Wednesday 14 January 2015

සන්සා 04-2


රැජිණ මේසය මත වූ ලිපියක් අතට ගත්තාය. කඩදාසිය පොඩි වී ලේ තැවරී තිබුනු නමුදු එහි වූ මුද්‍රාව සිය පියාගේ සලකුණ වන ඝෝරවෘකයා ‍ගේ රුව බැව් ඇය දුටුවාය. "අපට මේක ලැබුනේ ඔයාලගෙ ගෘහාරක්ෂක බලකායෙ කපිතාන් ගාව තිබිලයි සන්සා. ඒක මගේ ස්වාමියාගෙ මල්ලි, ස්ටැනිස්ට ලියාපු ලියුමක්. එයා මේ ලියුමෙන් ස්ටැනිස්ට ආරාධනා කරනවා රාජ්‍යය බාරගන්ට එන්ටයි කියලා."

"අනේ, මගේ උත්තමාවනි. මෙතන මොකක් හරි වැරැදිමක් වෙලා තියෙනවා." හදිසි සන්ත්‍රාසය නිසා සන්සාට ක්ලාන්ත ගතියක්, ඇස් බොඳ වී යන බවක් දැනෙන්නට විය. "අනේ! මගේ තාත්තාව එක්කරන් එන්ට. එයා ඔබතුමීට කියයි. එයා කවදාවත් ඔය වගේ ලියුමක් ලියන්නෙ නෑ. රජතුමා එයාගෙ යාළුවෙක්."

"රොබර්ටුත් එහෙම තමා හිතාගෙන හිටියෙ." රැජිණ කීවාය. "මේ පාවාදීම ගැන දැනගන්ට ලැබුනා නම් එයාගෙ පපුව පැලෙයි. දෙවියො කරුනාවන්ත වුනා ඊට කලින් එයාට ඇස් දෙක පියාගන්ට ඉඩ දීලා." ඇය සුසුමක් හෙලුවාය. "සන්සා, මගේ වස්තුවෙ. ඔයාට පේන්ට ඕන මේ වැඩේ නිසා අපි දැන් මොනතරම් අමාරු තත්ත්වයකටද මූන දීලා ඉන්නෙ කියලා. ඇත්ත, ඔයා මේ කිසිම දේකට වැරැදිකාරියක් නෙවෙයි. අපි හැමෝම ඒ බව දන්නවා. ඒ වුනත් ඔයා දැන් රාජද්‍රෝහියෙකුගෙ දුවක්. මම කොහොමද ඔයාට ඉඩදෙන්නෙ මගේ පුතාව කසාද බඳින්ට?"

"ඒ වුනත් මම එයාට ආදරෙයිනෙ." වියවුල් වූ, තැතිගත් සන්සා වැලැපුනාය. ඔවුන් ඇයට කුමක් කරන්නට බලාපොරොත්තු වන්නේද? ඔවුන් සිය පියාට කුමක් කලාද? මෙය මෙලෙසින් සිදුවිය යුතුව තිබුනු දෙයක් නොවේ. ඇය ජොෆ්රිත් සමග විවාහ වීමට නියමිතව තිබුනි. ඔවුන් විවාහ ගිවිසගෙන තිබුනි. ඇය ඒ ගැන අනන්ත සිහින දැක තිබුනි. ඇගේ පියා විසින් සිදුකරන්නට යෙදුනා යැයි සැක කෙරෙන අකටයුත්තක් නිසා සිය ආදරණීය කුමරුවා ඇගෙන් වෙන් කිරීමට තැත්කිරීම කෙතරම් අසාධාරණ ද?

"ඒ ගැන මම කොච්චර හොඳට දන්නවද දරුවො." සෙර්සි කීවාය. ඇගේ ස්වරය අතිශයින්ම කරුනාවන්ත හා ආදරණීය විය. "ආදරේ නිසා නෙවෙයි නම් වෙන මොකටද ඔයා මා ගාවට ඇවිල්ලා ඔයාව අපෙන් වෙන්කරලා ආපහු වින්ටර්ෆෙල්වලට යවන්ට ඔයාගෙ තාත්තා කරපු සැලසුම් ගැන මට කිවුවෙ?"

"ඒ ආදරේ වෙනුවෙන් තමා." සන්සා දඩිබිඩියේ කියාගත්තා ය. "තාත්තා අඩුමගානෙ මට ආයුබෝවන් කියන්ටවත් ඉඩක් දුන්නෙ නෑ." ඇය සැමදාමත් හොඳ ගැහැණු දරුවකු විය. කීකරු ගැහැණු දරුවකු විය. එනමුදු එදා උදෑසන ඇයට ආර්යා තරමටම නපුරු සිතුවිලි පහලව තිබුනි. එබැවින් ඇය සෙප්ටා මෝර්ඩේන්ව හෙමින් සීරුවේ මඟහැර සිය පියා‍ගේ අභිමතයට පිටුපාමින් කටයුතු කලාය. ඇය මෙවැනි හිතුවක්කාරකමක් මින් පෙර කිසි දිනෙකත් සිදු කොට නොතිබුනි. ඇය ජොෆ්රිට මෙතරම් ආදරය නොකලා නම් ඇය අතින් එවැන්නක් කිසිදාකත් නොවන්නට ද ඉඩ තිබුනි. "එයා ලෑස්ති වුනේ මාව ආපහු වින්ටර්ෆෙල්වලට අරන් ගිහිල්ලා ඔය දෙකයි පනහෙ නයිට් කෙනෙකුට බන්දලා දෙන්ටයි. ඒ වුනත් මට ඕන වුනේ ජොෆ්රිවයි‍. මම එයාට කිවුවා. ඒත් එයා මට ඇහුම්කන් දුන්නෙ නෑ." රජතුමා හමුවීම ඇගේ අන්තිම බලාපොරොත්තුව විය. ඇයට දිගටම කින්ග්ස් ලෑන්ඩින්ග්වල නැවතී හිඳ ජොෆ්රි හා විවාහ වන්නට ඉඩ දෙන්නැයි රජතුමා පියාට අණ කරනු ඇත. ඔහුට එසේ කල හැකි වනු ඇති බව සන්සා දැන සිටියාය. එනමුදු රජතුමා සෑමවිටම ඇයව බියපත් කරන්නට සමත්ව සිටියේය. ඔහු හැමවිටම අර ගැඹුරු හඬින් කෑගසමින්, නිතරම් බීගත්වන සිටියේය. අනෙක, ඔවුන් ඇයට රජතුමාව බැහැ දකින්නට ඉඩ දුන්නද ඔහු කිසිත් නොකර ඇයව නැවත පියා වෙතම එවන්නට ද පුළුවන. එමනිසා ඇය රජතුමා වෙනුවට රැජිණ හමුවීමට ගියාය. ඇය සෙර්සි හමුවී සිය හදවතේ ඇති සියළුම දුක්ඛ දෝමනස්සයන් ඇය ඉදිරියේ වමාරා දැමූ අතර රැජිණ ඇගේ කතාවට ඉවසිල්ලෙන් සවන් දී ඇයට මුව නොසෑහෙන සේ ස්තූති කලාය... එයින් පසු සෙර් ඒරිස් විසින් ඇයව මේගර් ගේ බලකොටුවේ අර කාමරයට කැඳවාගෙන ගොස් ඇයව මුර පිට තැබීය. එයින් පැය කිහිපයකට පසු පිටත සටන් ඇවිලුනි. "අනේ කරුනාකරලා." ඇය සිය කතාව අවසන් කලාය. "මට ජොෆ්රිව කසාද බඳින්ට ඔබතුමී ඉඩදෙන්ට. මම හැමදාමත් එයාට හොඳ භාර්යාවක් වෙන්නම්. ඔන්න බලන්ටකො. මම ඔබතුමී තරම්ම හොඳ රැජිණක් වෙන්නම්. මම පොරොන්දු වෙනවා."

සෙර්සි අනිකුන් දෙස බැලුවාය. "මගේ උතුමනි. ඔබලා මොකද හිතන්නෙ එයාගෙ ඉල්ලීම ගැන?"

"දුප්පත් අහිංසක දරුවා." වාරිස් මිමිනීය. "කොච්චර අවංක, කොච්චර අහිංසක ආදරයක්ද. මගේ උත්තමාවනි, ඒ වගේ ආදරේකට ඉඩ නොදෙන එක බොහොම නපුරු වැඩක් වේවි... ඒ වුනත්, අපි මොකද කරන්නෙ? එයා‍‍ගෙ තාත්තා අපරාධකාරයෙක් විදියට හංවඩු ගැහිලයි තියෙන්නෙ." ඔහුගේ මෘදූ දෑත් කිසිදු පිළිසරණක් නොමැති අයුරින් එකට ඇඹරෙන්නට විය.

"රාජද්‍රෝහියෙකුගෙ බීජයෙන් ඉපදුන දරුවෙකුට පාවාදීම් වගේ දේවල් නිකංම ඇඟට එනවා." ප්‍රධාන මේස්ටර් පයිසෙල් කීය. "එයා දැන් බොහොම ආදරණීය වස්තුවක් තමා. ඒ වුනත් කාටද කියන්ට පුළුවන් තව අවුරුදු දහයකින් එයා මොන මොන විදියෙ කුමන්ත්‍රණ කරන්ට පටන්ගනියිද කියලා?"

"නෑ!" සන්සා බියෙන් ත්‍රස්ත වී කෑගැසුවාය. "මම එහෙම කරන්නෙ නෑ. මම කවදාවත් එහෙම කරන්නෙ නෑ... මම ජොෆ්රිව පාවලා දෙන්ට යන්නෙ නෑ. මම එයාට ආදරෙයි. මම දිවුරනවා."

"ආහ්! කොච්චර ඛේදජනක ද." වාරිස් කීය. "ඒ වුනත් දිවුරුම්, පොරොන්දු වලට වඩා ලේ ඝනකමයි කියන්නෙ බොරුවක් නෙවෙයි."

"එයාව දැක්කහම මට මතක් වෙන්නෙ එයාගෙ අම්මා, තාත්තා නෙවෙයි." පෙටයර් බේලිෂ් උතුමානන් සන්සුන් ස්වරයෙන් කීවේය. "බලන්ට එයා දිහා. එයාගෙ කොණ්ඩෙ, එයාගෙ ඇස්. එයා හරියටම කැට් ඔය වයසෙදි හිටියා වගේමයි."

රැජිණ ගැටළුවකට මැදි වූ ස්වරයෙන් ඇය දෙස බලා සිටින්නට විය. එනමුදු ඒ කොළ පැහැ දෑස් තුළ වූ කරුනාවන්ත බව සන්සා පැහැදිලිවම දුටුවාය. "දරුවො. ඔයා ඔයාගෙ තාත්තා වගේ නෙවෙයි කියලා මට ඇත්තටම විශ්වාස කරන්ට පුළුවන්නම් ඔයාව මගේ පුතා ජොෆ්රිට කසාද බන්දලා දෙන එක තරම් වෙන සතුටක් මට මේ මුලු ලෝකෙම නෑ. මම දන්නවා එයාත් ඔයාට එයාගෙ මුලු හදවතින්ම ආදරේ කරනවා කියලා." ඇය සුසුමක් හෙලුවාය. "ඒ වුනත්, බොහොම කණගාටුයි මෙහෙම කියනවට. වාරිස් උතුමානනුයි ප්‍රධාන මේස්ටර් තුමායි කියාපු දේ ඇත්ත. ලේ කියන්නෙ බොහොම ඝනකම දෙයක්. මට හොඳට මතකයි කොහොමද ඔයාගෙ නංගි අර ජරා වෘකයා ම‍ගේ පුතාට උසි ගැන්නුවෙ කියලා."

"මම ආර්යා වගේ නෙවෙයි." සන්සා කියෙවුවාය. "එයාට තමා රාජද්‍රෝහියෙකුගෙ ‍ලේ තියෙන්නෙ. මට නෙවෙයි. මම හොඳ දරුවෙක්. අහන්ට සෙප්ටා මෝර්ඩේන්ගෙන්. එයා ඔබතුමීට කියයි. මට ඕන එකම දේ ජොෆ්රිගෙ ආදර බිරිඳ වෙන එක විතරයි."

සෙර්සි බරපතල දෑසින් ඇගේ මුහුණ නිරීක්ෂණය කලාය. "ඔයා ඔය කියන්නෙ ඇත්තම ඇත්ත කියලා මම විශ්වාස කරනවා දරුවො." ඇය අන්‍යයන් දෙසට හැරුනාය. "මගේ උතුමනි. මට පේන විදියට මේ නරක නපුරු වෙලාවෙ එයාගෙ අනිත් නෑයො ටිකත් අපට පක්ෂපාතීව තියාගන්ට පුළුවන් නම් අපේ බය සැක සෑහෙන දුරට අඩුකරගන්ට පුළුවන්."

ප්‍රධාන මේස්ටර් පයිසෙල් සිය දිගු රැවුල සෙමින් පිරිමැද්දේ ය. ඔහුගේ නළල කල්පනාව නිසා රැළි නැංවුනි. "එඩාර්ඩ් උතුමානන්ට පුත්තු තුන්දෙනෙක් ඉන්නවා."

"පොඩි කොල්ලොනෙ." පෙටයර් උතුමානන් දෙවුර අකුළමින් කීවේය. "මම ඊට වඩා වදවෙනවා කැට්ලින් ආර්යාවයි ටලීලායි ගැන."

රැජිණ සන්සා ගේ අත දෝතින්ම අල්ලාගත්තා ය. "දරුවො. ඔයා අකුරු දන්නවා නේද?"

සන්සා බයාදු අයුරින් හිස වැනුවාය. ඇය සිය සොයුරන් සැමටම වඩා හොඳින් ලියන්නටත් කියවන්නටත් දැන සිටියාය. ඇයට අපහසු වූ එකම දෙය ගණිතය පමණි.

"මට බොහොම සන්තෝසයි ඒක අහන්ට ලැබුනට. සමහරවිට ඔයාටයි ජොෆ්රිටයි තාමත් බලාපොරොත්තු තියාගන්ට පුළුවන් වෙයි..."

"මම මොකක්ද කරන්ට ඕන?"

"ඔයා ලියුම් ලියන්ට ඕන ඔයාගෙ අම්මටයි, ඔයාගෙ සහෝදරයටයි. වැඩිමල් එක්කෙනාට... මොකක්ද එයා‍ගෙ නම?"

"රොබ්."

"කිසිම සැකයක් නෑ, ඔයාගෙ තාත්තගෙ රාජද්‍රෝහිකම ගැන විස්තරේ එයාලට ඉක්මනටම දැනගන්ට ලැබෙයි. වඩා හොඳ නැද්ද ඒක ඔයාගෙන්ම එයාලට දැනගන්ට ලැබුනානම්? ඔයා එයාලට කියන්ට ඕන කොහොමද එඩාර්ඩ් උතුමානන් එයාගෙ රජතුමාව පාවාදුන්නෙ කියලා."

සන්සාට ඉතාම දරුණු අයුරින්, බලාපොරොත්තු රහිත අයුරින් ජොෆ්රිව උවමනා විය. එනමුදු රැජිණ පවසන කටයුත්ත සිදුකිරීමට තරම් ධෛර්‍යයක් තමා තුළ තිබේයැයි ඇය විශ්වස නොකලාය. "ඒ වුනත් එයා කවදාවත්... මම දන්නෙ නෑ... මගේ උත්තමාවනි. මම දන්නෙ ‍නෑ මොකක් කියන්ට ද කියලා..."

රැජිණ ඇගේ අතට තට්ටු කලාය. "අපි ඔයාට කියන්නම් මොනවද ලියන්ට ඕන කියලා දරුවො. වැදගත්ම දේ තමා ඔයා කැට්ලින් ආර්යාවටයි ඔයාගෙ අයියටයි කියන්ට ඕන රජතුමාගෙ සාමය ආරක්ෂා කරන් සාමකාමීව ඉන්ට කියලා."

"එයාලා එහෙම නොකලොත් ඒක එයාලට බො‍හොම දරුණුවට බලපායි." මේස්ටර් පයිසෙල් කීවේය. "ඔයාගෙ හිතේ එයාලා ගැන තියෙන ආදරේ නාමයෙන් එයාලට කියන්ට ඥානවන්ත විදියට වැඩ කරන්ටයි කියලා."

"කිසිම සැකයක් නෑ, ඔයාගෙ අම්මා ඔයා ගැන බයවෙයි." රැජිණ කීවාය. "ඔයා එයාට කියන්ට ඕන අපේ රැකවරණය යටතෙ ඔයා බොහොම හොඳින් ඉන්නවා කියලා. අපි ඔයාට බොහොම කරුනාවෙන් සලකනවා, ඔයාගෙ හැම ඕනෑඑපාකමක් ගැනම හොයා බලනවා කියලා කියන්ට. ජොෆ්රි සිංහාසනේට නැග්ගාට පස්සෙ කින්ග්ස් ලෑන්ඩින්ග්වලට ඇවිල්ලා එයාට පක්ෂපාතියි කියලා දිවුරන්ට කියලා එයාලට කියන්ට. එයාලා එහෙම කලොත්... ඇයි, එතකොට අපට හොඳටම තහවුරු වෙයි ඔයාගෙ ලේ වල කිසිම වැරැද්දක් නැහැයි කියලා. ඉතින් ඔයා වැඩිවිය පත්වුනාට පස්සෙ බේලර්ගෙ සප්තකයට ගිහිල්ලා දෙවිවරුයි මිනිස්සුයි ඉදිරියේ රජතුමාව කසාද බඳින්ට ඔයාට පුළුවන් වෙයි."

'... රජතුමාව කසාද බඳින්ට...' මේ වදන් නිසා ඇගේ හදගැස්මේ සීග්‍රතාව වැඩි විය. එනමුදු තවමත් සන්සා අතීරණයෙන් පෙලුනාය. "සමහරවිට... මට මගේ තාත්තාව මුනගැහෙන්ට පුළුවන් නම්... එයාත් එක්ක මේ ගැන කතාකලොත්..."

"රාජද්‍රෝහිකම?" වාරිස් උතුමානන් කීය.

"ඔයා ‍බොහොම නරක විදියට මගේ බලාපොරොත්තු බිඳලා දැම්මා සන්සා‍." රැජිණ ගලක් මෙන් දැඩි වූ දෑසින් යුතුව කීවාය. "අපි ඔයාට කිවුවා ඔයාගෙ තාත්තා කරපු අපරාධ ගැන. ඔයා ඔය කියන තරම්ම අපට පක්ෂපාතියි නම් ඇයි ඔයාට එයාව දකින්ට ඕන වෙන්නෙ?"

"මම... මම හිතුවෙ..." සිය දෑස් තෙමෙනු සන්සාට දැනුනාය. "අනේ... එයාට... එයාට මොකුත්... තුවාලයක්... එයාට මොකුත් හානියක්..."

"එඩාර්ඩ් උතුමානන්ට කිසිම හානියක් වෙලා නෑ." රැජිණ කීවාය.

"ඒ වුනත්... එයාට මොකක්ද සිද්දවෙන්ට යන්නෙ?"

"ඒක තීරණය කරන එක රජතුමාට අයිති දෙයක්." ප්‍රධාන මේස්ටර් පයිසෙල් බරපතල ස්වරයෙන් කීය.

රජතුමා! ඇසිපිය ගැසූ සන්සා සිය කඳුළු නවතාගත්තා ය. 'දැන් ජොෆ්රි තමා රජතුමා.' ඇය කල්පනා කලාය. ඇගේ නිර්භීත කුමරුවා කිසිදිනෙකත් ඇගේ පියාට අනතුරක් නොකරනු ඇත. ඔහු කවර වරදක් කර තිබුනත් ඔහුට හානියක් නොකරනු ඇත. ඔහු වෙතට ‍ගොස් පියාට ක්ෂමාව භජනය කරන මෙන් ආයාචනා කර සිටියොත් ඔහු තමාට ඇහුම්කන් දෙනු ඇති බැව් ඇයට නිසැක විය. ඔහු ඇයට ඇහුම්කන් දිය යුතුමය. ඔහු ඇයට ආදරය කරයි. රැජිණ පවා ඒ බැව් පිළිගත්තා ය. කෙසේවුවද සිය පියාට යම් දඬුවමක් දීමට ජොෆ්ට සිදුවනු ඇත. සෙසු වංශාධිපතියන් ඔහුගෙන් එවැන්නක් බලාපොරොත්තු වනු ඇත. සමහරවිට ඔහු පියාව නැවත වින්ටර්ෆෙල් කරා පිටත් කර හරිනු ඇත. එසේත් නැතහොත් පටු මුහුදින් එතෙර නිදහස් වෙළෙඳ නගරයක් වෙත පිටුවහල් කරනු ඇත. එය වසර කිහිපයක් තරම් සුළු කාලයකට පමණි. ඒ වනවිට ඇයත් ජොෆ්රිත් විවාහ වී සිටිනු ඇත. ඊට පසු, ඇය රැජිණ වූවායින් පසු පියා නැවත ගෙන්වාගෙන ඔහුට සමාවක් ප්‍රදානය කිරීමට ජොෆ්රිව පොළොඹවා ගැනීමට ඇයට හැකි වනු ඇත.

එහෙත්... අම්මා හෝ රොබ් හෝ යම් රාජද්‍රෝහී ක්‍රියාවක් සිදු කලහොත්? සිය යටත් ධජ කැඳවා සටනට පැමිණියහොත්, පක්ෂපාතී බවට දිවුරුම් දීම පිළිකෙව් කලහොත් හෝ වෙනත් ‍එවැනි මෝඩ වැඩක් කලහොත්? මේ සැලසුම් සියල්ල වැරැදී යනු ඇත. සිය ආදරණීය ජොෆ්රි හොඳ, කරුනාවන්ත පුද්ගලයකු බැව් ඇය මුලු හදින්ම දැන සිටියාය. එනමුදු තමාට එදිරිව කැරැළි ගසන්නන්ට විරුද්ධව තදින් සිටීමට රජෙකුට අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. ඔවුන්ට තත්ත්වය අවබෝධ කර දීමට ඇයට සිදුවී ඇත. ඇයට සිදුවී ඇත!

"මම... මම ලියුම් ටික ලියන්නම්." සන්සා කීවාය.

හිරුඋදාව මෙන් ප්‍රබෝධවත් සිනහවක් මුවේ ඇතුව පෙරට නැමුනු සෙර්සි ලැනිස්ටර් ඇගේ කම්මුල් මෘදුව සිම්බාය. "මම දැනගෙන හිටියා ඔයා ඒක කරයි කියලා. ඔයා අද දවසෙ මෙතැන කොච්චර ධෛර්‍යවන්තව හිටියාද, කොච්චර බුද්ධිමත්ව කටයුතු කලාද කියලා මම ජොෆ්රිට කිවුවහම එයාට හරියට ආඩම්බර හිතෙයි."

* * *

අන්තිමේදී ඇය ලිපි හතරක්ම ලියුවාය. ඇගේ මව කැට්ලින් ටලී ආර්යාවට, වින්ටර්ෆෙල්හි සිටින ඇගේ සොහොයුරන්ට, ඉයරිහි සිටින ඇගේ පුංචි අම්මා ලයිසා ඒරින් ආර්යාවට හා ඇගේ සීයා රිවර්රන්හි හස්ටර් ටලී උතුමානන්ට ඒ ලිපිවලින් ඇමතුනි. මේ සියල්ල හමාර වනවිට ඇගේ අතැඟිලි හිරි වැටී, තීන්ත පැල්ලම්වලින් වැසී ගොස් තිබින. වාරිස් ඇගේ පියාගේ මුද්‍රාව රැගෙන ආයේය. ඉටිපන්දම් දැල්ලකට ඉහළින් අල්ලා සුදු පැහැ මී ඉටි උණු කල සන්සා ඒවා කඩදාසිය මත වත්කර, වාරිස් විසින් ස්ටාර්ක් වංශයේ ඝෝරවෘකයා ගේ සලකුණ තබා ඒ සෑම ලිපියක්ම මුද්‍රා තබන ආකාරය දෙස බලා සිටියාය.

සෙර් මැන්ඩන් මූර් විසින් ඇයව නැවත මේගර් ගේ බලකොටුවේ ඇගේ කාමරය වෙත කැඳවාගෙන ආ විට ජේන් පූල් හා ඇගේ බඩු බාහිරාදිය සියල්ල අතුරුදන්ව තිබුනි. 'තවත් නම් ඇඬිලි නෑ.' ඇය සැනසුම් සුසුමක් හෙලමින් සිතුවාය. එනමුදු ජේන් නැතිවීම නිසා ඇයට කුටිය තුළ වඩාත් සීතල දැනෙන්නට විය. ඇය ගින්නක් දැල්වුවද ඒ සීතය පහනොවීය. ගිනිඋඳුන අසලට පුටුවක් ඇදගෙන, ඇගේ ප්‍රියතම පොතක් අතට ගත් ඇය, ෆ්ලෝරියන් හා ජොන්ක්විලුත්, ෂෙලා ආර්යාව හා දේදුනු නයිට්වරයාත්, නිර්භීත ඒමන් කුමරා හා සිය සොහොයුරා ගේ බිරිඳ කෙරෙහි ඔහු තුළ ඇතිවූ විනාශකාරී ආලයත් ගැන කියැවෙන රසබර කතා අතරේ කිමිදෙමින් අතරමං වූවාය.

රැයේ බොහෝ වේලා ගෙවීගිය පසු, නිදි දෙව්දුව කෙමෙන් කෙමෙන් ඇය කරා ළඟාවද්දී සන්සාට හදිසියේම මෙන් සිහිපත් වූයේ තමාට සිය සොයුරිය පිළිබඳ විමසන්නට අමතක වූවා නේද යන්නයි.


Cersei Lannister: “Joffrey would never forgive me if anything happened to his precious.”

42 comments:

  1. බුදු අම්මේ
    මේ වගේ ගොං අපත මැටි මෝල් ගහක්....
    ආර්රයිපී නෙඩ් ස්ටාර්ක්...
    උඹැහෙ වගේම බොලාගෙ දුවත් ගොංම ගොං ගහක්...
    ආර්යා දුවපං හිටු කියල...... ඔරේ රන් එක තිය...
    හුරේ

    ReplyDelete
    Replies
    1. පොඩි දරුවොනෙ මහේෂ්.. මොනා තේරෙනවා කියලද..

      Delete
    2. අනේ පව් මහේෂ්. නෙඩ් කියන්නේ ගොං ගහක් නෙමේ. ගොං ගහක්? :O

      Delete
    3. ගොං ගහක් කියන්නේ හරක් බඳින ගහකට. ගොං බඳින කණුවක් කියලයි අපේ මව් රැජින නම් කියන්නේ

      Delete
    4. ඔය පොම් කියල දීල තියෙන්නෙ ලස්සනට....
      හිහි

      Delete
    5. // ගොං බඳින කණුවක් කියලයි අපේ මව් රැජින නම් කියන්නේ //

      කාටද එහෙම කියන්නෙ? පොම්ට ද? :-P

      Delete
    6. වෙන කාටද ඉතින් :P

      Delete
  2. See I told you so :P
    Love.. If it's true, trumps everything. ( thats the theory at least)

    ReplyDelete
    Replies
    1. //love trumps//?
      Hearts?
      Sorry to burst the rosy bubble PoM. But diamonds are more reliable. However, don't say so to Fuji unless u want a club on ur head and have dug ur own grave with a spade.

      Delete
    2. How about a 'partner close' game..?? ;-)

      Delete
    3. Hmm , the problem is in Bridge at least the terminology for the partner closed type of game is not very auspicious for PoM's purposes : "dummy" or "cut-throat" game

      Delete
    4. Whose playing bridge here? :P
      It's neds own fault not understanding that the grl is in love. And the queen is shrewd enough to capitalize on his fault.

      It's not a rosy bubble pj :P. As a motivator love is quite effective. It could be even better than other popular motivators like money revenge patriotism etc. Queen is not a very good player. But here she has an ace in the hole :P

      Delete
    5. ඕකට කියන්නෙ පොම් "ප්‍රතිවාදියාගෙ අත හොරෙන් බලලා තුරුම්පු ඇදීම" කියලා... :-D

      ps: ඇත්තෙන්ම කිවුවොත් මෙතන හො‍රෙන් බලලත් නෑ. ප්‍රතිවාදියාමයි තමන්ගෙ අත පෙන්නලා "හා පුළුවන්නම් දිනහං!" කිවුවෙ.. :-P

      Delete
    6. //
      ඇත්තෙන්ම කිවුවොත් මෙතන හො‍රෙන් බලලත් නෑ. ප්‍රතිවාදියාමයි තමන්ගෙ අත පෙන්නලා "හා පුළුවන්නම් දිනහං!" කිවුවෙ.. :-P//

      Amen to that dude

      Delete
    7. හාරතෙන් කියලා
      රුවිතෙන් කොලේ ඇදලා
      කලාබර වහලා
      ඉස්කෝප්පෙන් තිබුනි කැපිලා... :-D

      (උපුටාගැනීම - සකිරිපිංචි)

      Delete
    8. @PoM,

      //Love.. If it's true, trumps everything//

      අම්මෝ...මෙයා අර ගිනි කන්දට හරි ආදරේ වගේනේ....:P

      Delete
    9. //As a motivator love is quite effective//

      OMG...here we go again ... :P

      Delete
    10. @ PK

      //අම්මෝ...මෙයා අර ගිනි කන්දට හරි ආදරේ වගේනේ....:P//

      නැතුව නැතුව :D

      //OMG...here we go again ... :P//

      u dont think so?

      Delete
  3. බොලඳකම ගැහැණියකට වෙලාවකට ආභරණයක් වෙනවා ඒත් බොහෝවිට අපලයක්..

    ReplyDelete
    Replies
    1. අපලෙ වෙන්නෙ පිරිමියාට නේද සරත්.. ;-)

      Delete
    2. අනේ ඔව් සරත්. බොළඳ ගෑනුන්ට ඔයාලා රැවටෙනවානේ...පව්..:P

      Delete
    3. ෂ්..ෂ්.. හාමිනේට ඇහෙයි..

      Delete
  4. කෙල්ල වැරදියි තමයි.... ගෙඩි පිටින් විස්තරේ කියන්න.. ඒ වුණාට මෙතන වගකීම යන්නේ නෙඩ් ට... ඌ දන්නවනේ මේ කෙල්ල ජොෆ්‍රි එක්ක පිස්සුවෙන් වගේ ලව් කියල... ඒ නිසා උන්ටත් නොකිය මේක ලෑස්ති කරන්න තිබ්බේ... දැන් ඉතින් බඩු බනිස්...

    ReplyDelete
    Replies
    1. අනිවා.. සීක්‍රට් ප්ලෑන් එකක් නම්‍, තත්ත්වය බැරෑරුම් කියලා දන්නවානම් අඩුම ගානෙ තමන්ගෙ දුවලාටවත් සීන් එක නොකියා ඉන්ටයි තිබුනෙ.. 'අවංක අප්පච්චි කෙනෙක්' නෙ අප්පා.. :-D

      Delete
    2. //ඌ දන්නවනේ මේ කෙල්ල ජොෆ්‍රි එක්ක පිස්සුවෙන් වගේ ලව් කියල.//

      ජොෆ්‍රිට ලව්ද? සිංහාසනේට ලව්ද දන්නේ නෑනේ? :D

      Delete
  5. ඔය කොරල තියන්නේ ලස්සනට... කෙල්ලෝ හිටි හිටි තැන ඉවරයි ආය... දැන් ඉතින් ලස්සනයි වැඩේ.. අර කට්ටියට රැජින ගාවට බඩගාන එකයි තියන්නේ.. පවු අර අසරණයා..

    ReplyDelete
    Replies
    1. // කෙල්ලෝ හිටි හිටි තැන ඉවරයි ආය... //

      ආර්යාව මේවා දැකලා මොනා කියයිද මන්දා.. :-O

      Delete
    2. හහ්... එතකොට අර කෝච්චිවලට අපේ නම් දාන්නේ මොකටද? :P

      Delete
    3. කෙල්ලෙකුට හිත ගියහම කෝච්චියට අහු වුනා වගේ හින්දනේ මැඩම් :P

      නෝ එස්කේප් ලු

      Delete
    4. මව් රැජිනගේ නමිනුත් කෝච්චියක් තියනවලු හිකි හිකි

      Delete
  6. මම නම් සන්සාට මුකුත් කියන්නේ නැහැ.
    ආදරේ අන්ධයිලු නේ ඉහි,ඉහි!

    ReplyDelete
    Replies
    1. 'ඉහි ඉහි' තමා කියන්ට වෙන්නෙ... :-D

      Delete
    2. මට නම් කියන්ට තියෙන්නේ හී හී...

      Delete
  7. සන්සාගෙ මෝඩ කම විතරක් නෙවෙයි මෙතනදි ,නොදැනුවත් කමකුත් තියෙනවා. ඕක තමා කෙල්ලො ඉතින් ඉක්මනටම ආලෙන් අන්ධ වෙනවනේ :)

    ReplyDelete
    Replies
    1. "ආලෙන් වෙලාගන්ට කෝලම් කලා" කියන්නෙ මේ වගේ එවුවට වෙන්ටැති නේද? :-D

      Delete
    2. ඔව් ඉතින් ගොඩක් කෙල්ලන්ගේ මොළේ තියෙන්නේ හැඳි මිටේනේ..:D

      Delete
    3. ආහ් එතකොට ආලෙන් අන්ධ වෙනවලුද? :O

      Delete
  8. මරු කියන්න වචන නැ පැහැදිලි කිරීම් කරන්න වෙන්නේ වර්නනවෙන්ම තමයි :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හොරා! :-)

      Delete
    2. හොරුන්ගේ හිතුවිලි දැනගන්ට හරි අමාරුයි. කොච්චර එක්ක්ද මෙහෙමවත් ඒවා දැනගන්ට ලැබෙන එක...:D

      Delete
  9. මේකට ඇත්තටම කියන්නේ බොළඳ කමද නැත්නම් ඉතින් වෙන මොකක් හරිද..

    ReplyDelete
    Replies
    1. බොළඳකම එක්ක මෝඩකම නේ? :P

      Delete