Monday 12 January 2015

සන්සා 04-1


තෙවන දිනයේ දී ඔවුහු සන්සා සොයා පැමිණියෝ ය.

ඇය කර වටා හා අත්වල ගෙත්තමින් වැඩ දැමූ, තද අළු පැහැ ලොම් ඇඳුමකින් සැරසුනාය. සේවකයින් නොමැතිව තනිවම ඇඳුමේ බොත්තම් පියවීමට දැරූ උත්සාහයේදී සිය අතැඟිලි මොට්ට වී අනම්‍ය වී ඇතැයි ඇයට හැඟෙන්නට විය. ජේන් පූල් ද ඇය සමග සිටිමුත් ඇය කිසිසේත්ම වැඩක් ගතහැකි මට්ටමේ පසු නොවීය.ජේන් නොනවත්වාම සිය පියා වෙනුවෙන් වැලපෙමින් සිටි අතර හැඬීම නිසා ඇගේ මුහුණ ඉදිමී තිබින.

"මට කිසිම සැකයක් නෑ ඔයාගෙ තාත්තා හොඳින් ඉන්නවා." අන්තිමේදී ගවොමේ බොත්තම් සියල්ල නිවැරැදිව පියවා ගැනීමට සමත් වූ පසු ඇය ජේන් අමතා කීවාය. "මම රැජිණගෙන් අහන්නම් ඔයාට එයාව බලන්ට දෙන්ටයි කියලා." මේ කාරුණික වදන් නිසා ජේන්ගේ තත්ත්වය මඳක් හෝ යහපත් වේ යැයි ඇය බලාපොරොත්තු වූවාය. එනමුදු රත් පැහැ ඉදිමුනු දෑසින් ඇය දෙස වරක් බැලූ ජේන් නැවත පෙරටත් වඩා හයියෙන් හඬන්නට වූවාය. ඇය ඇත්තෙන්ම කුඩා දැරියක බඳු විය.

මුල්ම දිනයේ නම් සන්සා ද වැලපී තිබුනි. මේගර් ගේ බලකොටුවේ දැවැන්ත ගල්බිත්ති වලින් ආරක්ෂා වී, ඇගේ කාමරයේ දොර වසා අගුළුලාගෙන සිටිමුත් ඝාතන ඇරඹුනු විට බිය නොවී සිටීම අසීරු කරුනක් විය. අංගනයේ ආයුධ එකට ගැටෙන හඬ ඇය හොඳින් අසා හුරුපුරුදු හඬක් විය. වානේ අසිපත් එකිනෙක ගැටෙන හඬ නොඅසා ගෙවූ දිනක් ඇගේ ජීවිත කාලයේ නොවූ තරම් විය. එනමුදු මේ ආයුධ ගැටීම සරඹ පුහුණවක් නොව සැබෑටම සිදුවන සටනක් බව දැනගැනීම තත්ත්වය වෙනස් කලේය. එය මින් පෙර කිසිදු දිනෙක අසා නැති අමුතුම හඬක් මෙන් ඇයට ඇසෙන්නට විය. එමෙන්ම එහි තවත් හඬවල් විය. වේදනාවෙන් කල කෑගැසීම්, කෝපයෙන් කල අවලාද නැගීම්, උදවු ඉල්ලා නැගූ හඬ, තුවාල ලැබූවන් ගේ හා මියයමින් සිටින්නන් ගේ වේදනාත්මක අඳෝනා ආදි සැමෙකක්ම එහි මුසු වී තිබුනි. වීර කාව්‍යවලදී නම් නයිට්වරුන් කෙදිනකවත් වේදනාවෙන් කෑගැසුවේවත් සමාව ඉල්ලා ආයාචනා කලේවත් නැත.

එබැවින් ඇය වැලපුනාය. සිදුවන්නේ කුමක්දැයි තමාට කියන මෙන් වැසුනු දොර හරහා ඔවුන්ගෙන් අයැදිමින් වැලපුනාය. ඇගේ පියා, සෙප්ටා මෝර්ඩේන්, රජතුමා, ඇගේ නිර්භීත කුමරුවා මේ කවුරුන් හෝ ඇය වෙත ගෙන එන්නැයි අයැදිමින් වැලපුනාය. ඇයව මුරකරමින් සිටි මිනිසුන්ට ඇගේ කෑගැසීම ඇසුනාද නැද්ද යන්න සිතාගත නොහැකි කරුනක් වූ අතර එසේ ඇසුනා වුවද ඔවුහු එය නොතකා හැරියෝය. ඒ දොර ඇරුනු එකම අවස්ථාව වූයේ එදින රැයේ සීරීම් තැලීම් සහිතව බියෙන් වෙවුලමින් සිටි ජේන් පූල්ව කාමරය තුළට තල්ලු කිරීමට පමණි. "උං හැමෝවම මරනවා." නිවාස බාරකරුවා ගේ දියණිය මුරගෑවාය. ඇය දිගින් දිගටම කියවාගෙන ගියාය. දඩබල්ලා පොරොවකින් ගසා සිය කාමරයේ දොර දෙපලු කල බව ඇය කීවාය. හස්තයේ කුළුණේ පියගැට පෙළ මත මළසිරුරු විසිරී තිබුනු අතර පියගැට ලෙයින් පෙඟී ගොස් තිබුනි. සිය කඳුළු නවතාගත් සන්සා ඇගේ මිතුරියව සැනසීමට වෑයම් කලාය. එදින රැයේ ඔවුන් දෙදෙන සොයුරියන් දෙදෙනෙකු මෙන් එකට තුරුළු වී නින්දට ගියෝය.

දෙවන දිනය පෙරදාටත් වඩා නරක් විය. සන්සාව රඳවා තැබූ මේ කාමරය මේගර් ගේ බලකොටුවේ වූ උසම කුළු‍ණේ උඩම පිහිටියේය. එහි කවුළුවකින් එබී බැලූ ඇයට මේගර් ගේ බලකොටුව ඒ වටා පිහිටි විසල් රතු බලකොටුවෙන් වෙන් කරන වියළි අගලට ඉහළින් වූ පාලම ඔසවා තිබෙන අයුරුත්, ප්‍රධාන ද්වාරයේ කටු පැලැල්ල පහත දමා තිබෙන අයුරුත් දිස්විය. දිගු හෙලි හා හරස් දුනුවලින් සන්නද්ධ වූ ලැනිස්ටර් සෙබළු පවුරු මුරකලෝය. සටන් අහවර වී තිබුනු අතර රතු බලකොටුව පුරාම සොහොන් ගැබක මෙන් නිහඬතාවක් පැතිර තිබුනි. ඇසුනු එකම ශබ්දය වූයේ ජේන් පූල්ගේ නොනවතින වැලැපුම් හඬ හා කෙඳිරීම් හඬ පමණි.

උදෑසන ආහාරය වෙනුවෙන් ඔවුන්ට අලුත පිලිස්සූ පාන්, චීස් හා කිරි ද, දිවා ආහාරය වෙනුවෙන් පැළහූ කුකුළු මස් හා එළවළු ද, රාත්‍රී ආහාරය වෙනුවෙන් හරක් මස් හා බාර්ලි ඉස්ටුවක් ද සැපයින. එනමුදු මේ ආහාර රැගෙන ආ සේවකයින් සන්සා ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම මඟ හැරියෝය. එදින සන්ධ්‍යාවේ තවත් සේවිකාවන් කිහිප දෙනෙක් හස්තයේ කුළුණේ වූ ඇගේ ඇඳුම් පැළැඳුම් හා ජේන් පූල්ගේ බඩුබාහිරාදිය ස්වල්පයක් රැගෙන ආහ. එනමුදු ඔවුන් සියල්ලෝ ජේන් පූල් හා සමානවම බියපත් වී සිටි බැව් පෙනෙන්නට තිබුනි. සන්සා ඔවුන්ට කතා කරන්නට තැත් කල නමුදු ඇයට කළු වසංගතය වැළැඳී ඇතිවාක් මෙන් බියෙන් ඇකිළී ඇගෙන් ඈත් වූ ඔවුහු වහා පිටව ගියෝය. දොරට පිටතින් සිටි මුරකරුවෝ ඔවුන්ට කාමරයෙන් පිටව යෑමට අවසර දීම පිළිකෙව් කලහ.

"අනේ කරුනාකරලා, මට රැජිණට කතා කරන්ට ඕන." එදින ඇයට මුනගැසුනු අන් සෑම කෙනෙකුටම මෙන්ම මේ මුර සෙබළුන්ට ද ඇය ආයාචනා කලාය. "එයාටත් ඕන වෙයි මට කතා කරන්ට. මම හොඳටම දන්නවා ඒක. අනේ එයාට කියන්ට මට එයාව මුනගැහෙන්ට ඕන කියලා. රැජිණ බැරිනම් ජොෆ්රි කුමාරයා හරි. අනේ කරුනාකරලා. අපි දෙන්නා කසාද බඳින්ටයි යන්නෙ."

දෙවන දිනයේ සන්ධ්‍යා භාගය වද්දී දැවැන්ත ඝණ්ඨාවක් නද දෙන්නට විය. එය ගැඹුරු, ගම්භීර නාදයක් වූ අතර සන්සා ගේ සිත ත්‍රාසයෙන් පුරවාලන්නට එය සමත් විය. ඝණ්ඨා නාදය දිගින් දිගටම නොනැවතීම ඇසෙන්නට විය. මොහොතකට පසු විසෙන්යා ගේ කඳුගැටයේ පිහිටි බේලර් ගේ දැවැන්ත සප්තක දේවස්ථාන දෙසින් තවත් ඝණ්ඨා හඬවල් මුල් හඬට මුසු විය. ඉදිරියට පැමිණිමට නියමිත කුණාටුවක් හඟවන ගිගුරුම් හඬ මෙන් මේ ඝණ්ඨා නද නගරය පුරා රුවු දෙන්නට විය.

"ඒ මොකක්ද?" ජේන් සිය දෙකණ් දෑතින් වසාගෙන ඇසුවාය. "ඇයි එයාලා ඝණ්ඨා නාද කරන්නෙ?"

"රජතුමා මැරිලා." තමා එය දැනගත්තේ කෙසේදැයි ඇයට කිසිදා විස්තර කරදීමට නොහැකි වනු ඇත. එනමුදු ඇය එය දත්තාය. මේ නොනවතින ඝණ්ඨා නාදය ශෝක ගීතිකාවක් මෙන් ඔවුන් ගේ කාමරය පුරවාලීය. කවුරුන් හෝ සතුරකු බලකොටුවට කඩා වැද රොබර්ට් රජතුමා මරා දැමුවා ද? ඔවුන්ට ඇසුනු සටන්වලට හේතුව එය ද?

ඇය බියෙන් හා නොසන්සුන් කමින් කල්පනා කරමින් එදින රෑ නින්දට වන්නීය. ඇගේ ආදරණීය ජොෆ්රි දැන් සිහසුනේ අසුන් ගෙන සිටිනු ඇත් ද? එසේත් නැතහොත් සතුරන් විසින් ඔහුවත් මරා දැමුවා ද? ඇයට ජොෆ්රි ගැනත් සිය පියා ගැනත් බියක් දැනෙන්නට විය. සිදුවන්නේ කුමක්දැයි ඔවුන් ඇයට කීවානම්...

ජොෆ්රි සිහසුනේ අසුන් ගෙන සිටින ආකාරය ඇය එදින රෑ සිහිනයෙන් දුටුවාය‍. රන්වන් දිගු ගවොමකින් සැරසුනු ඇය ද ඔහු පසෙකින් වාඩි වී සිටියාය‍. ඇය හිසේ කුඩා කිරුළක් පැළැඳ සිටි අතර ඇය දැන සිටි සෑම කෙනෙකුම ඈ වෙත පැමිණ දණ නමා සිය ආචාරය පුද කර සිටියහ.

ඊළඟ උදෑසන, එනම් තෙවන දිනයේ උදෑසන රාජ්‍යාරක්ෂක බලකායේ සෙර් බොරෝස් බ්ලොන්ට් ඇයව රැජිණ වෙතට කැඳවාගෙන යන්නට පැමිණියේය.

සෙර් බොරෝස් වනාහි පුළුල් පපුවකින් හා කෙටි බකල ගැසුනු දෙපාවලින් යුතු විරූපී පුද්ගලයකු විය. ඔහුට මුක්කම් නාසයකුත්, එල්ලා වැටුනු දෙකම්මුල් හා අළු පැහැ හිසකෙසුත් පිහිටා තිබුනි. අද දිනයේ ඔහු සුදු පැහැ විල්ලුදයෙන් සැරසී සිටි අතර ඒ දිගු සුදු සළුව සිංහයෙකු හැඩයට තැනූ හාරිච්චියකින් උරහිස අසලින් එක් කොට තිබුනි. මේ සිංහයා රන් පැහැයෙන් බැබලුනු අතර උගේ දෑස් වෙනුවට මරකත මිණි ඔබ්බා තිබුනි. "අද උදේ ඔබතුමා බොහොම කඩවසම්. බොහොම තේජාන්විතයි සෙර් බොරෝස්." සන්සා කීවාය. කුලීන ආර්යාවක් තම ආචාරශීලීත්වය අමතක නොකල යුතුය. ඒ නිසා කුමක් සිදුවුවද නියම ආර්යාවක් මෙන් හැසිරෙන්නෙමියි සන්සා තමාටම ප්‍රතිඥා දී ගත්තාය.

"ඔබත් එහෙමයි මගේ ආර්යාවනි." සෙර් ‍බොරෝස් නීරස ස්වරයෙන් පිළිතුරු දුන්නේය. "උත්තමාව බලන් ඉන්නවා. එන්ට මගෙත් එක්ක."

රත් පැහැ සළුවෙන් ගත වැසූ, සිංහ ලාංඡන සහිත ශිරස්ක පැළැඳූ ලැනිස්ටර් මුර සෙබළු දොරට පිටතින් වූහ. ඔවුන්ව පසුකොට යද්දී ප්‍රසන්න සිනහවක් පා ඔවුන්ට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කිරීමට ඇය අමතක නොකලාය. දින දෙකකට පෙර උදෑසන සෙර් ඒරිස් ඕක්හාර්ට් විසින් ඇයව මෙම කාමරයට ඇරලූ පසු එයින් පිටව යාමට අවසර ලැබුනු මුල්ම වතාව එය විය. "එහෙම කරන්නෙ ඔයාව පරිස්සමින් තියාගන්ට ඕන නිසයි මගේ වස්තුවෙ." සෙර්සි රැජිණ ඇයට පවසා තිබුනි. "ජොෆ්රි මට කිසිම සමාවක් දෙන එකක් නෑ එයාගෙ ආදරණීය කුමාරිකාවට මොකක් හරි අනතුරක් වුනොත්."

සෙර් බොරෝස් ඇයව රාජකීය නවාතැන් වෙත කැඳවාගෙන යනු ඇතැයි සන්සා බලාපොරොත්තු වූවාය. එනමුදු ඒ වෙනුවට ඔහු ඇයව මේගර් ගේ බලකොටුවෙන් පිටතට කැඳවාගෙන ගියේය. වියළි අගලට ඉහළින් වූ පාලම නැවත පහත දමා තිබුනි. කම්කරුවන් පිරිසක් විසින් කඹයක ගැට ගැසූ තවත් මිනිසකුව පහතින් වූ වියළි අගලට බස්සවමින් සිටියෝය. එබී බැලූ සන්සා පහතින් වූ දැවැන්ත යවුල්වල ඇමිනුනු මළ සිරුරක් දුටුවාය. ඇය වහා දෑස් ඉවත හරවා ගත්තාය. ඒ තමා දන්නා හඳුනන කවුරුන් හෝ විය හැකිය යන බිය නිසා ඒ ගැන විමසීමට හෝ දිගටම ඒ දෙස බලා සිටීමට හෝ ඇය උත්සුක නොවූවාය.

* * *

රාජ සභා ශාලාවේ සිටි සෙර්සි රැජිණ ඔවුන්ට මුනගැසුනි. එහා මෙහා විසිර ගිය ලිපි, කඩදාසි, ඉටිපන්දම් හා මුද්‍රා තබන ඉටි යනාදියෙන් හැඩි වී තිබුනු දිගු සභා මේසය අසල ඇය අසුන්ගෙන සිටියාය. සන්සා මීට පෙර දුටු කවර කාමරයකටත් වඩා මේ කාමරය උත්තුංග විය. තේජාන්විත විය. කැටයම් කල දැවමුවා තිරයත්, දොර දෙපස පිහිටි නරසිංහ රූප දෙකත් දෙස ඇය මුව අයාගෙන බලා සිටියාය.

"මගේ උත්තමාවනි." මලානික මුහුණෙන් යුතු සෙර් මැන්ඩන් විසින් ඔවුන්ව ඇතුළට කැඳවාගෙන ගිය පසු සෙර් ‍බොරෝස් කටහඬ අවදි කලේය. "මම දැරිවිව එක්කරන් ආවා."

රැජිණත් සමගින් සිය ආදරණීය ජොෆ්රි කුමරාද සිටීවි යැයි සන්සා බලාපොරොත්තු වූවාය. එනමුදු ඔහු එහි නොසිටි අතර ඒ වෙනුවට රජතුමා ගේ උපදේශකයින් තිදෙනෙක් එහි වූහ. පෙටයර් බේලිෂ් උතුමානන් රැජිණ ගේ වම්පසින් අසුන් ගෙන සිටි අතර ප්‍රධාන මේස්ටර් පයිසෙල් මේසය කොණේ වාඩි වී සිටියේය. සුවඳ හමන වාරිස් උතුමානන් ඔවුන් අතර ඇවිදිමින් සිටියේය. ඇය භීතියෙන් නිරීක්ෂණය කල පරිදි ඔවුන් සැවොම කළු පැහැ ඇඳුමෙන් සැරසී සිටියෝය. ඒ වනාහි ශෝක සමයට උචිත ඇඳුම් විය...

රැජිණ උස් කොලරයකින් යුතු කළු පැහැ සේද දිගු ගවොමකින් සැරසී සිටියාය. ඇගේ හැට්ටය ගෙල සිට පපුව දක්වාම සිය ගණනක් වූ රතු කැට අල්ලා හැඩ කොට තිබුනි. මේ රතු කැට කඳුළු බිඳුවල හැඩයට කපා තිබුනේ රැජිණ හරියටම කඳුළු වෙනුවට රුධිරය හෙලමින් වැලපෙන්නාක් මෙනි. ඇය දුටු සෙර්සි සිනාසුනු අතර ඒ තමා මෙතුවක් දුටු ලස්සනම එමෙන්ම දුක්මුසුම සිනහව යැයි සන්සා සිතුවාය. "සන්සා මගේ හොඳ දරුවො. මම දන්නවා ඔයා මාව ඇහුවා කියලා. මට බොහොම කණගාටුයි මීට කලින් ඔයාව මුනගැහෙන්ට බැරි වුන එක ගැන. අපට ලොකු ප්‍රශ්න ගොඩකට මූන දෙන්ට වෙලයි තිබුනෙ. මට කිසිම ඉස්පාසුවක් තිබුනෙ නෑ. මට විශ්වාසයි මගේ උදවිය ඔයාව හොඳට රැක බලාගන්ට ඇති කියලා."

"හැම කෙනාම බොහොම කරුනාවන්ත වුනා. බොහොම ප්‍රසන්න වුනා උත්තමානි. ඇහුවට බොහොම ස්තූතියි!" සන්සා ආචාරශීලී අයුරින් පැවසුවාය. "ඒ වුනත් එකම එක වැරැද්දකට තිබුනෙ කිසිම කෙනෙක් අපිට කතා කරපු නැති එකයි, මොනවද සිද්දවෙන්නෙ කියලා අපිට නොකියපු එකයි."

"අපිට?" රැජිණ ප්‍රශ්නාර්ථයක් නඟා ගත්තාය.

"අපි අර නිවාස බාරකාරයාගෙ කෙල්ලත් ඒ කාමරේටම දැම්මා." සෙර් බොරෝස් පිළිතුරු දුනි. "ඒකිට මොකක් කරන්ටද කියලා අපි දැනන් උන්නෙ නෑ."

රැජිණ රවා බැලුවාය. "ඊළඟ පාර අහපන් මොකක්ද කරන්ට ඕන කියලා." ඇය දැඩි ස්වරයෙන් කීවාය. "ඒකි සන්සාගෙ ඔළුවට මොන මොන මනස්ගාත දැම්මාද කියලා දන්නෙ දෙයියොම තමා."

"ජේන් ඉන්නෙ බයවෙලා." සන්සා කීවාය. "එයා අඬන එක නවත්තන්නෙ නෑ. එයාට එයාගෙ තාත්තව දකින්ට පුළුවන්ද කියලා ඔබෙන් අහන්නම් කියලා මම එයාට පොරොන්දු වුනා."

මහලු ප්‍රධාන මේස්ටර් පයිසෙල් සිය දෑස් බිමට නවාගත්තේ ය.

"එයාගෙ තාත්තා හොඳින් නේද?" සන්සා වියවුල් සිතින් ඇසුවාය. සටනක් සිදුවුනු බැව් ඇය දැන සිටියද කිසිවෙකුත් නිවාස බාරකරුවකුට හානියක් කරනු ඇතැයි ඇය නොසිතුවාය. වයොන් පූල් අඩුම ගනනේ අසිපතක් පැළැඳවත් නොසිටියේය.

සෙර්සි රැජිණ සිය උපදේශකයින් ගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලුවාය. "සන්සා කිසිම තේරුමක් නැතුව නිකම්ම මොට්ට වෙලා යන්ට දෙන්ට බෑ. එයාගෙ මේ පුංචි යාළුවාට අපි මොකක්ද කරන්ට ඕන මගේ උතුමනි?"

පෙටයර් උතුමානන් ඉදිරියට නැමුනේය. "මම එයාට තැනක් ලෑස්ති කරලා දෙන්නම්."

"මේ නගරය ඇතුළෙ නෙවෙයි." රැජිණ කීවාය.

"ඔබ හිතන්නෙ මම මෝඩයෙක් කියලද?"

රැජිණ එය නොතකා හැරියාය. "සෙර් බොරෝස්, ඒ කෙල්ලව පෙටයර් උතුමානන්ගෙ නවාතැනට ඇරලවන්ට. එතුමාගෙ සේවකයින්ට උපදෙස් දෙන්ට එතුමා එනකම් ඒ කෙල්ලව එහෙ තියාගන්ටයි කියලා. එයාට කියන්ට සුළැඟිල්ලා ඇවිත් එයාව එයාගෙ තාත්තා ගාවට එක්කරන් යයි කියලා. ඒකෙන් එයා සන්සුන් වෙයි. සන්සා ආපහු එයාගෙ කාමරේට යන්ට කලින් ඒ කෙල්ලව ඒකෙන් පිටමං කරලා තියෙන්ට ඕන."

"ඔබේ අණ ඒ විදියටම ඉටුවෙයි මගේ උත්තමාවනි." සෙර් බොරෝස් කීවේය. ගැඹුරින් හිස නමා ආචාර කර වහා ආපසු හැරුනු ඔහු පිටුපසින් සුළඟේ ලෙලදෙන සුදු පැහැ සළුවද ඇතිව කාමරයෙන් පිටව ගියේය.

සන්සා කලබල වූවාය. "මට තේරෙන්නෙ නෑ. කෝ ජේන්ගෙ තාත්තා? ඇයි පෙටයර් උතුමානන් නැතුව සෙර් බොරෝස්ටම එයාව තාත්තා ගාවට එක්කරන් යන්ට බැරි?" රැජිණ තරම්ම උදාර අන්දමින්, සිය මව තරම්ම ශක්තිමත් අන්දමින්, නියම ආර්යාවක් පරිද්දෙන් හැසිරෙන්නෙමියි ඇය තමාටම පිළිණ දීගෙන තිබුනාය. එනමුදු හදිසියේම ඇයට නැවතත් දැඩි බියක් දැනෙන්නට විය‍. තමා නැවතත් හඬන්නට යන්නේ යැයි මොහොතකට ඇයට සිතුනි. "ඔයාලා කොහෙද එයාව යවන්ට යන්නෙ? එයා කිසිම වැරැදි දෙයක් කලේ නෑ. එයා හොඳ දරුවෙක්."

"එයා ඔයාගෙ ඔළුවට එක එක විකාර දාලා ඔයාගෙ ඔළුව අවුල් කරලා දායි." රැජිණ මෘදු ස්වරයෙන් කීවාය. "එහෙම දෙයක් වෙන්ට අපට ඉඩදෙන්ට බෑ. ඒ ගැන ආයෙ වචනයක්වත් කතා කරන්ට එපා. බේලිෂ් උතුමානන් වගබලා ගනිවී ජේන්ව පරිස්සමින් බලාගන්න එක ගැන. මම ඔයාට ඒ ගැන පොරොන්දු වෙනවා." ඇය තමා පසෙකින් වූ අසුනට තට්ටු කලාය. "මෙතනට ඇවිල්ලා වාඩිවෙන්ට සන්සා. මට ඔයත් එක්ක කතා කඑන්ට ඕන."

සන්සා රැජිණ සමීපයට ගොස් අසුන්ගත්තා ය. සෙර්සි නැවත වරක් ඇය දෙස බලා සිනහ වූ නමුදු එය ඇගේ වියවුල් බව තුරන් කරන්නට සමත් නොවීය. වාරිස් සිය පුයර දැමූ දෑත් එකිනෙක අඹරවන්නට වූ අතර මේස්ටර් පයිසෙල් නිදිබර දෑස් තමාට ඉදිරියෙන් වූ ලිපිගොනු මත රඳවාගෙන සිටියේය. එනමුදු සුළැඟිල්ලා තමා දෙස බලා සිටින ආකාරය ඇයට හැඟෙන්නට විය. මේ මිනිසා තමා දෙස බලා සිටින ආකාරය නිසා ඇගේ සිතට මහත් නොසන්සුන් බවක් දැනෙන්නට විය. එය හරියටම ඇය ඔහුගේ දෑස් ඉදිරියේ නග්නව සිටින්නාක් වැනි විය. ඇගේ සමේ හී ගඩු පිපෙන්නට විය.

"සන්සා වස්තුවෙ," සෙර්සි රැජිණ කීවේ ඇගේ මැණික්කටුව මත මෘදු ලෙසින් අතක් තබමිනි. "කොච්චර ලස්සන දරුවෙක්ද. මම හිතනවා ඔයා දන්නවා ඇති කියලා මායි ජොෆ්රියි ඔයාට කොච්චර ආදරේද කියලා."

"ඔබතුමී?" සන්සා හුස්ම ගැනීමට පවා අමතක වෙමින් ඇසුවාය. සුළැඟිල්ලා සැනෙන් අමතකව ගියේය. ඇ‍ගේ කුමරුවා ඇයට ආදරය කරයි. ඉදින් අන් කිසිදු දෙයක් වැදගත් නොවේ.

රැජිණ සුන්දර සිනහවක් පෑවාය. "මම ඔයා ගැන හිතන්නෙ මගෙම දුවක් වගේ. ඒ වගේම ඔයාගෙ හිතේ ජොෆ්රි ගැන තියෙන ආදරේ තරමත් මම දන්නවා." ඇය ඉතා සෙමින් හිස දෙපසට වැනුවාය. "මට බොහොම කණගාටුයි කියන්ට. ඒ වුනත් ඔයාගෙ තාත්තා ගැන බොහොම නපුරු ආරංචියක් තමා කියන්ට තියෙන්නෙ. ඔයා නිර්භීත වෙන්ට ඕන මගේ දරුවො."

ඇගේ මේ සන්සුන් වදන් නිසා සන්සා ගේ ඇඟ සීතල වී ගියේය. "ඒ මොකක්ද?"

"ඔයාගෙ තාත්තා රාජද්‍රෝහියෙක් වස්තුවෙ." වාරිස් උතුමානන් කීය.

මේස්ටර් පයිසෙල් සිය වෘද්ධ හිස එසවීය. "මට මගේ කණ් දෙකෙන්ම අහන්ට ලැබුනා, එඩාර්ඩ් උතුමානන් අපේ ආදරණීය රොබර්ට් රජතුමාට පොරොන්දු වෙනවා එයා මේ තරුණ කුමාරවරු දෙන්නාව එයාගෙම පුතාලා වගේ ආරක්ෂා කරනවා කියලා. ඒ වුනත් රොබර්ට් රජතුමා මැරුනා විතරයි එයා රාජ සභාව කැඳවලා ජොෆ්රි කුමාරයාට උරුම සිංහාසනේ පැහැරගන්ට කුමන්ත්‍රණ කලා."

"නෑ!" සන්සා දෙඩෙවුවා ය. "එයා එහෙම කරන්නෙ නෑ. එයා කවදාවත් එහෙම කරන්නෙ නෑ!"


Sansa Stark: “I only want to be Joffrey’s loyal and loving wife.”

42 comments:

  1. අපේ මරා ඝැනත් ඔහොමම ලියන්න... "සිහසුනට තරඟ වැද"... මිනිහටම ගැලපෙන මාතෘකාව...

    ReplyDelete
    Replies
    1. ඒ ගැනත් ලියන්ට කියලා අපි ජෝර්ජ් අංකල්ටම කියමු නේද.. :-)

      Delete
    2. "ම"හින්ද "රා"ජපක්ෂ

      Delete
  2. ඔහ් මේ වගේ මැටි හරකියක්
    තාත්තගෙ දුව නෙව ආයෙ කොහෙද දෙන්නටම මැටි ඔළව වල් ඇත්තෙ

    ආර්ය ගැන නං දැං මට සැකයක් එනව.... ඇය යකෝ ඒ කෙලීට විතරනෙ ටිකක් හරි මොළේ කියල ටිකක් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. වැඩ්ඩාක් නෑ කියලා නේද මහේෂ්.. :-D

      Delete
    2. ඒ කියන්නේ කැට්ලින් ....:D :P

      Delete
    3. ෂ්....මහේෂ් බලාගෙන....:D

      Delete
  3. Replies
    1. Seems like they do have a special gene, eh PoM.. :-)

      Delete
    2. yeah. wanna donate blood to confirm the diagnosis ser :P ??

      අනේ මේකියි මේකිගේ ජෝෆ්රියි දෙන්නා. Rab ne bana di jodi. Match made in heaven :P

      Delete
    3. Moronic to the bone marrow?

      Delete
    4. may be. have to digest, extract , PCR and blot to see for sure :P

      Delete
    5. PoM PoM PoM... Always trying to extract n digest.. That's something goes with the job details eh..... :-P

      Don't u think that Joffrey + Sansa = a kinda Ice n Fire thing.... Just imagine.. They'll be able to alight all of the bloody seven kingdoms.. :-D

      Delete
    6. well sansa is ice
      is joffrey fire ???

      dude u cant extract and digest, its the other way arnd :P

      Delete
    7. my my my... PoM, u forgot toddy.!? :-P

      Delete
    8. Whatever POM says is always palatable and easy to digest - with a pinch of salt !
      :-DDDDDDDDDD

      Delete
    9. That was the extreme simplified version of a DNA test. Believe me.

      Delete
    10. DNA Tests.!? Dude dude, be careful.. A certain Lannister will get very angry by listening such words, for sure.. Do u wish to go in a white-horse carriage..?? ;-)

      Delete
    11. A whole lot of ppl will be screwed if westeros had DNA testing.

      Delete
    12. //Rab ne bana di jodi//

      //Ice n Fire//

      :D:D:D

      Delete
  4. පව් අහිංසක කෙලී.....

    ReplyDelete
  5. මෝඩ සන්සා අර ජේන් කෙල්ලවත් අමාරුවෙ දැම්මා වගෙයි . ආර්යා ගැනනම් බයවෙන්න දෙයක් නැහැ......

    ReplyDelete
  6. සෙර්සි නිකන් අපේ CBK වගේනේ,ලේසියෙන් ගේම අතාරින්නේ නැහැ.:D

    ReplyDelete
    Replies
    1. බලයට පත් වූවෝ එහි ඇති රස හඳුනති.. එය ඔබ මා වැනි අවශේෂ පුඟුලන්ට දුරවබෝධ විෂයයකි මනෝජ්.. උදාහරණ අවශ්‍ය නැතැයි සිතමි.. :-D

      Delete
    2. අද මට මේ කවුරුත් කියන ඒවා තේරෙන්නේ නෑ. ඊයේ වයින් වැඩි වුනාද මන්දා...:P

      Delete
    3. බුරා, ඔච්චර මහත්මා විදිහට ගිහිල්ලත් උඹලා කියන කතා... :D... පොඩ්ඩි නම් ඉතින් ඕනෙ වෙලාවක වයින් කරපු ගමන් නේද?

      Delete
    4. මම කිවුවේ මහත්මා විදියට ‍ගොස් මහත්මා විදියට විශ්‍රාම සුවයෙන් ඉන්න ඒ මහත්මා ගැන නෙවෙයි ය.. අර අමෙරිකාවෙ, ඕට්ටේලියාවෙ සිද්දවෙච්චි පරජාතන්ත්‍ර විරෝධී ක්‍රියා ගැනය.. :-P

      Delete
  7. අපරාදේ කියන්න බෑ.. සන්සානම් තාත්තගෙම දුවම තමයි.. කරොත් මැටි වැඩක් මයි..

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියලා වැඩ්ඩාක් නෑ නේ දිනේශ්.. :-D

      Delete
  8. Replies
    1. ස්තූතියි සරත්! :-)

      Delete
  9. සන්සා මෝඩ තාත්තගේ මෝඩ දුව කියලා මේ කට්ටිය කියනවට මම කැමති නෑනේ. එඩ්ට වැරදුණේ උවමනාවට වඩා අවංක වෙන්න ගිහිල්ලා. සන්සාගේ තියෙන්නේ ආත්මාර්ථකාමී මෝඩකමක්. හරියට එයාගේ ලොකු අම්මා ලයිසා ඒරින් වගේ. එඩ්ගේ චරිතෙට මම ගොඩාක් ගරු කරනවා. සන්සා ගැනනම් දැනෙන්නේ ලොකු කේන්තියක්.

    ReplyDelete
    Replies
    1. උවමනාවට වඩා අවංක වීමත් මෝඩකමක් නෙවෙයිද සිත්තමී? තත්ත්වය මේ තරමට නරක්වෙන්ට ප්‍රධානම හේතුව එයාගෙ මෝඩ අවංක කම නෙවෙයිද? නෙඩ් යුටෝපියාවක ජීවත් නොවී ප්‍රායෝගිකව කල්පනා කරලා වැඩ කලා නම් රාජධානි සප්තකය මේ වෙනකොට තියෙන්නෙ මෙතන නෙවෙයි.. :-)

      ලයිසා සන්සාගෙ ලොකු අම්මා නෙවෙයි, පුංචි අම්මා නේ..

      Delete
    2. Wen u really think abt it. Non are actually"stupid". One is too honorable and the other is a little girl in love.

      Delete