Monday 16 February 2015

කැට්ලින් 09-2

වෝල්ඩර් ෆ්‍රේ

කැට්ලින් ගේ පියා වරක් වෝල්ඩර් ෆ්‍රේ ගැන කියා තිබුනු අන්දමට නම් මේ රාජධානි සප්තකය පුරාවටම නිසැක වශයෙන්ම තමාගේම යැයි කිවහැකි හමුදාවක් සන්තකව තිබුනු එකම පුද්ගලයා ඔහු විය. සිය නැගෙනහිර කුළුණේ වූ ප්‍රධාන ශාලාවේදී පාලමේ අධිපතියා විසින් ඇයව පිළිගන්නට යෙදුනු විට පියා පැවසූයේ කුමක්දැයි ඇයට මනාව වැටහී ගියේය. පුතුන් විසිදෙනෙක් (මියගිය පුතුන් හා විසිඑක්වැන්නා වන සෙර් පර්වින් හැරුනු විට), මුනුබුරන් තිස්හයදෙනෙක්, මී-මුනුබුරන් දහනවදෙනෙක් හා අනන්ත ප්‍රමාණයක් වූ දියණියන්, මිනිබිරියන්, අවජාතකයින් හා අවජාතක මුනුබුරන් විසින් කැට්ලින්ව පිළිගන්නට යෙදුනි.

වෝල්ඩර් උතුමානන් වනාහි අනූවන වියෙහි වූ, ලප වැටුනු තට්ට හිසකින් යුතු, මහලුව ජරාවට ගිය, රෝස පැහැ මුගටියකු විය. මේ සැමටම අමතරව ඔහු නැගිට සිටින්නට නොහැකි තරම් වාතරක්තියෙන් පෙලෙන්නෙකු ද විය. සේවකයින් විසින් ඔහුගේ දෝලාව ඔසවාගෙන පැමිණෙද්දී ඔහුගේ නවතම බිරිය වන දහසයවන වියෙහි වූ, සුදුමැලි, කෙට්ටු තරුණිය ඒ පසෙකින් ඇවිද ආවාය. ඇය වනාහි අටවන ෆ්‍රේ ආර්යාව වූවාය.

"මෙච්චර කාලෙකට පස්සෙ ඔබව ආයෙමත් දකින්ට ලැබුන එක බොහොම ලොකු සතුටක් මගේ උතුමානනි." කැට්ලින් කීවාය.

මහලු මිනිසා සිය වපරැසින් ඇය දෙස සැකමුසු බැල්මක් හෙලුවේය. "එහෙමද? මට ඒක සැකයි. ඔය ලස්සන වචන ඔබ ගාවම තියාගන්ට කැට්ලින් ආර්යාවනි. ඒවට මම නාකි වැඩියි. ඔබ මොනාද මෙහෙ කරන්නෙ? ඇයි ඔබේ කොල්ලා මෙහාට එන්ට බැරි තරම් ආඩම්බර වැඩිද? ඔබත් එක්ක මම මොකක් කරන්ට ද?"

අවසන් වරට ද්විත්ව බලකොටුවට පැමිණෙද්දී කැට්ලින් කුඩා දැරියක වූවාය. එනමුදු ඒ කාලයේ පවා වෝල්ඩර් උතුමානන් වනාහි ඉක්මනින් කිපෙන, කටට එන දේ කියන, කිසිදු චාරිත්‍රයක් නොහඳුනන්නකු විය. පෙනෙන අන්දමට නම් මහලු වයස විසින් මේ ගතිපැවතුම් පෙරටත් වඩා නරක අතට හරවා තිබුනි. ඇය ප්‍රවේශමෙන් සිය වදන් තෝරාගත යුතුවිය. එමෙන්ම ඔහුව තරහ නොගැස්සවීමට ද වගබලාගත යුතු විය.

"තාත්තා." සෙර් ස්ටෙව්රන් අවලාදාත්මක ස්වරයෙන් කතාකලේය. "ඔබට අමතක වෙලා හැඩයි. ස්ටාර්ක් ආර්යාව මෙහාට ඇවිල්ලා ඉන්නෙ ඔබේම ආරාධනාවක් උඩයි."

"මම උඹෙන් ඇහුවද? උඹ තාමත් ෆ්‍රේ උතුමානන් නෙවෙයි. මම මැරෙනකම් ඒක එහෙම නෙවෙයි. උඹට පේන්නෙ මම මැරිලා වගේද? මට උඹෙන් කිසිම උපදෙසක් ඕන නෑ."

"අපේ මේ ගෞරවනීය ආගන්තුකයා ඉස්සරහා ඔ‍හොම කතාකරන එක හොඳ නෑ තාත්තා." ඔහුගේ තරුණ පුතෙක් මෙවිට කතා කලේය.

"ඒ ගමන මගේ අවජාතකයොත් මට උපදෙස් දෙන්ට එනවා ආචාරශීලීත්වය ගැන." මහල්ලා පැමිණිලි ස්වරයෙන් කීය. "මට කැමැති විදියකට මම කතා කරනවා. උඹලා යකාටම ගියාවෙ! මගේ ජීවිත කාලෙ ඇතුළෙ මම මේ වහල යට රජවරු තුන්දෙනෙකුට ආගන්තුක සත්කාර කරලා තියෙනවා. උඹ හිතනවද මට උඹලා වගේ එවුන්ගෙන් ඒ ගැන උපදෙස් ගන්ට ඕනයි කියලා රිගර්? උඹේ අම්මව මම ඇඳට ගන්නකොට ඒකි එළුවන්ගෙන් කිරි දොවන කෙල්ලක්." අසුරු ගැසීමකින් මේ රත් පැහැ ගත් මුහුණින් යුතු තරුණයා ඉවත හල ඔහු වෙනත් පුතුන් දෙදෙනෙකුට සන් කලේය. "ඩැන්වෙල්, වේලන්, මට මේ පුටුවට නගින්ට උදවු වෙයල්ලා."

වෝල්ඩර් උතුමානන්ව සිය දෝලාවෙන් පිටතට ගත් ඔවුහු ඔහුව ෆ්‍රේවරුන් ගේ උස් ආසනය වෙත කැඳවාගෙන ගියහ. එය කළු පැහැ ඕක් ලීයෙන් නිමකල උස් අසුනක් වූ අතර එහි පිටුපස ඇන්ද පාලමකින් එකට සම්බන්ධ වූ ද්විත්ව බලකොටුවක හැඩයට කැටයම් කර තිබුනි. ඔහුගේ තරුණ බිරිය බයාදු ලෙස ඉදිරියට ‍ගොස් ඔහුගේ දෙපා පොරෝණයකින් වසා දැමුවාය. අසුනේ හරිබරි ගැසුනු පසු කැට්ලින්ට ඉදිරියට එන්නැයි අතින් සන් කල මහල්ලා ඇගේ සුරත මත වියළි හාදුවක් තබමින් ඇයව පිළිගත්තේ ය. "ඔන්න හරි. දැන් මම ඔබව නියම චාරිත්‍රානුකූලව පිළිගත්තාට පස්සෙවත් මගේ ආර්යාවනි, මගේ පුත්තු උන්ගෙ ඔලමොල කටවල් වහගෙන ඉඳියි කියලා මම හිතනවා. ඇයි ඔබ මෙහෙ ආවෙ?"

"ඔබේ ගේට්ටු විවෘත කරන්ටයි කියලා අහන්ටයි මගේ උතුමානනි.." කැ‍ට්ලින් ආචාරශීලී අයුරින් පිළිතුරු දුන්නාය. "මගේ පුතයි, එයාගෙ යටත් වංශාධිපතියොයි බොහොම උනන්දුවෙන් බලන් ඉන්නවා පාලමෙන් එගොඩවෙලා එයාලගෙ ගමන යන්ට."

"රිවර්රන්වලට වෙන්ටැති." ඔහු අවඥාවෙන් මෙන් හිකි හිකි ගා සිනාසුනේය. "ආහ්! මට කියන්ට ඕන නෑ. කියන්ට ඕන නෑ. මම තාම අන්ධ වෙලා නෑ. මේ නාකියාට තාමත් පුළුවන් සිතියමක් කියවන්ට."

"රිවර්රන්වලට තමා‍." කැට්ලින් තහවුරු කලාය. එය ප්‍රතික්ෂේප කිරීමේ කිසිදු අවැසිතාවක් ඇයට නොපෙනුනි. "ඔබත් එහෙ ඇතියි කියලයි මම බලාපො‍රොත්තු වුනේ මගේ උතුමානනි. ඔබ තාමත් මගේ තාත්තගෙ යටත් වංශාධිපතියෙක්. එහෙම නේද?"

"හෙහ්!" වෝල්ඩර් උතුමානන් ගේ මුවින් පිටවින. එය සිනහවක් හා නොරිස්සුමින් කල ගෙරවීමක් අතරමැදි දෙයක් විය. "මම මගේ සෙබළු රැස් කලා. ඔවු මම එහෙම කලා. උන් මෙහෙ ඉන්නවා. ඔබ දැක්කා උන් පවුර දිගටම ඉන්නවා. මගේ මුලු ශක්තියම එක්කහු වුනාට පස්සෙ එහාට යන්ටයි මම සූදාණම් වෙලා හිටියෙ. ඇත්තම කියනවා නම්, මගේ පුතාලා යවන්ට. මම අශ්වයො පිටේ ගිය කාලෙ ඉවරයි කැට්ලින් ආර්යාවනි." තම මතය තහවුරු කරන්නට මෙන් වටපිට බැලූ ඔහු උසැති, කුදු ගැසුනු, පනස් වියැති මිනිසකු ඇමතීය. "එයාට කියහන් ජැරඩ්. එයාට කියහන් ඒක තමා මම කරන්ට බලාපොරොත්තු වෙලා හිටියෙ කියලා."

"ඒක ඇත්ත මගේ ආර්යාවනි." ඔහුගේ දෙවන බිරිඳගෙන් ලද පුතෙකු වූ සෙර් ජැරඩ් ෆ්‍රේ කීවේය. "මම මගේ ගෞරවයේ නාමයෙන් දිවුරන්නම්."

"අපි හමුදාවත් අරන් එහාට යන්ට කලින් ඔබේ මෝඩ මල්ලි යුද්ධෙන් පැරදුන එක ම‍ගේ වැරැද්දක් ද?" සිය අසුනේ පිටුපසට ඇලවුනු ඔහු ඇය දෙස තරහින් රවා බැලීය. එය හරියටම සිදුවූයේ මේ යැයි ඔහු පවසන දේ ගැන වාදයට එන්නැයි ඇයට අභියෝග කරන්නාක් බඳු විය. "මට අහන්ට ලැබුනා රජුන් මරන්නා එයාගෙ හමුදාව හරහා ගියේ හරියට පොරවක් චීස් කපාගෙන යනවා වගේ කියලා. මොකටද මගේ කොල්ලො ඉක්මනින් දකුණට යන්නෙ, නිකන් මැරෙන්ට ද? දකුණට ගිය එවුවො හැමෝම දැන් ආපහු උතුරට දුවගෙන එනවා."

මේ නාකි පොරකුකුළා හමගසා ගිනි උඳුනක ලා පලහන්නට ලැබුනි නම් කැට්ලින් එය සතුටින් භාරගන්නවා නිසැක විය. එනමුදු මේ පාලම විවර කරගන්නට ඇයට කාලය ඇත්තේ අද සන්ධ්‍යාව වනතෙක් පමණි. එබැවින් ඇය සන්සුන් ස්වරයෙන් මෙසේ කීවාය. "ඒ නිසාම තමා අපි ඉක්මනින්ම රිවර්රන්වලට යන්ට ඕන. අපට කතා කරන්ට කොහාටද යන්ට පුළුවන් මගේ උතුමානනි?"

"අපි දැනුත් කතා කරනවානේ." ෆ්‍රේ උතුමානන් චෝදනාත්මක ස්වරයෙන් කීය. ලප වැටුනු රෝස පැහැ තට්ට ගෙඩිය දසත හැරවුනි. "බොලා මොනා දිහාද කට ඇරන් බලන් ඉන්නෙ?" ඔහු සිය පවුලේ අයට සැර කලේය. "මෙතැනින් අහකට පලයල්ලා. ස්ටාර්ක් ආර්යාවට මගෙත් එක්ක පුද්ගලිකව කතා කරන්ට ඕනලු. සමහරවිට එයාට මගෙ විශ්වාසය ගැන ප්‍රශ්න කරන්ට ඕන වෙලා ඇති. හෙහ්. පලයල්ලා. උඹලා හැමෝම. ගිහිල්ලා කරන්ට වැඩක් ඇති වැඩක් හොයාගනිල්ලා. ඔවු ඔවු, උඹලාත්. ගෑනු ඔක්කෝමලත්. පලයල්ලා. දුවපල්ලා. දුවපල්ලා." ඔහුගේ පුතුන් ද, මුනුබුරන් ද, දියණිවරුන් ද, අවජාතකයින් ද, ලේලිවරුන් හා බෑණාවරුන් ද එක පොදියට ශාලාවෙන් පිටවෙද්දී ඔහු කැට්ලින් දෙසට නැඹුරු විය. "උන් හැමෝම බලන් ඉන්නෙ මම මැරෙනකම්. ස්ටෙව්රන් දැන් අවුරුදු හතලිහක් තිස්සෙ බලන් ඉන්නවා. ඒ වුනත් මට තාමත් පුළුවන් වෙලා තියෙනවා මිනිහගෙ බලාපොරොත්තු බිඳලා දාන්ට. හෙහ්! මම මොකටද මැරෙන්නෙ ඌට නිකංම උතුමානන් කෙනෙක් වෙන්ට ඉඩ ඇරලා? මම ඔබෙන් අහන්නෙ. මම ඒ වැඩේ කරන්නෙ නෑ."

"මම හොඳටම විශ්වාසයි ඔබ අවුරුදු සීයක් ජීවත් වෙයි කියලා."

"උන්ගෙ ඇඟේ මාළු නටයි නේද? ඒක නම් හොඳටම විශ්වාසයි. හොඳයි. දැන් ඔබට මොනාද කියන්ට තියෙන්නෙ?"

"අපට පාලමෙන් එගොඩ වෙන්ට ඕන."

"ආහ්! ඇත්තට? ඒක හරි මොට්ට කතාවක්නෙ. මම මොකටද ඔබලාට එගොඩ වෙන්ට දෙන්නෙ?"

එක් මොහොතකට ඇගේ වියරුව උතුරා ගියේය. "ඔබේ මුරකපොලුවලට ගිහින් හිටගෙන බලන්ට තරම් ඔබ ශක්තිමත් නම් ෆ්‍රේ උතුමානනි, ඔබට දකින්ට පුළුවන් වෙයි මගේ පුතා ඔබේ ප්‍රාකාරවලට එපිටින් විසිදාහක හමුදාවක් රඳවලා තියෙනවා."

"ටයිවින් උතුමානන් මෙහාට ආවහම උන් අලුත් මළකඳන් විසිදාහක් වේවි." මහල්ලා පෙරලා පිළිතුරු දුනි. "මාව බය කරන්ට හිතන්ට එපා මගේ ආර්යාවනි. ඔබේ සැමියා රාජද්‍රෝහියෙක් විදියට හංවඩු ගැහිලා රතු බලකොටුව යට දඟගේක හිරකරලා. ඔබේ තාත්තා ලෙඩ ගානෙ. සමහරවිට මැරෙන්ට වැටිලාද දන්නෙත් නෑ. ජේමි ලැනිස්ටර් ඔබේ මල්ලිව අල්ලගෙන දම්වැල් දාලා. ඔබ හිතන්නෙ මම මොකක් නිසාද බයවෙන්ට ඕන? ඔබේ පුතාට ද? ඔබේ පුතෙකුට මගේ පුතෙක් ගානෙ දැම්මත් ඔබේ පුතාලා ඔක්කොම මැරුනට පස්සෙත් මගේ එවුන් දහඅට දෙනෙක් ඉතුරුවෙලා ඉඳියි."

"ඔබ මගේ තාත්තට දිවුරුමක් දීලයි තියෙන්නෙ." ඇය සිහිපත් කර දුන්නාය.

ඔහු සිනාසෙමින් හිස දෙපසට පැද්දුවේය. "ආහ්! ඔවු. මම මොනව‍දෝ වචන වගයක් කිවුවා තමා. ඒ වුනත් මට මතක හැටියට නම් මම රජතුමාටත් දිවුරුමක් දීලයි තියෙන්නෙ. ජොෆ්රි තමා දැන් රජතුමා. ඒ කියන්නෙ ඔබේ කොල්ලයි අර එළියෙ වාඩිලාගෙන ඉන්න අනිත් පල් බූරුවො ටිකයි කැරැළිකාරයො හැටියටයි ගණන් ගැනෙන්නෙ. දෙයියො මාළුවෙකුට දීලා තියෙන තරම්වත් මොළයක් මට තියෙනවා නම් මම කරන්ට ඕන උඹලා හැමෝම විනාශකරලා දාන්ට ලැනිස්ටර්ලාට උදවු කරන එකයි."

"ඇයි ඔබ එහෙම නොකරන්නෙ?" ඇයි විවාදාත්මකව ඇසුවාය.

වෝල්ඩර් උතුමානන් අවඥාවෙන් මෙන් උගුරෙන් හඬක් පිටකලේය. "මාන්නක්කාර තේජාන්විත ටයිවින් උතුමානන්. බටහිර ආරක්ෂකයා. රජතුමා‍ගෙ හස්තය. ආහ්! කොච්චර උදාර මනුස්සයෙක් ද. එයයි, එයාගෙ රත්තරන් අරකයි රත්තරන් මේකයි, අතන සිංහයයි මෙතන සිංහයයි. මම ඕන ඔට්ටුවක් දාන්නම්, මිනිහා මහ ගොඩක් බෝංචි කනවා. මොකද මිනිහත් මම වාගෙම අධෝවාතෙ අරිනවා. ඒ වුනත් ඔබට කවදාවත් අහන්ට ලැබෙන එකක් නෑ මිනිහා ඒක පිළිගන්නවා. අනික ඔච්චර පිම්බෙන්ට, මොනාද මිනිහට තියෙන්නෙ? පුත්තු දෙන්නෙක් විතරයි. ඒකෙනුත් එකෙක් ඇඹරිච්ච, බකල ගහන පුංචි යක් පැටියෙක්. එයාගෙ පුතෙකුට මගේ පුතෙක් ගානෙ දැම්මත් එයාගෙ පුත්තු ඔක්කොම මැරුනට පස්සෙත් මගේ එවුන් දහනවයකුත් තව බාගයක් ඉතුරුවෙලා ඉඳියි." ඔහු කෙකර ගෑවේය. "ටයිවින් උතුමානන්ට මගේ උදවු ඕන නම් මිනිහා ඉස්සෙල්ලා මගෙන් ඉල්ලන්ට ඕන."

මේ වනාහි කැට්ලින් එල්ලෙන්නට බලා සිටි පිදුරු ගස විය. "මම ඔබේ උදවු ඉල්ලා හිටිනවා මගේ උතුමානනි." ඇය යටහත් පහත් අයුරින් කීවාය. "මගේ තාත්තත්, මගේ මල්ලිත්, මගේ සැමියත්, මගේ පුත්තුත් වෙනුවෙන් මම ඉල්ලා හිටිනවා."

වෝල්ඩර් උතුමානන් කෙට්ටු ඇඟිල්ලක් ඇය වෙතට දිගු කලේය. "ඔබේ ඔය ලස්සන වචන ඔබ ගාවම තියාගන්ට මගේ ආර්යාවනි. ලස්සන වචන මට මගේ බිරිඳගෙන් අහන්ට පුළුවන්. ඔබ දැක්කද එයාව? අවුරුදු දාසයයි. පුංචි මලක් වගේ. ඒ මල් පැණි මට විතරමයි. මම ඕන ඔට්ටුවක් දාන්නම් ලබන අවුරුද්දෙ මේ කාලෙ වෙනකොට එයා මට පුතෙක් දෙනවා. සමහරවිට මම එයාව මගේ උරුමක්කාරයා කරන්ටත් පුළුවන්. කොහොමද එතකොට. අනිත් එවුන් ටික රත් වෙලා යයි නේද?"

"මට හොඳටම විශ්වාසයි එයා ඔබට පුත්තු ගොඩක් දේවි."

ඔහුගේ හිස ඉහළ පහළ වැනෙන්නට විය. "ඔබේ තාත්තා මේ මඟුලට ආවෙ නෑ. මට පේන හැටියට නම් ඒක මට අපහාසයක්. එයා මැරෙන්ට වැටිලා හිටියත්. අනික එයා මගේ කලින් මඟුලට ආවෙත් නෑ. ඔබ දන්නවද එයා මට කියන්නෙ 'ප්‍රමාද වෙන ෆ්‍රේ උතුමානන්' කියලයි. එයා හිතන්නෙ මම මැරිලයි කියලද? මම තාම මැරිලා නෑ. මම පොරොන්දු වෙනවා එයාගෙ තාත්තට වඩා කල් ජීවත් වුනා වගේ මම එයාටත් වඩා කල් ජීවත්වෙනවා. ඔබේ පවුල හැමදාමත් මට පහත් කරලා සැලකුවා. නෑ කියන්ට එපා. බොරු කියන්ටත් එපා. ඔබ දන්නවා ඒක ඇත්ත කියලා. අවුරුදු ගානකට කලින් මම ඔබේ තාත්තාව මුනගැහෙන්ට ගිහින් ඉල්ලුවා එයාගෙ පුතාට මගේ දුවෙක්ව කසාද බන්දලා දෙන්ටයි කියලා. මොකද ඒක හොඳ නැත්තෙ? මගේ හිතේ තිබුනෙ මගේ එක දුවෙක් ගැන. හරිම ශෝක් කෙල්ල. එඩ්මුයර්ට වඩා ඕන නම් අවුරුදු කීපයක් වැඩිමල් ඇති. ඒ වුනත් ඔබේ සහෝදරයාට එයා ගැන ඇල්මක් ඇතිවුනේ නැත්තම් මගේ ගාව තව දූවරු ඉන්නවා. ලාබාල අය. වැඩිහිටි අය. කන්‍යාවො. වැන්දඹුවො. එයාට ඕන කෙනෙක්. නෑ. හස්ටර් උතුමානන් ඒ ගැන අහන්ටවත් සතුටු වුනේ නෑ. එයා මට ‍බොහොම ලස්සන වචන ටිකක් නම් කිවුවා. සමාවට කාරනා. ඒ වුනත් මට ඕන වුන එකම දේ වුනේ කොහොමහරි කරලා එක දුවෙක් පිටමන් කරගන්ටයි."

"ඒත් එක්කම ඔබේ නංගි. එයා අනිත් එක්කෙනා. එයා ඔක්කොටම වඩා නරකයි. මේක වෙලා... ආහ්.. යාන්තං අවුරුද්දක් ඇති. ඊට වඩානම් වැඩිවෙන්ට බෑ. ජොන් ඒරින් එතකොටත් රජතුමාගෙ හස්තය. මම නගරෙට ගියේ මගේ පුත්තු තරගාවලියට සහභාගි වෙනවා බලන්ටයි. ස්ටෙව්රනුයි ජැරඩුයි නම් දැන් ඒ වගේ ඒවට සහභාගි වෙන්ට තරම් නාකි වැඩියි. ඒ වුනත් ඩැන්වෙලුයි හොස්ටීනුයි ගියා. පර්විනුත් සහභාගි වුනා. ඒ වගේම මගේ අවජාතක පුත්තු දෙන්නෙක් මිශ්‍ර සටනට එකතුවුනා. උන් මාව ඔච්චර ලැජ්ජාවට පත්කරයි කියලා දන්නවානම් මම ඔය ගමන යන්ට හිතන්නෙවත් නෑ. මම මොකටද ඔච්චර දුර යන්නෙ අර ටිරල් කොල්ලා මගේ හොස්ටීන්ව අශ්වයා පිටින් බිම දානවා බලන්ට? මම මේ ඔබෙන් අහන්නෙ. ඒ කොල්ලා මුගෙන් බාගයක්වත් වයස නෑ. උන් එයාට කියන්නෙ සෙර් ඩේසි කියලා. මොකක් හරි ඒ වගේ නමක් තමා. එතකොට, ඩැන්වෙල්ව අශ්වයා පිටින් වැට්ටුවෙ මේ නිකං දෙකයි පනහෙ නයිට් කෙනෙක්! සමහරදාට මම කල්පනා කරනවා මුන් දෙන්නා ඇත්තටම මගේ පුත්තු ද කියලත්. මගේ තුන්වෙනි බිරිඳ ක්‍රැකර්හෝල් කෙනෙක්. ක්‍රැකර්හෝල් ගෑනු ඔක්කොම වේසියො. හරි. ඒ ගැන අමතක කරලා දාන්ට. ඒකි මැරුනෙ ඔබ ඉපදෙන්ටත් කලින්. ඔබ මොකටද ඒ ගැන වදවෙන්නෙ."

"මම කතා කරකර හිටියෙ ඔබේ නංගි ගැන. මම යෝජනා කලා ඒරින් උතුමානන්ටයි ආර්යාවටයි මගේ මුනුබුරෝ දෙන්නෙක් එයාලා ගාව හදාවඩා ගන්ට අරගන්ටයි කියලා. ඒ එක්කම යෝජනා කලා එයාලගෙ පුතා මෙහෙ මේ නිවුන් බලකොටුවෙ හදාගන්ට දෙන්ටයි කියලා. මගේ මුනුබුරෝ රාජසභාවක හදාගන්ට බැරි තරම් වැදගැම්මකට නැද්ද? උන් දෙන්නම හරි ශෝක් කොල්ලො. නිශ්ශබ්දයි. හොඳ පුරුදු දන්නවා. වෝල්ඩර් කියන්නෙ මැරට්ගෙ පුතා. එතකොට අනිත් එකා... හෙහ්, මට මතක් වෙන්නෙම නෑ නෙව... ඌත් වෝල්ඩර් කෙනෙක් වෙන්ට ඕන. උන් තමන්ගෙ පුතාලට හැමවෙලාවෙම නම් දාන්නෙ වෝල්ඩර් කියලා, මොකද මම උන්ට වැඩියෙන් සලකයි කියලා. ඒ වුනත් උගෙ තාත්තා... හොඳයි, දැන් කවුද එතකොට උගෙ තාත්තා?" ඔහුගේ මුහුණ රැළි ගැසී ගියේය. "හරි, මොකෙක් හරි කමක් නෑ. ඒරින් උතුමානන් ඌව ගන්ට බෑ කිවුවා. ඌවයි අනිත් එකාවයි දෙන්නවම. මම ඒකට වැරැද්ද පටවන්නෙ ඔබේ නංගිට. එයා කතා කලේ හරියට මම එයාගෙ කොල්ලා නාට්‍ය කණ්ඩායමකට විකුණන්ට කතා කලා වගේ. එහෙමත් නැත්තම් එයාව නපුංසකයෙක් කරන්ට කතා කලා වගේ. ඊටපස්සෙ ඒරින් උතුමානන් කිවුවා එයාගෙ ළමයා ඩ්‍රැගන්ස්ටෝන්වල ස්ටැනිස් උතුමානන් ගාව හදාවඩා ගන්ට යවන්ට තීරණය වෙලයි තියෙන්නෙ කියලා. මෙන්න ඔබේ නංගි නැගිටලා ගස්සගෙන එළියට ගියා කිසිම වචනයක්වත් නැතුව. අඩුමගානෙ කණගාටුයි කියන්නෙවත් නැතුව. හස්තයේ උතුමානන් මගෙන් සමාව ඉල්ලුවා. ඒ වුනත් සමාව ඉල්ලීමෙන් මට ඇති වැඩේ මොකක්ද? මම ඔබෙන් අහන්නෙ."

කැට්ලින් නොඉවසිලිමත් විලසින් රවා බැලුවාය. "මට දැනගන්ට ලැබුන විදියට ලයිසාගෙ පුතාව කාර්ස්ටලී රොක්වල ටයිවින් උතුමානන් ගාව හදාවඩා ගන්ට යවන්ටයි තීරණය වෙලා තිබුනෙ."

"නෑ නෑ. ඒ ස්ටැනිස් උතුමානන්." වෝල්ඩර් ෆ්‍රේ නුරුස්සන සුළු ස්වරයෙන් කීය. "ඔබ හිතන්නෙ මට ස්ටැනිස් උතුමානන්වයි ටයිවින් උතුමානන්වයි වෙන්කරලා අඳුනගන්ට බැහැයි කියලද? ඇත්ත උන් දෙන්නම තමන් මහ උදාරයි කියලා හිතාගෙන ඉන්න බලුබෙටි දෙකක් තමා. ඒ වුනත් මම දන්නවා දෙන්නගෙ වෙනස. එහෙමත් නැත්තම් ඔබ හිතනවද මම නාකි වෙලා නිසා මට ඕවා මතක නැහැයි කියලා? මට අනූවක් වුනාට මට හොඳට මතකයි. මට හොඳට මතකයි ගෑනියෙක් එක්ක මොකක්ද කරන්ට ඕන කියලා. මම ඕන ඔට්ටුවක් දානවා ලබන අවුරුද්දෙ මේ කාලෙ වෙනකොට මගේ අර බිරිඳ මට පුතෙක් දෙනවා. එහෙමත් නැත්තම් දුවෙක්. ඒකට ඉතින් කරන්ට දෙයක් නෑ. කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි. අනික ඒකිට ඕනවෙයි එයාට නම දාන්ට වෝල්ඩර් නැත්තම් වෝල්ඩා කියලා."

ෆ්‍රේ ආර්යාව සිය දරුවාට කුමන නමක් දමාවිද යන්න කැට්ලින්ට කිසිසේත්ම වැදගත් වූ කරුනක් නොවීය. "ජොන් ඒරින් එයාගෙ පුතාව ස්ටැනිස් උතුමානන් ගාව හදාවඩා ගන්ට යවන්ට ලෑස්තිවෙලයි හිටියෙ. ඔබට ඒක හොඳටම විශ්වාස ද?"

"ඔවු. ඔවු. ඔවු." මහල්ලා කීවේය. "ඒ වුනත් එයා මැරුනනෙ. ඉතින් ඒකෙන් දැන් ඇති වැඩේ මොකක්ද? ඔබ කිවුවා ඔබලාට පාලමෙන් එතෙර වෙන්ට ඕනයි කියලා."

"ඔවු. අපට ඕන..."

"හොඳයි ඔබලාට එහෙම කරන්ට බෑ." වෝල්ඩර් උතුමානන් ප්‍රසන්න අයුරින් නිවේදනය කලේය. "මම ඉඩදෙනකම් යන්ට බෑ. මොකටද මම යන්ට ඉඩදෙන්නෙ? ටලීලායි ස්ටාර්ක්ලායි කවදාවත් මගේ යාළුවො වුනේ නෑ." සිය පුටුවේ පසුපසට හේත්තු වූ ඔහු පපුව හරහා දෑත් බැඳගෙන, නියවමින් ඇගේ පිළිතුර ලැබෙන තෙක් බලා සිටින්නට විය.

එයින් පසු කේවල් කිරීම් හැර වෙනෙකක් නොවීය.

* * *

බලකොටුවේ දොරටු නැවත හැරෙන මොහොත වනවිට රත් පැහැ හිරු බටහිර දිග කඳු පන්තිවලට මඳක් ඉහළින් ආකාශයේ එල්ලෙමින් තිබින. දියඅගලට උඩින් වූ පාලම ක්‍රීක් හඬින් පහත් වූ අතර කටු පැලැල්ල හෙමිහිට ඉහළට නැගුනි. සිය පුතු හා ඔහුගේ යටත් වංශාධිපතීන් මුනගැසෙනු පිණිස කැට්ලින් අසු ඉදිරියට විහිදෙවුවා ය. ඇයට පිටුපසින් සෙර් ජැරඩ් ෆ්‍රේ, සෙර් හොස්ටීන් ෆ්‍රේ, සෙර් ඩැන්වෙල් ෆ්‍රේ සහ වෝල්ඩර් උතුමානන් ගේ අවජාතක පුතකු වන රොනල් රිවර්ස් සිය අසුන් විහිදවූහ. ඊට පිටුපසින් නිල් පැහැ වානේ මුදු දම්වැල් සන්නාහයෙන් සැරසී රිදී-අළු පැහැ සළු පැළැඳි කුන්තධරයෝ පේලි ගැසී පිටතට පැමිණෙන්නට වූහ.

ඇයව මුනගැසෙනු පිණිස රොබ් හැල්මේ අසු ඉදිරියට මෙහෙයවීය. ඔහුගේ අසුට සමගාමීව ග්‍රේවින්ඩ් ද දිවආවේය. "ඒක හරි." ඇය ඔහුට කීවාය. "වෝල්ඩර් උතුමානන් ඔයාට ගඟ තරණය කරන්ට අවසර දුන්නා. එයාගෙ සෙබළුත් ඔයාගෙ හමුදාවටම එකතු වෙයි. ද්විත්ව බලකොටුව ආරක්ෂා කරගන්ටයි කියලා එයා සෙබළු හාරසීයක් තියාගන්නවයි කිවුවා. මම නම් කියන්නෙ ඔයත් ඔයාගෙ සෙබළු හාරසීයක් මෙහෙ තියලා යන එක හොඳයි. දුනුවායොයි සාමාන්‍ය සෙබළුයි දෙගොල්ලම තියන්ට. එයාගෙ බලමුලුව තර කරන්ට අපි කරන යෝජනාවකට එයා අකැමැති වෙන එකක් නෑ... ඒ වුනත් ඔයාට විශ්වාස කරන්ට පුළුවන් කෙනෙකුට මේ බලමුලුවෙ අණදෙන නිළධාරිකම දෙන්ට මතක තියාගන්ට. මොකද වෝල්ඩර් උතුමානන්ගෙ විශ්වාසය දිගටම තියාගන්ට උදවු ඕනවෙන්ට පුළුවන්."

"ඔයා කියන විදියක් අම්මා." රොබ් පිළිතුරු දුන්නේ කුන්තධරයින් දෙස බැල්මක් හෙලමිනි. "කොහොමද... සෙර් හෙල්මන් ටෝල්හාර්ට්? ඔයා මොකද හිතන්නෙ?"

"හොඳ තෝරගැනීමක්."‍‍

"මොනවද... මොනවද එයාට අපෙන් ඕන?"

"ඔයාගෙ සෙබළු ටිකදෙනෙක් නිදහස් කරන්ට පුළුවන් නම් මට ඕන පරිවාර සෙබළ මුලුවක් ෆ්‍රේ උතුමානන්ගෙ මුනුබුරෝ දෙන්නෙක් වින්ටර්ෆෙල්වලට යවන්ට. මම පො‍රොන්දු වුනා එයාලාව එහෙ හදාවඩා ගන්ට. දෙන්නම පොඩි කොල්ලො. එක්කෙනෙකුට අටක්. අනිකට හතක්. දෙන්නගෙම නම වෝල්ඩර්. බ්‍රැන්ට එයාගෙ වයසෙ කොල්ලන්ගෙ සමාගමක් තියෙන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ."

"එච්චරද? හදාවඩා ගන්ට දෙන්නෙක්? ඒක බොහොම පොඩි මිලක්-"

"ෆ්‍රේ උතුමානන්ගෙ පුතා ඔලිවර් අපිත් එක්ක එනවා. එයා ඔයාගෙ පුද්ගලික සහචරයා විදියට සේවය කරන්ට ඕන. එයාගෙ තාත්තට ඕන නිසි වයස ආවහම එයාව නයිට්වරයට උසස් වෙනවා දකින්ට."

"සහචරයෙක්." ඔහු දෙවුර ඇකිළීය. "හරි. ඒක හරි. එයා-"

"ඒ වගේම, ආර්යා පරෙස්සමින් ආපහු අපි ගාවට ආවොත්, එයා වෝල්ඩර් උතුමානන්ගෙ බාලම පුතා එල්මර්ට කසාද බන්දලා දෙන්ට පොරොන්දු වුනා. දෙන්නම නිසි වයස ආපුවහම."

රොබ් අන්දුන් කුන්දුන් වූ සෙයක් පෙනුනි. "ආර්යා නම් ඒකට පොඩ්ඩක්වත් කැමැති වෙන එකක් නෑ."

"ඒ වගේම ඔයා එයාගෙ දුවෙක් කසාද බඳින්ට ඕන. මේ සටන් ඉවරවුනාම. ඔයා කැමැති ගෑනු ළමයෙක් තෝරගන්ට ඔයාට නිදහස දෙන්ට අපේ උදාර උතුමානන් කැමැති වුනා‍. ඔයාට ගැලපෙන කීපදෙනෙක්ම ඉන්නවා කියලා එයාට විශ්වාසයි."

ඇගේ පුදුමයට මෙන් මේ අවසන් කොන්දේසිය නිසා රොබ් ඇකිළී නොගියේය. "ආ හා."

"ඔයා කැමැත්ත දෙනවද?"

"මට ප්‍රතික්ෂේප කරන්ට පුළුවන් ද?"

"ඔයාට පාලමෙන් එගොඩවෙන්ට ඕන නම් ප්‍රතික්ෂේප කරන්ට බෑ."

"මම කැමැතියි." රොබ් සන්සුන් ස්වරයෙන් කීවේය. මේ මොහොතේදී තරම් අන් කවරදාවත් ඔහුගෙන් මෙතරම් පිරිමිකමක් ඈ දැක නොතිබින. කොල්ලන් අසිපත්වලින් සෙල්ලම් කරන්නට කැමැති වෙති. එනමුදු විවාහ ගිවිසුමක් යනු කවරාකාරයේ දෙයක්දැයි තේරුම්ගෙන ඊට කැමැත්ත දෙන්නට නම් කෙනෙකු නියම වංශාධිපති උතුමකුම විය යුතුය.

ගංදිය මත අඩසඳක් පාවෙමින් තිබියදී, සන්ධ්‍යාභාගයේ මඳ අන්ධකාරය මධ්‍යයේ ඔවුහු පාලමෙන් එතෙර වූහ. දැවැන්ත වානේ සර්පයකු මෙන් නැගෙනහිර බලකොටුවෙන් ඇතුළු වූ හමුදාව අංගනය හරහා දඟර ගැසී ඇතුළු බලකොටුව හරහා පාලමට පිලිපන්නේ ඉදිරියට ඇදී ගොස් බටහිර ඉවුරේ දෙවන බලකොටුවෙන් පිටතට පැමිනියහ.

මේ සර්පයාගේ හිසේ කැට්ලින් ගමන්ගත්තා ය. ඈත් සමග ඇගේ පුත්‍රයා ද, ඇගේ බාප්පා සෙර් බ්‍රින්ඩන් සහ සෙර් ස්ටෙව්රන් ෆ්‍රේ ද වූහ. ඔවුන්ට පිටුපසින් ඔවුන්ගේ අසරු හමුදාවෙන් දහයෙන් නවයක් - නයිට්වරුන්, ලන්සධරයින්, නිදහස් අසරුවන් හා අසරු දුනුවායින් - පේළි සැදී ගමන් ගත්හ. මේ සියල්ලන්ටම පාලමෙන් එතෙර වීමට පැය ගනනාවක් ගතවිය. පාලම මත ගැටෙන අනන්ත අසුකුර හඬත්, සිය දෝලාවට වී ඔවුන් තමා පසුකර යන දෙස වෝල්ඩර් ෆ්‍රේ බලාසිටි අයුරුත්, දිය කුළුණ පසුකර යද්දී එහි සිවිලිමේ වූ විවර තුළින් ඔවුන් දෙස බලාසිටි දිදුලන දෑස් සමුහයත් බොහෝ කලක් යනතෙක් කැට්ලින් ගේ මතකයේ රැඳී තිබුනි.

උතුරු හමුදාවේ බහුතරය - කුන්තධරයින්, දුනුවායන් හා පාබල සෙබළුන් - රූස් බෝල්ටන් ගේ විධානය යටතේ නැගෙනහිර ඉවුරේ රැඳී සිටියහ. ඔහුට සිය ගමන දිගටම දකුණුකරය වෙත ගෙන යන්නැයි රොබ්ගෙන් අණ ලැබී තිබුනි. ටයිවින් උතුමානන්ගේ අණ යටතේ උතුර බලා එමින් සිටි විසල් ලැනිස්ටර් හමුදාව මුනගැසීම මේ පිරිසේ අභිමතාර්ථය විය.

හොඳට හෝ නරකට හෝ ඇගේ පුත්‍රයා විසින් දාදු කැටය උඩ දමා තිබින.


Catelyn Stark: “I doubt even Lord Frey knows what Lord Frey intends to do.”

43 comments:

  1. Replies
    1. very tricky... just like PJ... ;-)

      Delete
    2. Two kettles discussing how black a pot is !

      Delete
    3. considering the advanced blakness of the kettles :P the pot must be like a black hole eh

      Delete
    4. Pot!? My my, never thought u r into such medication PJ.. Is that C. sativa or C. indica.??

      Delete
    5. concentrated trans -delta- tetrahydrocannabinol ??
      much better

      Delete
    6. ට්‍රාන්ස් ඩෙල්ටා ටැට්..ටැට්.....???ඇයි හත්වලාමේ, මේ අපටත් තේරෙන බාසවකින් කියාපල්ලකො :)

      Delete
    7. කලුපාට ගැන වෙන්ටෑ නරි මොටෝ එයාලා කතා කරන්නේ...:D

      Delete
    8. Tetrahydrocannabinol aka THC is the main hallucinogenic component in cannabis. It's more potent in its trans-9-delta isomeric form.

      Delete
    9. තෙරෙන බාසාවෙන් කිව්වොත් "සඳ ගමනේ" ප්‍රධාන ඉන්ධනය ටී එච් සී ය.

      Delete
    10. There seem to be quite a lot of grassmates here !

      Delete
  2. හහ් ෆ්‍රේ... යකෝ මුගෙකෙල්ලො ටික විකුණ ගන්ට බැරි තරං වටිනාකම බැහැලද...
    අපේ කොටස් වෙළද පලට දැම් නං හරි....
    හිහි...
    පව් රොබා

    ReplyDelete
    Replies
    1. ඕක තමා කියන්නෙ වැඩිපුර කෙල්ලො හදාන්ට එපාය කියලා.. දීගන්ට බැරුව යනවා.. :-D

      Delete
    2. හහ්...ඒ ඉස්සර. දැන් කාලේ කොල්ලෝ කෙල්ලන්ගේ පස්සෙමයි.

      Delete
  3. මේක නම් සාර්ථක කතාවක්... මටනම් ටෙලි චිත්‍රපටයක් වගෙයි.......... රූප මවාගෙන බලනවා

    ReplyDelete
    Replies
    1. මේකෙ ටෙලි චිත්‍රපටියක් තියෙනවා කුරුටු ළමයි.. බාගෙන බලාන්ටලා.. :-)

      ස්තූතියි හැමදාමත් වගේ!

      Delete
    2. මටත් නම් කතාව කියෝගෙන යනකොට , රූප රාමු මැවිල පේනවා. විශිෂ්ටයි පරිවර්තනය නම්.

      Delete
    3. තැන්කූ තැන්කූ බටර් පාරට... :-)

      Delete
    4. ලංකාවේ බටර් ලාබද දන්නේ නෑ. :P

      Delete
  4. විවාහ ගිවිසුමක් යනු කවරාකාරයේ දෙයක්දැයි තේරුම්ගෙන ඊට කැමැත්ත දෙන්නට නම් කෙනෙකු නියම වංශාධිපති උතුමකුම විය යුතුය. එහෙම අය අත් උස්සන්න බලන්න......

    ReplyDelete
    Replies
    1. ආන්න ආන්න.. පොම් අත ඉස්සුවා.. අර බලාන්ට අන්න ප්‍රා ජේත් අත උස්සන්ට වගේ ගිහිල්ලා ලැජ්ජාවෙන්ද මන්දා ආයෙ අත පහත දැම්මා.. ඔයා පොඩ්ඩක් හොරෙන් වගේ අහලා බලන්ට.. ;-)

      Delete
    2. මල කෙලියයි ඔලුවටත් ගුල්ලො ගහල වගේ.
      අසරණ රූකඩය.
      අත උස්සන්නෙ නැතුවම බුර්ට පුලුවන් වෙයි. ගෑණු රූකඩ නටවන්න කැමතියි.
      (අපිනෙ දන්නෙ මේක tricky රූකඩයක් කියල)

      Delete
    3. ඕක කියද්දියි මතක් උනේ. කවුහු හරි දැකල තියනවද විවාහ ගිවිසුම විනාඩි පහක්ම කියවපු මනමාලියක් ඈ ?

      Delete
    4. ෆූජි Riot Act එකනම් දිගටම කියවනවලු

      Delete
    5. ඔය කතා පැත්තකට දාලා අර ළමයට උත්තරයක් දීලා ඉන්ට ප්‍රා ජේ... :-P

      Delete
    6. ප්‍රා ... අපි ඔක්කොම බලන් ඉන්නවලු...:P

      Delete
  5. Replies
    1. තැන්කූ සරත්! :-)

      Delete
    2. @සරත්,

      ඇත්තට? පාඩමක් ඉගෙන ගත්තද? :P

      Delete
  6. ෆ්‍රේ උතුමානන් නියම පොරක් නේ.අන්න බඩු...:D

    ReplyDelete
    Replies
    1. ආන්න කොල්ලො නේ... :-D

      Delete
    2. ඔව් ඔව් ඊයේ එක්කෙනෙකුට ඒ වගේ වෙන්ට අදහසුත් පහල වුනාලු. :D

      Delete
  7. වෝල්ඩර් ෆ්‍රේ මහ නාකි මනමාලයෙක්නෙ , මැරෙන දවසටත් කසාදයක් බඳීවි :D

    ReplyDelete
    Replies
    1. නාකි මනමාලයො තමාලු හොඳම මනමාලයො... :-P

      Delete
    2. හී හී...ඒක නම් කියන්ට බෑ.

      Delete
  8. ජරමර අස්සේ බරකරත්ත වගේ වැඩක්නේ වෙන්න යන්නේ.. බලමු බලමු..

    ReplyDelete
  9. හිවලෙක් මි
    වෙස්ට්‍රෝස් ආමි
    කන්ට යමක් නැති බැවින්
    පසුව නැවත එමි

    ReplyDelete
    Replies

    1. හිවල්ලුන්ගේ හැටි ඔහොමමලු.:P

      Delete
    2. අර ෂග්ගා එළුවන්ට කන්ට දාපුවයෙ ඉතුරු බිතුරු තියෙනවා.. නරිමොටාට ඕන නම් එව්වායෙන් ටිකක් ඔතලා දෙන්ට පුළුවන්.. :-P

      Delete
  10. රොබා කෙලවා ගත් තැන.. ෆ්‍රේ මොකා උනත් හොඳ ගනුදෙනුවක් දුන්නේ...

    ReplyDelete