Friday 2 January 2015

ජොන් 06


ජොන් උදෑසන ආහාරය වෙනුවෙන් ඇපල් කේක් හා සොසේජස් අනුභව කරමින් සිටිද්දී සැම්වෙල් ටාර්ලි ඔහු පසෙකින් බංකුව මත ඇද වැටුනේය. "මාව සප්තක දේවස්ථානෙට කැඳවලා තියෙනවා." ඔහු කලබලයෙන් මෙන් කසුකුසු ගෑවේය. "එයාලා මාවත් පුහුණුවීම්වලින් සමත් කරනවලු. උඹලා හැමෝම වගේම මාවත් කළු සහෝදරයෙක් කරන්ට යනවලු. උඹට විශ්වාස කරන්ට පුලුවන්ද?"

"නෑ...!? ඇත්තටම?"

"ඇත්තටම. මට තියෙන්නෙ පුස්තකාලෙයි, කුරුල්ලන්ගෙ වැඩයි බලාගන්ට, මේස්ටර් ඒමන්ගේ උදවුවට. එයාට ලියුම් කියවන්ට, ලියන්ට පුලුවන් කෙනෙක් උවමනාලු."

"උඹ ඒ වැඩේ හොඳින් කරයි." ජොන් සිනාසෙමින් පැවසීය.

සෑම් උනන්දුවෙන් වටපිට බැලීය. "දැන් යන්ට වෙලාව හරිද? මම පරක්කු වෙන්ට නරකයි. එයාලා අදහස වෙනස් කරගන්ට ඉඩ තියෙනවා." ඔහු වල් වැදුනු අංගනය හරහා උඩ පනිමින් මෙන් ගමන්කලේය. එය උණුසුම්, හිරු එලිය සහිත කදිම දවසක් විය. ප්‍රාකාරයේ පැතිවලින් දියසීරා කාන්දු වුනු අතර ඒ නිසා අයිස් දීප්තිමත්ව බැබලෙන්නාක් මෙන් දිස්විය.

දකුණු දෙසට මුහුණ ලා තිබුනු කවුළුව තුළින් පෙරී ආ උදෑසන හිරු එළිය සප්තකය තුළ වූ විශාල පලිඟුව මත වැටී අල්තාරය මත දේදුන්නක් මැවීය. සෑම් දුටු පිප්ගේ මුව විමතිය නිසා ඇරී ගිය අතර ටොඩ් ග්‍රෙන්ගේ ළපැත්තට ඇන්නේය. එනමුදු කිසිවෙක් කිසිවක් කීවේ නැත. සප්තක පූජකවරයා වූ සෙලඩාර්  දුම් කබල වනමින් අවට වාතය සුවඳ දුමින් පුරවාලමින් සිටියේය. එය දුටු ජොන්ට ස්ටාර්ක් ආර්යාවගේ කුඩා සප්තකය සිහියට ආයේය. නිතරම බීගත්වන සිටින බේබදු සෙලඩාර් අද දිනයේවත් යාන්තම් සිහියක් පතක් ඇතිව සිටිනු පෙනුනි.

උසස් නිලධාරීන් සියලුදෙන එක පොදියට පැමිනියහ. ක්ලයිඩස්ට වාරු වූ මේස්ටර් ඒමන්, සීතල දෑසින් යුතු, ක්‍රෑර සෙර් ඇලිසර් හා රිදී වලස් නිය ගාංචු සහිත කළු ලොම් කබායකින් සැරසුනු අණදෙන නිළධාරි මෝර්මන්ට් ඒ අතර වූහ. ඔවුන්ට පිටුපසින් අංශ තුනේ ප්‍රධාන නිළධාරීහු පැමිණියහ. ප්‍රධාන නිවාස බාරකරු වන රතු මුහුණැති බොවෙන් මාර්ෂ්, ප්‍රධාන ගොඩනංවන්නා ඔතෙල් යාර්වික් හා බෙන්ජින් ස්ටාර්ක් ගේ අතුරුදන් වීමෙන් පසු මුරසංචාරකයින් ගේ ප්‍රධානියා වශයෙන් වැඩ බලන සෙර් ජැරමී රයිකර් ඒ තිදෙනා වූහ.

මෝර්මන්ට් අල්තාරය ඉදිරියේ නැගිට සිටියේය. ඔහුගේ පුලුල්, තට්ට හිස මත දේදුනු වර්ණ වැටී දිලිසුනි. "උඹලා අපි ගාවට ආවේ අපරාධකාරයින් හැටියට." ඔහු කතාව පටන්ගත්තේ ය. "හොර දඩයක්කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, ණයගැතියෝ, මිනීමරුවෝ, ඒ වගේම හොරු විදියට අපි ගාවට ආවා. උඹලා අපි ලඟට ආවේ ළමයි විදියට. තනියම. දම්වැල්වලින් බැඳලා දාලා. යාලුවෙක්, ගරු නම්බුවක් නැතුව. සමහරු ආවේ පෝසත්තු විදියට. සමහරු දුප්පත්තු විදියට. සමහරුන්ට තියෙනවා බොහොම මාන්නක්කාර වංශවත් පවුල්වල නම්. අනිත් එවුන්ට තියෙන්නේ අවජාතක නම්. සමහරුන්ට නමක් ඇත්තෙම නෑ. ඒවායින් වැඩක් නෑ. ඒ ඔක්කොම පහුවුනු දේවල්. ප්‍රාකාරෙදි අපි ඔක්කොම එක පවුලක උදවිය."

"අද හැන්දෑවේ, ඉර බැහැගෙන යන වෙලාවේ, රෑ අඳුර වැටීගෙන එනකොට උඹලා තමන්ගෙ දිවුරුම දෙන්ට ඕන. ඒ මොහොතේ ඉඳන් උඹලා හැමෝම නිශා රැකුම් බලකායේ දිවුරුම් දුන්න සහෝදරවරු. උඹලා කරපු පවු ඔක්කොම හේදිලා යයි. උඹලාගෙ ණයතුරුස්වලට සමාව ලැබෙයි. ඒවගේම උඹලත් උඹලාගෙ පරණ හිතවත්කම් අත්ඇරලා දාන්ට ඕන. උඹලාගෙ තරහ-මරහ පැත්තකට දාන්ට ඕන. පරණ වැරැදි, පරණ ආදර කතා මේ හැම එකක්ම අමතක කරලා දාන්ට ඕන. මෙතන ඉඳන් උඹලා අලුතෙන්ම ජීවිතේ පටන්ගන්ට ඕන."

"නිශා රැකුම් බලකායේ එවුන් ජීවත්වෙන්නේ උන්ගේ රාජධානිය වෙනුවෙන්. රජ කෙනෙක් වෙනුවෙන් නෙවෙයි. වංශාධිපතියෙක් වෙනුවෙන් නෙවෙයි. අර පෙළපතේ ගෞරවය, මේ පෙළපතේ නම්බුව වෙනුවෙන් නෙවෙයි. රත්තරන්, මුතුමැණික්, වස්තුව, කීර්තිය, ගෑනියෙක් ගේ ආදරය වගේ දේ වෙනුවෙනුත් නෙවෙයි. මේ රාජධානිය වෙනුවෙන්. ඒ වගේම ඒකෙ ඉන්න මිනිස්සු වෙනුවෙන්. නිශා රැකුමේ සහෝදරයෙකුට ගෑනියෙක් ගන්ටවත්, පුත්තු හදන්ටවත් ලැබෙන්නේ නෑ. අපේ රාජකාරිය තමා අපේ ගෑනු. අපේ ගෞරවය තමා අපේ හොර ගෑනු. අපට ලැබෙන එකම පුත්තු උඹලා වගේ නවකයො විතරයි."

"උඹලා දිවුරුම කටපාඩම් කරලයි තියෙන්නේ. ඒක කියන්ට කලින් පරිස්සමින් හිතලා බලපල්ලා. මොකද කළු ඇඳුම් දාගත්තට පස්සේ උඹලාට ආපහු හැරෙන්ට බැහැ. රාජකාරියෙන් පැනලා ගියොත් දඬුවම මරණය." නාකි වලහා මඳකට නැවතුනේ ය. "අපිව දාලා යන්ට උවමනා එවුන් මෙතන ඉන්නවද? එහෙමනම් දැන්ම පලයල්ලා. අපි කවුරුවත් උඹලා ගැන අහිතක් හිතන්නේ නෑ."

කිසිවෙකුත් නොසෙල්වින.

"හොඳයි. බොහොම හොඳයි." මෝර්මන්ට් පැවසීය. " අද හැන්දෑවේ උඹලා සෙලඩාර් පූජකතුමයි, තම තමන්ගෙ අංශයෙ ප්‍රධානියොයි ඉස්සරහදි දිවුරුම්දෙන්ටයි යන්නෙ. මෙතන පරණ දෙවිවරු අදහන උදවිය ඉන්නවද?"

ජොන් නැගී සිටියේය. "මම, මගේ උතුමානනි."

"උඹේ බාප්පා වගේම, හදවෘක්ෂයක් ඉස්සරහදි දිවුරුම් දෙන්ට උඹ කැමති ඇති මම හිතන්නෙ." මෝර්මන්ට් ඇසීය.

"ඔවු මගේ උතුමානනි." ජොන් පැවසීය. ඔහුට සප්තක දෙවිවරුන්ගෙන් ඵලක් නැත. ස්ටාර්ක් නහරවල හැමදාමත් දිවුවේ මුල් මිනිසුන් ගේ රුධිරය විය.

තමාට පසුපසින් හුන් ග්‍රෙන් කොඳුරනු ඔහුට ඇසුනි. "මෙහේ දෙව්වනයක් තියෙනවද? මම කවදාවත් දෙව්වනයක් දැකලා නෑ."

"ඔරොක්ස් රංචුවක් ඇවිල්ලා උඹව හිම ගොඩේ ඔබලා පාගලා දානකං උඹට උන්ව පේන එකක් නෑ." පිප් පෙරලා කෙඳිරුවේ ය.

"නෑ, මට උංව පේනවා." ග්‍රෙන් අවධාරණය කලේය. "මට උංව ගොඩක් දුර ඉඳන් පෙනේවි."

මෝර්මන්ට් විසින්ම ග්‍රෙන්ගේ සැකය තහවුරු කරනු ලැබීය. "කළු බලකොටුවට දෙව්වනයකින් ඇති වැඩක් නෑ. ප්‍රාකාරයට එහා පැත්තේ හොල්මන් කැලෑව මීට අවුරුදු දාස්ගානකට කලින් උදා යුගයේ තිබුනා විදියටම තාමත් තියෙනවා. අන්දාල්වරු පටු මුහුද තරණය කරලා සප්තක ආගම මෙහාට අරන් එන්ට කලින් තිබුන විදියටම තියෙනවා. මෙතැන ඉඳන් ලීග බාගෙක දුරින් වයර්වුඩ් ගාලක් තියෙනවා උඹට හොයාගන්ට පුළුවන් වෙයි. සමහරවිට උඹේ දෙවිවරුනුත් එතැන ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා."

"මගේ උතුමානනි." ඇසුනු කටහඬ නිසා ජොන් පුදුමයෙන් පසුපස හැරී බැලුවේ ය. සෑම්වෙල් ටාර්ලි නැගිට සිටියේය. මහත කොලුවා දහදියෙන් තෙත් වූ අත්ල සිය කමිසයේ පිසදැමීය. "මමත්... මමත් ඒ එක්ක යන්ටද? හදවෘක්ෂය ඉස්සරහදි මගේ දිවුරුම දෙන්ට?"

"ටාර්ලි වංශයත් තාම පරණ දෙවිවරු තියාගෙන ඉන්නවද?" මෝමර්න්ට් ඇසීය.

"නෑ. මගේ උතුමානනි." සෑම් සිහින්, බයාදු හඬකින් පිළිතුරු දුන්නේ ය. ඉහල පෙලේ නිලධාරීන් විසින්, විශේෂයෙන්ම නාකි වලහා විසින් ඔහුව බියපත් කරන බැව් ජොන් දැන සිටියේ ය. "හෝර්න් හිල්වල සප්තක දේවස්ථානයේ සප්තාළෝකයෙදි තමා මට නම් තියලා තියෙන්නෙත්. හරියට මගේ තාත්තාටත්, එයාගෙ තාත්තාටත්, අවුරුදු දාස්ගානක් තිස්සේ අනිත් ටාර්ලිවරුන්ටත් නම් තියාපු  විදියටම."

"උඹ මොකටද උඹේ තාත්තාගෙයි උඹේ වංශයෙයි දෙවිවරු අත් අරින්ට යන්නෙ?" සෙර් ජැරමි රයිකර් මවිතයෙන් ඇසුවේය.

"නිශා රැකුම තමා දැන් මගේ වංශය. සප්තක දෙවිවරු මගේ යාඥාවලට කවදාවත් ඇහුම්කන් දුන්නේ නෑ. සමහරවිට පැරණි දෙවිවරු ඇහුම්කන් දෙයි."

"උඹට කැමැති විදියක් කොලුවෝ." මෝර්මන්ට් කීය. ජොන් මෙන්ම සෑම්ද නැවත අසුන් ගත්තේ ය. "උඹලාගෙ සුදුසුකම් අනුව, උඹලාගෙ දක්ෂකම් අනුව, ඒ වගේම අපේ අවශ්‍යතා අනුව අපි උඹලාව අංශවලට බෙදලා දාලා තියෙනවා." බොවෙන් මාර්ෂ් ඉදිරියට පැමිණ ඔහුට කඩදාසියක් පිරිනැමීය. අණදෙන නිලධාරීතුමා එය දිගහැර කියවීමට පටන්ගත්තේ ය. "හෝල්ඩර්, ගොඩ නංවන්නන්ට." හෝල්ඩර් එය අනුමත කරමින් දරදඬු ලෙස හිස සැලීය. "ග්‍රෙන් මුර සංචාරකයින්ට. ඇල්බට් ගොඩ නංවන්නන්ට. පයිපර් මුර සංචාරකයින්ට." පිප් ජොන් දෙස බලා සිය කණ් නැටවීය. "සෑම්වෙල් නිවාස බාරකාරයින්ට." දහදියෙන් පෙඟුනු තම බැම සේද ලේන්සුවකින් පිස දමමින්, සෑම් සැනසුම් සුසුමක් හෙලීය. "මැතර් මුර සංචාරකයින්ට. ඩේරියන් නිවාස බාරකාරයින්ට. ටොඩර් මුර සංචාරකයින්ට. ජොන් නිවාස බාරකාරයින්ට."

නිවාස බාරකරුවන්ට? මොහොතකට ජොන්ට මේ අසන්නට ලැබුනු දේ විශ්වාස කල නොහැකි විය. මෝර්මන්ට් එය වැරැදියට කිවුවා වන්නට ඇත. ඔහු නැගිට සිටීමට, යම් වැරැද්දක් සිදුව ඇතැයි කීමට තැත් කලේය... එනමුදු සෙර් ඇලිසර් ලෝදිය වැනි දිලිසෙන නිරීක්ෂණාත්මක දෑසින් තමා දෙස බලා සිටිනු දුටුවිට එය සත්‍යයක් බව පසක් කරගත්තේ ය.

නාකි වලහා තමා අතවූ කඩදාසිය රෝල් කලේය. "උඹලාගේ අංශ ප්‍රධානියෝ උඹලා කරන්ට ඕන වැඩ රාජකාරි කියලා දෙයි. දෙවිවරු උඹලාව ආරක්ෂා කරත්වා සහෝදරවරුනි!" ඔවුන් වෙත අඩක් හිස නැමූ අණදෙන නිළධාරිතුමා සභාවෙන් නික්ම ගියේය. සිහින් සිනාවක් මුවේ ඇඳුනු සෙර් ඇලිසර් ද ඔහු සමග පිටව ගියේය. ප්‍රධාන සටන් පුහුණකරුවා මෙතරම් ප්‍රීතිමත් අයුරින් සිටිනු ජොන් කිසිදා දැක නොතිබින.

"මුර සංචාරකයො මගෙත් එක්ක වරෙල්ලා." ඔවුන් පිටව ගිය පසු, සෙර් ජැරමි රයිකර් හඬ නැගීය.

පිප් ජොන් දෙස බලාගෙනම සෙමින් නැගිට්ටේ ය. ඔහුගේ දෙකණ් රතු වී තිබින. කොතැනක හෝ යම් වැරැද්දක් සිදු වී ඇති බව පුළුල් සිනහවකින් මුව සරසාගෙන සිටි ග්‍රෙන්ට තේරුම් ගිය බවක් නොපෙනින. මැට් සහ ටොඩ් ඔවුන් හා එක්වූ අතර ඔවුන් සැවොම සෙර් ජැරමි පසුපසින් සප්තකයෙන් පිටතට ගියෝය.

"ගොඩනගන්නෝ." ඔතෙල් යාර්වික් නිවේදනය කලේය. හෝල්ඩර් සහ ඇල්බට් ඔහු පසුපසින් වැටුනහ. ජොන් අමිහිරි අවිශ්වාසයකින් යුතුව හිස හරවා තමා අවට බැලුවේය. මේස්ටර් ඒමන්ගේ අන්ධ දෑස ඔහුට නොපෙනන ආළෝකය දෙසට හැරී තිබින. පූජකයා අල්තාරය මතවූ පලිඟු සකස්කරමින් සිටියේය. බංකුවල ඉතිරිව සිටියේ සෑම් හා ඩේරියන් පමණි; තරබාරු කොලුවෙක්, ගායකයෙක්... සහ ඔහු.

ප්‍රධාන නිවාස බාරකරු බොවෙන් මාර්ෂ් තම මහත දෑත් එකට ඇතිල්ලුවේ ය. "සෑම්වෙල්, උඹ කපුටන්ගෙ වැඩවලටයි, පුස්තකාලෙ වැඩවලටයි මේස්ටර් ඒමන්ට උදවු කරන්ට ඕන. චෙට් යනවා බලු කූඩුවලට බල්ලෝ බලාගන්ට. උඹට එයාගෙ කුටිය ලැබෙයි. රෑ දවල් තිස්සෙම මේස්ටර් ලඟින්ම ඉන්ට. මම විශ්වාස කරනවා උඹ එයාව හොඳින් බලාගනියි කියලා. එයා ගොඩක් වයසයි. ඒ වගේම අපට ගොඩක් වැදගත් අත්‍යවශ්‍ය කෙනෙක්."

"ඩේරියන් මට දැනගන්ට ලැබිලා තියනවා උඹ උසස් වංශාධිපතියන් ගේ භෝජන සංග්‍රහවලදී සිංදු කියලා තියෙන බව. ඒ වගේම එයාලත් එක්ක කාපු බීපු එකෙක් බව. අපි උඹව යවනවා නැගෙනහිර කුළුණට. වෙළෙඳ නැවු වෙළෙඳාමේ ආවහම සමහරවිට උඹේ ඔය කට කොටර් පයික්ට ලොකු උදවුවක් වේවි. අපි දැනට ලුණු දාපු හරක් මස් වලටයි, මාලු අච්චාරුවලටයි ගිනිගණන් ගෙවනවා. ඒ වගේම දැනට අපට ලැබෙන ඔලිව් තෙලුත් අන්තිම නරකයි. උඹ එහාට ගිහින් බොර්කාස්ව හම්බවෙයන්. එයා උඹට කියලා දෙයි නැවු ගනුදෙනු අතරෙදි මොනවද කරන්ට ඕන කියලා."

මාර්ෂ් තම සිනහව ජොන් වෙත පෑවේය. "අණදෙන නිළධාරි මෝර්මන්ට් උතුමානන් ඉල්ලලා තියෙනවා උඹව එයාගෙ පුද්ගලික සහායකයා විදියට දෙන්ටයි කියලා ජොන්. අණදෙන නිළධාරිතුමාගෙ කුළුණේ, එයාගෙ කාමරවලට යටින් තියෙන කුටියේ උඹට නිදාගත්තු හැකි."

"එතකොට මගේ රාජකාරි වෙන්නේ?" ජොන් තදින් ඇසීය. "එතුමාගේ කෑම බෙදන එක, ඇඳුම් මාරුකරන එක, නාන්ට උණු වතුර ගේන එක වගේ දේවල්ද?"

"ඇත්තෙන්ම." ජොන්ගේ ස්වරය නිසා මාර්ෂ් රවා බැලීය. "ඒ වගේම, උඹට එයාගේ පණිවුඩ ගෙනියන්ට, එයාගෙ කාමරවල නිතරම ගිනි දල්වලා තියාගන්ට, එයාගේ ඇඳරෙදි පොරෝණා දවස ගානෙ මාරුකරන්ට සිද්දවෙනවා. අණදෙන නිළධාරිතුමා කියන ඕනෑම දෙයක් උඹට කරන්ට සිද්ධ වෙනවා."

"ඔබ හිතන් ඉන්නේ මම වැඩකාරයෙක් කියලද?"

"නැහැ." සප්තකයේ පිටුපස සිටි මේස්ටර් ඒමන් ගේ හඬ නැගී ආයේය. ක්ලයිඩස් ඔහුට නැගී සිටීමට උදව් කලේය. "අපි හිතන් ඉන්නෙ උඹ නිශා රැකුමේ මිනිහෙක් කියලයි... ඒත් සමහරවිට අපි වැරැදි ඇති."

නැගිට එතැනින් පිටව යෑමේ උවමනාව ජොන් ආයාසයෙන් මැඩ ගත්තේ ය. කෙල්ලක මෙන් වෙඬරු පත්ගාමින්, කබා මසමින් සිය මුලු ජීවිත කාලයම මෙහි ගෙවීම ඔහුට හිමි ඉරණම ද?  "මම යන්ට ද?" ඔහු දරදඬු ලෙස ඇසීය.

"උඹේ කැමැත්තක්." බොවෙන් මාර්ෂ් පිලිතුරු දුන්නේ ය.

ඩේරියන් සහ සෑම් ද ඔහු සමග පිටතට පැමිණියහ. ඔවුහු නිශ්ශබ්දව පහළ අංගනයට බැස්සෝය. සිහින් ඇඟිලි රැසක් මෙන් දියවී ගලායන හිම දියෙන් යුතුව හිරුඑළියේ දිලෙමින් තිබුනු ප්‍රාකාරය දෙස ජොන් බැලුවේය. ඔහු දැවෙමින් සිටි කෝපාග්නිය කෙතරම් ද යත් මේ දැවැන්ත ප්‍රාකාරය එක් මොහොතින් සුන්නද්ධූලි කරන්නට එය සමත්වනු නොඅනුමාන ය. එයින් මේ මුලුමහත් ලෝකයම යකාට ගියද ඔහුට කම් නැත.

"ජොන්." සෑම්වෙල් ටාර්ලි උනන්දු සහගත ස්වරයෙන් කීවේය. "පොඩ්ඩක් හිටපන්. උඹට පේන්නෙ නැද්ද උන් මොකක්ද මේ කරන්නේ කියලා?"

ජොන් ‍වියරුවෙන් ඔහු වෙත කඩාපැන්නේ ය. "මට පේනවා සෙර් ඇලිසර් උගෙ අර කුණු අත මේකට දාලා තියෙන වග. එච්චර තමයි මට පේන්නේ. ඌට ඕන වුනා මට ලැජ්ජා කරන්ට. ඔන්න ඌ ඒක කොහොම හරි කර ගත්තා."

ඩේරියන් ඔහු වෙත නොපහන් බැල්මක් හෙලුවේය. "උඹයි මායි වගේ අයට සහායකයෙක් වෙන එක ඇති සෑම්. ඒත් ස්නොව් උතුමානන්ට එහෙම බෑනේ."

"මම උඹලා කාටත් වඩා හොඳ සටන්කාරයෙක්. හොඳ අශ්වාරෝහකයෙක්." ජොන් ගුගුලේය "මේක අසාධාරණයි!"

"අසාධාරණයි?" ඩේරියන් විරිත්තුවේ ය. "අර කෙල්ල මම එනකල් බලාගෙන හිටියේ, උපන් දා වගේ හෙළුවෙන්. ඒකිමයි මාව ජනේලෙන් ඇතුළට ඇදලාගත්තේ. උඹ එනවා මෙතන මට අසාධාරණේ ගැන කියලා දෙන්ට. නොදකින්." ඔහු එතැනින් ඉවත්ව ගියේය.

"සහායකයෙක් වෙන එකේ ලැජ්ජාවෙන්ට තරම් දෙයක් නෑ." සෑම් කිවේය.

"උඹ හිතන්නේ මගේ ජීවිතේ ඉතුරු කාලෙ නාකියෙක්ගේ යට ඇඳුම් හෝද හෝද ගෙවලා දාන්ට මම කැමැත්තෙන් ඉන්නවයි කියලද?"

"ඒ නාකියා තමා නිශා රැකුම් බලකායේ ප්‍රධාන අණදෙන නිළධාරියා. උඹට සිද්ද වෙනවා එයාත් එක්ක දිවා රෑ ඉන්ට. ඇත්ත, උඹට එයාගෙ වයින් වක්කරන්ටයි එයාගෙ ඇඳරෙදි මාරුකරන්ටයි වෙයි තමයි. හැබැයි ඒ එක්කම උඹට එයාගේ ලියුම් කියුම් වල වැඩ කරන්ට වෙයි. එයාත් එක්ක රැස්වීම් වලට සහභාගි වෙන්ට වෙයි. සටනකදි එයාගෙ සහචරයා වගේ ඉන්ට වෙයි. කොටින්ම උඹ එයාගෙ හෙවනැල්ල තරමටම එයාට ලංවෙයි. උඹට හැමදේම දැනගන්ට පුළුවන් වෙයි. හැමදේකම කොටසක් වෙන්ට පුළුවන් වෙයි... අනිත් එක බොවෙන් මාර්ෂ් ‍මොකක්ද කිවුවෙ? අණදෙන නිළධාරිතුමාමයි උඹව ඉල්ලලා තියෙන්නෙ!"

"මම පොඩි කාලේ මගේ තාත්තා හැම වෙලාවේම මට බලකලා එයා මිනිස්සුන් ගේ පැමිණිලි විභාග කරනකොට ඇවිත් එයාත් එක්ක සභාශාලාවෙ ඉඳගන්ටයි කියලා. ටිරල් උතුමානන්ට දණ නවලා පක්ෂපාතිත්වය ඔප්පු කරන්ට හයිගාර්ඩ්න්වලට යනකොටත් මාව ඇදගෙන ගියා. පස්සේ පස්සේ එයා මාව ගෙදර තියලා ඩිකන්ව එක්කරගෙන යන්ට පටන් ගත්තා. ඩිකන් සභාශාලාවෙ ඉන්නවා නම් මම උන්නද මලාද කියලවත් ගානක් නැති වුනා. උඹට පේනවා නේද? එයාට ඕන වුනේ එයාගේ උරුමක්කාරයාව හැමවෙලාවෙම එයා ළඟ තියාගන්ට. උරුමක්කාරයාව එහෙම ළඟ තියාගන්නේ එයා කරන කියන හැම දෙයක්ම දැකලා, බලලා, අහලා ඒවයින් ඉගෙනගන්ටයි. මම ඕනේ ඔට්ටුවක් අල්ලන්නම්, මෝර්මන්ට් උතුමානන් උඹව ඉල්ලුවෙත් එක හින්දම තමයි. වෙන මොකක්ද ඕකට හේතුව? එයාට ඕන උඹව දැන් ඉඳන්ම නායකත්වයට හැඩ ගස්සන්ට!"

ජොන් විස්මයට පත් විය. ඇත්ත. වින්ටර්ෆෙල්හිදී එඩාර්ඩ් උතුමානන් හැමවිටම රොබ්ව ඔහුගේ මන්ත්‍රණ සභාවලට සහභාගි කරවාගත්තේ ය. සෑම් කියන්නේ ඇත්තක් විය හැකි ද? මිනිසුන් කියන පරිදි නිශා රැකුම තුළදී අවජාතකයකුට වුව ඉහළටම නැගිය හැක. "මම කවදාවත් මෙහෙම දෙයක් ඉල්ලුවෙ නෑ." ඔහු මුරණ්ඩු ස්වරයෙන් කීවේය. 

"අපි කවුරුත් මෙතන ඉන්නේ ඉල්ලන් ඇවිල්ලා නෙවෙයි" සෑම් ඔහුට මතක් කලේය.

හදිසියේම ජොන් ස්නොව්ට අතිමහත් ලැජ්ජාවක් දැනෙන්නට විය.

කෙතරම් බියගුල්ලකු වුවද සෑම්වෙල් ටාර්ලි නියම පිරිමියෙකු මෙන් තමන්ට අත්වූ ඉරණමට මුහුණ දීමට දිරි වඩාගෙන තිබින. බෙන්ජින් ස්ටාර්ක් අවසන් වරට දුටු වේලේ කියූ පරිදි ප්‍රාකාරයේදී යමෙකුට හිමිවන්නේ ඔහු උපයාගත් දෙයක් පමණි. 'උඹ මුර සංචාරකයෙක් නෙවෙයි ජොන්, තාම කටේ කිරි සුවඳ ගියේ නැති නිකම්ම නිකන් පොඩි කොල්ලෙක් විතරයි.' අවජාතකයන් අනික් දරුවන්ට වඩා වේගයෙන් හැදී වැඩෙන බව ඔහු අසා තිබුනි. ප්‍රාකාරයේදී එක්කෝ ඔහු පරිනත විය යුතුය නැතිනම් මිය යා යුතුය.

ජොන් දිගු සුසුමක් හෙලා ලය සැහැල්ලු කරගත්තේ ය. " උඹ කියන එක හරි . මම දැඟලුවේ නිකන් පොඩි එකෙක් වගේ..."

"ඒ කියන්නේ උඹ මගෙත් එක්ක දිවුරුම් දෙන්ට එනවද?"

"පරණ දෙවිවරු අපි එනකල් බලාගෙන ඇති." ඔහු ආයාසයෙන් සිනහවක් මුවට නගාගත්තේ ය.

* * * * *

ඔවුහු එදින අපරභාගයේදී පිටත්වූහ. ප්‍රාකාරයේ ගේට්ටු නොවීය. කළු බලකොටුවේ හෝ සැතැපුම් තුන්සියයක් පුරා පැතිරුනු ප්‍රාකාරයේ අන් කිසිදු තැනෙක හෝ සාමාන්‍ය ගේට්ටුවක් නොවීය. එමනිසා ප්‍රාකාරයට යටින් අයිස් තුළින් කැපූ පටු උමගයක් හරහා ඔවුන්ට සිය අසුන් මෙහෙයවීමට සිදු වූයේය. මාර්ගය ඇඹරෙමින් වංගු ගැසෙමින් ඇදී යන අතර සීතල බිත්ති ඔවුන් මත තෙරපෙන්නාක් මෙන් හැඟී ගියේය. දැවැන්ත යකඩ ගේට්ටු මගින් තෙවරක්ම ඔවුන්ගේ ගමන් මාර්ගය අවහිර විය. බොවෙන් මාර්ෂ් විසින් යතුරු කැරැල්ලකින් ඒවා වසා තිබනු දැවැන්ත දම්වැල් අගුළු හැරදෙන තුරු බලා හිඳීමට ඔවුනට සිදුවිය. ප්‍රධාන නිවාස බාරකරුවා සිය කර්තව්‍ය නිම කරන තුරු ඔහු පසුපසින් බලා සිටි ජොන්ට තමාට ඉහළින් ඇති අතිමහත් බර දැනෙන්නාක් මෙන් විය. අවට වාතය සොහොන් ගැබකටත් වඩා සීතල හා නිසසල විය. ප්‍රාකාරයෙන් උතුරේ දී නැවත දිවා හිරු එළියේ පහස ලබන විට ජොන්ට පුදුමාකාර සැනසිල්ලක් දැනෙන්නට විය.

ඇතිවුනු හදිසි ආළෝක තත්ත්වය නිසා සෑම් වේගයෙන් ඇසිපිය ගැසුවේය. ඔහු වික්ෂිප්ත අයුරින් අවට බැලුවේය. "වනචාරියො... උං... උං ප්‍රාකාරෙට මෙච්චර කිට්ටුවට එන්ට තරම් බය නැති වෙන එකක් නෑ නේද?"

"කවදාවත් නෑ." ජොන් අසුපිටට නැගගත්තේ ය. බොවෙන් මාර්ෂ් සහ ඔවුන් සමග පැමිණි මුර සංචාරක නඩය අසු පිට නැගුනු පසු ඔහු ඇඟිලි දෙකක් මුවේ රුවා සියුරුහන් බෑවේය. ගෝස්ට් උමගය තුලින් හැල්මේ දිව ආවේය.

ප්‍රධාන නිවාස බාරකරුවා ගේ අශ්වයා හේෂාරව නගමින් ඝෝරවෘකයා වෙතින් ඈත් විය. "උඹ මේ සතාවත් අරන් යන්ට ද හදන්නේ?"

"ඔවු මගේ උතුමානනි." ජොන් පිළිවදන් දුන්නේය. ගෝස්ට් හිස ඔසොවා අවට පරිසරය රස විඳින්නාක් මෙන් මොහොතක් ඉව කලේය. ඊළඟ මොහොතේ ඌ ඇසිපිය හෙලන පමාවෙන් මීවණයෙන් වැසුනු බිම හරහා දිවගොස් සීතල වනය තුළට වැදී අතුරුදන් විය.

වනය තුළට ඇතුළුවීම වෙනත් ලොවකට ඇතුළුවීම හා සමාන විය. ජොන් නිතරම පාහේ සිය පියා, ජොරී සහ රොබ් සමගින් දඩයම් සවාරි ගොස් තිබින. වින්ටර්ෆෙල් අවට වෘක වනය ඔහු අන් කවර මිනිසකු තරම්ම හොඳින් දැන සිටියේය. මේ හොල්මන් කැලෑවද වෘක වනය හා සමානම එකක් වුවද ඒ තුළදී දැනුනු හැඟීම වෙනස්ම අන්දමේ එකක් විය.

සමහරවිට, ඒ ඔවුන් දන්නා දේ නිසා විය හැක. ඔවුන් ලෝකාන්තයෙන් එපිටට ගොස් ඇත. එය වෙනස්ම තත්ත්වයකි. ඉදින්, ඔවුන් දුටු සෑම සෙවනැල්ලක්ම වඩා අඳුරු විය. ඇසුනු සෑම හඬක්ම වඩා බියකරු විය. ලංලංව වැඩුනු වෘක්ෂයෝ හිරු එළිය ඔවුන්ගෙන් වසන් කලෝය. අලුත වැටුනු සිහින් හිම තට්ටුව අසුන් ගේ කුර පහරට හසුව බිඳී ගියේ ඇටකටු බිඳෙන්නාක් වැනි හඬක් නගමිනි. කොළ සර සර හඬින් සලිත කරවමින් සීතල සුළඟ හමද්දී ජොන්ගේ කොඳුඇට පෙළ හරහා සීතල ඇඟිල්ලක් දිව ගියාක් මෙන් දැනුනි. ප්‍රාකාරය ඔවුන් පසුපසින් වූ අතර ඉදිරියෙන් ඇත්තේ කුමක්දැයි දන්නේ දෙවියන් පමණි.

ඔවුන් සිය ගමනාන්තයට ළඟාවද්දී හිරු ගස් අතරින් නොපෙනී යන්නට පටන්ගෙනතිබුනි. එය වනයේ ගැඹුරේ පිහිටි වයර්වුඩ් ගස් නවයකින් වට වූ කුඩා එලිමහන් තැනක් විය. ජොන් මවිතයෙන් හුස්මක් ඉහළට ඇද ගත්තේය. සෑම් ටාර්ලි දෙනෙත් අයා එදෙස බලා සිටින අන්දම ඔහුට පෙනුනි. වෘක වනය තුළ පවා මේ සුදු පැහැ වයර්වුඩ් ගස් දෙක තුනකට වඩා එක ළඟ දැක ගැනීම අරුමයක් විය. මෙවැනි ගස් නවයකින් යුත් පොකුරක් ගැන කිසිවෙකු අසාවත් තිබේනම් අරුමයකි. බිම වැටුනු පත්‍රයන්ගෙන් කැලයේ මතුපිට පොළොව වැසී ගොස් තිබුනි. ලේ රතුවන් පත්‍ර තට්ටුව මතුපිටින් වූ අතර දිරා යමින් ඇති කළුවන් පත්‍ර ඒවා යට සැඟව ගොස් තිබුනි. පුළුල් සුමුදු ගස් කඳන් ඇටකටු මෙන් සුදුපැහැ විය. ඒ මත කෙටූ මුහුණු නවයක් වටරවුම තුළට යොමු වී තිබින. ඇස්වල රැඳී තිබුනු වියළී ගිය යුෂය රතුකැට මෙන් රත් පැහැ විය, දැඩි විය. සිය අසුන් වටරවුමෙන් පිටත නවතා එන මෙන් බොවෙන් මාර්ෂ් ඔවුන්ට අණ දුන්නේය. "මෙතැන පූජනීය තැනක්. අපි මෙතැන කෙලෙසන්ට නරකයි."

රුක්ගොමුවට ඇතුළු වූ පසු සෑම්වෙල් ටාර්ලි සෙමින් කරකැවෙමින් සෑම මුහුණක්ම හොඳින් නිරීක්ෂණය කලේය. ඒ කිසිදු මුහුණක් කොහෙත්ම එකිනෙකට සමාන නොවීය. "පරණ දෙවිවරු අපි දිහා බලාගෙනයි ඉන්නේ." ඔහු කෙඳිරුවේ ය.

"ඔවු." ජොන් දණ නැමුවේය. සෑම් ද ඔහුට පසෙකින් දණ ගසා ගත්තේය.

දවසේ අවසන් ආළෝකය ගස් අතරින් මැකී ගොස් සැන්දෑව අඳුරු වන්නට ඇරඹෙන මොහොතේ ඔවුන් දෙදෙන එකතුව සිය දිවුරුම දුන්නහ.

"මගේ වචන අසා මගේ දිවුරුමට සාක්ෂි වනු මැනව!" ඔවුන් ගේ වදන් අඳුර සමග මුසුවී රුක්ගොමුව තුල නින්නාද විය.

අන්ධකාරය එළඹෙයි. මගේ රැකවල මෙතැනින් ඇරඹේ. මගේ මරණය තෙක් එය නිමා නොවනු ඇත. මම බිරිඳක් නොගනිමි. මහ පොළොවට උරුමකම් නොකියමි. දරුවන්ට පියෙකු නොවෙමි. මම කිරුළක් නොපලඳින්නෙමි. කිසිදු යශෝරාවයක් ඇතිකර නොගන්නෙමි. මගේ මුරකාවල මතම ජීවත් වී එහිම මිය යන්නෙමි. අන්ධකාරයේ අසිපත මම වෙමි. ප්‍රාකාරයේ රැකවලා මම වෙමි. ශීතයට එදිරිව දැල්වෙන ගින්න මම වෙමි. හිමිදිරිය රැගෙන එන ආළෝකය මම වෙමි. නිදන්නන් අවදි කරවන හොරණෑ නාදය මම වෙමි. මිනිසුන් ගේ රාජධානි ආරක්ෂා කරන පලිහ මම වෙමි. අද රාත්‍රියත් මතු පැමිණෙන්නා වූ සියලු රාත්‍රීන් සඳහාත් මගේ ජීවිතය සහ ගෞරවය නිශා රැකුම වෙනුවෙන් කැපකරමි.

රුක්ගොමුව නැවත නිසසල විය. "උඹලා දණ නැමුවේ කොල්ලන් විදිහට." බොවෙන් මාර්ෂ් ගාම්භීර ලෙස තෙපලුවේය. "දැන් නිශා රැකුමේ මිනිස්සු විදියට නැගිටපල්ලා."

අතක් දිගුකල ජොන් සෑම්ව ඉහළට ඔසවා නැගිට්ටෙවුවේ ය. මුර සංචාරකයන් පිරිස ඔවුන් වටකරගෙන සුබ පතන්නට පටන් ගත්හ. ගැට සහිත ගසක් බඳුවූ  මහලු මුරසංචාරකයා, ඩිවන් පමණක් එයට එක් නොවීය. " අපි දැන්ම ආපහු යන්ට පටන්ගත්තනං හොඳයි මයෙ උතුමානනි." ඔහු බොවෙන් මාර්ෂ් වෙත හැරී පැවසීය. "අන්ධකාරේ වැටෙනවා. ඒකත් එක්ක මොකක්දෝ නපුරු ගඳක් එනවා. මම ඒකට කැමැති නෑ."

හදිසියේම වයර්වුඩ් ගස් දෙකක් අතරින් පැන්න ගෝස්ට් ඔවුන් අසලට ළඟා විය. ඌටද වයර්වුඩ් ගසක් මෙන්ම සුදු පැහැ කඳක් හා රතු පැහැ දෑස් ඇති බැව් ජොන්ට හදිසියේම වැටහී ගියේය...

ඝෝරවෘකයා උගේ හණු අතර කළුවන් යමක් රඳවාගෙන සිටියේය. "මොකද්ද උගේ කටේ තියෙන්නේ?" බොවෙන් මාර්ෂ් බැම අකුළමින් ඇසුවේය.

"මෙහාට වරෙන් ගෝස්ට්." ජොන් දණ ගැසුවේය. "කෝ ඕක මෙහාට ගෙනෙන්."

ඝෝරවෘකයා ඔහු වෙතට පැන්නේය. සෑම්වෙල් ටාර්ලි හදිසියේම බියෙන් මෙන් හුස්මක් ඉහළට ඇද ගනු ජොන්ට ඇසුනි.

"දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ!" ඩිවන් මතුලේ ය. "ඒ මිනිහෙක්ගෙ අතක්!"


Lord Commander Jeor Mormont: “Our wife is duty. Our mistress is honor.”

26 comments:

  1. කොටස් කීපයක් මග හැරුනා. ඔක්කොම බලලා අදහස් දක්වන්නම්.

    ReplyDelete
    Replies
    1. සුබ 2015 ක් වේවා විචාරක!

      Delete
    2. ජන්ද කලබල ඉවර වුනාම කට්ටියම කියවයිනේද? :P

      Delete
    3. ඔබටත් සුබ නව වසරක් වේවා. පොඩ්ඩක් ඉන්නකෝ පොඩ්ඩි මේ ඡන්දෙ ඉවර වෙනකල්.

      Delete
    4. යහපාලනය ඇතිකරනකන් කියවන්න වෙලාවක් තිබුනේ නෑනේ...

      Delete
  2. පොත් ඔක්කොගෙම හොඳම කොටස මේක. දිවුරුම. සුපිරි ඈ.
    ජොන් කාරයා බලපල්ලකො. මූ හිතාගෙන ඉන්නෙ තාම මාලිගාවෙ කියල . හුහ්

    ReplyDelete
    Replies
    1. බුවා ටිකක් ගානට වැඩියි නේද? :-)

      Delete
    2. එන්න එපා ජොන්ට මොනාත් කියන්න .......

      Delete
    3. @පොම්,

      ඒකනෙ, ඔයා හරි නරක සමනළයා.. එන්ට එපා අපේ ජොන් අයියාට අනම් මනම් කියාන්ට හරිය.. ආර්යාට කියලා ගස්සන්නෙ හරිය.. ;-)

      Delete
    4. මාත් වැඩියෙම ආදරේ ජොන්ටලු. :P

      Delete
  3. මගේ ආසම පරිච්ඡේදය මේකයි. ජොන්ට සෑම් කියලා දෙන පාඩමෙන් මමත් දෙයක් ඉගෙනගත්තා.

    "A wonderful gift may not be wrapped as you expect." ~Jonathan Lockwood Huie

    ජොන් නිහතමානී වෙන්න ඕනේ කියලා ඉගෙනගත්ත පරිච්ඡේදයත් ඒ වගේමයි. It was an eye opener. ජොන්ගෙයි ආර්යාගෙයි පරිච්ඡේද වලට තමයි මම වැඩියෙන්ම ආස. ඊලඟට එඩාර්ඩ්ගෙයි ටිරියන්ගෙයි පරිච්ඡේද.

    Well done my friends. Keep it up. Happy New Year! :)

    ReplyDelete
    Replies
    1. ජොන් පොඩ්ඩක් උඩ පනිනවා වැඩියි තමා නේද? :-)

      සිත්තමීටත් සුබ 2015 ක් වේවා!

      Delete
    2. හහ්...ජොන් උඩ පනිනවා අඩුයි.

      සිත්තමී, සිත්තරා සහ පැටියාටත් සුබ නව වසරක්!!! :)

      Delete
  4. හය්යෝ ජොන් උට ඕන වුනේ වලියක් ගහගන්ට
    වුනේ ජම්ගි සෝදන්ට
    චැක් ඉතරක්

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩේ නේද බුවාට වුනේ.. :-)

      Delete
    2. මහේෂ් හිතාගෙන ඉන්නේ එහෙම නේද? බලමුකෝ...:)

      Delete
  5. අපේ යාළු සෑම් හින්ද හොඳට ගියා

    ReplyDelete
    Replies
    1. අපේ යාළු මාලූ - සෑම්ගෙ ටින් මාලූ! :-)

      Delete
    2. හී හී රන්ගේ කමෙන්ට් එක තේරුනාට බූරාගේ උත්තරේ තේරුනේ නෑ.

      Delete
  6. මම හරි ආසයි ජොන් ඉන්න කොටස් කියවන්න. දක්ෂ දරුවෙක් උනත් අවජාතක ගණයට වැටෙන නිසා හරි තැනක් ලැබෙන්නෙ නැහැ, ඒ නිසයි නිතරම ආවේගයෙන් වැඩ කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නෙවැ.. බලාන්ටකො.. මේ දක්ෂ දරුවට අත දෙන්ට කෙනෙක් නැති හැටි හැබෑට නේද.. :-)

      Delete
    2. මම මුලින්ම තෝරලා කියෙව්වේ එයා ඉන්න කොටස් විතරමලු. :P

      Delete
  7. මාත් පහුගිය දොහේ කැලේ පැනල හිටියෙ.ඕං දැන් තමා කැමති හරිය ආවෙ

    ඔහොම යං :)

    ReplyDelete
    Replies
    1. කැලේ පැනලා හිටියා ද? නැත්තම් කැලේට පන්නලා දාලා හිටියා ද? :-P

      ඔහොම යං කිවුවෙ කොහාටද? ආපහු කැලේට ද?

      Delete
    2. මේ නරි මොටාව කූඩුවක් හදලා දාලා දොර වහන්ට ඕනි. කැලේ පනින එක නතර කරන්ට. :D

      Delete
  8. කියෙව්වෝ...

    මොනවා උනත් සෑමා වටින කියන එකා... මං මේ කිව්වේ මසට ගන්ට එහෙම නෙවෙයි.. උගේ මොලේ ගැන ඈ.. :D

    ReplyDelete