Friday 13 February 2015

කැට්ලින් 09-1

ද්විත්ව බලකොටුව

රොබ්ගේ හමුදාව බෙල්ල හා එහි වූ අනන්ත කළු මඩවගුරු පසුකරමින් ඊට එපිටින් වූ ගංගා නිම්නයට කෙමෙන් ඇතුළුවද්දී කැට්ලින්ගේ සිතෙහි වූ බිය එන්ට එන්ටම වැඩි විය. මතුපිටින් නිසල, පරුෂ මුහුණක් මවා පෙන්වමින් සිත තුළ ඇති බිය අන්‍යයන්ගෙන් වසන් කරන්නට ඇයට හැකි වුවද ඒ බිය කිසිවිටෙකත් තුරන් වී නොගියේය. ගෙවන සෑම ලීගයක් පාසාම, පසුකරන සෑම බිම් අඟලක් පාසාම ඒ බිය වැඩි වූවා මිස අඩු නොවීය. ඇගේ දිවා කාලයන් තැවිලි සහගත වූ අතර රාත්‍රි කාලයන් චංචල, නිදි නොමැති ඒවා විය. ඔවුන්ට ඉහළින් පියාඹන කපුටකු දකින වාරයක් පාසා ඇයට දත්මිටි කැවුනේය.

ඇය සිය පියා ගැන බියවූවාය. ඔහුගේ මේ අසුබ නිහඬතාව පිළිබඳව වදවූවාය. ඇය සිය සොයුරා එඩ්මුයර් ගැන බියවූවාය. රජුන් මරන්නා හා යුධ වැදීමට සිදු වුවහොත් ඔහුට දෙවිවරුන් ගේ පිහිටාධාරය ලැබේවායි යාඥා කලාය. ඇය නෙඩ් හා සිය දියණියන් දෙදෙනා ගැන බියවූවාය. එමෙන්ම වින්ටර්ෆෙල්හි හැර දමා ආ ඇගේ ආදරණීය පුතුන් දෙදෙනා ගැන බියවූවාය. එනමුදු මේ කිසිවෙකුත් වෙනුවෙන් ඇයට කල හැක්කක් නොවීය. එබැවින් ඔවුන් ගැන වූ සියළු සිතුවිලි සිය සිතෙන් ඉවත් කර දැමීමට ඇය උත්සාහ කලාය. 'මම මගෙ මුලු ශක්තියම දැන් රොබ් වෙනුවෙන් යොදවන්ට ඕන.' ඇය තමන්ටම කියාගත්තා ය. 'මට උදවු කරන්ට පුළුවන් එකම එක්කෙනා එයයි. ඔබ දැන් උතුර වගේම බිහිසුනු වෙන්ට ඕන, දැඩි වෙන්ට ඕන, කැට්ලින් ටලී. ඔබත් දැන් ඔබේ පුතා වගේ නියම ස්ටාර්ක් කෙනෙක් වෙන්ට ඕන.' ඇගේ සිත ඇයට මොරගෑවේය.

මේ හමුදාවේ ඉදිරියෙන්ම, සුළඟේ ලෙලදෙන වින්ටර්ෆෙල්හි ධවල ධජය යට රොබ් ගමන් කලේය. සෑම දිනෙකම තමා හා එක්වන්නැයි ඔහු සිය වංශාධිපතීන් අතරින් කවුරුන් හෝ එක් අයෙකුට ආරාධනා කලේ ගමන අතරතුර සිය සැලසුම් ගැන කතාකරනු පිණිස විය. ඔහු පෙරලා මේ සෑම උතුමෙකුටම ගෞරවාදර දැක්වූ අතර කිසිවෙකුටත් කිසිදු විශේෂත්වයක් නොපෙන්වීය. සිය පියා මේ උතුමන්ට සවන් දුන්නේ යම්සේද ඒ හා සමානවම ඔහු ද ඔවුන්ට සවන් දුන්නේය. මේ සැමෙකෙකුම පැවසූ වදන් පරෙස්සමින් කිරා මැන බලා තමන්ට අවශ්‍ය දේ උකහා ගැනීමට ඔහු නොපසුබට විය. 'එයා නෙඩ්ගෙන් ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා.' මේ දේවල් දෙස බලමින් කැට්ලින් සිතුවාය. 'ඒ වුනත් එයා ඇති තරමට ඉගෙනගෙන තියෙනවද?'

* * *

තෝරාගත් සෙබළුන් සියයක් හා වේගවත් අසුන් සියයක් සමගින් කළු මාළුවා ප්‍රධාන හමුදාවට පෙරටුව වේගයෙන් ගොස් තිබුනේ ය. ඉදිරියේ ඇති වටපිටාව පිළිබඳ ඔත්තු බැලීම මෙන්ම සතුරු ඔත්තුකරුවන්ගෙන් සිය හමුදාවේ ඉදිරිගමන ආවරණය කිරීම ද ඔවුන් ගේ අරමුණ විය. සෙර් බ්‍රින්ඩන් ගේ මේ මිනිසුන් විසින් රැගෙන එනු ලැබූ ආරංචි ඇගේ සිත අස්වසන්නට කිසිසේත්ම සමත් නොවීය. ටයිවින් උතුමානන් ගේ හමුදාව තවමත් ඔවුන්ට වඩා දින ගනනාවක දුරකින් දකුණුකරයේ විය... එනමුදු පාලමේ උතුමානන් වූ වෝල්ඩර් ෆ්‍රේ විසින් කොළ ගංගාව දෙපස වූ සිය ද්විත්ව බලකොටුවේ සෙබළුන් හාරදහසක හමුදාවක් රැස් කොට තිබින.

"එයා ආයෙමත් ප්‍රමාදයි." මේ පුවත කණ වැකුනු විගස කැට්ලින් මිමිනුවාය. එය හරියටම ගංගා ත්‍රිශූලයේ සටනේදී වූ දේ නැවත වතාවක් සිදූවූවාක් වැන්න. 'මේ මිනිහා යකාටම ගියාවේ!' ඇගේ බාල සොහොයුරා එඩ්මුයර් සිය යටත් වංශාධිපතීන් කැඳවා තිබුනි. නියමය අනුව නම් ෆ්‍රේ උතුමානන් මේ වනවිටත් රිවර්රන්හි රැස්වී සිටින ටලී හමුදාවන්ට එක්වීම පිණිස පිටත්ව ගොස් සිටිය යුතු විය. එනමුදු මේ මිනිසා තවමත් සිය නිවසට වී සිටියි.

"සෙබළු හාරදාහක්!" රොබ් පුනරුච්චාරණය කලේය. ඒ ස්වරයේ තැවරී තිබුනේ කේන්තියකටත් වඩා සැකයක් විය. "ෆ්‍රේ උතුමානන් තනියම ලැනිස්ටර් හමුදාවත් එක්ක සටන් කරන්ට හිතාගෙන ඉන්නවා වෙන්ට බෑ. කිසි සැකයක් නෑ, එයා බලන් ඉන්නවා ඇත්තෙ අපේ හමුදාවත් එක්ක එකතු වෙන්ට වෙන්ට ඇති."

"එහෙමද?" කැට්ලින් ඇසුවාය. ඇය මේ වනවිට සිය අසු ඉදිරියට විහිදා පෙරමුණේ ගමන් ගත් රොබ් සහ අද දින ඔහුගේ ගමන් සගයා වූ රොබර්ට් ග්ලවර් හා එක්ව සිටියාය. හමුදාවේ පෙරටු බලඇණිය ඔවුන්ට පසුපසින් විහිද තිබුනි. එය හරියටම ලන්සධරයින්, ධජධරයින් හා හෙලිධරයින්ගෙන් සැදි වනාන්තරයක් සෙමින් ඉදිරියට ඇදෙන්නාක් මෙන් විය‍. "මම නම් එකපාරටම එහෙම හිතන්නෙ නෑ. වෝල්ඩර් ෆ්‍රේ‍ගෙන් මොකුත් බලාපොරොත්තු වෙන්ට එපා. එතකොට ඔයා කවදාවත් එයා‍ගෙ වැඩ නිසා පුදුම වෙන එකක් නෑ."

"එයා ඔයාගෙ තාත්තාගෙ ධජ දරන්නෙක්!"

සමහර මිනිස්සු තමන්ගෙ දිවුරුම් ගැන අනිත් අයට වඩා බොහොම බැරෑරුම් විදියට හිතනවා රොබ්. වෝල්ඩර් උතුමානන් හැමදාමත් කාර්ස්ටලී රොක් එකත් එක්ක යාළුකමෙන් හිටියා. ම‍ගේ තාත්තා කැමැති වුනාටත් වැඩියෙන් යාළුකමක් තිබුනා. එයාගෙ එක පුතෙක් කසාද බැන්දෙ ටයිවින් ලැනිස්ටර්ගෙ සහෝදරියක්ව. ඇත්ත, ඒක මහ ලොකු දෙයක් නෙවෙයි තමා. වෝල්ඩර් උතුමානන් එයාගෙ ජීවිත කාලෙ පුරාවට පුත්තු ගොඩක් හදලා තියෙනවා. ඒ පුත්තු කොහෙන් හරි කසාද බඳින්ට ඕන තමා. ඒ වුනත්..."

"ඔබ හිතන්නෙ එයා අපිව ලැනිස්ටර්ලාට පාවාදෙන්ට හිතාගෙන ඉන්නවයි කියලාද මගේ ආර්යාවනි?" රොබර්ට් ග්ලවර් බැරෑරුම් ස්වරයෙන් ඇසීය. කැට්ලින් සුසුමක් හෙලුවාය. "ඇත්තම කියනවා නම්, මම හිතන්නෙ නෑ ෆ්‍රේ උතුමානන්වත් දන්නවා ඇති කියලා ෆ්‍රේ උතුමානන් මොකක් කරන්ට හිතාගෙන ඉන්නවද කියලා. එයාට තියෙන්නෙ තරුණයෙකුට තියෙන විදියෙ ඉහළ නැගීමේ ආසාවක්. ඒ වගේම නාකි මිනිහෙකුට තියෙන විදියෙ පරෙස්සමක්. ඒ වගේම එයාට කවදාවත් කපටිකමෙන් අඩුවක් වුනේ නෑ."

"අපි ද්විත්ව බලකොටුව කොහොමහරි අපේ යටතට ගන්ට ඕනමයි අම්මා." රොබ් උණුසුම් ස්වරයෙන් කීවේය. "මේ ‍ගඟෙන් එතෙර වෙන්ට වෙන ක්‍රමයක් නෑ. ඔයා දන්නවනෙ ඒක."

"ඔවු, මම දන්නවා. වෝල්ඩර් ෆ්‍රේත් ඒ බව දන්නවා. ඔයාට ඒක නම් විශ්වාසයෙන් කියන්ට පුළුවන්."

* * *

එදින රැයෙහි ඔවුහු වගුරුබිම්වල දකුණු මායිමේ, රජමාවතත් කොළ ගංගාවත් අතර වූ බිමක කඳවුරු බැඳගත්හ. ඇගේ බාප්පාගෙන් නවතම තොරතුරු රැගත් තියන් ග්‍රේජෝයි එහි පැමිණියේය. "සෙර් බ්‍රින්ඩන් ඔබට කියන්ටයි කිවුවා එයාට ලැනිස්ටර්ලාත් එක්ක පොඩි සටනක් කරන්ට වුනයි කියලා. ඔත්තුකාරයො දුසිමක් විතර ආයෙමත් ටයිවින් ලැනිස්ටර් උතුමානන්ට ගතු කියන්ට යන එකක් නෑ." ඔහු විරිත්තුවේය. "උන්ගෙ ඔත්තුකාරයො මෙහෙයවන්නෙ සෙර් ඇඩම් මාර්බ්‍රැන්ඩ්. එයා සෙබළුත් එක්ක ආයෙමත් දකුණට පහුබහිනවා. පහුකරන බිම් ගිනි තියනවා. එයා අඩු වැඩි වශයෙන් දන්නවා කොහෙද අපි ඉන්නෙ කියලා. ඒ වුනත් කළු මාළුවා දිවුරනවා අපේ හමුදාව දෙකට බෙදන්නෙ කොයි වෙලාවටද කියන එක එයාට දැනගන්ට ඉඩ තියන්නෙ නෑයි කියලා."

"ෆ්‍රේ උතුමානන් එයාට කිවුවෙ නැත්තම් විතරක්." කැට්ලින් තියුණු ස්වරයෙන් කීවාය. "තියන්, ඔබ ආයෙමත් මගේ බාප්පා මුනගැහෙන්ට ගියාම එයාට මෙන්න මේක කියන්ට. එයාගෙ හොඳම දුනුවායො ටිකක් ද්විත්ව බලකොටුව වටේ දවල් රෑ නැතුව නවත්තලා තියන්ට. මේ බලකොටුවලින් පිටවෙන හැම කපුටෙක්ම විදලා බිම දාන්ටයි කියන්ට. මගේ පුතාගෙ මෙහෙයුම් ගැන කිසිම වචනයක් ටයිවින් උතුමානන්ට නොලැබෙන තැනට වැඩකරන්ටයි මට ඕන."

"සෙර් බ්‍රින්ඩන් දැනටමත් ඒ වැඩේ කරලයි තියෙන්නෙ මගේ ආර්යාවනි." තියන් උඩඟු සිනහවකින් යුතුව පිළිතුරු දුන්නේය. "තව කපුටො දෙතුන් දෙනෙක් බිම දැම්මනම් අපට බ්ලැක්බර්ඩ් පයි එකක් වුනත් හදන්ට පුළුවන් වෙයි. මම උන්ගෙ පිහාටු එකතු කරවලා තියන්නම් ඔබට තොප්පියක් හදාගන්ට."

බ්‍රින්ඩන් කළු මාළුවා හැමවිටම ඇයට වඩා ඉදිරියෙන් සිටින බැව් ඇය දැන සිටිය යුතුව තිබින. "ලැනිස්ටර්ලා තමන්ගෙ ඉඩකඩම් ගිනිතියලා බලකොටු මංකොල්ලා කනකම් ෆ්‍රේලා මොකක්ද කරන්නෙ?"

"සෙර් ඇඩම්ගෙ සෙබළුයි වෝල්ඩර් උතුමානන්ගෙ සෙබළුයි අතරෙ පොඩි පොඩි සටන් කීපයක් ඇතිවුනා. මෙතැන ඉඳන් දවසක්වත් නැති දුරින් අපට හම්බවුනා මැරිච්ච ලැනිස්ටර් ඔත්තුකාරයො දෙන්නෙක්. ෆ්‍රේ සෙබළු උන්ට විදලා මරලා. දැනටමත් කපුටො උන්ගෙ බාගයක් විතර කාලා දාලා. ඒ වුනත් වෝල්ඩර් උතුමානන්ගෙ හමුදාවෙ වැඩිහරිය ද්විත්ව බලකොටුවෙ වාඩිලාගෙනයි ඉන්නෙ."

කිසිදු සැකයකින් තොරව ඒ වෝල්ඩර් ෆ්‍රේ ගේ සලකුණ විය. කැට්ලින්ගේ මුවට අමිහිරි රසයක් දැනෙන්නට විය. හමුදාව රැස්කර පසුපසට වී බලා සිටීම. සිදුවන්නේ කුමක්දැයි නිරීක්ෂණය කිරීම. තමන්ව සටනකට නොපොලොඹවන තාක් කල් කිසිදු අවදානමක් නොගෙන බලා සිටීම. මේ හැමදාමත් වෝල්ඩර් ෆ්‍රේ උතුමානන් ගේ පටිපාටිය විය.

"එයා ලැනිස්ටර්ලාත් එක්ක සටන් කරනවයි කියන්නෙ, සමහරවිට එයා හිතනවා ඇති එයාගෙ දිවුරුම් අනුව වැඩ කරන්ට." ‍රොබ් කීවේය.

කැට්ලින්ට මේ අදහසින් එතරම් රුකුලක් නොලැබුනි. "තමන්ගෙ ඉඩකඩම් ආරක්ෂා කරගන්නවා කියන්නෙ එකක්. ටයිවින් උතුමානන්ට විරුද්ධව ප්‍රසිද්ධියේ යුද්ධෙට යනවා කියන්නෙ තව එකක්."

රොබ් නැවතත් තියන් ග්‍රේජෝයි දෙසට හැරුනි. "කළු මාළුවා හොයාගත්තද කොළ ගංගාවෙන් එතෙර වෙන්ට පුළුවන් වෙන තැනක්?"

තියන් හිස සැලීය. "ගඟ බොහොම ගැඹුරුයි. බොහොම වේගවත්. සෙර් බ්‍රින්ඩන් කියන්නෙ මෙච්චර උතුරෙදි ගඟට බැහැලා එතෙර වෙන්ට කොහොමවත්ම බැහැයි කියලයි."

"මම කොහොමහරි පාලම අල්ලගන්ට ඕන." රොබ් කේන්තියෙන් දුම් දමමින් කීවේය. "මම හිතන්නෙ අපේ අශ්වයින්ට පුළුවන් වෙයි ගඟට බැහැලා පීනලා එතෙර වෙන්ට. ඒ වුනත් සන්නාහ සන්නද්ධ මිනිස්සු උන්ගෙ පිටේ නැගලා ඉන්නකොට ඒ වැඩේ කරන්ට බෑ. අපේ ආයුධ, ශිරස්ක, සන්නාහ, කඩු, හෙලි, ලන්ස අනිත් පැත්තට අරන් යන්ට අපට පහුරු හදාගන්ට වෙයි. ඒ වැඩේ කරන්ට අපට ඇතිතරම් ගස් නෑ. කාලයත් නෑ. ටයිවින් උතුමානන් උතුරට එනවා." ඔහුගේ අත මිට මෙලවුනි.

"අපේ ගමනට එරෙහි වෙන්ට හිතනවා නම් ෆ්‍රේ උතුමානන් මෝඩයෙක් වෙන්ට ඕන." තමාට හුරුපුරුදු ආත්ම විශ්වාසයෙන් යුතුව තියන් ග්‍රේජෝයි කීවේය. "අපට එයාට වඩා පස් ගුණයක් සෙබළු ඉන්නවා. ඔයාට ඕන වුනොත් ඔයාට පුළුවන් ද්විත්ව බලකොටුව යටත් කරගන්ට රොබ්."

"එච්චර ලේසියෙන් ඒක කරන්ට බෑ." කැට්ලින් ඔවුන්ට අනතුරු ඇඟෙවුවාය. "අනික එච්චර ඉක්මනින් කරන්ටත් බෑ. ඔයා බලකොටුව වටලාගෙන ඉන්ට ලෑස්ති වෙන අතරේ ටයිවින් ලැනිස්ටර් එයාගෙ හමුදාව අරන් ඇවිල්ලා ඔයාට පිටිපස්සෙන් පහර දෙයි."

රොබ් මාරුවෙන් මාරුවට ඇගේ හා තියන් ගේ මුහුණු දෙස බැලූයේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් මෙනි. එනමුදු එහි ඔහු බලාපොරොත්තු වූ අන්දමේ පිළිතුරක් නොවීය. එක් මොහොතකට ඔහුගෙන් දිස්වූයේ වසර පහළොවක යෞවනයකුට ද වඩා ලාබාල බවකි. ඔහු පැළැඳි සන්නාහයට හෝ අසිපතට හෝ කම්මුල් වසාගත් රත් පැහැ රැවුල් කොටවලට හෝ ඒ බැව් වසන් කිරීමට නොහැකි විය. "මගේ තාත්තා මොකක් කරාවිද?" ඔහු ඇ‍ගෙන් විමසීය.

"එතෙර වෙන්ට ක්‍රමයක් හොයාගන්ට‍‍." ඇය පිළිතුරු දුනි. "ඒක මොකක් වුනත් කමක් නෑ."

ඊළඟ උදෑසන සෙර් බ්‍රින්ඩන් ටලී තමා විසින්ම ඔවුන්ව මුනගැසීම පිණිස පැමිණියේය. ඉයරිහිදී වාහල්කඩ නයිට්වරයා වශයෙන් පැළැඳ සිටි බරැති සන්නාහ ඵලක හා ශිරස්කය ඉවත හල ඔහු ඔත්තුකරුවකුට ගැලපෙන අන්දමේ පදම් කල සම් ආවරණ හා සැහැල්ලු මුදු දම්වැල් සන්නාහ පැළැඳ සිටියේය. එනමුදු ඔහුගේ සළුව උරයට තබා ගැටගැසූ ඔබ්සිඩියන් කළු මාළුවා තවමත් එහි විය.

සිය අසුපිටින් බිමට බසින අතරේ ඔහුගේ මුහුණට බැරෑරුම් බවක් එක්වී තිබින. "රිවර්රන්වල තාප්පවලට එපිටින් යුද්ධයක් වෙලා තියෙනවා. අපි ඒ ගැන දැනගත්තෙ අල්ලාගත්තු ලැනිස්ටර් ඔත්තුකාරයෙක්ගෙනුයි. රජුන් මරන්නා එඩ්මුයර්ගෙ හමුදාව පරද්දලා. ගංගා ත්‍රිශූලයෙ වංශාධිපතියො සී සී කඩ දුවලා."

සීතල දෑතක් විසින් කැට්ලින් ගේ හදවත මිරිකා දැම්මේය. "මගේ මල්ලි?"

"එයාට තුවාල වෙලා. එයාව හිරබාරයට අරන්. බ්ලැක්වුඩ් උතුමානනුයි අනිත් බේරුන අයයි දැන් රිවර්රන් ඇතුළෙ කොටුවෙලා. ජේමිගෙ හමුදාව එයාලාව වටලලයි තියෙන්නෙ."

රොබ්ගේ කේන්තිය ඇවිස්සී ගිය සෙයක් පෙනුනි. "එයාලව කල්වේලා ඇතිව බේරගන්ට නම් අපි කොහොමහරි මේ මලඉලවු ගංගාවෙන් එතෙර වෙන්ට ඕන."

"ඒක එච්චර ලේසි වෙන එකක් නෑ." ඇගේ බාප්පා අනතුරු ඇඟෙවුවේය. "ෆ්‍රේ උතුමානන් එයාගෙ සම්පූර්ණ ශක්තියම බලකොටුව ඇතුළට කැඳවලයි තියෙන්නෙ. එයාගෙ ගේට්ටුත් ඔක්කොම වහලා, අගුළු දාලා."

"මූව යකාටම ගියාදෙන්!" රොබ් දිවුලේය. "මේ නාකි මෝඩයා ඔය තද ගති අඩුකරන් මට ගඟෙන් එතෙරවෙන්ට ඉඩදෙන්නෙ නැත්තම් මට වෙන කරන්ට දෙයක් නෑ එයාගෙ ප්‍රාකාරවලට පහර දෙනවා ඇරෙන්ට. ඕනවුනොත් මම මිනිහගෙ ඇස් දෙක ඉස්සරහාම එයා‍ගෙ ද්විත්ව බලකොටුව බිම දානවා. අපි බලමු මිනිහා කොච්චර ඒකට කැමැති වෙයිද කියලා."

"ඔයා කතාකරන්නෙ හරියට බුම්මන් ඉන්න පොඩි කොල්ලෙක් වගේ රොබ්." කැට්ලින් තියුණු හඬින් කීවාය. "පුංචි ළමයෙක් මොකක් හරි බාධකයක් දැක්කහම එයාගෙ හිතට එන මුල්ම සිතුවිල්ල වෙන්නෙ ඒක වටේ යන එක. නැත්තම් ඒක පෙරලලා දාන එක.වංශාධිපතියෙක් වුනාම ඉගෙනගන්ට ඕන සමහර වෙලාවට කඩුවලට කරන්ට බැරි දේවල් වචනවලට කරන්ට පුළුවන් කියලා‍."

මේ තරවටුව නිසා රොබ්ගේ මුහුණ රත් පැහැ ගැන්වී ගියේය. "ඔයා මොකක්ද අදහස් කරන්නෙ කියලා මට කියන්ට අම්මා." ඔහු යටත් ස්වරයෙන් ඇසුවේය.

"ෆ්‍රේලා මේ පාලම පාලනය කරනවා දැන් අවුරුදු හයසීයක් තිස්සෙ. මේ අවුරුදු හයසීය තිස්සෙම තමන්ට අයවෙන්ට ඕන රේන්ද බද්ද අය කරගන්ට එයාලා අසමත් වෙලා නෑ."

"මොන රේන්ද බද්දක් ද? එයාට මොනවද ඕන?"

ඇය සිනාසුනාය. "ඒක තමා අපි හොයාගන්ට ඕන."

"ඉතින්, එයාගෙ මේ රේන්ද බද්ද ගෙවන්ට මම කැමැති වුනේ නැත්තම් මොකද කරන්නෙ?"

"එහෙමනම් ඔයා ආපහු මෝට් කේය්ලින්වලටම පහුබහින එක හොඳයි. පහුබැහැලා ටයිවින් උතුමානන් එක්ක සටන් කරන්ට ලෑස්තිවෙන්ට... එහෙමත් නැත්තම් පියාපත් දෙකක් වවාගන්ට. මටනම් වෙන විකල්පයක් පේන්නෙ නෑ." තමා පැවසූ වදන් ගැන සිත යොමන්නට සිය පුත්‍රයාට අවස්ථාව ලබා දෙනු වස් අසුට සන් කල කැට්ලින් ඉවත ගියාය. සිය මව විසින් තමන්ට හිමි ස්ථානය පැහැරගත්තාය යන හැඟීම ඔහුගේ සිතේ ඇතිවනු වැළැක්වීමට එය සමත් නොවීය. 'ඔයා එයාට ශූරවීරකම වගේම ප්‍රඥාවත් ඉගැන්නුවා ද නෙඩ්?' ඇය මවිතයෙන් කල්පනා කලාය. 'ඔයා එයාට ඉගැන්නුවා ද කොහොමද දණ නමන්නෙ කියලා?' මේ පාඩම කිසිදා නූගත් නිර්භීත මිනිසුන්ගෙන් රාජධානි සප්තකයේ සොහොන් බිම් පිරී පවතී.

* * *

පාලමේ උතුමන් විසින් සිය බලවසම කොටගත් ද්විත්ව බලකොටුව පෙනෙන මානයට ඔවුන්ගේ පෙරටු බලඇණිය පැමිණෙන විට එදින මධ්‍යහ්නය ළඟා වී තිබුනි.

මේ අඩවියේදී කොළ ගංගාව ගැඹුරු එමෙන්ම වේගවත් දිය පහරක් විය. එනමුදු සියවස් ගනනාවකට පෙරාතුව මේ ගංගාවේ ඉවුරු දෙක හා කල ෆ්‍රේවරු ගංගාවෙන් එතෙරවීම පිණිස මිනිසුන් විසින් ගෙවූ තොටුපළ රේන්ද බද්ද අයකරගනිමින් කෙමෙන් ධනවත් වන්නට වූහ. ඔවුන් විසින් ගොඩනැගූ පාලම සිනිඳු අළු පැහැ ගලින් නිමවූ දැවැන්ත ආරුක්කුවක් විය. එය කරත්ත දෙකකට එකවර මාරුවිය හැකි තරම් පුළුල් විය. පාලම මැද්දේ උස්ව නැගුනු දිය කුළුණ විසින් එහි වූ කටුපැලැලි, ඊ විදින සිදුරු හා මුර අට්ටාල මගින් පාලමත් ගංගාවත් දෙකම පාලනය කෙරුනි. මේ පාලම ගොඩනංවා නිමකරන්නට ෆ්‍රේවරුන්ට පරම්පරා තුනක් ගතවී තිබින. එය නිමවනවාත් සමගින්ම ඔවුහු ඉවුරු දෙකෙහිම ශක්තිමත් ලී බලකොටු දෙකක් ඉදිකලේ ඔවුන් ගේ අවසරයකින් තොරව කිසිවෙකුටත් පාලමෙන් එතෙර විය නොහැකි වනු පිණිසය.

වැඩි කල් යන්නට මත්තෙන් මේ ලී බලකොටු ඉවත්ව ඒ වෙනුවට ගලින් කල බලකොටු දෙකක් එතැනට පැමිණියේය. ද්විත්ව බලකොටුව නම් වූ මේවා මිටි, මහත, අවලක්ෂණ එනමුදු ශක්තිමත්, සෑම අතින්ම එක හා සමාන බලකොටු යුගලයක් විය. මේ බලකොටු යුගලත් ඒ අතරමැදින් වැටුනු පාලමත් විසින් අවට ප්‍රදේශය සියවස් ගනනාවක් තිස්සේ පාලනය කරන්නට යෙදුනි. උසැති ශෛලමය ප්‍රාකාරත්, ගැඹුරු දිය අගලුත්, යකඩින් සවිමත් කල දැවැන්ත ඕක් දොරවලුත් විසින් පාලමේ පිවිසුම ආරක්ෂා කරන ලදී. මේ බලකොටු තුළ පිහිටි සවිමත් ඇතුළු බලකොටුවක සිට පාලමේ පාදම් ඇරඹුනු අතර ඒවා මුරකපොලු හා කටු පැලැලි මගින් සවිමත් කෙරුනි. මේ සැමටම අමතරව පාලමේ මැද පිහිටි දිය කුළුණ මගින් අවට සම්පූර්ණ ගමනාගමනයම පාලනය කෙරුනි.

මේ බලකොටුවට එල්ල කරන ප්‍රහාරයකින් එය යටපත් කරගත නොහැකි බව ඒ දෙස හෙලූ එක් බැල්මකින්ම කැට්ලින් වටහාගත්තා ය. මුරකපොලු හෙලිධරයින්, අසිපත්ධරයින් හා ඊ විදින ගෝනුසු යන්ත්‍ර විසින් ගැවසීගත්තේ ය. සෑම කපොල්ලක්ම, සෑම විවරයක්ම දුනුවායින්ගෙන් සෙවුනේ විය. දියඅගලට ඉහළින් වූ පාලම උඩට ඔසවා තිබුනු අතර කටු පැලැලි පහත දමා තිබුනි. ගේට්ටු වසා අගුළු දමා තිබුනි.

තමන් අබියස ඇත්තේ කවර අන්දමේ බාධකයක්දැයි දුටු මොහොතේ පටන් ග්‍රේට්ජොන් දිවුරන්නටත් සාපකරන්නටත් පටන්ගත්තේ ය. රිකාර්ඩ් කාර්ස්ටාර්ක් උතුමානන් නිහඬව එනමුදු තරහෙන් පිපිරෙමින් බලා සිටින්නට විය. "මගේ උතුමනි, මේකට නම් පහර දෙන්ට බෑ." රූස් බෝල්ටන් නිවේදනය කලේය.

"අපට ඒක වටලන්ට පුළුවන් කමක් ඇත්තෙත් නෑ. එහා ඉවුරෙ බලකොටුව වටලන්ට හමුදාවක් නැතුව එහෙම කරන එකෙන් පලක් නෑ." හෙල්මන් ටෝල්හාර්ට් දොම්නස් ස්වරයෙන් කීවේය. වේගයෙන් ගලන කොළ පැහැ ගැඹුරු දියට එපිටින් බටහිර ඉවුරේ බලකොටුව සිය නැගෙනහිර ඉවුරේ සොහොයුරා මෙන්ම උත්තුංගව නැගී සිටියේය. "ඒ අපට ඇතිතරම් කාලය තිබුනත්. කොහොමත් අපට ඇතිතරම් කාලයක් නෑ."

උතුරුදිග වංශාධිපතීන් මෙලෙස බලකොටුව අධ්‍යයනය කරමින් සිටින අතරතුරේදී බලකොටුවෙහි වූ කුරුබිලියක් විවර වුනි. දියඅගලට ඉහළින් කුඩා ලෑලි පාලමක් පහත්කෙරුනු අතර නයිට්වරුන් දුසිමක් මේ අමුත්තන් හමුවීම පිණිස පෙරට ආවෝය. වෝල්ඩර් උතුමානන් ගේ අප්‍රමාණ පුතුන් අතරින් සිවුදෙනෙක් මේ පිරිසේ පෙරමුණ ගත්හ. ඔවුන්ගේ සලකුන වන ලා රිදී-අළු පැහැ පසුබිමේ වූ තද නිල් පැහැ ද්විත්ව බලකොටුව සහිත ධජය මඳ සුළඟේ ලෙලදෙන්නට විය. වෝල්ඩර් උතුමානන් ගේ උරුමක්කරු වන සෙර් ස්ටෙව්රන් ෆ්‍රේ ඔවුන් වෙනුවෙන් කතාකරන්නට පටන්ගත්තේ ය. ෆ්‍රේවරුන් සැමදෙනාම වාගේ මුගටි පෙනුමක් ඇත්තවුන් වූහ. වසර හැටකටත් වඩා වයස් වූ, තමන්ගේම මුනුබුරන් පවා ඇති සෙර් ස්ටෙව්රන් වෙසෙසින්ම මහලු, වෙහෙසට පත්වූ මුගටියකු ගේ පෙනුම පෑවේය. එනමුදු ඔහු ආචාරශීලී විය. "මගේ වංශාධිපති තාත්තා මාව මෙතැනට එවුවෙ ඔබලාට ආයුබෝවන් කියන්ටයි. ඒත් එක්කම අපට දැනගන්‍ට ඕන කවුද මේ හමුදාවට අණදෙන්නෙ කියලා."

"මමයි." සිය අසුට සන් කල රොබ් පෙරට ආයේය. ඔහු සිය සන්නාහයෙන් සැරසී සිටි අතර අසු‍ගේ සෑදලය පසෙකින් වින්ටර්ෆෙල්හි ඝෝරවෘක සලකුණ සහිත පලිහ එල්ලා තිබින. ග්‍රේවින්ඩ් අසුට සමගාමීව ඉදිරියට පිය මැන්නේය.

මහලු නයිට්වරයා සිය දියාරු අඳුරු දෑසින් ඇගේ පුත්‍රයා දෙස බැලූ අතර ඒ දෑසේ යම් විමතියක් සටහන්ව තිබුනි. ඔහුගේ අශ්වයා නොසන්සුන් අයුරින් හේෂාරවය කරමින් ඝෝරවෘකයාගෙන් මෑත්වන්නට විය. "ඔබතුමා අපේ බලකොටුවට ඇවිල්ලා මගේ තාත්තත් එක්ක කෑමබීම අරන් ඔබතුමා මේ හමුදාවත් එක්ක මෙහෙ මොකද කරන්නෙ කියලා පැහැදිලි කරනවා නම් ඒක අපට ලොකු ගෞරවයක්."

ඔහුගේ මේ වදන් කැටපෝලයකින් විදුනු දැවැන්ත ගලක් මෙන් රොබ්ගේ වංශාධිපතීන් අතරට තදින් කඩා වැදුනේය. කිසිවෙකුත් මේ අදහසට එකඟ වූ බවක් නොපෙනින. ඔවුහු අවලාද නගන්නටත්, වාද කරන්නටත්, එකිනෙකා නොපරයන තරම් මහ හඬින් එකවර කතාකරන්නටත් වූහ.

"ඔබ මේක කරන්ට සුදුසු නෑ මගේ උතුමානනි." ගැල්බට් ග්ලවර් රොබ්ට ආයාචනා කලේය. "වෝල්ඩර් උතුමානන් කියන්නෙ විශ්වාස කරන්ට පුළුවන් මිනිහෙක් නෙවෙයි."

රූස් බෝල්ටන් අනුකූලතාව හඟවන අන්දමින් හිස වැනීය. "ඔබ ඒක ඇතුළට තනියම ගියා කියන්නෙ ඔබ එයාගෙයි. එයාට පුළුවන් එයා කැමැති හැටියකට ඔබව ලැනිස්ටර්ලාට විකුණන්ට, ඔබව හිරකුටියකට දාන්ට, එහෙමත් නැත්තම් ඔබේ බෙල්ල කපලා දාන්ට."

"එයාට ඕන නම් අපට කතා කරන්ට එයාට කියන්ට ගේට්ටු අරින්ට කියලා. එතකොට අපි ඔක්කොටම පුළුවන් එයාත් එක්ක කෑමබීම ගන්ට." සෙර් වෙන්ඩල් මැන්ඩර්ලි නිවේදනය කලේය.

"එහෙමත් නැත්තම් එයාට එළියට ඇවිල්ලා මෙතන රොබ් එක්ක සංග්‍රහ විඳින්ට කියන්ට. එතකොට එයාගෙ මිනිස්සුයි අපේ මිනිස්සුයි දෙගොල්ලන්ටම පේනවා." ඔහුගේ සොහොයුරා සෙර් විලීස් කීවේය.

මේ වංශාධිපතීන් ගේ සෑම සැකයක්ම, සෑම දෙගිඩියාවක්ම එලෙසින්ම කැට්ලින් ගේ සිතේද ඇතිවී තිබුනි. එනමුදු සෙර් ස්ටෙව්රන් දෙස හෙලූ එක් බැල්මකින්ම තමාට මේ අසන්නට ලැබෙන දේ කෙරෙහි ඔහුගේ කිසිදු පැහැදීමක් ‍නොමැති බැව් පෙනී ගියේය. තව දුරටත් අනවශ්‍ය වදන් හුවමාරුවකට ඉඩදුනහොත් අත පත් අවස්ථාව මඟ හැරී යනු නිසැකය. ඇය සැනින් ක්‍රියාශීලී වීම අත්‍යවශ්‍යය. "මම යන්නම්." ඇය මහ හඬින් කීවාය.

"ඔබ, මගේ ආර්යාවනි?" ග්‍රේට්ජොන් බැම ඇකිළීය.

"අම්මා! ඔයාට හොඳටම විශ්වාස ද?" රොබ්ගේ වදන්වල කිසිදු විශ්වාසයක් නොවීය.

"හොඳටම විශ්වාසයි." කැට්ලින් මුඛරි අන්දමින් බොරුවක් කීවාය. "වෝල්ඩර් උතුමානන් කියන්නෙ මගේ තාත්තගෙ ධජ දරන යටත් වංශාධිපතියෙක්. මම පුංචි කෙල්ලක් කාලෙ ඉඳන්ම එයාව දන්නවා. එයා කවදාවත් මට හානියක් කරන එකක් නැහැ." 'ඒකෙන් එයාට ලාබයක් වෙන්නෙ නැත්තම්.' ඇය නිහඬවම එයට එකතු කලාය. එනමුදු සමහර සත්‍යයන් නොපවසා සිටීම වඩා හොඳ වන අතර සමහරවිට බොරු කීමද උවමනා වනු ඇත.

"මට හොඳටම විශ්වාසයි මගේ තාත්තා බොහොම සතුටු වෙයි කැට්ලින් ආර්යාවට කතා කරන්ට ලැබෙන එක ගැන." සෙර් ස්ටෙව්රන් කීවේය. "අපේ මොකුත් පහත් යටි අරමුණු නෑ කියන එක ඔප්පු කරන්ට මගේ මල්ලි සෙර් පර්වින් මෙතන නවත්තලා යන්නම් ඇය ආරක්ෂිතව ආපහු ඔබලා අතරට එනකම්..."

"එයා අපේ ගෞරවනීය ආගන්තුකයෙක් වෙයි." රොබ් කීවේය. එතැන සිටි ෆ්‍රේවරුන් අතරින් ලාබාලතමයා වූ සෙර් පර්වින් අසුපිටින් බැස තෝන්ලණුව සිය සොයුරෙකුට භාරදුන්නේය. "අද හැන්දෑවෙනකොට මගේ අම්මා ආපහු මෙහාට එන්ට අවශ්‍යයි සෙර් ස්ටෙව්රන්." රොබ් නිවේදනය කලේය. "මෙතැන තාවර වෙවී ඉන්ට මගේ කිසිම අදහසක් නෑ."

සෙර් ස්ටෙව්රන් ෆ්‍රේ ආචාරශීලී අයුරින් හිස වැනීය. "ඔබතුමා කියන විදියක් මගේ උතුමානනි." අසුට සන්කල කැට්ලින් පසුපස නොබලාම ඉදිරියට ගියාය. වෝල්ඩර් උතුමානන් ගේ පුතුන් හා අනිකුත් පරිවාර සෙබළු ඈ පසුපසින් වැටුනෝය.


Walder Frey: “All those who did go south are running north again.”

32 comments:

  1. Strategic importance of the location.

    ReplyDelete
    Replies
    1. බ්ලැක්බර්ඩ් පයි එකක් කමුද කුමරුනි.? :-D

      Delete
    2. The undisputed champion of defense and strategic retreat .............. I give uuuuu............. PoooooooMMM !

      Delete
    3. Retreat??
      Dude I believe that the bed defense is a good offence.

      Delete
  2. නෙඩ්ගෙන් ඕනිවට වඩා ඉගෙන ගෙන නම් හෙමත් රොබ්ට මේක කර ගන්න බැරි වෙයි... බලමුකො...

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ඇත්ත තමා..

      Delete
    2. රන් කීවොත් කියන්නේ ඇත්ත කතාවක් බූරෝ...:D

      Delete
  3. ට්වින් ටවර්ස් මොන වගේද කියලා මගේ හිතෙත් කුතුහලයක් තිබ්බා. ඔන්න පින්තූරෙ දැකලා එකත් දැන් හරි.

    මම පොත කියවලා ඒවගෙ තිබ්බ සමහර සිද්ධි යූ ටියුබ් එකෙන් බැලුවා. ඒත් මම තීරණය කලා දැනට ටීවී සීරීස් එක තියන තැනට එනකන් පොත් කියවන්නේ නැතුව වීඩියෝ බලන්නේ නෑ කියලා. ඊට පස්සෙ එක සැරේ ටීවී සීරීස් එක බලන්න බැරියැ. book 3 ඉවරයි 4 ට බුකිං එකක් දාලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මම නම් තවම TV Series එන බලලා නැහැ.. බලන්නෙත් නැහැ.. :-)

      6 වෙනි පොත එනකම් මේ බලන් ඉන්නේ...

      Delete
    2. ආයිබෝ වේවා GRRM . පොත් ටික ලියල ඉවර වෙනකම්වත්

      Delete
    3. මම නම් තවම TV Series එන බලලා නැහැ.. බලන්නෙත් නැහැ.. :-) 2 :P

      Delete
  4. අඩේ මේ වෝල්ඩර්ගේ බලකොටු අතිශය තීරණාත්මක මර්මස්ථානයක් වෙලානේ.

    මේ බෙල්ල කියන හැමතිස්සෙම මට මතක් වෙන්නෙම අපේ අර අලිමංකඩ හරිය.:D

    ReplyDelete
    Replies
    1. අලිමංකඩයි බෙල්ලයි දෙකම එකවගේ තීරණාත්මක කපොලු තමා නේ..

      වෝල්ඩර්ගෙ බලකොටුව කියන්නෙ බොහොම වැදගත් තැනක්.. ඒ කාලෙ අද වගේ හැමතැනම පාලම් නැහැ නෙවැ..

      Delete
    2. මෙයා ඒ කාලේ හිටියා වගේ හී හී...

      Delete
  5. මට නම් හිතෙන්නෙම රොබ් නෙඩ්ට වැඩිය හොදින් මේක මෙහෙයවන් යනවා කියලා.. ඒත් ඉතින් අන්තිම වෙනකන් කියන්න බෑ.. බලමුකෝ හෙමීට..

    ReplyDelete
    Replies
    1. බලමු බලමු නේ.. යුද්ධෙ කොයි අතට හැරෙයිද කියන්ට බෑ නෙවැ.. :-)

      Delete
    2. පොත කියවලා කමෙන්ට්ස් කියවනකොට ඒවා පුදුම රහයි දිනේශ්...:D

      Delete
  6. මං පරක්කුයි
    මං යනව....
    හෙට මට ද්විත්ව බලකොටුවෙ යුද්දෙට යන්ට තියෙනව
    හ්හ්

    ReplyDelete
    Replies
    1. හෙට!? හෙට ඉරිදානෙ මහේෂ්.. ඉරිදාට යුද්ධ කරන්නෙ නෑ, නිවාඩු.. :-D

      Delete
    2. හී හී මහෙෂ් විතරයි අවංකව යුද්ධ කරන කෙනෙකුට ඉන්නේ...:)

      Delete
    3. Irida witharak neweyi senasuradath niwadu. And war ends at 4pm on weekdays. Soora pappa.

      Delete
  7. ආයෙම යුද්ධෙකට අවතීර්ණ වෙන්න වගේ නේ ? යුද්ධ වලට ආසා නැතත් මේ කතාවෙ යුද්ධ නැතිවෙන්නෙ නැහැනෙ කවදාවත් :)

    මට හිතෙනවා නෙඩ්ටයි, කැට්ලින්ටයි දෙන්නට වඩා රොබ්ට නුවණ තියෙනවා කියලා....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් හිතෙන ඒවා.. :-P

      Delete
    2. එයාට හිතෙන ඒවා ලියලා වැඩක් නෑලු...:P

      Delete
  8. කන්ට දෙයක් නැහ්ද බොලව්? අර හැලපෙ දැන් නොඑන්නෙත් ඒකයි :)

    ReplyDelete
    Replies
    1. ලඟදීම එනවා. පොඩ්ඩක් ඉවසලා බලාඉන්ට. :P

      Delete