඇත්දැයි ඔහු කල්පනා කලේය. ඔහුට නැවත කෙදිනකවත් ඇයව දකින්නට නොලැබේදෝ යි ඔහු කල්පනා කලේය.

පැයෙන් පැය ගෙවී ඒවා දවස් බවට පෙරලුනි. එසේ නැතහොත් ඔහුට එසේ හැඟුනි. සිය බිඳුනු පාදයේ අමුතු වේදනාවක් ඔහුට දැනෙන්නට විය. වෙළුම්පටිවලට යටින් කසන්නට පටන්ගත්තේ ය. ඔහු සිය කලව ස්පර්ශ කල විට සම ගිනිගෙන දැවෙන්නාක් මෙන් ඇඟිලි තුඩුවලට දැනුනි. ඔහුට ඇසුනු එකම ශබ්දය සිය හුස්ම වැටීමේ හඬ පමණි. ටික කලකට පසු කුමක් හෝ හඬක් ඇසීමේ අටියෙන් ඔහු තමාටම ශබ්ද නගා කතාකරන්නට පටන්ගත්තේ ය. මනස අවුල් නොවී තබාගැනීම පිණිස ඔහු විවිධ සැලසුම් ඇන්දේය. අන්ධකාරය තුළ බලාපොරොත්තුවේ බලකොටු ගොඩනංවන්නට විය. රොබර්ට් ගේ සොහොයුරන් තවම සිටිති. නිසැකවම ඔවුහු ඩ්‍රැගන්ස්ටෝන් හා ස්ටෝර්ම්ස් එන්ඩ්හි සිට හමුදා රැස් කරනවා විය යුතුය. සෙර් ග්‍රෙගර්ට පාඩමක් ඉගැන්වූ පසු ඇලන් හා හාර්වින් ඔහුගේ සෙසු ගෘහාරක්ෂක සෙබළ මුලුවත් සමගින් නැවත කින්ග්ස් ලෑන්ඩින්ග්වලට පැමිණෙනවා ඇත. කැට්ලින්ට ආරංචිය ලැබුනු පසු ඇය උතුර නැගිට්ටවනවා ඇත. ගංගා නිම්නයේ හා ඒරින් මිටියාවතේ වංශාධිපතීන් ඇයට එක්වනවා ඇත.

තමා වඩ වඩාත් රොබර්ට් ගැන සිතමින් සිටින බැව් ඔහුට පසක් වන්නට විය. සිය දිවියේ තරුණ කාලයේදී සිටියාක් මෙන්, උස්ව, කඩවසම් පෙනුමකින් යුතුව, ගෝන අං තට්ටුවක් සවිකල සිය ශිරස්කය පැළැඳ, සිය දැවැන්ත යගදාව අතකින් ගෙන, දෙවියකු මෙන් මහානුභාවසම්පන්නව සිය අසු පිට නැග සිටි රජතුමා ගේ රුව ඔහු ඉදිරියේ මැවී ගියේය. අන්ධකාරය මධ්‍යයේ රජුගේ සිනා හඬ ඔහුට ඇසුනි. කඳුකරයේ විලක් මෙන් පැහැදිළි නිල් පැහැ ඒ දෑස් ඔහුට පෙනුනි. "බලහං අපි දෙන්නා දිහා නෙඩ්." රොබර්ට් කීවේය. "උඹ මෙතන හිරකූඩුවක. මම ඌරෙක්ගෙන් මැරුම් කෑවා. අම්මපා! අපි දෙන්නා එකතුවෙලා සිංහාසනේකුත් දින්නනෙ..."

'මම උඹව අසමත් කලා රොබර්ට්.' නෙඩ් සිතුවේය. ඔහුට ඒ වදන් මුවින් පිටකර ගත නොහැකි විය. 'මම උඹට බොරු කිවුවා. උඹෙන් ඇත්ත වසන් කලා. මම උන්ට ඉඩදුන්නා උඹව මරලා දාන්ට.'

රජතුමාට ඔහුව ඇසුනු සෙයකි. "උඹ මුරණ්ඩු මෝඩයා!" ඔහු කටුකුටු ගෑවේය. "උඹ කවදාවත් මම කියන දේකට ඇහුම්කන් දුන්නෙ නෑ. උඹට පුළුවන්ද උඹේ ඔය ආඩම්බරේ කන්ට ස්ටාර්ක්? උඹේ ඔය ගෞරවයට පුළුවන් වෙයිද උඹේ දරුවො ආරක්ෂා කරන්ට?" රජතුමා ගේ මුහුණ ඉරිතලා ගියේය. සම පුපුරා ගියේය. ඉහළට එසැවී අත දිගුකල නෙඩ් ඒ වෙස් මුහුණ ඉරා දැම්මේය. එතන තවදුරටත් රොබර්ට් නොවීය. ඒ වෙනුවට ඔහුට සමච්චලයට මෙන් විරිත්තමින් සිටි සුළැඟිල්ලා එතැන විය. ඔහු කතා කරන්නට මුව විවර කල විට එයින් පිටවූ බොරු කන්දරාව සලබයින් බවට පත් වී ඔහු වටා පියාසලන්නට විය.

* * *

ශාලාව දිගේ අඩි ශබ්ද ඇසෙද්දී නෙඩ් නින්දත් නොනින්දත් අතර පසුවිය. තමා සිහිනයක් දකිමින් සිටින්නේ යැයි ඔහු මුලින් සිතුවේය. සිය කටහඬ හැර වෙනත් ශබ්දයක් නොඇසී බොහෝ කාලයක් ගතවී තිබුනි. ඔහුට උණ ගැනී තිබුනු අතර පාදය එකම කටුක වේදනාවක් විය. ඔහුගේ දෙතොල් වියළී ඉරිතලා ගොස් තිබුනි. බරැති දැවමුවා දොර ක්‍රීක් හඬක් නංවමින් විවර වූ අතර ඇති වූ හදිසි ආලෝකය ඔහුගේ දෑසට පීඩාකාරී විය.

මුර භටයෙක් ඔහු වෙතට කොතලයක් දිගුකලේය. මැටි බඳුන සිසිල් වූ අතර එහි පිටත ජලවාෂ්ප බැඳී තිබුනි. දෝතින්ම එය ඩැහැගත් නෙඩ් මහත් ආසාවෙන් දිය ‍බොන්නට විය. ඔහුගේ මුවින් පිටතට රූරා ගිය දිය රැවුළ අතරින් පහළට ගලා බසින්නට විය. ඔහු එකදිගටම කෙතරම් දිය පානය කලාද යත් තමා අසනීප වෙන්නට එන්නාක් මෙන් ඔහුට හැඟුනි. "කොච්චර කාලයක් ද...?" තවත් දිය බී ගත නුහුනු තැන ඔහු දුබල හඬින් ඇසුවේය.

මේ මුරභටයා මීයකු ගේ වැනි මුහුණකින් ද, අවුල් වූ රැවුලකින් ද යුතු ඉතා කෙට්ටු මිනිසකු විය. ඔහු මුදු දම්වැල් සන්නාහ කමිසයක් හා සමින් නිමවූ අඩ කබායක් පැළැඳ සිටියේය. "කතා බෑ." ඔහු කීවේ නෙඩ්ගේ අතින් කොතලය උදුරාගනිමිනි.

"අනේ, කරුනාකරලා..." නෙඩ් කීවේය. "මගේ දුවලා දෙන්නා..." මහහඬක් නංවමින් දොර වැසී ගියේය. හදිසියේම නැතිව ආළෝකය නිසා නෙඩ් වේගයෙන් ඇසිපිය ගැසුවේය. ඔහුගේ හිස සෙමෙන් පහත් වී පපුව මතට කඩා හැලුනු අතර පසෙකට හැරුනු ඔහු පිදුරු මත වකුටු වූයේය. තවදුරටත් ඒවායින් මුත්‍රා ගඳක් වහනය නොවීය. එයින් තවදුරටත් කිසිදු ගඳක් වහනය නොවීය.

* * *

නිදාගැනීම හා අවදිවීම අතර වෙනස ඔහුට තවදුරටත් හඳුනා ගත නොහැකි විය. අන්ධකාරය තුළදී පැරැණි මතක ඔහු වෙත ඇදී ආයේය. ඒවා නින්දේදී දකින සිහින තරමටම විචිත්‍ර විය, පැහැදිලි විය. ඒ බොරු වසන්තයේ වසර විය. ඔහු නැවතත් අවුරුදු දහඅටක ගැටවරයකු විය. හැරෙන්හෝල්හි පැවැති තරගාවලියට සහභාගි වනු පිණිස ඔහු ඉයරිහි සිට පැමිණ සිටියේය. තණකොළවල තද කොළ පැහැය ඔහුට පෙනෙන්නාක් මෙන් විය. සුළඟේ පාවෙන මල් රේණුවල සුවඳ දැනෙන්නාක් මෙන් විය. උණසුම් දිවා කාලයන්, සිසිල් රෑ කාලයන් හා වයින්වල මිහිරි රස. බ්‍රැන්ඩන් ගේ සිනහව ඔහුට සිහිපත් විය. තරගාවලියේදී රොබර්ට් පෙන්වූ සුරුවිරුකම්, සතර අතේම ප්‍රතිවාදීන් බිම හෙලද්දී ඔහු මහහඬින් සිනාසුන'යුරු ඔහුට සිහිපත් විය. සුදු පැහැ කොරපොතු සන්නාහයකින් සැරසුනු, රන්වන් කෙස් කළඹින් යුතු ජේමි ලැනිස්ටර් නම් කොලුවා රජතුමා ගේ මණ්ඩපය අබියස තණබිස්සේ දණ නමා ඒරිස් රජතුමාව සදා රකිමියි පිළිණ දුන් සැටි ඔහුට සිහිපත් විය. එයින් පසුව සෙර් ඔස්වල්ඩ් වෙන්ට් ජේමිට නැගිට සිටිනු පිණිස අත දුන්නේය. සුදු ගොනා, රාජ්‍යාරක්ෂක බලකායේ අණදෙන නිළධාරි සෙර් ජෙරල්ඩ් හයිටවර් විසින් බලකායට හිමි සුදු සළුව සියතින්ම ජේමිගේ උරහිසට තබා ගැටගැසුවේය. සිය නවක සහෝදරයා පිළිගනු පිණිස බලකායේ නයිට්වරුන් සයදෙනාම එදින පැමිණි සිටියෝය.

එනමුදු තරග ආරම්භ වූ පසු දිනය අයත් වූයේ රේගාර් ටාර්ගේරියන්ට විය. ඔටුන්න හිමි කුමරා එදින සැරසී සිටියේ ඔහු මියගිය දා පැළැඳ සිටි අන්දමින්ම විය. දිදුලන කළු පැහැ ඵලක සන්නාහයේ පපු තහඩුව මත සිය වංශ සලකුණ වන හිස් තුනේ මකරා රතු කැටවලින් නිමවා තිබින. ඔහු අසු විහිදද්දී ඔහුට පිටුපසින් ලේ රතු පැහැ සේද සළුව සුළඟේ නැටීය. අන් කිසිදු ලන්සයකට ඔහුට කිට්ටු කිරීමටවත් නොහැකි බවක් පෙනුනි. බ්‍රැන්ඩන් ඔහුට පරාද විය. ලෝකඩ යොන් රොයිස් ඔහුට පරාද විය. උදෑසනේ අසිපත හෙවත් තේජස්වී සෙර් ආතර් ඩේන් පවා ඔහුට පරාද විය.

අවසාන වටයේදී සෙර් බැරිස්ටාන් සෙල්මිව පැරදවූ කුමරා තරගාවලියේ ශූරතාව තමා සතු කරගත්තේ ය. ඔහු පිටිය වටා යමින් නරඹන්නන්ට ආචාර කරමින් සිටින අත‍රේ රොබර්ට් ජොන් ඒරින් හා මහලු හන්ටර් උතුමානන් සමගින් කවට බස් දොඩමින් හුන්නේය. මේ සියලු සිනාවන් හා කතාවන් සැනෙන් මියගිය ඒ එක් නිමේෂය නෙඩ්ට සිහිපත් විය. රේගාර් ටාර්ගේරියන් සිය බිරිඳ වන ඩෝර්න්හි ඊලියා මාර්ටෙල් කුමරිය පසුකරමින් ගොස් 'ආලයේ හා සුන්දරත්වයේ රැජිණ' වෙනුවෙන් පිදිය යුතු කිරුළ ලියානා ගේ උකුළ මත හෙලූ ඒ නිමේෂය ඔහුට සිහිපත් විය. හිම මෙන් නිල් පැහැයෙන් දිදුල, නිල් රෝස මලින් සැදි ඒ කිරුළ නෙඩ්ට අද ඊයේ මෙන් මතකය.

සිය අත දිගුකල නෙඩ් ස්ටාර්ක් මේ මල් කිරුළ ඩැහැගැනීමට උත්සාහ කලේය. එනමුදු මේ ලා නිල් පැහැ රෝස මල් පෙති යටින් රෝස කටු සැඟවී තිබුනි. ඒවා කුරිරු අන්දමින්, තියුණු අන්දමින් සිය සම සූරනු ඔහුට දැනුනි. සිය අතැඟිලි දිගේ සෙමින් රුධිරය රූරා හැලෙනු ඔහුට පෙනුනි. ඔහු වෙවුලමින් අන්ධකාරය මධ්‍යයේ අවදිවිය.

'මට‍ පොරොන්දු වෙන්ට ‍නෙඩ්!' ඔහුගේ සොයුරිය සිය ලෙයින් පෙඟුනු මරණ මංචකයේ සිට අයැද සිටියාය. ඇය සැමදාමත් නිල් රෝස මල් සුවඳට ආලය කලාය.

"දෙයියො මට පිහිට වෙන්ට!" නෙඩ් වැළපුනේය. "මට පිස්සු හැදීගෙන එනවා."

ඔහුට පිළිතුරු දීමට තරම් දෙවිවරුන්ට වේලාවක් නොවීය.

* * *

මුරභටයා ඔහු වෙත දිය ගෙන ආ සෑම මොහොතකම තවත් දවසක් පසු වී ඇතැයි ඔහු සනිටුහන් කරගත්තේ ය. මුලදී නම් සිය දියණියන් ගැනත් සිරකුටියෙන් පිටත ලෝකය ගැනත් යමක් පවසන්නැයි ඔහු මුරභටයාගෙන් අයැද සිටියේය. එනමුදු ඔහුට පිළිතුරු වශයෙන් ලැබුනේ නොරිස්සුම් හඬක් හා පා පහරවල් පමණි. ඉන්පසු, සිය උදරය ගැටගැසී එන්නාක් මෙන් දැනෙන්නට පටන්ගත් විට ඔහු ඒ වෙනුවට ආහාර ඉල්ලා අයැදුවේය. ප්‍රතිඵලය එකම විය. ඔහුට අහර කිසිත් නොසැපයින. සමහරවිට ඔහුව නිරාහාර කොට මරා දැමීමට ලැනිස්ටර්වරුන් කල්පනා කරනවා විය හැක. "නෑ!" ඔහු තමාටම කියාගත්තේ ය. සෙර්සිට ඔහුව මරා දැමීමට උවමනා නම් ඔහුව කපා බිම හෙලනු ඇත්තේ එදා අර සිහසුන් කාමරය තුළදීමය. ඇයට ඔහුව පණපිටින් උවමනාය. දුබල, බලාපොරොත්තු විරහිත තත්ත්වයෙන් වුව පණපිටින් උවමනාය. කැට්ලින් තවමත් ඇයගේ සොහොයුරා අත්අඩංගුවේ තබාගෙන සිටියි. ඔහුව මරා දැමීමට තරම් සෙර්සි නිර්භීත නොවන අතර එසේ කලහොත් පුංචි යකාගේ ජීවිතයද කෙලවර වනු ඇත.

ඔහුගේ කුටියට පිටතින් යකඩ දම්වැල් එකට ගැටෙන හඬක් ඇසුනි. ක්‍රීක් හඬක් නංවමින් දොර විවර වෙද්දී නෙඩ් තෙත් බිත්තියට අත තබා ආළෝකය දෙසට නැඹුරු විය. පන්දම් එළියක් නිසා ඔහුගේ දෑස් ගිනිකණ වැටුනි. "කෑම." ඔහු ගොරෝසු හඬින් කෙඳිරුවේය.

"වයින්." කටහඬක් පිළිතුරු දුන්නේය. ඒ මීට පෙර පැමිණි අර මී මුහුණක් ඇති මුරභටයා නොවීය. මොහු ඒ හා සමානවම මුදු දම්වැල් සන්නාහ කමිසයක් හා අඩ කබායක් හැඳ සිටි නමුදු මිටි, තරබාරු පුද්ගලයකු විය. "බොන්ට එඩාර්ඩ් උතුමානනි." ඔහු නෙඩ්ගේ දෑතට වයින් සම් මල්ලක් දිගුකලේය.

මේ කටහඬ පුදුමාකාර ලෙස හුරුපුරුදු එකක් විය. එනමුදු සැබැවින්ම ඒ කවුදැයි හඳුනාගැනීමට නෙඩ්ට මඳ වේලාවක් ගතවිය. "වාරිස්?" ඔහු පැටලිලි ස්වරයෙන් ඇසුවේය. අත දිගුකල ඔහු මුරභටයා ගේ මුහුණ ස්පර්ශ කලේය. "මම මේ... හීනයක් දකිනවා නෙවෙයි නේද? උඹ මෙතැන." පණ්ඩකයා ගේ සුමුදු වටකුරු කම්මුල් ගොරෝසු අඳුරු රැවුල් කොටයෙන් වැසීගත්තේ ය. වාරිස් දහදිය හා වයින් ගඳ හමන, අඳුරු පැහැ මුරභටයකු බවට පරිවර්තනය වී හුන්නේය. "කොහොමද උඹ... උඹ ඇත්තටම මොන වගේ මන්තරකාරයෙක් ද?"

"පිපාසෙ හැදිච්ච එකෙක්." වාරිස් පිළිතුරු දුන්නේය. "බොන්ට මගේ උතුමානනි."

නෙඩ්ගේ අතැඟිලි වෙවුලුවේය. "මේ උන් රොබර්ට්ට දුන්න වස ජාතියම ද?"

"ඔබ මාව වැරැදියට වටහාගෙන." වාරිස් දුක්මුසු ස්වරයෙන් කීවේය. "ඇත්තටම. කිසිම කෙනෙක් නපුංසකයින්ට ආදරේ නෑ. මෙහාට දෙන්ට ඔය මල්ල." ඔහු ලොකු වයින් උගුරක් බීවේය. මුව අගින් ගිලිහුනු වයින් දහරාවක් පහතට රූරා ආයේය. "මේක අර එදා තරගාවලිය දවසෙ රෑ ඔබතුමා මට දුන්න වයින් ජාතිය තරම් උත්කෘෂ්ට එකක් නෙවෙයි. ඒ වුනත් මේකෙ වෙන කිසිම වයින් ජාතියකට වඩා වසක් නෑ." ඔහු සිය දෙතොල් පිසදැමීය. "මෙන්න."

නෙඩ් වයින් උගුරක් බීමට තැත් කලේය. "මණ්ඩි." පානය කල වයින් නැවත උගුරට එන්නාක් මෙන් ඔහුට හැඟින.

"හැම මිනිහෙක්ම මිහිරි වයින් වගේම ඇඹුල් වයිනුත් බොන්ට ඕන. උසස් වංශාධිපතියෙක් වුනත් නපුංසකයෙක් වුනත් ඒකෙ වෙනසක් නෑ. ඔබේ වෙලාව දැන් ඇවිල්ලා මගේ උතුමානනි."

"මගේ කෙල්ලො දෙන්නා..."

"පොඩි කෙල්ල සෙර් මෙරින්ගෙන් බේරිලා පැනලා ගියා. මට එයාව හොයාගන්ට බැරිවුනා. ලැනිස්ටර්ලාටත් බැරිවුනා. ඒක ‍බොහොම කරුනාවන්ත දෙයක්. අපේ අලුත් රජතුමා එයාට කොහෙත්ම කැමැති නෑ කියලා දන්නවනෙ. වැඩිමහලු කෙල්ල තාමත් ජොෆ්රිට විවාහ ගිවිසගෙනයි ඉන්නෙ. සෙර්සි එයාව බොහොම ළඟින් තියාගෙන ඉන්නෙ. එයා දැන් දවස් කීපෙකට කලින් රාජසභාවට ආවා ඔබට අභයදානය දෙන්ටයි කියලා ආයාචනා කරන්ට. ඔබ එතැන හිටියෙ නැති එක ‍ලොකු කණගාටුවක්. ඔබට එච්චරටම දුක හිතෙන්ට තිබුනා ඒක දැක්කනම්‍." ඔහු චේතනාන්විතව මෙන් ඉදිරියට නැඹුරු වූයේය. "මම හිතන්නෙ ඔබ දන්නවා ඔබ දැන් මැරිච්ච මිනිහෙක් කියලා එඩාර්ඩ් උතුමානනි?"

"රැජිණ මාව මරලා දාන එකක් නෑ." නෙඩ්ගේ හිස බමන්නාක් මෙන් විය. වයින් වර්ගය සැර එකක් විය. එමෙන්ම ඔහු දිග කලෙකින් කුසට අහරක්ද ගෙන නොතිබුනි. "කැට්... කැට් එයාගෙ සහෝදරයව අල්ලන් ඉන්නවා..."

"වැරැදි සහෝදරයා." වාරිස් සුසුමක් හෙලීය. "අනිත් එක, දැන් කොහොමවුනත් කැට්ලින් ආර්යාව ළඟ එයා නෑ. එයා පුංචි යකාට ඉඩදුන්නා එයාගෙ ඇඟිලි අතරින් ගැලවිලා පැනගන්ට. මම හිතන්නෙ මිනිහා දැන් මැරිලා. චන්ද්‍ර කඳුකරයේ කොහේහරි තැනක මැරිලා ගිහිල්ලා."

"ඒක ඇත්තක් නම් ඉතින් මගේ බෙල්ල කපලා දාලා වැඩේ අහවරයක් කරලා දාන්ට." ඔහුට වයින් මත නිසා හිස කරකැවෙන්නාක් මෙන් දැනින. එමෙන්ම ඔහු දැඩි විඩාවකින් පෙලෙමින් සිටි අතර ඔහුගේ හදවත බිඳී ගොස් තිබින.

"මට උවමනා කරන්නෙ නැතිම දේ තමා ඔබේ ලේ."

නෙඩ් රවා බැලුවේය. "උන් මගේ මිනිස්සු බල්ලො ගානට මරලා දාද්දි උඹ රැජිණ ගාවට වෙලා හිටගෙන වචනයක්වත් කතා නොකර බලාගෙන හිටියා."

"ඇත්ත. ආයෙමත් එහෙම දෙයක් වුනොත් මම ආයෙමත් එහෙමම කරයි. මට මතක හැටියට ඒ වෙලාවෙ මම නිරායුධයි. මම සන්නාහයක් ඇඳලා හිටියෙත් නෑ. ලැනිස්ටර් සෙබළු මාව වටකරගෙන හිටියෙ." පණ්ඩකයා හිස ඇළ කොට ඔහු දෙස කුතුහලාත්මක බැල්මක් හෙලුවේය. "මම පොඩි කොල්ලෙක් කාලෙ, ඒ කියන්නෙ මාව නපුංසකයෙක් කරන්ට කලින්, මම නාට්‍යකාරයො රංචුවක් එක්ක එකතුවෙලා නිදහස් නගර පුරාවටම ඇවිද්දා. උන්ගෙන් මම ඉගෙනගත්තු දෙයක් තමා නාට්‍ය ලෝකෙදි වගේම ඇත්ත ජීවිතේදීත් අපි හැමෝටම රඟපාන්ට නියමිත චරිතයක් තියෙනවා කියන එක. රාජසභාවෙදිත් ඒක එහෙම්මමයි. රජතුමාගෙ අළුගෝසුවා බිහිසුණු වෙන්ට ඕන. භාණ්ඩාගාරයේ ප්‍රධානියා සකසුරුවම් සහගත වෙන්ට ඕන. රාජ්‍යාරක්ෂක බලකායෙ අණදෙන නිළධාරිතුමා වික්‍රමාන්විත වෙන්ට ඕන... ඒ වගේම රහස් ඔත්තුකාරයින්ගෙ නායකයා කපටි වෙන්ට ඕන. නියාලු වෙන්ට ඕන. කාටවත් එයාව සැකකරන්ට අවස්ථාවක් දෙන්ට හොඳ නෑ. ධෛර්‍යසම්පන්න ඔත්තුකාරයෙක් කියන්නෙ බයගුලු නයිට්වරයෙක් තරම්ම වැඩකට නැති දෙයක්." වයින් සම් මල්ල අතට ගත් ඔහු නැවත ඉන් උගුරක් බීවේය.

නෙඩ් පණ්ඩකයා ගේ මුහුණ පිරික්සා බලන්නට විය. බොරු තුවාල කැළැල් හා බොරු රැවුලට යටින් ඇති සත්‍යය හඳුනාගැනීමට තැත්දැරීය. ඔහු තවත් වයින් උගුරක් පානය කල අතර මෙවර එය පෙරට වඩා පහසුවෙන් උගුරෙන් පහළට ගියේය. "උඹට පුළුවන්ද මාව මේ ආගාධයෙන් නිදහස් කරගන්ට?"

"මට පුළුවන්... ඒ වුනත් මම එහෙම කරයිද? නෑ. කොහොමද එහෙම වුනේ කියලා ප්‍රශ්න අහයි. එතකොට ඒකට ලැබෙන උත්තර කොහාටද එල්ලවෙන්නෙ? මා දිහාට." නෙඩ් මීට වඩා දෙයක් බලාපොරොත්තු නොවීය. "උඹ හරිම අවංකයි."

"නපුංසකයෙකුට ගෞරවය කියලා දෙයක් නෑ. ඒ වගේම රහස් ඔත්තුකාරයෙකුට තමන් දිහාට සැක එල්ලවෙන්ට ඉඩතියන්ට බෑ මගේ උතුමානනි."

"උඹ අඩුම ගානෙ මගේ පණිවුඩයක් අරන් යන්ට එකඟ වෙනවද?"

"ඒක තීරණය වෙන්නෙ යවන පණිවුඩය අනුවයි. මම බොහොම සන්තෝසෙන් ඔබට තීන්තයි කොලයි ගෙනල්ලා දෙන්නම්. ඔබ කැමැති නම්. ඔබ ඔබට උවමනා දේ ලියලා ඉවරවුනාට පස්සෙ මම ඒ ලියුම අරන් කියවලා බලනවා. ඒක අදාල කෙනාට ගිහින් බාර දෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඒක මගේ වැඩේට කොච්චර උදවුවෙනවද කියන එක මතයි‍."

"උඹේ වැඩේට? මොකක්ද ඒ උඹේ වැඩේ වාරිස් උතුමානනි?"

"සාමය." වාරිස් සැනින් පිළිතුරු දුන්නේය. "රොබර්ට් බරතියන්ව පණපිටින් තියාගන්ට උත්සාහ දරපු එක මිනිහෙක් හරි කින්ග්ස් ලෑන්ඩින්ග්වල හිටියා නම් ඒ මමයි." ඔහු සුසුමක් හෙලීය. "අවුරුදු පහළොවක් පුරාවටම මම එයාව එයාගෙ සතුරන්ගෙන් ආරක්ෂා කලා. ඒ වුනත් මට බැරිවුනා එයාව එයාගෙ මිතුරන්ගෙන් ආරක්ෂා කරගන්ට. ඔබ ජොෆ්රි කුමාරයෙ උපත ගැන ඇත්ත දැනගත්තා කියලා සෙර්සිට ගිහින් කිවුවෙ ඔබේ ඔළුවට මොන අමන මෝඩ පිස්සුවක් ගහලාද?"

"අභයදානය කියන පිස්සුව නිසා." නෙඩ් පිළිගත්තේ ය.

"ආහ්! ඇත්තෙන්ම. ඔබතුමා බොහොම උදාර, අවංක මනුස්සයෙක් එඩාර්ඩ් උතුමානනි. සමහර වෙලාවට මට ඒක අමතක වෙනවා. මගේ මුලු ජීවිත කාලෙදිම ඒ වගේ අය බොහොම ටිකදෙනයි මුනගැහිලා තියෙන්නෙ." ඔහු සිරකුටිය වටා වූ ගල් බිත්ති දෙස බැල්මක් හෙලීය. "අවංකකමයි ගෞරවයයි නිසා ඔබට හම්බවෙලා තියෙන තෑගි දැක්කහම මට හිතාගන්ට පුළුවන් ඇයි ඒ කියලා."

තමාට පිටුපසින් වූ තෙත් ගල් බිත්තියට හිස හේත්තු කරගත් නෙඩ් දෑස පියාගත්තේ ය. ඔහුගේ පාදය වේදනාවෙන් ඇදුම් කමින් තිබින. "රජතුමාගෙ වයින්... උඹ ඒ ගැන ලැන්සල්ගෙන් ප්‍රශ්න කලාද?"

"අපොයි ඔවු. අනිවාර්යයෙන්ම. සෙර්සි තමා එයාට ඒ වයින් මලු දීලා තියෙන්නෙ. දීලා කිවුවලු ඒ තමා රොබර්ට්ගෙ කැමතිම වයින් ජාතිය කියලා." පණ්ඩකයා දෙවුර ඇකිළීය. "දඩයක්කාරයෙක් ගෙවන්නෙ බොහොම උපද්‍රව සහිත ජීවිතයක්. අර වල්ඌරා රොබර්ට්ට වැඩේ දුන්නෙ නැත්තම් ඒක අශ්වයා පිටෙන් වැටීමක් වෙන්ට පුළුවන්. විසකුරු සර්ප දෂ්ටනයක් වෙන්ට පුළුවන්. අහක ගිය ඊයක් වෙන්ට පුළුවන්... වනාන්තරය කියන්නෙ දෙවිවරුන්ගෙ වධකාගාරය. රොබර්ට්ව මැරුවෙ ඒ වයින් නෙවෙයි. ඔබේ අභයදානය තමා එයාව මරලා දැම්මෙ."

නෙඩ්ද ඒ බව මේ වනවිට වටහාගෙන තිබුනි. "දෙයියො මට සමාව දෙන්ට!"

"දෙවිවරු ඉන්නවා නම්. මම හිතනවා එයාලා ඉන්නවා කියලා. කොහොම වුනත් රැජිණ තව ගොඩක් කල් බලන් ඉන්ට ඉඩක් තිබුනෙ නෑ. රොබර්ට්ව පාලනය කරන එක එන්ට එන්ටම අමාරු වීගෙන ආවා. එයාට ඕන වුනා ඉක්මනටම රොබර්ට්ගෙන් නිදහස් වෙන්ට, මොකද එතකොට එයාට කාලය හම්බවෙනවා රොබර්ට්ගෙ සහෝදරයින්ට වැඩේ දෙන්ට. ඒ දෙන්නා නියමම ජෝඩුවක් තමා. ස්ටැනිසුයි රෙන්ලියි. හරියට යකඩ අත් ආවරණයකුයි සේද අත්වැසුමකුයි වගේ." වාරිස් පිටි අත්ලෙන් සිය මුව පිසදැමීය. "ඔබ මහ මෝඩ විදියට හැසිරු‍නේ මගේ උතුමානනි. ජොෆ්රිව රජකමට පත්කරමුයි කියලා සුළැඟිල්ලා ඔබට බලකරපු වෙලාවෙ ඔබට තිබුනෙ ඒකට එකඟ වෙන්ට."

"කොහොමද... කොහොමද උඹ ඒ ගැන දන්නෙ?"

වාරිස් සිනාසුනේය. "මම දන්නවා. ඔබට දැනගන්ට අවශ්‍ය එච්චරයි. ඒ වගේම මම දන්නවා හෙට රැජිණ එනවා ඔබව මුනගැහෙන්ට."

නෙඩ් හෙමිහිට සිය දෑස් එසෙවුවේය. "ඇයි?"

"සෙර්සි ඔබ ගැන බයවෙලයි ඉන්නෙ මගේ උතුමානනි... ඒ වුනත් එයාට ඉන්නවා තව හතුරො. එයා උන්ට ඔබට වඩා බයයි. එයාගෙ ආදරණීය ජේමි මේ වෙනකොටත් ගංගා නිම්නයේ වංශාධිපතියොත් එක්ක යුද්ධ කරමිනුයි ඉන්නෙ. ලයිසා ඒරින් සෙබළු වටකරගෙන ඉයරිවලට වෙලා ඉන්නවා. එයායි රැජිණයි අතරෙ තියෙන්නෙ ආදරයක් නෙවෙයි. ඩෝර්න්වල මාර්ටෙල්ලා තාමත් අමතක කරලා නෑ ඊලියා කුමාරියි එයාගෙ දරුවො දෙන්නවයි මරලා දාපු එක ගැන. ඒත් එක්කම, දැන් ඔබේ පුතා බෙල්ලෙන් පහළට ඇවිල්ලා තියෙනවා උතුරු හමුදාවකුත් එක්ක."

"රොබ් තාමත් ‍පොඩි කොල්ලෙක්." නෙඩ් ත්‍රස්ත වෙමින් පැවසීය.

"හමුදාවක් එක්ක ආපු කොල්ලෙක්. ඒ වුනත් ඔබ කියනවා වගේ කොල්ලෙක් තමා. මේ ඔක්කොටම වඩා සෙර්සිට රෑට නින්ද යන්නෙ නැත්තෙ රොබර්ට්ගෙ සහෝදරයො ගැන කල්පනා වෙද්දියි... විශේෂයෙන්ම ස්ටැනිස් උතුමානන්. රාජධානියට එයාගෙ තියෙන උරුමකම ඇත්තම ඇත්ත එකක්. එයා බලසම්පන්න යුද්ධ අණදෙන නිළධාරියෙක් විදියට නමක් දිනාගෙන ඉන්නෙ. ඒ වගේම එයා කොහෙත්ම සමාවක් දෙන මනුස්සයෙක් නෙවෙයි. සීයට සීයක් සාධාරණ මිනිහෙක් තරම් මේ ලෝකෙ වෙන කිසිම දෙයක් භයානක නෑ. අනික කිසිම කෙනෙක් දන්නෙ නෑ ස්ටැනිස් ඩ්‍රැගන්ස්ටෝන්වලට වෙලා මොකක්ද කරේ කියලා. ඒ වුනත් මම ඔබට කැට තියලා කියන්නම් එයා සිප්පි කටු එකතු කර කර නෙවෙයි හිටියෙ. එයා හොඳ හමුදාවක් එකතු කරලා ඇති. ඉතින්, ඔන්න තියෙනවා සෙර්සිගෙ නපුරු හීනෙ. එයා‍ගෙ තාත්තයි සහෝදරයයි තමන්ගෙ බලය ස්ටාර්ක්ලයි ටලීලයි එක්ක යුද්ධ කරන්ට පාවිච්චි කරද්දි ස්ටැනිස් උතුමානන් මෙහාට ගොඩවදියි. තමන් තමා රජතුමා කියලා නිවේදනය කරයි. එයාගෙ පුතාගෙ ඔළුව රිටක අමුනයි අර ලස්සන රත්තරන් පාට බොකුටු කොණ්ඩෙත් එක්කම. එයාගෙ ඔළුවත් අමුනයි කිසිම සැකයක් නෑ. ඒ වුනත් මම ඇත්තෙන්ම විශ්වාස කරනවා සෙර්සි තමන්ගෙ පුතා ගැන තමා වැඩියෙම්ම වදවෙන්නෙ කියලා."

"ස්ටැනිස් බරතියන් තමා රොබර්ට්ගෙ නියම උරුමක්කාරයා. නීතිය අනුව සිංහාසනේ එයාටයි අයිති වෙන්ට ඕන. මම බොහොම ආසාවෙන් පිළිගන්නවා එයාගෙ නැගීම."

වාරිස් දත් අතරින් ට්ස්ස් හඬක් නැංවීය. "සෙර්සි කොහෙත්ම කැමැති වෙන එකක් නෑ ඔය ව‍ගේ කතා අහන්ට. මම මේ පෙරනිමිත්තක් කියන්නෙ. සමහරවිට ස්ටැනිස් සිංහාසනේ දිනයි. ඒත් ඔබේ ඔය දිව පරෙස්සම් කරගත්තෙ නැත්තම් එයා සිංහාසනේට නගිද්දී ප්‍රීතිඝෝෂා කරන්ට ඉතුරුවෙන්නෙ ඔබේ කුණුවෙන ඔළුගෙඩිය විතරක් වෙන්ට පුළුවන්. සන්සා බොහොම ආදරණීය විදියට ආයාචනා කලා ඔබේ අභයදානය ගැන. ඔබ ඒක පැත්තකට වීසිකරලා දැම්මොත් ඒක බොහොම ලොකු කණගාටුවක් වේවි. ඔබට ඔබේ ජීවිකය ආපහු හම්බවෙයි. හැබැයි ඔබ ඒක ගන්නවානම් විතරයි. සෙර්සි මෝඩයෙක් නෙවෙයි. එයා දන්නවා හීලෑ කරපු වෘකයෙක් කියන්නෙ මැරිච්ච වෘකයෙකුට වඩා බොහොම ප්‍රයෝජනවත් දෙයක් කියලා."

"උඹ කියන්නෙ මගේ රජතුමා මරවපු, මගේ මිනිස්සු මරවපු, මගේ පුතා අබ්බගාතයෙක් කරපු ගෑනිට සේවය කරන්ටයි කියලද?" නෙඩ්ගේ ස්වරය අවිශ්වාසයෙන් පිරී තිබින.

"මට ඕන ඔබ මේ රාජධානියට සේවය කරන්ටයි. රැජිණට කියන්ට ඔබ සූදානම් කියලා ඔබේ කුමන්ත්‍රණය ගැන පාපොච්චාරණයක් කරන්ට. ඔබේ පුතාට අණ කරන්ට ආයුධ බිමින් තියන්ටයි කියලා. බිම තියලා ජොෆ්රි තමා නියම උරුමක්කාරයා කියලා පිළිගන්ටයි කියන්ට. ස්ටැනිසුයි රෙන්ලියි කියන්නෙ රාජ්‍යය පැහැරගන්ට එන බොරුකාරයො දෙන්නෙක් කියලා නිවේදනයක් කරන්ට සූදානම් කියලා කියන්ට. අපේ මේ කොළ ඇස් තියෙන සිංහධේනුව දන්නවා ඔබ උදාර මිනිහෙක් කියලා. එයාට ඕන සාමය ඔබ එයාට දෙනවනම්, එයාට ස්ටැනිස් එක්ක හැප්පෙන්ට අවශ්‍ය තරම් කාලයක් ඔබ එයාට ‍දෙනවනම්, එයාගෙ අර රහස ඔබේ මිනීවලට යනකම්ම අරන් යනවා කියලා දිවුරනවානම්, එයා ඔබට සමාවක් දෙයි. මම විශ්වාස කරනවා එයා ඔබට අවස්ථාවක් දෙයි නිශාරැකුමට බැඳිලා ඔබේ ජීවිතේ ඉතුරු කාලෙ ඔබේ සහෝදරයයි අවජතක පුතායි එක්ක ප්‍රාකාරට වෙලා ගෙවලා දාන්ට."

ජොන් ගැන සිතත්ම නෙඩ්ගේ සිතෙහි ලැජ්ජාවක් ඇති වන්නට විය. එමෙන්ම වදනට නොපෙරලිය හැකි තරමේ කනගාටුවක් ද ඇති වන්නට විය. ඔහුට තව එක් වරක් මේ දරුවා මුනගැසිය හැකි නම්, ඔහුත් සමග වාඩි වී කතා කරන්නට අවස්ථාවක් ලැබේ නම්... ඔහුගේ බිඳුනු පාදය පුරා වේදනාවක් පැතිර යන්නට විය. ඔහු වේදනාවෙන් ඇකිළුනේය, පිළිසරණක් නොමැති අයුරින් අතැඟිලි නමන්නටත් දිග හරින්නටත් වූයේය. "මේ උඹේම සැලැස්මක් ද? එහෙමත් නැත්තම් උඹයි සුළැඟිල්ලයි දෙන්නම එකම පැත්තෙ ද?"

මේ පැනය පණ්ඩකයාව විමතියට පත් කල බවක් පෙනුනි. "ඊට වඩා හොඳයි මම කොහෝර්වල කළු එළුවව කසාද බැඳගන්නවා. සුළැඟිල්ලා තමා මේ රාජධානි සප්තකයේ ඉන්න දෙවැනියට වැඩියෙම්ම වටේ යන මනුස්සයා. මිනිහා කරන්නෙ එකක්, පෙන්නන්නෙ තව දෙයක්. ඇත්ත, මම මිනිහට තෝරගත්ත රහස් කොඳුරනවා තමා. ඒකෙන් මිනිහා හිතනවා මම එයාගෙ පැත්තෙ කියලා... ඒ වගේම මම සෙර්සිට ඉඩ දීලා තියෙනවා මම ඉන්නෙ එයාගෙ පැත්තෙ කියලා විශ්වාස කරන්ට."

"හරියට උඹ මට ඉඩදුන්නා වගේ විශ්වාස කරන්ට උඹ ඉන්නෙ මගේ පැත්තෙ කියලා. මට ඇත්ත කියපන් වාරිස් උතුමානනි. උඹ ඇත්තටම කාටද සේවය කරන්නෙ?"

වාරිස් සිහින් සිනාවක් පෑවේය. "ඇයි. මම සේවය කරන්නෙ රාජධානියට. මගේ හොඳ උතුමානනි, ඔබ කොහොමද කවමදාවත් ඒ ගැන සැකයක් ඇති කරගන්නෙ? මගේ නැතිවෙච්ච පුරුෂ ශක්තියපල්ලා මම දිවුරනවා. මම සේවය කරන්නෙ රාජධානියටයි. ඉතින් මේ රාජධාවනියට දැන් අවශ්‍ය සාමය." අවසාන වයින් උගුර පානය කල ඔහු හිස් සම් මල්ල පසෙකට විසිකලේය. "ඉතින් මොකක්ද ඔබේ උත්තරේ එඩාර්ඩ් උතුමානනි? මට ඔබේ වචනෙ දෙන්ට, හෙට රැජිණ ඔබව මුනගැහෙන්ට ආපුවහම ඔබ කියන්නෙ එයාට අහන්ට උවමනා කරන දේ විතරයි කියලා."

"මම එහෙම කලොත්, ඊටපස්සෙ මගේ වචන නිකංම නිකං හිස් සන්නාහයක් වගේ බොල් දෙයක් වෙනවා. මගේ ජීවිතේ මට එච්චර වටින්නෙ නැහැ‍."

"කොච්චර කනගාටුවට කාරනයක් ද?" පණ්ඩකයා නැගි සිටියේය. "එතකොට ඔබේ දුවගෙ ජීවිතේ මගේ උතුමානනි? ඒක කොච්චර වටිනවද?"

නෙඩ්ගේ හදවත පුරා සීතලක් දිවයන්නට විය. "මගේ දුව..."

"ඇත්තෙන්ම, ඔබ හිතුවෙ නෑ නේද මට ඔබේ අර ලස්සන, අහිංසක දුව ගැන අමතක වුනයි කියලා? රැජිණට නම් එයාව කොහෙත්ම අමතක වෙලා නෑ."

"නෑ." නෙඩ් බිඳවැටෙන ස්වරයෙන් ආයාචනා කලේය. "වාරිස්. දෙයියො අනුකම්පා කරන්ට. උඹට ඕනම දෙයක් මට කරපන්. ඒ වුනත් උඹේ සැලසුම්වලින් මගේ දුවව අහක් කරපන්. සන්සා තාම පුංචි දරුවෙක්."

"රේනිසුත් පුංචි දරුවෙක්. රේගාර් කුමාරයාගෙ දුව. හරිම අහිංසක, ලස්සන පුංචි කෙල්ලෙක්. ඔබේ දුවලා දෙන්නටම වඩා ලාබාලයි. ඔබ දන්නවද, එයාට හිටියා චූටි කළු පාට පූස් පැටියෙක්. එයා ඌට නම දාලා තිබුනෙ බැලේරියන් කියලා. මම හැමදාමත් කල්පනා කලා මේ පූස් පැටියාට මොකද වුනේ කියලා. රේනිස් හරියට ආසා කලා ඌ තමා අර අතීතෙ හිටිය ඇත්ත බැලේරියන් මකරා කියලා හිතාගෙන සෙල්ලම් කරන්ට. ඒ වුනත් මම හිතන්නෙ ලැනිස්ටර්ලා එයාට ඉගැන්නුවා මකරෙකුයි පූස් පැටියෙකුයි අතර තියෙන වෙනස මොකක්ද කියලා, උන් එයාගෙ කාමරේ දොර කඩපු දවසෙ." වාරිස් දිගු වෙහෙසකර සුසුමක් හෙලුවේය. එය හරියටම ලෝකයේ ඇති තාක් දුක් වේදනාවන් සියල්ල ගෝනියක බහා තම උර මත පටවාගත්තෙකුගේ දුක් සුසුමක් බඳු විය. "ප්‍රධාන පූජකයා මට එකපාරක් කිවුවා, අපි පවු කරන ගානෙ අපි දුක් විඳිනවා කියලා. ඒක ඇත්තක් නම් එඩාර්ඩ් උතුමානනි, මට කියන්ට... ඇයි හැමවෙලාවෙම අහිංසකයො වැඩිපුරම දුක් විඳින්නෙ? ඔබලා වගේ උසස් උත්තමයො තමන්ගෙ සිහසුන් ක්‍රීඩා කරද්දි ඇයි අහිංසකයොම දුක් විඳින්නෙ? රැජිණ එනකම් බලන් ඉන්න වෙලාවෙ ඔබට පුළුවන් කමක් තියෙනවා නම් පොඩ්ඩක් ඒ ගැනත් හිතලා බලන්ට. පොඩ්ඩක් නෙවෙයි, බොහොම ඕනෑකමින් හිතලා බලන්ට. ඒ වගේම මෙන්න මේ දේ ගැනත් හිතලා බලන්ට. ඊළඟට ඔබව බලන්ට එන අමුත්තා ඔබට කන්ට කියලා පානුයි චීසුයි, ඔබේ වේදනාව අඩුවෙන්ට කියලා පොපි යුෂයි අරන් එයි... එහෙමත් නැත්තම් එයා ඔබට සන්සාගෙ ඔළුව අරන් එයි."

"තීරණය, මගේ ආදරණීය හස්තයේ උතුමානනි, සම්පූර්ණයෙන්ම ඔබේ අතේ තමා තියෙන්නෙ."


Varys: “Why is it always the innocents who suffer most, when you high lords play your game of thrones?”

48 comments:

  1. ම්ම් මක්ක වෙන්ට යනවද මංද නෙඩ් අංකල් මේ පාරවත් ටිකක් මොළය පාවිච්චි කලොත් දෙය්යනේ කියල...
    කෝමත් ස්ටැනිස් බරතියන් විතරක් නෙවී ඛාල් ඩ්‍රෝගෝ එක්ක වුණත් හැප්පෙන එක ලේසි නැති වෙයි...
    හිහි

    ReplyDelete
    Replies
    1. ඛාල් ඩ්‍රාගෝ හා? හ්ම්ම්ම්ම්...හ්ම්ම්ම්ම්...

      Delete
  2. "තුන් පාරක් යකාට ගිය බූරු පොට්ටයා."
    'මම උඹව අසමත් කලා රොබර්ට්.'

    not very well done me lady and ser bur . sounds like a direct translation.

    "සුළැඟිල්ලා තමා මේ රාජධානි සප්තකයේ ඉන්න දෙවැනියට වැඩියෙම්ම වටේ යන මනුස්සයා."

    this is very weel done. who is the fst i wonder ? :P

    ReplyDelete
    Replies
    1. There must be more to life than sitting and wondering ...:P

      Delete
  3. "සීයට සීයක් සාධාරණ මිනිහෙක් තරම් මේ ලෝකෙ වෙන කිසිම දෙයක් භයානක නෑ. "
    මෙන්න මේ සත්‍යය නිසා තමයි එහෙම මිනිස්සු ඉක්මණටම වල පල්ලට යවන්නේ !

    ReplyDelete
    Replies
    1. හිතට දුකයි නේද සරත්...:(

      Delete
  4. නියමයි.......... වෙනදා වගේම අගෙයි.................

    ReplyDelete
    Replies
    1. වෙනදා වගේම ස්තූතියි...:)

      Delete
  5. පණ්ඩකයා මාර බඩුවක්නේ ...:D
    රජා ඌරා ඇනලා මැරුණට වඩා මැරෙන්න ඇරලා දැම්මා එහෙනම්.

    ReplyDelete
    Replies
    1. දැන් සනීපලුද? :P

      Delete
    2. චුට්ටක් විතර,බැරිද මේස්ටර් කෙනෙක්ට කියලා ප්‍රතිකාරයක් කරවා ගන්න ආර්යාවනි.

      Delete
    3. පුලුවෙනි. පුලුවෙනි. පැණි සහ පොපි යුෂ දාපු එළු කිරි එකක්...හැබැයි ඔය එක, එක්කෙනා දෙන අරිෂ්ට එහෙම බොන්ට එපා හොඳේ...:D

      Delete
  6. මම නම් හිතන්නෙ නැහැ නෙඩ් නම් කවදාවත් වාරිස් කියන ඒවා කරාවි කියල . මෝඩ කම නම් නෙඩ්ගෙ පවුලෙ හැමෝටම තියෙනවා. ඊටත් වඩා නෙඩ් සත්‍යට කැමති කෙනෙක්නෙ......

    ReplyDelete
    Replies
    1. අපේ පොම් කුමරාත් සත්යාටනම් කැමතියිලු. අනිත් ගුණාංගය ගැන මං දන්නෙ නෑ.

      Delete
    2. මොකාට කැමතියි කිව්වා??

      Delete
    3. සත්‍යාට.
      සොරි සොරි ඒක සොන්යාට කියන්න එපා කිව්ව නේද,
      සොරි හරිය

      Delete
    4. OD d on spiced rum bro?

      here, hw many fingers am i holding up?
      can u walk a line?
      hold ur hands apart and touch nose with left thumb....

      :P :P :P

      Delete
    5. I apologized didn't I?
      Hereinafter, I will obey you to the letter regarding the things you have told me not to tell Sonya ( and Fuji)

      Delete
    6. අපි කැමති අය හිටියට අපිට කැමති අය නෑලුනේ..

      Delete
    7. චූලො ඔන්න ඔය ගොරිල්ලව අල්ලල විල්බැරොවට දා ගන්. මූට ඇල්කොහොල් පොයිසනින් වෙලා වගේ. අනේ බැරි නම් බොන්ට එපා කිවුව . ඇහුවද? ඇහුවද?

      Delete
    8. හිඟුරාන ප්‍රමිතියේ බාල බඩු නිෂ්පාදනය කොරන ඔහෙලා වගේ කෂ්ටිය තමයි අරිෂ්ට පානය කරපු ගොරිල්ලන්ගේ පිස්සු වැඩ වලට වගකියන්න ඕන...

      Delete
    9. @Pra,

      Who is Sathya? I thought her name is Fuji :O

      Delete
    10. ferpectly thrue choolowf .. hic ..ශම්පූර්ණ ඇත්ත . ඒකියන්නෙ සත්‍ය... නෑ නෑ සොන්ය නේ? ම්ම්ම් ෆූජිද? මේහ්... ෆොම්ම්ම්ම්,,,, අර ලිෂ්ට් එකේ ඔක්කොම නම් මතක නෑනෙ.හික් ! පොඩ්ඩක් ඉන්න දෙකක් දාග්ගෙන එන්න

      Delete
    11. @චූලෝ,

      හරියට හරි පොමිත් දාමු නෙඩ් ඉන්න හිරගෙටම...:P

      Delete

    12. පව් අප්පා...ඔයා ඩැනීට කැමතිලුනේ? :(

      Delete
    13. @ප්‍රා,

      එයාට දිග ලිස්ට් එකක් තියෙනවලුද? දුප්පත් ජපනි...:(

      Delete
    14. @Podds, Sathya is someone Ned is hitting on according to Sonya. But ( pl don't tell anyone I told u OK?) little do Ned and Sonya know that our PoM is way ahead in that race. (I didn't tell u, right? )

      Delete
    15. බලාගෙනලා...සෝන්යාගේ ෂොප් එකේ වැඩට මාර හැන්ඩ්සම් කොල්ලෙක් ඇවිල්ලලු. දැන් වැඩිපුර මේ පැත්තේ එන්නේ නැත්තේ ඒකලු. මටත් යන්ට හිතයි සෝන්යා බලලා එන්ට. :D :D

      Delete
    16. ලිස්ට්? හෙහ් එයාට ෆයිලුත් තියනව ෂ් ෂ්

      Delete
    17. I didn't hear anything...:P

      ෆයිලුත් :O :O

      Delete
    18. 1. චූ
      හිඟුරාන නම් එපා අප්පා
      2. ගොරිල්ලා
      ජී ජී ටී එකක් චෙක් කොර ගත්ත නම්. මම හිතන්නේ දැන් නම් 500 පැනල ඇති.
      අහවල් ලිස්ට් එකක් ගැන කියවනවද මන්දා :P
      3 ලේඩි PK
      හිරේ දාන්ට ඈ . දාන්ටකෝ බලන්ට. දෙනවා ගේමක්. පනිනවා හිරෙන්. ගහනවා පිලුම් එකක් " ප්රිස්න් බ්රේක් පයිව්. වෙස්ටෙරෝස් " කියල. ඩ්වේන් ජොන්සන් ගන්නවා පොම් ගෙ පාර්ට් එක ඇට් කරන්ට. එල නේ?

      Delete
    19. හපොයි ඔයා ඒ වගේද? දැක්කාම බය හිතෙනවා...:P

      Delete
    20. The rock?? Scary??
      U mean awesome right?

      Delete
  7. දැන් ඔය 'ආලයේ හා සුන්දරත්වයේ රැජිණ' වෙනුවෙන් පිදිය යුතු කිරුළද අර කලින් තිබ්බයි කියන යුද්දෙට හේතුව වෙලා තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ලෝකේ තියෙන හැම යුද්ධයක්ම වෙන්නේ ඔය හන්දයි රන්...:)

      Delete
    2. ඔය ආලය නිසා සමහරු ලේ ඉල්ලන්නේත් :P

      Delete
  8. ඇයි දෙයියනේ හැමදාම අපි වගේ අහිංසකයින්ටම කෙලවෙන්නේ......

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් ඔයාට මොකද වෙලා තියෙන්නේ?

      Delete
  9. "මගේ නැතිවෙච්ච පුරුෂ ශක්තියපල්ලා මම දිවුරනවා."මෙතන පොඩි කොස්සක් තියෙනවා නේද.. පුරුෂ ශක්තිය නෑ කිව්වම ඒක නිකං න්‍යෂ්ථ කාමය වගේ එකක් නේද? මෙයාගේ තියෙන්නේ 3 කපපු සීන් එකක් නේ..

    ReplyDelete
    Replies
    1. කොසු ඔක්කොම යොමු කරන්ට වෙන්නේ සෙර් බුරාට. එයා මේ දවස්වල නොකා, නොබී වැඩ. ඔලුව පොඩ්ඩක් දැම්ම ගමන් අහමු. :)

      Delete
  10. හොඳ හරිය ආවාම , එන්නං ඈ ?

    ReplyDelete
    Replies
    1. මොන හරිය ආවත් නරි අල්ලන්ට බෑ. :P

      Delete
  11. මදැයි මේ මනුස්සයා හස්තයක් වෙන්න ඇවිත් කර ගත්ත දෙයක්.. වින්ටර්ෆීල්ඩ් වලට වෙලා හිටියනම් දෙයියනේ කියලා ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. මොළේ නැති පිරිමිනේ දිනේෂ්...:)

      Delete
  12. සොරි වෙන්ටෝනැ ළමායි කමෙන්ට්ස් වල‍ට රිප්ලයි කරන්ට එන්ට බැරිවුනාට..

    තෑන්ක්ස් පොඩ්ස් ආර්යාවනි! :-)

    ReplyDelete
    Replies
    1. ආ අපි හිතුවේ ගුල්ලෝ ගහල ඇති කියල :P

      Delete
    2. හිටපු ගමන් ලී රූකඩ වුනත් බිසී වෙන්ට පුළුවන් මගේ උතුමානනි.. උදේ තේ එක බීලා වැඩ කරන්ට පට්ටාන් ගත්තහම ආයෙ හැන්දෑවෙ හතරට තමා උදේටයි දවල්ටයි දෙකටම කියලා කෑම කටක් කන්නෙ..

      Delete